Friday, April 17, 2026

OLIVE 06

 Olive 06

රටා රහිත යුවතිය


Flat white කෝපි බඳුන අවසාන වන්නට ආසන්නය. නමුත් එය සෑහෙන වෙලාවකින් අල්ලා වත් නැත. ඔහුගේ ඇගිලි කීබ⁣ෝඩ් එක මත වේගයෙන් දිව යයි. නතර වෙයි. බලන බැල්මට ඔහු කල්පනාවෙන් වැඩ කරනා සාමාන්‍ය කෝපි ප්‍රේමියෙකු ලෙස පෙනෙයි. 

එහෙත් , ඔසඳ සම්බන්ධයෙන් කිසිවිටෙකත් කිසිවක් අහම්බයක් ලෙස සිදු න⁣ොවනෙ බවක් කිසිවෙකු නොදනිති. ඔහුගේ ඇස් නිකමට කිසිවක් මත නොගැටෙයි. ඒවා හැම මොහොතකම පවතින්නේ ගණනය කිරීමකය.

ඔහු ඉදිරියේ මේ තිබෙන ලැප්ටොප් තිරය නිකමට ක්‍රියාත්මක වෙනවාද නොවේ. එය පුරාම විවිධාකාර අකුරු මතින් ස්ථාවර වන අවස්ථාවන්ය. කලබල මීමැසි ගොමු වන් දත්ත සංසරණයන් සිදුවේ. ඉලක්කම්, ඒවා අතර හිටි හිටි ගමන් අවශ්‍ය තීරණයන් මිලි තත්පර ඇතුළත ගනු ලැබේ. නමුත් බාහිර ලෝකයට ඒ කිසිවක් නොපෙනේ. පෙනෙන්නේ තරුණ මිනිසෙකු කෝපි බදුනක් බොනු පමණ කි. 

.සවුමි ඔහු දෙස බැලුවෙ සැලකිල්ලෙනි. එහෙත් ඒ නිකම් කෝපි එකක් ⁣බොන්නට එන හුරු කෙනෙකු දෙස බලන බැල්මකිනුත් නොවේ. 

ඔසද ඇගේ බැල්මත් ඇය නගනලා සිනහවත් දුටු නමුත් ඒ ගැන අවධානය ක් දක්වන බවක් නොපෙන්වා ඉන්නට ප්‍රවේශම් සහගත වුවේය. නමුත් හිතැතුළේ කිසිවක් තැනක සිට තැනකට විතැන්වීමක් ! ඔහු flat white උගුරක් වෙනුවෙන් සිය ⁣කෝපි කෝප්පය දෙතොලට ළං කරගත්තේය. 

සවුමි කෝපි ප්‍ර⁣ේමින් ගණනාවකට අයිති වි තිබිණි, ඇය යළිත් ඔහ ඉන්නා තැන බැලුවේ වත් නැත. ඇගේ අවධානය නැතිවු සැණින් ඔහු සිය ජංගම දුරකථනය අතට ගෙන කිසිවක් පරිකෂා කළේය. ලැපටොප් තිරයද යතුරු පුවරුව ද ක්‍රියාත්මක විය. ගැහැනු ළමයා දුටු පමණින් විලම්බීත වු හිතකින් ඇයට තමන්ව නිරාවරණය කරගත් අනුවණකම නිවැරදි කරගත්තේය. නිශ්ශබ්ද අණක් ක්‍රියාත්මක විය. ඔහු ඇයට දී තිබු QR කෝඩයේ ගමනාන්තය වෙනස් විය. අවසානයේ ඒ “ඔහු” නොවේ. නිකම් ටෙක් කම්පැනියක අංකයකට දිශාගත වී තිබේ. සියල්ල සන්සුන් වත් පැහැදිලි වත් අවසන් විය. ඇය ඒ කෝඩ් එක ස්කෑන් කළහොත්, ඔහු පිලිබඳ අංශුමාත්‍රයක් ඇයට සොයාගත නොහැකි වන්නේය. දැන් ඔහුට ඇය අවදානම් සහගත ද්වාරයක් නොවේ. 

සවුමි, තවමත් ඔහු දුන් qr කෝඩ් එක ස්කෑන් කරනැත. එය ඇයට සිදුවු අත්වැරැද්දක් නොවේ. එය ඇය පිලිබඳ ඇගේ හැසිරීම් රටාව පිලිබඳ වැදගත් දත්තයකි.ඔසද අහම්බ ගැන විශ්වාස කරන්නේ ම නැත. ඔහු විශ්වාස කරන්නේ , හැසිරීම් රටාවන් ය. දත්තයන් ය. 

කැෆේ කොණක ලී මේසයක් ළඟ වාඩිවී සෙමෙන් බී අවසන් වෙන්න ආසන්න flat white කෝපි කෝප්පයක් අතෙහි තබාගෙන ඔහු ජීවිතය ඔහු විසින් සාදා නිමකරන්නට යෙදුණු ඇල්ගොරිදම් එකක් සේ ගලායනු බලා හිඳින්නේය. 

මිනිස්සුන් නැවත නැවත පැමිණෙති. 

ඔවුන්ගේ පුරුදු වෙනස නොවී පවතී.

ඔවුන්ගේ හැගීම් විසින් ඔවුන් නිර්මාණය කරන ලද තේරීම් අනුගමනය කරන ලදී. කෙනෙකු පැමිණ ඇත. ඔහු ඊයේ ඇණවුම් කරන ලද කෝපි වර්ගයම ඇණවුම් කරන ලද අතර මේස දෙකක් එහායින් එකක් අවට හිඳ ගත්⁣තේය. සෑම විනාඩි තුනකට වරක්ම සිය ජංගම දුරකථනය පරීක්ෂා කරන්නේය. 

සරසවි ශිෂ්‍ය කණ්ඩායම ක ආටොප මවාගත් යුවතිය විහිලුවක් නොවන කතාවකට හඩ නගා සිනාසෙන්නීය. සරසවියෙ වැඩ කරන තරුණ ලිපිකරු යුවල අමනාපයක් සගවා එකිනෙකා දෙස නොබලන්නට ප්‍රවේශම් වෙති. 

මේ සියල්ල තුල එක්තරා රටාවක් පවතී.

හැමෙකක්ම කියවා ගත හැකිය.

අනුමාන කළ හැකිය. 

ඇය හැර….

සවුමි , ඇය අනුමාන කළ නොහැකි හැසිරීම් රටාවක් පෙන්වයි. ඇය විටෙක කෝපි හල මැද උන්හිටි ගමන් නතර වෙයි. හොදින විවේක ගන්වා ඇති අමු අලුත් මලක් කොනිතිගසා එහි සාමයේ සැතපීම බිඳලයි. 

මිනිස්සුන් දෙස සුපරීක්ෂාකාරී ලෙස විමසිල්ලෙන් බලයි. ඒ බැල්මෙන් ඇය කිසිවක් කියවා ගන්න උත්සාහ කරන විදියක් පෙනෙයි.ඉතින් අන් කිගේ හැසිරීම් වල අනුමාන කළ හැකි රටාවක් පැවතිය ත් සවුමි ට පැහැදිලි රටාවක් නැත. 

එක්කෝ ඇයට මේ සිදුවන සියල්ල ගැන විමර්ශන ඇසක්නැත. ඕනෙ දෙයක් සිද්ධ වුනාවේ වැනි හැගීම් ඇය තුල ඇත. එසේ නොවේ නම් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සියල්ල ක්‍රියාත්මක වෙයි.  ඔසද සිය ලැප්ටොප් තිරය වසා දැමුවේය. කෝපි කෝප්පය ද අවසාන වී ඇත. 

ඔහු සිය අඩුම කුඩුම ද රැගෙන පිටවන්නට පෙර ද ඇය දෙස බැලුවේ ය. ඇය හොදටෝම කලබලය. ඔහු නික්ම යන්නට හදන බව නොදන්නවා වාගේය. එහෙම නැත්නම් යන්න හදනා බව හොදටෝම දැන දැනත් ඒ වගක් නොදත් බවත් අගවන්⁣නෟය. 

ඔහු ආ ⁣මගෙහිම ආපසු ඇවිද ගියේ නිශ්ශබ්ද ව, නොදන්වාමය. නමුත් ඔහු නික්ම ගියේ නිකම්මද නො⁣වේ. ඔහු නික්මී ගියායින් පසුවද, නොහදුනන කිසිවක් අවකාශය තුල ඉතිරිව තියේ. ඒ ඔහු උන තැන අමතකව ගිය කිසිවක් නොවේ. 

ඒ හදුනා නොගත් වස්තුව ඉදිරිපත් ව තිබු⁣ණේ මේ අපුර්ව මිනිස් රටා උපදින අවකාශය තුළමය. ඔහු හා පැහුණු කුමක් හෝ යමක් …

සවුමි ඒ නික්ම යාමෙන් මොහොතක ට ගල් ගැසුණාය. නමුත් ඔහු පැමිණි පසු කිසිවක් වෙනස් යැයි දැනුණත් ඒ හැර අනික් සියල්ල ම වෙනස් නොවී පැවතිණි.

Wednesday, April 15, 2026

OLIVE 05

 






05


ජීවිතය තිත්ත කලු ක⁣ෝපියකින් එහාට… 


කැෆේ සික්ස්ටි සික්ස්ත්, කෝපි කඩයේ ඉන්නා කොපි හදන බෙදන කෙල්ල ගැන ට වඩා ඔසද සැලකිලිමත් වුයේ එය පිහිටි තැන සහ වටපිටාව ගැනය. ඇත්තෙන්ම තමන් තුල වෙසෙන පිරිමි ආත්මයට උවමනා ගැහැනු හැඩය පිලිබඳ මෙතෙක් තමන් වත් සිතා නොමැති බව සිතද්දී මුව අගකින් සිනාවක් නැගෙන්නේ නිතැතින්ය. 


අලු පැහැ කමිසයත් ඒ උඩින් පැලඳි දුඹුරු පැහැ ඒප්‍රන් එකත් ඒ මතින් පැහැපත් ගෙළ දිගේ උඩට එන ඇස් දෙකකට ඇගේ නිකටත් ඊට මත්තෙන් වන කුඩා එහෙත් පිරුණු දෙතොලත් ඇගේ කතා කරන දෑසත් හමුවීම වැළැක්වීමට නොහැකිය. ඔසද වාග⁣ේ පිරිමින් ගෙු පිරිමි ඇස් රැදෙන්නේ ඒ ළමැදේ හෝ දෙතොලේ නොවේ. ඒ දෑස තුලය. 


ගැහැනු උවමනා නම් උන් සොයා ගන්නා ආකාරය සහ සොයාගත් ගැහැනු සමග ගණුදෙනු කරන විදිය ගැන අවබෝධයක් කොහොමත් ඔහුට තිබේ. එබැවින් ඔසද අදටද ආදරයෙන් පෙළෙන මිනිහෙකු නොවේ. ඔහු ආදරය වින්ද ම්නිහෙකු පමණ කි. යමක් විඳ අවසන් වු පසු කිසිවිටෙකත් ඒ ගැන හිත හිතා විනෝද වීමක් හෝ පසුතැවීමක් ඔහුගේ ජිවිතය තුල තිබි නැත. 


කෙසේ වෙතත් ඔසඳ නැවතී සිටි මහල් ගණනාවකින් යුක්ත සුපිරි මහල් නිවාස සංකිර්ණයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක නිලධාරින්ට සිනාසී ඇවිද ගියේය. සාමානයයෙන් මේ වෙලාවට සිය ලැප්ටොප් බෑගයද කරේ ලා ගෙන ඩෙනිම් කලිසමකට කලු හෝ ඔලිව් කොළ පැහැයට හුරු, හෝ සමාන වර්ණයකින් යුක්ත උඩුකය වැස්මක් ඇඳගෙන පිටතට යන තරුණයා ඔවුන්ට හුරු කෙනෙකි. මහල් නිවාසයේ නිවෙස් අයිතිකරුවන් බොහොමයක් විසින් මේ නිවෙස් කුලී පදනම මත ලබා දී ඇති බැවින් ඒවායේ වෙසෙන සෑම නිවැසියෙකු ගේම තොරතුරු ආරක්ෂක අංශය විසින් දැනුවත් නැත. ඔවුන්ට ඒවා පිලිබඳ වැඩි උවමනාවක් ඇති බවක්ද නොපෙනෙයි. කෙසේ වෙතත් ඔසඳ මෙහි පදිංචියට පැමිණඒ තරම් කාලයක් නැත. ඔහුට මෙතැන වඩාත් පහසු තැනක් ලෙස ඔහු සලකන්නේය. 

