Monday, October 24, 2022

චිම්නි කෝපි 04

 චිම්නි කෝපි - The coffee shop


හතර වෙනි කෝපි කෝප්පය. 


පිළියන්දල තාවකාලික නවාතැන් පළෙහි ජීවිතය මට තදින් එපා වුයේ අර නර්මදා කී පරිදි දවල් වරුවලට එහි කාමර කුලියට දීම නිසාය. හරියටම නවාතැන් පළෙන් පාරට බැස මීටර් තුන්සියයක් එහායින් ඇති කුලී රථගාල ඕපාදුප නාන ළිඳකට සමාන එකකැයි මා තේරුම් ගත්තේ එහි ගෙවූ පළමු සතිය අවසාන වෙද්දීය. 


"මිස්ට එතන ගැළපෙන්නෙ නෑ. මං මිස්ට ඇනෙක්ස් එකක් බලන්නද?" 


කෙනෙක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය. මම හැකිතාක් කාරුණික ස්වරයකින් ආරාධනාව ප්‍රතික්ෂේප කළෙමි.


සාමාන්‍යයෙන් මේ මිනිස්සු එහෙම පහසුවෙන් උත්සාහයන් අත් නොහරිති. ඔහු යළිත් වෙනත් යෝජනාවක් ගෙන ආවේය. කෙසේ වෙතත් මම බෝඩිම් කාමර සහ ඇනෙක්ස් අතහැර නර්මදා යෝජනා කළ මහල් නිවාස සංකීර්ණය තෝරා ගත්තෙමි. මේ කාලයේ දී ගෘහභාණ්ඩ සහිතව සුඛෝපභෝගී මහල් නිවාසයක් එවැනි කුලී මුදලකට ලබා ගන්නට හැකිවීම කොයිතරම් දෙයක්දැයි තේරුම් කරන්න ට උත්සාහ කළේ නයිල්ස් ය. ඒ මගේ ආසියානු ජානවල ඇති මසුරු ගතිය උවමනාවට වඩා ඉස්මතු වී මා ඒ නිවස කුලියට ගැනීම ගැන අවිනිශ්චිතව කතා කළ හින්දාය.


කෙසේ හෝ මෙරටට පැමිණ දෙවන සතිය පිරෙද්දී මම මා සතු බඩුමුට්ටු ටික පොදි බැඳ ගෙන බොරැල්ල මධ්‍යයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයට සංක්‍රමණය වූයෙමි. කොළඹ නගරය තට්ටු විසි එකක සිට නැරඹීම එක්තරා විදියකට විනෝදය ජනනය කරනාකාරයේ එකකි. එහෙත් කොළඹ නගරයේ අතන මෙතන ඇති රාජ්‍ය ආයතනයන්හි ඇති වෙන තෙක් රස්තියාදු වෙමින් කළුවර වැටෙද්දී නිවසට පැමිණෙන විට තට්ටු විසිතුනක් මතු මහලට ගෑස් පොම්ප වීම ප්‍රමාද වෙද්දී මේ තරම් උසකින් නිවාසයක් තෝරා ගන්නට ඇත්තටම බිම්මා තමුන්ට පිස්සුදැයි විමසන්නට ඉස්සර වෙන්නෙ වැඩියෙන් ධනාත්මක මගේ "සුපර් කොන්ෂස්" එකය. එනම් ප්‍රභලම යටි සිතය. 


ඔහොම ගෙවීයන දවසක මම බිම්මාගේ රිදී හැන්දට එකතු කරන්නට පින්තූරයක් සොයමින් සිටියෙමි. ගාලු මුවදොරෙහි රෑ කෑම කඩවලද, තව තවත් වීදි කෑම කඩ කිහිපයකද රස්තියාදු ගැසූ නමුත් හිතට හරියන පින්තුර ඒ කිසිවක තිබුණේ නැත. එක අතකට ඒ පින්තූර වැරදි නැත. වැරැද්ද තිබුණේ පහසුවෙන් සන්තර්පණය කළ නොහැකි මගේ සිතේය. 


ඔන්න, නොයෙක් වැඩ රාජකාරි හින්දා මට අමතකවී ගිය "කමු බන්" බිරියානි කෑම සැරසිල්ල පින්තූර ගොමුවේ සිට මතුවිණි. ඒ කෑම එකක් ඕඩර් කරනවාද නැත්ද එහෙම නැත්නම් මේ වගේ තෙත්බර ඒත් ලුණු සුවඳ කවන ලද වෙරළ රෙස්ටොරන්ට් එකකට ගොඩ වැදෙනවාද වගේ තෝරා ගැනීම් දෙකකට මැදිවීමය. 


