Friday, May 1, 2026

OLIVE — 14

 



🌿 OLIVE — 14


නයි වගෙ රැකගත්ත මැණික


සවුමි ගේ සිතේ පවන් කෙරෙහි ඇති ගෞරවය තවත් වැඩි වුයේ ඔහු ඔසඳ මෙතැන සිටියදී හැසිරුණු විලාසයටය.  පවන් යනු හුදෙක් ජීවත්වීම උදෙසා ගොඩනංවන ලද පිරිමි පෞරුෂයක් නොවේ. ඔහු කුඩාක සිට පුරුදු පුහුණු කළේ අනාගත ව්‍යාපාරික අධිරාජ්‍යයක කිරුළු පළන් කුමරු ගේ චරිතයයි. එබැවින් තමන් කරන කියන හැමදේ ගැනම සිය දහස් වරක් නොවේ. කෝටි ප්‍රකෝටි වතාවක් සිතා බලා තීරණ ගන්නට ඔහු පුහුණු වී ඇත. පුරුද්දටත් වඩා පුහුණුව වැදගත් බව විශ්වාස කරන මිගාර විජේබණ්ඩාර පවන් ට ලබා දුන් මඟ පෙන්වීම එයයි. 

මේ පවන් ට සවුමි ගේ හිත ගිය කෙනා සමග සිනාවී යන්නට පමණක් නොවේ. අතට අත දී කතා බහ කරන්නට පවා පුලුවන. ඒ සවුමි ඔහුව තමන්ට හඳුන්වා දෙන්නට සුදානම් වු දවසකය. 


මොන මොන තරම් පුරුදු පුහුණු වී ඇතත්, තමන් තුළ ආදරය ඇතිවීම වලක්වා ගැනීමට පවන් ට නොහැකිය. දැන් එය රිදුමකි. ඔහුට ඇයට කියා ගන්නට බැරි වු ප්‍රේමයක් හද දවන්නේය. රිදෙන්නේය. කරන්නට දෙයක් නැත. තමන් උපන් මේ උරුම රකින්නටය. සවුමි පවන් වෙත ගියේ නිශ්ශබ්ද සිතිනි. කෝපිහලේ දෙදෙනෙකු පමණය. ඒ පෙම්වතුන් යුවළකි. මේ දෙදෙනා පෙම්වතුන් නෙ‌ොවේ. කෙනෙකු අනිකාට පෙම් කළත් අනිකා වෙනෙකෙකුට ප්‍රේමයෙනි. 


“ එයා නේද ?” පවන් විමසුවේ සවුමි කතාව පටන් ගන්නට පෙරය. යුවතියගේ කොපුල් සැන්දැ අහසේ රෝස ගෙන ඒවායේ තැවරු සේය. ආත්මය පිටිම්ම දිලිසෙන්නට ද පටන් ගෙනය. 

“ ඔව්” පැහැදිලිය.කෙටිය.මුලු කතාවම වචනෙකින් ලීවාය. 

“ මේ කොළඹ… ඔයා දන්නවා හමුවීම් වෙන්වීම් කොහොමද කියලා.. මට ඔිනෙ මොනදේ නිසාවත් ඔයාගෙ හිත රිදෙන්නැතිවෙන්න… ඔයාව අපි කවුරුවත් කවදාවත්ම රිද්දලා නෑ.. මං එහෙම විශ්වාස කරනවා..”  යුවතියගේ ඇස කඳුලකින් පිරිණි. ඇය පවන්ගේ වැලමිටෙන් අල්ලා ගත්තාය. 

“ අනේ …. මං කාත් කවුරුවත් නැති කෙනෙක් වුණාට මට හැමදාම හිටිය පවුල ඔයාලා.. කවදාවත් කිසිම වචනෙකින්වත් මාව රිදිලා නෑ පවන් ඒ වහල යටදි… මේක … මට වෙනස් හැඟීමක්.. ඔයා මං ගැන දන්නවා..මං ආදරේ දැනගත්තෙ පොත් වලින්.. ඒවයෙ ඉන්න පිරිමි හැබෑ ලෝකෙ නෑ කියලා මං වැඩියෙන්ම දැනගත්තෙ ඔයාගෙන්… ඒ වගේමයි සවුමි අක්කා යාලුවෙච්ච පිරිමි ළමයින්ගෙන්. මගේ ලෝකෙ වෙන මොනවද තිබුණෙ. වෙන කවුද හිටියෙ පවන්”

“ ඒ හින්දාම තමයි මට ත් බය…” පවන් සෙමෙන් කීවේය. 

