දහවෙනි කෝපි කෝප්පය
------------------------------ -
මම මතු මහලකට ගොස් එරන්දගෙ රිය නිවාස පරිශ්‍රයෙන් පිටත් වෙනවා බලා සිටියෙමි. දිගු සුසුමක් අත් හැරිණි. මට බොහෝ මිනිසුන් සමග ඉගෙන ගන්නට කතාබස් කරන්නට සංචාරය කරන්නට, අවශ්‍ය වූවා නම් අවස්ථානුකුලව පෙම් කරන්නට හෝ සයනාගාර සම්බන්ධතා ගොඩනගා ගන්නට අවස්ථා ලැබී තිබේ. එහෙත් තිස් වෙනි දශකයට පැමිණ සිටියත් මෙවැනි සිද්ධි සමුදායකින් මගේ හිත අවුල් වෙන එක වලක්වාගන්නා පාඩම මා තවම උගෙන නැත. මේ වෙන විට නයිල්ස් ඔහුගේ සුපුරුදු යතුරු පුවරු ගණුදෙනු කරගෙන යමින් සිටි අතර නිරන්තරයෙන් "අයි මිස් යු මයි බේබි" කියා කීවේය. ඔහුගේ මෙතෙක් සිටි සහායකයාගේ අන්තර්පුහුණු කාලය අවසන්ව තිබි අතර ඒ වෙනුවට අලුත් සහායිකාවක් රැකියාවට ආ බව කීවේය. මගේ මහියංගණ ගමනේ සැලසුම ඇසුවේය. මම "කමු බන්" හි පිරිස ගැන කීවෙමි. ලෝකයේ බොහෝ තැන් වල මගේ කැමරා කණ්ඩායම සමග යනෙන හුරුව ඇති බැවින් මේ පිරිස සමග මා එහි යාම ඔහුට අලුත් හැගීමක් ජනනය නොකළ බව පෙනිණි. එය අස්වැසිල්ලකි.
ඒ දවස් වලදී "ජාන්" මගේ හැම පියවරක් ගැනම සැලකිලිමත් වුවා මතකයට නැගෙයි.
"ඔයා නුගේගොඩ යනවා කියලා නේද ගියෙ.. දැන් වෙලාව බලන්න.. නුගේගොඩට ගිහින් එන්න පුළුවන් දහ පාරක්.ඔයා මාව චීට් කරනවා නේද මිණි..ඔයාට කොල්ලෙක් ඉන්නවා නේද? ඌ එක්ක මගුලෙ ගිහින්.. මං මෙතන පන්තියට නොගිහින් ලැබ් එකට වෙලා බලා ඉන්නවා .. මගෙත් කරුමෙ..මාත් අහුවුණා නෙ ආදරේකට"
![]() |
දැන් මතක් වෙන විට සිනා නැගෙන මේ වාගේ වාක්‍ය සියගණනක් පැය බාගයක පමාවකට නාස්ති කරන්නට ජාන්ට හැකිවිය.
"ඇත්තට ඔයා ළමයෙක්ද නැත්නම් ඔය අයිටි ලැබ් එකේ උගන්නන මනුස්සයෙක්ද ජාන්?"මම අසමි.
එවිට ඒ තරහව නිමෙයි.
"ඔයා ආස මං සර් වෙනව නම්ද? එහෙම වුනානම් මට ඔයාව බදින්න තිබුණා නේද?" ඔන්න කතාව කසාදයකට පරිවර්තනය වෙන්නට යයි.
"ඇයි දැන් මොකද වෙලා තියෙන්නෙ? මට ඔයාව බදින්න බැරිද?"
"පුළුවන්..මට දැන් දහාට පැනල"
"එහෙනම් ඔන්න ඇදුම් දෙක තුනක් බෑග් එකකට දාන් එන්න.. අපි බඳිමු"
"බැඳල?"
"බැඳල මගෙ රූම් එකේ නවතිමු..ලයිට් වතුර වලට පොඩි ගාණක් වැඩියෙන් ගෙවන්න වෙයි.."
"එතකොට කන්නෙ බොන්නෙ.."
