මම ඒ වෙද්දි ජීවත් වෙන්න පටන් අරන් තිබුණෙ තනියම. ඒක හරි සරල වාක්‍යයක් බැලු බැල්මට. මම ඒ වෙද්දි තනියම ජිවත් වෙන්න පටන් අරන් තිබුන කියන්නත් තිබුණා. හැබැයි මට ඊට වඩා කියන්න ඕන වුන දෙයක් එතන තියනවා. ඒ තමයි මම ජීවත් වෙන්න පටන් අරන් තිබුණා කියනෙක. ඒ වෙද්දි, කියන්නෙ ඊටත් කලින් තිබුණ ජීවිතයට සිද්ධ වෙච්ච දේවල් එක්ක මං මැරුණද?
ඒක මරණයක්ද? ජීවිතයක්ද ? මං දන්නෙ නැ. හැබැයි ඒ යුගය මං හරි සියුමැලිව පෙම් කරපු යුගයක්. මං හරි ආදරණීය පෙම්වතියක්. ශිෂ්ණයක් සහිත මිනිහෙකුට විතරක් නෙමෙයි. අහසට පොළවට වැස්සට මුහුදට! කොළ පාට තෙත බිම් වලට! ඉදහිටක තැනක පොළවට ආසන්නයෙ පිපෙන මලකට! මං හරි දයාර්ද්‍ර හිතකින් ප්‍රේම කළා.
ප්‍රේමය පිලිබඳ අර්තකතන මං කියෙව්වෙම පොත් වලින්. පොත් අතරෙ හිටිය පෙම්වතුන් විටෙක සුදු චරිත. විටෙක කලු චරිත. මං හිතා ඉන්න ඇති ප්‍රේමය සුදුයි කියලා. එහෙම හිතාන හිටියට ඇත්තම හැම පිරිමියෙක්ම හැම ගැහැනියක්ම අලුයි කියලා හිතන්න මං පුරුදු වෙන්න ඇත්තෙ, ජීවිත ප්‍රාකාරයෙන් එහාට පවුරු වළලු මැද්දෑවෙ පියාඹන්න පළවෙනි අත්තටුව ගහන ගිරා පැට්ටික්කො වගේම මගෙ සිතුවිලිත් ඒ පවුරු වළල්ලෙ හැප්පිලා දකින දකින තැන බිම වැටිලා පණ අදිනවා.
ප්‍රේමය බිඳුනාට කැණිමඩල නොබිදී පරිස්සම් කරගන්න ක්‍රමවේද තියනවා. දෙන්නෙක්ට දෙන්නෙක් එපා උනා ට වෙන් වෙනවා කියන්නෙම ඛේදවාචකයක් කියලා මං විශ්වාස කළා. ඒ හින්දම වෙන්න ඕනෙ අපි එක වහලක් යට නන්නාඳුන්නන් වගෙ ජීවත් වෙන්න පටන් අරන් තිබුණෙ. ඇත්තටම ඒ වෙද්දි අපි කරදරකාරී සහ අසංවර රණ්ඩු මගාරින්න පටන් අරගෙන. කැළැ පුසන් වගෙ කා කොටා ගැනීම් අතහැරලා. තමන් තමන්ගෙ ජීවිතය ගෙවනවා වගේ සම්මුතියකට නිශ්ශබ්දවම ඇවිත් හිටියා. අනික ඉතින් ප්‍රේමය බිදීීීමක් හෝ නතර වීමකින් කෙළවර වෙනවාද කියනෙක ගැන මට අදටත් තියෙන්නෙ අවිනිශ්චිත හැඟීමක්.
