🌿 OLIVE — Episode 16
මලක් සිය දෙතොල් දන්දී ....
දවස් ගෙවීයයි. රාත්‍රින් උදාවී නිමී යයි. තුම්මුල්ලේ කෝපිහලේ ද කිසිම විශේෂත්වයක් නැති දින ගණන් ගෙවී යති. මේ වගේ කිසිදු විශේෂත්වයක් නැති දවස් අවසානයේ සවුමි ට ඔසඳගෙන් ලැබෙන සාමාන්‍ය දුරකතන ඇමතුමක් ලැබේ. ඒ වෙනුවෙන් උදේ සිට බලා ඉන්නට ඇයට සිදුවෙයි. ඇය මේ වගේ දවස් වලට කැමතිද අකැමතිද ඇය නොදනී. සමහරවිට ඇගේ ඇස් කෝපිහලේ දොරටුවේ කොරිඩෝවේ වැදි වැදී ගෙවී යයි. ඇගේ පුරුදු කෝපි ප්‍රේමීන් දිනපතා කෝපි හලට පැමිණෙති. මේ දවස් වල කොළඹ විශ්ව විද්‍යාලයේ කාර්යාල පෙම් යුඔසවළ පැමිණේන්නේ නැත. ඒ පෙම්වතා ඉඳහිට දවසක පැමිණ යන්නේය. ඇයට ඒ ශෝකී පැහැ ඇස් දෙක දෙස බලා මිස් කෝ කියා අසන්නට නොසිතුණි. දුම්බීමට ඇති ස්ථානයට ගොස් දුම්වැටි කීපයක් දවාලමින් කෝපි බඳුන හි්ස් කරන ඔහු පසුවෙන්නේ ප්‍රේමය බිඳී බව බැලු බැල්මට දැකිය හැකිය. මේස දෙකක වෙන් වෙන්ව කෝපි බොමින් ලැප්ටොප් තිර වල වැඩ කල ශිෂ්‍යයෙකු සහ ශිෂ්‍යාවක කාලයාගේ ඇවෑමෙන් එක මේසයක ලැප්ටොප් තිර දිගහැර ගනිති. ඉගෙන ගැනීම පසෙක තියා එකිනෙකාට ළංවෙති. ළං වීම වැඩිම තැනකදී යුවතියගේ කණට කොඳුරා වගේ “ මේක ෆැමිලි රෙස්ටොරන්ට් එකක් “ කියා කියන්නට සවුමි ට සිදුවෙයි. ඒ වගේ වෙලාවට ලජ්ජාශීලි සිනහවක් පාමින් සිනාවී ඇය උන් මේසයට ගොස් කොල්ලාටද යමක් කියයි. දෙදෙනාම සවුමි දෙස බල සිනාපාති. ඒ කිසි අමනාපයක් නැති සිනාවකි. ඉතින් සවුමි මේ සියලු දෙනා සමග ඉතා යහපත් සබඳතා පවත්වාගෙන යන්නීය. සිසිටිවි කැමරා වරින් වර බලන්නට පවන්ට වෙලාවක් නැත. නමුත් ඔසඳ පිලිබඳ දැනගත් පසු ඔහු ඉඳහිට සිසිටිවි නරඹන්නට පුරුදු විය. මෙහි අරමුණ ඇත්තෙන්ම සවුමි ගැන ඔත්තු සෙවීමක් නොවීය. නමුත් අර ඉලන්දාරියා කෝපිහලට පැමිණෙනවාද නැද්ද කියාවත් අඩු තරමේ දැන සිටිය යුතුයැයි හෙතෙම විශ්වාස කරන්නේය. ඔහු නොපැමිණෙන වග දැක හදින් සියුම්වට කුරිරු සුතටක් විඳියි. කොහොම වුණත් ඔහු හැකි සෑම දවසකම සවුමි සමඟ කෝපිහල වසා දමන්නට යන්නට පටන් ගත්තේ මේ කතාන්දරය හේතුවෙනි.
“ හෙටත් ඔයාට ට්‍රාන්ස්පෝට් ලැබෙනවද හවසට” රැයෙහි ඔසඳ ඇසුවේ අරලියා ගසක් යට බංකුවක වාඩිවී ඔහුගේ දුරකතන ඇමතුමේ හිදිනා යුවතියගෙනි. ඇය සිනාවී “ ඒක නම් දන්නෙ නෑ. පවන් හවස පහට හයට නේ එන්නම් කියලා කියන්නේ” කියා කීවාය.
“ ඔයා පවන්‌ට කියන්නකෝ මං ගැන” මෙහිදී ඔසඳ උත්සාහ කළේම පවන් මේ සම්බන්ධයෙන් කුමන ආකල්පයක් දක්වාවිදැයි දැන ගැනීමය. පවන් ගේ පෙම්වතියන් ගේ හැඩ පිලිබඳ සලකා බැලුවාම ඇත්තටම ඒ ගණයේ කිසිදු ලක්ෂණයක් සවුමිට නැත. එහෙත් ඔසඳ ගේ හිතේ මේ අමුතු හිතවත්කම් ගැන අවුලක් තිබේ. පවන් ගෙන් හෝ සවුමි ගෙන් එවැනි කිසිම රහස් සම්බන්ධතාවයක් ඇති බවක් නොපෙනෙයි. ඔවුන් බොහෝ නිරවුල් හිතවත්කමක හිඳින වග පැහැදිලිය.
