🌿 OLIVE — Episode 24
. උදැසන පැරඩයිස් මෙන්ශන් වෙත ලගාවුයේ අසාමාන්‍ය සන්සුන්කමකිනි. ලහිලහියේ වැඩ කරන මිනිසුන් එහි ගෙවුයනේ දකිනු හැකි විය. තවදුරටත් ශේෂ වු දියබිඳිති කලු ගල් ඇතිරු පෙත් මං වල ලිස්සන සුලු ස්වභාවයක් ඇති කර තිබිණි. ලාවට වැටෙන හිරු කිරණ අස්සෙන් ඒවා යාන්තම් සිනහ තවරාගෙන උන්හ. පිටත සියල්ල සාමකාමී විය. එහෙත් ඇතුළතින් සෞමි අපේ කතා නායිකාව ගේ හදවත තුල කිසිවක් සාමකාමි නොවුවාය.
ඇය ග්‍රේස් මම්මාත් ඇයත් කැම ගත් තැන වාඩිවි හිඳගෙන තේ කෝප්පය බොමින් සිටියාය. ඇයට මතක් වුයේ පවන් දවස පටන් ගන්නට පෙර හොයන කිරි තේ කෝප්පය ය. ඒ වෙලාවේ නිශ්ශබ්දව පැවති නිවසේ පරිසරයේ ඒ ගතිය මකාලමින් වාහනයක් පැමිණෙන ශබ්දය ඇසිණි. රත්නශීලා සෞමි දෙස හැරී බැලුවේ පුදුමයට පත්වු ඇසකිනි. මුලින් සෞමි මේ ගැන අවධානයක් යොමු කළේම නැත.
නමුත්, මිනිත්තු කීපයකට පසුව කෞශල්‍යා විජේබණ්ඩාර පේන දුර ඇති විසිත්ත කාමරයට ප්‍රාදුර්භුත වීම නිසා සෞමි ගේ හුස්ම නතර විය. ඔි කොයිතරම් කලබලයට පත්වීද කියනවානම් ඇගේ පපුව වේගයෙන් උස්පහත් විය. මුලුමහත් ලෝකයම එකවරම නතර වී තමන් සහ කෞශල්‍යා පමණක් චලනය වෙනවා කියා ඇයට සිතිණි.
කෞශලයා ගේ මුහුණ විඩාබරවි තිබෙනු දැකිය හැකි විය. ලන්ඩන් සිට ශ්‍රි ලංකාව දක්වා ගමන පැය කිහිපයකින් යුත් දිගු ගමනාන්තයක් වන බැවින් ඇගේ වෙහෙස ගැන පුදුම වන්නට හේතු තිබුණේද නැත. නමුත් සෞමි ගේ සීතල ඇගිලි එකිනෙක වෙලී පැවතියේ කෞශල්‍යා ගේ සෘජු බැල්ම තීරණාත්මක බැවිනි. දෙදෙනාම මුහුණට මුහුණ හමුවීත් කිසිවක්ම කතා නොකර මඳ වෙලාවක් ගෙවී ගියේය.
මේ වන විට සෞමිට කිසිදාක නොදන්න අමුත්තන් දහසකට වුණත් එකවර මූහුණ දෙන්න සිදුවීම කෞශල්‍යා ට මුහුණ දීමට වඩා බෙහෙවින් පහසු ලෙස දැනෙමින්ය තිබුණේ. කෞශල්‍යා සෘජුවම සෞමි දෙස බැලුවාය.
“ මොකද සෞමි පුදුමෙන් වගේ” ඇසුවාය. සෞමි මලානික සිනහවක් පැවාය. කෞශලයා ගේ හිතට ආවේ “ කපටි හෙර” වැනි අදහසකි.
“ මං දැනගෙන හිටියෙ නෑ මැඩම් එයි කියලා”
“ මං එන්න හිතාගෙන හිටියෙත් නෑ අනේ.. ඒත් දැන් මේ සිද්ධ වෙන දේවල හැටියට නෑවි්ත් කොහොමද?” සිය වටිනා අත් බෑගය පසෙක තියමින් කියා ඇය හිඳ ගත්තාය. රත්නශීලා ඇයට උදේ කෑම සුදානම් කරමින් සිටියාය. ඒ වාක්‍යය සෞමි ගේ පපුව ඇතුළට අත දමා හදවත එලියට ගත් විදියේ එකකි. බය ඇය ව සුදුමැලි කරවන තරමටම විය. ඇය ට කෞශල්‍යා කෝප ගෙන කෑගැසුවොත් ඉවසිය හැකිය. ඇයට පහර දුන්නා වුණත් ඉවසන්නට හැකිය. නමුත් ඇය මේ වන විටත් නොදැන සිටින්නේ සත්‍යය කුමන ආකාරද කියාය. කෞශල්‍යාත් සෞමිත් අතර නිශ්ශබ්දතාවය නැවත මරණිය ස්වරුපයක් ගත්තේය. එනිසාමද මන්දා කෞශල්‍යා ඉස්සර වුවාය.
“ අපි පස්සෙ කතා කරමුකෝ එහෙනම්”
කෞශල්‍යා එසේ කියන්නට ඇත්තේ සෞමිගෙන් බේරිම සඳහාය කියා ඇය අනුමාන කළාය. ලද ඇසිල්ලෙන් හිස සොලවා ඇගේ කාමරයට රිංගා ගත්තාය. නමුත් ඒ ඉතා ම සියුම් ප්‍රතිචාරය පවා දරාගැනීම අසීරු විය. ඇයගේ හිත ඇතුළ කැළඹෙමින් උදම් රළ සේ නැගුණේ සැකයකි.
“ එයා මාත් පවනුත් ගැන දැනගෙනද ආවේ”
—
සෞමි කෝපිහලට ගියේ බලාපොරොත්තු කීපයක් හිතේ දරාගෙනය. ඒ වෙලාවේ පවන් ඇහැරවා කෞශල්‍යා උදේ පාන්දර ලංකාවට ආවායි කියන්නට ඇයට සිතුණේ ද නැත. මේ වන විට අහස ඉර උදාවට සුදානම් වෙමින් සිටි අතර සෞමිගේ දුරකතන ඇමතුම බලාපොරොත්තුවෙන් දීපති කුමාරිහාමි ඇල්ලෙපොල සහ ප්‍රදීප් සමරසිංහ ලන්ඩන් හි ඔවුන්ගේ නිවසෙහි බලා සිටියේ ඒ පාන්දර වගවත් නොතකමිනි.
කැමරාව ඔන් විය. මෙහා පැත්තේ සෞමි සඳමල සමරසිංහ ය. එහා පැත්තේ ඒ දෙදෙනාය. දීපති ගේ ඇහැ කොණක තෙතය. ඇගේ මතකයට ආවේ මේ කුඩා රෝස මල සිය දෝතට ගත් දවසය. ඒ දවස් වල ඇත්තටම ප්‍රදීප් ගේත් දීපතී ගේත් බලාපොරොත්තුව වුයේම බිලිදියද රැගෙන විදේශ ගත වීමත් යළි කිසිම දවසක ලංකාවේ මිනිසුන් සමග නිකමටවත් සම්බන්ධතාවයක් ගොඩ නොනගා සිටීමත්ය.
දෙගොල්ලන්ටම මේ හමුව හැගීම්බර වීම වලකා ගත නොහැකි විය. සෞමි ඔවුන් තමන්ගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන්ද නැත්ද යන්න ගැන පවා සැක කළාය. ඇයට තිබුණේ සැක සංකාය. ග්‍රේස් ගේ සටහන් පොතේ සඳහන්ව තිබුනු තව එක් නමක් ගැන සැකයක් තිබුණා මිස අන් කිසිවක් ඇයට කරුණු ලෙස දැක්විය හැකි වන්නේ නැත. සෞමි මුලින්ම තමන් ඉදිරියේ තිරයෙන් පෙනෙන ගැහැනිය සහ පිරිමියා දෙස බාලුවාය.
“ දැන් අපි කාටවත්ම බය වෙන්න ඔිනෙ නැති බව අපි තුන්දෙනාම දන්නවා. ඔයාලා දෙන්නා ඇත්තටම මං ගැන මොනවද දන්නේ.. මං ඔය දෙන්නාගෙ බයො ලොජිකල් දරුවා නෙමෙයිද? එහෙනම් ඔයාලගේ නම් මගේ උප්පැන්න සහතිකේට දා ගත්තේ කොහොමද?” ඇය කෙලින්ම විමසුවාය. ඇගේ ප්‍රශ්න වල වන සෘජු මෙන්ම සමබර බව ගැන ඔවුන්ට පුදුම සිතිණි. දීපති ට ඇගේ ශක්තිය ගැන දැනුණේ සතුටකි.
