05
ජීවිතය තිත්ත කලු කෝපියකින් එහාට…
කැෆේ සික්ස්ටි සික්ස්ත්, කෝපි කඩයේ ඉන්නා කොපි හදන බෙදන කෙල්ල ගැන ට වඩා ඔසද සැලකිලිමත් වුයේ එය පිහිටි තැන සහ වටපිටාව ගැනය. ඇත්තෙන්ම තමන් තුල වෙසෙන පිරිමි ආත්මයට උවමනා ගැහැනු හැඩය පිලිබඳ මෙතෙක් තමන් වත් සිතා නොමැති බව සිතද්දී මුව අගකින් සිනාවක් නැගෙන්නේ නිතැතින්ය.
අලු පැහැ කමිසයත් ඒ උඩින් පැලඳි දුඹුරු පැහැ ඒප්‍රන් එකත් ඒ මතින් පැහැපත් ගෙළ දිගේ උඩට එන ඇස් දෙකකට ඇගේ නිකටත් ඊට මත්තෙන් වන කුඩා එහෙත් පිරුණු දෙතොලත් ඇගේ කතා කරන දෑසත් හමුවීම වැළැක්වීමට නොහැකිය. ඔසද වාගේ පිරිමින් ගෙු පිරිමි ඇස් රැදෙන්නේ ඒ ළමැදේ හෝ දෙතොලේ නොවේ. ඒ දෑස තුලය.
ගැහැනු උවමනා නම් උන් සොයා ගන්නා ආකාරය සහ සොයාගත් ගැහැනු සමග ගණුදෙනු කරන විදිය ගැන අවබෝධයක් කොහොමත් ඔහුට තිබේ. එබැවින් ඔසද අදටද ආදරයෙන් පෙළෙන මිනිහෙකු නොවේ. ඔහු ආදරය වින්ද ම්නිහෙකු පමණ කි. යමක් විඳ අවසන් වු පසු කිසිවිටෙකත් ඒ ගැන හිත හිතා විනෝද වීමක් හෝ පසුතැවීමක් ඔහුගේ ජිවිතය තුල තිබි නැත.
කෙසේ වෙතත් ඔසඳ නැවතී සිටි මහල් ගණනාවකින් යුක්ත සුපිරි මහල් නිවාස සංකිර්ණයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක නිලධාරින්ට සිනාසී ඇවිද ගියේය. සාමානයයෙන් මේ වෙලාවට සිය ලැප්ටොප් බෑගයද කරේ ලා ගෙන ඩෙනිම් කලිසමකට කලු හෝ ඔලිව් කොළ පැහැයට හුරු, හෝ සමාන වර්ණයකින් යුක්ත උඩුකය වැස්මක් ඇඳගෙන පිටතට යන තරුණයා ඔවුන්ට හුරු කෙනෙකි. මහල් නිවාසයේ නිවෙස් අයිතිකරුවන් බොහොමයක් විසින් මේ නිවෙස් කුලී පදනම මත ලබා දී ඇති බැවින් ඒවායේ වෙසෙන සෑම නිවැසියෙකු ගේම තොරතුරු ආරක්ෂක අංශය විසින් දැනුවත් නැත. ඔවුන්ට ඒවා පිලිබඳ වැඩි උවමනාවක් ඇති බවක්ද නොපෙනෙයි. කෙසේ වෙතත් ඔසඳ මෙහි පදිංචියට පැමිණඒ තරම් කාලයක් නැත. ඔහුට මෙතැන වඩාත් පහසු තැනක් ලෙස ඔහු සලකන්නේය.
සවුමි ට මේද ඇගේ ජීවිතයේ සාමාන්‍ය උදෑසනකි. ඇය දනිහෙන් මඳක් යටට දිග බෝරිච්චි අත් දැමු තනි කෝපි පාටැති ගවුමක් ඇඳ සිය අඩුම කුඩුම සහිත බෑගයත් එල්ලා ගෙන මගදී මිළට ගත් මලුත් රැගෙන කැෆේ 66ත් වෙත පියනගා තිබිණි. නිශ්ශබ්ද උදෑසනකි. කිසිවෙකුට කිසිවකට කරදර නොකරන ගතියක් සහිත විශේෂතා රහිත උදඋසනකි එය.
