Wednesday, April 22, 2026

OLIVE 09

 






OLIVE 09


ප්‍ර⁣ේමය හුදෙක් ප්‍ර⁣ේමයමය


එහෙත් පැරඩයිස් මන්ද්රයේ රාත්‍රින් කිසිවිටෙකත් නිදහස් හෝ නිශ්ශබ්ද නැත. එබැවින් බිම් මහලේ ඇගේ කාමරයට සවුමිටත් උඩු මහලේ තමන්ගේ කාමරය ට පවන් ටත් වෙන්ව යන්න ට සිදුවිය. 

පවන් ඇසු ප්‍රශ්නය ගැන සවුමි සිතන්න ට පටන් ගත්තේ කාමරයේ තනිවු මොහොතේය. 

“ ආදරේ කරලම නැද්ද කොල්ලෙක්ට?” 

රතු පාට වොලට්ටුවේ විවේක ගනිමින් සිටි කුඩා කලුපැහැති කාඩ් පත වම් අතට ගත්තාය. දකුණතින් සිය ජංගම දුරකතනයේ කැමරාව ඊට අමෝරාගෙන ස්කැන් කර බැලුවේ කිව්ආර් කේතයය. ඔසද කලින් වතාවේ එහි දිශාන.ිය වෙනස් කර තිබු බව කවුරුන් දන්නවාද? ගැහැනු ළමයා ඒ දිශානතිය ඔස්සේ ගමන් කරමින් සිටියාය. කිව්ආර් කේතයේ අවසානය දැක්වුනේ ටෙක් කම්පැනියක අංකයකිනි. මේ මොහොතේ ලැප්ටොප් තිරය ඉදිරිපස හිඳගෙන සිටි ඔසඳ ගේ දුරකතනය සිටි සිටි ගා සෙලවිණි. 

ඔහු සිය කලිසම් සාක්කුවේ වු දුරකතනය අතට ගෙන බැලුවේ විසිමහල් නිවාස සංකිර්ණයේ තමන්ට අයිති බැල්කනි කොටසේ හිඳගෙනය. මුව අග සිනාව කි. ඇය විසින් තමා දුන් කිව්ආර් කේතය විකේතනය කර ඇත. දැන් ඔහුගේ අනෙක් දුරකතන අංකය ඇය සතුව තිබේ.ඒ අංකය ඇය සතුව තිබීම ඔහුට ප්‍රශ්නයක් නොවේ. Ti

ඔසඳ ගේ කොපුල් සිනාවකට දෙපස ඇදී ඇත. කොයීයම් මොහොතේ හෝ ඇය ඔහුට මේ අංකයට ඇය මෙලොව පවතිනා බව කියන්නට මොකක් හෝ ඉගියක් දෙනු ඇත. ඒතෙක් බලා ඉන්නට  බැරි කමක් ඔහුට නැත. 

පැරඩයිස් හි කාමරයක, සිය කුඩා ඇඳෙහි වැතිර ගත් යුවතිය මේ අංකයට ඇමතුමක් දෙනවාද නැද්ද කියා කල්පනා කරමින් සිටියාය. ඇමතුමක් දුන්නා කියා තමන්ව අදුන්වා දෙන්නට ඇයට තමන් පිලිබදව කියන්න තියෙනා කතාව වන්නේ කුමක් ද? තුම්මුල්ලෙ ඔහු දෙදවසක් ආගිය කෝපි හලේ කෝපි හදන වින්ටේජ් කෙල්ල තමන් බවද? කෝල් කරන්නට යාමෙන් තමන්ගේ ගෞරවයට හානියක් වීම නිසැක ය. සවුමි ඒ අදහස අතැර දැමුවාය. කාඩ්පත නැවත වොලට්ටුවට දමා නිදන්නට සිතුවාය. 

පවන් ඩාරා සමග කතා කරමින් සිටියේය. එහෙත් අසම්පුර්ණ කිසිවක් කටුවක් මෙන් පපු ගැඹුරේ ඇනෙයි. පහතම මාලයේ කෙලවර කොරිඩෝවක අයිනේ කුඩා කාමරයක ඇය දැන් සුවසේ නිදා හිඳිනු ඇත. මෙතුවක් කාලයක් ගෙවී ඇතත් හිතේ එකවරම මේ ඇතිවෙන පෙරළිය ගැන පවන්ට තේරුම් ගැනීම අපහසුය. කාලයෙන් කාලයට පෙම්වතියන් මාරු කරමින් ඇසුරු කළත් විවාහයට සුදුසු තමන්ගේ දරුවන්ගේ අම්මා වීමට සුදුසු ගැහැනියක් තවම ඔහුගේ ජීවිතයට හමුවී නැත. ඒයට ඔ්නැතරම් කල් තියෙන බව පවන් නොදන්නවා ද නොවේ. එහෙත් හිටිහැටියේ පවන් ගේ සිත තුලට මේ උදේ සවස රැ තුන්වේල නොවරදවා දකින කුඩා කාලේ සිට එකට උන් කෙල්ල ඇවිදින් කරන්නේ මහ දෙවනත් කිරීමකි. මෙහෙම ඇතිවෙන මේ හැඟීම කුමක්දැයි ඔහුට නොතේරීම මේ විඳින වදයට ප්‍රධානම හේතුවය..