“ අපි ඇත්තටම මුලින් දැනගෙන හිටියේ නැහැ ඔයාගේ අම්මා කවුද කියලා” දීපති කියද්දී සෞමි බොහෝ සංවේදිව අසා සිටියාය.
“ මං වැඩ කළේ විජේවර්ධන ගෘප් එකේ ජුනියර් එකවුන්ටන් කෙනෙක් විදියට.. අපි ඒ කාලෙත් කොහොම හරි ලංකාවෙන් පිට රටකට යන්න ඔිනවෙච්ච ජෝඩුවක්…” ප්‍රදීප් ඌණපුරණයක් කළේය. “ අපට මුලින්ම ඔයාගෙ අම්මා ගැන කතා කළේ ග්‍රේස් මැඩම්. අපි බැඳලා අවුරුදු ගාණක් වුණත් අපට බබෙක් ලැබුණෙ නැහැ. අපි ගොඩක් ට්‍රයි කරලා අයි යු අයි අයිවිඒෆ් හැම එකක්ම ට්‍රයි කරලාත් අපට හොඳ රෙස්පොන්ස් එකක් තිබුණෙ නැති නිසා අපි බබෙක්ව ඇඩප්ට් කරන අයිඩියා එකක හිටියෙ”
ඔහු කීවේය. සෞමි දිගු හුස්මක් ගත්තාය. ඇගේ මුහුනේ විස්මය බය හා අවුල හොඳටම පිරී තිබිණි. මනුස්සයෙකුට තමන්ගේ උත්පත්තිය පිලිබඳ දැනගැනිමට ඇති ආශාව ඇගේ ඇස් වලින් වෑහුණ අතර එය දරාගන්නට තරම් ශක්තියක් තමන් තුළ තිබේවිදැයි බියක් ද ඒ තරමටම තිබිණි. සෞමි කියා කියන්නේ තනිකම සමග වුව ඒ තරමට සටන් වැදි ගැහැනු දැරිවියක නොවේ. අනික් අයට ඇති දේ ගැනත් තමන්ට අහිමි දේ ගැනත් ඇය සන්සන්දනය කිරිම අතැර දමා සිටියාය. තමන් දිනන්නට නම් තමන් කෙරෙහිම අවධානයෙන් සිටිය යුතු බව ඇය දැන සිටියාය. එය ඇය උගත්තේද ග්‍රේස ගෙනි.
“ ඒ ඔයාලට මුණගැහුණු ප්‍රෙග්නන්ට් ගෑනු ළමයා දිල්ශාරා ද?” සෞමි ඇසුවේ චකිතයෙනි. ඇය දිල්ශාරා ගේ නම සටහන් පොතේ ලියා තිබු දවසේම මේ පිලිබඳව කොතැන හෝ රහසක් ඇතැයි සිතා සිටියාය.
“ ඔයා කොහොමද පුතේ ඒ නම දන්නේ?” දීපති ඇසුවේ කඳුලු පිරුණු ඇස් වලිනි “ මම ඒ නම දැනගෙන හිටියා. එයා ඇත්තටම මට සම්බන්ද වෙන්නෙ කොහොමද කියල මම දැනගෙන හිටියෙ නෑ”
“ එයා ලස්සනයි තරුණයි… එයා ඔයාව හම්බ වෙන්න ඉන්න කාලෙ හිටියෙ එක නිශ්චිත සිහියක නෙමෙයි. එයා ගැන මං ලොකුවට අහන්න ගියෙ නෑ ග්‍රේස් මැඩම් ගෙන්.. මොනවා උණත් ග්‍රේස් මැඩම් අපට පොරොන්දු වෙලා හිටියෙ අපිව යුකේ යවනව.අපේ දරුවත් එක්කම කියලා..”
“ අපි දිල්ශාරාව නිතරම ආශ්‍රය කළා.. එයාගෙ දරුවා ඉස්සරහට අපේ දරුවා වෙනවා කියනෙක..ලොකු හැගීමක්..”
“ ඒ දවස් වල ග්‍රේස් මම්මා එයාව කොහෙද නතර කරලා තිබුණෙ?”
“ ඒ දවස් වල මැඩම් එයාව නතර කරගෙන හිටියෙ වෙනම තැනක.. ගෙදරක. මැඩම් ත් එයා එක්කමයි හිටියෙ…ඇත්තටම මැඩම් එයාව බලා ගත්තා. එයාගෙ හැම වියදමක්ම කළා. අපිත් මැඩම් ගෙන් ඇහුවා මොකක්ද මේ ළමයා එක්ක තිබුණු සම්බන්ධෙ කියලා.. මැඩම් කිව්වේම ඒ මගේම දුවෙක් කියලා හිතා ගන්න කියලා”
සෞමි සුසුමක් හෙළුවාය. ඇත්තටම දිල්ශාරා කියන්නේ ග්‍රේස් විජේබණ්ඩාරගේ දුවෙක්ද? ඒ අය අතර තිබුණු නොපෙනෙන රහස් සම්බන්ධය මොකක් වෙන්නට පුලුවන්ද?
“ මාව ලැබෙන්න ඉද්දි මගේ අම්මා සතුටින්ද හිටියෙ?” සෞමි අසද්දී ප්‍රදීප සහ දීපතී එකිනෙකාගේ මුහුණු දෙස බලා උන්හ. ඒක එහෙමම යැයි කියන්නට ඒ දෙදෙනාට උවමනාවක් නොතිබුණාද නැත්නම් ඒක එහෙමම සිද්ධ වුණේ නැතිද ? දිල්ශාරා මේ දරු ගැබ දරා සිටියේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? තමා මේ ලෝකයට ආවේ තමන් ගෙ උත්පත්තියට හේතු වු ගැහැනියගේත් පිරිමියාගේත් සම්පුර්ණ කැමැත්තෙන් නෙමෙයිද? ඒ අයට ඇ්ත්තටම තමන්ව වටිනා ජීවිතයක් හෝ ඔවුන්ගේ ජීවිත වලට ලැබුණු කැළළක් ලෙස ඇයව දැනුණාද?
“ ඔයාව ලැබෙන එක ගැන ඇත්තටම කිසිම හැගීමක් ඔයා ගේ අම්මට තිබුණෙ නෑ..” එය ඇසීම පවා ලෝකයම කඩා වැටීමකි. දරුවෙක්ට තමන් ඉපදෙන්නටත් පෙර තමන් ට කුස යහන තනාදී ඇති ගැහැනියට එපා වීම කොයි ආකාරයේ අකුසලයක් ද?
“ එයා හැමදේ ගැනම හරිම සැහැල්ලුවෙන් හිතන විදියක් පෙනුණෙ. හැබැයි එයා ග්‍රේස් මැඩම්ට බය වුණා. මට තේරෙන් නැති තරම් බයක් ග්‍රේස් මැඩම් ගැන තිබුණෙ. හරි හිතුවක්කාර කෙල්ලෙක් කියලා පේන්න තිබුණාට ග්‍රේස් මැඩම් ගෙ කටහඩ ඇහෙද්දි පවා ගැස්සුණා.. මට හිතා ගන්න බැහැ ඒක මොන විදියෙ බයක් ද කියලා”
“ ඔයාලා කවදාවත් දැනගෙන හිටියෙ නැද්ද එයාට ග්‍රේස් මම්ම එක්ක තිබුණු ඇත්තම සම්බන්ධෙ මොකක්ද කියලා”
දීපති හිස සැලුවාය. “ නෑ දරුවො නෑ.. අපි දෙන්නත් ග්‍රේස් මැඩම් කියන විදියටම වැඩ කරන්න තීරණයක් අරන් නෙ තිබුණෙ .ඔයා අපේ දරුව විදියටයි උපන්නෙ. අපි ඔයාව ජීවිත කාලෙටම හදාගන්න එකග වුණෙ. අපට කිසිම අදහසක් තිබුණෙ නැහැ ඔයාව දාලා ලංකාවෙන් එන්න..”
“ ඒක සිද්ධ වුණෙ කොහොමද එතකොට..”
“ ඔයාව අපි අපේ ගෙගදරට එක්ක ගෙන ගියා.. ඇත්තටම දිල්ශාරා කිරි දෙන්නවත් ඔයාව ගත්තෙ නැහැ .. කිරි නොදී ඉඳලා දරුවා මැරෙයි කියන බයට ග්‍රේස් මැඩම් මයි ඔයාව අපට භාර දුන්නෙ..”
සෞමි හිස සැලුවාය.
“ අනේ පුතේ මේ දේවලට හිත රිද්ද ගන්න එපා.. ඔයා අපි දෙන්නා එක්ක අවුරුද්දකට වැඩිය කාලයක් හැදුණා. අපට තාමත් ඔයාව අමතක කරන්න අමාරුයි. නමුත් ග්‍රේස් මැඩම් ට ඔින වුනා ඔයාව ආපහු එයා ළගට ගන්න..”
