Wednesday, May 20, 2026

OLIVE- 21

 

🌿 OLIVE — Episode 21

මෙහෙයුම් කාර්යාලය  


මෙහෙයුම් කාර්යාලය පැවතියේ සෞමි තුන් සිතකින් හෝ හිතාහිටි විදියකට නොවේය. එහි යකඩ කුරු වලින් සමන්විත කුටි තිබුණේ හෝ කෑගසමින් එහෙමෙහේ යන කාකි නිල ඇදුම් ඇදි නිලධාරින් සියියේ ද නැත. 

ඒ වෙනුවට එය අසාමාන්‍ය ලෙ සාමාන්‍ය විය. 

මද ආලෝකයකින් යුක්ත සිවිලිමට සවි කළ විදුලි බල්බ දිලිසුණි. එක් පසෙක මොනිටර කිහිපයක් පේලියට තබා තියෙනු දැකිය හැකි වු අතර දැනටමත් එහි දෙදෙනෙකු වැඩ කරමින් සිටියහ. එයා කන්ඩිශනයෙන් යම් සැලකිය යුතු හඩක් නැගෙසින් පැවති අතර කමොනිටර දෙස බලා සිටි මිනිස්සු දෙදෙනා වරින් වර කීබෝඩ් මත ඇගිලි දුවවීමෙන් නැගෙන හඩද ඇසිණි. අඩක් බී අවසාන කළ කෝපි සහ තේ කෝප්පද සමහර මේස මත විය. තැන තැන ගොඩ ගසා ඇති ලිපිගොනුද සහිත මුලු  සමස්ත කාර්යාලය ම පෙනුණෙ වැඩ ගොඩ ගැසුණු තාක්ෂණය ට සම්බන්ධ කොම්පැනියක් ලෙස මිස රාජ්‍ය ආයතනයක් ලෙස නොවේ. 

පවනු සෞමි ගේ අත අල්ලාගෙනම ඒවා මැද්දෙන් ගමන් කල අතර ඔහු එහි පාලනය තමන්ට නතුකරගත් ආකාරයෙන් දැකිය හැකි විය. බොහොම සන්සුන් ව..නමුත් ‍, තමන්ආධිපත්‍යය කාර්යාලය තුල පතුරවා ගත්තේ සීරුවෙනි. සමහර නිලධාරින් ගේ ඇස් පවන් කරා යොමුවෙනු සෞමි දුටුවාය. 

“ මේ ප්රශ්න හින්දා හරි කරදරයි නේද මිස්ට පවන්..යං අපි ගිහින් චීෆ්ටම කතා කරමු” ඒ පෙර අවස් දෙකකදි කැෆේ එකට ඇවිත් සෞමි සමග කතාබහ කළ නිලධාරියාය. ඇයබියෙන් වගේ පවන් දෙස බැලුවාම‍, හිස මදක් සෙලෙව්වේ පවන් ය. කුඩා කාමරයේ දොර ගාවින් ඇයත් පවනුත් නවත්වා ඔහු පමණක් තනිව ඇතුලට ගියේය. 

පසුව දෙදෙනාම කැදවා ගත්හ. ලී මේසයක් … කැරකෙන පුටු තුනක් එක් පසෙකය. ප්රති විරුද්ධ පැත්තෙ අමුත්තන්ගේ පුටුදෙකකි. ඔවුන් ට ඉදගන්නට ආරාධනා කරමින් නිලධාරින් අනික් පස අසුන් ගත්හ. 

චීෆ් යනුවෙන් ඔවුන් හැදින්වු නිලධාරියා අනික් අයට වඩා ජ්‍යෂ්ඨ විය යුතුයැයි සෞමි අනුමාන කළාය. ඇගේ හිත යට ඇති බියපත් ගතිය ඇස් වලින් එලියට පනිමින් තිබිණි. ඇය ට තිබු එකම සහනය නම් ඇයට හිතා ගන්නට පවා බැරි තරමට මේ නිලධාරින් මෘදු බවින් කතා කරමින් සිටීමය.


“ මිස් … පොඩ්ඩක් වත් බය වෙන්න එපා..අපි ටිකක් කතා කරන්න විතරයි හදන්නෙ”

ඇය හිස සැලුවාය.

“ ඊයෙ ඇරෙස්ට් කරපු සැකකාරයෙක් දීපු ස්ටේට්මන්ට් එකක කැෆේ 66ත් එක ගැන සදහන් වෙලා තියනවා …” ඇරෙස්ටඩ් කියන වචනය ඇසෙද්දීම යුවතියගේ කොපුල් රෝස පැහැ වීය. 

“ අපි තේ එකක් බොමුද?” 

