දහහත්වන කෝපි කෝප්පය
එදා මැදියම වෙනතුරු හොඳටම බිවූ පිරිමි ළමයින් ගී ගයමින් නිශ්ශබ්දතාවය විනාසම කර දැමූහ.
“මට ඕනෙ අද සිහියෙන් ඉන්න”
එරන්ද බොන බව ඇඟෙව්වාට බිව්වෙ නැත.
“මට ඉස්සර හොට් ලයින් එකක කොල්ලෙක් හිටියා. ඒ දවස් වල අපි මහ පාන්දර එකට දෙකට පටන් ගත්තාම උදේ වෙනකම් කතා කරනව..” මම සිනාවෙවී කීවෙමි.
එරන්ද කල්පනාකාරිව මදෙස බලා උන්නේය.
“අපේ යාළුවෙක්ටත් හිටිය කෙල්ලෙක් එහෙම..”
“හොට් ලයින්?”
ඔන්න මට මොකක් හෝ පොටක් පෑදෙන්නට යන්නේය. අචල මා දෙසම බලා සිටියේය. කොයි වෙලාවේත් මගේ සැකය දෝළනය වෙන්නෙම එරන්දත් අචලත් අතර මිසක මිහිර කොයි වෙලාවකවත් නියම සපුරන්නේ නැත. එහෙමත් නොවේ. මිහිර දැනටම විවාහක නිසා ඔහු ජාන්ම වුණත් ඉන් පලක් නැත.
“ සනුවට හිටියනේ බං එහෙම කෙල්ලෙක්..”
ඇසුවේම එරන්ද ය. අචල හිස වැනුවේය. මතක නැතැයි, කොච්චර කාලයක්දැයි මිහිර කීවේය. අචල ඉන්පසු මදෙස සැකයෙන් මෙන් බැලුවේය. අප නිකම් අතීත කරුණු බෙදා ගත්තා පමණ ය.
හොඳටෝම රෑ වූ පසු මා නිදන කාමරයට ඇරලවා එන්නෙමැයි කියා එරන්ද මා සමග නැගිට්ටේය. අචල කිසිවක් කීවෙ එරන්දගෙ කනට ළං වීය. එරන්දට වහා මා දෙස බැලුනි.
“මං අහල මැසේජ් එකක් දාන්නංකො”
ඒ මුහුණේ සිනාවකි. අචලත් සිනාසුණේය. ආදරේ අරුමැසිය සිතට දැනෙන විදිය අමුතු ය.
“ මේ”
“ම්ම්ම්ම්”
“අචල අර හොටෙල් ස්පා එකේ කෙල්ලව කතා කළා ද?”
“අම්මෝ අම්මෝ .. කොහාමද අප්ප ඔය තරම් ඉවක් දැනෙන්නෙ?
"එහෙම එකක් නෙමෙයි.. මට නිකම් දැනුණ..”
“ඔය දැනෙන ටික නං හොඳටම වැඩි ..”
“එයාවත් පිළිවෙලක් කරන්න කාලෙ හරි වගෙ”
“මාව පිළිවෙලක් කරන්නෝන නෑ?”
“ආයෙ මොනවද ඔයාගෙ පිළිවෙලක් කරන්නෙ?”
මගේ ඇසුත් එරන්දගේ ඇසුත් එක පෙළට වැටෙයි. අන්න ඒ තත්පරයෙන් කොටසක් තරම් කුඩා කාලයේත් අපි අපෙන් වෙන්ව නොයා එකිනෙකා තුළ සිරගත වෙන්නෙමු. අප හැමදාම සිරගත වුණු බන්ධනය ඒක ය.
රාත්‍රියට පෙරදා තරම් නැවුම් ලෙස ගෙවෙන්නට ඉස්පාසුවක් නොවූ බව වැටහිණි. ඉක්මණින් කළුවර සලු පොරවා ගෙන ආකාස සයනයේ ලැගුම් ගත්තේය. ඉර වාගේම සඳත් එබී බැලුවේ තරු අතරිනි. අපි අපට කතා කිරිමේ සීමා පනවා ගත්තෙමු. ස්වභාවධර්මයම සීමා පැනවීම සාමාන්‍යය.
