Wednesday, April 22, 2026

OLIVE 10

 අනවබෝධ



අනවබෝධ

එළඹුණු ඊළඟ දවස් ද  වෙනදා මෙන්ම ඇරඹුණි. පාන්දර හතරට ඇහැරුණු ගැහැනු ළමයා සිය සුපුරුදු දින චරියාවේ ම නියැළුණාය. පැරඩයිස් වෙතින් නික්මීම, මල් මිළට ගැනීම, කැෆේ එක වෙත පියමැනීම, එය විවර කර අස්පස් කිරීම කෝපි මැශින් ක්‍රියාත්මක කිරීම ක්‍රමයෙන් කෝපි වල සුවඳින් කැෆේ අවකාශය පිරී යාම සුවඳ ඇරෝමාවකින් හාත්පස වෙළී යාම වගේ කාරණා ඒ ආකාරයෙන්ම සිදු විණි. 

පවන් කියා තිබෙන ආකාරයෙන්ම සවුමි ඉරිදා දිනයේ කැෆේ 66ත් වසා තැබුවාය. ඇත්තෙන්ම ඉරිදා කියන්නේ සෙනග පිරෙන්නට ඉඩ තියෙන දවසකි. නමුත් ඇයට මේ සා මහන්සි වෙන්න‌ට ඉඩ දෙන්නේ කොහොමද?පවන් ඇයට කියා තිබෙන්නේ මොනම හේතුවක් මතවත් කැෆේ 66ත් නම් ඉරිදා විවෘත නොවිය යුතු බවකි. ඉතින් ඉරිදා දින තුනක්ම ඇය සොයා කැෆේ එක වෙත ආ ඔසඳ දුටුවේ ක්ලෝස්ඩ් බොඩ් එකේ දොරෙහි ඒල්ලා ඇති ආකාරයයි. 

අනික් හැමදාම ආසන්න කාල පරතරයක් ඇතුළත ඔසඳ කැෆේ සික්සිටිසික්ස්ත් වෙත ආවේය. ස්ට්රෝන් කෝපි සහ ෆ්ලැට් වයිට් අතරේ ඔහුගේ මානසික තත්වය අනුව ඇණවුම වෙනස් වුවේය. ඔසද සවුමි අතේ තමාගේ දුරකතන අංකය ඇති බව දැන සිටියද සවුමි ඒ වගක් දැන නොසිටියාය. ඔසඳ පැමිණෙන වෙලාවට. පවා එහි පැමිණෙන සාමාන්‍ය කෝපි ප්‍රේමින් කිහිප දෙනෙකු වෙනුවෙන් සිය කාලය වෙන් කළාය. 

ඔසඳ ඇය පේන තමන්ව නොපෙනෙන ඉසව්වක ඇති මේසයේ හැමදාම හිඳ ගත්තේය. විවිධාකාර සංඛ්‍යාන්තයටන්ට අයත් වු ඔලිව් පැහැයෙන් යුක්ත ටී ශර්ට් සහ කැශුවල් ශර්ට් ම ඇන්දේය. ඒ ඔහු වැඩියෙන්ම කැමති පැහැය විය යුතු යැයි ඇය අනුමාන කළාය. ඔහුගේ ඇස් වල හැමදාම තිබුණේ ඇයව කියවා ගැනීමේ උවමනාවකි. හැමදාමත් ඔසඳ කැෆේ එකෙන් නැගිට ගියායින් පසු වෙනස් ආකාරවල මිනිසුන් ඔහු පැමිණ හිඳගත් මේසය අසල හිඳගෙන කෝපි බොන්නට පැමිණියෝය. 

එහෙත්, විවිධාකාර මිනිස්සු

වීවිධාකාර රසයන්ගෙන් යුක්ත කෝපි ඇණවුම්

නමුත් ඔසද නැගිට ගියායින් පසු සමාන කාල පරාසයන් තුල එක එක හැඩය‌ේ මිනිසුන්. 

හිඳ ගත්තේම ඔසඳ වාඩිවී සිටි ආසනයේම ය. 

