Tuesday, May 12, 2026

OLIVE 17

 


🌿 OLIVE — Episode 17

වැරදුණිද ඔලිව් බෘ


අරුණෝදය කොළඹ නරඹන්නට ආවේ බොහෝ සෙමිනි. හරියට ලෙඩ ගානේ වාගේය. කොහොම ආවත් රාත්‍රියෙන් පසු උදෑසන ලස්සනට පෙනෙන්නේය. ඒත් මේ වතාවේ බිඳෙන්නට නියමිත මොකක් හෝ ආරක්ෂා කරන අදහසක් උදෑසනට තිබුණා මෙන්ය. ඒ නිසා පරිස්සම් කරන්නට මෙන් කෙටි පියවර තබනු දැනිණි. 

සවුමි සිටියේ මල්මීටියකුත් අතෙහි දරාගෙනය. කැෆේ 66ත් හි කුඩා දොරටුව අසල ය. මලුත් ඇගේ අනික් ආම්පන්න අඩුම කුඩුම ත් සහිත ලස්සන පන් මල්ල බිම තබා ඇය බිමට නැමී දොරෙහි වු ලොකු ඉබ්බන් එහි අගුලි වලින් ලිහුවාය. ඒවිට දොරට සම්බන්ධ කුඩා සීනු සෙළවී චිම් චිම් හඩ නැගුවේය. මේ චිම් චිම් නාදයට ඇය බෙහෙවින් කැමතිය. ඇයට පිළිගන්නට නැගෙන නාදයක් මෙන් හිත ප්‍රමෝදමත් වෙන්නේය. 

කෝපිහල ඇතුළත සියල්ල තිබිය යුතු යම් සේ ද ඒ ආකාරයෙන්ම පැවතිණි. 

කුඩා උණුසුම් විදුලි ධාරා,

හොඳින් ඔප දමන ලද කවුන්ටරය,

කෝපි හදන කුඩා කුඩා මැශින් වල ඇහැරෙන ශබ්දය …

හැමදේම එතැනය.

හැමදේම පිළිවෙලට ක්‍රියාත්මක වෙමිනි.

ඇත්තෙන්ම සියල්ල ඔ්නැවටත් වඩා සන්සුන්ව ඒත් ක්‍රියාශීලීව පවතියි. 

ඒත් සවුමි ගේ හිතැතුළේ කිසිවක් දැවෙයි. මේ ඒ හැඟීම බව ඇය හොඳටෝම දැන සිටී. ඇගේ පපු කුහර කෙළවර කළු කුහරයකි. සියළු ස්වභාවික චිත්ත වේගී කැළඹීම් දරාගන්නටත් පාලනය කරන්නටත් දරන ප්‍රයත්නය අවසානයේ ඒ කලු කුහරය විසින් කිසිම අනුකම්පාවකින් තොරව ගිලගනු ලබයි. පාන්දර දුවන්න‌ට එන විදේශීය යුවලක්, හුදකලා ජීවිතයක් ගෙවන ධනපති තරුණියක්, විශ්ව විද්‍යාලයට යන ශිෂ්‍යාවක්, දරුවා තර්ස්ටනයට ඇතුල් කර එන රැකියාවට යන අම්මා කෙනෙක්, මෙවැනි විවිධ ස්තර වල ගැහැනු පිරිමි කීප දෙනෙකු කෝපිහලට ඇතුල් වී යළි පිටව ගියහ. 

දහවල් කාලය උදා වුණේ ඉක්මණිනි. කොහොමටත් කොළඹ උදේ වරුව ඉක්මණින් ගෙවේ. ඒ එහෙම නගරයකි. මනාව හැඳ පැළඳගෙන පවන් සිය වාහනය බිල්ඩිමේ රථාංගණයේ නතර කර කෝපිහලට ඇතුලු වුවේය. මේ වෙලාවේම පෙර දා රැය පුරා ව්‍යාපෘතියක් අවසන් කර නින්දට වැටී හිටි ඔසඳ නැගිට සිය බැල්කනියේ හිටගෙන හිටියේ දුරකතනයද අතේ තියාගෙනය. හැමදාම කෙල්ලන්ට නොවැරදී ගුඩ් මෝනින් ය කියා මැසේජ් යැවිම ඔහුට පුරුදු නැත. නමුත් ඒ වෙලාවේ ම ඔහුද ඇයට සුබපැතුමක් යැව්වේය. සවුමි ට මැසේජ් එක ආවෛත් පවන් කෝපිහලට ඇතුලු වුයේත් එක මොහොතේය. 

“ මෝනින්” ඔහු ඇය දෙස උවමනාවෙන් නොබලාම කෙලින්ම නාන කාමරය ඇති කොරිඩෝව දෙසට ගියේය. 

“ මෝනින්” ඇය වාචිකව ඔහුට කියනාතරේ ටයිප් කර අනිකාටද යැව්වාය. 

ඇගේ කටහඩ ඇයට ආවේණිකය. සන්සුන්ය. ස්ථාවරය. නිදහසේ පවතී

නමුත්, ඇය තුළ කිසිවක් තියේ. ඒ සැකයකි. හරියටම රසවත් තිර කතාවක වැදගත් දෙබසක අඩුපාඩ්වක් වාගේය.  පණිවිඩයක් මෙන්ම පවනුත් ආපහු එනතෙක් ඇය තුල බලාපොරොත්තුවක් තිබිණි. පවන් ඇය හා සංවාද කළේ කිසිම යෙදුමක් හරහා නොවේ. සාමාන්‍ය කෙටි පණිවුඩ සේවාව භාවිතා කරමිනි. මේ නිසා ම මේ පණිවුඩ යෙදුමක් හරහා එන පණිවුඩ තරම් සජීවී වාගේම ඉක්මණ් ද න‌ොවුයේය. පවන් ආවේය. ඔහුගේ පිරිසිදු කම්මුල් නිල් රැවුල් කොට වලින් පිරී ඇත. යාන්තමට ඇහිපිය අගක තෙතකි. ඔහු පැමිණ කවුන්ටරය අසලින් හිඳගත්තේය. කැරකෙන පුටුවේ මඳක් පසුපසට ඇදුණේය. සිය දුරකතනය අතට ගත්තේය. කිසිවක් නිරීක්ෂණය කළේය. 

ඇය මඳක් ළං වුවාය. පවන් ගණනකට නොගත් බව පෙනිණි. පසුව ඔහු නැගිට කෝපි අඹරන යන්ත්‍රය දෙස නොඋවමනාවෙන් බලා සිටියේය. 

“ කලින්ම ආවද?” ඇගෙන් ඇසුවේය. 

“ වෙනදා වෙලාවටම ආවෙ. ඔයා කලින්”

“ ඔයාට අමතක වෙනවා නේ මං මේකෙ ඔ්නර් කියලා…I’m allowed.”

“ ඒක ඔයාට හැමදේටම තියෙන උත්තරේ. I’m allowed” ඇගේ මුහුණේ ලා සිනාවකි. 

“It works.” පවන් ද සිනාසුණේය. දෙදෙනාගේ සංවාදයේ රිද්මය හරියටම කෝපිහලේ ගලා යන මෘදු ස්වභාවයට ගැළපිණි. ඊයේ දවස සහමුලින්ම ඉතිහාසයෙන් මකා දැමුණු බවකි ඇඟවුණේ. 


සවුමි කවුන්ටරය පසුපසට ගොස් සිය ඒප්‍රනය තද කර ගත්තාය. ඇගේ ඇගිලි ක්‍රියාත්මක වුයේ සෙමෙනි.දැනීමකි.. මතකයක් දැනුණා නොවේ. උණුහුමකි. ඇය උරාගන්නටත් කලින් ගිලිහුණු එකකි..


“ අවුලකින්ද?” පවන් ඇසුවේය. ඇය නැතැයි කියන්න හිස සලා පසුව “ නෑ” කියාද කීවාය. 


