Sunday, October 30, 2022

චිම්නි කෝපි 15

 


පහළොස් වෙනි කෝපි කොප්පය



එවර ඔහු සිනා වූයේ සෙල්ලක්කාර විදියකට ය. මම මදහසක් සඟවා ගෙන සිටියෙමි. කෙල්ලකට කොල්ලෙකු ඔය වාගේ මනමාල කතාවක් කීම අරුමයක් නොවේ. ඒත් මගේ ජීවිතය රෝමාන්තික ඉසියුම් සෘතු වලින් ඈත්වී තිබිය  දී මම වෙහෙස වී වැඩ කළෙමි. නයිල්ස්ට බැරි හිතේ ඉසියුම් ප්‍රේමාන්විත නිල අල්ලන්නට එරන්ද කළා වූ කිසිවක් ද නැත. ඇත්තටම ගැහැනු සමහර වෙලාවට පිරිමින්ට බැඳෙන්නේ ඒ පිරිමින්ට පමණක් නොවේ. මෙලොව ගැහැනුන්ටද තේරුම් ගන්නට බැරි උන් ජීවිතේට හිතන්නේවත් නැති කාරණාවලට ය. 


මහියංගණයේ ගෙවුණු පළමුවෙනි රාත්‍රියේදී මා නතරවී සිටියේ හුදකලා කාමරයක ය. මිහිරලා එක කාමරයකත් කැමරා කණ්ඩායම වෙනමත් රියදුරු වෙනමත් නතරවී සිටි අතර අචලත් එරන්දත් නතර වී. සිටියේ එක් කාමරයකය. 


දවසම වෙහෙස වී වැඩ කිරිමත් ගමන් වෙහෙසත් හැමදේමත් නිසා නයිල්ස්ට ෆේස්ටයිම් ඇමතුමක් ගෙන ඉක්මනින් නින්දට වැටෙන්නට මට උවමනා වී තිබිණි. එරන්දත් මාත් අතර ගිවිස ගැනීමක් නොතිබුණි. පොරොන්දුවක්! නැත. කිසිවිටෙකත් නැත. අප එළියේ කතා බස් කරමින් සිටියදී සසඳි ඇමතුමක් ගත්තාය. එරන්ද දුරකතනය ගෙන විදුලි එළි තදින් වැටී ඇති ඉසව්වකට ගියේ අඩ අන්ධකාරය අත් වැරදීම් වලට පසුබිම සකස් කරන බව ඉවෙන් මෙන් දැනගෙන ය. 


මම සුසුමක් හෙළමි. සමහර අවස්ථා කෙටිම කෙටි තත්පර වලට ලඝු වුවද ඒවා ජීවිතයේ යථාර්තය පසක් කරවයි. මේ අපේ මොකක් හෝ රසායනික බන්ධනයේ කෙළවරෙහි ඇති හිස්බව ඒ විනාඩි ගණන විසින් කොනිත්තා තුවාල කර පෙන්වන්න යෙදුණා වාගේ ය.  දවසක, එරන්දගේත් මගේත් මේ චමත්කාරජනක මිනිත්තු අතීත මතක පොළවට පස් කද වී ගොඩගැසෙනු ඇත. ඔහු ආයේ ඇවිත් මා අසල හිඳ ගනිද්දී ඒ සිටියේ ඔහු එතැනින් නැගිට යනවිට සිටි බිම්මාලී නොවේ. 


" හේ..යි.. මොකද මේ..බුම්ම ගත්ත බිම්මෙක්..වෙල."


මම සුසුමක් හෙළුවෙමි. 


"දිස් ඉස් යූස්ලස් නේද .. නිකම් හිතන්න.. අපි දෙන්න මොකක්ද මේ කරන්නෙ..කියලා"


 එරන්ද මදෙස හරි කෙලින් බැලුවේය. මගේ දණහිස් මතට අත් තිව්වේය. එමත වූ මගේ අත් දෙක අත්දෙකින් අල්ලා ගෙන ඇඟිළි තුඩු සිප ගත්තේය. අන්න ඒ තත්පරය මට ආයෙමත් ජාන්ගේ අදෘශ්‍යමාන හාදු සිහිපත් කළේය. 


"මං දන්නවා එයා කතා කළාම දුක හිතෙනවා ඔයාට. සුද්දා එක්ක ඔයා කතා

කරද්දිත් ඒ තරමටත් වඩා දුක හිතෙනවා කෙල්ල මට.. මං කියන්නේ කවදහරි වෙන් වෙයි අපි. ඒක කමන් නෑ කියන්නකො.. එතකම් අපි මේ ආදරෙන් ඉමුද.. ඔයා මං හම්බ වෙච්ච පළවෙනිම දවසෙ වගෙ සැහැල්ලුවෙන් ඉන්නවට මං ආසයි. අන්න ඒ තමයි අර සිල්ව ස්පූන් එක ලියන ඇත්තම ඇත්ත බිම්මා"


මම එරන්ද දෙස බලා හිඳ නැගිට්ටෙමි. 


"මං නිදාගන්න යනවා"


"ප්ලීස් බිම්මා"


"පස්සෙ කතා කරන්නං"


"බෑ.."


"ඇයි වද දෙන්නෙ?"


"මං එහෙමයි"


"එහෙමයි කියන්නේ ?"


"මං වද දෙනව"


"දැන් මොකක්ද කරන්න කියන්නේ ?"


"මාවත් එක්කන් යන්න"


"කොහෙද?"


"දැන් ඔය යන්න හදන තැනකට"


"පිස්සුද අරගොල්ලො බලයි අපි දෙන්න කොහෙ මිසින් වුණා ද කියල"


"උන් රෑ එක දෙක වෙනකල් බොනවනෙ"


"ඉතින්?"


"අපිව මතක් වෙන එකක් නෑ"


නිදන කාමරය වැඩියෙන් අයිති සොබා දහමට ය. නාන කාමරයෙහි වුයේද ටයිල්මය ස්වරුපය ඉක්මවා ගිය අමු ගතියකි. සුමුදු මතුපිටක් වීද නාන බේසමෙහි කොන්ක්‍රීට් හැඩයකි. මගේ පසුපසින් එරන්ද කාමරයට ආවේය. ඔහු නවත්වන්න නොසිතීමම " අදින්නාදානා වේරමණි ශික්ෂාපදයට " අයිති එකක්ද? එහෙම නැත්නම් "කාමේසුමිච්ඡාරා වේරමණි " ශික්ෂාපදයට අයිති එකක්දැයි පැහැදිලි නැත. 


"අපි දෙන්න කාගෙවත් නෙමෙයි" පවක් කරන්නට හිත හදාගන්නට හේතුවක් සොයමින්දෝ එරන්ද සෙමෙන් කිව්වේය. 


"බොරුවට හිත රවට්ටගන්න හේතු හොයනවා ඔයා"


මම නාන කාමරයේ නාන බේසමට වතුර පුරවන ගමන් මිමීණුවෙමි. එරන්ද සිටියේ කකුලක් බිමින් තියා අනික ඇඳ මතින් තියාගෙන බාගෙට ඇල වී ගෙන දුරකතනය ඔබමිනි. ඔහු සිටින්නේ සැහැල්ලු සිතිනැයි මට හිතෙයි. දුරකතනයෙන් ඇහෙන ශබ්ද අනුව ඒ ක්‍රිකට් තරගයකි. මම නාන කාමරයේ කන්නාඩියෙන් මගේම මුහුණ ට එබෙමි. ස්වීඩනයේ ජීවත් වූ සීතලට ගුලිවුණු බිම්මාට වඩා නැවුම් උණුසුම් බිම්මාවෙක් මට පෙනෙයි. ඇය සුදුමැලි නැත මදක් අව්වට හසු වී පාට වෙනස් වී ඇත. ඊටත් වඩා පිම්බුණු කම්මුල්  ය. ඉටි මෙන් දිලිසෙන්නට පටන් ගත් නැහැයකි. 


 නාන කාමරයේ අඩක් ඇරුණු දො⁣ර ගාවට ගෙන්න ගන්නට එරන්ද වැඩි දෙයක් කළේ නැත. මා මෙහි සිටි ටිකට හපන් කමකුත් කරගෙනය. වයින් විදුරු දෙකකුත් රතු වයින් බෝතලයකුත් සොයාගෙන ඇවිදින් ය. 


"උදේ වැඩනෙ"


"පොඩ්ඩක් බොමු..මට කම්පනි එකක් ඕනෙ නෙ" 


කෙට්ටු දෑතත් වී හැඩයේ උඩුකයත් අත්දෙකේ ඇති ටැටුත් නිසා දවස ගානේ ව්‍යායාම කර හැඩ කර ගත් සිරුරක් නැතත් එරන්ද හරි කාර්යක්ෂම වගේම සරාගී පිරිමියෙකැයි බැලු බැල්මට හිතෙයි. මම නාන බේසමෙහි දිගාවෙමි. මට උවමනා මේ ලස්සන ආලෝකය යට හුදකලා වීමට ය. ප්‍රාර්ථනා මහ කන්දක් මතට මතක ඩැෆඩිල් මල් ගොඩ ගැසුණු අඩි පාරක් දිගට නැග යන්නටය.. එහි උඩම තැනක නැරඹුම් තැන්නක සිට එරන්ද දෙස බලා ඉන්නටය. 


"නිකම් හරි හිතෙන්නැද්ද අපි දෙන්න බැන්දොත් කියලා"


ඔවැනි ප්‍රශ්නයක් අර මහා කන්දත් නාන බේසමත් යා කරන කේබල් කාරයක් ගානය. ක්ෂණයකින් මාව නාන බේසමේ කිමිද්දන්නට හැකිය. 


"කසාදෙ ඒ තරම් සුන්දරද?"


"රිලේශන්ශිප් සුන්දරයි නම් කසාද සුන්දර නොවෙන්නෙ ඇයි?"


"කසාදෙ අයිති වෙන්නෙ යථාර්ථය ට.. අපි රිලේශන්ශිප් එකට වෙලාව හොයා ගන්නෙ යතාර්තයෙන් ෆැන්ටසියට ගොඩ වෙන්න තියෙන හොදම අවස්ථාව අරන්.. හැබැයි කසාදෙට අපි කොහොමත් බැදිල ඉන්නව. යතාර්තයෙ තියෙන කටුක බවට ඔටෝම ඇජස්ට් වෙනව අපේ කසාදෙත්"


"ඉතින් .."


" ඉතින් කසාදෙත් එක්ක අපි මහන්සි වෙලා අපට අපිව එපා වෙන එකක් නැද්ද.. ඊට වඩා රිලේශන්ශිප් ලස්සන නැද්ද?"


"වෙන වෙනම තමන්ගේ ටාගට් වලට යන ගමන් තනිනොතනියට කෙනෙක් ලග ඉන්නෙක"


"ඔන්න ඔය ඔයාට දැනෙන දේ"


"වයසට යද්දි.."


" වයසට යයිද කියලා කවුද දන්නෙ"


"ඒ කියන්නේ ?"


"අපි හැමෝම මැරෙනවා දවසක"


"ඒක එපා බිම්මා.. මැරෙනවා කියන්නේ අමාරු දරාගැනිමක්.."


මම දිය බින්දු අතරින් නාන බේසමේ බැම්මේ හිදගෙන වයින් වීදුරුවක් අතින් අල්ලාගෙන සිටින ඔහු දෙස බලා හිදිමි. ඔහු දිය යටට ආ⁣වේය. අපේ අත් එකිනෙක දැවටිණි. වයින් වීදුරු දෙකක් නාන බේසම් බැම්මේ එකිනෙකා දෙස බලා සිටිති. සුසුම් ඉහිරිණි. 


"මං හිතන්නේ මං ඔයාට ආදරෙයි.. බිම්මා"


"තාම නැතුවැති"


"ඔයා?"


"මං දන් නෑ"


" දවසක් එයි"


" මොන වගෙද?"


" මට ඔයාව මොනව කරලවත් අමතක කරන්න බැරිවෙන"


" එතකොට?"


" මං නයිල්ස්ගෙන් ඔයාව ඉල්ල ගනීද මන්ද"


මම සුසුමක් හෙළමි.


"මං කාගෙවත් නෙමෙයි"


"සම්බන්ධකමක් කියන්නේ අයිතිවාසිකමකුත් තමයි.. මෙච්චර කාලයක් එයා ඔයා වෙනුවෙන් ජීවත් වෙලා තියෙනව. මොන මොන ගෝල් වලට වෙන වෙනම ගියත්, බඩගිනි වුණාම එකට කාලා බීලා අසනීප වුණාම එකිනෙකා බලාකියාගෙන එකට ජීවත් වෙනව කියන්නේ ඒක ඇතුළෙ  නීතියෙන් නොලීවත් අයිතියක් ගොඩනැගිල තියෙනවා"


"ඔයාගෙත් එහෙමද?"


"මං කියලා ඉතින් වෙනසක් නෑ..එක ගෙදරක ජීවත් නොවුණට අපි දෙන්න අතරෙත් ඔය හුඟක් දේවල් අඩුවැඩි විදියට වෙලා තියෙනව"


"එතකොට, මේ ලෝකෙම අසාධාරණ මිනිස්සු දෙන්න අපි දෙන්නද?"


"එහෙම වුණත් කමන් නෑ.."


"මට අඩන්න ඕනෙ"


"අපි දෙන්නම චුට්ට චුට්ට මත් වෙනව.. ඒකයි"


"ඔයාටත් හිතෙනවද අඬන්න ?"


"හ්ම් .. ඒත් මං අඬන් නෑ චූටී"


" ඔහොමම ආදරේ වෙන්නෙපා එරන්ද.."


" දාලා යන දවසට දාලා යන්න.. ඒත් මේ මතක ටික මට පොත් ගොඩක් වගේ මං ඇතුළේ තියාගන්න දෙන්න.. දවසකදි පෙරළලා බලන්න" 


" මතක පුස්තකාලෙ අහමුද?"


" මතක පුස්තකාලෙ සැරි සරන්න ආවෙ.. 

මතක පුස්තකාලෙ කියවන්න ආවෙ..

ඔබට ගීතයක් ලියන්න 

හේතු කරුණු රැස් කරන්න.. 

ඔබ මා ළගින් ඉදීද නැද්ද දන්නෙ නෑ කියන්න..

මගේ මතක පුස්තකාලයේ 

ඔබ සොයන්න ආවේ 


කතා පොත් පිරෙන්න රචිත මතක පද ගයන්න 

මා එක්ක එන්න වේදිකාවෙ ඈදි ගන්න

සමුදීමේ වතාවත් පුරන්න පෙර වතාවක් 

අහන් ඉන්න එනවාද ගීතවත් කතාවක්


ඒ ආලෙ වර්ණවත්ම කාලෙ 

ආයෙ මල් පිපිච්ච වාගෙ

ප්‍රාර්ථනා එකතු කරපු මතක පුස්කාලෙ

ඔබ සොයන්න ආවෙ"


"ඒහ්…. වචනෙන් වචනෙම මතකයිද?" මා ඇසුවේ විමතියෙනි. මා කවදාවත් මා මේ ගීයට මෙතරම් ආදරේ බව එරන්දට කියා නැත. එරන්ද මේ තරම් සියුම්ව මේ ගීය ගයාවියි තුන් හිතකින්වත් මා හිතුවේද නැත. එරන්ද කට පාඩමින් එය කියාගෙන ගියේය. මා අසද්දි මගේ නළල මත සිහින් හාදුවක් තැවරුවේය. ආයේ මුමුණන්නට ආවේය. 


වැලලී ගියපු ආදරයට ස්මාරකයක් වෙන්න

මා එක්ක එන්න අනුස්මරණය ක් කරන්න

සමුගැනිමේ කතාවක් නොකියා ගියත් වතාවක්

සවන් දෙන්න එනවාද මතක වර්ණනාවක්


ඒ ආලෙ කල්දමාපු කාලෙ ආයෙ වල්වැදිච්ච වාගෙ

ගායනා කරන්නෙමි මේ ගීය වේදිකාවේ

මාගෙ ප්‍රේක්ශකාගාරෙ හිස් ආසනයක් ඇත්තේ

ඒ ඔබෙ නමටයි ඇවිද ඈදි ගන්න සිතුසේ 


මගේ මතක පුස්තකාලයේ 

ඔබ සොයන්න ආවේ… "

 "මෙතුන් ගේත් සෙනාංග" ගේත් මේ ගීය ශීතම ශීත කාලයක මගේ ළඟ තනියට නැවතී හිටි කාලයක් තිබේ. අපි ආයේ ආයේත් එය යුටියුබ් එකේ ඇසුවෙමු. 


"මං බය ඔයා එහෙම ස්මාරකයක් වත් නොදී යන්න යාවි කියලා"


"ඒ ගිහින් ආයෙ කවදහරි මං ආවොත්…"


" මං දන්නැ ඒ වෙද්දි මං .. එහෙම එපා බිම්මා..අපි කවදාවත් වෙන් නොවී ඉමු..දිග…ම දිග කාලෙකත්.. අපට ලෝකෙ කොන් දෙකක වුණත් වෙන් නොවී ඉන්න පුළුවන් "


එරන්දත් මාත් තනිවූයේ ලෝකයේ ඒ අන්තයේ ය. එක්ව ජීවත් වෙන්නට වරම් නැති පෙම්වතුන් ඇත්තටම හමුනොවී සිටිය යුතුය. අපට නොහඬා හිඳින්නට හේතු උවමනාවටත් වඩා තිබිණි. 


"ජීවිතේ මොන දේ තිබුණත් හිස් තැනක් දැනෙයි කියලා මං බයයි"


"මං ද ඒ හිස් තැන?"


"මෙච්චර කාලෙකට මට එහෙම දැනිල තිබුණෙ නෑ.. දැන් දැනෙනව"


"මං හිතුවෙ ඔයාව පුරවන්න"


"ඔයා මාව පුරවනව"


"ඒ තැන මං නැති වුණොත් හිස් වෙනව"


"සදාකාලෙටම පිරිල ඉන්න"


"මට පුළුවන් "


ඇත්තටම මා ඒ මොහොතේ ඉකිගගහා අඩන්නට ඇත්තේ සිඟිති කෙල්ලක මෙනැයි මට පසුව සිතිණි. නාන තුවායෙහි එතෙනවාත් උණුහුමකට නතුව නිදන කාමරයට වැඩම්මෙනවාත් උණුසුම් ඇඳුමක් ඇඟ ලා ගන්නවා හෝ මා වටා දවටන්නට ඉඩ දෙනවාත් යන සිදුවීම් තිබුණේ සිහිකල්පනාවට බොහෝ දුරකිනි. 


ආයේ ඇහැරෙද්දී මා සිටියේ තනි සයනයක ය. දිගුකළ අතෙහි හැප්පෙන්නට හුස්ම වැටෙනා ප්‍රාණියෙකු නොමැති තැනක ය. සමහර වෙලාවට අතට අහුවෙන දුරක පණ ඇති සුරතලෙකු හෝ පණ නැති කුඩා සෙල්ලම් වලසෙකු හෝ තියාගන්නට මිනිසුන් පෙළඹෙන්නේ ඒ දරුණු හුදකලාවට විකල්පයක් ලෙසින් විය යුතු ය. 


අතේ දුරින් දුරකතනය තිබිණිද කවුරුන් හෝ සමග සම්බන්ධ වෙන්නට මට ඒ මොහොතේ නොසිතුණේය.මම එයට ඔහේ තියෙන්නට ඉඩ හරිමි. "මටද මතක පුස්තකාලයක්" ම තියේ.  කෙළින්ම එරන්දගෙන් ඔයා ජාන්දැයි අහන්නට හිත ඉඩ දෙන්නේද නැත. ඒ එරන්ද ජාන් නොවෙන්නට පුළුවන් ඇතැයි හිතෙන හින්දාය. 


Saturday, October 29, 2022

චිම්නි කෝපි 14

 14 කෝපි කෝප්පය


ගහකොළ ගහණ වටාපිටාවක තනිව ඇවිදින එක සොඳුරු ය. තවෙකෙකු සමග ඇවිදීම හැගීම්බරය. 


"තව දවස් කීයකට වැඩ තියේද?" 


"හෙටින් ඉවර කරගන්න පුළුවන් "


"තව දවසක් අදින්න.."


"අපරාදෙනෙ සල්ලි."


"මතක අපරාදෙ වෙන් නෑ.."


"ඇයි මේ තරම් මතක එකතු කරන්නෙ"


"වටින නිසා"


"කොච්චර කාලෙකටද?"


"ජීවිත කාලෙටම"


"එහෙම කිව්වට එහෙමම නැතිවෙයි"


"ඇයි..එහෙම කියන්න හේතුව?"


"සසඳි ව මැරි කලාම"


"සමහර මතක රිප්ලේස් කරන්න හැමෝටම බෑ. ඒවා අයිති යුනික් කැටගරිවලට"


"එතකොට?"


"ඔයා ස්පෙසිෆික් කෙල්ලෙක්"


මම මොහොතකට හැරී එරන්ද දෙස බලා හිඳිමි. 


"ඔහොම බලන්නෙ ඇයි?


"එහෙම අහන්නෙ ඇයි?"


"තේරෙන් නෑ. මට බයයි.. ඇත්තටම ඔයා මාව අරන් යන්න ඕනෙ කියාවිද දන්නෑ"


"එහෙම මට හිතුණොත්?"


"මං ලංකාවෙන් යන් නෑ.."


එරන්ද කීවේ කිසිම ආයාසයකින් තොරව ය. 

"මං ලංකාවෙන් ගියෙ කැමැත්තෙන් නෙමෙයි. මං හිතන්නේ මං ඔයාට කියලත් ඇති. ඒ කාලෙ හිතුවෙ එහෙමයි. බටහිර අහස අල්ලන්න ඕනෙ කියලා. දැන් තේරෙනව .. නෝඩික් කන්ට්රි එකක ජීවත් වෙල ඉද්දිත් ලංකාව ගැන දැනෙන හැඟීම.. "


"ඕන පොළවක පැළ වෙන්න හිතං නෙමෙයිද ගියෙ?"


"මං හිතුවා. ඒත්.. මං පැළ වුණෙ අත්තකින් .. මගෙ මුල් මං මෙහෙන් ගලවගෙන ගියෙ නෑ.. "


"අත්තකින් හරි පැළ වෙන්න පුලුවන් .. ඔයාගෙ අරමුණ කොහොමද කියනෙකයි වැදගත් බිම්මා. ඔයාට ඕන වුණෙ බටහිර පොළවෙ පැළ වෙන්නද? බටහිර අහස අල්ලන්නද.?"


"වෙනස මොකක්ද?"


