Monday, January 26, 2026

මගේ පුනරුද කලාපය 10

 " හ්ම්ම්... ඇබ්බැහි කියන්නේ නම් කරුමයක්.. ආදිත්‍යා.. ඒක හරිම භයානකයි. ඔයා එයාට බැඳෙන්නෙ ආදරෙන් නම් ඒක යටිහිතේ තැන්පත් වෙලා හරි මතුපිටින් අමතක කරන්න පුලුවන්. ඔයාට තිබුණෙ ආකර්ශනයක් නම් ඒක කාලෙ ගෙවෙද්දී ෆේඩ් වෙලා යනවා. හැබැයි ඔයා ට වෙලා තියෙන්නේ නරකම දේයි. නරකම දේ කියන්නේ ඔයා ඇබ්බැහි වෙනවා කියන්නේ ඊට ලේසියි ඔයා මැරිලා යන එක"

" මිනිස්සු මත්දුව්‍ය වලට ඇබ්බැහි වුණාම ඒක කොයිතරම් අමාරුද ගැළවෙන්න කියලා අපි දන්නවා. ඒ්ත් මිනිස්සුන්ට ඇබ්බැහි වුණාම ඒක ට පුනරුත්ථාපනය වෙන්නෝන කොහොමද කියනෙක හිතාගන්න බැහැ."

මම ආයෙමත් ආයෙමත් කල්පනා කළා. දිමිත්‍රි ගෙ තිබුණු ටොක්සික් ගතිගුණත් එක්ක මං කොහොමද එයාට ඇබ්බැහි වුණේ කියලා. සමහර වෙලාවට අපිට ඒ ටොක්සික් ගති වලටත් ඇබ්බැහි ඇති වෙන්න පුලුවන් කියනෙක මට තේරුම් ගන්න පුලුවන් වුණා. ඇබ්බැහියක් කියන්නෙ එක්තරා විදියකට බැලුවොත් මනස පුහුණු කිරීමක්. අපි ටොක්සික් රිලේශන්ශිප් එකක පවතින රළු පරලු රිදුම් වලට පුරුදු වුණාට පස්සෙ අපට ඒ රිදුම් ගැන ඇතිවෙන්නෙත් ඇබ්බැහියක් තමයි. ඊට වඩා බලවත් බලවේගයකට ඇබ්බැහි වෙන්න පුලුවන් වුණොත් අපට පුලුවන් වෙනවා මේ තත්වෙන් මිදෙන්න. 

ඒත් සාමාන්‍යයෙන් අපි ටොක්සික් සම්බන්ධයකදී කොපමණක් වෙහෙස වෙලා ඉන්නවාද කියනවානම් අපට හිතෙන්නෙවත් නෑ අලුත් කවුලු විවර කරන්න තියා අපේ පැරණි කවුලු වසා දමන්නවත්. ඉතින් අලුත් බලවේගයක් ගැන කොහොමද විශ්වාස කරන්නෙ? මේ කාරණා ටික මේ වචන වලින්ම නොවුනට මීට වඩා සරල කතා කරන භාශාවෙන් මම අමයුරු ට කියමින් හිටියේ.

" ආදරෙන් රිදුණට පස්සෙ මිනිස්සු දෙවිදියකට සම්බන්ධතා එක්ක ගණුදෙනු කරන්න පටන් ගන්නවා. ඒ්ක්කො දකින දකින කොල්ලා කෙලල් එක්ක සෙට් වෙලා කිසිම ගාණක් නැතිව සම්බන්ධතා තියාගෙන යනවා. අනික සම්බන්ධතාවයක් ගැන හිතන්නේවත් නැතුව පැරණි ආදර කතාවේ මතක එක්කම ජීවත් වෙනවා. මේ අතරෙ තමන්ව ගොඩ දාගන්න උනුත් නැති උනුත් ඉන්නවා. අර දකින දකින කෙනා එන්න හදා ගන්න රිලේශන්ශිප් තියෙන කෙනාත් තමන් ඇතුලෙ තමන්ව ගොඩ දාගන්නවා. බොහෝවිට උන් කරන මොන ලව් එකක් වත් තමන්ට දැනෙන ඒවා නෙමෙයි නිසාම උන්ට වේදනාවක් නෑ. කවදා හරි තමන්ට හරියන එකෙක් සෙට් වුණාම අර ඔක්කොම දමලා ගහලා කසාද බඳිනවා."

" ඒක සල්ලාලකම‌ නෙමෙයි ද?"

" මෙහෙමයි සමහර විට ඔය වගේ සම්බන්දතා ඇතිවෙන්නේ සමාන සිටුඒ්ශන් වල නම් ඒක සල්ලාලකමක් වෙන්නෙ නැ.මට අනුව නම්. දෙන්නාම තමන්ගෙ ටයිම් පාස් කරගන්නවා. තනිකම මකා ගන්නවා. ඒ්ක සල්ලාලකමක් හරි වනචරකමක් හරි කියලා ලේබල් කරනෙක වැරදියි. මිනිස්සු දෙන්නෙක් ට තමන්ගෙ හුදකලාව තනිකම හැඟීම් හුවමාරු කරගන්න නිදහසක් තියෙන්නෝන කියන තැන මං ඉන්නවා.  හැබැයි එතනදි තව කෙනෙක් වෙනුවෙන් තමන් පාවිච්චි වෙනවා කියනෙක හිතෙනවා නම් කිසිම කෙනෙක් එතනින් එහාට ඒ සම්බන්ධතාවයෙ ඉන්න අවශ්‍ය නැහැ"

"එතකොට ඒ සම්බන්ධතාවෙ ඉන්න දෙන්න වෙනම නීතිමය සම්බන්ධතා වල ඉන්නවා නම් ඒ් අනිත් කෙළවර වල ඉන්න මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?'

" මෙහෙමයි ආදිත්‍යා.. අපට සම්ප්‍රදායට අනුව නීතියට අනුව කවුරු හරි කසාද බැඳලා ඉද්දි තව කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් ඒක අනියම් සම්බන්ධතාවයක් විදියට වර්ග කරන්නත් පුලුවන්.ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙන්නත් පුලුවන්. මොකද මොනම හිතවත්කමකදී වුණත් විශ්වාසය කියන්නෙ රැකිය යුතු රකිනවා නම් පවතින දේකට"

මම ඒ දෙබස තරමක් සංකීර්ණව හිතුවා. ඇත්තටම ඒ වෙද්දි මම නීතිමය බැඳීමකින් නිදහස් වෙච්ච කෙනෙක්. මට තවදුරටත් විශ්වාසය පවත්වා ගන්න හෝ රවට්ටන්න කෙනෙකු මගේ ජීවිතය තුළ ඇත්තේ නෑ. 

" මේ කිසිම දෙයක් මම කියන්නේ මගේ වාසියට නෙමෙයි"

අමයුරු කිව්වේ හිනාවෙලා. මම ඒ හිනාව දිහා පුදුමයෙන් බැලුවා. ගෑනියෙක්ට හිතෙන විදියෙ හැඟීමක් අනාවරණය කළෝතින් ඇත්තටම ඒ හිනාව හරිම ආකර්ශනීයයීීී. තව වතාවක් හිනාවෙනවා නම් ඒතෙක් බලා ඉන්න ආස හිතෙන තරමටම. ඒ වාක්‍යය ඇතුළෙ තිබුණෙ අපි අතර වුුුුණත්ත් ඒහෙම සම්බන්ධයක් ඇතිවෙන්න පුලුවන් පසුබිමක ඉන්නවා. ඒත් මට ඔයාව පොළඹවා ගන්න උවමනාවක් නැහැ කියනවා වගේ දෙයක් කියලා නොහිතෙන්න තරමට මං පුංචි බබෙක් නම් නෙමෙයි. 

" ආදරේ කරද්දී පාවිච්චි වෙන්න කොහෙත්ම ඉඩක් නැද්ද?"

" මොකද නැත්තෙ?" 

අමයුරු හිනාවෙලා කිව්වේ. 

" මේ මොහොතෙ මං මේ ඔයා එක්ක කතා කර කර ඉන්නෙකත් එක විදියකින් බැළුවාම පාවිච්චි වීමක්. ඔයා ඉමෝශනලි ස්ාට්‍රාන්ග් වෙන්න මාව පාවිච්චි කරනවා.."

"මගෙ දෙවියනේ ඔයා එහෙම කතාවක් කියන්න හිතුවෙ වත් කොහොමද?"

" ඒක ඒ විදියට හිතන්න පුලුවන්නෙ. නෝමලි මං මගෙ විෂය කරුණු කාටහරි දෙනවා නම් ඒ වෙනුවෙන් මට ගෙවීමක් ලැබෙනවා. ඒත් මේ මොහොතේ මං ඔයා වෙනුවෙන් මේ වෙලාවයි දැනුමයි දෙකම දෙන්නෙ කිසිම අයකිරීමක් නැතුව.ඒකම පාවිච්චි වීමක් නෙමෙයිද?' 

අපි දෙන්නාම හිනාවුණා. එකම මොහොතක. මට පහුගිය කාලච්ඡේදය පුරාවටම පිරිමි යහලුවෙකු ඉදලා නැහැ.ඒකට මුලිකවම හේතුවුණේ පාසල් කාලයේ ඉදලා දන්නා අඳුනන පිරිමි මිතුරන් පවා දිමිත්‍රිගෙත් මගෙත් වෙන් වීමෙන් පසුව දක්වන්න උත්සාම කරපු හිතවත්කම වෙනස් වීම. ඒකෙ හැඩය පරිධිය හැම දෙයක්ම වෙනස් වෙලා ඔවුන් උත්සාහ කළේම මං කෙරෙහි අපමණ දයාවෙන් හමුවෙලා කතා කරන්න , නමුත් කොහේදිද? සංවෘත පරිසරයක් ඇතුළෙ. මේ සංවෘත පරිසරයෙ නිර්වචනය පුළුල් වැඩි නිසාම මම තීරණය කළා ඒ වගේ හිතවත්කම් වලින් පවා ඈත් වෙලා ඉන්න. කායික සංවරය වගේම මානසික සාමය පවත්වා ගැනීමත් මට එකසේ වැදගත් වු කාලයක් ඒ. 

" අපි ෆිල්ම් එකක් බලමු වෙලාවක" අමයුරු කල්පනාකාරීව කිව්වා. 

" මේ සෙනසුරාදා ඔයා මොකද කරන්නෙ?" ඒ අදහසට ම සමගාමීව ඊළඟ ප්‍රශ්නයත් නැඟූණා. මං කැමැත්තෙන්ම හිටිය ප්‍රශ්නයක් ඒක. මේ වෙද්දී මගේ හිත මේ සමාගමය සෑහෙන්න ප්‍රිය කරමින් හිටියෙ. 

" ඔයා ලංකාවට ආවට පස්සෙ ?"

" අපි ඊට කලින් යමු. පැය දෙක තුනක් මට ඔයා වෙනුවෙන් වෙන් කරගන්න බැරි තරම් මං බිසි මිනිහෙක් වෙලා නෑ තවම" 

එදාත් අමයුරු මාව පුරුදුකාරයෙක් වගේ මගේ නවාතැනේ ගේට්ටුව අයිනෙන්ම මාව බැස්සුවා. මං ඒකට කැමතිත් වුණා. මගේ හිතේ මේ ආරක්ෂාව ගැන ලෝභකමක්  වෙමින් තිබුණෙ. ඒත් එක්කම මෙතැන ප්‍රේමය රෝපණය විය යුතුමයි කියා අදහසකුත් මට නැති වුණා. 

" මේ සෙනසුරාදා අර ගමන යන්න පුලුවන් නම් මට ඒක කියලා තියන්න" 

අපි වෙන්වෙන අන්තිම තත්පරය පුරාම ගැබ්වෙලා තිබුණේ මොකක්ද මන්දා හඳුනාගන්න අපහසු හැඟීමක්. ඒ හැඟීම හින්දාම මම ඒ පසුපස දුවලා හති වැටෙන්න උත්සාහ ගත්තෙත් නෑ. 

මගේ පුංචි ලෝකයට පිවිසුණාට පස්සෙ මම මොහොතකට නිවී හැනහිල්ලේ කල්පනා කළේ කෝපි මග් එකකුත් පුරෝගෙන. මෙතෙක් කාලයක් කවුරුවත් කතා කරපු පලියට මේ වගේ ගමනක් නොගියා කියලා සෝලෝ ඩේට් යනවා කියලා තට්ට තනියම ඇවිදලා අතේ තියන සතේ වෙනකම් වියදම් කරලා ඔ්නෙ දේවලුයි එපා දේවලුයි ගත්ත අතීතය ඇතුළෙ හොයපු සතුටක් තිබුනෙත් නෑ. උපයා ගත්ත අමුතු ගෞරවයකුත් නෑ. ඩිවෝස්ඩ් කියන ලේබලය කොයි තරම් සමාජය පිනවීමේ කාරණාවක්ද කියනෙක දැනගෙන සිල් රෙදි පොරවා ගන්න මට උවමනාවක් තිබුණේත් නැහැ. 

" දැන් ඔය අඳින පළඳින විදිය එහෙම පීලිවෙලකට කරන්න. ඔයා තවදුරටත් තනිකඩ කෙල්ලෙක් නෙමෙයි. දික්කසාද වෙච්ච ගැනියක්. ඔයා දිහා පිරිමි බලන්නෙ ඔයාට පරිස්සම් කරගන්න දෙයක් නැති තවත් වෙන්න දෙයක් නැති ආරක්ෂාවක් නැති ගෑනියෙක් දිහා බලන විදියට. දැන් ඔයා අඳින පළඳින හැමදේම අනුව තමයි එයාලා ඔයාව මනින්නේ..ඒ නිසා කරදර වලට අත වනන විදියෙ ෆැශන් කරන්න යන්න එපා." මගේ පවුලේ වැඩිහිටි නැන්දා කෙනෙක් මට එහෙම කිව්වා. මම හිස වැනුව. මට ඇත්තටම ඔිනෙ වුණේ නැහැ සම්ප්‍රදායට අභියෝග කරන්න. 