පරිගණක එක්කම වැඩ කරන අවදිවෙන නිදියන තරුණයෙකුට ආදරය වගේ රෝමාන්තික බැඳීමකට වෙලාවක් තියෙනවාද? ඔසඳ ට වෙලාවක් වෙන් කර ගැනිමේ උවමනාවක් තිබුණේ ද නැත. ඊට වඩා ඔහු ඔහුගේ වැඩ සියල්ල කැෆේසික්ස්ටි සික්ස්ත් හිදී සම්පුර්ණ කර ගන්නටත් ඒ අතරේ ඔහුගේ ඇස් අස්සේ ගැටෙන ඇගේ රුවෙන් ඒකපාර්ශ්වික මිහිරියාවක් විඳින්නටත් පටන් ගෙන තිබේ. මේ හැමදේම අතරේ දැන් ඒ හිතටත් පපුකැනැත්තක් තුල පෙම් කිනිත්තක් සෙලවෙන්නට පටන් ගෙන වාගේය. 

තිරය මත පෙනී හිටින ඉලක්කම් ගොන්නක්ය. ඔහු බලා හිඳින්නේ ඔහුට අවශ්‍ය දත්ත තැනෙක සිට තව තැනෙකට ඇදීයන තුරුය. කොහේ හෝ තැනක සමාගමක් අතේ ඇති දත්ත සම්බන්ද පාලනය ඔහු තමන් සතු කරගනිමින් සිටින්නේ බුහුටි ලෙසිනි. ඒ අතරේ ඊට මනා ඒකාග්‍රතාවයක් අවශ්‍ය මොහොතෙත් ඔහුගේ සිත ව්‍යාකුල කරන්නට කෝපි හදන කෙල්ලට හැකිවී තිබේද? ඇය තමන්ගේ අංකය දැනගෙනත් හයි කියා පණිවුඩයක්වත් එවාවියි ඔහු බලා සිටින්නේය. මේ ව්‍යාකුලතාවයට හේතුව එයය. පළමුවෙනි දවසේම මතක හිටින්නට උවමනාම නිසා ඇයට කලුපැහැති කාඩ් පත පෑවද ඇය නොවේ ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ… 

දත්ත පද්ධතියක් බිඳදමා උවමනා වී ඇති ඇතුල්වීමේ අවසරය ලබා ගත්තායින් පසු ඔහු මඳ විවේකයක් ගත්තේය. මේ වෙලාවේ ඇගේ අතින් හදන කෝපි කෝප්පයක් තිබුණානම් කොයිතරම් දෙයක්දැයි ඔහුට සිතුණි. පැන්ට්‍රි එක තෙක් ගොස් ඉලෙක්ට්‍රික් කේතලයට වතුර පුරවා එයට ප්ලග් එක ගසා ස්විචය ඔන් කර හෙතෙම යළි බැල්කනියට පිවිසුණේය. මේ කොළඹ කී දෙනකෙු සම්බන්ධ දත්තයන් තමා ලව්වා ඒවා වැදගත් පිරිස් අතට සංසරණය වෙනවාද? වැලමිට බැල්කනි බිත්තියට ඔබා ගෙන පහත නොනවත්වා ඇදෙන වාහන එළි දෙස ඔහු බලා සිටියේය. මේ හැම මිනිසෙකුටම වෙන වෙනම කතාන්දර තිබේ. ඉතින් ඇය දරාගෙන ඉන්නේ කුමන විදියේ කතාන්දරයක්ද? ඒ කුමන විදියේ කතාන්දරයක් වුණත් දැන් ඔහු සිටින්නේ ඒ ගැන කුතුහලයකිනි. 

සමහරවිට ඇයට පෙම්වතෙක් ඉන්නට පුලුවනි. ඒ නිසා ඇය තුල තිබෙන පාලනය නිසාම ඇය ඔහුට කතා නොකරන්නට තීරණය කර ඇතුවාට සැකයක් නැත.  දිගු සුසුමක් හෙළන අතරතුරේ ඔහු තේ කෝප්පයට තේ කොළ දමා පැහෙන උණුවතුර ඊට උඩින් වත් කළේය. කෝප්පය රැගෙන නැවත මේසය කරා ගියේය. දුරකතන තිරය මත දත්ත සම්පුර්ණයෙන්ම සංසරණය වී අවසන් බව අගවන පණිවුඩය ස්ථාන ගත වී ඇත. තොරතුරු සියල්ල ඩේටා ට්‍රැවලර් එකකට මාරු කරගත් තරුණයා පරිගණකට විවේකයක් දුන්නේය. 

