Friday, May 22, 2026

OLIVE -22

 



🌿 OLIVE — Episode 22

අහම්බ 

නගරයේ දිලෙන නියොන් එළි ඔහුගේ විඩාබර ඇස් වලට එරෙහිව නැගී සිටියේය. ඔසඳ වාඩිවි සිටියේ බැල්කනියේ බිමය. ඔහුට මේ තරමක් විශාල නිවස දැනෙන්නේ කුඩාවටය. ඉග්ලු ගුහාවක් ලෙසය. පහල පාරේ ඇදෙන වාහන පවා තමන්ට එරෙහි වෙතැයි නැගෙන දරුණු පීඩනයක ඔහු සිරවී සිටියේය. 

තමන් සිරවී සිටින බිත්ති හතරන් එපිට ලෝකය තුල තමන්ගේ පාලනයෙන් බැහැර බොහෝ දේ සිදුවන බව ඔහු දැන සිටියේය. 

ප්‍රශ්න කිරීම් 

රහසිගත පරීක්ෂණ

කැෆේ සික්ස්ටිසික්ස්ත්හි සිසිටිවි කැමරා දෙස බලා සිටින ඇස් 

ඔහුට හිත හදාගන්නම බැරි තැන.. අර අහිංසක කෙල්ල සෞමි තමන් නිසා මේ ආගාධයට ඇද වැටීම ගැනය. සිය දෝතින්ම සිය කම්මුල් තෙරපා ගනිමින් සිටි ඔසඳගේ හුස්ම ගැනීම සාමාන්‍ය වුයේ නැත. තමන් තමන්ට උවමනා දත්ත හුවමාරු කර ගැනීම් වෙනුවෙන් කැෆේ එකට ගිය බව ඇත්තකි. ඒ්ත් කිසිම අරමුණක් නැතුවත් ඔහු එහි ගැවසුණේ ඇය දැකීමේ අරමුණින්ය. 

“ උඹ මොකක්ද බං ඒ කලේ?” ඔහු තමන්ගෙන්ම විමසා සිටියේය. ඔහුගේ ම කටහඩ පවා ඔහුටම ආගන්තුක විය. අවුරුදු ගණනාවක් තිස්සේම තමන් විසින් තමාවම ඉතා තතදින් පාලනය කරගත් මිනිසෙකි ඔලිව් කියන්නේ.. නියමිත ගණනය කිරීම් සහිත, ආරක්ෂිත ජීවිතයක ඔහු ජීවත් වුවේය. නමුත්, සෞමි ඔහුගේ ජීවිතයට නිශ්ශබ්ද පියවර තියා ආ ජීවියෙකි. අඩක් විවෘත කවුලුවකින් අනාරාධිවම ඉහෙන වැහිබින්දු ඔහේ කාමරයට වැටෙන ආකාරයෙනි. තමන්ගේ ජීවිතයට මේ තරම් විනාසකාරී ලෙස සෞමි ගේ පැමිණීම බලපෑමක් ඇති කරාවියි ඔහු කිසිසේත් සිතුවේ නැත.

දැන් ඇය සිටින්නේ කිසිසේත්ම ඇය විසින් නිර්මාණය කර නොගත් කුණාටුවක් මැද සිටගෙනය. “ ඒ කෙල්ල උඹව විශ්වාස කරගෙන හිටියෙ” ඔහු සිය හකුපාඩා තද කරගෙන තමන් ගැනම කේන්තියෙන් මැතිරීය. “ උඹට තිබුණෙ ඒ් කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න. උඹ ගෙ ඉරණම මොකක්ද කියනෙක උඹ හොඳටම දැනගෙනනෙ හිටියෙ” 

ඔහු සෙමෙන් මුලුතැන්ගේ වෙත ඇවිදගොස් තිබුණේද විශේෂයෙන් කිසිවක් කිරීමේ අරමුණින් නොවේ. ඇත්තෙන්ම ඒ වනවිට නිසි අරමුණක් නොමැති වීම නිසාම ඔහු අපාට්මන්ට් එක පුරාම එහෙමෙහේ නිනව්වක් නැතිවම ඇවිදිමින් සිටියේය. වරින් වර ඇතිවෙමින් තිබු සිතුවිලි වල කිසිදු ඒකාත්මික බවක් තිබුණේ නැත. එකකින් එකක් විනාස යන ගතියක් ඒවායේ පැවතියේ. කෙසේ වෙතත් ඉඳහිට එන සිතුවිල්ලක කෙළවර පවා සෞමි මේ දේ කලොත් තවත් අමාරුවේ වැටේවීයි හිතෙන සිතුවිල්ලකි. 