සවුමි ට මේද ඇගේ ජීවිතයේ සාමාන්‍ය උදෑසනකි. ඇය දනිහෙන් මඳක් යටට දිග බෝරිච්චි අත් දැමු තනි කෝපි පාටැති ගවුමක් ඇඳ සිය අඩුම කුඩුම සහිත බෑගයත් එල්ලා ගෙන මගදී මිළට ගත් මලුත් රැගෙන කැෆේ 66ත් වෙත පියනගා තිබිණි. නිශ්ශබ්ද උදෑසනකි. කිසිවෙකුට කිසිවකට කරදර නොකරන ගතියක් සහිත විශේෂතා රහිත උදඋසනකි එය. 


කැෆේ සික්සිටි සික්ස්ත් දොරටුව තවදුරටත් වසා දමා තිබි නමුත් එහි ඇතුළත හැම දෙයක්ම ඇහැරී පැවතිණි. කෝපි මැශින් මෘදුව සෙළවෙමින් පැවතිණි. සවුමි විසින් කෝපි හලට කැඳවා ගෙන එන ලද මල් වීදුරු බඳුන් වල විවේකයෙන් බලා සිටියහ. කුඩා වීදුරු අතරින් ගලාගෙන එන අරුණෝද හිරු කිරණ හෙමි හෙමින් ලී මේස මත කෙමෙන් කෙමෙන් තැවරෙනු ද දැකිය හැකි විය. ඒ සෑම තැනකදීම හමුවෙනුයේ සවුමි සඳමල සමරසිංහ නමින් උප්පැන්න සහතිකයක් අයිති යුවතියකි. කැෆේ 66ත් අයිතිය ඇගේ නොවෙන බව සැබෑවක් වුණත්, එහි පැවැත්ම සම්පුර්ණයෙන් නිර්ණය වී තිබුණේ ඇය හින්දාමය. ඇගේ ජීවිතය තුල ඇගේම යැයි කිවහැකිව තිබුණේ අල්පයක් භෞතික දේ ය . එතැන පවුලක් නැත. ඇයට ආපහු යා හැකි අතීතයක් ද නැත. 


විජේබණ්ඩාරවරු, ඔවුන් ඇයට හැමදේම ලබා දුන් අයවළුන්ය. හිසට සෙවණක්, කුසට අහරක් .. කෙනෙකුට ජීවිතයකට අවශ්‍ය හැමදේම ඔවුන් විසින් ඇයට ලබා දී ඇත. ඉතින් ඇය එයින් එහා ලෝකයක් සොයා ද නැත. ඇගේ පුංචි ලෝකයට එළිය වැටුණේ ග්‍රේස් විජේබණ්ඩාර ගෙනි. ඒ මව්වත් මැතිණිය තමන් කෙරෙහි වු දිස්නය සවුමි වෙතට පරාවර්තනය කළාය. 


සවුමි සිය අතෙහිවු සුදුපාට ක්‍රිශාන්තමම් මල දෙස බැලුවාය. ඒ මල ග්‍රේස් මම්මා ගේ පැහැය ට සමාන යැයි ඇයට හිතේ. කරුණාවන්තකම, මනුශ්‍යයෙකු වේශයෙන් මෙමිහිකත මත ඉපදේ නම් ඒ ඇය විය යුතුමය. ඉතාම මෘදු සුසුමක් ඇගේ තොල් අතරින් නික්මිණි. “ මං ඒගොල්ලන්ව සතුටින් තියන්නෝන “ ඒ හැඟීම සවුමි තුළ ඉපදී වර්ෂ ගණනාවකි. එය ඇයට කිසිදා කරදරකාරී වගකීමක් නොවීය. නමුත්, එය නිශ්ශබ්ද, ඉතා ඉසියුම් පොරොන්දුවකි. කිසිදා වචන නොවු , පොරොන්දුවකි. ඇය වීදුරු බඳුන තුළ ප්‍රවේශමෙන් මල රැඳෙව්වාය. 


දොරටුවෙන් පිටත කොළඹ ඇහැරී ඇත. එය තැනින් තැනින් වේගයෙන් සෙලවෙන , තැනින් තැන සෙමෙන් සෙළවෙන තවත් තැනක කිසිවක් සිදුනොවෙන තරමට නිශ්චල නගරයකි. කැෆේ 66ත්, ඇතුළත යුවතියක් සිය දුඹුරු පැහැ ඒප්‍රනය පැළඳ බලාපොරොත්තු පොදි දල්වා ගෙන බලා සිටියාය.

ඇය ට යම් නිශ්චික කෙනෙකු එතැයි බලාපොරොත්තු නැත. අමුතුවෙන් කිසිවක් සිදුවෙතැයි කියා හැඟීමක්ද නැත. නමුත්, තවමත් ඇය දල්වා ගත් කුඩා බලාපොරොත්තුවකි. ඒ සතුටු මලක් පිපෙනතෙක්… ඇය කිසිදා නොදුටු , කිසිදා නොදැනුණු , අමුතු සතුටු මලක් තමන් වෙනුවෙන් පිපෙතැයි ඇයට බලාපොරොත්තු රේණුවක් තමන් තුළ සෙළවෙනු දැනෙන්නේය. එවැනි ආශ්චර්යයන් පැමිණෙන්නේ සැණකෙළි සරයෙන්, බෙර වයා පෙරහැර සමඟ නටමින් නොවේ. 

දොර විවර වුණි. හරි කෙළින් ඇගේ කවුන්ටරයේ අනික් පස හැරී උන් ඇය වහ වහා ආපස්සට හැරුණේ සිය පළපුරුදු සිනහවත් සමඟීනි. “ ගුඩ් මෝනින්” ඇය සිය හුරුපුරුදු සුභපැතුම පෑවාය. නමුත් ඒ ස්වරය වෙනදා නරම් වෘත්තිමය නොවුණේ ඊට මෘදු බවක් එක්ව තිබු නිසාවෙනි. 

ඔසඳ, මොහොතකට නතර වුවේය. තමන් ඇතුළතින් සිලිං ගා වීදුරුවක් බි‌දෙනු ඇසිණි. ඒ හඩට ප්‍රතිචාර ලෙස වහා දෙපා නැවතී වචන ගලා ඒම තත්පරෙන් සියයකින් පමණ එකකට නතර විය. 


“මෝනින්” ඊළඟට ය. ඔහු සෙමෙන් පෙරදින හිඳගත් මෙසය කරාම ඇවිද ගියේය. සන්සුන්ව ය. බොහෝ ප්‍රවේශමෙන් මැනගත් පියවර වලිනි. ඔහු සිය අවකාශය තීරණය කර එය මෙතැන තමා වෙනුවෙන් ගොඩ නගා ගන්නා ස්වභාවයක් දකින්නට හැකි විය. පෙර දා වගේ නොවේ. 


“ flat white එකක් … විතවුට් sugar” 


සවුමි ඔහු දෙස සුපරික්ෂාකාරි බැල්මක් බැලුවාය. කෙල්ලකට කොල්ලෙක් දෙස සාමාන්‍ය බැල්මක් බලද්දීම එය කොහොමටත් සුපරික්ෂාකාරී එකකි. ඇගේ බැල්මෙන් විද්‍යමාන වු විදියට නම් එය සාමාන්‍ය කෝපි ප්‍රේමියෙකු දෙස බලන බැල්මකුත් නොවේ. අනිත් අතට ඇය දන්නේ හඳුන්නන්නේ නැති කෙනෙකු දෙස බලන විදියේ බැල්මකුත් නොවේය. 


ඇය තමා දෙස බලා සිනාසෙනු දුටු තරුණයා ද පිළිතුරු ලෙස සිනාසුණේය. නමුත්, ඔහු නොදන්නවාට මේ ඇගේ වෘත්තිමය වහයෙන් පුරුදු සිනහව නම් නොවන්නේය. එහි ආචාරශීලී බව අඩුය. ඇය දහස් වරක් කැඩපතට සිනාවී පුරුදු කරගත් සිනහව නොවේ. කෙටියෙන්ම කියනවා ඇය මායාමය ඇගිලි සහිත වින්ටේජ් යුවතිය නොවේ. මේ සිනහව මොහොතකට , නතරවී … පරිස්සමෙන් සියුම්ව කියවා ගැනීමට ඉඩ දෙමින් පෑ එකකි. මතක තියා ගන්න… හැම යුවතියකටම මෙවැනි සිනහවක් තිබේ. එය පිරිනැමෙන්නේ වෙනස් මිනිස්සුන්ටමය. 

ඉතින් මේ සිනහවෙන් මේ තත්පරයේ පිදුම් ලද තරුණයා, ගල් වුණේය. ඔහු එය කියවා ගත නොහැකිව අතරමං වුයේය. ඇත්තටම කියනවා නම් සිදුවුයේ එයමය. නමුත් ඇතුළාන්තයේ කිසිවක් සිදුවිය. තරුණයා මෙතුවක් කාලයක් තිස්සේ තමන් තුළ නොතිබු හැඟීම් කලාපයකට පා තැබුවේය. එය හදිසියේ ම විවෘත වීමකි. ඔහුගේ හදවතට ලා ඒළියක් ඉහිණි. එය කිසිසේත්ම සමීප නොවු එකකි. එමෙන්ම හැම දේම පාලනය කළ හැකිව පවතින කෙනෙකුට වුවත් පාලනයෙන් බැහැර හැඟීමකි. 


ඔහු කිසිසේත්ම ඒ වගක් පෙන්වන්නට උත්සාහ කළේ නැත.. කිසිසේත්ම නැත. නමුත් එක තත්පරයක ලැප්ටොප් බෑගයේ පටිය ඒ් ඇගිලි වලට තදින් සිරවිණි. ඉතින් ඒ දෙපා පුරුදු තැන තෙක් එසැවිණි. පුරුදු මේසය ළඟ පුරුදු ආසනයටම! ක්‍රියාවලිය සාමාන්‍යය. ඒ වාගේම ආරක්ෂිතය. නමුත්, දැනෙන යමක් වෙනස් වී තිබිණි.  

සවුමි, ට පුදුම සිතුණේ ඔහු කිසිවක්ම නොපවසා මේසය මත ලැප්ටොප් එක දිගහැර ගැනීම නිසාමය. ටික වේලාවකින් සවුමි ඇගේ සිතට දැනුණු හිතුවක්කාරකම කරන්නට පෙළඹුණාය. සමහර ගෑනු හිත් වල යටපත්ව පවතින හිතුවක්කාරකම් බොහෝ මිහිරිය. ඉතින් මේත් ඒ වාගේ මොහොතකි. ඇය ඔහු අබියසට ගියේ ඔහු ඇණවුම් නොකළ කෝපි බඳුන ද සමගිනි. 

“ ඔයා ආයෙ ඇවිත් නේද?” කෝපි බඳුන ප්‍රවේශම් සහගතව ඔහු ඉදිරියේ තබමින් ඇය කීවේ නෙමෙනි. ප්‍රශ්නයක් ලෙසින්ම නොවේ. ඇයට ඊට පිළිතුරු කුමකටද? ඔහු මේ ඇය ඉදිරියේ ජීවමානව පෙනී සිටින්නේ ඔහු ආයෙමත් ඇවිදින් සිටින නිසාම නේද?ඒ වාගේමයි, ඒ අවස්ථාවේ අහම්බයකින් සිදුවු ආශ්චර්යයක් ඉටු වුණා වගේ හැසිරීමකුත් ඇය ඉදිරියේ තිබුණේ ම නැත. එහෙම පිටින්ම එහි වුයේ ස්තුතිවන්තවීමක හැඟීමකි. 

ඔසද හිස ඔසවා බැලුවේය.

“ ඒ වගෙ” කීවේ එපමණකි. එහෙත් ඒ ඇස් නම් පෙර දිනයට වඩා ඇය මත නැවතී තිබිණි. ප්‍රවේශම් සහගතව මෙන්ම කාල වේලාව මැන කී දෙයකි. ඒ ඔහු‌ගේ ඇසට ඒ වන විටත් යම් වෙනසක සේයාවක් දැනෙමින් තිබු නිසාමය. ඇය හැසිරුණේ තවදුරටත් අමුත්තකු හා හැසිරෙන පරිද්දෙන් නොව දන්නා හඳුනන කෙනෙකු හා කතාබස් කරන ලීලාවකිනි. අන්න ඒක… මේ මොහොතේ ඔහුට අනාරක්ෂිතය.

ඔහු කෝපි උගුරක් බීවේය. ඒ රසය තමන්ගේ ඉඳුරන් ට දැනෙන්නට ඉඩ දුන්නේය. 

“රසයි” ඔහු කීවේ සෙමිනි. සවුමි සෙමෙන් හිස සෙලෙව්වාය. 

