🌿 OLIVE — Episode 15
ආදරේ වෙනුවෙන් ඔලිව්
ඉතින් සවුමි තරමක බියෙන් වුණත් පවන්ගේ දොර අසල සිරුවට නතර වුවාය. දොර අගුලු ලා තිබුණේ නැත. සවුමි සෙමෙන් දොරට තට්ටු කළාය.
“ ඇතුළට එන්නද?”
“ මොකටද?”
“ එන්නද එපාද?”
“ ලොක් කරලා නෑ”
ඇගේ මුවේ සිනාවක් ඉතිරි විය. මොන පන්ඩිතකම් කියෙව්වත් දොර ලොක් කර නැති බව කියන්නේ ආරාධනා කරන්්නට මිසක වෙන මොකකටද? යුවතිය දොර විවර කරගෙන ඇතුලට එද්දී අහංකාරයා සිටියේ ඇදේ දිගාවීගෙනය. පරිස්සමට තේ කෝප්පයත් කේක් තියා ඇති දීසියත් කාමරයේ ඇති තරමක් ලොකු මේසය මත තියා ඇය හැරී පවන් දෙස බැලුවාය.
“ එන්න මේ තේක බොන්න”
“ ඒපා”
“ බොන්නකො “
“ ඔින නැ මං කිව්වනෙ”
“ පිස්සු නැතුව බොන්න පවන්”
පවන් නැගිට මේසය ළගට ආවේය.
“ ඔයාට මේකට ඉන්වොල්ව් වෙන්න දෙයක් නෑනෙ. මෙහේ වෙන මිනිස්සු ඉන්නවානෙ වැඩ කරන්න. දැනුත් ආයෙත් ඒකම කළා ඔයා”
“ ඕක අතැරලා දාන්නකො පවන්”
සවුමි කීවේ පවන් දෙස උවමනාවෙන් බලාගෙන. පවන් ගේ මුහුණ ඇදවී තියේ. මූලය සොයා ගත නොහැකි, රොගයක් නිශ්චය කිරීමේ අසීරුතාව හොදින් ම දන්නේ වෛද්‍යවරුන් ය. සවුමි ද පත්ව සිටින්නේ එවන් තත්වයකය.
පවන් ගේ සිතේ තියෙන්නේ වෙන කැළැත්තීමකි. ඒ කොයිතරම් කරදරකාර එකක්දැයි කියනවා නම් එය මේ දවස් වල ඔහු සම්බන්ද වෙන හැම දේකින්ම පැහැදිලි වෙන්නේය. මේ හදිසියේ සවුමිගේ කර මතින් කැරකෙන්නේද ඒ අවුල් සහගත බවයි. නමුත් සවුමි පවන් ගේ සිත හඳුනන්නේ නැත. පවන් ගේ පෙම්වතියන් හැමවිටම ඉහළ සමාජය නියෝජනය කරන ලද පවුල් වල අය වුහ. ව්‍යාපාරික පෙළපත් වලට උරුමකම් කීහ. ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ඉංග්‍රිසි වතුර වගේ චතුර ලෙස යොදා ගත්හ. මේ බොහෝ පෙම් කතා සවුමි ද දැන සිටි ඒවාය. ඒවන් පවන් කිසිවිටෙකත් තමන් වගේ සාමාන්‍ය සමාජශීලී නොවන කෙල්ලක සමඟ ආදරයක් ගැන හීන මවතැයි ඇයට නිකමට සිතෙන්නේවත් නැත.
“ මේ වගේ දේවල් දිහා සාමාන්‍ය විදියට බලන්නකො”
“ ඇයි මං බලන්නෙ අසාමාන්‍ය විදියකටද?”
“ අයියෝ .. අනේ මන්ද…”
“ ඔයා ඔයාගෙ තැන තියාගෙන ඉන්න පුරුදු වෙන්න”
“ මං මගේ තැන දන්නවා”
“ නෑ.. ඔයා දන්නෙ නෑ. ඔයාට කිසිවගක් නෑ ඇත්තටම”
“ අනේ පවන් මාත් එක්ක බොරුවට රණ්ඩු කරන්න එපා”
ඔි සුසුමක් හෙළුවාය.
“ ඔයා මොනවද සවුමි ජීවිතේ ගැන දන්නෙ? මේ ලෝකෙ ගැන දන්නෙ?” පවන් සුසුමක් හෙළුවේය.
“ මට තව මාස අටකින් අවුරුදු විසි තුනක් ලබනවා. මං මේ ලෝකෙ ජීවත් වෙන තරම් මම වැඩිලා නැහැ කියලා ද ඔයා කියන්නෙ”
පවන් හිස සැලුවේය. ඇගිල්ලකින් සිය හිස් මුදුන පිරිමැද ගත්තේය.
“ නොඒළඹුණු හෙට දවස් ගැන ඇත්තටම මම දන්නෙ නෑ පවන්. මම මේ ලෝකෙ විශ්වාස කරන්නේ මම මේ ජීවත් වෙන මොහොත විතරයි” ඇය කීවිට පවන් තිගැස්සුණේය. ඇය මේ හිතන සමහර දේවල් ඔහුට හිතෙන්නේ වත් නැත. ග්‍රේස් මම්මා සවුමිට පොත පත කියවන්නට දුන් බව ඔහු දැක තිබේ. ඇය මේ අවබෝධය ලබාාගෙන ඉන්නේ ඒ පොත් පත් කියවීමෙන් විය යුතුය. සෝබනේට ඉංග්‍රිසි පොත පත මිළට ගන්නා පෙම්වතියන් මිතුරියන් ඔහුට ඉඳතිබේ. ඒ කෙල්ලන් පොත පත කියවනවා යැයි කිව්වාට ඉතින් ඇත්තටම උන් තුල ජීවිතය ගැන තියෙන අවබෝධයක් නැත.
“ අර කොල්ලා මොනව කරන කෙනෙක්ද?” තමන්වම තමන් සමඟ සමථයකට පත් කරගන්නා අතරේ පවන් විමසුවේය. සවුමි මොහොතක් පවන් දෙස බලා සිටියාය. “ අයිටි කරන කෙනෙක්” ඇය තමන් දන්නා දේ කීවාය.
“ කොහෙ කෙනෙක්ද?”
“ මාලඹේ”
“ ආ”
“ යුසිඑස්සි එකේ ඉඳලා තියෙන්නෙ”
පවන් හිස සැලුවේය. ඇය තවදුරටත් කිසිවක් කියන්නට නොගියාය. පවන් ඒ ගැන උනන්දුවක් නැහැ වගේ හැසිරුණ බැවිනි.
