Wednesday, April 29, 2026
OLIVE 13
Monday, April 27, 2026
OLIVE 12
OLIVE 12 - ඔලිව් බෘ
ගෙවෙමින් තිබුණේ සංක්‍රාන්ති සමයකි. මේ කාලයේ ඔසඳ ගේ පැමිණීම උන් හිටි ගමන් නතර විණි. සවුමි ගේ සිතේ කරදර ගොන්නකි. ඇය ට අම්මා ගැන සැකයකි. පවන් ඇය හා බැඳෙමින් සිටීම සැනසුමකි. ඇය සිතන්නේ පවන් ගේ ප්‍රේමය වු කලී දයාබරත්වයක් හිතවත්කමක් කියා පමණකි. ඒ මායාවකි. පවන් විජේබණ්ඩාර සහ සවුමි අහසක් සහ පොළවකි. සවුමි තමන් ගැන සිතන විදියට නම් ඇය පොළවකුත් නොව පොළවටත් යට පොසිල කැබැල්ලකි. ඒ තරම් ලොකු දුරක් පවන් සහ ඇය අතර වේ. ඉතින් ඉතා සියුම්ව පවන්ගෙන් යම් යම් ආදර ඉඟී දුටුවත් ඒවා එසේ නොවන්නේමයැයි ඇය හිත හදා ගෙන සිටින්නීය.
එදා සැන්දෑවේ සවුමි කෝපිහල වසා දමා ඇතුළට වී සිටියේ පවන් එහි එන බව දැනගෙනය. රාත්‍රියට මේ කැෆේ එක ඇතුළ වෙනස් වේ. එය හිස් නැත. නිශ්ශබ්ද වෙනවා පමණකි. මුලු දවසක් පුරා සිදුවු සිදුවීම් ආගිය අයගෙන් ඉතිරි වු කුහුඹු ආත්ම කොටස් තැන් තැන් වල තිබි රාත්‍රියේ හුස්ම ගන්නට උත්සාහ කරනවා වැනිය. මුලු රාත්‍රිය පුරාම ඒ මතකයන්, සංවාද, පියවර ශබ්ද එහි තැනින් තැනින් හිස් ඔසවති. හාක්පස ආලෝකය මන්දගාමි වු අතර කවුන්ටරය අවට පමණක් පැහැදිලි ආලෝකයක් දැල්වී තිබිණි.
කෝපිහලෙන් පිටත පාරේ වාහන ගමනාගමනය අඩු වෙමින් නිශ්ශබ්දතාවයට සුදානම් වෙමින් පැවථිණි. ඇතුළත ඉන්පසු සිටියේ ඒ දෙදෙනා පමණක්ය. කවුන්ටරයේ අයිනක සවුමි හිඳගෙන සිටියේ එදා සොයා ගත ්පැරණි සටහන් පොත දිගහැරගෙනය. රෙසිපි 66 පිටුව ය. ඇය එදෙස බලා සිටියේ වෙනස්ම බැල්මකිනි.
Recipe No: 66
Olive Brew
ඇගේ ඇගිලි පිටුව කොණේ නතරවී තිබිණි. ඔ්නැවට වඩා තදින් ඒ පිටු කොණ තද කඑරගෙන සිටියේ පිටුවේ ඇති කිසිවක් මැකී යාවියැයි බියෙන් වාගේය. පවන් ඇයට විරුද්ධ පසින් හිඳගෙන සිටියේ කිසිදු අවහිරයක් හෝ කරදරයක් කරන්නේ නැතිවය. අවසානයේ ඔහු ඇයව මේ පීඩනකාරි සිතුවිලි වලින් ගළවා ගැනීමට සිතුවේය.
“ ඔයා විනාඩි දහයකටත් වඩා දැන් ඔය පිටුව දිහා බලාගෙන ඉන්නවා” බැරිම තැන පවන් කීවේය.
“ ඒත් මට මේ ගැන කිසි අදහසක් එන්නෙ නෑ” ඇය මිමිණුවාය.
ඔහු සෙමෙන් ඇය අසලට ඇවිත් ඇගේ උරහිසට මත්තෙන් පිටුව දෙස එබි බැලුවේය. නිකමට හෝ සවුමි වම්පසට හිස හැරෙව්වානම් ඒ් කොපුලක මේ දෙතොල පැටලෙන්නටද ඉඩ තිබිණි. ඒ තරමට ම පවන් සවුමිට ළංව සිටියේය.
“ මේක රෙසිපි එකක් නේ” පවන් මෘදුව කීවේය. ඒහෙත් සවුමි හිස සෙළෙව්වාය. “ඒක එහෙම තමයි පේන්නෙ…ඒත් ඇත්තටම ඒක මෙහෙම මේ පොතේ ලියලා තියෙන්නෙ විශේෂ හේතුවක් නිසා වෙන්න බැරිද? බලන්න මේ කිසිම තැනක හරියට මිම්මක් / ප්‍රමාණයක් නෑනෙ..මේක ඇතුළෙ මොකක් හරි ලොකු කතාවක් හැංගිලා තියෙනවා වගේ ”
පවන් ඇය සමඟ තර්ක කරන්නට උත්සාහ කළේම නැත. ඔහු ඇගේ සිතුවිලි සමඟ ඔට්ටු නොවී සිටීමේ පාඩම ඉගෙන ගෙන සිටි කෙනෙකි.
“ ඔව් ඒක ඇත්ත .. සමහරවිට මේක තියෙන්නෙ බලපු ගමන් තේරුම් ගන්න පුලුවන් විදියකට නොවෙන්න පුලුවන්”
සවුමි සුසුමක් හෙලුවාය.
“ මේ විදියට නෙමෙයි රෙසිප්්ස් ලියන්නෙ නැ එහෙම දෙයක් නැත්නම්.. කොහොමත් මේ පොතේ මේ විදියට ලියනෙකක් නෑ මේවා අතරෙ මොකක්ම හරි සම්බන්දයක් නැත්නම්… මේක අනිවාර්යෙන්ම රෙසිපි එකකට වඩා වැඩි දෙයක්”
වචන ගලාආවේ සෙමිනි. තවත් තත්පරයකට දෙදෙනාම කතා කළේ නැත. සවුමි සෙමෙන් කෝපි ඇට දමා ඇති බඳුනක් අතට ගනු පවන් බලා සිටියේය.
‘ ඒහෙනම් අපි මේක හදන්න ට්‍රයි කරමු” පවන් එකවරම ගැස්සී ගියේය.
“ දැන්මම?”
ඇය හිස වැනුවාය.
“ මේක හිත හිත හිටියොත් මම මේක කවදාවත් ඉවර කරන එකක් නැ’
අලුත් කෝපි බඳුන සැදිමේ ක්‍රියාවලිය ආරම්භ වුයේ ඉතා සෙමිනි. එය කල්මරණ නමුත් අවිනිශ්චිත එකක් විය. මේ ඊට ෙහාදම වෙලාව දැයි පවන් දැනසිටියේ නම් නැත. කෙසේ වෙතත් මේ තත්වය ඇතුළේ මේ අත්හදාබැලීම කළ යූතුම එකකි.
ඇය කෝපි රෝස්ට් කිරීම ඇරඹු අතර අන් කවර අවස්ථාවකටත් වඩා මේ අවස්ථාවේ ප්‍රවේශම් සහගත වුවාය. හැමවිටම කඩදාසියේ කිසිවක් වැරදී තිබේනම් කියා සැකයක් ද ඇතිවී කිබිණි. ඒ නිසා වඩාත් සැලකිලිමත් වුවාය. හැම පියවරක් ගැනම උවමනාවෙන් අවධානය යොමු කළාය.
සෑම දෙයක්ම හිතාමතාම සිදුවු දේ වු අතර විශ්වාසය අඩු කම හැරුණු කොට කිසිදු සෘණාත්මක දේ සිදු නොවීය.
“ ඔලිව් ඔයිල්?”
“ කොච්චරක්ද?”
“ කොච්චරක්ද?” පවන් නැවත ඇසුවේය.
“ ඒක තමයි ප්‍රශ්නෙ…” යුවතිය කීවේ පොත නැවත සමීපව කියවමිනි.
ඇය ඔලිව් ඔයිල් බිංදුවක් බඳුනට එක් කළාය. සැකයෙන් වගේ පවන් දෙස බලා නැවත තව බිංදුවක් එකතු කළාය.
දියරය මඳගින්නේ පැසෙන්නට වු අතර එහි සුවඳ හාත්පස විහිදෙන්නට පටන් ගත්තේය. නමුත්, කුමක් හෝ අඩුවක් දෙදෙනාටම දැනෙන නමුත් එහි කිසිදු වැරැද්දක් නැති බවද පැහැදිලිය. සමහරවට අසම්ප්‍රර්ණත්වයක්ද? ටික වෙලාවකින් පසු ඇය කෝපි දියරය කෝප්පයකට වත් කළාය. තරමක් වෙලා බලා සිටියාය. උගුරක් තොල ගෑවාය.
එක් ක්ෂණයකින් ඇගේ මුහුණේ ඉරියව් වෙනස් වුයේ නැත. නමුත් ඇගේ උරහිස් සෙමෙන් හැකිළී ගියේය.
“ මේක නම් ඒක වෙන්න බෑ” ඇය පරාජිත හඩින්, හකුළා ගත් මුහුණින් කීවාය.
පවන් කෝප්පය අතට ගත්තේය. රස බැලුවේය.
“ ඒක නරක නෑහ්”
“ ඒක නෙමෙයි පොයින්ට් ඒක”
ඇය කෝප්පය පවන් අතින් ගෙන සීරුවට මේසය මත තැබුවාය.
“ මොකක් හරි මිසින් වෙලා තියෙනවා”
ඒ ඒහි ඇතුළත්ත කළ යුතු යමක් නොවේය. අන් කිසිවකි. නිශ්ශබ්දතාවය නැවත ඔවුනතර රවුමක් ගසන්නට ආවේය. සවුමි නැවත නෝට්බුක් එක කියවන්නට පටන් ගත්තාය. ඇගේ ඇස් පේළියෙන් පේළියට ආයෙ ආයේ ගමන් කරමින් තිබිණි. එක් තැනෙක තිබුණේ, එහි වෙනස්කම් ඇත්තේ දිවෙහි රසාංකුර අගට දැනෙන්නට නොව හිතට දැනෙන්නටැයි එහි ලියා තිබුණි.
දෙතුන් වතාවක් කියවා ඇය එය පවන්ට පෑවාය.
“ මේ කියනවා ඇත්තේ මොකක්ද?”
ඔහු එය එකවර විග්‍රහ කරන්න උත්සාහ කළේ නැත. ඔහු ඇය දෙස උවමනාවෙන් බලා සිටියේ, ඇය ඉක්මණින් බලාපොරොත්තු නැති කරගෙන අපේක්ෂා භංගත්වයට පත්නොවී වෙනස්ම විදිවලින් හිතන්නට පටන් ගන්නා ආකාරයයි.
“ඒ කියන්නේ වෙනස් දෙයක් වෙන්න ඇති.. සමහරවිට ඔයා මේක ඔ්නවට වඩා කන්ට්‍රෝල් කරනවා”
ඇය ඔහු දෙස බැලුවේ විමති ඇසකිනි.
“ හැමදේම මෙශර් කරන්න යන්නේ නැතුව, ඒක හිතේ මිම්මෙන් දාන්නකො” මඳ නිහඩතාවයකින් දෙදෙනා අතර වෙලාවක් ගතවිය.
“ ඒක හිතේ මිම්මෙන් දාන දෙයක් නෙමෙයි නම්”
“ සමහර විට බැලන්ස් එක …රහ දැනෙන විදියෙ බැලන්ස් එක වෙන්නත් පුලුවන්”
“සමබරතාවය” ඒක වෙනස් වචනයක් වුණත් ඒ වචනය ඒ පසුබිමෙහි නතරවිය.
සවුමි ආපහු හැරුණාය. කෝපි හදන මේසය අසළට ළංවුවාය. මේ වතාවේ ඇගේ මුහුණේ විශ්වාසයක් තිබිණි. වැඩි කලබලයකින් තොරව ඉක්මන් නොවි ඒ වතාවේ ඇය වැඩ කරගෙන යමින් සිටියාය. වැඩි අවදානයකින් හැසිරුණාය. මේ වතාවේ දැල්ල අඩු කර ඇය ගින්න තවත් අවම කළාය. වැඩි වෙලාවක් බලා සිටින්නට සුදානම්ව සිටියාය. ක්‍රියාවලියට ඉබේ සිදුවෙන්නට ඉඩ හැරියාය. උවමනාවෙන් මැද්දට පැන ඒහි ස්වභාවිකත්වයට හානි කරන්නට උත්සාහ නොකළාය.
පෙර වතාවේ මෙන් නොව, ඔලිව් ඔයිල් එකතු කරද්දී එක් බිංදුවකින් සෑහීමකට පත් වුවාය. ඔව්, එක බිංදුවක්… කිසිම සැකයකින් තොරව. සිට්රස් රසය ගන්නට ස්වභාවික දොඩම් යොදා ගත්තාය. ඇරෝමාව නම් එහෙමකට වෙනස් වුයේ නැති තරම්ය. නමුත් පෙර වතාවේ තරම් සැර කෝපි සුවඳික්න් යුක්ත වුයේ නැත.