සෞමි සිනාසෙන්න උත්සාහ කළාය. ඇයට නොතේරෙන ඒත් අනිවාර්යෙන්ම තේරුම් ගත යුතු කාරණා කිහිපයක් තිබේ. ඇගේ පපුව අයිනෙන් මේ වේදනාව කෙවෙන්නට පයන් ගත්තත් දැන් මේ වෙද්දි ඇය හිත ශක්තිමත් කරගෙන සීටිය යුතුව තිබේ.
“ අපට දැන් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මට හිතෙන්නේම ඔයා අපි එක්ක හිටපු අවුරුදුදේ අපේ ප්‍රශ්න විසදෙන්න පටන් ගත්තා කියලා” දීපති යළිත් කීවාය. ඇයට ඔවුන් දෙදෙනා ගැන කීසිදු ආකාරයක වැරදි හැගීමක් දැනෙන්නේ නැත. හදිසියේවත් ග්‍රේස් මම්මා විසින් ඇයව නැවත ලබා නොගත්තා නම් මේ වන විට ඇය ලන්ඩනයේ ඔවුන් දෙදෙනාගේ දරුවෙකු ලෙස ජීවත් වෙනු ඇත. නමුත් ඇගේ ඉරණම විසදෙන්නට යෙදී තියෙන්නේ මේ ආකාරයෙන් මිස ඒ ආකාරයෙන් නොවේ.
“ අපි හිතුවා දිල්ශාරා කියන්නේ ලැස්ති නොවිච්ච වෙලාවක ප්‍රෙග්නන්ට් වෙච්ච අහිංසක කෙල්ලක් කියලා..” ප්‍රදීප කී පසු සෞමි ගේ කුහුල ඇවිස්සිණි. එයින් අදහස් වෙන්නේ එය එහෙම නොවෙන බවද?
“ ඒ කිව්වේ?”
“ දිල්ශාරා කාගෙ කවුද කියලා අපි දැනගන්න කොට අපි යුකේ ඇවිත්.. ඔයාව ග්‍රේස් මැඩම් ට භාර දීලා. අපි මෙහෙ ආවට පස්සේ අපි සම්බන්ධකම් තියා ගත්තේ ලංකාවෙ කිප දෙනෙක් එක්ක විතරයි. ඒ අතරින් කෙනෙක් තමයි ග්‍රේස් මැඩම් ගෙ ඩ්‍රයිව. මිනිහ හරි හොද මනුස්සයෙක්. හැබැයි ග්‍රේස් මැඩම් ගෙ ජීවිතේ ගැන සියට අසුවක් අනුවක් රහස් දැනගෙන හිටියෙ ඔය මනුස්සයා. අපි වුණත් ග්‍රේස් මැඩම් ගැන හිතාගෙන හිටිය විදියක් තිබුණා පුතේ..” ප්‍රදීප කියන්නට යන්නේ ග්‍රේස් මම්මා ගැන ඇත්තක් නම් ඇයට මේ ගැන කතා කරන්නට පෙරම ඔසද මේ වගේ කතාවක් කියා තිබු බව සිහිපත් විය.
“ අපි දැන් මේක කියන්න තීරණය කළේ ඔයා දැන් මේ සේරම දැනගන්්න පුලුවන් තරම් ලොකු ළමයෙක් නිසා අනික් කාරණේ ඔයා ඉන්න තැන ගැන ඔයා දැන ගන්නනෝන නිසා. අපි දන්නේ නැ ඔයාගෙ අනාගතේ ගැන ඔයාට තියෙන්නෙ මොන වගේ ප්ලැන් එකක්ද කියලා..” සෞමි තමන් කිසි විටෙකත් මේ කාරණාව ගැන කතා කිරීම ගැන ප්‍රදීප සහ දීපති ගැන අහිතක් නොසිතන වග කියා සිටියාය. අනික් අතට ඇය දිල්ශාරා ගැන විස්තර කීම ගැන ස්තුතිවන්ත වුවාය. ඔවුන් කතා නොකළා නම් ඇය සදහටම මේ කිසිවක් නොදැන ජීවත් වෙනු ඇතැයි කීවාය. ජීවිතය මේ තරම් පුදුම සහගත ආකාරයට තමන් සමග සෙල්ලම් කරතැයි නොසිතන බවද කියා හිටියාය.
“ ඔයාට ඔින වෙලාවක අපි එක්ක කතා කරන්න..” ඒ ප්‍රදීපත් දීපතිත් ඇයගෙන් ඉල්වු ඉල්ලීමයි. දරුවෙකු හැටියට ඔවුන්ගේ අත්වල නැළවුණු පළමු දරුවා ඇය බව අමතක කරන්නට නොහැකි බවත් අම්මා කෙනෙකු සහ තාත්තා කෙනෙකු විමේ අසිරිමත් බව විඳින්නට ලැබුනේ ඉන් බවත් කීවහ. දුරකතන ඇමතුම විසන්ධි වු පසු සෞමි මුලින්ම කළේ තමා හිඳගෙන සිටි තැනම ඒ මේසයේම ලී මුහුණත මත දෙඅත් තියාගෙන ඒ මතින් මුහුණ ඔබා ගැනීමය. ඇස් වසා ගෙන ඔි මොහොතක් කල්පනා කළාය. දැන් ඇය වැඩිහිටියෙකි. ඇයට භාරකාරිත්වයක් අවැසි නැත. ඇයට ඇගේම කියා කුඩා කෝපිහලක් ද තිබේ. නමට පමණක් පවන්ට අයිති බව ඇත්තකි. ටික වේලාවකින් දුරකතනය හඩ නැගුවේය. පවන් ය. ඇයට මොනවා කතා කරන්නද කියා තෝරාගනු නොහැකි ය.
“ මොකෝ සද්ද නැත්තෙ… මගෙ රෝස මල”
සෞමි පවන් මේ වෙද්දි අම්මා ට හෝ තාත්ත් ට කතා කර නැති බව තේරුම් ගත්තාය.
“ මං කොෆි ෂොප් එකට ආවා ඉතින්..”
“ මොනව හරි අඩුපාඩුවක් තියෙනවා නම් මාදින් ට වට්සැප් එකක් දාන්න. ඌ ගෙනැත් දේවි.. ඔයා කොහේවත් ඇවිදින්න එපා තනියම.. බඩු හොයන්න..”
“ හා … ඔයා අම්මිට කතා කළේ නැද්ද?”
“ නෑ.. තාම ඇයි?”
දෙදෙනා අතර මද නිහඩබවක් ඇතිවිය. පවන් ගේ සිත ද තිගැස්සිණි.
“ ඇයි ඒ”
“ අද උදේ ලංකාවට ආවා අම්මා.. ගෙදරටම එනකම් මං දන්නෙත් නැ. රත්නා නැන්දා දැනගෙන හිටිය වගක් පෙනුණෙත් නැහැ..”
පවන් ගේ පසින් දැඩි නිශ්ශබ්දතාවයකි. පවන් අක්‍රිය වු ස්වරුපයක් දැනිණි. ඇත්තෙන්ම පවන්ට තමන් අක්‍රිය වු බවකි දැනුණේ. මේ වගේ අවස්ථාවල සෞමිට කිසිදු ආරක්ෂාවක් පැරඩයිස් තුල නැති බව ඔහුට සිහිපත් විණි. අනෙක් මොනදේ කොහොම සි්ද්ධ වුණත් අම්මා මේ කරන්නේ යමක් ඉව වැටුණාම ඇය කරනා දේවල් ය. ඒ පිළිවෙල පවන් හොඳටම දැන සිටියේය.
“ තාත්තාට කියලා ඇති. මං තාත්තාට කතා කළෙත් නැ ඊයෙ දවසටම. වැඩ ගොඩක් තිබුණා. අම්මා ගෙ ප්‍රොපටිස් වගයක් ගැන ප්‍රශ්න ටිකක් විසද ගන්න උවමනාවක් තිබිච්ච නිසා හදිස්සියෙම එන්න ඇති” ඔහු අම්මාගේ ඉක්මන් පැමිණිම සාමාන්‍යකරන්නට උත්සාහ කරමින් කීවේය.
“ කෝකටත් ඔයා වැඩිය මුහුණ දෙන්න යන්න එපා. පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්න” ඔහු තවදුරටත් කීවේය. ඒ ගැන ත් සෞමිට බියක් දැනිණි. කෞශල්‍යා පැමිණිම පවන් වද අවුල් කර ඇති බවට සැකයක් නැත. ඇය පවන් ගේ සිතට බියක් දැනෙන ආකාරයේ කිසිවක් නොකියා ඉන්නට ප්‍රවේශම් වුවාය. කෙසේ වුනත් පවන් මේ ගැන තාත්තාගෙන් විපරම් කරන්නට සිතා ගත්තේය.