“ පවන් දන්නවා ..”
“ මොකද කිව්වෙ පවන්?”
“ විශේෂ්‍යක් නෑ. එයා කිව්වේ මං ලෝකෙ ගැන දන්නවා අඩුයි. ඒ නිසා කිසිම දේකට ඉක්මන් වෙන්න එපා. පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න කියලා”
“ හොඳ එකෙක්”
ඔසඳ කීවේය. කොහොමටත් සවුමි පවන් ට දක්වන ගෞරවය දැක්කාම කිසි ලෙසකින් පවන්ට දොස් කියන කෙනෙකු හා ඇය උරණ නොවී නොඉඳින බව ඔසඳ දැන සිටියේය. පිරිමින්ගේ අදහස් කොයිතරම් වෙනස් විය හැකි වුවත් ගැහැනු එසේ නොවේ. උන් උන් කෙනෙකු ගැන හදාගත් මත පහසුවෙන් බිඳින්නට කැමති ජාතියක් නොවේ.
“එහෙනම් හෙට හවසට මං එනවා කියන්න….”
“ එතකොට?”
“ පවන් එනේකක් නැ”
ඒ වෙලාවේ වෙලාව රැ මැදියමට ළඟය. පවන් ගෙදර ආවාද නැද්ද කියාවත් ඇය දැන සිටියේ නැත. කෙසේ වෙතත් ඇය පැරඩයිස් හි පවුලේ කෑම කාමරයට ගියාය. රත්නශීලා නැන්දා සිටියේ පවන්වෙනුවෙන් කෑම මේසය සකසමිනි.
“ දූ.. ඔන්න අද නම් පේන්නවත් ඉන්න එපා” ඔි සිනාසුණාය. “ එයාට විකාරනෙ අනේ” ඇය ඒ් සිනාවට එකතු වුවාය. පවන් ඉතින් සුපුරුදු කුමාර ලීලාවෙන් මතු මහලේ සිට පියගැට පෙල බැසගෙන ආවේය. සවුමි දැක සිනා මුහුණක් හදා ගත්තේය. සවස කෝපිහලට එන්නටද නොහැකි වන තරම් මේ දිනවල කාර්යාලයේ වැඩ කන්දරාවකි.
“ කොෆි ශොප් එක වැහුවෙ කීයටද?” ඇසුවේය. සවුමි වේලාව කීවාය. “ තනියම එනදවසට එච්චර වෙලා ඉන්න එපා” ඒ ආරක්ෂා මෝඩ් එක ඔන්කරගන්නා පවන් ය.
“ පවන්,..”
“ හෙටත් මීටින් ද?”
“ කියන්න මොකක්ද වෙන්න ඔිනෙ.”
“ නැහැ පවන්.. හෙට ….”
පවන් ගේ ප්‍රශ්නාර්ත ඇස් ඔහු කරා යොමුවිය.
ඇය යළිත් මුලුතැන්ගේ දෙස බැලුවාය.
“ තේ එකකුත් හදන් උඩට එන්න…”
පවන් කීවාම සවුමි සිය කාමරයට ගියේ ඇගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ගැන මඳ සතුටක් හිතේ තියාගෙනය. සුලලි අක්කා පැයකට විතර පෙර ගත් වට්සැප් කෝල් එකේ කිවු දේවල හැටියට නම් පවන් මේ ඉන්නේ හිත් රිදීමකය. ඩාරා ලංකාවට එනවා යැයි කීවාට ඇය ඒ අදහස වෙනස් කරගෙන වාගේය. පැමිණ නැත. ඉතින් පවන් ඇත්තේ හිත් අමාරුවක කියා සුලලි අක්කා සතන බවත් මේ වෙලාවේ පවුලේ කෙනෙකු විදියට ඔහුට හිතවත් කෙනෙකුට ඉන්නේ සවුමි පමණක් නිසා පවන්ව ටිකක් බලා ගන්නට ඇයට සිදුවන බවත්ය. පුලුවන් නම් සවුමි කළ යුතු වැදගත්ම දේ පවන්ව ටෙනිස් පුහුණුවීම් වලට යැවීමය. ඒ ගැන කතා කර බලන්නටත් සවුමි සුලලිට පොරොන්දු වුවාය. කෞශල්‍යා සහ මිගාර කියන්නේ පවන්ගේ හිතැගි වටහා ගන්නා විදියේ අම්මෙකු අප්පච්චියෙකු නොවේය කියා සුලලි සිය දෙමව්පියන්ටද චෝදනා කරන්නීය.
