ටික වෙලාවකින් අමයුරු බලාපොරොත්තු බිඳිලා ගිය බැල්මකින් සුක්කානම තට්ටු කළේ ඉතා දිගු වාහන පෝලිමක බලා සිටිමේ අපහසුතාවය හොඳටම දැනිලා වෙන්න ඇති.
" මේක නම් එපා වෙන වැඩක් ..." මමත් දිගු හුස්මකින් පිළිතුරු දෙනවා ඇරෙන්න කරන්න දෙයක් දැනගෙන හිටියෙ නැහැ . අමයුරුටත් මටත් දඹ වරුසාවක් නිසා එක වාහනයක් ඇතුලෙ එක දිසාවකට යන්න සිද්ධ වුණාට මං දැනගෙන හිටිය විදියට අමයුරු විශ්වයට ලග මිනිහෙක්. තමන්ගෙ විශය ඇතුළෙත් තමන් ගෙ ලෝකය කියවිම ඇතුලෙත් ඒ විශ්වීය කියැවීම නිරන්තරයෙන් දකින්න ලැබුණා.
ආදිත්‍යා කියනිනෙ දඩයම් යුගයෙ ජිවත් වුනා නම් සහජ ඥානය සියුම් ඉව වගේ දේවල් පිහිටලා නැති නිසාම සිංහයා චුයාන්ගම් එකක් වගෙ හපා දාන කෙල්ලෙක් කියලා දිමිත්‍රි කී කතාව මට සිහිපත් වුණා. මං වැඩිය හිතන්න කම්මැලි කෙල්ලෙක්. මට හිතන්න තියෙන සීමාවෙන් පිටත මම විශ්ලේශණය කරනවා ඉතාම අවමයි. හැම වෙලාවකම මම කැමති වෙලා ඉඳලා තියෙන්නේම මගේ පහසු කලාපය ඇතුළෙ ජීවත් වෙන්නයි. ඒ පහසු කලාපය ඇතුළෙ මට මගේ ජීවිතය විනිවිද දකින්න අවස්ථා තිබිලාම නැති වුණත් මට හමුවුණ ටිකිත්ත ජීවිතය කියලා හිතාගෙන මම ජීවත් වෙලා ඉඳලා තියෙනවා.
අලුත් පාළමෙන් පස්සේ ඇත්තටම මංමාවත් තුනී වුණා. ඒ්ත් මෙතෙක් වැහැගෙන වැහැගෙන ගිය නිසා හරි හමන් නගර සැලැස්මක් නැතිව හැමතැනම ගෙවල් හදලා තියෙන පාරක කාණු පද්ධතියට වෙලා තිබුණු සන්තෑසියම හේතුකරගෙන පුංචි පුංචි ගං වතුර තැනින් තැන නිර්මාණය වෙන්න පටන් අරන් ඒ වෙද්දී. මං ජීවත් වෙමින් හිටියෙ උඩු මහලක කුඩා නිදහස් අවකාශයක. වෙහෙසකර දවසක් ගෙවා නිමාකරලා හිතේ සැනසීම සොයාගෙන කැදැල්ල කරා යනවා වගේ මමත් පුරුදු වෙලා හිටියේ මගේම යැයි මට හැගෙන මේ අවකාශයට ඉගිල්ලිලා යන්න. ඒත් මෙහෙම දවස් වලට මේක ඉගිළ යාමක් නෙමෙයි පිහිනීමක් බවට පත් වෙනවා.
" මේ පාරෙ හුගක් දුර යන්නෝනද?"
" නැහ්... අර පේන ගෙදර"
" ඒත් හොඳටම පාර යට වෙලානේ..ආදිත්‍යා"
" පාර පහුගිය ඡන්දෙට කලිනුත් උස්සලා හැදුවනේ.ඉතින් දැන් පාර දෙපැත්තෙ ගෙවල් ඔක්කොම වහිද්දි යට වෙනවා.."
" එහෙනම් ඒ කාලෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හොඳ ගානක් කපා ගන්න ඇති පාර හදලා. ලංකාවෙ වැඩිම කැමැත්තෙන් සිද්ධ වෙන ප්‍රජෙක්ට්ස් තමයි ඒවා.. මොකද ඒවායින් තමයි හොදටම කමිෂන් ගන්න පුලුවන්"
" මම මෙහෙමම ගෙදර යන්නං.. ප්‍රොෆෙස ගෙදර යන්නකො.."
" මම යන්නෙ කොහොමත් වාහනේ නේ ආදිත්‍යා.. මේ දණටත් වඩා යට වෙලා තියෙන වතුරෙ කොහොමද ඔයා යන්නෙ.."