මේ මොහොතේ අවසන් වරට දුරකතය අතට ගෙන පැය දෙක් ගෙවීත් නින්දක් නොමැතිව සිටින ගැහැනු ළමයා ඇදේ හිඳ ගත්තාය. මේ තරමට හිත වද වෙන්නේ කුමක් නිසාද ? මේ අංකයට පණිවුඩයක් නොතැබිමට තරම් තමන්ගේ මමත්වය වැඩි නිසාද? ඒ පණිවුඩය ඇත්තටම මේතරමටවැදගත් මන්දැයි ඇයට නොතේරෙයි. අනික දවසක් දෙකක් දැකි මිනිසෙකු ඉදිරියේ මෙතෙක් කාලයක් නොදැගලු තරම් මේ හිත නාඩගම් නටන්නේ ඇයි?

ඒ රාත්‍රියේ , පැරඩයිස් මන්දිරයේ තුන්වෙනි මහලේ කාමරයේ බැල්කනියක පවන් විජේබණ්ඩාර සුසුමක් හෙලුවේය. ඒ මන්දිරයේම පහතම මාලයේ මුලුගැන්වී හිඳිනා යුවතිය, සවුමි සඳමල සමරසිංහ නින්දත් නොනින්දත් අතරේ සැරිසැරුවාය. රාත්‍රිය හැමදෙනාටම එකසේ සලකන්නේ නැත. ඒ කොළඹම ටිකක් බොරැල්ල පැත්තට වෙන්නට ඇති විසිමහල් නිවාස සංකීර්ණයේ අහස තරම් උස මහලක බැල්කනියේ ඔසඳ ලක්කිත වික්‍රමගේ ද සිටියේ නොසන්සුන් සිතිනි. 

එකම කෝපි හලක, අහඹු හමුවීමකින් දෙදෙනෙකු පෙළුණෝය. උන්හිටිගමන් ප්‍රේමයක් වැනි කිසිවක් හිතෙහි ඉපිද හදට විතැන්වු තරුණයෙකු හුස්ම හිරවෙමින් සුසුම් ලමින් සිටියේය. ඒ මොහොතේ සිය ජංගම දුරකතන තිරයේ කවුරුන් දෝ පෝස්ට් කර තිබු ෆේස්බුක් සටහනක් සවුමි ගේ නෙතෙහි ගැටිණි. 

සියවස් ගත වී ගියද, කවදා කොතැනදී කෙලෙස අප යළි හමුඋනද ප්‍රේමය යනු ප්‍රේමයමය. - ගාබ්‍රියෙල් ගාශියා මාකේස්! 

මේ ප්‍රේමයට තමන්ගේ හිත මෙළෙක වන්න‌ේ මන්දැයි ඇයට නොවැටහෙයි. ඇගේ සිත සංකාවෙන් පෙළෙයි. හේතුවක් නැත. ප්‍රේමයක් ද නැත. ප්‍රේමයක් නැති කමම මේ කණගාටුවට හේතුවද? ඇයට නොතේරෙයි.. අම්මෙක් තාත්තෙක් ගේ ප්‍රේමයක් අත්විඳ නැති, හිසට සෙවණ ක් තිබුණද ඒ සෙවණ තුල තමා පිටස්තරයෙකු බව හොඳින්ම දැන සිටි පවුලක් තුලම පවුලක් නැතිව වැඩුණු යුවතියකට පිරිමි හව්හරණක් ප්‍රේමයක් උවමනා වීම අරුමයක් නොවේ. අවසානයේ මේ අනම් මනම් හැඟීම් ගොන්න පෙරමං තැනුවේ මහ රාත්‍රිය මැද බොන්නට යමක් සොයා යන්නටය.

සවුමි මුලුතැන් ගේ දෙසට ගියාය. රත්නශීලා දැන් ගැඹුරු නින්දක ය. වතුර උණු වෙන්නට තියා කිරි තේ එකක් සාදා ගන්නට හදද්දී ඇසුණු පියවර හඩකින් මවිත වුවාය. හැරී බැලුවාය. නින්ද නැති මහ රැයේ පවන් පහලට බැස්සේ මේ පහත මාලයේ සවුමි නිදා හිඳින බැව් උපකල්පනය කරමින් උණුවට යමක් බොන්නට ඇති උවමනාව නිසාය. මෙන්න මෙතෙක් හිතේ කරදරය වු ඇයම, මෙතැන! ඔහුට ආපසු හැරෙන්නට සිතිණි. පවන් ගේ සිතේ කරදර ගැන කිසිත් නොදන්නා සවුමි, ඇය විමතියෙන් මෙන් පවන් දෙස බැලුවාය. 