සුවඳ යන්තම් වෙනස් විය
එය පෙර මෙන් වඩාත් සැර නොවීය
මෘදුය. ගැඹුරුය. දැනෙන සුලුය.
ඇය එය නැවත කෝප්පයකට වත් කළාය. තව මොහොතක් එය විවේක ගන්නට සැලැස්වුවාය.
ඊළඟට, බිඳක් තොල ගෑවාය.
මේ වතාවේ ඔි ඉක්මණින් කලබලෙන් ප්‍රතිචාර නොදැක්වුවාය.
ඇගේ ඇස් තටු බිමට නැමුණේ නැත. ඒවා පටලැවිල්ලකින් හෝ විස්මිතවීමකින් තොරව, හරියටම තේරුම් ගත් ස්වභාවයෙන් “ එහෙනම් ඒ මේක යැයි” තමන්ටම කියා ගත්තාය. පවන් ඇයට ළං විය. කෝප්පය අතට ගෙන උගුරක් බීවේය. එය විස්තර කරන්නට හෝ විශ්ලේශණය කරන්නට උත්සාහ නොකළේය. කෙළින්ම වඩාත් බර හඩකින්..මේක නම් වෙනස් විදියක් කියා කීවේය.
තමන් මෙතෙක් බලෙන් මෙන් නවත්වාගෙන සිටි සුසුමක් අත්අරිමින් සවුමි සහැල්ලු බැල්මකින් බැලුවාය.
“ ඒක කිසිදෙයක් අඩුවක් නැතුව තියෙනවා” ඇසුවේ පවන් ගෙනි. පවන් හිස සැලුවේය.
දෙදෙනා සිටගෙන සිටියේ ඒ මැදින් ඔලිව් බෘ කෝපි කෝප්පයක්, පැරණි සටහන් පොතක් සහ දෙදෙනා එකඟවු තීරණයකුත් තියාගෙනය. සවුමි සටහන් පොත සෙමෙන් වැසුවාය.වසන්නට පෙර වට්ටෝරුව ලියා තිබුණු පිටුවේ වු 66 ඉලක්කම් සෙමෙන් පිරිමැද්දාය.
66
“ එයාට කවදාහරි මේක කරන්න උවමනාවක් තියෙන්න ඇති. මොකක් හරි හේතුවක් නිසා කරගන්න බැරි වෙන්න ඇති..” ඇය කීවේ මෘදු හඩිනි. සුසුමකුත් සමගිනි. පවන් එයා කියන්නේ කාටදැයි ඇසුවේ නැත. ඔහු දැන සිටියේය.
“ ඔයා දැන් මේකට මොකද කරන්නේ?” ඇසුවේය. සවුමි කෝපිහල හාත්පස බැලුවාය. නිහඩ ලී මේස දෙස, නිහඩ අවකාශය දෙස … මේවාට ජීවිතය ආපසු ලැබෙන හෙට පාන්දරින් ඇරඹෙන ජීවිතය දෙස … ඉන්පසුව ඔවුන් මැද ඒකත්පස්ව බලා හිඳින කෝපි කෝප්පය දෙස…
“ අපිට ඒක තවදුරටත් හංගගෙන ඉන්න බැහැ” නේදැයි නොඅසා බැල්මට ඒ අවසන් වචනය එක් කර පවන් දෙස බැලුවාය. ඔහු සිටියේ ඇය නිරීක්ෂණය කරමිනි.ඒ හඩෙහි කිසිදු සැකයක් නැත. බොහොම සමබර නිශ්චිතභාවයක් ඇත.
“ එහෙම හිතෙනවා නම් එපා”
සවුමි මඳ සිනහවක් ඇතිව පවන් අසලට ආවේය. සර්වියට් පේපර් එකක බෝල්පොයින්ට් පෑනකින් ඇය මෙසේ ලීවාය. තරුණයා ගේ මුහුණට සිනහවක් නැඟීණි.
Signature — Olive Brew (Recipe 66)
නිකම්ම, කිසිවක් ඔහුගෙන් බලාපොරොත්තුවෙන් වගේ… පවන් අවසන් විදුලි පහන් පේළියද නිමා දැමීමෙන් පසු මලානික ආලෝකයක්වත් කොහේවත් දිස්වුයේ නැත. කොළඹට උඩින් අහසින් තරුද මර නින්දේය. දොර අසලටම ආවායින් පසු සවුමි කිසිවක් සිහිපත් වුවාක් මෙන් ආපසු කවුන්ටරය ඇති තැනට දුව ගියාය. ඇගේ ඇස් හෙවුයේ එක් දෙයකි. පැරණි සටහන් පොත. ඔ් එය පපුවටම තද කරගෙන ආපහු ආවාම පවන්ට සිනාවක් නැගිණි. වාහනයේ තමන්ගේ වම්පසින් ඇය හිදගෙන යන හැමවිටම පවන්ට දැනී තිබුණේ සම්පුර්ණත්වයකි. ඒ මේ රාත්‍රි සංචාරයේ ඇති හොඳම දේ කියා ඔහුට දැනෙන්නේය.
යම්දෙයක් ආරම්භ වී තිබුණේ නිශ්ශබ්දතාවය මතිනි.
ඒය ඒ වනවිට හඳුන්වා නොතිබුණු දෙයකි.
කිසිතැනක කිසිවෙකු ඒ ගැන කතා කර තිබුණේ නැත.
ඒත් එය සැබවින්ම , සුදානම්ව තිබිණි. .රහසක්ව පැවතී හෙළිදරව් වන්නට සුදානමින් කිසිවක් බලා සිටියේය.
ඒ් මොහොතේ ඔවුන් සතුව තිබුණේ හෙළිදරව් නොකළ යමක් ගැන දෙදෙනා තුළ ඇතිවු මනරම් සතුටකි. ඔවුන් දෙදෙනා සුදානම්ව සිටියේ තවදුරටත් සඟවා තැබිය නොහැකි කිසිවක් ලෝකයටම හදුන්වා දෙන්නටය. පවන් ඒ රාත්‍රියේ ඉතිරි ටික ගෙව්වේ ප්‍රීතියෙනි.ඒ ප්‍රීතිය ඔහු මුදාහැර තිබුණේ අන්තර්ජාලය හරහාය. ඒ කැෆේ 66ත් විසින් හඳුන්වා දීමට නියමිත් ඒ සමබර කෝපි කෝප්පය දැන් එයින් ලබා ගැනීමට හැකි බව කියන පණිවුඩය ය.
Sunday, April 26, 2026
OLIVE 11
OLIVE 11
වට්ටෝරු අංක 66
ග්‍රේස් විජේබණ්ඩාර ගේ සේප්පුව ඇර බලන්න ට සවුමි ට තිබු.ණු උවමනා ව තේරුම් ගත් පවන් සිය දෙමව්පියන් සහ සහෙේදරිය විදේශගතව සිටින මේ දවස් ඊට හොඳටම හොඳ බව තේරුම් ගෙන සිටියේය. එබැවින් ඔහු ඒ රාත්‍රියේ ඒ ගැන යෝජනාව සවුමිට ඉදිරිපත් කළේය.
“ මං අප්පච්චිගෙන් ග්‍රේස් මම්මාගෙ කාමරේ යතුර තියෙන තැනයි සේෆ් එකේ කෝඩ් එකයි දැනගත්තා. අද රැට ඒක බලමුද?”
සවුමි මුලින්ම පුදුමයට පත්වුවාය. එය හරියටම වටහා ගන්නට මඳ වෙලාවක් ගත්තාය. ග්‍රේස් මම්මාගේ මරණයෙන් පසු මේ කාමරයට කිහිප වතාවක් ගොස් ඇතත් ඉන්පසුව ඒ කාමරය විවෘත වුයේ සතියකට වතාවක් කෙරෙන අස්පස් කිරීම් සඳහා පමණ කි. සවුමිට මෙලොව සිටියායැයි සැලකෙන එකම නෑයා වු ඇය පිලිබඳ ඇති වියෝදුක හේතුවෙන් ඇයට වත් එහි යන්නට ගැවසෙන්නට හිත දුන්නේ නැත.
සවුමි පවන් ගේ අතින් අල්ලා ගත්තේ තමන් කැමති ම දෙයක් අරගෙන දෙන වැඩිහිටියෙකුගේ අතක එල්ලෙන සිගිත්තියක මෙන් ඇය හැසිරෙද්දී පවන් ඇය දෙස බලා සිටියේ ලෝබ හිතිනි.
“යං” ඔහු හිස් ගස්සා කීවේය. ග්‍රේස් විජේබණ්ඩාර විසුයේ පහත මාලයේ ය. ඇගේ වියපත් බව නිසා උඩුමහල්වල සැරිසැරීමට අසීරු බැවින් ඇය පහත මාලයේ සුවපහසු කාමරය ක ජීවත් වුණාය. ඇය අසනීප වී සිටි කාලයේ පෞද්ගලිකව ාහදියකගේ සහය ලබා ගත් නමුත් ඒ කාමරයේ තියා ඇති කුඩා අඅඳකය සවුමි නිදා ගත්තේ. ඇය ග්‍රේස්ට නින්ද යනතුරු ඒ අතින් අල්ලා ගෙන කාලය ගතකළාය.
පවන් මිගාර , ඔහුගේ අප්පච්චි කී ලකුණු අනුව ග්‍රේස් ගේ කාමරයේ යතුර තියා ඇති තැනින් එය සොයාගෙන සේප්පුවේ කේතය ද අසාගෙන ආවේය. මේ පිලිබඳ අම්මාට නම් දැනගන්නට දෙන්නට එපා යැයි ඔහු පවන්ට කියා තිබිණ. කෞශල්‍යා සිතන්නේ එතුල ග්‍රේස් මම්මාගේ රත්‍රන් පොදියක් තියා ඇතැයි කියාය. ඒවායේ අයිතිය සවුමි වැනි කොහේවත් සිට ආ කෙල්ලකට හිමි වෙතැයි බියක් ඇයට ඇත.
ඔවුන් දෙදෙනා කාමරයට ඇතුළු වුයේ කිසිවෙකුට නොකියාමය. මේ රැයෙහි පැරඩයිස් හි රැදෙන්නේ සේවකයින් පමණ කි. ඔවුන් දවසේ මෙහෙවර ලහි ලහියේ අවසන් කරනුයේ ජීවිතයේ තාවකාලික ද්ව්‍යමය විවේකය ලබාගනු පිණිසය.
කාමරය දින කිහිපයක් තුල විවෘත කර නැත. සම්පූර්ණයෙන් හොදින් පිරිසිදු කර නැත. දුහුවිලි කාමර කොණ් වල තට්ටුව ක ලෙස ස්ථාපිත ව ඇත්තේ එය එහි අනිවාර්ය අංගයක් ලෙස සලකා මෙන්ය. කාමරයේ ජනේල තිර තුලින් මෘදු කෘතිම ආලෝකය එතුලට ගලා ආවේය.එය ඔහේ තැන් තැන් වල මලානිකව වැතිර සිටියේ කාමරයේ ඇති ඉපැරැණි මතකයන් තවදුරටත් අනුන්ගේ කරදරයකින් තොරව පැවතිය යුතු බව කියා පාමින් ය.
පවන් පසුපසින් සවුමි ආවේ ප්‍රවේශමිනි. හැම පියවරක් ම එහි නියමිත ශබ්ද පරාසයය පවා වැඩි ශබ්දයන් නගමින් තිබිණි. පවන් ඇය ඇතුළු වු පසු කාමරයේ දොර වසා තැබුවේ ය. දැන් ඒ දෙදෙනා පමණක්ය.
“ ඔයාට හොදටම විශ්වාස ද අපි මේක කරන්න ඕන කියලා”
“ මම්මා එක බලාපොරොත්තු වෙනවා ඇති”
ඇත්තටම සවුමි ව්ශ්වාස කලා නම් විශ්වාස කල එකම දෙය එයයි.
බිත්තියේ එල්ලා තිබුණු අප්‍රිකානු රැජිණකගෙ මුහුණ සහිත පැරණි තෙල් සිතුවම පසුපස බිත්තියේ සේප්පුව ක්‍රමානුකූලව ස්ථාපිත කර තිබිණි . එය නාට්‍යානුසාරව කිසිවෙකුට සොයා ගන්නට නොහැකි පරිද්දෙන් සගවන්නට උත්සාහ කර තිබුණේ නැත.
පවන් චිත්‍ර රාමුව පරිස්සමෙන් බිත්තියෙන් ගළවා ඉවත් කරන ලදී. එහි දී බිත්තියේ යකඩ දොරක් දැකිය හැකිවිය.
“මුලු කාලෙ පුරාම ඒක එහෙමම තිබිලා නේද?”
සවුමි ද පරිස්සමෙන් බලා සිටියාය. එහි පළමු දොර විවර වුණේ යතුර මගිනි. ඉන්පසු කැරකෙන රෝද යතුරකින් අංක හයකින් යුක්ත කේතය කැරකුවේ පවන් ය. අගුල සෙමෙන් ඇරිණි. දෙදෙනාගේම හිත්වල කුතුහලයත් විශ්මයත් කැරළි ගසමින් තිබිණි.