“ දැන් කාලයක් තිස්සෙ ඉඳලද ඔය යන්නෙ එන්නෙ එහෙම”
“ එහෙම ලොකු කාලෙකුත් නෑ”
සෙමෙන් හිස වනනා අතරේ ඔහු තමන් අසනා විස්තර විශ්ලේශණය කරගනිමින් සිටින බව පෙනිණි. ඇයට ඔහු හමුවී වැඩි කාලයකුත් නැත. එහෙත් ඔහු දෙසතියක් තිස්සේකෝපිහලට නොඇවිත් හිඳීම ඇගේ සිතේ ඇති කරන්නේ කංසාවකි. මේ ගැන පවන් සංකීර්ණව සිතන්නේය.
“ ඔයා හිතන්නෙපා මං මේ විස්තර අහන්නෙ ඔයාව සැක කරලා හරි, නැත්නම් ඔයා කොල්ලෙක්ව තෝරගනිද්දි ඔයාගෙ ජීවිතේට බලපෑමක් කරන්න හදනවා හරි කියලා..”
සව්මි පවන් දෙස හිසෝසවා බැලුවාය. ඇගේ පපුව තරමක වේගයෙන් ගැහෙන්නේය.
“ මට බයක් තියනවා..”
“ මට තේරෙනවා”
“ හ්ම්.. මොනදේ වුනත් කල්පනාවෙන්. කිසිම දේකට ඉක්මන් වෙන්න එපා..”
“ බය වෙන්න එපා … මං දන්නවා..”
පවන් ගේ සිත කැළඹිල්ලේය. මෙතැන ඉරිසියාවට වැඩි යමක් හැම තිස්සේම තිබේ. සවුමිත් ඔහුත් එක වයසේම වුණත් ඔහුට සවුමි ව දැනෙන්නේ කුඩා දැරියක් වාගේය. ග්‍රේස් මම්මා ඔහුට පරිස්සම් කරන්නට දී ගිය කුඩා බෝනික්කියක් වාගේය. මේ තරම් කාලයක් ඇයව පරිස්සම් කරන්නට සිදුවුයේ ආදරයකින් නොවේ. මේ ඇගේ සිතේ ආදරය හට ගන්නා කාලයයි. දැන් ඇය ව පරිස්සම් කරගන්න නම් කුමක් කළ යුතුද කියා ඔහුට වැටහෙන්නේ හෝ නැත
මේ ගැන අක්කා සමග කතා කරනවා යැයි ඔහු වරෙක සිතුවේය. නමුත් සුලලි කියන්නේ ප්‍රේමය වැනි කාරණා ගැන බරට සිතනා යුවතියක නොවේ.
“ අයියෝ ඔ්වා ගණන් ගන්න එපා. මම කී දෙනෙක්ව ඩේට් කරලා හිටියද? සවුමි ට එයාගෙ ජීවිතේ ගෙවන්න ඉඩ දෙන්න..” ඇය අනිවාර්යෙන්ම ඒසේ කියනු ඇත. පවන් සවුමි දෙස මොහොතක් බලා හිඳ ඇගේ හිසු මුදුන පිරිමැද්දේය. සවුමි බලා සිටියේ කවුලුවෙන් පිටතය. මේ මෘදු උණුහුමත් ආදරණීය රැකවරණයත් දරා ගැනීම ඇයට ඇත්තෙන්ම පහසු නොවන්නේය. ඇගේ දෙඇස් මත කුඩා තෙතක් බැඳෙයි. ඇයට ඒ කඳුලු තෙත පවන් ගෙන් සඟවා ගැනීමට උවමනාය.
ඇගේ අතැගිලි පිරිමැද මෘදු ව සිපගෙන සමුදෙන්නට උවමනා වු විට පවන් කළේම ඇයටද හොරෙන් ඇගේ නෙතු හිතින් මෙන්ම නෙතිනුත් සිප ගෑනීමය. පසුව අනික් වැඩ සියල්ල පසෙක දමා ඇඳට නැග නින්දකට වැටීමය. නමුත් ඔහුත් නොදන්නවාට ඔහුගේ ජීවිතය මේ වන විට සාමාන්‍ය දින චරියාවෙන් මග හැරි තිබේ. ඔහු වෙනසා මෙන් ව්‍යායාම් කරන්නට ගොස් නැත. ටෙනිස් සෙල්ලම් කරන්නට ග්‍රීන් පාත්හි ටෙනිස් පිට්ටනිය කරා ගොස් නැත. ඩාරා ලංකාවේ සිටියදී දෙදෙනා එක්ව ටෙනිස් සෙල්ලම් කරන්නට යති. දැන් ඒ සියල්ල වෙනස් වී තිබේ. හේතුව ඩාාරා ලංකාවේ නැතිකම නොවේ. පවන්ට උවමනාවක් නැතිවීමයි.
කොළඹ අහස යට තව තැනක,
ඔසඳ සිය පරිගණකය ඉදිරියේ හිඳගෙන සිටියේය. ඔහු බලමින් සිටියේ කැෆේ 66ත් හි ෆේස්බුක් පිටුවය. ඔවුන් තමන්ගේ සිග්නේචර් කොෆී එක ලෙස හඳුන්වා දෙමින් තිබු අලුත් කෝපි පිලිබඳ විස්තරයයි. ඔවුන් එය විජේබණ්ඩාර පවුලට ආවේණික පුරාණ කෝපි රෙසිපියක් බව පවසති. ඒත් මේ මොකක් හෝ පටලැවිල්ලක් යැයි ඔසඳගේ සිත කියයි. එහෙම කියන්නට ප්‍රභල හේතුවකි.
ගැහැනු ගැන මොන මොන අත්දැකීම් පැවතියද, හිත සෙළවු යුවතියක මතකයක් ඔහුට කොහොමත් තියේ.ඒ මතකයට අත පොවන්නේ නැතිව ඔහු මෙතෙක් කාලයක් බොහෝ ප්‍රවේශම්වී ජීවත් වුයේය. නමුත්, තවදුරටත් එය එසේ වන්නේ නැතිබව දැන් ඔහුට ප්‍රත්‍යක්ෂ වෙමින් පවතියි.
