Tuesday, May 12, 2026

OLIVE - 19

 🌿 OLIVE — Episode 19

සිග්නේචර් කෝපි


එදා රාත්‍රිය පුරාවට පැවති වැස්ස තුරල් වුයේ පාන්දරය. සෞමි ඇහැරුණේද පමාවය. එබැවින් වෙනදාට වඩා කෝපිහල විවෘත කරන්නට පරක්කු විය. ඇය සුපුරුදු වත් පිළිවෙත් ඉටු කරද්දීත් වාහන අංගනෙය් නතර කර තිබුණු කලු පැහැ උස ජීප් රිය දෙස බැලුවාය. ඇයට අමුත්තක් දැනිණි. රාත්‍රියේ තිබු සාදය හමාර වන්නට යෙදුණේද පාන්දර බැවින් පවන් තාම නිදි ඇතැයි ඇය සිතා සිටියාය. 

එබැවින් දුරකතන ඇමතුමක් නොදීම ඇය කුඩා දොර සෙමෙන් විවෘත කළාය. ඉන් බැසි උස මිනිසෙකු දෛර විවර කරගෙන ඇතුල් විය. සෞමි වෙනසක් නැති සිනාවක් පෑවාය. සිය දෙඇස වසා තිබු අව් කන්නාඩිය ගැළවු මිනිසාගේ මුහුණ කොතැන හෝ මතකය. 

“ සර් මොනා ද බොන්නෙ?” 

ඇය ඔහුට සාමාන්‍ය මෙනු පතත් අලුතින් වරින් වර අදුන්වා දුන් කෝපි වල විස්තර ඇතුලත් ෆ්ලයර් එකත් ඔහුට පා ඇසුවාය. අමුත්තා ප්‍රවේශම් සහගතව විමසිල්ලෙන් මෙනුපත කියවා ගෙන යමින් සිටියෙය. ඒ අතර ෙසෟමි කවුන්ටරය දෙසට ගොස් එය පිසදැමුවාය. 

“ මිස් … මේ ඔලිව් බෘ කියන්නේ මොනවගෙ කෝපි එකක්ද?” 

“ ම්ම්ම්.. ඒක අපේ සිග්නේචර් එකක් සර්..”

“ මොනාද ඉන්ග්රිඩියන්ට්ස්…”

“ ශ්‍රි ලංකන් රෝස්ටඩ් කොෆි එක්ක සිනමන්, ඔරේන්ජ් එසන්ස්..එතකොට ඔලිව්..” 

අමුත්තා ඇගේ කතාව මැද්දෙන් තවත් ප්‍රශ්නයක් නැගුවේය. 

“ ඔලිව් එක්ක මොකක්ද තියන සම්බන්දෙ..” 

ඇය සිතා සිටින්නෙ මේ ඔලිව් ශාකය ආශ්‍රිතව අමුත්තා ප්‍රශ්න කරනා බවය.මොහොතක් ඔහු දෙස බලා හිදිමින් ඇය නිරුත්තර වුවාය.

“ පවන් ගෙ ; ඒ කියන්නෙ කැෆේ එකෙ ඕනර් ගෙ ආච්චි අම්මා තමයි මේ රෙසිපි එක ක්‍රියේට් කරල තියෙන්නෙ.. අපි ඒක ට්‍රයි කරල බැලුවා.. එච්චරයි” 

“ ඉතින් අද පවන් නැද්ද? නැත්නම් සාමාන්‍යයෙන් පවන් මෙතනට එන කෙනෙක් නෙමෙයිද?” 

“ ඉදහිටලා තමයි එන්නෙ” 

ඇයට දැන් මේ ප්‍රශ්න නැගීම ගැටලුවකි.

“ සර් කවුද? … අපේ කැෆේ එකට වැඩිය ඇවිත් නැහැ නේද?” සෞමිට දැනුණේ තමන් අනවශ්‍ය ආකාරයෙන් ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබෙන බවකි.අමුත්තා සිය විචක්ෂණ ශීලි ඇස් වලින් ඇයව නිරීක්ෂණය කළේය පසුව ඔහු කෝපි එකක් ඇණවුම් කළේය. එකිනෙකා සමග සිනාසෙමින් විශ්ව විද්‍යාලයේ යුවලක් සිය ලැප්ටොප් ද රැගෙන කෝපිහලට ඇතුලු වුහ. ඔවුන් කෙටි කෑම ඕඩර් කරනු ලැබුවත් ඒ වනවිට දිනයට අවශ්‍ය කේක් ඇතුලු අනිකුත් කෙටි කෑම කෝපිහලට ලැබී නොතිබුණි. ඔවුන් දැනට කියා කිරි සහිත කෝපි ඇණවුම් කළහ. 

කෝපිහලේ වයිෆයි මුරපදය කවුන්ටරය අසල ලියා අලවා ඇති බව අමුත්තාගේ ඇස ගැටිණි. 

“ මේක free Wi-Fi zone එකක් නෙද?”

“ ඔව්..”

“ ඒකට ඕන කෙනෙක්ට ජොයින් වෙලා වැඩ කරගන්න පුලුවන්”

“ ඔව්…”

ඔහු හිස සලා එය තේරුණු බව අගවා නිශ්ශබ්ද වු අතර යුවතිය අනික් ඇණවුම් සකස් කරනාතරේ ද වරින් වර මේ අමුතු මිනිසා දෙස බැලුවාය.  පවන් දුරකතන ඇමතුමක් ගත්තේය. සෞමි ඒ ඇමතුම දැක සැනසුම් සුසුමක් හෙලුවාය. 

“ සෞමි..”

“ ඔයා ඇහැරුණා ද?” 

“ මං බැලුවෙ ඔයා කැෆේ එක ඕපන් කලාද කියලා.. මං ටිකකින් එනවා”

සෞමි මද සිනාවක් පෑවාය.

“ හරි.. පුලුවන් නම් ටිකක් ඉක්මණින් එන්නකො..” සෞමි කවදාවත් මේ විදියේ දෙයක් කියන්නේ නැත. එයින් කිසිවක් කැෆේ එක තුල සිදුවෙතැයි ඔහු අනුමාන කළේය. කැෆේ 66ත් ඇතුළත ඒ මොහොතේ පෙනුණේ සාමාන්‍ය උදෑසනක ස්වභාවයය. කෝපි අඹරන ග්‍රයින්ඩරයේ හඬ, උණු කිරි වාෂ්පය, ලැප්ටොප් ඉදිරියේ හිඳගෙන අසයින්මන්ට් ටයිප් කරන ළමයින්— කිසිම තැනක අපරාධයක සලකුණක් නොතිබිණි.එහෙත් මේ පරිසරය තුළ  නොපෙනෙන තෙරපීමක් තිබුණේය.අමුත්තා කෝපි කෝප්පය මේසය මත තැබුවේ සන්සුන්වය.

“ මෙහෙට එන රෙගියුලර් කස්ටමර්ස් ලා ව මතක තියනවද ඔයාට?”

සෞමිගේ ඇස් මොහොතකට නිශ්චල විය. ඒත් ඇය ඉක්මනින්ම සාමාන්‍ය බවක් පෙන්වන්න උත්සාහ කළාය. 

“ ඔව්.. හුගක් වෙලාවට මට මතක හිටිනවා..” 

ඒ මොහොතේ නැවත පිරිමි ළමයින් දෙදෙනෙකු කෝපිහලට ඇතුලු වුවේය. ඔවුන් දෙදෙනාම ලැප්ටොප් රැගෙන ආවෝය. සෞමිට ලස්සන සිනාවලින් සුබපැතුහ.ඇයට තමන්ට උවමනා දේ ඇණවුම් කළහ. ඒ අතර ඇගේ කෝපිහලට පැණිරස කේක් සහ කෙටි කෑම සැපයුම් කරන තැනින් ඒවා ද ගෙන ආ බැවින් මේ සියල්ල අතර ඇය ඒවාද ලබා ගෙන නිසි ආකාරයෙන් ඒවා අවශ්‍ය තැන්වලින් තැන්පත් කළාය.

අමුත්තා නික්ම යන පාටක් නැත. ඔහු කැෆේ එකට එන හැමදෙනෙක් දෙසම නිරික්ෂණ බැල්මෙන් බලා හිදිති. ඒ අතර පවන් ආවේය. සුදු ලිනන් කමිසයක් වැලමිටට අත් නවාගෙන.. මුලු කැෆේ එකේම වයිබ් එක වෙනස් කරන්නට හැකි බලයක් ඔහු සතුවුණා වැනි හැගීමකින් සෞමි දිලිසෙන්නට පටන් ගෙනය. ඔහු දුටුවිට සෞමි ගේ මුහුණේ ඇදුණ සිනාවට ඔහුට ලෝභ හිතුණේය. සෙමෙන් කවුන්ටරයටම පැමිණ.. කාටවත්ම නොපෙනෙන්න ඇගේ කුඩා ඇගිල්ලක් අල්ලා ගත්තේය.මේ අතර අමුතු මිනිසා ඇසගින් පෙන්නු යුවතිය, හුගක් ප්‍රශ්න අහනවා කියා කීවේ සෙමිනි. පවන් මද සිනාවක් පෑවේය. 

“ ඔයා උදේට කාලත් නෑනෙ?”

“ කොෆී ෆස්ට්..” පවන් එසේ කියමින් සිය ව්‍යාපාරික ඉවෙන්ම අමුත්තා සාමාන්‍යයෙන් කෝපි එකක් බොන්නට කෝපිහලට ගොඩ නොවැදුණු බව වටහා ගත්තේය. ඒ නිසාම අතට අතදී තමන්ව හදුන්වා දෙමින් තමන් මේ කෝපිහලේ හිමිකරු බව ඔහුට කියා සිටියේය. සෞමි පවන් ට කෝපි එකක් සාදා එය පිරිනමන්නට ගියවිට ඇයටද ඉදගන්නැයි ආරාධනා ලැබිණි. 

ඇගේ නළල රැළිය. පවන් සිය පුහුණු කිරීම් නිසා සංයමයෙනි. 

“ අපි සයිබ සෙකියුරිටි ඔපරේශන් ඩිවිශන් එකෙ..”

සෞමි තද හුස්මක් උඩට ඇද ගත්තාය. පවන් ඇගේ අත අමුත්තාට පේන්නම අල්ලා ගත්තේ ඇගේ ඉවසීම ඇති කිරීමටය.

******************************

මෙහෙයුම් කාර්යාලය තුල 

එම මොහොතේ මෙහෙයුම් කාර්යාලය තුල මොනිටර්පේලියක වේගවත් ඇගවීම් ඇතිවෙන්නට පටන් ගත්තේය.

SIGNAL DETECTED

OLIVE PATTERN MATCH

“ Source location?”

“Cafe 66th public Wi-Fi.”

“ ඇති යන්තම් “ 

නිලධාරියෙකු සජිවි සිග්නල් ගමන්මග දක්වන තිරය open කළේය.

කලු තිරය  මත ඉතා වේගයෙන් සිග්නල් ගමන් පථ දහස් ගණනින් දිව ගියේය. උපාංගයෙන් උපාංගයට ඉතා වේගයෙන් මාරු විය.

“බලන්න.. මේක stable නෑ.”

“ඩිවයිස් එක අඳුනගන්න?”

“Trying…”

හදිසියේම සිග්නල් එක කැෆේ එකේ නෙට්වර්ක් ඒක  ඇතුළේ ඩිවයිසස් ගණනාවකට බෙදී ගියේය.

සිය පැවරුම්් කරනා ශිෂ්‍යයෙකුගේ ලැප්ටොප් එකක්, එතෙකින් නොනැවතී ටැබ්ලට් එකක්, ස්මාට් ස්පීකරයක් මෙන්ම POS මැශිම තුලින් පවා සිග්නල් ගලා යන්න සැලැස්වී ඇත. 

“මේ මොකක්ද?”

“Mirrored routing…”

නැවත ඇගවීමක් පටන් ගත්තේය. 

EXTERNAL GHOST TUNNEL ACTIVE

නිලධාරියා සිය දත් එකිනෙකට තද කළේය.

“Shit… OLIVE deliberately scrambling the trail.”

කැෆේ එක තුළ ඇත්තටම කිසිම දත්ත හුවමාරුවක් සිදු වෙමින්  තිබුණේ නැත. කිසිදු සැගවු ගණුදෙනුවක් හෝ ජාලයකට සම්බන්ද නොහදුනන උපාංගයක්ද නොවීය. 

ඒත් කොහේ හෝ අන් තැනක, ඔලිව් මගින් මෙහෙයුම් කාර්යාලයේ පද්ධති ස්වභාවයන් පවා අනුකරණය කරමින් සිටියෙය.

එක් මොනිටරයක සිතියමක් මත සිග්නල් මාවත මුලින් කොළඹ, ඊලගට නුවර, ඉන්පසු සිංගප්පුරුවේ ඉන්පසු රුමේනියාවේ උපාංගයක් කරා ඇදී ගියේය. 

“වෙන්න බෑ…”

“එමේක කොහොමද මේ තරම් ඉක්මණින් මෙහෙම වෙන්නෙ”

“මේ තමයි ඔලිව්…”

නිලධාරියා වාක්‍යය අවසන් කිරීමද තේරුමක් නැතැයි සිතුවේය. 

ඔවුන් ට තමන් සමග කිසිවෙකු හිතාමතාම හැංගිමුත්තන් සෙල්ලම කරන්නට පටන් ගෙන ඇති බව වැටහිණි. 

*************************************************************


Café 66th ඇතුළත 

සෞමි නිලධාරියා දෙස බලා සිටියේ පැටලිලි දෑසින්ය. 

“මං ඇත්තටම මේ දේවල් ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ…”

ඇගේ හඬේ තිබුණේ අවංක නොදන්නා බවකි.

නිලධාරියා ඇය දෙස මොහොතක් නිහඬව බලා සිටියේය.

. කිසිදු අපරාධමය ඉවකට හසුවන ලක්ෂණයක් නැත.

. කිසිදු විරෝධ ක්‍රියාකලාපයකි නැත.

. කිසිවක් නැත.

එහෙත් තවමත් ඔලිව් මේ කැෆේ එක තුලින් තමන්ව මතු වෙනවාය කියා පෙන්වන්නට හදන්නේය. 

“මිස් සෞමි,” ඔහු සන්සුන්ව කීවේය. “පහුගිය මාස වල සැක සහිත දෙයක්… අසාමාන්‍ය කස්ටමර් කෙනෙක්… මතක නැද්ද?”

සෞමි මොහොතක් කල්පනා කළාය.

ඇයට මතක් වූයේ: ඔසද පැමිණිම, හිටිහැටියේ කෝපි එකවත් සම්පුර්ණයෙන්ම නොබි පිටවීම

ඔහුගේ පණිවුඩ විලාසය, සමාජ මාධ්‍ය ඇප් භාවිතා නොකිරිම, හිතාගන්නට බැරි විදියේ පීඩනයකින් ජීවත් ෙවනවා වගේ ගතිය,ඔලිව් යන වචනය ගැන ඔහුට වු උනන්දුව.. ඉතින් දැන් මේ මිනිස්සු…ඇගේ හිත නොසන්සුන් විය.

“අනේ මන්ද ශුවර් නෑ…”

එවිට මෙහෙයුම් කාමරයෙන්  ආ ඇමතුමක් නිලධාරියාගේ කනේ රදවාගාන තිබු ශ්‍රවණ උපකරණයට සම්බන්ද විය. 

“සර් අපට ආපහු ට්රේල් එකලොස්ට් වුනා.”

“ලොස්ට්?”

“OLIVE bounced us out.”

නිලධාරියාගේ ඇස් අදුරු විය.

“කැෙෆ් එක ඇතුලෙ ඇක්චුවල්ඩේටා අප්ඩේට් පෙන්නනවද”

මද නිශ්ශබ්දතාවය පරික්ෂා කිරිම් වෙනුවෙනි.  

“Negative.”

එම වචනයත් සමඟ කැෆේ එක ඇතුළේ පරිසරයට තවත් තෙරපුමක්  එකතු විය. එයින් යම් දෙයක් ගම්‍ය විය. කාටම හෝ මෙහි සැකය කැෆේ එක තුල තැබිය යුතුව ඇත. 

“ ඔයාට මෙහෙ එහෙම ආගිය කිසිම කෙනෙක් ගැන සැකයක් ඇති වුණේ නැද්ද.. ටිකක් වෙනස්ම රුටින් එකක්..” 

පවන් නිලධාරියා දෙස බැලුවේ තීරණාත්මක බැල්මකි.හේතුව සෞමි විසින් මේ වනවිටත්් ඔසදව ආරක්ෂා කරමින් සිටින බවත් ඔහු ට දැනෙමින් තිබීමය. ඒ ගැන සියුම් ඉරිසියාවකි. ඒ ඉරිසියාව හේතුවෙන්ම ඔහු එකවරම සිය ජංගම දුරකතනය අතට ගෙන වරක් එදෙස නිරික්ෂණය කළේය. 

“ කෙනෙක් ගෙ වෙනස් රුටින් එකක් තිබුණා..” නිලධැරියා ඒ වචන වලින් ගිතැස්සිණි. මේ යුවතිය හිදින්නේ තුශ්නිම්භුතවය.ඇගෙන් ඇය හොදට දන්නා කාරණාවක් වුණත් ලිහිල් බසින් දැනගැනීම අසීරු බවක් දැනෙයි. 

“ මොන වගෙද?”

“ මං ගාව සිසිටිවි ෆුටේජස් තියනවා..”

නිලධාරියා නළල රැළි කළේය. විචක්ෂණ ඇසින් පවන් දෙස බැලුවේය. සෞමි පවන් දෙස බලා ගෙනම සිටියාය. ඔහු ඇයටත් නොකියා ඔසඳ පිලිබඳව අවධානයෙන් සිට ඇත

“ මේ මනුස්සයා ගැන ඔයාට සැක හිතුණෙ ඇයි?”

“ මට හරියටම පොයින්ට් කරල එක හේතුවක් කියන්න අමාරුයි. ඒත් මට මිනිහගෙ අත්බුත ගතියක් පේනවා හැම වෙලාවෙම. මිනිහ හදාගන්න ට්රයි කරන අමුතු විදියෙ කන්ටැක්ස්. ඒ වගෙම මිනිහගෙ ඇතුලෙ තියන ගතිගුණ හරියටම මිනිහ හැසිරෙන විදියෙන් පෙනුනෙ නෑ..”

පවන් විසින් යැවු පින්තුර ලැබුණු බව අගවා නිලධාරියා ගේ දුරකතනය ඒ මොහොතේම දෙදරුම් කෑමක් සමඟ දිලිසුණි. ඔහු මැසෙජ් නොටිෆිකේෂන් එකත් සමග වට්සැප් ඉන්බොක්ස් එක විවෘත කළේ ඉතා සාමාන්‍ය ආකාරයෙන් වුවත්, තිරය එක මත දිස් වූ CCTV පින්තුර දුටු මොහොතේ ඔහුගේ බැල්ම වෙනස් විය. Café 66th තුළ කෙළවර මේසයක olive පැහැ ස්වෙටරයක් ඇඳගෙන laptop එකක් ඉදිරියේ හිඳගෙන සිටින තරුණයෙකි. කෝපි කෝප්පයක් ඔහු අසලය. හිස මදක් පහත් කරගෙන යතුරුපුවරුව මත වැඩ කරමින් සිටියද, රාමුව එක යොමුවී තිබුණේ හරියටම කැමරාව ඔහු වෙත සැක කටයුතු ආකාරයෙන් zoom කරගත් මොහොතකය.

“මේ මනුස්සයා…” නිලධාරියා හෙමින් කීවේ තිරයට සමීප වෙමිනි. සෞමි ද තිරය දෙස බැලුවාය. ඇගේ හිත මොහොතකට ගැස්සුණේ ඒ රුව ඇයට හොඳින් හුරු නිසාය. ඔසද. ඒත් ඒ පින්තුරයේ  එකේ තිබූ පරිසරයේදී එක ඇය දන්නා ඔසදට වඩා වෙනස්ය. ඇයට ඇත්තෙන්ම ඔහුව පෙනුණේ අමුතුවටය. සිසිටිවි කැමරාවේ කෝණය, වෙලාව , ඔහු පමණක් හුදකලාවු රාමුව  ඒ සියල්ල එක්ව ඔහු සාමාන්‍ය කෝපි ප්රේමියෙකු නොව සැකකටයුතු නිරීක්ෂණයන්ට ලක්වු  කෙනෙකු ලෙස පෙන්වමින් තිබිණි. ඒත් ඉතින් ඇය හා හුරුබුහුටි ලෙස සිනාවෙමින් ටිකක් ගුප්ත වුවත් කතා බහ කරමින් සිටි ඔහු ඇයට සිහිවිය. 

