Thursday, October 23, 2025

Sheik Zayed Grand Mosque - අබුඩාබි හි සදාතනික පුදබිම




 අබුඩාබියෙහි ස්වර්ණමය හිරු රශ්මි විසින් මුලින්ම සිප ගන්නා මේ ශ්වේත වර්ණයන්ගෙන්  සමන්විත මේ පුදබිම ශේක් සයිඩ් මහ පල්ලිය යි. ලොව පවතින ඉස්ලාම් පල්ලි අතරින් විශාලත්වයෙන් දෙවන තැනට පත් වී ඇති ශේක් සයිඩ් පුදබිම අබුඩාවි වෙත පිවිසෙන සංචාරකයින් ගේ අනිවාර්ය නැරඹුම් ස්ථානයක් බවට පත් වී තිබෙනවා. විසල් අබුඩාබි ආකාසයට අනන්තයක ආශිර්වාද එක් කරන මේ මහ පල්ලිය තුල සිය ආගමික වතාවත් වල යෙදෙන ඉස්ලාම් භක්තිකයන්ගේ භක්තිමත් රාවයන් වරින් වර හාත්පස සිසාරා රැව් පිළිරුව් දෙනු ඇසෙනවා. 



අබුඩාබි ජීවත් වන කාලයේ එකතු කරගත් මතක අතරින් වඩාත් සුන්දර චාරිකාවක් ලෙස මගේ මතකයට නැගෙන්නේ ශෙයික් සයිඩ් පුදබිම නැරඹිමේ අවස්ථාවයි. ශෙයික් සයිඩ් පුදබිමට ඇතුල් වන කාන්තාවන්ට හිස්වැසුම් සහ අත්වැසුම් භාවිතා කරන්නට සිදුවීම අනිවාර්ය වෙනවා. පිරිමින්ට දිගු කලිසම් ඇඳිම අනිවාර්යයි. පුදබිමෙහි වන්දනා සිදුවන වෙලාවන්හිදී සංචාරයන් සිදු කිරීම ට අවස්ථාවක් නොලැබෙන අතර අනික් අවස්ථාවලදී හැම විටම නරඹන්නන්ට පුදබිම නැරඹිමේ අවස්ථාව ලැබෙනවා. 



බටහිර ආසියානු කලාපයේ පිහිටන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිර්මාතෘවරයා වන ෂෙයික් සයීඩ් බින් සුල්තාන් අල් නහියන්ගේ සිහිනය වූයේ සියලු මිනිසුන් අතර ඉවසීම සහ අවබෝධය ප්‍රවර්ධනය කරමින් ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පයේ ආත්මය මූර්තිමත් කරන අභයභූමියක් නිර්මාණය කිරීමයි. ඔහු විසින් ශෙයික් සයීඩ් පල්ලියේ සැලසුමේ බොහෝ අංග පෞද්ගලිකව අධීක්ෂණය කළ අතර, එය වන්දනා ස්ථානයක් ලෙස පමණක් නොව සංස්කෘතික හුවමාරුවේ සහ සාමකාමී සහජීවනයේ ආලෝකයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරුණා. 2004 දී ඔහුගේ අභාවයෙන් පසු, ෂෙයික් සයීඩ් පල්ලියේ භූමියේ තැන්පත් කරන ලද අතර, ඔහුගේ උරුමය මෙම විශ්මය ජනක පුද බිමට සදහටම සම්බන්ද කරනු ලැබුවා. 





ඉස්ලාම් ආගමිකයන් ගේ මුදුන් මල් කඩ වන මක්කමෙහි ඇති මස්ජිද් අල් හරාම් දේවස්ථානයට පමණක් දෙවෙනි වන ඉස්ලාමීය ආගමික වටිනාකම මෙන්ම ඔවුන්ට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පයෙහි කලාත්මක වටිනාකම සහ සංස්කෘතික අගයන්ගේ සම්භාව්‍ය එකතුවක් ලෙස හැඳීන්විය හැකි ශෙයික් සයිිිඩ් දේවස්ථානය වර්ග අඩි 550,000කින් සමන්විත වනවා. මෙහි ගොඩනැගිලි පරිශ්‍රය එහි වාහන අංගන සහ පිටත භු අලංකරණ කොටස් වලින් තොරව අක්කර 30කින් යුක්ත වෙන අතර එක් වරකට වන්දනාකරුවන් 40,000කට පමණ එක් වර වන්දනා කළ හැකි වනවා. 





ශෙයික් සයිඩ් පල්ලිය නිර්මාණය කිරිම යනු ලොව පුරා සිටින ශිල්පීන්ගේ සහ ශිල්පීන්ගේ කුසලතා උපයෝගී කරගත් සහයෝගී උත්සාහයක් ලෙසයි සලකනු ලබන්නේ. පර්සියානු , මෝගල් , සහ මුරිශ් ගෘහ නිර්මාණ ශිල්පයේ අංග ඇතුළත් කර ඇති මෙම පල්ලියේ සැලසුම සඳහා සේවකයින් 3000 කට අධික සංඛ්‍යාවක සහ කොන්ත්‍රාත් සමාගම් 38ක විශේෂඥතාව අවශ්‍යවු බව පැවසෙනවා. මැසිඩෝනියාවෙන් ලබාගත් කිරිගරුඬ වල සිට ජර්මනියෙන් මිලියන ගණනක් ස්වරොව්ස්කි ස්ඵටික වලින් සරසා ඇති පහන් කුඩු දක්වා යොදා ගත් විශිෂ්ට නිමැවුම් වලින් මෙහි විවිධත්වය පිලිබිඹු වෙනවා. අවසාන ප්‍රතිඵලය ලෙස ඉස්ලාමිය ලෝකයේ ඒකමුතුකම සහ විවිධත්වය යන දෙකම සැමරිය හැකි විශිෂ්ට කෘතියක් ලෝකයට ලැබී තිබෙනවා. 





අප ශෙයික් සයිඩ් මහා පල්ලියෙන් නික්මෙන විට අබුඩාබි ආකාසය කෙමෙන් සඳ විසින් අත්පත් කරගනිමිනුයි පැවතියේ. ඇත්තෙන්ම ඒ් අන්ධකාරය සමග මුහු වෙමින් තිබුණු සුදු පැහැති ඉස්ලාමිය ගෘහ නිර්මාණ ආකෘති හා බැඳුණු විසල් ශ්වේත නිමැවුම ඈතින් දිස්වෙමින් තිබුණා වසර ගණනක දහස් ගණනක වන්දනාකරුවන්ගේ පාද ස්පර්ශය මෙන්ම ඔවුන්ගේ යාඥාවන්හි බල මහිමය විශ්වය පුරාවට විහිදුවා ලමින්. 


වැඩිදුර විස්තර ලබා ගැනීම සදහා පහත සබැඳිය භාවිතා කළ හැකියි.                    


source:%20Sheikh%20Zayed%20Grand%20Mosque
https://share.google/9oCJBMbYwn8aqD7FF

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...