කරපොවා බැලුවිට පවන් මතු මහලට ගිය බැව් දැනගන්නට ලැබිණි. ඇත්තෙන්ම ඔහු සිටියේ තුන්වෙනි මහලේ රුෆ්ටොප් එකේ කෙළවරය. මෙතැන සිට අහස අල්ලන්නට හැකිය. සවුමි හුගාක්ම පුංචි කාලයේ හිතා හිටියේ එහෙමය. ඉතාම කලාතුරකින් පවන් දුම්වැටියක් උරනු සවුමි දැක ඇත. කුඩා දුම් වලාවක් මැද ඔහු හිඳගෙන සිටියේ කුඩා බීන් බෑගයක් මතිනි. සවුමි සිය අතේ පවන් ගේ කිරි තේ කෝප්පයද දරාගෙන සිටියාය. ඔහු ඇඳ සිටි සැහැල්ලු සුදු කපු කමිසයේ බොත්තම් සියල්ල ඇර දමාගෙන ඔහේ සිටියේය.
ඇයට පවන්ගේ නිරුවත් පපුව ගැන කිසිදු විශේෂ හැගීමක් නැත. ඇය පවන්ගේ ජීවිතයේ බොහෝ අවදි දැක තියේ. මේ මොහොතේ ඔහු ඉන්නා ඉරියව්ව දැක ඇයට සිතුණේ මේ ග්‍රීක කුමාරයෙකු වගේ ඉන්නා මිනිසා තමන්ගේ කුඩා කල පටන් මිතුරා ය වැනි ආඩම්බර කමකි. පවන් ටද සවුමි සම්බන්ධයෙන් ඇත්තේ ඒවැනිම හැඟීමකැයි ඇය සිතා සිටියාය. ඇගේ කුඩා පපුව ඔ්නැවට වඩා ගැහුණේ නැත.
බීන් බෑගයේම අනික් පස පෙන්වමින් පවන් ඇයට ඉඳගන්නැයි ඇඟවුවේය. යුවතිය එතැනම බිමින් කිරි තේ කෝප්පය තියා ඔහු අසළින් බිමින් හිඳගෙන ඒදෙපා එක පසෙකට වෙන්නට දිගු කර ගත්තාය. ඇය ඇඳ සිටියේ කොටු සහිත මෝස්තරයක් සහිත දනිහ තෙක් දිගු ගවොමකි. එයින් ඇය කිසිසත්ම සරාගීව නොපෙනුණු අතර ළයාන්විත ගැහැනු ගතියක් ඇය තුල ඇති බව දිලිසෙමින් පෙනෙමින් පැවතිණි.
දෙදෙනා අතර කිසිවක් කතා නොවුයේය.
. මැදියම් රැය පැරඩයිස් මැන්ශන්ස් ඉහළ අහසේ නිදහස් සුව විඳිමින් සිටියේය. තරු තැනින් තැන අහස පුරාම විචිත්‍රවත් ලෙස විසිරීතිබිණි.
“ මතකද ඉස්සර අපි තරුරටා බලනවා. ඔයායි මායි අක්කයි” පවන් ඇසුවේය.
“ මං ගොඩාක් කාලෙකින් මේ අහස දිහා බලන් ඉන්නෙ නිස්කාංසුවෙ” ඇය කීවාය.
“ ඔයා අහස දිහා බලන්න තරම් නිස්කලකෙ වෙලා ඉන්නෙ ගොඩාක් කාලෙකින් වෙන්න ඇති”
සවුමිට අතීතය මතකය. ඒ අවුරුදු දහයක විතර වයසේය. ඒ කාලයේ පවන් කැමැත්තෙන් හිටියේ තාරකා විද්‍යාඟයෙකු වන්නටය. නිතරෝම ග්‍රහලෝකාගාරය බලන්නට ගියේය.ආචාර්ය චන්දන ජයරත්නගේ වැඩමුලු වලට පවා සහභාගි වුවේය. කාලයක් යද්දී පවන් ගේ ඒ අදහසත් තාරකා නැරඹිමේ ආසාවත් වෙනස් විය.
“ කාලෙත් එක්ක මං වෙනස් වුණා…”
“ මිනිස්සු එහෙමනෙ…”
ඇය කීවේ සෙමිනි.
“ ඔයාට මොකද හිතුණෙ, මං වෙනස් වෙද්දි?”
“ මට දැනුණෙ ඔයා වෙනස් වෙනවා නෙමෙයි , ලොකු වෙනවා කියලා”
“ ඇත්තටම ද ?”
“ හ්ම්..”
පවන් සුසුමක් හෙලුවේය. බීන් බෑගය මත ඔහේ දිග ඇදුණේය. යුවතිය ලක්වුණේ මඳ අපහසුතාවයකටය. ඔහුගේ ඝණ කැරලි ගැහුණු හිසකේ ඇගේ වැළමිටේ තැවරෙමින් තියේ.
“ අද තරු වැඩී අහසේ…” මේ රුෆ් ටොප් එක මනාව නඩත්තු කළ එකකි. පවන් හෙමින් කීවේය. සවුමි පවන් දෙසම බලා උන්නාය. ඒ මොහොතේ ඇගේ සිතේ පවන් කෙරෙහි ඇතිවෙමින් තිබුණේ මහා කරුණාවන්ත හැඟීමකි. ඇත්තෙන්ම ඇගේ සිත තුල කිසිම රාගය මුසු හැඟීමක් ජනිත වුයේ නැත. ඒ ගැන ඇයට සහතිකවම කිව හැකිය. පවන් සිටියේ තමා මත සවුමි ගේ ඇස් රේඛා වැටී ඇතැයි දැනගෙන නොවේ. ඒත් ඒ මොහොතේ ඇගේ මේ හුස්ම ලන උකුළේ හිස සතපවා ගන්නට හැකිනම් වැනි අදහසක් ඇති විය. පවන් එකවරම හැරී ඇය දෙස බැලුවේ ඒ සිතුවිල්ලේ තවදුරටත් සිරවී ඉන්නට නොහැකි හින්දාමය.