කැෆේ සික්සිටි සික්ස්ත් දොරටුව තවදුරටත් වසා දමා තිබි නමුත් එහි ඇතුළත හැම දෙයක්ම ඇහැරී පැවතිණි. කෝපි මැශින් මෘදුව සෙළවෙමින් පැවතිණි. සවුමි විසින් කෝපි හලට කැඳවා ගෙන එන ලද මල් වීදුරු බඳුන් වල විවේකයෙන් බලා සිටියහ. කුඩා වීදුරු අතරින් ගලාගෙන එන අරුණෝද හිරු කිරණ හෙමි හෙමින් ලී මේස මත කෙමෙන් කෙමෙන් තැවරෙනු ද දැකිය හැකි විය. ඒ සෑම තැනකදීම හමුවෙනුයේ සවුමි සඳමල සමරසිංහ නමින් උප්පැන්න සහතිකයක් අයිති යුවතියකි. කැෆේ 66ත් අයිතිය ඇගේ නොවෙන බව සැබෑවක් වුණත්, එහි පැවැත්ම සම්පුර්ණයෙන් නිර්ණය වී තිබුණේ ඇය හින්දාමය. ඇගේ ජීවිතය තුල ඇගේම යැයි කිවහැකිව තිබුණේ අල්පයක් භෞතික දේ ය . එතැන පවුලක් නැත. ඇයට ආපහු යා හැකි අතීතයක් ද නැත.
විජේබණ්ඩාරවරු, ඔවුන් ඇයට හැමදේම ලබා දුන් අයවළුන්ය. හිසට සෙවණක්, කුසට අහරක් .. කෙනෙකුට ජීවිතයකට අවශ්‍ය හැමදේම ඔවුන් විසින් ඇයට ලබා දී ඇත. ඉතින් ඇය එයින් එහා ලෝකයක් සොයා ද නැත. ඇගේ පුංචි ලෝකයට එළිය වැටුණේ ග්‍රේස් විජේබණ්ඩාර ගෙනි. ඒ මව්වත් මැතිණිය තමන් කෙරෙහි වු දිස්නය සවුමි වෙතට පරාවර්තනය කළාය.
සවුමි සිය අතෙහිවු සුදුපාට ක්‍රිශාන්තමම් මල දෙස බැලුවාය. ඒ මල ග්‍රේස් මම්මා ගේ පැහැය ට සමාන යැයි ඇයට හිතේ. කරුණාවන්තකම, මනුශ්‍යයෙකු වේශයෙන් මෙමිහිකත මත ඉපදේ නම් ඒ ඇය විය යුතුමය. ඉතාම මෘදු සුසුමක් ඇගේ තොල් අතරින් නික්මිණි. “ මං ඒගොල්ලන්ව සතුටින් තියන්නෝන “ ඒ හැඟීම සවුමි තුළ ඉපදී වර්ෂ ගණනාවකි. එය ඇයට කිසිදා කරදරකාරී වගකීමක් නොවීය. නමුත්, එය නිශ්ශබ්ද, ඉතා ඉසියුම් පොරොන්දුවකි. කිසිදා වචන නොවු , පොරොන්දුවකි. ඇය වීදුරු බඳුන තුළ ප්‍රවේශමෙන් මල රැඳෙව්වාය.
දොරටුවෙන් පිටත කොළඹ ඇහැරී ඇත. එය තැනින් තැනින් වේගයෙන් සෙලවෙන , තැනින් තැන සෙමෙන් සෙළවෙන තවත් තැනක කිසිවක් සිදුනොවෙන තරමට නිශ්චල නගරයකි. කැෆේ 66ත්, ඇතුළත යුවතියක් සිය දුඹුරු පැහැ ඒප්‍රනය පැළඳ බලාපොරොත්තු පොදි දල්වා ගෙන බලා සිටියාය.
ඇය ට යම් නිශ්චික කෙනෙකු එතැයි බලාපොරොත්තු නැත. අමුතුවෙන් කිසිවක් සිදුවෙතැයි කියා හැඟීමක්ද නැත. නමුත්, තවමත් ඇය දල්වා ගත් කුඩා බලාපොරොත්තුවකි. ඒ සතුටු මලක් පිපෙනතෙක්… ඇය කිසිදා නොදුටු , කිසිදා නොදැනුණු , අමුතු සතුටු මලක් තමන් වෙනුවෙන් පිපෙතැයි ඇයට බලාපොරොත්තු රේණුවක් තමන් තුළ සෙළවෙනු දැනෙන්නේය. එවැනි ආශ්චර්යයන් පැමිණෙන්නේ සැණකෙළි සරයෙන්, බෙර වයා පෙරහැර සමඟ නටමින් නොවේ.
දොර විවර වුණි. හරි කෙළින් ඇගේ කවුන්ටරයේ අනික් පස හැරී උන් ඇය වහ වහා ආපස්සට හැරුණේ සිය පළපුරුදු සිනහවත් සමඟීනි. “ ගුඩ් මෝනින්” ඇය සිය හුරුපුරුදු සුභපැතුම පෑවාය. නමුත් ඒ ස්වරය වෙනදා නරම් වෘත්තිමය නොවුණේ ඊට මෘදු බවක් එක්ව තිබු නිසාවෙනි.