පවන් සවුමිට ඉඩ දෙමි්න් පසුපසට වුවේය. සේප්පුව තුල සෑම දෙයක්ම බොහෝම පිළිවෙලට සැලකිල්ලෙන් තැන්පත් කර ඇති ආකාරය දැකිය හැකි විය. එක පිට එක තියා ඇති සටහන් පොත් කිහිපයකි. ඒවා පැරණි තාලේ කවර සහිත ඒවාය. ග්‍රේස් විජේබණ්ඩාර පිලිබඳ ඉතිහාසයේදී ඇය ආහාර විද්‍යාව සම්බන්ධ උපාධිධාරිණියක් බවත් ඇගේ උපාධිය සම්පුර්ණ කිරීමට ඇය විදේශගතවී සිටිබවත් පවන් දැන සිටියේය. නමුත්, ඇය ඒ ගැන කවදාවත් කතා කළ බවක් මතකයේ නැත. ග්‍රේස් මම්මා මුලු ජීවිත කාලයම ජීවත් වුයේ කිසියම් දරුණු වෙන්වීමක වේදනාවක් සිත පත්ලෙහිම දරා ගනිමින්ය. සවුමි පළමුවරට පෙනෙන්නට තිබුණු සටහන් පොත අතට ගත්තේය.
පොතෙහි පිළිවෙලට අංක සහිතව කෑම වට්ටෝරු සඳහන් කර තිබිණි. ඒවා ඇය මේවන විටත් දැන සිටි සමහර සාමාන්‍ය කෑම වට්ටෝරු බව දැකිය හැකි වු අතර ඇයගේ තරුණ කාලයේදී ඇය කෑම සැදිම ගැන සෑහෙන උනන්දුවකින් ජීවත්වී ඇති ආකාරය දැකිය හැකි විය.
“ ඔක්කෝම තියෙන්නෙ රෙසිපිස් නේද?”
“ හ්ම්ම්..ඒ වගේ තමයි”
“ ඒත් මේ සමහර ඒවා සිම්බල්ස් වලින් කියලා තියෙනවා. ඒ රෙසිපිස් සම්පුර්ණ නෑ මං හිතන්නේ”
සවුමි වැඩි විශේෂ හැඟීමකින් තොරව පොත නිකමට මෙන් පෙරළු අතර එක් වරම ආපස්සට පෙරළන්නටද වුවාය. පවන් ඒ ගැන විමසිල්ලෙන් පසුවුණේත් ඇය එක් පිටුවක් ළග ඇගිලි නතර කළේත් ඒ මොහොතේය. 66 වැනි අංකය… Recipe No: 66
එය එක් පිටුවක පැහැදිලිව ලියා තිබිණි. ඊට යටින් ලියා තිබුණේ, Olive Brew කියාය. කහ ගැසුණු කඩදාසි පිටුව මත කලු පැහැ තීන්ත පෑනකින් එය ලියා තිබු බව පෙනිණි. ඒ දුටු වහා පවන් කෙටි හුස්මක් උඩට ඇද්දේය. සවුමි හැටහය ලියා තිබුණු අකුරු මත සිය ඇඟීල්ල තියාගෙන පවන් ගේ මුහුණ බැලුවේය. කැෆේ එකට 66ත් ලෙස නම තැබිසට තීඑරණය ගෙන ආවේ පවන් යැයි ඇය සිතා සිටි බව ඇත්තකි. එහෙත් මේ සටහන් පොතහෙි සටහන ඒ අදහස වෙනස් කරනවාද?
පවන්ට සිහිවුණේ අප්පච්චී කී කතාවය. සාකච්ඡා කාමරයේ ඔහුත් අප්පච්චීත් තනිව සිටියදී උපැසු යුවළ මතින් ඇස් තියා කී විදියද ඔහුට මතකයට නැගේ.
“ කැෆේ එකක් ඔ්පන් කරනවා නම් ඒ්ක අනිවාර්යේන්ම 66ත් කියලා නම දාන්නෝන”
“ ඇයි අප්පච්චි”
“ ඒක ග්‍රේස් මම්මා ආස කරපු දෙයක්.. අපි මේක සවුමි ට බලා ගන්න දෙන දේ නේ …”
ග්‍රේස් මම්මා මේ ඉලක්කම් දෙකට මේ තරම් කැමති වෙන්නට හේතුව මේ ඇගේ සටහන් පොතට සම්බන්ධ දේද? දෙදෙනා මුහුණට මුහුණ බලා ගත්හ.
“ අපේ අප්පච්චි තමයි මට කිව්වේ සික්ස්ටි සික්ස්ත් කියලා කැෆේ එක නම් කරන්න ඔ්නෙ කියලා කිව්වේ” පවන් ඉන්පසු සව්මි දෙස බලා කීවාය. “ ග්‍රේස් මම්මා ආස දෙයක් කියලත් කිව්වා” සවුමි මොහොතක් පවන් ගේ මුහුණ බලා උන්නාය. “ ඒ කියන්නේ මේ කැෆේ එක ගැන අපට කලින් ග්‍රේස් මම්මා දැනගෙන ඉඳලා තියෙනවා”
“ අඩු ගාණේ එයා ප්ලැන් කරගෙන ඉන්න ඇති”
පවන් සවුමි ගේ ඇස් වල නොපැටලී ඉන්නට මේ තත්පරයේත් උත්සාහ කරන්නේය. නමුත් ඊට හේතුව ඇය අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බැරිකමම නොවන්නේය. මේ ලිහෙන කිසිවක් සරල නැත. පවන් වත් මේ කිසිවක අගක් මුලක් නොදනී. නමුත් පවන් ට හිතෙන්නේ බොහෝ කාලයකට ඉමත සැලසුම් කරළ කිසිවක් විජේබණ්ඩාරවරු අතින් දැන් සිද්ධ වෙනවාය කියාය.. කෙසේ වුවත් මේ දිග හැරෙන්නේ යම් අතීත නටබුන් උද්‍යානයක තිබු කතාවකි.
ඔවුන් දෙදෙනා මොහොතකට එකිනෙකා දෙස බලා ගත්හ. දෙදෙනාගේම අදහස් සමතුලිතව එක් තැනකට කේන්ද්‍රගත වුවා වගේ හැඟීමකින් දෙදෙනාගේම ඇස් දිදුලන්නට පටන් ගත්තේ එක් අසිරිමත් තත්පරයකය. දෙදෙනාම නැවත වතාවක් සටහන් පොත දෙස බලා සිටියෝය.
“ ඒ මේ රෙසිපි එකද?” සවුමි ඇසුවේ නැවත වතාවක් සටහන් පොත දෙස බලා ගෙනමය. පවන් හිස වැනුවේය.
සවුමි, පවන් දෙස බැලුවේ බැරෑරුම්වය. ඇය මේ කෝපි බඳුන සකස් කිරීමේ සිහිනය ඒ මොහොතේද විඳිමින් සිටියාය. 66. Olive Brew. මේ සියල්ල කාගේ හෝ සැලැස්මක් වැනිය. අනික් අතට එය පටන් ගැනීමක්ම නොව… නැවැත්වු තැනක සිට නැවත ඉදිරියට කරගෙන යාමක් මෙන්ය.
පවන් ඇය දෙස බැලුවේ තීරණාත්මක බැල්මකි.
“ ඔයා හිතන්නේ මං හිතන දේමද ?”
“ අපි අපේ සිග්නේචර් කොෆි රෙසිපි එක හොයා ගත්තා ! එහෙම නේද?” පවන් සවුමි දෙස බලා හිස වැනුවා පමණක් නොවේ. කිසි ඇහිල්ලකින් බැලිල්ලකින් තොරව ඇගේ ඉණ වටා දෙඅත යවා ඇය ඔසවා ගෙන පුලුන් රොදක් වාගේ වටයක් කරකවා බිමින් තිව්වේය. කිසිම කිසි දවසක පිරිමි ප්‍රාණියෙකු ගෙන් මෙවැනි හුරතලයක් විඳි නැති යුවතිය පවන් දෙස බැලුවේ විමතියෙන් මෙන්ම සඟවා ගත් කේන්තියකිනි.
“සොරි…” පවන් සිනාවකින් සොරි කීවේය. ඒ වෙලාවේ ඒ සටහන් පොත ඇතුලේ තිබී දික් අතට නැමු කඩදාසියක් ලිස්සා බිමට වැටුණේය. සවුමි බිමට නැවී එය අතට ගෙන දිගහරිද්දී පවන් තව දුරටත් පොත ඇතුළ පිරික්සමින් සිටියේය.
ඇය එය කියවන්නට පටන් ගනිද්දී ඇගේ නළල මුලින්ම රැළි වෙන්නට පටන් ගත් අතර මුහුණ වෙනස් වෙන්නට විය. පවන් සවුමි ගේ වෙනස දුටුවේ තරමක් පමාවීය. ඔහු වහා ඇගේ අතේවු කඩදාසිය සියතට ගත්තේය. ඔහුගේ ඇස් කඩදාසිය දිගේ කලබලයෙන් එහෙමෙහේ ගියේය. සියල්ල ම හිතට ඇතුල් කරගත්තේ නැති නමුත් …child transferred……legal guardianship… වැනි වචන ඔවුන් දෙදෙනාගේම ඇසින් ඇතුල්වී හිතේ තැන්පත් වු වචන බවට පත් විය.
සවුමි ගේ මුහුණ විඩාබර තිබුණේ ක්ෂණයකිනි. ඒ සවුමි සම්බන්ද ලියකියවිලි බව දෙදෙනාටම නොරහසක් නොවේය. පවන් සවුමිගේ අතින් අල්ලා ගත්තේය. මේ වතාවේ ඒ අතින් අල්ලා ගැනීම ගැන සව්මිට වෙනසක් දැනී තිබුණේ නැත. ඒ ලියුම කුමක් වුවත් එය අඩමාණයට ලිවු එකක් පමණකි. ඒ නියම පිටපත අදාල නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් වන්නට ඇත. ඒ සවුමිව නීතිමය වශයෙන් ග්‍රේස් විජේබණ්ඩාර වෙත පවරා දුන් ලේඛණ සකස් කිරිමේ ඩ්‍රාෆ්ට් එකක් වන්නට ඇත. නමුත් එහි තිබු නම් දෙකක් සවුමිගේ හිත අවුල් කළේය.
“ අපි දැන් යමු..” පවන් සවුමිට කීවේ ඇයට තමන්ගේ උත්පත්තිය පිලිබඳ යම් සංකාවක් වේ නම් එය තවදුරටත් වදයක් නොවී පැවතිය යුතු නිසාය. සවුමි වේදනාවෙන් මෙන් පවන් දෙස බලා උන්නත්. ඇය පවන්‌ට විරුද්ධ නොවුණාය. ඇගේ තනිහිතේ වේදනාව කොයිතරම් ගැඹුරු වුණත් ඇය පවන් සමග ආපහු ආවේ සේප්පුවේ යතුරු පවන් අතට ගැනීම ගැන විරුද්ධත්වයක් නැතිවය.
“ එතැන හැංගිලා තියෙන්නේ කෑම වට්ටෝරු පොත් විතරක් නෙමෙයි. නේද පවන්” ඇය කීවේ බිඳුණු හඩකිනි. පවන් යුවතියගේ අතින් අල්ලා ගත්තේය. තමන් මේ කිසිතැනකට අයිති නැති බව ඇය දැන සීටි සත්‍යයකි. ඒත් මේ ඊටද වඩා සංකීර්ණ තත්වයකි.
“ පවන්, ඔයා දන්නවද? ඒ ලියුමෙ තියෙන්නේ මගේ බර්ත් සටිෆිකෙට් එකේ නම තියන අම්මගේ නම නෙමෙයි”
“ මොකක්?” පවන් නෙත් ලොකු කර බැලුවේය. ඇය මෙහෙම කැළඹී තිබුණේ කිසිම ස්ථාවරත්වයක් නැති තමන්ගේ උත්පත්ති කතාව ගැනය.
“ ඔයා දන්නවද, මට කවදාවත් මගේ ඇත්ත පවුල , අම්මා , තාත්තා කවුද කියලා හිතන්න ඔිනකමක් තිබුණෙ නැහැ. මං හිතන්නේ මං වටා තියන හැම බැඳීමකම මට තමන්ගෙ කම මොකක්ද කියලා දැනිලා තිබුණා. ඒත් මට ඒ ලියුම දැක්කාම බය හිතුණා..”
“ ඒ ලියුම නිකම් ඩ්‍රාෆ්ට් එකක් නෙ.. සමහරවිට වෙන කෙනෙකුගේ නමක් තිබුණු නිසා ඒ ලියපු එකක් ද දන්නෙත් නැ” පවන් කීවේ හිත හැදීමේ අරමුණු ඇතිවය. මේ සියල්ලේ පටලැවිල්ලක් ඇතිබව නොදැන එහෙමත් නොවේ. කෙසේ වෙතත් ගැහැනු ළමයා සිටියේම තෝන්තු ගතියකිනි. රාත්‍රිය මැදියම තෙක් තරුණ වී තිබිණි.
“ හෙට සදුදා.. ඔයාට ශොප් එක ඔ්පන් කරන්න බැරි නම් ඒකත් කමක් නෑ. යං මං ඔයාව ඇරලවලා එන්නං” පවන් කීවේ යුවතියගේ අතින් අත් නොහැරමය. සවුමි පවන් දෙස බැලුවේ විශ්වාස කරනා බැල්මකිනි.
