කවුරුහරි එනකම් ඉන්න දවස්
කෝපිහල දැනුණේ අසම්පුර්ණවය. ඒහි කිසිම මේසයක් හිස් නැත. කිසිම තැනක නිශ්ශබ්දතාවයක් නැත. කවුරුන් හෝ කොතැන හෝ මුමුණති.හිනැහෙති. නැත්නම් හඩති. එහෙත් කුමක් හෝ කොතැන හෝ කවුරුන් හෝ නැතිවී ඇත.
“ ටු කැපුචිනෝස්” පවන් කියනු ඇසිණි. සවුමි හිස සෙළෙව්වාය. ඇය සිටියේ ඒ කැපුචිනෝ කෝපි දෙක සකසමිනි. ඇගේ ඇගිලි හැමදාමත් වගේ ඇගේ රාජකාරිය වෙනුවෙන් වෙහෙසෙමින් තිබිණි. බොහොමත්ම සංවේදීව සැලකිලිමත්ව ගෞරවයෙන් යුක්තව. නමුත් ඇගේ ඇස්, අර අඳුන් තැවරුන දිගු ඇහිපිය ඇති ඇහිබෝල
…. ඒවා වරින් වර දොරටුව කරා යොමුවීම වැළක්විය නොහැකිය.
පවන් විජේබණ්ඩාර, සිටියේ මේ ඇස් යන අහේතුක ගමන ගැන සැලකිල්ලෙන්ය. ඇත්තෙන්ම මේ වගක් දැනී ටික දවසක්ය. පවන් මේ දිනවල උවමනාවෙන්ම කෝපිහලට පැමිණෙන්නේද යම් වෙනසක් ගැන ඉගි දැනෙන හින්දාය. නැත්නම් පවන්‌ට විදේශගතව හිඳින අප්පච්චි අම්මා සහ අක්කා දෙන උපදෙස් කරන්නැයි කියනා වැඩ කන්ද ගැන හිතන්නටම දවස් ගණන් ගතවේ.
“ ඔයා කවුරු හරි එනකම් ඉන්නවද?” නිවුණු හඩකින් ඔහු ඇසුවේ එදා මේ මගබලා හිඳීම ඔ්නැවට වැඩියෙන් පෙනෙන්නට පටන් ගත් බැවිනි.
“ නැ..” ඇය ගැස්සෙන්නත් පිළිතුරු දෙන්නත් ගත්තේ අවම කාලයකි. කවදාකහරි පවන් ඇසුවොත් දෙනවා යැයි සුදානම් කරගත් පිළිතුරක් දෙන ආකාරයකිනි. කිසිම සිතාබැලිමක් අඩු ගණනේ ප්රශ්නය තේරුම් ගන්නට මිනිස් මොළයට ගතවන වෙලාවවත් ඇය අරගත්තේදැයි සැක සිතිණි.
ඔහු ඇයට කිසිවකට බල කළේ නැත. වෙනදාට වඩා දිගු තත්පරයක් ඇය දෙස නෙත් තියාගෙන උන්නේය. අහක බලාගත්තේය.
සතියක්ම ගෙවී ගොසිණි.
දින හතක්!
හැමදාමත් ආ කෙනෙකු උන් හිටි ගමන් නිශ්ශබ්දවී නැවිත් ඉන්නට කල් වැඩිය.
එකම වෙලාවක
එකම අසුනක
ඒකම නිහඩබවින්
සිටි කෙනෙකුට!
සවුමි කවුන්ටරය නැවතත් පිස දැමුවාය. නමුත් හිත පිසදැමුණේ නැත .කවුන්ටරයේ පිසදැමේන්නට කිසිවක් තිබුණේද නැත.
“ ඔයා හදන්නෙ පොලිෂ් එකම රිමුව් කරන්නද?” පවන් සිනාසෙමින් ඇසුවේය.
“ මං ආස ඒක ක්ලීන්වටම තියෙනව නම්”
“ ඒක නිසාම නෙමෙයි”
යුවතිය ගැස්සිණි.
ඔහු එසේ කියනවිට ඇය දෙස බලා සිටියේ නැත.
“ ඔයා දොර දිහා බලන්නෙ කවුරු හරි එයිද කියලා බලන්න වගේ..”
දෙදෙනා අතර අවකාශය වචන වලින් වියුක්ත විය. ඇය සිහින් සරින් සුසුමක් හෙලුවාය.
“ කෙනෙක් හිටියා, කිසි දෙයක් නොකියපු”
පවන්ගේ ඇගිලි එකිනෙක තදවිණි. ඔහු අතේවු කෝප්පය තදින් අල්ලා ගත්තේය. පපුවේ කෙළවර තැනක රිදුමක් ඇතිවිය. ඒහෙත් ඒ රිදුම ඔහුට අයිතිය. ඔහු කවදාහෝ කිරුළ පළඳින්නට නියමිත අධිරාජ්යය ඇයට අයිති නැතිය.
