චිම්නි කෝපි
දොළොස්වෙනි කෝපි කෝප්පය
----------------------------------
මා හිඳින්නේ සතුටෙන් ද? දුකෙන් ද? අතේ සිහින් රිදුමක් ඇති බව ඇත්තකි. ඒත් හිතේ රිදුණු තැනක් සුවපත් වෙයි. ඒ තැන කොතැනකද නොදනිමි. එරන්ද මේ අත පොවන මානයේ රිය පදවයි. මම මොහොතකට ඔහු දෙස බලා ඉමි. මගේ වගේ බලා ඉන්නට හිතෙන හැටි! ඉතින් මගේ නොවේ කියා මට බලා ඉන්නට තියෙන අයිතිය උදුරා ගන්න පුළුවන් වෙන්නේ කාටද?
රිය පදවන අතරේම ඔහුගේ මුහුණේ සිනාවක් නැගෙයි. ඒ සිනාවෙන් කියන්නේ මගේ මේ අවධානය ඔහු අවබෝධ කරගෙන ඇති බවයි. අපාට්මන්ට් එක කිට්ටු වෙද්දී මම අහකට හැරෙමි. තව ඉතින් ටික දුරකි. මහියංගණ ගමනට දින දෙකකි.
සැලසුම් කරගත යුතු දේ කීපයකි. ලංකාවට ආවේ නියමිත වැඩ කොටසක් ඉටු කරගෙන ආපසු යෑමට මිස මෙහි පැටලී පැටලී ඉන්නම නොවේ.
"මං ඔයාව ඇරලවල යන්නං"
එරන්ද ඇසුවේ මගෙන් ප්‍රතිචාරයක් ඇත්තේම නැති තැන ය.
"ඇයි ඒ?"
"මග දාලා යන පුරුද්දක් නැති නිසා"
"කාවද?"
"මා එක්ක එන කවුරු වුණත්"
"ඒ කියන්නේ ඒ කාගෙ වුණත් ගමනාන්තෙටම ඔයා එක්ක යනවද?"
"ඔව්.. මට ඒ ගමනාන්තෙ නවතින්න බැරි වුණොත් එයාව ඇරලවල මං ආපහු එනව."
"එයා ගමනාන්තෙ වෙනකම් නොආවොත්"
"මට තව කෙනෙක්ගෙ ගමනාන්තයක් තීරණය කරන්න අයිතියක් තියෙනව කියලා මං හිතන්නේ නැ බිම්මා.. ඕන කෙනෙකුට අයිතියක් තියෙන්නෝන තමන්ගේ ගමනාන්තය තීරණය කරන්න. මගක් යද්දි වුනත් හිතුණොක් මේක නෙමෙයි මගේ ඩෙස්ටිනේශන් එක වෙන්නෝන කියලා වෙන තැනක් තෝර ගන්න. ඒවා මිනිස්සුන්ගෙ තීරණ"
"ඒ කියන්නේ මගින් හැරිල යන්නත් ඔයා නිදහස දෙනවා.."
"කාටද බිම්ම තව කෙනෙක්ව බලෙන් ගෙනියන්න පුළුවන් ..එහෙම බලෙන් බය කරල බ්ලැක් මේල් කරල ගෙනිච්චත් කොයි වෙලාවක් හරි එනවා.. ඒ කෙනා ඒ බය නැති කරන් අපිව දාලා යන"
"හ්ම්ම්ම්"
මම මොහොතකට ඇස් වසා ගමි.
"ඇයි අද ඔයාාග බබා කතා කළෙ නැත්තෙ?"
එරන්ද මද සිනාවක් පෑවේය.
"හවස සීන් එකෙන් පස්සේ මං පොඩ්ඩක් සද්ද වහලා ඉන්නෙ.."
"එකට එක කරනවද?"
"එහෙම්මත් නෙමෙයි. පොඩ්ඩක් දැනෙන්නත් ඕනි එයාටත්"
එහෙනම් මේ විරාමයකි. දීර්ඝ කාලීන තීරණයක් නොවේ. එරන්ද රිය සිකියුරිටි එක තෙක්ම පදවා ගෙන ගිය අතර මම ගෙදර අංකය ගාඩ් කාමරයට කීවෙමි. වාහන අංගනයේ අංකයද මට වඩා හොඳින් මතක තියාගෙන සිටි එරන්ද රිය සීරුවට ගෙන ගොස් නතර කළේය. මදෙස බැලුවේය.
