OLIVE 02
එය ටිකින් ටික සෙමෙන් සෙමෙන් කළුවර ආවරණය ඉවත් කිරීමක් වැනිය. බොහෝ සෙමින් , වැසී ගිය සැඟවුණු නිදිබර නගරයක් ඇහැ අරින්නට පටන් ගැනීමකි.
වාහන සහ සෙනග අඩුවෙන් සැරිසරන මේ නගරය කැමැත්තෙනි. එය බොහෝ නිශ්ශබ්ද බැවිනි. ඔහු නිශ්ශබ්දතාවයට අසීමාන්තිකව ප්‍රිය මිනිසෙකි. එහෙත් ඔහු මේ රන්වන් පැයට කැමති ඒ නිසාම පමණක්ද නොවේ.
බොහෝ මිනිසුන් මේ ගෙවෙන පැයට සිය අවංක අනන්‍යතාවය එකතු කරනා බැවිනි. අතිධාවනකාරි ජීවිතයට ඇතුලු වන්නට පෙර පාන්දර ව්‍යායම සඳහා පිවිසෙනුවස් මිනිසුන් පාරේ ඇවිදිද්දි.. තානාපති කාර්යාල වල වැඩ කරන දුත මෙහෙවරවල නියැලුන විදේශිකයින් ද මේ වෙලාවට පාරේ ඇවිද යති.
ඔසඳ ලක්ඛිත වික්‍රමගේ ඔහු කිසිදු කලබලයකින් තොරව ඇවිද ගියේ සිය ලැප්ටොප් බැගය කරෙහි ලා ගෙනය. එක් අතකින් ඔහු කරේ ලා ගෙන සිටි ලැප්ටොප් බැගය වාරු කරගෙන සිටි අතර අනික් අත තිබුණේ සාක්කුවේය. කලු පැහැති කැප් තොප්පිය මුහුණ කරා පහත්වී තිබුණේ සගවන්නටම නොවුණත් එයින් පිටස්තරයන්ට ඒ මුහුණ දැකීම යම්තරමකට පාලනය කිරීමක් කර තිබිණි.
ලොකු ගොඩනැගිලි වල වීදුරු බිත්ති පසුකර යද්දී ඉන් පෙනෙන සිය ප්‍රතිබිම්භය වැටී තිබිණි. ඉතින්, ඔහු නතරවී එදෙස බලා සීටියේ නැත. නමුත්, ඔහු තමන්ව සැලකිල්ලෙන් නැරඹුවේය. ඔහු සිය සමමිතික උරහිස් දෙස බලා සිටියේය. තමන් දෙස මිනිස්සුන් ගේ අවධානය කෙසේ දැයි සිතුවේය. ඔහු සියල්ල වැඩි වෙහෙසකින් තොරවම එවැනි බොහෝ දේ පිලිබඳව නාමාවලියක එකතු කරගත් මිනිහෙකි.
දැනටම ඔහු උවමනා තැනට පැමිණ ඇත. සිය දුරකතනයේ වු දිශානතිය පෙන්වන ඇප් එකෙන් ඇහැරුණ අතර මෙතෙක් ආ පියවර නැවතුණේ පටු දොරකොඩක් ඉදිරියේය.
ඉතා පටු කොරිඩෝවක් ඒ දොරින් එහා පසින් තිබිණි. දෙදෙනෙකුට එකවර මාරු විය නොහැකි තරමට කුඩාය එය. එහෙත් අරුමෝසම් කීසිත් නැත. අමුතුවෙන් අවධානය ලබා ගැනිමට විශේෂයෙන් කිසිත් සිදුකර නැත.
මේ කුඩා කෝපි කඩයට ඔහු පියමං කරන්නේ ඇයි?
අවකාශය විවෘත වුයේ නොසිතු පරිදි ය.
එය මහා පරිමාණ නැත.
නමුත් , එය ප්‍රමෝදාකරයක් මෙනි.
උදෑසන ලා ඉර එළිය ප්‍රවේසම් සහගතව තීරු තීරු වශයෙන් වැටී ගැටී ඉහිරෙනු පිණිස දුඹුරු පැහැ ලී මේස ස්ථානගත කර තිබිණි. අලුත් කුඩා මල්, මෝස්තරයක් වශයෙන් නොව විවේක ගන්වනු පිණිස කුඩා වීදුරු කෝපි ජෝගු වල බහා තිබි අයුරක් දිස් විණි. සුළඟ පවා, මේ කුඩා කෝපි කඩයට කිසි කරදරයක් කරන අරමුණක නැතැයි බැලු බැල්මට පෙනී යන්නේය.
