Friday, November 14, 2025

මගේ පුනරුද කලාපය 05


සද එලිය වගේ ඇවිදින් 
තනි මැකුවෙ නුඹේ සුවදින් 
මේ දිවිය අතරමගකින් 
මග නතර නොකොට හිනැහෙන්

ඒක හරි සංවේදී සින්දුවක්. වාහනය පුරාම විහිදුන සෞම්‍ය සුවදට මාත් ආස වෙලා හිටියා. ගෑනු කියන්නෙ සපුරාම දෝශ සහගත නිශ්පාදන. කායිකව සර්ව සම්පුර්ණ ගැහැනියක් වුණත් මානසිකව කිසිම නිශ්පාදන දෝෂයකින් තොරව පවතිනවාය සිතීමම අවුලක්. කොහේ හරි සියුම් තැනක මේ සම්පුර්ණත්වයේ සමබරතාවය බිඳෙනවා. දශම ගාණකින් එහෙ මෙහෙ වීමම හොදටම ඇති 

ආදිත්‍යාත් ඒ "මේඩ්" එකේම අසමබරතාවයක් පවතින ගැහැනු කොට්ඨාසයෙන් එක් ජීවිතයක් පමණයි. දිමිත්‍රි ත් මාත් දවසක් බොරැල්ල උමං හුවමාරුව ඇතුලෙන් මාරු වෙමින් හිටියා. ඒ වෙනකොටත් රෑ බෝවී තිබුණු නිසාවෙන් උමං මාර්ගයේ හැමදේම සෙවනැලි සමග මුහු වෙමින් තිබුණෙ.වැඩි කල්පනාවකින් තොරවම මං හැරී ඇවිද යමින් හිටියෙ පොදු වෙළඳ සංකීර්ණය පැත්තට. එක වරම දිමිත්‍රි මා ලගින් ඇවිදින්නේ නැති අඩුව මට දැනුන නිසා හැරී බලද්දි මෙන්න ඔහු ඉන්නවා 

අපි යන්න ඕනෙ බස් නැවතුම්පළට. ඒත් මං විතරක් හිටියා නම් මං ආපහු හැරිලා නොයා ලිඩෝ එක ගාවින් පාර මාරු වෙනවා. නමුත් ඒ වෙද්දි මගේ අනුවණකම පිලිබඳ අප්‍රමාණ කලකිරිමට පත්වෙලා උන්නු මගේ වල්ලභ උතුමාණන්ගෙ කේන්ති මාපකය තවත් ඉහළ නොයවා  ආපහු හැරෙන වගකීම මගේයි. ඇත්තටම කිව්වෝතින් දිමිත්‍රිට මේ වගේ වෙලාවට කේන්ති යනවා වුනත් මේ මොහොතේ එයා හරිම ලස්සනට හිනාවුණා. 

" ඇත්තටම ඔියි මට හිතාගන්න බැරි තමුසෙට ඔය ඩිග්රි එක හම්බ වුණේ කොහොමද කියලා"

" ඒ ඇයි දිමිත්‍රි..."

" ඇයි කියන්නෙ බං මේ ඇස් දෙකේ හැපි හැපි නව බස්තැවතුම්පල කියලා තියෙද්දී තමුසෙ කොහොමද හොඳටම පාර දන්නවා වගේ අර පැත්තට ගියේ"

මේ වගේ වෙලාවල උත්තර දෙන්න හොඳ නැති බවත් මෝඩියක් වගේ හිනාවෙලා නිශ්ශබ්දව ඉන්නෝන බවත් ගෑනු දන්නවා. එහෙම නොවුණා නම් උමං හරස්පාර ඝාසා තීරයක් වීම වලක්වා ගන්න බැරුව යනවා. 