“ flat white නේ...මේක එදා බීපු එක නෙමෙයි. "

" ඔයාත් එදා හිටිය කෙනාම නෙමෙයි ” 

වචන ගලා ආවේ නතර කරගන්නටම බැරි වේගයකිනි. නිශ්ශබ්දතාව සන්නිවේදනයේ යෙදෙද්දි එය විග්‍රහ කරගැනිම වඩාත් අසීරුය. එය මේ මොහොතේද ී සැහැල්ලු නමුත් තවදුරටත් හිස් නැත. යුවතිය ඔහු කී දේ සම්පුර්ණයෙන් තේරුම් ගත්තේ නැත. එහතේ ප්‍රශ්න නගන්නට උත්සාහ කළේ ද නැත. ඒ වෙනුවට ඇයට අමතක වීමෙන් පෑ හැගීම්බර සිනහව ඔහුට පෑවාය. මේ වතාවේ නම් එය වඩාත් නරක අතට හැරී තිබුණි. ඒ ඔහු මේ වතාවේ ඒ සිනහව ඔහුට දැනුණු බැවිනි. හැමදෙයක්ම නිරීක්ෂණය කරන ඇසට නිරීක්ෂණයක් ලෙස නොවේ. හැම දෙයක්ම විශ්ලේශණය කරන ඇසට විශ්ලේශණයක් ලෙස නොවේ. ඔහුගේ කිසිදු අනුමැතියකින් තොරව ඔහු වෙත පැමිණි මහා ආදරණීය හැඟීමක් ලෙසිනි. ඔහු අහක බලා ගත්තේය. ඔහු  ලැප්ටොප් එක දෙස බලා ගත්තේය. නැවත පාලනයට නතු වුවේය. 


මෙය කිසිම ක්‍රියාවලියක කොටසක් නොවීය. තුන්සිතකින් වත් සිතා සිටි දෙයකුත් නොවේ. නමුත් කිසියම් දිගු ක්‍රියාවලියක හෝ ක්‍රියාවලි කීපයක අතරමැද සිද්ධියක් වගේ කිසිම නිශ්චිත තාර්කික බවකින් තොර, කිසිදු හේතුප්‍රත්‍යකින් තොරව අනිච්චානුගතව සිදුවු දෙයකි. දිගු ජිවිත කාලයක, පළමු ම පළමු වතාවට එය එසේ සිදුවී තිබිණි. ඔසඳ එය තේරුම් ගන්න උත්සාහ  කළේම නැත. එය තේරුම් ගන්න උත්සාහ කිරීම කාලය අපතේ යැවීමකැයි තරුණයා සිතුවා විය හැකිය.

Sunday, April 12, 2026

OLIVE 04

 


 

වින්ටේජමය යුවතියග⁣ේ මායාමය අතැගිලි 


සවුමි, සිය කුඩා අවකාශය පිරිසිදු කරමින් සිටිනඅතර⁣ේ ටික වෙලාවකට පෙර නික්ම ගිය අපුරු මිනිසා, පිලිබඳ මතකයට ආවේ හිතාමතා නොවේ. නැවත කෙනෙකු කෝපි බොන්න ට පැමිණි අතර ඒ පුද්ගලයා කැෆේ එකේ හාත්පස බැලුවේ කිසිවක් සෙවීමේ අරමුණින් බව පෙනිණි. පසුව ඔහු ලාතේ ප්ලේන් එකක් අවශ්‍ය බව කියා සිටි අතර හරියටම ඔලිව් පැහැ ස්වෙටරය ඇදි පෙර පැමිණි කෝපි ප්‍ර⁣ේමියා හිදගත් මේසයේම කෙලවර අසුනේ හිද ගත්තේය. 


“ අද ඒක ලකී ට⁣ේබල් එක මං හිතන්නේ “ ඇය තනිව සිතුවාය. ඇගෙ හුරුබුහුටි අතැගිලි කෝපි හා මුහුවන වීඩියො සකස් කරනනේ පවන් ය. ඒ වගේ දෙයකට වෙලාව සොයා ගන්නට ඔහු වෙලාව සොයා ගන්නේ කෙසේදැයි සුලලි විටෙක පුදුමයෙනි. එහෙත් පවන් ගෙ අදහස “ you need to love your work” යන්නයි. කැෆේ 66ත් ටික්ටොක් ගිණුම දැන් මුදල් උපයන මට්ටමට ළඟාවෙන්නට විශේෂ හේතුව වන්නේද මේ ආකර්ශණීය කොපි සාදන වීඩියෝ හේතුවෙනි. 


ම⁣ේ වීඩියෝ ද කැෆේ 66th ක⁣ෝපි ප්‍ර⁣ේමීන් අතර ජනප්‍රිය වෙන්නට හේතුවකි. පවන් විජේබණ්ඩාර මේ අපුරු විඩියෝ සකස් කිරීමෙන් ලබන තෘප්තිය එසේ මෙසේ එකක් නොවේ. ඔහු කොහොමටත් සවුමි ඇසුරේ රැඳෙන්නේ කැමැත්තකිනි.

 බිලිදකු සන්දියේ මිගාර විජේබණ්ඩාර ගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා එක්සත් ජනපදය ට පවුල පිටින් ම සංක්‍රමණය වීමෙන් පසු ඔවුන් යළි ලංකාව ට පදිංචියට ආවේ පවන්ට වයස හයක් හතක් තරම් වයසකදීය. මහගෙදරට මුල්වරට , පැමිණෙද්දී ඔවුන් ව පිළිගත්තේ ග්‍ර⁣ේස් මම්මා විසිනි. ඇය මිගාර ග⁣ෙ නැන්දණිය වුවාය. විජේබණ්ඩාර පවුල⁣ේ එකම දියණිය ද වුවාය. ඇය පසුපසින් කුඩා දැරියක එබී බැලු අන්දම පවන්ට හොදින් මතකය.. 


කාලයක් ම ගෙවී යනතුරු පවන් සිතා සිටියේ ග්‍ර⁣ේස් මම්මා යනු සවුමි ගේ අම්මා කියාය.  පසු කාලයකදී සුලලි අක්කා, පවන් ට කියා දුන්නේ ඒ සවුමි ගේ අම්මා නොවන බවත් අත්තම්මා යැයි සිතාගත යුතු බවත් ය. සවුමි තාත්තාත් අම්මාත් විසින් හදා නොගන්නා බැවින් පැරඩයිස් මන්දිරයේ වෙසෙන සියල්ලන් ගේම ආදරය කරුණාව ඇය වෙත ලැබෙන බවත්ය . 

පවන් සහ සුලලි දෙදෙනාම ඔවුන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන කටයුතු හේතුවෙන් අගනුවර අන්තර්ජාතික පාසලකට ඇතුලත් කෙරුණු අතර සවුමි ඇතුලත් කෙරුණේ කුඩා රජයේ බාලිකාවටය. ආර්ථික තලවල දී අධ්‍යාපනය වෙනස්  වන හැටි ඒ වහල යටදී දැකිය හැකි විය. එහි තේරුම සවුමි ට වෙනස්කම් සිදුවීම නොවේ. ග්‍රේස් විජේබණ්ඩාර ඇයව සාමාන්‍ය සමාජයට මුහු කරමින් සිටි විදිය එයය. 


ඒ කුඩා සවුමි සහ පවන් අද කැෆේ 66th පවත්වා යති. පවන් විටින් විට එහි පැමිණ යයි.එහෙත් නොනවතී. එදා  පැමිණි  ලා⁣ත⁣ේ ප්ල⁣ේන් එකක් ඇණවුම් කල මිනිසා නික්ම ගිය⁣ේ ක⁣ෝපි බදුනවත් අවසන් නොකල තරම් හදිස්සියකිනි. එය සවුමිට දුකකි. ඇය මේ කෝපි බඳුනක් පිළියෙල කරන්නේ බුද්ධ පුජාවක් තරමට බැතිබරවය. 


ක⁣ොළඹ සරසවියේ වැඩ කරන තරුණ යුවළ , හැමදාම වාගේ සවස් කාලය⁣ේ ක⁣ෝපි බ⁣ොන්නට එහි පැමිණෙති. ඒ යුවතිය කැටුව යන්න පැමිණෙන කාර්යාල වෑන් රිය පැමිණෙන්නේ කැෆේ 66th ඉදිරියෙනි. ඉතින් ඇය එතෙක් ඇග⁣ේ පෙම්වතා සමග හුරතල් වෙමින් කෝපි කෝප්පය තොල ගාන්නේ මෙතැන ය.


කවදාවත් න⁣ොඑන විදිය⁣ේ ක⁣ෝපි ප්ර⁣ේමින් රැසකග⁣ේ පහස ලැබු ඒ දවස නිමා වෙද්දී සවුමි ක්ල⁣ෝස්ඩ් බ⁣ෝඩ් එක ද⁣ොර ඇතුළතින් එල්ලුවාය. ක⁣ෝපි හල තුල දවස නිමාවදේදී සාමාන්‍ය ක්‍රියාන්විතයන්හි නියැළුණාය. හරි හමන් කෙනෙකු සහයට ගමුයි පවන් කීප වතාවක් කියා ඇතත් තවම සවුම් ඒ ගැන සිතා නැත. 


එදා ඇය වැඩකටයුතු අවසන් කර පැරඩයිස් වෙත යන්න කුලීරියක් ඇණවුම් කරන්න ට දුරකථන ය අතට ගත් සැණින් පවන් ගේ අංකයෙන් ඇමතුමක් ආවේය. 


“ ඔයා කොහෙද ?”

“ තාම කැෆේ එකෙ”

“ මෙච්චර වෙලා මොකක්ද කරන්නේ ? වැහුවෙ නැද්ද ?”

“ වහල ඉන්නෙ… ටුක් එකක් දාගන්න හදන්නේ “

“ මං ලග ඉන්නෙ… ඔහොම්ම ඉන්න…”


පවන් මෙහෙම ඉදහිට ඉදිරිපත් වෙන නමුත් ඔහු ගැන බලාපොරොත්තු තැබිය නොහැකිය. මේ එන්නම් ය කියා තව මොහොතකින් “ අයියෝ, සවුමි අන්න අක්කා එන්න කියනවා, නැත්නම් ඩාරා බලාගෙන ඉන්නවා ලු කියා “ ඔහු යන්න ට යයි. ඩාරා පවන් ගේ වර්තමානයේ පෙම්වතිය වේ. තානාපති කර්තව්‍ය ක් උදෙසා ලංකාව ට පැමිණ සිටින පවුලක දියණිය ක වන ඩාරා පවන් ඉගෙන ගන්නා සරසවියේම ඉගෙන ගනියි. 

“ ඩේටින් තමයි ඉතින්” ඒ ගැන ඔහු කියන්නේ එපමණකි. කෙසේ වෙතත් එදා පවන් ගේ වාහනය කැෆේ 66th ඉදිරියේ නතරවු අතර සවුමි සිටියේ දොරටු වසා දමා පාර අයිනේ ඇති කුඩා අරලිය ගස ළගට වී හිටගෙනය. පව⁣න් ගේ හි⁣තේ සවුමි දුටු විට ඇති වෙන්නේ කියාගන්නට අසීරු හැගීමකි. එය සිරකරගත් ඉකිබිදුමක් වාගේය. එහෙත් එහෙම වගක් වත් කිසිම කිසිවෙකු දන්නේ නැත. 


සවුමි ට කවදාවත් කවුරුවත් හා ආදරණීය බැදීම ක බැදෙන්නට කාලයක් නොතිබු බව පවන් දැන සිටියේය. ඇය ලස්සන කෙල්ලකි. සරල එහෙත් පිලිවෙල ඇදුම් අදින, යාන්තම් මේකප් කරන ඒ හැමදේම ට වැඩියෙන් දියුණු මානුෂවාදී ආකල්ප ඇති සවුමි ඇත්තෙන්ම අපුරු කෙල්ලකි. 

සවුමි හැදුණෙ වැඩුණේ වෙනම කවයකය. එය සංවෘත ය. ඇගේ ලෝකය වුයේම ග්ර⁣ේස් විජේබණ්ඩාර විසින් කියාදුන් ඇය විසින් සැලසුම් කර වර්ණ ගැන්වු ලස්සන විචිත්‍ර ලෝකයකි. ඇගේ වයසේ අනික් කෙල්ලන්විවිධාකාර විලාසිතා වල අතරමං වෙද්දී සවුමි ඇදි ඇදුම් විලාසිතා ග්‍ර⁣ේස් විසින් ඉතා පරිස්සමෙන් තෝරා දුන් ඒවාය. සුලලි පවා සවුමි ට නොඇලපේ යැයි ග්‍ර⁣ේස් සිතන ආකාරයේ ඇදුමක් ඇයට ගෙනැවිත් දෙන්නට බිය වුවාය. ඇය පැරඩයිස් හි වින්ටේජ් කෙල්ල වුයේ එබැවිනි. 


