Thursday, December 18, 2025

මගේ පුනරුද කලාපය 08


 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කිසිම බරක් පතලක් නැතිව හුදකලාව ඉදිද්දී පවා මේ වගේ රිදුම් දැනෙමින් තිබුණා. මම සුපුරුදු විදියට කාර්යාලයට ගිහින් වැඩ කරමින් ඉන්නා වෙලාවක උඩු මහලේ එහෙමෙහේ ඇවිදිද්දී ගරාදි වැටෙන් යාන්තම් ඇස් පහලට යවලා රිසර්ච් ෆෙලෝව් ගේ කාර්යාල කාමරයේ විදුලි පහන් දැල්වෙනවාද කියලා බලන්න උවමනාව තදින් තිබුණා. එහෙම කරපු හුගක් දවස් වල නම් ඒ විදුලි පහන හැමවෙලාවෙම තිබුණෙ නිමා දමලා.

සිගිති විදුලි බල්බයකින් ආලෝකමත් වෙන්න බලන් හිටිය පටු කාමර අවකාශයක් වගේ .තිබුණු හදවත එක වරම ජනේල කවුලු වහාගෙන මුළුගැන්වුනා වගේ. මේ වගේ මනරම් මනමාලකම් පාන්න මගේ හදවත සැදී පැහැදී ඉන්නා බව දැනගෙන ඉන්න එකම ලංකා වාසියා මම විම ගැන මට සතුටු හිතුණා. නැත්නම් මෙහේ තැන තැන කටුකුටු ගාන මාතෘකාවක් වෙන්න මට සිද්ධ වීම නම් වලක්වන්න අසීරුයි. 

දවස් ගණනාවක්ම අමයුරු ආව‌ෙ නැහැ. ඒ ගැන අපේ සිම්පෝ්සියම් එක භාරව වැඩ කටයුතු කරපු පුස්තකාලාධිපතිතුමිය නම් සෑහෙන්නම අප්‍රසාදයකින් හිටි පාටයි. 

" මේ අමයුරු වගේ ලාබාල මිනිස්සු එක්ක වැඩ කරනෙක හරිම කරදරයි. මේ මං කරන කිවෙනි සිම්පෝසියම් එකද? මේ වගේ ෆෙලෝව් කෙනෙක් නම් කවදාවත් අපි එක්ක වැඩ කරලා නැහැ.. ආදී..." ඇය අවසානයට මගේ නම කීවේ මං ටිකාක් එහායින් ඉද්දී. 

" ඔයාට මතකද ආදී. අපි ටාජ් එකේ සිම්පෝසියම් එක කරද්දී හිටපු ෆෙලෝව්. ඇත්තටමයි ආස හිතෙනවා ඒ මිනිස්සු එක්ක වැඩ කරද්දී.." මම ඇගේ කතාවට එකග වුණා. මිස් හෙලන් කියන කතාව ඇත්ත. ප්‍රොෆෙසර් අමයුරු මීට වඩා අපි ගැන හිතන්නෝන. 

" ප්‍රොෆෙස අමයුරුගේ ෆැමීලි එකත් ලංකාවෙ නැහැන‌ෙ.. එයා උත්සාහ කරන්නේ මෙහෙ වැඩ ටික ඉවර වුණු ගමන් එයාලා ලගට යන්න" මිස් හෙලන් එක්ක රිසර්ච් තෝරාගන්න උදව් කරන්න ආපු සහකාර කථිකාචාර්යවරියක් කිව්වේ මං දිහාත් බලා හිනාවෙන ගමන්. අපි හුගක් හෙමින් වැඩ කරමින් හිටියේ.  හැන්දෑවේ අනිත් අය කාර්යාලිය පැය ගණන හමාර කරායින් පස්සේ මම මගේ අත් බෑග් එකට පුංචි කුඩේ නවලා දමා ගනිමින් හිටියේ. 