“ නිදි නැද්ද”

“ නෑ මේ හීනෙන් මේ ඇවිදින්නෙ”

“ මේ වෙලාවෙ?”

“ කෝ රත්නශීලා නැන්දා නිදිද? මට තේකක් බොන්නෝන”

“ එයා නිදි… මං හදලා දෙන්නං”

“ ඔයාට බෑනෙ කිරි තේ හදන්න”

“ මං හදන කිරි තේක රහයි..බීලා බලන්නකො” 

සවුමි කියද්දී පවන් ඔහේ ඇය දෙස බලා සිටියේය. 

“ ඇත්තටම මොකද අවුලෙන් වගේ?” සවුමි ඇසුවේ පවන්ගේ ඒකිනෙක වෙලී තදට තදවී ඇති රෝස තොල් සිනාවකවත් නොඇරුණු බැවිනි. 

“ ඇයි මං අවුලෙන් වගේද පේන්නෙ”

“ හ්ම්.. ගතේ අුවුලක්ද හිතේ අවුලක්ද කියලා තේරුම් ගන්න බෑ”

“ ඔයා කවදාවත් මගේ හිතේ අවුල් තේරුම් ගන්න උත්සාහ කරලත් නෑනෙ”

සවුමි ගැස්සී වගේ පවන් දෙස බැලුවාය. පවන් වරින් වර බලන හැම බැල්මක් ගැනම සවුමි දැන සිටියාය. ඒත් මේ වතාවේ මේ බැල්ම නම් වෙනස් එකකි. එහි වේදනාවක් හැබැවටම ගෑවි තිබේ. 

“ බොන්න”

කිරි තේ දැමු කෝප්පයක් පවන් දෙසට පාමින් සවුමි කීවේ පවන් ඉදිරියේ ඇති පුටුවෙහි හිදගනිමිනි. 

“ හිතට කරදරයි තමයි” පවන් සෙමෙන් කීවේය. සවුමි මෘදු බැල්මකින් බැලුවාය. 

“ ඩාරා ගැනද ප්‍රශ්නෙ?” ඇය ඇසුවේ ඇයට දැනෙන හැගෙන අතට හසුවන මාතෘකාව ඩාරා ම බැවිනි. 

“ නැහැ, ආදරේ ගැන..” සවුමි තිගැස්මෙන් පවන් දෙස බැලුවාය.

“ ඩාරා ගැන නෙමෙයි නම් ආදරේ ගැන වෙන්නෙ කොහොමද?”

“ ආදරේ වෙනයි.. ගෑනු චරිත වෙනයි” 

“ මහ පුදුම කතාවක්නෙ”

“ පිරිමි එහෙමයි. ගෑනු ගොඩාක් ආශ්‍රය කරනවා වෙන්න පුලුවන්.හැබැයි එක ගෑනියෙක්ට ආදරෙයි…” 

“ දැන් ඒ ගෑනිද ඔයාගෙ ජීවිතේ ප්‍රශ්නෙ” 

“ මට නින්ද නැති වෙන එකට නම් ඒ ගෑනිත් වග කියන්නෝන තමයි” 

“අනේ මන්ද මට තේරෙන් නෑ පවන්.. ඇත්තටම ආදරේ කරනෙක ඒ තරමටම අමාරුයිද?”

“ ඇත්තටම ආදරේ කරනෙක අමාරුයි, ඒ ආදරේ දරාගෙන ඉන්නෙක හරි අමාරුයි..” 

පවන් කී‌වේ සවුමි දෙස බලාගෙනමය. 

“ මට එච්චර අමාරුවෙන් ආදරේ කරන්න බෑ කියලා හිතෙයි ,” 

“ ආදරේ හිතුනොත් එහෙම නැතිවෙයි. ඒ දරාගැනීමම සතුටක් වෙයි”

ඇය සුසුමක් හෙළුවාය. පවන් තේ කෝප්පය බී මේසය මතම තැබුවේය. ‍

“ දැන් නිදාගන්න… හෙට කොෆි ශෝප් එකත් අරින්නෙපැයි උදේම” 

පවන් නික්ම ගියේය. පාලුව ඉතිරි වුණේය.

No comments:

Post a Comment

OLIVE 08

  ප⁣්‍රේමය සියල්ල උසුලයි  පවන් විජේබණ්ඩාර යනු නොනවතින මිනිසෙකි. මිනිසුන් වෙනුවෙන්, හැඟීම් වෙනුවෙන් ඒ තියා තමන්ගේ ළඟින්ම හැමදාම හිඳි කෙනෙකු ව...