සම්ප්‍රදායට සමාජය ඉස්සරහා අභියෝග කරලා මගේ ප්‍රතිරුපයට හානියක් කරගන්නවාද නැත්නම් වාසියක් කරගන්නවාද කියනෙකට වඩා පෞද්ගලිකව සතුටින් ඉන්න විදියක් හොයා ගන්නෙක මට ඇත්තටම වැදගත් වෙලා තිබුණෙ. ඒ නිසාමයි මං සමාජ මාධ්‍ය වල නිහඩව හිටියෙ. ඒකෙ ත‌ේරුම මගේ ජීවිතය නිශ්ශබ්ද වුවා කියනෙක නෙමෙයි. නමුත් මං දැක්කා වරින් වර මගේ පාසල් මිතුරියන් සරසවි මිතුරියත් අටවා ගත් වට්සැප් සමුහ වල මං ගැනත් නානාප්‍රකාර දේ කතා වෙනවා. දිමිත්‍රි වගේ කඩවසම් පිරිමියෙක් අතාරින්න තරම් ප්‍රභල හේතුවක් මට නැත්නම් ඒක මං සමලිංගිකයෙක් වෙන්න පුලුවන් වගේ මතයක් දක්වා ඔවුන් ඇදගෙන යනවාත් මට පෙනුණා. මේ සමුහ වල මගෙ ගෙවීමක් නැතිවම නොමිළේ ක්‍රියාත්මක වෙන සිසීටිවි කැමරා තිබුණා. බො‌ොහ් දෙනෙක් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මේ සියල්ල සලකා බලලා අවසානයට මං තීරණයක් ගත්තා මේ ඉරිදා මං වෙනුවෙන් යොදවන්න. අමයුරු එක්ක ඉරිදා දවස ගෙවන්න. 



Monday, January 12, 2026

මගේ පුනරුද කලාපය 09

 




ජීවිතේ එත්ත බැදිච්ච සමහර මතකයන් ඔඩෙල් එත.් එක්කත් බැඳිලා තියෙනවා. ඒ බැඳීම් තියෙන්නෙ මේ බිමත් එක්කද මේ නමත් එක්කද කියලා කියන්න මට පැහැදිලි නෑ. ටික වෙලාවක් ඉඳගෙන ඉද්දී අමයුරු තමන් ආ බව කී පණිවුඩයක් එවා තිබු බැවින් මම දොරටුවෙන් එහා පාරේ නවතා තිබුණු රියට නැංගා. අපි අතරෙ ඒ වෙද්දි යම්කිසි සමීප කමක් ඇතිවෙලා තිබුණු නිසාම මට මේ වාහනය ආගන්තුක බවක් දැනුණේ නැති තරම් වුණා. 

" ඉතින් මොකද වෙන්නෙ ආදිත්‍යා?"

මම හෙමින් හිස හරවා එහෙම ඇහු ඔහු දෙස බැලුවා. අමයුරු... ලා නිල් පාට අත්දිග කමිසයක් වැළමිට ළගට අත් නවා ඔහු ඇඳගෙන හිටියා. 

" ඉන්නවා ඉතින්"

" මාත් නෙක්ස්ට් වීක් එකේ මෙල්බර්න් ගිහින් එන්න ඔ්නා"

" හදිස්සියේ?"

" නැහැ... බබාලග‌ෙ අම්මගේ ග්‍රැජුවේශන් එකක් තියෙනවා. අපි දෙන්නා කතා කරගෙන තියෙනවා අපි ජිවිතේ කරන අචිව්මමන්ට් වලදී එකට ඉන්න ඔ්නෙ කියලා. මොකද බබාලා මේ හැමදේම දිහා කල්පනාවෙන් බලාගෙනනේ ඉන්නේ"

මම හිස සැලුවා. 

" ඔයාලා ඉතින් එකටනේ ඉන්නේ" මම ප්‍රශ්නාර්ථයක් අදහස් කරගෙන හිටියේ නෑහැ. ඒ් පවුලේ අය ඉතින් භුග‌ෝලිය වශයෙන් වෙන් වෙන්ව ජීවත් වුනාට එක්ව ජීවත් වෙන පවුලක් නේ කියන අදහසයි මට එතැනදී තිබුණේ. අමයුරු දෙවුර ගස්සලා මා දිහා යාන්තම් වගේ බැලුවා. 

" ඇත්තටම කිව්වොත් අපි එකට නෙමෙයි ඉන්නේ" ඔහු සෙමෙන් වගේම පරිස්සමෙන් කියා දැම්මා. මම කිසියම් කම්පනයකින් තිගැස්සුණා වගේයි. 

" ඒ කිව්වෙ"

" අපි ඩිවෝස් වෙලා නම් නෑ. ඒත් අපි දෙන්නා‌ සෙපරේට් වෙලා ඉන්නේ"

මම සුසුමක් හෙළුවා. මාත් දිමිත්‍රිත් එහෙම ජීවත් වෙච්ච කාලයක් තිබුණා. අපට එක්ව ජීවත්වි වෙහෙස දැනුණාම අපි වෙන්ව ජීවත්වෙන්න තීරණය කරගෙන තිබුණා. 

" එහෙම පහසුවක් දැනෙනවද ඉතින්?"

" ඒ කිව්වෙ?"
" ප්‍රෙ‌ොෆෙසට වෙනසක් දැනෙනවද ? දැන් වෙනම ඉන්න තිරණය කරාට පස්සෙ"

" අනේ මන්දා ආදිත්‍යා මට ඒක තාම හරියට තේරුම් ගන්න අමාරුයිත කොහොම වුණත් එයා‌ට ඔිනෙ මෙල්බර්න් වල ජීවත් වෙන්න. මට ඔිනෙ මෙහෙ ජීවත් වෙන්න...මේ සංස්කෘති වලට යි සමාජ ජීවිතයටයි අපි දෙන්නගෙ තියෙන කැමැත්ත වෙනස් වෙච්ච එකත් එක්ක අපේ ජීවිත ගොඩක් වෙනස් වුණා. මට හිතෙනවා අපි දෙයක් අත්දැකිමෙන් විඳ ගන්නකස් අපට ඒ දේට තියෙන කැමැත්ත හෝ අකමැත්ත ගැන හරිම තීරණයක් ගන්න බැහැ කියලා. මාත් මුලින් හිතුවා මට ඒ් ජීවිතේට කැමති වෙන්න පුලුවන් වෙයි කියලා. ඒ නිසා එයාට ඔිනෙ වෙච්ච ජිවිතේට යං කියලා තීරණයක් ගත්තා. ඒත් එහෙ ගියාට පස්සේ තමයි මට ඇත්තටම තේරෙන්න පටන් ගත්තේ මේක නෙමෙයි මට ඔිනෙ ජිවිතේ කියලා. එතනදී මං මං වෙනුවෙන් සෙල්ෆිෂ් තීරණයක් ගත්තා ආයෙ ලංකාවට එනවා කියලා"

" ඒක සෙල්ෆිශ් කියලා හිතෙන්නේ බබාලා නිසාද?"

"  ඔව්.. බබාලා කියන්නේ අපේ උවමනාවට මේ ලෝකෙට ආව කට්ටියක්නෙ" 

ඇත්තටම බබෙක් හිටියානම් දිමිත්‍රිටයි මටයි වුණත් මේ විදියෙ තීරණයක් ගන්න එක කොයි තරම් සංකිර්ණ වෙන්න තිබුණාද කියලා මට නැවත හිතලා බලන්න අවස්ථාවක් ආවා. මොනවා වුණත් දැන් සිද්ධ‌ වෙන්න තිබුණ හැමදේම සිද්ධ වෙලා අහවර නිසා ආපහු ඒ වගේ තේරුමක් නැති හිතන්නේ ඇයි කියලා මගේ තාර්කික සිතුවිලි ක්ෂනිකව මගෙන් ඇහුවා. 

" ඔයාට ඔයාව නැති වුණේ කවදා ඉදන්ද ආදිත්‍යා?" අමයුරු ඇහුවෙ එක පාරටම. මුලින්ම මම ඒ ප්‍රශ්නය තේරුම් ගන්න උත්සාහ කරමින් බලං හිටියා. මට මාව නැති වෙලා කියලා අමයුරු මැන ගත්තෙ කොහොමද? මං වත් මට මාව නැති වෙලා කියලා මෙතෙක් කල් දැනගෙන හිටියාද? ඇත්තටම මට මාව නැති වෙලාද? 

" මට මාව නැති වෙලා නෑ ප්‍රොෆෙස.. මං ටිකක් මාව අතැරලා බලං ඉන්න කාලයක් මේ"

" හරි... ඒක තමයි මට පේන්නේ ඔයාගෙන් ඔයාව ඈත් වෙලා වගේ"

" එහෙම කාලයක් නම් තමයි මේ ගෙවෙන්නේ"

" ඒ්ක මොකක් නිසා සිද්ධ වුනත් වැඩිකාලයක් තමන්ව තමන්ගෙන් අත් ඇරලා තියා ගන්න එපා. අහේතුකව වෙන කෙනෙක් අතට ඔයාගෙ ඔයාව ගියොත් ආයෙ ඔයාට ඔයාව හොයා ගන්න බැරුව ඔයාව අතරමං වෙන්න පුලුවන්"

" මේ වයසෙදිත් මට එහෙම වෙන්න පුලුවන්ද?"

" කොයි වයසකදිත් සිද්ධ වෙන්න පුලුවන් ඒක"

මම ඇහිපියකට කැමති තාලෙන් නටන්නට ඉඩ දුන්නා අහකට හැරිලා. අමයුරු ජීවිතේට එක්කහු කරන මේ පුංචි පුංචි වාක්‍ය ඇතුළේ මට හිතන්න අපමණක් දේ තිබුණා. 

" ඔයා ජොබ් එක ගැන සතුටුයිද?"

" ඒක ඇහුවෙ අපේ ආයතනෙයි සේවකයින්ගෙයි කොහොමද කියලා මැන ගන්නද?

අමයුරු හිනා වුණා. ඒක ලස්සන හිනාවක්. මටම තේරුම් ගියා ඒ මං  ඇහුවෙ මෝඩ ප්‍රශ්නයක් කීයලා. 

" ඒක ඒ වගේ ප්‍රශ්නයකින් අහල දැනගත්තයි කියලා මට ඇති වෑඩේ මොකක්ද?මං ඉන්නෙ රිසර්ච් ෆෙලා විදියට විතරයි. ඩිරෙක්ට විදියට නෙමෙයි." 

" එතකොට ඒ ප්‍රශ්නෙ සම්පූර්ණ තේරුම මං සතුටින් ජීවත් වනෙවද කියන එකද?"

" මං දන්නවා මිනිහෙක්ට ඒක හරි අමාරු ප්‍රශ්නයක් කියලා"

" සතුට  කියනෙක හරිම සාපේක්ෂයි.. ප්‍රොෆෙස"

අමයුරු හිනාවුණා. 

" සතුට තියෙන්නෙ තමන් ඇතුළෙනෙ නේද ආදිත්‍යා. අපි පිටස්තර පද්ධති වලින් අනවශ්‍ය දේවල් පුරෝගෙන ඒ සතුට නැති කරගන්නෙ නැත්නම්"

වෙලාවකට මට අමයුරු කියන දේවල් අධි ප්‍රායෝගිකයි වගෙත් දැනෙනවා. ඒත් මොන දේ සිද්ධ වුණත් ආදිත්‍යා, තමන්ය මේ මොහොත වෙද්දී පුංචි සංවාදයක් ගොඩ නඟා ගන්න තරම් සුදුසුකම් තියෙන මනුස්සයෙක් ඉන්නවා කතා බහ කරන්න.  

" ඔයා සතුටින්ද ඉන්නෙ එතකොට?"

" ඔව්"

" චුට්ටක්වත් හිතන්නෙ නැතුව ඔයා ඒ ප්‍රශ්නෙට ක්වික් උත්තරයක් දුන්නෙ කවුරු හරි ඒ ප්‍රශ්නෙ ඇහුවොත් ඒකට උත්තර දෙන්නෝන විදිය ඔයා කලින් ට්ර‌ේන් වෙලා ඉන්න හින්දද?" 

" මං ජිවිතේ ලොකුවට ට්රේන් කරන්නෙ නෑ ආදිත්‍යා. මං එන විදියට අවංකව උත්තර දෙන මිනිහෙක්"

මම මොහොතකට කල්පනා කරන්න යම් කාලයක් ගන්න ඇති. අමයුරු රිය ධාවනය කරවන ගමන් මං දිහා උවමනාවෙන් බලමින් ඉන්නවාත් මම දැක්කා. 

" අපි මොනා හරි කාලා යනවද?"

අමයුරු අහන්න ඇත්තේ, මං මගේය කියන කුඩා ලෝකය ඇතුළට පිවිසුණාට පස්සේ මළාට ඒකෙන් එලියට එන ජාතියෙ එකෙක් නොවෙන නිසාම වෙන්න ඇති. 

" වේලාසන වැඩියි වගේ කියලා හිතෙනවා එලියෙන් කන්න"

මං කිව්වාම අමයුරු ඇත්තටම හයියෙන්ම හිනාවුණා. මං කිව්ව වාක්‍ය අස්සෙන්න වෑහෙන යටි අරුතක් තනියම මතු කරගෙන එයා තනියම හිනාවුණ එක ගැන මම නෝක්කඩු බැල්මක් බැලුවා. 

" මිනිස්සු අතරෙ ගොඩ නැඟෙන සම්බන්ධතා වලට ලස්සන අනන්‍යතා තියෙනවා ආදිත්‍යා. ඒවා අවුල් කරගන්නෙ නැතුව ජීවත් වෙනකෙ මිනිස්සුන්ගෙම අතේ තමයි තියෙන්නෙ. ගොඩක් වෙලාවට ඒවයෙ ලස්සන පවතින්නේ ඒවා නිදහදේ තියෙන තරමටම තමයි. ඒ අනන්‍යතා වලට බලෙන් හැඳින්වීම් දෙන්න යන්න නරකයි. මොකද ඒවා ඇතිවෙද්දීම ඒවාට අනන්‍යතා පිහිටනවා. අපි අහලා තියෙනවා මිනිස්සු කියනවා ඒවා නමක් නැති කතා කියලා. නමක් නැතුව කතා හැදෙන්නෙ නෑ, හැම කතාවකටම නමක් තියෙනවා. ඒ නම වෙනස් කරන්න යාම හරි රාමුවකට ඇතුළත් කිරීම හරි තමයි අමාරු. ඒවට ඔහේ පවතින්න දෙන්නෝන"

" මගෙත් දිමිත්‍රිගෙත් සම්බන්ධතාවට අන්තිමට ඉතිරි වෙලා තිබුණු අනන්‍යතාව කසාදය කියන නම විතරයි"

 " ඇත්තටම ඔයා ඔයාට නැතිවුණෙ දිමිත්‍රිගෙයි ඔයාගෙයි කසාදෙ පටන් ගත්ත තැනදිද? නැත්නම් ඉවර වුණ තැනදිද?" අමයුරු එහෙම අහද්දි අපි දෙන්නා හිටියෙ අජ අන්ධකාර අවන්හලක රවුම් හැඩැති මේසයක එක ලග අසුන් වල ඉඳගෙන මෙනු පතක් කියවමින්. 

" දෙවෙනි වතාවටත්ට ඒකම අහන්නෙ ඇත්තටම මාව නැතිවෙලා වගේද ඔයාට පේන්නෙ?"