"ඔයා ඉාගන ගෙන ඉවර වෙනකම් මට ඔයාට කන්න බොන්න දෙන්න පුළුවන් නෙ"
"මං ඕඩියෝ ඉන්ජිනියරින් කරල මට වැඩ එද්දි මට පුළුවන් ඔයාට ඒවයෙ ණය ගෙවන්න"
සමහර වෙලාවට මේ චැට් ඇතුළේ මා ජීවමානව සිටියා නේදැයි මට දැන් හිතෙයි. බොහොවිට තනිව එහෙ මෙහෙ යන වෙලාවට ඉස්කෝලේ ඇරුණු හවස් වරුවලට මට ජාන් නැති පාළුව දැනෙමින් තිබිණි. එය පෙම්වතෙක් නැති පාළුවට වඩා හිතේම එක් කොටසක් නැති පාළු හැඟීමකි. කොහොමටත් මෙවැනි අදිසි අවකාශ සම්බන්ධතා සෑහෙන දරුණු ය. ඒවායේ අධික සංවේදන හැකියාවක් තියේ. දෙදෙනාට දෙදෙනාගේ අනන්‍යතාවය හඳුනා ගන්න ඉඩ ඇහිරිය හැකි බැවින් ඕනැම හැගිමක් බෙදා ගන්නට පුළුවන. තත්වය කොතරම් නරක් වුනත් අදාල ගිණුම මකා දමා නික්මී යා හැකිය. එපමණකි.
"මං ආවා … කෙල්ල" ඒ පණිවුඩය එරන්දගෙනි. ඔහු ඔහුගේ පෙම්වතිය ආමන්ත්‍රණය කරන්නේ බබා කියාය. මේ ඊට වෙනස් වචනයකි. වැඩියෙන් හැගීම් දනවන්නේ බබා කියනා එකද, නැත්නම් කෙල්ල කියනා එකද? මගේ වයසේදී කෙල්ල කියා අසන්න ලැබෙන්නේ කලාතුරකිනි. සමහර විට එරන්ද ඒ "පොයින්ට්" එක අල්ලා ගත්තා වෙන්න බැරිද? ව්‍යාපාරිකයන් ඔහොමම ය. ඔවුන් සිය පාරිභෝගිකයින් ගේ දුර්වල හැගීම් පහසුවෙන් අල්ලා ගනිති. ඒවාට ගැළපෙනාකාරයේ සේවයක් සපයති.
එරන්දට පිළිතුරක් නොදී ම මම නිදි වාගේ අඟවා සිටියෙමි. ඔහු පණිවුඩ එව්වේ වට්සැප් එකෙනි. ඩේටා සහ වයිෆයි අක්‍රිය කර වට්සැප් පණිවුඩ කියෙව්වාම එහි කියෙව් බව අගවන නිල් ඉරි. දෙක නොවැටෙයි. එරන්ද මා නිදියි සිතුවාවේ යි හිතමි. බැදීම් දුකකි. අහිමි වීම් කටු ඔටුන්නකි. ආදරය කුරුසයකි.ඔක්කෝම එකතු වු විට ජීවිතය කල්වාරි කන්දකි. මට ජේසු ස්වාමි දරුවාණන් මෙන් කැපකිරිම් කරන්නට හිත හදාගන්නට නොහැකිය.
දින දෙකක් ම මම කමුබන් රෙස්ටොරන්ට් එක පැත්තක පළාතක නොයා සිටියෙමි. යන්නට සිතුණේම නැත. අචල, කිරිසුදු පාට උස දිග අත් පා ඇති පිරිමි ළමයා වරින් වර මහියංගණයේ යැම ගැන විස්තර ඉල්ලා ගත්තේය. මිහිරත් ඔහුගේ බිරිඳ "සුුදු නංගීත්" එන බවද කීවේය. සමහරවිට එරන්දත් ඔහුගේ පෙම්වතිය "බබා" ව කැටුව එනු ඇත. ඒ සිතුවිල්ල නම් එරමිණියා කටුවකි. ඇනෙන්නේය. එරමිණියා කටු බලෙන් ඇවිත් ඇගේ ඇනෙන්නේ නැත. අප එරමිණියා පදුරකට කොකම් පාන්නට ගොස් ඒවා බලෙන් ඇන ගන්නවා ය. මේත් ඒ වාගේ කතාවකි. බිම්මා, අනුන්ගේ කොල්ලන් ගැන රහසින්වත් නොහිතන්න..