නිලධාරියා පින්තුරය  මෙහෙයුම් කාර්යාලයටයැව් අතර තත්පර කිහිපයකින් පිළිතුරු  දිස් විය. 

MATCH POSSIBILITY: HIGH

නිලධාරියාගේ බැල්ම  තවත් බැරෑරුම් විය. තැෆේ 66ත් ඇතුළත තවමත් කොෆි මැශින් එකේ හඬ ඇසෙයි. විශ්ව විද්‍යාල ළමයින් හිනාවෙමින් තමන්ට අදාළ අසයින්මන්ට් ගැන කතා කරති. ඒත් මේ කැෆේ එක තුළ සාමාන්‍ය පෙනුම යටින්, ගලා යන අදෘශ්‍යමාන නිරීක්ෂණය න් දැන් සම්පූර්ණයෙන්ම ඔසද වෙත හැරෙමින් තිබිණි.

පවන් සිසිටිවි ෆුටේජස් නිලධාරින්ට පෙන්වා දුන් මොහොතෙන් පසු,පරික්ෂණයේ දිශාව සෙමින් වෙනස් විය. ඒ දක්වා Café 66th,පබ්ලික් වයිෆයි නෙට්වර්ක් එක සහ එහි පැමිණෙන අහඹු මිනිසුන් වටා කැරකෙමින් තිබූ සැකය දැන් එකම රුවක් වෙත කේන්ද්‍ර වෙමින් තිබිණි. ඔලිව් පැහැ ස්වෙටරයක් ඇඳගෙන ලැප්ටොප් එක ඉදිරියේ නිහඬව හිඳගෙන සිටින ඔසදගේ එක් ඉරියව්වකින් නතර වූ රාමුව මෙහෙයුම් කාමරයේ නිලධාරින්ගේ පරිගණක තිර මත නැවත නැවත විවෘත විය. ඔහුගේ පැමිණීම්, හිඳගැනීමේ ආකාර ඔහු තෝරා ගන්නා මේසය ,සිසිටිවි කැමරාවේ වෙලාවන් සඳහන් වන ආකාරය, කැෆේ එක තුළ සිද්ධින් සිදුවන ආකාර— සියල්ල දැන් අලුතින් ගැළපෙමින් තිබිණි. සයිබර් ආපරාධ මෙහෙයුම් අංශයට  අවශ්‍ය වූ අවධානය අවසානයේ ඔහු වෙත හැරී තිබුණේය.

එහෙත් මේ සියල්ල අතරින් සෞමිට දැනුණේ නිදහසක් නොවේ. ඇයගේ හිත ඇතුළේ ඇති වූයේ අපහසු, දරුණු නොතේරෙන හැඟීමකි. ඔසද වැරදි මිනිසෙකු විය හැකි බව ඇය පිළිගන්නට උත්සාහ කළත්, කෙනෙකු මේ විදියට පරිගණක තිර මත සැක සහිත විෂය වස්තුවක් බවට පත් වෙන ආකාරය ඇයට හිතට බරක් විය. ඇය ඉතා බොළඳ ලෙස හිත රිදුණු කෙනෙකු මෙන් දවස පුරා නිහඬව සිටියාය. පවන් නම් මේ සිදුවීම ප්‍රායෝගිකව බැලුවේය. ඔහුට අවශ්‍ය වූයේ කැෆේ එක සහ සෞමි ආරක්ෂා කිරීම පමණි. ඒත් සෞමිට දැනුණේ ඔහු ඔසදව නිලධාරින් අතට භාර දුන්නා වැනි හැඟීමකි. කවුන්ටරය  පිසදමමින් සිටි ඇය පවන් සමඟ කතා කළේත් කෙටි වචන වලින්ය. ඇය රිදුණු විට කෝප නොපෙන්වා නිහඬ වන ගැහැණියකි. ඒ නිහඬ බව පවන්ට හොඳින්ම වැටහී තිබිණි.ඇගේ හිත රිදී ඇත. තරහකට වඩාමේ තියෙන්නේ පිටාර ගලන්නේ ඒ දුකය. නිහඩ බවය. .

********************************************

මේ අතර කාව්‍යාගේ හිත තුළත් කුතුහලයක් මතුවෙමින් තිබිණි. ඔලිව් කියන වචනය දැන් ඇයට සාමාන්‍ය සයිබර් කෝඩ් එකක් පමණක් නොවීය. ඔසඳ අසලින් එය මතුවෙන හැම මොහොතකම, කැෆේ 66ත් තුළ සිග්නේචර් කොෆී එකක් ලෙස එය ජීවත්වෙන හැටි ඇය දැනසිටියාය. . ඒ අතර සෞමි… මේ කිසිවක් නොදැන සරලව, නොසන්සුන් ලෝකයක් මැද සන්සුන්ව හිඳගෙන කෝපි කෝප්ප අතර සිනාසෙමින් සැරිසරන යුවතියක් ලෙස ඇයට පෙනුණි. කාව්‍යාගේ සිතට තම සීයාගේ ලියකියවිලි අතර සොයාගත් අතින් ලියු පැරණි කඩදාසියේ ඇති කෝපි වට්ටෝරුව ජීවමාන කරන්නට සෞමිට හැකිවීමේ විස්මයානුකුල සත්‍යය සොයා ගැනීමේ අදහස පහළ වී තිබිණි. 

එදින දහවල් ඇය කාරය ඉතා සෙමෙන් කැෆේ 66ත් එක අසල පාර දිගේ ධාවනය කළාය. වැස්සෙන් තෙත් වූ ගස් කොළ අතරින් කැෆේ 66ත්  පෙනුණේ නිහඬ, උණුසුම් තැනක් ලෙසය.ඒ දර්ශනයෙන් ඇගේ හිත නිවී ගියේය. අමුතු විදියේ නිහඩතාවක් තමන් තුළම ඇතිවිය. මේ තැන‍, එහි කෙසේ හෝ නිකම් සයිබර් කේතයක් ලෙස නොව‍, කෙනෙකු ගේ විස්මයාන්විත මතකයක් ලෙස‍, පුරුද්දක් ලෙස නොවේ නම් කැමති ම රසයක් ලෙස එහෙමත් නැත්නම් කවුරුන් විසින් හෝ ගැඹුරු රහසක් ඉතා පරෙස්සම් සහිතව සගවන්නට යොදාගත් ඉපැරැණි කතන්දරයක් ලෙස ඔලිව් සැගවී තිබෙන්නට පුලුවන. 

ඇය අවසානයේ සිය තීරණය ගත්තාය. සෞමි හමුවිය යුතුය. කැෆේ 66ත් වෙත කෝපි බොනු පිණිස ඇතුළු වී, මේ OLIVE brew එක ඇත්තටම කුමක්දැයි තමන්ගේම දෑසින් දැනගත යුතුය. කෝපි වට්ටෝරුවක් ඇතුළේ මෙතරම් මායාකාර පැවතීමක් ටිකක් අස්වාභාවික බව ඇයට දැනුණි.

 කුරුඳු, දොඩම් රස, බදින ලද කෝපි, ඔලිව්— මේ ද්‍රව්‍ය එකට මිශ්‍ර වු පසු දැනෙන්නේ රසයක් පමණක්ද? නැත්නම් කාලයක් පුරා සඟවාගෙන ආ sරහසක්ද? කාව්‍යාකවුලුව දෙස බලමින් තව මොහොතක් නිහඬව සිටියාය. ඇතුළත කවුන්ටරය  පිටුපස සිටින සෞමි ඒ මොහොතේත් කිසිවක් නොදැන සිනාසෙමින් රසවත් කෝපි කෝප්පයක්  කෝපි ප්‍රේමියෙකු වෙත දිගු කරමින් සිටියාය.

ඇය සෙමෙන් කෝපිහලට ඇතුල් වු පසුව 

උණුසුම් ලා කහ පැහැති විදුලි එලි, ඒවායින් නැහැවෙමින් තිබෙන ලී මේස සහ පුටු සහ කවුන්ටරය  අසල බිසිවෙමින් සිටින සෞමිගේ සිනිඳු රුවය ඇස ගැටිණි. ඒ දර්ශනය කාව්‍යාගේ හිත මොහොතකට අමුතු විදියට නිහඬ කළේය. මෙතැන කොහොමින් කොහොම හෝ ඇය මුහුදු කරයේ ඇගේ මහගෙදර පැරණි ලී අල්මාරියේ තිබී සොයාගත් ඔලිව් කෝපි ජීවත්වෙමින් තිබෙන බව  ඇයට දැනුණි. එය තවදුරටත් සයිබර් අපරාධකරුවෙක් සඳහා වන කේත නාමයක් නොවේ. එය ආදරණීය මතකයකි. කාගේ හෝ පුරුදු වලින් එකකි. කුවරුන් හෝ කැමති ආස්වාදජනක රසයකි. ඒ කිසිවක් නොවේනම් කෙනෙකු ඉතා පරිස්සමින් සඟවා තැබූ පැරණි කතාවක් විදියටය.

OLIVE 18

 🌿 OLIVE — Episode 18 

ඔලිව් හි පැවතීම


පවන් ගේ ආදරය ගැන ස⁣ෞමි ට කොහොමටත් කිසිම සැකයක් නැත. ඒ දෙදෙනාට මේ කිසිම තැනක බාධාවන් තිබුණේ නැත. ඊට හේතුව ග්රේස් මම්මා විසින් සෞමි හදාවඩා ගත් ආකාරයට ඇයට කියාදුන් හොද ගතිගුණ වල ස්වභාවයට සෞමි වගේ කෙල්ලක අතින් කැප නොවෙන කිසිවක් සිදු නොවෙතැයි කෞශල්‍යා පවා සිතාගෙන හිටි නිසාය. 


එහෙත් සෞමි දන්නේම නැතිව ඇය පවන් හා ආත්මීය ආදරයකින් බැදී සිටි බව ඇය දැනගත්තේ මේ ගෙවුණු සතියේය. මේ බැදීම නිසා අසහනයට මෙන්ම අසීරුවට පත්වු තුන්වැන්නා මේ වන විටත් සෞමි ගේ අවදානය දිනා ගැනීම පිණිස උත්සාහ කරන්නේය. ඔසද… පරිගණක තිර මත සැරිසැරූ ‍, ඇස් මේ මොහොතේ කල්පනා කරන්නේ ඇය සිය කෙටි පණිවුඩ වලට දිනයක් දෙකක් ප්රති උත්තර දුන් ආකාරයේ උනන්දුවකින් දැන් පිළිතුරු නොදීම ගැනය. කතා නොකිරීම ගැනය. 


මේ දිනවල පරිස්සම් වෙනවා නේදැයි ‍, කාව්‍යා නොවැරදීම අසද්දී පවා සිය පරිස්සම පරදුවට තියා ඔසද ඒ දවසේ දහවල් කෝපිහලට ඇතුලු වුවේය. සෞමි ඉතින් පුරුදු පරිදි කාර්යබහුලව සිටියාය. ඔසද දැක හිස මදක් සොලවා සිනාසුණාය. ඒ මොහොතේ තමන්ගෙ හිතේ ඇතිවන ඉමහත් ආශ්වාදය මකා ගන්න ඔසදට කිසිවක් කරගනු නොහැකි විය. ඔහු සහමුලින් අසරණ වුවේය. ඒත් ඒ අසරණ වීම කාව්‍යාඉදිරියේ අසරණ වීමට වඩා නම් දෙවැනි ය. 


ඔහු තමන් හැමදාම වාගේ ඉදගත් මේසය අසලට ගොස් ඉද ගත්තේය. සෞමි ඔහු එනවිට සිටියේ වෙනත් යුවතිය කට උවමනා කෝපි බදුනක් සකසමිනි. එය පළමුව පිරිනමා ඇය ඔහු අසල නතර විණි. 

“ ආපහු පරණ තැන?”

“ මං හිතන්නේ ඒක තමයි මට අයිති තැන..”

සෞමි ගේ හිත තිගැස්සුණත් ඒ වගක් ඇය කොහොමටත් පෙන්වුවේ නැත. 

“ ඔයාට අයිති තැන ඔයාම තීරණය කරනවද?”

“ ඒක දැනගෙන හිටියාම මට ලේසියි වැඩ කරගෙන යන්න”

සෞමි හිස සෙලෙව්වාය. 

“ මොකක් ද අද මේ මුඩ් එකට හරියන්නෙ ? “

“ ඒක ඔය⁣ාට තීරණය කරන්න දෙන එක හොදයි වගෙ”

සෞමි මේ නෝක්කාඩු කතා නොසලකන බව අගවා‍, ඔසදට ගැලපෙන කෝපි එක හිතින් හිතා ගත්තාය. ඔහු වරින් වර ඇය දෙස බලා සිටියේය. ලැප්ටොප් තිරය දිගැර හිටියද වැඩක් කෙරෙනු නොපෙනිණ. කිසිම මානසික ඒකාග්‍රතාවයක් නැති එකෙක් මෙන් හැසිරෙමින් සිටියේය. 

ඇගේ කෝපි කෝප්පයක් බොන්නට ඔහු මේ කෝපිහල⁣ට ගොඩ වැදුණාට ඇගෙන් මේ ප්‍රතික්ශේපය ගැන දැනගැනිමේ උවමනාවක්ද වේ. 


“ සෞමි.. ඇත්තටම ඇයි දැන් කතා කරන්නෙ නැත්තෙ…?” කෝපි කෝප්පය මේසය මතින් තැබුවාට පසු ඔහු ඇගේ මුහුණ බලා ඇසුවාය. ඇය එය එතරම් බැරෑැරුම් ප්‍රශ්නයක් ලෙස සැලකුවේ නැත. ඒ වගක් ඇගේ මුහුණින් පෙනෙන විට තරුණයා ගේ හිත ඇතුල තිගැස්සුණේ මේ කෙල්ලගේ ඇතුළාන්තය ගැන තමන් පැමිණ සිටි නිගමනය වැරදිදැයි හිතෙන සිතුවිල්ලකය. 

“ පේනවනෙ.. ෆෝන් එක අල්ලන්නවත් වෙලාවක් නැහැ..වැඩ වෙලාවෙ..මේ දවස් වල කැම්පස් එකෙ එක්සැම් ළමයි දෙතුන් දෙනෙක් ටිකක් රැ වෙනකම් ඉන්නව. පාඩම් කරනව. එයාලා ආසයි මෙහෙ ඉදන් වැඩ කරන්න.. පවනුත් කිව්වා එයාලට ටිකක් ඉන්න දෙන්න අපි තව පැයක් විතර ටයිම් දීලා ශොප් එක වහමුයි කියලා” 


ඇය මෘදුව කීවාය.


“ එහෙම වැඩ කරල ගෙදර ගියාම මට හරි මහන්සියි..” 

“ ඔයා මේ ශොප් එකෙන් අයින් වෙලා වෙන පහසු ජොබ් එකක් කරන්න කැමති නැද්ද?” 

යුවතිය එවර බැලු බැල්මට ඔසද ගේ හිත ගැස්සුණේ වැරදි යමක් කියැවුණාද වැනි සැකයකිනි. 

“ මේක ජොබ් එකක් කියලා මං කවදාවත් කියලා තියෙනවද ඔයාට?” 

ඇය ඇසුවේ හැබෑවටම ඇයට අමතක යමක් සිහිපත් කරගන්න හදනවා වැනි ආකාරයකිනි. ඔසද සුසුමක් හෙලුවේය. එක්කෝ මේ විජේබණ්ඩාරලා සමග මේ කෙල්ලට ඇති සම්බන්ධතාව සමාජයට හෙළිදරව් කරන්නට නොහැකි විදියේ එකකි. එහෙම නැත්නම් මේ ඇගේ ශ්‍රමය සුරා කෑමකි. 


ඔසද ඇය හදන මේ කිරි පිරුණු කෝපියට මනාප ය. එය ඇය ඔහුට දෙන්නේත් වියවුල් සහිත මානසාකත්වයක ඉන්නා විටදීය.


“ මේක මට රස්සාවක් නෙමෙයි.. ජීවිතයක්!” ඇය කීවේ සෙමෙනි. 

“ අර සිග්නේචර් කොෆි එක … මං ආසයි ඒක ගැන දැන ගන්න. ඇත්තටම කවුද සෞමි ඒකෙ ක්‍රියේටර්..?” 


සෞමි ඊට උත්තර දෙන්න හිතද්දී, කෙනෙකු කෝපිහලට ඇතුල් වුවේය. උස ටිකක් අමුතු හැඩහුරුකමක් විමසිලි සහිත දෙනෙතක් ඇති කිසිම විශ්වාසයක් තියන්නට බැරි විදියේ මිනිසෙකුය. සිය ලැප්ටොප් එකද රැගෙනය. හරියටම, ඇවිත් හිදගනු ලැබුවේ‍ ඔසද හිදගෙන ඉන්නා මේසයට ඉදිරිපිට දෙදෙනෙකුට පමණක් ස්‍රැහෙන කුඩා මේසයේය.ඇණවුම් තිත්ත කෝපි එකකි. 


ඔසද ට මෙය අමුතු සිදුවීමකි. මේ දිනවල ඔහු පරිස්සම් විය යුතු බව ඔහුට තොරතුරු ලබා දෙන සහ ඔහුව පාලනය කරන ඒජන්සිය මගින් කිහිප වතාවක් ඔහුව දැනුවත් කර ඇත. ඒ නිසා මේ 


අමුත්තාගේ ආගමනය පිලිබද ඔහු සෑහෙන සැලකිලිමත් විය යුතුවේ. ඔහු පසෙක වු කැප් එක හිසෙහි පලඳා ගෙන ලැප් එකද බෑගයට දමා ගත්තේය. ඊට පෙර ඔහු තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් වටා ගොඩ නගා ඇති ආරක්ෂිත කවය පරික්ෂා කළේය. කෝපි බදුන ඉතා වේගයෙන් හිස් කළේය. නැගිට්ටෙය. ඔහු අසලින් මාරුවෙද්දී මේ අමුත්තාගේ ඇස් තමන් කෙරෙහි යොමුවෙනාකාරය ගැන ඔසද කොයිතරම් සැලකිලිමත් වුවාද කියනවා නම් හරියටම ඇස් හතර තීක්ෂණ ආකාරයකින් එකිනෙක මත ගැටිණි. 


උන්හිටිගමන් මතුවී හිතුවාටත් වඩා ඉක්මණින් නික්ම යන ඔසද දෙස සව්මි බැලුවේ පුදුමයෙනි. හෙතෙම නික්ම යනාකාරය ෙසෟමි පුදුමයෙන් මෙන් බලා ඉන්නවා ද අමුත්තාගෙ විපරම් ඇසට හසුවිය. හරියට ම විනාඩි එකාමාරකින් ඇය සිය ජංගම දුරකතනය දෙස බලනුද එයට කිසිවක් ප්‍රතිචාර ලෙස දක්වනුද ඔහු බලා සිටියෙය. 


ඇය ප්‍රතිචාරය ලෙස ඇත්තටම ටයිප් කළේ වචන දෙකකි. ඒ හරි කියාය. ඔහු නික්ම ගොස් ටික වෙලාවකින් අර අමුත්තාද නික්ම ගියේය.අපාට්මන්ට් එක ඇතුළත තිබුණේ අඳුරු, නිහඬ වාතාවරණයකි.ඇඳ අසල තිබූ කුඩා මේසය මත තවත් ලැප්ටොප් දෙකක්, external drives කිහිපයක්, සහ router එකක් blink වෙමින් තිබුණි. ඔහු කල්පනා කරමින් ටික වෙලාවක් වාඩිවී සිටියේය.ලැප්ටොප් එක ඔන් කළේය. ඒ ඔහු නෙට්වර්ක් වලට සම්බන්ද නොවනසේ පවත්වා ගනු ලබන වෙන්කර තනිකර තැබු පද්ධතියකි. සුසුමක් හෙළමින් ඔසඳ මන්ගේ ගමන් මග සිතියම් ගත කරන්නේ කවුදැයි කල්පනා කළේය. මෙය බාහිරින් මතුවන තර්ජනයක් බව ඔහුට පැහැදිලිය.  මෙි තත්වය යටතේ දින ගණනාවක් මේ අවකාශයටම වී සිටිමට ඔහු තීරණය කළේය. 