ඔසඳ ලක්ඛිත වික්‍රමගේ, මේ සුන්දරත්වයෙන් තුශ්නිම්භුත වී සිටියේය. එය සම්පුර්ණයෙන්ම සිදු වෙමින් තිබුණේ ඔහුගේ අභ්‍යන්තරයේ වු අතර මතුපිටට කිසිසේත් නොපෙනුණි. ඔහු රහසේම මේ පරිසරය පිලිබද ආසාවකින් ඇලී ගියේය.
ඔහු අවකාශයත් අවකාශය ඔහුත් තේරුම් ගත්තාක් මෙනි.
ඔන්න ඊළඟට, ඇය සුලඟක් සේ ඇසේ හැපී නොහැපී නික්මිණි.
ඇත්තෙන්ම ඇය ඔහු දෙස බැලුවේ නැත. ඇදවී තිබු මේසයක් සකසමින් ක්‍රිම් පැහැ රෙදි කඩකින් මේසය පිස දමන්නට ඉදිරියට නැමුණාය. ඇය පුහුණු කළ සේවිකාවක් තරම් කඩිසර නැත. නුහුරුය. නමුත් ඇය ප්‍රායෝගිකව ඇයට මේවා පුරුදු ය.
මිනිසුන් සමහර වෙලාවට තමන්වම තේරුම් ගන්නේ ජීවිතයට එළඹෙන ඉතාම කුඩා සහ ඉසියුම් අවස්ථා වලිනි. ඉතින් ඔහු නරඹමින් සිටියේය. ඇය මල් බඳුනක් මේසයක් මත තිබු තැන වෙනස් කරන ආකාරය, මඳක් පසුපට පියවරක් තියා ඒ මල් බඳුන නිසි තැන තියෙනවාදකියා විපරම් කරන අයුරු , කිසිදු අනවශ්‍ය හදිස්සියකින් තොරව එදෙස ගෙළ ඇළ කරගෙන බලා සිටිනා අයුරු..
ඇය කිසිවිටෙකත් කිසිවෙකු ආකර්ශණය කරගන්නට උත්සාහ කරනා ගතියක් නොපෙනිණි. එවැනි ගැහැනු දුර්ලභ ය. ඔසඳට ගැහැනු පිලිබඳ ඇත්තේ පැහැදිලි නිර්වචනයකුත් නැත. ඒත් ගැහැනු හැම වෙලාවකම කවුරු හෝ පිරිමියෙකු තමන් වෙතට ආකර්ශණය කරගන්නට බලා හිඳිනවා වැනි පාරම්පරික පටු සම්ප්‍රදායික අදහසක් ඒ ආත්මයේ කොතැන හෝ වසක් විසක් සේ තැන්පත්ව තිබේ.
“Good morning, sir…” ඇගේ කටහඩ ඇගේ දෙනෙතට පෙර ඔහු වෙත ළඟා විය. මෘදුව සහ සමබරව මෙන්ම පැහැදිලිවය. අතිධාවනකාරි හෝ නොසැලකිලිමත් නැත.
ඔහු නොසැලිකිල්ලෙන් මෙන් නිකම් ම නිකම් “ මෝනින්” වචනයකින් පිළිතුරු දුන්නේම මෙතෙක් වෙලාවක් විපරම් කිරිම ගැන ඇයට කිසියම් සැකයක් වීනම් දුරු කරනු පිණිසය. ඔහු ඇය දෙස බැලුවේ හෝ නැත. ඇත්තෙන්ම ඇයට පෙනෙන ආකාරයෙන් ඔහු ඇය දෙස බලා නැත.
පළමු බැල්මෙන් බොහෝ දේ දේ වෙනස් වෙනවායි කීවාට, මෙහිදී පළමු බැල්ම පතිත වුයේ මුහුණු මත නොවේ. පළමු බැල්ම පතිත වුයේ හැසිරීම් රටා මතටයි.