හතරවෙනි දවසේ සවස මම අකුලන පුටුවකුත් සමග පිහිනුම් තටාකය අසලට ගියේ ලැප්ටොප් එකත් දුරකතනයත් රැගෙනය. පසෙකට වී යවන්නට නියමිත ව්‍යාපෘති වාර්තාවක් සකසමි්න් සිටිනා අතර දුරකතනය සෙමෙන් නාද වන්නට විය. ඒ එරන්දය. ඔය එදා සිද්ධියෙන් සම්පුර්ණයෙන් දවස් හතරක් ගෙවි ගිය පසුය.
"හායි…"
"බිම්මා?"
"ඕ එරන්ද!"
"බිසි ද?"
"නැ.. කියන්න"
"චුට්ටක් කතා කරන්නෝන.."
"හා කියන්න. "
"ඇයි ඔහොම කතා කරන්නෙ ?"
"ඒ කියන්නේ "
" ඕනවට එපාවට වගෙ නෙ"
"එහෙම නෑ අනේ.. ඉතින් කියන්නකො.. මොකද්ද .. අවුල"
"අර නංගි, මං… කියන්නේ මගෙ ගර්ල් .. "
"ඕ…"
"එයාට මහියංගණ යන්න එන්න බෑලු.. මං යන්නෙ මොකටද කියලාත් පිස්සු කෙළිනව "
" ඉතින් ඔයා එන්නත් එපා. "
"පිස්……. සුද…"
"ඇයි ඉතින්? අපි යන්නං.. මිහිරයි එයාගෙ සුදු නංගියි අචලයි මායි.. කැමර කෘ එකයි නෙ. අවුලක් නෑ"
"මට එන්නෝන. "
"ම්ම්ම්..ඒ වුණාට ඒක හරි නෑනෙ.. ඔයා එක්ක තරහ වෙයි.. "
"අයියෝ බිම්මා ඔයාත් ළමයෙක් වගේ හිතන්නැතුව වැඩිහිටියෙක් වගේ හිතල මට මේක ජස්ටිෆයි කරන්න හේතුවක් කියන්නකො.. සාමාන්‍යයෙන් කෙල්ලෙක් විශ්වාස කරන හේතුවක්."
" ම්ම්ම්ම්.. මං ටිකක් හිතලා කියන්නද? එකපාරම ඔලුවට එන්නෙ නෑනෙ.."
"මං බලං ඉන්නවා.. මට කෝල් කරන්න…"
එරන්ද දුරකතනය විසන්ධි කළ පසු මම මොහොතකට මේ සංසිද්ධිය තේරුම් ගන්නට උත්සාහ කළෙමි. එරන්ද කියන්නේ ජාන් නොවිය යුතු ය. ඔහුගේත් ඔහුගේ පෙම්වකියගේත් වයස් පරතරය බැලුවාම එරන්ද කියන්නේ කෙයාරින් ඇති පෙම්වතෙකි. ඔහුට වඩා බාල පෙම්වතියක් බලා කියා ගැනීමේ වගකිම ඔහු අපූරුවට ඉටු කරයි. මා දැන සිටි ජාන් ඔහු හැමවිටකම බලාපොරොත්තු වූයේ ඔහුව බලා කියා ගන්නා ආදරයකි.
කෙල්ලන් ගේ විවිධාංගීකරණය දන්නා මට එරන්දගේ පෙම්වතිය විශ්වාස කරනා මට්ටමේ සාධනීය කාරණාවක් අපේ මහියංගණ ගමනට යොදා ගැනිමට සෑහෙන්නම කල්පනා කරන්නට සිදුවිය. අවසානයට මම අපේ කම්පනි ඊමේල් එක එරන්දගේ නමට යැව්වේ අපි ශ්‍රි ලංකාවේ අපේ ව්‍යාපෘතිය ඔහුත් ඔහුගේ ව්‍යවසායක මිතුරන් ටත් භාර දෙන බව පවසමිනි. එය එහෙම කරගන්නට මට අවශ්‍ය ටූල්ස් සහ මුරපද දුන් අපේ පිටරට කම්පනි මිතුරාටත් මම ස්තුතිවන වෙමි. ස්තුතිවන්ත වෙන්න තරමේ කාරණාවකුත් මෙතැන නැත.