වසර ගණනාවක් ඔහුට ඇත්තෙන්ම බිය කියා යමක් දැනී තිබුණේ නැත. මේ වතාවේ සියලු තර්කයන්ට වඩා බිය ඉස්මතු විය. ඒ බිය දැනුණේ තමන් වෙනුවෙන් නොවේ.  සහමුලින්ම ඒ බිය ඇය වෙනුවෙන් දැනුණු එකකි. ඔහු සෙමෙන් මේසය අසල හිද ගත්තේය. ඔහු සෞමි ට බොහෝ දිනකට කලින් ඇගේ උපත් සහතිකයේ පින්තුරයක් එවන්නැයි කියා තිබිණි. ඇය ඒ දිනම එය එවාද තිබිණි.  ටිකක් වෙලා කල්පනා කරමින් සිටි ඔසඳ ලැප්ටොප් එකක ් ඉදිරියේ හිඳ ගත්තේය. නම් සමුහයක්. අත්හැර දමන ලද ලිපිගොනු, අරන් හදා ගැනීමේ වාර්තා… අවුරුදු ගණනාවක නිහඩ නිශ්ශබ්දතාවක ගිලී හිඳි කතාවක කොටස්… ඔහු ඔහේ පැය ගණනක් මේවා පරික්ෂා කළේය. සටහන් පොතක මේවා ලියා ගත්තේය. 

අවසානයට ඔහු සෞමි ගේ උප්පැන්න සහතිකයෙන් ලබා ගත් තොරතුරු අනුව ඇගේ මව්පියන් පිලිබද විස්තර සොයා ගනිමින් සිටියේය. සමහර විට මේ දැරිය කිසිවෙකුගේ උවමනාවට මේ ආකාරයෙන් තමන්ට අයිති නැති වහලක් යට ජීවත් වෙනවා විය හැකිය. මේ සෞමිගේ නීතිමය දෙමව්පියන්ය. ඔවුන් විසින් ඇයව හදාවඩා ගන්නට යෙදුණේ නැත. අඩුම තැමේ ඇයට මතක ඇති කාලයක කවදාවත්ම ඔවුන් දෙමව්පියන් වශයෙන් පෙනී සිටියේද නැත. ඔවුන් ඇත්තෙන්ම ඇගේ ජීව විද්‍යාත්මක මවිපියන් නම්.. 

එක් වරක් ඔහු දුරකතනය අතට ගත්තේය. සෞමි ගේ අංකය තෝරා ගත්තේය. එයට ඇමතුමක් ගන්නට ඇගිල්ල ගෙන ගොස් නැවත නතර කළේය. මේ ඇමතුම දැන්ම දියයුතු එකක් නොවේයැයි ඔහු කල්පනා කළේය. ඔහු මේ සොයන්නේ පිළිතුරු පමණකි. සෞමිගේ උප්පැන්න සහතිකය තවම තිරයේ දිස්වෙයි. 

අම්මෙකුගේ නමක්

තාත්තෙකුගේ නමක්

ලියාපදිංචි අංකයක්! මේ සියල්ලම තිබේ. මුලින් ඔහු මේ දෙදෙනා ගැන සෙවීම මෙතකින් අවසන් කරන්නට සිතුවේය. ඔහු ඔහුගේ පරිඝනක දත්ත සෙවීමේ විශේෂ අනීතික පද්ධති යොදාගනිමින් දිගින් දිගටම කරුණු සොයා ගියේය. ඔහු සමරසිංහ නමින් යුක්ත තොරතුරු මිලියන ගණනක් පරිශිලනය කළේය. අවසානයේ මේ දෙදෙනා දැන් ඉ්නා ලෝකයේ නිශ්චිත තැන සොයා ගත්තේය. එක්සත් රාජධානියේ, සාමාන්‍ය ජීවිතයක් ගෙවමින් ඔවුහු කල් ගෙවති. 

දෙදෙනාම එහි ජීවත් වෙති. 

කිසිවක් නොසඟවා, කිසි තැනකින් අතුරුදහන් නොවී

සාමාන්‍ය ජීවිතයක් ගෙවමින් ඔවුන් ජීවත් වෙති. 

ඔවුන්ගේ ජීවිතය සමාජ ජාලා වලටත් සාමාන්‍ය සමාජ ජීවිතයටත් එක වගේ සිටි අය බව පෙනෙන්නට තිබුණි. ඔසඳ නැවත නැවතත් දත්ත නිරික්ෂණ්‍ය කළේය. පවුලේ වාර්තා, සහ ඡායාරුප කෙමෙන් කෙමෙන් තිරය මත ට පැමිණෙන්නට විය. ළමයින් දෙදෙනෙක්, චුවෙක් සහ පුතෙක්.. ඔවුන්ගේ ඩතාම කුඩා කාලයේ ඡායාරුප.. ඔසඳ පුටුවට හේතුතු වී සුසුමක් හෙළුවේය. හදිසියේම කිසියම් තැනක වරදක් ඇති බව ඔහුගේ චිත්ත අභ්‍යන්තරයට දැනිණි. 