සෞමි තිගැස්සී වගේ ඇස් දල්වා “ කමක් නෑ” කියා කීවාය. නිලධාරියා පසෙක වු තරමක් කොළ වලින් පිරුණු ලිපිගොනුවක් පෙරළා ගත්තේය. එය කියවන අතරේ ඇය දෙස බැලුවාය. ඇය උත්සාහ කළේම පවන් දෙස නොබලා හිදින්නටය. පවන් දෙස බලන විට ඇය එකතු කරගෙන සිටින ශක්තිය ඇයට අහිමි වීම ස්වභාවික ය. 

“ සාමාන්‍යයෙන් කොහොමද කැෆේ එකේ වැඩ පටන් ගන්නෙ..”

යුවතිය තමන්ගෙ ජීවිතය තුල තිබෙන සුන්දර ම දින චරියාව සෙමෙන් නිලධාරියා ඉදිරිපිට කියාගෙන ගියාය. පවන් ගේ මුහුණ මත මද ආදරණීය සිනා රැල්ලක් නැගිණි. 

“ සාමාන්‍යයෙන් උදේම එන මං කියන්නෙ ඉස්සෙල්ලම එන කස්ටමර්ස් ලා කවුද? එහෙම විශේෂ කෙනෙකේ නැත්නම් කණ්ඩායම ක් ඉන්නවා ද?” 

සෞමි කල්පනා කළාය. ඇත්තෙන්ම ඇය එහෙම කරන වගක් ඇගවුවාය. පසුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැෆේ එකට පැමිණෙන බව කීවාය. ඒ හැර විශේෂයෙන් ඔසද ගැන නොකියා ඉන්න පරිස්සම් වුවාය. 

සාමාන්‍යයෙන් මිට මාස දෙකකට විතර කලින් උදේම කැෆේ එකට ඇවිත් තියනවා ඔලිව් කොල පාට ටි ශර්ට් එකක් අදින කෙනෙක්.. එහෙම කෙනෙක් ඔයාට මතකයිද?”

ඇයට මතක් වුයේ ඔසද ගේ පින්තුරය … එහි ඔසද ඇද සිටින ඔලිව් කොල පැහැ ස්වෙටරය. ඒ පින්තුර මොවුන් ලග තිබියදී එහෙම කෙනෙක් නොආ බව කියන්නෙ කොහොමද ?


“ මතකයි..”

“ ඉදගත්තේ ටේබල් 15 එකෙ”

“ එහෙම නම් හරියටම මතක නෑ..”

“ එයා කලබලෙන් වගෙද හිටියෙ?”

“ එහෙම කියන්න තරම් මතක නැහැ මට.. උදේ කියන්නෙ බිසි වෙලාවක්. සමහරවිට ඉස්කොලේ ට බබාලා ගෙනියන අය ත් එනවා .. ඉතින් එහෙම වෙලාවට මම හුගක් බිසි වෙනවා..” 

“ කොහොම වුනත් ඔයාට මතකයි එහෙම කෙනෙක් එනවා. ඊට පස්සෙ එයා හිටපු ටේබල් එකටම එනවා කෝපි එකක් ඕඩර් කරගෙනම ඇවිත් ඒ ටේබල් එකේම ඉදගන්නව. ඒත් එඒ කෙනා තමන් ඕඩර් කරපු කෝපි එක කවදාවත්ම බීලා ඉවර කලේ නෑ..”


සෞමි මොහොතකට නිහඩව නිලධාරියා දෙස බලා සිටියේය. 


“ එහෙම දෙයක් රුටින් එකක් විදියට සිද්ධ වුනා කියලද .. කියන්නෙ”

“ ඔයාට එහෙම රුටින් එකක් සිද්ධ වුනා මතකද කියලා..”

“ ඇත්තටම ඒ විදියටම සිද්ධ වුනා නම් මට ඒක මතක හිටිනවා. අහම්බෙන් ආගියා ඇරෙන්න ඔලිව් කසිම අදින කෙනා මුල් දවස් වලට එක දිගට ආව මතකයක් මට නැහැ..” 

“ නමුත් ඔයාලා ගෙ සිසිටිවි එකෙන් මිස්ට පවන් ෆුටේජස් ගන්න කාලෙ මෙයා දිගටම කැෆේ එකට ආවා නේද? “

“ ඒ කාලෙ නම් එයාත් අනික් අය වගේම ඇවිත් කෝපි එකක් බිබී ලැප්ටොප් එක දාගෙන වැඩ කලා ..” 

“ කාලයක් යද්දි මෙහෙම එන කස්ටමර්ස් ලා ඔයාලා එක්ක හිතවත් වෙනවානෙ”

“ ගෑනු ළමයි නම්.. කතා කරනව”

“ පිරිමි ළමයි එහෙම කතාබස් කරනවා අඩුයි ද?”

“ ඩිස්ටන්ස් තියාගන්න වෙනවනෙ..” 