“රෙස්ට් රුම් එක මට ටිකක් පාවිච්චි කරන්න පුලුවන් ද?” ඔහු විමසුවේය. ඇය එහි දිශානතිය පෙන්වුවේය. අමතක වෙන්නට වාගේ ගිය කෝපි ඇණවුම පසුව සිහිපත් වු ගමන්, “ ආ.. තව මට ස්ට්රෝන් කොෆී එකක් ඕනෙ විතවුට් සුගර්” කියා ගන්නටද හැකි විය.
ඇය කිසිදු සැකයකින් තොරව හිස වැනුවාය. ප්‍රශ්න රහිතව, අනවශ්‍ය වචන නොමැතිව. පහසුවෙන් ඔහුව විශ්වාස කළ වගක් , එහෙම නැත්නම් කිසිම වාදයක් තෝරානොගෙන නිශ්ශබ්ද වුවාය.
විවේක කාමරයේ කැඩපත ඉදිරියේ ඔහු තමන්ගේ ප්‍රතිබිම්භය දෙස බලා සිටියේය. හැඳ සිටින කලු ටී ශර්ටය, නොපෙනිය යුතු තැනකදී වුව වැඩි සැලකිල්ලක් අතපත් කර ගන්නේය.
ඉතා ප්‍රවේශම්සහගත ලෙස සුසුමක් හෙළු ඔහු සිය බෑගය තුළට අත දමා ඔලිව් ග්‍රින් ස්වෙටරයක් හැඳ ගත්තේය. එය වේගවත් ක්‍රියාවලියකි. කැපි පෙනෙන විවිධත්වයක් නැති බොහෝ සියුම් පරිවර්තනයකි. එසේ සිතා සිටියේ ඔහු පමණකි.
ඔහු නැවත කෝපි අවකාශය තුලට පිවිසෙද්දී ඔහුට එය දැනුණේ වෙනස්ව ය. සමහරවිට අවකාශයේ වු වෙනස්කමක් නොවේ. වෙනස්කම වුයේ තමන් තුල වගේ හැඟීමකි. ඔහු එහි වු මේස හතරෙන් කවුන්ටරය හොඳින් පෙනෙන, කවුලුවට වසං වන මේසයක් තෝරාගෙන හිඳගත්තේය. බිත්තියට ළඟ, කවුලුවෙන් දුර …
ලැප්ටොප් තිරය දිග හැරිණි. වැඩ වෙනුවෙන් නොවේ. යම් දුරස්ථ බවක් ගොඩනගා ගනු පිණිසය.
ඇය එක්වරම නැවත මතුවුයේ ප්‍රධාන දොරටුවෙනි. ඇගේ අතේ විවිධාකාර කඩදාසි මලු විය. තමන්ගේ ඇඳුම වෙනස්වු නිසාද මන්දා ඇය මුලින්ම සිනා නොවුණාය. නමුත් තීක්ෂණ බැල්මකින් බලා ගියාය.
“Strong coffee. Without sugar.” ඇය යුහුසුලුව ඔහුගේ කෝපි ඇණවුම පිරිනැමුවාය. ඔහු ඒ මුහුණ හොදින් බලා සිටියේය. ඇගේ දෙනෙත මතින් දේදුනු දෙබැමකි. දිගටි උජට නැමුණු දිගු ඇහි පෙඳී, මස්කාරා යාන්තම් ගල්වා ඇති බැවින් ඒවා දැකුම්කලුව දිලිසෙයි. ඒ මැද ඇහි බෝල මෙතෙක් ඔහු දැක ඇති ලස්සනම දිලිසෙන ඇස් බෝල ය. යට ඇහිරේඛාව අඳුන් කුරකින් ඇඳ ඇතුවාට සැක නැත. ලා කහ පැහැ කොපුල් ය. සීරුවට තවරා ඇති රෝස පැහැ බ්ලර්ශ් රේඛා දෙකකි. ලා රෝස පැහැති ලිප්ස්ටික් දෙතොලට එක් කර ඇත්තේ ස්වභාවික ලස්සනකි. ඇය සංකලනයකි.
ඒ ඇස් වල මායාවක් නැත. ඇත්තේ පැහැදිලිතාවයකි. අවධානය නොඉල්වයි. තේරුම් ගැනීම අනවශ්‍ය බව දන්වන තරමට අහංකාරයි. ඒ්ත් තවදුරටත් ඒ ඇස්වල ගිලෙන්නෙකු නන්නත්තාර කරවයි. ඔහු සෙමෙන් එහෙත් පිලිවෙලට ඒ ඇස් වලින් එළියට පැන ගත්තේය.
