Tuesday, February 17, 2026

මගේ පුනරුද කලාපය 11

 



ඉතින් මම අමයුරුට සෙනසුරාදා දවස ගැන අදහස් කිව්වා . ඒත් ඒ සම්පුර්ණ සිදුවීම් දාමයම හරි ද නැත්නම් වැරදි ද කියනඑක ගැන මට සහමුලින්ම නිරාකරණය කරගන්න අපහසු තත්වයක් මං තුළ ම තිබුණේ. පිරිමින් තමන්ගේ ජීවිත තුළ හැමවිටම සඟවා ගත් යම්කිසි දෙයක් තිබෙනවා. එහෙමත් දෙයක් තිබිය යුතුයැයි එක්කෝ ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් ඒ රහස් හරි ආඩම්බරව රහසිගත ජීවිත ගුහාව ක් තුළ සගවා ගෙන තබා ගන්නවා කියාත් විටක මට හිතෙනවා. 

අමයුරු ත් සමස්ත පිරිමි ප්‍රජාවගේ එක් නියෝජනය ක් කියා හිතන්නේ නැතුව ඉන්න මගේ මනසේ ආරක්ෂක පද්ධතිය මට ඉඩ දුන්නේ ම නැති තරම් . සෑම වෙලාවකදීම මංම නිර්මාණය කරගත් සීමා සහිත දුරකින් හැසිරෙන්න මම උත්සාහ කරමින් හිටියා. 

සෙනසුරාදා වෙන්න දින කීපයක් තිබුණේ. කොළඹ ට තදවැහි වහින සමයක් උදාවී තිබුණා. හැන්දෑවේ වැඩට ඇවිත් ගෙදරට යන ගැහැනුන් ට සාරි වාටි නොතෙමී ගෙදර යන්න ඉඩ නොදීම මේ වැහි සල්ලාලකම් කළා. තෙතබරිත පාද බදා වැළදගන්නම වැස්සා. 

" පුදුම ත් හිතෙනවා අද ප්රොෆ් අමයුරු කලින් ම ඇවිත් " මිස් ප්‍රීති මං ගාවට ආවෙ පුරුදු විදියට ප්‍රින්ට් අවුට්ස් ගන්න. මං හොරෙන් ම වට්සැප් එකට ගිහින් බැලුවෙ නොදැනෙන්න ආව මොකක් ම හරි පණිවුඩය ක් කොතැන හරි තියෙන්නත් පුලුවන් කියලා මට හිත කිව් නිසා. " මං ඇවිත් ඉන්නෙ" ඒ මං බලාපොරොත්තු තියාගෙන හිටිය වචන තුනක්. ඒත් ඒ බලාපොරොත්තු ගැන මට ලැජ්ජාව ක් තිබුණා. මගෙ ඊගෝව ද ඒ? නැත්නම් සංස්කෘතිකමය වශයෙන් මා තුළ ඇති පසුගාමීත්වය ද? දික්කසාද ගැහැනියක් විවාහයක ට සම්බන්ධ වී ඉන්න පිරිමියෙකු සමග මුහු වීම පිලිබඳ මට තියෙන අරුම හැගීම් ඒ පසුගාමීත්වයේ ප්‍රථිඵල ද? 

" එයා සිම්පෝසියම් එක ඉවර කරපු ගමන් යන්න ෆොරින් ලීව් ඇප්ලයිත් කරලා"

" එහෙමද මිස්?"

" ඔව්.. අපේ ඉතුරු ජර්නල් එක කරන්නේ ගිහින් ආවට පස්සේ ලු" 

ප්‍රිතී මිස්ට අමයුරු ගෙ ගමන්බිමන් ඔය හැටි වැදගත් ඇයි කියලා හිතමින් ඉද්දී තමයි ඒ වාක්‍යය කියැවුණේ . මගේ ගැහැනු හිත මොන තරම් විප්‍රකාර විදියට හිතන්න පටන් අරන් ද? දැන් මම අමයුරු ගැන අයිතිවාසිකම් හිතන්න ත් පටන් අරගෙනද? ඔන්න ඒ මොහොතෙම මගෙ කාර්යාල කාමරයේ දොර විවෘත වුණා . අමයුරු , එතැනින් මෑත් වුණා . 