පුදුම කලබලයකින් හැසිරුණාහ. 

කෝපි කෝප්පය අවසන් කළා නම් ඒ එහෙමත් කෙනෙකු පමණය. 

ගැහැනු ළමයා ඔසඳ කතා කරනු ඇතැයි සිතුවත්, ඇත්තෙන්ම ඔහු මුල් දෙදවසේ දෙඩු තරම්වත් ඇය හා කතා කරන්නට පෙළඹුණේ නැත. ඒත් ඇය ඔහු වරින් වර තමන් දෙස බලා හිඳිනු දුටුවාය. මේ හැඟීම් තද කරගැනීම අසීරු දෙයකි. විටෙක ඇය දවසක් අරඹද්දී අද නම් මම මේ ඔලිව් පැහැති ඇඳුම් අඳින මනුස්සයා සමඟ කතා කරනවාමැයි කියා සිතා උන්නාය. එහෙත් ඔහුආවාම ඇයට ඔහු සමඟ කතා කරන්නට ශක්තිය එකතු කරගන්නටම නොහැකිය. ඉතින් ඇගේ බලාපොරොත්තු සහිත දිදුලන ඇස් හා කතා බහක යෙදෙන්නට ඔසඳට කොයිතරම් උවමනා වුණත් ඔහු තවමත් නිශ්ශබ්දව හිඳින්නේය. 

පවන් ගේ පෙම්වතිය ඩාරා ඇගේ පවුල සමඟ ලංකාවෙන් ඇගේ උපන් රටට නික්ම ගියේ නිවාඩුවක් වෙනුවෙනි. රුවින් උසින් පැහැයෙන් වෙනස් වුණත් ගැහැනු ගැහැනු මය. ඇගේ සැකය, කරදරය මේ වෙද්දී පවන් ව වෙහෙසට පත් කර තිබිණි. සවස් වරු වල එක දිගට පැවැත්වුණු ව්‍යාපාර සාකච්ඡා වට හේතුවෙන් නිකමට වත් සවුමි සමඟ කෝපිහල වසා දමන වෙලාවට වත් හමුවන්න ඇයව ඇරලවන්න ඔහුට හැකිවුයේම නැත. ඒ මදිවාට අම්මා, කෞශල්‍යා සමග සිංගප්පුරුවේ සංචාරයක යෙදෙන්නද සිදු විය. මේ සියල්ල අතරේ සවුමි ගැන තමන් තුළ ප්‍රේමයක් ඇති නමුත් එය එතැනම තියා ගන්නවා මිස ඇයට දැනෙන්ටවත් ඉඩ නොදී ඉන්නට පවන් හිතාගත් බවක් පෙනෙන්නට තිබුණි. 

මේ පිරිමි හිත් දෙකම පසුබැසී ගියේ සවුමි කෙරෙහි වන තමන්ගේ සිතැඟී කියා ගන්නට නොහැකිවය. සවුමි ත් තමන් වෙනුවෙන් මේ අහස යට හිත් දෙකක් සුසුම් ලද්දී සිටියේ වේදනාවෙනි. ඇගේ වේදනාව හැමදාම දකින නිශ්ශබ්ද ඔලිව් කමිස කාරයා කෙරෙහි ඇතිවෙමින් ඇති කැමැත්තද කියා ඇයවත් දන්නේ නැත. එහෙත් මිනිස් සිරුරු වල හෝමෝන ක්‍රියාන්විතය පුදුමාකාරය. ඒවා නිශ්චිත වයසකදී ඉබේ වැඩ කරන්නට පටන් ගන්නා අතර එහි පාලනය තමන් සතු කරගැනිමට පුරුදු පුහුණු කළාවු සංයමයකින් යුක්ත හිත් තියෙන්නට උවමනා වේ. සවුමි කියන්නේ පාසල් යෙහෙලියක හෝ ළඟින් ඇසුරු කළ යව්වනියක නොවේය. ඉතින් ඇගේ උත්පත්ති කතාවේ වු අඩුපාඩු ඇයට තදින් දැනුණු කාලයකි පාසල් කාලය. එබැවින් ඇය සෑම විටම සියල්ලෙන් ඈත්ව අයිනකටව උවමනාවෙන්ම කොන්වී සිටියාය. ඉතින් මේ කිසිවක් කියා හිත නිදහස් කරගන්නට කෙනෙකුත් ඇයට නැත. 