ඔසඳ, මොහොතකට නතර වුවේය. තමන් ඇතුළතින් සිලිං ගා වීදුරුවක් බිදෙනු ඇසිණි. ඒ හඩට ප්‍රතිචාර ලෙස වහා දෙපා නැවතී වචන ගලා ඒම තත්පරෙන් සියයකින් පමණ එකකට නතර විය.
“මෝනින්” ඊළඟට ය. ඔහු සෙමෙන් පෙරදින හිඳගත් මෙසය කරාම ඇවිද ගියේය. සන්සුන්ව ය. බොහෝ ප්‍රවේශමෙන් මැනගත් පියවර වලිනි. ඔහු සිය අවකාශය තීරණය කර එය මෙතැන තමා වෙනුවෙන් ගොඩ නගා ගන්නා ස්වභාවයක් දකින්නට හැකි විය. පෙර දා වගේ නොවේ.
“ flat white එකක් … විතවුට් sugar”
සවුමි ඔහු දෙස සුපරික්ෂාකාරි බැල්මක් බැලුවාය. කෙල්ලකට කොල්ලෙක් දෙස සාමාන්‍ය බැල්මක් බලද්දීම එය කොහොමටත් සුපරික්ෂාකාරී එකකි. ඇගේ බැල්මෙන් විද්‍යමාන වු විදියට නම් එය සාමාන්‍ය කෝපි ප්‍රේමියෙකු දෙස බලන බැල්මකුත් නොවේ. අනිත් අතට ඇය දන්නේ හඳුන්නන්නේ නැති කෙනෙකු දෙස බලන විදියේ බැල්මකුත් නොවේය.
ඇය තමා දෙස බලා සිනාසෙනු දුටු තරුණයා ද පිළිතුරු ලෙස සිනාසුණේය. නමුත්, ඔහු නොදන්නවාට මේ ඇගේ වෘත්තිමය වහයෙන් පුරුදු සිනහව නම් නොවන්නේය. එහි ආචාරශීලී බව අඩුය. ඇය දහස් වරක් කැඩපතට සිනාවී පුරුදු කරගත් සිනහව නොවේ. කෙටියෙන්ම කියනවා ඇය මායාමය ඇගිලි සහිත වින්ටේජ් යුවතිය නොවේ. මේ සිනහව මොහොතකට , නතරවී … පරිස්සමෙන් සියුම්ව කියවා ගැනීමට ඉඩ දෙමින් පෑ එකකි. මතක තියා ගන්න… හැම යුවතියකටම මෙවැනි සිනහවක් තිබේ. එය පිරිනැමෙන්නේ වෙනස් මිනිස්සුන්ටමය.
ඉතින් මේ සිනහවෙන් මේ තත්පරයේ පිදුම් ලද තරුණයා, ගල් වුණේය. ඔහු එය කියවා ගත නොහැකිව අතරමං වුයේය. ඇත්තටම කියනවා නම් සිදුවුයේ එයමය. නමුත් ඇතුළාන්තයේ කිසිවක් සිදුවිය. තරුණයා මෙතුවක් කාලයක් තිස්සේ තමන් තුළ නොතිබු හැඟීම් කලාපයකට පා තැබුවේය. එය හදිසියේ ම විවෘත වීමකි. ඔහුගේ හදවතට ලා ඒළියක් ඉහිණි. එය කිසිසේත්ම සමීප නොවු එකකි. එමෙන්ම හැම දේම පාලනය කළ හැකිව පවතින කෙනෙකුට වුවත් පාලනයෙන් බැහැර හැඟීමකි.
ඔහු කිසිසේත්ම ඒ වගක් පෙන්වන්නට උත්සාහ කළේ නැත.. කිසිසේත්ම නැත. නමුත් එක තත්පරයක ලැප්ටොප් බෑගයේ පටිය ඒ් ඇගිලි වලට තදින් සිරවිණි. ඉතින් ඒ දෙපා පුරුදු තැන තෙක් එසැවිණි. පුරුදු මේසය ළඟ පුරුදු ආසනයටම! ක්‍රියාවලිය සාමාන්‍යය. ඒ වාගේම ආරක්ෂිතය. නමුත්, දැනෙන යමක් වෙනස් වී තිබිණි.
සවුමි, ට පුදුම සිතුණේ ඔහු කිසිවක්ම නොපවසා මේසය මත ලැප්ටොප් එක දිගහැර ගැනීම නිසාමය. ටික වේලාවකින් සවුමි ඇගේ සිතට දැනුණු හිතුවක්කාරකම කරන්නට පෙළඹුණාය. සමහර ගෑනු හිත් වල යටපත්ව පවතින හිතුවක්කාරකම් බොහෝ මිහිරිය. ඉතින් මේත් ඒ වාගේ මොහොතකි. ඇය ඔහු අබියසට ගියේ ඔහු ඇණවුම් නොකළ කෝපි බඳුන ද සමගිනි.