ඒත් මේ කාරණා සියල්ල ලිහා ගන්නේ කොහොමද කියා ඔහුට අපැහැදිලි ය. සවුමි ගැන ඇතිවු ආදර අංකුරය දෙවෙනිවට වැටෙන්නත් සව්මි හැදු කෝපි එක මුල්තැනට එන්නටත් යනවගක් පෙනෙන්නේය. ඔසඳ පවන් ගැන කල්පනා කළේය. පවන් ගේ පෞරුෂය, පවන්ගේ සමාජ තත්වය, ඇය නිරන්තරයෙන් දකින ගණුදෙනු කරන පිරිමි චරිතය පවන් ය. ඔහු පවන්ගේ ප්‍රොෆයිලයට ගියේය. එය වැඩිය ක්‍රියාත්මක වන්නේ නැති ෆේස්බුක් ගිණුමක් බව පැහැදිලිය. සුදුපැහැ කොලරය සහිත ටීශර්ට් එකක් සුදු පැහැ කොට කලිසමක් හැඳි ටෙනිස් සෙල්ලම් කළ අවස්ථාවක ගත් ඡායාරුවක් ප්‍රොෆයිල් පින්තුරය වශයෙන් තිබේ. ඒ හැර වැදගැම්මකට ඇති කිසිවක් නැත.
ඔහු දුරකතනය අතට ගත්තේය. මේ මොහොතේ ඔසඳ තමන් ක්‍රියාවිරහිත කර තිබු දුරකතනයය මේ පාවිච්චි කරන්නේ. ඒ මේ කියන්නට යන දේ එතරම්ම වැදගත් හින්දාය. නමුත් ඔහු කිසිසේත්ම ඩේටා ඔන් කිරීමෙන් වැළකි සිටියේය. හිතේ මකා නොදැමු අංකයකි. ඔහු ඉලක්කම් එබුවේ ඒ මතකයෙනි. බලාපොරොත්තු ඇතිව ඒ අංකය ඩයල් කළත් එය සම්බන්ධ වුයේ නැත. සුසුමක් අත් හැරිණි. ඒ අංකය පාවිච්චි කරන කෙනා ට තවමත් තමන් කෙරෙහි ඇතිවු අප්‍රසාදය කෙළවර වී නැත.
ටික වේලාවකින් ඔහුට දුරකතන ඇමතුමක් ආවේය. ඒ අර පෙර කී අංකයෙන්මය. එයින් ඇසුණේ ඒ කටහඩමය. අතීතය අවුස්සා පෙළෙද්දී නවාතැන වු ඇයගේ කටහඩ ය.
“ ඔසඳ, කොහොමද?” ඇය කිසිදු වෙනසක් නැතිව කතා කළාය. කිසිදු අප්‍රසාදයක් ඒ කටහඩේ ගෑවීවත් නොතිබිණි. තමන් පිලිබඳ වැරදිකාර හැඟීමක් ඔහුට දැනෙමින් තිබේ. ඇගේ හිතේ මහ ගොඩාක් වේදනාව පුරවා ඇය අමතකම කර දැමු වරද පිලිබඳ මියෙන තෙක් සැනසීමක් නැත.
“ අවුලක් ණෑ ශේප් එකේ ඉන්නවා..”
“ මොකද මට අද කතා කලේ?”
ඔසඳ ඇය හා දිගටම කතා කරනවාද නැද්ද කියා කල්පනා කළේය. ලෝකයේ කොතැන කොහොම වීරයෙක් වුවත් සමහර තැන්වලදී මිනිස්සු දියවී යන්නේ බලා ඉද්දීමය. එය ඔසඳට පවන්ට පමණක් නොවේ. සවුමිටද එසේමය.
“ මට වැදගත් දෙයක් තියෙනවා කියන්න” ඔසඳ කීවේ මේ කතාබහ ඇතිවෙන්න හේතුව ඒවැනි ඉලක්ක සහගත බව ඇයට ඇගවීමටය .
“ ඒක මිසක් මං හිතුවා ඒත් මාව මතක් වෙලානම් කෝල් කරන්නෙ නැ කියලා”
ඔසඳ සුසුමක් හෙළුවේය. පිරිමි පහසුවෙන් එක් ගැහැනියක් ගැන සීහිපත් කරන්නේ නැත. ඔවුන් මතක වළ දමාගෙන ජීවත් වෙති. ඒ ඔවුන්ගේ ස්වභාවයයි. එහෙත් එක් ගැහැනියක් හැමවිටම හිස ඔසවා බලති. මතක අස්සේ ද තොරණ් අමුණති. ජීවිතය නම් දීර්ඝ ගමන තුළ මේ එකම එක ගැහැනියගේ මතකයන් තුළ සජීවිව ජීවත් වෙති.
“ ඔයාට මතකද මං වැඩ කරන්න පටන් ගනිද්දී අපි මගේ කෝඩ් එක හදන්න පාවි්ච්චි කළේ මොකක්ද කියලා”
“ හ්ම්… සීයා පප්පාගෙ අන්ෆිනිශ්ඩ් රෙසිපි එකේ … නම”
“ මට ඒ රෙසිපි එකට සමාන රෙසිපි එකක් ඇති කියලා හිතෙන කෝපි එකක් ගැන දැනගන්න ලැබුණා.”
ඔසඳ කීවේ කල්පනාවෙනි.
“ ඔයා කියන්නේ…ඒ රෙසිපි එක ම කවුරුහරි ට්‍රයි කරලා කියලාද?”
“ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්”
“ දෙ……..යියනේ.. කොහෙද ඔසඳ ඒ”
“ මං ඒක හරියටම දැනගෙන කියන්නම්..”
“ හ්ම්”
“ ඉතින් ඔයා දැන් සතුටින් ඉන්නවද ?” ඔසඳ කතාව වෙනස් කළේය. ඇය සුසුමක් හෙළනු ඔහුට ඇසිණි. ප්‍රේමයේ අක්මුල් හාරවුස්සා බැලුවෝතින් මේ ඒ හෘද වස්තුවමයි.
“ ඔයාට එහෙම අහන්න අයිතියක් නෑ!”
ඇය කිවෙ ගණනකට නොගෙනය.
“ එහෙම කියන්නෙපා… මට වුනත් හිතක් පපුවක් තියෙනවා”
“ හ්ම්ම්ම්…”
“ අපි හරි ආදරෙන් හිටිය කාලයක් තිබුණා. මගේ ජීවිතේ හැමදේම පටන් ගත්ත තැන එතන. ඔයා හිටියෙ මං එක්ක..”