ඉරිදා දින වල ඇගේ ඇඳුම් සෝදා වියළා  ගන්නට තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරගන්නට ඇය ට හැකිවිය. ඒ ද එවැනි ඉරිදාවකි. පවන් ලංකාවේ නැත. විජේබණ්ඩාරවරු කිසිවෙක් පැරඩයිස් හි නැත. සවුමි ඇගේ කාමරයට වී යාන්තමට වැවුණු නිය පිස දමමින් සිටියාය. ඇය අපුරු කෙල්ලකි. ඇයට දවල් වෙනතුරු නිදාගත හැකි වුණත් එසේ කරන්නේ නැත. නමුත් දවල් කෑමෙන් පසු ඉරිදාට කෙටි දිවා නින්නදකට පිවිසීම ඇගේ ජීවිතේ ඇති ඩිටොක්ස් ට්‍රිට්මන්ට් එකක් වැනිය. 

යාන්තම් වගේ නින්ද යාගෙන එන විට දුරකතනය ගැස්සුණේය. ඒ කැෆේ එකේ ඇණවුම් ලබා ගන්නා කුඩා දුරකතනයයි. එය පවන්ගේ පැරණි දුරකතනයකි. අංකයද ඔහුගේ ය. 

“ අද කැෆේ එක ක්ලෝස්ඩ් ද?” පිරිමි හඩකි. සවුමි යාන්තම් වගේ ඇස් ඇර මුදු හඩින්, “ ඔව් අද අපි කැෆේ එක වහලා” කියා කීවාය. 

“ ඉතින් අද ඔයාගෙ කෝපි ප්‍රේමීන්ට මොකද වෙන්නෙ?”

සවුමි මොහොතක් කල්පනා කළේ මේ කවුරු වෙන්නට පුලුවන්ද කියාය. මෙවැනි විහිලු කතා කරන්නටද සවුම්ට නම් කිසිම කිසිවෙකු නැත. 

“ මොකද කියන්නෙ ඉතින්?” යළිත් ඔහු අසමින් සිටියේය. 

“අපි සාමාන්‍යයෙන් ඉරිදට වහනවා”

“ හැමදාම එන කස්ටමස්ලව දැනුවත් කරනෙක හොද නැත්ද?”

“ අපේ රෙගියුලර් කස්ටමස් ලා දන්නවා.. අනික අපි අපේ පේජ් එකේ පෝස්ට් එකක් දානව”


“ ඒත් ඉරිදටම තමයි මේ කෝපි මට මෙච්චර මිස් වෙන්නෙ”

යුවතිය නැවත කල්පනා කළාය. පවන්ගේ ඉන්නා ලංකාවෙ මිතුරු යක්ස පැටවුන් ගැන ඇය තරම් හොදින් දන්නා කවුරුවත් නැත. ඔවුන් මේ වගේ විහිලු කරන්නට උපන් හපනුන් වෙති. 

“ සර් අපි මන්ඩෙ ඉඳලා සැටඩේ වෙනකම්ම කොෆි ෂොප් එක ඔ්පන්. සර්ට පුලුවන් හෙට එන්න”

එහා පැත්තේ ඉන්නා නොසන්සුන් කලබලකාරයා ට වගේ වගක් නැත. ඇයට දුරකතනය විසන්ධි කිරීමත් දැනෙන්නේ ආචාර ධර්මයක් පැහැර හරිනවාක් වැනි හැඟීමකිනි. කෙසේ වෙතත් මේ ඇමතුමෙන් මිදීමේ උවමනාවෙන්ම ඇය වඩාත් මෘදුව සර් එහෙනම් සඳුදාට එන්න කෝපි එකක් බීලා යන්න යැයි කීවාය. 