"මං මේල් එකක් දාලා ඇති ඒක එයාට ඔහොම්මම යවල කියන්න.. අපි ඔයාලට මේ ප්‍රොජෙක්ට් එක භාර දීලා තියෙන්නෙ කියලා.."
එරන්ද ගේ පෙම්වතිය වාගේ පෙම්වතියන් දැන ගතයුතු කාරණාවකි. ඒ පිරිමි එහෙම ගෙවල් අස්සේ හිරකර දැමිය හැකි වන්නේ සීමාසහිත කාලයක් වන බවය.ඒ ටයිප් එකේ ගැහැනු ළමයි ඒක තේරුම් ගන්නේ නැත.ඔවුන් සිය පෙම්වතාගෙන් මේ සම්බන්ධතාව වෙනුවෙන් සියයට සියයක කැපවීම බලාපොරොත්තු වෙති.
පැය එකාමාරක් දෙකක් යනතුරුත් මට කිසිදු ප්‍රතිචාරයක් නැතිවුණි. මගේ ව්‍යාපෘති වාර්තාව ලියාගෙන යන අතරතුර ලැප්ටොප් එකේ බැට්රි අඩු වේගෙන යන බවට තොරතුරුද ලැබිණිි. මා නැවතී සිටින අපාටිමන්ටි එකට යන්නට ගෙන ආ අඩුමකුඩුමද රැගෙන සෝපානය කරා ගියේ එනිසාය.
සැප මෙට්ටයක් ඇති යුගල ඇඳට වැටුණාම ජීවිතය ගැන තියන හුගාක් සංකා නින්දක ගිල්වා දැමිය හැකිය. රිදී හැන්දට ලස්සන පින්තුරයක් අප්ලෝඩ් කල වෙලාවේ සිට එන්නේ පින්තුරය අතන ප්‍රමෝට් කරන්න මෙතන ප්‍රමෝට් කරන්න කියා පණිවුඩය.
දුරකතනයත් පසෙක තියා මා නින්දකට වැටුණේ එබැවිනි. එහෙත් මා ඇහැරවමින් එය ආයේ හඩතලන්නට තියා ගත්තේය. ආයේ එරන්දය. ගන්නවාද නැත්ද? ප්‍රශ්නය කි. නින්දටත් වැඩි අවධානය ක් දෙන්නම ඕනැය. නිදිමරගාතේ හෙලෝ කීවේ එනිසාය.
" බිම්මා.. සනීප නෑ… ද?"
කියන්නට ආදේ නොකියා ඔහු මගේ කටහඩේ වෙනස විපරම කළේය.
"න්ැහ්. චුට්ටක් නින්ද ගියා.. "
"ඇයි ඒ.."
"මං මේ ආටිකල් එකක් ලිය ලිය ඉන්නෙ ඒකයි.."
"ඔයාගෙ ට්‍රික් එක වැඩ කළා..මං එනව මහියංගණ යන්න"
"…."
"ඇයි ඔයා කතා නැත්කෙ?"
"මොනා වුනත් තව කෙල්ලෙක්ට නෙ බොරු කරන්නෙ කියලා හිතුණ.."
"ඒක අහිංසක බොරුවක් බිම්මා"
"එහෙමවත් බොරුවක් නොකියා ඇත්තටම කියලා යන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනව නේද?"
"ඔව්..ඒත් හැමෝටම එහෙම අන්ඩස්ටැන්ඩින් ආදර කතා නෑ. ඒ නිසා නැති ඒවයි නොලැාබන ඒවයි ගැන දුක් වෙන්නෙ නැතුව.. තියෙන මොකක් හරි එක පරෙස්සම් කරන් හිටියාම ඉවරයි"
"බොරු කිව්වම හිතට බරක් නැද්ද?"