"මං ඔයා හදන කෝපි එකට ආසයි.."
කීවේය. කොල්ලන්ට කපටිකම එන්නේ උත්පත්තියෙනි. මේත් එහෙමෙකකි. බිම්මාලි ඉතින් නොදන්නවාත් නොවේ.
"යංකො එහෙනම් ඉතින්"
සෝපානයට නැග ඉහළ ගොස් අදාළ තට්ටුවෙන් බැස නවාතැන් නිවසට යාමේදී එරන්ද හිතාමතාම මගේ වම් අතේ ඇඟිළි ඔහුගේ ඇඟිළි වලට හිරකර ගත්තේය.
"ඔයා මෙහෙන් ගිය දාකට මට ඉතිරි වෙන්නෙ මේ මතක ටික විතරයි."
තදම තද සුළං රැල්ලක් උඩු මහල වෙත ගලා එයි. හඳ කිරණ ඇබින්දක් ද එහි එතී ඇත. ළය මතින් වැතිරෙන්න අවසර ඉල්ලන ඇස් දෙකක් හැපි හැපී බලා සිටියි.
"අත් ඇඟිළි අස්සෙනුත් විසරණය වෙන්න පුළුවන් මතක ගොඩාක්ම තියෙනවා"
" මතක අතරෙ අපි ඉපදෙනව මැරෙනව.."
"අනේ ඔය මැරෙන මගුල් නං කියන්නෙපා. මං ආස ජීවත් වෙන්න.."
අපි ගෙතුළට ගියෙමු. එරන්ද වහා සෝපාවට බර වී රූපවාහිනි තිරය දෙස බලා උන්නේය. මම වතුර උණු වෙන්නට තියා කෝපි පැකට් මග් දෙකකට දමා පැමිණ ඔහු අසලින් හිඳගතිමි.
"කෝ බලමු අත"
"ඒක හොඳයි දැන්.."
"මං බය වුණා ඒ වෙලාවෙ"
"ඇයි. .. ලේ වලටද?"
ඔහු හිස දෙපස සෙලෙව්වේය.
"මේ ඔක්කෝම මං හින්දානෙ කියලා.."
"ඒක මොකක්ද.. ඔයාට මොනා හරි වුණා නම් එහෙම.. "
"මට තේරෙන්නැති දෙයක් තියෙනවා. "
"මොකක්ද?"
"ඇයි මාවම මෙහෙම කෙයා කරන්නෙ.."
"ඒ කියන්නේ ?"
" අචල ! ඌ තනිකඩයි. කෙල්ලෙකුත් නෑ. මට වඩා ලස්සනයි. හොලිවුඩ් නළුවෙක් වගේ.. පොඩ්ඩක් ඔයා ගැන ඉන්ටරෙස්ට් වගෙත් එක්ක.. ඔයාට හිාතනවා නම් ලංකාවෙ කොල්ලෙක් බඳින්න.. මට හිතෙනව අචල හොදම ඔප්ශන් එකක් කියලා"
මම සිනාසුණෙමි.
"ඔයා හිතන්නේ මං මේ ඔප්ශන් එකක් බල බල ඇවිදිනව කියල ද?"
"එහෙම නෙමෙයි බිම්මා.. ඔයාට මේක තේරෙන් නෑ.. ඔයාව උස්සන් ඉන්න මාර අමාරුයි පපුවට"
"ඉතින් මං දැන් නැගලද ඉන්නෙ ඔයාගෙ පපුවට"
එරන්දත් සිනාසුණේය. හිස දෙපසට වැනුවේය. මම ඒ ඉරියව්ව දෙස බලා සිටියෙමි.