අමයුරු මෙනු පතින් ඇස් අහකට අරන් මගේ ඇස් මතින් තියාගත්තා. 

මෙනු පතින් ඇස් අරන් තියාගෙන මා මතින් 

කියන්නට කතාවක් හිතනවද ඔබ හිතින්මටත් මා නැති වුණැයි ඔබට පවසමි ඉතින් වැළදගෙන දරාගනු මැනවි මා ඔය නෙතින්.

 ඒක මගෙ හිත ඉක්මණින් ලිව්ව කවියක්. මං කොහොමටත් මෙතැනදී හිතනවා ඉක්මන් වැඩී. අමයුරු තනියම ඉන්න කෙනෙක් බව ඇත්ත. ඒත් අමයුරුට ලෝකයක් තියෙනවා. ඒකෙ තේරුම මොකක්ද? ආදිත්‍යාට ලෝකයක් නෑ කියනෙකද? මං ඒ ගොඩනඟා ගත්ත ලෝකය අත් ඇරලා දාලා ආපු එක වරදක්ද? 

" මිනිහෙක්ට වුණත් ගෑනියෙක්ට වුණත් තමන්ට තමන් නැතිවෙනවා කියන්නෙ ධාරාණිපාත අපරාධයක් ආදිත්‍යා..ඒ අපරාදෙ ඔයාට වෙන්න ඔ්නෙ නැහැ කියලා හිතෙනවා මට" 

අමයුරු ඉස්සරහා මං මගේ උරහිස මත තියෙන බර ටිකක් හොලවන්න පුරුදු වෙලා හිටියා. ජීවිතේ ලේසි නෑ. අම්මගෙයි තාත්තාගෙයි බෙහෙත් වලට මාසෙකට වතාවක් ගෙවිය යුතු බිල් බෝඩින් පීස් කෑමබීම ලංකාව කියන්නෙ ජීවන වියදම අධික රටක්. 

" ඔයා කොහෙ හරි රටකට යන්න බලන්න" අමයුරු කිව්වේ ඇණවුම අවසාන කරලා වේටර් අපි ගාවින් ගියාටත් පස්සෙ. ඒත් මට ඇත්තටම මේ රටින් යන්න ඔ්නෙද?

" මට දිමිත්‍රි ගැන තියෙන්නෙ හරි වෙනස් මතක බව ඇත්ත. ඒත් ඔයා දන්නවද? මට තාම බැරිවුණා අපි දෙන්න එක්ක බැඳිච්ච අතීත මතක ගොන්න ඩිලීට් කරලා හිත නිදහස් කරගන්න. ඒ කාලෙ කියන්නෙ මං දැන් මතක් කරන්නවත් කැමති කාලයක් නෙමෙයි.."

" දිමිත්‍රියි ඔයායි ආදරෙන් හිටිය වෙලාවල් තිබුණානෙ?" අමයුරු ඇහැව්වෙ සැකෙන්. ඇස් යටින් බලාගෙන. 

" ඔව්. එයා ආදරණීයව නොහිටියා නෙමෙයි.ඒ වුණාට ඔ්නම ආදරණීය වෙලාවක් ක්ෂණයකින් විනාස කිරීමේ අතිවිශේෂ හැකියාවකුත් එයාට තිබුණා. එයා දැනගෙන හිටියා මාව හරිම සියුම් විදියට රිද්දන්න.." 

" හිත හදාගෙන නොරිදී ඉන්න ට්‍රයි කළේම නැද්ද?"

" මං තරම් ඒක කරපු වෙන කෙනෙක් ඉන්න ඇති කියලා ඔයා හිතනවද? මං එයාගෙ විදිය ඒක කියලා උත්සාහ කළා. මේ ලෝකෙ හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා කියලා හිත හදාගෙනත් හිටියා. අන්තිමට මං හිතුවා.මං ඉක්මණින් මැරෙනවා නම් හොඳයි කියලා. මේ පීඩනය එතනින් ඉවර වෙනවා නේද කියලා. මොකද මං කරන හැම දේකදිම මම බැනුම් ඇහුවා. ඒක හයියෙන් හුස්ම ගත්තත්, ඇවිදිද්දි ඔ්නැවට වඩා සද්දයක් ආවත් උදේ නැගිටලා උයද්දි වලදක් සද්ද වුණත් ඉස්සරහ දොර අරිද්දි සද්දයක් ආවත් වගේ ඔ්නම දේකදි මං බැනුම් අහන්න නියමිත වෙලා හිටියා වගේ දෙයක්. ඒකත් මුලින් මුලින් නිකම් කෑගැහිල්ලක් වෙච්ච පස්සෙ තිත්ත කුශුහරුප මල්ලකින් දමලා ගහන තත්වෙට විකාශනය වෙච්ච තත්වයක්" 

අමයුරු සුසුමක් හෙළුවා. 

" ඇත්තටම සමහර අසත්පුරුෂ මිනිස්සු එක්ක ජීවත් වෙනවා කියන්නේම පෙර පවක් ගෙවීමක් තමයි. ඒත් අපි හැම වෙලාවෙම තේරුම් ගන්නෝන අපි දඩුවම් විඳින්නෙ මේ ආත්මෙ අපි කරපු දේවලට විතරක් නෙමෙයි කියන එක" 

" ඒම හිත හදාගෙන ඉවසගෙන ඉන්න කාලෙ තමයි, මට දැනගන්න හම්බ වුණෙ එයා වෙන කෙල්ලෙක්ට ළංවෙලා කියලා. මුලින් මුලින් රහසින් කොඳුරලා ගත්ත ටෙලිෆෝන් කෝල්ස් ටික ටික එලිපිට ගන්න ඒවා බවට පත් වුණා. පස්සෙ එයා බැල්කනි එකේ අපේ බෙඩ් රුම් එකේ තැනින් තැන ඉඳගෙන එක දිගට පැය දෙක තුන කතා කරන ඒවා බවට පරිවර්තතන වුණා. සමහර කෝල් දිග වැඩි වුණාම මං එයාට කෝපි එකක් හදලා ගිහින් දෙනවා.. සිප් කර කර ඔහේ කතා කර කර ඉන්නවා"

" මට අහන්න බෑ දුක හිතුණේ නැද්ද කියලා"

" දුක කියනෙ එකට හිත හිරිවැටිලා  තියන නිසා දැන් ඒ ගැන ලොකු අවුලක් දැනෙන්නේ නැහැ.. ඒත් එයා මට අරයව කසාද බඳින්න ඔ්නෙ කියලා ඩිවෝස් එක ගමුද ඇහුවාම නම් මට ගොඩක්ම දුක හිතුණා. ඒ ප්‍රපෝසල් එක කරලා එයා වවුනියා ගියා වැඩකට දවස් තුනකට. මං ඒ දවස් තුනම දවල් දවසෙ සාමාන්‍ය විදියට වැඩට ආවා වැඩ කළා හිනාවෙලා කතා කරලා හිටියා. හැබැයි ගෙදරට ගියාට පස්සෙ අඳුරු ගුහාවක තනිවුණා වගේ දැනුණා. අපි දෙන්නා වෙන් වෙන් විදියට හරි ජීවිතේ බෙදා ගත්ත තැන එතන. මොන දේ කවුරු එක්ක හිටියත් හවසට අපි ගෙදර ආවා. අපි අතරට සම්පුර්ණයෙන්ම තුන්වැනියෙක් ඇවිත් කියලා දැනුණු හින්දා ද මන්දා මං එහෙම පිටිම්ම කඩාගෙන වැටුණා. මං ගෙදර ලයිට් එකක් වත් නොදා කළුවරේම අඩ අඩා හිටියා"

අමයුරු ඇහිබැම ඔසවලා අහක බලා ගත්තා.

" ඒ කියන්නෙ ඔයා දිමිත්‍රිට සෑහෙන්න ආදරෙන් නේ ඉඳලා තියෙන්නෙ ළමයෝ"

මම ඒ වාක්‍යය එක්ක මුරපදයකින් ක්‍රියාත්මක වුණ පරිගණකයක් වගේ මා ඇතුළට දත්ත ගලා එන්න ඉඩ අවකාශ හදා දුන්නා. මං ඇත්තටම ආදරය කරලාද දිමිත්‍රිට. ඒක ආදරයද නැත්නම් ඒක ආකර්ශණයද ? ආකර්ශණය කාලය ගෙවෙද්දී ක්ෂය වෙනවා. ඒත් කාලය ගෙවෙද්දී ක්ෂය නොවුණු මාවත් දිමිත්‍රිවත් වෙන්වෙන්න පවා අකමැති කර බැඳලා තිබුණේ ඇබ්බැහිය කියලා මට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා. 

" මං හිතන්නේ මං දිමිත්‍රිට ඇබ්බැහි වුණා. ප්‍රොෆෙස.." 

ඒ හැන්දෑවේ වැඩියෙන්ම අහපු සින්දුව

Thursday, December 18, 2025

මගේ පුනරුද කලාපය 08


 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කිසිම බරක් පතලක් නැතිව හුදකලාව ඉදිද්දී පවා මේ වගේ රිදුම් දැනෙමින් තිබුණා. මම සුපුරුදු විදියට කාර්යාලයට ගිහින් වැඩ කරමින් ඉන්නා වෙලාවක උඩු මහලේ එහෙමෙහේ ඇවිදිද්දී ගරාදි වැටෙන් යාන්තම් ඇස් පහලට යවලා රිසර්ච් ෆෙලෝව් ගේ කාර්යාල කාමරයේ විදුලි පහන් දැල්වෙනවාද කියලා බලන්න උවමනාව තදින් තිබුණා. එහෙම කරපු හුගක් දවස් වල නම් ඒ විදුලි පහන හැමවෙලාවෙම තිබුණෙ නිමා දමලා.

සිගිති විදුලි බල්බයකින් ආලෝකමත් වෙන්න බලන් හිටිය පටු කාමර අවකාශයක් වගේ .තිබුණු හදවත එක වරම ජනේල කවුලු වහාගෙන මුළුගැන්වුනා වගේ. මේ වගේ මනරම් මනමාලකම් පාන්න මගේ හදවත සැදී පැහැදී ඉන්නා බව දැනගෙන ඉන්න එකම ලංකා වාසියා මම විම ගැන මට සතුටු හිතුණා. නැත්නම් මෙහේ තැන තැන කටුකුටු ගාන මාතෘකාවක් වෙන්න මට සිද්ධ වීම නම් වලක්වන්න අසීරුයි. 

දවස් ගණනාවක්ම අමයුරු ආව‌ෙ නැහැ. ඒ ගැන අපේ සිම්පෝ්සියම් එක භාරව වැඩ කටයුතු කරපු පුස්තකාලාධිපතිතුමිය නම් සෑහෙන්නම අප්‍රසාදයකින් හිටි පාටයි. 

" මේ අමයුරු වගේ ලාබාල මිනිස්සු එක්ක වැඩ කරනෙක හරිම කරදරයි. මේ මං කරන කිවෙනි සිම්පෝසියම් එකද? මේ වගේ ෆෙලෝව් කෙනෙක් නම් කවදාවත් අපි එක්ක වැඩ කරලා නැහැ.. ආදී..." ඇය අවසානයට මගේ නම කීවේ මං ටිකාක් එහායින් ඉද්දී. 

" ඔයාට මතකද ආදී. අපි ටාජ් එකේ සිම්පෝසියම් එක කරද්දී හිටපු ෆෙලෝව්. ඇත්තටමයි ආස හිතෙනවා ඒ මිනිස්සු එක්ක වැඩ කරද්දී.." මම ඇගේ කතාවට එකග වුණා. මිස් හෙලන් කියන කතාව ඇත්ත. ප්‍රොෆෙසර් අමයුරු මීට වඩා අපි ගැන හිතන්නෝන. 

" ප්‍රොෆෙස අමයුරුගේ ෆැමීලි එකත් ලංකාවෙ නැහැන‌ෙ.. එයා උත්සාහ කරන්නේ මෙහෙ වැඩ ටික ඉවර වුණු ගමන් එයාලා ලගට යන්න" මිස් හෙලන් එක්ක රිසර්ච් තෝරාගන්න උදව් කරන්න ආපු සහකාර කථිකාචාර්යවරියක් කිව්වේ මං දිහාත් බලා හිනාවෙන ගමන්. අපි හුගක් හෙමින් වැඩ කරමින් හිටියේ.  හැන්දෑවේ අනිත් අය කාර්යාලිය පැය ගණන හමාර කරායින් පස්සේ මම මගේ අත් බෑග් එකට පුංචි කුඩේ නවලා දමා ගනිමින් හිටියේ. 

කොහොමටවත් බලාපොරොත්තු නොවු මොහොතක මගේ කාර්යාල කාමරයේ දොර මඳක් ඇතුළට තල්ලු වුණා. ඉතා සෙමින් දොරත් එක්ක අමයුරු එබුනා. යාන්තමට කන්පෙති අද්දරින් සුදු වෙච්ච මනාව නඩත්තු වෙන කැපුණු හිසකේත් කම්මුල් වසා ගත් රිදි සහ සුදු පැහැති රැවුල් ගස් එක්ක ගොඩ නැගුණු පරිණත වීමේත් දඩබ්බර වීමේත් එකතුවක් දිස්වුණා. 

" ආදිත්‍යා, ඔයාට මිස් හෙලන් මට දෙන්න කියලා ෆයිල් එකක් දුන්නාද?" ඒක අනිවාර්යෙන්ම බොරු හේතුවක්. මිස් හෙලන් කවද කවදාවත් අමයුරුට දෙන්න කියලා කිසිවක්ම මට දෙන්නෙ නැහැ. 

" අහ්.. නැහැ.. නැහැ ප්‍රොෆෙසර්... ඒත් මට පුලුවන් එයාගෙ මේසෙ උඩ බලන්න"

" ආ.. එහෙමද?" මවාගත් අපුරු වෘත්තිය භාවයකුත් එක්ක හිස දෙපස සොලවලා නළල රැළි කරපු මහාචාර්යවරයා ඒ බැල්මට කොහොමටවත්ම ගැළපෙන්නේ නැති අපුරු හිනාවකට කම්මුල් එහෙමෙහෙ කළා. මට හිතාගන්න බැරිව හිටියේ මම ඒ හිනාවට කොහොමද ප්‍රතිචාර දක්වන්න ඔ්නෙ කියලා." 

" අද වහින්නේ නම් නැහැ ආදිත්‍යා. ඒත් මම දැන් ඒ ෆයිල් එක අරගෙන කිරිබත්ගොඩ යනවා. ඔයාත් ඒ පැත්තට නම් යන්නේ මා එක්ක යන්න පුලුවන්" ඒ අපි දෙන්නාට විතරක් පෞද්ගලික වු දෙබසක්. අහං ඉන්න කවුරුවත් නැති බව හොඳටම දැනගෙන කිවු කතාවක්! එහෙමත් නැත්නම්, ඒ කතාව කියන්නටම හිතාගෙන මේ උඩු මහලට ආ ගමනක්. 