මම ක්ෂණිකව කමු බන් රෙස්ටොරන්ට් ගුගල්හි සෙවුම් තීරුවෙහි ඔබා බලමි. පාට රවුම කිමිදෙයි. අජිත් කී ඇප් එක තවම ඇපල් මෙහෙයුම් පද්ධතිය ට ගැළපෙන්නට සකසා නැත. එබැවින් ඔය කියනා යෙදුම ක්‍රියාත්මක වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ මෙහෙයුම් පද්ධතිය මතය. කමු බන් ගැන මා මෙතෙක් සිතා සිටි විදිය සහමුලින්ම වැරදිය. ඔවුන් පිළිබඳ ඇති රිවීව්ස් බැලුවාම එය මනා කළමනාකාරීත්වයක් යටතේ ක්‍රියාත්මක වන බව පැහැදිලි ය. 


මම ඒ ෆේස්බුක් පිටුවට  ඉන්ස්ටා පිටුවට ගොස් විනාඩි කීපයක් බලා හිදිමි. Founders නම් කැප්ෂන් එකකින් යුක්ත පින්තූරය අවුරුදු තුනක් පැරණි එකකි. සුදු , තරමකට උස එකෙකි.තුනියට වවාගත් යටි රැවුලකි. කැප් එකකි. 

යකඩ කෑමෙන්ම අතපය සවි වෙන්නට ඇතැයි හිතෙන හැගෙන දකුණු ඉන්දීය නළුවෙකුගේ පාටැති තවෙකෙකි. කොන්ඩයක් කියා යමක් හිසේ කොතැනක වත් තිබුණේදැයි සැක හිතෙන තරමට උපන් ගෙයිම තට්ටයෙකි.කමුබන් රෙස්ටොරන්ට් අයිති එහෙනම් මේ තුන් දෙනාටමය. 


මම ඇගිල්ලෙන් දුරකතන තිරය මත ඇති මුහුණු විශාලනය කරමි. ඒ කවුරු ළඟ හෝ මා හොයන ඉතිහාසය තියෙනවාද? මේ සිනාසෙන තරුණ මුහුණු අතර කිසියම් සමීප බවක් තියෙනවාද? 


"බිම්මා ..සාත්තර කියවන්න ලෑස්ති වෙන්න එපා.. ඔයා හොයන දේ හොයාගන්න නම් මීට වඩා ස්ට්‍රැටජිකලි හිතන්න වෙනව ඔයාට.. " ඒ ද බිම්මෙකි. අර සුපර් කොන්ෂස් ගත බිම්මාය ඒ. මම එවෙලේම වොලට්ටුවද ෆෝන් එකද අතට ගෙන පාරට බසින්නට තීරණය කළෙමි. කොළඹ ඇවිදිද්දී සීත රටෙහි ඇදි ගිම්හාන ඇදුම් වලින් ගැලපෙන ඒවා පමණක් බාවිතා කරන්නට මා කල්පනා කරගෙන සිටියේම ඒ නිසාය. ඕනැම වෙලාවක ඕනැම තැනක පාරට බසින්නට ඒ ඒ තැන් වලට වෙන වෙනම ඇදුම් තිබිය යුතු හින්දාය. දුඹුරු පාට දනිස්සට පහලට ඇති කොට්න් බාච්චු කලිසමකට කලුපාට උරපටි බ්ලවුසයක් තදට තඹ පාට කළ කෙටිත් නැති දිගුත් නැති කොන්ඩයක් රෑ අටට වනාතමුල්ල පාරට ගැළපේද මා නම් නොදනියි.


දුම්රියක් ඒමට නියමිත නැති බැවින් රේල්පාරේ හිදගෙන සුරුට්ටුවක් උරන මිනිසෙකි. සමහරවිට දවස තිස්සේ ඇග වෙහෙසවා වැඩ කළ කම්කරු පුරවැසියෙකි. කුඩ්ඩෙකි. රස්තියාදු කාර කොලුවෙකි. බේබද්දෙකි. පවුලගේ කන්කරච්චලයෙන් මිදෙන්නට ආ හිංසනයට ලක්වු බිඩියක් උරන ස්වාමියෙකුද එතැන සිටිය හැකිය. මිනිස් ගුලියකි.එපමණකි.