“හෙටින් පස්සෙ මං මොනවද කරන්නෙ කෙල්ල?”
මා මේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුමද?හෙටක් ගැන කතා කරන්නට බැරි මිනිස්සු හෙට ගැන සිතන්නේ ඇයි? හෙට ගැන අද අප සිතනදේ සිදු වෙන්නට වගේම සිදු නොවෙන්නත් පුළුවන.
“මෙච්චර කල් ජීවත් වුණා වාගෙම ජීවත් වෙමු”
“දැන් මගෙ ජීවිතේ වෙනස්”
“කොහාමද?”
“මට ආදරේ කියනෙක දැනෙනව. මම ආදරේ කියනෙක දන්නව ..”
“මෙච්චර කාලයක් ආදරේ කළෙ එතකොට?”
“මෙච්චර කාලයක් කළෙ මොකක්ද කියලා මට දැන්ත් හිතාගන්න බෑ”
මම සිනාසෙමි. මට සතුට දැනෙයි. මම ඔන්න මගේ හිතෙන් ප්‍රශ්න කරමි. එතකොට නයිල්ස් නොදැන නයිල්ස්ගෙන් ඉවත් නොවී කරන මේ ආදරය සාධාරණිකරණය කරන්නට මා වෙහෙසෙන්නේ ඇයී?
පසුවදා අපි කොළඹ එන්නට සූදානම්ව සිටියෙමු. අචලත් එරන්දත් මොකක් හෝ සම්මුතියකට එළඹෙන්නට ඇතැයි මම කොහොමටත් සැක කළෙමි. එරන්දව මගේ කාමරයට තල්ලු කර ආයුර්වේද ස්පා එකේ සිටි ලස්සන කෙල්ලගේ ඕෆ් ඩේ එක තමන්ගේ කාමරයේ ගෙවන්නට ඇය නම්මා ගත් මේ සද්දන්ත ඉලන්දාරියා ගැන මට නම් ඉතින් කොහොමටත් අහිතක් නැත. එහෙත් මෙය සුදු නංගි හෝ දැනගත යුතු නැතැයි එරන්ද මට කීවේය.
“ මං ලංකාවෙන් යන්න ටිකට් බුක් කරගන්නත් ඕනි”
මම උදේ කෑම ගනිමින් සිටියදී කිහිප දෙනාම හමුවේ කීවෙමි. එරන්ද මා කීදේ නෑසුණාක් මෙන් කමින් බොමින් සිටියේය. සුදු නංගී අනේ අක්කි ඔයා එච්චර ඉක්මණින් යනවාදැයි ඇසුවාය. අචලත් මිහිරත් එකිනෙකා දෙස බලාගත් අතර දෙදෙනාගේම ඇස් නතර වූයේ එරන්ද ළඟිනි.
කොළඹ එන්නට පිටත් වෙද්දී එරන්ද හිඳ ගත්තේත් රියදුරු අසල ඉදිරිපස අසුනෙන් මිස පසුපස අසුනකින් නොවේ. මම හොටලයේදී ගත් කෑම දීසි වල ඡායාරුප කිහිපයක් බිම්මාගේ රිදී හැන්දට අප්ලෝඩ් කරමින් සිටියෙමි. ෆලෝවර්ස්ලාගේ කෙටි පණිවුඩ කියෙව්වෙමි.
අචල ඉදිරිපස අසුනට ගියේත් එරන්ද යළි පසුපසට ආවේ අතරමග නිකේතනයක නවත්වා සිගරට් දෙකක්ද ඉරූ පසුව ය. තනි ආසන ඉතිරි වී ඇති නමුත් එරන්ද කෙළින්ම පැමිණ ඉඳගත්තේ මා අසල ය.
“ අඩුම ගාණෙ ඔයාට මාව දාලා යන්න බෑ වගෙ හැඟීමක්වත් ඇති වෙන්නැත්ද?”