සෞමි ඔසද ගැන කිසිවක් කියන්නට කැමති නැති බව පවන් තේරුම් ගත් අතර ඉන් ඔහුගේ හිත නොරිදුණාම යැයි කිව නොහැකිය. එහෙත්  මේ මොහොතේ ඔහු සෞමිට කිසිසේත් බාධා නොකර ඉන්නට හිත හදාගෙන අවසන්ය. 

සෞමි මොකක් හෝ හේතුවකට තමන් මේ ඔලිව් කමිස අදින මිනිහා පිලිබද දැනුවත් වගක් ඇගවුයේ නැත.නමුත් මෙහෙයුම් කාර්යාලයේ නිධාරින් තමන්ට උවමනා තොරතුරු සටහන් කරගත්හ. 

මෙහෙයුම් කාර්යාලයේ වාහන අංගනයට යනාතර පවන් ඇගේ හිස්මුදුන මත සිය අත්ළ තැබුවේය. සෞමි ගෙළ ඔසවා බැලුවාය. ඇගේ ඇස් වල අසරණ බවක් තිබිණි. මේ මෙහෙයුම් කාර්යාල ගාණේ රස්තියාදු වෙන්නට ඇයට සිදුවීමම පවන් ටද වේදනාවකි. ඔහ් ඊට කැමතිම නැත.

“ මං සිවිස් ටිකක් ගෙන්නගෙන බලනවා. අපි බැරිස්ට ට්‍රේනින් එක තියෙන පොඩි ළමයි දෙන්නෙක්ව ගමු.. කැෆේ එකට..” 

“ හදිස්සියෙම ඇයි පවන්?”

“ හදිස්සියක් නෑ මැණික.. මං දන්නවා ඔයා මහන්සි වෙන තරම කොයිතරම්ද කියලා..”

යුවතිය සිය කම්මුලක් හොඳින් වැඩුණු පිරිමි අත් ගොබයට හේත්තු කරගත්තාය. පවන් ගේ සිතට දැනුණේ අනුකම්පාවකි. සෞමි වගේ කෙල්ලකට ආදරය දීමෙන් තමන්ගේ ජීවිතය වෙනස් වු බව ඔහුට දැනී තිබේ. ඔහු‌ගේ ජීවිතය තිබුණේ උස් පහත් වෙන විනෝද ඔන්චිල්ලාවක් සේය. දැන්ද ඒ ජිවිතයටඔිනැම වෙලාවක ඇතුල් වීමට ඔහුට හැකියාව ති‌බේ. ඒ වුණත් ඒ ජීවිතයත් ඔහු දැන් ගෙවන ජීවිතයත් අහසට පොළව වගේ වෙනස් ය. 

වාහනය පවන් නැවැත්වුයේ වෙරළාසන්න අවන් හලක ය. එය රථාංගණයේ නවත්වා ඔහු ඇය දෙස බැලුවේ බහින්නැයි වචනයෙන් නොකියාය. ඉරිදා දවස් වල හැරෙන්නට සෞමිගේ මුලු ජීවිතයම දැන් ති‌බෙන්නේ කැෆේ එකේය. පවන්ට උවමනා මේ දෛනික චර්යාවෙන් ඇයව මුදවන්නටය. ඔහුට උවමනා වුයේ ඇය ඇගේම දෙයක් කරගෙන යාමට ඉගෙන ගැනීමය. දැන් ඇය ඊට ඇබ්බැහි වී ඇත. 

“ කමක් නැද්ද?”

“ මොකක්ද?”

“ මං ඔයා එක්ක ඇවිදින්න ආවට?”

“ ඇයි එහෙම අහන්නෙ?”

පවන් ඇගේ අතින් අල්ලාගෙන ඇයව වාහනයෙන් බැස්වුවේය. ඇයගේ මුහුණට අඩ අඳුරේද මඳ මළ හිරු රැසක් වැටී ඇත. එය ඔිනැවටත් වඩා ලස්සන සිතුවමකි. 

“ අපි මෙහෙම ඇවිදිනවා කියලා ඔයාගෙ අම්මි දැනගත්තොත් ඒක කොහොම වෙයිද කියලා මට හිතා ගන්න බෑ”

“ අපි මෙහෙම ඇවිදිනවා කියනෙක අම්මිට ප්‍රශ්නයක් වෙන එකක් නම් නෑ.. ඒත් අපි ආදරේ කරනවා කියලා දැනගත්තොත් නම් ඒක දරුණු ප්‍රශ්ණයක් වෙයි කියනෙක මාත් දන්නවා”

සෞමි ඈත ක්ෂිතිජ ඉම දෙස බැලුවාය. සයුරත් අහසත් එකිනෙක මත පිහිටා ඇතත් තමන් සහ පවන් දෙදෙනාත් මේ විදියම නේදැයි ඇයට හිතෙයි. 