“ ඒ කෙනාට හේතුවක් තියෙන්න ඇති” ඔහු කීවේ මිනිස්සුන්ට එහෙම හේතු ඇති බවය. ඇය කියනා කෙනා කවුරුන් උනත් මේ මොහොතේ පවන් ද හේතුවක් ඇතිව නිශ්ශබ්ද වු මිනිසෙක්ය.
“ මුලු සතියක්ම නෑවිත් ඉන්න?”
ඇය සිය හිත ඔහුට විවර කරන්නීය. ඒසේනම් හේතුව තියෙන්නෙ මෙතැනය.
තරහක් නැතිව,
පැමිණිල්ලකින් තොරව,
ඇය මේ කියන්නේ වෙනදා ඇයට දැනුණු දවසේ සමබරතාව සතියක් තිස්සේම බිඳි ඇති බවය.
පවන් ඒ වතාවේ ඇය දෙස තීව්ර බැල්මකින් බැලුවේය.
“ කතා කරන්න ඔ්නෙද එයාට?”
සවුමි මොහොතකට අයිස් කන්දක්සේ ගල් ගැසුණාය.
“ මං ගාව ඒ කෙනාගේ නම්බර් එක නෑ…”
එසේ මුමුණා, ආපසු හිස යාන්තම් ඔසවා පවන් දෙස බැලුවාය.
“ තිබුණත් මම කෝල් කරන එකක් නෑ!”
“ ඇයි?”
ඇය කොපුල් බිමට හරවා ගත්තාය. ඇගේ හඩ බාල විය.
“ කෙල්ලෙක් එහෙම කරන්නෝන නෑ”
පවන් තර්ක කරන්නට ගියේ නැත. ඇය කිව්වාට වඩා දෙයක් ඔහු තේරුම් ගෙන තිබිණි.
ඔහු තුල කොහේ හෝ තැනක ,
නොතේරෙන හැඟීමක කුහුඹු කොටසක් සෙළවී නිහඩවිය.
“සමහර දේවල්…. ඒ විදියටම තියෙන්න දුන්නාම ලේසි” ඇය ඇගේ අදහසට ආයෙමත් ඒ වාක්යය එකතු කර තිබුවාය.
පවන් හිස සෙළවේවේ ඒ අදහසට ඔහු සම්පුර්ණයෙන්ම එකගවු නිසාම නොවේ. ඒ ගෞරවාන්විත වාක්යයක් නිසාමය.
“ ඔයා හැමවෙලාවෙම හිතන්නේ ඒ විදියටද?” ඔහු ඇසුවේ මෘදුවය. ඇයට පිළිතුරු නොදෙන්නට නොහිතෙන විදියටය. ඇය හිස ඔසවා බැලුවාය.
“ එහෙම හිතනෙක ලේසි”
ඇගේ ඇස්වල ඒ මොහොතේ කිසිවක් තිබුණි. එය වේදනාව නොවේ. බිය ද නොවේ. සහමුලින්ම එය වගකීම්සහගත බවය.
“ මගේ අතිනුත් අත්වැරදීම් වෙන්න පුලුවන්.. හැබැයි මේ දේ සම්බන්දයෙන් නම් කොහෙත්ම වෙන්න බෑ”
පවන් ඇය දෙස දුගි මොහොතක් බලා සිටියේය. ඉන්පසු වචන අමතක වේ යැයි සිති වගේ උවමනාවට වඩා ඉක්මණින් “ කෙනෙක්ට ආදරේ කරනවා කියන්නෙ අත්වැරැද්දක් නෙමෙයි” කීවේය. ඒ වචන මොහොතක් දෙදෙනා අතර රැඳීණි. සවුමි කිසිවක් නොකීවාය. ඇය එය දැන සිටියේ නැත. නමුත් ඇගේ නිශ්ශබ්දතාවය උවමනාවටත් වඩා කතා කළේය.
පවන් ලා සිනහවක් සිය දෙතොලතර තවරා ගත්තේය.
එය බිඳුණු සිනමවක් හෝ නොබිඳුණු සිනහවක් නොවීය. නිකම් අනුමත කිරීමක් පමණය.
“ දුක් වෙන්න එපා..” පියවරක් ආපස්සට ගෙන ආපසුත් ඇය දෙස බැලුවේය.” ඒක ඔයාට කරදරයක් වෙන්න මං කීයටවත් ඉඩ තියන්නෙ නෑ” ඇය ඔහු දෙස බැලුවේ සිනාවක් ඇති ඇස් වලිනි. ඇත්තෙන්ම පවන් මේ ඇස් වලින් සිනහා වෙන සවුමි ගැන හරි ආදරෙන් බලා හිඳින්නේය.
“ ඔයා කිව්වට එහෙම මාව බලාගන්න ඔයාට බෑ” ඇය කීවාය. අන්න ඒ අවිශ්වාසය පවන්ගේ සිත බින්දේය. කොයිතරම් එක්ව හැදුනත් වැඩුණත් ඇය වෙනුවෙන් තමන් ඉනන්නවාය කියන විශ්වාසය ඇගේ හිතේ ගොඩනගා ගන්නට නොහැකි වීම පවන්‌ට මදිකමකි.