“ අවුලක් පේනවා” 

ඔයාට පේනවද?

මම මගේ හැමදේ ගැනම අවදානෙන් ඉන්නෙ

ඇය ඔහු දෙස කෙලින් බැලුවාය. 

හරියටම නිශ්චිතවම බැලුවාය.

ඔහුගේ මුහුණ පැහැදිලිය. සෘජුය. කිසි විකාර ගතිවක් නැත. විවේකයෙන් ඉන්නා බවකුත් පෙනේ. ඒ හැමදේටම වැඩියෙන් ඒ මුහුණ කිසියම් නිශ්චිත භාවයකින් යුක්තය. 

ආතතියක් නැත. සංකීර්ණ බවක්, පැටලිලි සහගත බවක් නැත. 

. ඇය පසුපස හඹා ඒමක් ඔත්තු බැලීමක් නැත. 

“ පවන් “ ඇය පටන් ගත්තේ ප්‍රවේශමෙනි. “ ඔයා ට කවදා හරි දැනිලා තියෙනවද ඔයාට මොකක් හරි වැදගත් දෙයක් මගැරිච්ච, අමතක වෙච්ච ගතියක්.. හැබැයි ඇත්තටම කිව්වොතින් එහෙම වෙච්ච දෙයක් හොයාගන්නත් බෑ” 

පවන් හිතා බලන්නට ප්‍රශ්නය තේරුම් ගන්නට වත් විනාඩියක කාලයක් නොගෙන “ නැහ්” කියා කීවේය. උත්තරය වේගයෙන් ආපිට ලැබිණි. අනික් අතට එය ආපහු ආවේ හිතාගන්නත් බැරි වේගයකිනි. සවුමි ඇහිපියක් ගැසුවාය. “ එක වතාවක් වත් ජීවිතේ” ඇය ප්‍රශ්නාර්ථයකින් ඇසුවාය.

“ ඔය කියන තරමට වැදගත් නම් ඒක මගැරෙන්නවත් අමතක වෙන්නවත් විදියක් නෑ.” 

ඔහුගේ  හඩේ කිසිම නොසැලකිලිමත් ගතියක් නොතිබිණි. නමුත් එහි වුයේ නිශ්චිත ඉලක්කගත ස්වභාවයකි. 


. සවුමි අනික් පස හැරී කෝප්ප පිස දමන වගක් ඇඟවුවාය. ඔහුට එසේ දැනෙනවානම් ඇයි මට මෙහෙම දැනෙන්නෙ? ඒ ඇයට ඇය ගැන නැඟුණු ප්‍රශ්නයයි. ඔහුට මතක තියා ගන්නට කිසිවක් පෙරදා රැයෙන් පසු ඉතිරිවී නැත. ඇය මොහොතකට සිතුවාය.

ඒ මොහොතේ අවන්හලට ගොඩවු කෙනෙකු සවුමි දෙස හොඳින් බලා “ ටු කැපචිනොස් කියාගෙන එතැනින් ගොස් අලුත් මේසයක  හිඳ ගත්තාය. පවන් සිටියේ මුදල් කවුන්ටරය අසලය. සවුමිගේ දෑත් වේගයෙන් වැඩ කළ අතර ඉක්මණින් ට්‍රේ එකක් මත තැබු කෝපි බඳුන් අදාල මේසයට පිරිනැමිණි. 

මේ දෙදෙනාගේ එකතුව පෙනුණේ සම්පුර්ණයෙන්ම පුහුණු කළ සංයමයෙන් යුක්ත ක්‍රියාවලියක් ලෙසිනි. නමුත් තවදුරටත් කිසිවක් මගහැරී ඇත. ඔවුනතර ද? නැත්නම් වෙන වෙනමද? සිතාගනු නොහැකිය. ඒ විටින් විට ඔසඳගෙන් එන පැරණි තාලේ කෙටි පණිවුඩද ? මේ සියල්ල අදෘශ්‍යමානය. අස්පෘශ්‍යය. ඒ වාගේම මෘදුය. යතාර්තවාදීය. 

මේ දවස් වල පවන් ගේ බොහොමයක් වැඩ සිදුවන්නේ කැෆේ 66ත් ඇති තෙමහල් ගොඩනැගිල්ල නැවත කුලියට දීමේදී පවන් විසින් ඉතිරි කරගන්නා ලද කොටසේය. ඔහු එහි ඔහු ගේ කාර්යාලයක් ස්ථාපිත කරගත් අතර ඒ නිසාම කැෆේ එකේ රැඳෙන්නටත් අවස්ථාව තිබේ. 


“ඔයා හරියට නිදා ගෙන නෑ” හිටිහැටියේ පවන් කියද්දී ඔහු දෙස ඇස් අගින් බැලු ගැහැනු ළමයා “ නිදාගත්තා” කීවාය. “බොරු” 

“ ඔයා කොහොමද දන්නෙ අනේ” 

“ මෙලෝ රහක් නැතුව කම්මැලි පාටට ඉන්නෙ”

“ මං කොහොමත් එහෙමනෙ”

“ මේ වගේ නෑනෙ”

ඇය ආපහු කවුන්ටරය වෙත ගොස් ඔහු ඉදිරියේ නතර වුවාය. 

“ කොයි වගේද එහෙනම්?”

ඇය ඇසු සෘජු විලාසයට පවන් ගේ මුහුණ පළමු වරට අභියෝගයකට ලක්වුවා වගේ වෙනස් විය.. 

“ ඇත්තටම ඔයා ඉන්නෙ මෙතැන නැති වෙන ලෝකෙක දේකට ඇහුම්කන් දෙනවා වගේ” හුස්මකුත් උඩට ඇදගත්තේය. ඇය ගැන කියනවාට වඩා ඇය ගැන නොකියනා දේ පවන් තුළ තියේ. සවුමි පවන්ව එක අතකින් වටහා ගෙන තියෙන්නේ සම්පුර්ණවම නිවැරදිවත් නොවේ. ඔහු හිතන්නේ මේ මොහොත වන විට ඇය සම්පුර්ණයෙන්ම අර අහම්බකාරක මිනිසා කෙරෙහි ප්‍රේමයෙන් බැඳී ඇතැයි කියාය. 

“ මට පේනවනෙ”

“ කවද ඉඳන්ද දැන් මං දිහා ඔහොම බලන්න පටන් ගත්තෙ”

ඇය අසද්දී පවන් ඇගේ ඇස් දෙස සෘජු බැල්මක් බැලුවේ හිස පසෙකට ඇළ කරගෙනය. ඇස් දැල්විණි. එක් ඇසක් සිහින් විණි. යුවතියගේ මුහුණ රෝස යායක් සේ පිපී ගියේ සිනාවකටය. 

“ ඔයා මට වඩා රහට කෝපි හදන්න පටන් ගත්තාට පස්සෙ” දැන් ඇගේ සිනාව කලින් තිබුණාටත් වඩා විහිදි ඇත. 

“ තාමත් ඔයාට මා එක්ක තමයි තරගෙ තියෙන්නෙ.. පුංචි කාලෙ වගේමයි”

“ ඔයා තමයි මගෙ ජිවිතේ පළවෙනි තරගකාරි… මට හොඳට මතකයි පොඩි කාලෙ ඔයා මට වඩා හැමදේටම දක්ශයි..” 

පවන් පසුව සිය හමුවකට උඩු මහලට ගියේය. මේ කාර්යාලය මෙතැන විවෘත කරන්නට පවන්ට උවමනාවක් තිබුණත් කෞශල්‍යා නම් ඊට කැමති වුයේ නැත. ඒ ඔවුන්ගේ තත්වයට එතැන නොගැළපීමය. එහෙත් මිගාර මේ ගොඩනැගිල්ලේ පවන් එසේ කිරීම ව්‍යාපාර ඇසකින් බැලුවේය. පවන් ටමේ ගොඩනැගිල්ලේ කල්බදු ගිවිසුම අවසාන වන තෙක් බලා සිටියෙ තමන්ගේම ව්‍යාපාර ආරම්භ කරන්නට හොඳ ම තැන මෙතැන යයි ඔහුගේ හිත දැන සිටි හින්දාය. 