ඒත් ඇත්තටම ඔහු කැෆේ එකේ ගත කළ වෙලාව තුළ යම් කිසිවක් සිදු වෙමින් තිබිණි. ඔසද කැෆේ එකේ හිදගෙන සිය ලැප්ටොප් එක ඔන් කරගෙන සිටියදී ඔහුගේ ලැප්ටොප් තිරය කලු පසුබිමක ගිලී පැවතුණි. අදුරු අන්ධකාරයක නොවේ.එමෙන්ම නිශ්ශබ්දවය සම්පුර්ණයෙන්ම පැවතුණේ. තනි අකුරු පේලියක් කලු තිරය පළාගෙන මතුවිය

…connecting

විරාමයකි. පද්ධතිය විසින් තමන් ව ආරක්ෂා කරගැනීමේ ආරක්ෂිත කාලයක් ලබා ගත් අයුරක් දිස්විය. ඊළගට 

USER AUTHENTICATED

 ID: OLIVE

කර්සරය සෙළවෙමින් තිබු අතර මේ කිසිවක් නොදත් ලෝකය සාමාන්‍ය ආකාරයෙන් භ්‍රමණය විය.


හැතැප්ම කිහිපයක් ඔබ්බනේ මද එලියකින් සමන්විත මෙහෙයුම් කාමරයක ක්‍රියාවලියක් සිදුවෙමින් පැවතිණි. පරිගණකයක් ඉදිරියේ හිදගෙන සිටි කෙනෙකු ඉදිරියට නැමුණු අතර හිටගෙන සිටි කෙනෙකු තිරය දෙසට ළංවුයේය. දෙදෙනාම මොහොතක් ගෙවෙනතුරු කතා කළේ නැත. 

“ ඒ ඒකද?”

“ ඒ වගේ” අනිකා විස්මයාන්විත රාවයකින් කීවේ, එතැන වු අනිත් මොනිටරය ට ළං වෙමිනි. ල්පිගොනුවක් ඇර තිබිණි. කම්මැලි සහගත එහෙත් සම්පුර්ණයෙන් කාර්යාලිය ස්වභාවයකින් යුක්තවු ලිපිගොනුවක්! 


CIBER CRIME DIVISION — RESTRICTED ACCESS

Alias: OLIVE

 Status: ACTIVE

 Threat Level: CRITICAL

Notes:

 Highly intelligent.

 Untraceable for over 24 months.

 Responsible for multiple high-level breaches.

Recommendation: Immediate surveillance.

 Do not engage without authorization.

ඒ මෙහෙයුම් කාමරය එහි සිටින උන්ට දැනුණේ කුඩාවටය. 

“ මිනිහා අතුරුදහන් උනා… අවුරුදු දෙකක් පුරාම.. කිසිම ඉගියක් වත් තිබුණේ නැහැ” 

“ දැන් මේ එතකොට”

“ ලොගින් උනා..” 


ඔලිව්, ඔසදව මෙහෙයුම් කාමරයේ නිලධාරින් සොයා යන්නේ ඔහුවය. මේ සැකසහිත තත්වය යටතේ මෙහෙයුම් කාමරයේ අනුදැනුම ඇතිව අමුත්තකු කැෆේ 66ත් වෙත පිටත් කර එවන ලදී. ඔහු නිරුපද්‍රිතව කැෆේ එක වෙත ළගාවිය. වසර ගණනක පළපුරුද්දත් ඉවත් හේතුවෙන් ලැප්ටොප් දිගහැරගෙන ඒවාට එබි කිහිප දෙනෙකු සිටියා උනත් ඔහු හරියටම තෝරාගෙන හිද ගත්තේ ඔසද ගේ මේසය ඉදිරියෙන්මය. 


මෙහෙයුම් කාමරය - නිලධාරින් සිය දූතයා අවශ්‍ය ස්ථානයට ළගාවු බව දැනගත්හ. 

“Location?”

“ ඒක හරි.. අපේ කෙනා එතන ඉන්නව” 

“ මොකක්ද ඒ තැන?”

“Café”

 ඔහු විසින් ඒ මොහොතේම කැෆේ එක ඇතුලත ඡායාරුප කිහිපයක් එවු අතර ඒ වන විටත් ඔසද එතැනින් නික්ම ගොසිනි. කවුන්ටරයෙ සිටි කෙල්ල ගැන ඇතිවු සැකය නිසා ඔහු ඇගේ ජායාරුප කිහිපයක් ද මෙහෙයුම් කාමරයට එවන්නට සැලසුම් කර ඇත. 

“ සුම් ඉන් “ 

යුවතියක් කෝපිහල් කවුන්ටරය ළග සිටගෙන සිටින්නීය. ඇගෙන් නම් අපරාධකාරියකගේ ලක්ෂණයක් දැකිය නොහැකිය. 


“ එයා නම් කිසිම රෙකෝඩ් එකක නැහැ” ඇගේ පින්තුරය කිසිම පරිගණක අපරාධ ලිපිගොනුවක පින්තුරයකට සම්බන්ද නොවිණි. 

“ කිසිම කනෙක්ශන් එකක් ෙපන්නන්නෙ නැද්ද?” 

“ ඩිරෙක්ට් නෑ”

නිශ්ශබ්දතාවක් මතුවිය.

ඔවුහු තවත් ගොනුවක් විවෘත කලහ. 

SUBJECT: UNKNOWN FEMALE

 Status: MONITOR

Note: Possible proximity risk to OLIVE

අලුත් ලේබලයකි. අලුත් ගොනුවකි. 

සෞමි අලුතින් ආ කෙනෙකුට ලාතේ එකක පිරිනැමඅවාය. ඇය මේ ඇය වටා සිදුවන කිසිවක් දන්නේ නැත.සරලවත් නොදැනුවත්වත් ඇය වටා කැරකෙන සුළියේ ඇයද ඒ මේ අතට පාවෙයි. 

මෙහෙයුම් කාමරයේ අවසාන අප්ඩේට් එක ලෙස සටහන් වුයේ 

OLIVE — SESSION TERMINATED යන්නය. 

ඊට යටින්  අලුත් පේළියක් එකතුවී තිබුණි.

RISK EXPANSION DETECTED

ඊටත් යටින් ඔවුන් ඔලිව් සොයාගත් තැන, කැෆේ 66ත් හි ලොකේශන් එක සටහන් ව පැවතිණි. ඒ ස්ථිරවය. එමෙන්ම අනාරක්ෂිතවය. 

සෞමි රාත්‍රි අවන්හල් වැඩ කටයුතු අවසන් කර කවුන්ටරය පිස දමමින් සිටියාය. ඇතුළත කුඩා විදුලි පහන් මෘදුව දිලිසෙනෙතරෙ ඇය වටා සියුම් රන්වන් පැහැයක් මවා තිබිණි. ඇය ඒ වනවිටත් ආරක්ෂිතය. 

නමුත් කොහෙදෝ තැනක, තරමක් ඈතක… ඇගේ නම නොවේ. ඇගේ රුව ලේබලයක් වශයෙන් පද්ධතියකට ඇතුළත් වී තිබිණි.

Exposure

ඒ වගේම පලමු වතාවට ඔලිව් යන පද්ධති හානි කරන කේතය අප්‍රානවාචි නාම පදයක් පමනක් නොවි සජිවි ගැහෙන හදවතකැයි ඔවුන් සොයා ගෙන තිබිනි. OLIVE වෙත අනපේක්ෂිත සමීපතාවයක් ඇතැයි කියාය එය හඳුනාගෙන තිබුණේ

 මේ කිසිවක් නොදැන සිටි ඇයට දවස දිගු විඩාබර එකක් ලෙස දැනෙමින් තිබිණි. පවන් ද පැරඩයිස් මන්දිරයේ සිටියේ නැත. සෞමිට මේ වගේ රාත්‍රීන් වල තමන්ට කාත් කවුරුවත් නැතැයි හැඟේ. ඇගේ ඇසෙහි ලාවට තෙත් වෙන ගතිය දැනෙමින් තියේ. ජීවිතේ කාලයක් පුරාවට තමන් කාටවත්ම අයිති නැතැයි සිතෙන මේ සිතුවිල්ල දරුණු එකකි. ඒ සමඟම ඇයට පවන් වත් ඔසඳවත් දෙදෙනාම සිහිවිණි. ඇය දන්නා ඇගේ සමීපම කවය ඇතුළත හිඳින මිනිසුන්ටවත් ඇය වෙනුවෙන් ගෙවන්න‌ට වෙලාවක් නැතිකම ගැන වේදනාවකින් ඇය දැවෙන්නට පටන් ගත්තාය. ඒත් මොනවා කරන්න ද.. ජීවිතය නම් දිගු ගමනේ උරුමයක් වී ඇත්තේ එය නම්! ඕ පැරඩයිස් හි ගෙඋයනට බැස්සාය. නිහඩ රෑ අහස දෙස බලා උන්නාය. 

පවන් සිටියේ තරු පන්තියේ උත්සව ශාලාවකය. යම් ව්‍යාපාරික ප්‍රජාවගේ හමුවිමකය. ඒත් ඔහුට සෞමි සිහිවිය. මදක් ශාලාවෙන් බැහැරට ගොස් ඇයට ඇමතුමක් ගත්තේය. 

“ කීයටද කැෆේ එක වැහුවෙ?”

“ රෑ වෙනකං හිටියෙ නෑ. කලින් ම ආවා.”

“ ඒක හොදයි..  ඔයා මං නැති දවසට කැෆේ එක තනියම ඕපන් කරන් ඉන්නවා කියලා හිතන කොට හිතට කරදරයක්.” 

“ ඒවා ගැන හිතන්න එපා… ඔයා කල්පනාවෙන් ඔය වැඩ ටික කරගෙන එන්න..”

“ අද මං මෙහෙම රුම් එකක නතර වෙනවා. රැ වෙලා එන්න බැහැ. උදේට කැෆේ එකටම එන්නං” 

“ ම්ම්..හා”

“ හැම වෙලාවෙදි ම ළගින් ඉන්න බැරි වුනාට මං ඔයාට ආදරෙන් ඉන්නෙ”

පවන් කිව්වාම සෞමි ගේ හිත තුල සතුට අත් තළ නැගුවත් ආදරය නම් වචනයට බැදුනු ඛේදාන්ත හැමවිටම දැක ඇති ඇගේ හිත සසැලෙයි. 

“ ඒ වචනෙට ඇත්තටම මං බයයි..”

“ අපි හෙමිහිට ඒකට පුරුදු වෙමු” පවන් ද කීවේ සිනාසෙමින් ය. ඒ දෙදෙනා අතර තිබු බැඳියාවට ආදරය යන නම් තැබීම ගැනය ඇය මේ බියට පත් වෙන්නේ. ඒ මිස මෙතෙක් තිබු බැදීම නිසා නොවේ. 

උදෑසන කැෆේ එකට පවන් එනවා කීම බලාපොරොත්තුවකි. ඒ බලාපොරොත්තු හිත උඩ ගොඩ ගැහුණු බරට ම තෙරපී නිදිමත ඇස් අගින් පිටත පැන්නේය. එනිසාම දිගු ඇහිපිය ට වැසුණු කතා කරන ලස්සන ඇස් අපහසුවකින් තොරව නින්දක සැතපිණි. 

ඒ රාත්‍රිය තරමක් බිහිසුණු භාවයයකින් පිරුණු රැයකි.ඔලිව්, කේතය අතුරුදහන් ව තිබුණාට ඊට සමානම වෙනත් හැසිරීම් ඇති කේත කරුවන් සයිබ අවකාශය හරහා ඉතා දක්ෂ ලෙස ඒ මේ අත ගමන් කරමින් සිටියහ. මේ පිලිබඳ සයිබර් ආරක්ෂක මෙහෙයුම් කාර්යාලය හොද විමසිල්ලෙන් බලා උන්හ. 

ඔසද එදා සිය පර්ගණක අපරාධ අතීතය මෙනෙහි කරමින් සිටි අතර සිය වාර්තා අතරට සෞමි සම්බන්ධ කරගන්න උත්සාහ කළේ නැත. එහෙත් ඒ වෙද්දී ත් ඔහු කරගත් වැරැද්දක් නිසා කැෆේ එක පිලිබඳ තොරතුරු කාර්යාලය විසින් සොයාගෙන අවසන් ය. 

කුඩා නොකියා වර්ගයේ පැරණි ම දුරකථනය තදින් හඩනගා පණිවුඩය ක් ආබව කීවේය.එය කියවද්දී ඔහුගේ හුස්ම ගන්නා වේගය වැඩි විය. හකුපාඩා තද විය. ඔහුගේ සේවය ලබා ගන්නට යෙදුණු එක් අන්තර්ජාල ජාවාරම් කරුවකු පොලිස් භාරයට පත්වී ඇත. දැන් මෙතැනින් එහාට තත්වය ඉතාම නරක වන බව හෙතෙම අත්දැකීම් අනුව නිශ්චිත ව දැන සිටියේය. 

ඒ අවස්ථාවේ සිට ඔහු බලා සිටියේ බැල්කනියේ ය.රැයපහන් වී කෙමෙන් ලංකාවට හිරු උදාවෙනු ඔහු බලා උන්නේය. ඔහුගේ හකුපාඩා එකිනෙකට තදවී තිබිණි. මෙතැන් සිට ගතයුතු හැම තීරණයක්ම කාගේ හෝ ජීවිතයක ආත්ම ගෞරවය සම්බන්ද ඒවා විය. පපුව තුල හෘද ස්පන්දනය තමන්ටම කරදරයක් වන තරමට තදින් ඇසෙමින් තිබේ. පිටත කොලඹ නගරයම වරුසාවෙන් තෙත්බරය.බැල්කනියෙන් බලද්ද්‍රි කුඩාවට පේන වාහන ලයිට් එලි වැහිබිදු හා යාවී ආලෝක රේඛා මෙන් පෙනෙන්නට විය. 

ඔහු ඇස් වසාගෙන කල්පනා කළේය. අත්අඩංගුවට පත් මිනිසා කතා කළොත්, 

ඔහු මේ කේත නාමය නොදනි.

මේ සම්බන්ද ගෙවීම් සිදුවු ආකාරය නොදනි. අඩු ගණනේ මේ දත්ත ගෙනැවිත් දෙන කෙනා කවුරුදැයි නොදනී. ඔහු දැන සිටියේ එක් තැනකි. ඒ. කැෆේ 66ත් පමණකි. එතැනින් පසු සයිබර් අපරාධ මෙහෙයුම් ඒකකය කැෆේ එක පසුපස හඹායනු නිශ්චිතය. 

සෞමි ඔලිව් ගැන දැන සිටියේ නැත. ඇය දැන සිටියේ ඔසද ලක්ඛිත වික්‍රමගේව පමණකි. අඩුම ගණනේ ලිපිනයක් හෝ දැන සිටියේ ද නැත. ඇය දැන සිටි ඔලිව් දෙයක් විය. එය ඇය හදාවඩාගත් ගැහැනිය සිය සටහන් පොතේ සටහන් තබා තිබුණු කෝපි වට්ටෝරුවකි. 

……………………….

මේ අතර කාව්‍යා , ඇය ඒ වනවිට සිටියේ දකුණු වෙරළබඩ ඇගේ මහගෙදර, එනම් ඇගේ මවගේ පාර්ශ්වයේ පාරම්පරික මහගෙදරය. කවදාවත් නැතිව ඇයට බිම්ගේ ඉස්ටෝරුව බලන්නට යන්න උවමනාවී තිබිණි. ඒ බිම් ගේ තැන තැන දමා තිබු පැරණි කැඩි බිදි ගිය ගෘහභාණ්ඩ ය. ඒවායේ කිසි වැදගත්කමක් ඇතැයි නොසිතෙන තරම්ය. නමුත්, එක් පැරණි අල්මාරියක වැඩකට නැති ලෙස සලකා ඉවත දමන ලද පැරණි කහ පැහැ ගැහුණු ලිපි ගොනු සහ දිගු සිතියම් පොත් කිහිපයක් විය. ඒවා කොයිතරම් පැරණිද කියනවා නම් දිරාපත්වී කුඩා දුහුවිලි අංශු වලට පත්වී තිබිණි. 

කාව්‍යා ඒවා අතින් ඈත් මෑත් කළේ බොහෝ පරිස්සමෙනි. ඇගේ සීයා, ඔලිවර් පෙරේරාගමේහි ඉතා යහපත් ජීවිතයක් ගෙවු බුද්ධිමත් ධනවතෙකි. ඒ ලිපිගොනු එකින් එක දිගහරිමින් කාව්‍යා යම් අතීතයක් සොයමින් සිටියාය. ඒ අතීතය සොයා ගැනීම පහසු නොවීය. සීයා සිය මතකය අහිමි වෙමින් යන සමයේ සිය ජීවිතයේ තරුණ කාලය පිලිබද කතා කරමින් සිටියේය. ඔහු කෝපි බීමට උනන්දු වු මිනිසෙකි. සිය ජීවිතය පුරාම නොවෙනස්වු ආසාවක් නම් විවිධාකාර කෝපි වර්ග පානය කිරීමයි. ජිවිතයේ එක් කාලයක් ඔහු එංගලන්තය කරා ගොස් සිට ඇති අතර ඒ කාලයේ මේ පුරුද්ද ඇති වෙන්නට ඇතැයි ඔහු විශ්වාස කළේය. අවසන් කාලයේ සිය අතේ තියාගෙන සිටි කොළ කැබැල්ලක් කාව්‍යාට පෙන්වු හෙතෙම මේ පිටුවේ ඉතිරි කොටස සොයා ගන්නට තමන්ට උවමනා බවයි 

ඇය එක් ලිපිගොනුවක් දෙකක් තුනක් පෙරලුවාය. පසෙකින් තැබුවාය. හතරවෙනි ලිපිගොනුවෙහි වුයේ ඉතාම පැරණි ලියවිලිය. ලිපිගොනුව පසෙකට ගනිද්දීම එය අසමබරව බිමට වැටිණි. රාධා, මහගෙදර උදව්වට ඉන්නා රාධා ද කාව්‍යා සමග මේ වැඩේ කරන්නට සම්බන්ද වුවාය..

“ එකතු කරමු..” 

ලිපිගොනුවේ තිබි බිමට වැටුණු කොල අතරේ කැබලි කැබලි කඩදාසි කීපයකි. කාව්‍යා ඒවා ඉතා ප්‍රවේසමින් පිරික්සුවාය. ඇයට හමුවු දේ පුදුම සහගතය. කැබලි කඩදාසි පිරික්සද්දී ඒ කොල කැබලි ලිපි කිහිපයක ඒවා බව දැකිය හැකිවිය. තරමක් කුඩා ඡායාරුපයක් ද ඉරා දමා තිබිණි.මේ ලිපිගොනුව රහස් ගබඩාවක් බව කාව්‍යාට ඉෙවන් මෙන් දැනිණිග රාධා සමග මෙහි තිුබණු ලියකියවිලි කොටස් උඩු මහලට ගෙන ගොස් කාමරයේ මේසය මත තබා ගත්තාය. රාධාගෙද උදව් ඇතිව මුලින්ම පින්තුර කොටස් එකතු කළාය. 

තරුණ ගැහැනු ඡායාරුවක් මතුවිය. පසුපස හැරෙව් විට with Love - Grace කියා ලියා තිබිණි. කාව්‍යා ගේ පපුව දැවෙයි. ඒ ඇගේ අත්තම්මාගේ නම නොවෙයි. එතැනින් තීරණ ගැනීම් නොනැවතී ඕ අනෙක් කඩදාසි කැබලි එකතු කර තේරුමක් ඇති යමක් හොයමින් හිටියාය. 

තරමක් දුරට මෙය කරගෙන යද්දී ඇගේ ඇස් අදහා ගැනීම අසීැු විය. ටිකින් ටික ගොඩනැගෙමින් තිබුනේ සීයා අත තිබු පැරණි. ඉරිගිය කඩදාසි කොටසේ ඉතිරියයි. ඇත්තෙන්ම ඉතින් එ අබිරහසෙ විසදෙන්න දෙයක් තිබුණේ නැති තරම්ය. 

