Sunday, October 23, 2022

චිම්නි කෝපි 01


 චිම්නි කෝපි

 

ප්‍රථම කෝපි කෝප්පය!

 

ගුවන් යානයේ ආසන පටි පැළඳ ගෙන මම උත්කර්ෂවත් හැගීමකින් හැඟීම්බරව බලා ඉමි. මේ අවස්ථාව වන විට යානාවේ කවුලුවෙන් මට මගේ මව්බිම පෙනෙන්නට පටන් ගෙන තිබේ. මම වඩාත් ප්‍රමෝදයට පත් ව හිදිමි. අවුරුදු ගණනාවකින් ලංකාවට එනවා කියන්නේ කොහොම සතුටක්ද? විශේෂයෙන් ම මුල් මෙහෙ පසෙහි ඔබා තියා ගිය කෙනෙක්ට…

 

යානාව නිසි ලෙස පතිත වීය. මම සැහැල්ලු හුස්මක් හෙළමි. මට ගුවන්. ගමන් හුරුය. එහෙත් ,පතිතය සිදුවන හැම තත්පරයකදීම අලුතින් තිගැස්සෙමි. දුරකතනය නාදවෙයි. කවුරුදැයි දනිමි. ඔහු , වසර ගණනක මගේ නවාතැන් සගයා, හොඳම මිතුරා, සමහරවිට ජීවිතයේ ගමන් සගයා විය හැකි ආදරණීය ම මිනිසා නයිල්ස් , මා යන එන තැන් මට වඩා හොදින් දන්නේය. හදුනන්නේය.

 

" Landed safely. "

 

ආගමන විගමන කටයුතු වලින් ඉක්බිතිව, මම කටුනායක ගුවන් තොටුපළෙහි පිටවීමේ පර්යන්තයෙන් බැහැරට ආවෙමි.මා කැටුව යන්නට කිසිවෙකුට එන්නැයි කීමට සැලසුම් නොකළෙන් නැවතීමට නියමිත පිළියන්දල පැත්තේ කුඩා නවාතැනක් සුදානම් කර දීමට පැරණි රැකියා ස්ථානයේ යෙහෙළියක ඉදිරිපත් වුවා ය. ඇය මා කැටුව යන්නටද ඉදිරිපත් වු නමුත් මගේ ගුවන් යානාව පැමිණෙන්නේ මැදියමෙහි නිසා මම ඇයට වද නොදිමට තීරණය කළෙමි. එබැවින් ඇගේ කාර්යාල කටයුතු වලදී ගමන් බිමන් වලට යොදා ගන්නා කුලි රියක් මා වෙනුවෙන් ගුවන් තොටුපොළට එවා ඇගේ නොම්මරය ද මට දුන්නා ය.

 

"හෙලෝ.. මං හිතන්නේ මං මේ කතා කරන්නෙ ප්‍රදීපට"

 

"ආ ඔව් ඔව් මිස්.. ෆ්ලයිට් එක ආවා නේද මිස් මං අරයිවල් එක ලග ඉන්නෙ මිස් මගෙ වාහනේ අංකෙ බලන්නකො.. ප්රියස් එකක් සුදු පාට.."

 

මා වැඩියමක් ගෙනා කෙනෙකු නොවේ. ලංකාවේදි අදින්නට පහසු ගිම්හාන ඇදුම් කිහිපයක් බෑග් එකට දමා ගනිද්දී නයිල්ස් සිනාසුණේ ඔහුට මේ සදාතනික  ගිම්හාන සෘතුව සහිත රටෙහි හැමදාම ඉන්නට උවමනා බව කියමිනි. සෘතු විපර්යාස අවම වුවද මගේ රටත් අනිකුත් බොහෝ ආසියාතික රටවලුත් ආර්ථිකමය වශයෙන් ස්ථාවර සහ ස්ථිර නොවන බව මම නයිල්ස්ට පැහැදිලි කරමි.

 

"ඉතින්, ඔයාලා වගේ උගත් අය රටට සේවය නොකර මෙහෙ ඇවිත් බ්ලොග් ලිය ලියා ඇවිද ඇවිදස ****

"මිස්ට ඕනෙ තරු කීයක කෑමක්ද?" ප්‍රදීප් ඇසුවේ ශීලාචාරවය. මා තේරුම් ගත්තේ එහි ඇති සරල බව ය.