අමයුරු ගේ අඩිහඩත් මැකී ගියාට පස්සේ මම තරමක් චකිතයට පත් වෙලා හිටියේ. මේ ආරාධනාව පැහැදිලියි. අද වහින්නේ නැති දවසක්. අමයුරු කියන්නේ අදත්මාව ඇරලවීම වෙහෙසකින් තොරව කරන්නට පුලුවන් කියලා යි. ජිවිතේ ගැන වැඩිය හිතන්නෙපා ආදිත්‍යා. මේ තත්පරේ ගැන විතරක් හිතන්න. උපනන්ද තව ඉතාම කෙටි වෙලාවකින් මේ ලී තරප්පු පේළිය නැගලා ඇවි්ත් මිස් දැන් යන්න වෙලාව හරි නේද කියලා අහනවා නිසැකයි. 

ඉතින්, මම හෙමින් මගේ අත් බෑගය වහන අතරේ පහළට බසිමින් හිටියා. කල්පනා රලු පොරෝණාවක් වගේ මා වසා ගෙන හිටි හින්දාද මන්දා හරි හෙමින් මං ඇවිද්දේ. 

" ඔයා ඔඩෙල් එකෙන් ඉන්නවාද එහෙනම්?" තමන්ගේ කාමරයේ දොර අද්දරදි මුහුණට මුහුණ හමුවු අමයුරු එහෙම කීවා. ඒ සමස්ත චිත්‍රයම පැහැදිලිව කියවා ගත් සළකුණුයි. හාත් නොකියා බැහැත් නොකියා වෝඩ් පෙදෙස පියමන් කරගෙන එමින් හිටි මගේ හිත දෙපිලකට බෙදී සටන් කරමින් සිටියා. එක් පසෙක හිදි ම‌ගේ සිතුවිලි කෑ කෝ ගසමින් මට කීවේ මේ මෝඩ වැඩ නොකර පාඩුවේ ගෙදර පලයං ආදිත්‍යා කීවා. ඊට සහයෝගය දක්වන්නට වගේ දහසකුත් හේතු කීවා. ඉතින් අනික් පසේ සිටි සිතුවිලි ඊට දෙවෙනි වෙයි කියා හිතනවාද? 

ඒවා ඊට වඩා පක්ෂපාති කරුණු දක්වන්නට පටන් ගත්තා. අමයුරු වගේ දැනුවත් කෙනකු ඇසුරු කිරීමෙන් ආදිත්‍යාට වරදිනවානම් වරදින්න පුලුවන් කොහොමද ඒවා වරදින්න කාරණාද වගේ අනන්තයක් හේතු ලිප්ටන් වටරවුම වටේ දරණ ගැහිලා. මම නොදැක්කා වගේ නිශ්ශබ්දව ගිහින් ඔඩෙල් එකේ පිවිසුමෙන් ඇතුල් වුණා. මේ ඇතුල්වීමේ පළවෙනිම කාරණාව ඉතින් මම කිසිම කොන්දේසියකින් තොරව කිරිබත්ගොඩ යන්න‌ේ අමයුරු සමග එක වාහනයක වීමයි.


Saturday, December 6, 2025

මගේ පුනරුද කලාපය 07



 අපි ආපහු ඒද්දී වතුර බැහැගෙන ගිහින් තිබුණා. යාන්තම් පා ඇගිලි තෙමුණා විතරයි. මම අමයුරුට සුභ රාත්‍රියක් එහෙම කියලා මගේ පුංචි ලෝකයට පිවිසුණා. මේ මගේ පුංචි ලෝකය තුලට මම පිවිසෙද්දී මට තිබුණේ ප්‍රේමයෙන් වගේම සතුටිනුත් විනිර්මුක්ත වු හෘදයක්. ඇත්තෙන්ම කියනවා නම් නිදහස විතරමයි මට දැනෙමින් තිබුණේ. දිමිත්‍රිට මගේ විවාහයෙන් වෙන් වෙන්න උවමනා වුණේම වෙනත් කෙල්ලක් නිසාය කියන කාරණාව ඇතුලෛ්දී ගැහැනියක් විදියට මගේ ඊගෝව තදින් රිදෙමින් තිබුණා. මම මොහොතකට නතරවී කල්පනා කළේ ඇයි මම එතෙක් දිමිත්‍රි එක්ක ජීවත් වුණේ කියලා. එහෙත් මොකක් හෝ හේතුවක් මත මම හිතන්නේ මම විශ්වාස කරමින් ඉන්න ඇති තවදුරටත් අපි දෙන්නා අතරෙ සියල්ල හොඳින් සංවිධානය වෙලා නැවත ගොඩ නැගිමක් ඇති වේවියි කියලා. ඒත් අද වුණත් මොහොතකට මට වද දෙන ඊගෝමය සිතුවිල්ල ඌ උඹ වෙනුවට වෙන කෙනෙක් තෝරගන්න කලින් උඹට තිබුණේ වෙන්වෙන්න ආදිත්‍යා කියනෙකයි. 

ගැහැනු එහෙම විය යුතුයි කියලා දෙයක් නෑ.ගැහැනියට ගැහැනියක් වෙනස්. මේක ගැහැනියටම ලඝු කරනෙකත් වැරදියි. මනුස්සයෙක් කියලා හිතන්න පටන් ගත්තාම පහසුයි. ගැහැනු වුණත් පිරිමි වුණත් මේක සිද්ධ වෙන්න පුලුවන් කාරණයක්. මම ඒ වෙද්දි මිනිස්සු විශ්වාස කරන එක නතර කරන්න තීරණයක් අරන් තිබුණෙ. මට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා මිනිස්සු කියන්නෙ තමන් ගෙ ඒ් ඒ් මොහොතේ තියෙන පසුබිම සහ ඒ ඒ මොහොතෙ තමන් මුහුණ දෙන අවස්ථා වගේම අභියෝග එක්ක වෙනස් වෙන සත්ව කොට්ඨාසයක් බව. ඒ වගේමයි කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගේ මේ හැසිරීම කලින් උපකල්පනය කරන්න බැරි බව. මේ සියළු ගතිගුණ හරියටම මැන ගන්න නම් ඒ සඳහා ඉතාම සංකිර්ණ අවස්ථා වලදී ඒ ඒ මිනිසා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියනෙ එක මැන බැලිය යුතු බව. 

මිනිස්සු විශ්වාස කිරීමත් ආදරය විශ්වාස කිරීමත් දෙකක්ද? එකක්ද ? මම නම් මිනිස්සු විශ්වාස කිරිම අත් හැරිමට සමපාතව ආදරය විශ්වාස කිරිමත් අත් ඇරලා හිටියේ. මට හිතුණේම ආදරය කියන්නේ යුගයෙන් යුගයට මිනිස්සුන්ට උවමනා වෙන අත්ඇරෙන යමක් විදියට. ආදරය නැතුව මනුස්සයෙක්ට ජීවත් වෙන්න බැරිද? ඇයි බැරි? මේ මම ඉන්නේ සජීවී උදාහරණයක් විදියට! 

කොහොම උනත් මගේ පුංචි ලෝකය ඇතුළේ මම තනිකම ප‌්‍රේමකරන්නට පුරුදු වෙලා හිටියා.එදා රාත්‍රියේදී මට දැනුණේ මොකක්ද මන්දා අසම්පුර්ණත්වයක් මාව වටේ ප්‍රාකාරයක් නිර්මාණය කරගෙන ඉන්නවා වගේ. ටිකක් ඉන්න.. නැ. දෙයියනේ ඒක කොහොමටවත්ම මට දැනෙන්න එපා

මට අමයුරු ගැන මොකක්ම හරි දැනෙනවද? වැස්සක් අස්සේ ඒ සී වාහනේක ආ පමණින් මිනිහෙක් ගැන හැගීමක් ඇතිවෙන්න තරම් උඹ නම් දුර්වලයෙක් වෙන්න බැහැ. මම මටම කීවා. ඒත් ඒ රාත්‍රිය වෙනස් මට අකීකරු වෙච්ච මගේ හිත අමයුරු ගැන හොයන්න තියෙන හැම සමාජමාධ්‍ය ගිණුමකම අමයුරුව හොයන්න පෙළඹුනා. අවසානෙටම ඒකින් ඒක ට සම්බන්ධ වෙච්ච තැන් හොයාගෙන හොයා‌ගෙන ගිහින් එක තැනකදී අමයුරු ඔහුගේ බිරිඳ හා දරුවා එක්ක ඉන්න ජායාරුපයක් මට හොයාගන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගැන මට මුලින් දැනුණේ තැතිගැන්මක්. පසුව සතුටක්. ඒ දෙකටම හේතුව මට හොයා ගන්න පුලුවන් වුණේම නැහැ. මොනවා වුණත්  වෙන ගෑනියෙක්ට දරුවෙක්ට අයිති මිනිහෙක්ට ආදරයක් වගේ දෙයක් නම් මගේ හිතට ඇති වෙන්න එපා. මගේ කසාද මනුස්සයාට වෙන ගැනියක් අයිතිවාසිකම් කියද්දී මට දැනුණ වේදනාව මගේ අතින් වෙන කිසිම කෙනෙක්ට දැනෙන්න නම් මං ඉඩ තියන්නෙ නැ.

රැ තිස්සෙ ඇහැරගෙන පිරිමි ගැන හිත හිත ඉන්න ඇත්තටම උඹට පිස්සුද? තනි මම, මගෙන් ඇහුවා නම් කමක් නැ. ඒක මගෙන් ඇහුවෙ තාම කසාද බදින්න හිතලවත් නැති දැන් කැනඩාවෙ ජිවත් වෙන මගේ බෙස්ටි.. කැම්පස් එකේ හොද රිසල්ට් එකක් දාලා ඒ දවස් වලම ශිෂ්‍යත්වයකට රට යද්දිවත් ලංකාවෙ කොල්ලෙක් ගැන කිසිම හැඟීමක් තිබුණෙ නැහැ නෙතුනි ට. දැන් එහෙ හොදම ස්ථාවරයක් ගොඩ නගා ගෙනත් තනිකඩ ජිවිතේ තමයි හොදම කියලා ඒයාට හිතෙනවාලු.

" අනේ මේ නිකා හිටපං බං.. උඹ පණ වගේ ආදරේ කරපු මිනිහත් වෙන එකියක් එක්ක ගියාට පස්සෙ ආයෙමත් මිනිස්සු විශ්වාස කරන්න පුලුවන්ද බං.. මං නම් කියන්නෙ අපි කාගෙවත් ජිවිත වල අම්බලම් වෙන්නෝන නැ.අව්ව‌ට වැස්සට අහුවෙලා ආවාම හෙවණ දීලා ආයෙ පෑව්වාම යන්න දෙන" නෙතුනි කිව්වෙම එහෙම. සමහරවිට මේ මොහොතේ මගෙ හිත හදන්න කිව්වද නැත්තම් ඇත්තටම එයාගෙ අදහස ඒකමද කියලා මට හිතාගන්න අසීරුයි. 

මම මං ඇතුළෙ මටහොරෙන් රස්තියාදු ගහන්න පටන් ගත්තු පිරිමියාව හිතින් ඇදලා දැම්මා අහකට. මමයි කියල වෙන මොනවා කරන්නද? මං නින්ද නොයන කාලේ ගත්ත බෙහේත පෙති කීපයක් තාම මං ගාව තියනවා. සාමාන්‍යයෙන් නින්ද එන්නෙම නැති කාරණා හිත ඇතුළෙ ජිමිනාස්ටික් ගහන දවස් වලට මං එයින් පෙත්තක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මෙහෙම කාරණා වලට මං හිත ඇතුළට පහසුවෙන් එන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒ. වුනාට මේ වෙද්දි එහෙමත් දේවල් සිද්ධ වෙලා. 

ලියද්දී පහසුවෙන් ලියාගෙන ගියාට මම දන්නෙ නෑ පිටස්තර කෙනෙක් මේක කියවලා මොන විදියෙ විනිශ්චයකට ඒවිද කියලා. මේක ආදිත්‍යා ගෙ ආත්ම කතනය නිසා මම ඒ ගැන කිසිම විදියකින් දුකකට පත්වෙන්නෙත් නැහැ. මිනිස්සුන්ගේ විනිශ්චයන් වලින් පීඩාවට පත් නොවෙන්න වගේම ඒවා තඹ දොයිතුවකට මායිම් නොකරන්නත් මම පහුගිය කාලෙ ඉගෙන ගෙන තිබුණා. 

Tuesday, November 25, 2025

වැහි සමයට මිහිර මවන චන්ද්‍රිකාව

චන්ද්‍රිකා වැව පිහිටා තිබෙන්නේ ඇඹීලිපිටිය මාතර ප්‍රධාන මාර්ගය අසල ඇඹිලිපිටිය නගරයට කිලෝ මීටර් කිහිපයක් දුරින්. ඇත්තෙන්ම ඇඹිලිපිටිය නගරය මෙන්ම ඒ අවට කෙත් බිම් සියල්ල සාරවත් වන්නේ චන්ද්‍රිකා වැව් දියවරෙන්. චන්ද්‍රිකා වැවේ ඉතිහාසය පිලිබඳ සොයා බලද්දී 1956 දී පිහිටුවන ලද ඒස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ රජයේ පළමුවෙනි වාරි ව්‍යාපෘතිය ලෙස සටහන් වන්නේ මෙම ව්‍යාපෘතියයි. 


ස්වභාවයෙන්ම වියළි කලාපයට අයත් ඇඹිලිපිටිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ජීවත් වන්නේ කෘෂි කර්මාන්තය සිය ජීවිකාව බවට පත් කරගත් මිනිසුන්. මේ ප්‍රදේශයට වසරේ වැඩි කාලයක් පවතින්නේ අවම වර්ෂාපතනයක් වන බැවින් ඊට පිළයමක් වශයෙන් වලවේ ගඟෙහි දකුණු ඉවුරේ අතු ගංගාවක් වන හුලංදාව ඔය හල්මිල්ලකැටිය ප්‍රදේශයේදී වේල්ලක් බැඳ හරස් කර චන්ද්‍රිකා වැව තැනීමට කටයුතු කර තිබෙනවා. 


මෙම වේල්ල ඉදිකිරීමට මුල් ගල තබා ඇත්තේ 1957 ඔක්තෝබර් 07 වනදා වන අතර වැවෙහි ධාරිතාව අක්කර අඩි 22000ක් වනවා. වේල්ල කිලෝ මීටර් 2.5 දිගකින් සමන් විත වන අතර ඒහි උස මීටර් 19.20 ක්. මේ ව්‍යාපෘතියට සබැඳිව ගොවි ජනපදයක් පිහිටුවීමට ඒවක රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම අලුත් ගොවි ජනපදයහි අක්කර 5000ක භුමියක ගොවි පවුල් 1800ක් පදිංචි කිරීමෙන් පසු කුඹුරු අක්කර 15000ක් පමණ අස්වද්දා තිබෙනවා.