" මිස්, රික්වෙස්ට් එකක් ඉල්ලා තිබුණේ සල්ලි දෙන්න. මෙන්න ඒක.." මං හිතන්නේ ඒ ඒ වෙලාවට අත්‍යවශ්‍ය ලියුමක් නම් නෙමෙයි.

අමයුරු මගේ ඇස් දෙස කෙලින්ම බලා සිනිහ වුණා. මිස් ප්‍රීති මගේත් අමයුරුගේත් අතර ඇස් බැල්මේ වෙනසක් තියෙනවාදැයි විමසිලි නොවුණත් ඇය එහෙම කරාවියි බියෙන් මගේ හද සලිතවී ගියා. අමයුරු මොකට මේ අවේලාවේ මගේ කාර්යාල කාමරයට කඩා වැදුණාද? ඔහු අරගෙන ආව ලියුමත් නිකම් ඊමේල් එකකින් අවසන් කරගන්න පුලුවන් ව තිබුණා. නමුත් මට වැටහුණු දේ තමයි මේ මොහොත වෙද්දී අමයුරු ත් මා දකින්න මොකක්දෝ ආසාවකින් පසු වෙමින් සිටිය බව. කෙසේ වුණත් මේ මොහොත වෙද්දී එලඹෙන සෙනසුරාදා පිලිබඳව අප දෙදෙනාම කුතුහලයෙන් පසුවුණා යැයි කීම තමා නිවැරදි.

“ අහ් ප්‍රොෆෙසර් , අර ප්‍රින්ටර්ව තෝරාගන්නා වැඩේ අපි ආදිත්‍යාට භාර දෙමුද.. මෙයා තමයි කලින් වතාවලත් ප්‍රකියුමන්ට් ප්‍රසස් එක හැන්ඩ්ල් කළේ”

“ ආ ..එහෙමද .. කිසි ප්‍රශ්නයක් නැ මිස් ප්‍රිතී... ආදිත්‍යා එහෙනම් පොඩ්ඩක් ඇවිත් මගෙත් එක්ක ඒ ගැන කතා කරන්න පුලුවන් නේද?” ඇස් අතර කොටන පුංචි පුංචි විදුලි අකුණු ගැන වගක් වත් නැතිව ඔහු හෙමෙන් මොන මොනවදෝ කිව්වා. මං දැනගෙනම හිටියා ආදිත්‍යා මේ හැසිරෙන්න පටන් ගත්ත විදිය ගැන. මං තරම් හොඳින් මං ගැන වෙන කවුද ඉතින් දන්නෙ?

මිස් ප්‍රිතී තමන්ගේ රාජාකරි කන්දෙන් තුනෙන් එකක් විතර මගේ නමින් වෙන ්කළාට පස්සෙ නගන මන්මත් කරවන සුලු සිනාව පාලා නික්මිලා ගියා. මම මොහොතකට මගේ අසුනේ හිඳගත්තා. මොකද්ද මේ සිද්ධ වේගෙන යන්නෙ ආදිත්‍යා.

ආයෙමත් තමුසෙ ආදරේ කරන්නද මේ දතකන්නෙ? ආදරේ කියන්නෙ මොන විදියෙ අගාධයක්ද කියලා ගැඹුර නොදැන පනින්නද යන්නෙ? ඇස් වහාගෙන ඉස්සරහ තියෙන වළකට ජබුක් ගාලා පනින්න දගලන ගනියෙක්ව මගේ ඇස් පනාපිට මේ මොහොතෙ ඉන්නවා. ආයෙමත් ආදරේ කරන්න පටන් ගත්තාම ඉස්ඉස්සෙල්ලාම තමුන්ව දාලා යන්නෙ තමුන්ගෙ බුද්ධිමත් කම. ඉන්පස්සෙ තමුන් අමු ගොන් හරකියක් වගේ ආදරෙන් අන්ධ වෙන්න පටන් ගන්නවා. දිමිත්‍රි වෙනුවෙන් පේ වෙලා ආදරේ කරලා.තමුන්ට මොනවද ලැබුණෙ.දරුවන් ලැබෙන්නෙ නැති ගැීනියක් කියන නම සමාජෙ ඉස්සරහට දාාල එයා යන්න ගියා නේද ආදිත්‍යා.මතක තියා ගන්න අමයුරු කියන්නෙ වෙන ග්‍රහ ලෝකයකින් ආව පිටස්තර ජීවියෙක් නොමයි. එයාත් මේ ආසියාතික පිරිමි කුලය නියෝජනය කරන එක් සත්වයෙකු විතරයි. මං හිතන්නෙ මම පැය ගණනාවකට නැවත පහළ මාලය කරා ගියෙ නැහැ.