"පොළවෙ පැළවෙන්න නම් ඔයාට පඳුරක් වෙන්න පුළුවන් . මල් දෙන්න.. ගෙඩි දෙන්න. ශීත කාලෙට කොළ හලන්න.. පොළොවටම නැමෙන්න. හැබැයි අහස අල්ලන්න ඕන නං ඔයාට පුළුවන් මුදුන් මුලක් නැතුව කෙඳි මුල් ගොඩාක් විහිදුවගෙන උස යන්න."


"ඔයාත් මාර එක්ස්ප්ලනේශන්ස් තමයි දෙන්නෙ"



ඔහු දෙවුර සෙලෙව්වේය. සිනාසුණේය. අපි හෝටලය මිදුලේ ගසක් යට හිදගත්තෙමු. 


" පොඩි කාලෙ මං ඉස් ගෙඩියෙක් වගෙ.."


මම කීවෙමි. බිම්මා එහෙම ය. ලොකු ඔලුවෙකි. කුඩා ඇගකි. එරන්ද මදෙස බලා හිනැහිණි. 


"කන්නෙ බොන්නෙ නැත්ද වැඩිය?"


"මොකද නැත්තෙ අනේ, දැන් වගේම කන බොනේවට හරි කැමතියි" 


"අනේ ඔයා නං එහෙම මහ ලොකු කෑමක් කන එකක් මට පේන්නෙ නෑ.."


"නැ නැ.. දැන් කං කන්නෙ නෑ. දැන් ඉතින් මගෙ රස්සාවම කෑම ගැන ලියන එකනෙ.."


"ඒක මාර ලස්සන වැඩක් නේද?"


"ඔව්.."


"මාත් ආසයි එහෙම එක එක රටවල තියෙන ෆුඩ් කල්චර්ස් ගැන ඉගෙන ගන්න"


"ඉතින් මිහිරත් එහෙමයි. ඌ මුලින් වෙන රස්සාවක් කරන්න තමයි ට්‍රයි කළේ.. කොහොමත් ඌ ඇඟ හදන්න ආසයි.. හැබැයි අපි බිස්නස් එක පටන් ගත්තාම ඌ මාර විදියට ආස උනා කලිනරි ආට් එකට"


"මං ඔයාට ඇත්තටම ඔයා ගැන දැනෙන දෙයක් කියන්නංද එරන්ද?"


"මොකද්ද?"


"ඔයා ඇතුලෙ මාර ආටිස්ටික් මිනිහෙක් ඉන්නවා "


එරන්ද සිනාසුණේය. ජාන් ඒ හිනාව අස්සේ මතු වූවේය. "මිණී.. මට දුක හිතෙනවා" වෙලාවකට හිටිහැටියේ මතුවෙන ජාන් කොලුවා මුමුණයි. කටහඬින් නොවේ. අකුරු වලිනි. ගැහැනු දරුවන් ඇසුරෙහි අත්දැකීම් නැතැයි කිව නොහැකි මිශ්‍ර පාසල් දෙකකද කොහෙදෝ උගත් එකෙකි. 


ඉතින්, " කෝ ඔයාගෙ ඉස්කෝලේ කෑල්ල?" මම විමසමි. හිනා මුහුණක් එවෙයි.


 " එකක් නං බැරියැ නේද?" ඒ මා ය ඉරිසියාකාර බිම්මාය. 


"නෑ.. එක සැරේකට එක්කෙනායි. මට ලව් දෙකක් එකට කරන්න බෑ.. එක්කෙනාට එක්කෙනා අහුවෙයිද කියලා හැම වෙලාවෙම පරෙස්සම් වෙන්න බෑ. මට අමතකත් වෙලා එක්⁣කෙනෙක්ට යවන්න ඕන මැසේජ් අනික් එක්කෙනාට යවනව. මට බැලන්සින් හරි අමාරුයි. එක සැරයක් ඕක කරල මං හරි අමාරුවක වැටුණ"


ජාන් අවංකව කීවේය. 


"අපි වගෙ කොල්ලො ඉතින් අහිංසක වැඩීනෙ. ඒකනෙ අර වටේටම ටෝක් කරන රන් සමනළයට ක්වීන් ට්රිපල් එයිටුයි, සැරිසර ලිහිනියි ඔයායි.. එතකොට. මෙලීසායි ඔක්කෝම එකසසැරේට දෙන්නෙ" 


රන් සමනළයා හැම කෙල්ලටම කතා කරන්නේද නැත. නොකරනවාමත් නොවේ. අලුතින් කවුරු හෝ ආවාම හායි ගා එන්නට ඔහු මතකයේ තියා ගනී. එහෙත් රන්සමනළයා හැම විටම උපක්‍රමශීලීය. ඔහ් ඔහුගේ කෙල්ලන් කවුද කියා සමීපතමයන්ට පවා නොකියයි. ක්වීන් ට්රිපල්එයිට් කොහොමටත් හොට් ය. ඇය කොල්ලන්ට පමණක් නොවේ. කෙල්ලන්ටද කොකම් පානා එකියකි. එක් වතාවක ඇගේ සමරිසිආකාර ඕඩියෝ ක්ලිප් එකකින් චැට්රුම් එකද ඇවිළුණේය. 


"මං ආස විදියෙ කෙල්ලෙක් හම්බ වුනොත් ට්‍රයි කරල බලන්න මං දෙපාරක් හිතන්නේ නෑ" ක්වීන් ට්රිපලෙයිට් සිය මතය නිදහසේ මුදා හැරියාය. ඒ,  ඒ කාලයේ කතා ය. 


"ඔයා දන්නවද බිම්මා, සමහර වෙලාවට මට හිතෙනව සසඳි බබා වැඩියෙන් ගැලපෙන්නෙ මට නෙමෙයි අචලයට කියල.." 


මම තිගැස්සී ගියෙමි. තමන්ගේ පෙම්වතිය තමන්ට වඩා අනුන්ට ගලපන්නට පුළුවන් වීම අමුතු ය. 


“ඇයි ඒ?"


"එයාටත් ඕනෙ ලංකාව අතැරල යන්න. ඩිග්රි එක ඉවර වෙනකම් ඉන්නෙ.. ඒ අතරෙත් අනම් මනම් කෝසස් කරනවා .."


"ඔයා යන්නෑ නෙ?"


"ඔව්… මට යන්න හිතෙන් නෑ ඉතින්. මම මොහොතකට කල්පනා කරමි. ජීවිතය මට තීරණයක් ගන්න දෙනවා නම් මං මොනවා කරාවිද? නයිල්ස් කොතරම් හිරු එළියට ආකර්ෂණය වුවත් ඔහු ඔහගේ පහසු කලාපයෙන් පිටස්තර ජීවිතයකට අකමැති ය. හැල හැප්පීම් නැති බොහෝ සංසුන් ජීවිතයකි නයිල්ස්ට උවමනා. මා එහෙමත් නොවේ. මගේ එක් අඩියක් පැහැදිලිවම ස්වීඩන් පොළව මත තියේ. ඒත් අනික් පයට නිශ්චිත භුගෝලීය අවකාශය ක් නැත. අන්න ඒ "පය" මෙන්න මේ මානවකයාගේ හිතැතුළේ ලැගුම් ඉල්ලාවිය කියන සාධාරණ භීතිකාව මට තියේ. 


  අප සමග පැමිණි කණ්ඩායම ඉදිරියේ බොහෝ දුරස්ව සිටින්නට අපි හැම විටම උත්සාහ කළෙමු. එහෙත් මිහිර වගේම අචලත් ඔවුන්ගේ අතිසියුම් නිරීක්ෂණ ඔස්සේ මා සහ එරන්ද අතරේ කිසිමයම් රසායනයක් ඇති වෙමින් පවතින බව තේරුම් ගත් බව දක්නට ලැබිණි. 


"මං කියන්නෙ බිම්මා," කියා මිහිර කිසිවක් කියන්න⁣ට හදද්දීම එතැනට සුදු නංගී ආවෙන් අචල යම් ඉගියක් කළේය. යුවතිය ඔවුන් දෙදෙනාගේ ම මුහුණු දෙස බැලුවේ හොර අල්ලන බැල්මකි. 


" මොකක්ද මට නොකියා ඉන්නෙ?"


"ඔයා කැමති බිම්මට ද නැත්නම් බබා නංගිට ද?" අචල ඇගෙන් ඇසුවේය. යුවතිය මුහුණ හකුළා ගත්තාය. 


" අපෝ ඒ නංගි මොන විකාරයක්ද අනේ… එරා මොන දෙයකට එයා එක්ක යාළු වුණා ද මං දන් නෑ. බිම්මගෙ ෆේස් ටු ෆේස් කියන හින්ද නෙමෙයි.ඔයා එක්ක වැඩ කරද්දි හරි කම්ෆර්ටබල්.."


"අපි එරාවයි බිම්මවයි සෙට් කරන්න විදියක් කල්පනා කළෙ"


 මම විස්මයෙන් අචල දෙස බැලුවෙමි. මිහිර සිය සිරියාවන්ත සිනහව පාමින් නිහඩව සිටියේය. 


"අනේ සුදු නංගී, මං නම් ඕවට සම්බන්ධයක් නැහැ .. මේ දෙන්නම හිතෙන් හදාගෙනයි මේ කියවන්නෙ” 


“මේ දෙන්න ඔය වගේ ඒවා හිතෙන් හදාගන්න හරී දක්ෂ්යි. බිම්මා.." 


"අපි ඇත්තටම කියන්නේ .." මිහිර හිස ගස්සා කීවේය. අචලත් ඔහුගේ සහායට පෙළ ගැසී සිටින්නේය. 


" අපට අපේ එකාගෙ සතුට වටිනව. අපි දන්නව මෙහෙම කියනෙක සාධාරණ නෑ කියලත් .. ඒත් බිම්මත් සතුටින් නෙ ඉන්නෙ. ඔය දෙන්න නිකම් ඉබේම වගෙ සෙට් වුණත් එක්ක නෙ." 


මම හිස සොලවා සිනාසුණෙමි.


"ජීවිතේ වෙන්න තියෙන්නෙ මොනව ද කියලා අපට ඇත්තටම අනුමාන කරන්න බෑනේ..  එරන්දයි මමයි හොද යාළුවො නේ .. මට එයාත් ඔය දෙන්න වගේම තමයි ඉතින්"


මේ සිද්ධිය මා එරන්දට කීවේ මතකයක් නැවත සිහි කරමිිනි. එරන්ද සිනාසුණේය. 


"ඔව් උන් සසඳිට කැමති නැ. අචල කොහොමත් කැමති නෑ රුඩ් ගෑනුන්ට. ඌ කියන්නේ ගෑනියෙක් ඉස්සරහ නැමෙන්න නම් බෑයි කසාද නොබැද ඉන්නවයි කියලනෙ"


"ඉතින් ඔයා මොකද හිතන්නේ ?"


"මට එහෙම නැමෙනෙක ගැන ප්‍රශ්නයක් නෑ කියලා ඔයා එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා නෙ " 

Friday, October 28, 2022

චිම්නි කෝපි 13

 

දහතුන් වන කෝප්පය !


මට ඉන්නැයි කියා කියන්නට හිතුණේ ද නැත. එරන්ද ඉන්නදැයි ඇසුවේ ද නැත. මැදියම් රැයෙහි ඔහු ඇරලවන්නට වාහන අංගනයට යාම නුසුදුසු ය. ඒ ඇත්තකි. ඉතින් සාහසික ආදරණීය පැය ගණනකින් ඉක්බිති එරන්ද නික්මුණේ සදාතනික මතකයක් හදවතෙහි අතුල්ලාගෙන ය. ඉන් ශේෂ වූ දිලිසෙන කුඩු මා තුළ තැන තැන ඉහිරිණි. දිනක් දෙකක් තිස්නේ තැනින් තැන දලු ලන්නට පැළ වෙන්නට ඒ කුඩා කුඩු කඳුවලට හැකි විය. 


ඒ දිලිසෙන කුඩා කඳු මත නත්තල් තාරකා අමුණන්නට එරන්දගේ කෙටි ඒත් ආදරණීය යෙදුම් සහිත උදෑසන සුබපැතුම් වලටත් රාත්‍රී සුබපැතුම් වලටත් හැකි විය. එරන්දගේ මේ හැසිරිම් ඔස්සේ ජාන් සොයා ගැනිමේ මගේ මෙහෙයුම අඩපණ විය. මා චපල කෙල්ලකි. ඒ ගැන කියන්නට දෙයක් නැත. මට නයිල්ස් ටම පෙම් කරන වන් මෑන් වුමන් කෙනෙකු වන්නට නොහැකි වෙන්නේ මන්දැයි ඔබ මගෙන් අසන ප්‍රශ්නයට පිළිතුරක් නැත. එක මිනිහෙකුගෙන් සෑහීමකට පත්වෙන්න බැරි ගෑනු කියා ලේබලයක් ගැසුවද එයටද කරන්නට දෙයක් නැත. පරමාදර්ශී පෙම්වතියක නොවන බිම්මාගේ කතාව මින් ඉදිරියට කොයි අතට යාදැයි ඔබ නොදනියි. බිම්මා ද නොදනියි. 


මිනිස් සිත් සියුම් ය. ඒවායේ ප්‍රතිබිම්බ ඒ මිනිස්සුන්ටම කරදර කරන්නට පටන් ගන්නා දවස් තිබේ. සංවේදී ය. බියකරු ය. වේදනා සහිත ය. වගකීම් විරහිත ය. රිදුම් බිදුම් එමට ය. වෙහෙස ඇත. එවැනි හිත් වලට සදාචාරය ගැන වගක් නැත. අනුන්ගේ මිනිස්සු ය අනුන්ගේ ගෑනු ය කියා ජීවින මේ මිහිපිට සිටිනවා ද? කවුරුන් හෝ කාටවත් සහමුලින්ම අයිති ද? කසාදය කියන්නේ ඒ අයිතිය ද? ඒ ඒ අයිතිය නම් මා හෝ එරන්ද හෝ අන්න ඒ අයිතියෙන් බැදී නැත.


"එරන්ද නං ඉතින් හිත හොල්ලන්න පුළුවන් පිරිමියෙක් තමයි"


ඒ නර්මදා ය. එරන්දගේ තවත් පංකාවියකි. තව ඔහොම කී දෙනෙක් ද ⁣මම නොදනිමි. 


"කොහොමද මිනිහ?" ඇය ඇසුවේ "ඒ" ගැනම තමා ය. ගැහැනු ළමයින් ඒවා කතා කරන්නේ නැතැයි බොහෝ අය හිතා හිටියත් එය සියයට සියයක් ඇත්තමත් නොවේ ය. වෙනසක් නැතුවම නොවේ. පිරිමි තමන් සමග සයනගත වන ගැහැනු ගැන මෙහෙම කතා කරන්නේ ඔවුන් "භාණ්ඩ හා සේවා" ගණයට දමා ය. නමුත් ගැහැනු එහෙම කෙනෙකු ගැන කතා කරනවා නම් ඒ දැනුණු යමක් ඇති හින්දා ය. නැත්නම් "අනේ වැඩක් නෑ බං. මෙලෝ රහක් නෑ" ය කියා අත්හැර දමන්නේය. නර්මදා ද මේ ඇසුවේ එරන්දගේ වග විත්ති ය. 


"හරි ඩීසන්ට්.. කොෆී එකක් බීලා ගියා ඉතින්"


"උඹ කියන්නේ අර මහ රෑත්? ඌ එහෙම ගියාද බං?"


" ඔව් නෙ"


" අඩේ බං මං නම් හිතුවෙ මොකක් හරි එකක් වෙන්න ඇති කියලා.. ඒ යකා දැක්කම එහෙම හිතෙනවා.."


"කොහොම ද?"


"සෙඩක්ටිව් සෙඩක්ටිව් වගෙ එකක්"


"එහෙම පෙනුණට එහෙම නැහැ බං"


"උඹත් නිකම් කෝල්ඩ් හෝන්තුවක් වගෙත් නැහැ නෙ"


"ඒ වුණාට එහෙම නෑ ඉතින්"


එරන්දව පමණක් නොවේ මාවත් බේරාගෙන මම මෘදුව කතාබහ වෙනස් කරගත්තෙමි. මහියංගණයේ යන්නට අප යොදා ගත්තේ පාන්දර දෙක වගේ වෙලාවකි. වෑන් එක අපාට්මන්ට් ගේට්ටුව ඉස්සරහට ආපසුත් කිසිවක් අමතක නොකර අරන් යන්නට මගේ ලිස්ට් එක චෙක් කරගන්නට විනාඩි දහයකට වැඩි වෙලාවක් ගත විණි. 


කැමරා කෘ එකේ පිරිමි ළමයින් තිදෙනාත් අචලත් මග තැනකින් නගින්නට නියමිත බැව් එරන්ද කී අතර මිහිර සහ සුදු නංගී නැග්ගේත් අතර මගකිනි. මා අසල සුදු නංගීට හිදගන්නැයි කී මිහිර මදක් අනිත් අයත් වාහනයේ ස්ථානගත වෙනතුරු ඉදිරිපසට වී සිටියේය. මම වාහනයේ අවසාන ආසනයේ කෙළවරට ගියේ ඒ ගමනට මා පෞද්ගලිකව ප්‍රිය කළ නිසාම මිසක වෙනත් ආසනයක තිබූ සුවපහසු බව දැනෙන නිසා නොවේ. ඉතින් මිහිර සුදු නංගී ගාවින් හිදගත් අතර කැමරා කෘ එකේ කොල්ලන්ටද හොදටම නිදා ගැනිමේ උවමනාවක් තිබු බව පෙනිණි


මා සිටියේද අඩ නින්දක ය. ටික වෙලාවකින් මගේ වම් ඇලය දකුණතකින් පිරිණි. මම දෙඇසම ඇර බලන්නට කම්මැලි මුලින් එක් ඇසක් ඇර බලනාකාරයේ එකියක්මි.


 එරන්ද! 


මේ උසස් පෙළ කාලයේ ආදර කතාවකි. මට දැනෙන්නේ එහෙම ය. බස් එකක ළඟ ළඟ වාඩි වී මුමුණ මුමුණා යාමේ මිහිරකි. එරන්ද ආසනයේ පසුපසට හිස තියා ගත්තේ නින්දකට සැරසෙමින් විය යුතුය. ඒත් මගෛ් වම් අල්ල මත ඔහුගේ ඇගිල්ලක් තැවරෙමින් තිබිණි. දණිහ තෙක් ඇති කෙටි කලිසම් සාක්කුවෙහි තිබු දුරකතනය දෙදරුම් කන්නට පටන් ගත්තේය. මේ වෙලාවට කොල්ලෙකුට කතා කරන්නට හිතෙනවා නම් ඒ පෙම්වතියකට ය. ආසනයෙන් මදක් ඉස්සී ඔහු දුරකතනය අතට ගත්තේය. 


"ගුඩ් මෝ…නින්"


"මේ යන ගමන්"


"නෑ ඉතින්.. ඔයා පරක්කු වෙලාත් නෙ නිදා ගත්තෙ. ඇහැරන එක පව් නෙ"


"අයියෝ.. මේ උදේම රණ්ඩු අල්ලන්න එපා නංගි"


"හා..හා.. මං තියනව"


දෙබසෙහි එක් පසෙක සංවාදය ඔපමණ ය. මම මෙතෙක් කෙලින් තිබුණු මගේ හිස දකුණු පස වීදුරුවට ඔබා ගත්තෙමි. 


"බිම්මා…" ඒ එරන්ද ය. රහසිනි. මගේ කන් පෙත්තකටම දෙතොල ළං කරමිනි. ගැහැනු දෙන්නෙක් එකවර හුරතල් කරන්නට පිරිමියෙකුට හැකිවීම පුදුමයක් ද? නැහැ. එහෙම කීම අසාධාරණයකි. අනික් පස හිදිනා තරුණියත් එහෙමම ය. 


" බිම්මෝ.." 


මම හිස මදක් ගස්සා ප්‍රතිචාරයක් දක්වමි. සමහර වෙලාවට ආදරයට අයිතිවාසිකම් එකතු වීම අන්තිම කාලකන්ණි කමකි. අවාසනාවකි. මල මුසල හැගිමකි. එය තමන්ගේ නොවෙනවායි සිතීමෙන් දැනීමෙන් ඇතිවෙන අපේක්ෂා භංගත්වය දරාගත හැකි සීමාවක තිබීම හැමවිටම යහපත්ය. 


"මොකද පැස්බරා වගේ ඔළුව හංග ගත්තෙ?" මා නිහඩ ය. කොයිතරම් ශක්තිවන්ත වුණත් මේ වගේ වෙලාවල ආසියාතික ගැහැනු මුුල් කලඑලි බසියි.


" ඔයාට දුක හිතුණ ද?"


එරන්ද ඇහැරවා ගත්තේ සර්පයාව ය. එහෙම මගේ ආත්ම අභිමානය පහතට දමන්නට ඔහුට නොහැකි ය. දුක! ඇයි මට දුක හිතෙන්නෙ? මට දුක හිතෙන්නට තරම් දෙයක් මෙතන සිද්ධ වුණා ද? 


"ඔයා ගියාම තනිවෙන්න මට බැහැනෙ.." ඔහු කියයි. 


"ඇයි?"


"මං තනියෙන් ඉන්න බයයි.මං ඇත්තටම ශක්තිමත් පිරිමියෙක් නෙමෛයි වෙන්න ඇති"


"ඕවගෙ දේවල් හිතන්නෙපා. "


"මට එයාව හම්බ වුණෙ. පාටි එකකදි. අපි කතා කළා. ඩාන්ස් කලා. එතකොට එයා දැනට වඩා පොඩියි. යුනිවසිටි පටන් ගත්තා විතරයි. බලාපොරොත්තු ගොඩක් තියං හිටිය කාලයක්.."


"මාත් හැමදේකින්ම මහන්සි වෙලා හිටියෙ. ලව් සෙක්ස් සල්ලි ඔක්කෝමට වඩා මං ෆ්‍රී මිනිහෙක් වෙන්නෝන කියලා දැනෙන හැඟීම. එයා මලක් වගේ මං දැක්කෙ. එයා මං ලග හිටියෙත් එහෙම. ඒත් ඉතින් කාලයක් යද්දි එයාත් අන්තිමට අනික් අයගෙ ෆෝමැට් එකේමයි."


මම කිසිවක් නොකියා අහගෙන හිදිමි. මේ වගේ කතා කොතෙකුත් ඇත. 


"මට ආයෙ වෙන කෙල්ලෙක් හොයන්න .. ඒ කෙල්ලට පුරුදු වෙන්න හරි කම්මැලියි .. මට ඒ හින්දයි එයා එක්ක පීස්ෆුල් රිලේශන්ශිප් එකක් තියාගෙන ඉන්න ඕනෙ.."