"ටිකක් මහන්සි දවසක්.. මං කොෆි එක බීලා ඉක්මනින් යන්නම්"
"ම්ම්ම්..හා. "
ඔහු කෝපි එකත් රැගෙන සඳළුතලයට ගියේය. මම ඔහු දෙස වීදුරුවෙන් මෙහා පැත්තේ සිට බලා සිටියෙමි. පහළින් පෙනෙන කුඩා ගෙවල් දෙස බලා සිටින්නට සිතෙන්නට ඇත. මා එතැනට යනවා ද නොඑනවා ද අතීරණයක ය. මට එරන්දට අනවශ්‍ය බරක් වෙන්නට කොහොමත්ම උවමනාවක් නැත.
එහෙත් යක්ෂ සිතුවිල්ලක් මාව බලෙන් මෙන් තල්ලු කර දැමුවේය. මම සඳැල්ලේ කෙළවර බිත්තියට හේත්තු වූයෙමි. එරන්දගෙන් ඇස් අහකට ගන්න නොහිතෙන මොකක්ද මන්දා මායාවකි. ඔහු මදෙස බැලුවේ ඒ මායාව දරාගෙනම ය. "ඇයි" කියා තොල් හොළවා ඇසුවා මිස හඩක් නැගුවේද නැත.
මම කිසිත් නැති බව හිස සොලවා කීවෙමි. එරන්ද මා ළගට ඇදී ආවේය. ඇස් ඔසවා බලන්නට ඉඩක් තිබුණා පමණකි. වෙනත් චලනයකට අවකාශයක් නැත. එරන්දටත් බිත්තියටත් හිරවුණු මගේ ජීවී හදවත වේගයෙන් ගැහෙයි. කෝපි සුවඳට හුරු දෙතොල කෝපි දියරෙන් පිරුණු දෙතොලට ළං විණි. එරන්දගේ ඇගිලි තුඩු මගේ ගෙළ පුරා තැවරිණි. හුස්ම ගන්නා වේගය වෙනස් කරගන්නට විරාමයක් ඉල්ලන මගේ දෙතොලට ඔහු කිසිවිටෙකත් තම ග්‍රහණයෙන් මිදෙන්න ඉඩ නොදුන්නේය.
අප දෙදෙනාම තිගැස්සුණේ දුරකතනය නාද වෙන හඩිනි. ෆේස්ටයිම් ඇමතුමකි. නයිල්ස් බව කැට තියා කිව හැකිය. ඒත් එරන්ද මට ඔහුගෙන් මිදෙන්න ඉඩ නොහැරියේය. කවුදැයි කියන්නට යද්දී දෙතොල මැදට ඇඟිළි තුඩක් තිව්වේය.
" ඩොන්ට් ඩිස්ට්‍රෝයි දිස් බියුටිෆුල් මෝමන්ට්"
" ඇයි කියන්නකො මේ.."
" මං බයයි කෙල්ල.."
" ඇයි..? "
" අපි මේ යන දුර වැඩිද හිතෙනව"
" හ්ම්ම්ම්"
" වෙන දෙන්නෙක්ගෙ කියලා දැනෙන්නැති එක ගැනම බය හිතෙන්නැද්ද?"
ඇත්තෙන්ම, එදා අපට නවතින්නට තිබිණි. එතැන! ඒ වැරැද්ද වෙද්දීම. මොන හේතුවක්මද නොදනිමි. එහෙත් එය එසේ නොවීය. එරන්ද ත් මාත් ළං කළේ එරන්දගේ කඩවසම් බව හිනාව උස කෙළිලොල් ගමන බිමන නොවේ.එහෙම පිරිමි කොතෙක් හමුවී ඇත්ද? අනිත්තෙක අචලත් එරන්දත් ඔහු කියන්නා වගේ සැසඳුවා නම් එහෙම අචල සිටියේ හැම අතින්ම ඉදිරියෙනි. එහෙත් ජීවිතය එහෙම තෝරාගැනිම් කරන්නට ඉඩ දෙන්නේ අඩුවෙනි.
අපි එකිනෙකා දෙස ඇහිපිය නොහෙලා බලා සිටි මොහොතකි. ඒ තත්පර පවා හදවත් ඇතුළේ ගැස්ම නතර කළේය.
"ඔන්න දැන් නම් අපි ඇත්තටම මැරෙන්න යනවා වගෙයි බිම්මා.."