“ නම මොකක්ද ඔයාගෙ”

ඇය එවර ඒ කටහඩ බැරැරුම් බව වටහා ගත්තාය. 

“ සවුමි”

“ හායි සවුමි, මං ඔයාට මගෙ නම නම් කීවෙ නැහැ. හැබැයි මම ඔයාට මං මගේ කාඩ් එක දුන්නා..” හැඳීන්විම් කාඩ්පතක් දෙකක් සතියකට දෙසතියකට වරක් කෝපිහල වෙත ලැබීම සාමාන්‍ය දෙයකි. ඇයට ඒවායින් වැදගත්ව තිබුණේ එකක් පමණකි. 

“ කලුපාට පුංචි කාඩ් එකක් කිව්ආර් කෝඩ් එකක් තියෙන” සවුමිගේ පපුව දැන් ගැහෙන්නට පටන් ගෙන තිබේ. ඇයත් මෙතුවක් කාලයකට බලාපොරොත්තු වුයේ මේ ඇමුතුමම තමාය. සති තුනක් ගෙවී ගිය බව ඇත්තකි. 

“ ඒ මම” ‍

ඔහු ඒ වතාවේ කීවේය. තේරුම පැහැදිලි නැත. මේ තරම් උවමනාවෙන් තමන්ව හදුන්වා දෙන්නේ ඇයි? 

“ අපි සඳුදට කතා කරමුද සර්” සවුමි හිතාමතා ඇමතුමේන් සමුගන්න උත්සාහ කළාය. ඇය ඇගේ සීමාව දැන සිටියාය. ඇත්තටම ඇයට මේ මිනිස⁣ා ගැන ලෝබකමක් ඇතිවෙන්න පුලුවනි.

“ ඇයි එකදිගට කෝල් එකක ඉන්න බය ඔයාගෙ කොල්ල කැමති නැති හින්දද?” එක අතකට බැලුවාම පිරිමින්ටත් වැඩි විවිධාංගිකරණය වු සාම්පල නැත. තියෙන්නේ කීපයකි. 

“ නැහැ..එහෙමදෙයක් නැහැ ඉතින් ” 

ඔසඳ ඇගේ තත්වය වහා තේරුම් ගත්තාය. දැන් ඔහුටද මේ කතාබහ බලෙන් පවත්වා ගන්න හදිස්සියක් නැත. ඊට මෙතනින් පසු වෙලාව තිබේ. ඇමතුම විසන්ධි වු පසුත් ඇය දෙතුන් වතාවක් දුරකතනය දෙස බලා උන්නේ මේ සිදුවු දේ ගැන හිතා ගන්නට නොහැකිවය. සවුමි ඇඳෙහි වැතිරුණාය. ගෙවීගිය සති තුනක බලාහිදීමකට හරියන්න මේ වතාවේ ප්‍රතිඵල ලැබී තියෙන්නේය. 

ඔසඳට ඇත්තටම උවමනා වුණෙන් මේ ඉරිදාත් කෝපි හල වසා තියෙනවාද කියා දැනගන්නටය. එබැවින් ඔහු කෝපිහගේ නොම්මරය ලෙස සමාජ මාධ්‍ය ගිණුම් වල දක්වා ඇති අංකය‌ට කතා කළේය. මේ අංකය ඇය අමතනවාද නැත්නම් වෙනත් කෙනෙකු අමතනවාද කියා අදහසක් පවා ඔහුට තිබුණේ ද නැත. අනිත් අතට පෙර ඉරිදා දෙක වගේම මේ ඉරිදාත් ඔහුගේ සැලසුම් අවුල් කරගන්නට ඔහු කැමති නැත. 