" සිරාවටම ආදි... තමුසෙ දඩයම් යුගයේ වගේ හිටියා නම් සිංහයා වගේ සතෙක් තමුසෙව චුයින්ගම් එකක් වගේ වමාරා කනවා.. ආයෙ හපනවා...ආයෙ ගිලිනවා..වමාරනවා..ආයෙ කනවා.. ඒ්ත් තමුසෙ උගෙ උල්දත් වලට හැපි හැපි ආතල් එකේ ඉඳිවි.. කීයටවත් පැනගන්න ට්‍රයි එකක් වත් දෙන එකක් නැ.." 

මට හිනා ගියා. ඒ වගේ කතාවකට මට බඩ අල්ලගෙන හිනාවෙන්න පුලුවන්. ඒත් මේ ඒකට වෙලාව නෙමෙයි නිසාත් කේන්ති මාපකය ගැන මට තිබුණු හසල අවබෝදය නිසාත් මම ටිකක් හෙමින් හිනාවුණාම දිමිත්‍රිත් ඒ හිනාවට එකතු වුණා. මතක කියන්නෙ ලස්සන දේවල්. ඒවා අපි නොහිතන වෙලාවට අපේ හිත් ඇතුලෙ න්ම මතුපිටට එනවා. මට හිතුණා මෙහෙම. අපි හැමදාම ඉන්නෙකක් නැහැ. ඒත් අපි හදාගන්නා මතකයන් කවදාවත් මියෙන්නෙ නැහැ.ඒවා විවිධ අවස්ථාවන් වල අපේ හිත් මතුපිටට එනවා. ඇවිත් අපට හිනාමල් දීලා ආපහු උන්නු තැනටම යන්න යනවා. 

අමයුරු මගේ ආගන්තුක හිනාව ගැන අවධානය යොමු කළා වගේ දැනෙන පළවෙනිම මොහොතේදි මම හිනාවෙන එක නතර කළා. 

" මිස් හිනාවෙන්නෙ බොහොම කලාතුරකින්නෙ.."

මම ටිකක් ගැස්සිලා වගේ අමයුරු දිහා බැලුවා. එයා මිස් කියලා කතා කරන බව මම දැනගෙන හිටියා. මට ඇහිලා තිබුණා. අපේ පරිපාලන නිලධාරිනියටත් අමයුරු කතා කරන්නේ මිස් කියලා බව. තරුණ ම තරුණ මහාචාර්යවරයෙක් නිසා එහෙම ගෞරව නම්බු නාම දීලා කතා කරනවා මිසක මං දැනගෛන හිටිය අනික් ආචාර්ය මහාචාර්යවරු නම් අපේ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට නම්බු දීලා කතා කරන්නේම නැහැ. 

" එහෙම දෙයක් නැ ප්‍රොෆෙසර්.." 

මම සර් නොකියා ප්‍රොෆෙසර් කියලා අමයුරුව අමතන්න හිතා ගත්තා. අපි හැමෝම දන්න වෙනස් ප්‍රොෆයිලයක් නඩත්තු කරන මේ ජේත්තුකාර තරුණයාව ඔිනැවට වඩා යටහත්  පහත්ව කතා කරලා කර උඩට ම නග්ග ගන්න ඔිනෙ නැහැ කියලා මටත් හිතිලා තිබුණෙ. 

" කොහොම දෙයක්ද නැත්තෙ?" 

ඔහු වඩාත් මිත්‍රශීලි ලීලාවකින් විමසුවා. 

" මට මගේ එක්ස් කීව දෙයක් මතකෙට ආවා.." 

මම තවත් හිනාවක් තවරා ගත්තා. 

" මෙච්චර සන්සුන් හිනාවක් නම් එක්ස් මතක් වුණාම ඔයාගෙ මූණට එන්නේ ඔයාගෙ එක්ස් ලස්සන මනුස්සයෙක් වෙන්නෝනේ නේද?" 