උදෑසන කොටස් වශයෙන් ගෙවී ගියේය. එක තැනක වාඩිවී කෙටි පණිවුඩ වලට පිළිතුරු දෙමින් කළ හැකි කාර්යයක් නොවන මේ කෝපිකඩයක් පවත්වා ගෙන යාමේ ක්‍රියාවලිය ගැන සවුමි‌ට කවදාවත්ම දොස් සහිත සිතුවිලි ඇතිවී නැත. කෝපි බොන්නට එන මිනිස්සු ආවහ ගියහ. ඇණවුම් සකස් කෙරිණි. පිරිනැමිණි.  ඇගේ මනස හැම වෙලාවකම අවධානයෙන් පිටට ගියේය. ඇගේ ඇගිලි ඇගේ තොල් අතර නැවතී තිබුණේ නොදැනුවත්වමය. හරියට ඒ දෙතොල් නාඳුනන කිසිවක් බලාපොරොත්තු වනවාක් මෙන්ය.


පවන් සිය කාර්යාල කාමරය ට ගොස් සැහැල්ලුවෙන් සිය කමසයෙ උඩු බොත්තම් දෙකක් විවෘත කරගත්තේය. ඒ අතර කෝපිහලේ සිටියදී ඇගෙන් විද්‍යමාන වු වෙනස ඔහු අධ්‍යයන කළ අයුරු ද වරින් වර සිහිපත් විය. ඇය රින් වර සිය දෙ⁣⁣තොල පිරිමැදගනු ඔහු දුටුවේය. තව වතාවක් ඇය තමන්ගේ තුරුලට එනවා නම් වගේ හැගීම් ඇතිවීම වළක්වනු නොහැකිය. එ හැගීම් ඔස්සේ ම යන්නේ නැතිව මගින් නතර වෙන්නට ඔහුට හැකිය. 

ඉතින් ඇය ගැන ගැඹුරු හිතිවිලි වල නොගිළී, 

ආසාව ඇති වුනත් ඉන් අන්ධකාරයට නොගිහින්

තමන්ගේ ආදර හිත අකර්මණ්‍ය කරගෙන 

ඔහු ආපසු හැරෙන්නේය


 තුම්මුල්ලට වැඩි දුරක් නැති බොරැල්ලේ   එක් ඉසව්වක ඔසද සිය අපාට්මන්ට් එක⁣ේ විසිත්ත කාමරය⁣ේ නිශ්ශබ්දතාවය⁣ේ ගිලි සිටිය⁣ේය. ඇත්තෙන්ම එය සාමකාමී නිශ්ශබ්දතාවක් ද නොවේ. හොදින් පාලනය කළ ගණයට අයත් එකකි. 

ඔහුට ඇත්තේ ඉතාම කුඩා අවකාශය කි. එය නිශ්චිත වු අතර සිය අවකාශයේ හතර කොණ  පිලිබඳ සායනික දැනුම ක් ද තිබිණි.  ලැප්ටොප් එකකි. ලිපිගොනු විවෘත ය.තිරය එක් වරක් දැල්වී නිවිණි.  කළු පසුබිමක සුදු අකුරු මතුවෙයි. කිසිදු ශබ්දයක් නොනැඟෙයි. ප්‍රොසෙසරය ක්‍රියාත්මක වෙද්දී නැගෙන ටිකි ටිකි ශබ්දය පමණක් නැඟෙයි. 

විජේබණ්ඩාර ෆැමිලි- සර්ච් ක්වෙයරි.. කරන්ට් ඩිරෙක්ටර්ස් බෝඩ්  තේමාව යට නම් පේළියක් විස්කර සමඟ දිස්වෙමින් තිබේ. මොහොතක විරාමයකි. කිසිවෙකුට කියවන්නට අමතක වී ඇති බවක් ඇඟවෙයි. අනුමාන කළ හැකි ෆයර්වෝල්ස් .. පද්ධතිය නිසි කාලයේදී යථාවත් කර නැති අයුරක් පෙනෙයි. ඔහුගේ මුව අගට නැගෙන සිනාවකි. 

ඇක්සස් පොයින්ට් ෆවුන්ඩ් ලෙස තිරයේ දිස්වෙයි. ඇගිලි යතුරු පුවරුවේ දිවයයි. මඳ නිහඩතාවකි. ඔසද තිරය දෙස බලා හිඳී. පද්ධතිය කුඩා තත්පර කීපයක් ක්‍රියාන්විතය වෙනුවෙන් ලබා ගනී. ඊළඟට ඇක්සස් ග්‍රාන්ටඩ් ලෙස දිස්වෙයි. සමාගමේ සංවිධාන ව්‍යුහයේ විස්තර එක දිගට දිග හැරෙනු ලැබේ. මේවා වෙබ් සයිට් එකේ ප්‍රසිද්ධ කර ඇති ප්‍රසිද්ධ දත්ත නොවේ. ඒ වාගේම මෙය පිළිවෙලකින්ද තොරය. අවුල් සහගත, නැවත නැවත සංස්කරණය කරන ලද්දාවු, සඟවන ලද ලින්ක්ස් වලින් යුක්ත දත්ත වේ. ඔසද ඇගිලි තුඩින් එය දිගින් දිගට පහළට තල්ලු කළේය. 

සමාගමේ අධ්‍යක්ෂවරුනාගේ නම් වලින් තිරය වැසී යන්නට විය. 

මෙහිදී විජේබණ්ඩාරවරුන්ගේ නම් දිස්වුණේ කිහිපයකි. කොටස් වලට සාපේක්ෂව පාලනය බෙදී යනආකාරයක් දක්නට ලැබිණි. ඒ අනුව මෙම සමාගම අදාශ්‍යමාන ලෙස ක්‍රියාත්මක වෙනු දකින්නට නොහැකිය. බොහොම විනිවිද භාවයකින් යුක්ත ලෙස දැකිය හැකි පාලනයක් යටතේ කිසියම් ආකාරයක සැඟවුණු රහස් ඇතැයි ඔසඳට සිතෙයි. ඒ රහස් තියෙන්නේ අන්තර්ජාලයේ හෝ කිසිදු තැනක නොවේ. විජේබණ්ඩාරවරුන් අතේ බව පැහැදිලිය. 

“ ව්‍යාපාරය පවුල සම්බන්දයි. ඒත්, පවුල නෙමෙයි ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නෙ. ඒ සඳහා ඔවුන්ට වෙනම සංවිධිත කාර්ය මණ්ඩලයක් සිටිති. මිගාර කෞශල්‍යා පවන් සුලලි වුවත් ව්‍යාපාරික කටයුතු මෙහෙයවනවා විනා ඉන් මෙහා කටයුතු සඳහා දායක වනු දැකිය නොහැකිය. 

ඔහුගේ දුරකතනය නාදවිය. ඒ අංකය ඔහු ගේ දුරකතනයේ සේව් කර නැත. නමුත් ඔහුගෙ මතකයෙන් කිසිදා මැකෙන්නේද නැත. මුහුණට අමුතු එලියක්ද වැටී ඇත. “ ඔ්” ප්‍රතිචාරය එහෙම එකකි. “ ප්‍රෝග්‍රෙස් එකක් තියෙනවද?” ඇය කෙළින්ම උවමනා දේ කතා කරනවා කියන්නෛ් අනිවාර්යෙන්ම ඇයට කතා කළ හැක්කේ එපමණක් පමණක් විය යුතුය. 