ඔහු ඇසුවේ ඇස් ද බරකර කටහඬටද දුක තවරා ගෙන ය. කොතරම් දුක ද? ඉන්නම හිතෙනවා නේ ද.? මින් ඉහත කවදාකවත්ම නොදැනුණ තද බැම්මකින් අප වෙළී ඇති හේතුව මට තේරෙන්නේම නැත.
“මාත් එක්ක පැනල යන්න එනවද? "
එරන්ද එහෙම අහන්නට හේතුවක් ඇත්තටම මට නොවැටහෙයි.
"ඔයා කොච්චර මොනව කිව්වත්.. සුද්ද ඔයාව හොයාගෙන ළගඳිම ලංකාවට එනව"
"ඉතින් අපි දෙන්න පැනල ගියාම එච්චර දෙයක් වෙන එකක් නෑ" මම සිනාවෙමින් කීවෙමි.
"නොගිහින් ඉන්නම බැරිද?"
මම සුසුමක් හෙළමි.
"ජොබ් එක?"
"ඉගෙන ගෙන තියෙන දේවල හැටියට ලංකාවෙ රස්සාවක් හොයා ගන්න බැරි ද?"
මම දෙවුර ඔසවා නිදහස් කර දැමුවෙමි. ජීවිතය කියන්නේ විටෙක නිමක් නැති අහසකි. ඒ සීමාවක් නැති ආකාසය යටදී මට ඕනෑතරම් සිහින දැකිය හැකිය. සඳ එළිය පිරුණු තනි යායක්ව විටෙක එය දිලිසෙයි. යළි අරුණාලෝකයෙන් බැබළෙයි.
"මේ වැඩ ටික ඉවර කරගන්නෝන.. " මම මෘදුව කීවෙමි. එරන්ද ගේ දකුණතෙහි ඇඟිලි අල්ලා ගත්තෙමි. ඔහු වාහනයේ අසුනේ පහසුවට හිඳ ගත්තේ මගේ වම්පසට සම්පුර්ණයෙන් බර වෙමිනි.
"අපේ ජීවිත එහෙම පිටින් ම ශෙඩුල් වෙලා තියෙද්දී අපිව මුණගස්සන්න ඩෙස්ටිනි එක නිකම් ප්ලෑන් කරන්නෙ නෑ.. ඒකට මොනාම හරි හේතුවක් තියෙනවා ඇති.."
"කවද හරි දවසක ඒ හේතුව අපි ඉස්සරහට එයි.. නේ ද?"
සමහරවිට, අපට එක ළඟින් ඉන්නට ජීවිතය දෙන අවසාන මොහොත මේ විය හැකි ය. මම එරන්දගේ උරහිසට මසුරුකම් කරන්නට පටන් ගනිමි. ආත්මාර්ථකාමී , ලෝබ , ආදරයට පෙරේතකම් කරන බිම්මාවෙක් මා තුළ දකිමි. මට මහා තනිකමක් දැනෙන්නට පටන් ගෙන තිබේ. එය පුරවා ගන්නට ඕනෑතරම් සුදුසුකම් ඇති පිරිමියෙක් මා ළඟ සිටියි. එහෙත්, අප ගව් ගණනක් දුරිනි. ජීවිතය එහෙම නොපනත්කම් සිදු කරයි. එයින් අප බිම ඇද වැටෙනවාදැයි බලයි. නොවැටී නැගිටින්නට බලකරයි.
"කෙල්ල, නැගිටින්න… තේ එකක් බොන්න"
එරන්ද කන්පෙත්තකට දෙතොල තද කර මෘදුව කොඳුරා කීවේය. මම කුඩා දැරියක් වගේ තවත් ඒ උණුහුමින් නිවෙන්නට ඔහුටම ළං වෙමි. එක වරක් හෝ එරන්දට "ජානු" කියා කතා කරන්නට මට සිතෙයි. ඒත්, ඒ ජානු එරන්ද නොවේනම් මේ කතාව වෙනස් වෙනු ඇත.