මේ පින්තුරයේ ඇති කාන්තාව ත් මේ රෙසිපිය සමග බැදී ඇති රහසත් දෙකම මේ වන විට මියගිහින් ඇති. ඒත් ඔසද ඇයට කී ඔලිව් කෝපි එක සම්බන්ද කැෆේ එකට මේ කාන්තාව හෝ රෙසිපිය සම්බන්දයිද?

OLIVE 17

 


🌿 OLIVE — Episode 17

වැරදුණිද ඔලිව් බෘ


අරුණෝදය කොළඹ නරඹන්නට ආවේ බොහෝ සෙමිනි. හරියට ලෙඩ ගානේ වාගේය. කොහොම ආවත් රාත්‍රියෙන් පසු උදෑසන ලස්සනට පෙනෙන්නේය. ඒත් මේ වතාවේ බිඳෙන්නට නියමිත මොකක් හෝ ආරක්ෂා කරන අදහසක් උදෑසනට තිබුණා මෙන්ය. ඒ නිසා පරිස්සම් කරන්නට මෙන් කෙටි පියවර තබනු දැනිණි. 

සවුමි සිටියේ මල්මීටියකුත් අතෙහි දරාගෙනය. කැෆේ 66ත් හි කුඩා දොරටුව අසල ය. මලුත් ඇගේ අනික් ආම්පන්න අඩුම කුඩුම ත් සහිත ලස්සන පන් මල්ල බිම තබා ඇය බිමට නැමී දොරෙහි වු ලොකු ඉබ්බන් එහි අගුලි වලින් ලිහුවාය. ඒවිට දොරට සම්බන්ධ කුඩා සීනු සෙළවී චිම් චිම් හඩ නැගුවේය. මේ චිම් චිම් නාදයට ඇය බෙහෙවින් කැමතිය. ඇයට පිළිගන්නට නැගෙන නාදයක් මෙන් හිත ප්‍රමෝදමත් වෙන්නේය. 

කෝපිහල ඇතුළත සියල්ල තිබිය යුතු යම් සේ ද ඒ ආකාරයෙන්ම පැවතිණි. 

කුඩා උණුසුම් විදුලි ධාරා,

හොඳින් ඔප දමන ලද කවුන්ටරය,

කෝපි හදන කුඩා කුඩා මැශින් වල ඇහැරෙන ශබ්දය …

හැමදේම එතැනය.

හැමදේම පිළිවෙලට ක්‍රියාත්මක වෙමිනි.

ඇත්තෙන්ම සියල්ල ඔ්නැවටත් වඩා සන්සුන්ව ඒත් ක්‍රියාශීලීව පවතියි. 

ඒත් සවුමි ගේ හිතැතුළේ කිසිවක් දැවෙයි. මේ ඒ හැඟීම බව ඇය හොඳටෝම දැන සිටී. ඇගේ පපු කුහර කෙළවර කළු කුහරයකි. සියළු ස්වභාවික චිත්ත වේගී කැළඹීම් දරාගන්නටත් පාලනය කරන්නටත් දරන ප්‍රයත්නය අවසානයේ ඒ කලු කුහරය විසින් කිසිම අනුකම්පාවකින් තොරව ගිලගනු ලබයි. පාන්දර දුවන්න‌ට එන විදේශීය යුවලක්, හුදකලා ජීවිතයක් ගෙවන ධනපති තරුණියක්, විශ්ව විද්‍යාලයට යන ශිෂ්‍යාවක්, දරුවා තර්ස්ටනයට ඇතුල් කර එන රැකියාවට යන අම්මා කෙනෙක්, මෙවැනි විවිධ ස්තර වල ගැහැනු පිරිමි කීප දෙනෙකු කෝපිහලට ඇතුල් වී යළි පිටව ගියහ. 

දහවල් කාලය උදා වුණේ ඉක්මණිනි. කොහොමටත් කොළඹ උදේ වරුව ඉක්මණින් ගෙවේ. ඒ එහෙම නගරයකි. මනාව හැඳ පැළඳගෙන පවන් සිය වාහනය බිල්ඩිමේ රථාංගණයේ නතර කර කෝපිහලට ඇතුලු වුවේය. මේ වෙලාවේම පෙර දා රැය පුරා ව්‍යාපෘතියක් අවසන් කර නින්දට වැටී හිටි ඔසඳ නැගිට සිය බැල්කනියේ හිටගෙන හිටියේ දුරකතනයද අතේ තියාගෙනය. හැමදාම කෙල්ලන්ට නොවැරදී ගුඩ් මෝනින් ය කියා මැසේජ් යැවිම ඔහුට පුරුදු නැත. නමුත් ඒ වෙලාවේ ම ඔහුද ඇයට සුබපැතුමක් යැව්වේය. සවුමි ට මැසේජ් එක ආවෛත් පවන් කෝපිහලට ඇතුලු වුයේත් එක මොහොතේය. 

“ මෝනින්” ඔහු ඇය දෙස උවමනාවෙන් නොබලාම කෙලින්ම නාන කාමරය ඇති කොරිඩෝව දෙසට ගියේය. 

“ මෝනින්” ඇය වාචිකව ඔහුට කියනාතරේ ටයිප් කර අනිකාටද යැව්වාය. 

ඇගේ කටහඩ ඇයට ආවේණිකය. සන්සුන්ය. ස්ථාවරය. නිදහසේ පවතී

නමුත්, ඇය තුළ කිසිවක් තියේ. ඒ සැකයකි. හරියටම රසවත් තිර කතාවක වැදගත් දෙබසක අඩුපාඩ්වක් වාගේය.  පණිවිඩයක් මෙන්ම පවනුත් ආපහු එනතෙක් ඇය තුල බලාපොරොත්තුවක් තිබිණි. පවන් ඇය හා සංවාද කළේ කිසිම යෙදුමක් හරහා නොවේ. සාමාන්‍ය කෙටි පණිවුඩ සේවාව භාවිතා කරමිනි. මේ නිසා ම මේ පණිවුඩ යෙදුමක් හරහා එන පණිවුඩ තරම් සජීවී වාගේම ඉක්මණ් ද න‌ොවුයේය. පවන් ආවේය. ඔහුගේ පිරිසිදු කම්මුල් නිල් රැවුල් කොට වලින් පිරී ඇත. යාන්තමට ඇහිපිය අගක තෙතකි. ඔහු පැමිණ කවුන්ටරය අසලින් හිඳගත්තේය. කැරකෙන පුටුවේ මඳක් පසුපසට ඇදුණේය. සිය දුරකතනය අතට ගත්තේය. කිසිවක් නිරීක්ෂණය කළේය. 

ඇය මඳක් ළං වුවාය. පවන් ගණනකට නොගත් බව පෙනිණි. පසුව ඔහු නැගිට කෝපි අඹරන යන්ත්‍රය දෙස නොඋවමනාවෙන් බලා සිටියේය. 

“ කලින්ම ආවද?” ඇගෙන් ඇසුවේය. 

“ වෙනදා වෙලාවටම ආවෙ. ඔයා කලින්”

“ ඔයාට අමතක වෙනවා නේ මං මේකෙ ඔ්නර් කියලා…I’m allowed.”

“ ඒක ඔයාට හැමදේටම තියෙන උත්තරේ. I’m allowed” ඇගේ මුහුණේ ලා සිනාවකි. 

“It works.” පවන් ද සිනාසුණේය. දෙදෙනාගේ සංවාදයේ රිද්මය හරියටම කෝපිහලේ ගලා යන මෘදු ස්වභාවයට ගැළපිණි. ඊයේ දවස සහමුලින්ම ඉතිහාසයෙන් මකා දැමුණු බවකි ඇඟවුණේ. 


සවුමි කවුන්ටරය පසුපසට ගොස් සිය ඒප්‍රනය තද කර ගත්තාය. ඇගේ ඇගිලි ක්‍රියාත්මක වුයේ සෙමෙනි.දැනීමකි.. මතකයක් දැනුණා නොවේ. උණුහුමකි. ඇය උරාගන්නටත් කලින් ගිලිහුණු එකකි..


“ අවුලකින්ද?” පවන් ඇසුවේය. ඇය නැතැයි කියන්න හිස සලා පසුව “ නෑ” කියාද කීවාය. 


“ අවුලක් පේනවා” 

ඔයාට පේනවද?

මම මගේ හැමදේ ගැනම අවදානෙන් ඉන්නෙ

ඇය ඔහු දෙස කෙලින් බැලුවාය. 

හරියටම නිශ්චිතවම බැලුවාය.

ඔහුගේ මුහුණ පැහැදිලිය. සෘජුය. කිසි විකාර ගතිවක් නැත. විවේකයෙන් ඉන්නා බවකුත් පෙනේ. ඒ හැමදේටම වැඩියෙන් ඒ මුහුණ කිසියම් නිශ්චිත භාවයකින් යුක්තය. 

ආතතියක් නැත. සංකීර්ණ බවක්, පැටලිලි සහගත බවක් නැත. 

. ඇය පසුපස හඹා ඒමක් ඔත්තු බැලීමක් නැත. 

“ පවන් “ ඇය පටන් ගත්තේ ප්‍රවේශමෙනි. “ ඔයා ට කවදා හරි දැනිලා තියෙනවද ඔයාට මොකක් හරි වැදගත් දෙයක් මගැරිච්ච, අමතක වෙච්ච ගතියක්.. හැබැයි ඇත්තටම කිව්වොතින් එහෙම වෙච්ච දෙයක් හොයාගන්නත් බෑ” 

පවන් හිතා බලන්නට ප්‍රශ්නය තේරුම් ගන්නට වත් විනාඩියක කාලයක් නොගෙන “ නැහ්” කියා කීවේය. උත්තරය වේගයෙන් ආපිට ලැබිණි. අනික් අතට එය ආපහු ආවේ හිතාගන්නත් බැරි වේගයකිනි. සවුමි ඇහිපියක් ගැසුවාය. “ එක වතාවක් වත් ජීවිතේ” ඇය ප්‍රශ්නාර්ථයකින් ඇසුවාය.

“ ඔය කියන තරමට වැදගත් නම් ඒක මගැරෙන්නවත් අමතක වෙන්නවත් විදියක් නෑ.” 

ඔහුගේ  හඩේ කිසිම නොසැලකිලිමත් ගතියක් නොතිබිණි. නමුත් එහි වුයේ නිශ්චිත ඉලක්කගත ස්වභාවයකි. 


. සවුමි අනික් පස හැරී කෝප්ප පිස දමන වගක් ඇඟවුවාය. ඔහුට එසේ දැනෙනවානම් ඇයි මට මෙහෙම දැනෙන්නෙ? ඒ ඇයට ඇය ගැන නැඟුණු ප්‍රශ්නයයි. ඔහුට මතක තියා ගන්නට කිසිවක් පෙරදා රැයෙන් පසු ඉතිරිවී නැත. ඇය මොහොතකට සිතුවාය.

ඒ මොහොතේ අවන්හලට ගොඩවු කෙනෙකු සවුමි දෙස හොඳින් බලා “ ටු කැපචිනොස් කියාගෙන එතැනින් ගොස් අලුත් මේසයක  හිඳ ගත්තාය. පවන් සිටියේ මුදල් කවුන්ටරය අසලය. සවුමිගේ දෑත් වේගයෙන් වැඩ කළ අතර ඉක්මණින් ට්‍රේ එකක් මත තැබු කෝපි බඳුන් අදාල මේසයට පිරිනැමිණි. 

මේ දෙදෙනාගේ එකතුව පෙනුණේ සම්පුර්ණයෙන්ම පුහුණු කළ සංයමයෙන් යුක්ත ක්‍රියාවලියක් ලෙසිනි. නමුත් තවදුරටත් කිසිවක් මගහැරී ඇත. ඔවුනතර ද? නැත්නම් වෙන වෙනමද? සිතාගනු නොහැකිය. ඒ විටින් විට ඔසඳගෙන් එන පැරණි තාලේ කෙටි පණිවුඩද ? මේ සියල්ල අදෘශ්‍යමානය. අස්පෘශ්‍යය. ඒ වාගේම මෘදුය. යතාර්තවාදීය. 

මේ දවස් වල පවන් ගේ බොහොමයක් වැඩ සිදුවන්නේ කැෆේ 66ත් ඇති තෙමහල් ගොඩනැගිල්ල නැවත කුලියට දීමේදී පවන් විසින් ඉතිරි කරගන්නා ලද කොටසේය. ඔහු එහි ඔහු ගේ කාර්යාලයක් ස්ථාපිත කරගත් අතර ඒ නිසාම කැෆේ එකේ රැඳෙන්නටත් අවස්ථාව තිබේ. 


“ඔයා හරියට නිදා ගෙන නෑ” හිටිහැටියේ පවන් කියද්දී ඔහු දෙස ඇස් අගින් බැලු ගැහැනු ළමයා “ නිදාගත්තා” කීවාය. “බොරු” 

“ ඔයා කොහොමද දන්නෙ අනේ” 

“ මෙලෝ රහක් නැතුව කම්මැලි පාටට ඉන්නෙ”

“ මං කොහොමත් එහෙමනෙ”

“ මේ වගේ නෑනෙ”

ඇය ආපහු කවුන්ටරය වෙත ගොස් ඔහු ඉදිරියේ නතර වුවාය. 

“ කොයි වගේද එහෙනම්?”

ඇය ඇසු සෘජු විලාසයට පවන් ගේ මුහුණ පළමු වරට අභියෝගයකට ලක්වුවා වගේ වෙනස් විය.. 

“ ඇත්තටම ඔයා ඉන්නෙ මෙතැන නැති වෙන ලෝකෙක දේකට ඇහුම්කන් දෙනවා වගේ” හුස්මකුත් උඩට ඇදගත්තේය. ඇය ගැන කියනවාට වඩා ඇය ගැන නොකියනා දේ පවන් තුළ තියේ. සවුමි පවන්ව එක අතකින් වටහා ගෙන තියෙන්නේ සම්පුර්ණවම නිවැරදිවත් නොවේ. ඔහු හිතන්නේ මේ මොහොත වන විට ඇය සම්පුර්ණයෙන්ම අර අහම්බකාරක මිනිසා කෙරෙහි ප්‍රේමයෙන් බැඳී ඇතැයි කියාය. 

“ මට පේනවනෙ”

“ කවද ඉඳන්ද දැන් මං දිහා ඔහොම බලන්න පටන් ගත්තෙ”

ඇය අසද්දී පවන් ඇගේ ඇස් දෙස සෘජු බැල්මක් බැලුවේ හිස පසෙකට ඇළ කරගෙනය. ඇස් දැල්විණි. එක් ඇසක් සිහින් විණි. යුවතියගේ මුහුණ රෝස යායක් සේ පිපී ගියේ සිනාවකටය. 

“ ඔයා මට වඩා රහට කෝපි හදන්න පටන් ගත්තාට පස්සෙ” දැන් ඇගේ සිනාව කලින් තිබුණාටත් වඩා විහිදි ඇත. 

“ තාමත් ඔයාට මා එක්ක තමයි තරගෙ තියෙන්නෙ.. පුංචි කාලෙ වගේමයි”

“ ඔයා තමයි මගෙ ජිවිතේ පළවෙනි තරගකාරි… මට හොඳට මතකයි පොඩි කාලෙ ඔයා මට වඩා හැමදේටම දක්ශයි..” 

පවන් පසුව සිය හමුවකට උඩු මහලට ගියේය. මේ කාර්යාලය මෙතැන විවෘත කරන්නට පවන්ට උවමනාවක් තිබුණත් කෞශල්‍යා නම් ඊට කැමති වුයේ නැත. ඒ ඔවුන්ගේ තත්වයට එතැන නොගැළපීමය. එහෙත් මිගාර මේ ගොඩනැගිල්ලේ පවන් එසේ කිරීම ව්‍යාපාර ඇසකින් බැලුවේය. පවන් ටමේ ගොඩනැගිල්ලේ කල්බදු ගිවිසුම අවසාන වන තෙක් බලා සිටියෙ තමන්ගේම ව්‍යාපාර ආරම්භ කරන්නට හොඳ ම තැන මෙතැන යයි ඔහුගේ හිත දැන සිටි හින්දාය. 


උදෑසන කොටස් වශයෙන් ගෙවී ගියේය. එක තැනක වාඩිවී කෙටි පණිවුඩ වලට පිළිතුරු දෙමින් කළ හැකි කාර්යයක් නොවන මේ කෝපිකඩයක් පවත්වා ගෙන යාමේ ක්‍රියාවලිය ගැන සවුමි‌ට කවදාවත්ම දොස් සහිත සිතුවිලි ඇතිවී නැත. කෝපි බොන්නට එන මිනිස්සු ආවහ ගියහ. ඇණවුම් සකස් කෙරිණි. පිරිනැමිණි.  ඇගේ මනස හැම වෙලාවකම අවධානයෙන් පිටට ගියේය. ඇගේ ඇගිලි ඇගේ තොල් අතර නැවතී තිබුණේ නොදැනුවත්වමය. හරියට ඒ දෙතොල් නාඳුනන කිසිවක් බලාපොරොත්තු වනවාක් මෙන්ය.


පවන් සිය කාර්යාල කාමරය ට ගොස් සැහැල්ලුවෙන් සිය කමසයෙ උඩු බොත්තම් දෙකක් විවෘත කරගත්තේය. ඒ අතර කෝපිහලේ සිටියදී ඇගෙන් විද්‍යමාන වු වෙනස ඔහු අධ්‍යයන කළ අයුරු ද වරින් වර සිහිපත් විය. ඇය රින් වර සිය දෙ⁣⁣තොල පිරිමැදගනු ඔහු දුටුවේය. තව වතාවක් ඇය තමන්ගේ තුරුලට එනවා නම් වගේ හැගීම් ඇතිවීම වළක්වනු නොහැකිය. එ හැගීම් ඔස්සේ ම යන්නේ නැතිව මගින් නතර වෙන්නට ඔහුට හැකිය. 

ඉතින් ඇය ගැන ගැඹුරු හිතිවිලි වල නොගිළී, 

ආසාව ඇති වුනත් ඉන් අන්ධකාරයට නොගිහින්

තමන්ගේ ආදර හිත අකර්මණ්‍ය කරගෙන 

ඔහු ආපසු හැරෙන්නේය


 තුම්මුල්ලට වැඩි දුරක් නැති බොරැල්ලේ   එක් ඉසව්වක ඔසද සිය අපාට්මන්ට් එක⁣ේ විසිත්ත කාමරය⁣ේ නිශ්ශබ්දතාවය⁣ේ ගිලි සිටිය⁣ේය. ඇත්තෙන්ම එය සාමකාමී නිශ්ශබ්දතාවක් ද නොවේ. හොදින් පාලනය කළ ගණයට අයත් එකකි. 

ඔහුට ඇත්තේ ඉතාම කුඩා අවකාශය කි. එය නිශ්චිත වු අතර සිය අවකාශයේ හතර කොණ  පිලිබඳ සායනික දැනුම ක් ද තිබිණි.  ලැප්ටොප් එකකි. ලිපිගොනු විවෘත ය.තිරය එක් වරක් දැල්වී නිවිණි.  කළු පසුබිමක සුදු අකුරු මතුවෙයි. කිසිදු ශබ්දයක් නොනැඟෙයි. ප්‍රොසෙසරය ක්‍රියාත්මක වෙද්දී නැගෙන ටිකි ටිකි ශබ්දය පමණක් නැඟෙයි. 

විජේබණ්ඩාර ෆැමිලි- සර්ච් ක්වෙයරි.. කරන්ට් ඩිරෙක්ටර්ස් බෝඩ්  තේමාව යට නම් පේළියක් විස්කර සමඟ දිස්වෙමින් තිබේ. මොහොතක විරාමයකි. කිසිවෙකුට කියවන්නට අමතක වී ඇති බවක් ඇඟවෙයි. අනුමාන කළ හැකි ෆයර්වෝල්ස් .. පද්ධතිය නිසි කාලයේදී යථාවත් කර නැති අයුරක් පෙනෙයි. ඔහුගේ මුව අගට නැගෙන සිනාවකි. 