“ සමහරවිට අපි ට ඔ්න නම් ඒ හැමදේම ගැන හොයලා බලන්න පුලුවන්. ඒත් ඒක සිද්ධ වෙන්නෝන ඔයාගෙ කැමැත්තෙන්. අපට පුලුවන් වෙයි ඔයාගෙ අම්මා ඇත්තටම කවුද? නැත්නම් කොහෙ කෙනෙක්ද? අදත් ඉන්නවද?කියලා හොයාගන්න”
පවන් කීවේ සෙමිනි. යුවතිය හිස වැනුවාය.
“ මෙච්චර කාලයක් තිස්සේ මාව අමතක කරලා මං ගැන හොයලා නොබැලුව කෙනෙකුට ආයෙමත් වදයක් වෙන්න මට ඔිනෙ වුනේ නෑ.. සමහර විට මගේ අම්මා දැන් ඇත්තටම හොඳ පවුල් ජීවිතයක් ගෙවනවද කවුද දන්නෙ .. ඒත් මට පුදුම හිතුණේ … මගේ බර්ත් සටිෆිකේට් එකේ අම්මගෙ නම කියලා තියෙන ලයින් එක මේකෙදි සහමුලින්ම වෙනස්.”
“ මම නම් තාමත් හිතන්නෙ මේකෙ කොහෙ හරි වැරැද්දක් තියෙනවා කියලා”
“ වෙන්නත් පුලුවන්..”
“ සමහර දේවල් හැංගිලා තියෙන්නෙ තාම ඔයා ඒ ඇත්ත තේරුම් ගන්න රෙඩි නැති නිසා වෙන්න බැරිද,?”
“ ඔයා හිතනවද පවන්, මං රෙඩි නැහැ කියලා”
“ සමහරවිට හැමදේම එකපිට එක ගොඩ ගැහෙද්දි ඒක දරාගන්න ඔයා රෙඩි නැති වෙන්න පුලුවන් ..”
සවුමි පවන් දෙස උවමනාවෙන් බලා සිටියාය. ඇගේ දෑසේ වු අසරණකම ක්‍රමයෙන් මැකී යනු සන්සුන් පෙනුමක් ඇතුල් වෙනු ඔහු දුටුවේය.
මේ කතාව දික්ගැහුණා හොදටම වැඩි කියා සිතු තරුණයා මාතෘකාව වෙනස් කළේය.
“ ඉතින් ඔයා හිතන්නේ අපි කොහොමද මේ රෙසිපි එක අපේ සිග්නේචර් කොෆි එක කරගන්නෙ…” යුවතිය ගේ ඇස් අලුත් බලාපොරොත්තුවකින් එළිය විය.
Recipe No: 66
Olive Brew
Dark roasted Ceylon coffee beans
A trace of pressed olive oil (first extract only)
Crushed cinnamon bark
A single drop of citrus rind essence
Brewed slowly over lowheat
ඇය
ඇය නැවත රෙසිපිය කියවමින් සිටියා.
“ මේ හැමදේම අපට කරගන්න පුලුවන් වෙයිද?”
“ මොකද බැරි?”
“ ඒ කියන්නේ අපි අපේ පළවෙනි olive brew එක ට්‍රයි කරනවාද ?”
දෙදෙනාගේ ඇස් වල බලාපොරොත්තු ගොන්නකි. ඒ බීජ ඔවුන් පැළ කර අවසන්ය. දෙදෙනා ාග්‍ර්ස් ගේ සේප්පුව වසාදමා කාමරයද නිසිපරිදි වසා ආ පසු පැරඩයිස් මන්දිරය නැවත නිශ්ශබ්ද මෙන්ම නොවෙනස්වද පැවතිණි.
“ අනික් කිසිම දෙයක් හිතන්නේ නැතුව නිදා ගන්න හොදද?” පවන් සවුමි ගේ වම් කම්මුල සෙමෙන් පිරිමැද්දේ ය. සවුමි ඔහු දෙස බැලුවේ වචනයෙන් විස්තර කළ නොහැකි බැල්මකි. කොරිඩෝව පටන් ගන්නා තැන පවන් නැවතී බලා උන්නේ ඇය ඇගේ කාමරයට යන තෙක්මය. හැරී බලනා ඊලග තත්පරයේද ඔහු එහෙමම බලා උන්නේය.
සවුම් ගේ හිතැතුල යම්දෙයක් පෙරැළි කරයි. අපැහැදිලි ය. වැඩි කලබලයකුත් නැත. ඒත් එහි ප්‍රශ්න ගණනාවක් ඇත.
ඇය ඇගේ ජීව විද්‍යාත්මක මව සොයා පැරඩයිස් අතැර නික්ම යාවිය හිතීමත් පවන් ට බියකරු හැගීමකි. ඇත්තටම ඒ අම්මා සොයා දෙන්නට හැකිනම් ඇගෙ කුඩා හුදකලා ලෝකය ආලෝකමත් වනු ඇත. පවන් සිටින්නේ ද ව්‍යාකූල සිතකින් ය.
කැෆේ එකට නොම්මර දෙකක නමකි. ඔලිව් වට්ටෝරුවට නොම්මර දෙකක අංකයකි. ඒ අංක දෙකම එක සමානය. මේ සියල්ල කාගේහෝ අදෘශ්‍යමාන හස්තය කින් පාලනය වෙනවා දැයි පැරඩයිස් හි කාමර දෙකක හිඳ පවන් මෙන්ම සවුමි ද සිතමින් සිටියහ.
“ අම්මා “ සවුමි ගේ මුවින් ඒ ලස්සන වචනය කිසිදා පිටවී නැත. ඇයට දුක එනිසාමය. අම්මා ගේ නම හරියටම කුමක්දැයි දැනගෙන මේ භවයේ මියෙමිය ඇය සිතා ගත්තාය. ඒ නම් දෙකම සිය දිනපොතෙහි ලියා තැබුවාය.
Wednesday, April 22, 2026
OLIVE 08
ප්‍රේමය සියල්ල උසුලයි
පවන් විජේබණ්ඩාර යනු නොනවතින මිනිසෙකි. මිනිසුන් වෙනුවෙන්, හැඟීම් වෙනුවෙන් ඒ තියා තමන්ගේ ළඟින්ම හැමදාම හිඳි කෙනෙකු වෙනුවෙන් වත් සිය වේගය අඩාල කරගන්නා විදියේ කෙනෙකු නොවේ. ඒත් ඒ රාත්‍රියේ පැරඩයිස් මැන්ශන් හි මිදුලේ ඒ හිත වෙනස් විණි. මහා ලොකු වේලාවකට යැයි කිව නොහැකිය.
ඔහු සීතල ලී බංකුවට ඇලී මෙන් වාඩිවී සිටියේය. දුරකතනය අතේ තදින් ග්‍රහණය කරගෙන සිටියද තවදුරටත් ඩාරා ගේ පණිවුඩ වල අරුත ඔහුට වැදගත් වුයේ නැති බවක් පෙනිණි. ඩාරා ළඟ තිබුණ හිත මේ වෙද්දී වෙනස් වී ඇත. නොදැනුවත්වම වගේ සවුමි දෙසට හැරී තිබේ.
ඔි තවමත් උන් තැනම හිඳගෙන හිඳී. මෙතෙක් කාලයක් සිටි විදියෙන්ම, කිසිදු වෙනසක් නැති බැල්මෙන් සිනාවෙන් …. කිසිම විටෙකත් අවධානයක් නොඉල්වා, කැපී පෙනෙන්නට තියා තමන් පවතිනවාය කියන්නටවත් උත්සාහ නොකර ඔ් එතැන එහෙමම බලා හිඳිනවා පමණකි. සමහර විට සවුමි ගේ මේ කැපී පෙනෙන්නට ඇති උවමනාවක් නැති කමත් අවධානය හිඟා නොකැමත් නිසාම මෙතෙක් කාලයකට ඇයව තමන්ට නොපෙනුනා දැයි පවන් ගේ සිත විමසන්නේය. පවන් මොහොතකට ඇස් වසා ගත්තේ ඇගේ අතින් ඔහුගේ අත ඇල්වුන මොහොත සිහියට නගා ගැනීමටය.
ඇගේ ජීවිතයේ නීති ඇයටම වලංගුය. ඇයට සීමා තිබේ. පාලනයක් තිබේ. ඇය විසින් පවත්වා ගන්නා දුරක් තිබේ. පවන් ගේ හකු පාඩා තද වී තිබේ. දෙතොල් එකිනෙකට තදින් ගැටී ඇත. ඇය තමන් ගේ අත අල්ලා ඇය කියවා ගෙන යන දේකට අවධානය ලබා ගන්න උනන්දු වුවා පමණකි. නිකමට මෙන් අහස බැලු ඔහුට අරලියා මලක් නටුවෙන් ගිලිහි වැටෙනවා පෙනිණි. ඇය ඇඳ සිටියේද සුදු පැහැ ගවුමකි. ඒ මලක් ඇය අතට දෙන්නට කවදාවත් ඇති නොවු සිතුවිල්ලක් ඔහුට බල කළේය. ඉතින් ඔහු බංකුවෙන් නැගිට පාත අත්තක පිපී තිබුණු මල් ගොමුවකින් එකක් පරිස්සමෙන් නෙළා ගත්තේය. ආයේ ඇවිත් බංකුවේ හිඳ ගත්තේය.
සවුමි, මේ මල මෙන් පිවිතුරුය. ඇය මේ මහා මන්දිරයේ කුහුඹු ඉඩක ජීවත් වන්න්‍යී. ඇගේ උවමනාවන් අවමය. කිසි විටෙකත් කිසිවක් ඉල්ලනු දැක නැත. තමන් ගේ පෙම්වතියන් පවා මේ විජේබඵ්ඩාර පරම්පරාවට සම්බන්ධ වෙන්නට උත්සාහ කළ හේතු අතර
බලය
මුදල් මෙන්ම සමාජ තත්වය ද මුල් තැන් ගෙනතිබිණි. නමුත් සවුමි මේ කිසිවකට ලෝභ නැත. ඇයට කිසිවක් උවමනා වගක්ද නොපෙනේ. ඒ හින්දාම ඇය කොයි ආකාර කෙල්ලකද ? ඇයට උවමනා මොනවාද ? වගේ ප්‍රශ්න වලට පිළිතුරු නැත.
පවන් හැමදාම තෝරාගත්තේ ඇසුරට පහසු ගැහැනු ළමයින්ය. ඔවුන් අවධානය පසුපස ගියහ. සුඛෝපභෝගී ජීවිත වලට ආකර්ශනය වුහ. ඔහු සමග ඔහුගේ වේගයට ගමන් කළහ. ඒ නිසාම ඔවුන් කිසිවෙකු ඔහුට සංකීර්ණව දැනුණේ නැත . ඒත් සවුමි, ඔහුට කියවා ගත හැකි චරිතයක් නොවේ.
පහසුවෙන් කිසිවක් පසුපස ලොබ බඳිනු දැකිය නොහැකිය.
අපේක්ෂා කරන කිසිවක් ගැන අදහසක් නැත.
අනික් ගැහැනු ළමයින් ඔහු දෙස බලන ආකාරයෙන් ඔහු දෙස බලන්නේද නැත.
ඒත් ඒ මොහොතේ ජීවිතේ පළමු වතාවට සවුමිගේ ඇස් වලින් ගම්‍ය වුණේ තමන්ව වෙනස් ආකාරයට දැකි වගක් ද? පවුලේ උරුමක්කාරයෙකු දෙස බලන බැල්මකින් තොරව ඇයට පවන් දැනී තිබුණා යැයි පවන් සිතන්නේය. වම් අත මිට මොළවා ගෙන තරුණයා කල්පනා කළේය. මේ සිතුවිලි සවුමි ගැන ඇතිවීම අනතුරුදායක බව ඔහුටම හැඟෙන්නේය. ඇය හිඳින්නේ මේ වහල යටමය. වැඩියෙන්ම පපුවට බරන් දැනෙන්නේ එනිසාය.
සවුමි ඔහුගේ ලෝකයේ ම කොටසක් නොවේ. ඇය එතුල ඒ සෙවණැලි යට ජීවත් වන නිසි ඇදුනුම්කමක් ලබා ගන්න අසීරු වු තරුණියකි. ඇය කතා කළේ ග්‍රේස් මම්මා ඇගේ ම කෙනෙකු විදියටමය. එහෙත් පවන් හෝ සුලලි සමඟ වුව පමණට වැඩි සම්බන්ධයක් තියා ගන්නට අකැමති වුවාය. සුලලි ඇයව සාප්පු සවාරියකට අඩ ගසද්දී පවා ඇය ඊට සම්බන්ද වුනානම් ඒ විරලම අවස්ථාවකය. සුලලි කළේ ඇය කැමති විදියේ ඇඳුම් ආයිත්තම් ඇයට ගෙනැවිත් දීමය. ඒවා නම් ඇය බැහැර නොකර හරි ආදරයෙන් භාර ගත්තාය.