"මං ගැන සුද්දට කිව්වද?"
එරන්ද මා ගොළු කළේය. සුද්දා කියා ඔහු අදුන්වන්නේ නයිල්ස් ය.
" මොනාද ඉතින් මං ඔයා ගැන කියන්න ඕනෙ.."
"කියන්න දෙයක් ඇත්තෙම නැද්ද?"
"එක දෙයක් වුණා.. ඒක හරි.. ඉත්..තින්"
"ඔයා පාවිච්චි කරන්නෙ ඇත්තයි බොරුවයි දෙකම නොකියා ඉන්න තියරි එක.. මං කරන්නෙ එයාට ඇත්තයි බොරුවයි දෙකම අතරේ දෙයක් කරල එයාව නොමග යවනෙක..අපි දෙන්නම කරන්නෙ අඩුවෙන් හරි වැඩියෙන් හරි චීට් කරනෙකම තමයි බිම්මා.."
එරන්ද එහෙම කියා දුරකතනය විසන්ධි කළේය. රැවටීම කියන්නේ ම මහ දරුණුම වචනයකි. එය ඛේදවාචකයන්ට මග පාදයි. එහෙම බව දැන දැනමත් මටත් එය කරන්නට සිදුවී තියේ. ජීවිතය අඩු වැඩි වශයෙන් මිනිසුන්ව වැරදිවලට පොළඹවයි. එයින් තුන්කාලක් මිනිස්සුන්ගේම හේතුමයි. ඒත් හතරෙන් එකක් අපට වාගේ අහම්බ වලින් සිදුවෙයි.
මම දුරකතනය ගෙන නයිල්ස්ගේත් මගේත් එක්ව ගත් ඡායාරු ඇගිලි තුඩින් උඩ පහළ යවමි. අපි ඒ හැමෙකකම සිනා විසුරවමින් සිටිමු. බැලු බැල්මට හරිම සතුටු යුවළකි. උසස් විද්‍යාලය සරසවිය සරසවියේ වැඩමුලු විනෝද චාරිකා අප දෙදෙනා ගේ තනිව ගිය විනෝද චාරිකා ගේ ඇතුළේ ගත් පින්තුර මා සමග වෙන වෙන රටවලට කාර්යාලීය වැඩ වලට යන වෙලාවල ගත් පින්තුර .. නයිල්ස්ටත් මටත් ගිගා බයිට් බර ගණනක පින්තුර ඉතිහාසයක්ම තිබේ. මේ තරම් ළගින් ඉඳලාත් අපට අප මේ තරම් දුර ඇයිදැයි මම නොදනිමි. එකම කෙනකු හා දීර්ඝ කාලයක් තිස්සේ ජීවත් වීමෙන් මා උදාසීන වෙලාද?
"මම ටික කාලෙකට චැට් රුම් එකෙන් අයින් වෙන්නයි යන්නෙ" මා ඒ කීවේ ජාන්ටය. ටික වෙලාවක් යනතුරු කිසිම පණිවුඩය ක් ආවේ නැත.
"ඔයා කොහොමද මට එහෙම කරන්නෙ?"
"කොහොමද?"
"එහෙම උන් හිටි ගමන් මාව දාලා යන්නෙ?"
"මං අඩු ගානෙ ඔයා කවුද කියලාවත් දන් නෑ .."