මෙම ව්‍යාපෘතියට ඒ කාලයේ වැයවී තිබෙන මුලු මුදල වශයෙන් දැක්වෙන්නේ රුපියල් 12,500,000 ක් ලෙස සැලකෙනවා. චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය මගින් වලවේ ගංගා ධාරය‌ේ වෙසෙන ගොවි ජනපද වල මිනිසුන්ගේ ජීවිත සමෘද්ධිමත් වී ඇති ආකාරය ඉතිහාසය පිලිබඳ සොයා බලන විට දකින්නට පුලුවන්. 

1950 දශකයේදී නොදියුණු ජනගහණයකින් යුක්ත ජීවත් වීමට නොසුදුසු පළාතක් ලෙස සැලකුණු කොලොන්න කෝරළය අද වන විට ඉතා දියුණු පහසුකම් සහිත දියුණු මිනිසුන්ගෙන් සමන්විත ප්‍රදේශයක් බවට පත්වීමට මෙවැනි වාරි ව්‍යාපෘති හේතුවෙන් ශක්තිමත් වු ආර්ථික තත්වයත් එක් හ‌ේතුවක් වී ඇති බව නොඅනුමානයි. 

වැසි වසින කාලයට වාන් දමා උතුරන චන්ද්‍රිකා වැව් කොමළිය සංචාරක ආකර්ශනය නොඅඩුව දිනා ගන්නා ස්ථානයක් වී තිබෙනු දැකිය හැකියි. 

Monday, November 24, 2025

මගේ පුනරුද කලාපය 06

 


ටික වෙලාවකින් අමයුරු බලාපොරොත්තු බිඳිලා ගිය බැල්මකින් සුක්කානම තට්ටු කළේ ඉතා දිගු වාහන පෝලිමක බලා සිටිමේ අපහසුතාවය හොඳටම දැනිලා වෙන්න ඇති. 

" මේක නම් එපා වෙන වැඩක් ..." මමත් දිගු හුස්මකින් පිළිතුරු දෙනවා ඇරෙන්න කරන්න දෙයක් දැනගෙන හිටියෙ නැහැ . අමයුරුටත් මටත් දඹ වරුසාවක් නිසා එක වාහනයක් ඇතුලෙ එක දිසාවකට යන්න සිද්ධ වුණාට මං දැනගෙන හිටිය විදියට අමයුරු විශ්වයට ලග මිනිහෙක්. තමන්ගෙ විශය ඇතුළෙත් තමන් ගෙ ලෝකය කියවිම ඇතුලෙත් ඒ විශ්වීය කියැවීම නිරන්තරයෙන් දකින්න ලැබුණා. 

ආදිත්‍යා කියනිනෙ දඩයම් යුගයෙ ජිවත් වුනා නම් සහජ ඥානය සියුම් ඉව වගේ දේවල් පිහිටලා නැති නිසාම සිංහයා චුයාන්ගම් එකක් වගෙ හපා දාන කෙල්ලෙක් කියලා දිමිත්‍රි කී කතාව මට සිහිපත් වුණා. මං වැඩිය හිතන්න කම්මැලි කෙල්ලෙක්.  මට හිතන්න තියෙන සීමාවෙන් පිටත මම විශ්ලේශණය කරනවා ඉතාම අවමයි. හැම වෙලාවකම මම කැමති වෙලා ඉඳලා තියෙන්නේම මගේ පහසු කලාපය ඇතුළෙ ජීවත් වෙන්නයි. ඒ පහසු කලාපය ඇතුළෙ මට මගේ ජීවිතය විනිවිද දකින්න අවස්ථා තිබිලාම නැති වුණත් මට හමුවුණ ටිකිත්ත ජීවිතය කියලා හිතාගෙන මම ජීවත් වෙලා ඉඳලා තියෙනවා. 

අලුත් පාළමෙන් පස්සේ ඇත්තටම මංමාවත් තුනී වුණා. ඒ්ත් මෙතෙක් වැහැගෙන වැහැගෙන ගිය නිසා හරි හමන් නගර සැලැස්මක් නැතිව හැමතැනම ගෙවල් හදලා තියෙන පාරක කාණු පද්ධතියට වෙලා තිබුණු සන්තෑසියම හේතුකරගෙන පුංචි පුංචි ගං වතුර තැනින් තැන නිර්මාණය වෙන්න පටන් අරන් ඒ වෙද්දී. මං ජීවත් වෙමින් හිටියෙ උඩු මහලක කුඩා නිදහස් අවකාශයක. වෙහෙසකර දවසක් ගෙවා නිමාකරලා හිතේ සැනසීම සොයාගෙන කැදැල්ල කරා යනවා වගේ මමත් පුරුදු වෙලා හිටියේ මගේම යැයි මට හැගෙන මේ අවකාශයට ඉගිල්ලිලා යන්න. ඒත් මෙහෙම දවස් වලට මේක ඉගිළ යාමක් නෙමෙයි පිහිනීමක් බවට පත් වෙනවා. 

" මේ පාරෙ හුගක් දුර යන්නෝනද?"

" නැහ්... අර පේන ගෙදර"

" ඒත් හොඳටම පාර යට වෙලානේ..ආදිත්‍යා"

" පාර පහුගිය ඡන්දෙට කලිනුත් උස්සලා හැදුවනේ.ඉතින් දැන් පාර දෙපැත්තෙ ගෙවල් ඔක්කොම  වහිද්දි යට වෙනවා.."

" එහෙනම් ඒ කාලෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හොඳ ගානක් කපා ගන්න ඇති පාර හදලා. ලංකාවෙ වැඩිම කැමැත්තෙන් සිද්ධ වෙන ප්‍රජෙක්ට්ස් තමයි ඒවා.. මොකද ඒවායින් තමයි හොදටම කමිෂන් ගන්න පුලුවන්"

" මම මෙහෙමම ගෙදර යන්නං.. ප්‍රොෆෙස ගෙදර යන්නකො.."

" මම යන්නෙ කොහොමත් වාහනේ නේ ආදිත්‍යා.. මේ දණටත් වඩා යට වෙලා තියෙන වතුරෙ කොහොමද ඔයා යන්නෙ.." 

මට මං ගැන ආත්මානුකම්පාව කියනෙක දැනෙනවා අඩුයි. එහෙම වෙන හැම වෙලාවකම මට හිතෙනවා. ආදි මේ තමයි ඔයාගෙ ජිවිතේ පහසුව හොයාගෙන  ගිහින් ඔයා ලබා ගත්ත දේ කියලා..ඇත්තටම ඒකෙ කිසිම වරදකුත් නෑ. දිමිත්‍රි කියන්නෙ නරක මිනිහෙක් නෙමෙයි. ඇත්තටම ආදරේ කරන්න නොදැන හිටියාට දිමිත්‍රි ඇතුළෙ ආදරණීය මිනිහෙකු හිටියෙ නෑ කියලා කොහොමත් හිතන්න බැ. ඉතින් මේ තත්පරේ ඇත්තටම මට මං ගැන දුක හිතෙමින් තිබුණා. ශක්තිවන්ත ස්වාධීන  ගැහැනු විදියට තමන් විසින්ම අළවා ගෙන ඉන්න පැලැස්තරේ කොන් වලින් ගැළවෙමින් තිබුණා.

" අනේ ඒකට කමක් නෑ ප්‍රොෆෙසර් මට පුලුවන් මේ ටික දුර යන්න"

" එහෙම නෙමෙයි, ඔයා අකමැති නැත්නම් අපි මෙහෙම කරමු. මට හොඳටම බඩගිනි.. අපි මේන් රෝඩ් එකට ගිහින් රෙස්ටොරන්ට් එකකින් ඩිනර් ගමු. ඒ වෙද්දි මේ වතුර ටික අඩු වෙයි" 

මට එහෙම බොහොම හැදියාවකින් යුක්ත ආරාධනාවක් ප්‍රතික්ෂේප කරන්න තරම් අධිතක්සේරුවක් මං ගැන තිබුණෙ නැහැ ඇත්තටම. මම හිස සෙලෙව්වා. අමයුරු වාහනය හරවා ගනිමින් ඔහුට පුරුදු ඇති කියලා මට හිතුණු ෆැමිලි රෙස්ටොරන්ට් එකක ට පදවාගෙන ගියා. 

ඉඳගන්න පුටුව පසෙකට කරලා දෙන අතරම හරිම ප්‍රසන්න හිනාවකින් ඔහු මං ඉදිරියෙන් ඉඳගත්තා.  කන්න කැමති බොන්න කැමති මොනවද කියලා කිසිම දෙයක් නොදන්න මිනිස්සු විදියට අපි දෙන්නා වෙන වෙනම ඇණවුම් කළා. ඒකට සම්පුර්ණ නිදහස තිබුණු එක ඒ මොහොතේ හැටියට නම් පහසුවක් වුණා. ඒ අතරතුර කාලයේ දී අපි මේ ඉන්ටනැශනල් සිම්පෝසියම් ඉතිහාසයත් මුල්ම කාලේ අපේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්නට තිබුණු වේදිකා අඩුකම වගේ මාතෘකා ගැන කතා කළා. 

" ඇයි ඔයා වැඩිදුර ඉගෙන ගන්න අකමැති?"

අමයුරු බොහොම තීරණාත්මක බැල්මකින් මදෙස බලා ඇහුවා. මම දෙවුර සෙළෙව්වා. මම ස්වභාවයෙන්ම ඉගෙන ගන්න කම්මැලි මනුශ්‍යයෙක්. මට මේ ලාබාල මහාචාර්යවරයා ඉදිරියේ ඒ වාක්‍යය නොකියා ඉන්න පරෙස්සම් විය යුතුයිද? 

" මට කම්මැලි හිතුණා."

නැහැ. මම කිසිම අරපරෙස්සමක් නැතුව ඔහු ඉදිරියේ ඒ වචන ටික කියා දැමුවා. නොබියව එහෙම කිව් විලාසය නිසාමද මන්දා අමයුරු ගේ මුහුණට කිසිම ආයාසයකින් තොර සිනාවක් නැඟුණා. ඒක ඇත්තටම හරිම කිවුට් හිනාවක්. පින්තුරයක් ෆේස්බුක් දැම්මා නම් වෛරල් වෙන තරමේ හුරතල් කන්දරාවක් ඒ හිනාව ඇතුළෙ. 

" ඒකටත් ඉතින් අයිතියක් තියෙනවා මනුස්සයෙක් වුණාම"

" කෝකටද?"

" කම්මැලි වෙන්න... අකැමති‌ දේවල් නොකර ඉන්න"

මම හිනා නොවී බලා හිටි හින්දා අමයුරු මං දිහා බරපතල බැල්මක් බැලුවා. 

" හැබැයි කවදාවත් කැමති දෙයක් වෙනුවෙන් කම්මැලි වෙලා ඒ දේ නොකර ඉන්න එපා.ඒක තමන්ට කරගන්න ලොකු අපරාධයක්.. දවසක හෘද සාක්ෂිය අනිවාර්යෙන්ම තමන්ව අපරාධකාරයෙක් කරනවාමයි එහෙම වුනොත්" 

ඒක ටිකක් සැර අධි මාත්‍රාවක්. කළවම් නොකර බීපු සැර බීමක් වගේ. අපි ආපහු එනාතරතුර වාදනය වෙමින් තිබුණේ... රුදුරු තුරු වදුලේ ... අපි අතරෙ කතාබහක් තිබුණේම නැති වුණාට අමයුරු හිටියෙ හිතින් කොහෙදෝ දුරක අතරමං වෙලා යාන්තමට ගීතයේ වචන මුමුණන ගමන්... 

ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ!

රුදුරු තුරු වදුලේ අහලා බලන්න

Friday, November 14, 2025

මගේ පුනරුද කලාපය 05


සද එලිය වගේ ඇවිදින් 
තනි මැකුවෙ නුඹේ සුවදින් 
මේ දිවිය අතරමගකින් 
මග නතර නොකොට හිනැහෙන්

ඒක හරි සංවේදී සින්දුවක්. වාහනය පුරාම විහිදුන සෞම්‍ය සුවදට මාත් ආස වෙලා හිටියා. ගෑනු කියන්නෙ සපුරාම දෝශ සහගත නිශ්පාදන. කායිකව සර්ව සම්පුර්ණ ගැහැනියක් වුණත් මානසිකව කිසිම නිශ්පාදන දෝෂයකින් තොරව පවතිනවාය සිතීමම අවුලක්. කොහේ හරි සියුම් තැනක මේ සම්පුර්ණත්වයේ සමබරතාවය බිඳෙනවා. දශම ගාණකින් එහෙ මෙහෙ වීමම හොදටම ඇති 

ආදිත්‍යාත් ඒ "මේඩ්" එකේම අසමබරතාවයක් පවතින ගැහැනු කොට්ඨාසයෙන් එක් ජීවිතයක් පමණයි. දිමිත්‍රි ත් මාත් දවසක් බොරැල්ල උමං හුවමාරුව ඇතුලෙන් මාරු වෙමින් හිටියා. ඒ වෙනකොටත් රෑ බෝවී තිබුණු නිසාවෙන් උමං මාර්ගයේ හැමදේම සෙවනැලි සමග මුහු වෙමින් තිබුණෙ.වැඩි කල්පනාවකින් තොරවම මං හැරී ඇවිද යමින් හිටියෙ පොදු වෙළඳ සංකීර්ණය පැත්තට. එක වරම දිමිත්‍රි මා ලගින් ඇවිදින්නේ නැති අඩුව මට දැනුන නිසා හැරී බලද්දි මෙන්න ඔහු ඉන්නවා 

අපි යන්න ඕනෙ බස් නැවතුම්පළට. ඒත් මං විතරක් හිටියා නම් මං ආපහු හැරිලා නොයා ලිඩෝ එක ගාවින් පාර මාරු වෙනවා. නමුත් ඒ වෙද්දි මගේ අනුවණකම පිලිබඳ අප්‍රමාණ කලකිරිමට පත්වෙලා උන්නු මගේ වල්ලභ උතුමාණන්ගෙ කේන්ති මාපකය තවත් ඉහළ නොයවා  ආපහු හැරෙන වගකීම මගේයි. ඇත්තටම කිව්වෝතින් දිමිත්‍රිට මේ වගේ වෙලාවට කේන්ති යනවා වුනත් මේ මොහොතේ එයා හරිම ලස්සනට හිනාවුණා. 