ඔහු වහා සිය ජංලම දුරකතනයේ අදාල නොම්මරයට කෙනෙතුට පණිවුඩයක් යැව්වේය. කැෆේ සික්ස්ටිසික්ස්ත් , ඉරිදාට වසා ඇති බව ඔහු කිව්වේය. අනික් පසින් වෙන තැනක් නම් කර එවන ලදී. හිත හදාගෙන අනාරක්ෂිත වුවද විය හැකි ඒ හෝටලයට යාමට හෙතෙම අදහස් කළේය. 

ඔසඳ කැෆේ සික්ස්ටි සික්ස්ත් වෙත දිනපතා ගියේ කෝපි හදන වින්ටේජ් යුවතිය දෙස බලා හිඳීමේ උවමනාවක් අඅතිවම නොවේ. එය සන්සුන් සාමකාමී කලබල වලින් තොර තැනක් විය. නිදහස කැමති විශ්ව විද්‍යාල සිසුන්, පර්යේෂණ නිබන්ධනයත් ලියන්නන් එතැන තැන් තැන් වල තමන්ගේ ලැප්ටොප් සමග හුදකලාවේ නිශ්ශබ්ද ව ලැගුම් ගත්හ. ඉතින් ඔසද දැන සිටියේ මෙතැනදී තමන්ගේ කාර්යන් සුරක්ෂිත ලෙස කරගත හැකි බවය. 

ඔසද ගෙන් ඔහුගේ රහසිගත ක්‍රියාවලි වල අවසන් ඵලය ලබා ගන්නට කෙනෙකු හැමවිටම ඔහු පසුපසින් ආවේය. “ඔහු” එක් නිශ්චිත පුද්ගලයකු නොවීය. ඔසදගේ මුහුණ හරියටම දැක නැති මේ අතරමැදියන් ඔසද හදුනාගත්තේ නියමිත කාල පරාසය ඇතුලේ කැෆේ සික්ස්ටිසික්ස්ත් දොරින් ඇතුලු වෙන එමෙන්ම ඒ දොරින් පිටව යන මිනිසා ලෙසින් පමණකි. 

ඔලිව් කොළෙහි වර්ණ සංඛ්‍යාත පරාසය ඇතුළත උඩුකය වැස්මක් හැද සිටින පිරිමියෙකු එහි තිය⁣ා යන කිසිවක් වෙනුවෙන් එක් රහසිගත මිනිහෙක් හැමවිටම කෝපිහලට ගොඩවී ඇත. ඉතින් මේ දෛනික ක්‍රියාවලිය ඉරිදා දින දෙකක් බිඳවැටී ඇත. ඒ බිඳවැටීම ඇති කරන පසුකම්පනය සාමාන්‍ය නොවේ. එබැවින් ඔසද මේ දුරකතන ඇමතුම ලබා ගත්තා මිස, නැත්නම් කීයටවත්ම ඔහු තමන්ව විවෘත කරන්නේ නැත. 

නමුත් මේ කතාව ආරම්භක අවස්ථාවේදී ඔහු සාමාන්‍ය ප්‍රතිපත්තිය වෙනස් කළ අතර අර වින්ටේජ් කෙල්ලගේ අඳුන් ගෑ දිගු ඇහිපිය දැක ඒ කෙරෙහි ආසාවකින් පෙළුණේය. තමන් පිලිබඳ අවධානය ගොඩනගා ගැනීමේ උවමනාවක් නිසා කලු කුඩා කාඩ්පත ඇයට පෑවේය. හැමවිටම බුද්ධිමත් ව වැඩ කරන මිනිහෙකුට වුවද හැගීම් නිසා වරදින්නට ඉඩ අවකාශ ඇත. ඉගෙන ගන්නවා නම් පාඩම එය ය. 

පවන් වෙහෙසකාරී දවස් ගණනාවක වැඩ රාජකාරි නිමා කර පැරඩයිස් වෙත ආවේය. අම්මා හෝ අක්කා ආවේ නැත. මිගාර සිටියේද කොළඹින් පිටත ය. ඒ ද හරියටම මේඉරිදා ය. හවස හතර විතර වෙද්දී ඔහු සති හතරකට ආසන්න කාලයකින් දැක නැත. 