"අපි ට අනාගතේ ගැන කියන්න බෑ .. එරන්ද"

මම මෘදුව කීවෙමි. 


"කවුද දන්නෙ ඔයාගෙ ජීවිතේ පීස් කියනෙක කොහොම ලැබෙයිද කියලා.. ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් .. මොකද්ද එයාගෙ නම?"


"සසඳි"


"ආ..  සසඳිගෙන් ද නැත්නම් වෙන කෙල්ලෙක්ගෙන් ද.. "


" ඔයා කියන්නේ කසාදෙ ද?"


"ඔව්.. කසාදෙන් හරි ඕපන් රිලේශන්ශිප් එකකින් හරි.. රිලේශන්ශිප් එකක් නැතුවම ජීවත් වෙන්න ඔයා තීරණය කරලා හරි"


"මං වැඩිය හිතන්නෝන නෑ නේද?"


"ඔව්.. හිතුවා කියලා මොනවද ලැබෙන්නෙ ? නිකම් ටෙන්ශන් එකක් විතරයි නෙ"


එරන්ද සුසුමක් හෙළුවේය. අප සමග පසුපස ආසනයේ තව කෙනෙකු හිඳගෙන සිටියේය. ඒ කැමරා කණ්ඩාය⁣මේ සහාය කැමරා කරුවෙකි. ඔහු දෙඅත් දෙපසට දමාගෙන තද නින්දකට වැටෙන්නට පටන් ගත්තේය. 


" මං ඔයාව සසඳි එක්ක කම්පෙයා කරන්න යන්නෙ නෑ බිම්මා.. මොකද ඔය දෙන්න ඉන්නෙ කම්පෙයා කරන්න තියා හිතන්නනත් බැරි ලෙවල් දෙකක"


"මං ඇයි එයා එක්ක කම්පෙයා වෙන්නෙ කියලා හිතන්නවත් මට බෑ"


"ඔයාට මාව සුද්දා එක්ක කම්පෙයා වෙන්නෙ නැද්ද"


"ඔය දෙන්න ඉන්නෙත් කම්පෙයා කරන්න පුලුවන් ලෙවල් දෙකක නෙමෙයි"


"ඒක නං ඇත්ත ඉතින්. මිනිහ සංවර්ධිත රටක සිටිසන් තියෙන පොරක්. මං මොකෙක්ද එහෙම බැලුවාම"


"එයා ඒ රටේ ඉපදුණු නිසා එයා ඒ රටේ සිටිසන් කෙනෙක්. ඒත් මං කවදාවත් එයාව බැඳලා සිටිසන් ගන්න බලං ඉන්න කෙනෙක් නෙමෙයි. මට මගෙ පී ආර් එක හම්බෙන්නෙ මං අමාරුවෙන් ඉගෙනන් අමාරුවෙන් රස්සා කරල හදා ගත්ත දේවල් නිසා. මං නයිල්ස්ව කසාද බැන්දා නම් මට ඒ කිසිම දෙයක් නැතුව සිටිසන් කෙනෙක් වෙන්න තිබුණා. හැබැයි මං කැමති නෑ එහෙම."


"ඒ ඔයාගෙ පිරිමියෙකුට යටත් වෙන්න තියෙන අකමැත්ත ද?"


" පිරිමියෙකුට නෙමෙයි මං ලේසියෙන් කාටවත් යටත් වෙන්න කැමති නෑ"


"කසාදෙදි ඒක වැදගත් නැද්ද?"


"කසාදෙදි නම්‍යශීලී වෙන එක වැදගත් . හැබැයි යටත් කර ගන්නෙකයි නම්‍යශීලී කරගන්නෙකයි දෙකක්."


එරන්ද මගේ කැමැත්තක් අකමැත්තක් නොවිමසාම සිය දකුණත මගේ බද වටා දවටා ගත්තේය. වාහනය ඇතුළේ වන අඩ අන්ධකාරයට ඝන සීතලට යශෝරාවයක් මෙන් නැගෙන කවර ගී රාශියකට ඒ මොහොත රෝමාන්තික කළ හැකි විය. 


"මට ඔයාව මිස් වෙයි .."


"ඒ ගැන නොහිතා ඉන්න"


"මොනව ගැනද?"


"මිස් වෙන එක ගැන"


"එතකොට?"


"මිස් වෙන එකෙන් මෙහා කොයිතරම් දේ තියෙද?"


"විඳින්න ද?"


"ජීවත් වෙන්න.."


"විඳින්න තියෙන්නෙ විඳවීමෙන් එහා නම් බිම්මා, මං මේ හැම මොහොතකම මගේ පපුව පිරෙන්න සතුට කියනෙක උරාගෙන තියෙනව. ඔයා හම්බ වුණාට පස්සෙ අපි එකට ඉන්නත් කලින් මං දන්නව මං ඉන්නෙ හිතින් උඩ පැන පැන කියලා. මටම තේරෙනවා මං ඉන්නෙ ඇස් දෙකින් පවා සතුට කියනෙක උතුර උතුර කියලා. ඔයා මාව පොඩ්ඩක් හරි බලාපොරොත්තු වෙනවා කියලා.එහෙම දවසක් පටන් ගනිද්දිම මාර හැගිමක් එක්ක මං නැගිටිනව"


මගේ හදවත තුල කුඩා දිලිසෙන කදු මහා කදු පන්ති බවට පත් වෙන්නේ ඒවා මත සිටගෙන සිටිය නත්තල් තාරකා ආකාසයට යන්නට දගලන්නේ මේ එරන්දගේ වචන හැසිරවීම හින්දා ය. 


වාහනය හිටිහැටියේ වේගය වෙනස් කළේය. එය හැම කෙනෙක්ටම දැනෙන කාරණාවක් නිසා එරන්ද වහා ආසනයේ මැද්දට වී නැගිට්ටේය. නැවතී තිබුණේ පොලිස් මාර්ග බාධකයක් හේතුවෙනි. උතුරු නැගෙනහිර යුද්ධය අවසාන වීත් තවම පොලිස් මාර්ග බාධක පාර දිගට තිබේ. 


"යුද්ධ නැවතුණායි කියලා ඒ මිනිස්සුන්ගෙ ජන ජීවිත වල ලොකු ලෙකු වෙනස්කම් සිද්ධ වෙලා නැහැ අක්කා. අපි ඩොකියුමෙන්ට්රි වලට ගොඩාක් ගියා නේ යුද්ධ වලින් පස්සේ . ඇත්තටම පව් ඒ මිනිස්සු .. ඒ මිනිස්සු වුණත් ආසයිනෙ තමන්ගේ ඉඩකඩම් වල නිදහසේ ඉන්න"


 මගේ අසුනේ හිදගෙන සිටින කැමරා සහායක මල්ලී එහෙම කීවේය. එරන්ද නැවත මා ළගට නො ආ අතර. සුදු නංගී කන්න බොන්නැයි කියා අනම් මනම් වාහනයේ පසුපස අසුන් වලට බෙදා දුන්නාය. ගමනාන්තයක් දක්වා එකිනෙකා හා කතා කරමින්ද මොන මොනවා කියා සිනාසෙමින්ද සියල්ලෝ සතුටින් සිටියැයි මට සිතිණි. 


එරන්ද ඉදහිට හැරී බැලුවේය. බලා හිනැහුණේය. සෙනගක් අතරේ කාටත් නොදැනෙන්න ආදරය කරනවා කියන්නේ එක අතකින් බලන විට අමුතු හැගීමකි. මහියංගණය නගරයේ අපට වෙන් කරතිබු  හෝටලයට අප ගියේ ආදිවාසි ගම්මානයට අප ළගා විය යුතු වෙලාවට සැලකිය යුතු වෙලාවකටද කලිනි. 


"එහෙ වැඩ ටික ගාණට වෙනව නෙ නේද?" 

..

අචල මදෙස බලා ඇසුවේ සිය අධිතාක්ෂණික කැමරාව ඒ මේ අතට ඉලක්ක කරමිනි. 


"වෙලාවකට අපරාදෙ මේ ෆිල්මින් කෘ එකට වෙනම ගෙව්වෙ කියලා හිතෙනව ඔයාගෙ ෆිල්මින් දැක්කාම"


"අපි ඉතින් වැඩ දැනගත්තතට ලොකුවට කෑගහල කියන්න යන්නෙ නෑ.අවස්ථාවක් ආවම කරලම පෙන්නනව මිසක්. " 


අචල කීවේ මන්දැයි මම තවදුරටත් සිතුවෙමි. පසුව එය සාමාන්‍ය කතාවකැයි කියා අතැර දැමුවෙමි. කෙසේ වෙතත් අපි ඉක්මනින් දඹාන කරා පිටත් වීමු. 


වාර්තා වැඩසටහනට අදාළව කුඩා වාර්තා චිත්‍රපටයට අදාළ සියලු දර්ශන රූගත කරන්නට අපි වෙහෙසුණෙමු. මුලු දවස පුරාම විවේකයක් නැතිව වැඩ කළෙමු. මගේ. ඉන්ටවීවින් හැකියාව මෙතෙක් නොදැක සිටි එරන්ද ඉන් වික්ෂිප්ත වී සිටියේය. ඒ අතරේ මේ පාරම්පරික ආදිවාසි ජීවිතය හා බැඳුණු ආහාර සංස්කෘතිය ඒ හා සමගාමීව ගමන් කරන කෘෂිකාර්මික සංස්කෘතිය සහ වාරි සංස්කෘතිය ගැනද අපි කතා කළෙමු.


ඉරගල වැටෙද්දී අපි එයින් පිටත් වීමු. ඒ නවාතැන් ගෙන සිටි හෝටලයට ය. මෙවැනි රුගත කිරිමක් අවසානයේදී දුරකතනයවත් නොඅල්ලා මං නින්දට වැටෙන බව දන්නා නයිල්ස් වේලාසනින්ම කතා කළේය. ඔහු "නයිට් අවුටින්" එකකට යන බව කීව ද කා සමගදැයි නොකීවේය. අහන්නට ද මට අමතක විණි. එහි නයිල්ස්ගේ පාසල් මිතුරන්ද සිටිති. ඔවුන් සමහර රාත්‍රී න් වල බුරුතු පිටින් රොක්වෙති. නිදන කාමරයට වැදී බොහෝ වෙලාවක් ඇඳෙහිම ඇල වී සිටිය මා නාන කාමරයට ගොස් රැයෙහි බාත්ටබ් එකට බැස හිදිනවායි හිතා එහි දිය පිරෙන්නට ඉඩ හැරියෙමි. අචල කෙටි පණිවුඩය ක් එව්වේ ඒ අතරතුර ය. 


" කමු බං"


එය දුටුවිටම හිනා එන එකකි. අචලට කැමති හිතෙන්නේ එනිසා ය. ඔහු සරල ය. එරන්ද වගේ කල්පනාකාරීව බුම්මාගන්නා වෙලාවල් නැත. පාර අයිනේ කාත් කවුරුත් නැති පූස් පැටියෙක් සිටියත් කම්ස සාක්කුවට දමාගෙන ගෙදර ගෙනියන විදියේ ය. ඔහුගේ ප්‍රේම සම්බන්ධතාවන් ගැන මා දන්නේ නැත. එහෙත් අචල කියන්නේ හිතත් ලස්සන කොල්ලෙක්යැයි බැලු බැල්මට හිතෙයි. 


මම කුඩා කහමල් සහිත කෙටි ගිම්හාන ගවොමකට මාරු වී එළියට ආවේ අපේ කණ්ඩායමේ අය කොතැන ඇත්දැයි සිතමිනි. අචල කමුබන් කීවාට දැනටම ඔවුන් හිදින්නේ මූඩිය විවර කළ බෝතල් කීපයකි තියාගෙන වට මේසයකය. මිහිර බොනවාට සුදු නංගී කැමති නැහැයි කියා අසා සිටියාට මෙන්න ඇයත් අපුරුවට අයිස් කැට වැඩියෙන් දැමු වීදුරුවක් වම් අතේ තියාගෙන සිනාවෙවි සිටියි. 


"මොනාද බොන්නෙ බිම්මා?" අචල අසද්දී එරන්ද මදෙස බැලුවේය. ඒ බැල්ම මොකක් කියන්නට හදනවාදැයි මට පැහැදිලි නැත. හරියට වැඩියෙන් මත් වෙන්න එපා කියන්නා වගේ යැයි මම හිතින් හිතා ගත්තෙමි. 


"මං පස්සෙ ගන්නං මොනාහරි"


මම සෙමෙන් මගහැරියෙමි. සමහර වෙලාවට මගේ ආගන්තුක හැසිරීම ගැන අවබෝධයක් දැනටම ඇති නිසාම දෝ අචල ඉන්පසු කිසිත් කීවේ නැත. මට ඈතට ඇවිදින්නට හිතෙයි. 


"මං චුට්ටක් ඇවිදලා එන්නද?" 


මම පිරිමි ළමයින්ගෙන් විමසමි. සිගරැට්ටුවක් දල්වා ගමන් සිටි එරන්ද ලයිටරය දල්වා ගත් ගමන්ම මදෙස බැලුවේය. ආදරය සහ සැලකිල්ල කොහොම වෙතත් එරන්දගේ රැකවරණය ඉස්මතු වුයේ එවේලේ ය. 


" යං .." 

" පාරෙ තනියම ගියත් පරෙස්සම් වෙන්න පුළුවන් බිම්මා..හැබැයි එරන්දගෙන් පරෙස්සම් වෙන එක තමයි අමාරු" මිහිර සිනාසුණේය. අචලත් නළල රැළි කළේය. 


"කොහොමත් දැන් මූ බිම්මා පස්සෙන් වැටිල ඉන්නවා නේ යන යන තැන"


"අර බබා නංගි දැනගත්තොත් මුගෙ කලිසම බෙල්ලෙ බැදලා මරල සියදිවි නසාගත්තා කියලා පෝස්ට් එකක් දායි.."


"අඩෝ එහෙමට භාණ්ඩෙ ඒක නං"


 මම සිනාසෙමින් නැගිට්ටෙමි. කෙටි ගවුමෙන් නිරාවරණය වන මගේ පා දිහා මොහොතකට ඇස් රැන්දු අචල වහා අහක බලා ගත්තේය. පිරිමි ඇස් හිතුවක්කාර එක හොඳින් දන්නා කෙල්ලෙක් නම් ඔය බැල්මට කේන්ති ගන්නේ නැත. 


හෝටලයේ පිවිසුම් දොරටුවෙන් පිටතට අපි ඇවිද ගියෙමු. එය ලස්සන රාත්‍රියකි. හඳ එළියකි. අහසේ වලාකුළු බැම්මකි. ඒ උඩින් වාඩිවුණු තාරකා දෙපා පද්දමින් සල්ලාපයකි. එරන්දත් මාත් එකිනෙකාට කතා නොකර ඇවිද යන ගමනකි. එක තැනකදී ඒ දුරස් බව බිදිනි. ඔහු මගේ අතින් අල්ලා ගත්තේය. 


" මේ වගේ මතක අපට ඉතුරු කරන්නෙ මැකෙන්නැති කැළැල්"


"කැළැල් කියනෙක හරිද?"


"ඇයි?"


"කැළැල් කිව්වම ඒවා එක්ක අදුරු මතකයක් එන්නැද්ද?"


"එහෙනම්…"


"ම්ම්ම්ම්"

" කැටයම් කියමු"


 මට මදහසක් නැගෙයි. කැළැල් වෙනුවට කැටයම්.. ඔව් ඒකත් නරකම නැත. කැළැල් වලට මිනිස්සු අකමැති ය. කැටයම් එහෙම නැත. ඒවා අධිකව වෙහෙසි සීරුවට කරනා වටිනාකම වැඩි දේකි. ඉතින් අප මේ කරන්නේ අපේ යටිහිත් කවිහිත් කැටයම් කරගන්නා එකම නෙමෙයි ද?

Thursday, October 27, 2022

චිම්නි කෝපි 12

 චිම්නි කෝපි 

දොළොස්වෙනි කෝපි කෝප්පය 

---------------------------------- 


මා හිඳින්නේ සතුටෙන් ද? දුකෙන් ද? අතේ සිහින් රිදුමක් ඇති බව ඇත්තකි. ඒත් හිතේ රිදුණු තැනක් සුවපත් වෙයි. ඒ තැන කොතැනකද නොදනිමි. එරන්ද මේ අත පොවන මානයේ රිය පදවයි. මම මොහොතකට ඔහු දෙස බලා ඉමි. මගේ වගේ බලා ඉන්නට හිතෙන හැටි! ඉතින් මගේ නොවේ කියා මට බලා ඉන්නට තියෙන අයිතිය උදුරා ගන්න පුළුවන් වෙන්නේ කාටද? 


රිය පදවන අතරේම ඔහුගේ මුහුණේ සිනාවක් නැගෙයි. ඒ සිනාවෙන් කියන්නේ මගේ මේ අවධානය ඔහු අවබෝධ කරගෙන ඇති බවයි. අපාට්මන්ට් එක කිට්ටු වෙද්දී මම අහකට හැරෙමි. තව ඉතින් ටික දුරකි. මහියංගණ ගමනට දින දෙකකි. 


සැලසුම් කරගත යුතු දේ කීපයකි. ලංකාවට ආවේ නියමිත වැඩ කොටසක් ඉටු කරගෙන ආපසු යෑමට මිස මෙහි පැටලී පැටලී ඉන්නම නොවේ. 


"මං ඔයාව ඇරලවල යන්නං"


එරන්ද ඇසුවේ මගෙන් ප්‍රතිචාරයක් ඇත්තේම නැති තැන ය. 


"ඇයි ඒ?"


"මග දාලා යන පුරුද්දක් නැති නිසා"


"කාවද?"


"මා එක්ක එන කවුරු වුණත්"


"ඒ කියන්නේ ඒ කාගෙ වුණත් ගමනාන්තෙටම ඔයා එක්ක යනවද?"


"ඔව්.. මට ඒ ගමනාන්තෙ නවතින්න බැරි වුණොත් එයාව ඇරලවල මං ආපහු එනව."


"එයා ගමනාන්තෙ වෙනකම් නොආවොත්"


"මට තව කෙනෙක්ගෙ ගමනාන්තයක් තීරණය කරන්න අයිතියක් තියෙනව කියලා මං හිතන්නේ නැ බිම්මා.. ඕන කෙනෙකුට අයිතියක් තියෙන්නෝන තමන්ගේ ගමනාන්තය තීරණය කරන්න. මගක් යද්දි වුනත් හිතුණොක් මේක නෙමෙයි මගේ ඩෙස්ටිනේශන් එක වෙන්නෝන කියලා වෙන තැනක් තෝර ගන්න. ඒවා මිනිස්සුන්ගෙ තීරණ"


"ඒ කියන්නේ මගින් හැරිල යන්නත් ඔයා නිදහස දෙනවා.."


"කාටද බිම්ම තව කෙනෙක්ව බලෙන් ගෙනියන්න පුළුවන් ..එහෙම බලෙන් බය කරල බ්ලැක් මේල් කරල ගෙනිච්චත් කොයි වෙලාවක් හරි එනවා.. ඒ කෙනා ඒ බය නැති කරන් අපිව දාලා යන"


"හ්ම්ම්ම්"


මම මොහොතකට ඇස් වසා ගමි. 


"ඇයි අද ඔයාාග බබා කතා කළෙ නැත්තෙ?"


එරන්ද මද සිනාවක් පෑවේය. 


"හවස සීන් එකෙන් පස්සේ මං පොඩ්ඩක් සද්ද වහලා ඉන්නෙ.."


"එකට එක කරනවද?"


"එහෙම්මත් නෙමෙයි. පොඩ්ඩක් දැනෙන්නත් ඕනි එයාටත්"


එහෙනම් මේ විරාමයකි. දීර්ඝ කාලීන තීරණයක් නොවේ. එරන්ද රිය සිකියුරිටි එක තෙක්ම පදවා ගෙන ගිය අතර මම ගෙදර අංකය ගාඩ් කාමරයට කීවෙමි. වාහන අංගනයේ අංකයද මට වඩා හොඳින් මතක තියාගෙන සිටි එරන්ද රිය සීරුවට ගෙන ගොස් නතර කළේය. මදෙස බැලුවේය.


"මං ඔයා හදන කෝපි එකට ආසයි.."

කීවේය. කොල්ලන්ට කපටිකම එන්නේ උත්පත්තියෙනි. මේත් එහෙමෙකකි. බිම්මාලි ඉතින් නොදන්නවාත් නොවේ. 


"යංකො එහෙනම් ඉතින්"


සෝපානයට නැග ඉහළ ගොස් අදාළ තට්ටුවෙන් බැස නවාතැන් නිවසට යාමේදී එරන්ද හිතාමතාම මගේ වම් අතේ ඇඟිළි ඔහුගේ ඇඟිළි වලට හිරකර ගත්තේය.


"ඔයා මෙහෙන් ගිය දාකට මට ඉතිරි වෙන්නෙ මේ මතක ටික විතරයි." 


තදම තද සුළං රැල්ලක් උඩු මහල වෙත ගලා එයි. හඳ කිරණ ඇබින්දක් ද එහි එතී ඇත. ළය මතින් වැතිරෙන්න අවසර ඉල්ලන ඇස් දෙකක් හැපි හැපී බලා සිටියි. 


"අත් ඇඟිළි අස්සෙනුත් විසරණය වෙන්න පුළුවන් මතක ගොඩාක්ම තියෙනවා"


" මතක අතරෙ අපි ඉපදෙනව මැරෙනව.."


"අනේ ඔය මැරෙන මගුල් නං කියන්නෙපා. මං ආස ජීවත් වෙන්න.."


අපි ගෙතුළට ගියෙමු. එරන්ද වහා සෝපාවට බර වී රූපවාහිනි තිරය දෙස බලා උන්නේය. මම වතුර උණු වෙන්නට තියා කෝපි පැකට් මග් දෙකකට දමා පැමිණ ඔහු අසලින් හිඳගතිමි.


"කෝ බලමු අත"


"ඒක හොඳයි දැන්.."


"මං බය වුණා ඒ වෙලාවෙ"


"ඇයි. .. ලේ වලටද?"


ඔහු හිස දෙපස සෙලෙව්වේය. 


"මේ ඔක්කෝම මං හින්දානෙ කියලා.."


"ඒක මොකක්ද.. ඔයාට මොනා හරි වුණා නම් එහෙම.. "


"මට තේරෙන්නැති දෙයක් තියෙනවා.  "


"මොකක්ද?"


"ඇයි මාවම මෙහෙම කෙයා කරන්නෙ.."


"ඒ කියන්නේ ?"