“ මං අනික් හැමදේම දාලා ඔයා එක්ක දිගටම ඒ ගමන එන්න හිතන් හිටිය කෙල්ලෙක් ඒ කාලෙ”
“ මං තමයි ඔයාව නැති කරගත්තෙ.. දැන් මං ඒ වැරැද්ද ගැන පසුතැවෙනවා”
“ ඔ්ක හරි කොමන් වාක්‍යයක්. කොල්ලො කියන. සම්බන්දෙ නතර කරලා ගිහින් පස්සෙ ආපහු දුක කියාගෙන එනවා”
ඔහු මුව අගින් සිනහවී බිම බලා ගත්තේය.
“ ඒවගෙන් දැන් වැඩක් නෑ.. මං බයෙන් හිටියෙ මට දැනගන්න හම්බ වුණා.. ඔයාට වෙච්ච දේවල්..”
“ ඒ දවස් වල ගැන නම් කියලා වැඩක් නෑ”
“ ඔයාගෙ වැඩ ගැන තාම ඒ අය හොයනවද?”
“ මං ලොකුවට ඇක්ටිව් වෙලා හිටියෙ නෑනෙ.. දැන් නම් මං පොඩීයට වැඩ ටිකක් කරගෙන යනවා”
“ ඔයාට මං නම් කියන්නේ ඔිවා ඔක්කෝම අතැරලා දාලා ඔයාගෙ ටෙක් කම්පනි එක දියුණු කරගන්න බලන්න”
“ හ්ම්… සල්ලි හම්බවෙන වැඩ කරන්න මං දැන් පුරුදු වෙලා…”
“ ඒත් ඒකෙ භයානක කම..”
“ පරිස්සමෙන් තමයි වැඩ කරගෙන යන්නෙ”
ඇය සුසුමක් හෙළුවාය. ඒ දවස් වල ඔහු තරුණම තරුණ අභිලාෂයන්ගෙන් පිරුණු කොල්ලෙකි. විශ්ව විද්‍යාලයට කිට්ටුව ඇති බැංකුවක බැංකු නිලධාරිණියක්ව සිටි ඇයට මේ අහඹුව මුණගැසෙන දීප්තිමත් ඇස් ඇති කොල්ලා ව මතකයේ රැඳි තිබිණි. ඔහු ගේ තරමකට උස, වැඩි මහතක් නැති සෘජු පුළුල් උරහිස් සහ නිරන්තරයෙන් අතේ රැඳෙන ලැප්ටොප් එක වගේ එක එක කැබලි එකතුවී සම්පුර්ණ රුපයක් මෙන් ගොඩනැගී ඒ මතකය නඩත්තු විය.
කෙසේ හෝ ඒක් අවස්ථාවකින් පසු දෙදෙනාගේ හිතවත්කම සම්බන්ධතාවයකට පෙරැළිණි. අවිවාහක තරුණයෙකු හා අවිවාහක තරුණියක අතරේ සම්බන්ධතාවක් ගොඩ නැගෙන විට වයස වගේ සාධකයක් පිලිබද වැඩි අවධානයක් යොමු කිරීම උවමනා නැතැයි ඔසඳ සිතා සිටි නමුත් දෙදෙනාගේ ගැඹුරු සම්බන්ධතාව විවාහයක් දක්වා දුරදිග නොගියේ ඒ හේතුවෙනි. කාව්‍යා, ඒ බැංකු නිලධාරිනිය පත්වුයේ වෙනත්ස ආකාරයේ පීඩනයකයට.
ඇය ඔසඳට පෙම් කළාය. ඔසඳව සම්පුර්ණයෙන් රැක බලා ගත්තාය. ඇගේ අතින්ම හැදු කැමබිම ඔහුට ගෙනැවිත් දී ඔහු ඒ දවස් වල නතරවී සිටි කුඩා කාමරයට පැමිණ අස්පස් කරදී රෙදි සෝදා දී සතියකට එක් වරක් හෝ ඔහුව මානසික සමෝධානයකට පත් කරන්නට වග බලා ගත්තාය. නමුත් සරසවියේ පළමු වසරේ ශිෂ්‍යයෙකුව සිටි තරුණයාට කොයිතරම් බැඳීමක් තිබුණත් ඇය සමඟ විවාහයක් වගේ දෙයක් ගැන සිතන්නටවත් හැකි නොවුයේය. මාළඹේ සිට දිනපතා එන්නට හැකියාවක් පැවතියද පාඩම් කරන්නට නිදහස උවමනාය කියා කාමරයක නතර වෙන්නට ගෙගදරින් අවසර ගත්තේද ඇගේ උවමනාව නිසාමය.
කාව්‍යා වෙනස් කෙල්ලකි. ඔසඳ හමුවන විටද ඇය සිටියේ තිස් වැනි විය ආසන්නයේය. පෙම් සබදතා කිහිපයකින්ද විඩාබරව ඇය සිටියාය. මේ අතර මේ කම්මැලි පාට එහෙත් බුද්ධිමත් බව පෙනෙන කොල්ලාගේ ඇල්ම බැල්ම වැඩිවෙද්දී ඇය සිටියේ
ඒ ගැන සතුටිනි. ගැළපීම් නොගැළපීම් ගැන වගේ වගක් නැති පෙම් සබඳතාවයක් හැටියට මේ ආදරය කෙමෙන් ලියලන්නට පටන් ගත්තේය.
දවසක දෙදෙනා හයිලෙවල් පාරට කිට්ටු අවන්හලක කතා කරමින් සිටියදී තරුණයා ඇයට දිගු කතාවක් කීවේය. ඇය කතාවේ පළවෙනි ඡේදයේදීම ඇය සිටියේ අසීමාන්තික ලෙස බියපත් වෙමිනි.
“ නෑ නෑ… ඔයා ඕක කරන්නෝන නෑ.. ඔයාට සල්ලි ඕන නම් මං දෙන්නං ඔයාට සල්ලි..” ඇය කියද්දි ඔහු ඒ අවන්හලේ කුඩා මේසය මත දෙවැලමිට ඔබාගෙන දෙකම්මුල් ඇගිලි වලට වාරු කරගත්තේය.
“ මේක ගැන එහෙම හිතන්නේපා… සමහරවිට අපට ලෝකෙට හොදක් කරන්න පුලුවන්…”
“ ඔයා හිතන්නේ ජීවිතේ චිත්‍රපටිය ක් වගේ කියලා” ඇය කීවේ ඇගේ පරිණත බව හිතට ගනිමිනි. ඔසඳ හිනැහිණි. ඒ සිනහවට කාව්‍යා ලෝබකම් කළාය.