උපන් කාලයේ සිටම ඒ් දෙදෙනා සෞමිව හදාවඩා ගන්නවා නම් ඇය බිළිඳියක සන්දියේ ඔවුන් සමග සංචාරය කර තිබිය යුතුය. එහෙත් ඊට සම්බන්ධ කිසිම කිසිවක් පාස්පෝට් වාර්ත්වක්, යැපුම්කරුවන් සම්බන්ධ වාර්තා, කිසිම සංචාරක තොරතුරක් ඇය සම්බන්ධයෙන් කිසි තැනක නැත. ඔහු ඇස් හීනි කර බලා සිටියේය. බිලිඳිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැත. ඔහු ඔහුටම කියා ගත්තේ ඒ කියන්නේ ඒ බබා මෙයාලා එක්ක කොහෙටවත් ගිහින් නැහැ කියනෙකය. ඇය කොතැනක දී හෝ ඔවුන්ගෙන් මගහැරී ඇත 

ඔසඳ ඒ ගමන්ම සමරසිංහ ගේ පසුබිම පිලිබඳ විපරම් කරන්නට පටන් ගත්තේය. ඔහුගේ පැරණි රාජකාරි තොරතුරු වලින් සියල්ලම නොවුණත් කිහිපයක් සොයා ගත හැකි විය. ඔන්න ඊළඟට, ඔහුගේ රාජකාරි තොරතුරු අතුරෙන් මතුවුණේ 

විජේබණ්ඩාර ගෘප්

තනතුර- ජුනියර් එකවුන්ටන්

ලෙස මතුවිය. ඒ සේවාකාලය සලකා බලන විට අවුරුදු විසි ගණනකට එපිට කාලයක් දැක්විණි. දැන් ඔහුටත් මේ සම්බන්දය ගැන යම් යම් අදහස් මතු වෙයි. විජේබණ්ඩාර සමුහය සහ සමරසිංහ පිලිබද සම්බන්දය දැන් ක්‍රමයෙන් මතුවෙමින් තිබේ . මෙහි කිසිම උපකල්පනයක් හෝ අහඹූවක් අවශ්‍ය නොවේ. සමරසිංහ විදේශගත වීමට ප්‍රතම ඔවුන් ගේ පළමු දරුවා ලෙස ලියාපදිංචි වී ඇත්තේ සෞමි සඳමල සමරසිංහ ය. නමුත් ඔවුන් ඒ දරුවා හැර දමා විදේශගත වී ඇත.  

ඔසඳගේ හදවත ද දැන් වේගයෙන් ගැහේ. ඒ නිසාම ඔහු ඊලගට තීරණය කළේ . කෙසේ හෝ සමරසිංහ ව සම්බන්ද කිරිමට ය. ඔහු මුලින්ම ඉතා ප්‍රවේශමෙන් ලියන ලද ඊමේලයක් ඔහු වෙත යවන්නට තීරණය කළේය. කිසිදු තර්ජනාත්මක ස්වරුපයක් හෝ කිසිදු විස්තරයක් ඔහු එහි ලිවුයේ නැත.සෞමි සඳමල සම්බන්ද එකම එක පණිවුඩයක් පමණකි ඔහු ලියා තැබුවේ. 

පැයකට වඩා කාලයක් කිසිදු ප්‍රතිචාරයක් නැතිව සන්සුන්ව ගෙවිණි. නමුත් හිටිහැටියේම ප්‍රතිචාරයක් මතුවිය. ඔසඳ එසැණින් එය විවෘත කළේය. “I think we need to talk.
 Is Sawmi safe?”

මොහොතකට ඔසඳ නිරුත්තරව ගියේය. සමරසිංහ නම්වන පුද්ගලයා කවුරු වුණත් ඔහුට සෞමි කවුද කියා ආපස්සට ඇසීමේ උවමනාවක් තිබුණේම නැත. කිසිදු පටලැවිල්ලකින් තොරව ඔහු කෙලින්ම ආපසු එසේ ඇසුවේය. දෙවෙනි පිළිතුර ද මොහොතකින් පසු ආවේය. “Please tell Sawmi Samarasinghe that Mr. Samarasinghe wants to speak with her personally.”

ඔසඳ ආපසු පුටුව මතට කඩා වැටුණේය. මේ වැසි සමය අවසන් වන පාටක් නැත. දිදුලන නිල් තිරයෙන් එහාට ඇස් යවා ඔසඳ කවුලුවෙන් එහා පැත්ත බැලුවේය. මේ අමුතු කතාව පටන් ගත්දා සිට පළමුම පළමු වතාවට අතීතයේ කෙනෙකු අතීතයෙන් ගොඩ ආවේය.එපමණක් නොවේ ඒ කෙනා ප්‍රතිචාර දක්වන්නටද පටන් ගත්තේය. 

*******************************************************************************

ඔසඳ ස‌ෞමි ගේ අතීත ජීවිත‌ේයේ සියුම් අංශු එකිනෙක අනාවරණය වෙමින් තිබියදී වෙනින් කිසිවක් ඇරඹෙමින් පැවතිනි. එය නිශ්ශබ්දය. නමුත් කිසිවෙකු එය සිදුවෙන බව නොදැන සිටි බැවින්ම ඒ කුණාටුව පැමිණෙන බව නොදුටු බැවින්ම එය භයානකය. රාත්‍රින් දෙකකට පෙර ගල්කිස්ස ආසන්න සයුරු වෙරළක සවුමිගේත් පවන්ගේත් ආදරණීය තත්පර කැමරාවට හසුකරගත් කෙනෙකු සිටියාය. ඒ තත්පර ගණන් දිගු කුඩා විඩියො කැබලි වල වුනත් දෙදෙනාගේ ආදරේ දෝරෙගැලු බැවින් ගැටලුවක් නිර්මාණය කර ගැනීමට ඒවා මනා ලෙස ගැලපිණි. ඇගේ ඇගිලි පවන් ගේ ඇගිලි වල සිරවී තිබිණි. කිසිදු අනවඑරත හැසිරීමක් ඒ තුළ නොතිබුණද නපුරු ලෝකයට අලුත් කරදරයක ඒ දෙදෙනාව දැමීමට තරම් ඒ දර්ශන හොඳටෝම ප්‍රමාණවත්ය.  