" ඇත්තටම ඔියි මට හිතාගන්න බැරි තමුසෙට ඔය ඩිග්රි එක හම්බ වුණේ කොහොමද කියලා"

" ඒ ඇයි දිමිත්‍රි..."

" ඇයි කියන්නෙ බං මේ ඇස් දෙකේ හැපි හැපි නව බස්තැවතුම්පල කියලා තියෙද්දී තමුසෙ කොහොමද හොඳටම පාර දන්නවා වගේ අර පැත්තට ගියේ"

මේ වගේ වෙලාවල උත්තර දෙන්න හොඳ නැති බවත් මෝඩියක් වගේ හිනාවෙලා නිශ්ශබ්දව ඉන්නෝන බවත් ගෑනු දන්නවා. එහෙම නොවුණා නම් උමං හරස්පාර ඝාසා තීරයක් වීම වලක්වා ගන්න බැරුව යනවා. 

" සිරාවටම ආදි... තමුසෙ දඩයම් යුගයේ වගේ හිටියා නම් සිංහයා වගේ සතෙක් තමුසෙව චුයින්ගම් එකක් වගේ වමාරා කනවා.. ආයෙ හපනවා...ආයෙ ගිලිනවා..වමාරනවා..ආයෙ කනවා.. ඒ්ත් තමුසෙ උගෙ උල්දත් වලට හැපි හැපි ආතල් එකේ ඉඳිවි.. කීයටවත් පැනගන්න ට්‍රයි එකක් වත් දෙන එකක් නැ.." 

මට හිනා ගියා. ඒ වගේ කතාවකට මට බඩ අල්ලගෙන හිනාවෙන්න පුලුවන්. ඒත් මේ ඒකට වෙලාව නෙමෙයි නිසාත් කේන්ති මාපකය ගැන මට තිබුණු හසල අවබෝදය නිසාත් මම ටිකක් හෙමින් හිනාවුණාම දිමිත්‍රිත් ඒ හිනාවට එකතු වුණා. මතක කියන්නෙ ලස්සන දේවල්. ඒවා අපි නොහිතන වෙලාවට අපේ හිත් ඇතුලෙ න්ම මතුපිටට එනවා. මට හිතුණා මෙහෙම. අපි හැමදාම ඉන්නෙකක් නැහැ. ඒත් අපි හදාගන්නා මතකයන් කවදාවත් මියෙන්නෙ නැහැ.ඒවා විවිධ අවස්ථාවන් වල අපේ හිත් මතුපිටට එනවා. ඇවිත් අපට හිනාමල් දීලා ආපහු උන්නු තැනටම යන්න යනවා. 

අමයුරු මගේ ආගන්තුක හිනාව ගැන අවධානය යොමු කළා වගේ දැනෙන පළවෙනිම මොහොතේදි මම හිනාවෙන එක නතර කළා. 

" මිස් හිනාවෙන්නෙ බොහොම කලාතුරකින්නෙ.."

මම ටිකක් ගැස්සිලා වගේ අමයුරු දිහා බැලුවා. එයා මිස් කියලා කතා කරන බව මම දැනගෙන හිටියා. මට ඇහිලා තිබුණා. අපේ පරිපාලන නිලධාරිනියටත් අමයුරු කතා කරන්නේ මිස් කියලා බව. තරුණ ම තරුණ මහාචාර්යවරයෙක් නිසා එහෙම ගෞරව නම්බු නාම දීලා කතා කරනවා මිසක මං දැනගෛන හිටිය අනික් ආචාර්ය මහාචාර්යවරු නම් අපේ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට නම්බු දීලා කතා කරන්නේම නැහැ. 

" එහෙම දෙයක් නැ ප්‍රොෆෙසර්.." 

මම සර් නොකියා ප්‍රොෆෙසර් කියලා අමයුරුව අමතන්න හිතා ගත්තා. අපි හැමෝම දන්න වෙනස් ප්‍රොෆයිලයක් නඩත්තු කරන මේ ජේත්තුකාර තරුණයාව ඔිනැවට වඩා යටහත්  පහත්ව කතා කරලා කර උඩට ම නග්ග ගන්න ඔිනෙ නැහැ කියලා මටත් හිතිලා තිබුණෙ. 

" කොහොම දෙයක්ද නැත්තෙ?" 

ඔහු වඩාත් මිත්‍රශීලි ලීලාවකින් විමසුවා. 

" මට මගේ එක්ස් කීව දෙයක් මතකෙට ආවා.." 

මම තවත් හිනාවක් තවරා ගත්තා. 

" මෙච්චර සන්සුන් හිනාවක් නම් එක්ස් මතක් වුණාම ඔයාගෙ මූණට එන්නේ ඔයාගෙ එක්ස් ලස්සන මනුස්සයෙක් වෙන්නෝනේ නේද?" 

මම හිස සැලුවා. දිමිත්‍රි ඇත්තටම ලස්සන මනුස්සයෙක්. මගේ යෙහෙලියන් අපි පෙම්වතුන් උනු මුල්ම කාලයේදී දිමිත්‍රි ගෙ උස ගැන ඔහුගේ ගමන් විලාසය මනරම් සිනහව ගැන ඉරිසියාත් කළා. එපමණක් නෙමෙයි. නිශාදි අපේ ජිවිත මැද්දට ඇවිත් දිමිත්‍රිව උදුරා ගත්තායින් පස්සේ ඔවුන් විස්සෝප වෙමින් කියා හිටියේම අපරාදේ ආදි උඹ ලෝකෙ ඉන්න ලස්සනම කොල්ලෙක්ව අහිමි කරගත්තා කියලා. 

" එක්ස් ලා කියන්නෙම මිස්, අපේ ජිවිත වල අතීතය..අපි අතීත කර ගහන් වර්තමානයේ ඇවිදින එක අනවශ්‍ය බරක් දරන් ඇවිදිනවා වගේ කියලා හිතෙන්නැද්ද?"

මම දෙව්‌ර සෙලෙව්වා. ඒ වෙද්දි අපි යාන්තමින් දෙමටගොඩ පාළම අසලට ළගා වෙමින් හිටියා. අමයුරු කියන්නේ පහසුවෙන් මැසිවිලි නොනගන මනුුුුුස්සයෙක්ය කියලා මට ඒ තත්පරයට දැනිලා තිබුණා. ඒ අමයුරු සම්බන්දයෙන් මා අසා තිබු දේවල් එක්ක ගොඩ නැගි තිබුණු පදනම නිසා වෙන්නත් ඇති. මට හොඳටම මතක තියෙනවා අමයුරු අපේ රිසර්ච් ෆෙලෝ වශයනේ තෝරාගන්නා අවස්ථාවේ අධ්‍යක්ෂකතුමා විසින් කරන්නට යෙදුණු කතාව

"අමයුරු කියන්නෙ වෙනස් විදියක මහාචාර්යවරයෙක්. ඇත්තටම අමයුරු ලංකාවට සම්පතක්..අපට මේ අවුරුද්ද කියන්නෙ ආශිර්වාදයක්.." 

" එයා හිතනවා ඇති එයා කරන්නෝන වැඩ ඔක්කෝම ප්‍රොෆ් අමයුරු ගෙන් කරගෙන අයිස් කන්දක් වගේ ඉන්න. කොහොමත් ඉන්නේ එහෙමනේ..." මා අසළ සිටි අපේ ආයතනයේ මා හැර සිටින අනික් එකම කාන්තා නියෝජනය උමන්දා කිව්වා. මම ඇහිබැම ගස්සලා උමන්දාට " කට වහපං" වචන නැතිව කිව්වා. ඒත් මට වුණත් තාමත් මතක ඒ කතාවේ ඇත්ත නැත්ත දැන් අමයූරුත් දන්නවා ඇති මට හිතුණා. 

" මේ වැස්ස නම් ඉවරයක් වෙන්නෙම නැහැ වගෙයි" මම වින්ඩ්ස්ක්රිරි න්න් එකෙන් නැමිලා වගේ අහස බැලුවා. ඒක මට කවුලුවෙන් බැලුවත් කියන්න තිබුණා. ඉතින් මං කලිනුත් කිව්වේ, මං හරිම නිශ්පාදන දෝෂ සහිත ගැහැනියක්. අමයුරු අනික් පිරිමි වගේම හිත යටින් හිනාවෙන්නත් ඇති. හැබැයි කිසිවක් නොකියා ඉන්න ප්‍රවේශම් සහගත වුණා. 

" ඔයාලගෙ කලින් ජර්නල්ස් දෙකත් එක්ක ජර්නල්ස් හතරක් මේ අවුරුද්දෙ කරන්නෝන කියලා ඩිරෙක්ට කියනවා" අමයුරු උන් හිටි ගමන් ගොඩබැමක් කරන්න සිද්ධ වුණු ගුවන් යානාවක් වගේ අපි අතරට හදිසි සංවාදයක් පතිත කළා. මම නම් කිසිසෙත්ම ඒවගේ අධ්‍යයන මාතෘකාවකට සුදානමින් නෙමෙයි හිටියේ. මගේ ඇස් ලොකු වෙලා තියෙන්න ඇති. දෙවියනේ! ඒක කිසිම තේරුමක් නැති ඇස් හමුවීමක්. මගේ ඇස් වල වික්ෂිප්තයක් පිරී ඉතිරී යන්න ඇතිි. අමයුරු නම් කිසිවක්ම වුණේ නැහැ හැමදේම සාමාන්‍යයි වගේ බැල්මකින් මා දිහා බැලුවා. 

" ඔව්.. මටත් තේරෙනවා. ඒක කරන්න ලේසි නැ කියලා"

දීර්ඝ වෙළඳ දැන්වීම් විරාමයකින් පස්සේ මේඛලා ආයෙමත් රන්සර රාත්‍රියෙ.. අද ඇයට අමුත්තෙකු හමුවෙලාත් නැහැ. මේ වැහි දවසෙ මේඛලාටත් පිස්සුද මන්දා.. මේ අහස යට අර පේන මානෙ ඔරියන්ට් සිටි බිල්ඩිමේ රන් එෆ් එම් මැදිරියකට වෙලා මොන මොනවද මුමුණමින් පිවිතුරු පරම ප්‍ර‌ේමණීය සින්දු වාදනය කරනවා. 

" අපෙ ආදර කතන්දරේ..." ඉතින් දෙවියන්ටවත් පේන්නෙ නැද්ද මේ මායාව.. මං කැමති මේ සින්දුව බිමල් කියනවාට.. ඒක අස්සේ මං දකින්න ආස ම පිරිමි පෞරුශය මට දැනෙනවා. හැබැයි බිමල් රඟපාන එකේ මට එහෙම ආශක්ත භාවයක් දැනිලා නැහැ. 

" ඔයා මේ සින්දුවට ආසයිනෙ නේද?" අමයුරු ආයෙම අහද්දී මම ඇස් දෙක ගලවලා අරන් පාරට අලවා ගත්තා. 

" ඔව්.. හැබැයි මං ආස මේකෙ බිමල් ගෙ වර්ශන් එකට" 

" අපි ඒකත් වෙලාවක අහමුකො.. මං ආස පරන සින්දු පරන විදියටම අහන්න" 

මගේ කන්පෙති ඉස්සුණා. මං හිතනවා ඒ ඉරියව්ව අමයුරුට අහුවෙන්න නැතුව ඇතියි කියලා. ඒත් අපි ඒ්කත් වෙලාවක අහමුකො කිව්වාම නම් පපුවෙ ගැස්ම වැඩි වුණා. පිරිමියෙකුට පපුවෙ ගැස්ම වේගවත් වුණු බව දකින්න තරම් කැපී පෙනෙන ළපැත්තක් නැති නිසාම ඒ ගැන ඔිනැවට වද වෙන්නෙ ඇයි කියලා මම මගෙන්ම ඇහුවා. 

( බිමල්ගෙ කටහඩින් අපෙ ආදර කතන්දරේ අහනවා නම්)


 

Tuesday, November 11, 2025

මගේ පුනරුද කලාපය 04






 අකුණු තැනින් තැන පුපුරන්න පටන් අරගෙන.. අඳුර හාත්පස වසා ගනිමින් තිබුණා. දිගින් දිගටම වැස්ස වැඩි වෙද්දිත් ඌබර් ඇප් එක මාව තවදුරටත් රියදුරන් සොයන බව කියමින් මාව රවටද්දී මම හිත හදා ගත්තා. කීයට හරි වැස්ස නතර වේවිනෙ.. මගේ කාර්යාලය මහල් තුනකින් සමන්විතයි. මගේ කාර්යාලය තිබුණේ දෙවෙනි මහලේයි. බිම් මහල ආරාධිතයින්ට ගැළපෙන කුඩා ලොබියකින් පොත් රාක්ක වලින් සමන්විත පුස්තකාල ස්වරුපයේ අවකාශයකින් යුක්ත වුණා. ඒ අතර වීදුරු වලින් වට කරන ලද රිසර්ච් ෆෙලෝ ගේ කාමරයේ විදුලි පහනක් දැල්වෙමින් තිබුණා. මම උඩු මහල බැහැගෙන එද්දී යාන්තමට වගේ දැක්කා යාන්තමට කෘතිම තුශාරයකින් වැහී ගියපු ඒ් කාමරේ වීදුරු බිත්ති අතරින් ලැප්ටොප් එකක පුංචි ඉංග්‍රිිසි අකුරු තිරයට‍ කිට්ටු වෙවෙ බලාගෙන ඉන්න රිසර්ච් ෆෙලෝව. 

ෆෝන් එකත් බලා ගෙන ලොබියට වෙලා බලිපොරොත්තු බිඳීගිය බැල්මකින් බලාගෙන උන්නු මං දිහා අපේ කාර්වාල කාර්ය සහායකයා අනුකම්පා සහගත බැල්මක් බැලුවා. හුගක් වෙලාවට එයා කාකාස උතුමාණන් විදිටයට අනික් අයත් එක්ක හැසිරුණාට මාත් එක්ක හොද මානව සම්බන්ධතාවක් පවත්වා ගෙන ගියා. සමහර විට එයාගෙ අනුකම්පා සහගත බැල්මට හේතු වෙන්න ඇත්තේ ඉස්සර හැමදාම ඔෆිස් ඉවර වෙන වෙලාවට පිවිසුම අසලට පැමිණෙන දිමිත්‍රිව වෙන්න ඇති. දිමිත්‍රි මාව අත් ඇරලා වෙන ගෑනියෙක් එක්ක කසාද ජීවිතයක් පටන් ගත්තාය කියනෙක අපේ ඔෆිස් එකේ හැම කෙනෙක්ම දැනගෙන හිටියා. මොනවා උනත් ඒ වෙද්දි මං ඒ්ක අරුමයක් විදියට නොසලකපු නිසා මගෙන් කවුරුවත් විශේෂ විස්තරයක් අහගන්න ආවෙත් නැහැ. 