මම හිස සැලුවා. දිමිත්‍රි ඇත්තටම ලස්සන මනුස්සයෙක්. මගේ යෙහෙලියන් අපි පෙම්වතුන් උනු මුල්ම කාලයේදී දිමිත්‍රි ගෙ උස ගැන ඔහුගේ ගමන් විලාසය මනරම් සිනහව ගැන ඉරිසියාත් කළා. එපමණක් නෙමෙයි. නිශාදි අපේ ජිවිත මැද්දට ඇවිත් දිමිත්‍රිව උදුරා ගත්තායින් පස්සේ ඔවුන් විස්සෝප වෙමින් කියා හිටියේම අපරාදේ ආදි උඹ ලෝකෙ ඉන්න ලස්සනම කොල්ලෙක්ව අහිමි කරගත්තා කියලා. 

" එක්ස් ලා කියන්නෙම මිස්, අපේ ජිවිත වල අතීතය..අපි අතීත කර ගහන් වර්තමානයේ ඇවිදින එක අනවශ්‍ය බරක් දරන් ඇවිදිනවා වගේ කියලා හිතෙන්නැද්ද?"

මම දෙව්‌ර සෙලෙව්වා. ඒ වෙද්දි අපි යාන්තමින් දෙමටගොඩ පාළම අසලට ළගා වෙමින් හිටියා. අමයුරු කියන්නේ පහසුවෙන් මැසිවිලි නොනගන මනුුුුුස්සයෙක්ය කියලා මට ඒ තත්පරයට දැනිලා තිබුණා. ඒ අමයුරු සම්බන්දයෙන් මා අසා තිබු දේවල් එක්ක ගොඩ නැගි තිබුණු පදනම නිසා වෙන්නත් ඇති. මට හොඳටම මතක තියෙනවා අමයුරු අපේ රිසර්ච් ෆෙලෝ වශයනේ තෝරාගන්නා අවස්ථාවේ අධ්‍යක්ෂකතුමා විසින් කරන්නට යෙදුණු කතාව

"අමයුරු කියන්නෙ වෙනස් විදියක මහාචාර්යවරයෙක්. ඇත්තටම අමයුරු ලංකාවට සම්පතක්..අපට මේ අවුරුද්ද කියන්නෙ ආශිර්වාදයක්.." 

" එයා හිතනවා ඇති එයා කරන්නෝන වැඩ ඔක්කෝම ප්‍රොෆ් අමයුරු ගෙන් කරගෙන අයිස් කන්දක් වගේ ඉන්න. කොහොමත් ඉන්නේ එහෙමනේ..." මා අසළ සිටි අපේ ආයතනයේ මා හැර සිටින අනික් එකම කාන්තා නියෝජනය උමන්දා කිව්වා. මම ඇහිබැම ගස්සලා උමන්දාට " කට වහපං" වචන නැතිව කිව්වා. ඒත් මට වුණත් තාමත් මතක ඒ කතාවේ ඇත්ත නැත්ත දැන් අමයූරුත් දන්නවා ඇති මට හිතුණා. 

" මේ වැස්ස නම් ඉවරයක් වෙන්නෙම නැහැ වගෙයි" මම වින්ඩ්ස්ක්රිරි න්න් එකෙන් නැමිලා වගේ අහස බැලුවා. ඒක මට කවුලුවෙන් බැලුවත් කියන්න තිබුණා. ඉතින් මං කලිනුත් කිව්වේ, මං හරිම නිශ්පාදන දෝෂ සහිත ගැහැනියක්. අමයුරු අනික් පිරිමි වගේම හිත යටින් හිනාවෙන්නත් ඇති. හැබැයි කිසිවක් නොකියා ඉන්න ප්‍රවේශම් සහගත වුණා. 

" ඔයාලගෙ කලින් ජර්නල්ස් දෙකත් එක්ක ජර්නල්ස් හතරක් මේ අවුරුද්දෙ කරන්නෝන කියලා ඩිරෙක්ට කියනවා" අමයුරු උන් හිටි ගමන් ගොඩබැමක් කරන්න සිද්ධ වුණු ගුවන් යානාවක් වගේ අපි අතරට හදිසි සංවාදයක් පතිත කළා. මම නම් කිසිසෙත්ම ඒවගේ අධ්‍යයන මාතෘකාවකට සුදානමින් නෙමෙයි හිටියේ. මගේ ඇස් ලොකු වෙලා තියෙන්න ඇති. දෙවියනේ! ඒක කිසිම තේරුමක් නැති ඇස් හමුවීමක්. මගේ ඇස් වල වික්ෂිප්තයක් පිරී ඉතිරී යන්න ඇතිි. අමයුරු නම් කිසිවක්ම වුණේ නැහැ හැමදේම සාමාන්‍යයි වගේ බැල්මකින් මා දිහා බැලුවා. 