ඇය ග්‍රේස් විජේබණ්ඩාර ගැන කතා කළේ ඒ වත්කම් දේපළ වලට ඇති ආසාවකින් නොවේ. ලෝභකමකින් නොවේ. ග්‍රේස් සම්බන්ධව සොයා බැලීම ඇගේ යුතුකමක් ලෙස සලකා මෙනි. මේ වතාවේ පවන් සවුමි ගේ ආකල්ප වල වෙනස්ම හැඩයක් ඇති බව තේරුම් ගෙන සිටී. ඒ මදිවාට ඇගේ ඇස්… ඒවා ඔහුට ආරාධනා නොකරන බව වෙනම කතාවකි. මෙතෙක් කාලයකට ඇය දෙස පරික්ෂාවෙන් බලා නැති නිසාද මන්දා, මේ දිලිසෙන තරම ඇත්තෙන්ම ඔහුට හසුවී නැත.
පවන් තමාවම තේරුම් ගැනීමට උත්සාහ කළේය. මේ මොහොතේ මේ තමන් ගේ හිතට වද දෙන්නේ සාමාන්‍යයෙන් කෙල්ලක් දැක්කාම ඇති වෙන විදියේ හැඟීම් සමුදායක් ඇය කෙරෙහි ඇති වී ඇති නිසාද? ගැහැනු මෙන්ම ගැහැනු ළමයින් නොදැකි පිරිමියෙකු මෙන් තමන් බොළඳ විය යුතු නැත. ඒත් ආකර්ශණය වෙන මොන මොනවාදෝ මන්ත්‍රයක් ඇය වටා කැරකෙනවාක් මෙන් හැඟීම වලකා ගැනීමට නොහැකිය.
“ මට මෙච්චර කාලෙකට මෙහෙම හිතුණේ නැත්තේ ඇයි?” පුංචි කාලයේ ග්‍රේස් මම්මා විසින්ම හැඩ කරන ලද පුංචි බෝනිකි කෙල්ල, ඔහු සමග ඇති පදම් සෙල්ලම් කර තිබේ. එකට වැටී එකට හඩා එකට නැගිටි අතීතයක් ඔහුටත් ඇයටත් ඇත. ගැහැනු දරුවෙකු පිරිමි දරුවෙක් අතර ඇති ශාරිරික වෙනස් කම් පවා දෙන්නාටය දෙන්නා තේරුම් අරගෙන ඇත්තේ ඒ දෙන්නාට දෙන්නාම දැක ගෙනය. ඒ තරමටම ළගින් හිටි යුවතියක් ගැන මේ තමන්ගේ හිතේ පාලනය අහිමි වෙන්නේ මන්දැයි පවන්ට නොතේරෙන්නේය.
“ අවුරුදු ගාණක් ආශ්‍රය කරන මිනිස්සුන්ගේ හිත් වලත් ආදරය ඇති වෙන්න ගතවෙන්නේ තත්පරයක් විතරක් වෙන්න පුලුවන්.”
මෙය ඔහු කොහේ හෝ අසා ඇති කතාවකි. පවන් කියන්නේ නවකතා පොත් කියවන ජාතියේ වත් රෝමාන්තික කොල්ලෙකු නොවන්නේය. ඉගැන්විමකට සම්බන්ද පොතක් පතක් වෙන කරන්නට දෙයක් නැති කමට කියෙව්වාට කියවීමට වුනත් ඔහු එතරම් කැමති නැත. ඉතින් රෝමාන්තික වීම සම්බන්ධයෙන් ඔහුට කියවා බලා තේරුම් ගත් විදියක් ඔහුට ඇත්තේම නැත.
කෙසේ වුවත් මේ මොහොතේ තමන්ගේ හිතේ ඇතිවෙන මේ අපුරු සහනදායි සීතල හැඟීම ඔහු මින්පෙර වෙන කෙල්ලන් ඇසුරේ විඳ නැති බව නම් ඔහු ට විශ්වාසය.
“ සවුමි…”
ඇගේ නම ඔහු සෙමෙන් කිව්වේය. ඇයට ඒ හඩ ඇසෙන්නේ කුඩා කාලයේ සිට එකට සිටි මිතුරු පිරිමි ළමයාගෙනි. ඒ හැර අල්පයක හැඟීමක් ඉතින් ඇයට නැත. ඇය හිස හරවා බැලුවාය. ඒ වෙලාවේම හැමු සියුම් සුළං සෙළවීමකින් ඇගේ කෙහෙරැල් සෙලවිණි. රෝමාන්තික වීම සහමුලින්ම අවුලකැයි හිතා ගෙන සිටි තරුණයා ඒ මොහොතේ වින්දේ වෙනම ආහ්ලාදයකි.
“ ඔයාට කවුරුවත් ගැන ආදරයක් හිතිලම නැද්ද?”
පවන් මේ වගේ ප්‍රශ්නයක් අසාවියි කිසිම බලාපොරොත්තුවක් ඇයට තිබුණේ නැත. ඇය ඇස් හීනි කළාය. දෑත බංකුවේ තද කරගෙන හුස්මක් ඉහළට ගත්තාය. අහස දෙස බැලුවාය. යළිත් පවන් දෙස බැලුවාය.
“ ආදරේ කියනෙක ඉතින් එක එක විදියට දැනිලා තියෙනවා.”
ඒ ඇය කීවේ ප්‍රශ්නයෙන් පැන යන්නට නොවේ.
ආදරේ දැනී තියේ. හිතී තියේ. ප්‍රශ්නය තියෙන්නේ ඒ කාටදැයි ඔහු නිශ්චිතවම නොඇසීමය.
පවන් හිස ගැස්සුවේය. අතින් හිසකේ පිරිමැද ගත්තේය.
“ කොල්ලෙක්ට?”
ප්‍රශ්නය නැගිණි. පිළිතුර ඇගේ ය.
“ ම්හ්… නෑ”
“ ඇයි?”
සවුමි පවන් දෙස පුදුමයෙන් බැලුවාය.
“ හේතුවක් නෑ”
“ ඒ කියන්නෙ?”
“ මන්දා”
“ කොල්ලෙක් ගැන කිසිම හැඟීමක්?”
“ නෑ”
“ ඔච්චර කෝල්ඩ් වෙන්න හදන්නෙපා”
“ කෝල්ඩ් වෙනවා නෙමෙයි”
“ බයද?”
“ එහෙම දේකුත් නෑ.”
“ මං කරන දේවල් නිසා කොල්ලො ගැන විශ්වාසයක් නැද්ද?”
පවන් ඇසුවේ පසුතැවීමකුත් හිතේ තියාගෙනය.
“ අනේ ඇයි පවන්,එහෙම අහන්නෙ?”
“ නෑ, ඉතින් මං ඩේට් කරන විදිය දැකලම ඔයාට කොල්ලො ගැන එහෙම හිතෙනවද දන් නෑනෙ”
සවුමි සිනාවුවාය.
“ ආදරේ කියන්නෙ විශ්වාසයටද?” එවර ඇය ඇසුවේ පවන්ගෙනි. පවන් ඇගේ මුහුණ බැලුවේ තැතිගැන්මකිනි. ඇය ඇසුවේ සමහරවිට ඇත්තෙන්ම ඇය නොදන්නා නිසාම විය හැකිය. පවන් හිස සැලුවේය. විශ්වාසය ආදරයේ කොටසක් කියා පවන් සිගෙන හිඳින්නේය.
“ ප්‍රේමය සියල්ල උසුලයි.ප්‍රෙමයෙහි විශ්වාසයට ඉමක් නැත.බලාපොරොත්තුවට නිමක් නැත. ඉවසීමට අගක් නැත. බයිබලයේ ප්‍රේමය ගැන එහෙම කියලා තියෙනවා” ඇය සෙමෙන් කීවාය. පවන් මොහොතක් ඇය දෙස බලා උන්නාය.
“ ආදරයක් ඇතිවෙනවා කියලා මං හිතන්නෙ… හිතලා ආදරේ කරන්න පුලුවන් වෙන එකක් නෑ..” ඇය කීවාය. පවන් සුසුමක් හෙළුවේය. අඩුම ගණනේ තවම ඇගේ හිතෙහි වෙන පිරිමියෙකුට ලැගුම් ගන්නට හැකිවී නැත. සියුම් සතුටක් තමන් තුල උද්දීපනය වෙනු පවන්ට දැනිණි.
OLIVE 09
OLIVE 09
ප්‍රේමය හුදෙක් ප්‍රේමයමය
එහෙත් පැරඩයිස් මන්ද්රයේ රාත්‍රින් කිසිවිටෙකත් නිදහස් හෝ නිශ්ශබ්ද නැත. එබැවින් බිම් මහලේ ඇගේ කාමරයට සවුමිටත් උඩු මහලේ තමන්ගේ කාමරය ට පවන් ටත් වෙන්ව යන්න ට සිදුවිය.
පවන් ඇසු ප්‍රශ්නය ගැන සවුමි සිතන්න ට පටන් ගත්තේ කාමරයේ තනිවු මොහොතේය.
“ ආදරේ කරලම නැද්ද කොල්ලෙක්ට?”
රතු පාට වොලට්ටුවේ විවේක ගනිමින් සිටි කුඩා කලුපැහැති කාඩ් පත වම් අතට ගත්තාය. දකුණතින් සිය ජංගම දුරකතනයේ කැමරාව ඊට අමෝරාගෙන ස්කැන් කර බැලුවේ කිව්ආර් කේතයය. ඔසද කලින් වතාවේ එහි දිශාන.ිය වෙනස් කර තිබු බව කවුරුන් දන්නවාද? ගැහැනු ළමයා ඒ දිශානතිය ඔස්සේ ගමන් කරමින් සිටියාය. කිව්ආර් කේතයේ අවසානය දැක්වුනේ ටෙක් කම්පැනියක අංකයකිනි. මේ මොහොතේ ලැප්ටොප් තිරය ඉදිරිපස හිඳගෙන සිටි ඔසඳ ගේ දුරකතනය සිටි සිටි ගා සෙලවිණි.
ඔහු සිය කලිසම් සාක්කුවේ වු දුරකතනය අතට ගෙන බැලුවේ විසිමහල් නිවාස සංකිර්ණයේ තමන්ට අයිති බැල්කනි කොටසේ හිඳගෙනය. මුව අග සිනාව කි. ඇය විසින් තමා දුන් කිව්ආර් කේතය විකේතනය කර ඇත. දැන් ඔහුගේ අනෙක් දුරකතන අංකය ඇය සතුව තිබේ.ඒ අංකය ඇය සතුව තිබීම ඔහුට ප්‍රශ්නයක් නොවේ. Ti
ඔසඳ ගේ කොපුල් සිනාවකට දෙපස ඇදී ඇත. කොයීයම් මොහොතේ හෝ ඇය ඔහුට මේ අංකයට ඇය මෙලොව පවතිනා බව කියන්නට මොකක් හෝ ඉගියක් දෙනු ඇත. ඒතෙක් බලා ඉන්නට බැරි කමක් ඔහුට නැත.
පැරඩයිස් හි කාමරයක, සිය කුඩා ඇඳෙහි වැතිර ගත් යුවතිය මේ අංකයට ඇමතුමක් දෙනවාද නැද්ද කියා කල්පනා කරමින් සිටියාය. ඇමතුමක් දුන්නා කියා තමන්ව අදුන්වා දෙන්නට ඇයට තමන් පිලිබදව කියන්න තියෙනා කතාව වන්නේ කුමක් ද? තුම්මුල්ලෙ ඔහු දෙදවසක් ආගිය කෝපි හලේ කෝපි හදන වින්ටේජ් කෙල්ල තමන් බවද? කෝල් කරන්නට යාමෙන් තමන්ගේ ගෞරවයට හානියක් වීම නිසැක ය. සවුමි ඒ අදහස අතැර දැමුවාය. කාඩ්පත නැවත වොලට්ටුවට දමා නිදන්නට සිතුවාය.
පවන් ඩාරා සමග කතා කරමින් සිටියේය. එහෙත් අසම්පුර්ණ කිසිවක් කටුවක් මෙන් පපු ගැඹුරේ ඇනෙයි. පහතම මාලයේ කෙලවර කොරිඩෝවක අයිනේ කුඩා කාමරයක ඇය දැන් සුවසේ නිදා හිඳිනු ඇත. මෙතුවක් කාලයක් ගෙවී ඇතත් හිතේ එකවරම මේ ඇතිවෙන පෙරළිය ගැන පවන්ට තේරුම් ගැනීම අපහසුය. කාලයෙන් කාලයට පෙම්වතියන් මාරු කරමින් ඇසුරු කළත් විවාහයට සුදුසු තමන්ගේ දරුවන්ගේ අම්මා වීමට සුදුසු ගැහැනියක් තවම ඔහුගේ ජීවිතයට හමුවී නැත. ඒයට ඔ්නැතරම් කල් තියෙන බව පවන් නොදන්නවා ද නොවේ. එහෙත් හිටිහැටියේ පවන් ගේ සිත තුලට මේ උදේ සවස රැ තුන්වේල නොවරදවා දකින කුඩා කාලේ සිට එකට උන් කෙල්ල ඇවිදින් කරන්නේ මහ දෙවනත් කිරීමකි. මෙහෙම ඇතිවෙන මේ හැඟීම කුමක්දැයි ඔහුට නොතේරීම මේ විඳින වදයට ප්‍රධානම හේතුවය..