" කසාදෙත් ආදිත්‍යගෙ.ජිවිතෙත් ආදිත්‍යාගෙ.. කාාගෙ අතේද වැරැද්ද කියනෙකට වඩා දැන් ඉතින් හිතන්නෝන කොහොමද ඉස්සරහට යන්නෙ කියලා ආදිත්‍යා. අපට තියෙන්නෙ උස ටවර එකක් තරම් බලාපොරොත්තු තුළුනක් නම් ටවර් එකේ උසම තැන බලලා හුල්ලන්න එපා. ඔයාට ලේසිවි ටවර් එකේ පහලම කෙළවරට යන්න ඔයාට තියෙන දුර තීරණය කරලා ඒ ටික ඇවිද ගෙන යන්න ට්‍රයි කරනෙක" 

ඇත්තටම මං දිමිත්‍රිගෙන් දික්කසාද වෙන කාලෙ වෙද්දී ලංකාවෙ අධිකරණ වල වැඩියෙන්ම විභාග වුණෙ දික්කසාද නඩු. එතකොටම මුලු සමාජයම තේරුම් අරන් තිබුණා මිනිහාට ජීවත් වෙන්න අමාරුම සත්වයා ගැහැනිය බවත් ඔවුන් සෑහෙන ලොකු සාද පවත්වලා නැකත් බලලා මේ අරඹන කුටුම්භ ජීවිතය අයත් වෙන්නේ සමාජ සංස්කෘතිකමය රාමුවකට පමණක්ය කියලා. වයිස් වර්සාත් ඒක එහෙම බවත්.  ඒ නිසා මගේ දික්කසාදය ගැන දැනගෙන හිටිය අයට ඒක අමුතුවෙන් කතා කරන්න තරම් මාතෘකාවක් වුණාය කියලා මම හිතන්නේ නැහැ. 

දිමිත්‍රි වගේ හැඩකාර යව්වන පෙනුම මිනිහෙක් අහිමි කරගත් වරද මගේය කියා බොහෝ අය මට දොස් නගා තිබුණු කාලයක උපනන්ද අපේ කාකාස, මං ගැන අනුකම්පාවෙන්ම හිතුවා. ඔහු දන්නා විදියට ආදිත්‍යා මිස් කියා කියන්නේ දාහකින් හොයා ගන්න බැරි තරම් මානුශික හදවතක් හිමි ගැහැනියක් බවත් අර දිමිත්‍රි මහත්තයාට එයාගේ ආදරය තමන්ගේ කර ගත්තා වුණත් ඒ වගේ රත්තරන් ගෑනියෙක්ව පරිස්සම් කර බලා ගන්නට උවමනාවක් නැති බවත් උපනන්ද හැමතැනම කියනවා කියලා මටත් ආරංචි වී තිබුණා. 

" මැඩම් මෙහෙම වාහනයක් නැතුව රස්තියාදු වෙන්නෝන කෙනෙක් නෙමෙයි... ඉන්න මං ත්‍රිවීල් එකක් හරි කතා කරගෙන එන්නම්"

උපනන්දට එපා කිව්වාට වැඩක් නැහැ. ඔහු ඒ තාලයේ මනුස්සයෙක්. හිතුණොත් හිතුණුදේම කරන්නම උපනන්දට උවමනායි. මම ලොබියේ වාඩිවී හිටියා. දොරනේ පිටත අපේ රාත්‍රි වැඩ මුරයෙ යෙදනෙ ආරක්ෂක නිලධාරියා ත් වැස්ස දෙස බලාගෙන හිටියා. උපනන්ද ජීවත් වුණේ අපේ කාර්යාලයේ බිම්මහලෙ තුල තිබුණු කුඩා කාමරයකයි. ඔහුත් ආරක්ෂක නිලධාරියාත් සහයෝගයෙන් රාත්‍රිකැම උදෑසන තේ වේල වගේ දේවල් බෙදා හදා ගනිමින් ජීවත් වුණා. මේ වගේ දහස් ගාණක් තොරතුරු මගේ සිතුවිලි අතර නන්නත්තාරේ යන වෙලාවක පාට පහේ කුඩය දිිගේ තවත් වැස්සකට වතුර පුරවාගෙන උපනන්ද ඉදිරිපස වාහන නවත්තන්නට තියෙන ඉසව්වට ගොඩ වුනා. තද වැස්සට ඒ මනුස්සයා හොදටම තෙමිලා. 

මේ වෙලාවේ තමයි තමන්ට නියමිත කාමරයේ විදුලි පහන නිවාගෙනම රිසර්ච් ෆෙලෝ පිටතට ආවේ. මට ඔහු කිහිප වතාවක් හමුවී තිබුණත් මට ත් ඔහුටත් මුහුණට මුහුණ තනිව කතා කරන්නට නම් අවස්ථාවක් ලැබී තිබුණේම නැති තරම්. 

" තවම ගියෙ නැද්ද මිස්?" ඇත්තටම ඒ ප්‍රශ්නය ඔහු ඇසුවේ මගෙන්ද නැත්නම් උපනන්ද ගෙන්ද කියා මට දැනුත් සැක සහිතයි. මං හිතුවේ ඔහු ඇත්තෙන්ම මට කතා කළා කියලායි. අදටත් මට හිතෙන්නේම එහෙමයි. මං ඇත්තටම ඔහුට හිනාවකින් උත්තර දීලා, " වැස්ස වැඩි නිසා ඌබර් පික්මි එකක් වත් වැටෙන්නේ නැහැ  " කියා කීවා. 

ඔහු චොක්ලට් පාට දෙකම්මුල් දෙපසට ඇද්දා.. ටිකක් සරාගී පාට ඇස් වලින් හිනාවෙලා උපනන්ද දිහාට හැරුණා. යලිත් මං දිහා බැලුවා. 

" මිස් යන්නෙත් මං යන රුට් එකේම නම් මාත් එක්ක යන්න පුලුවන්" 

මේක හරිම වෘත්තිමය ආරාධනාවක්. අනිත් කාරණාව මේ වගේ වෙලාවක ඒ වගේ තීරණයක් නොගෙන තව දුරටත් මෙතන තැක් ගැහි ගැහි ඉන්න එක නම් තේරුමක් නෑ වගේ බැල්මක් උපනන්ද ගේ මූණේත තිබුණා. අනික මේ රිසර්ච් ෆෙලෝ වශයෙන් පත්වෙලා ඉන්න වෘත්තිමය තත්වයක් සහිත ආචාර්යවරයෙක් මා සිටි තත්වය දැකලා කරන ලද අනුකම්පා සහගත ආරාධනාව ගැන වෙන විදියක කියවා ගැනීමක් කරනවානම් ඒක මනුස්සයෙක් විදියට මං කරන මහ අසාධාරණ වැඩක්. 

ඒ වෙනකොටත් ධාරාණිපාත වැස්සක්. ආචාර්ය අමයුරු සුරනිමල ගෙ වාහනය ති‌බුණෙ අපේ කාර්යාල වාහන නවත්තන්න තියන තැනක ඔ්නැවට එපාවට වගේ නවත්තලා. දැකපු ගමන් ඔින කෙනෙකුට හිතෙනවා මේ මනුස්සයා මේ වාහනේට නම් ආදරේ නැහැ වගේ හැගිමක්. අපේ උපනන්දට කිව්වත් වාහනේ හෝදලා දෙන්න කියලා මිනිහා හරි සන්තෝසෙන් ඒක කරනවා. කලින් අපේ ආයතනයෙ හිටපු අධ්‍යක්ෂකවරු එහෙම කරනවා මං දැකලාත් තිබුණා. කොහොමත් උපනන්ද වාහන වලට හරි ආදරේ මනුස්සයා. මුලු ජීවිත කාලෙන්ම වැඩි කොටසක් මේ රස්සාව වෙනුවෙන් වැය කරලා කැප කරලා හිටියට ඒ මනුස්සයාටත් ලොකු ලොකු හීන තියෙන්න ඇති කියලා මට දැනිලා තිබුණේ අධ්‍යක්ෂතුමා වාහනයක් හෝදලා දෙන්න කිව්වාම මිනිහා ඒ ගැන දක්වන උනන්දුවත් එක්කමයි. 

මට ඒ වාහනේ ඉඳගන්න සිද්ධ වුනේ ඉදිරිපස ආසනේ. හේතුව මුලු බැක්ශීට් එක පොත් හාෆ්ශීට් ෆයිල් ගොනු විසිරිලා තිබීමත් හැන්ගර්ස් වල එල්ලන ලද කමිස දෙකක් විතර එල්ලිලා සිටීමත් නිසා. සාමාන්‍යයෙන් අහම්බෙන් වගේ දැකලා තිබුණු මනුස්සයෙක් එක්ක මේ වගේ දරුණු වරුසාවක මහ දිග ට්‍රැෆික් එකක ටිකක් දුර ගමනක් යන්න සිද්ධ වෙන එක නම් මගේ කියවීමේ හැටියට ඒ තරම් සෞඛ්‍යට හිතකර කාරණාවක් නෙමෙයි. මම පුලුවන් තරම් උත්සාහ කරන්නේ නිශ්ශබ්දව කවුලුවෙන් පිටත බලා ගෙන යන්න. ඒ් වුනාට මට තේරුණු විදියට අමයුරු දෙතුන් වතාවක්ම මං දිහා බැලුවේ මොකක් හරි කතාබහක් පටන් ගන්න. 

" මං සිංදුවක් ප්ලේ කළාට කමක් නෑනෙ නේද?".

" ආ.. කමක් නැ සර්" 

ඇත්තටම රේඩියො එකේ විකාශය වෙමින් තිබුණෙ රන්සර රාත්‍රිය. ටිකක් දිගට ජාතියේ මහා ටැඹ ලංකා බැංකුවෙ වර්ණනා පිරි වෙළඳ දැන්වීම හැරුණු කොට රන්සර රාත්‍රිය කියන්නෙ ජීවිතේ නිවා ගන්න පැය තුනක්... මට මුලින්ම අමයුරු ගෙ රසාස්වාද ගැන විශ්මයජනක ආකර්ශනයක් ඇති වුණෙ ඒ මොහොතෙ. තමන් කැමති සින්දුවක් තමන් කැමතිම වෙලාවෙ අහන්න කැමති කෙනෙකු ගෙ විශේෂත්වයක් තියෙනවා. ඒක ජීවිතේට සියුම් පහසුවක්!

Friday, November 7, 2025

මගේ පුනරුද කලාපය 03



 දිමිත්‍රි ගෙන් වෙන් වුනාට පස්සෙ මුල් කාල වකවානුව පුරාම මං හරි සතුටින් හිටිය ගැහැනියක් බවට පත් වෙලා හිටියා. තවදුරටත් මං අලුතින්න හොයාගත්න් ගෙදර  තැන ගලවා රෝල් කර දමන ලද ඩෙනිම් කලිසම්, යට ඇදුම්, නොසෝදා අදින ලද මේස් කුට්ටම් කිසිවක් තිබුණේ නැහැ. ගේ පුරාවටම ඉතිරිවී සිටි එකම සජීවී මනුස්ස ප්‍රාණියා මම වීම හැමදේම මට ඕන  විදියටම සිද්ධ  වෙමින් තිබුණු නිසා ජීවිතය වඩාත් පහසු වෙමින් තිබුණා. ඔව්, ඇත්තටම මම එහෙම හිතාගෙන හිටියා. මට උවමනා නම් මම කැමතිම කෑම කන්නත් , බීම වර්ග බොන්නත් නොකා නොබීම ඉන්නත් මේ කිසිම කිසිවකට කිසිම තැනකදී බාධාවක් තිබුණේ නැහැ. මිනිසුන් ඉක්මණින් වෙහෙසට පත් වෙනවා. හැමදේම හරිම ඉක්මණින්ම එපා වෙනවා. ඒ මිනිසුන්ගෙ ස්වභාවය. 

ඒ දවස් අවසාන වෙද්දී මම මට උවමනා හැමදේම කිරීමෙන්ම වෙහෙසට පත් වුණා. දිමිත්‍රිගෙත් මගෙත් විවාහ බැම්ම තුලදී මම කරන්නට ආසාවෙන් හිටි හුගක් දේ මං ඒ වෙද්දි කරල අවසානයි. තනියම ලොකුපොප් කෝන් මල්ලක් රැගෙන චිත්‍රපට නරඹන්නට යාම, නගරයේ රූෆ් ටොප් එකකට වී පෝය දවසක පැස්ටා දීසියක් තනිව හිස් කිරීම , කඩදාසි බෑගයක දැමු ඉස්සො වඩේ හපමින් ගාලු මුවදොර ඇවිදගෙන යාම වගේ දේවල් ඉන් කීපයක්. තවදුරටත් මට කරන්නට උවමනා වී තිබුණේ සංචාරක කණ්ඩායමකට එකතුවී ඊජිප්තු සංචාරයක යෙදීම, තනිව රාත්‍රියක අධිවේගී මාර්ගයේ රියක් ධාවනය කරරගෙන ගොස් දකුණු වෙරළේ මුහුදුබඩ නවාතැන් පලක මුහුදේ ඝෝශාව ඇසෙන කාමරයකටවී නිදාගැනීම , ඇල්ල වගේ මං ආසම ඉසව්වක දිනක් දෙදිනක් නිහඩව ගෙවා දැමීම වගේ ක්‍රියාකාරකමක් පමණයි. 

මිනිස්සුන්ට ජීවත් වෙන්නට බලාපොරොත්තු කොතරම් පිටුවහලක් වෙනවාදැයි තේරුම් ගැනීමට මට අවශ්‍යව තිබුණා.  දිමිත්‍රි එක්ක ජීවත් වෙන කාලය පුරාවට මට වරින් වර ඇතිවු බලාපොරොත්තු තිබුණා. අවසාන කාලයේ වෙන්වීමේ උවමනාව. ඒකත් එක්තරා විදියකට බලාපොරොත්තුවක්ම තමයි.ඒත් ඉන්පස්සේ,…ජීවිතයට ප්‍රතිකර්ම අවශ්‍ය බව මට තේරුම් යමින් තිබුණා. මේ කිසිවක් කෙටි කාලයක් තුල සිදුවු දේ නෙමෙයි. ක්රම ක්රමයෙන් සිදුවෙමින් පැවතුණු දේ. සමහර වෙලාවක උවමනා වට වැඩියෙන් පිළිවෙල උනාම ඒකත් වදයක්ව දැනෙන්න පටන් ගත්තා. ඉතින් මම අපිළිවෙලටත් ඉදලා අත්හදා බැලුවා. 