"ඒ.. නැගිටිනව හොර ගෙඩියා… අර අනික් උන් බලා ඉන්නවා.. "
මිහිර, අචල පමණක් නොවේ. සුදු නංගීත් වාහනයෙන් බැස රෙස්ටොරන්ට් එත දෙසට ගොසිනි. වාහනයේ ඉතිරිව ඇත්තේ අප දෙදෙනා ය.
"යන්න බෑ. වගේ.."
"සිගරට් එකක් බොන්න ඕනෙ.. "
"ගිහින් එන්න"
"මෙතන මෙහෙම දාලා යන්න බෑ"
"යන්න අනේ… මං මේ ලෝකෙ වටේ තැන තැන යන්නෙත් තනියම නෙ"
"ඒ මං ඔයා ළඟ නැති වෙලාවලනෙ.. "
"එහෙදි ළඟ හිටිය නං මට රස්සාව කරන්නවත් හම්බෙන එකක් නෑ.."
"ආයෙ ඔයා ව එහෙ යවන්න හිතෙන්නෙ නෑ මට"
"යන්නෙපැයි"
"ඔව්"
එරන්දගේ ඇවිටිල්ල හින්දාම මම රියෙන් බැස්සෙමි. අප එහි යනවිටත් අනික් අය කෑමබීම ඇණවුම් කර ලැබෙනතෙක් බලා ඉනු පෙනිණි. අචල, මහියංගණයෙ සංචාරක හෝටලයේ ආයුර්වේද ස්පා එකේ ගැහැනු ළමයා සමග ගෙවූ රාත්‍රියෙන් පසු වඩාත් සැහැල්ලුවෙන් සහ සැනසිලිදායක සිනහවකින් සිටිනු පෙනිණි. ආදරය ඒ වගේ කාරණාවකදී අත්‍යවශ්‍ය නොවෙන බව ඔහු පවසයි. එහෙත්, දැන් දැන් මගේ ජීවිතය මා ගෙනයන්නේ ආදරය සම්බන්ධ අතිශය සංකීර්ණ ඉසව්වකටය.
"මට මං ගැන දැනෙන දේවල් මටවත් තේරෙන් නෑ"
"ඔයා චුට්ටක් අවුල් වෙලා බිම්මා"
"ඇයි මං අවුල් වෙන්නෙ? හැමදේම හිතුවටත් වඩා හොඳට කෙරිලා."
"ඔයා අර යකාට ආදරේ කරනව "
අචල කීවේ මේසය මත දිගහල දෑතේ ඇඟිලි එකිනෙක තද කරමින් ඇඟිලිවල ඇට තදකරනවිට නගන ටික් ටක් ශබ්දය නඟමිනි. ඔහු "අර යකා" කීවේ "ස්මෝකින්" පෙදෙසට වාහනයෙ රියැදුරු සමඟ ගිය එරන්ද ව පෙන්වා ය. මම සිනාසුණෙමි.
"තේරෙන්නෙ නෑ අචල, මට "
"වැඩිය හිතන්නෙපා බිම්මා. සමහර හැඟීම් අපි ඇතුළට ආවාම ඒවා අපිව වීක් කරවනව. අපි ඇතුළෙ තියන හැම පොසිටිව් එනර්ජි එකක්ම කන්සියුම් කරනව. මොකද ඒවා හරි පවර්ෆුල්"
එරන්ද යළි ආවේ සිනාවෙමිනි. වෙලාවට නොකපන හිසකේ විලාසිතාව ඔහු වඩාත් අවුල් සහගත බව පෙන්වයි. මුහුණ පුරා වැවෙන ඝණ කළු රැවුළත් නළල යට දීප්තිමත් දෑසත් හදවත වසාගෙන පවතියි. ලංකාවෙන් නික්මුණාට පසුවත් මට මේ පින්තුරය මගේ හදවතින් අයින් කරගන්නට හැකිවෙතැ'යි නොසිතෙයි.
"මොනාද මෙයා කියන්නේ ?"
අචල එරන්දගේ ප්‍රශ්නය ට කිසිවක් නොකීවේය .
"ඒක එයාගෙන්ම අහගනින්"
"මොනාද මූ කියන්නේ ?"