කොහොමටවත් බලාපොරොත්තු නොවු මොහොතක මගේ කාර්යාල කාමරයේ දොර මඳක් ඇතුළට තල්ලු වුණා. ඉතා සෙමින් දොරත් එක්ක අමයුරු එබුනා. යාන්තමට කන්පෙති අද්දරින් සුදු වෙච්ච මනාව නඩත්තු වෙන කැපුණු හිසකේත් කම්මුල් වසා ගත් රිදි සහ සුදු පැහැති රැවුල් ගස් එක්ක ගොඩ නැගුණු පරිණත වීමේත් දඩබ්බර වීමේත් එකතුවක් දිස්වුණා. 

" ආදිත්‍යා, ඔයාට මිස් හෙලන් මට දෙන්න කියලා ෆයිල් එකක් දුන්නාද?" ඒක අනිවාර්යෙන්ම බොරු හේතුවක්. මිස් හෙලන් කවද කවදාවත් අමයුරුට දෙන්න කියලා කිසිවක්ම මට දෙන්නෙ නැහැ. 

" අහ්.. නැහැ.. නැහැ ප්‍රොෆෙසර්... ඒත් මට පුලුවන් එයාගෙ මේසෙ උඩ බලන්න"

" ආ.. එහෙමද?" මවාගත් අපුරු වෘත්තිය භාවයකුත් එක්ක හිස දෙපස සොලවලා නළල රැළි කරපු මහාචාර්යවරයා ඒ බැල්මට කොහොමටවත්ම ගැළපෙන්නේ නැති අපුරු හිනාවකට කම්මුල් එහෙමෙහෙ කළා. මට හිතාගන්න බැරිව හිටියේ මම ඒ හිනාවට කොහොමද ප්‍රතිචාර දක්වන්න ඔ්නෙ කියලා." 

" අද වහින්නේ නම් නැහැ ආදිත්‍යා. ඒත් මම දැන් ඒ ෆයිල් එක අරගෙන කිරිබත්ගොඩ යනවා. ඔයාත් ඒ පැත්තට නම් යන්නේ මා එක්ක යන්න පුලුවන්" ඒ අපි දෙන්නාට විතරක් පෞද්ගලික වු දෙබසක්. අහං ඉන්න කවුරුවත් නැති බව හොඳටම දැනගෙන කිවු කතාවක්! එහෙමත් නැත්නම්, ඒ කතාව කියන්නටම හිතාගෙන මේ උඩු මහලට ආ ගමනක්. 

අමයුරු ගේ අඩිහඩත් මැකී ගියාට පස්සේ මම තරමක් චකිතයට පත් වෙලා හිටියේ. මේ ආරාධනාව පැහැදිලියි. අද වහින්නේ නැති දවසක්. අමයුරු කියන්නේ අදත්මාව ඇරලවීම වෙහෙසකින් තොරව කරන්නට පුලුවන් කියලා යි. ජිවිතේ ගැන වැඩිය හිතන්නෙපා ආදිත්‍යා. මේ තත්පරේ ගැන විතරක් හිතන්න. උපනන්ද තව ඉතාම කෙටි වෙලාවකින් මේ ලී තරප්පු පේළිය නැගලා ඇවි්ත් මිස් දැන් යන්න වෙලාව හරි නේද කියලා අහනවා නිසැකයි. 

ඉතින්, මම හෙමින් මගේ අත් බෑගය වහන අතරේ පහළට බසිමින් හිටියා. කල්පනා රලු පොරෝණාවක් වගේ මා වසා ගෙන හිටි හින්දාද මන්දා හරි හෙමින් මං ඇවිද්දේ. 