සෞමි කෝපිහල තුලට වී සිටියා මිස කෝපි මැශින් ක්‍රියාත්මක කළේ හෝ විදුලි පහනක් දැල්වුවේ හෝ නැත. ඒ වෙනුවට ඇය කැගසා හැඩුවාය. හැඩිමෙන් රිදී වෙහෙසී සියුම්ම ඉකියකට පෙරලෙද්දී පවා ඇය යලි යලින් හැඩුවාය. එකක් යැයි කිව නොහැකි වේදනා සමුදායක් කවදාවත් නැති තරම් ඇය ව රිදවමින් පෙළමින් තිබිණි.
කාව්‍යා උන් හිටිගමන් ඇගේ අංකය අමතමින් සිටියේ ඒ මොහොතේ ය. ඇය දුරකථන ය දෙස බැලුවේ හොරැහින්ය. ඇගේ කටහඬ තෙත පිරුණු එකක් බව ඇය දැන සිටියාය. වහා යුවතිය ගේ කටහඬ වෙනස් බව කාව්‍යා හදුනා ගත්තාය.
“ සෞමි… මං පස්සේ කතා කරන්න ද?”
ඇය ඇසුවේ සෞමි ගෙන් ප්‍රශ්නය කුමක් ද කියා අසන්නට තරම් හිතවත්කම් තවම ගොඩනැගී ඇති නිසාවෙන්ය.
“ නෑ මිස් කියන්න…” ඇය එහෙත් සිය හිතැගි පාලනය කරගෙන සෙමෙන් කීවාය.
“ මම නිකම් ගත්තෙ සෞමි..” කාව්‍යා කීවේ ළයාන්විතවය. ඇයට යුවතියගේ කටහඩේ වු දුක නොතේරුණා ද නොවේ. ඇගේ අත්දැකිම් සහ වයසට වඩා පරිණත බව මේ සියලු දේ නිසා මිනිසුන් තේරුම් ගැනීම ඇයට අසීරු නැත. සෞමිට පුදුමත් සිතිණි. රිදුම් ඇති හිතකට තැවරෙන කොකුම් කල්කයක් මෙන් කතා කරන්නට කාව්‍යාට උපන් හැකියාවක් තිබේ. ඒ නිසාම ඇය මේ වෙලාවේ සෞමි සමග කතා කරන්නට උත්සාහ කරන්නට වුවාය.
“ අද මං ටිකක් ෆ්‍රී දවසක්. මං හිතුවෙ ඇවිත් කෝපි එකක් බීලා යන්න”
සෞමි සුසුමක් හෙලුවාය. ඇය ඇගේ හිතු මනාපයට ඇගේ හිතේ රිදුමට මේ කෝපිහල වසාගෙන සිටියාය රිදුම් ඇති කී දෙනෙක් මෙතැනට ඇවිත් තනිව කෝපි එකක් බී සැනහෙනවා ඇත්ද කියා ඒවෙලේ සිතිණි. තමන් රිදවා ගෙන හෝ අනුන් සැනසීම කියන්නේ පහසුවෙන් මනුස්සයෙකුට නොලැබෙන අවස්ථාවක් මෙන්ම ඒ තරම් හිත සන්සුන් හොඳ මිනිසුන් මේ සමාජය තුල විරලය. ඒත් මේ මොහොත වෙද්දී සෞමි ඉන්නේ කෝපිහල විවෘත කර පැමිණෙන අයට පුරුදු සිනහව පාන්නට හැකි තත්වයක නොවේ.
“ මං අද ශොප් එක ඔිපන් කලෙ නෑ මිස්”
ඇය සෙමෙන් කීවාය. කාව්‍යා ට දැන් විය හැකි දේ ගැන අදහසක් තිබේ. තුම්මුල්ලේ කෝපි කඩේ වින්ටේජ් කෙල්ලටද දරා ගනු බැරි දුකක් දැනී තියේ. මිනිස්සුන්ට දුක දැනීම කොයිතරම් සාමාන්‍ය දෙයක්ද යන්නත් ඒ දුකත් සතුට වාගේම පවතින්නේ යම් නිශ්චිත කාලයක් පමණක් බවත් කියා දෙන්න කෙනෙක් ඇය අසල නොමැති වීමෙන් ඇය මේ දුකේම එරී හිඳිනු ඇතැයි සිතිණි.
“ ඒ කියන්නෙ ඔ්ෆ් එකක්නෙ” කාව්‍යා සිනාසෙමින් ඇසුවාය. සෞමි මොහොතකට කල්පනා කළාය. ඇත්තෙන්ම එය ඔිෆ් එකක් වෙන්නට නම් ඇගේ දුරකතනයද ඔිෆ් වෙන්නම ඔිනැය. නැත්නම් පවන් උනත් කීප විටක් කතා කරන්නට ඉඩ ඇත. නාමිකව උනත් පවන් මේ කෝපිහලේ හිමිකර වන බැවින් ඇය පවන්ට කෙටි පණිවුඩයක් ලීවාය. එය ඔහු දැක්කේ පැයකට ආසන්න කාලයක් නාන කාමරයේ සිට ආ පසුවය.
“ මම කාව්‍යා අක්කා එක්ක ටිකක් ඇවිදින්න යනවා” එපමණකි. පවන් ට ඇගේ හිත නොතේරෙනවා නොවේ. ඇගේ ජීවිතය
සම්පුර්ණයෙන්ම හිර ගෙයකි. ඒ වයසේ වෙන කෙල්ලන්ට මෙන් පිටස්තර ලෝකයක් ඇයට තිබුණේම නැත. පවන් මේ කෝපිහල ඇයට විවෘත කර දෙන්නේත් අප්පච්චී සමග වු විශේෂ සාකච්ඡාවකින් පසුවය. කෞශල්‍යා නම් මුල සිටම මේ ගැන ප්‍රසාදයකින් පසු වුයේ නැත. ආතක් පාතක් නැති කෙල්ලකට මේ තරම් සලකන්නට නොවුමනා බව හැමවිටම ඇගේ මතය වී තිබුණේය.
කාව්‍යා කවුරු වුණත් සෞමි තමන් ගැන පරිස්සම් කෙල්ලක බව පවන් දැන සිටියේය. වරක් ඇය කෝපිහලට ආ කෙනෙකු ගැන කතා කළාත් මතකය. කෙසේ වුණත් උවමනාවක් වුණොත් ඇය ඔහුට අමතන බව දැන සිටියේය.
කාව්‍යා සිය වාහනය ගෙනැවිත් කැෆේ 66ත්හි නතර කරන විට සුදු පැහැ බෝරිච්චි අත යෙදු ගවුමක් ඇද සිටි සෞමි පාර මාරුවී ඇවිත් ඊට නැග්ගාය. කෝපිහලේ ඇදුමින් ඇය දැක තිබෙන කාව්‍යා ඇගේ සුන්දර හුරතල් තරුණ ගතිය හරියට දූටුවේ ඒ මොහොතේය.
“ නෝමල් ඇඳුම් වලට ඔයා හරිම ලස්සනයිනෙ..”
“ මිස් මාව දැකලා තියෙන්නෙ කොෆිශොප් එකේ ඇදුමින් විතරනෙ”
සෞමි සිනාසුණාය. ඒත් හැඩු ලකුණු ඇසෙන් වහං කරනු නොහැකිය. ඇය වරින් වර දිගු සුසුම් හෙලුවාය. කාව්‍යා ගේ විමසුම් ඇසට මේ සියල්ල හසුවිය. කාව්‍යා සෞමිගෙන් කිසිදු විමසීමක් නැතිවම ගල්කිස්ස දෙසට රිය පදවාගෙන ගොස් මුහුද අද්දර අවන්හලක රිය අංගනයක වාහනය නතර කළාය. ඈතින් මුහුද පිසගෙන එන සුළඟ දැක ඇගේ මුහුණට අලුත් එළියක් වැටිණි. ඒ දැක කාව්‍යා ගේ හිතට මඳ සැනසුමක් දැනිණි.