මට මං ගැන ආත්මානුකම්පාව කියනෙක දැනෙනවා අඩුයි. එහෙම වෙන හැම වෙලාවකම මට හිතෙනවා. ආදි මේ තමයි ඔයාගෙ ජිවිතේ පහසුව හොයාගෙන ගිහින් ඔයා ලබා ගත්ත දේ කියලා..ඇත්තටම ඒකෙ කිසිම වරදකුත් නෑ. දිමිත්‍රි කියන්නෙ නරක මිනිහෙක් නෙමෙයි. ඇත්තටම ආදරේ කරන්න නොදැන හිටියාට දිමිත්‍රි ඇතුළෙ ආදරණීය මිනිහෙකු හිටියෙ නෑ කියලා කොහොමත් හිතන්න බැ. ඉතින් මේ තත්පරේ ඇත්තටම මට මං ගැන දුක හිතෙමින් තිබුණා. ශක්තිවන්ත ස්වාධීන ගැහැනු විදියට තමන් විසින්ම අළවා ගෙන ඉන්න පැලැස්තරේ කොන් වලින් ගැළවෙමින් තිබුණා.
" අනේ ඒකට කමක් නෑ ප්‍රොෆෙසර් මට පුලුවන් මේ ටික දුර යන්න"
" එහෙම නෙමෙයි, ඔයා අකමැති නැත්නම් අපි මෙහෙම කරමු. මට හොඳටම බඩගිනි.. අපි මේන් රෝඩ් එකට ගිහින් රෙස්ටොරන්ට් එකකින් ඩිනර් ගමු. ඒ වෙද්දි මේ වතුර ටික අඩු වෙයි"
මට එහෙම බොහොම හැදියාවකින් යුක්ත ආරාධනාවක් ප්‍රතික්ෂේප කරන්න තරම් අධිතක්සේරුවක් මං ගැන තිබුණෙ නැහැ ඇත්තටම. මම හිස සෙලෙව්වා. අමයුරු වාහනය හරවා ගනිමින් ඔහුට පුරුදු ඇති කියලා මට හිතුණු ෆැමිලි රෙස්ටොරන්ට් එකක ට පදවාගෙන ගියා.
ඉඳගන්න පුටුව පසෙකට කරලා දෙන අතරම හරිම ප්‍රසන්න හිනාවකින් ඔහු මං ඉදිරියෙන් ඉඳගත්තා. කන්න කැමති බොන්න කැමති මොනවද කියලා කිසිම දෙයක් නොදන්න මිනිස්සු විදියට අපි දෙන්නා වෙන වෙනම ඇණවුම් කළා. ඒකට සම්පුර්ණ නිදහස තිබුණු එක ඒ මොහොතේ හැටියට නම් පහසුවක් වුණා. ඒ අතරතුර කාලයේ දී අපි මේ ඉන්ටනැශනල් සිම්පෝසියම් ඉතිහාසයත් මුල්ම කාලේ අපේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්නට තිබුණු වේදිකා අඩුකම වගේ මාතෘකා ගැන කතා කළා.
" ඇයි ඔයා වැඩිදුර ඉගෙන ගන්න අකමැති?"
අමයුරු බොහොම තීරණාත්මක බැල්මකින් මදෙස බලා ඇහුවා. මම දෙවුර සෙළෙව්වා. මම ස්වභාවයෙන්ම ඉගෙන ගන්න කම්මැලි මනුශ්‍යයෙක්. මට මේ ලාබාල මහාචාර්යවරයා ඉදිරියේ ඒ වාක්‍යය නොකියා ඉන්න පරෙස්සම් විය යුතුයිද?
" මට කම්මැලි හිතුණා."
නැහැ. මම කිසිම අරපරෙස්සමක් නැතුව ඔහු ඉදිරියේ ඒ වචන ටික කියා දැමුවා. නොබියව එහෙම කිව් විලාසය නිසාමද මන්දා අමයුරු ගේ මුහුණට කිසිම ආයාසයකින් තොර සිනාවක් නැඟුණා. ඒක ඇත්තටම හරිම කිවුට් හිනාවක්. පින්තුරයක් ෆේස්බුක් දැම්මා නම් වෛරල් වෙන තරමේ හුරතල් කන්දරාවක් ඒ හිනාව ඇතුළෙ.
" ඒකටත් ඉතින් අයිතියක් තියෙනවා මනුස්සයෙක් වුණාම"
" කෝකටද?"
" කම්මැලි වෙන්න... අකැමති දේවල් නොකර ඉන්න"
මම හිනා නොවී බලා හිටි හින්දා අමයුරු මං දිහා බරපතල බැල්මක් බැලුවා.
" හැබැයි කවදාවත් කැමති දෙයක් වෙනුවෙන් කම්මැලි වෙලා ඒ දේ නොකර ඉන්න එපා.ඒක තමන්ට කරගන්න ලොකු අපරාධයක්.. දවසක හෘද සාක්ෂිය අනිවාර්යෙන්ම තමන්ව අපරාධකාරයෙක් කරනවාමයි එහෙම වුනොත්"
ඒක ටිකක් සැර අධි මාත්‍රාවක්. කළවම් නොකර බීපු සැර බීමක් වගේ. අපි ආපහු එනාතරතුර වාදනය වෙමින් තිබුණේ... රුදුරු තුරු වදුලේ ... අපි අතරෙ කතාබහක් තිබුණේම නැති වුණාට අමයුරු හිටියෙ හිතින් කොහෙදෝ දුරක අතරමං වෙලා යාන්තමට ගීතයේ වචන මුමුණන ගමන්...
ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ!