"මං දන්නෙක් නැහැනෙ.. අපි මීට් වෙලා දැනගමු"
අපේ සංවාදය හැමදාම හිරවුණු තැන ඔතැනය. චැට් රූම් වල හිටි බොහෝ දෙනෙක් පෞද්ගලික සල්ලාප කාමර වල යහන් ගත වූ බව මා දැන සිටි කරුණකි. දැන් ඔය ෆේස්බුක් වට්සැප් අනම්මනම් වල සිදුවුනු දේ ඒ කාලයේත් සිදුවිණි. එහෙම නැතිව ඉරෝටික් සල්ලාප එකවර ලෝකයට පහළ වූවා වගේ හැසිරෙන මිනිස්සුන් ගැන මට දැන්ද පුදුම හිතෙයි. එක් එක් නික් නේම්ස් වලින් පැමිණි පිරිමි ළමයි "මිණි"ටද හායි කියා ඇත. හායි එකකට හායි කීම සාමාන්‍ය දෙයකි. "කොහොමද මොකද කරන්නේ?" කතාවද පිළිතුරු දිය හැකි තත්වයකි. සමහරු "කොහෙද ඉන්නෙ, කොතනද ඉන්නෙ" ඇසීමත් සාමාන්‍ය ගණයට අත්හැරිය හැකිය. අත්හරින්නට බැරිම ප්‍රශ්නය "ඔයා මොකක්ද ඇඳගෙන ඉන්නේ " කියනෙකයි. එතැනින් එහාට සංවාදය පවත්වාගෙන යාම සහමුලින්ම තීරණය වෙන්නේ ඔබේ තීරණය මතය.
ඉතින් ජාන් වෙනම ගෙන සැලකුවාම ඔහු ඔය ප්‍රශ්නය කවදාවත් ඔහොම දඩිබිඩියේ නෑසුවේය. එහි තේරුම එහෙම අභිමතයක් නොතිබුණා කීම නොවේ. ඒ කොයි කවර දවසක හෝ වෙලාවකවත් ජාන් මගෙන එබැවින් හැම මොහොතකම මා සිටියේ සැහැල්ලුවෙනි. ජාන්ට තිබුණේ එක කරදරකාරි ප්‍රශ්නය කි. "අපි මීට් වෙමුද?" එය වඩාත් තාර්කික සහ යාවත්කාලින ප්‍රශ්නයකි. අකමැති වුයේ මාය. අප කතා කර තිබු දේවල හැටියට එවැනි හමුවීමක් ගැන බය හිතී තිබුණේ මටය. අවසානයේ මගේ විදේශ විශ්ව විද්යාලයේ ඇරයුම් ලිපිය මා අතට ලැබුණු අතර වීසා ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි සකස් කරගන්නට එක දිගට වෙහෙසෙන්නට මට සිදුවිය.ඒ වෙනුවෙන් කාර්යාලයෙන් ඉවත් වෙන්නට මට සිදුවිය. කාර්යාලය විසින් ලබා දී තිබු සිම්පතද නැවත භාර දීමට සිදුවිය. මට චැට්රුම් එකට යන එන මං ඇහිරුණේ එතැනිනි. අඩුම ගණනේ ජාන් ට මං ආයේ එන්නැතැයි කියන්නටවත් මට ඉඩක් ලැබුණේ නැත.
කමුබන් රෙස්ටොරන්ට් එක දුටු ගමන් මට ජාන් සිහිවුණේ එබැවිනි. ඒ ජාන් ගේ සිහිනයය.
"කවදහරි මිනිස්සු කතාවෙන විදියෙ රෙස්ටොරන්ට් එකක් කරනව මං"
ඉස්සරහට මොනවද කරන්නේ කියා මා ඇසුවාම ඔහු එහෙම කියන්නට පුරුදු වී සිටියේය.
"මොන විදියෙ මිනිහෙක් ආවත් කන්න පුළුවන් දෙයක් තියෙන විදියට මං ඒ රෙස්ටොරන්ට් එක හදනව"
ඉතින් මේ රෙස්ටොරන්ට් එකත් එහෙමමය. කන උන්ට බොන උන්ට විතරක් නොවේ. ඩයට් කරමින් ඉන්නා අයටද මෙහි මෙනුපතේ ඉඩ තියේ. ජාන් අචලගෙන් මිහිරගෙන් නැත්නම් එරන්දගෙන් කෙනෙකු වීමේ සම්භාවිතාව වැඩිය.
"හවසට රෙස්ටොරන්ට් එකට එනවා ද?"
මිහිරගෙන් පණිවුඩයක් ආවේ ඉන්ස්ටග්‍රැම් එකටව. රිදී හැන්ද පිටුවට ය.
"මං වැඩක ඉන්නෙ"
එය මදක් අකාරුණික ප්‍රතිචාරයකි. වහා සමනය කළ යුතු යැයි ක්ෂණිකවම සිතිණි.