“ ටිකක්”

“ කියන්න”

“ මෙහෙමයි. අපට දැනට හිතාගන්න බෑ. ඇත්තටම කවුද මේ ඔලිව් බෘ කියන රෙසිපි එක ක්‍රියේට් කළෙ කියලා”

“ ඔයාට ඒක හොයා ගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ කැෆේ එකේ කෙල්ල එක්ක රිලේශන්ශිප් එකක් හදාගන්නෙක. ඔයා දන්නවනෙ කෙල්ලෝ.. ආදරේ කරන කොල්ලා වෙනුවෙන් ඔින රහසක් කියයි..” 

කාව්‍යා! ඇය දැන් ආදරය ගැන හිතන්නේ ඒ විදියටද? පරිණත විය හැකිය. ඒත් කාලයක් තිස්සේ ආගමක් වගේ ඇදහු ආදරය ගැන මේ තරමට සිල්ලට මතයකට මාරු වෙන්නට තරම් ඇය භෞතිකවාදී වුයේ කොහොමද?

“ඔයාට එහෙම කරන්න කියලා මට කියන්න පුලුවන් නේද?" 

ඔසද ඇසුවේ බිදුණු හඩකින් ය. කාව්‍යාට වහා තමන් අතින් වු වරද වැටහිණි. 

එහෙම දෙයක් නෙමෙයි . කොහොමටත් එයා ගැන පොඩ්ඩක් ඉන්ටරෙස්ට් නිසා .. මං එහෙම කිව්වෙ “

ඔසද ඉතින් හිත අලුතින් රිදවා ගත්තේ නැත. ඇය අවස්ථාවාදී ලෙස තමන් ගෙ ආදරය පාවිච්චි කල බව දැන දැන වුනත් අහිතක් නොහිතා ළග උන් ආදරය හිතේ පසෙකට කළේය. 

“ මම මගෙ විදියට මේක හොයාගෙන ඔයාට කියන්න ම්” එසේ කියා දුරකතනය විසන්ධි කර තමන් ටම සුසුමක් හෙළා ගත්තේය. ඔහු ට සවුමි ව සිහිපත් විණි. ඇයට සෑහෙන වෙදලාවකින්ඔහු කිසිම කෙටි. පණිවුඩය වත් යවා නැත. සවුමි උදෑසන ඔහුගෙන් ලද කෙටි පණිවුඩ 

කැෆේ 66ත් හි 

මේ වනවිට කැෆේ එකේ කිසිවෙකු නැත. කෝපි යුනිෆෝමයෙන් සැහැල්ලු ගවුමකට මාරුවු සවුමි කවුලුවක් අසල හිදගෙන සිටියාය. . ලා වැස්සක් ඇරඹී තිබේ. කවුලු දොර බොදවී තිබිණr. සවුමිට සැක සිතුණේ ඇත්තටම බොදවී තිබුණේ වීදුරුව ද ඇගේ දෑසද නොදැන ය. පවන් කෝපිහල⁣ට ඇතුල් වුයේය. ඇය ආපහු හැරුණේ නැත. පවන් ට ඇසෙහි කදුලු තෙත පෙනේවියි බියක් තිබිණි. 

“ ඔයාට කවදාහරි අත්දැකීමක් තියෙනවද ඇත්තටම එක රෑකින් වෙනස් වෙච්ච රිලේශන්ශිප් එකක් ගැන?”

“නෑ “ පවන් ගේ පිළිතුරු විශ්වාස කළ නොහැකි තරම් කෙටිය. ඉක්මන් ය. 

“ එතකොට ඔයා එ වගෙ දෙයක් ගැන හිතන්නේ වත් නැද්ද?" 

“ ඒකෙ මොකක්ද හිතන්න තියෙන්නෙ.." 

සවුමි පවන් දෙසට හැරුණාය. 

“ අනිවාර්‍යෙන්ම දෙයක් තියෙනවා නම් හිතන්න..”

ඔහු නොසැලකිලිමත් බැල්මකින් බැලුවෙය. 

“ හැම⁣දේම හොදින් සිද්ධ වෙනවනම් ආයෙ මොනවටද හිත හිත වදවෙන්නෙ.. ඔයා හැමදාමත් ඕවර්තින්කින්..”

පවන් කී පසු සවුමි තමන් ඉදගෙන සිටි තැනින් මෑත්ව පවන් උන් ළගටම‍, ඕනැවටත් වඩා ළගටම ආවාය. “ ඔයාට ඊයෙ රෑ මොකක් හරි මොහොතකට හරි සිද්ධ වුණා මතකද? පවන් මේ ගැහැනු ළමයාගේ හිතේ ඇතිදේ නොදන්නවා නොවේ. ඇයට එසිදුවු දේ එක්කෝ බර වැඩි නිසා අමතක කරදමන්නට උවමනාය. නැත්නම් එය මිහිරි වැඩි නිසා ආයේ ඒ සිදුවීම දෙදෙනා අතර සිදුවන්නට උවමනාය. 

“ මට මතකයි” පවන් ඇගේ ඇස් වල සිය ඇස් ගාවමින් කීවේය. 

“ ඒ ගැන කිසිම ඩවුට් එකක් නැද්ද ඔයාට?”

“ නෑ”

පවන් තමන් ව පාලනය කරගෙන හිදින්නේය. නැත්නම් කාත් කවුරුවත් නැති මේ කෝපිහල⁣ට කියන්නට බරපතළ ආදර කතාවක් ඉතිරි වෙනු නිසැකය. සවුමි ඉන්පසුව කිසිවක් නොකීවාය. මේ වෙලාවේම ඔසද ඇයට මැසේජ් කරන්නට පටන් ගත්තේය. ඒත් ඇගේ හද වෙනදා තරම් ඔද වැඩුණේ නැත. හේතුව ‍, පවන් හා පෙරදා රැයෙහි ගෙවන්නට යෙදුණ අසිරිමත් මිනිත්තු කීපය වෙන්න බැරිද? 

“ කොහෙද ඉන්නෙ?”

“ කැෆේ එකේ”

“ පවන් ඉන්නවා ද?”

“ ඔව්..”

“ ඔයාව එක්ක යන්න ඇවිත් ද?”

“ කැෆේ එක වහන්න ඇවිත් ”

පවන් ඇය දෙස බලා සිටියේ ය. 

“ අරු ද?” ඇසුවේය. 

සවුමි හිස වැනුවාය. 

“ මොකෙන්ද ඔය මැසෙජ් කරන්නෙ?”

“ ටෙක්ස්ට් මැසෙජ්”

පවන් ඇස් සිහින් කර බැලුවේය. 

“ ඇයි ටෙක්ස්ට් මැසෙජ්?”

“ එයා ඩේටා ඔන් කරන්නෙ නෑ”

“ ඒ මොකද?”

“ දන්නෙ නෑ”

ඔහු සවුමි අසලට ආවේය. 

“ මේ කාලෙ ඩේටා වලින් වැඩ කරන් නෑ කියන්නෙ ඌ නම් ටිකක් අමුතු එකෙක් වෙන්නෝනි” 

පවන් සවුමි දෙස කෙලින් බැලුවේය. 

“ මොනවත් හිතන්නේ පා මං මෙහෙම කිව්වා කියල. මට ඌ ගැන ඇත්තටම සැක හිතෙන්න පටන් අරන් තියෙන්නෙ හරිද..” 

යුවතිය ඔහු දෙස බැලුවේ සැකයෙනි. ඉරිසියාවට කියනවා ද ඇත්තටම කියනවාද කියා විශ්වාස කරන්න ට හැකියාව ක් ඇයට නැත. 