“ ඔයා මුහුදට ආසයිනෙ…” උදේ වරුවක සයුරාසන්නයට පැමිණීම වෙනස් හැගීමක් ඇතිකරයි. හැන්දෑවක් වගේ නොවේ. ඉර කෙමෙන් සිය වැඩ මුරය අරඹන වෙලාවකි. ඒ් දෙදෙනා මුහුදුබඩ දුම්රිය මාර්ගය මතින් පැන වෙරළට ඇතුල් වුහ. සෞමි ට හොඳ මිතුරියක් මුලු ජීවිතයටම හමුවී නැත. සුලලි අක්කා සමග එහෙමෙහේ යනවාට ග්‍රේස් මම්මා කැමති නොවුයේ ඒ ළමයාට ඒ ළමයාගේ විදියට හැදෙන්න ඉඩ දිය යුතුය යන අදහසය. සුලලි අක්කා හා එළියට යාමෙන් සෞමි ගේ හොඳ ගතිගුණ නැති වෙනවාය යන්න ග්‍රේස් විශ්වාස කළාය. නමුත් සුලලි දුටුවේ ග්‍රේස් ආරක්ෂාව ඉදිරියට දමාගෙන සෞමි ගේ ජීවිතය සිරගෙයක දමන ආකාරයකිනි.
“ ඔව්.. මට ඔින තරම් වෙලාවක් මේ මුහුද දිහා බලා ඉන්න පුලුවන්. ඒ තරම් ආසයි..” කාව්‍යා සෞමි දෙස බලා උන්නේ සෙනෙහෙබර බැල්මකි.
“ ඔයා අඬලා නේද?”
සෞමිට තත්පරයක් නිහඬ වන්නට සිදු විය.
ඇය බොරු කියන්නට දක්ෂ නැත.
“ පොඩ්ඩක්…”
කාව්‍යා සුසුමක් හෙළුවාය.
“ මට හිතුණා… ඒ වෙලාවේ ඔයාගෙ කටහඬ ඇහෙද්දිම.”
සෞමි සිය දකුණු පයෙන් සුදු වැල්ල හාරමින් දෙඅත් දෙපසට කර පසුපසින් ඒවායේ ඇගිලි එකිනෙක අල්ලා ගෙන උන්නාය. සිහින් සුසුමක් හෙළුවාය.
“ මොකක් හරි ප්‍රශ්නයක් ද?”
“ ජීවිතේම ප්‍රශ්නයක් වගේ…”
සෞමිට ඒ වචන පිට වුණේ නොහිතාමය.
කාව්‍යාට හදිසියේම සෞමි ගැන දැනුණේ අමුතු දුකකි. මේ කුඩා කෙල්ල තනිවම උහුලන දුක කොයිතරම් ද කියා ඇය නොදන්නා නමුත් ඇය මේ ගැහැනු ළමයා මුලින්ම හමුවූ දවසේ සිටම ඇය තුළ තිබුණේ තනිකමක් බව කාව්‍යාට දැනී තිබුණාය.
“ ඔයා කැමති නම් මට කියන්න…”
සෞමි දෑස් පියාගත්තාය. යළි දැස හැරියාය. පපුව පුරවා ගෙන තිබුණු ලොකු හුස්මක් අත හැරියාය. අකීකරු මුහුදු සුලගට ඇගේ නළල මත කෙහෙ රොද දග කරන්නට විය. කෙනෙකුට මේ දේවල් කියන්නට පුළුවන්ද?තමන් කවුදැයි කියා නොහඳුනන හැඟීම වචන කරන්නට පුළුවන්ද?
“ මං අද… මගේ ඇත්ත අම්මා ගැන දැනගත්තා…”
කාව්‍යාගේ හුස්ම තත්පරයකට නතර විය. කවදාවත් තමන්ගේ අම්මා තාත්තා ගැන නොදැන සිටි කෙල්ලකට තමන් ගැන මෙතෙක් දැනේනට ඇති හැඟීම කොහොම වෙන්නට පුලුවන්ද? ඇය ඇගේ මුලු ජීවිතයම පැරඩයිස් මන්දිරයේ සීමා සහිත ජීවිතයක් ගෙවා තිබේ.
“ ඇත්ත… අම්මා?”
“ මාව හදාගත්තෙ ග්‍රේස් මම්මා නෙමෙයි කියලා මං දැනගෙන හිටියා. ඒත්… අද තමයි මං එයාගෙ නම දැනගත්තෙ. හැබැයි මට ග්‍රේස් මම්මාගේ නෝට්බුක් එකක තිබිලා ඒ නම මීට කලින් හම්බ වුණා. ඒත් ඒ නම ගැන සැකයක් ඇති වුණත් එයා මගේ අම්මා මයි කියලා මං ඇත්තටම හිතුවේ නෑ”
කාව්‍යා නොදැනුවත්වම තමන්ගේම අත් තදින් අල්ලා ගත්තාය.ඇගේ හිත ඇතුළේ නොසන්සුන්කමක් මතුවන්නට විය.
“ කවුද?”
සෞමි තත්පරයක් නිහඬ වුවාය.ඒ නම තමන්ගේ දිවෙන් පිට කිරීම පවා අමුතු බරක් විය. කාව්‍යා දෙස මොහොතකට බැලුවාය. කාව්‍යා කියන්නේ කාගේ කව්ද කියා තියා කාව්‍යා තමන්ට මේ තරම් ළඟ ඇයි කියාවත් ඇය නොදන්නා නමුත් මේ වෙලාවේ ඇයට සමීප කෙනෙකු ලෙස ඇයට දැනෙන්නේ ඇයම පමණකි.අඩු තරමේ පවන්ටවත් මේ සියල්ල කියා ගන්නට ඇයට අවස්ථාවක් ලැබුණේ නැත. පවන් වුණත් ග්‍රේස් මම්මා ගැන සිතන්නේ ඇය අවංක ආදරණීය ගැහැනියක ලෙසය. නමුත් ග්‍රේස් මම්මාත් සෞමි ගේ අම්මාත් අතර වු සම්බන්ධතාව කුමක්ද කියා දැනගන්නට තවමත් සෞමිට අවස්ථාව ලැබී නැත. ඇය උත්සාහ කරන්නේ මේ ගැන සොයා ගන්නටය. මේ සියල්ල සොයා ගන්නා තෙක් පවන්ට මේ ගැන කියන්නේ නැතැයි ඇය සිතිගෙන සිටියාය.
“ දිල්ශාරා…”
කාව්‍යාට තමන් හිටගෙන උන් ඉරියව්ව පවා අස්ථාවර වූවා සේ දැනිණි. ඇය ඇස් ලොකු කර මෛාහොතක් සෞමි දෙස බලා උන්නාය. තමන්ගේ පුංචි අම්මාගේ නම, තේජානි ඒ ගැන කියා ඇති කතාව මේ සියල්ල එකිනෙක ගැළපෙමින් තියේ.
“ දිල්ශාරා…?”
“ දිල්ශාරා පෙරේරා.”
කාව්‍යාගේ මුහුණේ ලේ වියැළී ගියේය. ඇය ඇත්තෙන්ම සුදුමැලි විය. ඇය කිසිවක් නොකියා ඈතින් ඇති අවන් හලක වෙරළාසන්නයේ තියා ඇති මේස පුටු දෙසට ඇවිද ගියාය. මොහොතක් ඇය යන දෙස බලා උන් සෞමි වහ වහා ඇය පසුපසින් ඇවිද ආවාය. කාව්‍යා ඒහිවු පුටුවකට බර වුවාය. එය තිබුණේ රතු පැහැ කුඩයක් යටිනි. අව්ව ආවරණය කරන්නටය.
ඒ අතර ඇගේ මතකයට ආවේ කුඩා කාලයේ ගෙදර මිනිස්සු හෙමින් කතා කළ කතාය.තමන්ගේ පුංචි අම්මා.පවුලට අපකීර්තියක් වුණු, එක දවසක අතුරුදහන් වූ ගැහැනිය.පවුලේ අනික් ගැහැනු ළමයින්ගේ කණ වැකිය යුතු නැතැයි වැඩිහිටියන් විසින් තීරණය කරනු ලැබු දිල්ශාරා ගේ කතාව! ඔලිවර් පෙරේරා සමාජයට කොයිතරම් හොඳ මිනිසෙකු වුවත් ඔහු සිය බිරිඳට දියණියන්ට මහා රෞද්‍ර ආකාරයෙන් සැලකු කෙනෙකි. ඔහු තීරණයක් ලෙස ගත් කිසිවක් නැවත වෙනස් නොවුයේය. ඒ නම තමන්ගේ ජීවිතයට නැවත හමුවෙයි කියා කාව්‍යා කිසිදා හිතුවේ නැත.
“ කාව්‍යා…මිස්?”
සෞමිගේ කටහඬ ඇසෙද්දි කාව්‍යා නැවත පියවි සිහියට ආවාය.
“ ආ… මං ඉන්නවා…” කාව්‍යා බොහොමත්ම ප්‍රවේශමෙන් තමන් කතා කළ යුතුයැයි තිරණය කළාය කලබලය නිසා ඇතිවන තත්වයක් මේ සියල්ල වෙනස් කිරීමට ඉඩ ඇත.
“ ඔයා… ඒ නම කොහෙන්ද දැනගත්තෙ?”