" ඔයා ඔඩෙල් එකෙන් ඉන්නවාද එහෙනම්?" තමන්ගේ කාමරයේ දොර අද්දරදි මුහුණට මුහුණ හමුවු අමයුරු එහෙම කීවා. ඒ සමස්ත චිත්‍රයම පැහැදිලිව කියවා ගත් සළකුණුයි. හාත් නොකියා බැහැත් නොකියා වෝඩ් පෙදෙස පියමන් කරගෙන එමින් හිටි මගේ හිත දෙපිලකට බෙදී සටන් කරමින් සිටියා. එක් පසෙක හිදි ම‌ගේ සිතුවිලි කෑ කෝ ගසමින් මට කීවේ මේ මෝඩ වැඩ නොකර පාඩුවේ ගෙදර පලයං ආදිත්‍යා කීවා. ඊට සහයෝගය දක්වන්නට වගේ දහසකුත් හේතු කීවා. ඉතින් අනික් පසේ සිටි සිතුවිලි ඊට දෙවෙනි වෙයි කියා හිතනවාද? 

ඒවා ඊට වඩා පක්ෂපාති කරුණු දක්වන්නට පටන් ගත්තා. අමයුරු වගේ දැනුවත් කෙනකු ඇසුරු කිරීමෙන් ආදිත්‍යාට වරදිනවානම් වරදින්න පුලුවන් කොහොමද ඒවා වරදින්න කාරණාද වගේ අනන්තයක් හේතු ලිප්ටන් වටරවුම වටේ දරණ ගැහිලා. මම නොදැක්කා වගේ නිශ්ශබ්දව ගිහින් ඔඩෙල් එකේ පිවිසුමෙන් ඇතුල් වුණා. මේ ඇතුල්වීමේ පළවෙනිම කාරණාව ඉතින් මම කිසිම කොන්දේසියකින් තොරව කිරිබත්ගොඩ යන්න‌ේ අමයුරු සමග එක වාහනයක වීමයි.


Saturday, December 6, 2025

මගේ පුනරුද කලාපය 07



 අපි ආපහු ඒද්දී වතුර බැහැගෙන ගිහින් තිබුණා. යාන්තම් පා ඇගිලි තෙමුණා විතරයි. මම අමයුරුට සුභ රාත්‍රියක් එහෙම කියලා මගේ පුංචි ලෝකයට පිවිසුණා. මේ මගේ පුංචි ලෝකය තුලට මම පිවිසෙද්දී මට තිබුණේ ප්‍රේමයෙන් වගේම සතුටිනුත් විනිර්මුක්ත වු හෘදයක්. ඇත්තෙන්ම කියනවා නම් නිදහස විතරමයි මට දැනෙමින් තිබුණේ. දිමිත්‍රිට මගේ විවාහයෙන් වෙන් වෙන්න උවමනා වුණේම වෙනත් කෙල්ලක් නිසාය කියන කාරණාව ඇතුලෛ්දී ගැහැනියක් විදියට මගේ ඊගෝව තදින් රිදෙමින් තිබුණා. මම මොහොතකට නතරවී කල්පනා කළේ ඇයි මම එතෙක් දිමිත්‍රි එක්ක ජීවත් වුණේ කියලා. එහෙත් මොකක් හෝ හේතුවක් මත මම හිතන්නේ මම විශ්වාස කරමින් ඉන්න ඇති තවදුරටත් අපි දෙන්නා අතරෙ සියල්ල හොඳින් සංවිධානය වෙලා නැවත ගොඩ නැගිමක් ඇති වේවියි කියලා. ඒත් අද වුණත් මොහොතකට මට වද දෙන ඊගෝමය සිතුවිල්ල ඌ උඹ වෙනුවට වෙන කෙනෙක් තෝරගන්න කලින් උඹට තිබුණේ වෙන්වෙන්න ආදිත්‍යා කියනෙකයි. 