" අචල ! ඌ තනිකඩයි. කෙල්ලෙකුත් නෑ. මට වඩා ලස්සනයි. හොලිවුඩ් නළුවෙක් වගේ.. පොඩ්ඩක් ඔයා ගැන ඉන්ටරෙස්ට් වගෙත් එක්ක.. ඔයාට හිාතනවා නම් ලංකාවෙ කොල්ලෙක් බඳින්න.. මට හිතෙනව අචල හොදම ඔප්ශන් එකක් කියලා"


මම සිනාසුණෙමි. 


"ඔයා හිතන්නේ මං මේ ඔප්ශන් එකක් බල බල ඇවිදිනව කියල ද?"


"එහෙම නෙමෙයි බිම්මා.. ඔයාට මේක තේරෙන් නෑ.. ඔයාව උස්සන් ඉන්න මාර අමාරුයි පපුවට"


"ඉතින් මං දැන් නැගලද ඉන්නෙ ඔයාගෙ පපුවට"


 එරන්දත් සිනාසුණේය. හිස දෙපසට වැනුවේය. මම ඒ ඉරියව්ව දෙස බලා සිටියෙමි. 


"ටිකක් මහන්සි දවසක්.. මං කොෆි එක බීලා ඉක්මනින් යන්නම්"


"ම්ම්ම්..හා. "


ඔහු කෝපි එකත් රැගෙන සඳළුතලයට ගියේය. මම ඔහු දෙස වීදුරුවෙන් මෙහා පැත්තේ සිට බලා සිටියෙමි. පහළින් පෙනෙන කුඩා ගෙවල් දෙස බලා සිටින්නට සිතෙන්නට ඇත. මා එතැනට යනවා ද නොඑනවා ද අතීරණයක ය. මට එරන්දට අනවශ්‍ය බරක් වෙන්නට කොහොමත්ම උවමනාවක් නැත. 


එහෙත් යක්ෂ සිතුවිල්ලක් මාව බලෙන් මෙන් තල්ලු කර දැමුවේය. මම සඳැල්ලේ කෙළවර බිත්තියට හේත්තු වූයෙමි. එරන්දගෙන් ඇස් අහකට ගන්න නොහිතෙන මොකක්ද මන්දා මායාවකි. ඔහු මදෙස බැලුවේ ඒ මායාව දරාගෙනම ය. "ඇයි" කියා තොල් හො⁣ළවා ඇසුවා මිස හඩක් නැගුවේද නැත. 


මම කිසිත් නැති බව හිස සොලවා කීවෙමි. එරන්ද මා ළගට ඇදී ආවේය. ඇස් ඔසවා බලන්නට ඉඩක් තිබුණා පමණකි. වෙනත් චලනයකට අවකාශයක් නැත. එරන්දටත් බිත්තියටත් හිරවුණු මගේ ජීවී හදවත වේගයෙන් ගැහෙයි. කෝපි සුවඳට හුරු දෙතොල කෝපි දියරෙන් පිරුණු දෙතොලට ළං විණි. එරන්දගේ  ඇගිලි තුඩු මගේ ගෙළ පුරා තැවරිණි. හුස්ම ගන්නා වේගය වෙනස් කරගන්නට විරාමයක් ඉල්ලන මගේ දෙතොලට ඔහු කිසිවිටෙකත් තම ග්‍රහණයෙන් මිදෙන්න ඉඩ නොදුන්නේය. 


අප දෙදෙනාම තිගැස්සුණේ දුරකතනය නාද වෙන හඩිනි.  ෆේස්ටයිම් ඇමතුමකි. නයිල්ස් බව කැට තියා කිව හැකිය. ඒත් එරන්ද මට ඔහුගෙන් මිදෙන්න ඉඩ නොහැරියේය. කවුදැයි කියන්නට යද්දී දෙතොල මැදට ඇඟිළි තුඩක් තිව්වේය. 


" ඩොන්ට් ඩිස්ට්‍රෝයි දිස් බියුටිෆුල් මෝමන්ට්"


" ඇයි කියන්නකො මේ.."


" මං බයයි කෙල්ල.."


" ඇයි..? "


" අපි මේ යන දුර වැඩිද හිතෙනව"


" හ්ම්ම්ම්"


" වෙන දෙන්නෙක්ගෙ කියලා දැනෙන්නැති එක ගැනම බය හිතෙන්නැද්ද?"


ඇත්තෙන්ම, එදා අපට නවතින්නට තිබිණි. එතැන! ඒ වැරැද්ද වෙද්දීම. මොන හේතුවක්මද නොදනිමි. එහෙත් එය එසේ නොවීය. එරන්ද ත් මාත් ළං කළේ එරන්දගේ කඩවසම් බව හිනාව උස කෙළිලොල් ගමන බිමන නොවේ.එහෙම පිරිමි කොතෙක් හමුවී ඇත්ද? අනිත්තෙක අචලත් එරන්දත් ඔහු කියන්නා වගේ සැසඳුවා නම් එහෙම අචල සිටියේ හැම අතින්ම ඉදිරියෙනි. එහෙත් ජීවිතය එහෙම තෝරාගැනිම් කරන්නට ඉඩ දෙන්නේ අඩුවෙනි. 


අපි එකිනෙකා දෙස ඇහිපිය නොහෙලා බලා සිටි මොහොතකි. ඒ තත්පර පවා හදවත් ඇතුළේ ගැස්ම නතර කළේය. 


"ඔන්න දැන් නම් අපි ඇත්තටම මැරෙන්න යනවා වගෙයි බිම්මා.."


එරන්ද හිනාවෙන්නට උත්සාහ දැරුවේය. මොහොතකට පසුව එරන්දගේ විළවුන් සුවඳ මා තුලට කාන්දු වෙන්නට පටන් ගත්තේය. එය ප්‍රීතිමත් පහසකි. රෝමාන්තික ආහ්ලාදයකි. හැම සිහින් ස්පර්ශයකින්ම හුවමාරු වෙන හැඟීම් ගොන්නකි. දිගු වාගේම වේගවත් හුස්මකින් උස් පහත් වෙන ළමැද මත ජීවිතය පුරා නොලැබූ උත්කර්ෂවත් හැඟීමක් තණ්හාවෙන් හොයන සන්සුන් ප්‍රේමණීය පිරිමියෙකි. විටින් විට අපේ ඇස් හමුවෙයි. ඒවා අතර නෝක්කඩුකම් ඇතිවෙන්නට ඉස්සර එක්කෝ ඔහු ඒ ඇස් බැම්ම බිඳ දමයි. නැත්නම් මට ඉන් මිදෙන්නට සිදුවෙයි. 


සදළුතලය සිය වෙලාව අවසන් කියා සීනුවක් නාද කළේය. මෙතෙක් තද සුළඟේ සඳළුතල බැම්මේ එහෙට මෙහෙට වූ මිනිස් ගුලියක් වූ අප එකිනෙකා පසුපසින් කුඩා සාලයටත් එතැනින් නිදන කාමර කොරිඩෝවටත් නිදන කාමරයටත් ගොඩ වුණේ ආයාසයකින් තොරවය. මෙතෙක් තනිමගෙන් හැරෙන්නට පිරිිමි ස්පර්ශයකින් නොකිලිටි වූ මගේ අලුත් ඇඳ ඇතිරිලි එරන්දට අවකාශයක් දුන්නේය. 


" බිම්මා.." 


එරන්ද මගේ නම කියූ වෙලාවල මම ඊට කිසිත් නොකියා හිඳින්නට ප්‍රවේශම් වුවෙමි. ඇත්තටම මට ඊට ප්‍රති පිළිතුරු දෙන්නට වචන සොයා ගැනීම අසීරු ය. ඒ කුඩා ළමයෙකුගේ වැනි තද රෝස කන්පෙති.. ඒවා අගිසි වල හීනි තෝඩු.. සිනිදු ඇගිලි තුඩු.. සුවඳ තොල්.. හැමදේම මට එරන්දගේ හැම පියවරක් ගානේම මා පුරවා දමන හැගීමක් දැනෙන්න සලස්සා තිබුණි. 


" ඔයා ලංකාවෙ ඉන්න දවස් ටිකට මං ඔයා එක්ක නවතින්නද?"


"ම්ම්ම්.. "


"මට ඔයාව ඕන වෙයි හැම වෙලාවකම.." 


"මාත් එක්ක යං"


"බිම්මා. ?"


"දාලා යන්න බැරි වෙයි මටත් ඔයාව.."


"ඒ තරම් කැමති ද ඔයා මට?"


"කැමැත්ත කියන්නෙපා ඒකට.."


"ආදරේ කියන්න ද?"


හැඳ සිටින ඇඳුම් වලින් වසා, හැඩ කර , උස්සා, පුම්බා එහෙම නැත්නම් කුඩා කර තද කර පෙන්වන ගැහැනු පිරිමි ශරීර වල නිදහස් බව ඇඳක් මත දිග හැරීයන වෙලාවකි ඒක.එරන්ද සහමුලින්ම මාව ඔහුගේ ය හිතන්නට පටන් ගත්තේ එතැන දී විය යුතු ය.. ඒ අඩ එළියත් කෘතිමව දැනෙන සීතලත් තව තවත් අප එකිනෙකා වෙතට තුරුලු කර දැමුවේය. ඒ වෙලාවේ මුළු අපාට්මන්ට් එකම තොටිල්ලකි. පාවෙනවා මිසක් අන් කිසිවකට ඉඩක් නැත. 

"මේක පිස්සුවක් වෙයි.. මැණික.." 

එරන්ද මුදු හඩකින් මිමිණුවේය. මා සිටියේ ඉන් දුර ය. ගැහැනුන්ගේ පිරිමින්ගේ හදවත වගේම මනසත් සිරුරත් එකම මිටකට ගන්නා ඉසව්වක ය. එරන්ද සමහරවිට…. මේ අත්විඳින්නේ මිහිරිතම මොහොතකැයි මට එවෙලේ ද සිතිණි. 

අවසානය ට කතා කරන්නට වචන වලට ඉඩක් නොලැබුණි. පූර්ණ හමුවීමක් කියන්නේ කොහොමටවත්ම වචන නොවේ. එකිනෙකාගේ මුහුණක් දකින්න හෝ ඉස්පාසුවක් නොවූ එක්තරා කාල වකවානුවකින් පසුව එරන්ද මගේ නිකට ඔසවා ඇස් මතින් ඇස් තද කරගත්තේය. 

"මේ මට දෙන්නෙ ජීවිතේද?"

"ම්ම්ම්.."

"චුට්ටක්වත් ලෝබ වෙන්නැතුව.."

"හ්ම්ම්ම්"
" අතාරින්න බැරි වුණොත් මට ඔයාව.. මං මොකද කරන්නෙ බිම්මා?"

"එහෙම දවසක බලමු.."

"මගේ කියලා හිතාගෙන ඉන්නද..?"

"හා"

වෙන්වීම් ගැන කතා කළ යුතු නැත. ඒවා ගැන හිතා ළං නොවී ඉන්නම පුළුවන.ඒත් අප හමුවුණේ එහෙම වෙන්වෙන්නට නොවේ. 

"පපුව උඩ රත්වෙන හැළියක් තිව්වා ඔයා"

"දන්නවා මැණිකෙ"

"කොයිවෙලෙ ඇවිලෙයිද කොයිවෙලෙ නිවෙයිද මං දන්නැ"

"ඔයාට ඕන වෙලාවට ගිනිකන්දක් වෙන්නත් අයිස් කන්දක් වෙන්නත් මට පුළුවන් .."

"ඔයා..ද මේ කියන්නේ .. ඔයා වහා ගිනි ඇවිලෙන සුළු මිනිහෙක්.."

" අවුලන සුළු මිනිහෙක් වෙන්නත් පුළුවන් "

"ඔයාට මොනා හරි කන්නෝනද?"

මම ඇසුවෙමි. මාතෘකාව වෙනස් කරන්නට නොවේ. කෙටි තුවායක් ළය මතින් බැදගෙන ශීතකරණය අසලට යද්දී මට නයිල්ස් සිහිවිණි. කාලයකට පෙර අප අතර ගිවිසුම් ගත බන්ධනයක් පැවතිණි. 

"අපි දන්නැ අපට ඩිග්රි එකෙන් පස්සේ කොහේ කොහේ වැඩ කරන්න යන්න වෙයිද කියලා.. කොහොමටත් අපි දෙන්නා ඉන්නෙ කරියර් සීකින් පාත් එකකනෙ .. ඔයාත් හරි හොට්.. ඩිසයර්ස් තියෙන කෙල්ලෙක්.. මටත් හුගක් දුරකට ගිහින් කෝල්ඩ් මිනිහෙක් වගෙ ඉන්න බැරිවෙයි.. මං කියන්නේ කටහඬින් විතරක් වුණත් ඔයාව අවුස්සන්න පුළුවන් පිරිමියෙක් හම්බ වුණොත්.. ඔයා ඒ කෙනා එක්ක ජීවිතේ බෙදා ගත්ත කියල මං කවදාවත් දොස් කියන්නෙ නෑ බිම්මා.. ඔයාට ජීවත් වෙන්න.. ආදරේ විතරක් තිබිලා මදි.. නීඩ්ස් තියනව. ඒව ෆුල්ෆිල් වෙන්නෝන.. ඉතින් මං කියන්නේ බිම්මා.. ඔයාට සම්පුර්ණ නිදහස ඒකට තියනව. ඒත් ආයෙ මෙහෙ එද්දී, ඒවා ඒ තැන්වලම දාලා එන්න..  මොකද මට හැමදාටම ඔයාගෙ ආදරේ ඕනෙ"

ශීතකරණයේ වු චොක්ලට් පතුරු කීපයක් කුඩා තැටියකට දමා ගෙන මම නැවත එරන්ද වෙත ගියෙමි. දුරකතනය අතට ගෙන ඔහු කිසිවක් ටයිප් කරනු පෙනිණි. මා කාමරයට ඇතුල් වෙද්දී එය නොසඟවාම සිනා වුණේය. පණිවුඩය ලියා යවා දුරකතනය පසෙක තැබුවේය.

" බිම්මා.."

"ම්ම්ම්ම්"

"චුට්ටක් පරෙස්සම් වුණා නං හොදයි නෙ අපි?"

"ඇයී? කාගෙන්ද?"

" මෝඩි.. කාගෙන්වත් නෙමෙයි.."

"එහෙනං?"

"මෙහෙම ගිහින් පැටියෙක් වත් ආවොත්..මෙතනට"

මම හුස්ම රැල්ලක් උඩු තල්ලෙන් හපා නවත්තා ගතිමි. එරන්ද මෙතනට කියා කීවේ කෙටි තුවායෙන් වැසුණ එහෙත් පහසුවෙන් නිරාවරණය වූ කුස මත අතක් තියා ගෙනමය. 

"ඇත්තටම එහෙම වුණොත් මොකද කරන්නෙ?"

"බඳිමු.. බිම්මා"

මම වෙව්ලමින් සිටියෙමි. එරන්ද මෙහෙම කියාවියි මා නම් සිහිනෙකින් වත් සිතුවේ නැත. අනික් අතට මට හිතුණේම වෙන්නට බැරි දෙයක් ගැන බොරු අවධානයක් යොදවා මේ එරන්ද ආයේ මේ වැනි ගමනකට පොටකි පාදා ගන්නවා කියාය. 

" මං පිල් එකක් බොන්නං"

"එපා ..ඒවයින් ඇගට කිසිම හානියක් වෙනවට මං කැමති නෑ.."

"එහෙනම්?"

"අපි බලමුකො  ඊළඟ වතාවෙ.. "

ඊළඟ වතාවත් එවෙලේම පටන් ගන්නට නොඉවසිලිමත් වූ එරන්දත් ඔහුය. මේ නොඉවසිලිමත් තත්වයට පත් කළ මගේ කෙටි තුවාය වාගේම හැගීම් අවුස්සන සුළු කාමරයේ දැල්වෙමින් තිබුණු සුවඳ තෙල් දාහකයත් ඊට වගකිව යුතුවිය.

"මේ සුවද එක්ක ආදරේ උතුරන්න ගන්නව"

"ඇයි?"

"අරූ මැරෙන්න හදන එකේ පුදුමයක් නෑ බිම්මා"

"ඒ ඇයි?"

"ඔයා මහ විශ්මකර්ම ගෑනියක්.."

"ඒ මොකෝ?"

ඊට පිළිතුරක් නැත. නැති එක හොඳ ය. කියනවාට වඩා පිළිතුර දැනෙන්න පටන් ගත් පසු , බිම්මා ට ඉතිරිව තිබුණේ විඳිම ය.

Tuesday, October 25, 2022

චිම්නි කෝපි 11

 

චිමිනි කෝපි

එකොලොස් වන කෝපි කෝප්පය

------------------------


අප වටා කමුබන් එකේ සිටි අය පමණක් නොවේ. වෙරළත් රේල්පාර අවටත් සිටි කිහිප දෙනෙක්මත් පැමිණ සිට ගන්නා බව මට මොහොතකින් වැටහිණි. එරන්ද පියවි සිහියට, සම්මා සතියට පැමිණි සැණින් වහ වහා නැගිට්ටේය. 


"මොකක්ද හු….ත්.. කරගන්න හැදුවෙ තෝ.. තොට මොන හාලක් කැවිලද?"


පළමු දෝස්මුරය අචලගෙනි. ඔහු තතවම නැගිට ගන්නට බැරිව යන්තම් වාඩිවි සිටිනා මගේ දෙවුරෙන් අල්ලා මා නැගිට්ටුවේය. එරන්ද වහා මගේ වම් අත දෙස බැලුවේය. මගේ දකුණතේ බාහුව තුවාල වී ඇත. එය මොකක් හෝ ගලකට නැත්නම් මුලකට හිල්වීමකි.ඉන් ලේ ගලයි. 


"යං බිම්මා.. මේක අපි හිතනව වගෙ ලේසි නෑ. බෙහෙත් ටිකක් දාගම්මු.."


අචල කියද්දී එරන්ද වහා පැමිණ මගේ අත අල්ලා ගත්තේය. මට එරන්දගේ බුම්මාගත් මුහුණ දැකීමත් කේන්තියකි. අචල මාව රෙස්ටොරන්ට් එක ඇතුලට එක්ක ගියේය. එරන්ද අප පසුපසින් කනගාටුවට පත්වුණු මුහුණින් ආවේය. මිහිර , සුදු නංගීත් තවම ගල්ගැසුණු ගමන්ය. 


"කෝච්චිය හෝන් කළා නෙ.."


"ඇහුණ් නෑ බං"


"මේ කෙල්ල හිටියෙ නැත්නම් අම්මප තොගෙ කෑලිවත් නෑ.."


"අඩෝ උඹ ..මං උඹෙ කන්දෙක කුඩු කරනව.. ආයෙ උඹ ඔය රේල්පාර අස්සෙ හැ..මිනේ..න්න ගියොත්.."


"කෑල්ල කෝල් එකේ නෙ බං"


එරන්ද නම් මහ මෝඩ හත්ඉලව්වකැයි එවෙලේ මටත් සිතිණි. එක්කෝ ඔහුුගේ පෙම්වතිය ඔහුගේ මේ ආදරයෙන් ප්‍රයෝජන ගනියි. එහෙම නැත්නම් ඇය ඇගේ ආතතියෙන් පිරුණු ජීවිතයේ ඇරියස් අහිංසක එරන්දගේ ගිණුමට බැර කර ඔහුවද ආතතියට පත් කරයි.මොනදේ වුණත් එය මරණිය අවදානම් තත්වයකට ළගා වීම භයානකය. 


අතට බෙහෙත් දමා ප්ලාස්ටර් කළේ සුදු නංගී ය. ඇගේ කරුණාවන්ත භාවයට මම ස්තුතිවන්ත වුයෙමි. 


"ඔයා නොහිටියානම් අද මෙතන මොන විදියෙ දෙයක් වෙයිද මන්දා" ඇය ඇගේ උපන් දිනයදා වෙන්නට ගිය දේ ගැන කණස්සලෙනි. 


"වෙන්න ගියාට එහෙම දේවල් වෙන් නෑ.. නංගි. සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් නිසා නැත්නම් මොකක් හරි දෙයක් නිසා ඒ දේවල් වැළකෙනව. හැබැයි ඉතින් වෙලාවක් තියනවා ඒ වෙලාව ආවාම නම් අපට කොහොමටවත්ම මග ඇරලා යන්න බෑ. ඒ ඉතින් ජීවිතේ හැටිම නෙ"


එරන්ද පැමිණ අප සිටි මේසයටම සම්බන්ධ වූයේය. එහා පැත්තේ මේසයකට ලං කර තිබුණු පුටුවක් මෙහා පැත්තට ඇදගෙන හිද ගත්තේය. ඒ මුහුණ අමුතු ය. මොකක් හෝ ඇත. 


"මහ මෝඩයෙක්" සුදු නංගී එරන්දගේ හිස් මුදුනට ඇගේ දුරකතනයෙන් තට්ටු කරගෙන එතැනින් වෙන කෙනෙකු සිටි තැනකට ගියාය. 


"රිදෙනවද?" 


මේ කම්පාව සහමුලින්ම නම් මගේ අත ගැනද නොදනිමි. එහෙත් එය එතැනටද සම්බන්ධ විය. මම නැති බව කියන්නට හිස දෙපස වනා සිනහ වූයෙමි. එහෙත් මට එරන්ද දෙස මොහොතකට බලා හිදින්නම හිතිණි. එය හොඳ දෙයක් නොවේ. එරන්ද මගේ බැල්ම මඟ හැරියේය. එහෙත් ආයේ බැලුවේය. මම ඒත් නොපැරදී බලා ඉමි. මොන විදියේ හේතුවක් නිසාද මන්දා මේ ආසියානු පිරිමි ළමයා ගැන මගේ හිතේ ඇල්මක් තිබේ. එය එක් රාත්‍රියක ඇති වූ අහම්බයක් නිසා ඇති වූවක්ද නොවේ.   


“ඇයි මගෙ පස්සෙන් ආවෙ..?" ඔන්න ඉතින් ප්‍රශ්නය. මා ඇත්තෙන්ම එරන්දගේ පස්සෙන් ගියා නොවේ. එරන්ද ව අහම්බෙන් දැක පොඩි වෙලාවකට ඔහු දෙස බලා හිටියා පමණකි. ඒඅහම්බයට මා දුටු ටික හොඳටොම ඇති ය. 


"නොආවා නම්?"


"ලොකු දෙයක් නෑ.. කෝච්චියෙ වැදිලා මැරෙයි ඕන නං"


"ඒ කියන්නේ ජීවිතේ කියන්නේ ලොකු දෙයක් නෙමෙයිද ඔයාට?"


"ඔයා ට කොහොමද ? ජීවිතේ.."