“ අද කතා කළා… මම මගේ උප්පැන්න සහතිකේ මගේ අම්ම තාත්තා කියලා නම තියෙන දෙන්නා එක්ක…”
කාව්‍යා නිහඬ විය.ඇගේ ඇඟිලි සීතල වී තිබිණි.
“ මං හිතුවෙවත් නෑ මට කවදාහරි මගේ අම්මා ගැන දැනගන්න ලැබෙයි කියලා…” සෞමි දිගටම කීවාය.
“ කොහොමද ඔයා එයාලව කන්ටැක් කරගත්තේ”
“ මට කියන්න අමතක වුනා.. මට කැෆේ එකට ආව අයියා කෙනෙක් උදව් කළා..”
කාව්‍යා සුසුමක් හෙළුවාය. ඇය ඔය කියන අයියාව හඳුනන්නේ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක උපාධිය හදාරන්නට පටන් ගත් කාලයේය. ඇයට ඔහු ගැන අලුතෙන් අසා ඉන්නට කිසිත් නැත. ඒ්ත් මේ සෞමි වෙනුවෙන් තව තව තොරතුරු සෙවීමට යාමෙන් තමන් අනතුරේ වැටනෙ බව ඔහු ගණනකට වත් ගෙන නැත. තමන් කෙරෙහි කේන්ද්‍රගත වී තිබුණු ඔසඳ ගේ ආදරය තව කෙනෙකු වෙත විතැන් වීම ක්ෂනික අකුණක් සේ ඇගේ පපුව මත වැදී සියුම් ලෙස ඉරිතැලිමක් ද ඇතිවිය.
“ එතකොට… ඔයාගෙ තාත්තා ගැන?”
“ දන්නෙ නෑ…”
සෞමිගේ කටහඬ බිඳී ගියේය.
“ මං දන්නෙ නෑ මං කවුද කියලවත්…”
ඇගේ බලාපොරොත්තු විරහිත ඇස් ක්ෂිතිජය කරා යොමුවිණි. මේ වන විට සෞමි තමන්ගේ ලේ නෑයකු විය හැකිය යන සැකය, ඇය තමන්ගේ ලේ නෑයෙකි කියන සත්‍යය දක්වා විතැන් වී තිබේ. කාව්‍යා සුසුමක් හෙළුවාය. සෞමි නොදන්නා කොයි තරම් දේ මේ කතාව පසුපස තිබෙනවාද?
ඇය කාව්‍යාත් දිල්ශාරා ත් අතර ඇති සම්බන්ධය නොදනී. කාත් කවුරුවත් නැතිව උන් ඇයට උන් හිටිගමන් පවුලක් ලැබී ඇති බව තවම දන්නේද නැත. කැෆේ එකට ආ ගිය අයියා කැෆේ එකේ සිග්නේචර් කොෆි එක ගැන තමන්ව දැනුවත් කළ බව ද සෞමි දන්නේ නැත. ඒ අයියා සහ තමන් අතර වන සංසාරික සම්බන්ධතාවය ගැන දන්නේ ද නැත ඇගේ ජීව විද්‍යාත්මක මව ගේ පියා සහ ඇගේ රැකවල් දෙව්දුව කියා ඇය සලකන ග්‍රේස් මම්මා අතර වු සම්බන්ධතාවයේ දිග පළල ඇය දන්නේ නැත.
මේ කිසිවක් ගැන දන්නේ නැති අවිහිංසක යුවතිය ගැන මේ මොහොතේ වද වෙමින් සිටියා නම් ඒ එකම එක පිරිමි ආත්මයක් පමණකි. පවන් ටික වේලාවක් තිස්සේ රැස්වීම් කාමරයේ සිටියේද තැති ගැන්මෙනි. කාව්‍යා අක්කා සමග කෝපි එකක් බොන්නට යනවායි කියා කීවාට සෞමි ගියේ කොතැනටද කියා ඔහු යළි යළි සිතුවේය. මේ දවස් වෙද්දී කෞශල්‍යා ලංකාවට පැමිණ සිටීම පවන් ගේ සිත අහේතුක හේතුවකට ඔහුව අවුල් කරවා තිබිණි. තමන් සහ සෞමි අතර වන සම්බන්ධතාවය පිලිබඳ අම්මා යම් හෙයකින් දන්නවා නම් තමන් ලංකාවේ නැති ටිකට ඇයව තමන් ගෙන් දුරස් කරන්නට හැකි හැම දෙයම අම්මා කරනා බව ඔහු ඉඳුරාම දැන සිටියේය.
හදිසියේ පවන්ගෙන් තමන්ගේ දුරකතනය ඇමතෙනු දැක යුවතිය මඳක් සසැලිණි. කාව්‍යා ඇය ගැන සිටියේ පරික්ෂාවෙනි.
“ කොහෙද ඉන්නෙ මැණික?’ පවන් ගේ වෙනසක් නැති කටහඩ ඇසිණි. පවන් මොනාකාර පරිසරයක් වුණත් සන්සුන් සහ සාමකාමී බවට පරිවර්තනය කිරීමේ හපන් කම් ඇති මිනිසෙකි. කාව්‍යා ගැන කිසිවක් විමසන්නට ඉක්මන් නොවී ඔහු තමන්ගේ අවදානය ඇත්තේ සෞමි කෙරෙහි බව පමණක් ඇගවුවේය.
“ මං ගල්කිස්ස බිච් එකෙ පවන්..”
“ සී ෆුඩ් මොකුත් කන්න එහෙම එපා.. ඔයාට ඇලජි වෙනවානෙ. ඔය අක්කා ඒ ගැන දන්නෙ නෑනෙ හරිද.. වැඩිය මුහුදු හුළං වැදි වැදි ඉන්නත් එපා ..”
“ හා… පවන් .. මට දෙයක් කියන්නට තියෙනවා..මං හවසට කතා කරලා කියන්නං. ඔයා අද දවසෙ තියන වැඩ ටික පරිස්සමෙන් කරගන්න .. “
“ මං ඉක්මනින් එනවා ලංකාව ට. මං එනකම් පරිස්සමෙන් හිටියා නම් මට ඇති.. ආවට පස්සේ මගෙ ඇස් මානෙ ඉන්නවා නෙ..”
ඇගේ මුහුණ යටින් දීප්තිමත් ලේයරයක් ඇතිවෙනු කාව්‍යා බලා උන්නාය. ඒ තරමට දිලිසිමක් කෙල්ලකගේ මුහුණ ක ඇතිවෙනවා නම් ඒ ආදරයක් වෙනුවෙන් පමණ කි.
“ බෝයිෆ්‍රෙන්ඩ් ද?” ඇය දෙස බලා සිනාවෙමින් කාව්‍යා ඇසුවාය. සෞමි සිනාසුණාය.
“ අපි දෙන්න එහෙම හිතාගෙන ඉන්නවා . ඒත් අපේ ජීවිත වලට මොනව වෙයිද කියල අපි දන්නෙ නෑ මිස්.. පවන් මේ දවස්වල ලංකාවෙ නැහැ. එයා මොකක්ද මන්ද බයකින් ඉන්නෙ මං ගැන”
කාව්‍යා ඇගේ අතකින් අල්ලා ගත්තාම ඇයට අම්මා පුංචි අම්මා දෙදෙනාම සිහිපත් විය. එකම ලේ ධාතුවය. “ අපි එකම බ්ලඩ් ලයින් එකක කෙල්ලො” කියා කියන්නට හිතුනත් ඉක්මන් නොවුවාය.
“ පවන්ගෙ අම්මා හිතන්නේ ඔයා කාත් කවුරුවත් නැති කෙනෙක් කියලා නේද..ඒත් දැන් ඔයා ඔයාගෙ අම්මා ගැන දන්නවා නෙ.. අපට බැරි ද ග්‍රේස් ආන්ටි දිල්ශාරා එක්ක තිබුණේ කොයිවගෙ රිලේශන්ශිප් එකක් ද කියලා දැනගන්න..”
“ මට දීපතී ආන්ටි කිව් විදියට නම් එයා ග්‍රේස් මම්මට පුදුම විදියට බය වෙලා ඉදලා තියෙන්නෙ. එයා හරිම හිතුවක්කාර විදියට හැසිරිලා තියනවා මාව බඩේ ඉද්දී.. ඒත් එයා මං ඉපදුණු වෙලාවෙ මට කිරි දෙන්න වත් කැමති වෙල නැහැ.මං හිතන්නේ එයා මගෙ තාත්තා කියන කෙනාට පොඩ්ඩක් වත් කැමැත්තක් තිබිලා නැතුව ඇති..එයා අකමැති කෙනෙක් අතින් මෙොකක් හරි සිද්ධියක් වෙලා මාව කන්සීව් වුණාද දන්නෙ නැහැ”
කාව්‍යා සෞමි දෙස බලා සිටියාය.