“ මේ තැන හොදයි.. හරි සන්සුන්” ඔහු වඩාත් සන්සුන් ස්වරයකින් මිමිණුවේය. ඇගේ මුහුණ මුලින් සරලව පසුව සංකීර්ණව වෙනස් විය. එවිට කෝපි කඩයට ඒ මොහොතේ පැමිණි අමුත්තන් දෙදෙනෙකු නිසාවෙනි. ඇය ඇගේ පාරිභෝගිකයින් දේවත්වයෙන් සලකන්නියකි. ඔ් වහා ඔසඳගෙන් මෑත්වී ඔවුන් කරා ගියාය. මේ පැමිණි මිනිසුන් තමන්ගේ ඇණවුම සුදානම් වෙනතුරු බලා හිඳිද්දීම, ඔහු තව විනාඩි ගණනකින් ඊලඟ හමුවිමට යා යුතු බව දන්වන ඊමේලයක් දුරකතනයට ආවේය.
නමුත් මේ උන්හිටි ගමන් ප්‍රාදුර්භුත වු මිනිසුන් දෙදෙනා ගැන ඔසඳ ට සැක සිතිණි. එබැවින් නැගිට පිටවී ගොස් මේ දෙදෙනා අසල නාට්‍යයක් නිර්මාණය කරන්නට උවමනා නැත. ඔවුන් විමසු ප්‍රශ්නය ද ඔසදට පැහැදිලිව ඇසිණි. ඇය තමන් අද පැමිණි කෙනෙකු බව කීවා නම් තත්වය කුමන අතට හැරේවිද කිව නොහැකිය. නමුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇය කීවේ හොද කතාවකි.
ඔහුගේ සිතේ ඇය පිලිබඳ පැහැදිමක් තටු ගසන්නට පටන් ගත් තැන ඒතැනය. ඉතින් පහසුවෙන් කෙනෙකුට සිය කාඩ්පත ලබා නොදෙන ඔහු සිය කාඩ්පතක්ද ඇයට පෑවේය. ඇය එය අතට ගෙන සිනාසුණාය. ප්‍රහේලිකාවක් වගෙද පේන්නේ ඔහු අසද්දී ඒ ඇස් මේ ඇස් ලුහුබඳිමින් සිටි අතර ඔයාට විසදන්න පුලුවන් වෙයි කිව්වාම ඇය මොකක් දෝ අහංකාර කමක් ලාවට තවරා ගෙන සිනාසුණාය.
මිනිස් ගණුදෙනු අවම , පරිගණක තිරයක් තුලින් ලෝකයේ සුදු පැහැයත් කලු පැහැයත් දකින තියුණු මිනිස් ඇස් දෙකක් ඇයව සියුම්ව නිරීක්ෂණය කරනවායි ඇයට වැටහුණේ නැත.. ඇත්තටම ඔහුට අහන්නට උවමනා ව තිබුණේ, ඔයා මං හැමදාම එන කෙනෙක් කියලා බොරු කිව්වෙ ඇයි කියන ප්‍රශ්නය ම නොවේ.
“ ඔයා මං හැමදාම එනවාට කැමතිද?” යන ප්‍රශ්නය ය. මිනිස් ආදරය ඇති වෙන්නට සියුම්ව හිත අවුස්සන ප්‍රශ්නයක් නැගීම හොදටම හොද බව ඔහුට ඒඅයි තාක්ෂණයෙන් අසා දැනගත හැකිවතිබේ.ඔහු මේ මොහොතේ ඒ කිසිවක්ම කරන්නට පෙළඹුණේ නැත. ඉතින් දැන් ඔහු කලු පැහැ දිගු කලිසමක් අලු පැහැ අත් කොට කමිසයක් ඇඳ දුඹුරු පැහැ ඒප්‍රනයක් පැලඳ සිටින මේ යුවතිය නිකමටවත් කාඩ්පත පසුපස ඇති කිව්ආර් කේතය ස්කැන් කර ඔහු ගොඩනැගු ඔහුගේ ලෝකයට ඇතුල් වේවිද?

No comments:
Post a Comment