“ මට නමක් හදා ගන්නෝන”
“ නමක් කිව්වෙ”
“ පොඩි අයිඩෙන්ටිටි එකක්”
“ ඇයි මං හදන්නෙ ඒක”
“ ඔයා ඒක හැදුවාම ඔයා මං ගාව හැම වෙලාවෙදි ම ඉන්නවා වගෙ දැනෙයි මට”
කාව්‍යා ඔසදගේ අතින් අල්ලා ගත්තාය.
“ මං ඔයාට නැතිවෙන්නෑ. පුලුවන් හැම වෙලාවෙම ලගින් ඉන්නවා.. එහෙම බැරි වුණත්
දුරින් ඉන්නවා ..”
“ මගේ වෙනව කියන්නේ ඒකට නෙමෙයි”
“ ඔයා දන්නවා නෙ අපි ඒ ගැන කතා කරන්න කරන්න අපට ඉතුරු වෙන්නෙ දුක විතරයි කියලා”
දිගටි ගෙලක් ඇත්දල පැහැ ඡවි වර්ණවත් නාරි ලාලිත්‍යවත් යුවතිය ක වන කාව්‍යා ට බැංකු නිලධාරීන් ම විවාහ යෝජනා
ඉදිරිපත් කර තිබුණත් ඇගේ හිතේ මේ හැගීම් වල අයිතිවාසිකම් ලැබීමේ වාසනාව අත්පත් කරගෙන සිටියේ ඔසද පමණ කි.
“ මං ආස කිසිම විදියකට මට ලින්ක් නොවෙන විදියෙ වචනයක් යුසර්නේම් එකක් විදියට පාවිච්චි කරන්න “
“ එහෙම බැලුවොත් අපට පාවිච්චි කරන්න තියෙන්නෙ එක නමයි”
“ මොකක්ද ?”
“ ඔලිව්”
ඇය සුසුමක් හෙලුවාය. ඔසඳ මේසයට ඇගිලි වලින් තට්ටු කළේය. ඇය ඒ අත් වලින් අල්ලා ගත්තාය. මේ වගේ ඇගේ අත්ලේ උනුසුම දැනෙද්දී ඔහුගේ ඇගිලි අහේතුකව මේසයට හෝ කිසියම් පෘෂ්ඨයකට තට්ටු කිරීම නතර වෙයි. ඒ ඇගේ අත්ල දිගේ ඔහුගේ සිරුරට විසරණය වන රැකවරණය සහ ආදරය පිලිබඳ ඔහුට ඇති විශ්වාසය වේ. ඔලිව්, ඇය ඔලිව් කියා අමුතු නමක් මේ සඳහා යොදා ගත්තේ මන්දැයි ඔහු දැනසිටියේ යාන්තමිනි. ඒත් ඇය දවසක ඇගේ කතාවේ විශේෂ තැනක් ගත් මිනිසෙකුවු ඇගේ පියාගේ පියා පිලිබඳව ඔහුට කීවේය.
“ සීයා කියන්නෙ ඒ රෙසිපි එක සම්පුර්ණ කර ගන්න ලැබුණු දවසට එයාට මේ ලෝකෙ වෙන මොකවත්ම ඔිනෙ නැ කියලා.ඒ වුනාට ඒ රෙසිපි එක ලියපු කොලෙන් භාගයක් විතරයි එයා ළඟ තියෙන්නෙ අනිත් කොල කෑල්ල නැතිවෙලා කියල කියන්නෙ”
“ ඔය කියන විදියට ඒක හරි හමන් කෙනෙක් අතට ගියෙ නැත්නම් දැන් ඒක විනාස වෙලා ඇති..”
“ ඒත් … මට හිතෙනවා කවද හරි ඒක ආයෙමත් හම්බ වෙයි කියලා”
“ සීයාට මතක නැද්ද කවී..”
“ නැහැ.. දැන් එයාට කොහොමත් මතකය අඩුනෙ. ඒත් හිටිය ගමන් කා එක්ක හරි කතා කරනවා. ඒ වෙලාවට ඔලිව් කියලා කියනවා.. එච්චරයි”
“ ඔයා ඔලිව් කියනෙකට කැමතියි නම් මං ඒ නම පාවිච්චි කරන්නංකො”
“ ඒක ආදරේ වෙනුවෙන්”
ඔසඳ ගේ හිතේ සදහටම ඔලිව් සනිටුහන් විය. ආයෙ කිසිදාක වෙනස් නොකරන්න හිතාගෙන ඔලිව් නමින් කේතයක් ඔහු නිර්මාණය කර ගත්තේය. මේ අවුරුදු දෙකකට විතර පස්සේ ඔහු කාව්‍යාව අමතන්න විශේෂ හේතුව බවට පත්වුයේ කැෆේ 66ත් හි අලුතින් හදුන්වා දෙන ඔලිව් බෘ නම් කෝපි වට්ටෝරුව ගැන සැක සිතුණු බැවිනි.
“ මේක ඒකම වුණත් දැන් ඒ ගැන මොනාවත්ම දැනග්න විදියක් නෑ ඔසඳ.. සීයා නැති වුණා.. මට ඔයාට කියන්නවත් වෙලාවක් හම්බ වුනේ නැහැ”
කාව්‍යා කියද්දී ඔසඳට දැනුණේ දුකකි. සාමාන්‍යයෙන් වෙන මිනිස්සු ගැන කිසිම හැගීමක් නැතිව ජීවත් වුණත් කාව්‍යා සම්බන්ධයෙන් නම් ඔසඳගේ හදෙහි සහකම්පනය ඔ්නැවටත් වැඩියෙන් ඇහැරෙන්නේය.
“ ඔයාට වෙලාවක් තියෙනවා නම් අපි දවසක මීට් වෙමුද?” ඒ ඔසදය. ඔහුට කාව්‍යා වෙනුවෙන් ඇති ආදරය මෙන්ම සෘංගාරයද සැගවිය හැකි නොවේ.
“ මං දැ් ඉස්සර හිටිය පොඩි කෙල්ල නෙමෙයි.. වයසයි”
“ අපි හැමෝම වයසට යනවා”
“ එහෙම නෙමෙයි මං කියන්නේ”
“ ඒක කොහොම වුනත් කමක් නෑ කියල මං කියන්නෙ.. අපි කොහෙදි හරි මිට් වෙලා මොනා හරි බීලා කතා කරමු”
කාව්‍යා ඊට ඒකඟවෘ හෝ නොවී දුරකතන ඇමතුම අවසන් කළාය. මොනතරම් උවමනාවකින් ආදරයක් යැයි හිතා උන් හැඟීමකින් කෝපීහලේ වින්ටේජ් කෙල්ල බලන්නට ගියා වුණත් මේ ඔහුට වැදගත්ම හමුවීමයි. තරුණ වයසේ හිතේ ඇවිළුණු ගිනි නිවා ලු ගැහැනියක් විතරක්ම නොවු ඇය පිලිබඳව ඇති හැඟීම ඔසඳට විස්තර කරනු නොහැකිය.