ත්‍රීවිලරයකට  දමා ගුගල් කියනා පාර දිගේ මුහුදුබඩ මාවතෙහි රෙස්ටොරන්ට් එකක් හොයා යන්නට බලා ඉන්නා කෙල්ලකි. කුඩා කෙල්ලකැයි කියා ගන්නට තරම් නොවන වයසක එකියකි. එනමුදු , හදවත තවම අලුත්ම අලුත්ය. වසන්ත කාලයේ පළමු මල් කෙමිය හිරු එළිය වැද ඇහැරුණා වගේය. 


බිම්මා, දවස් ගණනාවකින් කෙටියෙන් කිවහොත් දෙසතියකින් රිදී හැන්ද කිසිවකින් සරසා නැත. පින්තූර රිදී හැන්දෙන් ගෙන පතුරවාලන ඉන්ස්ටාවරු කීප දෙනෙකි. කෙනෙකු මෙක්සිකන්ය. කෙනෙකු ඇන්ගෝලාවෙනි. තවෙකකු කොල්කටාවෙනි. කොල්කටා එකා ගැන මා වැඩි සැලකිල්ලෙනි. එකක් ඒ අසල්වැසි ආසියාතික රටෙන් බැවිනි. අනික මගේ ආදරවන්ත ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රේයස් අයියර් ඉන්දියානු හින්දු කොලුවකු බැවිනි. මා ගෝලීයකරණය වූ හෙළ කුළ කෙල්ලකි. ඉතින් මගේ ආගම , උප්පැන්න සහතිකයට බෞද්ධය. ඉරිදාට කතෝලික පල්ලියකටද පෙන්තකොස්ත සභාවටද ක්‍රිස්තියානි දේවස්ථාන වලටද මා ඕනැතරම් ගොස් තියේ. ඉස්ලාම් පල්ලියට හිස වසාගනිමින්ද, දුආ පොත් පත් කියවමින්ද මා කාලය ගත කර ඇත. හින්දු කෝවිල් වලට පෞද්ගලිකව පියමනිමින් ඒවායේ ඇති වර්ණවත් සහ සුවඳවත් පහසුව මම මගේ ආත්මයට කවාගෙන ඇත්තෙමි. නයිල්ස් ස්වාධීන පෙම්වතෙකි. ආගමක් අදහන්නට තරමට හිත දූෂ්‍ය නැති බවත් එබැවින් කමා කරන්නට පව් නොකරන බවත් පවසයි. 


ඉතින් රිදී හැන්දේ අනුගාමිකයන් පෞද්ගලිකව පණිවුඩ ගොනුව ටවරින් වර ඇන බලති. ඒ බිම්මා කොහිද කියාය. ඉතින් බිම්මා නැත. එහෙමනම් කතාව එපමණකි. 


සිතියම රවුම් කිහිපයක් වැඩියෙනුත් පෙන්නා මාව කමුබන් පේන මානයටම ගෙන ගියේය. මුහුදුබඩ රෙස්ටොරන්ට් වල පසුපස අයිති මුහුදටය. ඉදිරිපසින් ඇතුල්වීම් සදහා තරණය කළ යුතු අනිවාර්ය දෙයකි ඒ රේල්පාරකි. ඒ මුහුදුබඩ දුම්රිය පාර දිවෙන්නේ ඒ සීිමාවේ බැවිනි. 


ත්‍රීවිලරයට මුදල් ගෙවා මම නැවතී වටපිට නිරික්ෂණය කළෙමි. පාර අයිනේ නවත්වා ඇති වාහන පේළියකි. රෙස්ටොරන්ට් එක දිහාත් අවටත බලද්දී මගේ අවධානය ගිලිහිණි. තද යමක ගැටීමෙන් සමබරතාවය මොහොතකට ගිලිහුණි. වැදුණේ තදයමක නොවේ. තද යමෙකු ගේ උරයකය. එක් අතක දුරකතනයක් කණට තියා ගත් තරුණයෙකි.දකුණතෙහි කාඩ්බෝඩ් පෙට්ටියකි. මා දිහා බලා සිටින්නේ අවුලක්දැයි විමසන බැල්මකි. මම දකුණතෙහි මහපටැගිල්ල පෙන්වීමි.


හෙතෙම මට හුරුය. හුරුවන සබැඳිය අමතකය. ඔහු අර පෙට්ටියද අතට ගෙන සුදු පාට සිවික් එකකට නැගි දොර වසා ගත්තේය. මම මෙතෙක් කල් විශ්වයම පීරා හොයා ගත් නිධානයට පිවිසෙන්නට තව තත්පර ගණනකි. හදවත දිඩික් දිඩිකා මිසක ලබ් ඩබ් වගේ සාමකාමි  ස්වර වලින් ගැහෙන්නේ නැත.

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...