එවර , ප්‍රශ්නය මවෙත යොමුවෙයි.
"ඔයා වගේ හුයන්නෙකුට ආදරේ කරල මං මගෙ ජීවිතේ නිරපරාදේ නාස්ති කරගනීලු "
මා එහෙම නොකියන්නට තිබුණායැ'යි මට එවෙලේ සිතිණි. එහෙත්, මා නොසිතු පරිද්දෙන් පිරිමි දෙදෙනා මහ හයියෙන් සිනාසෙන්නට පටන් ගත්හ.
මොනා වුණත් බිම්මා ඔන්නොහොම ඉන්නකොට නම් ඔයා පට්…ටයි හොඳද?"
එවර අචල ආයේ කීවේය.
"බිම්මා.. මෙන්න මෙහෙ නතර වෙලා. මූව කසාද බැඳගෙන පිළිවෙලක් වෙනවකො"
මම සිනා නොවී සිටියෙමි. එය ඒ වගේ වෙලාවක පහසු නැත. සිනා වෙනවා නම් ඇත්තටම සිනා විය යුතු ය. බොරුවට මවා පාන්නට සිනාසෙන්නේ කොහොමද ? එරන්ද සිටියේ බුම්මාගෙන ය. විහිළුවට හෝ සිනා නොවෙමිනි.
"අඩෝ මේ මේවා විහිළු නෙමෙයි.. හරිද.."
“අපි කියන්නෙත් ඒක තමයි හුත්තො.. මේවා විහිළු නෙමෙයි.. තොට තේරන්නෑ .”
එරන්දගේ ඔලුවට තට්ටුවක් දමා අචල එතැනින් නික්මිණි. මම එරන්ද දෙස බලා හිඳියෙමි. ඔහුගේ මුහුණේ පරිධිය අඩුවී තියේ. මට දුකක් වාගේ දෙයක් දැනිණි.
“සොරි .. අරුන්ටත් ඕන්නැති දෙයක් නෑ නෙ”
මම මොහොතක් ඒ ඇස් දෙස බලා හිඳිමි.
“ඇත්තටම මා එක්ක පැනල යංද.”
එවර එරන්දට සිනා නැගිණි.
"ඇයි පැනල යන්නෙ?"
"වෙන කොහොමද යන්නෙ"
"පැනපැන යන්න නම් එන්න බෑ"
මම මෘදුවට සිනාසෙමි. ඔහු පැහැසරකි. ප්‍රභාශ්වර හැඟීමක් හදෙහි ජනිත කරවනා එළි කන්දකි.
"අපි අතරෙ දේවල් වුණා තමයි බිම්මා. අපි දෙන්නම දැනගෙනනෙ වුණෙ. එහෙමයි කියලා ඉතින් අපට එහෙම බොළඳ පොඩි එවුන් වගෙ හැසිරෙන්න බැහැ නෙ.."
මම මඳහසක් නඟමි. පිරිමි, ඔවුන් අකමැතිම වගකීම් ගන්නට ය.වගකීම් අවම සම්බන්ධතා වලට ස්වභාවයෙන්ම ඇදී යන්නේ ඒ නිසා විය යුතුය. මට එරන්ද ගැන පුදුමයක් නැත. එරන්දට උවමනා සාමකාමී ජීවිතයකි.ඔහු හැලහැප්පීම් වලට අකමැති ය.එබැවින් ඔහු සසඳි සමඟ ගැටලු නැතිව වෙසෙන්නට උත්සාහ කරයි.
"මම එහෙම දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ කියලා ඔයා දන්නවාඑරන්ද. අපි කවදහරි වෙන්වෙන්නත් ඕනෙ දෙන්නෙක්."
මා එරන්දට එහෙම කීබව සැබවි. එහෙත්, හිත යට හෝ එරන්ද යළි හමුවෙන්නට බලාපොරොත්තුවක් මට නැත්දැයි මටම පුදුම හිතෙයි. රටවල් කිහිපයක ඇවිද ඇතත් මෙහෙම සම්බන්ධයක මා කවදාවත් පැටලී නැත.

Next
ReplyDelete