“ ආසයි ඔයාලගෙ ඔලිව් බෘ බොන්න තිබ්බනම්”

ඒ මැසෙජ් එක ට පිළිතුරු දෙන්නට ඕනැ කෙොහොමද කියා ඇයට සිතාගන්න නොහැකිය. “ හෙට එන්න” ඇය කියා යැව්වාය. ඔසද අනික් අත ඉද සිතුවේ ඇය කොයිතරම් පිළිවෙලට මේ කෙටි පණිවුඩ වලට පිළිතුරු කළමනාකරණය කරගන්නවාද කියාය. නිකමටවත් වැරදි එකක් වත් නොවෙන්නට ඇය වග බලා ගනිමින් සිටින්නීය. 

“ දැන් එන්න කියන්න හිතෙන්නෙ නැද්ද?”

“ දැන් අපි කැෆේ එක වහනව”

“ පවන්ට යන්න කිව්වොත් මං එනවා.. ඔයාව ඇරළවන්න..”

ඇය පණිවුඩය කියවන අතරේ යටැසින් පවන් දෙස බැලුවේය. ඒ බැල්ම දුටුවත් නොදුටුවාක් මෙන් ඉන්නට ඔහු ට හැකිය. ඇත්තෙන්ම ඇය ඒ මොහොතේ ජීවිතය තුල පළමු වතාවට තමන් ට තෝරා ගැනීමක් කරන්නට අවස්ථාව ක් උදා වෙතැයි බිය වුවාය. 

“ දැන් රෑ වෙලා වැඩියි…”

ඇගේ කටහඬ බිදෙන සුලු නොවීය. හුරතල් ද නොවීය. ගැහැනු ශක්තියෙන් සහ ස්වභාවික ව ලැබෙන ඉවෙන් පිරී ගියේය. ඇය වඩාත් ස්ථිරව සිය අදහස කීවාය. 

“ එහෙම නම් ඉරිදා… ඔයා කැෆේ එක වහනවානෙ.. අපි හතරට විතර හම්බවෙමු..” 

මේ මොහොත වන විට ඔසද තමන් ගැනම පුදුම වෙමින් සිටියේය. මේ විදියට කෙල්ලක මුණගැහෙන්නට උත්සාහ කරන අවශතාවයක් පහුගිය කාල වකවානුව තුළම ඔහුට තිබී නැත. ආදරය ගැන කියනවා නම් ඔු තමන් ආදරය යැයි නිර්වචනය කරගත් බැදීමක බැදී සිටියේ කාව්‍යා සමගිනි. කාව්‍යාට ඔහුගේ ජීවිතය තුලින් නික්ම යන්නට සිදු වුවත් ඔහුගේ හදවතේ මන්දිරයක් සේ පැවතියේ ඇගේ මතකයන්‍, ඇගේ සොයාබැලීම, රැකවරණය සහ  ශෘංගාරය ය. මේ සියල්ල මැද ඔහු ගැහැනු ඇසුරු කළත් එ විදිය කොහොමද කියා අප දැන සිට ඇත. නමුත් දැන් මේ ඔලිව් නම් සිග්නේචර් කෝපි බදුනේ ඉතිහාසය සොයා යනවාටත් වඩා සවුමි නම් වින්ටේජ් යුවතිය සමග ළං වීමේ තනිවිමේ උවමනාවක් ඔහුට තිබේ. 

ඔසද මිනිස්සු සමග වැඩ කළේම නැත. ඔහුට කාර්යාලය ක් තුල ගැවසිම වැඩ කිරිම මිනිසුන් ඇසුරු කිරිම වැනි අත්දැකීමක් නැත. සියල්ල සිදුවුයේ පරිගණක තිර සමගය. ඒවා ඇතුළත ගැඹුරෙන් ගැඹුරට යන පද්ධති සමගිනි. ඉතින් මේ කෘතිම මොළ සමගින් කරන ගණුදෙනු ඇසුරේ පේර්⁣මය ගණුදෙනු නොවුණේය. 

“ දන්නවා ද සවුමි ‍, මට ආසයි ඔයා එක්ක ටිකක් ඇවිදින්න.. කතා කරන්න.. අතින් අල්ලගෙන. අපට මගැරිච්ච කාල⁣ෙ ගැන කතා කරන්න.. ආදරේ කියන්නෙ නිකම්ම නිකම්ම මේ ලෝකෙ එක්ක තරගෙට දුවනවා කියනෙකක් නෙමෙයි. ආදරේ මං හිතන්නෙ අපිව ටිකක් ස්ලෝ කරවනවා. නැවතිලා හිතන්න අවස්ථාව ක් දෙනව.. “ සවුමි පුදුමයට පත් කරවන්නට ඒ වචන ටිකට හැකිවිය. ඉතින් මේ හැටේ දශකයේ සිටි පෙම්වතියකගෙන් ආදරය ගැන ඉගෙන ගෙන සිටි විසි එක් වැනි සියවසේ ගැහැනු ළමයාට ආදරය ගැන මේ වගේ නිර්වචන හොයා දෙන පිරිමි ළමයෙකු ගේ හමුවීම කුමන අදහස් උපද්දාවිද ඇය දන්නේ නැත.

“හා” ඇය කීවේ එපමණකි. පවන්ගේ කණට ඇසුණේ ඇය කී දේවල් පමණකි. ඒකත් කෝපිහලේ කෙලවරක ජනේලයක් බදාගෙන කියවද්දීය. කුහුඹු කෙදිරිල්ලක් මෙනි. එහෙත් කොල්ලෙක් විදියට හිතද්දී මේ හමුවීමකට ආරාධනා කිරිමක් බව නොතේරෙන බබෙකු නොවේ ඔහු. ඉතින් පවන් ගේ හිතේ ඇති වෙන්නේ ඉරිසියාවකි. 

පෙරදා රාත්‍රියෙ ඇය තමන් ලග හිටිය විදියට ඇගේ කුළුදුල් හාදුවක් තමන් ට පිරි නැමු විදියට ඇය ට ආදරේ කියන්න ට පුලුවන් වටාපිටාවක තමන් හිටියා නම් කියා පවන් ගේ හිත කකියයි. ඒත් පවන් ප්රායෝගික පිරිමියෙකි. ඔහු තමන් ඉපදී ඇති පවුල පරිසරය ගැන හොද අවබෝධය ක් ඇති කෙනෙකි.  මිගාර විජේබණ්ඩාර ද ජීවිතය පිලිබද ආදරය පිලිබද අනන්තවත්   කැපකිරිමක් කර ඇති කියා පවන් ට සිතෙන්නේය. ඔහු දන්නා පරිදි අම්මා සහ අප්පච්චිත් අතර හදවතින් ම ඇති වු ළෙංගතු කමක් නැත. ඔවුන් ඔවුන් ගේ ව්‍යාපාර ලෝකයේ පැවැත්ම උදෙසා මව්පියන් ගේ තීරණ වලට අනුගත වෙමින් විවාහ බන්දනයට ඇතුල් වී ඇත. කිසිම ගැටලුවක් දැකිය නොහැකිය. කෞශල්‍යා හැම දෙයක් දිහාම බැලුවේ භෞතිකවාදීවය. ඒ ඔවුන්ට ලැබී තිබු තෝරාගැනීමකින් තොර ජීවිතය යි. 

සමහරවිට කවදාවත් අම්මා අප්පච්චිට ආදරය කරන්නට නැතුව ඇති . ඒත් ඒ දෙදෙනා හොදට ජීවත් වෙන යුවලකි. කවදාහරි තමන් ගේ ජීවිතය ත් එසේ ගෙවෙනු ඇත. ඒ චක්රය බිදී තමන් ට නොලැබෙන විදියේ අවස්ථාව ක් සවුමි ට ලැබෙනු ඇතැයි පවන් ට සිතෙන්නේය. ඇයට ආදරය කරන පිරිමියෙකු කසාද බැද දරුවන් ලබා හැමදාමත් ආදරෙන් ඉන්න ජීවිතය ක්! ඒ ජීවිතය ට මේ කෝපිහල⁣ට ගොඩවෙන තරුණයා කොයි තරම් සුදුසු ඇත්දැයි ඔහුට විශ්වාස නැත. 