"මට ජීවිතේ කියන්නේ ලොකු දෙයක්.  මං මගෙ ජීවිතේට කැමතියි..මං හිතන්නේ ජීවිතේ කියන්නේ ගමනක්. අපි පුංචි කාලෙ අපි මහන්සි වුණේ හුස්ම ගන්න. සවයිව් වෙන්න.. පස්සේ අපි දෙමවුපියන්ගෙ හරි කාගෙ හරි උදව් ඇතුව හැදෙනව වැඩෙනවා ලොකු වෙනවා.ඊට පස්සේ අපිම ජීවත් වෙන්න ට්රයි කරනව ඉතින්.."


"ප්‍රශ්න ආවාම ඒත් ඕකමද ? නැත්නම් වෙනස් වෙනවද?"


"හැමදාම අපට අලුත් ප්‍රශ්නයක් තියෙනව නේද ඉතින්.. "


"ඔව්.."


"ඒ ප්‍රශ්නෙ යට යනවා හෙට අලුත් ප්‍රශ්නය ක් ආවාම.."


"හ්ම්.." 


"එහෙම එහෙම අපේ ප්‍රශ්න චුට්ට චුට්ට විසදෙනව. විසඳෙන්නෙ නැත්නම් අපිම ඒවට හුරු වෙනව."


"හුරු වෙන්න හුරු වෙන්න ප්‍රශ්නෙ තමන්ගේ හැඩේ වෙනස් කරගන්නවා නම්?"


"ඔයාගෙ ප්‍රශ්නෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද?"


කෙළින්ම එරන්දගෙන් අහන්නට මට සිතිණි. බිම්මා එහෙම පවුල් කඩනාකාරයේ කෙල්ලක නොවේ. අනික් කාරණය මට මේ ලෝකයේ මා සන්තක ඕනැම දෙයක් ඕනැම කෙනෙක්ට දන්දෙන්නට හැකි විදියේ අසීමාන්තික දානමය මානසිකත්වයකුත් තියේ. ඔව්! කතාවේ මෙතෙන්ට එනතෙක්ම මා සිටින්නේ එවැනි මානසිකත්වයකිනි. එරන්ද මගේ ප්ලාස්ටර් කළ බාහුව දෙස නෙත් පටළා ගෙන සිටියේය. 


"ඇත්තටම ඔයා නොආවා නම් බිම්මා..මං මේ වෙනකොට කෑලි කෑලි ගොඩක්ද?"


මම දෙව්ර සෙලවීමි. මා කියන්නේ එහෙම වෙන්නට ඉඩ ඇති අවස්ථාවන් ඕනැ තරම් තියේ. ඒත් ඔය කියනා ගමනාන්ත එහෙම පහසුවෙන් මිනිස්සුන්ට ළඟා වෙන්නේ නැත. 


"ජීවිතේ ගැන ඔහොම නොසැලකිල්ලෙන් ඉන්නෙ, එයාට ඔයා ගැන වැල්‍යු එකක් නෑ කියලා ඔයා දුක්වෙන හින්ද ද?"


එරන්ද ඇස් යටින් මෙන් මදෙස බැලුවේය. මම එක එල්ලේ බලා හිඳිමි. මට මේ පෙනෙන්නේ ඉස්කෝලේ ළමයෙකුව සිටි කාලයේ චැට් රුම් එකක් අස්සේ "රන් සමනළයා එක්ක චැට් කරන්නට එපායැයි " කියා රණ්ඩු කළ යෞවනයාදැයි මම ආයේ සිතමි.


"ඉතින් ඒක අහන්න ඔහොම මං දිහා බලන් ඉන්නෝනද?"


"කවුද?"


"ඔයානෙ.."


"මං මොකක්ද දැන් කළෙ?"


"ඔහොම බලල හිත පටලවන්න එපා"


එරන්ද ගේ මුහුණ ට සිනාවක් ආවේ බොහෝ වෙලාවකට පසු ය. 


"කොල්ලො එක්ක රණ්ඩු වුණාම දවස් ගණන් අඩන කෙල්ලො ඉන්නව. මං දැක්කමයි මෙහෙම මුඩ් අවුට් යන කොල්ලෙක්.."


"ඔයාට පේන්නෙ මං මේ හිනාවෙල කතා කරල ඉන්න විදියනෙ. මං හරි සෙන්සෙටිව් කොල්ලෙක්.."


" ඉතින්.."


" පොඩි පොඩි දේටත් ටිකක් වැඩියෙන් රිදෙනව බිම්මා.."


" පොඩි පොඩි දේ ලොකු ලොකු දේ කියලා දේවල් නෑ ..රිදෙනෙක කොයි දේටත් රිදෙනවා.. එයා එක්ක රණ්ඩු වෙලා මා එක්ක හුුරතල් වෙන්න හදන්නෙපා. කෝ…ලම"


එකෙනෙහිම , එරන්ද ගේ දුරකතනය නැවත නාද වෙමින් තිබිණි. 


"කතා කරගන්න දෙයක් මේ අපට පේන තැනක ඉදන් කතා කරගන්න හරි ද.. වැටකේ පදුරු ගානෙයි රේල් පීලි උඩයි රිංගන් නැතිව" මම එරන්දගේ ඉස් මුදුනට අත තියා කොන්ඩය අවුල් කළෙමි.ඔහු ලස්සන ට සිනහ වූවේය. ඇත්තටම ඒ අපුරු මදහසකි. හිත ඇළවුණේය. නයිල්ස් මතකයට නැගිණි. ඇලවුන හිත ගලවා ගන්නට ආපසු අදිමි. හැම වතාවකම හිත ගැළවෙයි. මා දිනයි. ඒත් හිතේ ලාටු පතුරක් ගැලවෙයි. එය ඇලවුන තැන ඡායාමාත්‍රයක්ව තැවරී තියෙයි. දවසක මෙහෙම හිත ගලවා ගනිද්දී ඇලවුන තැන වැඩි පරාසයකිනුත් ගැලවෙන හිත අඩු පරාසයකිනුත් නවතින දවසක් එතැයි මට සිතෙයි. 


එරන්ද යළි හැරී මදෙස බැලුවේය. මම වම් ඇහැත් හීනි කර සිනාවී සැහැල්ලුවට අත් දෙකත් දෙපසට දිගු කර වටයක් කරකැවී මුහුදු වෙරළ කරා ඇවිද ගියෙමි. මිහිරත් සුදු නංගීත් එක් පසෙකය. ඒ දෙන්නාගේ ආදරය සොඳුරු ය. හිත එකවර හෑල්ලු වුණේ කොහොමද කියා මම ආයේ කල්පනා කළෙමි. ඊට හේතුවක් නැත. ඒත් මොකක්ද මන්දා අහම්බ කාරණාවකි. 


මම මේ සමකාසන්න දිවයිනේ සීමාව දක්වන තඹ පැහැති වෙරළේත් කිරි කවඩි පෙණ සහිත රැල්ලේත් ඒවා හැපෙන ⁣බිදෙන වෙරළේත් පින්තුර කීපයක් කැමරා ඇසට හසු කරගනිමි. මුලින්ම ඒ  ඔක්කෝම නයිල්ස් ගේ වට්සැප් පින්තුර පෙට්ටියට පුරවමි. ඔහු ක්ෂණිකව එය බලා ඉමෝජියක් එවයි. එය "මමත් හිටියානං" වගේ එකකි. 


විනාඩි දෙකතුනකින් ඔහු විඩියෝ ඇමතුමකින් පැමිණෙයි. මම කෙටි වෙලාවකට සිනා වී හායි කීවාම ඔහු මට ඔහුගේ අලුත් සහායිකාව පෙන්වූයේය. ඕ ලපටි කෙල්ලකි. තඹ පාට කොන්ඩයක් ඇති රවුම් කන්නාඩි යුගලක් පැලදි එකියකි. මම කැමරාව නොපිට ගසමි. දැන් නයිල්ස් දකින්නේ ඉන්දියන් සාගරයයි. ඔහු ආරුගම්බේ යන්නට සිහින දකියි. මේ ගල්කිස්ස⁣ට ආසන්න ඉසව්වකැයි මම කියමි. දැන් ඔහු අනිවාර්යයෙන් මෙතැන ගුගල්හි සොයාවි. 


විඩියෝ ඇමතුම අවසන් වූ පසු උපන්දින සාදයේ රාත්‍රි සමය එලඹි තිබිනි. වෙනදාට කැලිප්සෝ ගයන කණ්ඩායම අද සම්පුර්ණයෙන් ම වෙනස් ගී ගයති. 


"බිම්මාගේ රික්වෙස්ට් එකක් තියෙද?"


මම සිනා වී ගෙනම සින්දුවක් කල්පනා කරමි. 


"මං සිලෙක්ට් කරන්නං එකක් බිම්මට ඩෙඩිකේට් කරල" කීවේ එරන්දය. අචල සිටියෙ මා අසලම ය. ඔහු වහා මදෙස බැලුවේය. මම දෙවුර ඔසවා එරන්ද කරන්නට යන්නේ මොකක්දැයි නොදන්නබව අචලට ඇඟවීමි. 


"අද ජීවිතේ බේර ගත්තනෙ ඒ වෙනුවෙන් වෙන්නැති.. බු..රු..හු…ත් …තා" අචල තවම සිටින්නේ තරහෙනි.  එරන්ද මා වෙනුවෙන් ය කියා යෝජනා කළේ වික්ටර් රත්නායක ගේ "එක කුඩයක් යට ගෑවි නොගෑවි " ගීතයයි. 


"කිසිවෙකු සමගින් එකට තුරුලුවී ඉර බැසයන වේලේ 

ඔබ යනු දුටු විට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ…" 


මටත් මොකක්ද මන්දා සිතුවිල්ලක් ඇඟිල්ලකින් ඇන්නේය. ඒක අඩන්නට හිටි එකාට ඇහැට ඇගිල්ලකින් ඇනීමක්මය. කදුළු පටලයක් ඇහේ තැවරෙයි. නොදන්නා හැඟීමක් ජනිත වෙයි. මම යටි තොල සපමින් ඈත සිටින එරන්ද දෙස බලා ඉමි. එරන්දගේ ඇසුත් හදිසියේ මගේ ඇස් වල ගැටෙයි. 


පසුව , වයින් විදුරු කිහිපයක් පානය කිරිමෙනුත් රාත්‍රි ආහාරය ගැනිමෙනුත් පසු මට මගේ නිදන කාමරයට යාමේ උවමනාව තදින් දැනිණි. 


"මං ඔයාව ඩ්‍රොප් කරන්නම් බිම්මා"අචල කියද්දී මිහිරත් සුදු නංගීත් කීවේද එයමය. 


"අපි යන ගමන් බිම්මව ඩ්‍රොප් කරන්ම යන්නම්" ඔවුන්ට සාධාරණ හේතුවක්ද තිබිණි. දෙදෙනාම මරදාන පැත්තට යා යුතුව තිබිණි. සියල්ල දෙස එරන්ද බලා සිටියේය. කවුරුත් ඉස්සරහාම මා ළගට ආවේය. අචලත් මිිහිරත් පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා සිටියේය. එරන්ද එක මත්පැන් විදුරුවක්වත් නොබී සිටි එකම කෙනා ය. 


"අද මට ඩිස්ටර්බ්ඩ් දවසක්.. බොන් නෑ" ඔහු ස්ථිරවම කියා හිටියේය. එහෙත් ළගින් වාඩි වී වීදුරුව පුරවා දුන්නේය. මේ සියල්ල අතරේත් මේසය වටා ඇතිවු සම්මේලන ස්වරුපයේ කතාබහ පැවැත්විණි. අපි මහියංගණයේ යන ගමනත් මහියංගණයේ කණ්ඩායමකට නවාතැන් ගත හැකි තැන් කීපයක් සහ අනිකුත් සියළු දේ පිළිවෙලට පෙළ ගැස්විණි. 


"මං බිම්මව ඩ්‍රෙිප් කරන් යන්නම්" කිසිවෙක් විරුද්ධ නොවුවෝය. ඒකත් පුදුමයට හේතුවකි. අඩු ගණනේ අචලවත් එරන්දට එරෙහි වුයේ නැත. එනිසාම, මම අචල ගෙන් සමුගන්නා මොහොතේ, 

"ඔයාට හොදටම ශුවර් නේ මෙයා මෙන්ටලි ස්ටේබල් කියලා" ඇසුවෙමි.


"අපේ සෙට් එකේ හොදම ඩ්‍රයිව.."


එතැනින් එහා කිසිවක් හිතන්නට උවමනා නැත. මම එරන්දගේ වම් අතේ නොවැදි හිදින්නට උත්සාහ කරමි. රිය ගාලුපාර දිගේ ඉදිරියට ඇදි යන්න පටන් ගත් අතර කොළඹ නගරයට ආවේණික කරදරකාර ට්‍රැෆික් එක මගකදි හමුවිය.


"මේ වෙලාවෙ හැම පාරක්ම ට්‍රැෆික්..හැබැයි එදා තරම් නැති වෙයි" එරන්ද එදා යි කීවිට මට ඔහුගේ මුහුණ විමසිල්ලෙන් බලන්නට සිදුවිය. ඒ කියන්නේ ඒ දවස ඔහුටද හොදටෝම මතක එකකි. මම කවුළුවෙන් එපිටට හිනාවෙමි. 


"තරහ වෙලා වගෙ ඇයි බිම්ම?"


"අර මොකටද තරහ වෙන්නෙ?"


"නිකම් ..අමුතුයි.. අත රිදෙනවද?"


"ටිකක් .රිදෙනව නං තමයි.."


මා කීවේ ඇත්තටම ය. බාහුවේ තුවාලය මුලින් නොරිදුණාට දැන් රිාදන්නට පටන් ගෙන තිබේ. 


"ඔයා මත් වුණාම වැඩියෙන් කියවනවද?" එරන්ද අසන්නේ සිනහවක් සමගිනි. 


"ම්හ්.. නෑ මං නම් හිතන්නේ නෑ.."


"පිරිමි බිව්වාම ඇත්ත කියනව.."


"ඒ කියන්නේ පිරිමි නොබී ඉද්දි කියන්නේ බොරුද?"


"නෑ නෑ.. එහෙම නෙමෙයි.. පිරිමි බිව්වාම ඇත්ත කියන්න ආසයි."


"බොරු නොකිය ඉන්න.. ඔක්කෝම බොරු පම්පෝරි ටික කියවන්නෙත් ඔය කියන පිරිමි බිව්වම තමයි.."


"එහෙමත් තියනව. හැබැයි බිව්වම පපුවෙ ඉන්න ගෑනිව මතක් වෙනව . ආදරේ වැඩියෙන් දැනෙනව. සමහර වෙලාවට ඇඩෙනව."


"ඔයාට එහෙමත් කෙනෙක් ඉන්නව ද?"


"එහෙම කෙනෙක් නැත්තෙ කාටද?"


"පපුව ට බර දරාගන්න බැරි තරම් ආදරයක් ඔයාට තාම දැනිලා නැත්ද බිම්මා ?."


 මම හිස දෙපස වැනුවෙමි. ඒ නැති බව කියන්නට ය.


"එතකොට සුද්දා?"


"ඒක අපි මේන්ටේන් කරන් ආපු බැදීමක්. අපි අපේ රිලේශන්ශිප් එකක් මේන්ටේන් කරන් ආවා. පුළුවන් හැමදේම සම්බන්දෙ වෙනුවෙන් කළා. අපි හුගක් වෙලාවලදි කම්ෆර්ට් සෝන් එකේ හිටියෙ.."


"බිම්මා, එහෙම රිලේශන්ශිප් එකක් තියෙද්දී වෙන කෙනෙක් ගැන ඇත්තටම ආදරේ හිතුණොත් අපි මොකක්ද කරන්නෝන?"


"ඇත්ත ආදරේට රිලේශන්ශිප් එකක් කියලා එකක් ඕන නැහැ කියලා හිත හදාගන්නවා"


"ඒත් රිලේශන්ශිප් එකත් එක්ක දැනෙන සතුට ඔයාට තේරෙනව නේද? 


"සතුට කියන්නේ ආදරයමය නෙමෙයි. සමහර ආදර කතා සතුටු අවසාන. සමහර ආදර කතා අවසන් වෙන්න කලින්ම ට්‍රැජිඩි"

Monday, October 24, 2022

චිම්නි කෝපි 06

 චිම්නි කෝපි


හය


පොඩ්ඩක් පිළිවෙලට මේසය මත තියා ගන්න හිතුණ පින්තුරය… ගැන අදහස වෙනස් වුයේ හුළඟට ඇවිත් තනියට ඉන්නැයි කියන්නට බැල්කනියේ වීදුරු දොර පසෙකට තල්ලු කළ විටය. පහතින් රාජගිරිය පෙනෙන්නට පටන් ගෙන ඇත. කුඩා කුඩා එළි ය. ගෙදරින් ගෙදරට දැල්වෙන තනි තනි පහන් ය. පේලි ගෙවල් පේලි අතරින් පටු මංපෙත් ය. 


මම එය පසුබිම් කර කොත්තුවට අර්ථයක් ඉතිරි කළෙමි. ලාබ කොත්තුවක් අද රැයෙහි කී දෙනෙක්ගේ රාත්‍රි කෑමවේල වෙන්නට ඇත්ද? ලංකාවට ආ පසු බිම්මාගේ කෑම පුරුදු වෙනස් වී ඇතැයි මගේ ඇන්ගෝලා ෆලෝවරයා කියා තිබිණි. කෙසේ වුවත්, පේලි ගෙවල් වල එළි තිත් උඩින් අහසෙහි පෙනෙන මගේ කොත්තු පින්තුරයට කමු බන් රෙස්ටොරන්ට් එක ටැග් කරන්නට මම අමතක නොකළෙමි. 


මම එය රස විදින අතරතුර ඉන්ස්ටාව සෙලවිණි. කමු බන් රෙස්ටොරන්ට් එකෙන් කමෙන්ටුවකි. ස්තුතියකි. රිදී හැන්ද ෆලෝවරයා මිහිරය. ඔහු එබැව් කීවේය. ඉතින් ඔය විවාහක ඉලන්දාරින්ට පණිවුඩ තියන්නට යාම නොතරම්ය. පහුවෙනිදා පාන්දර පිළිතුරු ලිවිය හැකිය. 


ඊළග වතාවේ, දුරකතනය සෙලවුණේ නෝමල් කෙටි පණිවුඩයකටය. සාමාන්‍යයෙන් බැංකුවෙන්, කෑමහල් කීපයකින්, ඇඳුම් කඩ වලින් මිස පුද්ගලයෙකුගෙන් කෙටි පණිවුඩයක් ඒම අසාමාන්‍ය ය. 


"hope you enjoyed the dinner"

මගේ මුහුණ සිනාවකට සැරසෙන්නට ඇත. ඒ එරන්දගේ අංකයයි. මට අහස බැළුනේ නිකමටය. 


" thanks to you.."


එරන්ද මෙහෙම අසාවියැ යි මා ඇත්තටම හිතුවේ නැත. ජාන් ගේ පණිවුඩ රටාව යාන්තම් හෝ එරන්දට තිබේදැයි බලන්නට මේ ලැබුනු අවස්ථාව භාවිතා කළ යුතුය.


"නිකම්ම ඉන්නවා "


මේ වගේ පිළිතුරක් ඇතිද? වැඩිද? එරන්ද මොකද කරන්නේ කියා අසන්නට මා තෝරාගැනීමත් කොයිතරම් වෙනස්ද? කී දෙනෙක් නම් ඔන්ලයින් ඇණවුම් කරනවාද?


"කමුබන් එක හැම කස්ටම කෙනෙක්ගෙන්ම ෆීඩ් බැක් ගන්නවාද? "


"කමුබන් එක හැම වෙලාවෙම කස්ටමර්ස්ලා ගැන හිතනව."


"ඒකද එතකොට මේ රහස?"


රාත්‍රි ය වෙහෙසකරය. මගේ ඇහි තටු අගිස්සට නිදිමත වැහෙයි. ඉතින් එරන්දට කිසිවක් ම කියන්නට පවා අමතකවී මට නින්ද ගොසිණි. යළි පාන්දර එලාම් එක වදිද්දී පුරුදු යෝගා පාඩමට මා ඇහැරුණි. පළමු පණිවුඩය නයිල්ස්ටය. එය ඇබ්බැහි වීමකි. මට වඩා නයිල්ස්ටය. පොසිටිව් වයිබ් එකකැයි ඔහු පිළිගන්නේ මගෙන් ලැබෙනා පළමු සුබපැතුමයි. 


"ඔයා මං වටේට ඉන්නවා කියන්නෙ හැම වෙලාවෙම මං වටේට පොසිටිවිටි එකක් තියෙනව." නයිල්ස් කීවේය. මම පුරුද්දක් හැටියට ධනාත්මක හැසිරිමකට හුරුවී සිටියෙමි. බොහෝ විට මා බලාපොරොත්තු වූ දේ මට ලගා කර ගැනිමට හැකිවිය. කොහොමටත් මා බලාපොරොත්තු වූ දේ මට ගැළපෙන මට සුදුසු දේ යැයි මා හිතු දේය. 


අවසානය ට කතා කළ තැනින් , එරන්දද කතාව නවත්වා තිබිණි. ජීවිතය අපුරුය. මහ රාත්‍රියේ පිහිනුම් තටාකාංගණයක සිට නාන ඇදුම්ම පෙරවා ගෙන ඩිලිවරි එකක් පිළිගන්නට පැමිණි කෙල්ලක හා කතා කරන්නට එරන්දට හිතෙන්නේ ඇයි? 


දවසේ මැදදි කරන්නට නියමිත වැඩ කටයුතු අවසන් කර මම මුහුදුබඩට යන්නට කල්පනා කළෙමි. මිහිරට කෙටි පණිවුඩයක් යැව්වේ ඉන්ස්ටා හරහාය. ඔහු එය නොකියෙව්වේය. ඉතින් මම ඉර බසිනවා බලා හිදිමේ අරමුණින්ම වේලපහින් වෙරළට ගියෙමි.


කමුබන් රෙස්ටොරන්ට් එකට මඳක් එහායින් වෙරළ අයිනෙ කුඩා ඉඩක ව්‍යායාම් කරන තැනකි. ඒ සමගම යෝගා අභ්‍යාස කරනා දෙතුන් දෙනෙකි. වෙරළ දිගේ එතැනට ඇවිද ගියෙමි. මදෙස බැලු ලාංකික උපදේශකවරයා සිනාසුණේය. 


"ගුඩ් ඊවි..නින්.. මිස් මොනාහරි වර්කවුට් ගැන හොයනවද?"


හෙතෙම සැකයෙන් ඇසුවේය. ඔහුට විශ්වාස නැත. මා ඇත්තෙන්ම ව්‍යායාම කරන්නට හොයනවාද? නැත්නම් වෙන මොකක් හරි ඔත්තුවක් බලන්නට ආවාද? 