ඒ මොහොතේ තරුණ ඇස් හතරක් එකටට එක යාවිණි.
ඇගේ උකුළ තිබුණේ හිස්වය. නිදහස්වය. ඔසඳ මොනාකාර දුරක සිට ඇය ගේ සිත ආදරය කෙරෙහි මෙහෙයවනවා උනත් පවන් මේ මොහොතේ සිටියේ සවුමිගේ සිතේද දොර අගුලු විවර කරමින්ය. මෙතෙක් කාලයක් තිස්සේ කවදාවත් සැරි නොසැරු කලාපයන් අපමණක් සවුමි තුළ තිබුණි. ඇය මුලු හදවතින්මත් සිරුරෙන්මත් පිවිතුරු මලක් ය. ඒ කලාප වල අගුලු අත්පත් කරගත හැකි පිරිමි ආත්මයක් ඇයට මෙතෙක් හමුවී තිබුණේ ද නැත. විශේෂයෙන්ම මේ වගේ රෝමාන්තික හැන්දෑවක දී පාරාදීසයේ අහසට ආසන්න මුදුනේ දී ඇගේ සිතේ සියලු වැසුණු කලාපයන් විවර කරනා මහා බලය ඉතිරිවී තිබුණේ පවන් අතේමය.
පවන් හිස ගෙලෙන් ඔසවා ඇගේ උකුලෙන් තියා ගත්තේය. මුලින් ඇය ඇකිලී ගියාය. කවමදාවත් මේ වගේ වැඩිහිටි තරුණයෙක් ඇගේ සිරුරට කිසිසේත්ම ළං වී නැත. ඔ් සිටියේ හිතැතුළෙන් මේ අත්දැකීමට සුදානම් වී නොවේ. ඇය ඒ මොහොත වෙනවිටත් මේ හැගීම දුටුවේ තමන්ගේම සහෝදරයෙකු ගේ උණුසුමකින් තමන්ව කම්පනයට පත්වෙනවා වගේ කවුලුවකිනි. ඒත් මේ ඇගේ සහෝදරයෙකු නොවේ අනිත් අතට ඇයට කවදාවත්ම සහෝදරයෙකු සිට නැත.
“ ඔයා අහල තියෙනවද. කතාවක්. කොල්ලො පොඩි කාලෙ ආස යෝදයින්ට. කෙල්ලො පොඩි කාලෙ ආස බෝනික්කන්ට. ලොකු වෙනකොට කෙල්ලෝ යෝධයින්ට ආස වෙනවා කොල්ලො බෝනික්කන්ට ආස වෙනවා කියලා”
“හ්ම්ම්”
“ මං පොඩි කාලෙ ඉඳලම ආස බෝනික්කෙකුට. ග්‍රේස් මම්මගෙ බෝනික්කට” පවන් කීවේ සිනාසෙමිනි. ඔහුට මේ මොහොතේ සවුමිව කිසිම අනවශ්‍ය සම්බන්ධයකට පොළඹවා ගැනීමට උවමනාවක් තිබුණේ නැත. සවුමි ආකාසයට සිනාවක් පා කළාය.
“ මං දන්නවා ඒක..” ඇය කීවාය.
“ කවදාහරි බදිනවා කියලා හිතා හිටියෙ මං ඔයාව” පවන් කීවේ ඇත්තටම මිස යළිත් ඇයව අවස්ථාවාදී ලෙස සම්බන්ධයකට පොළඹවා ගන්නට නොවේ. මේ වාක්‍යය නම් සවුමි ව තදබල ලෙස කම්පනයට ලක් කළ අතර තවදුරටත් මෙතැන මෙහෙම හිඳීම ගැන අවිනිශ්චිත හැගීමක් ඇයට දැනුණි.
“ පවන්…” ඇය විස්මයෙන් පිරුණු හඩින් කතා කරන්නට උත්සාහ කළාය.
“ ඒක ඒ කාලෙ හිතිච්ච ළදරු හැඟීමක්.. ටික ටික ටීනේජ් එකට එද්දී මං තේරුම් ගත්තා. අපි කවුද? ඇයි අපි මෙහෙම ළඟීන් ඉන්නෙ.. මට කවදාවත් ඔයාව බඳින්න බෑ .. ඒක වැරදි දෙයක් වගේ..”
සවුමි සැනසුම් සුසුමක් හෙළුවාය. පවන් ඇගේ අත ගෙන තමන්ගේ හිස මතින් තියා ගත්තේය. .සවුමි මෘදුව අතැගිලි ඒහිසකේ මැදින් එහෙ මෙහෙ කළේ කෙමෙන් තමන් තුළ මෙතෙක් නොනැගුන හැගීමකට තමන්ව යටත් කරගන්නට ඉඩ දෙමිනි.