එරන්ද හිනාවෙන්නට උත්සාහ දැරුවේය. මොහොතකට පසුව එරන්දගේ විළවුන් සුවඳ මා තුලට කාන්දු වෙන්නට පටන් ගත්තේය. එය ප්‍රීතිමත් පහසකි. රෝමාන්තික ආහ්ලාදයකි. හැම සිහින් ස්පර්ශයකින්ම හුවමාරු වෙන හැඟීම් ගොන්නකි. දිගු වාගේම වේගවත් හුස්මකින් උස් පහත් වෙන ළමැද මත ජීවිතය පුරා නොලැබූ උත්කර්ෂවත් හැඟීමක් තණ්හාවෙන් හොයන සන්සුන් ප්‍රේමණීය පිරිමියෙකි. විටින් විට අපේ ඇස් හමුවෙයි. ඒවා අතර නෝක්කඩුකම් ඇතිවෙන්නට ඉස්සර එක්කෝ ඔහු ඒ ඇස් බැම්ම බිඳ දමයි. නැත්නම් මට ඉන් මිදෙන්නට සිදුවෙයි.
සදළුතලය සිය වෙලාව අවසන් කියා සීනුවක් නාද කළේය. මෙතෙක් තද සුළඟේ සඳළුතල බැම්මේ එහෙට මෙහෙට වූ මිනිස් ගුලියක් වූ අප එකිනෙකා පසුපසින් කුඩා සාලයටත් එතැනින් නිදන කාමර කොරිඩෝවටත් නිදන කාමරයටත් ගොඩ වුණේ ආයාසයකින් තොරවය. මෙතෙක් තනිමගෙන් හැරෙන්නට පිරිිමි ස්පර්ශයකින් නොකිලිටි වූ මගේ අලුත් ඇඳ ඇතිරිලි එරන්දට අවකාශයක් දුන්නේය.
" බිම්මා.."
එරන්ද මගේ නම කියූ වෙලාවල මම ඊට කිසිත් නොකියා හිඳින්නට ප්‍රවේශම් වුවෙමි. ඇත්තටම මට ඊට ප්‍රති පිළිතුරු දෙන්නට වචන සොයා ගැනීම අසීරු ය. ඒ කුඩා ළමයෙකුගේ වැනි තද රෝස කන්පෙති.. ඒවා අගිසි වල හීනි තෝඩු.. සිනිදු ඇගිලි තුඩු.. සුවඳ තොල්.. හැමදේම මට එරන්දගේ හැම පියවරක් ගානේම මා පුරවා දමන හැගීමක් දැනෙන්න සලස්සා තිබුණි.
" ඔයා ලංකාවෙ ඉන්න දවස් ටිකට මං ඔයා එක්ක නවතින්නද?"
"ම්ම්ම්.. "
"මට ඔයාව ඕන වෙයි හැම වෙලාවකම.."
"මාත් එක්ක යං"
"බිම්මා. ?"
"දාලා යන්න බැරි වෙයි මටත් ඔයාව.."
"ඒ තරම් කැමති ද ඔයා මට?"
"කැමැත්ත කියන්නෙපා ඒකට.."
"ආදරේ කියන්න ද?"
හැඳ සිටින ඇඳුම් වලින් වසා, හැඩ කර , උස්සා, පුම්බා එහෙම නැත්නම් කුඩා කර තද කර පෙන්වන ගැහැනු පිරිමි ශරීර වල නිදහස් බව ඇඳක් මත දිග හැරීයන වෙලාවකි ඒක.එරන්ද සහමුලින්ම මාව ඔහුගේ ය හිතන්නට පටන් ගත්තේ එතැන දී විය යුතු ය.. ඒ අඩ එළියත් කෘතිමව දැනෙන සීතලත් තව තවත් අප එකිනෙකා වෙතට තුරුලු කර දැමුවේය. ඒ වෙලාවේ මුළු අපාට්මන්ට් එකම තොටිල්ලකි. පාවෙනවා මිසක් අන් කිසිවකට ඉඩක් නැත.

❤❤❤❤
ReplyDeleteකියවනවා නෙවෙයි කියවෙනවා
ReplyDelete