"ම්ම්ම්ම… නෑ නෑ… මං ඉතින් මේ නිකම් ඇවිදිනව.."


" මිස්. යෝගා වලට ඉන්ටරෙස්ට් නම් අපි එක්ක ටිකක් වැඩ කරලා බලන්න"


"අනිවාර්යෙන්.. අද නෙමෙයි.. මං වෙන දවසක එන්නං.."


මම මුහුද දිගේ ඇවිද ගියෙමි. මුහුදේ රැළි මතට මලානික හිරු එළිය පතිත වන ඡායාරුප කිහිපයක් ගෙන නයිල්ස් ගේ වට්සැප් එකට ඇළවුවෙමි. නයිල්ස් නැතිව දැනෙන මොකක්දෝ මන්දා පාලුවක් හදවතහෙි කොණක් කොනිත්තන බව දැනෙයි. 


"ජාන්"

සොයා යාම මගේ ශ්‍රී ලංකා සංචාරයේ කිසි තැනෙක අල්පෙනෙති අමුණා තිබූ එකක් නොවේ. එය මතුවුයේ උන්හිටි ගමන්ය. ජාන්ගේ සිහින රෙස්ටොරන්ට් එකේ නම රියල් රෙස්ටොරන්ට් එකක දැකීමෙන්ය. 


එහෙත් දැන් මේ මෙහෙයුම මග දමා ඇත්තමයි මට ලංකාවෙන් නික්මෙන්න නොසිතෙයි. මා ආවේ ලංකාවේ පාරම්පරික ආහාර රටා පිලිබඳ වාර්තා සටහන් කිහිපයක් සකසන්නටය. මහියංගනයේ ආදී වාසීන් සම්බන්ධ කරගෙන. ඔවුන් ආහාර කල්තබා ගන්නා ආකාර ආදී විශේෂ දේ පිලිබඳ සටහන් ලියන්නටය. ඒ වෙනුවෙන් මා මගේ රැකියා ආයතනයෙන් දැනටම ගුවන් ටිකට් පතක්ද අත්තිකාරම් චෙක් පතක්ද ලබාගෙන අවසන්ය. ඒත්, මම තවමත් අගනුවර අවට කැරකෙමි. කමුබන් එක වටා භ්‍රමණය වෙමි. එසේ භ්‍රමණය වෙද්දී කහපාටට හුරු ඡවි වර්ණයකින් , උස දිග අත් පා සහිත ශරිරයකින් හා හැම වෙලාවෙිම කැප් එකකින් වසා ගත් හිසක් ඇති අචල , වර්ණවත් සිතුවමක්ද ගෙන කමුබන් හි පිටත බිිත්ති අසලින් ඇවිදිමින් සිටිනු මම දැකීමි. 


එහෙම නැත්නම් , සත්තකින් .. මට දැන් මගේ කියා ලංකාවේ ඉතිරිවී ඇති දුර නෑ පිරිසත් ඔය අම්මාගේ නමට ඉතිරි වී ඇති බිම් කැබැල්ලේ බැම්මත් හැර කිසිවක් ඉතිරිව නැත. මේ උඹ හදන්නෙ අලුත් බැම්මක් හදා ගන්නදැයි , නර්මදා මගෙන් අසන්නත් කලින් මම ම මගෙන් ඇසුවෙමි.


පුරුදුකාරියක් මෙන් කමුබන් පිවිසුම් දොරටුවෙන් ඇතුල් වෙන මා දෙස අචල ඇස් සිහින් කර බැලුවේය. මා සිතුවේම අද මිහිර වෙනුවට අචල රාත්‍රි වැඩ මුරය භාරගෙන ඇතැයි කියාය. මිහිර සමග වැඩ කරද්දී හමුවු ඔවුන්ගේ අතවැසි කොලුවා කටපුරා සිනහවී ආවේය. 


"හායි .. මිස්.. කොහොමද"


"හායි හායි… ඉතින් ඉතින්.. මොනාද වෙන්නෙ"


"ඉන්නවා මිස් ඉතින්.. මිස්ගෙ ඉන්ස්ටා එකේ අපේ මීල්ස් වල ෆොටෝස් දැම්මානේ .. මට මිහිරයියා පෙන්නුවා.. අපි බලං ඉද්දි ලයික්ස් වැඩි වුනා මිස්.. "


අපේ කතාබහ අසමින් වුවද, හැරීවත් නොබලා අචල ඔහුගේ පාඩුවේ වැඩය. ඉතින් , ජාන් අචල වෙන්න මොනවාම හරි ඉගියක් තියෙනවාද? මිහිර කියා ඇති විදියට නම් අචල අයිටී දැනුමැත්තෙකි. ජාන් ගේ ඉස්කෝලේ පරිගණක විද්‍යාගාරයත් අචලත් අතර සම්බන්ධතාවක් ඇත්ද? 


තරුණයා, මා සමග සෙල්ෆි එකක් ගන්නට ඕනැ බව කීවේය. මම සිනහවී මා සෙලිබ්‍රිටියෙකු නොවෙන බව කීමි. 


"මිනිස්සු එක එක්කනොගෙ හිත් අනුව තම තමන්ගේ සෙලිබ්‍රිටියො වෙනස් වෙනවා.. සමහර විට මිස්ගෙ ඩ්‍රීම් සෙලිබ්‍රිටියා ක්‍රිකට කෙනෙක් වෙන්න ඇති.. හැබැයි මට නම් මිස් වගේ ෆුඩ් බිලොගර්ස්ලා සෙලිබ්‍රිටියො.."


ඔහු මා සමග ගත් පින්තුරය එවෙලේම ඉන්ස්ටාවට එක් කළේ බිම්මාේ රිදී හැන්දද ටැග් කරමිනි. අචල, අප දෙස බලා සිනාසිණි. ඔහුට අපේ ෆුඩ් පිටු ගැන වැඩි උනන්දුවක් නැත.


"කො අද මිහිර..?"


"වයිෆ් එක්ක හොස්පිටල් ගිහින්…"


කොල්ලා කියද්දී අචල ආයේ අප දෙස බලා හිනැහිණි. "කමුබන්" හි කළමනාකාරීත්වයෙන් හැම කෙනෙක්ම මට වෙන වෙනම හමුවී ඇත. මිහිර , කතාවට කැමතිය. වෙනමම හැඩයක් සහිත රුචිකත්වය ක් ඇති බව පෙනෙයි. ඔහු "කලිනරි ආට්" හදාරන බව දැකිය හැකිය. එරන්ද එහෙම නැත. ඔහු වැඩියෙන් සංවේදී බවක් පෙනෙයි. මොකක්ද මන්දා අහිංසක ගතියකි. පාඩුවේ ඉන්නා විදියකි.


අචල වෙනස්ය. බැලු බැල්මටම මාර පෙනුමකි. සැපට හැදුණු බව පෙනෙයි. ඡවි වර්ණය විශේෂිතය. දිලිසෙනා රත්තරන් පාටකි. සාමාන්‍ය පරිගණක සමග වැඩ කරන මිනිස්සුන්ට අයිති වෙන ඉවසුම් සහගත ගතිය පෙනෙයි. කොහොමටත් මේ පිරිමි ළමයින් තුන්දෙනා අතරේ  මම කෙනෙකු සොයමි. අවුරුදු දහඅටේ ඔවුන් සිටින්නට ඇත්තේ කොහොමද? ජාන් සහ මා අපේ කටහඩවල් කවදාවත් හුවමාරු කරගෙන නැත. 


"ඔයාද අපේ මිහිර කියන ෆුඩ් බ්ලොගර්?" 


අචල ආවේ රෙස්ටොරන්ට් එකේ තැන් තැන් වල වූ පින්තූර තැනින් තැනට වෙනස් කර අවසානයේය. ඒ වෙන විට මගේ මිතුරු අතවැසියා මට මොජිටෝ එකක් පිරිනමා අවසන්ය. 


"මං අචල" 

ඔහු මවෙත කීවාම මම මගේ දකුණත පෑවෙමි. ඔහු සුදු දිගු අත මවෙත පෑවේ පෙරටද වඩා හිතවත්කමිනි. 


"මොනවද ඉතින් මිහිර කියන්නේ බ්ලොග් ලියනෙක ගැන?"


"මිනිහ හැම වෙලේම ඔයාලගෙ බ්ලොග් කියවනව.. අලුත් අලුත් කෑම වර්ග මෙහෙට ඉන්ට්‍රඩියුස් කරන්න ට්‍රයි කරනව.. සමහර ඒවා හරියනව. සමහර ඒවා ෆේල් වෙනව.."


අචල සිනහා වෙමින් කියා සිටින්නේය. කෙමෙන් අදුර ගලා ආවේය. 


"මං මේ සෙටප් එකට ආසයි… දන්නවනෙ ඉතින් හීතල රටවල ගුලි වෙලා ජීවත් වෙලා ඇති වුනාම අපි ආසයි ලංකාවට එන්න.. අපේ රට අපේ මිනිස්සු කියන හැගීම කොයි වෙලාවකවත් හිතින් යන්නෙ නෑනෙ"


"අකමැත්තෙන්ද ගියෙ?"


"ඒ දවස් වල නං ඉතින් යන්ග්නෙ. යුනිවසිටි එකකට ගියෙ මං.. පස්සේ එහෙට හුරුවුනා. ජොබ් සෙට් වුනා. මෙහෙ වගෙ බලෙන් කූඩු කරන රස්සාවක් නෙමෙයි නිසා කැමති විදියෙ ලයිෆ් එකක් නිසා එහෙම නතර වුණා."


"මේ වැකේශන්ද?"


"ඔව්.. මං වෙන ප්‍රොජෙක්ට් එකකටත් එක්ක ආවෙ. ඒකට ටිකක් ඇවිදින්නෝන.. තාම ඒ ටික ප්ලැන් කරගන්න බැරි වුනා"


අචලත් මාත් කතා කරමින් ඉන්නා අතරතුර කමුබන් එකට ඇතුල් වුයේ එරන්දය. ඔහු තද නිල් පාට රවුම් කර ඇගේ හැඩයට ළග ටී ශර්ටයක් ඇද සිටි අතර මටත් අචලටත් මඳහසක් පාමින් කෙළින්ම රෙස්ටොරන්ට් එකේ මුලුතැන්ගේ දෙසට ගියේය. 


"කෑල්ලත් ඇව්ත් ඇති" අචල කිිව්වා නොවේ. කියැවිණි. රිදු⁣ණි.ඇයි? කෑල්ල කාගෙවත්ය. කීවේ කවුරුවත්ය. මටට රිදෙන්නේ ඇයි? එරන්ද අප අසලට ආවේ ඇණවුමක් ලියාතියමිනි.


"මොකෝ උඹෙ කුමාරිහාමි කියන්නේ ?"


"වාහනෙන් බහින්න බෑල්ලුනෙ"


"ඇයි එයා වෙන මොකක් හරි ග්‍රහලෝකෙකින් බැහැලලුද?"


"හ්ම්"


පළතුරු බීම දෙක අතට ගෙන ඔහු නික්ම ගියේය. 


" පව් අප්ප.. ඌටත් සෙට් වුනා කෙල්ලෙක්.. කියල එකියක්.කරුමයක්."


අචල කීවේ තමන්ටම වාගේය. 


"ඔයාට නැද්ද කෙල්ලෙක් හරි කෑල්ලක් හරි?"


"මං ලංකාවෙන් යන්න ඉන්නෙ. කෙල්ලෙක් කියන්නේ සෙට්වුනොත් මාර වගකීමක්.."


අචලගේ පසුබිම පැහැදිලි ය. ඔහු මේ කෙල්ලන්ගේ පැටලිලි වලට අකමැතිය.. අපි රෑ කෑම ඇණවුම් කළෙමු. එරන්දත් ආයේ ආවේය..තනිවමය. 


" ඔයා එදා හොඳම වෙලාවටයි කතා කලෙ .. තව පොඩ්ඩෙන් වෙන දේ දන්නවද?"


එහෙම අසමින් මාත් අචලත් වාඩිවි සිටි මේසයේම හිද ගත්තේය. අචල අප දෙදෙනා දෙස බැලුවේ නළල රැළි කරගෙනය. 


"උඹ කොහොමද බිම්මාව දන්නෙ?"


මම දෙදෙනා දෙස බලා සිනාසුනෙමි. 


"බිම්මා?"

එරන්ද මදෙස විස්මයෙන් බැලුවේය. 


"මගුලයි.. උඹ කියන්නේ මේ අර… අර.. ළමයද?"


මට දැන් ගැටළුවකි. 


"මිහිර හැම වෙලාවෙම කියන්නේ එරා.. "


"අපේ මීල්ස් වල ෆොටෝස් දාන ළමයනෙ.."

මට සිනා නැගෙයි. අචල විමතියෙනි. 


"මෙයා මචං, ඊයෙ හරි පෙරෙයිද හරි .. ඕඩ එකක් දැම්ම.. ඕඩස් නවත්තල හිටියෙ. මං අන්තිමට මට තිබ්බ කොත්තු එක මෙයාට දුන්න"


පපුවට දැනිණි.



"ඒකොත්තුවෙ පින්තුරෙකුත් අප්ලෝඩ් කරල තියෙන්නෙ" අචල රිදි හැන්ද අවකාශය ට එරන්ද ව ඇදගෙන ගියේය.ඔහු මුලින් දුරකතනය ඇතුලේ රිදී හැන්ද දැක. ලස්සනට හිනැහිණි. ඉන්පසුව ඉන්. පිටත හරිකෙළින් ඉදිරියෙන් හිඳ ගෙන සිටින මා දැක සතුටින් හිනැහිණි. බිම්මාට තිබුණේ මේ රත්තරන් පැහැයෙන් දිලිසි දිලිසි ඉන්නා තනිකඩ තනි තරුවගේ සිනහවේ ලස්සනට බැදෙන්නටය. එහෙත් ,  ඝන කොන්ඩය අපිලිවෙලට වැවුන රැවුලත් එහෙන් මෙහෙන් මුහුණ පුරා වැවුණු කන් දෙකේ කරාබු දමා ගත් දෙඅතේම ටැටු ඇති කරදරකාරි පෙම්වතියක්ද ඉන්නවාය කියන "සමනළ කන්ද" වාගේ පිං පාට කොලුවෙකු මත්තේ, මේ කුළක් සේ පාවි පාවි අවුදින් අහසින් වැටුණු බිම්මලකට පිපෙන්නට හිතුණේය.

චිම්නි කෝපි 05

 චිමිනි කෝපි - The coffee shop


පස්වෙනි කෝපි කෝප්පය


මා මේ යන්නේ අවුරුදු ගණනකට පෙර චැ‍ට් කාමරයක හමුවු ඇහැට දැක නැති කටහඩ අසා නැති පුද්ගල නාමයක් පසුපස ය යන්න දැන් පැහැදිලිය. කමුබන් රෙස්ටොරන්ට් එක අයිති විය යුත්තේ ජාන්ට පමණකැයි හිතීම විහිළුවකි.


ඉතින් මම කමුබන් රෙස්‍ටොරන්ට් එකට ඇතුළු වුණෙමි. සාමාන්‍යයෙන් මගේ රස්සාවේ ඇති වෘත්තීමය ඉව අනුව ලංකාවේ රෙස්ටොරන්ට් එකක සාමාන්‍යයෙන් නොදකින විදියේ සෙටප් එකක් මෙහි ඇති බව මුලින්ම ඇසට හමුවිය. මුහුදු බඩට ගැළපෙන ආකාරයෙන් සකස් කර තිබු පරිසරයේ නිශ්ශබ්ද භාවය මගේ සිත ගත්තේය.


මගේ රාත්‍රී ආහාරය කුමක් විය යුතුද කියා මා ඒ වන විටත් කල්පනා කර නැත. කෙසේ වෙතත් මගේ කැමැත්ත වූයේ තරමක් මුහුද දෙස බලා සිටීමය. ප්‍රියමනාප තරුණයෙක්, ඔහු හොඳට ඇගපත වැඩුණු කලු කොල්ලෙක්, මා වෙත ආවේ සිනාමුසු මුහුණකිනි. ‍ඒ කියන්නේ පුහුණු සංයමයකින් යුතු වේටර්ස්ලා ට වඩා ඔවුන් ශ්‍රි ලාංකික සත්කාරයෙන් යුතු සාමාන්‍ය මිනිස්සු සේවයට යොදවා ගෙන ඇති බව පෙනෙයි.


“ගුඩ් ඊවිනින් මිස්.. “


ඔහු මවෙත මෙනු පත පෑවේය. මම එය කියවීමට මඳ වෙලාවක් ගත යුතුයැයි සිතුවෙමි.


“මං ටිකක් ඉඳලා ඕඩර් කරන්නංද?”


“ශුවර් මිස්”


මුහුදු සුළඟ අපූරුය. ඒ අතරින් මම රෙස්ටොරන්ට් එකේ සිට පෙනෙන වෙරළ දර්ශන කිහිපයක් මගේ කැමරා ඇසට හසු කරගතිමි.  කෙමෙන් රැ බෝවෙමින් ඇති බැවින් මෙනු එක කියවන්නට පටන් ගත්තෙමි. සාමාන්‍ය කෑම වට්ටොරුවල සිට කිටෝ කෑම වට්ටෝරුවක් දක්වා විවිධාංගීකරණය කරන ලද මේ මෙනු පතම මගේ සිත පැහැර ගෙන තිබේ.


මම වහ වහා එහි පින්තුර කිහිපයක් ලබා ගත්තේ මගේම ජංගම දුරකතනයෙන් එය විවිධ පැති වලින් ආලෝකකරණයද කරගනිමිනි. මේ දෙස රෙස්ටොරන්ට් එකේ අයගේ ඇස් යොමුවි තිබිම ගැන මා සිටියේ අනවධානයෙනි. මට මෙනු පත ගෙනැවිත් දුන් තරුණයා මවෙත එනු දැක මම ඔහුට සිනාසුණෙමි.


“මිස් මෙනු එකේ පින්තුර ගොඩක් ගන්නවා දැකලයි ආවෙ”


“ආ”


“මොකක් හරි ඉෂූ එකක් ද මිස්?”


“අනේ නෑ..”


මම හැකිතාක් “ප්ලෙසන්ට්” මාධ්‍යයෙන් සිනාවක් තවරා ගත්තෙමි. ඔහු ද ඔහුගේ නළුපාට සිනාව පෑවේය. මට ඔහුව මතකයට නැගුණේ එවිටය. ඔහු අර ෆවුන්ඩර්ස් කණ්ඩායමේ සිටි එක්කෙනෙකි. මට දැන් ඔහුව මතකය.


“මේකයි.. මං ෆුඩ් ‍ඉන්ස්ටග්‍රැම් කරන කෙනෙක්.. මට මේ මෙනු එක දැක්ක ගමන් ආස හිතුණා..කමක් නෑ නෙ නේ ද?”


“ආ... අයියෝ කමක් නෑ.. කමක් නෑ මිස්.. මිස් මොකක්ද ලියන බ්ලොග් එක.?.”


මම දෙතොල තෙරපා සිනාසුණෙමි. ඔහු මදෙස විමසිල්ලෙන් බලා හිඳියි.. මේ ජාන් වෙන්නට පුලුවන්ද? මම තිගැස්සී සිටිමි. කොහොමටත් හදිස්සි විය යුතුම නැත. මම මගේ ෆෝන් එකේ ඉන්ස්ටා ගිණුම ඔහු දෙසට පෑවෙමි. ඔහු තරමක් විපිළිසරව මදෙස බැලුවේය.


“ ඔයා කියන්නෙ මිස්.. ඔයා බිම්මාස් සිල්වර් ස්පූන් ලියනවා කියලද, ම‍ං කියන්නෙ මේ එකවුන්ට් එක මිස්ගෙ කියලද?”


මම තරුණයාගේ වික්ෂිප්ත මුහුණ දෙස බැලුවෙමි.කුමක් හෝ අවුලකි.


“දෙයියනේ, මං කවදාවත් හිතුවෙ නෑ.. බිම්මාස් එකෙන් අපේ ශොප් එකට ඒවි කියලා.. මිස්.. මං ඔයාව ෆලෝ කරනව.. ඔයා දාන ඉමේජස් සමහර රෙසිපීස් එහෙම අපි මෙහෙ ට්‍රයි කරන්නත් කතා කරලා තියෙනවා.”


දෙවියනේ... බිම්මාගේ රිදී හැන්ද ලියන්නට පටන් ගෙන කාලයකි. ඇත්ත! ලංකාවේත් කිහිප දෙනෙක් ඔවුන් මා ලියන සමහර ශ්‍රී ලංකන්  වට්ටෝරු ගැන ප්‍රශංසා කර තිබේ. ඒත් මේ අහම්බයකින් මුහුණට මුහුණ හමුවුන ෆලෝ වරයා මගේ හිතේ කුල්මත් සෛල ඇහැරවයි. අනිත් කාරණය මේ අර “ජාන්” වෙන්නට බැරිදැයි හිත අහන ප්‍රශ්නයයි. මම හිතට තරවටු කරමි. දැන් ඔහු වැඩිවියට ආ පිරිමියෙකි. කොලුකමට චැට් බොක්ස් එකක බොළඳ දේ කෙඳිරූ අදෘශ්‍යමාන ඉලන්දාරි හදවත නොවේ.


“මට මේක හිතාගන්නත් බෑ”


මම සෙමෙන් කීවෙමි.


“මිස් ඉස්සෙල්ලම ඕඩ කරන්නකො. අපි කන ගමන් කතා කරමුකො. මට මිස් ගෙන් ගොඩක් දේවල් අහන්නත් තියෙනවා”


ඔහු කතා කළේ රිදී හැන්දේ ඇති හැම පින්තුරයකම ඉතිහාසය ගැන කතා කරන්න අදහසක් හිතේ තියාගෙන වාගේය. මම මා ආස ලංකාවේ කෑමක් ඇණවුම් කළෙමි.


“මං මිහිර...”


ඔහු මට තමන්ව හඳුන්වා දුන්නේය. මම හිස සලා , මගේ නම කීවෙමි.


“මං බිම්මා.. සිඳුමිණි බිම්මාලි පතිරණ. බිම්මා කියලයි හැමෝම කිව්වෙ.. ඒ නිසා තමයි බිම්මාස් සිල්වර් ස්පුන් කියනෙකත් හැදුනෙ”


“ඒක මාරයි මිස්”


“අනේ මට මිස් මිස් කියන්න එපා.. මට ඕක මෙහෙ අහලා එපා වෙලා තියෙන්නෙ.. මට ජස්ට් ම බිම්මා කියන්න”


“හරි හරි... “


“ මං මෙහෙ ගැන දැනගත්තෙ මගෙ යාළුවෙක්ගෙන්.. එයාත් ඔයාලා ගවන්මන්ට් ට්‍රේනින් සෙන්ට එකකදි සර්ව් කරපු මීල් එකකට තමයි පැහැදිලා තිබුණෙ”


මිහිර, මොහොතකට කල්පනා කළේය.