“ මේ ගෙදර අපි කොයිතරම් තනියෙන් ඉඳලා ඇත්ද? ඒත් අපි කවදාවත්ම මෙහෙම ළංවෙන්න හිතලා නෑ සවුමි”
“ ඇයි අපි දැන් එහෙම කරන්නේ?”
“ ඇත්තම කියන්නද?”
“ හා”
“ ඔයා ඉක්මණට මගෙන් ඈත් වෙයි..”
පවන් සුසුමක් හෙළුවේය.
“ ඔසඳ නිසාද?”
“ හ්ම්”
“ එයාත් ඔයා ගැන වැඩියෙන් අහනවා කියලා මට හිතෙනවා”
“ඔයායි මායි සහෝදරයෝ නෙමෙයි කියලා දැනගත්ත වෙලාවෙ ඩාරාටත් ඒ ප්‍රශ්නෙ එහෙමම තිබුණා”
“ ඇයි පවන් මිනිස්සු එහෙම”
පවන් සිනාසුණේය. මිනිස්සු හිතන කාරණාව ඇත්තක් ම බව ඇයට කියා දෙන්නේ කොහොමද? ඇය ගැන තමන්ගේ හිතේ හඩ නගමින් තියෙන්නේ ප්‍රේමය බව ඇයට නොදැනෙන නමුත් තමන්ට ඒ ගැන හොඳටම විශ්වාස බව ඇයට කියන්නේ කොහොමද?
සවුමි ගේ ඔඩොක්කුවෙන් හිස පසෙකට ඇද ගත් තරුණයා ආපහු හිස බින් බෑගය මතින් තියාගෙන පහසු ලෙස දිග ඇදුණේය.
සවුමි ද උන් ඉරියව්වෙන් මිදී ඒ ආකාරයටම බීන් බැගය මතින් දිග ඇදුණාය. ඇස් මට්ටමින් උඩට ආකාසයය. ඇගේ හිස ඔහුගේ උරහිසෙහි ගෑවී නොගෑවේ. සවුමි ඊළඟ දවසේ ඇයව ඇරලවන්නට නොපැමිණෙන්නැයි කියන්නට ආවට, ඇයට එය කියා ගන්න හැකි වුයේ නැත. ජීවිතයේ පළවෙනිම පළවෙනි වතාවට සවුමි ගේ සිත පිරිමියෙකුගේ උණුසුමකට ආකර්ශනය වෙමින් තිබේ.
“ ජීවිතේ ඔින තැනක් වරද්දගන්න යි හදාගන්නයි පුලුවන් කියලා මං දන්නවා. ඒත් , මට මගෙ රිලේශන්ශිප් කියනෙක වරද්ද ගන්න බෑ..” ඇය මිමිණුවාය.
“ ඔසඳ ගැනද කියන්නෙ?”
“ කවුරු ගැන වුණත් ඒක එහෙමයි”
“ අපි මේ ඉන්නෙ විසි එක් වෙනි ශතවර්ෂෙ.. මං දන්නවා ඔයා හැදුණෙ හැටේ දශකෙ තමන්ගෙ තරුණ වයස ගෙවපු කෙල්ලෙක් එක්ක.. ග්‍රේස් මම්මා ඔයාට පෙන්නපු ලෝකෙ හැම වෙලාවෙම හරිම නෑ.. “
“ ඒත් මං ආරක්ෂිතයි නේද ?”
“ මොකකින්ද?”
“ මගෙන්ම”
“ මොකක්ද ඔයා ආරක්ෂිතයි කියලා දකින්නෙ?”
“ මට තේරෙන්නෙ නෑ පවන්. මං දන්නවා. මාව පහුකරලා මං වටේට තියෙන ලෝකෙ එක සැණෙන් ඉස්සරහට යනවා කියලා. ඒත් මට මේ ටෙක්නොලොජි එක්ක දුවගෙන යන්න බෑ.. මං හති වැටෙන්න කැමති නැති කෙල්ලෙක්”
පවන් මෘදු ලෙස ඇගේ හිස වටා අත දමා සිය උරහිසට වාරු කරගත්තේය.
“ කොහොමටවත්ම හති වැටෙන්නෝන නෑ ඔයා” කිව්වේය. ඇය කවදාවත් කිසිම පිරිමියෙකු සිපගෙන නැති බව පවන් දැනගෙන සිටියේය. ඒ දෙතොල සිප ගැනීමේ උන්මාදයෙනුත් පෙළුණේය. ඒත් එය කොයිතරම් දුරකට නිවැරදිද කියා තනිව කල්පනා කරද්දී හැකි තරම් දුරකින් සිටියේය. මේ හැඟී්ම ඔහුතුල ඇති වී ඇති අවස්ථා බොහොමයකි. කෝපි හලේ විඩියෝ වලට ඇගේ ඇගිලි කෙහෙරැලි වැනි ඉතා සමිපදසුන් ඔහු විඩියෝ කර තිබේ. ඒ සමහර අවස්ථාවල ඇයට නොදැනෙන්නට ඇගේ දෙතොල් පවා ඒ් විඩියෝ වලට නගා තිබේ. ඒ විඩියෝ ඒඩිට් කරන වෙලාවලදී පවන් ගේ සිතේ ඇය පිලිබඳව සාහසික ආදරයක්ද ඇතිවී ඇත.