තව කොහේ හෝ තැනක
නන්නාඳුනන පළාතක කුඩා ගෙදරක ජනේලයකින් නිලට නිල්ල ගහණ කඳු රැල්ලක් දෙස බලාගත් මිනිසෙක් තමන් මේ ලෝකයට කොයිතරම් ආගන්තුකදැයි සිතමින් බලා උන්නේය.
වෙනස් එළිතිත්ය.
වෙනස් ශබ්ද ය..
එහෙත් ඔහු බලාපොරොත්තු වෙන හදවතට නම් එකම දුරමය.
ඔහු සිය අතෙහි දුරකතනයක් තබාගෙන සිටියේය. එහෙත් එය ක්රියාවිරහිතය. හෙතෙම සිටියේ කිසිදු වැඩක් නොකර ඔහේ බලාගත් අත බලා ඉන්නා කාලයකය. එහෙත් කිසිම කිසිවක් ගැන නොහිතා මේ ගෙවෙන කාලයේදී අනාරාධිතවම ඔහුගේ හිතට පැමිණෙන එක මතකයකි. ඒ ඇයය.
ඇය කතා කරන හැටි, ඇය දෙයකට උත්තර දෙන්නට පෙරාතුව මොහොතක් නිහඩව කල්පනා කරන හැටි … කිසිම ආකරයකින් ඔහුගේබැල්ම හෝ නිශ්ශබ්දතාවයත් ඇය ගණනකට නොගන්නා හැටි මේ සියල්ල ඔහුට මතකයට නැගෙයි.
ඔහු සුසුමක් හෙළුවේය. ඇය නිකමටවත් කතා කරන්නට උත්සාහ කළෝතින් ඇය දන්නා එකම එක අංකයවත් මේ මොහොත වෙනවිට තියෙන්නේ ක්රියා විරහිතවය.
“ මේක අනවශ්ය බරක්… ‘ ඔහු තමන්ටම කියා ගනිමින් සිටින්නේය. මුලින්ම මේ සියල්ල ආරම්භ වන්නේ එක් තැනකිනි. ඔහු එතැනට යනවා පමණකි. ඒ තැනදී ඒ තැන නිසා ඔහු ඇයව දකින්නේය. අවසානයට එය රුටින් එකක් බවට පත්විණි. කිසිම හඳුන්වාදීමක් නැති ඉඳගෙන හිඳීමකින් කෙළවර විණි.
ඒත් දැන්, ඔහු ඒ දෛනික සිදුවිම් වලින් සම්පුර්ණයෙන්ම අයින් වී සිටියදී දැන් ඒ සියල්ල ආයෙ ආයෙත් හිතට වදදෙන හැටි… ඔහු ආයෙ සිය දුරකතනය අතට ගත්තේය. ඒ ටෙක් කම්පැණියට අදාළ දුරකතන අංකයය. සවුමි දැනසිටි අංකයයි. ඇය නිකමටවත් එකම එක කෙටි පණිවුඩයක්වත් එවා තියෙනවාදැයි දැනගැනීහම මෙහි අරමුණ වේය. ඒත් මේ දුරකතනය ක්රියාත්මක කිරීම කොයිතරම් භයානකද කියාත් හෙතෙම දැන නොසිටියාද නොවේ. කිසිම කිසිවක් ඇගෙන් නොලැබෙන බවද දැන නොසියිවා නොවේ. මේ අසරණ උත්සාහය තමන්්ටම ඒ වග අගවා ගැනීමට දැරු එකකි. යළි්දු ඒ දුරකතනයද අගුලු වැටිණි. ක්රියා විරහිත විණි. සිය හකුපාඩා එකිනෙක තද කරගත් තරුණයා කල්පනාවෙන් කම්පනය වී සිටියේය.
ඔහු ඇයට ඇමතුවේ නැත. කෙටි පණිවුඩ යැව්වේද නැත. ආපහු කොළඹ ගොස් ඇය බලන්නට සිතුවේත් නැත. ඒ කිසිවක්ම නැතත්, ඇය ගැන සීතීම අත්හළේද නැත. අන්න එය අලුත් දෙයක් විය. මෙතෙක් කාලයක් ගැහැනු සම්බන්ධයෙක් ඔහු කටයුතු කළ විදිය ගැන හිතුවාම ඇය ගැන සිතීම අත්හළේ නැහැයි කීම අලුත්ම දෙයක් විය.
Café 66th — දෙ සතියකට පස්සේ
පවන් සවුමි හා කෝපිහලේ රැදෙන්නට තීරණය කරගත් දිනකි. ඔහු වරින් වර සවුමිට උදව් කරමිනුත් සෙනග අඩු වෙලාවල ලැප්ටොප් ඒකෙන් ඔහුගේ කාර්යාල වැඩ වලට සම්බන්ද වමෙිනුත් ඔහු කාලය ගෙවා දැමුවේය. කෝපිහලේ ඉදිරි දොර විවර වන විට එහි එල්ලා ඇිති සීනුව නාද වෙන නිසා කවුරුන් හෝ පැමිණෙන බවට සළකුණු වෙයි. සවුමි ඉවෙන් මෙන් බැලුවාය. එක් තත්පරයකට ඇයට හුස්ම තමන් අතැර ගියාසේ දැනුණේය. ඔසඳ ඇය ඉදිරියේ හිටගෙන සිටියේ හොඳ පුරුදු කාරයෙකු විදියටය.