“අපි ගවන්මන්ට් වැඩ කීපයක්ම කරනව. එයාල එක්ක කරද්දි ඉතින් චෙක්ස් එහෙම ගන්න පරක්කුයි. ඒත් අපි කරනව. මොකද ඔයා මෙහෙ‍ට ආව වගේ සයිඩ් වාසියක් පත්තු වෙන්න පුළුවන් නෙ”


“එහෙමනම් මං මෙහෙට ආපු එක සයිඩ් වාසියක්”


“නෑ මං කියන්නෙ , ඔයා වගේ ටොප් ඉන්ස්ටා පේජස් 20 අතරෙ ඉන්න කෙනෙක් කමුබන් එකට එනවා කියන්නෙම නිකම් මිරැකල් එකක් වගේනෙ මිස්.. මං කියන්නේ බිම්මා…”


“මං එහෙම පේජස් කළාට ඇත්තයටම මට එහෙම උයන්න බෑ..”


“ඉතින්.. ඔයා දන්නවද .. අපි මේක කරන තුන්දෙනාම කිසිම දෙයක් ඉගෙන ගෙන නෑ උයනෙක ගැන..”


“එතකොට”


“සෙන්ස් එක විතරයි.. හැබැයි අපි සුපිරි ස්ටාෆ් එකක් තියාගෙන ඉන්නවා”


“ඔයාල ගෙ කවුද එතකොට මේකෙ මැනේජ්මන්ට් එකේ ඉන්නෙ?”


“මමයි , එරන්ද යි අචලයි”


මම හිස ඉහළ පහළ කළෙමි. මම ඒ නම් මතකයේ කොටා ගනිමි. “මමයි එරන්දයි අචලයි” ඉස්සර නම් මා සිතා සිටියේ ජාන් කියන්නේ කිසියම් නමකින් බිදි ආ එකකැයි කියාය. දැනුත් මා නම් කැමති එහෙම හිතන්නටය. ඒත් අර නම් තුන අසාගෙන සිටියදි ඒ අදහසට කුඩුපට්ටම් වෙන්නට සිදුවිය. ඒ කිසි නමකින් ජාන් කියා එකක් බිඳවැටි ගොඩනැගෙනු නොහැකිය.


“ ඔයාලා ඉතින් ශිෆ්ට් එකටද මෙතනට එන්නෙ”


“අචල දවල්ට එනව. මං හවසට එනව. එරන්ද මරදානෙ අනිත් ශොප් එක බලනව"


“ඔයා මොකද දවල්ට කරන්නෙ ඉතින්”


“මං ඉතින් වයිෆ්ගෙ සලොන් එකට සපෝට් කරනව.. මෙතන බලනව.. ඒවා තමයි”


හමුවු පළමු දා ම මිහිර සමග සියල්ල කතා කර ඉවර කරන්නට උවමනාවක් මට නොතිබුණි. කොහොමත් ඒ වන විට බිම්මා, කමුබන් රෙස්ටොරන්ට් එක ගැන පුදුමාකාර උනන්දුවක් ඇතිව සිටින්නියකි. අනිවාර්යයෙන් රිදී හැන්දේ ඊලග පින්තූරය කමුබන් රෙස්ටොරන්ට් එකෙනි. 


මිහිර මට ආයේ බොරැල්ලට එන්නට කුලී රියක්ද කතා කර දුන්නේය. ආයේ එහි එන්නැයි කිහිප වරක් කීවේය. මා කමුබන් පින්තුරයක් දැම්මාම එහි ඔහුවත් ටැග් කරන්නැයි සිහිපත් කළේය. මා අපාට්මන්ට් එකට ආවාම මුලින්ම කළේ ලස්සන පින්තුර සෙවීමය. මේ අපුරු රෙස්ටොරන්ට් එකත් එහි පිහිටීමත්, සාමාන්‍ය , මිල අධික වාගේම සෞඛ්‍යාරක්ෂිත කෑම වේලක් දක්වා විකාශනය වු ඔවුන්ගේ කෑම වට්ටෝරුද ගැන විශේෂිත සටහනක් ලිවීමය. මිහිර කිව් විදියට කමුබන් කළමනාකරණ තුන්කට්ටුවෙන් දැනට විවාහක එකම කෙනා ඔහුය. අනික් දෙදෙනාට එ ගැන ලොකු උවමනාවක් පෙනෙන්නට නැත.සතුටද ඒකය. සමහරවිට "ජාන්" ඒ දෙදෙනාගෙන් කෙනෙකු වෙන්නට බැරිද? 


නර්මදා රෑ , චැට් බොක්ස් එකකට ගොඩ වැදුණාය. අපි ඕපාදුප කතා කළෙමු. 


"ඉතින් රෑට ආයෙ උයන්න මහන්සි වෙන්නෝන නෑනෙ.. එරන්ද ඉන්නවනෙ.. ඔයා කෝල් කරල කියන්නකො. නර්මදාගෙ යාළුව කිව්වත් එයා දන්නව ඒක ස්පෙෂල් කස්ටම කෙනෙකුට කියලා.."


"ම්ම්ම්"


"එරන්දය හෙනම හැන්ඩිය..හම්මේ බං.. උන්ව දැක්කම හිතෙනව මොන මගුලට කලින් කසාද බැදල ලමයි හදාගත්තද කියල."


"එහෙනම් මං කතා කරල ඔන්ලයින් ඕඩ එකක් දාගත්තට පාඩු වෙනේකක් නෑ.."


"හරී… අහංකාරයි..බලහන්කො කතා කරල. අඩුගානෙ ලංකාවෙ ඉන්න ටිකේ හරි.. ඩිලිවරි ෆ්‍රී මීල්ස් ටිකක් ගෙන්න ගන්න"


පසුවදාද මට මගේ අම්මාගේ ඉඩමක් සම්බන්ධ කාරණාවකට හම්බන්තොට ඉඩම් කාර්යාලය ට යන්නට අවශ්‍ය වී තිබුණි. අම්මාගේ නමට ඉතිරිවී තිබු එකම ඉඩමද විකුණා දැමීමේ උවමනාවක් ඇයට තිබිණි. 


"ඉඩම් විකුණන් එපා අම්මෙ. මොකද ක්ශය වෙනව කියලද.. භුමියක් කවදාවත් එහෙම අගය අඩු වෙන් නෑ."


"එහෙම අඩු නොවෙන්නෙ ඔයාගෙ එකවුන්ටන් තියරි වල.. ඕකෙ මොකෙක් හරි ඇවිත් පැලක් අටෝ ගත්තොත්. තේරෙයි මොකද වෙන්නෙ කියලා"


අම්මා කීවාය. ගම්වල මිනිස්සුන් සම්බන්ධ ව අමිමාගේ පළපුරුදු පිළිබඳව මම විවාද නොකරමි. මට එහෙව් දැනුමක් නැත. අදටද මිනිස්සුන් ගේ සටකපට කම් මට කෙලින් තේරුම් ගැනිම තරමකට අසීරුය. 


මුලු දවසම හම්බන්තොට කාර්යාලයක ගෙවාදමා මා බොරැල්ලට එන්නේ අධික තෙහෙට්ටුවෙනි. ඊට වැඩි බඩගින්නකිනි. හයවෙනි මහලේ ඇති පිහිනුම් තටාකයට පනින්නට මට හිතෙන්නේ එවිටය. ඒ වගේම නර්මදා කී විදියට , ඇපල් දුරකතනයට තවම බාගත කර ගත නොහැකි කමුබන් ඇප් එකෙන් පිටස්තර ව දුරකතන ඇමතුමක් ගෙන රාත්‍රි කෑමක් ඇණවුම් කරන්නට මට සිත් වුයේ පිහිනුම් තටාකයේ අඩක් ගිලි සිටියදීය. ඒ තරු කඩා හැලෙනා අහසකි. ඈතින් නෙක වර්ණ විදුලි එලි කෙමිය. නෙලුම් කුළුණ අද වර්ණ ගන්වා නැත. එහෙත් එය එම කුලුණ බව හදුනනු හැකිය. දුරකතනයට කටහඩ එකතු වුයේ එවිටය. 


"මට ඩිනර් වලට මොනාද ඕඩ කරන්න පුලුවන් "


"සොරි මිස් .. මේ වෙද්දි අපි ඕඩර්ස් ක්ලෝස් කරල තියෙන්නෙ.."


"හ්ම්.. එහෙමද.. මොනාවත් පොඩි දෙයක් වත් …ඉතුරු වෙලා නැද්ද?"


"දැන් ගොඩාක් රෑ වෙලානෙ මිස්…"


රෑ අහසක් යට තටාකයක ඉන්නා කෙල්ලකට රැයෙහි දිග පළල ගැන කුමන කතාද? වහා දුරකතනය විසන්ධි කරමින් මම කිරි කෝප්පයකින් සහ "කුකී" කිහිපයකින් සැනසෙමියි සිතමි. හිස් වැසුම සකස් කර නැවතත් දිය යටින් මතුවෙද්දං දුරකතනය යළි නාද වන්නට විය. එය හඳුනන අංකයක් නොවේ. නමුත් ලංකාවේ එකකි. 


" මිිස් මම එරන්ද.කමුබන් රෙස්ටොරන්ට් එකෙන්. මොනව හරි ඩිනර් එකට ඕන කියලා කතා කළා නේද? "


"ඔව්.. මොනවත් නෑ කීවනෙ"


"මොනවද ඕනෙ"


"මොනවද තියෙන්නෙ.."


"ක්ලබ් සැන්ඩ්විච්ස්.. නැත්නම් කොත්තුවක්"


"ඉක්මනින්ම ඩිලිව කරන්න පුලුවන් මොනවද"


"කොත්තුවක්.."


"හා" 


මම අපාට්මන්ට් එකේ ස්ථානිය විස්තර කීමට පටන් ගනිද්දීම ඔහු එතැන දන්නා වග කීවේය. ඉතින් , ගේට්ටුව ළගට පැමිණ කතා කරන්නැයි කියා මම තව මොහොතක් තටාාක බැම්මේ හිදගෙන සිටියෙමි. හිසත් වැහෙන සුදු පැහැ ඇදුමෙන් ඇග වසා ගත්තේ නැවත නිවාසයට ගොස් ඇදුමක් මාරු කර ගන්නටය. එහෙත් ලිෆ්ට් එකට යද්දීම යළි දුරකතනය නාද වෙන්නට පටන් ගත්තේ ය. 




"මිස් මම එරන්ද කමුබන් එකෙන්.. මං මිස්ගෙ මේන් ගේට් එකේ ඉන්නෙ"


දණිහෙන් උඩට තිබුනත් කබායක් මෙන් සිරුර වැසෙන ඇදුම අවුලක් නැත. හිස් වැස්ම ගලවා කොන්ඩය මුදා ගත්තාම තෙතබරිත බව ද නොපෙනෙයි. අනික මේ රාත්‍රියයි. මම ගේට්ටුව අසලට යද්දී සිකියුරිටි වරුන් පුදුමව බැලුහ. එතැනින් එපිට , එදා මා බම්බලපිටිය දි දුටු හයිබ‍රිඩ් රියය. ඒ කියන්නේ කමුබන් හි එරන්දය. 


මා දැකි ඔහු රියෙන් බැස්සෙ රියැදුරු අසුනෙනි.වම පස දොර හැර පාර්සලයක් ගෙන සිනාවී මවෙත ආවේය. එදා දුටුවේ සිනා නැතිවය. අද මේ තරු අහසයට සිනාවකින් මුහුණ පුරවා ගෙනය. මේ මව්වත් හිනාව ජාන්ගේ ආදරණීය හදවතට සබැඳියක් වන්නට බැරිද? 


" තැන්ක් යු"


" අපේ බිස්නස් එකනෙ මිස්"


"හරි… "


මම මුදල් ගෙවා, ගෙදරට ආවෙමි. නුහුරු නුපුරුදු මිනිස්සුන්ට පුරුදු ලෙස දැනෙන්නට හුරු ලෙසින් කතා කරන්නට පුලුවන් වෙන්නෙ කොහොමද ! ඉතින් රන්කඳ,  මං වාගේ සසර සුවඳැති හුරුවක් හොයන බිම්මාලියෙක් එහෙම අසරණ කරන එක පව් නොවෙද?

චිම්නි කෝපි 04

 චිම්නි කෝපි - The coffee shop


හතර වෙනි කෝපි කෝප්පය. 


පිළියන්දල තාවකාලික නවාතැන් පළෙහි ජීවිතය මට තදින් එපා වුයේ අර නර්මදා කී පරිදි දවල් වරුවලට එහි කාමර කුලියට දීම නිසාය. හරියටම නවාතැන් පළෙන් පාරට බැස මීටර් තුන්සියයක් එහායින් ඇති කුලී රථගාල ඕපාදුප නාන ළිඳකට සමාන එකකැයි මා තේරුම් ගත්තේ එහි ගෙවූ පළමු සතිය අවසාන වෙද්දීය. 


"මිස්ට එතන ගැළපෙන්නෙ නෑ. මං මිස්ට ඇනෙක්ස් එකක් බලන්නද?" 


කෙනෙක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය. මම හැකිතාක් කාරුණික ස්වරයකින් ආරාධනාව ප්‍රතික්ෂේප කළෙමි.


සාමාන්‍යයෙන් මේ මිනිස්සු එහෙම පහසුවෙන් උත්සාහයන් අත් නොහරිති. ඔහු යළිත් වෙනත් යෝජනාවක් ගෙන ආවේය. කෙසේ වෙතත් මම බෝඩිම් කාමර සහ ඇනෙක්ස් අතහැර නර්මදා යෝජනා කළ මහල් නිවාස සංකීර්ණය තෝරා ගත්තෙමි. මේ කාලයේ දී ගෘහභාණ්ඩ සහිතව සුඛෝපභෝගී මහල් නිවාසයක් එවැනි කුලී මුදලකට ලබා ගන්නට හැකිවීම කොයිතරම් දෙයක්දැයි තේරුම් කරන්න ට උත්සාහ කළේ නයිල්ස් ය. ඒ මගේ ආසියානු ජානවල ඇති මසුරු ගතිය උවමනාවට වඩා ඉස්මතු වී මා ඒ නිවස කුලියට ගැනීම ගැන අවිනිශ්චිතව කතා කළ හින්දාය.


කෙසේ හෝ මෙරටට පැමිණ දෙවන සතිය පිරෙද්දී මම මා සතු බඩුමුට්ටු ටික පොදි බැඳ ගෙන බොරැල්ල මධ්‍යයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයට සංක්‍රමණය වූයෙමි. කොළඹ නගරය තට්ටු විසි එකක සිට නැරඹීම එක්තරා විදියකට විනෝදය ජනනය කරනාකාරයේ එකකි. එහෙත් කොළඹ නගරයේ අතන මෙතන ඇති රාජ්‍ය ආයතනයන්හි ඇති වෙන තෙක් රස්තියාදු වෙමින් කළුවර වැටෙද්දී නිවසට පැමිණෙන විට තට්ටු විසිතුනක් මතු මහලට ගෑස් පොම්ප වීම ප්‍රමාද වෙද්දී මේ තරම් උසකින් නිවාසයක් තෝරා ගන්නට ඇත්තටම බිම්මා තමුන්ට පිස්සුදැයි විමසන්නට ඉස්සර වෙන්නෙ වැඩියෙන් ධනාත්මක මගේ "සුපර් කොන්ෂස්" එකය. එනම් ප්‍රභලම යටි සිතය. 


ඔහොම ගෙවීයන දවසක මම බිම්මාගේ රිදී හැන්දට එකතු කරන්නට පින්තූරයක් සොයමින් සිටියෙමි. ගාලු මුවදොරෙහි රෑ කෑම කඩවලද, තව තවත් වීදි කෑම කඩ කිහිපයකද රස්තියාදු ගැසූ නමුත් හිතට හරියන පින්තුර ඒ කිසිවක තිබුණේ නැත. එක අතකට ඒ පින්තූර වැරදි නැත. වැරැද්ද තිබුණේ පහසුවෙන් සන්තර්පණය කළ නොහැකි මගේ සිතේය. 


ඔන්න, නොයෙක් වැඩ රාජකාරි හින්දා මට අමතකවී ගිය "කමු බන්" බිරියානි කෑම සැරසිල්ල පින්තූර ගොමුවේ සිට මතුවිණි. ඒ කෑම එකක් ඕඩර් කරනවාද නැත්ද එහෙම නැත්නම් මේ වගේ තෙත්බර ඒත් ලුණු සුවඳ කවන ලද වෙරළ රෙස්ටොරන්ට් එකකට ගොඩ වැදෙනවාද වගේ තෝරා ගැනීම් දෙකකට මැදිවීමය. 


මම ක්ෂණිකව කමු බන් රෙස්ටොරන්ට් ගුගල්හි සෙවුම් තීරුවෙහි ඔබා බලමි. පාට රවුම කිමිදෙයි. අජිත් කී ඇප් එක තවම ඇපල් මෙහෙයුම් පද්ධතිය ට ගැළපෙන්නට සකසා නැත. එබැවින් ඔය කියනා යෙදුම ක්‍රියාත්මක වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ මෙහෙයුම් පද්ධතිය මතය. කමු බන් ගැන මා මෙතෙක් සිතා සිටි විදිය සහමුලින්ම වැරදිය. ඔවුන් පිළිබඳ ඇති රිවීව්ස් බැලුවාම එය මනා කළමනාකාරීත්වයක් යටතේ ක්‍රියාත්මක වන බව පැහැදිලි ය. 


මම ඒ ෆේස්බුක් පිටුවට  ඉන්ස්ටා පිටුවට ගොස් විනාඩි කීපයක් බලා හිදිමි. Founders නම් කැප්ෂන් එකකින් යුක්ත පින්තූරය අවුරුදු තුනක් පැරණි එකකි. සුදු , තරමකට උස එකෙකි.තුනියට වවාගත් යටි රැවුලකි. කැප් එකකි. 

යකඩ කෑමෙන්ම අතපය සවි වෙන්නට ඇතැයි හිතෙන හැගෙන දකුණු ඉන්දීය නළුවෙකුගේ පාටැති තවෙකෙකි. කොන්ඩයක් කියා යමක් හිසේ කොතැනක වත් තිබුණේදැයි සැක හිතෙන තරමට උපන් ගෙයිම තට්ටයෙකි.කමුබන් රෙස්ටොරන්ට් අයිති එහෙනම් මේ තුන් දෙනාටමය. 


මම ඇගිල්ලෙන් දුරකතන තිරය මත ඇති මුහුණු විශාලනය කරමි. ඒ කවුරු ළඟ හෝ මා හොයන ඉතිහාසය තියෙනවාද? මේ සිනාසෙන තරුණ මුහුණු අතර කිසියම් සමීප බවක් තියෙනවාද? 


"බිම්මා ..සාත්තර කියවන්න ලෑස්ති වෙන්න එපා.. ඔයා හොයන දේ හොයාගන්න නම් මීට වඩා ස්ට්‍රැටජිකලි හිතන්න වෙනව ඔයාට.. " ඒ ද බිම්මෙකි. අර සුපර් කොන්ෂස් ගත බිම්මාය ඒ. මම එවෙලේම වොලට්ටුවද ෆෝන් එකද අතට ගෙන පාරට බසින්නට තීරණය කළෙමි. කොළඹ ඇවිදිද්දී සීත රටෙහි ඇදි ගිම්හාන ඇදුම් වලින් ගැලපෙන ඒවා පමණක් බාවිතා කරන්නට මා කල්පනා කරගෙන සිටියේම ඒ නිසාය. ඕනැම වෙලාවක ඕනැම තැනක පාරට බසින්නට ඒ ඒ තැන් වලට වෙන වෙනම ඇදුම් තිබිය යුතු හින්දාය. දුඹුරු පාට දනිස්සට පහලට ඇති කොට්න් බාච්චු කලිසමකට කලුපාට උරපටි බ්ලවුසයක් තදට තඹ පාට කළ කෙටිත් නැති දිගුත් නැති කොන්ඩයක් රෑ අටට වනාතමුල්ල පාරට ගැළපේද මා නම් නොදනියි.


දුම්රියක් ඒමට නියමිත නැති බැවින් රේල්පාරේ හිදගෙන සුරුට්ටුවක් උරන මිනිසෙකි. සමහරවිට දවස තිස්සේ ඇග වෙහෙසවා වැඩ කළ කම්කරු පුරවැසියෙකි. කුඩ්ඩෙකි. රස්තියාදු කාර කොලුවෙකි. බේබද්දෙකි. පවුලගේ කන්කරච්චලයෙන් මිදෙන්නට ආ හිංසනයට ලක්වු බිඩියක් උරන ස්වාමියෙකුද එතැන සිටිය හැකිය. මිනිස් ගුලියකි.එපමණකි.


ත්‍රීවිලරයකට  දමා ගුගල් කියනා පාර දිගේ මුහුදුබඩ මාවතෙහි රෙස්ටොරන්ට් එකක් හොයා යන්නට බලා ඉන්නා කෙල්ලකි. කුඩා කෙල්ලකැයි කියා ගන්නට තරම් නොවන වයසක එකියකි. එනමුදු , හදවත තවම අලුත්ම අලුත්ය. වසන්ත කාලයේ පළමු මල් කෙමිය හිරු එළිය වැද ඇහැරුණා වගේය. 


බිම්මා, දවස් ගණනාවකින් කෙටියෙන් කිවහොත් දෙසතියකින් රිදී හැන්ද කිසිවකින් සරසා නැත. පින්තූර රිදී හැන්දෙන් ගෙන පතුරවාලන ඉන්ස්ටාවරු කීප දෙනෙකි. කෙනෙකු මෙක්සිකන්ය. කෙනෙකු ඇන්ගෝලාවෙනි. තවෙකකු කොල්කටාවෙනි. කොල්කටා එකා ගැන මා වැඩි සැලකිල්ලෙනි. එකක් ඒ අසල්වැසි ආසියාතික රටෙන් බැවිනි. අනික මගේ ආදරවන්ත ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රේයස් අයියර් ඉන්දියානු හින්දු කොලුවකු බැවිනි. මා ගෝලීයකරණය වූ හෙළ කුළ කෙල්ලකි. ඉතින් මගේ ආගම , උප්පැන්න සහතිකයට බෞද්ධය. ඉරිදාට කතෝලික පල්ලියකටද පෙන්තකොස්ත සභාවටද ක්‍රිස්තියානි දේවස්ථාන වලටද මා ඕනැතරම් ගොස් තියේ. ඉස්ලාම් පල්ලියට හිස වසාගනිමින්ද, දුආ පොත් පත් කියවමින්ද මා කාලය ගත කර ඇත. හින්දු කෝවිල් වලට පෞද්ගලිකව පියමනිමින් ඒවායේ ඇති වර්ණවත් සහ සුවඳවත් පහසුව මම මගේ ආත්මයට කවාගෙන ඇත්තෙමි. නයිල්ස් ස්වාධීන පෙම්වතෙකි. ආගමක් අදහන්නට තරමට හිත දූෂ්‍ය නැති බවත් එබැවින් කමා කරන්නට පව් නොකරන බවත් පවසයි. 