මට අවමනා වුණා මගේ හද තුළ නැගෙමින් තිබු සංවේදී සිතුවිලි වලට යම් විවේකයක් දෙමින් තාරකික් සිතුවිලි වල දරුණු වදහිංසා වලින් ඒවා බේරා ගන්නා. ඇත්තෙන්ම කාලාන්තරයක් තිස්සේ මගේ සංවේදී පාර්ශ්වය ඉතා දැඩි ලෙස වින්දිතයන් වී සිටියා. ඒ නිසාම මගේ මොළය විසින් ඒ සංවේදී පාර්ශ්වය වටා ගොඩ නංවා තිබුණු ආරක්ෂක පවුර ඉතා ඝනකමයි. ඒ ගණ පවුර තුනී වෙමින් තියෙන විටම තාර්කික සිතුවිලි ඇවිත් ඒ තැන් වහ වහා පිළිසකර කිරීමෙහි නියැලුණා.

ඒත් ගැහැනු හිතක් උයනක් වගේ නේද?හැම සෘතුවකටම මුහුණ දීමේ බලය උරුම ගැහැනු හදකටම නේද? ඉතින් මේ වතාවේ දැඩි පරිස්සම් සහගත බවකින් යුතුව ප්‍රේමයක් හටගන්න අවකාශ දුන්නෝතින් ආදිත්‍යා කලින් වතාවේ වගේම බිඳී බිඳී වේදනා විඳීවිද? නැත්නම් ඒ ප්‍රේමය ඔස්සේ ඇය ඇගේ නිශ්චිත සතුටු දියර ප්‍රමාණය වෑහෙන්න ඉඩ දී සියල්ල සදාකාලික නොවන බව වටහා ගනීවිද? ඒ වෙද්දී මගේ තාර්කික පාර්ශ්වය සංවේදී පාර්ශ්වය සමග ගණුදෙනුවකට එඹිලා වගේ හැසිරෙන්න පටන් අරන්. දැන් සංවේදී පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වන්න පටන් අරන්. මගේ හ දමල් උයනට වසන්තය එනවා නම් ඒ ඒන්නේ කාගේ සෘතුවකින්ද යන්න ගැන මං සැලකිලිමත් නොවිය යුතුය යුතුබව මටම කියා දෙනවා.  ඉතින් ඒක පිළිගත හැකි තර්කයක් නෙමෙයිද? වසන්තය එනවා නම් ආයෙ ඊට උප්පැන්නයක් හොයන්නේ මොකකටද? ඒ වගේමයි. වසන්තය නික්ම ගිය දවසට කරන්නේ මොකක්ද කියා හාතන්නේ මොකටද? කොහොමටත් සෘතු වෙනස් වෙනවා. ගිම්හානයන් ශිශිරයන් ශරත් සම එළඹෙනවා. කිසිම සෘතුවක් ඔ්නැවට වඩා දීර්ඝ විය යුතු නැහැ.

හැම සෘතුවකදීම ඊට ඔරොත්තු දෙනායුරින් ජීවත් වෙන්න හිත හදාගත්තට පස්සේ ජීවිතේට මොන සෘතුව එළඹුනත් කමක් නැහැ කියලා තේරුම් ගගන්න පුලුවන් වෙනවා. ටික වෙලාවකින් මට අභ්‍යන්තර දුරකතන ඇමතුමකින් අමයුරු කතා කරමින් හිටියා.

“ ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ආදිත්‍යා”

“ අහ් නැහැ නැහැ.. මම එන්නම්.”

“ නරහර එන්නකියන්න නෙමෙයි මම කතා කළේ. ඔයා ටිකක් කලබල පාටයි අද. මොකක් හරි කරදරෙක්ද ඉන්නෙ?”

මේතරම් කෙටි හමුවීම් වලින් පස්සේ මාව කියවන්න අමයුරු උත්සාහ කිරීම කියනෙක විදුලියක් හිත මැද්දෙන් මතුවෙලා සැනෙකින් නැති වෙලා ගියා. ආදරය , ප්ලීස් ඉන්න තැන ඉන්න. ඔයාට කිසිම අයිතියක් නෑ ඔහොම නැගිටින්න.

“ මං එන්නම්” ඒ නම් ඇත්තටම උත්තර දුන්නෙ මේ කාර්යාලයේ මෙතෙක් කාලයක් වැඩ කරගෙන පාඩුවෙ හිටිය ආදිත්‍යා නෙමෙයි. අර දිමිත්‍රි කියන ටොක්සික් කොල්ලට බයෙන් අවුරුදු ගණනාවක් ගල්භීත වෙලා ජීවිතේ හීන අත් ඇරලා ඔහේ ජීවත් වෙච්ච ආදිත්‍යා නෙමෙයි. එයාගේ බාලිකා සමයේදී මොකක් හරි වැඩක් භාර දුන්නොත් අනිත් අය බලාපොරොත්තු වුනාට වැඩිය පිළිවෙලට ඒ වැඩේ කරලා අවසන් කරපු ආදිත්‍යා. ලේසියෙන් ඇඩුවේ නැති, ඉස්කෝලෙ අක්කලා දෙදෙනෙක්ම බෙදා ගන්න බැරුව රණ්ඩු කළ ආදිත්‍යා. පුංචි කොල්ලෙකු වගේ මුරණ්ඩුව හැදුණු වැඩුණු ආදිත්‍යා. ඒ ආදිත්‍යා ආයෙ උන්හිටිගමන් උට්ඨාන වුණේ මොන ආකාරයෙන්ද මං දන්නෙ නෑ. ඒත් මම හරි වේගෙන් අමයුරු ගෙ කාමරේට ගියේ අර මගේ යව්වන කාලෙ වයිබ් එකෙන් . බාලිකාවේ අක්කලා දෙන්නෙක්ම ප්‍රියතම කාන්ඩයෙන් මට ආදරේ කරද්දී මං හිතාමතාම ඒ දෙන්නවම ඉම්ප්‍රෙස් කරමින් හිටිය වයිබ් එකෙන්

 “ ඇයි ප්‍රොෆෙස...”

“ ඉඳගන්න..” නිශ්ශබ්දයි. මුහුද වගෙයි. රළ නොනැගෙන ස්වභාවය නිතර පවතින එකක් වුණත් රළ නැගෙද්දී මේ වෙරළ මීටත් වඩා සුන්දර ඇති කියා මට හිතෙනවා. මාත් එකාතකට චපලයි. මට මීට කලින් හිතිලා තිබුණෙ රැළි නැඟෙන මහා මුහුද හරියටම පන්දුවක් දාන්න දුවගෙන දුශ්මන්ත චමීර වගෙ කියලා. ඒ්ත් මේ මොහොතෙ මට හිතෙනවා අමයුරු එයාගෙ ලැප් තිරය දිහා බලාගෙන ඉන්න මේ මොහොත හරියට මුහුදු නිශ්චලතාවයක ප්‍රතිමුර්තියක්ද කියලා.