“ ඔයා දුකෙන් ඉන්න එපා සෞමි… මං හැමදේම විසඳනවා.”

“ ඔයා යාලුවෙච්ච හැම කෙල්ලෙක්ම පවන්, ඔයාගෙ පවුලට ගැළපෙන අය. මං වගේ කාත් කවුරුවත් නැති අනාත කෙල්ලෙක් ඒ කට්ටිය අතරෙ හිටියෙ නෑ..”

“ ඒ කෙල්ලො කිසි කෙනෙක් ගාව මං හිතුව මං බලාපොරොත්තු වෙච්ච දේවල් තිබුණෙ නැහැ”

“ ඒක අම්මිලා ට උත්තරයක් වෙන්නෙ නෑනෙ”

“ මං කිව්වනේ.. ඔයා හිත සැහැල්ලුවෙන් ඉන්න.. මලක් වගේ. ඉතුරු හැමදේම මම බලා ගන්නම්”

“ අපි දෙන්නා ගැන කාටවත් දැන ගන්න තියන්න එපා පවන්” 

යුවතිය බයාදු කටහඩකින් කීවාය. ඇය මේ දකින සිහිනයට ඇයට අවසර උවමනා නැත. ඒත් අවසර ගන්න සිද්ධ වෙන දවසක් ගැන හිතද්දී ඇගේ සියොළඟ දැවීයයි. 

“ මුලු ජීවිතේටම මාව අයිති කරගන්න කැමති නැද්ද?” පවන් ඇසුවේ ඇගේ ලස්සන ඇස් දෙස බැරැරුම් ලෙස බලමිනි. සෞමි හිස ඇළකරගෙන ඔහු දෙස බලාගෙන දිගු සුසුමක් හෙලුවාය. 

“ මං පොඩිකාලෙ හිතුවෙ මගෙ කතාවෙ මම සින්ඩරෙල්ලා ඔයා කුමාරයා කියලා. ටික ටික දැනුම් තේරුම් එද්දි ඔයා මගේ වීරයා වුණාට මං හිතුවා ඔයා ලස්සන කුමාරිකාවක් මේ පැරඩයිස් එකට අරන් එයි කියලා. කාලෙ ගතවුණා. ඔයා හුගාක් කාලයක් කවුරු හරිම කෙල්ලෙක්ව ඩේට් කළා. ඉතින් මම කැමතිද අකැමතිද කියලාවත් හිතන්න ඉඩක් ඇතුව ජීවත් වුණාද? මං අදටත් දන්නෙ නෑ පවන්.. මේවා කොහොම කෙළවර වෙන්න නියමිතද කියලා. ඔයා මට ආදරේ කරනවා කියලා දැන ගත්තාම එයාලා මට මොනවා කරයිද කියලා මං දන්නෙ නෑ.. ඒ්ත් ග්‍රේස් මම්මගෙ උරුමයෙන් මට මෙහෙ ජීවත් වෙන්න පුලුවන්” 

පවන් ඇගේ අතැගිලි පොකුර සිය හයිය දෙඅත්ලෙන් අල්ලා ගත්තේය. 

“ කවදාහරි මගෙ දරුවන්ගෙ අම්මා වෙන්නෙ ඔයා…” සෞමිට මේ දේවල් බරින් වැඩිය.ඇත්තෙන්ම පවන් මේ කතා කියන්නේ හිත පතුලෙන් නැග ඒන අවංක කමකින් වුණත් කොයි වෙලාවක හෝ දැන් තියෙන පසුබිම් වෙනස් වුණොත් පවන්ට උනත් තමන්ව වෙනස් කරගන්න සිදු වන එකක් නැහැයි හිතන්නේ කොහොමද? 

“ මට ගොඩක් බලාපොරොත්තු දරාගෙන ඉන්න බෑ පවන්. මං ආදරේ කරපු කෙල්ලෙක් නෙමෙයි. මං ආදරේ කරන්න දන්නෙත් නෑ. මං ආදරේ කියන්නෙ මොකක්ද? මිනිස්සු ආදරේ කරන්නෝන කොහොමද කියලා මං දන්නෙ නෑ. පුංචි කාලෙ ඉඳලා මං පවුලක් කියලා දෙයක් දැක්කා නම් ඒ මිගාර මාමා, කෞශල්‍ය නැන්දා, සුලලි අක්කා ඔයා අතරෙ වෙන දේවල් විතරයි. මට පවුලක් කියලා හිටියා නම් ඒ ග්‍රේස් මම්මා විතරයි..එයා මට ආදරේ දුන්නා.. වියදම් කලා. මං කැම්පස් තේරුණා නම් එයා මට ඒවට වියදම් කරන්න ත් තිබුණා.. මට ප්‍රයිවට් යුනිවසිටි යන්න ඔිනෙ කියලා මට අදහසක් තිබුණා නම් මට ඒවටත් වියදම් කරන්න එයාට අදහසක් තිබුණා. මට එච්චර ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ පවන්.. මං හිතුවේ ග්‍රේස් මම්මා මට ගැලපෙන කෙනෙක්ව බන්දලා දෙයි කියල. අඩු ගාණෙ ආදරෙයි කියලා පිරිමියෙක් කියාවි කියන බයටම මං හැංගිලා හිටියෙ..”