පරිගණක එක්කම වැඩ කරන අවදිවෙන නිදියන තරුණයෙකුට ආදරය වගේ රෝමාන්තික බැඳීමකට වෙලාවක් තියෙනවාද? ඔසඳ ට වෙලාවක් වෙන් කර ගැනිමේ උවමනාවක් තිබුණේ ද නැත. ඊට වඩා ඔහු ඔහුගේ වැඩ සියල්ල කැෆේසික්ස්ටි සික්ස්ත් හිදී සම්පුර්ණ කර ගන්නටත් ඒ අතරේ ඔහුගේ ඇස් අස්සේ ගැටෙන ඇගේ රුවෙන් ඒකපාර්ශ්වික මිහිරියාවක් විඳින්නටත් පටන් ගෙන තිබේ. මේ හැමදේම අතරේ දැන් ඒ හිතටත් පපුකැනැත්තක් තුල පෙම් කිනිත්තක් සෙලවෙන්නට පටන් ගෙන වාගේය.
තිරය මත පෙනී හිටින ඉලක්කම් ගොන්නක්ය. ඔහු බලා හිඳින්නේ ඔහුට අවශ්‍ය දත්ත තැනෙක සිට තව තැනෙකට ඇදීයන තුරුය. කොහේ හෝ තැනක සමාගමක් අතේ ඇති දත්ත සම්බන්ද පාලනය ඔහු තමන් සතු කරගනිමින් සිටින්නේ බුහුටි ලෙසිනි. ඒ අතරේ ඊට මනා ඒකාග්‍රතාවයක් අවශ්‍ය මොහොතෙත් ඔහුගේ සිත ව්‍යාකුල කරන්නට කෝපි හදන කෙල්ලට හැකිවී තිබේද? ඇය තමන්ගේ අංකය දැනගෙනත් හයි කියා පණිවුඩයක්වත් එවාවියි ඔහු බලා සිටින්නේය. මේ ව්‍යාකුලතාවයට හේතුව එයය. පළමුවෙනි දවසේම මතක හිටින්නට උවමනාම නිසා ඇයට කලුපැහැති කාඩ් පත පෑවද ඇය නොවේ ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ…
දත්ත පද්ධතියක් බිඳදමා උවමනා වී ඇති ඇතුල්වීමේ අවසරය ලබා ගත්තායින් පසු ඔහු මඳ විවේකයක් ගත්තේය. මේ වෙලාවේ ඇගේ අතින් හදන කෝපි කෝප්පයක් තිබුණානම් කොයිතරම් දෙයක්දැයි ඔහුට සිතුණි. පැන්ට්‍රි එක තෙක් ගොස් ඉලෙක්ට්‍රික් කේතලයට වතුර පුරවා එයට ප්ලග් එක ගසා ස්විචය ඔන් කර හෙතෙම යළි බැල්කනියට පිවිසුණේය. මේ කොළඹ කී දෙනකෙු සම්බන්ධ දත්තයන් තමා ලව්වා ඒවා වැදගත් පිරිස් අතට සංසරණය වෙනවාද? වැලමිට බැල්කනි බිත්තියට ඔබා ගෙන පහත නොනවත්වා ඇදෙන වාහන එළි දෙස ඔහු බලා සිටියේය. මේ හැම මිනිසෙකුටම වෙන වෙනම කතාන්දර තිබේ. ඉතින් ඇය දරාගෙන ඉන්නේ කුමන විදියේ කතාන්දරයක්ද? ඒ කුමන විදියේ කතාන්දරයක් වුණත් දැන් ඔහු සිටින්නේ ඒ ගැන කුතුහලයකිනි.
සමහරවිට ඇයට පෙම්වතෙක් ඉන්නට පුලුවනි. ඒ නිසා ඇය තුල තිබෙන පාලනය නිසාම ඇය ඔහුට කතා නොකරන්නට තීරණය කර ඇතුවාට සැකයක් නැත. දිගු සුසුමක් හෙළන අතරතුරේ ඔහු තේ කෝප්පයට තේ කොළ දමා පැහෙන උණුවතුර ඊට උඩින් වත් කළේය. කෝප්පය රැගෙන නැවත මේසය කරා ගියේය. දුරකතන තිරය මත දත්ත සම්පුර්ණයෙන්ම සංසරණය වී අවසන් බව අගවන පණිවුඩය ස්ථාන ගත වී ඇත. තොරතුරු සියල්ල ඩේටා ට්‍රැවලර් එකකට මාරු කරගත් තරුණයා පරිගණකට විවේකයක් දුන්නේය.
මේ මොහොතේ අවසන් වරට දුරකතය අතට ගෙන පැය දෙක් ගෙවීත් නින්දක් නොමැතිව සිටින ගැහැනු ළමයා ඇදේ හිඳ ගත්තාය. මේ තරමට හිත වද වෙන්නේ කුමක් නිසාද ? මේ අංකයට පණිවුඩයක් නොතැබිමට තරම් තමන්ගේ මමත්වය වැඩි නිසාද? ඒ පණිවුඩය ඇත්තටම මේතරමටවැදගත් මන්දැයි ඇයට නොතේරෙයි. අනික දවසක් දෙකක් දැකි මිනිසෙකු ඉදිරියේ මෙතෙක් කාලයක් නොදැගලු තරම් මේ හිත නාඩගම් නටන්නේ ඇයි?
ඒ රාත්‍රියේ , පැරඩයිස් මන්දිරයේ තුන්වෙනි මහලේ කාමරයේ බැල්කනියක පවන් විජේබණ්ඩාර සුසුමක් හෙලුවේය. ඒ මන්දිරයේම පහතම මාලයේ මුලුගැන්වී හිඳිනා යුවතිය, සවුමි සඳමල සමරසිංහ නින්දත් නොනින්දත් අතරේ සැරිසැරුවාය. රාත්‍රිය හැමදෙනාටම එකසේ සලකන්නේ නැත. ඒ කොළඹම ටිකක් බොරැල්ල පැත්තට වෙන්නට ඇති විසිමහල් නිවාස සංකීර්ණයේ අහස තරම් උස මහලක බැල්කනියේ ඔසඳ ලක්කිත වික්‍රමගේ ද සිටියේ නොසන්සුන් සිතිනි.
එකම කෝපි හලක, අහඹු හමුවීමකින් දෙදෙනෙකු පෙළුණෝය. උන්හිටිගමන් ප්‍රේමයක් වැනි කිසිවක් හිතෙහි ඉපිද හදට විතැන්වු තරුණයෙකු හුස්ම හිරවෙමින් සුසුම් ලමින් සිටියේය. ඒ මොහොතේ සිය ජංගම දුරකතන තිරයේ කවුරුන් දෝ පෝස්ට් කර තිබු ෆේස්බුක් සටහනක් සවුමි ගේ නෙතෙහි ගැටිණි.
සියවස් ගත වී ගියද, කවදා කොතැනදී කෙලෙස අප යළි හමුඋනද ප්‍රේමය යනු ප්‍රේමයමය. - ගාබ්‍රියෙල් ගාශියා මාකේස්!
මේ ප්‍රේමයට තමන්ගේ හිත මෙළෙක වන්නේ මන්දැයි ඇයට නොවැටහෙයි. ඇගේ සිත සංකාවෙන් පෙළෙයි. හේතුවක් නැත. ප්‍රේමයක් ද නැත. ප්‍රේමයක් නැති කමම මේ කණගාටුවට හේතුවද? ඇයට නොතේරෙයි.. අම්මෙක් තාත්තෙක් ගේ ප්‍රේමයක් අත්විඳ නැති, හිසට සෙවණ ක් තිබුණද ඒ සෙවණ තුල තමා පිටස්තරයෙකු බව හොඳින්ම දැන සිටි පවුලක් තුලම පවුලක් නැතිව වැඩුණු යුවතියකට පිරිමි හව්හරණක් ප්‍රේමයක් උවමනා වීම අරුමයක් නොවේ. අවසානයේ මේ අනම් මනම් හැඟීම් ගොන්න පෙරමං තැනුවේ මහ රාත්‍රිය මැද බොන්නට යමක් සොයා යන්නටය.
සවුමි මුලුතැන් ගේ දෙසට ගියාය. රත්නශීලා දැන් ගැඹුරු නින්දක ය. වතුර උණු වෙන්නට තියා කිරි තේ එකක් සාදා ගන්නට හදද්දී ඇසුණු පියවර හඩකින් මවිත වුවාය. හැරී බැලුවාය. නින්ද නැති මහ රැයේ පවන් පහලට බැස්සේ මේ පහත මාලයේ සවුමි නිදා හිඳින බැව් උපකල්පනය කරමින් උණුවට යමක් බොන්නට ඇති උවමනාව නිසාය. මෙන්න මෙතෙක් හිතේ කරදරය වු ඇයම, මෙතැන! ඔහුට ආපසු හැරෙන්නට සිතිණි. පවන් ගේ සිතේ කරදර ගැන කිසිත් නොදන්නා සවුමි, ඇය විමතියෙන් මෙන් පවන් දෙස බැලුවාය.
“ නිදි නැද්ද”
“ නෑ මේ හීනෙන් මේ ඇවිදින්නෙ”
“ මේ වෙලාවෙ?”
“ කෝ රත්නශීලා නැන්දා නිදිද? මට තේකක් බොන්නෝන”
“ එයා නිදි… මං හදලා දෙන්නං”
“ ඔයාට බෑනෙ කිරි තේ හදන්න”
“ මං හදන කිරි තේක රහයි..බීලා බලන්නකො”
සවුමි කියද්දී පවන් ඔහේ ඇය දෙස බලා සිටියේය.
“ ඇත්තටම මොකද අවුලෙන් වගේ?” සවුමි ඇසුවේ පවන්ගේ ඒකිනෙක වෙලී තදට තදවී ඇති රෝස තොල් සිනාවකවත් නොඇරුණු බැවිනි.
“ ඇයි මං අවුලෙන් වගේද පේන්නෙ”
“ හ්ම්.. ගතේ අුවුලක්ද හිතේ අවුලක්ද කියලා තේරුම් ගන්න බෑ”
“ ඔයා කවදාවත් මගේ හිතේ අවුල් තේරුම් ගන්න උත්සාහ කරලත් නෑනෙ”
සවුමි ගැස්සී වගේ පවන් දෙස බැලුවාය. පවන් වරින් වර බලන හැම බැල්මක් ගැනම සවුමි දැන සිටියාය. ඒත් මේ වතාවේ මේ බැල්ම නම් වෙනස් එකකි. එහි වේදනාවක් හැබැවටම ගෑවි තිබේ.
“ බොන්න”
කිරි තේ දැමු කෝප්පයක් පවන් දෙසට පාමින් සවුමි කීවේ පවන් ඉදිරියේ ඇති පුටුවෙහි හිදගනිමිනි.
“ හිතට කරදරයි තමයි” පවන් සෙමෙන් කීවේය. සවුමි මෘදු බැල්මකින් බැලුවාය.
“ ඩාරා ගැනද ප්‍රශ්නෙ?” ඇය ඇසුවේ ඇයට දැනෙන හැගෙන අතට හසුවන මාතෘකාව ඩාරා ම බැවිනි.
“ නැහැ, ආදරේ ගැන..” සවුමි තිගැස්මෙන් පවන් දෙස බැලුවාය.
“ ඩාරා ගැන නෙමෙයි නම් ආදරේ ගැන වෙන්නෙ කොහොමද?”
“ ආදරේ වෙනයි.. ගෑනු චරිත වෙනයි”
“ මහ පුදුම කතාවක්නෙ”
“ පිරිමි එහෙමයි. ගෑනු ගොඩාක් ආශ්‍රය කරනවා වෙන්න පුලුවන්.හැබැයි එක ගෑනියෙක්ට ආදරෙයි…”
“ දැන් ඒ ගෑනිද ඔයාගෙ ජීවිතේ ප්‍රශ්නෙ”
“ මට නින්ද නැති වෙන එකට නම් ඒ ගෑනිත් වග කියන්නෝන තමයි”
“අනේ මන්ද මට තේරෙන් නෑ පවන්.. ඇත්තටම ආදරේ කරනෙක ඒ තරමටම අමාරුයිද?”
“ ඇත්තටම ආදරේ කරනෙක අමාරුයි, ඒ ආදරේ දරාගෙන ඉන්නෙක හරි අමාරුයි..”
පවන් කීවේ සවුමි දෙස බලාගෙනමය.
“ මට එච්චර අමාරුවෙන් ආදරේ කරන්න බෑ කියලා හිතෙයි ,”
“ ආදරේ හිතුනොත් එහෙම නැතිවෙයි. ඒ දරාගැනීමම සතුටක් වෙයි”
ඇය සුසුමක් හෙළුවාය. පවන් තේ කෝප්පය බී මේසය මතම තැබුවේය.
“ දැන් නිදාගන්න… හෙට කොෆි ශෝප් එකත් අරින්නෙපැයි උදේම”
පවන් නික්ම ගියේය. පාලුව ඉතිරි වුණේය.
OLIVE 10
අනවබෝධ
අනවබෝධ
එළඹුණු ඊළඟ දවස් ද වෙනදා මෙන්ම ඇරඹුණි. පාන්දර හතරට ඇහැරුණු ගැහැනු ළමයා සිය සුපුරුදු දින චරියාවේ ම නියැළුණාය. පැරඩයිස් වෙතින් නික්මීම, මල් මිළට ගැනීම, කැෆේ එක වෙත පියමැනීම, එය විවර කර අස්පස් කිරීම කෝපි මැශින් ක්‍රියාත්මක කිරීම ක්‍රමයෙන් කෝපි වල සුවඳින් කැෆේ අවකාශය පිරී යාම සුවඳ ඇරෝමාවකින් හාත්පස වෙළී යාම වගේ කාරණා ඒ ආකාරයෙන්ම සිදු විණි.
