ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කිසිම බරක් පතලක් නැතිව හුදකලාව ඉදිද්දී පවා මේ වගේ රිදුම් දැනෙමින් තිබුණා. මම සුපුරුදු විදියට කාර්යාලයට ගිහින් වැඩ කරමින් ඉන්නා වෙලාවක උඩු මහලේ එහෙමෙහේ ඇවිදිද්දී ගරාදි වැටෙන් යාන්තම් ඇස් පහලට යවලා රිසර්ච් ෆෙලෝව් ගේ කාර්යාල කාමරයේ විදුලි පහන් දැල්වෙනවාද කියලා බලන්න උවමනාව තදින් තිබුණා. එහෙම කරපු හුගක් දවස් වල නම් ඒ විදුලි පහන හැමවෙලාවෙම තිබුණෙ නිමා දමලා.
සිගිති විදුලි බල්බයකින් ආලෝකමත් වෙන්න බලන් හිටිය පටු කාමර අවකාශයක් වගේ .තිබුණු හදවත එක වරම ජනේල කවුලු වහාගෙන මුළුගැන්වුනා වගේ. මේ වගේ මනරම් මනමාලකම් පාන්න මගේ හදවත සැදී පැහැදී ඉන්නා බව දැනගෙන ඉන්න එකම ලංකා වාසියා මම විම ගැන මට සතුටු හිතුණා. නැත්නම් මෙහේ තැන තැන කටුකුටු ගාන මාතෘකාවක් වෙන්න මට සිද්ධ වීම නම් වලක්වන්න අසීරුයි.
දවස් ගණනාවක්ම අමයුරු ආවෙ නැහැ. ඒ ගැන අපේ සිම්පෝ්සියම් එක භාරව වැඩ කටයුතු කරපු පුස්තකාලාධිපතිතුමිය නම් සෑහෙන්නම අප්‍රසාදයකින් හිටි පාටයි.
" මේ අමයුරු වගේ ලාබාල මිනිස්සු එක්ක වැඩ කරනෙක හරිම කරදරයි. මේ මං කරන කිවෙනි සිම්පෝසියම් එකද? මේ වගේ ෆෙලෝව් කෙනෙක් නම් කවදාවත් අපි එක්ක වැඩ කරලා නැහැ.. ආදී..." ඇය අවසානයට මගේ නම කීවේ මං ටිකාක් එහායින් ඉද්දී.
" ඔයාට මතකද ආදී. අපි ටාජ් එකේ සිම්පෝසියම් එක කරද්දී හිටපු ෆෙලෝව්. ඇත්තටමයි ආස හිතෙනවා ඒ මිනිස්සු එක්ක වැඩ කරද්දී.." මම ඇගේ කතාවට එකග වුණා. මිස් හෙලන් කියන කතාව ඇත්ත. ප්‍රොෆෙසර් අමයුරු මීට වඩා අපි ගැන හිතන්නෝන.
" ප්‍රොෆෙස අමයුරුගේ ෆැමීලි එකත් ලංකාවෙ නැහැනෙ.. එයා උත්සාහ කරන්නේ මෙහෙ වැඩ ටික ඉවර වුණු ගමන් එයාලා ලගට යන්න" මිස් හෙලන් එක්ක රිසර්ච් තෝරාගන්න උදව් කරන්න ආපු සහකාර කථිකාචාර්යවරියක් කිව්වේ මං දිහාත් බලා හිනාවෙන ගමන්. අපි හුගක් හෙමින් වැඩ කරමින් හිටියේ. හැන්දෑවේ අනිත් අය කාර්යාලිය පැය ගණන හමාර කරායින් පස්සේ මම මගේ අත් බෑග් එකට පුංචි කුඩේ නවලා දමා ගනිමින් හිටියේ.
කොහොමටවත් බලාපොරොත්තු නොවු මොහොතක මගේ කාර්යාල කාමරයේ දොර මඳක් ඇතුළට තල්ලු වුණා. ඉතා සෙමින් දොරත් එක්ක අමයුරු එබුනා. යාන්තමට කන්පෙති අද්දරින් සුදු වෙච්ච මනාව නඩත්තු වෙන කැපුණු හිසකේත් කම්මුල් වසා ගත් රිදි සහ සුදු පැහැති රැවුල් ගස් එක්ක ගොඩ නැගුණු පරිණත වීමේත් දඩබ්බර වීමේත් එකතුවක් දිස්වුණා.
" ආදිත්‍යා, ඔයාට මිස් හෙලන් මට දෙන්න කියලා ෆයිල් එකක් දුන්නාද?" ඒක අනිවාර්යෙන්ම බොරු හේතුවක්. මිස් හෙලන් කවද කවදාවත් අමයුරුට දෙන්න කියලා කිසිවක්ම මට දෙන්නෙ නැහැ.