පැරඩයිස් මැදුරේ . පහත මාළයේ කොරිඩෝව කෙළවර කාමරයේ උන් සව්මි රාත්‍රි අහසටඑබී බැලුවාය. ග්‍රේස් මම්මා කොහේහෝ තැනකදී ඇයව හමුවෙන බව ක් ඇය විශ්වාස කළාය. ඉතින් ඇය මේ හැමදේම තමන් වෙනුවෙන් කළ සැලසුම් බව දිනෙන් දින ඔප්පු වෙයි. මං ඇත්තටම කවුද? ඇගේ සිත ඇයට වද දෙන්නේය. ඇගේ අම්මලා ගේ නම්, උප්පැන්න සහතික යේ ඇති නම ත් සේප්පුවෙන් ලැබුණු ලියමනක වු නමත් සම්පූර්ණයෙන් ම වෙනස් ය.
ඇය සිය දුරකතනය අතට ගත්තේ නිනව්වක් නැතිව එහෙමෙහෙ ගැවසෙන්නට මිසක ස්ථිර තීරණයක් ගෙන නොවෙ.එහෙත් තනිකම සිය අඩු දිගාරින බුවල්ලකි. එ අඩුවකට සිය ගෙල අසුවුවමෙ යුවතියට ද හිස හැරුණු අත යන්නට සිතේ.
ඇය ඔසදට ඇමතුමක් ගත්තාය. ඔහු හිටියේ කාව්‍යා හා කතා කිරිමෙන් ඉක්බිති ඇතිවන නොස්ටැල්ජියාව හේතුවෙන් තරමක් අවපීඩන තත්වයකට ලක්වීය. යුවතියගේ හිත හීරී ගියේය. මේ වගේ වෙලාවක ඔහු නිදා ඉන්නවා වෙන්නටත් නොහැකිය. හිතාමතාම ඇගේ දුරකතන ඇමතුම ට සම්බන්ද නොවී ඉන්නේ ඔහුගේ උවමනාවෙන් බව ඇයට සිතෙයි. මේ වගේ හැසිරීමක් ඇයට උවමනා පෙම්වතාගෙන් ඇය බලාපොරොත්තු වෙන්නේ නැත.
“ එයාට මට අදවත් කතා කරන්න බෑ කියන්නේ , මං එයාගෙ ජීවිතේට වැදගත් කෙනෙක් වෙන්න බෑ. අනික එයා පැහැදිලිවම කිව්වේ එයා වැඩිය විවෘත වෙන විදියේ කෙනෙක් නෙමෙයි කියලා. ඒ කියන්නේ එයාගේ ජීවිතේ ඇතුලේ රහස් තියෙනවද? මං එයා ගැන දැනගන්නෙ කොහොමද?” යුවතියගේ හිත කරදරයෙනි. එහෙම කරදරයකින් ආදරය අරඹා ගන්නට සුදුසු කෙල්ලක නොවේ සවුමි කියන්නේ. නමුත් ආදරය ගැන නෑඹුල් හිතක ආදරයක් පටන් ගන්නා කෙල්ලක් කොයිතරම් සිහින මවා ගන්නවාද?
අපි වෙන තැනකට ගිහින් කතා කරමුයි කියද්දි ඉහේ අපමණක් මල් පිපුණේ ඇගේය. ඒ තරම් ඇය ගැන හිතනා පෙම්වතෙකු ගැන ඇයට තිබුණේ හීනම පමණකි. ටික වේලාවක් දුරකතනය අතේ තියාගෙන උන් ඇය එයත් අතට ගෙන කාමරයට යන්නට සැරසුණේ දැන් නිදන්නට වෙලාව පැමිණ ඇති හින්දාය. ඇය පහත මාලයේ කොරිඩෝව දිගට ඇවිදිමින් සිටියදී යළි දුරකතනය නිශ්ශබ්දව දෙදරුම් කෑවේ මේ අහස යට එක් තැනෙක කෙනෙකුට තව කෙනෙකු සිහිපත් වෙමින් තිබු බැවිනි.
“ සොරි… මං බාත්රුම් එකේ හිටියෙ” ඔසඳ මුලින්ම ඇයගෙන් සමාව ඉල්ලුවේය. ගැහැනු ළමයා ඒ වගේ තත්වයක් තේරුම් ගන්න බැරි තරම් පටු මානසිකත්වයක් ඇති කෙනෙකු නොවෙී. “ මං නිකම් කෝල් කළේ.”
“ මං ආසයි නිකම් නොවුණත්”
“ ඒ ඇයි?”
“ නිකම් නෙමෙයි කියන්නෙ ඔයාට මට මොනව හරි කියන්න ඔ්නි කියනෙකනේ”
සවුමි සිය ඇඳට ගොස් මුනින් අතට එහි වැතිරුණේ දුරකතනය කණට තෙරපවා ගෙනමය. ඔන්න දැන් ඇගේ ජීවිතේ ප්‍රේමණීය සෘතුව පැමිණ තිබේ. මේ කතාබහේ කොතැනක වත් ඔසඳ ගේ සිතේ වංචාවක් කරන්නට අදහසක් නැත. ඔහු මේ යුවතිය කාව්‍යා ගේ පවුලේ කෝපි රෙසිපිය ට සම්බන්දකමක් තියෙනවාද සොයා බැලීමට කල්පනා කරමින් සිටියත් කොහොමටත් කාව්‍යා දැන් ගෙවනවා යැයි ඔහු උපකල්පනය කරන ඇගේ පවුල් සංස්ථාවට අල්පයකින් හෝ හානි කරන්නට කිසිසේත් කැමති නැත. එබැවින් ඔහු කෝපිහලේ වින්ටේජ් කෙල්ලට ඇත්තෙන්ම කැමති වෙමින් සිටින්නේය.
ඒත් ඔහු ආයෙමත් පවන් ගැන සැකයෙන් පසුවේ. පවන් හා සවුමි අතර පෙනුමෙන් බැලුවාමත් හොඳ ගැළපීමක් තිබේ. දෙදෙනා කතා කරද්දී තමන් හා කතා කරද්දී සවුමි තුල ඇති වන වරින් වර නිහඩ වී කල්පනා කිරිමේ ගතිය ඇයගෙන් දැකිය නොහැකිය. ඇය බොහෝම පහසුවෙන් පවන් හා කතා කරන්නීය.