පවන් කියා තිබෙන ආකාරයෙන්ම සවුමි ඉරිදා දිනයේ කැෆේ 66ත් වසා තැබුවාය. ඇත්තෙන්ම ඉරිදා කියන්නේ සෙනග පිරෙන්නට ඉඩ තියෙන දවසකි. නමුත් ඇයට මේ සා මහන්සි වෙන්නට ඉඩ දෙන්නේ කොහොමද?පවන් ඇයට කියා තිබෙන්නේ මොනම හේතුවක් මතවත් කැෆේ 66ත් නම් ඉරිදා විවෘත නොවිය යුතු බවකි. ඉතින් ඉරිදා දින තුනක්ම ඇය සොයා කැෆේ එක වෙත ආ ඔසඳ දුටුවේ ක්ලෝස්ඩ් බොඩ් එකේ දොරෙහි ඒල්ලා ඇති ආකාරයයි.
අනික් හැමදාම ආසන්න කාල පරතරයක් ඇතුළත ඔසඳ කැෆේ සික්සිටිසික්ස්ත් වෙත ආවේය. ස්ට්රෝන් කෝපි සහ ෆ්ලැට් වයිට් අතරේ ඔහුගේ මානසික තත්වය අනුව ඇණවුම වෙනස් වුවේය. ඔසද සවුමි අතේ තමාගේ දුරකතන අංකය ඇති බව දැන සිටියද සවුමි ඒ වගක් දැන නොසිටියාය. ඔසඳ පැමිණෙන වෙලාවට. පවා එහි පැමිණෙන සාමාන්‍ය කෝපි ප්‍රේමින් කිහිප දෙනෙකු වෙනුවෙන් සිය කාලය වෙන් කළාය.
ඔසඳ ඇය පේන තමන්ව නොපෙනෙන ඉසව්වක ඇති මේසයේ හැමදාම හිඳ ගත්තේය. විවිධාකාර සංඛ්‍යාන්තයටන්ට අයත් වු ඔලිව් පැහැයෙන් යුක්ත ටී ශර්ට් සහ කැශුවල් ශර්ට් ම ඇන්දේය. ඒ ඔහු වැඩියෙන්ම කැමති පැහැය විය යුතු යැයි ඇය අනුමාන කළාය. ඔහුගේ ඇස් වල හැමදාම තිබුණේ ඇයව කියවා ගැනීමේ උවමනාවකි. හැමදාමත් ඔසඳ කැෆේ එකෙන් නැගිට ගියායින් පසු වෙනස් ආකාරවල මිනිසුන් ඔහු පැමිණ හිඳගත් මේසය අසල හිඳගෙන කෝපි බොන්නට පැමිණියෝය.
එහෙත්, විවිධාකාර මිනිස්සු
වීවිධාකාර රසයන්ගෙන් යුක්ත කෝපි ඇණවුම්
නමුත් ඔසද නැගිට ගියායින් පසු සමාන කාල පරාසයන් තුල එක එක හැඩයේ මිනිසුන්.
හිඳ ගත්තේම ඔසඳ වාඩිවී සිටි ආසනයේම ය.
පුදුම කලබලයකින් හැසිරුණාහ.
කෝපි කෝප්පය අවසන් කළා නම් ඒ එහෙමත් කෙනෙකු පමණය.
ගැහැනු ළමයා ඔසඳ කතා කරනු ඇතැයි සිතුවත්, ඇත්තෙන්ම ඔහු මුල් දෙදවසේ දෙඩු තරම්වත් ඇය හා කතා කරන්නට පෙළඹුණේ නැත. ඒත් ඇය ඔහු වරින් වර තමන් දෙස බලා හිඳිනු දුටුවාය. මේ හැඟීම් තද කරගැනීම අසීරු දෙයකි. විටෙක ඇය දවසක් අරඹද්දී අද නම් මම මේ ඔලිව් පැහැති ඇඳුම් අඳින මනුස්සයා සමඟ කතා කරනවාමැයි කියා සිතා උන්නාය. එහෙත් ඔහුආවාම ඇයට ඔහු සමඟ කතා කරන්නට ශක්තිය එකතු කරගන්නටම නොහැකිය. ඉතින් ඇගේ බලාපොරොත්තු සහිත දිදුලන ඇස් හා කතා බහක යෙදෙන්නට ඔසඳට කොයිතරම් උවමනා වුණත් ඔහු තවමත් නිශ්ශබ්දව හිඳින්නේය.
පවන් ගේ පෙම්වතිය ඩාරා ඇගේ පවුල සමඟ ලංකාවෙන් ඇගේ උපන් රටට නික්ම ගියේ නිවාඩුවක් වෙනුවෙනි. රුවින් උසින් පැහැයෙන් වෙනස් වුණත් ගැහැනු ගැහැනු මය. ඇගේ සැකය, කරදරය මේ වෙද්දී පවන් ව වෙහෙසට පත් කර තිබිණි. සවස් වරු වල එක දිගට පැවැත්වුණු ව්‍යාපාර සාකච්ඡා වට හේතුවෙන් නිකමට වත් සවුමි සමඟ කෝපිහල වසා දමන වෙලාවට වත් හමුවන්න ඇයව ඇරලවන්න ඔහුට හැකිවුයේම නැත. ඒ මදිවාට අම්මා, කෞශල්‍යා සමග සිංගප්පුරුවේ සංචාරයක යෙදෙන්නද සිදු විය. මේ සියල්ල අතරේ සවුමි ගැන තමන් තුළ ප්‍රේමයක් ඇති නමුත් එය එතැනම තියා ගන්නවා මිස ඇයට දැනෙන්ටවත් ඉඩ නොදී ඉන්නට පවන් හිතාගත් බවක් පෙනෙන්නට තිබුණි.
මේ පිරිමි හිත් දෙකම පසුබැසී ගියේ සවුමි කෙරෙහි වන තමන්ගේ සිතැඟී කියා ගන්නට නොහැකිවය. සවුමි ත් තමන් වෙනුවෙන් මේ අහස යට හිත් දෙකක් සුසුම් ලද්දී සිටියේ වේදනාවෙනි. ඇගේ වේදනාව හැමදාම දකින නිශ්ශබ්ද ඔලිව් කමිස කාරයා කෙරෙහි ඇතිවෙමින් ඇති කැමැත්තද කියා ඇයවත් දන්නේ නැත. එහෙත් මිනිස් සිරුරු වල හෝමෝන ක්‍රියාන්විතය පුදුමාකාරය. ඒවා නිශ්චිත වයසකදී ඉබේ වැඩ කරන්නට පටන් ගන්නා අතර එහි පාලනය තමන් සතු කරගැනිමට පුරුදු පුහුණු කළාවු සංයමයකින් යුක්ත හිත් තියෙන්නට උවමනා වේ. සවුමි කියන්නේ පාසල් යෙහෙලියක හෝ ළඟින් ඇසුරු කළ යව්වනියක නොවේය. ඉතින් ඇගේ උත්පත්ති කතාවේ වු අඩුපාඩු ඇයට තදින් දැනුණු කාලයකි පාසල් කාලය. එබැවින් ඇය සෑම විටම සියල්ලෙන් ඈත්ව අයිනකටව උවමනාවෙන්ම කොන්වී සිටියාය. ඉතින් මේ කිසිවක් කියා හිත නිදහස් කරගන්නට කෙනෙකුත් ඇයට නැත.
ඉරිදා දින වල ඇගේ ඇඳුම් සෝදා වියළා ගන්නට තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරගන්නට ඇය ට හැකිවිය. ඒ ද එවැනි ඉරිදාවකි. පවන් ලංකාවේ නැත. විජේබණ්ඩාරවරු කිසිවෙක් පැරඩයිස් හි නැත. සවුමි ඇගේ කාමරයට වී යාන්තමට වැවුණු නිය පිස දමමින් සිටියාය. ඇය අපුරු කෙල්ලකි. ඇයට දවල් වෙනතුරු නිදාගත හැකි වුණත් එසේ කරන්නේ නැත. නමුත් දවල් කෑමෙන් පසු ඉරිදාට කෙටි දිවා නින්නදකට පිවිසීම ඇගේ ජීවිතේ ඇති ඩිටොක්ස් ට්‍රිට්මන්ට් එකක් වැනිය.
යාන්තම් වගේ නින්ද යාගෙන එන විට දුරකතනය ගැස්සුණේය. ඒ කැෆේ එකේ ඇණවුම් ලබා ගන්නා කුඩා දුරකතනයයි. එය පවන්ගේ පැරණි දුරකතනයකි. අංකයද ඔහුගේ ය.
“ අද කැෆේ එක ක්ලෝස්ඩ් ද?” පිරිමි හඩකි. සවුමි යාන්තම් වගේ ඇස් ඇර මුදු හඩින්, “ ඔව් අද අපි කැෆේ එක වහලා” කියා කීවාය.
“ ඉතින් අද ඔයාගෙ කෝපි ප්‍රේමීන්ට මොකද වෙන්නෙ?”
සවුමි මොහොතක් කල්පනා කළේ මේ කවුරු වෙන්නට පුලුවන්ද කියාය. මෙවැනි විහිලු කතා කරන්නටද සවුම්ට නම් කිසිම කිසිවෙකු නැත.
“ මොකද කියන්නෙ ඉතින්?” යළිත් ඔහු අසමින් සිටියේය.
“අපි සාමාන්‍යයෙන් ඉරිදට වහනවා”
“ හැමදාම එන කස්ටමස්ලව දැනුවත් කරනෙක හොද නැත්ද?”
“ අපේ රෙගියුලර් කස්ටමස් ලා දන්නවා.. අනික අපි අපේ පේජ් එකේ පෝස්ට් එකක් දානව”
“ ඒත් ඉරිදටම තමයි මේ කෝපි මට මෙච්චර මිස් වෙන්නෙ”
යුවතිය නැවත කල්පනා කළාය. පවන්ගේ ඉන්නා ලංකාවෙ මිතුරු යක්ස පැටවුන් ගැන ඇය තරම් හොදින් දන්නා කවුරුවත් නැත. ඔවුන් මේ වගේ විහිලු කරන්නට උපන් හපනුන් වෙති.
“ සර් අපි මන්ඩෙ ඉඳලා සැටඩේ වෙනකම්ම කොෆි ෂොප් එක ඔ්පන්. සර්ට පුලුවන් හෙට එන්න”
එහා පැත්තේ ඉන්නා නොසන්සුන් කලබලකාරයා ට වගේ වගක් නැත. ඇයට දුරකතනය විසන්ධි කිරීමත් දැනෙන්නේ ආචාර ධර්මයක් පැහැර හරිනවාක් වැනි හැඟීමකිනි. කෙසේ වෙතත් මේ ඇමතුමෙන් මිදීමේ උවමනාවෙන්ම ඇය වඩාත් මෘදුව සර් එහෙනම් සඳුදාට එන්න කෝපි එකක් බීලා යන්න යැයි කීවාය.
“ නම මොකක්ද ඔයාගෙ”
ඇය එවර ඒ කටහඩ බැරැරුම් බව වටහා ගත්තාය.
“ සවුමි”
“ හායි සවුමි, මං ඔයාට මගෙ නම නම් කීවෙ නැහැ. හැබැයි මම ඔයාට මං මගේ කාඩ් එක දුන්නා..” හැඳීන්විම් කාඩ්පතක් දෙකක් සතියකට දෙසතියකට වරක් කෝපිහල වෙත ලැබීම සාමාන්‍ය දෙයකි. ඇයට ඒවායින් වැදගත්ව තිබුණේ එකක් පමණකි.
“ කලුපාට පුංචි කාඩ් එකක් කිව්ආර් කෝඩ් එකක් තියෙන” සවුමිගේ පපුව දැන් ගැහෙන්නට පටන් ගෙන තිබේ. ඇයත් මෙතුවක් කාලයකට බලාපොරොත්තු වුයේ මේ ඇමුතුමම තමාය. සති තුනක් ගෙවී ගිය බව ඇත්තකි.
“ ඒ මම”
ඔහු ඒ වතාවේ කීවේය. තේරුම පැහැදිලි නැත. මේ තරම් උවමනාවෙන් තමන්ව හදුන්වා දෙන්නේ ඇයි?
“ අපි සඳුදට කතා කරමුද සර්” සවුමි හිතාමතා ඇමතුමේන් සමුගන්න උත්සාහ කළාය. ඇය ඇගේ සීමාව දැන සිටියාය. ඇත්තටම ඇයට මේ මිනිසා ගැන ලෝබකමක් ඇතිවෙන්න පුලුවනි.
“ ඇයි එකදිගට කෝල් එකක ඉන්න බය ඔයාගෙ කොල්ල කැමති නැති හින්දද?” එක අතකට බැලුවාම පිරිමින්ටත් වැඩි විවිධාංගිකරණය වු සාම්පල නැත. තියෙන්නේ කීපයකි.