“ මං හිතන්නේ , අපි වගේ පිරිමි නැතුව ඔයාට හොඳ කොල්ලෙක් හම්බ වෙන්නෝන. ඔයා දන්නවදමගෙ යාලුවො ඔයාට ට්‍රයි කරන්න හිතන්න පටන් ගන්න කොටත් මං උන්ව නවත්තලා තියෙනවා. දැන් උන් මට හම්බ වෙන්නෙ ඉදල හිටලා.. ඒ වෙලාවටත් උන් අහනව. කෝ උඹලා නයි වගේ පරිස්සම් කරගත්ත මැණික කියලා..” 

සවුමි ගැස්සී ගියාය. 

“ නයි වගෙ රැකගත්ත මැණික!” ඇයට සුසුමක් හෙළුණි. සිනහවකුත් නැඟීණි. 

“ අපේ අක්කා වුණත් කොල්ලො එක්ක යාලුවෙලා අතැරලා අතැරිලා තමයි දැන් ඉන්න එකා හොයාගත්තෙ.. ඒකත් ෆැමිලිස් වලින් කතා කරගත්ත එකක් නිසා තමයි ඔය මට්ටමෙන් අදටත් තියෙන්නේ…ඔයා එහෙම නෑ සවුමි. ඔයා ලව් කරන එකා මොකා වුණත් ඔයා දෙයියෙක්ට වගේ ඌට සලකයි.. මං කියන්නෙ ඒ මොකා වුණත් ඔයාට උෟ සලකන්නත් ඔ්නෙ එහෙමයි..”

“ මෙච්චර මං ගැන හිතන්වට ස්තුති පවන්… මට ඒක කොහොම කියන්නද තේරෙන්නෙ නෑ” 

“ මේක වගකීමක්”” පවන් එසේ කීවේය. සිය ලැප්ටොප් එකත් දුරකතනයත් අතට ගත්තේ වාහනයට ගොඩ වෙන්නටය. 

“ මං ඔෆිස් එකට යනවා” වෙනදා මෙන් ඔහු නතර වේවියි සිතුවාට ඇයට නතර වෙන්නැයි කියාගන්නට නොහැකිය. සමහරවිට එක් වරක් ඇය එහෙම කිව්වා නම් පවන් නතරවෙන්නට හිත හදාගන්නට තිබිණි. එහෙත් ඇය එහෙම කිවේ නැත. දොර ළගදී දිගු සුසුමක් අත් ඇරුණත් පවන් ඉන්පසු කොළඹ උස් කුළුණක උඩ මහලක ඇති කාර්යාලයේ දී විදේශ සැපයුම් කරුවෙකු සමග වන ව්‍යාපාරික හමුවීමකට ඔන්ලයින් සම්බන්ද වී සිටියේය. ඒත් ඉඳහිටක වගේ  සෙමෙන් සෙමෙන් සවුමි හිතැතුළට ආවේය.  ඒ වෙලාවට පුරුදු පුහුණු කළ සංයමයෙන් හිත හදාගත්තේය. 

සවුමි ගේ සිතේ ආදරය ඉල් මහේ නිලි වැස්සට මෝදුවෙන ඉඳලෝලු මෙන් පෙති දෙපෙති දමා ඇහැ අරියි. යව්වන ආදර හැඟීමක් පහළ නොවු හිතක් තරුණ වයසේදී ආදරය දකින විදියක් ගැන අපැහැදිලිය. යුවතියගේ යව්වන කාලයේ ඇය කිසිවෙකුට ආශක්ත වී නැත. පුදුමය. මෙය මේ යුගයේ කෙල්ලකට සිදුවෙන්නට පුලුවන් දෙයක්ද? සවුමි සිතන්නේ ඇය ආදරයක් පටන් ගන්නවා නම් එය විවාහයකින් , දරු මල්ලන් ලැබී සම්පුර්ණ පවුලකින් කෙළවර විය යුතුයි කියාමය. ඊට මෙහායින් වන නැවතීමක් සහිත ප්‍රේමයක් ඇයට උවමනා නැත. 

මේ තරම් හුදකලා කෙල්ලකගේ හිතේ ඇතිවෙන්නට හැකි ආදරය කොයිතරම් සාහසික වේදැයි, ඔසඳට වගේ වගක් නැත්තේ ඔහු සව්මි වගේ කෙල්ලන් මින් පෙර හමුවී නැති බැවිනි.