ඔහු ඇය දෙස උවමනාවටත් වඩා බලා උන්නේය. සවුමි ඒ වගක් නොදනී. ඕ පාඩුවේ සිය වැඩ වලට අවධානය යොමු කරගෙන සිටියාය. 

. “ දිග දවසක් ?” 

“ ඒහෙමමත් නෑ”

“ ඔයා කොහොම කිව්වත් මහන්සිය ඇස් දෙකෙන් පේනව”

 “” නෑ අනේ.. මං කිව්වෙ.. මිට වඩා දිග මහන්සි දවස් තීබිලා තියෙවනා”

” “ මං දැකලම නෑ මෙච්චර මහන්සි පාට”

“ ඇයි ඉතින් ඒ ගැන හිතන්නේ ?”

ඇය අසන්නේ හිතේ මොකක් හරිම අවුලක් තියාගෙන බව පවන් දැන සිටියේය. 

“ මං නැතුව වෙන කවුද ඒ ගැන හිතන්නේ ?” 

පවන් ඇය අසලටම ගොස් ඇසුවේ ය. ඇය ඒ ඇස් වලින් සැගවෙන්නට උත්සාහ කරන්නීය. 

“ පවන්‍, ඔයා දැන් වෙනස්… ඔයා මාව බය කරනවා…මේ ප්රශ්න ඉස්සර ඔයාට තිබුණෙ නැහැනෙ.. මං මහන්සි වුණත් නැතත්‍, ඉගෙන ගත්තත් නැතත්… ඔයා ඒ ගැන හිතුවෙ නෑ… ඔයාට කෙල්ලො ඕන තරම් හිටියා ඇවිදින්න පාටි කරන්න ..” 

පවන් මේ අඩ අන්දකාරය මැදින් ඇගේ තරු ඇස් දෙස බලා සිටියාය. කොළඹට අනෝරා වැහි ඇද හැලෙමින් තිබේ. 

“ඉතින්..”

“ ඉතින් …මේ හිටි හැටියෙ මාව අල්ලගෙන මොකද අනේ…”

“ එහෙම නොවුණ නම් අපි අතරෙ මොන වගේ දෙයක් සිද්ධ වෙයි කියලද ඔයා හිතන්නේ ..” 

ඇය පවන් ගේ ඇස් දෙස සෘජුව බැලුවාය. 


 ඒ ලස්සන ඇස්‍, ඒවා ඇතුළත ඇති ගැඹුර‍, ඒ කම්මුල් තැනින් තැන යව්වන කුරුලැ කැලලකින් දෙකකින් ඇතිවු සිදුරක් දෙකක් වැසෙන සේ වැවුණ තද කලු නිලට හුරු රැවුල් කොට.. මේ මුහුණ මේ තරම් ළගින් බලා නොසිටියේ මන්දැයි හිතෙන සිතුවිලිද ඇයට පහළ වේ. 

“ කියන්නකො..”

“ මං මොනවද කියන්නෝන කියලා මට තේරෙන්නෙ නෑ” 

සවුමි ගේ සිත ඇයට අවනත නැතිම මොහොතක් එළඹිණි. ඇය සිය වම් අත ඔසවා ඒ ඇගිලි වලින් පවන්ගේ මුහුණ පිරිමැද්දාය. පවන් ඇස් වසා ගෙන තදින් හුස්ම ගත්තේය. මේ දැනෙන පරිපුර්ණ හැගීම මේ මොහොතේ කිසිම හිස්බවක් නොදැනෙන හැගීම ආදරය කියා නිර්වචනය කරගත යුතුයැයි ඔහුගේ යටිහිත ඝෝෂා කරන්නේය. 

“ මට දැනෙන දේ ඔයාටත් දැනෙනවා නේද?”

පවන් ඇගේ අත අල්ලා ගෙන ඇසුවේය.ඒ වෙද්දී ඒ කම්මුල් වල රැවුල් කොට ඇගේ වුවනේ සෙමෙන් තැවරෙමින් තිබේ. සවුමි ට කිසිම කිසිවක් කියාගන්නට නොහැකි තරමට උතුරන හැගීම් පොකුණක ඇය ගිලී සිටියාය. 

“ මං මේක කවදාවත් හිතුවේ නෑ” පවන්ට ඇගේ කටහඬ ඇසිණි. ඔහු ඇයට යළි කතා කරන්නැයි කීවේ ම නැත. කතා කළේ හැගීම් පමණකි. මේ කෝපි හල දවල් වරුවේදී මිමිණෙන අනන්ත රහස් රෑට පණ ලබා තැනින් තැන කොදුරා ගන්නා තැනකි. ඒවා විශ්වයට එකතු වෙයි. නිදාගෙන සිටි තරුණ හුදකලා ගැහැනු ආත්මයක් උණුසුම් හැගීම් දහරා වලින් නැහැවී යන මොහොතක නැගෙන සුසුම් කොතෙක් මෙහි සිරගත වෙනු ඇත්ද? 

පවන් හැකි උපරිම සංයමයෙන් සිය හැගුම් වාවාගෙන සිටියේය. හදවත වෙන කෙල්ලක ළග මෙන් ⁣නැහැදුන ලෙස ඝෝෂා නොකරන්නට තීරණය කිරීමම ලොකු දෙයකි. සවුමි පවන් ගේ උරහිසක හිස තියාගෙන සුසුම් හෙළුවාය. ඇගේ හිත ඇයට දොස් නගයි. 

“ මම්මා …. කොහේ හරි ඇති.  මං මේ මොනවද කරන්නෙ කියලා හිතනවා ඇති” ඇය මිමිණුවෙ හෙමිනි. වරදකාරී සොබාවයකිනි. “ ආයෙ මාව මේ වැරැද්දට ඇදලා ගන්න එපා..” ඇය පවන් දෙස බයාදු ඇසින් බැලුවාය. පවන් ඇගේ කොපුලක් අතගා නළල සිප ගත්තේය. 

“ මං ගාවනෙ ඉන්නෙ… මම්මා වුණත් දන්නවා කවදාවත් ඔයාට වැරැද්දක් වෙන්න දෙන්නෙ නෑ කියලා …”

“ මං කාගෙ කවුද පවන්…?” ඇය අසද්දී පවන් ගේ පපුවද හිරවී ගියේය. ඇත්තටම ඇය කාගෙ කවුද කියා දන්නා කවුරු හෝ ඉන්නවා ද? 

“ මං හොයලා දෙන්නම්..” පවන් එක්වරම කීවේය. හිතාමතා කීවාද කියන්නන් වාලේ කීවාද පැහැදිලි නැත. සවුමි ගේ සිතට සතුටක් දැනිණි. ඇය පවන් දෙස බැලුබැල්මට පිරිමි හිතේ ඉවසිලිමත් ගතිය කුඩු පට්ටම් වී ගියේය. සවුමි ඒ දෙව්ර සිය ඇගිලි වලින් තදින් අල්ලා ගත්තාය. ඇගේ හැඩ ඉණ ඒ අත් වලට හසු විය. අසම්පුර්ණත්වයක් නැත. පාවීමකි. කිසිම හිස් බවක් නැත. නිදහසේ ගලාගෙන ගලාගෙන යන සිතුවිලි සමුදායක් කෝපිහල පුරා ගලා ගියේය. 