ලැප්ටොප් නැත
බෑගයක් නැත
ඔහු පමණක්ය.
ඔලිව් කොළ පැහැ ටී ශර්ටයක්ය.
සරලය.
සිතුවේවත් නැති අහම්බයක් ලෙසය.
නමුත් දුටු ඇසිල්ලෙන් ඇගේ අවදානය දිනා ගනිමින්ය.
පවන් සවුමි ගේ මුහුණ බැලුවේය. යමක් වටහා ගන්නටය. ඇගේ දෙකම්මුල් උන්හිටිගමන් නළියන්නට පටන් ගත් ආකාරය ඔහුට වෙනසක් ජනනය කරන ලදී. ඇගේ සියුම් වෙනස ඔ්නැවට වැඩියෙන් මවාගත් එකක් නොවේ. නමුත් ඉන් ඇයව සහමුලින්ම ආලෝකමත් වු බව පෙනිණි. ඇය වචනයක් වත් කියන්නට පෙර ඔහු කිසිවක් තේරුම් ගත්තේය. එනිසාම මේ අමුත්තා ව වඩාත් කියවා ගන්නට හැකි ඉසව්වක හිඳ ගත්තේය.
ඔසද පවන් ගැන හෝ අනික් අය ගැන අවධානයක්් යොමු නොකළ බවක් පෙනිණි.
“ ඔයා ආපහු ඇවිත්!” ඇයට ඇය තුළවු විශ්මයත් ආලෝකයත් සගවා ගැනීම පහසු වුයේ නැත. ඇගේ හඩ චාම් වු අතර ඉන් සතුට ඉහවහෙ යැම වලක්වා ගැනිමට ඇය උත්සාහ කළ බව පෙනිණි.
ඔසඳ සිනාසෙමින් කවුන්ටරය අසලටම ආවේය. ඇගේ ඇස් වලින් ඒ ඇස් අල්ලා ගන්නා ලදී . එකිනෙකා තුළ නතර විණි.
“ මං ටිකක් ඈත හිටියේ” ඔහු කිව්වේය. එය බොහොම සරල පිළිතුරකි. නමුත් මුළු තත්වයම සමනය කළ හැකි බවක් ඒ උත්තරය තුළ ගැබ්වී තිබිණි. සවුමි හිස සොලවමින් “ මං ඒහෙම හිතුවා” කියා කීවාය. දෙදෙනා අතර ඉසියුම් නිශ්ශබ්දතාවයකි.
ඊළඟට, සවුමි බොහෝ හිතවත් හඩකින් ඔහුට කතා කළාය.
“ ඔයා මුලු සති දෙකක්ම ආවේ නැද්ද කොහෙදෝ”
ඔසද වහා ඇයගේ වචන වල තැවරුණු ඔහු වෙනුවෙන් පවතින ආකර්ශණිය හැඟීම තේරුම් ගත්තේය
“ ඒකනෙ. වැඩ තිබුණා. “
නිශ්ශබ්දතාවයකි. නමුත් කිසිම හිස්කමක් නැත.
“ ඔයා හොඳින් ඉන්නවා නේ?” ඇය ඇසුවේ මෘදුවය. ඒ වචන නම් ඔසඳට වෙනස් ම තෙත හැඟීමක් ඔහු කෙරෙහි ඇතිකළ අතර ඒ ගැන මහ ලෝබකමක් ඇතිවිම වලකා ලනු නොහැකි විය.
“ ඔව්… දැන් .. හොඳයි” ඔහු වෙනදාට වඩා උවමනාවෙන් සහ සැලකිල්ලෙන් ඇය දෙස බලා කීවේය. ඇය ඒ බැල්ම දරාගත් නමුත් ඊට සැණෙන් ප්රතිචාර දැක්වුයේ නැත. නමුත් ඇය තුළ තටු ගසන සතුටු කන්දක් ඇයටද පෙර කිසිවක් ඇගවීය.
පවන් මේ සියල්ල බලාගෙන සිටි අතර , ඒ නිසාත් සවුමි මඳ පමණකට අසරණව සිටියා යැයි ඔහුට සිතිණි. ඔවුන් දෙදෙනාට අවකාශයක් හදා දෙන්නට ඔහුට සිතුණේ ඒ නිසාවෙන්මය. එය පහසු නොවු නමුත් ඔහු එය කළ යුතුව තිබිණි. ඔහු සෙමෙන් කෝපිහලෙන් එළියට බැස්සේය.
“ මොනාද බොන්නෙ?” ඇය ඇසුවාය. ඔසඳ කෝපි පිලිබද විස්තර පෙන්වන බෝඩ් එක දෙස බැලුවේය. ඒ ඇස් එක් පේළියක් ගාවින් නතරවිණි. නිරි්ක්ෂණ බැල්මකට ඇස් සැරසිණි.