“ මං දන්නවා මැණික..”

පවන් කීවේ ඝෝෂා කරන රළ හඩට යටපත් වන ඇගේ හඩ වඩාත් හොඳින් අසාගන්නට ඇගේ දෙතොල අසලින් සිය මුහුණ තියාගෙනය. 

“ ඉතින් එහෙම හැංගිලා ජීවත් වෙච්ච ලොකු සමාජයකට බයෙන් ගුලි ගැහිලා හිටිය මං ඔයාගෙ ලස්සන ජීවිතේට ගැලපෙනවද ?”

“ ඔයතරම් පසුගාමී චින්තනයක් ඔයාට ගැලපෙන්නෙ නෑ”

පවන් කිවේය.. ජිවිතේ හැම බර සිතුවිල්ලක්ම පවන්ගේ උරහිස මත තියා නිදහස් වෙන්නට උවමනා වුණත් ඇය හුරුවී ඉන්නේ වගකීම තමන් පිට පටවා ගත යුතු යැයි හිතන පරිසරයකය. ග්‍රේස් ඇයට හුරු කළේ ඕනම තැනක වගකීම ගන්නටය. පිරිමියෙකුගෙන් ජීවිතේ හව්හරණ ලබනාකාරයෙන් ඇය පුරුදු පුහුණු වුයේ නැත.

“ මට බයයි”

“ මොනවටද?”

“ මට තේරෙන්නෙ නෑ..”

“ සම්ප්‍රදායික විදියට පෝසත් සල්ලාල කොල්ලෙක් එක්ක යාලුවෙලා බදින්නැතුව ප්‍රෙග්නන්ට් වෙලා දරුවා එක්ක පාරට වැටුනාම යහපත් පිරිමියෙක් ඇවිත් ඒ ගෑනු කෙනා බාර ගෙන ආදරෙන් බලාගන්න මෙගා නාට්‍යයක් කියලා හිතනවද මේ කතාව..”

පවන් ඇසුවේ ඇගේ මුහුණටම එබී ගෙනය.

“ මට කිසීම හදිසියක් නෑ.. මතක තියාගන්න දවසක පෝරුවෙ තියලා අශ්ඨක කියලා උඩ තට්ටුවෙ මගෙ කාමරේට එක්ක ගෙන යන්නෙ මම” 

ඒ දෙදෙනා ව ඈතින් දැකි තව කෙනෙකි. ඇය සිටියේ සිය මිතුරියන් පිරිසක් සමගිනි. ඔහු මුලින්ම බැලුවේ ඔහු අතින් අල්ලා ගෙන සිටි යුවතිය දෙසය. ඇගේ ඇස් විසාල වුයේත් ඒවාට විශ්මය පිරුණේත් එවෙලේය. ඇය ඒ කවුරුදැයි මනාව දැන සිටියාය. ඒ විජේබණ්ඩාර පවුල අරන් හදා ගන්නා ගැහැනු ළමයාය. පවන් මේ ඉන්නේ පෙම් හමුවක බව ඒ ඇස් වලින් පෙනෙයි. ඇගේ අතින් අල්ලාගෙන එන විලාසයෙන්ම දෙදෙනා ඉන්නේ කිසි බයක් සැකක් නැතිවය. කෙසේ වෙතත් ඇගේ ඕපාදුප සොයනා ඇසට මේක රස විහිලුවක්ය. 


ඇය මේ දෙදෙනාගේ විඩියෝ කිහිපයක් සිය දුරකතන කැමරාවේ සටහන් කරගත්තාය. ඒවා ඇගේ මවට යැව්වේ..” ඔන්න ෆොරින් ලේලියෙක් බස්සන්න හිතාගෙන හිටිය කෞශල්‍යා විජේබණ්ඩාරගෙ නම්බුව ලෙෆ්ට් වෙන තැන කියා උපහාස ඉමොජියක්ද සමගින්ය.


කාව්‍යාගේ අම්මාගේ ගෙදර 


කාව්‍යා, ඇගේ මව තේජානි පෙරේරා සමග තේ කෝප්පයක්ද බොමින් බැල්කනියේ ඉදගෙන සිටියාය.විවාහ වී වෙනම වෙසෙනා බැවින් අම්මා සමග රැයක් ගෙවන්නට අවස්ථාව ලැබෙන්නේ එහෙමත් දිනක පමණය.එබැවින් එහෙම දවස් වලට අම්මාටද දුවටද නින්ද පමාවේ. තේජානි සිටියේ ශෝකාකුල මුහුණකිනි. කාව්‍යා ඇගේ නංගී දිල්ශාරා ව සිහිපත් කිරීම ඇගේ මේ වේදනාවට හේතුවය. 