තමන් ගේ ග්රහණයෙන් ඇය මදකට ලිහිල් කළ පසු තරුණයා ඇගේ මුහුණ දෙස හොදින් බැලුවේය. ඇගේ මුහුනේ දිලිසීම ‍, මලක් සේ පිපීම ඔහු නිරීක්ෂණය කළේය. සිහින් හතියකි. සිප ගැනීමක් අතරේ හුස්ම ගන්නා හැටි ඇය දැන සිටියේම නැත. වැස්ස අවසන් ය. එකක් වත් නොගැලවුණු බොත්තම් සහිත බේජ් පාට ඇදුම යුවතියට සරදම් සිනහවක් පෑවාය. ඇය නාන කාමර කන්නාඩිය ඉදිරිපිට තමන්ටම රැව්වාය. ආයෙමත් සිනාසුණාය. පවන් ට කලින් සිටි පෙම්වතිය න් ගැන සියුම් ඉරිසියාවක් හිතුවාය.ඒ මහා හැගීම් කන්ද දීර්ඝ  සිපගැනීමකින් පමණ ක් කෙළවර වෙන්නට ඉඩ හැරීම ඉරණමට ස්තුතිවන්ත වුවාය. 

පවන් අසලින් වාහනයේ වාඩිවු පසුව ඇගේ මුහුණේ සිනා සරයක් පැවතිණි. රාත්‍රියෙ වැහි වැටුණායින් පසු අහස හොදටෝම පැහැදිලි ය. කිසිම කිසිවක් කතා නොකර පවන් වම් අතින් ඇගේ අත අල්ලා ගත්තේය. සවුමි තිගැස්සී වගේ ඔහු දෙස බලද්දී වත් ඔහු ඇය දෙස බැලුවේ නැත. ඒත් සිනාමුසු හැගීමක් නිහඩව ඒ මුහුණ මත තිබිණි. 

“ ඔයාට හැමදාම ත් මෙහෙ ඉන්න පුලුවන් .. ඔයා බදින කෙනාට‍, ඔයාගෙ බබාලට.. එහෙමනෙ මම්මා කියලා තියෙන්නෙ.” පවන් මෘදුව කීවේය. සවුමි ඒ වාක්‍ය ට එතරම් කැමති වුයේ නැත. බදිනවා! බදිනවා කියන්නෙ ම වෙන පිරිමියෙකු ට අයිති වීමකි. කාලයක් තිස්සෙ පවන් කෙරෙහි නිදන්ගත වී තිබුණු හැගීම් ගැන ඇය දැන් සොයා ගෙන අවසන්ය. 

“ බදින එකක් නැ මං”

ඇය කීවාය. පවන් ඒත් ඇය දෙස බැලුවේ නැත. ලස්සන සිනාවක් මුහුණේය. ඇස් ගාලුපාර දිගට වැටී ඇත. 

“ හැමදාම රුෆ්ටොප් එකට වෙලා තුරුල් වෙලා වයසට යංද?” පවන් ඇසුවේ සෙමිනි. ඇය කිසිවක් නොකීවාය. 

“ බදින් නැතුව බබාලා නොහදා…ම්ම්ම්?” 

පවන් ඇගේ උරය වටා අතයවා පුරුදු පාරේම දෙතුන් වරක් රවුම ගැසුවේය. ඇය කළේ ඒ හයිය උරහිසට වාරුවී නිහඩව සිටිම පමණකි. 

පවන් ගේ සිතට ඔසද ව සිහිපත් වුනත් ඒ කිසිවක් සාකච්ඡා කරන වෙලාවක් නොවෙන බව ඔහු නිශ්චිත ව දැන සිටියේය. ඇය කැමති තීරණය ක් ගන්නට ඇයට ඉඩ දෙනවා කියා හිතා ගත්තේය. පුලුවන් දවසක් වෙනකම් ආදරෙන් ඉන්නවා ‍,වගේ තීරණය කට එලැඹීම කොහොමටවත්ම නිවැරදි නැත. ඒත් මේ ලෝකයේ සිද්ධ වෙන්නේ නිවැරදි දේ පමණක් නොවේ. ඇයට කැමති පිරිමි තවත් ඇති. ඒත් ඇය වෙන පිරිමියෙකු ට කැමති වීම පවන් ට බලා ඉන්නට නොහැකිය. මේ ක්රියාත්මක වුයේ එ හැගීමය. ඒත්. ඒ බොරුවකුත් නොවේ. ඒ හැගීම පිරික්සා බලා ඔහු තමන් තුල සවුමි කෙරෙහි වන හැගීම තේරුම් ගත්තේය. වෙන කෙල්ලන් කෙරෙහි ඇතිවෙන පෙරේත හැගීම ඔහුට ඇය ගැන ඇතිවෙන්නේ නැත. ඇති වුනත් එය පාලනය කරගත හැකි හැදුණු විනයගරුක භක්තිමත් හැගීමකි. 

වාහනය පැරඩයිස් මෙන්ශන්හි ගේට්ටුව විවරවී ඇතුල් විය. දැන් ඒ දෙන්නා අයිති මහල් දෙකකටය. තම තමන්ට අයිති තැන් ගැන අවබෝදයෙන් වාගේම අවධානයෙන් පසුවෙන්නට දෙදෙනා නිර්වාචික ගිවිසුමට එළැඹි හිදිති. 

“ ගෙදරදි මං ඇස් දෙකෙන් විතරමයි ඉඹින්නෙ ඔයාව..” පවන් මුමුණා කීවේ ඇය රියෙන් බහිද්දීය. රත්නශීලා මේ දෙදෙනො ගේ රාත්‍රි සංචාරය ගැන තරමකට අවධානයෙන් පසු වී තිබිණි. ගින්දර සහ පුලුන් පිලිබද අවබෝධය ඇයට කොහොමටත් තිබේ. 

සවුමි පවන්ගේ මුහුණ බලා ඇයට තිබෙන සුන්දරම සිනාව පෑවාය. මේ මොහොත වෙද්දී සවුමි තමන් ට වැඩියෙන් ම පහසු කලාපය තෝරාගෙන අවසන් වගේ හැගීමක පසුවෙයි. ඇයට කොහොමටත් පවන් ගේ ඇසුර පිලිබද සැකයක් නැත. නන්නාදුනන්නා සිය කලාපය තුල මොන⁣වගේ පේමණිය හැසිරිමක් පෑවද යුවතිය සිටියේ නොසන්සුන් සිතිනි. 

දැන් ඇය ඇගේ සීමාවේ තිබුණ රතු ඉර මතින් පැන අවසන් ය. ඇගේ පා තියෙන්නේ බිම් බෝම්බ මතිනි. පවන් රෑ කෑමක් අනවශ්‍ය බව කලින් ම ගෙදරට කියා තිබිණි. 

 සවුමි ‍, ඒ රාත්‍රියෙ ඇගේ ජංගමදුරකතනය නිවා දැමුවාය. ඇයට ඇත්තටම උවමනා වුයේ ඔසද හා කතා නොකර හිදින්නටය. ඇගේ හිත කීවේම ඇය ඔහුට ප්‍රතිචාර දක්වන්නට ඉක්මන් වුවා කියාය. අපරාදෙ ! මම නිරපරාදේ මනුස්සයෙක් ට බලාපොරොත්තු දුන්නා කියන සිතුවිල්ල ඇයව රිදවන්නකි.

ඒත් ඇය ගේ හිතට ඔසද ගැන විශ්වාසයක් ඇති වන්නේද නැත. විටින් විට යන එන, සති ගණන් අතුරුදහන් වන කිස. හෝඩුවාවක් නොදෙන මිනිහෙකුට ආදරෙන් බැදෙන්නට වීම සාපයක් වෙන්නට බැරි ද?