නන්නාඳුනන නොම්මරයකින් කෞශල්‍යා විජේබණ්ඩාරට ඒ විඩියෝ දර්ශන වට්සැප් ද වී තිබිණි. කෞශල්‍යා විජේබණ්ඩාර ඒ මොහොතේ සිටියේ ලන්ඩන්හි ඔවුන්ගේ සුඛෝපභෝගී විසිත්ත කාමරයේ අසුන් ගෙනය. මේ විඩියෝව වරක් නැරඹු පස් එය හරියටම තේරුම් ගැනීමට ඇය නැවත නැවතත් කිහිප වතාවක් එය නැරඹුවාය. මුලින් ඒ කෙරෙහි ඇතිවු අවිශ්වාසය ක්‍රමයෙන් මහා කේන්තියකට හැරුණේය. 

විනයවත්වත් සංවරශීලීවත් ව්‍යාපාරිකයෙකුට උචිත වන පරිදි සිරිත් විරිත් උගන්වා මහත්මයෙකු වශයෙන් ගොඩ නගමින් සිටියාවු ඇගේ පුතු , විජේබණ්ඩාර පරම්පරාවේ උරුමක්කාරයා වන්නට නියමිත තරුණයා මේ ආකාරයෙන් සමාජයට විවෘතව හැසිරෙන්නට පටන් ටගන ඇත්තේ සෞමි වැනි කෙල්ලක සමගිනි. 

ඇයගේ සමාජ තත්වය කුමක්ද?

ඇගේ වත්කම් මොනවාද, 

ඇය පසුපස කිසිම පවුල් බලයක් තිබේද? 

මේවා සිහිපත් වන විට ඇගේ අතැගිලි වලට තද වන්නේ දුරකතනයයි. එය කුඩු පට්ටමි කරන්නට හැකි නම් ඇය ඒකද කරනු නොඅනුමානය. ඇය කිසිම විටෙක මේ තත්වයක් නම් අපේක්ෂා කළේම නැත. විශේෂයෙන්ම බොහෝම පරිස්සම් කර හදා වඩා ගත් ඉතා කුඩා වැදගත් කව වලට පමණක් සමාජගත කර ව්‍යාපාරික අරමුණ වෙනුවෙන් පුරුදු පුහුණු කළ පවන් විජේබණ්ඩාර ගෙන් ! 

නමුත් කෞශල්‍යා යනු මෙවැනි ගැටළුවකදී හැගීම්බර වී අඩා වැටෙන ගැහැනියක නොවේ. ඇය සම්පුර්ණයෙන් ම කණපිට ගැසෙන අතර ඉතා භයානක තත්වයකට වෙස් පෙරළෙනු ලැබේ. ඇය යළිත් සෞමිගේ මුහුණ දෙස බලා සිටියාය. “ එහෙම නම් අපෙන්ම කකා ඉදලා උඹ අපිවම කෑවා..” ඇය හැගීම් විරහිතව මිමිණුවාය. ඇගේ හඩේ කිසිම කනගාටුවක් නොතිබිණි. අවලාදයක්ම පමණක් 

කෞශල්‍යා මේ වනවිට පවන්ට පෑහෙන කෙල්ලක් සොයා ගැනීම ට වෙහෙසෙමින් සිටියාය. පොහොසත් කෙල්ලක්‍, දේශපාලන සම්බන්ධතාවයන් සහ ව්‍යාපාරික අරමුණු අභිලාශය නැතත් යාලුවනෙ කෙනා ද මට උදව් කළාය. කෞශල්‍යා ගේ ජීවිතය තුළ විවාහය යන්න ප්‍රේමයට සම්බන්ධ කාරණාවක් නොවේ. එය සම්පුර්ණයෙන්ම උපක්‍රමයකි.ඒ ආකාරයෙන් බලද්දී සෞමි කියන්නේ, කිසිදු උරුමයක් නැති, කිසිදු බලපැම් කළහැකි පසුබිමකට සම්බන්ද නොවෙන, සමාජ තත්වයක් අහිමි කෝපි හලක කෝපි සාදනා කෙල්ලක පමණය.  මෙහි නරකම කාරණාව වන්නේ පවන් ඇගේ සමාගමයෙහි සතුටින් සිටිනු දක්නට ලැබීමය. අන්න ඒ කාරණාව විසින් කෞශල්‍යා ගේ සිත සොලවනු ලැබීය. ඇගේ ඉව දරුණු ලෙස චකිතයකට පත් කළේය. 