“ නිදියන්න ද හදන්නෙ?”
“ හ්ම්… හෙට හතරට ඇහැරෙන්නෝන”
“ ඒ කියන්නෙ ඔයා හැමදාම හතරට ඇහැරෙනවද?”
“ ඔව්… මම සාමාන්‍යයෙන් හයට කොෆි ශොප් එක ඔිපන් කරනවා..”
“ කොහොමද ඔය තරම් කැපවෙන්නෙ?”
“ රස්සාවකට වැඩි දෙයක් මං කරන්නේ… ඒ නිසයි මේ විදිය ඇතුළෙ මට කවදාවත්ම මහන්සි දැනිලා නැත්තේ”
ඔසද ට මේ කෙල්ල ගැන ආදරයක් ඇතිවුයෙ ඇගේ අාකල්ප ගැන මුලින්ම ඇතිවු පැහැදීම හේතු කරගෙනය. ඇය හොදින් හදා ඇති කෙල්ලක බව බැලු බැල්මට පෙනෙයි. ඒත් ඇය තමන්ට කාත් කවුරුත් නැතැයි කිවාම ඔහු ඇත්තටම පුදුමයට පත් වුවේය.
“ කවදහරි දුර ඈත සීතල , ටුවරිස්ට්ස් ල එන ටවුන් එක ක කොෆි ශොප් එකක් දාන් ජීවත් වෙන්න ආස නැද්ද?” ඔසඳ ඇසුවේය. යුවතිය මඳහසක් පෑවාය. ඒ මඳහස ඔහු දුට්වේ නැත. කවුලුවකින් පිටත බැලුවාම දුර ඇත කඳු සහ බෑවුම් සහිත කොළපැහැ පරිසරයක කුඩා කෝපි හලක වාඩිවී මුහුණට මුහුණ බලා කතා කර කර ඉන්න කෙනෙක් වෙන්නට ඔහුට උවමනාද?
“ මම ඇත්තටම මට තවඅවුරුදු තුනකින් පස්සේ මොකද කරන්න ඔිනෙ කියලා තාම හිතලා නෑ..” ඇය කීවාය. ඔසඳ එහා ඉමේ සිට පුදුමයට පත්විය.
“ ඇයි ඒ්?”
“ තව අවුරුදු තුනකින් මට 25 ක් වෙනවා. පවන්ටත් 25 ක වෙනවා”
“ ඔයායි ඌයි එක වයසෙද?”
“ ම්ම්ම්ම්… ඔව්…එයා මට වඩා මාස හයක් බාලයි”
“ පේන් නැ එහෙම එකක්.මිනිහා විසි අටක එකෙක් වගෙ පේන්නෙ”
“ එයා ඔය ජ්ම් එහෙම ගිහින් වර්කවුට් කරලා ආ.. ටෙනිස් ගහනවත් එක්කනෙ..”
“ ඒ කියන්නේ ඒ වෙනකං මේ කොෆි ශොප් එක කරගෙන ඉන්නවා … එහෙමනෙ”
“ ඔව්… ඇත්තටම කිව්වොත් පවන් මේක පටන් ගත්තෙ මං වෙනුවෙන් … මට මොකක් හරි දෙයක් මගේ කියලා තියෙන්න ඕනි කියලා”
“ මිනිහා එච්චර දුරට හිතනවද?”
සවුමි ගේ මුහුණ මත ආඩම්බර සිනහවක් මතුවිය. පවන් ගැන පිටස්තර කෙනෙකු හොදක් කියද්දි ඔහුව අගයද්දී ඒ හැකියාවන් ගැන විස්මයට පත් වෙද්දී ඇගේ සිත ඉපිළ යයි. හේතුව තමන්ගේ කම කියා ඇයට දැනෙයි.
“ පවන් ගෙ හිතෙ ඔයා ගැන තියෙන්නේ මොන වගෙ හැගිමක්ද?” ඉදලා ඉදලා ඔසද නියම වෙලාව සොයා ගෙන හරියටම පන්දුව ස්ථානගත කළේය. යෝකර් එකක් වෙතැයි සිතුවාට පිච් එක මැද කෙටි උඩට ආ පන්දුවකට වෛභව් සුර්යවංශි එල්ල කරන පහසු හයේ පහරක් මෙන් පිළිතුර ක් ය ඔහුට පිරි නැමුණේ.
“ සුලලි අක්කට වඩා අඩු, එයාගෙ හිටිය ඉන්න හැම ගෑනු යාලුවෙක්ටම, ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙකුටම වඩා වැඩි හැගීමක්…”
“ සුලලි කියන්නේ ?”
“ පවන් ගෙ අක්කා…”
“ අන්මැරිඩ් ද?”
“ එනාවුරුද්දෙ බදිනව. එයා බඳින්නෙ ලංකාවෙ මේන් ම බිස්නස් ෆැමිලි එකකින් ..”
“ බිස්නස් ෆැමිලිස් වල කසාද කෙරෙන්නේ එහෙමයි නේද?”
“ ඔව් එයාලත් පො කාලෙ ඉදලම ඒක තේරුම් ගන්නවා.. පවන් ටත් 15 විතර ඉදලා කෙල්ලො හිටියා. හැබැයි එයා තෝරා ගත්ත හැම කෙනෙක්ම එයාට දවසක කසාද බදින්න පුලුවන් වෙන විදියෙ අය…”
එහි තේරුම ඔසදට පැහැදිලි ය.
“ ඔයාට කවදාවත් ම හිතිලා නැද්ද කොල්ලෙක් ගැන..”
යුවතිය සිනාසුණාය.
“ මට …? නෑ.. අනේ.. සමහරවිට මං මෙයාලා එක්ක හැදුණාට හැම වෙලාවකට ම මට හිතුණ මං මේ කිසිම තැනකට අයිති නෑ කියනෙක.. ඉතින් මං කොහොමද කෙනෙකුට මාව අඳුන්නලා දෙන්නෙ.. හැමදාම මට තිබුණු ප්‍රශ්නයක් ඒක…”
ඔසඳ ගේ හදවතටම ඒ කතාව දැනිණි.
“ ඇයි මට කියන්න හිතුණෙ?”