එහෙත් පවන්, ඔහු එසේ නොවේ. 

සවුමි නම් දැරිය,

සවුමි නම් යව්වනිය,

සවුමි නම් යුවතිය, 

මේ හැම අවදියක්ම ඔහු දැන සිටියේය.

ඒ් හිත කොයිතරම් අවංකද, 

පිවිතුරුද, මනරම්ද කියාද දැන සිටියේය.

ඇගේ හිත වීදුරුවක් තරම් ප්‍රවේශම් සහිතව රැක ගන්නා පිරිමියෙකුට ඇයව අයිති විය යුතුය. ඔහුගේ හිතට වද දෙන්නේ , අහම්බෙන් කෝපිහලට ආ පිරිමියෙකුට ඇගේ හිත ගිය එක ගැනය. මේ මිනිසා කවුරුන්දැයි හොයා බලන්නට ඔහු තීරණය කළේය. විදේශ සැපයුම් කරුවන් සමග පැවැත්වු හමුවේ අවසානයටම හිතින් තර්ක කර අවසානයට ඔහු ආ නිගමනය ඒකය. 


සවුමි, ඇගේ සිතේ තර්ක නැත. ඇය දවසේ මෙහෙවර නිමා කළාය. අද පවන් නැවත නොඒන බව තහවුරුය. එබැවින් අවසාන ක්‍රියාන්විත වලින් පසු කැෆේ 66ත්හි කුඩා දොර වසා දැමුවාය. සුසුමක් හෙළා අහස දෙස බැලුවාය. තාරකා සමුහයකි. වෙනදා මෙන් සඳ නැති දවසකි. ඔසඳ සිටියේ ඔහුගේ අතේ ඇති ප්‍රධාන දුරකතනය විසන්ධි කරගෙනය. හේතු ඇත. දැන් දුරකතනයකින් පරිගණකයකින් මිනිසෙකු ගේ සජීවී ලොකේශන් සොයා ගන්නට පුලුවන. ඉතින් ඔහු කළේ වසර විසිගණනකට පෙර සිට පැවතෙන කුඩා දුරකතනයකට ටෙක් කම්පැණියේ දුරකතන සිම් පත ඔබාගෙනය. දැන් සවුමි කොයි කවර මොහොතේ ඇමතුවත් ඔහුට ඒ ඇමතුමට බියක් නැතිව සම්බන්ධ විය හැකිය. සවුමි ඇගේ අතේ ඇති දුරකතනයේ සෙව් කර ඇති ඔසඳ ගේ අංකය දෙස මොහොතක් බලා සිටියාය. හිතට ධෛර්ය ගත්තාය. ඇමතුමක් ගත්තාය. “ ටෙක් කම්පැනි කෝලින්”ය. ඇගිලිද වෙව්ලන්නේය. ඔසඳගේ මුහුණට සිනාවකි. ඇය කතා කරන්නට තීරණය කර ඇත. ඇමතුම සම්බන්ධ විය. සන්නිවේදනය, සන්නිවේදකයා සහ ග්‍රාහකයා අතර සම්පුර්ණ වෙමින් පවතී. ඇය නිශ්චිත පණිවුඩයක් නිර්මාණය කරගෙන කතා කරනවා නොවේ. 


“ හායි…”

“ හායි!” 

“ මොකද කරන්නෙ?”

“ ශොප් එක වැහුවා. මං දැන් ගෙදර යනවා”

“ ම්ම්.. කොහොමද යන්නෙ?”

“ වෙනදට නම් පවන් ඉන්නවා. අද මීටින් එකක් නිසා ඔෆිස් ගියා. මම ඇවිදගෙන යන්න හිතුවෙ”

“ ගොඩක් දුරයිද?”

“ ම්හ් .. නෑ. ටුක් එකක් දාගත්තොත් වන්වේ නිසා දුරයි. ඒත් පයින් යනවා නම් ළඟයි”

“ රෑ වෙලා වැඩි නැද්ද පයින් යන්න?”

“ නැහැ.. ඉක්මණින් යන්න බැලුවෙ..”