 

"ලංකාවට ආව ගමන් තරු පේන කෑමක් කන්නෝන නෑ ප්‍රදීප්.. අපි යන ගමන් ඇරල තියෙන නයිට් කඩේකින් මොනා හරි කමු"

 

"අපි එක්ස්ප්‍රස් වේ එකෙ කොට්ටාවට ගිහින් , එතනින් පිළියන්දලට දාමු.. මිස්ට කොට්ටාවට යනකම් නොකා ඉන්න පුළුවන් ද?"

"පුළුවන් ..යං"


 

ලංකාවේ මිනිස්සු කෑමබීම සම්බන්ධයෙන් කොයිතරම් සත්කාරක දැයි මම දනිමි.

 

"ප්‍රදීප්් කාලද?"

 

මට අමතකව ගිය වාක්‍යය අසන්නට මතක් වීම ගැන මම මටම ස්තුතිවන්ත වෙමි.

 

"ඔව් ඔළු මිස් යමු.."

 

රථය වෙනස් මංමාවත් ඔස්සේ අධිවේගී මාර්ගයට පිවිසුනි. මට මගේ රට ගැන හැබෑ ආදරයක් දැනෙමින් තිබේ. මේ අධිවේගි මාර්ගය ඉදිකරන්නට වෙන රටක මෙපමණ දුරකින් යුක්ත අඩිවේගී මාර්ගයක් ඉදි කරන්නට වැයවන පිරිවැයට වඩා සැලකියයුතු පිරිවැයක් වැයවි ඇති බව නොරහසකි. අනික් අතට ලංකාවේ තව පරම්පරා කිහිපයක් පවා මෙම සංවර්ධන ව්‍යාපෘති සදහා ගත් ණය ගෙවන්නට බැදී සිටින බවද ඇත්ත ය.

 

එහෙත් විදේශගතවි යම්කිසි කාලයක් සිටි කෙනෙකු නැවත ලංකාවට පැමිණිමේදී රට තුළ සැලකිය යුතු වෙනසක් සිදුවී ඇති බව හැගෙයි. මම ප්‍රදීප් සමග උවමනාවකට මිස කතා නොකර ආවේ මගේ නිදහස සෑහෙන්නම මට වැදගත් වු නිසාම ය.

 

"මිස්, මේ හොද කොත්තු කඩයක්..මේකෙන් ගන්නවද"

එය ඉස්තරම් පෙනුමැති කොත්තු කඩයකි.ඇත්තටම කොත්තු කඩවලට සහ කොත්තු බාස්ලාට මෙවැනි සමාජ තත්ව පිරිනැමිම මාරය. මේ සියල්ල ලංකාවට එකතු කරනුයේ අප්‍රමාණ වටිනාකමකි.

 

නර්මදා , මා වෙනුවෙන් වෙන් කර තිබුණු කුඩා පිරිසිදු ලොජ් ආකාරයේ නවාතැන් හිමියාද මා කෙරෙහි කරුණා දයාර්ද්‍රව මා ව පිළිගැනීමට කටයුතු කර තිබිණි. බොහෝ සීතල දේශගුණයක සිට දීර්ඝ ගුවන් ගමනක යෙදී ආපසු ආසාවෙන් ගෙන ආ චීස් කොත්තුවෙන් කෑමට හැකිවූයේ අඩකින් අඩකි. අනික්වා කාමරයෙන් පිටත කසල බදුනට ඔබා මා නින්දට වැටුණේ වෙහෙස නිසාම ය. අවසානයට නයිල්ස්ට දවසෙ දීර්ඝ විස්තරයක් නොයවා සමරියක ආකාරයේ වාක්‍ය කිහිපයක් ලිව්වෙමි.

 

නයිල්ස් සහ මම එක් කාලක, එක්තරා පර්යේෂණ නිබන්ධනයක් සම්බන්ධව එකම මහාචාර්ය වරයා සමඟ වැඩ කළෙමු. ඉන් හොඳ මිතුරන් බවට පත් වු අප පසුකාලිනව පෙම්වතුන්යැයි හැදින්විමටත් නොහැකි මිතුරන් ය නම් කිරිමටද නොහැකි වඩාත් තාර්කික සහ කොම්ප්ලිකේටඩ් ආකාරයේ සම්බන්ධතාවයකට එළඹී සිටියෙමු.