ගැහැනු එහෙම විය යුතුයි කියලා දෙයක් නෑ.ගැහැනියට ගැහැනියක් වෙනස්. මේක ගැහැනියටම ලඝු කරනෙකත් වැරදියි. මනුස්සයෙක් කියලා හිතන්න පටන් ගත්තාම පහසුයි. ගැහැනු වුණත් පිරිමි වුණත් මේක සිද්ධ වෙන්න පුලුවන් කාරණයක්. මම ඒ වෙද්දි මිනිස්සු විශ්වාස කරන එක නතර කරන්න තීරණයක් අරන් තිබුණෙ. මට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා මිනිස්සු කියන්නෙ තමන් ගෙ ඒ් ඒ් මොහොතේ තියෙන පසුබිම සහ ඒ ඒ මොහොතෙ තමන් මුහුණ දෙන අවස්ථා වගේම අභියෝග එක්ක වෙනස් වෙන සත්ව කොට්ඨාසයක් බව. ඒ වගේමයි කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගේ මේ හැසිරීම කලින් උපකල්පනය කරන්න බැරි බව. මේ සියළු ගතිගුණ හරියටම මැන ගන්න නම් ඒ සඳහා ඉතාම සංකිර්ණ අවස්ථා වලදී ඒ ඒ මිනිසා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියනෙ එක මැන බැලිය යුතු බව. 

මිනිස්සු විශ්වාස කිරීමත් ආදරය විශ්වාස කිරීමත් දෙකක්ද? එකක්ද ? මම නම් මිනිස්සු විශ්වාස කිරිම අත් හැරිමට සමපාතව ආදරය විශ්වාස කිරිමත් අත් ඇරලා හිටියේ. මට හිතුණේම ආදරය කියන්නේ යුගයෙන් යුගයට මිනිස්සුන්ට උවමනා වෙන අත්ඇරෙන යමක් විදියට. ආදරය නැතුව මනුස්සයෙක්ට ජීවත් වෙන්න බැරිද? ඇයි බැරි? මේ මම ඉන්නේ සජීවී උදාහරණයක් විදියට! 

කොහොම උනත් මගේ පුංචි ලෝකය ඇතුළේ මම තනිකම ප‌්‍රේමකරන්නට පුරුදු වෙලා හිටියා.එදා රාත්‍රියේදී මට දැනුණේ මොකක්ද මන්දා අසම්පුර්ණත්වයක් මාව වටේ ප්‍රාකාරයක් නිර්මාණය කරගෙන ඉන්නවා වගේ. ටිකක් ඉන්න.. නැ. දෙයියනේ ඒක කොහොමටවත්ම මට දැනෙන්න එපා

මට අමයුරු ගැන මොකක්ම හරි දැනෙනවද? වැස්සක් අස්සේ ඒ සී වාහනේක ආ පමණින් මිනිහෙක් ගැන හැගීමක් ඇතිවෙන්න තරම් උඹ නම් දුර්වලයෙක් වෙන්න බැහැ. මම මටම කීවා. ඒත් ඒ රාත්‍රිය වෙනස් මට අකීකරු වෙච්ච මගේ හිත අමයුරු ගැන හොයන්න තියෙන හැම සමාජමාධ්‍ය ගිණුමකම අමයුරුව හොයන්න පෙළඹුනා. අවසානෙටම ඒකින් ඒක ට සම්බන්ධ වෙච්ච තැන් හොයාගෙන හොයා‌ගෙන ගිහින් එක තැනකදී අමයුරු ඔහුගේ බිරිඳ හා දරුවා එක්ක ඉන්න ජායාරුපයක් මට හොයාගන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගැන මට මුලින් දැනුණේ තැතිගැන්මක්. පසුව සතුටක්. ඒ දෙකටම හේතුව මට හොයා ගන්න පුලුවන් වුණේම නැහැ. මොනවා වුණත්  වෙන ගෑනියෙක්ට දරුවෙක්ට අයිති මිනිහෙක්ට ආදරයක් වගේ දෙයක් නම් මගේ හිතට ඇති වෙන්න එපා. මගේ කසාද මනුස්සයාට වෙන ගැනියක් අයිතිවාසිකම් කියද්දී මට දැනුණ වේදනාව මගේ අතින් වෙන කිසිම කෙනෙක්ට දැනෙන්න නම් මං ඉඩ තියන්නෙ නැ.