පවන් ⁣සිය දුරකථනය රැගෙන සවුමිට කතා කළේය. 

“ අද රෙස්ට් එකේ නේ හිටියෙ නේද?”

“ හ්ම්…”

“ කැෆේ එකේ ගණුදෙනු ටිකත් අරන් එන්න පුලුවන් ද මගේ ටිවි ලොබි එකට…” 

“ බොන්න මොනාහරි හදන්න කියලා රත්න නැන්දට කියන්නද?”

පවන් මේ කෙල්ලට කැමති හේතු අතර ඇය තමාව මේ තරම් කියවීමද එකකි. 

“ කිරි තේ” 

“ හරි..”

ඇය සාමාන්‍යයෙන් ගෙදරට අදින විදියේ අත් රහිත දනිහ දක්වා දිගු රතු පසුබිමේ සුදු බින්දු වැටුන කපු ගවොමක් ඇද සිටියාය. වෙනදාට නිරාවරණය නොවෙන ඇගේ සුදු දෙපා හැඩ ඉණ සහ වටොර ඉස්මතු වී පෙනෙන අපුරු ගැහැනු හැඩයක් ඉස්මතු වී පෙනුණු බව පවන් දුටුවේ ඇය තමා උන් තැනට ඇවිදගෙන එද්දීය. 

ඇය පැමිණ දෙපා එකත්පස්ව තබාගෙන හිදගත්තාය. ලගිනි. සුවද පවා ඉහිරෙන තරමට ලගිනි. ප්‍රේමණීය හිතකට හොදටම හෙළවෙන්නට ඒ හේතුව ඇති ය. පපු කැනති මත පෙම් කිනිති සෙළවෙයි. 

“ අපි අලුත් සිග්නේචර් එකකට යන්නෝන… ග්‍රේස් මම්මාගෙ වට්ටෝරු පොත් වල අප⁣ෙ කැෆේ එකට හරියන මොනවා හරි ඇති කියලා ඔයාට හිතෙන්නේ නැද්ද ?”

“ දැන් අපි මොකක්ද සිග්නේචර් කොෆි එකක් විදියට දෙන්නේ…”

සවුම් සිය දුරකතයේ ඇති මෙනු එකේ පින්තූර ඔහුට පෑවේය. එදෙස පරික්ෂාවෙන් බැලු ඔහු හ්ම්හ් කියා අසුනේ හරිබරි ගැහුණේය. 

“66th house blend, caramel latte, vanila cream coffee .. මේවා කොමන් කියලා නේද කියන්නේ “

පවන් මෘදු බැල්මකින් සවුමි දෙස බැලුවේය. ඇය ඒ ගැන ගණනකට ගත්තේ නැත. පහුගිය දිනවල කැෆේ එකේ අලෙවිය, වියදම ගැන කතා කළාය. පවන් ට හිත තෝන්තුවේ වාගේය. මේ මහලේ මේ මොහොතේ කිසිවෙකුත් නැත. හද්දා පාලුය. මුලු නිවෙස පුරාම විදුලි පහන් දැල්වීම බලශක්ති අර්බුදය හේතුවෙන් තරමකට මගහැරී ඇත. 

“ ඔයා උවමනාවක් නැ වගෙනෙ මේවා බලන්නේ” සවුමි නැගුවේ චෝදනාවකි. උවමනාවෙන් බලන්න ම හිතෙන්නෙ ඔයා දිහා කියා පවන්ට කියා ගන්නට නොහිතෙන්නේය. පවන් අසුනේ ඔහේ හිදගත්තේය. සුසුමක් හෙළුවේය. 

“ ඔයාට මතකද ඔයා යි මමයි පොඩි කාලෙ අපි එක කාමර⁣ේ නිදියනවා…” සවුමි ලජ්ජාශීලී සිනාවක් පෑවාය. “හ්ම්”

“ ඒ කාලෙ මාර ලස්සනයි . මොනවා උනත් ඔයා ලගපාතක නිදිකෙ⁣රෙව්වා නම් ඒ එක්කම මටත් නින්දයනවා..” 