“ අඩු ගාණෙ දැන් මං මෙන්න මේ කෙනා කියලා කියන්නට පුලුවන් විදියට අනන්‍යතාව ක් මට තියෙනව… ඉස්සර මං පවුලක් නැති , කිසිම දෙයක් නොදන්න කෙල්ලෙක් …”
“ නිකංම නිකං මිනිස්සු කියලා ජාතියක් නෑ.. හැම කෙනෙකුට ම මොකක් හරිම අනන්‍යතාව ක් තියෙනවා…”
“ එක්කො මං ඒක දැනගෙන ඉන්න නැතුව ඇති. නැත්නම් මට ඒක තේරුම් ගන්න බැරි වෙන්න ඇති”
ස්වභාවයෙන්ම සවුමි කියන්නේ අහේතුකව තර්ක ඉදිරිපත් කරන්නට හෝ විවාද කරන්නට යන විදියේ ගැහැනු ළමයෙකු නොවේ. ඇය අලුත් පරම්පරාවට අයත් වුණත් ඇය හැදී වැඩුණේ වියපත් රදළ පන්තියකට අයත් විධිමත් අධ්‍යාපනයක් ලැබු වාත්තියවේදිනියක් ඇසුරේය.
“ ඔයා ටිකක් අමුතුයි අද කාලෙ කෙල්ලො එක්ක බැලුවාම”
සවුමි සිනාසුණාය. ඇගේ සිනහවට යාවී ඔසඳ ගේ හදේ වීදුරු කුටිරය ද සෙලවිණි. ර වීදුරු කුටිරයේ මෙතෙක් මත් තාමත් ජිවත වෙනනේ කාව්‍යා විම වෙනස් කරන්නට බැරි දෙයකි. ආදරය ඔහු උගත්තේ කාව්‍යාගෙනි. තමන් තුළ ඇති රාගයේ ස්වභාවය කොහොමද කියා තේරුම් ගත්තේ ඇගෙනි.
“ මටත් ඒක තේරිලා තියෙනව. සුලලි අක්කාත් කියනවා. අපි දෙන්නා එකම වහලක් යට හැදිලා වැඩිලාත් එයාට තාම මාව සෝශල් කරලා ගන්න බැරිවුණා කියලා..”
“ ඒ ගොල්ලෝ පාටි ටයිප් අයද?”
“ ඔව්.. පවන් සුලලි අක්කා තරමටම නෑ, එයාට ලිමිටඩ් යාලුවො ටිකක් ඉන්නවා. ඒ අය එක්ක විතරයි එලියට යන්නෙත්”
“ සුලලි එහෙම නැද්ද?”
“ අම්මෝහ් නෑ.. දැන් එයාව බිස්නස් වලට බලෙන් වගේ ඇදලා දාගෙන ඉන්න නිසා දැන් එයාට වෙලාවක් නෑ, නැත්නම් එයා අර පාන්දර ගෙදර ඇවිත් ඒකොලහ විතර වෙනකම් නිදාගෙන පවුලේ සල්ලි නාස්තිකරන විදියෙ ගෑනු ළමේක්.. එහෙම කෙල්ලෙක් ගෙදර ඉදලත් මං මේ විදියට හැදෙන්න හේතුව ඇත්තටහ ග්‍රේස් මම්මා”
ඔසඳ මේ පවුලේ පිළිවෙල තේරුම් ගනිමින් සිටියේය. ඔහුට දැන් සවුමි මේ ආකාරයට හැදෙන්න වැඩෙන්න හේතුව පැහැදිලිය.
“ මං ඔයාගෙන් මේම ඇහුවා කියලා අවුලක් ගන්න එපා”
“ කොහොමද?”
“ ඔයා කවදාවත් හිතලා නැද්ද අම්මව තාත්තව හොයන්න?”
සවුමි ගැස්සී ගියාය. ඇය ඇත්තටම අම්මා තාත්තාව නොසොයන්නේ ඇයි? ඇත්තටම ඒ දෙදෙනා ජීවත්වෙනවාද එහෙමනම් ඒ කොතැනකද? එහෙමත් නැත්නම් ඒ දෙදෙනා තමන්ව මේ ආකාරයෙන් හදවෙඩා ගන්නට දුන්නේ ඇයි වගේ දේවල් ඇයට නොසිතුන දේවල් නොවේ.
“ මට කිසිම මතකයක් නෑ එහෙම. මට මතක ඇති කාලෙ ඉඳලම මාව බලාගත්තේ ග්‍රේස්මම්මා. ඒ වගේමයි රත්නා නැන්දා. එයාලා තමයි මට මතක පළවෙනිම මිනිස්සු”
“ සමහරවිට රත්නා නැන්දා දන්නවා ඇති ඔයාගෙ අම්මලා ගැන”’
“ ඔව් ඒත් මං කවදාවත් එයාලගෙන් අහලා නෑ”
“ ඇයි ඒ?”
“ අනේ මන්දා.. ඒක හොයාගත්තා කියලා තේරුමක් නැ කියලා හිතෙන්න ඇති මට”
ඔසඳ මඳක් කල්පනා කළේය. මේ මොහොතේ ඇයට මේ පිලිබඳව ඔ්නැවට වඩා වද දිය යුතු නැතියි තීරණය කළේය. යාන්තම් වැස්සක් කොළඹ අහසින් වැටෙන්නට පටන් ගත්තේය. මේ් කෙල්ල ඊළඟ දවසේ පාන්දරම දවස අරඹනවා නොවේදැයි හිතද්දී ඔහුට ඇය ගැන දැනුණේ අනුකම්පාවකි.
“ ඔ්‍යා නිදාගන්න … හෙට උදේම නැගිටින්න තියෙනවානෙ”
“ ඔයා දැන්ම නිදාගන්නෙ නැද්ද?”
“ මේ දවස් වල නං නෑ. මං ටිකක් වෙලා වැඩ කරනවා”
“ මොනවගේ වැඩද තියෙන්නෙ?”
“ සිස්ටම්ස් හදනව”
“ හ්ම්.. එහෙනම් මං නිදා ගන්නවා”
බොහොම ආදරණීය සමුගැනිම් කරන වයසකුත් නොවේය. දුරකතන ඇමතුම නිමා වන්නේ ස්වභාවික සුභ රාත්‍රියක් වේවැයි කියන සරල වදන් දෙකකිනි. සව්මි ගේ හිත නිවී ඇත. ඉක්මණින් නින්ද ගියේය. ඔසඳ ඇත්තටම යම් පද්ධතියක් නිර්මාණය කරමින් සිටියේය.

No comments:
Post a Comment