Thursday, October 30, 2025

මගේ පුනරුද කලාපය 01

 


මනුස්සයෙකුගෙ ජිවිතය සාමාන්‍ය තත්වෙකට පත් වෙනවා එක්තරා වෙලාවකදි. ඒ තැනට ළගා වෙන්න කලින් ඒ මනුස්සයා දහසකුත් ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දීලා කැඩිලා බිදිලා වැටිලා ක්ෂුද්‍ර ජිවියෙක් වෙලා එක එක මහා ජීවින්ගෙ පා වලට පෑගිලා සපත්තු අඩි වල එල්ලිලා ජිවිතේට නොහිතු මහාද්විපික තටාක වල ගිලිලා ආයෙ උනුසුම්රැ ලි වලට අහුවෙලා කොහේ හෝ වෙරළකට ගොඩ ගහලා, තියෙනවා වෙන්න පුලුවන්. ඒ හැමදේටමත් පස්සේ මං කලින් කියන්නට යෙදුණු ඒ සාමාන්‍ය තැනිතලා ජීවිතය මනුස්සයෙකුට උදා වෙනවා. 

කලින් ඒ මනුස්සයාට හැම වෙලාවකම පැවති ටෙන්ශන් ස්වරුපය අහිමි වෙනවා. ටිකින් ටික ඒ උච්චාවචනයන් අවම ජීවිත සෘතුව පහසු කලාපය බවට පත් වෙනවා. ඒ පහසු කලාපය ඇතුලෙ ජීවිතය ගෙවීගෙන යනවා. අලුතින් ප්‍රශ්නයක් හෝ අලුතින් අභියෝගයක් නැතිව. එදිනෙදා ප්‍රශ්න එදිනෙදා ගැටලු එදිනෙදා අභියෝග සාමාන්‍යකරණය වෙලා. 

මං ආදිත්‍යා. මං හිටියෙත් මෙන්න මේ සාමාන්‍යකරණය වුන පහසු කලාපය ඇතුළෙ. මගෙ ජීවිතය බැලු බැල්මට හොඳින් ගෙවෙමිනුයි තිබුණෙ. උදේට හීනි වත්සුණු තට්ටුවකින් වැසෙන කෙමෙන් වයසට යමින් තිබුණු සම ත් ඒ තරම් ලොකු අරියාදුවක් කරමින් තිබුණෙ නැහැ. ඒ වෙනකොටත් මං කිසි ගැටලුවකින් තොර ව අගල් තුනක් උල් අඩියක් සහිත සපත්තු දැම්මා. සතියකට දවස් තුනක් ජිම් එකකට ගිහින් සහ සලොන් එකකට ගිහින් ශරිරයට  උවමනා සත්කාරයන් නොකඩවා සිදු කරමින් හිටියා. 

දැන අදුනගෙන හිටි පුංචි වුන් අපුරු යව්වනියන් බවට පත්වෙලා බව දුටුවාම කාලය හරිම වේගයෙන් තිබු බව දැනුණා. ඒ වුනත් ඒ ගෙවී යන කාලය ගැන හෝ වෙන කිසිම දෙයක් ගැන වගේ වගක් නැතිව ගෙවී ගිය දවස් .. මං නිකමට කරපු එකම දේ පුංචි පුංචි කවි කුරුටු ගෑම විතරයි! 

මහිමයෙන් ආදරය උරාගත්
සිනහ කඳුලුත් අපිම දරාගමු 
කිසියම්ම දවසකදි දෙතැන හිඳ
එකම එක මොහොතකදි නික්ම යමු

ඒ කවි වුණත් මහ බරසාර හේතු ප්‍රත්‍යයන් සහිත කවි නෙමෙයි. මට හිතෙන්නෙ ඒවා මල්මයයි. මං හිතින් සෑහෙන්න ඇවිදපු මනුස්සයෙක්. විටෙක මගේ පියවර චිත්‍රපටයක දුටුව යුරෝපයේ කදු පන්ති අතර සැරි සරමින් සිටියා. තව වතාවක මම කල්දියාහි මුහුදු වෙරළත ඇවිද ගියා. ඇල්ල පෙදෙසේ පිනි සහිත රාත්‍රින් වල සංචාරකයන් නොඑන කාලයක හුදකලා රෙස්ටොරන්ට් එකක නතර වුණා. 

එක් අපැහැදිලි ඡායාවක් කොහේ හෝ තිබුණා. මගේ ජීවිතය කොතරම් සාමාන්‍ය වුනත් මගෙ හදවතේ තිබුණු හිස් කුහරය තුලින් වරින් වර හිස ඔසවමින් ඒ ඡායාව වරින් වර පෙනුණා. නොපෙනුණා. 

ජීවිතයේ අතිශයින්ම පහසු කලාපය තුලදීත් මිනිස්සුන්ට උවමනා වෙනවා වෙනසක්. ඒක හරියටම උනුන් ඇතුළතින් නැගෙන නුහුරු හඩකින් තමා තුලින්ම පුනරුදයක් උවමනාය කියනා මහ පුදුම දෝංකාරයක්. 




No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...