ඇක්සස් පොයින්ට් ෆවුන්ඩ් ලෙස තිරයේ දිස්වෙයි. ඇගිලි යතුරු පුවරුවේ දිවයයි. මඳ නිහඩතාවකි. ඔසද තිරය දෙස බලා හිඳී. පද්ධතිය කුඩා තත්පර කීපයක් ක්‍රියාන්විතය වෙනුවෙන් ලබා ගනී. ඊළඟට ඇක්සස් ග්‍රාන්ටඩ් ලෙස දිස්වෙයි. සමාගමේ සංවිධාන ව්‍යුහයේ විස්තර එක දිගට දිග හැරෙනු ලැබේ. මේවා වෙබ් සයිට් එකේ ප්‍රසිද්ධ කර ඇති ප්‍රසිද්ධ දත්ත නොවේ. ඒ වාගේම මෙය පිළිවෙලකින්ද තොරය. අවුල් සහගත, නැවත නැවත සංස්කරණය කරන ලද්දාවු, සඟවන ලද ලින්ක්ස් වලින් යුක්ත දත්ත වේ. ඔසද ඇගිලි තුඩින් එය දිගින් දිගට පහළට තල්ලු කළේය. 

සමාගමේ අධ්‍යක්ෂවරුනාගේ නම් වලින් තිරය වැසී යන්නට විය. 

මෙහිදී විජේබණ්ඩාරවරුන්ගේ නම් දිස්වුණේ කිහිපයකි. කොටස් වලට සාපේක්ෂව පාලනය බෙදී යනආකාරයක් දක්නට ලැබිණි. ඒ අනුව මෙම සමාගම අදාශ්‍යමාන ලෙස ක්‍රියාත්මක වෙනු දකින්නට නොහැකිය. බොහොම විනිවිද භාවයකින් යුක්ත ලෙස දැකිය හැකි පාලනයක් යටතේ කිසියම් ආකාරයක සැඟවුණු රහස් ඇතැයි ඔසඳට සිතෙයි. ඒ රහස් තියෙන්නේ අන්තර්ජාලයේ හෝ කිසිදු තැනක නොවේ. විජේබණ්ඩාරවරුන් අතේ බව පැහැදිලිය. 

“ ව්‍යාපාරය පවුල සම්බන්දයි. ඒත්, පවුල නෙමෙයි ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නෙ. ඒ සඳහා ඔවුන්ට වෙනම සංවිධිත කාර්ය මණ්ඩලයක් සිටිති. මිගාර කෞශල්‍යා පවන් සුලලි වුවත් ව්‍යාපාරික කටයුතු මෙහෙයවනවා විනා ඉන් මෙහා කටයුතු සඳහා දායක වනු දැකිය නොහැකිය. 

ඔහුගේ දුරකතනය නාදවිය. ඒ අංකය ඔහු ගේ දුරකතනයේ සේව් කර නැත. නමුත් ඔහුගෙ මතකයෙන් කිසිදා මැකෙන්නේද නැත. මුහුණට අමුතු එලියක්ද වැටී ඇත. “ ඔ්” ප්‍රතිචාරය එහෙම එකකි. “ ප්‍රෝග්‍රෙස් එකක් තියෙනවද?” ඇය කෙළින්ම උවමනා දේ කතා කරනවා කියන්නෛ් අනිවාර්යෙන්ම ඇයට කතා කළ හැක්කේ එපමණක් පමණක් විය යුතුය. 

“ ටිකක්”

“ කියන්න”

“ මෙහෙමයි. අපට දැනට හිතාගන්න බෑ. ඇත්තටම කවුද මේ ඔලිව් බෘ කියන රෙසිපි එක ක්‍රියේට් කළෙ කියලා”

“ ඔයාට ඒක හොයා ගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ කැෆේ එකේ කෙල්ල එක්ක රිලේශන්ශිප් එකක් හදාගන්නෙක. ඔයා දන්නවනෙ කෙල්ලෝ.. ආදරේ කරන කොල්ලා වෙනුවෙන් ඔින රහසක් කියයි..” 

කාව්‍යා! ඇය දැන් ආදරය ගැන හිතන්නේ ඒ විදියටද? පරිණත විය හැකිය. ඒත් කාලයක් තිස්සේ ආගමක් වගේ ඇදහු ආදරය ගැන මේ තරමට සිල්ලට මතයකට මාරු වෙන්නට තරම් ඇය භෞතිකවාදී වුයේ කොහොමද?

“ඔයාට එහෙම කරන්න කියලා මට කියන්න පුලුවන් නේද?" 

ඔසද ඇසුවේ බිදුණු හඩකින් ය. කාව්‍යාට වහා තමන් අතින් වු වරද වැටහිණි. 

එහෙම දෙයක් නෙමෙයි . කොහොමටත් එයා ගැන පොඩ්ඩක් ඉන්ටරෙස්ට් නිසා .. මං එහෙම කිව්වෙ “

ඔසද ඉතින් හිත අලුතින් රිදවා ගත්තේ නැත. ඇය අවස්ථාවාදී ලෙස තමන් ගෙ ආදරය පාවිච්චි කල බව දැන දැන වුනත් අහිතක් නොහිතා ළග උන් ආදරය හිතේ පසෙකට කළේය. 

“ මම මගෙ විදියට මේක හොයාගෙන ඔයාට කියන්න ම්” එසේ කියා දුරකතනය විසන්ධි කර තමන් ටම සුසුමක් හෙළා ගත්තේය. ඔහු ට සවුමි ව සිහිපත් විණි. ඇයට සෑහෙන වෙදලාවකින්ඔහු කිසිම කෙටි. පණිවුඩය වත් යවා නැත. සවුමි උදෑසන ඔහුගෙන් ලද කෙටි පණිවුඩ 

කැෆේ 66ත් හි 

මේ වනවිට කැෆේ එකේ කිසිවෙකු නැත. කෝපි යුනිෆෝමයෙන් සැහැල්ලු ගවුමකට මාරුවු සවුමි කවුලුවක් අසල හිදගෙන සිටියාය. . ලා වැස්සක් ඇරඹී තිබේ. කවුලු දොර බොදවී තිබිණr. සවුමිට සැක සිතුණේ ඇත්තටම බොදවී තිබුණේ වීදුරුව ද ඇගේ දෑසද නොදැන ය. පවන් කෝපිහල⁣ට ඇතුල් වුයේය. ඇය ආපහු හැරුණේ නැත. පවන් ට ඇසෙහි කදුලු තෙත පෙනේවියි බියක් තිබිණි. 

“ ඔයාට කවදාහරි අත්දැකීමක් තියෙනවද ඇත්තටම එක රෑකින් වෙනස් වෙච්ච රිලේශන්ශිප් එකක් ගැන?”

“නෑ “ පවන් ගේ පිළිතුරු විශ්වාස කළ නොහැකි තරම් කෙටිය. ඉක්මන් ය. 

“ එතකොට ඔයා එ වගෙ දෙයක් ගැන හිතන්නේ වත් නැද්ද?" 

“ ඒකෙ මොකක්ද හිතන්න තියෙන්නෙ.." 

සවුමි පවන් දෙසට හැරුණාය. 

“ අනිවාර්‍යෙන්ම දෙයක් තියෙනවා නම් හිතන්න..”

ඔහු නොසැලකිලිමත් බැල්මකින් බැලුවෙය. 

“ හැම⁣දේම හොදින් සිද්ධ වෙනවනම් ආයෙ මොනවටද හිත හිත වදවෙන්නෙ.. ඔයා හැමදාමත් ඕවර්තින්කින්..”

පවන් කී පසු සවුමි තමන් ඉදගෙන සිටි තැනින් මෑත්ව පවන් උන් ළගටම‍, ඕනැවටත් වඩා ළගටම ආවාය. “ ඔයාට ඊයෙ රෑ මොකක් හරි මොහොතකට හරි සිද්ධ වුණා මතකද? පවන් මේ ගැහැනු ළමයාගේ හිතේ ඇතිදේ නොදන්නවා නොවේ. ඇයට එසිදුවු දේ එක්කෝ බර වැඩි නිසා අමතක කරදමන්නට උවමනාය. නැත්නම් එය මිහිරි වැඩි නිසා ආයේ ඒ සිදුවීම දෙදෙනා අතර සිදුවන්නට උවමනාය. 

“ මට මතකයි” පවන් ඇගේ ඇස් වල සිය ඇස් ගාවමින් කීවේය. 

“ ඒ ගැන කිසිම ඩවුට් එකක් නැද්ද ඔයාට?”

“ නෑ”

පවන් තමන් ව පාලනය කරගෙන හිදින්නේය. නැත්නම් කාත් කවුරුවත් නැති මේ කෝපිහල⁣ට කියන්නට බරපතළ ආදර කතාවක් ඉතිරි වෙනු නිසැකය. සවුමි ඉන්පසුව කිසිවක් නොකීවාය. මේ වෙලාවේම ඔසද ඇයට මැසේජ් කරන්නට පටන් ගත්තේය. ඒත් ඇගේ හද වෙනදා තරම් ඔද වැඩුණේ නැත. හේතුව ‍, පවන් හා පෙරදා රැයෙහි ගෙවන්නට යෙදුණ අසිරිමත් මිනිත්තු කීපය වෙන්න බැරිද? 

“ කොහෙද ඉන්නෙ?”

“ කැෆේ එකේ”

“ පවන් ඉන්නවා ද?”

“ ඔව්..”

“ ඔයාව එක්ක යන්න ඇවිත් ද?”

“ කැෆේ එක වහන්න ඇවිත් ”

පවන් ඇය දෙස බලා සිටියේ ය. 

“ අරු ද?” ඇසුවේය. 

සවුමි හිස වැනුවාය. 

“ මොකෙන්ද ඔය මැසෙජ් කරන්නෙ?”

“ ටෙක්ස්ට් මැසෙජ්”

පවන් ඇස් සිහින් කර බැලුවේය. 

“ ඇයි ටෙක්ස්ට් මැසෙජ්?”

“ එයා ඩේටා ඔන් කරන්නෙ නෑ”

“ ඒ මොකද?”

“ දන්නෙ නෑ”

ඔහු සවුමි අසලට ආවේය. 

“ මේ කාලෙ ඩේටා වලින් වැඩ කරන් නෑ කියන්නෙ ඌ නම් ටිකක් අමුතු එකෙක් වෙන්නෝනි” 

පවන් සවුමි දෙස කෙලින් බැලුවේය. 

“ මොනවත් හිතන්නේ පා මං මෙහෙම කිව්වා කියල. මට ඌ ගැන ඇත්තටම සැක හිතෙන්න පටන් අරන් තියෙන්නෙ හරිද..” 

යුවතිය ඔහු දෙස බැලුවේ සැකයෙනි. ඉරිසියාවට කියනවා ද ඇත්තටම කියනවාද කියා විශ්වාස කරන්න ට හැකියාව ක් ඇයට නැත. 

“ ආසයි ඔයාලගෙ ඔලිව් බෘ බොන්න තිබ්බනම්”

ඒ මැසෙජ් එක ට පිළිතුරු දෙන්නට ඕනැ කෙොහොමද කියා ඇයට සිතාගන්න නොහැකිය. “ හෙට එන්න” ඇය කියා යැව්වාය. ඔසද අනික් අත ඉද සිතුවේ ඇය කොයිතරම් පිළිවෙලට මේ කෙටි පණිවුඩ වලට පිළිතුරු කළමනාකරණය කරගන්නවාද කියාය. නිකමටවත් වැරදි එකක් වත් නොවෙන්නට ඇය වග බලා ගනිමින් සිටින්නීය. 

“ දැන් එන්න කියන්න හිතෙන්නෙ නැද්ද?”

“ දැන් අපි කැෆේ එක වහනව”

“ පවන්ට යන්න කිව්වොත් මං එනවා.. ඔයාව ඇරළවන්න..”

ඇය පණිවුඩය කියවන අතරේ යටැසින් පවන් දෙස බැලුවේය. ඒ බැල්ම දුටුවත් නොදුටුවාක් මෙන් ඉන්නට ඔහු ට හැකිය. ඇත්තෙන්ම ඇය ඒ මොහොතේ ජීවිතය තුල පළමු වතාවට තමන් ට තෝරා ගැනීමක් කරන්නට අවස්ථාව ක් උදා වෙතැයි බිය වුවාය. 

“ දැන් රෑ වෙලා වැඩියි…”

ඇගේ කටහඬ බිදෙන සුලු නොවීය. හුරතල් ද නොවීය. ගැහැනු ශක්තියෙන් සහ ස්වභාවික ව ලැබෙන ඉවෙන් පිරී ගියේය. ඇය වඩාත් ස්ථිරව සිය අදහස කීවාය. 

“ එහෙම නම් ඉරිදා… ඔයා කැෆේ එක වහනවානෙ.. අපි හතරට විතර හම්බවෙමු..” 

මේ මොහොත වන විට ඔසද තමන් ගැනම පුදුම වෙමින් සිටියේය. මේ විදියට කෙල්ලක මුණගැහෙන්නට උත්සාහ කරන අවශතාවයක් පහුගිය කාල වකවානුව තුළම ඔහුට තිබී නැත. ආදරය ගැන කියනවා නම් ඔු තමන් ආදරය යැයි නිර්වචනය කරගත් බැදීමක බැදී සිටියේ කාව්‍යා සමගිනි. කාව්‍යාට ඔහුගේ ජීවිතය තුලින් නික්ම යන්නට සිදු වුවත් ඔහුගේ හදවතේ මන්දිරයක් සේ පැවතියේ ඇගේ මතකයන්‍, ඇගේ සොයාබැලීම, රැකවරණය සහ  ශෘංගාරය ය. මේ සියල්ල මැද ඔහු ගැහැනු ඇසුරු කළත් එ විදිය කොහොමද කියා අප දැන සිට ඇත. නමුත් දැන් මේ ඔලිව් නම් සිග්නේචර් කෝපි බදුනේ ඉතිහාසය සොයා යනවාටත් වඩා සවුමි නම් වින්ටේජ් යුවතිය සමග ළං වීමේ තනිවිමේ උවමනාවක් ඔහුට තිබේ. 

ඔසද මිනිස්සු සමග වැඩ කළේම නැත. ඔහුට කාර්යාලය ක් තුල ගැවසිම වැඩ කිරිම මිනිසුන් ඇසුරු කිරිම වැනි අත්දැකීමක් නැත. සියල්ල සිදුවුයේ පරිගණක තිර සමගය. ඒවා ඇතුළත ගැඹුරෙන් ගැඹුරට යන පද්ධති සමගිනි. ඉතින් මේ කෘතිම මොළ සමගින් කරන ගණුදෙනු ඇසුරේ පේර්⁣මය ගණුදෙනු නොවුණේය. 

“ දන්නවා ද සවුමි ‍, මට ආසයි ඔයා එක්ක ටිකක් ඇවිදින්න.. කතා කරන්න.. අතින් අල්ලගෙන. අපට මගැරිච්ච කාල⁣ෙ ගැන කතා කරන්න.. ආදරේ කියන්නෙ නිකම්ම නිකම්ම මේ ලෝකෙ එක්ක තරගෙට දුවනවා කියනෙකක් නෙමෙයි. ආදරේ මං හිතන්නෙ අපිව ටිකක් ස්ලෝ කරවනවා. නැවතිලා හිතන්න අවස්ථාව ක් දෙනව.. “ සවුමි පුදුමයට පත් කරවන්නට ඒ වචන ටිකට හැකිවිය. ඉතින් මේ හැටේ දශකයේ සිටි පෙම්වතියකගෙන් ආදරය ගැන ඉගෙන ගෙන සිටි විසි එක් වැනි සියවසේ ගැහැනු ළමයාට ආදරය ගැන මේ වගේ නිර්වචන හොයා දෙන පිරිමි ළමයෙකු ගේ හමුවීම කුමන අදහස් උපද්දාවිද ඇය දන්නේ නැත.

“හා” ඇය කීවේ එපමණකි. පවන්ගේ කණට ඇසුණේ ඇය කී දේවල් පමණකි. ඒකත් කෝපිහලේ කෙලවරක ජනේලයක් බදාගෙන කියවද්දීය. කුහුඹු කෙදිරිල්ලක් මෙනි. එහෙත් කොල්ලෙක් විදියට හිතද්දී මේ හමුවීමකට ආරාධනා කිරිමක් බව නොතේරෙන බබෙකු නොවේ ඔහු. ඉතින් පවන් ගේ හිතේ ඇති වෙන්නේ ඉරිසියාවකි. 

පෙරදා රාත්‍රියෙ ඇය තමන් ලග හිටිය විදියට ඇගේ කුළුදුල් හාදුවක් තමන් ට පිරි නැමු විදියට ඇය ට ආදරේ කියන්න ට පුලුවන් වටාපිටාවක තමන් හිටියා නම් කියා පවන් ගේ හිත කකියයි. ඒත් පවන් ප්රායෝගික පිරිමියෙකි. ඔහු තමන් ඉපදී ඇති පවුල පරිසරය ගැන හොද අවබෝධය ක් ඇති කෙනෙකි.  මිගාර විජේබණ්ඩාර ද ජීවිතය පිලිබද ආදරය පිලිබද අනන්තවත්   කැපකිරිමක් කර ඇති කියා පවන් ට සිතෙන්නේය. ඔහු දන්නා පරිදි අම්මා සහ අප්පච්චිත් අතර හදවතින් ම ඇති වු ළෙංගතු කමක් නැත. ඔවුන් ඔවුන් ගේ ව්‍යාපාර ලෝකයේ පැවැත්ම උදෙසා මව්පියන් ගේ තීරණ වලට අනුගත වෙමින් විවාහ බන්දනයට ඇතුල් වී ඇත. කිසිම ගැටලුවක් දැකිය නොහැකිය. කෞශල්‍යා හැම දෙයක් දිහාම බැලුවේ භෞතිකවාදීවය. ඒ ඔවුන්ට ලැබී තිබු තෝරාගැනීමකින් තොර ජීවිතය යි. 

සමහරවිට කවදාවත් අම්මා අප්පච්චිට ආදරය කරන්නට නැතුව ඇති . ඒත් ඒ දෙදෙනා හොදට ජීවත් වෙන යුවලකි. කවදාහරි තමන් ගේ ජීවිතය ත් එසේ ගෙවෙනු ඇත. ඒ චක්රය බිදී තමන් ට නොලැබෙන විදියේ අවස්ථාව ක් සවුමි ට ලැබෙනු ඇතැයි පවන් ට සිතෙන්නේය. ඇයට ආදරය කරන පිරිමියෙකු කසාද බැද දරුවන් ලබා හැමදාමත් ආදරෙන් ඉන්න ජීවිතය ක්! ඒ ජීවිතය ට මේ කෝපිහල⁣ට ගොඩවෙන තරුණයා කොයි තරම් සුදුසු ඇත්දැයි ඔහුට විශ්වාස නැත. 

ඔහු ඇය දෙස උවමනාවටත් වඩා බලා උන්නේය. සවුමි ඒ වගක් නොදනී. ඕ පාඩුවේ සිය වැඩ වලට අවධානය යොමු කරගෙන සිටියාය. 

. “ දිග දවසක් ?” 

“ ඒහෙමමත් නෑ”

“ ඔයා කොහොම කිව්වත් මහන්සිය ඇස් දෙකෙන් පේනව”

 “” නෑ අනේ.. මං කිව්වෙ.. මිට වඩා දිග මහන්සි දවස් තීබිලා තියෙවනා”

” “ මං දැකලම නෑ මෙච්චර මහන්සි පාට”

“ ඇයි ඉතින් ඒ ගැන හිතන්නේ ?”

ඇය අසන්නේ හිතේ මොකක් හරිම අවුලක් තියාගෙන බව පවන් දැන සිටියේය. 

“ මං නැතුව වෙන කවුද ඒ ගැන හිතන්නේ ?” 

පවන් ඇය අසලටම ගොස් ඇසුවේ ය. ඇය ඒ ඇස් වලින් සැගවෙන්නට උත්සාහ කරන්නීය. 

“ පවන්‍, ඔයා දැන් වෙනස්… ඔයා මාව බය කරනවා…මේ ප්රශ්න ඉස්සර ඔයාට තිබුණෙ නැහැනෙ.. මං මහන්සි වුණත් නැතත්‍, ඉගෙන ගත්තත් නැතත්… ඔයා ඒ ගැන හිතුවෙ නෑ… ඔයාට කෙල්ලො ඕන තරම් හිටියා ඇවිදින්න පාටි කරන්න ..” 

පවන් මේ අඩ අන්දකාරය මැදින් ඇගේ තරු ඇස් දෙස බලා සිටියාය. කොළඹට අනෝරා වැහි ඇද හැලෙමින් තිබේ. 

“ඉතින්..”

“ ඉතින් …මේ හිටි හැටියෙ මාව අල්ලගෙන මොකද අනේ…”

“ එහෙම නොවුණ නම් අපි අතරෙ මොන වගේ දෙයක් සිද්ධ වෙයි කියලද ඔයා හිතන්නේ ..” 