“ ඊළඟ දවසෙ මං එන්නද ඔයා එක්ක ඇවිදගෙන යන්න…”


සවුමි ගේ මුහුණේ ඇඳුණු ඒ සිනහව, ඔසඳ දුටුවා නම්…. ඔහු මේ ආදරේ නම් ගින්න අවුලන්නට යන්නේ මොනතරම් සියුමැලි ගැහැනු හිතකද කියා හිතාගන්නට වත් බැරිවෙනු ඇත. අනේ ඇය ඒතරම් පවිත්‍ර ය. ප්‍රේමයේදී නොඉදුල්ය. 


“ හා. වෙන දවසක!”

“ පොඩ්ඩක් ඉන්න කැමතියි නම්, මට දැන් වුණත් එන්න තිබුණා”

“ අනේ ඔ්න නෑ.. දැන් ඔයාට එන්න බැරි තරම් ට්‍රැෆික් මේ හරියෙ”

“ ඔය තරමට අනුන් ගැන හිතන්න හදන්නෙපා, කෙල්ලෙ” 


සවුමි ගේ කන්පෙත්තක් රතුවිය. ඒ ඔහුගේ පිරිමි කටහඩ කී වචනයටය. “කෙල්ලෙ” මේ වගේ වචන ඇගේ ජීවිතයේ කොයිතරම් අඩුවෙන්ද ඇය අසා තියෙන්නේ? 


“ හ්ම්ම්…”

“ මිනිස්සු කාරුණික වුණාට කමක් නෑ. ඒත්, තමන්ව දියාරු කරගෙන එහෙම වෙන්නෝන නෑ.”

“ හා..”

“ දෙයියනේ, ඔයා මං ඒ් කියන දේටත් හා කියනවානෙ ඉතින්.”

“ ඇයි ඔයා, මගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒක නෙමෙයිද?”

“ මොකක්ද?”

“ මං ඔයා කියන දේ අහලා ඒක ගැන සැලකිලිමත් වෙන එක?”

“ නෑ.නෑ… ඒක එහෙම නෙමෙයි වෙන්නෝන. ඔයාට මං කියන දේ ගැන හිතෙන්නෙ මොනවද කියලා ආපස්සට මං දැනගන්න ආසයි. මේ අපි අඳුනගන්න කාලෙනේ” 


සවුමි මොහොතක විරාමයක් ගත්තාය. ඇත්තෙන්ම, ඔහු කියන්නෙ හරි දෙයක්! දෙන්නෙක්ට දෙන්නෙක් දැන අඳුනාගන්න කොයිතරම් කාලයක් ගතවෙයිද? ඇය ඒ ගැන නම් දන්නේම නැත. 


“ මං දන්නෙ නෑ අනේ”

“ කතා කරන්න පුලුවන් හෙමීට අපට. දැන් හොඳ ළමයා වගේ ඉක්මණින් ගෙදර යන්නකො හොඳද?” ඔසඳ කීවේ ඇගේ හිත වියවුල් කරන්නට අකමැත්තෙනි. බැල්කනියෙන් පෙනෙන ඉහළ ආකාසයට සුසුමක් අත්හැරිණි. සවුමි දුරකතනය සිය අත් බෑගයට දමා ගත් අතර නොනිදන නගරයක විදුලි එළි අතරින් පුරුදු පාරේ පා තිව්වාය. පවන් සිය වැඩ කටයුතු අහවර කරගෙන වාහනයට නැගී කෝපිහල ඇති ඉසව්වට එය පදවා ගෙන ගියේය. ඒය වසා තිබිණි. ඔහු රාජකාර හමුවක සිටින විටකදී මිතුරෙකු සමග නැත්නම් පෙම්වතියක සමග සිටිනවායැයි දැන සිටින මොහොතකදී සවුමි ගේ හැසිරෙන විදිය මේකය. 


කෙළින්ම ගෙදරට රිය පදවා ගෙන ගියේ ඇය ගෙදර යන්නට ඇතැයි අනුමාන කරමිනි. සවුමි ගෙදර ආවේ පසුපස කුඩා දොරටුවෙනි. රත්නශීලා නැන්දා අසනීපයෙන් බව ඇය දැනගත්තේ පැරඩයිස් මන්දිරයට ගොඩ වු මොහොතේමය. ඇය ඇඳිවත පිටින්ම ඇගේ කාමරයට දිව ගියාය. මුලුතැන්ගේ ඉතිරි කටයුතු කරගැනිමට යුහුසුලුව උපකාර කළාය. පවන් වාහනය ප්‍රධාන ගේට්ටුවෙන් ගෙඋයනට හරවා ඉන් බැස්සේය. කෙළින්ම සිය නිදන කාමරය වෙත ගියේ දවසක් පුරා වෙහෙසින් සිටි බැවිනි. සැහැල්ලු ඇඳුමකට මාරුවී පහත මාලයට ආවේ රෑ කෑමටය. එවිට ඔහු දුටුවේ වෙනදා රත්නශීලා වෙනුවට මේසයට කෑම බීම ඔසවාගෙන පැමිණෙන ඇයයි. පවන් ගේ පපුව හෝස් ගා ඇවිළිණි. ඇයට විජේබණ්ඩාර පවුල ගැන මොනවා හිතෙනවා ඇත්ද? ඇයගේ මෙහි භුමිකාව මෙහෙකාරියක තරම ද? 