ඇය විසු ලන්ඩන් නිවසේ සේවිකාවක් පැමිණ රැ කැමට කතා කළාය. ඇය පවන්‌ට පණිවුඩයක් තැබුවාය. එපමණකි. සේවිකාව ට හිස වනා තමා පැමිණෙන බව ඇගවුවාය. අවකාශය හුදකලාවක් වු සැණින් ඇය නැවත දුරකතන තිරය දෙස බැලුවාය. මේ වතාවේ ඇගේ ඇස් වලට තවත් වැඩියෙන් දේවල් නිරීක්ෂණය වෙමින් තිබේ. පවන් ඇය දෙස බලන බැල්ම, කිසිසේත්ම තාවකාලික ආකර්ශණයක් නොවේ. එය සම්පුර්ණයෙන් බැඳීමකි. ඒකාත්මික වීමකි. බැම්මකි. මේ හැඟීම පිරිමින්ව සම්පුර්ණයෙන්ම දුර්වල කරවන බව කෞශල්‍යා දැන නොසිටියා නොවේ. ඇගේ මුහුණේ බොහෝම සියුම් ලා හසරැල්ලක් තැවරිණි. ඒත් ඒ සිනාව මල මිනියක කෘතිම සිනාවක් මෙනි කිසිදු හැගිමක් නැති එකකි. 

“ ඒ හිඟන කෙල්ල හිතනවා නම් අපේ පවුලට එකතු වෙන්න… දැන් තමයි එයා මේ ලෝකය මොන වගේ එකක්ද කියලා හරියටම ඉගෙන ගන්නේ?” ඇය මිමිණුවේ සෙමෙනි. විජේබන්ඩාර පවුලේ ඉසුරුමත් සමෘද්ධිමත් පින්තුරයට යටින් දිවෙන මොකක්දෝ අද්භුත අනතුරක් තමන් වටා කැරකෙන්නට පටන් ගත් බව සෞමි ඇත්තෙන්ම දැන උන්නේ නැත. ඒ ගැන ඉවක් වත් අම්මාට දැනී ඇති බවක් පවන් දැන සිටියේද නැත. 

********

ඒ සැන්දෑවේ කැෆේ 66ත් හි තිබුණේ ඇදහිය නොහැකි තරමේ නිශ්ශබ්දතාවයකි. වැහි වලාකුළු විසින් උදෑසන සිට කොළඹ ආකාසය ආවරණය කරන්නට යෙදුණෙන් හිරු එළිය පවා මලානික වී රිදී පැහැයට හැරී තිබෙනු කැෆේ කවුලුවකින් බැලුවිට දක්නට ලැබුණි. රෝස්ට් කරන ලද කෝපි ඇට වලින් නැගෙන සුවඳ නිසා ඇතිවන උදාසීනත්වය මකා ලන ප්‍රමෝදය සහ ඉතාම මෘදු ඉංග්‍රිසි ගීතයක හඩ කවුන්ටරය පසුපසින් ඇසිණි. 

සෞමි සෙමෙන් සහ ප්‍රවේශමෙන් සෝදන ලද කෝප්ප ලී අල්මාරියක තැන්පත් කරමින් සිටියාය. ගෙවුණු දිනවල දී ඇයගේ සිත තිබුණේ කලබල ගතියකිනි. සිදුවු දේවල් ඇගේ සාමාන්‍ය ලෙස ගලාගිය ජීවිතයට බරින් වැඩි විය. ඔසද ගැන කල ප්‍රශ්න කිරීම්, ඒවාට ඇත්ත නොකීම නිසා පවන් ගේ මුහුණේ වු ඉරියව් වල වෙනස් කම් ඇය නොදුටුවාද නොවේ. කොහොමටත් ගණනය කල නොහැකි පුරෝකතනය නොකළ අමුතු පීඩනයක් කැෆේ එක තුල පවා ඉතිරිවිය. ඇගේම සිතුවිලි වල පවා ආරක්ෂිත ගතියක් නොදැනෙන තරමට සියල්ල අවුල් සහගත වී තිබිණි. 

කලු කලිසමක් සහ ලා දුඹුරු පැහැයෙන් යුතු බ්ලවුසයක් හැඳගත් කාන්තාවක් කැෆේ එකට ඇතුළු වුවාය. ඇගේ මුහුණේ තිබුණේ සන්සුන් වගේම ශක්තිමත් ගතියකි. ඒ පෙර දිනයක පැමිණි කාන්තාවම බව සෞමිට වහා සිහිපත් විය. ඇගේ ඇස් පවා එදාට වඩා විමසිලිමත් ගතියකින් පිරී තිබිණි. ඇය වඩා ත් ප්‍රවේශම්සහගතව පිරික්සන ගතියක් පෙනිණි. 

සෞමි ඇයට වැදගත් සිනාවක් පෑවාය. 

“ මාව මතකයි නේද?”

“ මතකයි. මිස් කලින් වතාවකත් ආවානෙ” 

“ ඔයාට හොඳ මතකයක් තියනවානෙ. මාව එක දවසින්ම මතක තියෙන්නෙ..”