" ඔව්.. මටත් තේරෙනවා. ඒක කරන්න ලේසි නැ කියලා"

දීර්ඝ වෙළඳ දැන්වීම් විරාමයකින් පස්සේ මේඛලා ආයෙමත් රන්සර රාත්‍රියෙ.. අද ඇයට අමුත්තෙකු හමුවෙලාත් නැහැ. මේ වැහි දවසෙ මේඛලාටත් පිස්සුද මන්දා.. මේ අහස යට අර පේන මානෙ ඔරියන්ට් සිටි බිල්ඩිමේ රන් එෆ් එම් මැදිරියකට වෙලා මොන මොනවද මුමුණමින් පිවිතුරු පරම ප්‍ර‌ේමණීය සින්දු වාදනය කරනවා. 

" අපෙ ආදර කතන්දරේ..." ඉතින් දෙවියන්ටවත් පේන්නෙ නැද්ද මේ මායාව.. මං කැමති මේ සින්දුව බිමල් කියනවාට.. ඒක අස්සේ මං දකින්න ආස ම පිරිමි පෞරුශය මට දැනෙනවා. හැබැයි බිමල් රඟපාන එකේ මට එහෙම ආශක්ත භාවයක් දැනිලා නැහැ. 

" ඔයා මේ සින්දුවට ආසයිනෙ නේද?" අමයුරු ආයෙම අහද්දී මම ඇස් දෙක ගලවලා අරන් පාරට අලවා ගත්තා. 

" ඔව්.. හැබැයි මං ආස මේකෙ බිමල් ගෙ වර්ශන් එකට" 

" අපි ඒකත් වෙලාවක අහමුකො.. මං ආස පරන සින්දු පරන විදියටම අහන්න" 

මගේ කන්පෙති ඉස්සුණා. මං හිතනවා ඒ ඉරියව්ව අමයුරුට අහුවෙන්න නැතුව ඇතියි කියලා. ඒත් අපි ඒ්කත් වෙලාවක අහමුකො කිව්වාම නම් පපුවෙ ගැස්ම වැඩි වුණා. පිරිමියෙකුට පපුවෙ ගැස්ම වේගවත් වුණු බව දකින්න තරම් කැපී පෙනෙන ළපැත්තක් නැති නිසාම ඒ ගැන ඔිනැවට වද වෙන්නෙ ඇයි කියලා මම මගෙන්ම ඇහුවා. 

( බිමල්ගෙ කටහඩින් අපෙ ආදර කතන්දරේ අහනවා නම්)


 

3 comments:

  1. මම පුංචි කාලේ ඔය සින්දුවට හෙන කැමතියි . අපේ ආදර කතන්දරේ . කොහොම මතක හිටියද මන්ද . වැඩිහිටියෙක් කැසට් එකකට මගේ කටහඬ අරගෙන අහන්න සැලැස්සුව . හෙන පුදුමයි ඒ දවස් වල . 'පෙති ඇරෙන මලේ දිය පිරෙන විලේ . ..අහ්හ් උඩු ගුවන යටින් මහා දෙරණ

    ReplyDelete
    Replies
    1. ආදිත්‍යාත් කැමතියි. ඒ වචන වල මහ බලයක් දැනෙනවා

      Delete

මගේ පුනරුද කලාපය 06

  ටික වෙලාවකින් අමයුරු බලාපොරොත්තු බිඳිලා ගිය බැල්මකින් සුක්කානම තට්ටු කළේ ඉතා දිගු වාහන පෝලිමක බලා සිටිමේ අපහසුතාවය හොඳටම දැනිලා වෙන්න ඇති....