“ ආදරේ කියන්නෙ මහ අමුතු දෙයක්. අපි ආදරෙන් බැඳෙද්දී හිතන්නෙවත් නැති දේවල් අපි ආදරේ වෙනුවෙන් කරන්න පටන් ගන්නවා. මං ඔයා ගැන බය.. ඔයා ආදරේ ගැන හිතන විදිය මං දන්න හින්දා. ඔයා මුලු ආත්මෙන්ම වින්ටේජ් කෙල්ලෙක්. ඔයා අවංකයි. ඔයාගෙ හිත බැඳෙන කෙනාට ඔයා සලකන්න හිතන විදිය පවා මට හරි පැහැදිලි. ඔයාව කුමාරිකාවක් වගේ බලා ගන්න පුලුවන් කොල්ලෙක්ට ඔයාව අයීති වෙන්නෝන…”
සව්මි පවන් දෙස බලා සිටියාය. ඇයගේ හිතින් මැන බැලුවේ ඔසඳ ට මේ කියනාකාරයෙන් තමන්ව බලා කියා ගැනීමේ උවමනාව ඇත්තටම ඇත්ද කියාය.
“ මං කොහොමද දන්නෙ පවන් මට ආදරෙයි කියන කෙනාට ඇත්තටම මං ගැන එහෙම වටිනාකමක් තියේවිද කියලා” ඇය ඇසුවේ අසරණ විලාසයකිනි.
“ එයා ඔයාට ඒ වටිනාකම දෙන්නෝන. වචන වලින් නෙමෙයි..”
“ මං හැමදාමත් මේ වහල යටදී සැලකිල්ල කියනෙක විඳලා තියෙනවා පවන්. ඒත් මං ආදරේ විඳලා නෑ”
“ ඒක මට තේරෙනවා. ඒ නිසාම තමයි මේ ලෝකෙ වටිනම දේ විදියට ඔයාට ආදරේ දැනෙන්නේ.”
“ ඒක වැරදිද?”
“ නෑ.. මිනිස්සුන්ට වැඩියෙන්ම ඔිනෙ ආදරේ .. මිනිස්සු කියන්නෙ තනිව ජීවත් වෙන්න පුලුවන් ජාතියක් නෙමෙයි. මං ඒක දන්නවා..”
පවන්ට තියෙන්නේ හිත් අමාරුවකි. ඇත්තෙන්ම ඔසඳ ඒ ඇයට ගැළපෙන නියම පිරිමියාද කියා දැනගන්න විදියක් ඔහුට නැත. ඇයගේ හිත ගිහින් ඇති මිනිසා ද අමුතු එකෙකි. පවන් මේ වෙලාවේ ඉන්නේ පැටළිලි හිතකිනි. ඔහු වම් පසට සිය මුහුණ හරවා ගත්තේය. ඇගේ කොපුලට ඔහුගේ හුස්ම මෙන්ම දෙතොලේ වෙව්ලිල්ලද දැනෙයි. කෙල්ලන්ට ඉව තියේ තමන් ගේ හිත මේ නතු වෙන්නට යන්නේ කුමක් හෝ දරුණු ග්‍රහණයකට බව ඇයට දැනිණි. ඇය නිකමට හෝ පවන් දෙස නොබලා ඉන්න ප්‍රවේශම් වුවාය.
“ හැමදාම මට ඔින වුණා.. ඔයාගෙ ෆස්ට් කිස් එක වෙන්න” පවන් කීවේ හිතිනි. මේ වාක්‍යය ඇය කොහොම පිළිගනිවිද ඔහු දන්නේ නැත. ඒත් මේ ඒක කියන්නට වෙලාව නෙමෙයිද? එක්කෝ ඇය ඔහුව පිළිගනීවි. නැත්නම් ප්‍රතික්ෂේප කරාවි.
“ සවුමි… ඔයා දන්නවද අවුරුදු 15 විතර ඉඳන් ඔයාව දකින හැම වෙලාවෙම මට ඔින වෙලා තිබුණෙ මොකක්ද කියලා”
ඇය අහස දෙස බලාගෙනම හිස සෙලෙව්වාය. නැහැ කියන්නටය.
“ ඔයා ගෙ ෆස්ට් කිස් එක වෙන්න” සවුමි ඒ හඩට තිගැස්සුණාය. පුංචි කාලයේ ඉඳලාම එකට හැදී වැඩී සිටියත් පවන් ගේ කොලුකම් පිරුණු ඇස් ළඟ ඇය අතරමං වු වාර නැතිවාද නොවේ. ඒ පවන් සිය හැඟීම් සඟවා ගන්නට නොදන්නා කාලයේය. පසුව ඔහු සෙමෙන් සෙමෙන් සංයමය පුරුදු වුයේය. සවුමි තියා වෙන කිසිම කෙල්ලක හමුවේ ඒ ඇස් වලින් ආසාව වැගිරුණේ නැත. ඔහු නියම පිරිමියෙකු මෙන් ස්වයං පාලනයෙන් යුක්ත වුවේය. පැණි හලන පිරිමියෙකු නොවේ. තේජසින් පිරුණු ජේත්තුකාරයෙකු වුයේ එහෙමය. ඇය මේ වාක්‍යයත් සමඟ දිගු සුසුමක් හෙලුවාය.