ඔlive Brew — Recipe 66
ඔහු ඇය දෙස හොඳින් බැලුවේය.
මේ මොකක්දැයි ඇසුවේය. මඳ කලබලයකුත් ඒ ඇස් වල තිබිණි. ඒ මෙතෙක් නොතිබු ඒ මොහොතේ ඉපදුණු කලබලයකි.
සවුමි බොහෝ ස්වභාවිකව සිනාසුණාය. “ ඒක අලුත්…” මොහොතක නැවතීමකි. කොහොමටත් ඇය එක දිගට කතා කරන්නේ නැත. ඔසඳට හැමදාමත් දැනුණු ඇය ගේ කතාව අතර මැද විරාමය ඇය මේ මොහොතේදිත් අරගත්තාය. “ ඒත් ඇත්තටම ඒක අලුත්මත් නෑ”
ඔහු ඇයට කතා කරන්නට ඉඩදී ඇය දෙස බලා උන්නාය.
“ ඒක අපිම හොයා ගත්ත එකක්, ඇත්තටම අපේ මම්මාගේ දෙයක්”
මේ කතාව අතරේදී ඔසඳගේ ඇස් එක මොහොතකටවත් ඇගේ මුහුණෙන් මිදුණේ නැත.
“ ඒක ෆැමිලි හෙයර්ලුම් එකක්…”
ඒ වචන නිකමට ගිලිහුණාම නොවේ.
“ ම්ම් ඒහෙනම් මං ඒකක් ට්රයි කරන්නම් ..අද..” ඔසඳ කියද්දී සවුමි හිස සෙළෙව්වාය. මේ කෝපි බඳුන සවුමි සකස් කරන්නේ අන් කවර බීමක් හදනවාටද වඩා ප්රීතියෙනි. ප්රීතියෙන් කියන්නේ ඔද වැඩී ගිය සිතිණි. ඇගෙන් ඒ සජීවී ගතිය විදහා පෙනිණි. මේ සියල්ල දෙස පවන් බලා සිටියේ බොහෝ නිශ්ශබ්දවය.
ඔහුට ඇය කීවේ මේ කෙනා බව දැනගන්න අලුත් තහවුරුවක් අවශ්ය වුයේ නැහැ.. ඔහු හොඳටම සියල්ල තේරුම් ගනිමින් සිටියේය. සවුමි ඔසඳ ඉදිරියේ කෝපිබඳුන තැබුවේය.
“ඔලිව් බෘ” ඇය කීවේ සිනාමුසුව ය. ඔහු මුලින් කෝපි කෝප්පය දෙස බැලුවේය. ඊළඟට ඇය දෙස බැලුවේය. ඇය යළිත් ඔහු දෙස බලා “ ඔයාට ආපහු එන්න සෑහෙන කාලයක් ගත වුණා” ඒ වචනත් ඇය කෝපි කෝප්පයටම එක් කළා මෙන් ඔසඳට දැනිණි. ඔහුගේ හැඟීම් ප්රකාශනය ඒ හැටි වෙනස් වුයේ නැත.
ඒ්ත් නොවැලැක්විය හේතුමත ඒ හඩ වෙනස් වී ගියේය. ඒත් නොඇගවෙන තරම් සියුම්වටය.
“ මං ආපහු ආවනේ …. කොහොම හරි”
එපමණකි. ඒ දෙදෙනා අතරේ කතාව! ඒත් ඒ ප්රභල වචන කිහිපයත් නිශ්ශබ්දතාවයත් බොහෝ දේ කතා කළේය. සවුමි ඔහුගේ කතා කරන බැල්මට වශීවී වගේ මොහොතක් සිටි අතර පසුව වෙනත් කෙනෙකු කෙරෙහි අවධානය යොමු කළාය. ඇගේ තොලේ මන්දස්මිතයකි. ජීවිතයේ පළමු වතාවට ඇය මේ මන්දස්මිතය සඟවා ගන්න උත්සාහ කරන විදිය මේ සියල්ල බලා සිටි පවන්ගේ ඇස් වලට මනාව හසුවිය. කෙටි සුසුමක් තමන්ටම දනවා ගනිමින් පවන් විජේබණ්ඩාර කැෆේ 66ත් වෙතින් ඉවත් වුයේය. ඇත්තෙනම් එය එතැනින් ඉවත් වීමකට වඩා තමන් වෙනුවෙන් යම් වෙලාවක් සොයා ගැනීමට උත්සාහ කිරිමකි.
කැෆේ 66ත් ඇතුළත , කිසියම් වෙනසක් සිදු වෙමින් තිබිණි. වචන වලින් නොවේ. හරියටම විස්තර කළ හැකි දෙයක්ද නොවේ. නමුත් යථාර්තවාදීව! මේ කුඩා නිශ්ශබ්ද අවකාශය තුළ හදවත් තුනක් ම අතරට , ආදරය ඝෝෂා කරමින් නොආවේය. එය බොහෝ සෙමින් ඇතුළු වෙමින් තමන්ගේ තැන ගොඩ නඟා ගනිමින් තිබිණි. ඒ වගේම එය එළවා දැමිය හැකි නොවේය. හරියට, ආදරය පැමිණියේ එයට තෝරා ගැනීමක් තිබුණාට වඩා පළවා හැරීමක් කළ නොහැකි ආකාරයටය.