“ ඔයාට චුටි පුංචි ව මතක නෙ?” 

“ මතකයි.. එයා මතක හිටින විදියෙ කෙල්ලෙක්..”

“ කාටවත් බයක් නැති.. මහ හිතුවක්කාර කෙල්ලෙක්..හැමදේම ප්‍රශ්න කරන කිසිම චාරයක් නැති විදියට හැදුණෙ. ඒක කාගෙ වැරැද්දක්ද මට හිතා ගන්න බෑ..” 

“ සීයා එයාට එහෙම හැදෙන්න ඉඩ දුන්නා කියනෙක මට හිතාගන්නත් බැහැ.අම්මි…”

“ හ්ම්ම්..” 


තේජානි මදක් කල්පනා කළාය. ඇය ඊලගට කියන්නට යන දේ සුදුසු ද නැද්ද කියා කල්පනා කරමින් සිටියාය. 

“ ඇත්තටම ඒකට සීයා වගකියන්නෝන …” කාව්‍යා වහා ඇය දෙස බැලුවාය.තේජානි සුසුමක් හෙලුවාය. 

“ ඇයි ඒ?” 

“ අපෙ තාත්ති කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගෙවපු මිනිහෙක් කියලා මට හිතෙනවා.. තාත්තාට තිබුණා බොහොම වැදගත් සාමාජීය ජීවිතයක්.. ඒක ඇතුලෙ ඔලිවර් පෙරේරා කියලා කියන්නෙ හොද පුරවැසියෙක්. බිස්නස්මන් කෙනෙක්. පන්සලට හොද දායකයෙක්.. දෙමව්පියන්ට හොද දරුවෙක්. වයිෆ්ට හොද හස්බන්ඩ් කෙනෙක්.. දරුවන්ට හොද තාත්තා කෙනෙක්..” 

කාව්‍යා සිටියේ විමසිලිමත්වය. 


“ ඒත් තාත්ති ගෙ ජීවිතෙත් තිබුණා කලු අදුරු පැල්ලමක්.. සමහර මිනිස්සුන්ගෙ ජීවිත වලට ආදරේ කියන්නෙ ආලෝකයක්.. ඒත් සමහර මිනිස්සුන්ගෙ ජීවිත වලට ආදෙර් කියන්නෙ විනාසයක්..” 

තේජානි ඉහලට ගත් හුස්ම පහත නොදමා මොහොතක් උස් අහස දෙස බලා උන්නාය. 

“ සීයාට කැශුවල් එෆෙයා එකක් තිබුණද?”

“ අනියම් සම්බන්දයකට කියන්නෙ කැශුවල් එෆයා එකක් කියලද දැන්.. මං හිතන්නෙ ඒක කැශුවල් නැහැ.. ඒක එක්ස්ට්‍රා මැරිටල් රිලේශන්ශිප් එකක්.. ඒක කොහොමටවත්ම කැශුවල් මට්ටමක තිබුණු එකක් නෙමෙයි..”

“ ඒක පවුලට බලපෑමක් වුණාද?” 

“ පවුලට බලපෑමක් කරන්න ඒ පිට ගෑනු කෙනාට උවමනා වුණාද නැද්ද කියනෙක තමයි ප්‍රශ්නෙ.. ඒත් තාත්ති වැරදි තීරණයක් ගත්තා.. ඒ චුටි නංගිව කොළඹ ඉස්කෝලෙකට දාන්න ඕන කියලා ඒ ගෑනු කෙනා ගාවට යැව්වා..”


කාව්‍යා තිගැස්සී ගියාය. 


“ එතකොට ආච්චි ඒකට කැමති වුණාද?”

“ ඒ දවස් වල අපි එහෙම දෙයක් දැනගෙන හිටියෙ නැහැ.. තාත්තිගෙ හොද යාලුවෙක් විදියටයි අපි ඒ ගෑනිව දැන අදුනගෙන හිටියෙ..අම්මි වුණත් කැමති වුනා ඉතින් .. දන්න කියන කෙනෙක් ගාවටනෙ යන්නෙ කියල.. චුටි පුංචි හරි දක්ශයි ස්පෝට්ස් වලට.. අලුත් බාලිකාෙවදිත් එයා තරග වලින් එහෙම දිනන්න පටන් අරගෙන තිබුණෙ..” 

“ එතකොට අර ගෑනු කෙනා මැරි කරල හිටියෙ නැද්ද අම්මි?”