" අහ්.. නැහැ.. නැහැ ප්‍රොෆෙසර්... ඒත් මට පුලුවන් එයාගෙ මේසෙ උඩ බලන්න"
" ආ.. එහෙමද?" මවාගත් අපුරු වෘත්තිය භාවයකුත් එක්ක හිස දෙපස සොලවලා නළල රැළි කරපු මහාචාර්යවරයා ඒ බැල්මට කොහොමටවත්ම ගැළපෙන්නේ නැති අපුරු හිනාවකට කම්මුල් එහෙමෙහෙ කළා. මට හිතාගන්න බැරිව හිටියේ මම ඒ හිනාවට කොහොමද ප්‍රතිචාර දක්වන්න ඔ්නෙ කියලා."
" අද වහින්නේ නම් නැහැ ආදිත්‍යා. ඒත් මම දැන් ඒ ෆයිල් එක අරගෙන කිරිබත්ගොඩ යනවා. ඔයාත් ඒ පැත්තට නම් යන්නේ මා එක්ක යන්න පුලුවන්" ඒ අපි දෙන්නාට විතරක් පෞද්ගලික වු දෙබසක්. අහං ඉන්න කවුරුවත් නැති බව හොඳටම දැනගෙන කිවු කතාවක්! එහෙමත් නැත්නම්, ඒ කතාව කියන්නටම හිතාගෙන මේ උඩු මහලට ආ ගමනක්.
අමයුරු ගේ අඩිහඩත් මැකී ගියාට පස්සේ මම තරමක් චකිතයට පත් වෙලා හිටියේ. මේ ආරාධනාව පැහැදිලියි. අද වහින්නේ නැති දවසක්. අමයුරු කියන්නේ අදත්මාව ඇරලවීම වෙහෙසකින් තොරව කරන්නට පුලුවන් කියලා යි. ජිවිතේ ගැන වැඩිය හිතන්නෙපා ආදිත්‍යා. මේ තත්පරේ ගැන විතරක් හිතන්න. උපනන්ද තව ඉතාම කෙටි වෙලාවකින් මේ ලී තරප්පු පේළිය නැගලා ඇවි්ත් මිස් දැන් යන්න වෙලාව හරි නේද කියලා අහනවා නිසැකයි.
ඉතින්, මම හෙමින් මගේ අත් බෑගය වහන අතරේ පහළට බසිමින් හිටියා. කල්පනා රලු පොරෝණාවක් වගේ මා වසා ගෙන හිටි හින්දාද මන්දා හරි හෙමින් මං ඇවිද්දේ.
" ඔයා ඔඩෙල් එකෙන් ඉන්නවාද එහෙනම්?" තමන්ගේ කාමරයේ දොර අද්දරදි මුහුණට මුහුණ හමුවු අමයුරු එහෙම කීවා. ඒ සමස්ත චිත්‍රයම පැහැදිලිව කියවා ගත් සළකුණුයි. හාත් නොකියා බැහැත් නොකියා වෝඩ් පෙදෙස පියමන් කරගෙන එමින් හිටි මගේ හිත දෙපිලකට බෙදී සටන් කරමින් සිටියා. එක් පසෙක හිදි මගේ සිතුවිලි කෑ කෝ ගසමින් මට කීවේ මේ මෝඩ වැඩ නොකර පාඩුවේ ගෙදර පලයං ආදිත්‍යා කීවා. ඊට සහයෝගය දක්වන්නට වගේ දහසකුත් හේතු කීවා. ඉතින් අනික් පසේ සිටි සිතුවිලි ඊට දෙවෙනි වෙයි කියා හිතනවාද?
ඒවා ඊට වඩා පක්ෂපාති කරුණු දක්වන්නට පටන් ගත්තා. අමයුරු වගේ දැනුවත් කෙනකු ඇසුරු කිරීමෙන් ආදිත්‍යාට වරදිනවානම් වරදින්න පුලුවන් කොහොමද ඒවා වරදින්න කාරණාද වගේ අනන්තයක් හේතු ලිප්ටන් වටරවුම වටේ දරණ ගැහිලා. මම නොදැක්කා වගේ නිශ්ශබ්දව ගිහින් ඔඩෙල් එකේ පිවිසුමෙන් ඇතුල් වුණා. මේ ඇතුල්වීමේ පළවෙනිම කාරණාව ඉතින් මම කිසිම කොන්දේසියකින් තොරව කිරිබත්ගොඩ යන්නේ අමයුරු සමග එක වාහනයක වීමයි.
.jpg)
No comments:
Post a Comment