"අද මොනා හරි ස්පෙෂල් දෙයක් ද?"
"සුදු බෝලෙගෙ උපන් දිනේ"
එවර නම් මගේ හදවත මෙළෙක් විය. අනිවාර්යයෙන් ම මේ අවස්ථාවට කමුබන් හිතවත්තු බොහොමයක් සහභාගි වෙතැයි මට සිතෙයි. එය මගහැරීම අපරාධයකි.මම රෝස ලා කහ ලානිල් ආදියෙන් ඩයි කරනා ලද ටීශර්ට් එක ඩෙනිමකට හැද කොන්ඩය හිස් මුදුනට වෙන්නට බැන්දෙමි. මේ වගේ උත්සව අවස්ථාවකට අදින්නට සුදුසු ඇදුම් මගේ ළග නැත. මං ගෙන ආවේම සීමිත ඇදුම් කීපයකි. කෙලින්ම වොඩ් ප්ලේස් පැමිණ ඔඩෙල් එකෙන් ම කුඩා තිළිණයක් ගත්තේ ගැනු ළමයාගේ හිතට සතුටක් දැනෙන්නට උවමනා නිසාය. කුලී රියෙන් මුහුදු මාවත ඔස්සේ කමුබන් රෙස්ටොරන්ට් එක අසලින් බසිනා තුරුත් මා සිටියේ මේ විචිත්‍රවත් සැන්දෑවේ සිදුවිය හැකි දේ ගැන අවධානයකිනි.
මිහිරත් අචලත් අතවැසි තරුණයා සහ තවත් පිරිමි ළමයින් දෙදෙනෙකුත් ඒ වන විටත් සිටියේ රෙස්ටොරන්ට් මිදුල සරසමිනි.
"බිම්…ම්…මා… හායී"
මිහිර ඈතදීම කෑගැසුවේය. අචල වැඩි කතාවක් නැත. සිනාසිසී සිටියේය. ඔහු කතා කරන්නේ උවමනා දේ පමණකි.
"මං වචන වල එනර්ජි එක වේස්ට් කරන්න කැමති නෑ බිම්මා" වරෙක ඔහු එසේද කීවේය. එරන්ද නැත. මරදානේ බෙදාහැරීම් මධ්‍යස්ථානය ඔහු ප්‍රධානයෙන් සිදුවන නිසා හිතෙන හිතෙන වෙලාවට එතැනින් මිදීම අසීරු ඇතැයි මම සිතමි.
"ඔයායි එරන්දයි මිහිරයි තුන්දෙනාම එකම ඉස්කෝලේ ද?"
අචලත් මාත් සිටියේ බැලුම් බෝල එකිනෙක අමුණමිනි. මා ඇසුවේ නිකමට වගේය. ඒත් නිකමට නොවේ. ජාන් ගේ පාසල් සමයත් මේ තුන්දෙනාගේ පාසල් සමයත් අතර සබැඳියක් සකසා ගන්නටය.
"උන් දෙන්න එක ඉස්කෝලේ එක පන්තියෙ. මං මේ ටූ ඉයර්ස් බාලයි "
"ආ…"
දැන් අචලත් ජානුත් අතර ඇති අසමානතාව මට වැටහෙයි. එවිට මගේ සැකයේ වාසිය ගමන් කළ යුත්තේම මිහිරට හෝ එරන්දට පමණකි. එහෙත් වැරදිලා හරි ජාන් තමන්ගේ පන්තිය හෝ වයස ගැන කීවේ බොරු නම් අචලව එහෙම අයින් කර දැමිමද සාර්ථක නැත.
"ඔයා හිතාගෙනම හිටියද කවද හරි මේ වගෙ රෙස්ටොරන්ට් එකක් කරන්න?"
අචල උසට උස නිසා බැලුම් ඉති රෙස්ටොරන්ට් එකේ උස තැන්වල එල්ලමින් සිටියදී මම බිම සිට ඔහු දෙස බලා ඇසුවෙමි. ඔහු මදෙස බැලුවේ දිගු බැල්මකි. හරියට ආකාසේ සිට බලනවා වාගේය.