දැන් ග්‍ර⁣ේස් මම්මා මෙලොව නැත. එහෙත් සවුමි වෙනස් නොවුවාය. ඇය තවමත් අදින්නේ එදා විලාසිතාමය. පවන් ට ඇය ප්‍රහේලිකාව ක් වන්නේම එබැවින් ය. එදා යුවතිය වාහනේ පසුපසින් දොර ඇරගෙන නගිද්දී පවන් ඊට විරෝධය පැවේය. 


“ මෙන්න මේ ඉස්සරහින් නගිනවකො…”මොහොතක් නිශ්ශබ්ද ව සිටි යුවතිය කම්මුල් අකුළා ගෙන ඉදිරිපසින් නැංගාය. ඇගේ 

ඇගේ ඉරියව් දැකි පවන් ට සිනාවක් නැගිණි.

“ ඇත්තටම සවුමි මං අහන්න හිටියේ, ඔයා කොහොමද අප්පා.. මේ කැෆේ එකට එන එක එක විදියෙ කස්ටමස් ලා මැනේජ් කරන්නේ .. අපේ ප⁣ේජස් වල තියෙනනෙම ඔයාගෙ හොස්පිටැලිටි මෙච්චර හොදයි අච්චර හොදයි කියලා…” 

සවුමි සිනාසුණාය. ඇය ඔවුන්ට සලකන්නේ භක්තියකිනි. ඊට ප්‍රතිචාර ලැබනේන⁣ේද ඒ තරමටම ප්‍ර⁣ේමණීයව වීම වැලක්විය නොහැකිය. 

“ එයාලා කියන්නේ ඔයාලගෙ වින්ටේජ් ගර්ල්ට තියනේනෙ මැජිකල් හැන්ඩ්ස් කියලා”. 

පවන් කීවේ මාර්ග තදබදය⁣ේ නැවතී සිටි වාහන සුක්කානම ට ඇගිලි වලින් තට්ටු කරනා අතරමය. සවුමි සිය දෙඅත එකිනෙකා පටලවා ගෙන එදෙස ආඩම්බරයෙන් බලා සිටියාය. පවන් ඇය දෙස බලා උන්නේ හැගීම්බර වෙමිනි. ඔහුට ඇයගේ උරවටා වම්අත යවා ඇයව තමා දෙසට ඇද ගන්නට සිතේ. 

“ කොහොමද ඔයා හැමදේම තනියම දරාගෙන ඔහොම ඉන්නේ කියලා මං කල්පනා කරනවා වෙලාවකට..” පවන් කිවේ හිතට ආ දේ ය. 

“ මට ඉතින් ප්‍රශ්න නෑ නේ පවන්” 

“ ඇයි එහෙම කියන්නේ ?”

“ කස්ටමස් ලා හැන්ඩ්ල් කරගෙන කැෆේ එක කරගෙන යන එක තමයි දැනට මට තියන ලොකුම ප්‍රශ්නෙ. මං ඒ ගැන හිතනවා. අනික් දේවල් මට මහ ලොකු ප්‍රශ්න නෙමෙයි.. ග්‍ර⁣ේස් මම්ම නැති වුණු වෙලාවෙ එයාගෙ ලෝය කියපු විදියට මට මගෙ ජිවිතය තියනතාක් කල් කැමති නම් මං බැදලා පවුලක් හැදුනට පස්සේ වුනත් මට මෙහෙ ඉන්න පුලුවන් … ඉතින් මට ඉන්න තැනක් තියනවා. කැම ලැබෙනවා අදින්න ලැබෙනවා… දවසක ඔයායි සුලලි අක්කයි මාව මෙහෙන් එලියට දැම්මේ නැත්නම් මට හිත හිතා දගලන්න තරම් ප්‍රශ්නයක් නැතිවෙයි..” 

පවන් ඇය දෙස බලා උන්නේය. පුදුමයෙන් බලා උන්නේය. 

“ ඔයාට ඔයාගෙම කියලා හීන ඇත්තෙම නැද්ද, සවුමි?”

ඇයට ඇයග⁣ේ රතුපැහැ වොලට්ටුවේ දැන්ද ඇති කලු පැහැ කුඩා කාඩ්පතත් එහි සටහන් ව ඇති කිව්ආර් කෝඩ් එකත් හිටිහැටියේ සිහිපත් විය. 


Thursday, April 9, 2026

Olive 02

 


OLIVE 02 


සාමාන්‍ය දවසක හමුවු අසාමාන්‍ය කෝපි ප්‍රේමියා 



එය ටිකින් ටික සෙමෙන් සෙමෙන් කළුවර ආවරණය ඉවත් කිරීමක් වැනිය. බොහෝ සෙමින් , වැසී ගිය සැඟවුණු නිදිබර නගරයක් ඇහැ අරින්නට පටන් ගැනීමකි.


වාහන සහ සෙනග අඩුවෙන් සැරිසරන මේ නගරය කැමැත්තෙනි. එය බොහෝ නිශ්ශබ්ද බැවිනි. ඔහු නිශ්ශබ්දතාවයට අසීමාන්තිකව ප්‍රිය මිනිසෙකි. එහෙත් ඔහු මේ රන්වන් පැයට කැමති ඒ නිසාම පමණක්ද නොවේ.  

බොහෝ මිනිසුන් මේ ගෙවෙන පැයට සිය අවංක අනන්‍යතාවය එකතු කරනා බැවිනි. අතිධාවනකාරි ජීවිතයට ඇතුලු වන්නට පෙර පාන්දර ව්‍යායම සඳහා පිවිසෙනුවස් මිනිසුන් පාරේ ඇවිදිද්දි.. තානාපති කාර්යාල වල වැඩ කරන දුත මෙහෙවරවල නියැලුන විදේශිකයින් ද මේ වෙලාවට පාරේ ඇවිද යති. 


ඔසඳ ලක්ඛිත වික්‍රමගේ ඔහු කිසිදු කලබලයකින් තොරව ඇවිද ගියේ සිය ලැප්ටොප් බැගය කරෙහි ලා ගෙනය. එක් අතකින් ඔහු කරේ ලා ගෙන සිටි ලැප්ටොප් බැගය වාරු කරගෙන සිටි අතර අනික් අත තිබුණේ සාක්කුවේය. කලු පැහැති කැප් තොප්පිය මුහුණ කරා පහත්වී තිබුණේ සගවන්නටම නොවුණත් එයින් පිටස්තරයන්ට ඒ මුහුණ දැකීම යම්තරමකට පාලනය කිරීමක් කර තිබිණි.  

ලොකු ගොඩනැගිලි වල  වීදුරු බිත්ති පසුකර යද්දී ඉන් පෙනෙන සිය ප්‍රතිබිම්භය වැටී තිබිණි. ඉතින්, ඔහු නතරවී එදෙස බලා සීටියේ නැත. නමුත්, ඔහු තමන්ව සැලකිල්ලෙන් නැරඹුවේය. ඔහු සිය සමමිතික උරහිස් දෙස බලා සිටියේය. තමන් දෙස මිනිස්සුන් ගේ  අවධානය කෙසේ දැයි සිතුවේය. ඔහු සියල්ල වැඩි වෙහෙසකින් තොරවම එවැනි බොහෝ දේ පිලිබඳව නාමාවලියක එකතු කරගත් මිනිහෙකි. 


දැනටම ඔහු උවමනා තැනට පැමිණ ඇත. සිය දුරකතනයේ වු දිශානතිය පෙන්වන ඇප් එකෙන් ඇහැරුණ අතර මෙතෙක් ආ පියවර නැවතුණේ පටු දොරකොඩක් ඉදිරියේය.


ඉතා පටු කොරිඩෝවක් ඒ දොරින් එහා පසින් තිබිණි. දෙදෙනෙකුට එකවර මාරු විය නොහැකි තරමට කුඩාය එය. එහෙත් අරුමෝසම් කීසිත් නැත. අමුතුවෙන් අවධානය ලබා ගැනිමට විශේෂයෙන් කිසිත් සිදුකර නැත. 


මේ කුඩා කෝපි කඩයට ඔහු පියමං කරන්නේ ඇයි? 


 අවකාශය විවෘත වුයේ නොසිතු පරිදි ය.

එය මහා පරිමාණ නැත. 

නමුත් , එය ප්‍රමෝදාකරයක් මෙනි. 


උදෑසන ලා ඉර එළිය ප්‍රවේසම් සහගතව තීරු තීරු වශයෙන් වැටී ගැටී ඉහිරෙනු පිණිස දුඹුරු පැහැ ලී මේස ස්ථානගත කර තිබිණි. අලුත් කුඩා මල්, මෝස්තරයක් වශයෙන් නොව විවේක ගන්වනු පිණිස කුඩා වීදුරු කෝපි ජෝගු වල බහා තිබි අයුරක් දිස් විණි. සුළඟ පවා, මේ කුඩා කෝපි කඩයට කිසි කරදරයක් කරන අරමුණක නැතැයි බැලු බැල්මට පෙනී යන්නේය. 


ඔසඳ ලක්ඛිත වික්‍රමගේ, මේ සුන්දරත්වයෙන් තුශ්නිම්භුත වී සිටියේය. එය සම්පුර්ණයෙන්ම සිදු වෙමින් තිබුණේ ඔහුගේ අභ්‍යන්තරයේ වු අතර  මතුපිටට කිසිසේත් නොපෙනුණි. ඔහු රහසේම මේ පරිසරය පිලිබද ආසාවකින් ඇලී ගියේය. 


ඔහු අවකාශයත් අවකාශය ඔහුත් තේරුම් ගත්තාක් මෙනි. 


ඔන්න ඊළඟට, ඇය සුලඟක් සේ ඇසේ හැපී නොහැපී නික්මිණි. 


ඇත්තෙන්ම ඇය ඔහු දෙස බැලුවේ නැත. ඇදවී තිබු මේසයක් සකසමින් ක්‍රිම් පැහැ රෙදි කඩකින් මේසය පිස දමන්නට ඉදිරියට නැමුණාය. ඇය පුහුණු කළ සේවිකාවක් තරම් කඩිසර නැත. නුහුරුය. නමුත් ඇය ප්‍රායෝගිකව ඇයට මේවා පුරුදු ය. 


මිනිසුන් සමහර වෙලාවට තමන්වම තේරුම් ගන්නේ ජීවිතයට එළඹෙන ඉතාම කුඩා සහ ඉසියුම් අවස්ථා වලිනි. ඉතින් ඔහු නරඹමින් සිටියේය. ඇය මල් බඳුනක් මේසයක් මත තිබු තැන වෙනස් කරන ආකාරය, මඳක් පසුපට පියවරක් තියා ඒ මල් බඳුන නිසි තැන තියෙනවාදකියා විපරම් කරන අයුරු , කිසිදු අනවශ්‍ය හදිස්සියකින් තොරව  එදෙස ගෙළ ඇළ කරගෙන බලා සිටිනා අයුරු..


ඇය කිසිවිටෙකත් කිසිවෙකු ආකර්ශණය කරගන්නට උත්සාහ කරනා ගතියක් නොපෙනිණි. එවැනි ගැහැනු දුර්ලභ ය. ඔසඳට ගැහැනු පිලිබඳ ඇත්තේ පැහැදිලි නිර්වචනයකුත් නැත. ඒත් ගැහැනු හැම වෙලාවකම කවුරු හෝ පිරිමියෙකු තමන් වෙතට ආකර්ශණය කරගන්නට බලා හිඳිනවා වැනි පාරම්පරික පටු සම්ප්‍රදායික අදහසක් ඒ ආත්මයේ කොතැන හෝ වසක් විසක් සේ තැන්පත්ව තිබේ. 


“Good morning, sir…” ඇගේ කටහඩ ඇගේ දෙනෙතට පෙර ඔහු වෙත ළඟා විය. මෘදුව සහ සමබරව මෙන්ම පැහැදිලිවය. අතිධාවනකාරි හෝ නොසැලකිලිමත් නැත. 

ඔහු නොසැලිකිල්ලෙන් මෙන් නිකම් ම නිකම් “ මෝනින්” වචනයකින් පිළිතුරු දුන්නේම මෙතෙක් වෙලාවක් විපරම් කිරිම ගැන ඇයට කිසියම් සැකයක් වීනම් දුරු කරනු පිණිසය. ඔහු ඇය දෙස බැලුවේ හෝ නැත. ඇත්තෙන්ම ඇයට පෙනෙන ආකාරයෙන් ඔහු ඇය දෙස බලා නැත. 


පළමු බැල්මෙන් බොහෝ දේ දේ වෙනස් වෙනවායි කීවාට, මෙහිදී පළමු බැල්ම පතිත වුයේ මුහුණු මත නොවේ. පළමු බැල්ම පතිත වුයේ හැසිරීම් රටා මතටයි. 