ඇය පවන් ගේ ඇස් දෙස සෘජුව බැලුවාය. 


 ඒ ලස්සන ඇස්‍, ඒවා ඇතුළත ඇති ගැඹුර‍, ඒ කම්මුල් තැනින් තැන යව්වන කුරුලැ කැලලකින් දෙකකින් ඇතිවු සිදුරක් දෙකක් වැසෙන සේ වැවුණ තද කලු නිලට හුරු රැවුල් කොට.. මේ මුහුණ මේ තරම් ළගින් බලා නොසිටියේ මන්දැයි හිතෙන සිතුවිලිද ඇයට පහළ වේ. 

“ කියන්නකො..”

“ මං මොනවද කියන්නෝන කියලා මට තේරෙන්නෙ නෑ” 

සවුමි ගේ සිත ඇයට අවනත නැතිම මොහොතක් එළඹිණි. ඇය සිය වම් අත ඔසවා ඒ ඇගිලි වලින් පවන්ගේ මුහුණ පිරිමැද්දාය. පවන් ඇස් වසා ගෙන තදින් හුස්ම ගත්තේය. මේ දැනෙන පරිපුර්ණ හැගීම මේ මොහොතේ කිසිම හිස්බවක් නොදැනෙන හැගීම ආදරය කියා නිර්වචනය කරගත යුතුයැයි ඔහුගේ යටිහිත ඝෝෂා කරන්නේය. 

“ මට දැනෙන දේ ඔයාටත් දැනෙනවා නේද?”

පවන් ඇගේ අත අල්ලා ගෙන ඇසුවේය.ඒ වෙද්දී ඒ කම්මුල් වල රැවුල් කොට ඇගේ වුවනේ සෙමෙන් තැවරෙමින් තිබේ. සවුමි ට කිසිම කිසිවක් කියාගන්නට නොහැකි තරමට උතුරන හැගීම් පොකුණක ඇය ගිලී සිටියාය. 

“ මං මේක කවදාවත් හිතුවේ නෑ” පවන්ට ඇගේ කටහඬ ඇසිණි. ඔහු ඇයට යළි කතා කරන්නැයි කීවේ ම නැත. කතා කළේ හැගීම් පමණකි. මේ කෝපි හල දවල් වරුවේදී මිමිණෙන අනන්ත රහස් රෑට පණ ලබා තැනින් තැන කොදුරා ගන්නා තැනකි. ඒවා විශ්වයට එකතු වෙයි. නිදාගෙන සිටි තරුණ හුදකලා ගැහැනු ආත්මයක් උණුසුම් හැගීම් දහරා වලින් නැහැවී යන මොහොතක නැගෙන සුසුම් කොතෙක් මෙහි සිරගත වෙනු ඇත්ද? 

පවන් හැකි උපරිම සංයමයෙන් සිය හැගුම් වාවාගෙන සිටියේය. හදවත වෙන කෙල්ලක ළග මෙන් ⁣නැහැදුන ලෙස ඝෝෂා නොකරන්නට තීරණය කිරීමම ලොකු දෙයකි. සවුමි පවන් ගේ උරහිසක හිස තියාගෙන සුසුම් හෙළුවාය. ඇගේ හිත ඇයට දොස් නගයි. 

“ මම්මා …. කොහේ හරි ඇති.  මං මේ මොනවද කරන්නෙ කියලා හිතනවා ඇති” ඇය මිමිණුවෙ හෙමිනි. වරදකාරී සොබාවයකිනි. “ ආයෙ මාව මේ වැරැද්දට ඇදලා ගන්න එපා..” ඇය පවන් දෙස බයාදු ඇසින් බැලුවාය. පවන් ඇගේ කොපුලක් අතගා නළල සිප ගත්තේය. 

“ මං ගාවනෙ ඉන්නෙ… මම්මා වුණත් දන්නවා කවදාවත් ඔයාට වැරැද්දක් වෙන්න දෙන්නෙ නෑ කියලා …”

“ මං කාගෙ කවුද පවන්…?” ඇය අසද්දී පවන් ගේ පපුවද හිරවී ගියේය. ඇත්තටම ඇය කාගෙ කවුද කියා දන්නා කවුරු හෝ ඉන්නවා ද? 

“ මං හොයලා දෙන්නම්..” පවන් එක්වරම කීවේය. හිතාමතා කීවාද කියන්නන් වාලේ කීවාද පැහැදිලි නැත. සවුමි ගේ සිතට සතුටක් දැනිණි. ඇය පවන් දෙස බැලුබැල්මට පිරිමි හිතේ ඉවසිලිමත් ගතිය කුඩු පට්ටම් වී ගියේය. සවුමි ඒ දෙව්ර සිය ඇගිලි වලින් තදින් අල්ලා ගත්තාය. ඇගේ හැඩ ඉණ ඒ අත් වලට හසු විය. අසම්පුර්ණත්වයක් නැත. පාවීමකි. කිසිම හිස් බවක් නැත. නිදහසේ ගලාගෙන ගලාගෙන යන සිතුවිලි සමුදායක් කෝපිහල පුරා ගලා ගියේය. 

තමන් ගේ ග්රහණයෙන් ඇය මදකට ලිහිල් කළ පසු තරුණයා ඇගේ මුහුණ දෙස හොදින් බැලුවේය. ඇගේ මුහුනේ දිලිසීම ‍, මලක් සේ පිපීම ඔහු නිරීක්ෂණය කළේය. සිහින් හතියකි. සිප ගැනීමක් අතරේ හුස්ම ගන්නා හැටි ඇය දැන සිටියේම නැත. වැස්ස අවසන් ය. එකක් වත් නොගැලවුණු බොත්තම් සහිත බේජ් පාට ඇදුම යුවතියට සරදම් සිනහවක් පෑවාය. ඇය නාන කාමර කන්නාඩිය ඉදිරිපිට තමන්ටම රැව්වාය. ආයෙමත් සිනාසුණාය. පවන් ට කලින් සිටි පෙම්වතිය න් ගැන සියුම් ඉරිසියාවක් හිතුවාය.ඒ මහා හැගීම් කන්ද දීර්ඝ  සිපගැනීමකින් පමණ ක් කෙළවර වෙන්නට ඉඩ හැරීම ඉරණමට ස්තුතිවන්ත වුවාය. 

පවන් අසලින් වාහනයේ වාඩිවු පසුව ඇගේ මුහුණේ සිනා සරයක් පැවතිණි. රාත්‍රියෙ වැහි වැටුණායින් පසු අහස හොදටෝම පැහැදිලි ය. කිසිම කිසිවක් කතා නොකර පවන් වම් අතින් ඇගේ අත අල්ලා ගත්තේය. සවුමි තිගැස්සී වගේ ඔහු දෙස බලද්දී වත් ඔහු ඇය දෙස බැලුවේ නැත. ඒත් සිනාමුසු හැගීමක් නිහඩව ඒ මුහුණ මත තිබිණි. 

“ ඔයාට හැමදාම ත් මෙහෙ ඉන්න පුලුවන් .. ඔයා බදින කෙනාට‍, ඔයාගෙ බබාලට.. එහෙමනෙ මම්මා කියලා තියෙන්නෙ.” පවන් මෘදුව කීවේය. සවුමි ඒ වාක්‍ය ට එතරම් කැමති වුයේ නැත. බදිනවා! බදිනවා කියන්නෙ ම වෙන පිරිමියෙකු ට අයිති වීමකි. කාලයක් තිස්සෙ පවන් කෙරෙහි නිදන්ගත වී තිබුණු හැගීම් ගැන ඇය දැන් සොයා ගෙන අවසන්ය. 

“ බදින එකක් නැ මං”

ඇය කීවාය. පවන් ඒත් ඇය දෙස බැලුවේ නැත. ලස්සන සිනාවක් මුහුණේය. ඇස් ගාලුපාර දිගට වැටී ඇත. 

“ හැමදාම රුෆ්ටොප් එකට වෙලා තුරුල් වෙලා වයසට යංද?” පවන් ඇසුවේ සෙමිනි. ඇය කිසිවක් නොකීවාය. 

“ බදින් නැතුව බබාලා නොහදා…ම්ම්ම්?” 

පවන් ඇගේ උරය වටා අතයවා පුරුදු පාරේම දෙතුන් වරක් රවුම ගැසුවේය. ඇය කළේ ඒ හයිය උරහිසට වාරුවී නිහඩව සිටිම පමණකි. 

පවන් ගේ සිතට ඔසද ව සිහිපත් වුනත් ඒ කිසිවක් සාකච්ඡා කරන වෙලාවක් නොවෙන බව ඔහු නිශ්චිත ව දැන සිටියේය. ඇය කැමති තීරණය ක් ගන්නට ඇයට ඉඩ දෙනවා කියා හිතා ගත්තේය. පුලුවන් දවසක් වෙනකම් ආදරෙන් ඉන්නවා ‍,වගේ තීරණය කට එලැඹීම කොහොමටවත්ම නිවැරදි නැත. ඒත් මේ ලෝකයේ සිද්ධ වෙන්නේ නිවැරදි දේ පමණක් නොවේ. ඇයට කැමති පිරිමි තවත් ඇති. ඒත් ඇය වෙන පිරිමියෙකු ට කැමති වීම පවන් ට බලා ඉන්නට නොහැකිය. මේ ක්රියාත්මක වුයේ එ හැගීමය. ඒත්. ඒ බොරුවකුත් නොවේ. ඒ හැගීම පිරික්සා බලා ඔහු තමන් තුල සවුමි කෙරෙහි වන හැගීම තේරුම් ගත්තේය. වෙන කෙල්ලන් කෙරෙහි ඇතිවෙන පෙරේත හැගීම ඔහුට ඇය ගැන ඇතිවෙන්නේ නැත. ඇති වුනත් එය පාලනය කරගත හැකි හැදුණු විනයගරුක භක්තිමත් හැගීමකි. 

වාහනය පැරඩයිස් මෙන්ශන්හි ගේට්ටුව විවරවී ඇතුල් විය. දැන් ඒ දෙන්නා අයිති මහල් දෙකකටය. තම තමන්ට අයිති තැන් ගැන අවබෝදයෙන් වාගේම අවධානයෙන් පසුවෙන්නට දෙදෙනා නිර්වාචික ගිවිසුමට එළැඹි හිදිති. 

“ ගෙදරදි මං ඇස් දෙකෙන් විතරමයි ඉඹින්නෙ ඔයාව..” පවන් මුමුණා කීවේ ඇය රියෙන් බහිද්දීය. රත්නශීලා මේ දෙදෙනො ගේ රාත්‍රි සංචාරය ගැන තරමකට අවධානයෙන් පසු වී තිබිණි. ගින්දර සහ පුලුන් පිලිබද අවබෝධය ඇයට කොහොමටත් තිබේ. 

සවුමි පවන්ගේ මුහුණ බලා ඇයට තිබෙන සුන්දරම සිනාව පෑවාය. මේ මොහොත වෙද්දී සවුමි තමන් ට වැඩියෙන් ම පහසු කලාපය තෝරාගෙන අවසන් වගේ හැගීමක පසුවෙයි. ඇයට කොහොමටත් පවන් ගේ ඇසුර පිලිබද සැකයක් නැත. නන්නාදුනන්නා සිය කලාපය තුල මොන⁣වගේ පේමණිය හැසිරිමක් පෑවද යුවතිය සිටියේ නොසන්සුන් සිතිනි. 

දැන් ඇය ඇගේ සීමාවේ තිබුණ රතු ඉර මතින් පැන අවසන් ය. ඇගේ පා තියෙන්නේ බිම් බෝම්බ මතිනි. පවන් රෑ කෑමක් අනවශ්‍ය බව කලින් ම ගෙදරට කියා තිබිණි. 

 සවුමි ‍, ඒ රාත්‍රියෙ ඇගේ ජංගමදුරකතනය නිවා දැමුවාය. ඇයට ඇත්තටම උවමනා වුයේ ඔසද හා කතා නොකර හිදින්නටය. ඇගේ හිත කීවේම ඇය ඔහුට ප්‍රතිචාර දක්වන්නට ඉක්මන් වුවා කියාය. අපරාදෙ ! මම නිරපරාදේ මනුස්සයෙක් ට බලාපොරොත්තු දුන්නා කියන සිතුවිල්ල ඇයව රිදවන්නකි.

ඒත් ඇය ගේ හිතට ඔසද ගැන විශ්වාසයක් ඇති වන්නේද නැත. විටින් විට යන එන, සති ගණන් අතුරුදහන් වන කිස. හෝඩුවාවක් නොදෙන මිනිහෙකුට ආදරෙන් බැදෙන්නට වීම සාපයක් වෙන්නට බැරි ද?

පවන්ගේ මේ ආදරය ඇත්තක් බව ඇය දැන සිටියාය ඒත් කවදාවත් කෞශල්‍යා තමන් ව ලේලිය ලෙස පිළිගන්න සුදානම් වෙතැයි ඇය සිතන්නේ නැත. මේ රාත්‍රියෙ නින්ද නොඑයි. ඇය සිය ජංගම දුරකතනය වසා දැමුවාය. ග්රේස් විජේබණ්ඩාර ගේ සේප්පුවේ තිබී ගත් සටහන් පොත අතට ගත්තාය. ඇගේ කුඩා ඇද ළග ඇති කියවීම් ලාම්පුව දල්වා ගත්තාය. එකින් එක වචනයක් නෑරම කියවන්න ට පටන් ගත්තාය. ඒ සටහන් පොත ග්රේස් මම්මා මැදිවියේදී ලියන්නට ඇතැයි හිතෙන තත්වයේ පවතී. පසුකාලීනව ඇය නිතර අමතකවීමේ අසනීප තත්වයක පසුවුවාය. ඉතින් මේ තරමට පිළිවලෙට මෙහි ලියා තියන්නට ඇයට හැකියාව නැත.

ඇය ඒ වාක්‍යයෙන් වාක්‍යය කියවා ගෙන ගියාය. එක් තැනෙකදී ඇගේ ඇස් නතර විණි. දෙතුන් වතාවක් ඒ පේළිය මත ඇගේ ඇස් දිව ගියේය. කොයිතරම් කලබල වුවාද කියනවා නම් කාමරයේ දොර ඇගෙන උඩුමහලේ පවන් ගේ කාමරයේ දොර ළග නතර වුයේ එක පිම්මේය. පවන් සාමාන්‍යයෙන් මේ වෙලාවට නිදා නොගන්නා ඉව ඇරෙන්න අන් කිසිවක් ඇයට සිහිපත් නොවීය. ඇය ගොස් දොර අසල නතරවී තට්ටු කළාය. කිහිප වතාවක් තට්ටු කර දොරේ අගුල අතින් ඇද බලද්දී එය විවර වුණේ මෙතෙක් ඇය කළ දේට සරදමක් නගන්නාක් මෙන්ය. පවන් දොර විවර වන දෙස බලා උන්නේය. නිශ්ශබ්ද ව‍, කිසිම කලපලයකින් තොරව සුදු පැහැති කපු කමිසයක් බොත්තම් විවර කරගෙන ඇදගෙන තදින් කෘතිම සීතල ගලන කාමරයේ සුදු ඇදතිර ජනේල තිර සහිත පසුබිමක අලුපාට ලැප් තිරයක් දල්වා ගෙන බලා උන්නේය. 

සවුමි දැක නළල රැළි කළේය. ඇස් සිහින් කළේය. කිසිම කිසිවක් නිශ්චිත ව සිතාගත නොහංි උන් ඉරියව්වෙන්ම බලා සිටියෙය.

“කලබලෙන්?”

“ මේ.. මේක බලන්නකො..” 

ඔහු උන් තැනින් නැගිට ඇගේ අතෙවු සටහන් පොත සිය අතට ගත්තේය.ඇය පෙන්වු පිටුව දිගේ ඇස් ගෙන ගියේය. “ olive is not a drink. It is what remains when love is unfinished.” ඔහු එය වරක් තව වරක් කියවුවේය. ඇය දෙස බැලුවෙය. යලි ඇස් වලින් පිටුව ස්කෑන් කර ගත්තේය. ඔහු ඇය මෙන් කලබල වුයේ නැත. 

“ ඔයා මේක කලින් දැකලා තියෙනවද? මේක මොකක්ද?” ඇය ඇසුවාය. “ මේකයි එයා ලියලා තියෙන රෙසිපි එකයි අතරෙ සම්බන්දයක් තියෙනවද?” පවන් සුසුමක් හෙලා සටහන් පොත වැසුවේය. 

“ මේ එයා ලියපු දේවල්. මේ වගේ එක එක ලයින්ස් මේ පොතේම කොච්චර ලියලා තියෙනවද?ඇයි මේක ගැන කලබල වෙන්නෙ?”

ඇය බයාදු ගතියකින් පවන් දෙස බැලුවාය. 

“ නෑ.. නෑ පවන්. මේක අනිවාර්‍යෙන්ම අර රෙසිපි එකට සම්බන්ධයි .. අනේ මට බය හිතෙනවා පවන්. අපි ඒක බිව්ව මිනිස්සුන්ට දුන්නෙ නරක දෙයක්ද කියලා..”

“ එහෙම නෑ.. මං ඒක කරන්න කලින් චෙක් කරලා බැලුව.” 

“ ඒත් පවන්… මේක සරලව හිතන්න එපා.. මට තේරෙනවා අපි වටේ මොනව හරි සිද්ධ වෙනවා.කැෆේ 66ත් කියන නම‍, මේ 66 වෙනි රෙසිපි එක.. ඇයි පවන් මේ?”

“ මම්මා කැෆේ එකක් කරන්න ඒකට 66ත් කියලා නමක් දාන්න හිතාගෙන ඉදලා තියෙන එක.. ඒවා ප්රායෝගිකයි. ඒවා එයා අප්පච්චිට කියලා තියෙන දේවල්.. අප්පච්චිත් මං ඔයාට කරගෙන යන්න කැෆේ එකක් එස්ටැබ්ලිශ් කරනවා කිව්වම කිව්වා‍,ඒක ඔයා දැනගත්ත දවසක සතුටු වෙයි. 66ත් කියලම දාන්න කියලා.. ඒක අමුතු දෙයක් නෙමෙයි. හරියට ග්රේස් මම්මගෙ හීනයක් ඉස්සරහට ගෙනියන්න ඔයාට ඉඩක් හදලා දෙනවා වගේනෙ” 

“ ඒත් ඔලිව්‍, ඇත්තටම අර හරි රහක් නැති කෝපි රෙසිපි එක.. ඒක කොහොමද මේකට සම්බන්ධ වෙනව⁣ ඇත්තේ.”

“අවධානය වෙන අතකට යොමු වෙන්න ද දන්නෙ නෑ”

පවන් හෙමින් කීවේය.

“ අපි ඉක්මන් වැඩි වුණාද?”

ඇය බියපත් ඇස් වලින් බැලුවාය. 

“ එහෙම හිතෙනව නම් ඩිස්කන්ටිනිව් කරමු”

පවන් සැහැල්ලුවෙන් කීවෙය. ඔහු ඇගේ අත් වලින් අල්ලා ගත්තේය. 

“ ඕනම දේකට විසදුම් තියනව. නැත්නම් මම විසදුම් මවනව. මාව විශ්වාස කරගෙන හිනාවෙලා.. ඉන්න …” 

පවන්ගේ හිතට යම් අනතුරක සේයාවක් දැනෙමින් තිබේ. හැන්දැවේදී ත් අම්මාගෙන් අමුතුවෙන් දුරකතන ඇමතුමක් ආවේය. සවුමි පිලිබද සැකයක් ඇති වුවොත් එය පහසුවෙන් මගහැරිය නොහැකිය. අම්මා කියන්නෙ තමන්ගෙ සැකය පිලිබද නිශ්චිතවම දැනගන්නා තෙක් අතහරින්නේ නැති ගැහැනියකි. එ බව ඔප්පු වුවහොත් ඇය පන්න පන්නා පළිගන්නා වර්ගයේ කෙනෙකි. සවුමිගෙන් පළිගන්නට ඕනැතරම් විදි තියෙන නිසා පවන් ගේ හිත හෙල්ලෙයි. 

සවුමි ආයෙමත් ඇගේ කාමරයට ආවේ පොතත් පපුවට තුරුලු කරගෙන සැහැල්ලුවෙනි. ඇත්තටම ඇයට මේ මොහොත වනවිට දැනෙන්නේ වෙනදා නැති සැහැල්ලු ගතියකි.