"එරන්දයි මිහිරයි.. උන් දෙන්නා මාව බලෙන් ඇදලා ගත්තෙ මේකට.. මාත් හතේ හත වැදිලා කරන කරන හැම වැඩේම කෙලවිලා නන්නත්තාර වෙලා ඉද්දී..අපි මාර විදියට මහන්සි වුණා.. මං අයිටී ඉගෙන ගන්න ගමන් හිටියෙ.. අපි ඔන්ලයින් පටන් ගත්ත වැඩ ටික ප්ලැන් එකේ විදියටම කළා. හැම ඔන්ලයින් බිස්නස් එකම සාර්ථක වෙන්නෑ. හැබැයි අපි කාඩ් පැක් එකේ හරිම කොළ ටික ඇද ගත්තා.. "
සවස මිහිරගේ සුදු නංගී රෙස්ටොරන්ට් එක වෙත එක්ක එන කාර්ය පැවරී තිබී ඇත්තේ එරන්දටය. ඡායාරුප ගන්නට පැමිණ සිටි පිරිමි ළමයා බර්ත්ඩේ ගර්ල්ගේ පින්තූර රාශියක් සිය කැමරාවට හසු කරගන්නවා මම මෑත සිට බලා සිටියෙමි. නූඩ්ල්ස් කැරළි සහිත ඉන තෙක් දිගු කොන්ඩයකිනුත් මිහිර තරමටම නැතත් ගැහැනු ළමයෙක් වශයෙන් සැලකිය යුතු උසකිනුත් සමන්විත ඇය මා වැළඳ ගත්තේ "අක්කි ගැන මිහිර හරියට කියවනවා යි" කියමිනි.
එරන්ද දෙස බලා මා සිනාසෙද්දී ඔහු දුරකතනය කණෙහි තෙරපවාගෙනම මුහුදු බඩ දුම්රිය පාර දෙසට ගියේය. දුරකතනය ගැන පමණක් අවදානයෙනි. නිරන්තරයෙන් එහෙමෙහෙ දුවන රේල්ලු කොතෙකුත් මේ දුම්රිය පාර දිගට දුවයති. මට එරන්ද ගැන අවධානයෙන් ඉන්නට හිතුණේ මේ දුරකතන සංවාද ඔහුව මුලුමනින්ම පරිභෝජනය කරමින් උරාගනිමින් හප කරමින් සිටිනා බව දැනුණු හින්දාය.
දුම්රිය පාර ආසන්නයේ වැටකේ මණ්ඩියකි. එරන්ද ඒ කෙළවරේ පඳුරක් අයිනේ කතාවක ය. මේ මොන විදියේ දුරකකන ඇමතුම්ද ඇත්තමයි මා නොදනියි. රතුපාට දුම්රියක් ඈත කෙළවරින් මතුවෙයි. එරන්ද ඉන්නේ රේල් පීල්ලට ආසන්නයෙනි. අවධානය සම්පූර්ණයෙන් ඇමතුමට ය. දුම්රිය නලාව නාද කළේය. එරන්දට වගක් නැත. මම අඩියට දෙකට වැටකේ මණ්ඩිය වෙත දිව ගියෙමි. දුම්රියත් එරන්දත් අතර දුර එන්න එන්න අඩුවෙයි.
මම ක්ෂණිකව එරන්ද ගේ ඉන හරියෙන් දෑත බදා අල්ලා ඔහුව රේල් පීල්ලෙන් පිටතට ඇද්දෙමි. එරන්දගේ සමතුලිත බන අඩුවුණත් බිමට නොවැටී ඉන්නට හැකිවෙයි. එරන්ද මා සමගම වැල්ලට ඇද වැටිණි. මට කෝචිචිය අප පසුකරනවා පෙනුණේ. එරන්දට උඩිනි. එරන්ද අර මහ සෙනග මැද්දේත් මං මතටම වැටී නොනැගිට සිටියේය.

Wow... love to see this...❤❤❤ කතාව හරිම ලස්සනයි...
ReplyDeleteමේ blog එක දිගටම continue කරමු නේද...
ReplyDelete