“ මං ඒක දන්නෙ නෑ. කොහොමද කියලා…මං හිතන්නේ මං ආදරේම කෙනා එනකම් මං ඒක වෙනුවෙන් බලං ඉන්නවා වෙන්න ඇති” ඇය කීවේ පවන්ටද සුළඟටද කියා ද සැකයකි.
“ ඔයාට කවදාවත්ම මට ආදරේ හිතිලා නැද්ද?”
සවුමි ඒ වචන වලට නම් තිගැස්සිණි. ඒ තිගැස්ම සඟවා ගන්න හැකි නොවීය. ඇයත් ඔහුත් අතර නිශ්ශබ්දතාවයකි. ඒත් හිස් නැත. දහසකුත් හැගීම් වලින් ඒ නිශ්ශබ්දතාව පිරී ඇත. පවන් සිය අතින් ඇගේ හිස් මුදුන පිරිමැද්දේය. නැවත අහස දෙස බලා ගත්තේය.
“ මං කොහොමද මගේ සීමාව අමතක කරන්නෙ?” ඇය මෘදුව කීවාය.
සීමාව.
“ ඔයා පවන්, ඔයා මේ අධිරාජ්‍යයක් වගේ තියෙන බිස්නස් එකක කුමාරයා වගේ මට හැම වෙලාවෙම දැනෙන්නේ. මං කව්ද කියලා හිතුවොත්.. මං නිකම් මේ ෆැමීලි එකට මගදී තෝරගත්ත කෙනෙක් විතරයි…”
පවන් හිස සෙලෙව්වේය.
“ ඔයා ඒක්ක ඉන්නෙ කවුද කියනෙක .. ඒක හැමවෙලාවෙම හැම කෙනෙකුටම ප්‍රශ්නයක් වෙන විදියක කෙනෙක් ඔයා.. මං වගේ කෙනෙක් කියන්නෙ ඔයා වගේ කෙනෙක් එක්ක හීනයක් විතරයි .. ඒක හීනයක්.. මං ඒ වගේ හිනෙක අතරමං වෙන්න කැමති නෑ”
ඇය සෙමෙන් වුණත් තාර්කිකව ඇගේ සීමාව උදෙසා නිදහසට කරුණු කීවාය.
“ එතකොට අර කොල්ලට ආදරේ හිතන්න කලිනුත් මෙච්චර කාරණා කාරණා හිතුවද ඔයා?”ඇය සුසුමක් හෙලුවාය. ඇත්තෙන්ම නැත. ඒත් ඒ සාමාන්‍ය මිනිසාට අඩු තරමේ ළංව කතා කරන්නට ඇයට හැකිය. පවන් ඇගේ හිසෙන් සිය අත අහකට ගත්තේම නැත. ඇය තාමත් ඒ පිරිමැදුම ගැන ලෝබ සිතිනි. ඔහුගේ ඇස් ඇගේ මුහුණේ ඇවිදින්නේ නිදහස් සිතිනි. හරියට තමන්ට අයිති කෙනෙකු දෙස බලා හිඳින්නාක් මෙනි.
“ හැමදාම ළඟ හිටියා මං ඔයාගෙ. මලක් වගේ ඉන්න ඉඩ දීලා බලාගෙනම හිටියා..”
“ ඔයා ඒ අතරෙ ඔයාගෙ ජීවිතේ වින්දානේ පවන්”
“ හුගක් දේවල් කලා මං ඒත් මට ඔයාව අමතක කරගන්න හුගක් අමාරුයි. තාමත් මට ඒක දැනෙනවා. වැඩියෙන්ම දැනෙන්නේ ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරන්න යනවා කියලා දැනගත්තාම.. මේකයි. මං දන්නවා ඔයාත් ආස ඇති කොල්ලෙක්ගෙ ආදරේ විඳින්න. ඇවිදින්න.. ආදරේ කරන්න. කතා කරන්න.. ළඟින් ඉන්න.. මට ඒ හැමදේම තේරෙනවා.. නොතේරෙනව නෙමෙයි”
“ ආදරෙ ්කරනවා නම් මුලු හිතින්ම ආදරේ කරන්න ඔ්නෙ.. මම ආස නෑ කාටවත් වංචා කරන්න”
ඇය කීවාය. එයින් පවන් ට තරමකට රිදිණි. තමන් මේ ආත්මාර්තකාමි ලෙස ඇය ආදරය කරන්නට හදන කෙනාට වංචාවක් කරන්නට ඇයව පොළඹවන්න උත්සාහ කරනවා යැයි සිතනවා නම් ඒ ඇයට වු වරදකි.