Tuesday, May 5, 2026

OLIVE - 16

 


🌿 OLIVE — Episode 16 

මලක් සිය දෙතොල් දන්දී ....


දවස් ගෙවීයයි. රාත්‍රින් උදාවී නිමී යයි. තුම්මුල්ලේ කෝපිහලේ ද කිසිම විශේෂත්වයක් නැති දින ගණන් ගෙවී යති. මේ වගේ කිසිදු විශේෂත්වයක් නැති දවස් අවසානයේ සවුමි ට ඔසඳගෙන් ලැබෙන සාමාන්‍ය දුරකතන ඇමතුමක් ලැබේ. ඒ වෙනුවෙන් උදේ සිට බලා ඉන්නට ඇයට සිදුවෙයි. ඇය මේ වගේ දවස් වලට කැමතිද අකැමතිද ඇය නොදනී. සමහරවිට ඇගේ ඇස් කෝපිහලේ‌ දොරටුවේ කොරිඩෝවේ වැදි වැදී ගෙවී යයි. ඇගේ පුරුදු කෝපි ප්‍රේමීන් දිනපතා කෝපි හලට පැමිණෙති. මේ දවස් වල කොළඹ විශ්ව විද්‍යාලයේ කාර්යාල පෙම් යුඔසවළ පැමිණේන්නේ නැත. ඒ පෙම්වතා ඉඳහිට දවසක පැමිණ යන්නේය. ඇයට ඒ ශෝකී පැහැ ඇස් දෙක දෙස බලා මිස් කෝ කියා අසන්නට නොසිතුණි. දුම්බීමට ඇති ස්ථානයට ගොස් දුම්වැටි කීපයක් දවාලමින් කෝපි බඳුන හි්ස් කරන ඔහු පසුවෙන්නේ ප්‍රේමය බිඳී බව බැලු බැල්මට දැකිය හැකිය. මේස දෙකක වෙන් වෙන්ව කෝපි බොමින් ලැප්ටොප් තිර වල වැඩ කල ශිෂ්‍යයෙකු සහ ශිෂ්‍යාවක කාලයාගේ ඇවෑමෙන් එක මේසයක ලැප්ටොප් තිර දිගහැර ගනිති. ඉගෙන ගැනීම පසෙක තියා එකිනෙකාට ළංවෙති. ළං වීම වැඩිම තැනකදී යුවතියගේ කණට කොඳුරා වගේ “ මේක ෆැමිලි රෙස්ටොරන්ට් එකක් “ කියා කියන්නට සවුමි ට සිදුවෙයි. ඒ වගේ වෙලාවට ලජ්ජාශීලි සිනහවක් පාමින් සිනාවී ඇය උන් මේසයට ගොස් කොල්ලාටද යමක් කියයි. දෙදෙනාම සවුමි දෙස බල සිනාපාති. ඒ කිසි අමනාපයක් නැති සිනාවකි. ඉතින් සවුමි මේ සියලු දෙනා සමග ඉතා යහපත් සබඳතා පවත්වාගෙන යන්නීය. සිසිටිවි කැමරා වරින් වර බලන්නට පවන්ට වෙලාවක් නැත. නමුත් ඔසඳ පිලිබඳ දැනගත් පසු ඔහු ඉඳහිට සිසිටිවි නරඹන්නට පුරුදු විය. මෙහි අරමුණ ඇත්තෙන්ම සවුමි ගැන ඔත්තු සෙවීමක් නොවීය. නමුත් අර ඉලන්දාරියා කෝපිහලට පැමිණෙනවාද නැද්ද කියාවත් අඩු තරමේ දැන සිටිය යුතුයැයි හෙතෙම විශ්වාස කරන්නේය. ඔහු නොපැමිණෙන වග දැක හදින් සියුම්වට කුරිරු සුතටක් විඳියි. කොහොම වුණත් ඔහු හැකි සෑම දවසකම සවුමි සමඟ කෝපිහල වසා දමන්නට යන්නට පටන් ගත්තේ මේ කතාන්දරය හේතුවෙනි. 

“ හෙටත් ඔයාට ට්‍රාන්ස්පෝට් ලැබෙනවද හවසට” රැයෙහි ඔසඳ ඇසුවේ අරලියා ගසක් යට බංකුවක වාඩිවී ඔහුගේ දුරකතන ඇමතුමේ හිදිනා යුවතියගෙනි. ඇය සිනාවී “ ඒක නම් දන්නෙ නෑ. පවන් හවස පහට හයට නේ එන්නම් කියලා කියන්නේ” කියා කීවාය. 

“ ඔයා පවන්‌ට කියන්නකෝ මං ගැන” මෙහිදී ඔසඳ උත්සාහ කළේම පවන් මේ සම්බන්ධයෙන් කුමන ආකල්පයක් දක්වාවිදැයි දැන ගැනීමය. පවන් ගේ පෙම්වතියන් ගේ හැඩ පිලිබඳ සලකා බැලුවාම ඇත්තටම ඒ ගණයේ කිසිදු ලක්ෂණයක් සවුමිට නැත. එහෙත් ඔසඳ ගේ හිතේ මේ අමුතු හිතවත්කම් ගැන අවුලක් තිබේ. පවන් ගෙන් හෝ සවුමි ගෙන් එවැනි කිසිම රහස් සම්බන්ධතාවයක් ඇති බවක් නොපෙනෙයි. ඔවුන් බොහෝ නිරවුල් හිතවත්කමක හිඳින වග පැහැදිලිය. 

“ පවන් දන්නවා ..”

“ මොකද කිව්වෙ පවන්?”

“ විශේෂ්‍යක් නෑ. එයා කිව්වේ මං ලෝකෙ ගැන දන්නවා අඩුයි. ඒ නිසා කිසිම දේකට ඉක්මන් වෙන්න එපා. පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න කියලා”

“ හොඳ එකෙක්” 

ඔසඳ කීවේය. කොහොමටත් සවුමි පවන් ට දක්වන ගෞරවය දැක්කාම කිසි ලෙසකින් පවන්ට දොස් කියන කෙනෙකු හා ඇය උරණ නොවී නොඉඳින බව ඔසඳ දැන සිටියේය. පිරිමින්ගේ අදහස් කොයිතරම් වෙනස් විය හැකි වුවත් ගැහැනු එසේ නොවේ. උන් උන් කෙනෙකු ගැන හදාගත් මත පහසුවෙන් බිඳින්නට කැමති ජාතියක් නොවේ. 

“එහෙනම් හෙට හවසට මං එනවා කියන්න….”

“ එතකොට?”

“ පවන් එනේකක් නැ”

ඒ වෙලාවේ වෙලාව රැ මැදියමට ළඟය. පවන් ගෙදර ආවාද නැද්ද කියාවත් ඇය දැන සිටියේ නැත. කෙසේ වෙතත් ඇය පැරඩයිස් හි පවුලේ කෑම කාමරයට ගියාය. රත්නශීලා නැන්දා සිටියේ පවන්වෙනුවෙන් කෑම මේසය සකසමිනි. 

“ දූ.. ඔන්න අද නම් පේන්නවත් ඉන්න එපා” ඔි සිනාසුණාය. “ එයාට විකාරනෙ අනේ” ඇය ඒ් සිනාවට එකතු වුවාය. පවන් ඉතින් සුපුරුදු කුමාර ලීලාවෙන් මතු මහලේ සිට පියගැට පෙල බැසගෙන ආවේය. සවුමි දැක සිනා මුහුණක් හදා ගත්තේය. සවස කෝපිහලට එන්නටද නොහැකි වන තරම් මේ දිනවල කාර්යාලයේ වැඩ කන්දරාවකි. 

“ කොෆි ශොප් එක වැහුවෙ කීයටද?” ඇසුවේය. සවුමි වේලාව කීවාය. “ තනියම එනදවසට එච්චර වෙලා ඉන්න එපා” ඒ ආරක්ෂා මෝඩ් එක ඔන්කරගන්නා පවන් ය. 

“ පවන්,..”

“ හෙටත් මීටින් ද?”

“ කියන්න මොකක්ද වෙන්න ඔිනෙ.”

“ නැහැ පවන්.. හෙට ….”

පවන් ගේ ප්‍රශ්නාර්ත ඇස් ඔහු කරා යොමුවිය. 

ඇය යළිත් මුලුතැන්ගේ දෙස බැලුවාය. 

“ තේ එකකුත් හදන් උඩට එන්න…”

පවන් කීවාම සවුමි සිය කාමරයට ගියේ ඇගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ගැන මඳ සතුටක් හිතේ තියාගෙනය. සුලලි අක්කා පැයකට විතර පෙර ගත් වට්සැප් කෝල් එකේ කිවු දේවල හැටියට නම් පවන් මේ ඉන්නේ හිත් රිදීමකය. ඩාරා ලංකාවට එනවා යැයි කීවාට ඇය ඒ අදහස වෙනස් කරගෙන වාගේය. පැමිණ නැත. ඉතින් පවන් ඇත්තේ හිත් අමාරුවක කියා සුලලි අක්කා සතන බවත් මේ වෙලාවේ පවුලේ කෙනෙකු විදියට ඔහුට හිතවත් කෙනෙකුට ඉන්නේ සවුමි පමණක් නිසා පවන්ව ටිකක් බලා ගන්නට ඇයට සිදුවන බවත්ය. පුලුවන් නම් සවුමි කළ යුතු වැදගත්ම දේ පවන්ව ටෙනිස් පුහුණුවීම් වලට යැවීමය. ඒ ගැන කතා කර බලන්නටත් සවුමි සුලලිට පොරොන්දු වුවාය. කෞශල්‍යා සහ මිගාර කියන්නේ පවන්ගේ හිතැගි වටහා ගන්නා විදියේ අම්මෙකු අප්පච්චියෙකු නොවේය කියා සුලලි සිය දෙමව්පියන්ටද චෝදනා කරන්නීය. 


කරපොවා බැලුවිට පවන් මතු මහලට ගිය බැව් දැනගන්නට ලැබිණි. ඇත්තෙන්ම ඔහු සිටියේ තුන්වෙනි මහලේ රුෆ්ටොප් එකේ කෙළවරය. මෙතැන සිට අහස අල්ලන්නට හැකිය. සවුමි හුගාක්ම පුංචි කාලයේ හිතා හිටියේ එහෙමය. ඉතාම කලාතුරකින් පවන් දුම්වැටියක් උරනු සවුමි දැක ඇත. කුඩා දුම් වලාවක් මැද ඔහු හිඳගෙන සිටියේ කුඩා බීන් බෑගයක් මතිනි. සවුමි සිය අතේ පවන් ගේ කිරි තේ කෝප්පයද දරාගෙන සිටියාය. ඔහු ඇඳ සිටි සැහැල්ලු සුදු කපු කමිසයේ බොත්තම් සියල්ල ඇර දමාගෙන ඔහේ සිටියේය.


ඇයට පවන්ගේ නිරුවත් පපුව ගැන කිසිදු විශේෂ හැගීමක් නැත. ඇය පවන්ගේ ජීවිතයේ බොහෝ අවදි දැක ති‌යේ. මේ මොහොතේ ඔහු ඉන්නා ඉරියව්ව දැක ඇයට සිතුණේ මේ ග්‍රීක කුමාරයෙකු වගේ ඉන්නා මිනිසා තමන්ගේ කුඩා කල පටන් මිතුරා ය වැනි ආඩම්බර කමකි. පවන් ටද සවුමි සම්බන්ධයෙන් ඇත්තේ ඒවැනිම හැඟීමකැයි ඇය සිතා සිටියාය. ඇගේ කුඩා පපුව ඔ්නැවට වඩා ගැහුණේ නැත. 


බීන් බෑගයේම අනික් පස පෙන්වමින් පවන් ඇයට ඉඳගන්නැයි ඇඟවුවේය. යුවතිය එතැනම බිමින් කිරි තේ කෝප්පය තියා ඔහු අසළින් බිමින් හිඳගෙන ඒදෙපා එක පසෙකට වෙන්නට දිගු කර ගත්තාය. ඇය ඇඳ සිටියේ කොටු සහිත මෝස්තරයක් සහිත දනිහ තෙක් දිගු ගවොමකි. එයින් ඇය කිසිසත්ම සරාගීව නොපෙනුණු අතර ළයාන්විත ගැහැනු ගතියක් ඇය තුල ඇති බව දිලිසෙමින් පෙනෙමින් පැවතිණි. 


දෙදෙනා අතර කිසිවක් කතා නොවුයේය.

. මැදියම් රැය පැරඩයිස් මැන්ශන්ස් ඉහළ අහසේ නිදහස් සුව විඳිමින් සිටියේය. තරු තැනින් තැන අහස පුරාම විචිත්‍රවත් ලෙස විසිරීතිබිණි. 

“ මතකද ඉස්සර අපි තරුරටා බලනවා. ඔයායි මායි අක්කයි” පවන් ඇසුවේය. 

“ මං ගොඩාක් කාලෙකින් මේ අහස දිහා බලන් ඉන්නෙ නිස්කාංසුවෙ” ඇය කීවාය. 

“ ඔයා අහස දිහා බලන්න තරම් නිස්කලකෙ වෙලා ඉන්නෙ ගොඩාක් කාලෙකින් වෙන්න ඇති” 

සවුමිට අතීතය මතකය. ඒ අවුරුදු දහයක විතර වයසේය. ඒ කාලයේ පවන් කැමැත්තෙන් හිටියේ තාරකා විද්‍යාඟයෙකු වන්නටය. නිතරෝම ග්‍රහලෝකාගාරය බලන්නට ගියේය.ආචාර්ය චන්දන ජයරත්නගේ වැඩමුලු වලට පවා සහභාගි වුවේය. කාලයක් යද්දී පවන් ගේ ඒ අදහසත් තාරකා නැරඹිමේ ආසාවත් වෙනස් විය.

 “ කාලෙත් එක්ක මං වෙනස් වුණා…”

“ මිනිස්සු එහෙමනෙ…”

ඇය කීවේ සෙමිනි. 

“ ඔයාට මොකද හිතුණෙ, මං වෙනස් වෙද්දි?” 

“ මට දැනුණෙ ඔයා වෙනස් වෙනවා නෙමෙයි , ලොකු වෙනවා කියලා” 

“ ඇත්තටම ද ?”

“ හ්ම්..”

පවන් සුසුමක් හෙලුවේය. බීන් බෑගය මත ඔහේ දිග ඇදුණේය. යුවතිය ලක්වුණේ මඳ අපහසුතාවයකටය. ඔහුගේ ඝණ කැරලි ගැහුණු හිසකේ ඇගේ වැළමිටේ තැවරෙමින් තියේ. 

“ අද තරු වැඩී අහසේ…” මේ රුෆ් ටොප් එක මනාව නඩත්තු කළ එකකි. පවන් හෙමින් කීවේය. සවුමි පවන් දෙසම බලා උන්නාය. ඒ මොහොතේ ඇගේ සිතේ පවන් කෙරෙහි ඇතිවෙමින් තිබුණේ මහා කරුණාවන්ත හැඟීමකි. ඇත්තෙන්ම ඇගේ සිත තුල කිසිම රාගය මුසු හැඟීමක් ජනිත වුයේ නැත. ඒ ගැන ඇයට සහතිකවම කිව හැකිය. පවන් සිටියේ තමා මත සවුමි ගේ ඇස් රේඛා වැටී ඇතැයි දැනගෙන නොවේ. ඒත් ඒ මොහොතේ ඇගේ මේ හුස්ම ලන උකුළේ හිස සතපවා ගන්නට හැකිනම් වැනි අදහසක් ඇති විය. පවන් එකවරම හැරී ඇය දෙස බැලුවේ ඒ සිතුවිල්ලේ තවදුරටත් සිරවී ඉන්නට නොහැකි හින්දාමය. 

ඒ මොහොතේ තරුණ ඇස් හතරක් එකටට එක යාවිණි. 


ඇගේ උකුළ තිබුණේ හිස්වය. නිදහස්වය. ඔසඳ මොනාකාර දුරක සිට ඇය ගේ සිත ආදරය කෙරෙහි මෙහෙයවනවා උනත් පවන් මේ මොහොතේ සිටියේ සවුමිගේ සිතේද දොර අගුලු විවර කරමින්ය. මෙතෙක් කාලයක් තිස්සේ කවදාවත් සැරි නොසැරු කලාපයන් අපමණක් සවුමි තුළ තිබුණි. ඇය මුලු හදවතින්මත් සිරුරෙන්මත් පිවිතුරු මලක් ය. ඒ කලාප වල අගුලු අත්පත් කරගත හැකි පිරිමි ආත්මයක් ඇයට මෙතෙක් හමුවී තිබුණේ ද නැත. විශේෂයෙන්ම මේ වගේ රෝමාන්තික හැන්දෑවක දී පාරාදීසයේ අහසට ආසන්න මුදුනේ දී ඇගේ සිතේ සියලු වැසුණු කලාපයන් විවර කරනා මහා බලය ඉතිරිවී තිබුණේ පවන් අතේමය. 


පවන් හිස ගෙලෙන් ඔසවා ඇගේ උකුලෙන් තියා ගත්තේය. මුලින් ඇය ඇකිලී ගියාය. කවමදාවත් මේ වගේ වැඩිහිටි තරුණයෙක් ඇගේ සිරුරට කිසිසේත්ම ළං වී නැත. ඔ් සිටියේ හිතැතුළෙන් මේ අත්දැකීමට සුදානම් වී නොවේ. ඇය ඒ මොහොත වෙනවිටත් මේ හැගීම දුටුවේ තමන්ගේම සහෝදරයෙකු ගේ උණුසුමකින් තමන්ව කම්පනයට පත්වෙනවා වගේ කවුලුවකිනි. ඒත් මේ ඇගේ සහෝදරයෙකු නොවේ අනිත් අතට ඇයට කවදාවත්ම සහෝදරයෙකු සිට නැත. 


“ ඔයා අහල තියෙනවද. කතාවක්. කොල්ලො පොඩි කාලෙ ආස යෝදයින්ට. කෙල්ලො පොඩි කාලෙ ආස බෝනික්කන්ට. ලොකු වෙනකොට කෙල්ලෝ යෝධයින්ට ආස වෙනවා කොල්ලො බෝනික්කන්ට ආස වෙනවා කියලා” 

“හ්ම්ම්”

“ මං පොඩි කාලෙ ඉඳලම ආස බෝනික්කෙකුට. ග්‍රේස් මම්මගෙ බෝනික්කට” පවන් කීවේ සිනාසෙමිනි. ඔහුට මේ මොහොතේ සවුමිව කිසිම අනවශ්‍ය සම්බන්ධයකට පොළඹවා ගැනීමට උවමනාවක් තිබුණේ නැත. සවුමි ආකාසයට සිනාවක් පා කළාය. 

“ මං දන්නවා ඒක..” ඇය කීවාය. 

“ කවදාහරි බදිනවා කියලා හිතා හිටියෙ මං ඔයාව” පවන් කීවේ ඇත්තටම මිස යළිත් ඇයව අවස්ථාවාදී ලෙස සම්බන්ධයකට පොළඹවා ගන්නට නොවේ. මේ වාක්‍යය නම් සවුමි ව තදබල ලෙස කම්පනයට ලක් කළ අතර තවදුරටත් මෙතැන මෙහෙම හිඳීම ගැන අවිනිශ්චිත හැගීමක් ඇයට දැනුණි. 

“ පවන්…” ඇය විස්මයෙන් පිරුණු හඩින් කතා කරන්නට උත්සාහ කළාය. 

“ ඒක ඒ කාලෙ හිතිච්ච ළදරු හැඟීමක්.. ටික ටික ‌ටීනේජ් එකට එද්දී මං තේරුම් ගත්තා. අපි කවුද? ඇයි අපි මෙහෙම ළඟීන් ඉන්නෙ.. මට කවදාවත් ඔයාව බඳින්න බෑ .. ඒක වැරදි දෙයක් වගේ..”

 සවුමි සැනසුම් සුසුමක් හෙළුවාය. පවන් ඇගේ අත ගෙන තමන්ගේ හිස මතින් තියා ගත්තේය. .සවුමි මෘදුව අතැගිලි ඒහිසකේ මැදින් එහෙ මෙහෙ කළේ කෙමෙන් තමන් තුළ මෙතෙක් නොනැගුන හැගීමකට තමන්ව යටත් කරගන්නට ඉඩ දෙමිනි. 