“ සාමාන්‍යයෙන් මට මතකයි ..” 

“ ඒක නං හොඳ දෙයක් තමයි.. ඉතින් මට දෙන්න ඔයාගෙ රසම රස කෝපි එකක්”

“ අනිවාර්යෙන් දෙන්නම්” 

සෞමි හරි සීරුවට කෝපි බඳුනක් සකසන අයුරු කාව්‍යා බලා සිටියේම ඇගේ නිරීක්ෂණ නෙතිනි. සෞමි ගැන අමුත්තක් ඇයට මුල් දවසේ සිටම දැනිණි. ඇයට ආදරේ හිතෙයි. එක්කෝ ඔසඳ සෞමිට ආදරේ බව දැනගත් නිසා ඇතිවෙන නොරිස්සුම් හැගීමක් සමග සටන් කරනා හිතවත්කම කිසිම දවසක ඇති වී නැති අලුත් අමුතු හැගීමක් සමග මේ සිතුවිල්ල ඇති කරනවා විය යුතුය. කොහොම වුණත් ඒ හැගීම සැකසහිත නැත. ඇයට පෙර හසුවී නැති එකක් පමණය. මේ කෙල්ල දුටුවාම කිසි තරහක් ඇති වුයේද නැත. 

මේ ලෝකය තුල හැම කෙනෙකු ම පාහේ ජීවත් වන්නේ රහස් සිතියම සිතක ඇදගෙනය. එවන් මිනිස්සු අතර සෞමි නිර්ව්‍යාජය. එයම කාව්‍යාව කුතුහලයකින් පුරවන්නේය.මිනිත්තු කිහිපයක් ගතවු පසු සෞමි ඇය ඉදිරියේ ප්රසන්න ලෙස කෝපි කෝප්පයක් තැබුවාය. කැෆේ එකේ කිසිවෙකු නොසිටි බැවින් ඇය ඉදිරිපසින් හිදගත්තාය. 

වීදුරු වලට වතුර ඉහී ඒවායින් පිටත මනරම් සිතුවමක් මවා තිබිණි. මොහොතක් ගත වෙනතුරුම කිසිවෙක් කතා කරන්නට පෙළඹුණේ නැත. කාව්‍යා අසුනෙහි. හරිබරි ගැසී හිදගත්තාය. 

“ ඉතින් ‍, කවුද අර පින්තුරෙ ඉන්න ග්රේස්?”

සෞමි මදක් ඉස්සී ඒ පින්තුරය දෙස බැලුවාය. ඇගේ ඇස් මොහොතකට දිලිසෙන්නට පටන් ගත්තේය.

“ එයා තමයි මට ජීවිතය දුන්නේ”

“ අම්මා ?”

“ ම්ම්ම්.. නැහැ මිස්… මං එයා ගාවයි හැදුණේ වැඩුණේ…”

“ ඒ කියන්නෙ ?” කාව්‍යා මෘදුව ඇසුවාය. ඇයට සෞමි භයානක එකියක් නොවන බව දැනෙන්නට පටන් ගෙනය. සෞමිට කාව්‍යා පිලිබද ව දැනුණේද විශ්වාසයකි. 

“ ග්රේස් මම්මා කියන්නෙ හරි නිශ්ශබ්ද විදියට ආදරේ පෙන්නන කෙනෙක්..” ආදරය පෙන්වු ආකාරය හිත පතුලේම ඇති බව ඇගේ ඒ වචන වලින් පෙනිණි. 

“ එයා හැමවෙලාවෙම ආදරේ පෙන්නගෙන හිටිය විිදියෙ කෙනෙක් නෙමෙයි.. හැම වෙලේම බදාගෙන තුරුල් කරන් හිටියෙ නැහැ. ලස්සන ලස්සන වචන කිව්වෙ නැ චිත්රපට වල වගෙ. ඒත් මට දැනුණු එකම දේ. මං එයා ගාව විතරයි පරිස්සම් කියන එක..”

කැෆේ එකෙන් පිටත මහා වැසි ඇදහැලෙමින් තිබිණි. සෞමිගේ ඇස් කවුලුව වෙත යොමුවි මොහොතකට පැවතිණි. ඇය යළි ග්රේස් ගේ පින්තුරය දෙස බලා උන්නාය. 

“ මට මතක තියෙන කාලෙ ඉදලම එයා මා එක්කමයි කන්නෙ.. මං ඉස්කෝලෙ යන්න පටන් ගනිද්දී එයාම මාව ඉස්කෝලෙ ට ඇරලෙව්වා.. උදේට මට කවන්න එයා කොච්චර සර්වන්ට්ස් ලා හිටියත් නැගිට්ටා. අපි දෙන්නා එකට කන්නෙ. දවල්ට කන්න මං එනකම් බලාගෙන ඉන්නවා එයා.. අදටත් එයා නැතිවුණාට පස්සේ ත් මං කැම කන්නෙ එයායි මායි කැම කාපු තැනමයි..” 

කාව්‍යා මේ සියල්ල අසා සිටියාය. 

“ ඔයාට ඔයාගෙ අම්මයි තාත්තයි ගැන කිසිම දෙයක් එයා කියලා නැද්ද?”