රැ තිස්සෙ ඇහැරගෙන පිරිමි ගැන හිත හිත ඉන්න ඇත්තටම උඹට පිස්සුද? තනි මම, මගෙන් ඇහුවා නම් කමක් නැ. ඒක මගෙන් ඇහුවෙ තාම කසාද බදින්න හිතලවත් නැති දැන් කැනඩාවෙ ජිවත් වෙන මගේ බෙස්ටි.. කැම්පස් එකේ හොද රිසල්ට් එකක් දාලා ඒ දවස් වලම ශිෂ්‍යත්වයකට රට යද්දිවත් ලංකාවෙ කොල්ලෙක් ගැන කිසිම හැඟීමක් තිබුණෙ නැහැ නෙතුනි ට. දැන් එහෙ හොදම ස්ථාවරයක් ගොඩ නගා ගෙනත් තනිකඩ ජිවිතේ තමයි හොදම කියලා ඒයාට හිතෙනවාලු.

" අනේ මේ නිකා හිටපං බං.. උඹ පණ වගේ ආදරේ කරපු මිනිහත් වෙන එකියක් එක්ක ගියාට පස්සෙ ආයෙමත් මිනිස්සු විශ්වාස කරන්න පුලුවන්ද බං.. මං නම් කියන්නෙ අපි කාගෙවත් ජිවිත වල අම්බලම් වෙන්නෝන නැ.අව්ව‌ට වැස්සට අහුවෙලා ආවාම හෙවණ දීලා ආයෙ පෑව්වාම යන්න දෙන" නෙතුනි කිව්වෙම එහෙම. සමහරවිට මේ මොහොතේ මගෙ හිත හදන්න කිව්වද නැත්තම් ඇත්තටම එයාගෙ අදහස ඒකමද කියලා මට හිතාගන්න අසීරුයි. 

මම මං ඇතුළෙ මටහොරෙන් රස්තියාදු ගහන්න පටන් ගත්තු පිරිමියාව හිතින් ඇදලා දැම්මා අහකට. මමයි කියල වෙන මොනවා කරන්නද? මං නින්ද නොයන කාලේ ගත්ත බෙහේත පෙති කීපයක් තාම මං ගාව තියනවා. සාමාන්‍යයෙන් නින්ද එන්නෙම නැති කාරණා හිත ඇතුළෙ ජිමිනාස්ටික් ගහන දවස් වලට මං එයින් පෙත්තක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මෙහෙම කාරණා වලට මං හිත ඇතුළට පහසුවෙන් එන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒ. වුනාට මේ වෙද්දි එහෙමත් දේවල් සිද්ධ වෙලා. 

ලියද්දී පහසුවෙන් ලියාගෙන ගියාට මම දන්නෙ නෑ පිටස්තර කෙනෙක් මේක කියවලා මොන විදියෙ විනිශ්චයකට ඒවිද කියලා. මේක ආදිත්‍යා ගෙ ආත්ම කතනය නිසා මම ඒ ගැන කිසිම විදියකින් දුකකට පත්වෙන්නෙත් නැහැ. මිනිස්සුන්ගේ විනිශ්චයන් වලින් පීඩාවට පත් නොවෙන්න වගේම ඒවා තඹ දොයිතුවකට මායිම් නොකරන්නත් මම පහුගිය කාලෙ ඉගෙන ගෙන තිබුණා. 

මගේ පුනරුද කලාපය 10

 " හ්ම්ම්... ඇබ්බැහි කියන්නේ නම් කරුමයක්.. ආදිත්‍යා.. ඒක හරිම භයානකයි. ඔයා එයාට බැඳෙන්නෙ ආදරෙන් නම් ඒක යටිහිතේ තැන්පත් වෙලා හරි මතුපිටි...