“ මේ ගෙදර අපි කොයිතරම් තනියෙන් ඉඳලා ඇත්ද? ඒත් අපි කවදාවත්ම මෙහෙම ළංවෙන්න හිතලා නෑ සවුමි”

“ ඇයි අපි දැන් එහෙම කරන්නේ?”

“ ඇත්තම කියන්නද?”

“ හා”

“ ඔයා ඉක්මණට මගෙන් ඈත් වෙයි..”


පවන් සුසුමක් හෙළුවේය. 


“ ඔසඳ නිසාද?”

“ හ්ම්”

“ එයාත් ඔයා ගැන වැඩියෙන් අහනවා කියලා මට හිතෙනවා”

“ඔයායි මායි සහෝදරයෝ නෙමෙයි කියලා දැනගත්ත වෙලාවෙ ඩාරාටත් ඒ ප්‍රශ්නෙ එහෙමම තිබුණා”

“ ඇයි පවන් මිනිස්සු එහෙම”

පවන් සිනාසුණේය. මිනිස්සු හිතන කාරණාව ඇත්තක් ම බව ඇයට කියා දෙන්නේ කොහොමද? ඇය ගැන තමන්ගේ හිතේ හඩ නගමින් තියෙන්නේ ප්‍රේමය බව ඇයට නොදැනෙන නමුත් තමන්ට ඒ ගැන හොඳටම විශ්වාස බව ඇයට කියන්නේ කොහොමද? 


සවුමි ගේ ඔඩොක්කුවෙන් හිස පසෙකට ඇද ගත් තරුණයා ආපහු හිස බින් බෑගය මතින් තියාගෙන පහසු ලෙස දිග ඇදුණේය. 

සවුමි ද උන් ඉරියව්වෙන් මිදී ඒ ආකාරයටම බීන් බැගය මතින් දිග ඇදුණාය. ඇස් මට්ටමින් උඩට ආකාසයය. ඇගේ හිස ඔහුග‌ේ උරහිසෙහි ගෑවී නොගෑවේ. සවුමි ඊළඟ දවසේ ඇයව ඇරලවන්නට නොපැමිණෙන්නැයි කියන්නට ආවට, ඇයට එය කියා ගන්න හැකි වුයේ නැත. ජීවිතයේ පළවෙනිම පළවෙනි වතාවට සවුමි ගේ සිත පිරිමියෙකුගේ උණුසුමකට ආකර්ශනය වෙමින් තිබේ. 


“ ජීවිතේ ඔින තැනක් වරද්දගන්න යි හදාගන්නයි පුලුවන් කියලා මං දන්නවා. ඒත් , මට මගෙ රිලේශන්ශිප් කියනෙක වරද්ද ගන්න බෑ..” ඇය මිමිණුවාය.

“ ඔසඳ ගැනද කියන්නෙ?”

“ කවුරු ගැන වුණත් ඒක එහෙමයි”

“ අපි මේ ඉන්නෙ විසි එක් වෙනි ශතවර්ෂෙ.. මං දන්නවා ඔයා හැදුණෙ හැටේ දශකෙ තමන්ගෙ තරුණ වයස ගෙවපු කෙල්ලෙක් එක්ක.. ග්‍රේස් මම්මා ඔයාට පෙන්නපු ලෝකෙ හැම වෙලාවෙම හරිම නෑ.. “

“ ඒත් මං ආරක්ෂිතයි නේද ?”

“ මොකකින්ද?”

“ මගෙන්ම”

“ මොකක්ද ඔයා ආරක්ෂිතයි කියලා දකින්නෙ?”

“ මට තේරෙන්නෙ නෑ පවන්. මං දන්නවා. මාව පහුකරලා මං වටේට තියෙන ලෝකෙ එක සැණෙන් ඉස්සරහට යනවා කියලා. ඒත් මට මේ ටෙක්නොලොජි එක්ක දුවගෙන යන්න බෑ.. මං හති වැටෙන්න කැමති නැති කෙල්ලෙක්” 

පවන් මෘදු ලෙස ඇගේ හිස වටා අත දමා සිය උරහිසට වාරු කරගත්තේය.

“ කොහොමටවත්ම හති වැටෙන්නෝන නෑ ඔයා” කිව්වේය. ඇය කවදාවත් කිසිම පිරිමියෙකු සිපගෙන නැති බව පවන් දැනගෙන සිටියේය. ඒ දෙතොල සිප ගැනීමේ උන්මාදයෙනුත් පෙළුණේය. ඒත් එය කොයිතරම් දුරකට නිවැරදිද කියා තනිව කල්පනා කරද්දී හැකි තරම් දුරකින් සිටියේය. මේ හැඟී්ම ඔහුතුල ඇති වී ඇති අවස්ථා බොහොමයකි. කෝපි හලේ විඩියෝ වලට ඇගේ ඇගිලි කෙහෙරැලි වැනි ඉතා සමිපදසුන් ඔහු විඩියෝ කර තිබේ. ඒ  සමහර අවස්ථාවල ඇයට නොදැනෙන්නට ඇගේ දෙතොල් පවා ඒ් විඩියෝ වලට නගා තිබේ. ඒ විඩියෝ ඒඩිට් කරන වෙලාවලදී පවන් ගේ සිතේ ඇය පිලිබඳව  සාහසික ආදරයක්ද ඇතිවී ඇත. 


“ ආදරේ කියන්නෙ මහ අමුතු දෙයක්. අපි ආදරෙන් බැඳෙද්දී හිතන්නෙවත් නැති දේවල් අපි ආදරේ වෙනුවෙන් කරන්න පටන් ගන්නවා. මං ඔයා ගැන බය.. ඔයා ආදරේ ගැන හිතන විදිය මං දන්න හින්දා. ඔයා මුලු ආත්මෙන්ම වින්ටේජ් කෙල්ලෙක්. ඔයා අවංකයි. ඔයාගෙ හිත බැඳෙන කෙනාට ඔයා සලකන්න හිතන විදිය පවා මට හරි පැහැදිලි. ඔයාව කුමාරිකාවක් වගේ බලා ගන්න පුලුවන් කොල්ලෙක්ට ඔයාව අයීති වෙන්නෝන…” 

සව්මි පවන් දෙස බලා සිටියාය. ඇයගේ හිතින් මැන බැලුවේ ඔසඳ ට මේ කියනාකාරයෙන් තමන්ව බලා කියා ගැනීමේ උවමනාව ඇත්තටම ඇත්ද කියාය. 

“ මං කොහොමද දන්නෙ පවන් මට ආදරෙයි කියන කෙනාට ඇත්තටම මං ගැන එහෙම වටිනාකමක් තියේවිද කියලා” ඇය ඇසුවේ අසරණ විලාසයකිනි.

“ එයා ඔයාට ඒ වටිනාකම දෙන්නෝන. වචන වලින් නෙමෙයි..” 

“ මං හැමදාමත් මේ වහල යටදී සැලකිල්ල කියනෙක විඳලා තියෙනවා පවන්. ඒත් මං ආදරේ විඳලා නෑ”

“ ඒක මට තේරෙනවා. ඒ නිසාම තමයි මේ ලෝකෙ වටිනම දේ විදියට ඔයාට ආදරේ දැනෙන්නේ.” 

“ ඒක වැරදිද?”

“ නෑ.. මිනිස්සුන්ට වැඩියෙන්ම ඔිනෙ ආදරේ .. මිනිස්සු කියන්නෙ තනිව ජීවත් වෙන්න පුලුවන් ජාතියක් නෙමෙයි. මං ඒක දන්නවා..” 


පවන්ට තියෙන්නේ හිත් අමාරුවකි. ඇත්තෙන්ම ඔසඳ ඒ ඇයට ගැළපෙන නියම පිරිමියාද කියා දැනගන්න විදියක් ඔහුට නැත. ඇයගේ හිත ගිහින් ඇති මිනිසා ද අමුතු එකෙකි.  පවන් මේ වෙලාවේ ඉන්නේ පැටළිලි හිතකිනි. ඔහු වම් පසට සිය  මුහුණ හරවා ගත්තේය. ඇගේ කොපුලට ඔහුගේ හුස්ම මෙන්ම දෙතොලේ වෙව්ලිල්ලද දැනෙයි. කෙල්ලන්ට ඉව තියේ තමන් ගේ හිත මේ නතු වෙන්නට යන්නේ කුමක් හෝ දරුණු ග්‍රහණයකට බව ඇයට දැනිණි. ඇය නිකමට හෝ පවන් දෙස නොබලා ඉන්න ප්‍රවේශම් වුවාය. 


“ හැමදාම මට ඔින වුණා.. ඔයාගෙ ෆස්ට් කිස් එක වෙන්න” පවන් කීවේ හිතිනි. මේ වාක්‍යය ඇය කොහොම පිළිගනිවිද ඔහු දන්නේ නැත. ඒත් මේ ඒක කියන්නට වෙලාව නෙමෙයිද? එක්කෝ ඇය ඔහුව පිළිගනීවි. නැත්නම් ප්‍රතික්ෂේප කරාවි. 

“ සවුමි… ඔයා දන්නවද අවුරුදු 15 විතර ඉඳන් ඔයාව දකින හැම වෙලාවෙම මට ඔින වෙලා තිබුණෙ මොකක්ද කියලා”

ඇය අහස දෙස බලාගෙනම හිස සෙලෙව්වාය. නැහැ කියන්නටය. 

“ ඔයා ගෙ ෆස්ට් කිස් එක වෙන්න” සවුමි ඒ හඩට තිගැස්සුණාය. පුංචි කාලයේ ඉඳලාම එකට හැදී වැඩී සිටියත් පවන් ගේ කොලුකම් පිරුණු ඇස් ළඟ ඇය අතරමං වු වාර නැතිවාද නොවේ. ඒ පවන් සිය හැඟීම් සඟවා ගන්නට නොදන්නා කාලයේය. පසුව ඔහු සෙමෙන් සෙමෙන් සංයමය පුරුදු වුයේය. සවුමි තියා වෙන කිසිම කෙල්ලක හමුවේ ඒ ඇස් වලින් ආසාව වැගිරුණේ නැත. ඔහු නියම පිරිමියෙකු මෙන් ස්වයං පාලනයෙන් යුක්ත වුවේය. පැණි හලන පිරිමියෙකු නොවේ. තේජසින් පිරුණු ජේත්තුකාරයෙකු වුයේ එහෙමය. ඇය මේ වාක්‍යයත් සමඟ දිගු සුසුමක් හෙලුවාය. 

“ මං ඒක දන්නෙ නෑ. කොහොමද කියලා…මං හිතන්නේ මං ආදරේම කෙනා එනකම් මං ඒක වෙනුවෙන් බලං ඉන්නවා වෙන්න ඇති” ඇය කීවේ පවන්ටද සුළඟටද කියා ද සැකයකි. 

“ ඔයාට කවදාවත්ම මට ආදරේ හිතිලා නැද්ද?” 

සවුමි ඒ වචන වලට නම් තිගැස්සිණි. ඒ තිගැස්ම සඟවා ගන්න හැකි නොවීය.  ඇයත් ඔහුත් අතර නිශ්ශබ්දතාවයකි. ඒත් හිස් නැත. දහසකුත් හැගීම් වලින් ඒ නිශ්ශබ්දතාව පිරී ඇත. පවන් සිය අතින් ඇගේ හිස් මුදුන පිරිමැද්දේය. නැවත අහස දෙස බලා ගත්තේය. 

“ මං කොහොමද මගේ සීමාව අමතක කරන්නෙ?” ඇය මෘදුව කීවාය. 

සීමාව. 

“ ඔයා පවන්, ඔයා මේ අධිරාජ්‍යයක් වගේ තියෙන බිස්නස් එකක කුමාරයා වගේ මට හැම වෙලාවෙම දැනෙන්නේ. මං කව්ද කියලා හිතුවොත්.. මං නිකම් මේ ෆැමීලි එකට මගදී තෝරගත්ත කෙනෙක් විතරයි…” 

පවන් හිස සෙලෙව්වේය. 

“ ඔයා ඒක්ක ඉන්නෙ කවුද කියනෙක .. ඒක හැමවෙලාවෙම හැම කෙනෙකුටම ප්‍රශ්නයක් වෙන විදියක කෙනෙක් ඔයා.. මං වගේ කෙනෙක් කියන්නෙ ඔයා වගේ කෙනෙක් එක්ක හීනයක් විතරයි .. ඒක හීනයක්.. මං ඒ වගේ හිනෙක අතරමං වෙන්න කැමති නෑ”

ඇය සෙමෙන් වුණත් තාර්කිකව ඇගේ සීමාව උදෙසා නිදහසට කරුණු කීවාය. 

“ එතකොට අර කොල්ලට ආදරේ හිතන්න කලිනුත් මෙච්චර කාරණා කාරණා හිතුවද ඔයා?”ඇය සුසුමක් හෙලුවාය. ඇත්තෙන්ම නැත. ඒත් ඒ සාමාන්‍ය මිනිසාට අඩු තරමේ ළංව කතා කරන්නට ඇයට හැකිය. පවන් ඇගේ හිසෙන් සිය අත අහකට ගත්තේම නැත. ඇය තාමත් ඒ පිරිමැදුම ගැන ලෝබ සිතිනි. ඔහුගේ ඇස් ඇගේ මුහුණේ ඇවිදින්නේ නිදහස් සිතිනි. හරියට තමන්ට අයිති කෙනෙකු දෙස බලා හිඳින්නාක් මෙනි. 

“ හැමදාම ළඟ හිටියා මං ඔයාගෙ. මලක් වගේ ඉන්න ඉඩ දීලා බලාගෙනම හිටියා..”

“ ඔයා ඒ අතරෙ ඔයාගෙ ජීවිතේ වින්දානේ පවන්”

“ හුගක් දේවල් කලා මං ඒත් මට ඔයාව අමතක කරගන්න හුගක් අමාරුයි. තාමත් මට ඒක දැනෙනවා. වැඩියෙන්ම දැනෙන්නේ ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරන්න යනවා කියලා දැනගත්තාම.. මේකයි. මං දන්නවා ඔයාත් ආස ඇති කොල්ලෙක්ගෙ ආදරේ විඳින්න. ඇවිදින්න.. ආදරේ කරන්න. කතා කරන්න.. ළඟින් ඉන්න.. මට ඒ හැමදේම තේරෙනවා.. නොතේරෙනව නෙමෙයි” 

“ ආදරෙ ්කරනවා නම් මුලු හිතින්ම ආදරේ කරන්න ඔ්නෙ.. මම ආස නෑ කාටවත් වංචා කරන්න”

 ඇය කීවාය. එයින් පවන් ට තරමකට රිදිණි. තමන් මේ ආත්මාර්තකාමි ලෙස ඇය ආදරය කරන්නට හදන කෙනාට වංචාවක් කරන්නට ඇයව පොළඹවන්න උත්සාහ කරනවා යැයි සිතනවා නම් ඒ ඇයට වු වරදකි. 

“ ඇහැරගෙන හිටියා ඇති.. ඔයා යන්න දැන් නිදා ගන්න” පවන් ඇගේ හිසට අත තියාගෙනමය කිවේ. සවුමි ට ඒ මොහොත ගැන ලෝභ සිතිණි. සිඟිති වියේ සිටම මේ ඇගේ වීරයා නොවී යැයි කොහොම කියන්නද? ඇය බාලිකාවට යන වෙලාවල ජාත්‍යන්තර පාසල් නිල ඇඳුම ඇඳ ඔහු පාසැල් යනවිට පවා ඇය ඔහුට ආදරය නොවී යැයි කියන්නේ කොහොමද? 

“ ජීවිතේ සමහර සීමා දුරස් වෙලා තියෙන්නේ උතුරන ආදරේකින්… ඒවා අල්ලන්න යන්න හොඳනෑ.. ඒ ආදරේ අඩු වෙන්න පුලුවන්” ඇය කීවේ පවන්ගේ ඇස් මත ඇස් තියාගෙනමය. ඇය යන්නට නැගිට්ටාය. පවනුත් ඒ සමගම නැගිට්ටේය ඇයට ආපහු යන්න ඉඩ දෙමින් ඔහු සුළං මුහුණතට මුහුණ හැරෙව්වේය. ඒත් සවුමි මෙතෙක් ජීවිතයේ රැකගෙන ආ සංයමය ඇයව දරුණු ලෙස ප්‍රශ්ණ කළේ මේ මොහොතේය. 

නින්දෙන් ඇවිදින්නාක් මෙන් ආපහු හැරී පවන් වෙත ඇවිදිමින් සිටියේ ඇයයි. ඇගේ ඇස්වල ලොකු කඳුලු ගුලි ය. කවදාවත් ආයේ අද වැනි දවසක් ඒ දැයි දන්නේ කවුරුන්ද? සිමාව හිතන්නේ නැති විදියට ස්පර්ශ වී තියේ. පවන් ආපහු හැරී පුදුමයෙන් මෙන් බලා උන්නේය. සවුමි ඇවිදගෙන ඇවිත් පවන් ගේ පපුවට මුහුණ ඔබා ගත්තාය. 

“ තහනම් දෙයක්ද මං ඇහුවෙ?” දෝතින් ඇගේ මුහුණ අල්ලා ගෙන ඒ ඇස් දෙකට එබෙමින් පවන් ඇසුවේය. ඇය කිසිත් නොකියාම සිටියාට ඇගේ ඇස්වල කඳුලු කතා කළේය. පවන් සිය බලාපොරොත්තුව ට ඉඩ දුන්නේය. මල, සිය දෙතොල් ස්වකැමැත්තෙන් ඔහුට දන් දුන්නාය. 

“ ආදරේ කරාට කමක් නෑ… හැමදේම හොද අතට විසදෙනකම් මලක් වගේ ඉන්න” 

පවන් කීවේ ඇගේ හිසකේ සිය දෙඅතින් ඇගේ දෙකන් පසුපස ට කරමිනි. 

“ මට එහෙම කරන්න බෑ කියලා හිතෙනවා ..” ඇය කීවාය. එහි තේරුම ඇයට ඔසඳට කතා කරන්න බැහැයි කියනා එකද? 

“ මට බෑ ඔයාගෙ හීන හොරකම් කරන්න. ඔයා දන්නවා ඒක..”

“ ඔයාට දුක නැද්ද පවන්”

“ දුකයි… බලං ඉන්න බැරි තරම්. ඒ්ත් මට ඔයාගෙ ජීවිතේ සතුට උදුරගන්න බෑ.”

සවුමි නින්දේදී සිය දෙතොල පිරිමැදගත්තාය. පළවෙනිම හාදුවෙන් පසු හිතට දැනෙන අනෝරා වැහි ස්වභාවයකින් හිත නොසන්සුන්වී තිබේ. පවන් ඊට වඩා නොසන්සුන්ය. ඒ මොහොතේ හැඟීම් ගණුදෙනුව සංකීර්ණ වු බව සැබවි. ඒත් සවුමි වගේ කෙල්ලක් කොහොම මේ සියල්ල සමඟ ඉදිරියට යාවිද කියා ඔහුටද දැන් ගැටලුවක් තිබේ. අනික් අතට, ඒ දෙතොල් ගණුදෙනුවේදි වින්ද හැඟීමට ඇතිවෙන ලෝභකම මේ එකම වහළක් යටදී කොහොම නොඇවිළි ඉන්නද කියා වැටහෙන්නේද නැත. 


සවුමි හිත හරියටම හදා ගත්තාය. කවදාවත් ඉශ්ට නොවෙනා හීනයක සදාකල් ජීවත් විය නොහැක. මේ පවන් වෙනුවෙන් ඇගේ හිතේ වු කැමැත්තේ අග්‍රඵලයයි. එය අද ඒ විදියට විසඳිණි. දැන් පවන්ටත් ඇයටත් හිත් වල සඟවා ගෙන ඉන්නට කිසිත් නැත. ඒ රැයෙහි කිසිම කිසිවක් සිදුවුයේ නැතැයි හිත හදාගත යුතු බව ඇය තරයේ තීරණය කළාය. 



OLIVE - 19

 🌿 OLIVE — Episode 19 සිග්නේචර් කෝපි එදා රාත්‍රිය පුරාවට පැවති වැස්ස තුරල් වුයේ පාන්දරය. සෞමි ඇහැරුණේද පමාවය. එබැවින් වෙනදාට වඩා කෝපිහල විව...