“ මං ගාව එයාලගෙ නම් තියෙනවා. ඒත් එයාලට මාව එපා නිසානෙ මාව මෙහෙ තියලා තියෙන්නෙ.. ඉතින් මං කවදාවත් එයාලා ගැන මම්මා ගෙන් අහලා නෑ.. මට හිතුණා මට මෙච්චර ආදරෙන් සලකද්දී ඇයි මං ඒවා අහලා ඒ හිත රිද්දන්නෙ කියලා “

කාව්‍යා හිස වැනුවාය. ඇයට යුවතිය ගේ අම්මා කවුද තාත්තා කවුද කියා අසන්නට සිතෙන්නේ නැත. 

“ හුගක් වෙලාවට ආදරය සද්ද කරන පෙන්නන දෙයක් නෙමෙයි කියලා මම ඉගෙන ගත්තෙ එයා නිසා කියලා මට හිතෙනවා. මිනිස්සුන්ට හුගක් වෙලාවට මගැරෙන හරිම සියුම් පුංචි දේවල ගොඩාක් ආදරේ හැංගිලා තියෙනවා..”

“ඒකියන්නෙඔයාගෙ පුංචි කාලෙසතුටින්පිරුණු එකක්?”

යුවතිය ගෙ මුහුණ කල්පනාකාරී විය. සතුටින් පිරීම!! එය සරල වැඩි වචනයක් ය. 

“ මගේ ජීවිතය සම්පුර්ණ එකක් නෙමෙයි.. මිස්. ඒත් ග්රේස් මම්මා මාව සාමකාමී කලා”

“ අක්කා කියලා කියන්න කෙල්ල‍, ඒඇති මට”

සෞමි කාව්‍යා දෙස ස්තුති බැල්මක් බැලුවාය. 

“ මං අසනිප වෙලා ඉද්දී එයා මං ගාව නිදි මරාගෙන ඉදලා තියෙනව. මං එක්සැම් ෆේල් වෙද්දී එයා මට බැනලා ගහලා නෑ මං අඩද්දි එයා නිශ්ශබ්ද ව ඉන්නවා මං කතා කරන්න කැමති වෙනකම්ම ..”

කාව්‍යා යුවතිය ගේ හැම ඉරියව්වක්ම දෙස කල්පනාවෙන් බලා සිටියාය. 

“ එයා හැමවෙලාවෙම මට කිවු දෙයක් තියෙනවා … ආදරය නැතුව හැදෙන මිනිස්සු එක්කො අනික් අයට  කුරිරු වෙනවා එහෙම නැත්නම් අනික් අයට ආදරේ කරන කරුණාවන්තම මිනිස්සු වෙනවා .. මට ඒ හැම වෙලාවෙම හිතුණේ මං කරුණාවන්තම මිනිසුන් ගේ පැත්තට හැරෙනවා කියලා ..” 

කාව්‍යා සිය ඇස් පහතට නැඹුරු කරගත්තාය. ඒ ඇය තුල ඇති නිශ්ශබ්ද පෑරීමක් නැවත පාරන්නට සමත් වු වචනය. ඇය වහා එය සගවා ගත්තාය. 

“ ඉතින් දැන් ඔයා මොනවද ඔයාගෙ ජීවිතය ගැන ප්ලැන් කරගෙන ඉන්නෙ?”

ඇය සැහැල්ලු ඒත් සැනසුම් සුසුමක් හෙලුවාය. ඇය පෑවේ මහා අරමුණු ගොඩක් මුල් කරගත් අපේක්ෂා සහිත සිනාවක් නොවේ. බොහෝ මනුශ්‍යා මදහසකි. 

“ මට ඕනෙ සාමකාමි සාමාන්‍ය ජීවිතය ක්.. කොහේ හරි මුහුද අද්දර ගෙදරක්.. මටම කියලා පුංචි කොෆි ශොප් එකක්.. ඇස් වලට දකින්න වෙරළක්..” 

කාව්‍යා ගේ ඇස් නළල තෙක් එසැවිණි. ඇයට දකුණු වෙරළබඩ පෙදෙසක ඇති ඔලිවර් පෙරර්රා විසු මහගෙදර සිහිපත් විය. 

“ ඒ තරමට සිම්පල් ද ඒ හීන?”

කාව්‍යා ඇසුවාම සෞමි මෘදුව හිනැහිණි. 

“ සිම්පල්ම දේවල් තමයි ආරක්ෂා කරගන්න අමාරුම..”

මුලු කැෆේ එකම දරුණු නිශ්ශබ්දතාවක ගිලී ගියේය. 

පිටත වාහන කොළඹ තෙත්බර වීදි දිග ඇදීගියේ අහස පුරා අකුණු ගුලි ගුලි පුපුරා යද්දීය. කාව්‍යා යළිත් පුටුවෙහි වාඩිවි සිටි ඉරියව්ව වෙනස් කළාය. ඇය මේ විස්තර අහගන්නට පාවිච්චි කලේ කොළඹ නගරයේ ප්‍රබල ව්‍යාපාරික පවුල් වල සැගවුනු ගැහැනු චරිත පිලිබද තමන් පර්යේෂණයක් සිදු කරන බව ට උපක්‍රමයක් යොදමිනි. දැන් ඇයට සෞමිව වෙනස් ලෙසත් පැහැදිලිවත් දකින්නට ලැබෙන්නේය. 