“ ඇහැරගෙන හිටියා ඇති.. ඔයා යන්න දැන් නිදා ගන්න” පවන් ඇගේ හිසට අත තියාගෙනමය කිවේ. සවුමි ට ඒ මොහොත ගැන ලෝභ සිතිණි. සිඟිති වියේ සිටම මේ ඇගේ වීරයා නොවී යැයි කොහොම කියන්නද? ඇය බාලිකාවට යන වෙලාවල ජාත්‍යන්තර පාසල් නිල ඇඳුම ඇඳ ඔහු පාසැල් යනවිට පවා ඇය ඔහුට ආදරය නොවී යැයි කියන්නේ කොහොමද?
“ ජීවිතේ සමහර සීමා දුරස් වෙලා තියෙන්නේ උතුරන ආදරේකින්… ඒවා අල්ලන්න යන්න හොඳනෑ.. ඒ ආදරේ අඩු වෙන්න පුලුවන්” ඇය කීවේ පවන්ගේ ඇස් මත ඇස් තියාගෙනමය. ඇය යන්නට නැගිට්ටාය. පවනුත් ඒ සමගම නැගිට්ටේය ඇයට ආපහු යන්න ඉඩ දෙමින් ඔහු සුළං මුහුණතට මුහුණ හැරෙව්වේය. ඒත් සවුමි මෙතෙක් ජීවිතයේ රැකගෙන ආ සංයමය ඇයව දරුණු ලෙස ප්‍රශ්ණ කළේ මේ මොහොතේය.
නින්දෙන් ඇවිදින්නාක් මෙන් ආපහු හැරී පවන් වෙත ඇවිදිමින් සිටියේ ඇයයි. ඇගේ ඇස්වල ලොකු කඳුලු ගුලි ය. කවදාවත් ආයේ අද වැනි දවසක් ඒ දැයි දන්නේ කවුරුන්ද? සිමාව හිතන්නේ නැති විදියට ස්පර්ශ වී තියේ. පවන් ආපහු හැරී පුදුමයෙන් මෙන් බලා උන්නේය. සවුමි ඇවිදගෙන ඇවිත් පවන් ගේ පපුවට මුහුණ ඔබා ගත්තාය.
“ තහනම් දෙයක්ද මං ඇහුවෙ?” දෝතින් ඇගේ මුහුණ අල්ලා ගෙන ඒ ඇස් දෙකට එබෙමින් පවන් ඇසුවේය. ඇය කිසිත් නොකියාම සිටියාට ඇගේ ඇස්වල කඳුලු කතා කළේය. පවන් සිය බලාපොරොත්තුව ට ඉඩ දුන්නේය. මල, සිය දෙතොල් ස්වකැමැත්තෙන් ඔහුට දන් දුන්නාය.
“ ආදරේ කරාට කමක් නෑ… හැමදේම හොද අතට විසදෙනකම් මලක් වගේ ඉන්න”
පවන් කීවේ ඇගේ හිසකේ සිය දෙඅතින් ඇගේ දෙකන් පසුපස ට කරමිනි.
“ මට එහෙම කරන්න බෑ කියලා හිතෙනවා ..” ඇය කීවාය. එහි තේරුම ඇයට ඔසඳට කතා කරන්න බැහැයි කියනා එකද?
“ මට බෑ ඔයාගෙ හීන හොරකම් කරන්න. ඔයා දන්නවා ඒක..”
“ ඔයාට දුක නැද්ද පවන්”
“ දුකයි… බලං ඉන්න බැරි තරම්. ඒ්ත් මට ඔයාගෙ ජීවිතේ සතුට උදුරගන්න බෑ.”
සවුමි නින්දේදී සිය දෙතොල පිරිමැදගත්තාය. පළවෙනිම හාදුවෙන් පසු හිතට දැනෙන අනෝරා වැහි ස්වභාවයකින් හිත නොසන්සුන්වී තිබේ. පවන් ඊට වඩා නොසන්සුන්ය. ඒ මොහොතේ හැඟීම් ගණුදෙනුව සංකීර්ණ වු බව සැබවි. ඒත් සවුමි වගේ කෙල්ලක් කොහොම මේ සියල්ල සමඟ ඉදිරියට යාවිද කියා ඔහුටද දැන් ගැටලුවක් තිබේ. අනික් අතට, ඒ දෙතොල් ගණුදෙනුවේදි වින්ද හැඟීමට ඇතිවෙන ලෝභකම මේ එකම වහළක් යටදී කොහොම නොඇවිළි ඉන්නද කියා වැටහෙන්නේද නැත.
සවුමි හිත හරියටම හදා ගත්තාය. කවදාවත් ඉශ්ට නොවෙනා හීනයක සදාකල් ජීවත් විය නොහැක. මේ පවන් වෙනුවෙන් ඇගේ හිතේ වු කැමැත්තේ අග්‍රඵලයයි. එය අද ඒ විදියට විසඳිණි. දැන් පවන්ටත් ඇයටත් හිත් වල සඟවා ගෙන ඉන්නට කිසිත් නැත. ඒ රැයෙහි කිසිම කිසිවක් සිදුවුයේ නැතැයි හිත හදාගත යුතු බව ඇය තරයේ තීරණය කළාය.
)%20(6).png)
No comments:
Post a Comment