Tuesday, November 25, 2025

වැහි සමයට මිහිර මවන චන්ද්‍රිකාව

චන්ද්‍රිකා වැව පිහිටා තිබෙන්නේ ඇඹීලිපිටිය මාතර ප්‍රධාන මාර්ගය අසල ඇඹිලිපිටිය නගරයට කිලෝ මීටර් කිහිපයක් දුරින්. ඇත්තෙන්ම ඇඹිලිපිටිය නගරය මෙන්ම ඒ අවට කෙත් බිම් සියල්ල සාරවත් වන්නේ චන්ද්‍රිකා වැව් දියවරෙන්. චන්ද්‍රිකා වැවේ ඉතිහාසය පිලිබඳ සොයා බලද්දී 1956 දී පිහිටුවන ලද ඒස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ රජයේ පළමුවෙනි වාරි ව්‍යාපෘතිය ලෙස සටහන් වන්නේ මෙම ව්‍යාපෘතියයි. 


ස්වභාවයෙන්ම වියළි කලාපයට අයත් ඇඹිලිපිටිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ජීවත් වන්නේ කෘෂි කර්මාන්තය සිය ජීවිකාව බවට පත් කරගත් මිනිසුන්. මේ ප්‍රදේශයට වසරේ වැඩි කාලයක් පවතින්නේ අවම වර්ෂාපතනයක් වන බැවින් ඊට පිළයමක් වශයෙන් වලවේ ගඟෙහි දකුණු ඉවුරේ අතු ගංගාවක් වන හුලංදාව ඔය හල්මිල්ලකැටිය ප්‍රදේශයේදී වේල්ලක් බැඳ හරස් කර චන්ද්‍රිකා වැව තැනීමට කටයුතු කර තිබෙනවා. 


මෙම වේල්ල ඉදිකිරීමට මුල් ගල තබා ඇත්තේ 1957 ඔක්තෝබර් 07 වනදා වන අතර වැවෙහි ධාරිතාව අක්කර අඩි 22000ක් වනවා. වේල්ල කිලෝ මීටර් 2.5 දිගකින් සමන් විත වන අතර ඒහි උස මීටර් 19.20 ක්. මේ ව්‍යාපෘතියට සබැඳිව ගොවි ජනපදයක් පිහිටුවීමට ඒවක රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම අලුත් ගොවි ජනපදයහි අක්කර 5000ක භුමියක ගොවි පවුල් 1800ක් පදිංචි කිරීමෙන් පසු කුඹුරු අක්කර 15000ක් පමණ අස්වද්දා තිබෙනවා.





මෙම ව්‍යාපෘතියට ඒ කාලයේ වැයවී තිබෙන මුලු මුදල වශයෙන් දැක්වෙන්නේ රුපියල් 12,500,000 ක් ලෙස සැලකෙනවා. චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය මගින් වලවේ ගංගා ධාරය‌ේ වෙසෙන ගොවි ජනපද වල මිනිසුන්ගේ ජීවිත සමෘද්ධිමත් වී ඇති ආකාරය ඉතිහාසය පිලිබඳ සොයා බලන විට දකින්නට පුලුවන්. 

1950 දශකයේදී නොදියුණු ජනගහණයකින් යුක්ත ජීවත් වීමට නොසුදුසු පළාතක් ලෙස සැලකුණු කොලොන්න කෝරළය අද වන විට ඉතා දියුණු පහසුකම් සහිත දියුණු මිනිසුන්ගෙන් සමන්විත ප්‍රදේශයක් බවට පත්වීමට මෙවැනි වාරි ව්‍යාපෘති හේතුවෙන් ශක්තිමත් වු ආර්ථික තත්වයත් එක් හ‌ේතුවක් වී ඇති බව නොඅනුමානයි. 

වැසි වසින කාලයට වාන් දමා උතුරන චන්ද්‍රිකා වැව් කොමළිය සංචාරක ආකර්ශනය නොඅඩුව දිනා ගන්නා ස්ථානයක් වී තිබෙනු දැකිය හැකියි. 

No comments:

Post a Comment

වැහි සමයට මිහිර මවන චන්ද්‍රිකාව

චන්ද්‍රිකා වැව පිහිටා තිබෙන්නේ ඇඹීලිපිටිය මාතර ප්‍රධාන මාර්ගය අසල ඇඹිලිපිටිය නගරයට කිලෝ මීටර් කිහිපයක් දුරින්. ඇත්තෙන්ම ඇඹිලිපිටිය නගරය මෙන්...