“ නැහැ.. තාත්තියි ඒ ගෑනු කෙනායි හම්බ වෙලා තියෙන්නෙ එංගලන්තෙදි.. දෙන්නා මං හිතන විදියට එහෙ බැදපු ජෝඩුවක් වගෙ එකට ජීවත් වෙලා තියනවා. නමුත් තාත්තට ඒ වෙද්දි හිටියා ගමේ කෙල්ලෙක්. අපෙ අම්මි. අහිංසක ගෑනු ළමයෙක්. ඒ ගෑනු ළමයට වෙච්ච පොරොන්දුව පවුල ගමේ කම මේ හැමදේම නිසා තාත්තිට සිද්ධ වෙනව අම්මිව කසාද බදින්න..ඒත් තාත්ති අර ගෑනු කෙනාව හිතින් අත් ඇරියෙ නැහැ.. ඒ ගෑනු කෙනා ත් ආයෙමත් කසාදයක් නොබැදම තාත්ති වෙනුවෙන්ම ජීවත් වෙච්ච කතාවක් තමයි තියෙන්නෙ..” 


කාව්‍යා සුසුමක් හෙලුවාය. ආදරය සමහරුන්ගේ ජීවිත වල දිශානතිය එහෙම පිටින්ම අවුල් සහගත අපායක් බවට පත් කරන අවස්ථා තිබේ. එහෙත් ඔලිවර් මේ සියල්ල තුලනය කරගැනිමට උත්සාහ කරන්නට ඇත. 


“ අපට හිතාගන්න බැරි විදියට නංගි වෙනස් වෙන්න පටන් ගත්තා.. එයා ඉක්මනට එයාගෙ විලාසිතා වෙනස් කලා..අපි හැදිච්ච සමාජෙ ඇතුලෙ බොනවා කියනෙක ලොකු වැරැද්දක්. ඒත් එයා පොඩි වයසෙදිම බොන්න ඇබ්බැහි වුනා.. ඒ හැමෙද්ම දැන දැනත් අර ගෑනු කෙනා ඒවායින් එයාව ඈත් කරන්න උත්සාහ කලෙ නැහැ.. චුටි අඩුම වයසකින් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයා ගෙන තිබුණි. ඒකටත් අර ලේඩි සපොට් කරලා තියනවා කියලා කතාවක් තියනවා.. කතාවක් තියනවා නෙමෙයි ඉතින් එයා නිදහස දීලා තියෙනව..අපේ තාත්තිට මේ කිසිම දෙයක් කියන්නෙ නැතුව .. එයා අපේ නංගිව විනාස වෙනකම්ම බලාගෙන ඉදලා. ඒක අපේ අම්මගෙන් කරපු පලිගැනිමක්ද තාත්තාගෙන් කරපු පලිගැනිමක්ද කියන්න මම දන්නෙ නැහැ..” 


කාව්‍යා පුදුමයෙන් බලා උන්නාය.


“ එයා ඒ යාලුවෙලා හිටියැයි කියන කොල්ලා එක්ක පැනලා යද්දි අවුරුදු දාහතක් ඇති.. එයින් පස්සෙ තාත්තියි අර ලේඩියි අතරෙ තිබුණු සම්බන්දෙත් නැතිම වුනා. තාත්ති චුටිව සම්පුර්ණයෙන්ම පවුලෙන් අයින් කලා. හිත් අමාරු හැදුනා..අපට පස්සෙ ආරංචි වුනා.. බබෙක් හම්බ වෙන්න නවලෝකෙ විඕජි කෙනෙක්ව චැනල් කරන පෝලිමක ඉන්නවා කවුරු හරි කතා කරලා කිව්වා අපට.. ඒත් අපි ටිකක් හෙව්වත් හොයා ගන්න ලේසිනැතිවුණි.. කවුරු හරි යමක් කමක් තියෙන මනුස්සයෙක් එක්ක ගිහින් ඇති කියන සතුට මට තිබුණ. ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ ට එක්ක යන්නැතුව නවලෝකෙ හිටිය කිව්වාම” 


කාව්‍යා සුසුමක් හෙලුවාය. 


“ එහෙම දරුවෙක්ව අයින්ම කරන්න පුලුවන්ද අම්මි.. මොනා වුණත් එයාට ඉතුරු වෙන්නෙ තමන්ගෙ පවුල විතරමනෙ..”

“ ඒත් තාත්ති හිටියෙම ඒ මතේ.. එයා ගොඩක් කළකිරුණා.. එයා හුගක් ම මානසිකව වැටුණෙ නංගි ගැන විතරක්ම නෙමෙයි. එයා අපෙ අම්මටත් වඩා ආදරෙ කරපු කෙනා තමන්ව රැවැට්ටුවා. තමන්ගෙ දරුවව විනාස කලා කියනෙකත් එක්ක” 

“ ඒ ගෑනු කෙනා කවුද අම්මි?”