“ ඔයා දන්නවා ද සමහර මිනිස්සුන් ව හිටිගමන් මුණ ගැහෙන්නෙ ඇයි කියලා .ඒවා වෙන්නේ අනිවාර්යයෙන් හේතුවක් ඇතිව. ඒ වගෙම වෙන්න ඕනම කාලෙ.වෙන්න ඕනෙම නිසා.එහෙම වුණාට පස්සේ ජීවිත වෙනස් වෙනවා..”
“ ඒක ඇත්ත..” සෞමි කීවේ ඔලිව් කොළ කමිස ඇදි තරුණ මිනිසා හිතේ තියාගෙන ය. ඔහු ආවායින් පස්සේ බොහොමයක් දේ වෙනස් විය. කාව්‍යා ඇය වෙනුවෙන් කෑමක් ඇණවුම් කරද්දි සෞමි තමන් මුහුදු මසුන් කැම අසාත්මිකතාවෙන් පෙළෙන බව කීවාය.
“ ඔයා මා එක්ක මගෙ අම්මා ව බලන්න යංද අද?”
*****
කෞශල්‍යා විජේබණ්ඩාර සිය පෞද්ගලික රියදුරු සමග තුම්මුල්ල හරහා යමින් සිටියේ වෙනත් ගමනකි. ගමනාන්තය කුමක් වුවත් ඇයට සිය පුතුගේ කෝපිහලට ගොඩ වෙන්නට උවමනා බව ඕ රියදුරු ට කියා සිටියාය. නමුත් කැෆේ 66ත් ඒ වනවිටත් වසාදමා තිබිණි. කෞශල්‍යා සිටියේ කේන්තියෙනි. ඇය ග්‍රේස් විජේබණ්ඩාර ගේ දේපළ සම්බන්ධයෙන් කටයුතු කරන නීතීඥ සමාගම හමුවන්නට වෙලාවක් යොදා ගනද සිටියාය. ඇගේ යටිසිතේ වු සැලසුම් සියල්ල ක්‍රියාත්මක කිරිමට පෙර නීතිඥ සමාගම හමුවීම වැදගත් විය.
පවන් සෞමි ට හමුවී ඇති අලුත් යෙහෙලිය ගැන අවතක්සේරුවෙන් සිතුවාද නොවේ. ඇය රහස් සොයන්නට පැමිණ සෞමි සමග හිතවත්කමක් ගොඩනගා ගත්තාද කියා සැකයකි. එබැවින් ඇය හා එලියට යන එන ගමන් ගැන අවධානය යොමු කළ යුතුය. අනිත් අතට ඔහු සයිබ අපරාධ මෙහෙයුම් කාර්යාලයේ නිලධාරින් සමගද නිල නොවන සම්බන්ධතා පවත්වා ගත්තේ ඒ කිසිම පරික්ශණයකට නැවත සෞමි සම්බන්ද විය යුතු අවස්ථා ඇතිවේද කියා පුර්වයෙන් දැන ගැනීම උදෙසාය.
ඔසද සිටියේ අපාට්මන්ට් එකට සිරවී ගෙනය. ඉන් අඩියක් හෝ සෙලවෙන්නට හෙතෙම උත්සාහ නොකළ අතර කාව්‍යා විසින් ඇණවුම් කරන ලද මහල් නිවාසයේ ආරක්ෂක අංශයේ හිතවත් කෙනෙකු විසින් ඔහු වෙත ලබා දෙන ලදී. සම්පුර්ණයෙන්ම ඔලිව් අකර්මණ්‍ය කේතයක් බවට පත්විය. හරියටම වර්ෂ දෙකකට පෙරාතුව සිදුවු විදියටමය. නමුත් මේ වතාවේ පරිගණක අපරාද මෙහෙයුම් කාර්යාලය ඔහුගේ මුහුණ හදුනා ගෙන සිටීම ඇත කලේ භයානක තත්වයකි. එබැවින් ඔහු සමග පරිගණක අපරාධ වලට සම්බන්ධ වී සිටි අනික් කණ්ඩායම භිතියට පත්ව සිටියහ.
සෞමිව කැටුව කාව්‍යා දැන් තේජානි වෙසෙන නිවසට වාහනය පදවා ගෙන ගියාය. අමුත්තෙකුට ත් සමග දිවා කැම සකසන්නැයි කීවාට කවුරු පැමිණේද කියා ඇය දැන සිටියේ නැත. නමුත් කාව්‍යා ඉස්සන් දැල්ලන් සකසන්නට එපාය කියා තිබිණි. එය ඇයට ගෙන ආවේම අතීත මතකයකි. ඉස්සන් කැම ආසාත්මික කුඩා දිල්ශාරා ග්‍රේස් සමග එලියට ගොස් ඒවා ශරිරගත විමෙන් ඉක්බිති මාරාන්තික ලෙස අසනිප වුවාය. පැහැයෙන් හුගාක් සුදු ඇය තැනින් තැන රතු බිබිලි දමා ඉදිමි විකාර රුපි වුවාය. මේ අවස්ථාවේත් ඔලිවර් පෙරේරා බැණ වැදුනේ ඔහුගේ විවාහක බිරිදටය. ඇය සුවිශේෂ දරුවෙකු නම් ඒ වග කලින් දැනුවත් කරන්නට අම්මා වශයෙන් වග බලා ගත යුතු වග කිවාය. ඇයගෙ හිතට සාංකාවක් දැනිණි. ලග ලග දින වලදි දිල්ශාරාව මේ තරම් සිහියට නැගෙන්නේ ඇය නරක තැනක උත්පත්තියක් වත් ලබා ඇත්දැයි සැකයක් ඇතිවිය.
වාහනය ගෙවුයනේ නතර විය. කාව්‍යා සෞමිව ගෙතුලට කැදවා ගෙන ගියේ ඇගේ අතින්ද අල්ලා ගෙනය. තේජානි සෞමි දුටු පලවෙනි මොහොතේ ඇගේ ඇස් වල වෙනසක් කාව්‍යා වටහා ගත් මුත් එය පසුව වෙනස් විය. එය සාමාන්‍ය සැකයක් මිස ඉන් ඔබ්බෙහි කිසිත් නැත.
ඔවුන් ප්‍රීතියෙන් කෑම කා යම් කාලයක් ගෙවුහ. පසුව, කාව්‍යා පැරණි පින්තුර ඇල්බම් දෙකක් අරගෙන ආවාය. තේජානි නම් ඒ ගැන එතරම් සතුටු වුයෙ නැත. පවුලේ පෞද්ගලික ඡායාරුප පිටස්තර ගැහැනු ළමයකුට පෙන්වීම ට කාව්‍යා කැමති වෙන්නේ මන්දැයි තේජානිට වැටහෙන්නේ නැත.
සෞමි ත් කාව්‍යා ත් ඒ පැරණි පින්තූර බලමින් සිනහ වුහ.
“ මේ පින්තූර දිහා බලන්න … මේ ඉන්නෙ අපේ අම්මගෙ අම්මා .. මේ අපේ අම්මයි එයාගෙ නංගිලායි…” කාව්‍යා හොදින් සෞමි දෙස බැලුවාය. ඇගේ නිකටින් එසවුවාය. සෞමි මදකට කැළඹි සිටියාය.
“ ඇ..යි මිස්?”
“ මං මේ කියන්නට හදන්නේ ඔයා හොයපු දෙයක්. අද උදේ ඉදලා ඔයා හොයපු කෙනා…දැන් ඔයා ඉස්සරහ ඉන්නවා …”
“ ඒ කියන්නේ ?”
“ මේ බලන්න මේ පින්තූර .. මේ මේ ඉන්නෙ..මේ දෙවෙනියට..මේ තමයි දිල්ශාරා පෙරේරා.. මේ තමයි ඔයාගෙ අම්මා…”
සෞමි සම්පූර්ණයෙන් ම අක්‍රිය වුවාය. ඇයට හුසම වැටුනේ යම්කිසි වෙලාවකට පසුය. ඇය වගේ අවිහිංසක කෙල්ලකට මේ තරම් දේවල් දරාගැනීම අසීරුය. ඇගේ දරාගැනීමේ ධාරිතාව ට වඩා මේ හෙළිවෙන ඇත්ත රලුය. සෘජුය. පසුව ඇය තේජානි ගෙනැවිත් දුන් වතුර විදුරුවෙන් අඩක් බීවාය. එක හුස්මටය. ඇය යලිත් ඒ ජායාරූප ය ඇසට ලං කරගත්තා ය. පපුව බර වෙයි. ඇහැ කෙවෙනි බොදවෙයි. අම්මා!