කෙසේ වෙතත් දැන් ඇය සැකකටයුතු රහස් දරා හිදින්නියක මෙන් පෙනෙන්නේ නැත. කිසිදු ආකාරයකින් ඇගේ ජීවිතයට බාධාවක් තරගකාරියක් හෝ තර්ජනයක් ලෙස පෙනෙන්නේ නැත. නමුත් ඇය තමන් විසින් නිර්මාණය කරන්නට නොයෙදුනාවු සංග්‍රාමයක් මැද්දට මැදිවු වින්දිතයෙකු ලෙස පමණක් දැකිය හැකිය. අන්න එය හැමදෙයක්ම දුර්දාන්තයක් කෙරෙහි යොමු කරවයි. 

ඒ වෙනවිටත් සෞමි සිය ආදරණීය ග්‍රේස් මම්මා පිලිබදව මෘදුවත් පැහැදිලිවත් කතා කරන්නට පටන් ගෙන අවසන්ය. මේ හැම වචනයක් ඔස්සේම කාව්‍යා අසීරු ප්‍රහේලිකාවක් කොටස් ගලපමින් විසදමින් සිටිනා බව ඇයට වැටහී තිබුණේද නැත. 

මේ සියල්ලෙන් කාව්‍යා වටහා ගත් එක් දෙයකි. සෞමි මේ ඇය වටා ඇති අන්දකාරය වේලපහින් තේරුම් ගන්නට හැකි තරම් විමසිලිමත් නැත. ඇගේ හදවත පිරී තිබෙන්නේ අනන්ත කරුණාවක ආලෝක තිත් රාශියක් එකතු වෙමිනි. 

***** 

කාව්‍යා නික්ම ගියාය. වැහි ගතිය හින්දාම පහහමාර වෙද්දී කෝපිහල වසා දමන්නට පවන් නියෝග ස්වරයකින් කීවේය. කෝපිහල වසා ටෝට් බැගයේ යතුර දමාගෙන කැෆේ 66ත් ඉදිරියේ පික්මි වාහනය එනතුරු බලා සිටියදී ඇගේ දුරකතනය නාද වන්නට විය. ඇය එය අතට ගත්තේ නොරිස්සුමෙනි. අංකය ඇය නොදන්නා එකකි. 

“ සෞමි … මං ඔසද..” ඇගේ කන් පෙත්තෙන් නැගුන හිරි වැටීමක් සියොලග පැතිර ගියේය. සයිබර් අපරාධ මෙහෙයුම් කාර්යාලයෙන් මේ පුද්ගලයාව කොපමණ සොයනවාද ඔහු දන්නේ නැතිද? ඇගෙන් ඔවුන් කොයිතරම් ප්‍රශ්න කළාද? ඇත්තෙන්ම ඔහු ඒ වගක් දන්නේම නැත්ද? 

“ ඇයි ඔයා මට කතා කරන්නේ?” 

ඇය ඇසුවේ කවුරු හෝ තමන් දෙස බලා හිදිනවා යැයි සැකයෙනි. සිහින් වෙව්ලීමක් ද ඇගිලි වල තිබිණි. ඔසද පැකිලුනේ නැත.

“ මට ඔයාව හම්බෙන්න ඕනෙ… කැෆේ එකට එන්න බැහැ…”

යුවතිය වෙව්ලා ගියාය. ඇයට මේ ආරාධනාව ලැබුණේ නම් මැනවැයි ඇය සිතා සිටි කාලයක් තිබිණි. නමුත් ඔසද සිය අද්භුත හැසිරීමෙන් සියල්ල වෙනස් කර දැමුවේය. දැන් ඔහු හිටිහැටියේ පැමිණි හමුවිය යුතු බව කියයි. 

“ මේක ඔයාගෙ ජීවිතය ට වැදගත් දෙයක්.. අපි හම්බ වෙන්නම ඕනෙ. ඔයා මාව හම්බ වෙන්න නොආවොත් සයිබර් ඔපරේශන්ස් එකෙන් මාව අල්ල ගත්තත් කමක් නැහැ කියලා හිතලා මං එනවා ඔයාග⁣ෙ කැෆ⁣ේ එක⁣ට..”

ඔසද කියද්දී ඇය තවදුරටත් භීතියට පත් වුවාය. 

“ එපා.. එපා… මං එන්නම්.. අපි පබ්ලික් ලයිබ්රි එක ලගදී හම්බ වෙමු” 


No comments:

Post a Comment

OLIVE -22

  🌿 OLIVE — Episode 22 අහම්බ  නගරයේ දිලෙන නියොන් එළි ඔහුගේ විඩාබර ඇස් වලට එරෙහිව නැගී සිටියේය. ඔසඳ වාඩිවි සිටියේ බැල්කනියේ බිමය. ඔහුට මේ තර...