ඉතින් රිදී හැන්දේ අනුගාමිකයන් පෞද්ගලිකව පණිවුඩ ගොනුව ටවරින් වර ඇන බලති. ඒ බිම්මා කොහිද කියාය. ඉතින් බිම්මා නැත. එහෙමනම් කතාව එපමණකි. 


සිතියම රවුම් කිහිපයක් වැඩියෙනුත් පෙන්නා මාව කමුබන් පේන මානයටම ගෙන ගියේය. මුහුදුබඩ රෙස්ටොරන්ට් වල පසුපස අයිති මුහුදටය. ඉදිරිපසින් ඇතුල්වීම් සදහා තරණය කළ යුතු අනිවාර්ය දෙයකි ඒ රේල්පාරකි. ඒ මුහුදුබඩ දුම්රිය පාර දිවෙන්නේ ඒ සීිමාවේ බැවිනි. 


ත්‍රීවිලරයට මුදල් ගෙවා මම නැවතී වටපිට නිරික්ෂණය කළෙමි. පාර අයිනේ නවත්වා ඇති වාහන පේළියකි. රෙස්ටොරන්ට් එක දිහාත් අවටත බලද්දී මගේ අවධානය ගිලිහිණි. තද යමක ගැටීමෙන් සමබරතාවය මොහොතකට ගිලිහුණි. වැදුණේ තදයමක නොවේ. තද යමෙකු ගේ උරයකය. එක් අතක දුරකතනයක් කණට තියා ගත් තරුණයෙකි.දකුණතෙහි කාඩ්බෝඩ් පෙට්ටියකි. මා දිහා බලා සිටින්නේ අවුලක්දැයි විමසන බැල්මකි. මම දකුණතෙහි මහපටැගිල්ල පෙන්වීමි.


හෙතෙම මට හුරුය. හුරුවන සබැඳිය අමතකය. ඔහු අර පෙට්ටියද අතට ගෙන සුදු පාට සිවික් එකකට නැගි දොර වසා ගත්තේය. මම මෙතෙක් කල් විශ්වයම පීරා හොයා ගත් නිධානයට පිවිසෙන්නට තව තත්පර ගණනකි. හදවත දිඩික් දිඩිකා මිසක ලබ් ඩබ් වගේ සාමකාමි  ස්වර වලින් ගැහෙන්නේ නැත.

චිම්නි කෝපි 03

 03 වන කෝපි කෝප්පය 

----------------------------

අජිත් ගමන් කල සන්සුන් විලාසයෙන්ම ආපහු හැරී ආවේ කාර්යාලයක එහා ඉම සිට මෙහා ඉමට කෑ ගැසීම තරම් නොවන නිසා විය යුතුය. කෙසේ වුවත්, ඔහු ළග මට උවමනා පිළිතුර ඇත්දැයි මම ඇත්තෙන්ම 

නොදනිමි. ඒත්, උත්සාහය පාඩුවක් නොවේ. 


“මේ රෙස්ටොරන්ට් එක ගැනද මිස් අහන්නෙ?”


“ඔව්. ඒක කොහෙද තියෙන්නෙ?”


“ මැරයින් ඩ්රයිව් එකේ.. රෙස්ටොරන්ට් එක තියෙන්නෙ. ඒත් එයාලා ඔන්ලයින් ඩිලිවරි එක කරන්නෙ මරදානෙ තැනකින්. සේම් ඕඩර් එකම රෙස්ටොරන්ට් එකෙන් ඩයින්ඉන් කරන්න පුලුවන්”


“මේ දාලා තියෙන නම්බ එකෙන්ද ඔන්ලයින් ඕඩ කරන්න තියෙන්නෙ?”


“ඔව් මිස්.. අපේ මිස් නම් එයා‍ලගෙ ඇප් එකෙන්ම ඕඩ කරනව”


“වාව්.. ඒ ගොල්ලන්ට ඇප් එකකුත් තියෙද?”


“ඔව්.. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියනව කමු බන් කියලා”


“කාගෙද අප්ප ඒක..”


“පොඩි කොල්ලො කීප දෙනෙක් ඉන්නෙ නම් මිස්.. හැබැයි හරිම රසයි.. හරිම පිරිසිදුයි..”


අජිත් තවත් කෑම විශ්ලේෂණයෙහි යෙදවිය යුතු නැති නිසාම මම ඔහු නිදහස් කර යවන්නට තීරණය කළෙමි. ජීවිතය කරන්නේ මහ අමුතු දේය. මා මේ කරන්නේ රස වත් නොබැලු කෑම පතක් ඉපදුණු කඩයනක උප්පැන්න සහතික සෙවිමකි. නැත. එහි වරදක් නැත. හේතුව ලෙස මා දකින්නේ සෑම වැඩකදීම එහි පිළිවෙල අත්‍යවශ්‍ය බවය. පිළිවෙල වාගේම කෑම සම්බන්ධ කාරණාවකදී නම් පිළිවෙත ය. 

ඉතින් බිම්මා දැන් තීරණය ගෙන අවසන්ය. අනිවාර්යෙන් ලංකාවට පැමිණි බිම්මාගේ පළවෙනිම රාජකාරිය වෙන්නේ අපූරු රෙස්ටොරන්ට් එක ගැන ලිවිමය. එහි පින්තුරයක් සොයාගෙන දැමීමය.


ඔන්න මගේ යෙහෙළිය ආවේ එවිටය. මා ඇගේ කාර්යාලයේදී අප්‍රමාණ වටිනාකමකින් යුක්ත නිදන් වදුලක් සොයාගත්තායින් පසුවය. දැන් ඔයාලට පුදුමයි ! එහෙම නේද? නිකම්ම නිකම් රෙස්ටොරන්ට් එකක් කොහොමද නිදන් වදුලක් වෙන්නේ? ම්ම්ම්.. මට ඔබට ඒ ගැන කියන්නට යම්කිසි කාලයක් අවශ්‍ය වේ. එබැවින් නිදන් වදුල පිළිබඳ කතාව මම මොහොතකට කොමාවකින් වෙන් කරමි. වර්තමානයට පිවිසෙමි. ‍නිදන් වදුලක් සොයාගත් පමණින් ඔබට නිධානයක් ලබා ගන්නට නොහැකිය. දන්නා තරමින් හැම නිධානයක්ම රකිනා බහිරව නම් ලද අදිසි කෙනෙකු එතැනට මන්ත්‍රබලයෙන් බන්දා ඇතැයි කියනා කතාවකි. ඔබත් අනිවාර්යෙන්ම අසා ඇති. ඒ වගේම ය ඔය බහිරව නම් ලද්දා නොයේක වේශ වලින් පැමිණිය හැකිය. මගේ අම්මාගේ අම්මා තාත්තා හා මුතුන් මිත්තන් විසින් හේන් ගොවිතැන් කරනා ලද හම්බන්තොට මිද්දෙණිය නම් නගරයට සම්බන්ධ කුඩා ග්‍රාමයක් වන මොරකණුවැව නම් ලද වැව පෙනෙන මානයේ කුඩා කුරුළු අඩි සටහන් ලියනා ලද ගලකි. මට මතක විදියට මගේ නෑනලා හැමවිටම කළේ මේ ගල පෙන්වා මෙහි නිධානයක් ඇති බවත් එය රකින්නට නිරන්තරයෙන් නාග පවුලක් එහි සැරිසරන බවත් කීමය. ඉතින් නිධන් ගල් සියල්ලම රකින්නට කිසිවෙකු සිටියේය. සිටින්නේය. එබැවින් මේ නිධානය ද පහසුවෙන් කිසිවෙකුට අත්පත් කරගන්නට ඉඩ නොදෙන කිසියම් බහිරව බලවේගයක් ඒ අවටද අනිවාර්යෙන්ම ඇතිය මම සිතමි. 

අවුරුදු ගණනාවකින් එකිනෙකා හමුවීම යෙහෙළියන්ට ලැබෙන වරප්‍රසාදයකි. වාසනාවකි. ත්‍යාගයකි.ආශිර්වාදයකි. හේතුව මා නර්මදාට ආදරේ එකය. ඇය මා වෙනුවෙන් අපරිමිතව සහ අසීමාන්තිකව පෙ‍නී හිටිනා එකය. ඒ කාලයේදීද 

නයිල්ස් සහ මා අතර ඇතිවෙන මහා සංග්‍රාම අවසන් වන්නේ නර්මදා කැඩි කැඩි වුණත් නයිල්ස්ට කතා කරනා ඉංග්‍රීසි හින්දාය. වචන ම නොවේ. ඒවායින් කුළු ගැන්වෙන අර්ථ හින්දාය.


සමහර වෙලාවල නයිල්ස්ට ආපහු මා සමග මිත්‍රවෙන්නට සිදුවෙන්නේ නර්මදා නිරන්තරයෙන් භාවිතා කරන ඉංග්‍රීසි කතා කරන වෙලාව‍ේත් අතරමැද්දෙන් එල්ලන කුමක් හෝ සිංහල වචනයක තේරුම අසාගන්නටය. 


“මොකක්ද බිම්මා..අර නර්මදා කියන ඉතින් කියන වචනෙ මීනින් එක”


ඉතින් නයිල්ස් නර්මදා සමග සිංගිරිසි කතා කරන්නට පටන් ගත් අතර නර්මදා කිසිවිටෙකත් සිට කැඩුණු ඉංග්‍රිසිය පැහැදිලි චතුර ඉංග්‍රිසියක් කරා අ‍ප්ඩේට් කරගන්නට උනන්දු වුයේද නැත . හේතුව ඇගේ හොදම මිතුරියගේ ස්පැනිශ් පෙම්වතාවත් සිංගිරිසි කතා කරන්නට පොළඹවා ගත්තාය කියා ඇය ඇතිකරගත් මාන්නයය.


“ඉතින් ඉතින්.. කොමද මගේ නයිල්ස් කොල්ලට?”


“ඉන්නවා ඉන්නවා ඉතින් එයා දිගටම වැඩනෙ”


“පව් බං එක්ක එන්න තිබුණෙ”


“ටික දවසක් ඉන්න ඒවි.. එයා කියන්නෙ මේ වගේ සදාකාලික සමර් එකක් තියෙන රටක හැමදාම ඉන්න හිතේවි කියලා”


“පව්බං.. උන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ තියෙන සම්පත් වලින් මේ රටේ මිනිස්සු උපරිම ප්‍රයෝජන ගනිමින් ඉන්නවයි කියලද”


“නෑ එයා දැන් ලංකාව ගැන ඇත්තටම ප්‍රැක්ටිකලි හිතන්න පටන් අරන්”


මම වරින් වර කමුබන් රෙස්ටොරන්ට් හි කඩදාසි බෑගය දෙස බලමි. 


“ඇත්තමයි බිම්මා.. මං ආසාවෙන් හිටියෙ උඹත් එක්ක එළියට ගිහිල්ලා කන්න. කෝ ඒත් අද තියෙනව හතරට ජීවන වියදම් කමිටුවට රැස් වෙන්න”


“ඒක රැස් වෙලා මොකද කරන්නෙ”


“ඉහළම ඇමතිලා කට්ටියක් එනවා. මිනිස්ට්‍රි වලින් කරුණු පැහැදිලි කරන්න වෙනම සෙට් එකක් එනව. ඒ ගොල්ලො කතා කරනව. සියල්ලන්ගෙ තොරතුරු සාකච්ඡා කරල බලල විසිර යනව. ඇනුවලි මීට් වෙන්න ඕන මීටින්ස් ගාණක් තියෙනව. මුලිකම දේ ඕක පවත්වන්න ඕන වාර ගාණ පවත්ව ගන්නෙක”


“ එළියට ගිහින් පස්සෙ කන්න බැරිය”


“බිම්මා.. අපි දැන්මම කමුද? මට හරි බඩගිනි”


මම ඇ‍‍ගේ පසුපසින් ඔවුන්ගේ විවේක කාමරයට ඇදුනෙමි. එය පිරිසිදු මේසපුුටු තියා ඇති කුඩ‍ා ඒත් පිළිවෙල තැනකි. මං ඔබට කලිනුත් කීවේ ඒකය. මොනවා උනත් කෑම හදනා තැන විකුණන තැන වගේම ඒ කෑම කන්නට නියමිත තැනත් පිළිවෙලව මෙන්ම පිලිවෙත්ව පවත්වා ගත යුතුය.. 

බිම්මා, ‍කෑම ගැනම ලියන කෑම පින්තුර ගන්නට තාක්ෂනිකව දන්නා එකියකි. ඉතින් හදිසියේ ලියුමක් අත්සන් කරන්නට ආයේ කාර්යාලයට ගිය නර්මදා එනතෙක් මම කමුබන් රෙස්ටොරන්ට් එකෙන් ගෙනා කැම මේසය මත අඩුක් කළෙමි. ‍ෆෝන් එකේ කැමරාව මානා මංගල උත්සවයකදි මනමාලියට දෙන වදයට සමාන වදයක් බිරියානි එකට රසම් කෝප්පයට සහ සුදු සම්බෝල කප් එකට දුන්නෙමි. අනික් වැසු කෝප්පයෙහි ගුලාබ්ජමුන්ය. නර්මදාගේ තේරිමුත් නරකම නැත. කෑම සම්බන්ධයෙන් ඇගේ සාක්ෂරතාවයට ඔන්න මගෙන් ආචාරයකි මේ.

“ආව්”

“ඇයි”

“උඹ නම් සෑහෙන්නම වෙනස් වෙලා බිම්මා. ඒ දවස් වල බතක් පොල්සම්බෝලයක් උයන්නැති එකෙක් නෙ උඹ”


“ආ... දැනුත් මං නම් උයන් නෑ ඉතින්”


“එහෙනම් කෝමද කෑම ගැන ලියන්නෙ?”


“කෑම ගැන ලියන්න උයන්න ම ඕනෙ නෑ.. උඹ බිම්බෝම්බ ගැන ලියන්න කිව්වොත් ඒකක් පත්තුකරන්න හරි කොහේ හරි ගෙනිහින් සෙට් කරන්න හරි යන්නම ඕන නෑනෙ”


“අම්මේ උඹගෙ තර්ක.. කමු කමු බං”


 කනාතරතුර මම නර්මදාගෙන් කමුබන් රෙස්ටොරන්ට් එක ගැන විස්තර අහන්නට හිතාගෙන සිටියෙමි.ඔය නර්මදාට මට කලින් මා කියැවීමේ මොකක්දෝ පුරුද්දක් තියේ. 


“රහයි නේ? බලපංකො.. අනිත්තෙක නම... කමු බං.. උන් “බන්” එකක් කමු  කියලා හිතන් ඒක දැම්මත් අපිට දැනෙන්නෙ හෙන ෆැමිලියර් විදියට නෙ.. යමං යමං කමු බං වවගේ නේ..” 


නර්මදා සිනාසෙමින් කියයි. ඒ අතරේ කුකුල් අණ්ඩ කඩයි. පමණට රෝස්ට් වී ඇති තැන් බල බල හපයි. මම ඇගේ වින්දනීය කතා බහ අසමින් කනවාට වඩා රස විඳිමින් සිටිමි.


“උඹ දන්නවද මං කොහෙන්ද මේ ගොල්ලන්ව හොයාගත්තෙ කියලා..”


“ම්හ්.. නෑ.. කියහංකො”


“දවසක් අපට තිබුණ මචං මිලෝදා එකේ ට්‍රේනින් එකක්.. ඒකෙ ලන්ච් එක ගෙනැල්ලා තිබුණෙ මෙයාලගෙන්.. ඒකෙන් තමයි ඉතින්. “


නර්මදා කතා කළේ හරියට කමුබන් සමග සදාතනික සම්බන්ධයක් ඇති කරගත්තේ එදා ‍වගේ හරි ආඩම්බරයකිනි. මම සුසුමක් හෙළුවෙමි.


“ඒක කවුද කරන්නෙ කියලා වගෙ අයිඩියා එකක් උඹට නැද්ද?”


“ම්ම්ම්”


නර්මදා මඳක් කල්පනා කළාය. ඇත්තෙන්ම මා ඉදිරියේ මේ වාඩිවි ඉන්නා මේ අමාත්‍යාංශයේ එක් අංශයක අධ්‍යක්ෂවරියක වන බෝල පෙනුමැති හුරතලියගේ හැම ඉරියව්වක්ම තාරුණ්‍යයේදී තරමටම නාට්‍යානුසාරය. 


“ කොල්ලො සෙට් එකක්.. උන් ටික මාරයි.. ගේනව කියන වෙලාව පරක්කු වෙලා අපි කම්ප්ලේන් කළොත් මාර ෆ්ලෙක්සිබල්. උන් කියනව අපෙන් ඔයාලා කෑම ඉල්ලන්නෙ බඩගිනි නිසා. අපි දැනගන්නෝන ඒක හරිම වෙලාවට ඩිලිව කරන්න කියලා.කන්න ඕන වෙලාවෙ ඒ කෑම එක තියෙන එකෙන් බඩත් පිරෙනව ඒ වගේමයි බඩට වඩා හිත පිරෙනව කියලා”


“මාර තින්කින් එකක්නෙ”


“මාර මාකටින් ටෙක්නික් එකක් ඒක”


නර්මදා බොහෝදේ ගැන බැලුවේ එහෙම තාක්ෂණික ඇසකිනි. මා බැලුවේ ඉන් ලැබෙන මානුෂික දේ ගැනය. මගේ හැගිම්බර දැක්මෙන් අවාසි වෙන්නට‍ හදන බොහොමයක් තැන් වලදී මාව බේරාගත්තේ නර්මදාගේ ඒ තාක්ෂණික දැනුම බව කිව යුතුමය. 

අපි කාබී අහවරව ඊලගට කළයුතු දේ සැලසුම් කළෙමු. 


“මම ඉක්මණට උඹට ඉන්න හරිහමන්  තැනක් බලන්නම්. අපි අපාට්මන්ට් එකක් ලැස්ති කරගම්මුද?”


“ලොකු ගණන් වලට එහෙම ඉන්න අදහසක් මට නෑ..”


“මෙහෙමයි බං. එක්කො රෙන්ට් එකට තැනක් ලෑස්ති කරගන්නෝන. පොඩි ඇනෙක්ස් එකක් එහෙම නැත්නම් අපාට්මන්ට් එකක්. මට හිතෙ‍න්නෙ අපි දවස් ගණන් ඇනෙක්ස් බලනවට වඩා අපාට්මන්ට් එකක් ලැස්ති කරගන්නෙක හොදයි කියලා.. මොකද මං දන්න විදියට අපාට්මන්ට් වල ගාන පොඩ්ඩක් වැඩි වුනා‍ට ලංක‍ාවෙ කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් තැන එතන”


“ආරක්ෂාව ගැන හිතුවොත්ද”


“ඕ.. උඹ දැන් ඉන්න තැන වුණත් මට හිතෙනව කෙල්ලන්ට කොල්ලන්ට කුලියට දෙනව ඇතියි කියලා” 


එහෙම කිව්වාම ඇග කිළිපොලා යන තරම් ශිෂ්ට මානසිකත්වයක් මට නැත. මා මෙතෙක් ජීවත් වූ පරිසරය වූ කලි ස්වභාව ධර්මයට මිනිස්සුන් ලංවිය යුතු බව විශ්වාස කරමින් මිනිස්සුන්ට සිය ඇඳුම් උනා දමා හැසිරිය හැකි මුහුදු වෙරළවල් ගංගා තිරයන් සහ උත්සව වලට යාහැකි විදියේ සංස්කෘතියක් සහිත එකකි. 


“ බලමුකො”


 අවසානයේ දිගින් දිගටම කතා කර කෙළවර නර්මදා කී පරිදි බොරැල්ලේ මධ්‍යම පාන්තික නිලධරයන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කර ඇති මහල් නිවාස සංකීර්ණයකින් මාස කිහිපයක‍ට කුලියට ගන්නට මම කැමති වුවෙමි. මා ලංකාවට ආවේ මගේ මියගිය තාත්තාගේ නෑදෑයින් කිහිප දෙනෙකුට වත්කම් බෙදාගැනිම සම්බන්ධයෙන් තිබු ගැටලුවක් නිරාකරණය කරන්නට මගේ අත්සන වැදගත්වු නිසා මෙන්ම හිතේ විවේකයක් හොයා ගන්නට තදින් උවමනාවි තිබුණ හින්දා ය. 


“ගොඩක් කල් ලංකාවෙ ඉන්න යන්න එපා.. “ 


මගේ අයියා සමග වෙනත් රටක පදිංචි වි සිටිනා අම්මා කීවේ හුගක් දුර සිතා බලාය. 

එහෙත් ඒ හැමදේටම වඩා මගේ අරමුණ වෙනස් වී තිබේ. දැන් මේ කොමෙදෝ සිට පැමිණි රෙස්ටොරන්ට් එකක් හොයා ගන්නට මගේ හිත වෙනස් වී තියේ. මට මෙහෙම හිතෙන්නට හේතුව ඊ ළඟ දවසේ බම්බලපිටිියේ කමුබන් රෙස්ටොරන්ට් එකට ගිහින් ආවාම ලියන්නට හිතාගෙන හිඳිමි. 

ත්‍රිවිලරයේ යද්දි දෙපසින් වැදෙන සුළං රැලි මගේ කම්මුල ්මත දැවටෙයි. විදේශගත වෙද්දී අමාරුවෙන් කරටියෙන් කඩාගෙන ගිය මගේ කියනා හැගිමෙන් මිදී ජීවත් වෙන්නට හැකි වුයේ ටික කලකි. ආයේ මගේ රටේ මුල් මගේ රටේ පොළොවේ පස් යටින් දළු ලා වැඩෙන්නට පටන් ගෙන ඇත.


මගේ පුනරුද කලාපය 06

  ටික වෙලාවකින් අමයුරු බලාපොරොත්තු බිඳිලා ගිය බැල්මකින් සුක්කානම තට්ටු කළේ ඉතා දිගු වාහන පෝලිමක බලා සිටිමේ අපහසුතාවය හොඳටම දැනිලා වෙන්න ඇති....