“ ඔයා ආයෙ ඇවිත් නේද?” කෝපි බඳුන ප්‍රවේශම් සහගතව ඔහු ඉදිරියේ තබමින් ඇය කීවේ නෙමෙනි. ප්‍රශ්නයක් ලෙසින්ම නොවේ. ඇයට ඊට පිළිතුරු කුමකටද? ඔහු මේ ඇය ඉදිරියේ ජීවමානව පෙනී සිටින්නේ ඔහු ආයෙමත් ඇවිදින් සිටින නිසාම නේද?ඒ වාගේමයි, ඒ අවස්ථාවේ අහම්බයකින් සිදුවු ආශ්චර්යයක් ඉටු වුණා වගේ හැසිරීමකුත් ඇය ඉදිරියේ තිබුණේ ම නැත. එහෙම පිටින්ම එහි වුයේ ස්තුතිවන්තවීමක හැඟීමකි.
ඔසද හිස ඔසවා බැලුවේය.
“ ඒ වගෙ” කීවේ එපමණකි. එහෙත් ඒ ඇස් නම් පෙර දිනයට වඩා ඇය මත නැවතී තිබිණි. ප්‍රවේශම් සහගතව මෙන්ම කාල වේලාව මැන කී දෙයකි. ඒ ඔහුගේ ඇසට ඒ වන විටත් යම් වෙනසක සේයාවක් දැනෙමින් තිබු නිසාමය. ඇය හැසිරුණේ තවදුරටත් අමුත්තකු හා හැසිරෙන පරිද්දෙන් නොව දන්නා හඳුනන කෙනෙකු හා කතාබස් කරන ලීලාවකිනි. අන්න ඒක… මේ මොහොතේ ඔහුට අනාරක්ෂිතය.
ඔහු කෝපි උගුරක් බීවේය. ඒ රසය තමන්ගේ ඉඳුරන් ට දැනෙන්නට ඉඩ දුන්නේය.
“රසයි” ඔහු කීවේ සෙමිනි. සවුමි සෙමෙන් හිස සෙලෙව්වාය.
“ flat white නේ...මේක එදා බීපු එක නෙමෙයි. "
" ඔයාත් එදා හිටිය කෙනාම නෙමෙයි ”
වචන ගලා ආවේ නතර කරගන්නටම බැරි වේගයකිනි. නිශ්ශබ්දතාව සන්නිවේදනයේ යෙදෙද්දි එය විග්‍රහ කරගැනිම වඩාත් අසීරුය. එය මේ මොහොතේද ී සැහැල්ලු නමුත් තවදුරටත් හිස් නැත. යුවතිය ඔහු කී දේ සම්පුර්ණයෙන් තේරුම් ගත්තේ නැත. එහතේ ප්‍රශ්න නගන්නට උත්සාහ කළේ ද නැත. ඒ වෙනුවට ඇයට අමතක වීමෙන් පෑ හැගීම්බර සිනහව ඔහුට පෑවාය. මේ වතාවේ නම් එය වඩාත් නරක අතට හැරී තිබුණි. ඒ ඔහු මේ වතාවේ ඒ සිනහව ඔහුට දැනුණු බැවිනි. හැමදෙයක්ම නිරීක්ෂණය කරන ඇසට නිරීක්ෂණයක් ලෙස නොවේ. හැම දෙයක්ම විශ්ලේශණය කරන ඇසට විශ්ලේශණයක් ලෙස නොවේ. ඔහුගේ කිසිදු අනුමැතියකින් තොරව ඔහු වෙත පැමිණි මහා ආදරණීය හැඟීමක් ලෙසිනි. ඔහු අහක බලා ගත්තේය. ඔහු ලැප්ටොප් එක දෙස බලා ගත්තේය. නැවත පාලනයට නතු වුවේය.
මෙය කිසිම ක්‍රියාවලියක කොටසක් නොවීය. තුන්සිතකින් වත් සිතා සිටි දෙයකුත් නොවේ. නමුත් කිසියම් දිගු ක්‍රියාවලියක හෝ ක්‍රියාවලි කීපයක අතරමැද සිද්ධියක් වගේ කිසිම නිශ්චිත තාර්කික බවකින් තොර, කිසිදු හේතුප්‍රත්‍යකින් තොරව අනිච්චානුගතව සිදුවු දෙයකි. දිගු ජිවිත කාලයක, පළමු ම පළමු වතාවට එය එසේ සිදුවී තිබිණි. ඔසඳ එය තේරුම් ගන්න උත්සාහ කළේම නැත. එය තේරුම් ගන්න උත්සාහ කිරීම කාලය අපතේ යැවීමකැයි තරුණයා සිතුවා විය හැකිය.

No comments:
Post a Comment