කාව්‍යා ඇසුවේ පසෙක තිබු සිය අත් බෑගය තුල තිබු කුඩා සටහන් පොතක් එලියට අදිමිනි. සටහන් පොත ගැන අවදානයක් තේජානිට තිබුණේ නැත. ඇය එහි පිටුවක් පෙරලා ගත්තාය. 


“ මෙයාද?” 

තේජානි කැබලි කිහිපයකට ඉරි ගිය යළි ඇළවු පින්තුරය දෙස බලාගෙන සිටියාය. 

“ ඔ..ඔයා කොහොමද මෙයාව දන්නෙ?” 

“ මං එයා ගැන කාරණා ටිකක් හොයාගෙන ඉන්නෙ”

“ ග්‍රේස්… අපේ පවුල විනාස වුනේ ඔය ගෑනි හින්ද.. චුටි නංගි අතුරුදහන් වුනාට පස්සේ තාත්ති යි අම්මියි අතරෙ නිතරම ප්‍රශ්න තිබුණා. අම්මිට ඒ සිද්ධි කොයිතරම් ටොක්සික් විදියට දැනෙන්න ඇතිද? දැන් මේ ගෑනි ජීවතුන් අතර ඉන්නව ද?” 


ග්‍රේස්… කාව්‍යා මේ කතාවත් ග්‍රේස් ගේ කතාවත් ගළපා ගත යුතු තැන තේරුම් ගනිමින් සිටියාය. ඇගේ හිතේ තියෙන්නේ ඔලිව් බෘ හරහා මේ නිදන්ගත කතාව මතුවෙතැයි කියාය. දිල්ශාරා කොහේ හෝ ජීවත්ව සිටිනවා නම් කියා සිතුවිල්ලක්ද ඇතිවිය. සමහරවිට පවන්, කැෆේ සික්ස්ටි සික්ස්ත් යි හිමිකරු දිල්ශාරා. ගැන යමක් දන්නවා විය හැකිය. 


කාව්‍යා තීරණය කළේ නැවත කෝපිහලට ගොඩවීමටය. 


“ එයා දැන්හොද කෙනෙක් විදියට කොහෙ හරි ජීවත් වෙනවා නම් කොච්චර දෙයක් ද? අපි තාත්තිග⁣ෙ මරණ⁣ෙ වෙලාවෙ පත්තර වල එහෙම විස්තර දැම්මෙ ඉන්න තැනකින් ඒක දැනගෙන වත් ඒවියි කියලා. එයා තාත්තිට ආදරේ කරපු විදියට තාත්ති නැති වුනා. කියලා දැනගත්තොත් නෑවිත් ඉන්න එකක් නෑ කියලා අපි හිතුවෙ..”


“ ඒක දකින්න නැතුව ඇති අම්මි..”

“ ඔයා හිතන්නේ චුටි පුංචි ඒක දකින්න අපි අතරෙ නැතුව ඇති කියලා නේද?”

“ වෙන්න පුලුවන් … ඔයා කියන විදියට එයා ගෙ ඇඩික්ශන්ස් ගැන හිතුවම එහෙම තත්වයක් උඩ මෙච්චර කාලයක් කරදරයක් නැතුව ජීවත් වෙනවා කියලා හිතන්න අමාරුයි.”


තේජානි සුසුමක් හෙළුවාය. කාව්‍යා කියන්නෙ ඇත්තකි. දිල්ශාරා මේ වනවිට ජීවත් වීමට ඇති අවකාශය ඉතා අඩුය. 


“ ඒත් පුතේ එතකොට ඒ දරුවා..  චුටි පුංචි දැන් ජීවතුන් අතර නැත්නම් ඒ ලැබෙන්නට හිටිය දරුවට මොකද වෙන්න ඇත්තෙ?”

කාව්‍යා මද වෙලාවක් ඇගේ මුහුණ බලා සිටියාය. 


“ අපට පුලුවන් වෙයි හොයා ගන්න…” කීවාය. ඇගේ මුහුණේ යම්කිසි විශ්වාසය ක් පැවතිණි. දැනටමත් ඒ සියල්ල සොයා ගැනිමේ මායා යශ්ඨිය තමන් අත ඇතැයි කාව්‍යා විශ්වාස කළාය. නමුත් ඇයට තිබුණේ සැක පමණකි. මේ සියල්ල ඇත්තටම දැනගෙන උන් මිනිසුන් ජීවතුන් අතර ඇත්ද? කවුද ඉතින් හරියටම දන්නේ?


No comments:

Post a Comment

OLIVE- 21

  🌿 OLIVE — Episode 21 මෙහෙයුම් කාර්යාලය   මෙහෙයුම් කාර්යාලය පැවතියේ සෞමි තුන් සිතකින් හෝ හිතාහිටි විදියකට නොවේය. එහි යකඩ කුරු වලින් සමන්වි...