පවන්ගේ මේ ආදරය ඇත්තක් බව ඇය දැන සිටියාය ඒත් කවදාවත් කෞශල්‍යා තමන් ව ලේලිය ලෙස පිළිගන්න සුදානම් වෙතැයි ඇය සිතන්නේ නැත. මේ රාත්‍රියෙ නින්ද නොඑයි. ඇය සිය ජංගම දුරකතනය වසා දැමුවාය. ග්රේස් විජේබණ්ඩාර ගේ සේප්පුවේ තිබී ගත් සටහන් පොත අතට ගත්තාය. ඇගේ කුඩා ඇද ළග ඇති කියවීම් ලාම්පුව දල්වා ගත්තාය. එකින් එක වචනයක් නෑරම කියවන්න ට පටන් ගත්තාය. ඒ සටහන් පොත ග්රේස් මම්මා මැදිවියේදී ලියන්නට ඇතැයි හිතෙන තත්වයේ පවතී. පසුකාලීනව ඇය නිතර අමතකවීමේ අසනීප තත්වයක පසුවුවාය. ඉතින් මේ තරමට පිළිවලෙට මෙහි ලියා තියන්නට ඇයට හැකියාව නැත.

ඇය ඒ වාක්‍යයෙන් වාක්‍යය කියවා ගෙන ගියාය. එක් තැනෙකදී ඇගේ ඇස් නතර විණි. දෙතුන් වතාවක් ඒ පේළිය මත ඇගේ ඇස් දිව ගියේය. කොයිතරම් කලබල වුවාද කියනවා නම් කාමරයේ දොර ඇගෙන උඩුමහලේ පවන් ගේ කාමරයේ දොර ළග නතර වුයේ එක පිම්මේය. පවන් සාමාන්‍යයෙන් මේ වෙලාවට නිදා නොගන්නා ඉව ඇරෙන්න අන් කිසිවක් ඇයට සිහිපත් නොවීය. ඇය ගොස් දොර අසල නතරවී තට්ටු කළාය. කිහිප වතාවක් තට්ටු කර දොරේ අගුල අතින් ඇද බලද්දී එය විවර වුණේ මෙතෙක් ඇය කළ දේට සරදමක් නගන්නාක් මෙන්ය. පවන් දොර විවර වන දෙස බලා උන්නේය. නිශ්ශබ්ද ව‍, කිසිම කලපලයකින් තොරව සුදු පැහැති කපු කමිසයක් බොත්තම් විවර කරගෙන ඇදගෙන තදින් කෘතිම සීතල ගලන කාමරයේ සුදු ඇදතිර ජනේල තිර සහිත පසුබිමක අලුපාට ලැප් තිරයක් දල්වා ගෙන බලා උන්නේය. 

සවුමි දැක නළල රැළි කළේය. ඇස් සිහින් කළේය. කිසිම කිසිවක් නිශ්චිත ව සිතාගත නොහංි උන් ඉරියව්වෙන්ම බලා සිටියෙය.

“කලබලෙන්?”

“ මේ.. මේක බලන්නකො..” 

ඔහු උන් තැනින් නැගිට ඇගේ අතෙවු සටහන් පොත සිය අතට ගත්තේය.ඇය පෙන්වු පිටුව දිගේ ඇස් ගෙන ගියේය. “ olive is not a drink. It is what remains when love is unfinished.” ඔහු එය වරක් තව වරක් කියවුවේය. ඇය දෙස බැලුවෙය. යලි ඇස් වලින් පිටුව ස්කෑන් කර ගත්තේය. ඔහු ඇය මෙන් කලබල වුයේ නැත. 

“ ඔයා මේක කලින් දැකලා තියෙනවද? මේක මොකක්ද?” ඇය ඇසුවාය. “ මේකයි එයා ලියලා තියෙන රෙසිපි එකයි අතරෙ සම්බන්දයක් තියෙනවද?” පවන් සුසුමක් හෙලා සටහන් පොත වැසුවේය. 

“ මේ එයා ලියපු දේවල්. මේ වගේ එක එක ලයින්ස් මේ පොතේම කොච්චර ලියලා තියෙනවද?ඇයි මේක ගැන කලබල වෙන්නෙ?”

ඇය බයාදු ගතියකින් පවන් දෙස බැලුවාය. 

“ නෑ.. නෑ පවන්. මේක අනිවාර්‍යෙන්ම අර රෙසිපි එකට සම්බන්ධයි .. අනේ මට බය හිතෙනවා පවන්. අපි ඒක බිව්ව මිනිස්සුන්ට දුන්නෙ නරක දෙයක්ද කියලා..”

“ එහෙම නෑ.. මං ඒක කරන්න කලින් චෙක් කරලා බැලුව.” 

“ ඒත් පවන්… මේක සරලව හිතන්න එපා.. මට තේරෙනවා අපි වටේ මොනව හරි සිද්ධ වෙනවා.කැෆේ 66ත් කියන නම‍, මේ 66 වෙනි රෙසිපි එක.. ඇයි පවන් මේ?”

“ මම්මා කැෆේ එකක් කරන්න ඒකට 66ත් කියලා නමක් දාන්න හිතාගෙන ඉදලා තියෙන එක.. ඒවා ප්රායෝගිකයි. ඒවා එයා අප්පච්චිට කියලා තියෙන දේවල්.. අප්පච්චිත් මං ඔයාට කරගෙන යන්න කැෆේ එකක් එස්ටැබ්ලිශ් කරනවා කිව්වම කිව්වා‍,ඒක ඔයා දැනගත්ත දවසක සතුටු වෙයි. 66ත් කියලම දාන්න කියලා.. ඒක අමුතු දෙයක් නෙමෙයි. හරියට ග්රේස් මම්මගෙ හීනයක් ඉස්සරහට ගෙනියන්න ඔයාට ඉඩක් හදලා දෙනවා වගේනෙ” 

“ ඒත් ඔලිව්‍, ඇත්තටම අර හරි රහක් නැති කෝපි රෙසිපි එක.. ඒක කොහොමද මේකට සම්බන්ධ වෙනව⁣ ඇත්තේ.”

“අවධානය වෙන අතකට යොමු වෙන්න ද දන්නෙ නෑ”

පවන් හෙමින් කීවේය.

“ අපි ඉක්මන් වැඩි වුණාද?”

ඇය බියපත් ඇස් වලින් බැලුවාය. 

“ එහෙම හිතෙනව නම් ඩිස්කන්ටිනිව් කරමු”

පවන් සැහැල්ලුවෙන් කීවෙය. ඔහු ඇගේ අත් වලින් අල්ලා ගත්තේය. 

“ ඕනම දේකට විසදුම් තියනව. නැත්නම් මම විසදුම් මවනව. මාව විශ්වාස කරගෙන හිනාවෙලා.. ඉන්න …” 

පවන්ගේ හිතට යම් අනතුරක සේයාවක් දැනෙමින් තිබේ. හැන්දැවේදී ත් අම්මාගෙන් අමුතුවෙන් දුරකතන ඇමතුමක් ආවේය. සවුමි පිලිබද සැකයක් ඇති වුවොත් එය පහසුවෙන් මගහැරිය නොහැකිය. අම්මා කියන්නෙ තමන්ගෙ සැකය පිලිබද නිශ්චිතවම දැනගන්නා තෙක් අතහරින්නේ නැති ගැහැනියකි. එ බව ඔප්පු වුවහොත් ඇය පන්න පන්නා පළිගන්නා වර්ගයේ කෙනෙකි. සවුමිගෙන් පළිගන්නට ඕනැතරම් විදි තියෙන නිසා පවන් ගේ හිත හෙල්ලෙයි. 

සවුමි ආයෙමත් ඇගේ කාමරයට ආවේ පොතත් පපුවට තුරුලු කරගෙන සැහැල්ලුවෙනි. ඇත්තටම ඇයට මේ මොහොත වනවිට දැනෙන්නේ වෙනදා නැති සැහැල්ලු ගතියකි.

No comments:

Post a Comment

OLIVE - 19

 🌿 OLIVE — Episode 19 සිග්නේචර් කෝපි එදා රාත්‍රිය පුරාවට පැවති වැස්ස තුරල් වුයේ පාන්දරය. සෞමි ඇහැරුණේද පමාවය. එබැවින් වෙනදාට වඩා කෝපිහල විව...