පවන් නික්ම යන දෙස සවුමි බලාගෙන සිටි ආකාරය ඔසදට තරමක පටලැවි්ල්ලක් ඉතිරි කළේය. ඔහු එදා හිඳ ගත්තේද වෙනදා හිද ගන්නා තැන නොවේ. සවුමි ඔහු අසලට ගියේ ඔලිව් බෘ එකේ තත්වය කොහොමදැයි අසන්නටද හිතාගෙනය.
“ අද ඉදගන්න තැන වෙනස් වෙලා”
“ ඔයාට නොට් වුණා නේද ඒක?”
“ හ්ම්”
“ ඔයා කොහොමත් නෝට් කරනවා වැඩි නේ”
සවුමි සිනාසෙමින් ඔහු අසල හිටගත්තාම, ඔසඳ යුවතියට හිඳගැනිමට ආරාධනා කළාය. ඇය හාත්පස බලා එතැන හිඳ ගත්තාය. දැන් දෙන්නා දෙපසටවී මුහුණු දෙස බලා ඉන්නා වෙලාව යි.
“ කවුද ඒ එලිය ට ගියෙ”ඔසඳ ඇසුවේ මුලින්ම හිතේ තියනා ගැටලුකාරී තත්වය ලිහා ගැනීමටය.
“ ඒ කැෆේ එකේ ඔ්නර්”
ඔසඳ මඳක් පසුපසට වුයේය. “ නෑහ්?”
“ ඔව්… ඇයි?”
“ අවුල් වගේ ද අපි මෙහෙම කතා කරනෙක ඔයාගෙ ඩියුටි වෙලාවනේ මේක?”
“ ම්ම්ම්… දැනට නම් ඒක අවුලක් නෑ….”
“ දිගටම මෙහෙම වුනොත් අවුලක් වෙයිද?” ඔසඳ ඇගේ ඇස් දෙක අල්ලා ගෙනම ඇසුවේය. යුවතියගේ කම්මුල් වලට ලේ පුරා ආවේය.
“ මං කියන්නෙ ඒක ගැළපෙන්නෙ නෑ වගේ නම්, අපි මෙහෙම කතා කර කර ඉන්න පුලුවන් වෙන තැනක් හොයා ගමු” ඔහු කියද්දී ඇගේ හිත ඇතුළ නොගැඹුරු මුහුදක්ව කැළඹෙමින් තිබිණි. “ කැෆේ එකේ ඔ්පන් වෙලාවෙදි මට ඉතින් වෙන කොහෙවත් යන්න ත් බෑනෙ” සවුමි කීවේ සිනාවෙමිනි. ඔසඳ ඇගේ වචනයෙහි ඇති කැමැත්ත මැනවි්න් තේරුම් ගත්තේය.
ඔලිව් බෘ කෝප්පය අතට ගත් තරුණයා සිය දෙතොල් කෝප්පයේ කෙළවරින් තැබුවේය. සවුමි ගේ හිත ගැහෙන්නට පටන් ගත්තේය. මින්පෙර කිහිප දෙනෙකු මේ කෝපි කෝප්පය රස වින්දේය. වරදක් කියා ද නැත. ඔවුහු යම් වෙනස් රසයන්ට ප්රියකළ අය බව පෙනිනි. ඇය දන්නා ආකාරයට ඔලිව් කමිස කාරයා එහෙම විවිධ රස අංකුර පිහිටි කෙනෙකුව සිටියේ නැත.
“ හොඳයිද?” සවුමි ඇසුවේ බලාපොරොත්තු පිරි ඇස් වලිනි. ඔසඳ ඇත්තෙන්ම එහි රසයට කැමති වුවේ නැත. නමුත් ඇගේ මුහුණ බලාගෙන එහෙම කියන්නේ කොහොමද?
“ ඒක මං කලින් බොන්න පුරුදු වෙලා හිටිය විදියෙ කෝපි එකක් නම් නෙමෙයි” ඔහු නැවත එය බිව්වේය. ඒ රසවිදිමත් සමග යම් කිසිවක් තහවුරු වුනා වැනිය. එය මොහොතක රස මායාවක් නොවේ. මතක හිටින ලෙස දැනෙන රසකි.
“ ඒක දැනෙනවා … ටිකක් වෙලා ගියාට පස්සේ” සවුමි සිනාසුණාය. සතුටින් සිනාසුණාය. “ මේකෙ මොකක් හරි අඩුපාඩුවක් නිසාද ඒකෙ රස දැනෙන්න පරක්කු වෙලා තියෙන්නෙ?” ඔහු ඇසුවාය.