“රෙස්ට් රුම් එක මට ටිකක් පාවිච්චි කරන්න පුලුවන් ද?” ඔහු විමසුවේය. ඇය එහි දිශානතිය පෙන්වුවේය. අමතක වෙන්න‌ට වාගේ ගිය කෝපි ඇණවුම පසුව සිහිපත් වු ගමන්, “ ආ.. තව මට ස්ට්රෝන් කොෆී එකක් ඕනෙ විතවුට් සුගර්” කියා ගන්නටද හැකි විය. 


ඇය කිසිදු සැකයකින් තොරව හිස වැනුවාය. ප්‍රශ්න රහිතව, අනවශ්‍ය වචන නොමැතිව. පහසුවෙන් ඔහුව විශ්වාස කළ වගක් , එහෙම නැත්නම් කිසිම වාදයක් තෝරානොගෙන නිශ්ශබ්ද වුවාය. 


විවේක කාමරයේ කැඩපත ඉදිරියේ ඔහු තමන්ගේ ප්‍රතිබිම්භය දෙස බලා සිටියේය. හැඳ සිටින කලු ටී ශර්ටය, නොපෙනිය යුතු තැනකදී වුව වැඩි සැලකිල්ලක් අතපත් කර ගන්නේය. 


ඉතා ප්‍රවේශම්සහගත ලෙස සුසුමක් හෙළු ඔහු සිය බෑගය තුළට අත දමා ඔලිව් ග්‍රින් ස්වෙටරයක් හැඳ ගත්තේය. එය වේගවත් ක්‍රියාවලියකි. කැපි පෙනෙන විවිධත්වයක් නැති බොහෝ සියුම් පරිවර්තනයකි. එසේ සිතා සිටියේ ඔහු පමණකි. 


ඔහු නැවත කෝපි අවකාශය තුලට පිවිසෙද්දී ඔහුට එය දැනුණේ වෙනස්ව ය. සමහරවිට අවකාශයේ වු වෙනස්කමක් නොවේ. වෙනස්කම වුයේ තමන් තුල වගේ හැඟීමකි. ඔහු එහි වු මේස හතරෙන් කවුන්ටරය හොඳින් පෙනෙන, කවුලුවට වසං වන මේසයක් තෝරාගෙන හිඳගත්තේය. බිත්තියට ළඟ, කවුලුවෙන් දුර …


ලැප්ටොප් තිරය දිග හැරිණි. වැඩ වෙනුවෙන් නොවේ. යම් දුරස්ථ බවක් ගොඩනගා ගනු පිණිසය. 


ඇය එක්වරම නැවත මතුවුයේ ප්‍රධාන දොරටුවෙනි. ඇගේ අතේ විවිධාකාර කඩදාසි මලු විය. තමන්ගේ ඇඳුම වෙනස්වු නිසාද මන්දා ඇය මුලින්ම සිනා නොවුණාය. නමුත් තීක්ෂණ බැල්මකින් බලා ගියාය.


“Strong coffee. Without sugar.” ඇය යුහුසුලුව ඔහුගේ කෝපි ඇණවුම පිරිනැමුවාය. ඔහු ඒ මුහුණ හොදින් බලා සිටියේය. ඇගේ දෙනෙත මතින් දේදුනු දෙබැමකි. දිගටි උජට නැමුණු දිගු ඇහි පෙඳී, මස්කාරා යාන්තම් ගල්වා ඇති බැවින් ඒවා දැකුම්කලුව දිලිසෙයි. ඒ මැද ඇහි බෝල මෙතෙක් ඔහු දැක ඇති ලස්සනම දිලිසෙන ඇස් බෝල ය. යට ඇහිරේඛාව අඳුන් කුරකින් ඇඳ ඇතුවාට සැක නැත. ලා කහ පැහැ කොපුල් ය. සීරුවට තවරා ඇති රෝස පැහැ බ්ලර්ශ් රේඛා දෙකකි. ලා රෝස පැහැති ලිප්ස්ටික් දෙතොලට එක් කර ඇත්තේ ස්වභාවික ලස්සනකි. ඇය සංකලනයකි. 

ඒ ඇස් වල මායාවක් නැත. ඇත්තේ පැහැදිලිතාවයකි. අවධානය නොඉල්වයි. තේරුම් ගැනීම අනවශ්‍ය බව දන්වන තරමට අහංකාරයි. ඒ්ත් තවදුරටත් ඒ ඇස්වල ගිලෙන්නෙකු නන්නත්තාර කරවයි. ඔහු සෙමෙන් එහෙත් පිලිවෙලට ඒ ඇස් වලින් එළියට පැන ගත්තේය. 


“ මේ තැන හොදයි.. හරි සන්සුන්” ඔහු වඩාත් සන්සුන් ස්වරයකින් මිමිණුවේය. ඇගේ මුහුණ මුලින් සරලව පසුව සංකීර්ණව වෙනස් විය. එවිට කෝපි කඩයට ඒ මොහොතේ පැමිණි අමුත්තන් දෙදෙනෙකු නිසාවෙනි. ඇය ඇගේ පාරිභෝගිකයින් දේවත්වයෙන් සලකන්නියකි. ඔ් වහා ඔසඳගෙන් මෑත්වී ඔවුන් කරා ගියාය. මේ පැමිණි මිනිසුන් තමන්ගේ ඇණවුම සුදානම් වෙනතුරු බලා හිඳිද්දීම, ඔහු තව විනාඩි ගණනකින් ඊලඟ හමුවිමට යා යුතු බව දන්වන ඊමේලයක් දුරකතනයට ආවේය. 


නමුත් මේ උන්හිටි ගමන් ප්‍රාදුර්භුත වු මිනිසුන් දෙදෙනා ගැන ඔසඳ ට සැක සිතිණි. එබැවින් නැගිට පිටවී ගොස් මේ දෙදෙනා අසල නාට්‍යයක් නිර්මාණය කරන්නට උවමනා නැත. ඔවුන් විමසු ප්‍රශ්නය ද ඔසදට පැහැදිලිව ඇසිණි. ඇය තමන් අද පැමිණි කෙනෙකු බව කීවා නම් තත්වය කුමන අතට හැරේවිද කිව නොහැකිය.  නමුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇය කීව‌ේ හොද කතාවකි. 


ඔහුගේ සිතේ ඇය පිලිබඳ පැහැදිමක් තටු ගසන්නට පටන් ගත් තැන ඒතැනය. ඉතින් පහසුවෙන් කෙනෙකුට සිය කාඩ්පත ලබා නොදෙන  ඔහු සිය කාඩ්පතක්ද ඇයට පෑවේය. ඇය එය අතට ගෙන සිනාසුණාය. ප්‍රහේලිකාවක් වගෙද පේන්නේ ඔහු අසද්දී ඒ ඇස් මේ ඇස් ලුහුබඳිමින් සිටි අතර ඔයාට විසදන්න පුලුවන් වෙයි කිව්වාම ඇය මොකක් දෝ අහංකාර කමක් ලාවට තවරා ගෙන සිනාසුණාය. 


මිනිස් ගණුදෙනු අවම , පරිගණක තිරයක් තුලින් ලෝකයේ සුදු පැහැයත් කලු පැහැයත් දකින තියුණු මිනිස් ඇස් දෙකක් ඇයව සියුම්ව නිරීක්ෂණය කරනවායි ඇයට වැටහුණේ නැත.. ඇත්තටම ඔහුට  අහන්නට උවමනා ව තිබුණේ,  ඔයා මං හැමදාම එන කෙනෙක් කියලා බොරු කිව්වෙ ඇයි කියන ප්‍රශ්නය ම නොවේ. 


“ ඔයා මං හැමදාම එනවාට කැමතිද?” යන ප්‍රශ්නය ය. මිනිස් ආදරය ඇති වෙන්නට සියුම්ව හිත අවුස්සන ප්‍රශ්නයක් නැගීම හොදටම හොද බව ඔහුට ඒඅයි තාක්ෂණයෙන් අසා දැනගත හැකිවතිබේ.ඔහු මේ මොහොතේ ඒ කිසිවක්ම කරන්නට පෙළඹුණේ නැත. ඉතින් දැන් ඔහු කලු පැහැ දිගු කලිසමක් අලු පැහැ අත් කොට කමිසයක් ඇඳ දුඹුරු පැහැ ඒප්‍රනයක් පැලඳ සිටින මේ යුවතිය  නිකමටවත් කාඩ්පත පසුපස ඇති කිව්ආර් කේතය ස්කැන් කර ඔහු ගොඩනැගු ඔහුගේ ලෝකයට ඇතුල් වේවිද?

Olive 03

 



ඔලිව් 03 


කැෆේ සික්ස්ටි සික්ස්ත් - නිදාන කතාව


එ මීට දැවුරුද්දකට පෙරාතුව එක් දිනකි. සිදුවිම සිදුවන්න නියමිත ව තිබුණ⁣ේ පැරඩයිස්හි හමඅවිම් කාමරය තුලය. පැරඩයිස් මන්දිරයේ හමුවීම් කාමරය , හැමවිටම අනෙකුත් තැන් වලට වඩා වෙනස් ය. 

එතැන ආදරයෙන් උණුසුම් නොවේ.සජීවී නැත. 

තීරණ ගනු ලබන සහ ප්‍රකාශයට පත් කරන තැන එතැනය. . බොහෝ නිහඩව පැහැදිලිව සහ කිසිදු හැගීමකින් තොරව එතැනදී තීරණයන් ගනු ලැබීණි. 


මිගාර විජේබණ්ඩාර යනු ඔහුගේ පැමිණිමෙන්ම එවැනි හමුවීම් කාමරයක් එලිපෙහෙලි කළ හැකි මිනිසෙක්ය. වසර ගණනාවක් තිස්සේ ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩ නැගීමෙන් ඉක්බිති ඔහු ස්වභාවයෙන්ම මේ පෞරුෂයට උරුමකම් ලද්දාක් මෙන්ය. 

.ලිපිගොනු වඩාත් පැහැදිලිව සකසා ගත් නියෝජිතයන් අතලොස්සක් ඔහු ගේ පාර්ශ්වය නියෝජනය කරමින් තිබිණි. ඉදිරිපස හිදගෙන සිටියේ ව්‍යාපාරයන්ට සම්බන්ද බාහිර පාර්ශ්වය කි. 

.පිළිවෙලට හැඳ පැලඳස ිටි ඉන් එකෙකු යම්කිසි ලියවිල්ලක් ඔහු වෙතට පෑවේය. ඉන්පසු සිය ස්වරය ස්ථාවරව තබාගෙන කතා ඇරඹුවේය. 

 “ තුම්මුල්ල ප්‍රොපටි එකේ ලීස් අග්‍රිමන්ට් ඒක කන්ටිනිව් නොකරන්න අපි තීරණයක් අරන් තියෙනවා. ඒක කනගාටුවෙන් වුනත් දන්වන්න වෙනවා.

මුදු නිහඩතාවකි. 

කිසිම වියවුලක් දෙපාර්ශ්වයේම නැත

විජේබණ්ඩාර පාර්ශ්වය ම⁣ේ පිලිබඳ පෙර දැනුවත් වී ඇති බැවින් මෙය අමුත්තක් ද නොවේ. 


මිගාර පුටුවේ පසුපසට මඳක් ඇදී සිය ශක්තිමත් හඩ අවදි කළේය. 

“ කොහොමටත් තුම්මුල්ල ප්‍රොපටි එක ගැන අපට වෙනම දැක්මක් තියෙනවා. ඒ නිසාම අපි ශෝට් ටර්ම් ටෙනන්ට්ස් ලා එක්ක තමයි දිගටම වැඩ කලේ.” බොහෝ සන්සුන්ව කීවේය. 


පවන් ද මේසයේ කෙළවරක හිඳගෙන සිටි අතර, සිය අත්ල එකිනෙක පිරිමැද්දේය. මේ ගිවිසුම් පාර්ශ්වය පැමිණෙන්නට පෙරම ඔහුට මේ හිස්වෙන ගොඩනැගිල්ල පිලිබඳ වෙනම අදහසක් පැවතුණි. 


“ ඇත්තටම ප්‍රොපටි එක හිස් වෙන්නෙ නෑ” සියල්ලන්ගේම ඇස් ඔහු වෙතට ඇද ගන්නට ඒ් වචන කීපය සමත් විය. පාර්ශ්වකරුවන් තවම විසි විය නොඉක්මවු තරුණ විජේබණ්ඩාරවරයා දෙස නෙතු යොමුවේ සැනෙකිණි. ඒ වචන හරඹය ඇතුළත මහ රුකක් වීමට නියමිත අංකුර ව්‍යාපාරිකයෙක් ඔවුන් සියල්ලන්ටම පෙනී ගියේය. 