කරදරයක් සේ සිතා හෝ ජීවිතය දුන්නාට ස්තුතියි. ඔයා ලස්සන ට ඉද්දි සැහැල්ලුවෙන් කිරිල්ලියත් වගේ ඉද්දි මං එන්න ඇති ඔයා ගෙ ඇග ඇතුලට.. මං ආවාම ඔයාගෙ ජීවිතය ට බරක් දැනෙන්න ඇති. ඔයා මට වෛර කරන්න ඇති. කිරි නොදී ඉන්න ඇත්තෙ මට ආදරේ නැතුවමද අම්මා! ඇය හිතින් හිතුවාය. කදුලු සටසට ගා ඇහින් වැටිනි. මුවින් එකදු වදනක් හෝ පිට නොවිය.
“ මං අද ඔයාට කෝල් කලෙ මට ඔයා මේ විදියට මෙහෙ එක්කගෙන එන්න ලැබෙයි කියලා හිතලා නෙමෙයි. මට නිකමට මතක් වුනා ඔයාව..” කාව්‍යා ඇගේ උරහිස් පිරි මැද්දාය. තේජානි ඇගේ හිස සිම්බාය.
“ අපි කොච්චර හෙව්වද.. කොහේ ඇත්ද කියලා.. කිපාරක් මතක් කලාද?” තෙජානි කිවාය. “ ඒත් ඔයා හිටියෙ ග්‍රේස් ගාව නම් තාත්තා ඒක දැනගෙන නොහිටියා වෙන්න බැහැ” කාව්‍යාද පුදුමයෙන් සිය මව දෙස බැලුවාය.
“ සීයාපප්පා කිව්වෙ ඔලිව් කියන රෙසිපි එකක් ගැන… මට ඔයාව හොයා ගන්නට පුලුවන් වුනෙ ඔයාගෙ කොෆි ශොප් එකෙන ඔලිව් බෘ කියලා කොපි එකක් දෙනව කියල දැන ගත්තාම…මතකද මං ඒ ගැන ඇහුවා..”
ග්‍රේස් මම්මා තමන්ට ආදරය කලේ … ඇගේ එකම ආදරවන්තයා ගේ මිනිපිරිය තමන් නිසාද? අම්මා වගේ නොහොබිනා හිතුවක්කාර කෙල්ලක වෙතැයි බියෙන් ඇයව ඒ තරම් සංවෘත සමාජයකට පිටත් නොකර ඇයව පරිස්සමෙන් බලා ගත්තාද? නැත්නම් ඇගේ හිතේ තියෙන්නට ඇත්තේ වෛරයක්ද? සීයාට අයිති වස්තුවක් තමන් ලග හදා වඩා ගනිමින් ඔහුගේ ජීවිතය පුරාවේ බියක් කම්පනයක් ඉතිරි කළාය.
තේජානි තමන්ගේ නැගනිය සම්බන්ධයෙන් ඇයට මතක සියලු දේ නොවලහා ඉදිරිපත් කළාය. විටින් විට ඡායාරුපද පෙන්වුවාය.
“ තාත්තාට ග්‍රේස් නෝනව හම්බ වෙලා තිබුනෙ පිටරට ඉගෙන ගනිද්දී, එහෙදි දෙන්නා බොහොම ආදරෙන් ඉන්න ඇති. නමුත් දෙන්නාට කසාද බදින්න බැරි වුනා. ගමේ ගැනු ලමයව බදින්න උනා. ඒ දෙන්න පවුලක් විදියට හොදට හිටියා වුනත්,වෙන ගැනියෙක් එක්ක හිතින් ජිවත් වෙන පිරිමියෙක් එක්ක පවුල් කනේක ලේසි වුනා කියලා මට හිතෙන්නෙ නැ අපෙ අම්මට..
ග්‍රේස අපි අතරට ආවා. නංගිව කොළඹ ඉස්කෝලේ ට දාන්න එක්ක ගියෙ එයා. අම්මා කැමති වුනේම නැ.තාත්තා අම්ම ගෙ හැගිම් ගැන තඹේකටවත් මායිම් කලෙ නැ. නංගි එහෙ ගියාට පස්සේ වෙනස් වුනා. කාටවත් එයාව පාලනය කරන්න බැරි වුනා. දරුවෙක් හමබ වෙන් ඉන්නවා කියලා අපි දැනගත්තෙ එයා පැනල ගියාට පස්සේ .. මදාවි කොල්ලෙක් එක්ක… කිසිම පෑහීමක් නැති මිනිහෙක් . ලස්සන කොල්ලෙක් ..”
සෞමි සුසුමක් හෙලුවාය. ඒ කියන්නේ ඒ මගෙ තාත්තා… එහෙමද ? කාව්‍යා අැගේ හිස අතගැවාය. හිටිහැටියේ අනන්‍යතාව මතුවෙයි. මෙතෙක් කාලයක් ඕපපාතිකයෙකු වු ජීවිතය නිමාවෙයි. ඉතින් මේ ඇය අලුතින් උපදිනවා නෙවෙයිද?
“ එයා පැනල ගියාට පස්සේ ග්‍රේස් එක්ක තාත්තා අමනාප වුණා. තාත්තා හිතන්න ඇති දිල්ශාරාව විනාශ කලෙි ග්‍රේස් කියලා. මං වුනත් එහෙම හිතාගෙන හිටියෙ..මට හිතා ගන්නට බැහැ දිල්ශාරා ඔයාව ලබෙන්න ඉද්දී ග්‍රේස් ගාවට ආවෙ කොහොමද කියලා”
ඒ ඔවුන් දැනසිටියේ නැති කොටසකි.දිල්ශාරා සිය ජීවිතය තුල ගත් වැරදිම තීරණය ගත්තේ එවකට ඇගේ පෙම්වතාව සිටි අපිලිවෙල එහෙත් ලස්සන මතට ලොල්, තරුණයෙකු හා හාද වී පැන යාම බව ඔවුන් විශ්වාස කලහ.එහි වරදක් ද නැත. දෙදෙනාම මරා දමන බව ඔලිවර් ශපත කර තිබිණි. එයින් බේරෙන්න ට පැන යාම එකම විසදුම ලෙස එවකට දාහත් වියැති දිල්ශාරා හිතන්නට ඇත.
යමක් කමක් ඇති පවුලක කෙල්ලක හා පැන යාම තමන්ගේ අනාගතය සමෘද්ධිමත් කරනු ඇතැයි විශ්වාස කරන්න ට ඇතැයි සිතිය හැකි තරුණ මිනිසා ද එයට එකග වන්නට ඇත. ඇත්තටම ඔවුන් දෙදෙනාට ඉන්පස්සේ සිදුවුණේ කුමක්ද කියා දැනගත හැකි සජිවී සාක්ෂි කොතැනද කියා ඔවුන් දැන සිටියේ නැත.
“ ඔයාට දැන් ඔයාගෙ පවුල ලැබිලා තියෙන්නෙ .. කිසිම දේකට බයවෙන්න එපා. ඕනම වෙලාවක ඕනම හේතුවකට අපට කතා කරන්න .. මම නම් කැමති දැන් වුනත් නතර වෙනවා නම්” තේජානි කිවාය. ඇගේ මුහුනේ කිසිදාක නැති තරම් සැනසුමකි. දිල්ශාරා වෙනුවෙන් දානයක් දෙන්නට ඇය දැනටම සුදානම් වෙන්නීය.
“මේ කතන්දර වල ඉතුරු ටික දන්නෙ මම්මාගෙ ඩ්රයිවර්” මේ සියලු දත්ත විශ්ලේෂණය කර අවසානයේ දී කාව්‍යා කිවාය. ග්‍රේස් මේ කතාවේ විලන් ද නැත්නම් හිරොයින් ද? කාගෙන් ද අහන්නෙ ?
“ පවන් ගෙන් අහන්න පුලුවන් වෙයි” සෞමි මෘදු ලෙස කීවාය. කෞශල්‍යා ට මුහුණ දෙන්නේ කෙසේද කියා නොදැන පැරඩයිස් මැදුරෙන් පිටත් වු ඇය එහි ගේට්ටුව අසලින් බැස්සේ පවුලක් විසින් ධෛර්යය දෙන්න ට නියමිත බව නිසැකවය.
“ ගැම්මෙන් ඉන්න.. අපි එක්කන් යනකම්.. කවදාහරි මේ ගෙදර ඔටුනු හිමි කුමාරයගෙ කුමාරි ඔයා. “ කාව්‍යා ඇගේ මුහුණ අතගා කීවාය.
“ ඇත්තටම මට බයයි. පවන් ලංකාවෙ හිටියා නම් එයා හැමදේම බලා ගනිවි..”
හැමදේම හරියාවි!
No comments:
Post a Comment