චමීර ගැන කිව්වාමයි මතක් වුණෙ චමීර කියන්නෙ මගෙ ලාලසාව මතු කරපු පිරිමියෙක්. මාත් දිමිත්‍රිත් අතර තිබු යුධමය වාතාවරණය අවසන් වෙලා අප අතර සාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාට පසුව අපේ ගෙදර කාමර දෙකකට අපි අපේ අඩුම කුඩුම කොටු කරගත්තා. ඒ කොටු කර ගැනීම ඇතුළෙ අපි දෙන්නටම උවමනා වුණේ අපි ඔන්න වෙන්වුණා කියන හැඟීම අපි දෙන්නටම ඒතතු ගන්වගන්න. ඒක පහසුයි.නැත්නම් අපි එකම කාමරයක රුම්මේට්ස් ලා වගේ. මට හැමවෙලාවෙම සිහිපත් වුණා. හොස්ටල් එකක නැත්නම් අපාට්මන්ට් එකක ජීවත් වෙන රුම්මේට්ස් ලා දෙන්නෙක් වගේ අපි හැඟීම් විරහිතව එකිනෙකා දිහා බලාගෙන එඒ වුණත් නොපෙනෙනවා වගේ ජීවත් වෙනවා කියනෙක

 මෙහෙම කාමර දෙකක ටෙ වෙන්වුණායින් පස්සේ අපි අපටම අයිති පුංචි ලෝක වල හුදකලා වෙන්න පටන් ගත්තා. නමුත් දිමිත්‍රි මම ආසම බර්ගර් එකක්, චිකන් සබ්මැරිනයක් වගේ ගෙනැත් කැම කාමරයෙ මේසය මතින් තියලා තියන්න අමතක කරලා තිබුණේ නැහැ. මේ අතරෙ මමත් හවසට වැඩ ඇරලා ඇවිත් එයා කැමති විදියටම කෝපි හදලා එයාගෙ කෝප්පෙටම දාලා තියන්න පුරුදු වෙලා හිටියා. දිමිතත්‍රි එයාගෙ හුදලකා ජීවිතය සහමුලින්ම වෙනස් කරලා කියලා මට තේරුණෙ මුලින්ම ජිම් ගිහින් ආ දවසෙ. මං නිසා වෙනස් වෙන්න නොහිතුව මිනිහෙක් මගෙන් වෙන් වුනාට පස්සෙ මං කියන්නෙ එකම වහල යට වෙනම කාමරයකට ගියාට පස්සෙ මං වෙනුවෙන් නොකළ දේවල් කරන්න පටන් අරගෙන

අපි අතර මේ කාමර දෙකට වෙන්වෙද්දි තිබුණෙ අඩි කීපෙක වෙනසක් විතරක් වුණත් මේ වෙද්දී ඒ වෙනස ගව් ගාණක් දුරට යමින් තිබුණා. තවදුරටත් අපි අතරෙ කිසිම ආකර්ශණයක් පැවතුණෙ නැහැ. අපි ඒ වන වටත් බෙදා හදාගෙන භාවිතා කළෙ එකම නාන කාමරය. මම හුගක් පරිස්සම් වුණා නාන කාමරයෙදි මගේ යට ඇඳුම් දිමිත්‍රිගෙ ඇස නොගැසී තියෙන්න. මට මතකයි ඒ ගැන ඔහු හරිම විවේචනාත්මකයි ඉස්සර.

“ මේවා ගෑනු තියාගන්න ඔ්නෙ විදියක් තියෙනවා. මෙහෙම මේවා දාලා තියෙනවා දකිද්දි ගෑනු එපා වෙනවනේ අප්පා” ඒ නොක්කඩු කතා. නමුත් අපි කොයිතරම් අපෙන් දුරස් වුණාද කියනවානම් මගේ උඩු ඇඳුම් යට ඇඳුම් කිසිවක් ගැන ඔහු තවදුරටත් වද වුණේ නැහැ. ඔහු හැසිරුණේ ඔහු සමඟ ගෙදරක් බෙදා හදාගෙන ජීවත් වෙන පිරිමි සගයෙකුට සලකන අයුරින්මයි කියලා මට වැටහෙමින් තිබුණා. අපි අතර තිබු අකුණු කෙටීමේ ස්වභාවය ඉවත් වීමෙන් පසු අප ක්‍රියාවිරහිතවු බැට්රි වගේ තැන් තැන් වල ජීවත් වෙමින් හිටියා. මා කියන්නේ අන්න ඒ් ස්වභාවයෙන් මිදෙන්න මගේ මනස ග්‍රහණය කරගත් පිරිමියා චමිර කියලායි. ඒක එක්තරා ආකාරයකින් හරි පුදුමාකාරයි. මා ඔහුව කිසිවිටෙකත් සජිවි ලෙස දැක තිබුණේත් නැහැ. මා මේ කියනවා වගේ. ඔහු පන්දු යවන්න දුවගෙන එන ස්වභාවය ඒ වෙලාවට ඔහුගේ මුහුණේ ඇඳෙන ඉරියව් මං හිතන්නේ මාව කුල්මත් කිරීමේ හැකියාවක් ඒ්වට තිබුණා. මුහුදක් රැළි නඟන්නේ මෙහෙම නම් කුණාටු ස්වභාවයකදී එය කොහොම ඇතිද?