මිගාර සිය නිහඩ පිළිවෙත දිගටම රකින්නාක් මෙන් නිශ්ශබ්ද වී සිටි අතර, එය ඔහු හිතාමතාම පවන් විජේබණ්ඩාරට අවකාශයක් ලබා දීමක් ද නොවේ නම් පවන් ගේ හැසිරිම සහ අනික් අයගේ ප්‍රතිචාරය පරික්ෂා කිරිමක් ද යන්න පැහැදිලි නැත .

 “ මට තියෙනවා ප්ලැන් එකක්. අප්පච්චි අයි වෝන්ටි ටු ටේක් ඔ්ව ද ප්ලේස්”  හරියටම කාලය මනිමින් වචන අතර කාල පරාසයක් තබා ගනිමින් ඔහු පැවසුවේය. 

එය නව්‍ය අදහසක් විය. කළ නොහැකි හෝ විය නොහැකි ගණයේ නොවේ. නමුත් එය අවස්ථාවේ හැටියට නැවුම් එකකි. 

. මේ අවස්ථාවේ මිගාර ගේ බැල්ම පවන් වෙත වැටුණේ ඇහුම්කන්දීමකට වඩා වැඩි යමකටය. “ මොකක්ද  පර්පස් එක?” 

.පවන් ක්ෂණයකින් පිළිතුරු නොදුන්නේය.  පළමු වතාවට මේ රුපියල් වලින් හෝ ඩොලර් වලින් ගණනය කර ඉදිරිපත් කළ හැකි ව්‍යාපෘතියක් නොවේ. 

“ඇත්තටම අපට අප්ස්ටෙයා එකට දැනටම වෙන කීප දෙනෙක් ගෙන් රික්වෙස්ට් තියෙනවා. මං ටාගට් කරන්න⁣ෙ වම් කෙලවරේ ප⁣ොඩි ස්ප⁣ේස් එක ෆස්ට්ෆ්ල⁣ෝ එකට ත් එක්කම තියනෙ…”

“ ඒක ප⁣ොඩි හුන්ඩුවක් වග⁣ේ එකක් පවන්” 

“ රෙනව⁣ේශන් ප්ලැන් එකක් මං ගාව තියෙනවා අප්පච්චි. “

ව්‍යාපාර පාර්ශ්වය න් එකි⁣නෙකාගේ මුහුණ බලා ගනිමින් මිගාර ගේ මුහුණ බලා ඉන්නේ ඔහුගේ පිළිතුරු ලැබෙන තුරුය. 

“ කැෆේ එකක් අප්පච්චි” 


මේ වන විට පිටතින් පැමිණි පාර්ශ්වකරුවන් හමුවීම් කාමරයෙන් පිටත්ව ගොස් සිටි අතර , ඉතිරිව සීටියේ විජේබණ්ඩාර උරුමය දරාගත් පිරිස පමණයි. නමුත් ඔවුන’තර අමුතු උද්යෝගයක් ඇතිව නැතිව ගිය බවක් දැකියහැකි විය. 

“ අපට දැනටම කැෆේ කීපයක්, හොස්පිටැලිටි පැත්තේ ප්‍රොජෙක්ට්ස් කීපයක් තියෙනවානෙ” 

” මේක වෙනස් එකක්” පවන් කීවේ,

සරලවය. 

සන්සුන් ව ය. 

. නමුත්, වැඩි පාලනයක් තමන් අතෙහි දරා ගෙනය. 


මිගාර සිය පුත්‍රයා ව විපරම් කර බැලුවේය.

ඇත්තෙන්ම අදහස ඔහුට වැදගත් නොවීය. නමුත් මේ අදහස පසුපස ඇති අරමුණ පැහැදිලි කර ගැනීමටය. 


“ ප්‍රපෝසල් එකක් සබිමිට් කරන්න” ඔහු අවසානයේ කියා සිටියේය. “ ඒක හොද වුනොත් ඔයාට පුලුවන් වැඩේ පටන් ගන්න” 


මිගාරගේ භාශාවට අනුව එය පෙර අනුමැතියක් ලෙස සැලකිය හැක්කකි. 


.පවන් හිස සලා එය පිළිගත්තේය.

. ඒ හොඳටෝම ඇති, හිතින් හිතා ගත්තේය. 


ඇත්තෙන්ම කැෆේ එකට අදාලව කළ යුතු නියම සංවාදය තවම සිදු වී නැත. පවන්ගේ හිතේ තියෙන්නෙ වෙනමම අරමුණ කි. 

ඒ එදිනම සැන්දෑ අහස මළ හිරු වැදි රෝස පැහැයෙන් දිස්වෙන වෙලාවකි. සවුමි ගේ නිදන කාමරය ඇති කොරිඩෝව වෙනදා ලෙසම පැවතිණි. සවුමි ට මේ මොහොතේ පෙර ලෙස සන්සුන්ව නොදැනුණි. ඇයට කාමර කොරිඩෝව දිගට එන පිය සටහන අඳුනා ගත හැකිවේ. ඇය සිටියේ කාමරයේ දොර හොඳින් ඇර දමා ගෙනය.  මේ  පිය සටහන් ඇයට හොඳටම හුරු ය . සිගිත්තෙකු සන්දියේද, දරුවෙකු සන්දියේද, යව්වනයෙකු සහ දැන් තරුණයෙකු සන්දියේද මේ පිය සටහන් ඇයට වඩා හුරු වෙන්නට පුලුවන් කාටද? 


“ සවුමි” 


. ඇගේ කුඩා කාමරය සමන්විතව තිබුණේ කුඩා ඇඳක්, මේසයක් සහ පුටුවක් , ඇඳුම් අල්මාරියක් වැනි අතිශය සරල ගෘහභාණ්ඩ කිහිපයකින් පමණකි. ඇය ඇගේ සටහන් පොත් බලමින් මේසය අසල වැඩිවී බිත්තිය දෙසට මුහුණ පා සිටියාය. ඇගේ නම උච්ඡාරණය කරනු ඇසීමෙන් ඇය ආපස්සට හැරුණාය. හැම වෙලාවකම මෙන් සන්සුන්වය. පවන් ඇගේ දොරකඩ සිටගෙන උන්නේය. කුඩා කල මෙන් දුවගෙන දුවගෙන ආවේ නැත. දැන් දෙදෙනා දුරස්තය. බොහෝ නිශ්ශබ්ද විලාසයකින් ඔවුන් දැන් එකිනෙකාට දුරස්ත තරුණයෙකු සහ තරුණියකි. 


“ එන්න ඉතින් , ඉඳගන්න” 

පවන් ඒ ආරාධනාව පිළිගෙන ඇගේ කාමරයට ඇතුලු වී ඇගේ කුඩා රෝස මල් නිල් පසුබිමක ඇඳ තිබෙන ඇඳ රෙදි දමා ඇති ඇඳ මතින් හිඳගත්තේය. කාමරයේ වට පිටාව නැරඹුවේය. තමන්ගේ , අක්කාගේ කාමර විශාල වුවත් කොතරම් නවීන ගෘහභාණ්ඩ වලින් සංකීර්ණ ලෙස පිරී තිබුණත් මෙහි ඇති කිසිවක් කාලානුරුපව වෙනස් වී නැති හැටි නිහඩව බලා සිටියේය. ඒ තුලින් ඇය ළඟා කරගෙන ඇති සැනසීම ගැන සියුම් ඉරිසියා සහගත හැඟීමක්ද ඇතිවී තිබිණි. 

“ එක්සැම් ඉවර වෙන්නෙ කවදද?”

“ හෙට” 


.

“ අපේ ප්‍රොපටි එකක් තියෙනවා, තුම්මුල්ලේ. ඒකෙ ලීස් එක ඉවරයි. අපට ප්‍රොපටි එක ආයෙම හම්බවෙනවා.” පවන්ට කතා කරන්නට ඉඩ දී සවුමි නිශ්ශබ්ද වුවාය. “ මං හිතුවෙ එතැනින් පොඩි ස්පේස් එකක් අරගෙන මගේම පොඩි බිස්නස් එකක් පටන් ගන්න” සවුමි එවර ඒ මුහුණ බැලුවාය. පහත මාළයට . තමන්ගේ කාමරයේ කුඩා ඇඳ මත හිඳගෙන මෙහෙම කතා කරමින් සිටියාට විජේබණ්ඩා ව්‍යාපාර අධිරාජ්‍යයේ අනාගත ඔටුන්න හිමිවන්නේ පවන්ට බව ඇයට අමතක නොවේ. “ කැෆේ එකක්” එසේ කියා පවන් සවුමිගේ මුහුණණ බැලුවේය. 


. පළමු වතාවට සවුමි ගේ ප්‍රතිචාර ක්ශනයකින් වෙනස් විය. පවන් ඒ වෙනස දුටුවේය. ඔහු ඇය ගේ මේ වගේ සියුම් වෙනස්කම් පිලිබඳ අවදානය දක්වන්නේ ඇය දුටු මුල් කාලයේ සිටමය. ඒ මේ සම වයසේ අපුරු ජිවියා පිලිබඳ තිබු කුතුහලය හේතුවෙන් වු අතර පසුව ඇය කෙරෙහි වු අනුකම්පාව ක්‍රමයෙන් ටිකක් වෙනස්වට දැනෙමින් තිබෙන යව්වන හැගීම් පොදිය ඊට පසුබිම සාදා දී තිබිණි. 


.“ ඔයාට දැනටම තියෙනවානෙ එහෙම කැෆේ එකක්. “ ඇය උත්සාහ කළෙ එය සිහිපත් කරදෙන්නටය. එය ගැටලුවක් නොවේ. කරුණු දැක්වීමක් පමණය.

“ ඒවා මගෙම දේවල් නෙමෙයි” ඔහු වහා කියා දැමුවේ, කවුරුන් හෝ ඔහුගේ අදහස වෙනස් කරතැයි බියෙනි. 


. සුලග ආයේ කැරකෙන්නට පටන් ගත්තේය. පවන් සුසුමක් හෙලුවේය. පෙරට වඩා අවම වෙගයකිනි. පාලනය ක් සහිතව ය. 

“ මට මේක හරියටම කරන්න යි ඕනෙ..දවසක බ්‍රැන්ඩ් එකක් වෙන්නෝන… ඒක නිසාමයි ඔයා එක්ක කතා කරන්නෝන කියල⁣ හිතුවෙ…

ඔහු පැවසු දේ හරහා ගම්‍ය වුයේ කුඩා ව්‍යාපාරික අංකුරය වඩාත් වගකීම් සහගතව ගොඩනැගෙන බවය. නමුත් ඊලගට ඔහු කීවේ අනපේක්ෂිත කතාවකි. 


“You can run it.”


දෙදෙනා අතර ගැඹුරු නිහඩතාවක් මතුවිය. කොහොමත් සවුමි හදිසියේ ප්‍රතිචාර දැක්වුයෙ නැත. ඇය තමන්ට ඇසුණ දේ ටික වෙලාවක් යනතුරුත් විශ්වාස කරන්න ට කැමති වුයේ නැත. 

එහෙත් ඇය යළි පැහැදිලි කරගනු පිණිස , “ ඒ කියන්නේ ?” කියා ප්‍රශ්නාර්ථයක් නැගුවාය. .පවන් තම අදහස වෙනුවෙන් හේතු දක්වන්නට නොපැකිලව ඉදිරිපත් වුවෙය.


“ ඔයා දැනටම කෝපි කියන සබ්ජෙට් එක දන්නවා ..ඒ මදැයි”

“ ඒකයි මේකයි දෙකක්”

“ නැහැ … පොඩ්ඩක් වැඩේ ලොකුයි”

“ මං කියන්නේ පවන්, මං එතන වැඩ කරන්න එන්නම්.. ඒත් කොෆී ශොප් එකක් රන් කරනවා කියන්නේ…” ප

පවන් යාන්තම් මෙන් ඉදිරියට නැමී සවුමි ගේ ඇස් පතුල අල්ලා ගත්තේය. ඇයට තමන්ව වඩාත් ළඟින් ඇහුම්කන් දීමට සැලැස්වීම මිස වෙනත් අරමුණක් නොතිබිණි.

“ එහෙනම් ඒක හරියට ඉගෙන ගන්න” 

අන්න ඒ වචන පහ ඇගේ හිතට වැදිණි. ඒ වචන වල පැවතුණේ උපදේශයක්මත් නොවේ. එහි තිබුණේ ගැඹුරකි. අනාගතය පිලිබඳ අරමුණු සහගත හැඟීමකි. 