“ මං දන්නවා පවන් ඔයා මට කවදත් කරුණාවන්ත යි කියලා”

පවන් ගේ සිත පසුබැස්මකය.මේ කරුණාවම නොවන බව ඔහුටත් වැටහෙන්නේ දැන්ය.මේ මොහොතේ රත්නශීලා තේ පෝච්චි සහ කෝප්ප අනම්මනම් උඩු මහලට ගෙන ආවාය. 

සවුමි තේ එක හදා දෙන්නට භාර ගත්තාය. එබැවින් නැවතත් ඒ දෙන්නා එතැන තනිවිය. පවන් ඒ මහල⁣ේ ඇති බැල්කනිය වෙත සෙමෙන් ඇවිද ගියේය. සවුමි ඔහුට කල්පනා කරන්න ට අවශ්‍ය බව තේරුම් ගෙන ගණුදෙනු වල එකතු අනම් මනම් නැවත නැවත ලියමින් සිටියාය.

පවන් ආපහු හැරී ඇය දෙස බලා ඉනු පෙනුණි.ඇය යලි එය නවතා පවන් ට ගැලපෙතැයි සිතු තේ කෝප්පය සකස් කළාය. කුඩා වැස්සක් ද පතිත වෙමින් තිබිණි. පවන් තමන් ලගට උනු කිරි තේ කෝප්පය ක්ද රැගෙන ආ සවුමි දෙස බැලුවේ ආදරයෙන් පිරුණු බැල්මකි. මේ වැස්සේ ඔලිව් කමිස අදින කෙනා මොනවා කරනවාද කියා හිතන්නට කාලය ගත් බැවින් පවන් ගේ බැල්ම ඇයට නොදැනුණි. 

“ ඔයා බොන්නෙ නැද්ද?” 

“ මං පස්සේ බොන්නං” 

දෙදෙනා අතර ගලාගියේ නිශ්ශබ්දතාවයකි. වැස්සකි.ඇවිලිමකි. පැරඩයිස් මන්දිර⁣ේ ගෙඋයනේ තැන් තැන් වල ගස්වල මල් තෙමෙමින් ඒ මල්පෙති දැදිරි කරමින් වැස්ස වසී. 

හිතටත් වැස්සකි. සවුමි මෙහෙම ළගින් ඉඳීමම වැස්සකි.අඩක්බිව් තේ කෝප්පය ඔහු සවුමි ට පෑවේ නිහඩවය. සවුමි මුලින් තේ කෝප්පය අතට ගත්තාය එය දෙස බැලු පසු එහි ඉතිරිය දැක මේ කෝප්පය දී තියෙන්නේ කුමකටදැයි වටහා ගත්තාය. විස්මයයෙන් ඔහු දෙස බැලුවාය. ඒ දෙස නොබලා පවන් අහක බලාගෙන සිටියේය. ආසාවෙන් සිනාමුසුව ඉතිරි අඩ බිවාය. 

මේ කිසිවක් ගැන සවුමි අහිතක් හිතන්නේ නැත. ඇයට තවදුරටත් ඔහු කුඩා කොල්ලාමය. අහිතක් නැති බැදිමකින් පිරුණු කුඩා පවන් මිස හැගිම් වලින් දැවෙන වැඩුණු පිරිමියෙකු ලෙස නොදැනෙන්නේ ය. වැරැද්ද එතැන ය. සවුමි පවන් දෙස බැලු ඇස ම වැරදි එකකි. එයින් ඇතිවු අනවබෝධය තත්වය තවත් සංකීර්ණ කරනු ලැබිය. 


No comments:

Post a Comment

OLIVE 08

  ප⁣්‍රේමය සියල්ල උසුලයි  පවන් විජේබණ්ඩාර යනු නොනවතින මිනිසෙකි. මිනිසුන් වෙනුවෙන්, හැඟීම් වෙනුවෙන් ඒ තියා තමන්ගේ ළඟින්ම හැමදාම හිඳි කෙනෙකු ව...