“ ඒක අවුරුදු පනහකට වඩා පරණ රෙසිපි එකක්.. සමහරවිට රෙසිපි එකේ මොකක් ම හරි අවුලක් තියෙනවා වෙන්නත් පුලුවන්”
“ කාගෙ කියලද කිව්වෙ රෙසිපි එක?” ඔසඳ ඇසුවේය. යුවතිය හිස මඳක් ඇළකරගෙන බලා උන්නාය. ඒ ඉරියව්ව ආදරේ ඇතිවෙමින් සිටින කොල්ලෙකුට ඔ්නැවට වඩා බලපැම් කරන විදියේ එකකි.
“ පවන් ගේ ආච්චි අම්මා ගෙ” යුවතිය වහා නිවැරදි කළාය. ඇය තවම මේ නන්නාඳුනන්නාට තමන් ගේ පසුබිම කියන්නට සුදානම් නැත.
‘ ආ… ඒ පවන්ගේ ආච්චි අම්මාද?” ඇය හිස සැලුවාය. සවුමි සෙමෙන් සෙමෙන් සම්බන්ධතාවකට එළඹීමේ සංකීර්ණත්වයට ළඟාවෙමින් හිඳිනීය. මෙතුවක් කාලයකට ඇය සමීප ඇසුරකට කෙනෙකු හා හාද නොවන්නේ ඇගේ පෞද්ගලික ජීවිතය පිලිබඳව කුමක් හරියටම කිවයුතුදැයි ඇය නොදන්නා හින්දාය.
“ ඔයා කොහෙද ඉතින් අතුරුදහන් වෙලා හිටියේ?” ඔසඳ ඇගේනෙත් ඒ ප්රශ්නය නිසාහෝ මගෑරියේ නැත. මුව අගකට වන්නට දෙතොල ඇද කළේය.
“ කොළඹින් පිටට ගියා”
“ පොඩි බ්රේක් එකක් ගත්තා”යළි වචන එකතු කළේය.
“ ඔයා ඔයා ගැන කතා කරන්න කැමති නෑ නේද?” සවුමි අසද්දී ඔසද සිනාසුණේය.
“ අනික් අය දැනගන්න ඔිනෙ ප්රමාණෙට වඩා විස්තර මම දැනගන්න තියන්නෙ නෑ”
“ ඒකත් ඔයාම තීරණය කරනවා”
සවුමි තමන්ටම වගේ කියා ගත්තාය. ඔසඳ සවුමි දෙස විනිවිදින සුලු බැල්මකින් බැලුවේය. ඒ බැල්ම කොයිතරම් සැර එකක් වුණාද කියනවා නම් යුවතිය ඇකිළි ගියාය.
“ අහන්න ගෑනු ළමයා, මං වැඩිය විවෘත මිනිහෙක් නෙමෙයි.. ඒක ඔයා තේරුම් අරන් ඉන්නෙක හොදයි.”
“ නෑ නෑ ඒක මට ප්රශ්නයක් නෙමෙයි” ඇය වහා කීවත් ඇගේ හිත අභ්යන්තරය සසැළෙයි.
“ නැහ්.. මං දන්නවා.. මම කවුද කියලා ඔයා දැනගෙන ඉන්න ඔිනෙ. ඔයාගෙ කොෆිශොප් එකේ ඔ්න වුණත් ඔයාගෙන් ඇහුවොත් මම කවුද මොනව කරන කෙනෙක්ද කියලා ඇත්තටම ඔයා ට දෙන්න උත්තරයක් නෑ නේද? ඒ හින්දා මම ඔයාට මං ගැන කියනවා”
සවුමි සැනසුම් සුසුමක් හෙළුවාය. පවන් කොයි මොහොතක හෝ ඒ ගැන විමසනු නියතයකි. ඒ ඔිපාදුප දැනගැනිමේ රිසියෙන් නොවේ. සවුමිව ආරක්ෂා කිරීම පවන් සතු වගකීමකැයි ඇත්තෙන්ම ඇයද දැන සිටිනා බැවිනි.
“මගේ නම ඔසඳ.. ඔසඳ ලක්ඛිත වික්රමගේ. මම ඉපදුණෙ කොළඹ නෙමෙයි. ඒත් මට උගන්නන්න ඔිනෙ නිසා මගේ අම්මයි තාත්තයි කුලියාපිටියෙ අපේ ඉඩකඩම් විකුණලා මාලඹේ පැත්තට ආවා. පදිංචියට. ඉතින් එයාලා බලාපොරොත්තු වෙච්ච විදියටම මං හොඳට ඉගෙන ගත්තා. මට මේ ඒහා පැත්තෙ කැම්පස් එකෙ කම්පියුටින් ස්කුල් එකෙ ඩිග්රි එකක් තියනවා. එතකොට මම පිටරට කම්පනි එකක ඔන්ලයින් වැඩ කරනවා.. දැනට මං කොළඹ නතර වෙලා ඉන්නෙ.ඒක මගෙ වැඩ වලට ලේසි නිසා.”