“ නැහැ..එහෙමදෙයක් නැහැ ඉතින් ”
ඔසඳ ඇගේ තත්වය වහා තේරුම් ගත්තාය. දැන් ඔහුටද මේ කතාබහ බලෙන් පවත්වා ගන්න හදිස්සියක් නැත. ඊට මෙතනින් පසු වෙලාව තිබේ. ඇමතුම විසන්ධි වු පසුත් ඇය දෙතුන් වතාවක් දුරකතනය දෙස බලා උන්නේ මේ සිදුවු දේ ගැන හිතා ගන්නට නොහැකිවය. සවුමි ඇඳෙහි වැතිරුණාය. ගෙවීගිය සති තුනක බලාහිදීමකට හරියන්න මේ වතාවේ ප්‍රතිඵල ලැබී තියෙන්නේය.
ඔසඳට ඇත්තටම උවමනා වුණෙන් මේ ඉරිදාත් කෝපි හල වසා තියෙනවාද කියා දැනගන්නටය. එබැවින් ඔහු කෝපිහගේ නොම්මරය ලෙස සමාජ මාධ්‍ය ගිණුම් වල දක්වා ඇති අංකයට කතා කළේය. මේ අංකය ඇය අමතනවාද නැත්නම් වෙනත් කෙනෙකු අමතනවාද කියා අදහසක් පවා ඔහුට තිබුණේ ද නැත. අනිත් අතට පෙර ඉරිදා දෙක වගේම මේ ඉරිදාත් ඔහුගේ සැලසුම් අවුල් කරගන්නට ඔහු කැමති නැත.
ඔහු වහා සිය ජංලම දුරකතනයේ අදාල නොම්මරයට කෙනෙතුට පණිවුඩයක් යැව්වේය. කැෆේ සික්ස්ටිසික්ස්ත් , ඉරිදාට වසා ඇති බව ඔහු කිව්වේය. අනික් පසින් වෙන තැනක් නම් කර එවන ලදී. හිත හදාගෙන අනාරක්ෂිත වුවද විය හැකි ඒ හෝටලයට යාමට හෙතෙම අදහස් කළේය.
ඔසඳ කැෆේ සික්ස්ටි සික්ස්ත් වෙත දිනපතා ගියේ කෝපි හදන වින්ටේජ් යුවතිය දෙස බලා හිඳීමේ උවමනාවක් අඅතිවම නොවේ. එය සන්සුන් සාමකාමී කලබල වලින් තොර තැනක් විය. නිදහස කැමති විශ්ව විද්‍යාල සිසුන්, පර්යේෂණ නිබන්ධනයත් ලියන්නන් එතැන තැන් තැන් වල තමන්ගේ ලැප්ටොප් සමග හුදකලාවේ නිශ්ශබ්ද ව ලැගුම් ගත්හ. ඉතින් ඔසද දැන සිටියේ මෙතැනදී තමන්ගේ කාර්යන් සුරක්ෂිත ලෙස කරගත හැකි බවය.
ඔසද ගෙන් ඔහුගේ රහසිගත ක්‍රියාවලි වල අවසන් ඵලය ලබා ගන්නට කෙනෙකු හැමවිටම ඔහු පසුපසින් ආවේය. “ඔහු” එක් නිශ්චිත පුද්ගලයකු නොවීය. ඔසදගේ මුහුණ හරියටම දැක නැති මේ අතරමැදියන් ඔසද හදුනාගත්තේ නියමිත කාල පරාසය ඇතුලේ කැෆේ සික්ස්ටිසික්ස්ත් දොරින් ඇතුලු වෙන එමෙන්ම ඒ දොරින් පිටව යන මිනිසා ලෙසින් පමණකි.
ඔලිව් කොළෙහි වර්ණ සංඛ්‍යාත පරාසය ඇතුළත උඩුකය වැස්මක් හැද සිටින පිරිමියෙකු එහි තියා යන කිසිවක් වෙනුවෙන් එක් රහසිගත මිනිහෙක් හැමවිටම කෝපිහලට ගොඩවී ඇත. ඉතින් මේ දෛනික ක්‍රියාවලිය ඉරිදා දින දෙකක් බිඳවැටී ඇත. ඒ බිඳවැටීම ඇති කරන පසුකම්පනය සාමාන්‍ය නොවේ. එබැවින් ඔසද මේ දුරකතන ඇමතුම ලබා ගත්තා මිස, නැත්නම් කීයටවත්ම ඔහු තමන්ව විවෘත කරන්නේ නැත.
නමුත් මේ කතාව ආරම්භක අවස්ථාවේදී ඔහු සාමාන්‍ය ප්‍රතිපත්තිය වෙනස් කළ අතර අර වින්ටේජ් කෙල්ලගේ අඳුන් ගෑ දිගු ඇහිපිය දැක ඒ කෙරෙහි ආසාවකින් පෙළුණේය. තමන් පිලිබඳ අවධානය ගොඩනගා ගැනීමේ උවමනාවක් නිසා කලු කුඩා කාඩ්පත ඇයට පෑවේය. හැමවිටම බුද්ධිමත් ව වැඩ කරන මිනිහෙකුට වුවද හැගීම් නිසා වරදින්නට ඉඩ අවකාශ ඇත. ඉගෙන ගන්නවා නම් පාඩම එය ය.
පවන් වෙහෙසකාරී දවස් ගණනාවක වැඩ රාජකාරි නිමා කර පැරඩයිස් වෙත ආවේය. අම්මා හෝ අක්කා ආවේ නැත. මිගාර සිටියේද කොළඹින් පිටත ය. ඒ ද හරියටම මේඉරිදා ය. හවස හතර විතර වෙද්දී ඔහු සති හතරකට ආසන්න කාලයකින් දැක නැත.
පවන් සිය දුරකථනය රැගෙන සවුමිට කතා කළේය.
“ අද රෙස්ට් එකේ නේ හිටියෙ නේද?”
“ හ්ම්…”
“ කැෆේ එකේ ගණුදෙනු ටිකත් අරන් එන්න පුලුවන් ද මගේ ටිවි ලොබි එකට…”
“ බොන්න මොනාහරි හදන්න කියලා රත්න නැන්දට කියන්නද?”
පවන් මේ කෙල්ලට කැමති හේතු අතර ඇය තමාව මේ තරම් කියවීමද එකකි.
“ කිරි තේ”
“ හරි..”
ඇය සාමාන්‍යයෙන් ගෙදරට අදින විදියේ අත් රහිත දනිහ දක්වා දිගු රතු පසුබිමේ සුදු බින්දු වැටුන කපු ගවොමක් ඇද සිටියාය. වෙනදාට නිරාවරණය නොවෙන ඇගේ සුදු දෙපා හැඩ ඉණ සහ වටොර ඉස්මතු වී පෙනෙන අපුරු ගැහැනු හැඩයක් ඉස්මතු වී පෙනුණු බව පවන් දුටුවේ ඇය තමා උන් තැනට ඇවිදගෙන එද්දීය.
ඇය පැමිණ දෙපා එකත්පස්ව තබාගෙන හිදගත්තාය. ලගිනි. සුවද පවා ඉහිරෙන තරමට ලගිනි. ප්‍රේමණීය හිතකට හොදටම හෙළවෙන්නට ඒ හේතුව ඇති ය. පපු කැනති මත පෙම් කිනිති සෙළවෙයි.
“ අපි අලුත් සිග්නේචර් එකකට යන්නෝන… ග්‍රේස් මම්මාගෙ වට්ටෝරු පොත් වල අපෙ කැෆේ එකට හරියන මොනවා හරි ඇති කියලා ඔයාට හිතෙන්නේ නැද්ද ?”
“ දැන් අපි මොකක්ද සිග්නේචර් කොෆි එකක් විදියට දෙන්නේ…”
සවුම් සිය දුරකතයේ ඇති මෙනු එකේ පින්තූර ඔහුට පෑවේය. එදෙස පරික්ෂාවෙන් බැලු ඔහු හ්ම්හ් කියා අසුනේ හරිබරි ගැහුණේය.
“66th house blend, caramel latte, vanila cream coffee .. මේවා කොමන් කියලා නේද කියන්නේ “
පවන් මෘදු බැල්මකින් සවුමි දෙස බැලුවේය. ඇය ඒ ගැන ගණනකට ගත්තේ නැත. පහුගිය දිනවල කැෆේ එකේ අලෙවිය, වියදම ගැන කතා කළාය. පවන් ට හිත තෝන්තුවේ වාගේය. මේ මහලේ මේ මොහොතේ කිසිවෙකුත් නැත. හද්දා පාලුය. මුලු නිවෙස පුරාම විදුලි පහන් දැල්වීම බලශක්ති අර්බුදය හේතුවෙන් තරමකට මගහැරී ඇත.
“ ඔයා උවමනාවක් නැ වගෙනෙ මේවා බලන්නේ” සවුමි නැගුවේ චෝදනාවකි. උවමනාවෙන් බලන්න ම හිතෙන්නෙ ඔයා දිහා කියා පවන්ට කියා ගන්නට නොහිතෙන්නේය. පවන් අසුනේ ඔහේ හිදගත්තේය. සුසුමක් හෙළුවේය.
“ ඔයාට මතකද ඔයා යි මමයි පොඩි කාලෙ අපි එක කාමරේ නිදියනවා…” සවුමි ලජ්ජාශීලී සිනාවක් පෑවාය. “හ්ම්”
“ ඒ කාලෙ මාර ලස්සනයි . මොනවා උනත් ඔයා ලගපාතක නිදිකෙරෙව්වා නම් ඒ එක්කම මටත් නින්දයනවා..”
“ මං දන්නවා පවන් ඔයා මට කවදත් කරුණාවන්ත යි කියලා”
පවන් ගේ සිත පසුබැස්මකය.මේ කරුණාවම නොවන බව ඔහුටත් වැටහෙන්නේ දැන්ය.මේ මොහොතේ රත්නශීලා තේ පෝච්චි සහ කෝප්ප අනම්මනම් උඩු මහලට ගෙන ආවාය.
සවුමි තේ එක හදා දෙන්නට භාර ගත්තාය. එබැවින් නැවතත් ඒ දෙන්නා එතැන තනිවිය. පවන් ඒ මහලේ ඇති බැල්කනිය වෙත සෙමෙන් ඇවිද ගියේය. සවුමි ඔහුට කල්පනා කරන්න ට අවශ්‍ය බව තේරුම් ගෙන ගණුදෙනු වල එකතු අනම් මනම් නැවත නැවත ලියමින් සිටියාය.
පවන් ආපහු හැරී ඇය දෙස බලා ඉනු පෙනුණි.ඇය යලි එය නවතා පවන් ට ගැලපෙතැයි සිතු තේ කෝප්පය සකස් කළාය. කුඩා වැස්සක් ද පතිත වෙමින් තිබිණි. පවන් තමන් ලගට උනු කිරි තේ කෝප්පය ක්ද රැගෙන ආ සවුමි දෙස බැලුවේ ආදරයෙන් පිරුණු බැල්මකි. මේ වැස්සේ ඔලිව් කමිස අදින කෙනා මොනවා කරනවාද කියා හිතන්නට කාලය ගත් බැවින් පවන් ගේ බැල්ම ඇයට නොදැනුණි.
“ ඔයා බොන්නෙ නැද්ද?”
“ මං පස්සේ බොන්නං”
දෙදෙනා අතර ගලාගියේ නිශ්ශබ්දතාවයකි. වැස්සකි.ඇවිලිමකි. පැරඩයිස් මන්දිරේ ගෙඋයනේ තැන් තැන් වල ගස්වල මල් තෙමෙමින් ඒ මල්පෙති දැදිරි කරමින් වැස්ස වසී.
හිතටත් වැස්සකි. සවුමි මෙහෙම ළගින් ඉඳීමම වැස්සකි.අඩක්බිව් තේ කෝප්පය ඔහු සවුමි ට පෑවේ නිහඩවය. සවුමි මුලින් තේ කෝප්පය අතට ගත්තාය එය දෙස බැලු පසු එහි ඉතිරිය දැක මේ කෝප්පය දී තියෙන්නේ කුමකටදැයි වටහා ගත්තාය. විස්මයයෙන් ඔහු දෙස බැලුවාය. ඒ දෙස නොබලා පවන් අහක බලාගෙන සිටියේය. ආසාවෙන් සිනාමුසුව ඉතිරි අඩ බිවාය.
මේ කිසිවක් ගැන සවුමි අහිතක් හිතන්නේ නැත. ඇයට තවදුරටත් ඔහු කුඩා කොල්ලාමය. අහිතක් නැති බැදිමකින් පිරුණු කුඩා පවන් මිස හැගිම් වලින් දැවෙන වැඩුණු පිරිමියෙකු ලෙස නොදැනෙන්නේ ය. වැරැද්ද එතැන ය. සවුමි පවන් දෙස බැලු ඇස ම වැරදි එකකි. එයින් ඇතිවු අනවබෝධය තත්වය තවත් සංකීර්ණ කරනු ලැබිය.
OLIVE -22
🌿 OLIVE — Episode 22 අහම්බ නගරයේ දිලෙන නියොන් එළි ඔහුගේ විඩාබර ඇස් වලට එරෙහිව නැගී සිටියේය. ඔසඳ වාඩිවි සිටියේ බැල්කනියේ බිමය. ඔහුට මේ තර...
-
This content has not been published, as it is reserved for an upcoming book.
-
This content has not been published, as it is reserved for an upcoming book.