“ සවුමි”

පවන්ගේ හඩ හිතුවාට වඩා දැඩිව ඇසිණි. සවුමි ඒ ඇසී නැවතී පියගැට පෙළ දෙස බැලුවාය. පවන් හිටගෙන සිටියේ එක් අතකින් අත්වාරුවද අල්ලා ගෙනය. සවුමි නතරවු පසු ඔහු පියෙන් පිය බැස ඇය වෙත ආවාය. අනික් සියල්ල ගල්වෙමින් තිබු අතර  සවුමි ත් පවනුත් පමණක් තනිව හැසිරෙනවා වගේ හැඟීමක් ඒ දෙදෙනාට තිබිණි. 


“ මොනවද මේ?”

“ මොනවද?”

“ කෑම දීසි උස්සගෙන දුවන්නෙ?”

“ ආ..”

“ මොකද වෙලා තියෙන්නෙ?”

“ රත්න නැන්දා අසනීප වෙලා.හොඳටම උණ..”

“ හරි එහෙනම් ඔයා ඉන්නෝන එයා ගාව.මෙතන මේ මොකක්ද කරන්නෙ?”

“ ඔයාට රෑ කෑම ලැස්ති කරනවා..පේන් නැද්ද අනේ?”


පවන් සවුමිගේ වැළමිටෙන් තදින් අල්ලා ගත්තේය. ඇයව පසෙකට ඇදගෙන ගියේය. සවුමි ඔහු පසුපස ඇදී ගියේ විනාසකාරි මුහුණකිනි. ඇයව ඇදගෙන වගේ ගොස් ලොබි කීපයක් ඇති පහත මාලයේ එක් ලොබියක  ඇය තල්ලු කර වගේ දැමු තරුණයා ඇගේ මුහුණටම එබුණේය. 


“ දැකලා තියෙනව ද අපේ අම්ම කෑම දීසි අදිනවා? එතකොට , අපේ අක්ක? කවදාහරි මම්මා? දැකලා තියෙනවද ඒවා කරනවා?” සවුමි හිස සැලුවේ නැතැයි කියන්නටය. “ එහෙනම්? මොන මඟුලක්ද කරන්නෙ? එහෙමෙහෙ දුව දුව?” කේන්තිය උතුරා යන්නේ කවදාවත්ම නැතිවය. සවුමි ගේ ඇහිදාර දැනටම තෙත්ය. ඒවා තෙතබරිතවි දෝරෙ ගලන්න වැඩි වෙලාවක් යන එකක් නැත.  පවන් ට ඒ තෙත ඇස් ගැන රිදෙයි. 


“ දවස තිස්සෙම වැඩ කරල මෙතන ඇවිත් මේ ගෙදරත් වැඩ කරන්න තියාගත්තද ඒ ගමන? ඔයා හිතන්නෙ ඔයා කවුරු කියලද? මේක මේ විදියට නම් සිද්ධ වෙන්නෙ ඇත්තමයි මං ඔයාට වෙනම තැනක් ලේස්ති කරනවා සවුමි. ඔයා හොඳටම දැනගන්නෝන එක දෙයක් තියෙනවා. මම්මා ඔයාව මේ ගෙදර ට එක්ක ආවෙ. ඔයාව මේ වගේ තැනක තියන්න නෙමෙයි.. ඔයා තම්න්ගෙ ස්ටේටස් තියාගන්නෝන විදිය දන්නෙ නෑ. මට කේන්ති යනවා අප්පා” 

සවුමි බුම්මා ගත්තාය. හේතුව වෙනම තැනක් ලේස්ති කරනව කීමය. අනික් බැණුම් ඔක්කෝම දරා ගන්නට පුලුවන. වෙනම තැනක් ලේස්ති කරන්නේ තමන්ව පැරඩයිස් මන්දිරයෙන් පිටමං කිරිමේ බලාපොරොත්තුවෙන් නොවෙන්නට බැරිය. 