 

මුලින්ම අප එකම නිවසක් කුලියට ගත්තේ තනි තනි නිවෙස් කුලියට ගැනිමට අපට වත්කමක් නොවු නිසාය. අප සමග අපි තවත් ශිෂ්‍යයින්ද නවත්වා ගත්තෙමු. එයින් අපි අතිරේක ආදායමක්ද ලැබුවෙමු. පසුව අපි විශ්ව විද්‍යාලයෙන් ඉවත්වු පසු මට පෙර නයිල්ස් හොද රැකියාවක් ලබාගත්⁣තේ ඔහුගේ පෙර රැකියා වල පළපුරුද්ද සහ භාෂාවේ චතුරත්වය නිසාම ය.

 

ඉන්පසු ඔහු රැකියාවේ සුදුසුකම මත රජය විසින් ලබා දෙන නිවාස ණය යෝජනා ක්‍රමය ඔස්සේ අප දැනට ජීවත් වන නිවස මිලදී ගැනිමට කටයුතු කළේ ය. අප එක්ව ජීවත්වන බව දැනගත් පසු නයිල්ස් ගේ මව කියා තිබුණේ මේ බේබදු සුදු කෙල්ලන්ට වඩා ආසියානු ගැහැනු සිය ස්වාමි පුරුෂයන් කෙරෙහි බැතිමත් බවය. ඇගේ පුතාගේ ඉන්දියානු පෙම්වතිය ගැන ගිම්හාන සවස් වල තේ මේසයට වාඩිවෙන අසල්වැසි ස්විඩියානු ගැහැනුන්ට නිමක් නැති කතා කීමෙහිලා පොහොසත් වීමට ඕ ඉන්දියානු සංස්කෘතිය පිලිබඳ ලියැවුණු පොත පතද කියව්වාය. අවසානයට සිදුවුයේ බොහොම නරක තත්වයකි. ඇය ඉන්දියානු මෙගා නාට්‍ය වල සිටිනා රත්තරන් පැහැති නාග කෙල්ලන් ගැනද කියවන්නටත්, ඒ යුටියුබ් ලින්ක්ස් වට්සැප් ගෘප් හරහා හුවමාරු කරගන්නටත් පටන් ගත් පසු.. නයිල්ස් , නිකොලාට.. එනම් අම්මාට "සින්ඩුමිනි බිම්මාලි පතිරානා" ඉන්දියානුවෙක් නොවෙන බවත්, දකුණු ඉන්දියාවට ආසන්නයෙන් මුහුද මැද ගැවසෙන කුඩා එහෙත් වටිනා ලස්සන දූවක් වන ශ්‍රී ලංකාවෙන් පැමිණි කෙල්ලක බවත් පෙන්වා දී තිබිණි. ජංගම දුරකතනයෙන් පෙන් වූ ලෝක සිතියමෙහි , ලංකාව ඇති තැන දැක ඕ විශ්මයට පත් වු බවත් "දෙවියනේ මේ රටේ තියන භුගෝලිය පිහිටිම බලන්නකො" කියා එය බටහිර රටවල් විසින් තවම ඉතිරි ගෙන සිටිමම පුදුමයකැයි කීවේ ලු.

 

නයිල්ස් ලක් කාරයෙකි. නිකොලා ,ඔහුගේ අම්මා ලකුණු සියයට පන්සියයක් ලකුණු ගන්නට හැකි පැරණි ගම්පද ස්විඩියානු රෙසිපිස් සිය ගණනක් සිය මනසෙහි තැන්පත් කරගෙන සිටින අපුරු ආදරණීය බටහිර ගැහැනියකි. ඔහුගේ , මිතුරිය.. අපෙ අම්මා යුටියුබ් චැනලය බලාාගන නේක සිංහල කෑමලවට්ටෝරු උගත් නමුත් දැන් සිංහල සුප ශාස්ත්‍රයේ යම් දුරක් දැන සිටින්නී, සිඳුමිනි බිම්මාලි පතිරණ නම් ආදරවන්ත ආසියාතික ගැහැනියකි.

 

කෑම වර්ග ගැන කෑම වල හැඩය ගැන සුවඳ ගැන රස ගැන මා මුලින්ම ආශාවෙන් කතා කළේ මට අවුරුදු විසි ගණන්වල මුල ය. ගණනය කරන විදිය සහ අත්පත්ව තිබු තොරතුරු සමූහය මතින් බලන විට අවුරුදු දහඅටක පාරිශුද්ධ මානවකයෙකු සමගය. ෆේස්බුක් ඇප් එක එන්නට ඉස්සර පරිගණකය ඔස්සේත් ස්මාට් නොවු දුරකතනය ඔස්සේත් සම්බන්ධ විය හැකිව තිබුණු එක්තරා දුරකතන සමාගමක චැට් රූම් එකකදීය.

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...