කෙසේ වෙතත් මගේ චිත්ත කැළඹිම දිහා මොහොතක් බලා සිටි මහාචාර්යතුමා මාව විනිවිද දකින සුළු බැල්මක් බැලුවා.

“ ආදිත්‍යා ඇයි ඔයා ඔහොම මං දිහා බලන් ඉන්නේ?” මං ඇත්තටම නිරුත්තරවුණා. මං දන්නේ නෑ. ඒ මොහොතේ මගේ ඇස් වලින් විහිදෙන්න පටන් ගත්තේ කුමනාකාරයේ පණිවුඩයක්ද කියලාවත්.

“ ආ නැහැ නැහැ.. මං වෙන කල්පනාවක හිටියෙ”

“ වෙන කල්පනාවක නෙමෙයි.. දැන් කොහොමද ප්‍රින්ටින් වැඩ ටිකේ තත්වෙ”

“ මං ඒකෙ ප්‍රකියුමන්ට් එක කරගෙන යනවා. ප්‍රොෆෙස ට තියෙන්නේ ප්‍රින්ට් කරන්න තියෙන ආටිකල්ස් ටික තෝරාගෙන ඉතිරි වැඩට ලැස්ති වෙන්නයි”

“ හ්ම්...සෙනසුරාදා ට ඔයා එනවනෙ?” මේ සංවාදයට කිසිසේතම නොගැළපෙන කටහඩකින් අමයුරු විමසුවා. මම මොහොතක් ඔහු දෙස බලා උන්නා. 

" මම ලේසියෙන් දෙයක් කෙනෙකුට කියන්නේ නැහැ.ඒ්ත් කීවොත් වෙනස් කරන්නේත් නැහැ" මම මෘදුව කිව්වා. 

" ඔයාගෙ ඇස් හරිම ලස්සනයි. ලිප්ස් හරි සෙක්සි. ඒ්ත් මං වැඩියෙන්ම ඔයාට කැමති ආදිත්‍යා, ඔයාගෙ ඇටිටියුඩ් එකට. ඒක මට හිතාගන්න අමාරුයි" 

මට ඇත්තටම කියන්න ඔ්න වුණා. මටත් මගේ ඇටිටියුඩ් එක නම් තේරුම් ගන්න අමාරුයි කියලා. ඒත් මං නිශ්ශබ්දව හිටියා. මං ඒ වෙලාවේ යටි හිතින් හිතමින් හිටියේ... චමීර පන්දුව ක් නිදහස් කරද්දී චමීර ගේ මුහුණේ ඇඳෙන කුණාටුවත් ... අමයුරු ගේ ඇස් වල රැඳෙමින් ඇඳෙමින් තිබුණු කුණාටුවත් අතරේ මොන වගේ වෙනසක් තිබෙනවාද කියලා. මේවා ටිකක් විපරීත අදහස් තමයි. නමුත්, මේවා සරල සාමාන්‍ය ගැහැනියකට ඇති වෙන්න පුලුවන් හැඟීම් නෙමෙයිද? 

සඳ පහන් රැයේ අහන්න.... 



No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 11

  ඉතින් මම අමයුරුට සෙනසුරාදා දවස ගැන අදහස් කිව්වා . ඒත් ඒ සම්පුර්ණ සිදුවීම් දාමයම හරි ද නැත්නම් වැරදි ද කියනඑක ගැන මට සහමුලින්ම නිරාකරණය කරග...