“ ඔයාට ඔ්න මං මෙහෙන් වෙන දිහාවකට යන්නද ?”

පවන් ඒ අඩන්න ට හදන කුරුලු පැටියා දෙස ඇස් කොණින් බැලුවේය. 

“මෝඩ ගෑනු…” දමාගසා යන්නට මෙන් නැගිට්ටේය. ආපහු හැරුණේය. “ හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලලා කමෙන්ට් කරන ගෝතයෙක් වගේ වෙන්න එපා හලෝ… මේ පැරඩයිස් එකේ වැඩ කරන්න මෙච්චර ගෑනු මිනිස්සු ඉද්දී ඒහේ යනවා මෙහේ යනවා…” 

සවුමි තවම බුම්මා ගෙනය. 

“ ඔයාට බඩගිනි.. ඇති කියලා..” 

පවන් ආයේ සවුමිග‌ෙ මුහුණටම නැමුණේය. 

“ මගෙ බඩගින්න ගැනද හිතන්නේ ඒ්, එහෙමද මේ වදවෙන්නෙ…”

“ ඔව් , පවන්… ඔව්! මොකද මං දන්නවා..ඔයා කාලා නෑ කියලා. මෙච්චර වෙලා .. .බඩගින්නේ ඉන්න බෑ..” කතාව අවසන් කරන්නට ඉඩ නොලැබිණි. 

“ ඉතින්, ගෑනි ද මගෙ? නෑනෙ…?” 

සවුමි ආපස්සට විසි විණි. ඔහු දමා ගසා යළි උඩු මහළට නැංගේය. පවන්ට කේන්ති යන්නේ ඉතා අඩුවෙනි. සවුමි සිය නළල අතගා ගත්තාය. මොහොතක් උන් තැනම උන්නාය. දැන් කීයටවත්ම පවන් යළි කෑමට පහතට එන්නේ නැත. පහත මාලයේ සියලු දෙනා තක්බීර් වී බලා සිටීති. සවුමි රත්නශීලා ගේ කාමරයට ගියාය. ඒ වනවිටත් විස්තරය ඇගේ කණේ ගැටී ඇත. 

සවුමි ඇය අසලින් හිඳගත්තාය.


“ පොඩිකාලෙ ඉඳලම ඔයා මේ කාමරෙ වත් ඉන්නවට කැමති නෑ එයා. ඔයාටත් එයාලට වගේ උඩු මාලෙ කාමර දෙන්න කියලා රණ්ඩු කරනවා. මම්මා තමයි කියන්නෙ මට සවුමිව හැම වෙලාවෙම බලන්නෝන කියලා. පවන් මහත්තයා හිතන්නේ ඔයා මේ පවුලෙම කෙනෙක් කියලා … දැන් ආපහු කීයටවත්ම ඔය මාන්නක්කාරයා කන්න එන්නෙ නෑ. ඔයා දන්නවනෙ එහෙම වුණාම කරන්නෝන දේ.. කේන්තිය නිවෙන්න චොක්ලට් කේක් කෑල්ලකුයි.. මග් එක පුරෝලා කිරි තේ එකකුයි  අරන් යන්නෝන කාමරේටම..” 

“ මං ගෙනිච්චොත් බොන එකක් නෑ”

“ ඔයා ගෙනිච්චොත් පොඩි ලොකුකමක් පෙන්නයි, හැබැයි අනිවාර්යෙන්ම බොනවා” 


රත්නශීලා කියන්නේ මේ හැසිරීම් දැක ලැබු අත්දැකීම් නිසාමය. සවුමි , රසකැවිලි අසුරා තියන තැනින් පවන් කැමති ම චොකලට් කේක් කැබැල්ලක් සහ කෙසෙල් සමග කිරි තේ පිරවු මග් එකද රැගෙන පවන් ගේ කාමරය ඇති මහලට ගියාය

OLIVE — 14

  🌿 OLIVE — 14 නයි වගෙ රැකගත්ත මැණික සවුමි ගේ සිතේ පවන් කෙරෙහි ඇති ගෞරවය තවත් වැඩි වුයේ ඔහු ඔසඳ මෙතැන සිටියදී හැසිරුණු විලාසයටය.  පවන් යනු ...