“ දැන් ඔයා දෙපාරක් ඒ ලෙවල් කරලා තියෙන්නේ. යුනිවසිටි තේරුණොත් එඩියුකේශන් කම්ප්ලිට් කරන්න පුලුවන්නෙ. එතකම් වොකේශනල් දෙයක් ඉගෙන ගත්තට පාඩුවක් නැ කියලමයි මට නම් හිතෙන්නේ…” 

“ සුලලි අක්කත් ඒ ගැන නම් මාත් එක්ක කතා කළා”

“ අක්කා මොකද කිව්වේ, ඔයාට ෆොරින් වර්කින් ඔපචුනිටි එකකට යන්න ඔිනකමක් තියෙනවාද?”

සවුමි සුසුමක් හෙළුවාය. ඇයට විජේබණ්ඩාර සමුහයේ ඇති විදේශීය මධ්‍යස්ථානයක වුව සේවය කිරිමට අවස්ථාවක් දිය හැකි බව සුලලි කියා ඇත. එහෙත්, ලංකාව ඇගේ ස්වර්ග භුමියයි. 

“ මං ලංකාවෙ ඉන්නයි කැමති” මෘදු එහෙත් ස්ථිර කටහඩකින් ඔ් පවසද්දී පවන්ට දැනුණේ අස්වැසිල්ලකි. පවන් ඒ අස්වැසිල්ලට හේතුව විපරම් කරන්න ස්වයං ගවේෂණයක යෙදෙන්නට කැමති නොවුයේය. මේ කොහොමටවත්ම ඊට වෙලාව නොවේ. 

“ මෙහේ හොඳ කෝසස් තියෙනවා.. ප්‍රොෆෙශනල් බැරිස්ටා ට්‍රෙිනින්, මැනේජ්මන්ට්.. මං ඒක ඇරෙන්ජ් කරන්නම්.. ඒ ගැන වොරි වෙන්න එපා.. ඔයා හොඳට ඉගෙන ගන්න. මං ශොප් එකේ වැඩේ බලාගන්නම්.. මේක ඔයා කරන රස්සාවක් විදියට හිතන්න එපා.. තමන්ගෙ දෙයක් විදියට හිතල‌ කරගෙන යන්නයි තියෙන්නේ..”

සවුමි ට ඇගේ ජීවිතයට දෛවය ලබා දෙන අවස්ථා ගැන තියෙන්නේ පුදුමයකි. අතීතයත් වර්තමානයත් දෙස හැරී නැවතී බලන විට මේ තරම් හොඳ මිනිස්සු ඇගේ ආරක්ෂාවට ලබා දී ඇත්තේ පුදුමාකාර විදියකටය. 

“ මං කැමතියි පවන්” පවන් ගෙළ ඇළකරගෙන ඇය දෙස මොහොතක් බලා සිටියේය. මඳ මුදු සිනාවක් ඒ දෙතොල් කොණක ඇඳී මැකුණේය. එඩෙක්සෙල් සිලබස් එකෙන් උසස්‌පෙළ හදාරා දැන් උපාධියත් සම්පුර්ණ කරගෙන පශ්චාත් උපාධියේ අවසන් අදියරේ හිදිනා පවන් බුද්ධිමත් කොල්ලෙකි. ඔහු බොහෝ ධනවත් පෙළැන්තියේ දරුවන් මෙන් නන්නත්තාරේ නොගොස් සිය ව්‍යාපාර වල අනාගත ඔටුන්න දරන කුමාරයා බවට පත්වීමට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කරමින් සිටින්නේය.

“ අපි තුන්දෙනා හැදුණේ එකට.. අපි කරගෙන යන බිස්නස් එකක ඔයා සේවකයෙක් වෙනවා කියනෙක..හිතන්නවත් එපා. මේක පුංචිම පුංචි තැනක් තමයි. ඒත් ඔයා ඔයා වෙනුවෙන් දේවල් කරන්න පටන් ගන්න තැන මෙතන වෙන්නෝනි..” 

සිය වෘත්තිමය දැක්ම කතාවට එක්කාසු කළ තරුණයා ඇගේ සයනය මතින් නැගිට්ටේ ඇගේ උරහිස මතට මිත්‍රශීලි තට්ටුවක් දමමිනි. 

“ මේක පුංචි තැනක් නෙමෙයි පවන්… ඔයා මං ගැන මෙහෙමෙ හිතන එක මට හිතාගන්නවත් බෑ”

“ හරි හරි.. ඇති ඩ්‍රාමා ක්වීන්.. මං යනවා. පාඩම් කරලා මේ සබ්ජෙක්ට් එක ගොඩ දාගනින්” 

ඔහු සිනහවී කාමරයෙන් නික්මිණි. ඇත්තෙන්ම, සවුමි, සවුමි සඳමල සමරසිංහ ලෙස උප්පැන්න සහතිකයේ නාමගත වු දැරිය උපතින්ම ගෙන ආවේ වාසනාවේ සඳුන් කැටයය. ඇගේ මව්පියන් හා ගෙවු යුගය සිහිනයක් මෙන් යාන්තම් සිතෙහි රැඳුනත් ඇයට මතක අතීතය තිබෙන්නේ පැරඩයිස් හි ය. ග්‍රේස් විජේබණ්ඩාර , මිගාර විජේබණ්ඩාර ගේ එකම නැන්දණිය වු අතර ඇය අවිවාහක ව ජීවත් වුවාය. ත්‍රිකුණාමලයට ආසන්න ප්‍රදේශයකදී හමුවු කුඩා අනාත දැරියක තමන් හදාගන්නට ගන්නා බව දන්වා ඇය සවුමි ව පැරඩයිස් වෙත ගෙන ආවේ කාගෙන්වත් කෑමැත්තක් විමසීමට අවශ්‍ය නොවන තරමේ බලයක් ඇය සතුව කොහොමටත් පැවති බැවිනි. 

ඒ පරිච්ඡේදය වෙනම විස්තර කළ යුතු වුවත් කැෆේ සික්ස්ටි සික්ස්ත් පිලිබඳ ඇගේ ඇති බැඳියාව තේරුම් ගැනීමට මේ සිදුවීම් දාමය ප්‍රමාණවත්ය.එවර විභාගය අවසන්ව සවුමි , පවන්ගේ අනුදැනුම යටතේ තෝරා ගන්නා ලද වෘත්තිමය බැරිස්ටා පාඨමාලාවකට සම්බන්ධ වුවාය. ඒ පාඨමාලාව නියමිත ආකාරයෙන් හැදෑරීමෙන් ඉක්බිති යුවතිය වෙනුවෙන් කෝපි කඩය නිර්මාණය වුයේ පවන් ගේ හිතවත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ අති සුපරික්ෂාකාරී සහ ප්‍රවේශම් සහගත තෝරා ගැනීම් වල එකතුවක් වශයෙනි. හැමදේකදීම උවමනාවටත් වැඩියෙන් කල්පනා කළ පවන් වැටෙන දවල් හිරු එළිය කෝපි කඩයේ අවකාශයන් හා ගැටිය යුතු තැන් පවා පරි්ස්සමෙන් කියවා ගත්තේය. 

“ ඔන්න දැන් ඔයාටම තැනක් තියෙනවා.. මේක බ්‍රැන්ඩ් එකක් කරලා ගන්න වැඩේ ඔයාගෙ අතේ තියෙන්නේ…මම මුලින් කැපිටල් දාලා, උවමනා හැමදේම අරන් දෙනවා..” පවන් කීවේ කෝපි කඩය විවෘත කිරීමට නියමිත දවසට කලින් දා ඇය සමග හිඳගෙන ඇගේ ආලෝක කිනිති වෑහෙන නෙත් දෙස බලාගත්වනමය. 

“ ඔයා අපේම කෙනෙක් බව ඔයාටම ඔප්පු කරල පෙන්නගන්න” 

ඔහු එසේද කීවේය.

Tuesday, April 7, 2026

01

 


ඔලිව් 01

උදෑසන හතරට නාදවෙන එලාම් එක කවදාවත් විසන්ධි නොකරන ජීවිතය ක් ඇයට තියේ.. ඇගේ කාමරය තිබුණ⁣ේ කොළඹ නගරයේ මධ්‍යයේ පිහිටි සුවිශේෂ සුඛෝපභෝගී මන්දිරය ක පහත මාලයේ කොරිඩ⁣ෝරයක් දිගේ යද්දී හමුවෙන අහඹු මුල්ලය. ඇයත් සමගින් ම විජේබණ්ඩාරවරුන්ගේ පාරාදීසයේ පහත මාලය ඇහැරෙයි. රත්නශීලා නැන්දා සමග මුලුතැන්ගෙය ඇහැ අරින අතර. උයන්පල්ලන් හරිත පැහැති උද්‍යාන වලට දිය ඉහින්න පටන් ගනිති.ව්‍යාපාර අධිරාජ්‍යයකට අයිති වාහන වල රියැදුරන් තමන්ගේ වාහන සොදන පිහදාන අයුරු දකින්නට ලැබේ. මේ විශාල වපසරිය ඇතුලත කුරා කුහුඹු ඇගේ භුමිකාවම අහම්බයක් වේ.

විජේබණ්ඩාර පවුලේ කෙනෙකු ඇස ගැටෙන්නත් ඉස්සර ඇය ඒ විසල් පිවිසුම් දොරටුව මග හැරලා පසුපසින් ඇති කුඩා දොරටුවෙන් මහ මගට පිවිසෙයි.ඇගේ ගමනාන්තය වන්නේ තුම්මුල්ල හන්දිය ආසන්නයේ ඇති පුංචි කෝපි කඩයකි. කැෆේ 66ත්. පිවිසුම කුඩා කොරිඩෝව දෙදෙනෙකු ට මාරුවෙන්න ඉඩ නැති තරම් පටු වුනත් ඇතුලත සැලකිය යුතු ඉඩක කෝපි මේස සහ කුඩා ලී පුටු තිබේ

ඇයත් මේ පුංචි කෝපි කඩයත් අතර සම්බන්ධතාව වටප්‍රමාණය වැඩි කතාවක් වුනත් මේ ඒ කතාව දිගහරින්න මොහොතනොවෙු. ඇය ඇගේබෑග් එකේ තියන යතුරු වලින් කුඩා දොර ලග නැමි ඒවායේ දමා ඇති ලොකු ඉබි යතුරු වල අගුලු විවර කරයි. ඉන්පසුව පෙර දව⁣සෙ හෝදලා පිරිසිදු කරලා ගිය කෝපි මැශින් ක්‍රියාත්මක කරබි. මගදි මිලට ගන්නා අලුත් මල් , මල් බඳුන් වල දමා සරසන අතර. ඉන්පසුව ඇගේ කැෆේ සික්ස්ටි සික්ස්ත් යුනිෆෝම් එක තද කලුපාට දිග කලිසම, අලුපාට අත්කොට කමිසය සහ ලා දුඔුරු පාටැති ඒප්‍රනය පලදී. ගෙල මුලට වෙන්නට කොන්ඩය කුඩා ගෙඩියක් වෙන්න බැදගෙන කැඩපතට සිනා නගයි.  ඒ  හොදම සිනාවත් සමග ඉතින් දැන් ඊලග දවස පිළිගන්න කැෆේ සික්ස්ටි සික්ස්ත් සුදානම්!

එකවරම පලමුවෙනි ආශිර්වාදය අරගෙන කෙනෙක් කොපි කඩයේ දොරටුව හැර ගෙන මතු විණි. කලු කැප් එකක් සහ රවුම් කර ඇති කලු ටී ශර්ටයක් ඇදගෙන සිටි ඔහු අතේ ලැප්ටොප් බෑගයක් තිබුණි. ඔහු ටිකක් කලබලයෙන් ඉන්නවා වගේ ඇයට දැනී ගියේ කශනිකවය. 

“ good morning sir..”

ඈ ඇගේ සුපුරුදු සිනාවෙන්  දවසේ පළමු පාරිභෝගිකයාට සුබපතද්දී , ඔහු “ mmm morning ..” කීවේ ඇය දිහාවත් නොබලමිනි. පුදුම හදිස්සියක්… ඇගේ හිතට හිතුණි. ඔවුන්ගේ කැෆේ සික්ස්ටි සික්ස්ත් කියන්නෙ කලබලකාරි මිනිසුන් ට ඔබින තැනක් නෙමෙයි. එහි දොරෙන් පිටත කොපමණ කලබලකාරී වුනත් මෙහි පැතිර පවතින නිශ්ශබ්දතාවට මිනිස්සු ආස කළ බව ඔවුන් දැන සිටියහ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයේ සිසුන්. ඔවුන් තමන් ගේ ලැප්⁣ටොප් අරගෙන ඇවිත් කෝපි බොමින් අප සතුව තිබුණු සරල කෙටි කෑමක් කමින් තමන් ගේ පාඩුවේ අධ්‍යයන වැඩ වල නිරත වුහ. 

“ rest room. එක මට ටිකක් පාවිච්චි කරන්න පුලුවන් ද?”