කොහොම උනත් ඒක ජීවිතේ එක පරිච්ඡේදයක් පමණක්ව ගෙවී ගිහින් තිබුණා. මට මතක විදියට අපි එක්ව ජීවත් වු නිවසින් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වෙන්නට ඔහු තීරණය කරලා තිබුණු බව මට දැන ගන්නට ලැබුණේ අවසාන දවසට පෙර දවසේයි. අවසාන මොහොතේත් ඔහු නික්ම යනවා දැකීම සංකීර්ණ කාරණාවක් නිසා මම ඒ මොහොත මගාරින්න වේලාසනින් සැලසුම් කරගෙන හිටියා.
" මාව එක්ක යන්න නිශාදි එනවා කිව්වා.. මං එයාට වැඩියෙන්ම එන්න කිව්වේ ඔයාලට කතා කරන්නත් පුලුවන් නිසා.."
" එහෙම හිතවත්කමක් තියා ගන්න ඔින නැ ඉතින්.. දැන් අපි දෙන්නා වෙන්වෙන්න තීරණය කරලා ඉවරයිනෙ. අපි දෙන්නම කාලෙක ඉදලා අවිශ්වාසෙන් හිටිය තීරණයක් නෙ මේ අරන් තියෙන්නේ.."
" තරහක් තියා ගන්න දේකුත් නැනේ..ආදි. අපි දෙන්නම දැනගෙන හිටියානෙ කල් ගෙවුණත් අපට මේ තීරණේට කවදාහරි එන්න වෙනවා කියලා"
" නෑ ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ...ඔයාගෙ අලුත් පාට්න එක්ක මට කිසිම අවශ්‍යතාවක් නැ කතා කරන්න අදුන ගන්න"
" ඒත්.."
අපි දිගින් දිගටම හමු නොවි ඉන්න තීරණය කරගෙන හිටියත් දිමිත්රි පහු කරගෙන මං ඉස්සරහට ඇවිද ගෙන ආවා. පාරෙ දකුණු පසට එයා යන්න නියමිත නිසාම පාරෙ වම් පැත්තට හැරුණා. මාත් යා යුතුව තිබුණේ දකුණු පසට. ඒත් එක්ව ඒ පැත්තට ඇවිදගෙන ගියාට පස්සේ එක තැනකදී වැරදුණු බව තේරුම් ගත්තාම තවදුරටත් ඒ පැත්තටම තනිව හෝඇවිදගෙන යා යුතු නෑ කියලා මං විශ්වාස කළා.
ආදිත්‍යා තනිව වම් පැත්තටත් දිමිත්රි නිශාදි සමග දකුණු පැත්තටත් හැරුණා. ඉතින් මේ අද තියෙන්නෙ ඒ ආපු මංමාවතේම තනිව ආ සළකුණු. නිශාදි ට දැන් දෙවන දරුවා ලැබෙන්න ගැබ්බරයි කියලා මං දැනගත්තෙ යාලුවෙක් එවපු ස්ක්රින් ශොට් එකකින්.
" උඹ ඉස්සරහා මුට තමයි ශාන්තුවරයෙක් වෙන්න ඕනෙ වුනේ. බලපංකො.. පලවෙනි එකාට අවුරුද්ද පිරෙන්නත් කලින් තව ළමේක් බඩේ ගෑනිගෙ.."
ඒක කියෙවුවාම මට ඒ වෙලාවෙ හිනාවක් ආවා මූණට. ආදරය තියෙනවා නම් ඒක වෛරයට පෙරළා ගන්නෙ නැතිවම වෙන්වීම තමයි මට දැනෙන හොදම ආදරය දැක්වීම. නිශාදිත් දිමිත්‍රිත් මේ වෙද්දි මොනවා කරනවා ඇත්ද අඩුම ගණනෙ දිමිත්‍රිගෙ සමාජ මාධ්‍ය පිටුවකට වත් ගිහින් බලන්න මට උවමනාවක් නොතිබුණ එක ගැන මට අදටත් පුදුම හිතෙනවා.
" අතැරල එනවා කියන්නෙ අතැරලා එනවා කියන එකටම තමයි"

👍...
ReplyDeleteThank you
Delete