මිනිස්සු කියන්නෙ කිසිවිටෙකත් තෘප්තිමත් කරන්නට බැරි වර්ගයක් බව මටම තේරුම් ගන්න ඉඩ සැලැස්වීම ගැන මම දෛවයට ස්තුතිවන්ත වෙමින් හිටියා. නිස්කාරණේ ගෙවෙන සමහර දවස් වල නාස්ති වෙන කාලය ගැන මම අලුතින් වද වෙන්නට උත්සාහ කළේම නැති තරම් . ම⁣ං ඇතුළෙන් මට නුහුරු හඩක් නැගෙමින් තිබුණේ සාමාන්‍ය රළ නැගෙන විදියට වුණත්‍, හිටි ගමන් එක දවසක ඒක සුනාමියක් තරම් චණ්ඩ ව නැගෙන්නට පටන් ගත්තා. 

මහ අකල් වරුසාවක් දවස් කීපයක් තිස්සේ ඇද හැලෙන්නට පටන් අරන් තිබුණා. කොළඹ කියන්නෙ වැස්සට ලස්සනට දියවෙන නගරයක් වුණාට‍, වැස්ස එක්ක ගොඩ ගැහෙන වාහන පේළි මිනිස්සුන්ගෙ වෙලාව පාරවල් වලම හප කරලා අත් ඇරලා දාලායි තිබුණෙ. මම උඩු මහලෙ කාර්යාල කවුලුවෙන් බැල්කනියට ඇද හැලෙන වැස්ස දිහාත් ඒ වැස්ස උරා ගනිමින් තිබුණු බෝගන්විලා පඳුරු දිහාත් බලාගෙනම ඌබර් යෙදුමෙන් වාහනයක් හොයමින් හිටියා. 

ජීවිතයත් හරියට ම මෙන්න මේ වගෙ ඕඩර් එකක් දාලා බලා ඉන්නවා වගෙ. ලැබෙන බව දන්නවා. නිසැකයි.  ඒත් ලැබෙනකම් බලා ඉන්නම වෙනවා. 

Tuesday, November 4, 2025

මගේ පුනරුද කලාපය 02

 


 මම ඒ වෙද්දි ජීවත් වෙන්න පටන් අරන් තිබුණෙ තනියම. ඒක හරි සරල වාක්‍යයක් බැලු බැල්මට. මම ඒ වෙද්දි තනියම ජිවත් වෙන්න පටන් අරන් තිබුන කියන්නත් තිබුණා. හැබැයි මට ඊට වඩා කියන්න ඕන වුන දෙයක් එතන තියනවා. ඒ තමයි මම ජීවත් වෙන්න පටන් අරන් තිබුණා කියනෙක. ඒ වෙද්දි, කියන්නෙ ඊටත් කලින් තිබුණ ජීවිතයට සිද්ධ වෙච්ච දේවල් එක්ක මං මැරුණද? 

ඒක මරණයක්ද? ජීවිතයක්ද ? මං දන්නෙ නැ. හැබැයි ඒ යුගය මං හරි සියුමැලිව පෙම් කරපු යුගයක්. මං හරි ආදරණීය පෙම්වතියක්. ශිෂ්ණයක් සහිත මිනිහෙකුට විතරක් නෙමෙයි. අහසට පොළවට වැස්සට මුහුදට! කොළ පාට තෙත බිම් වලට! ඉදහිටක තැනක පොළවට ආසන්නයෙ පිපෙන මලකට! මං හරි දයාර්ද්‍ර හිතකින් ප්‍රේම කළා. 

ප්‍රේමය පිලිබඳ අර්තකතන මං කියෙව්වෙම පොත් වලින්. පොත් අතරෙ හිටිය පෙම්වතුන් විටෙක සුදු චරිත. විටෙක කලු චරිත. මං හිතා ඉන්න ඇති ප්‍රේමය සුදුයි කියලා. එහෙම හිතාන හිටියට ඇත්තම හැම පිරිමියෙක්ම හැම ගැහැනියක්ම අලුයි කියලා හිතන්න මං පුරුදු වෙන්න ඇත්තෙ, ජීවිත ප්‍රාකාරයෙන් එහාට පවුරු වළලු මැද්දෑවෙ පියාඹන්න පළවෙනි අත්තටුව ගහන ගිරා පැට්ටික්කො වගේම මගෙ සිතුවිලිත් ඒ පවුරු වළල්ලෙ හැප්පිලා දකින දකින තැන බිම වැටිලා පණ අදිනවා. 

ප්‍රේමය බිඳුනාට කැණිමඩල නොබිදී පරිස්සම් කරගන්න ක්‍රමවේද තියනවා. දෙන්නෙක්ට දෙන්නෙක් එපා උනා ට වෙන් වෙනවා කියන්නෙම ඛේදවාචකයක් කියලා මං විශ්වාස කළා. ඒ හින්දම වෙන්න ඕනෙ අපි එක වහලක් යට නන්නාඳුන්නන් වගෙ ජීවත් වෙන්න පටන් අරන් තිබුණෙ. ඇත්තටම ඒ වෙද්දි අපි කරදරකාරී සහ අසංවර රණ්ඩු මගාරින්න පටන් අරගෙන. කැළැ පුසන් වගෙ කා කොටා ගැනීම් අතහැරලා. තමන් තමන්ගෙ ජීවිතය ගෙවනවා වගේ සම්මුතියකට නිශ්ශබ්දවම ඇවිත් හිටියා. අනික ඉතින් ප්‍ර‌ේමය බිදීීීමක් හෝ නතර වීමකින් කෙළවර වෙනවාද කියනෙක ගැන මට අදටත් තියෙන්නෙ අවිනිශ්චිත හැඟීමක්.  

කොහොම උනත් ඒක ජීවිතේ එක පරිච්ඡේදයක් පමණක්ව ගෙවී ගිහින් තිබුණා. මට මතක විදියට අපි එක්ව ජීවත් වු නිවසින් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වෙන්නට ඔහු තීරණය කරලා තිබුණු බව මට දැන ගන්නට ලැබුණේ අවසාන දවසට පෙර දවසේයි. අවසාන මොහොතේත් ඔහු නික්ම යනවා දැකීම සංකීර්ණ කාරණාවක් නිසා මම ඒ මොහොත මගාරින්න වේලාසනින් සැලසුම් කරගෙන හිටියා.

" මාව එක්ක යන්න නිශාදි එනවා කිව්වා.. මං එයාට වැඩියෙන්ම එන්න කිව්වේ ඔයාලට කතා කරන්නත් පුලුවන් නිසා.." 

" එහෙම හිතවත්කමක් තියා ගන්න ඔින නැ ඉතින්.. දැන් අපි දෙන්නා වෙන්වෙන්න තීරණය කරලා ඉවරයිනෙ. අපි දෙන්නම කාලෙක ඉදලා අවිශ්වාසෙන් හිටිය තීරණයක් නෙ මේ අරන් තියෙන්නේ.." 

" තරහක් තියා ගන්න දේකුත් නැනේ..ආදි. අපි දෙන්නම දැනගෙන හිටියානෙ කල් ගෙවුණත් අපට මේ තීරණේට කවදාහරි එන්න වෙනවා කියලා"

" නෑ ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ...ඔයාගෙ අලුත් පාට්න එක්ක මට කිසිම අවශ්‍යතාවක් නැ කතා කරන්න අදුන ගන්න"

" ඒත්.."

අපි දිගින් දිගටම හමු නොවි ඉන්න තීරණය කරගෙන හිටියත් දිමිත්රි පහු කරගෙන මං ඉස්සරහට ඇවිද ගෙන ආවා. පාරෙ දකුණු පසට එයා යන්න නියමිත නිසාම පාරෙ වම් පැත්තට හැරුණා. මාත් යා යුතුව තිබුණේ දකුණු පසට. ඒත් එක්ව ඒ පැත්තට ඇවිදගෙන ගියාට පස්සේ එක තැනකදී වැරදුණු බව තේරුම් ගත්තාම තවදුරටත් ඒ පැත්තටම තනිව හෝඇවිදගෙන යා යුතු නෑ කියලා මං විශ්වාස කළා. 

ආදිත්‍යා තනිව වම් පැත්තටත් දිමිත්රි නිශාදි සමග දකුණු පැත්තටත් හැරුණා. ඉතින් මේ අද තියෙන්නෙ ඒ ආපු මංමාවතේම තනිව ආ සළකුණු. නිශාදි ට දැන් දෙවන දරුවා ලැබෙන්න ගැබ්බරයි කියලා මං දැනගත්තෙ යාලුවෙක් එවපු ස්ක්රින් ශොට් එකකින්. 

" උඹ ඉස්සරහා මුට තමයි ශාන්තුවරයෙක් වෙන්න ඕනෙ වුනේ. බලපංකො.. පලවෙනි එකාට අවුරුද්ද පිරෙන්නත් කලින් තව ළම⁣ේක් බඩේ ගෑනිගෙ.."

ඒක කියෙවුවාම මට ඒ වෙලාවෙ හිනාවක් ආවා මූණට. ආදරය තියෙනවා නම් ඒක වෛරයට පෙරළා ගන්නෙ නැතිවම වෙන්වීම තමයි මට දැනෙන හොදම ආදරය දැක්වීම. නිශාදිත් දිමිත්‍රිත් මේ වෙද්දි මොනවා කරනවා ඇත්ද අඩුම ගණනෙ දිමිත්‍රිගෙ සමාජ මාධ්‍ය පිටුවකට වත් ගිහින් බලන්න මට උවමනාවක් නොතිබුණ එක ගැන මට අදටත් පුදුම හිතෙනවා. 

" අතැරල එනවා කියන්නෙ අතැරලා එනවා කියන එකටම තමයි" 


Thursday, October 30, 2025

මගේ පුනරුද කලාපය 01

 


මනුස්සයෙකුගෙ ජිවිතය සාමාන්‍ය තත්වෙකට පත් වෙනවා එක්තරා වෙලාවකදි. ඒ තැනට ළගා වෙන්න කලින් ඒ මනුස්සයා දහසකුත් ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දීලා කැඩිලා බිදිලා වැටිලා ක්ෂුද්‍ර ජිවියෙක් වෙලා එක එක මහා ජීවින්ගෙ පා වලට පෑගිලා සපත්තු අඩි වල එල්ලිලා ජිවිතේට නොහිතු මහාද්විපික තටාක වල ගිලිලා ආයෙ උනුසුම්රැ ලි වලට අහුවෙලා කොහේ හෝ වෙරළකට ගොඩ ගහලා, තියෙනවා වෙන්න පුලුවන්. ඒ හැමදේටමත් පස්සේ මං කලින් කියන්නට යෙදුණු ඒ සාමාන්‍ය තැනිතලා ජීවිතය මනුස්සයෙකුට උදා වෙනවා. 

කලින් ඒ මනුස්සයාට හැම වෙලාවකම පැවති ටෙන්ශන් ස්වරුපය අහිමි වෙනවා. ටිකින් ටික ඒ උච්චාවචනයන් අවම ජීවිත සෘතුව පහසු කලාපය බවට පත් වෙනවා. ඒ පහසු කලාපය ඇතුලෙ ජීවිතය ගෙවීගෙන යනවා. අලුතින් ප්‍රශ්නයක් හෝ අලුතින් අභියෝගයක් නැතිව. එදිනෙදා ප්‍රශ්න එදිනෙදා ගැටලු එදිනෙදා අභියෝග සාමාන්‍යකරණය වෙලා. 

මං ආදිත්‍යා. මං හිටියෙත් මෙන්න මේ සාමාන්‍යකරණය වුන පහසු කලාපය ඇතුළෙ. මගෙ ජීවිතය බැලු බැල්මට හොඳින් ගෙවෙමිනුයි තිබුණෙ. උදේට හීනි වත්සුණු තට්ටුවකින් වැසෙන කෙමෙන් වයසට යමින් තිබුණු සම ත් ඒ තරම් ලොකු අරියාදුවක් කරමින් තිබුණෙ නැහැ. ඒ වෙනකොටත් මං කිසි ගැටලුවකින් තොර ව අගල් තුනක් උල් අඩියක් සහිත සපත්තු දැම්මා. සතියකට දවස් තුනක් ජිම් එකකට ගිහින් සහ සලොන් එකකට ගිහින් ශරිරයට  උවමනා සත්කාරයන් නොකඩවා සිදු කරමින් හිටියා. 

දැන අදුනගෙන හිටි පුංචි වුන් අපුරු යව්වනියන් බවට පත්වෙලා බව දුටුවාම කාලය හරිම වේගයෙන් තිබු බව දැනුණා. ඒ වුනත් ඒ ගෙවී යන කාලය ගැන හෝ වෙන කිසිම දෙයක් ගැන වගේ වගක් නැතිව ගෙවී ගිය දවස් .. මං නිකමට කරපු එකම දේ පුංචි පුංචි කවි කුරුටු ගෑම විතරයි! 

මහිමයෙන් ආදරය උරාගත්
සිනහ කඳුලුත් අපිම දරාගමු 
කිසියම්ම දවසකදි දෙතැන හිඳ
එකම එක මොහොතකදි නික්ම යමු

ඒ කවි වුණත් මහ බරසාර හේතු ප්‍රත්‍යයන් සහිත කවි නෙමෙයි. මට හිතෙන්නෙ ඒවා මල්මයයි. මං හිතින් සෑහෙන්න ඇවිදපු මනුස්සයෙක්. විටෙක මගේ පියවර චිත්‍රපටයක දුටුව යුරෝපයේ කදු පන්ති අතර සැරි සරමින් සිටියා. තව වතාවක මම කල්දියාහි මුහුදු වෙරළත ඇවිද ගියා. ඇල්ල පෙදෙසේ පිනි සහිත රාත්‍රින් වල සංචාරකයන් නොඑන කාලයක හුදකලා රෙස්ටොරන්ට් එකක නතර වුණා. 

එක් අපැහැදිලි ඡායාවක් කොහේ හෝ තිබුණා. මගේ ජීවිතය කොතරම් සාමාන්‍ය වුනත් මගෙ හදවතේ තිබුණු හිස් කුහරය තුලින් වරින් වර හිස ඔසවමින් ඒ ඡායාව වරින් වර පෙනුණා. නොපෙනුණා. 

ජීවිතයේ අතිශයින්ම පහසු කලාපය තුලදීත් මිනිස්සුන්ට උවමනා වෙනවා වෙනසක්. ඒක හරියටම උනුන් ඇතුළතින් නැගෙන නුහුරු හඩකින් තමා තුලින්ම පුනරුදයක් උවමනාය කියනා මහ පුදුම දෝංකාරයක්. 




මගේ පුනරුද කලාපය 10

 " හ්ම්ම්... ඇබ්බැහි කියන්නේ නම් කරුමයක්.. ආදිත්‍යා.. ඒක හරිම භයානකයි. ඔයා එයාට බැඳෙන්නෙ ආදරෙන් නම් ඒක යටිහිතේ තැන්පත් වෙලා හරි මතුපිටි...