ඔහු ඇසුබැවින් ..ඇය හිස වැනුවාය. “ ආ.. තව මට ස්ට්රෝන් කොෆී එකක් ඕනෙ විතවුට් සුගර්” ඔහු නැවත කීවේ අමතක වු යමක් සිහිපත් කරනවාමෙනි. ඇය ඔහුට විවේක කාමරය ඇති දිසාවපෙන්වුවාය. ඉන්පසුව ඇයට ඔහු පිලිබද අවදානය දෙමින් ඉන්නට නොහැකි වුණේ ‍, පවන් විජේබණ්ඩාර ඒ මොහොතේ කෝපි කඩය ඉදිරිපට ඇති කුඩා ඉඩෙහි සිය වාහනය නවත්වාගෙන ඇගේ දුරකතනයට ඇමතුමක් දුන් නිසාවෙනි. එතැන වාහනය නැවැත්වීමට අවසර නැති නිසා වගේම පවන් කියන්නෙ මොනාකාර නොඉවසිලිමත් මනුස්සයෙක් ද කියලා දන්න නිසාම ඇයට තව මොහොතක් වත් එතැන රැදෙන්නට නොහැකියි. 

“ දැන්මම කස්ටමර්ස් ලා ඇවිත් ද?” පවන් විමසන්නේ ඇගේ මුහුණ වත් හරියට නොබලමිනි. ඔවුන් ට මම කවුරුවත් වන කෙනෙක් නෙමෙයි. ඇයට විජේබණ්ඩාර ලා ගැන එහෙමත් හිතී තිබිණි. 

“ එක්කෙනෙක් ඉන්නවා…” ඔහු පෙර දවසක දී කෝපි කඩයේ දෛනිකව උවමනා වන කෝපි ඇණවුමක බඩු ගෙනැවිත් තිබුණා. පවන් ට අවශ්‍ය වුණේ මෙහි ආදායම නිශ්චිත ව ඔහුගේ ගිණුමට බැර වෙන්නත්‍, අඩුපාඩු වලින් තොරව දෛනික කාර්යන් සිදුවෙන්නත් පමණයි. සුලලි‍, පවන්ගේ අක්කා ඇය ඉදහිටලා දවසක මෙහි එනවා. ඇවිත් අපේ කතා නායිකාව එක්ක කෝපි එකක් බොනවා. “ මම දන්නවානෙ අපේ මල්ලිගේ හැටි” කියමින් එයා බිව් කෝපි කෝප්පයටත් සල්ලි ගෙවනවා. 

කඩදාසි බෑග වල ඇසිරු කෝපි රැගෙන  නැවත කඩය තුලට යද්දී ඇයගේ  ඇස් පුදුමයෙන් විසල් වෙනවා. ඇය පෙර කී කලබලකාරී මනුස්සයා‍,  පෙර ඇද සිටි ⁣කලු රවුම් කර ටී ශර්ටය වෙනුවට ඔලිව් කොල පැහැ ස්වෙටරයකින් සැරසී ඇවිත් කෙලවර මේසයක වාඩිවී තමන් ගේ ලැප්ටොප් එක දිගහැරගෙන කිසිවක් කරමින් ඉන්නවා.  

ඔහු ඉල්වු ස්ට්රෝන් කෝපි එක ප්‍රමාදත් ඇති. ඇය සුවද ඉහිරුණු කෝපි කෝපිපයක් ඔහු වෙනුවෙන් පිලියෙල කලා. එය පිරිනමන්නට ඔහු ලගට ගියවිට ඔහු යාන්තම් වගෙ ඇය දිහා බැලුවා. ඔහු තවදුරටත් විශ්ව විද්‍යාල ළමෙයකැයි කියා පෙනුණේ නම් නැහැ. 

“ මේ තැන හොදයි.. හරි සන්සුන්” 

ඔහු කිව්වා. ඇය දැන සිටියේ නැහැ, ඔහු හදවතටම දැනුණු දේ කීවාද, නැත්නම් ඔහු එය මවා පෑවාද කියා.. කෙසේ වුවත් ඔහු ගේ ඇස් , දෙතොල් , ඇහිබැම එහෙන් මෙහෙන් රැවඅල් කොට අපිලිවෙලට වැවුණු කම්මුල් හරි ආකර්ශණීයයි කියා ඇයට හිතුණා. හ් ඒත් ඇගේ හැගීමත් ඒ තරම් ගණනකට ගත යුතු නැහැ. මොකද කියනවානම් ඇයත් තාම තරුණ කෙල්ලක්. ඉතින් මෙහි යන එන ආකර්ශණීය පිරිමි ළමයින් ගැන ඇයට වුණත් තවදුරටත් එහෙම දේවල් හිතෙන්න පුලුවන්. හිතී තියෙන වාරත් තියෙනවා.

මේ මොහොතේ තවත් දෙදෙනෙක් කෝපි කඩයට ඇතුලු වුනා. 

“ ගුඩ් මෝනින් ගෑනු ළමයා..” කිසියම් තද ස්වරයක සුබපැතුමක් ඔතා ඉදිරිපත් කලා වගෙයි. ඇය වෙනසක් නැති කෝපි ප්‍රේමීන් සියල්ලන්ට එකසේ පෑ සිනාව ඔවුන්ටත් පෑවා. 

“ ගුඩ් මෝනින් සර්..” 

“ කොහොමද.. අද ඔයාගෙන් හැමදාමත් කෝපි බොන අයමද මේ ඇවිත් ඉන්නෙ?” ඒක තරමකට වෙනස් ප්‍රශ්නයක්. ඇගේ ඇස් ඔලිව් කොල පැහැ ස්වෙටරය ඇද සිටින ඔහු වෙතම යොමු වුණා. 

“ හැමදාම එන කෙනෙක්, විතරයි තාම..” 

ඔවුන් කෝපි කෝප්ප දෙකක් අරගෙන කෝපි කඩයෙන් පිටත් ව ගියා. කොළ පැහැ ස්වෙටරයකට මාරුවී සිටි පුදුම පිරිමි ළමයා ඇය දෙස බැලුවා. 

“ ඔයා මම හැමදාම එන කෙනෙක් කියල එයාලට කීවේ ඇයි?” ඇය නිහඩවී හිටියා. ඒක වැරැද්දක් නොවන බව ඇයට විශ්වාසයි. “ ඉතින් ඒක වැරැද්දක් වගෙ දෙයක්ද සර්?” ඇය ඇහුවාම ඔහු හිනාවුණා. විශ්වාස කරන්න! මේ තුම්මුල්ල අවට දේශීය විදේශීය හිනාමලු දහස් ගාණක් කැෙෆ් සිකිස්ටි සික්ස්ත් එක මැද්දේ ඉහිරිලා ඇති… ඒත් ඔහු මෙතෙක් කොන් එකත් කර බැද තිබු සිනාමල්ල ලිහා දැම්මා.. කැෆේ සික්ස්ටි සික්ස්ත් හි සවුන්ඩ් පෘෆ් කර ඇති ගොඩනැගිල්ලේන් පවා එහාට ගලා ගිහින් කොළඹ පුරාම ගලා යන තරම් එළි කිනිති වෑහෙන්න පටන් ගත්තා කියා ඇයට හිතුණා. 

“ නෑ, මං හිතන්නෙ.. මින් පස්සෙ මම හැමදාම මෙහෙ එන “ කෝපි ප්‍රේමියෙක්” වෙයි.” දෙවියනේ, ඔහු අපේ ෆේස්බුක් පේජ් එකත් බලලා. අපි අපේ ටැග් ලයින් එක විදියට භාවිතා කරන්නේ, “ කෝපි ප්‍රේමීන්ට” කියන වචනය… ඔහු සිනාසෙමින් කුඩා හැදුනුම් කාඩි පතක් ඇය අත තිව්වා. එය සාමාන්‍ය කාඩ්පතකින් දෙකෙන් එකක් තරම් කුඩායි. මැට් කලු පැහැතියි. ඉදිරිපස, කුඩා ලැප්ටොප් එකක ස්වභාවයේ කොටුවක් යාන්තමින් දිලිසෙන රිදි පැහැයකින් සටහන්ව තිබුණා. අනික් පස ඒ ආකාරයෙන්ම qr code එකක් සටහන් ව තිබුණා. ඇය එය දෙපස පෙරළද්දී‍, ඔහු කවුන්ටරය මත සිය දෙවැළමිට තැබුවා. 

“ මම ප්රහේලිකාවක් වගෙද පේන්නේ?” ඇසුවා. ඇය හිනාවෙන්නට උත්සාහ කළා. 

“ ඔය⁣ාට පුලුවන් වෙයි විසදන්න…”

ඔහු ඇයට පේන අවකාශයෙන් නික්මිලා ගිහින් සිසිටිවි තිරයෙන් ද නික්ම ගියා. ඇවිද ගියේ බම්බලපිටිය දෙසට…. ඔහු ඇත්තටම ආවේ කෝපි බොන්නටද? නැත්නම් කලු පාට ටී ශර්ටයනේ ඔලිව් කොළ පාට ස්වෙටරයට මාරු වෙන්නට ද? 


Monday, March 30, 2026

ඇමීබා පෙම් සිහින

 දුයිෂෙන්ය! 

ඔබ මගේ ප්‍රේමයේ, 

ජිවිතය නම් අයිලයේ!




ඇමීබා පෙම් සිහින

  



ලොව කිසිදු තැනෙක, නොදකින

විරල සහ ආවේණික මල් පිපෙන, 

කලබලකාරීම මං මාවත් මැදින්

කඳුවැටි, උල්පත්ද ගං දියද උපදන, 

සදාහරිතම වැසි වනාන්තර, උසුලන

ඉඳහිටක, 

ලැව් ගිනි ද හටගෙන ලාවා ද උතුරන

ලෝක  උරුමය ඔබය 


මේ අන්තයට මා එවු මෙහෙවර 

මට ප්‍රත්‍යක්ෂ කරනු වස් හමුවුණ!

ඇමීබා පෙම් සිහින

 



මෙතෙක් කල් වලාකුළු තද කරන් හිටි කඳූලු

දියාරුව වැහි බින්දු ලෙසින් කොළඹට හැලෙයි 

අව් රශ්මියට හසුව ඉරුවරද දරා හිටි 

ගොඩනැගිලි හිස් මුදුන් ඉන් දරුණු ලෙස තෙමෙයි

මේ වලාකුළු යටින්, ටිකක් ඈතින් ඔබත් 

ඉන්නවා කියා මගේ ගැහැනු හිත මට කියයි 

කිසිම හේතුවක් නැති , හැඩය පහදන්න බැරි 

සතුටු බුබුලක් ඉපිද යළිදු එය බිඳීයයි


කතාවක් බහක් නැති උනත්  මේ අහස යට 

ප්‍රංශ හාදුවක් ගැන විටෙන් විට සිහි නැගෙයි 

දෙතොල් හිරි වැටී යන ඇමීබා පෙම් සිහින 

මගෙත් හද නිම්නයෙහි හරි හෙමින් පණ ගැහෙයි 

ළැම කඳුද මුදු සිරස් වලින් එසැවී බලා 

ඔබ කොහේ සිටීදැයි හොරෙන් විමසා බලයි 

මම තුළම ඔබ හිඳින විප්‍රකාරි රහස් 

දැන හැඳින යළි බිමට පාත් වී නිහඩ වෙයි 

Thursday, March 26, 2026

ඇමීබා පෙම් සිහින

 



ඉතින් ඔබ ඇසුවොතින් ආදරේ ගැඹුර

පෙන්වන්න හැකිය මගේ ගිළුණු නෙතු පතුල 

ඒ තුලින් කිමිදුනොත් පපුකැනති ඇතුල 

පුරා හමුවෙයි නුඹට, නුඹ නොදුටු නුඹම


හසු නොවන මුත් ඇසෙහි, ඇලෙන්නට නිතර

මුහු වෙමිය සුලගකට,  නුඹෙ කොපුල සිඹින

කදු මුදුන් මත හෙමින් සමරු පලදමින 

වැහි මලක් රැගෙන එමි මේ කුලක් ලෙසින 


සතුටු රැහැනක කොණක සිනහවක බැඳුණ 

කඳුලු  බිඳුවක ගිලී ගිලිහෙන්න යෙදුණ 

එතෙක් නුඹටත් නොදැනි, එහෙත් නුඹ දකින

සිහිනයක් වෙමි නුඹේ ඇහිපියක රැඳුණ


OLIVE 06

 Olive 06 රටා රහිත යුවතිය Flat white කෝපි බඳුන අවසාන වන්නට ආසන්නය. නමුත් එය සෑහෙන වෙලාවකින් අල්ලා වත් නැත. ඔහුගේ ඇගිලි කීබ⁣ෝඩ් එක මත වේගයෙන්...