මේ කතාව සරල එකකි. මෙහි කිසිතැනෙක බොරු නැත. ඔහුගේ පසුබිම පිලිබඳ හොඳ චිත්රයක් ගොඩ නගා ගැනීමේ හැකියාවක් මේ හරහා ඇතිවෙයි. සවුමි ඔහු දෙස බලා උන්නාය.
“ හ්ම්… මම දැනට මේ කැෆේ එකේ අය දීපු අකමඩේශන් එකක නතර වෙලා ඉන්නෙ. මගෙ අම්මයි තාත්තයි දෙන්නාම නෑ,.” යුවතිය කීවේ එපමණකි. එතැනින් එහාට කියන්නට ගමක නමක් ඇයට නැත. කිසිම නෑදෑයෙකු ගැන ඇය දන්නේ නැත. “ ඇත්තටම කිව්වොත් මම , මට ම කියලා කාත් කවුරුවත් ඉන්න කෙනෙක් නෙමෙයි”
ඔසඳ ගැස්සී ගියේය. ඇය බැලු බැල්මට ඇගේ පෙනුමේ කිසිම අසරණ ගතියක් දැනෙන්නේ නැත. මේ කොළඹ ගෙන්දගම් පොළවට නුසුදුසු බවක් පෙනෙන්නේද නැත. මේසය දිගේ ඇති ඇගේ අත ඔහුගේ දිගටි ඇගිලි දිග හැර අල්ලා ගන්නා තරමට ඔහුගේ හදවත මෘදු කළේ ඇගේ මේ වචන පේළියයි.
“ අපි හැමෝම මේ ලෝකෙට තනියෙන් ආව මිනිස්සු.. අප ට ජීවත් වෙන්න. තීරණ ගන්න , සිද්ධ වෙන්නෙ තනියම… ඒ හින්දා තමන්ටම කියලා කවුරු හරි කෙනෙක් ඉන්න මිනිස්සු වාසනාවන්තයි.. හැබැයි එහෙමයි කියලා අපෙ ජීවිත වලට ඒ මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් වෙන්නෙ ත් එක සිමාවකට විතරයි”
ඔසඳ කියද්දී සවුමි සුසුමක් හෙළා ඔහු දෙස බලා උන්නාය.
“ මං හිතන්නෙ මං දැන් යන්න ඔිනෙ. ඔයා දැන් මාව දන්නවා. මගෙ ෆෝන් නම්බ එකත් දන්නවා.”
සවුමි හිස සැලුවාය. මේ අතර පවන් කෝපිහලට ගොඩ වුවේය. ඔහු සවුමි සහ ඔසද හිඳගෙන සිටි මේසය පසු කරද්දී මඳ සිනාවක්ද ඔසඳ වෙනුවෙන් වෙන් කළේය. ඒ සිනහව තුළ ඇති වේදනාව ඔසඳ දැන සිටියේ නැත. පවන් ගේ කඩවසම් පෙනුමත් ප්රසන්න සිනාවත් ඔසඳ තුල යම් පටලැවිල්ලක් ඇති කල බව නොකියා කොහොමද? මේ වාගේ කොල්ලෙකු පේන පෙන් හැමතැනකම හිඳිද්දී සවුමි තමන් තුල මොන මොන අඩුපාඩු දකින්නට පුලුවන්ද කියා යටිසිතෙහි සිතුවිල්ලක් ඇතිවිය.
ඔසඳ කෝපිහලෙන් පිටත් වද්දී පවන්ගේ වාහනයද ඉන් පිටත නවත්වා තිබෙනු දැකිය හැකි විය. මේ වාගේ අධිමිලැති අවකාශයක කෝපිහලක් පවත්වාගෙන යනවා කියන්නේ ඒ සැලකියයුතු වත්කම් සමුහයකගේ හිමිකමක් ඇති පුද්ගලයෙකුට කළ හැකි දෙයක් පමණකි. එය ප්රායෝගික කාරණාවක්ය. ඔහු සුසුමක්ද හෙළුවේය. අත්පත් කරගන්නට නොහිතුණු ගැහැනු සහ මේ යුවතියගේ ගැහැනු හැඩය ගැන සන්සන්දය කළයුතු නැත. ඒ වුනත් මේ වතාවේ ඔහු සහමුලින්ම සිරවී තිබේ.
ඇය ආදරයේ ප්රතිමුර්තිය හෝ කවි සහ කතාන්දර වල ජීවත් වන්නා වු මනෝමුලික ගැහැනිය නොවනු ඇත. එහෙම ගැහැනු මේ ලෝකයේ දැන් ජීවත් නොවෙති. එහෙත් ඇය මේ ෆැන්ටසිය මුලික කරගත් සමාජයෙන් මඳක් හෝ වෙනස් ඇතැයි ඔහුට සිතේ. දැන් ඇය තමන් පිලිබඳ කතාව සැකෙවින් ඔහුට පහදා ඇත. ඇගේ ජීවිතයට කෙනෙකු ඇතුළත් වුවහොත් ඔහු ඇගේ මුලු ලෝකයම වනු නොඅනුමානය.

No comments:
Post a Comment