Monday, October 24, 2022

චිම්නි කෝපි 03

 03 වන කෝපි කෝප්පය 

----------------------------

අජිත් ගමන් කල සන්සුන් විලාසයෙන්ම ආපහු හැරී ආවේ කාර්යාලයක එහා ඉම සිට මෙහා ඉමට කෑ ගැසීම තරම් නොවන නිසා විය යුතුය. කෙසේ වුවත්, ඔහු ළග මට උවමනා පිළිතුර ඇත්දැයි මම ඇත්තෙන්ම 

නොදනිමි. ඒත්, උත්සාහය පාඩුවක් නොවේ. 


“මේ රෙස්ටොරන්ට් එක ගැනද මිස් අහන්නෙ?”


“ඔව්. ඒක කොහෙද තියෙන්නෙ?”


“ මැරයින් ඩ්රයිව් එකේ.. රෙස්ටොරන්ට් එක තියෙන්නෙ. ඒත් එයාලා ඔන්ලයින් ඩිලිවරි එක කරන්නෙ මරදානෙ තැනකින්. සේම් ඕඩර් එකම රෙස්ටොරන්ට් එකෙන් ඩයින්ඉන් කරන්න පුලුවන්”


“මේ දාලා තියෙන නම්බ එකෙන්ද ඔන්ලයින් ඕඩ කරන්න තියෙන්නෙ?”


“ඔව් මිස්.. අපේ මිස් නම් එයා‍ලගෙ ඇප් එකෙන්ම ඕඩ කරනව”


“වාව්.. ඒ ගොල්ලන්ට ඇප් එකකුත් තියෙද?”


“ඔව්.. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියනව කමු බන් කියලා”


“කාගෙද අප්ප ඒක..”


“පොඩි කොල්ලො කීප දෙනෙක් ඉන්නෙ නම් මිස්.. හැබැයි හරිම රසයි.. හරිම පිරිසිදුයි..”


අජිත් තවත් කෑම විශ්ලේෂණයෙහි යෙදවිය යුතු නැති නිසාම මම ඔහු නිදහස් කර යවන්නට තීරණය කළෙමි. ජීවිතය කරන්නේ මහ අමුතු දේය. මා මේ කරන්නේ රස වත් නොබැලු කෑම පතක් ඉපදුණු කඩයනක උප්පැන්න සහතික සෙවිමකි. නැත. එහි වරදක් නැත. හේතුව ලෙස මා දකින්නේ සෑම වැඩකදීම එහි පිළිවෙල අත්‍යවශ්‍ය බවය. පිළිවෙල වාගේම කෑම සම්බන්ධ කාරණාවකදී නම් පිළිවෙත ය. 

ඉතින් බිම්මා දැන් තීරණය ගෙන අවසන්ය. අනිවාර්යෙන් ලංකාවට පැමිණි බිම්මාගේ පළවෙනිම රාජකාරිය වෙන්නේ අපූරු රෙස්ටොරන්ට් එක ගැන ලිවිමය. එහි පින්තුරයක් සොයාගෙන දැමීමය.


ඔන්න මගේ යෙහෙළිය ආවේ එවිටය. මා ඇගේ කාර්යාලයේදී අප්‍රමාණ වටිනාකමකින් යුක්ත නිදන් වදුලක් සොයාගත්තායින් පසුවය. දැන් ඔයාලට පුදුමයි ! එහෙම නේද? නිකම්ම නිකම් රෙස්ටොරන්ට් එකක් කොහොමද නිදන් වදුලක් වෙන්නේ? ම්ම්ම්.. මට ඔබට ඒ ගැන කියන්නට යම්කිසි කාලයක් අවශ්‍ය වේ. එබැවින් නිදන් වදුල පිළිබඳ කතාව මම මොහොතකට කොමාවකින් වෙන් කරමි. වර්තමානයට පිවිසෙමි. ‍නිදන් වදුලක් සොයාගත් පමණින් ඔබට නිධානයක් ලබා ගන්නට නොහැකිය. දන්නා තරමින් හැම නිධානයක්ම රකිනා බහිරව නම් ලද අදිසි කෙනෙකු එතැනට මන්ත්‍රබලයෙන් බන්දා ඇතැයි කියනා කතාවකි. ඔබත් අනිවාර්යෙන්ම අසා ඇති. ඒ වගේම ය ඔය බහිරව නම් ලද්දා නොයේක වේශ වලින් පැමිණිය හැකිය. මගේ අම්මාගේ අම්මා තාත්තා හා මුතුන් මිත්තන් විසින් හේන් ගොවිතැන් කරනා ලද හම්බන්තොට මිද්දෙණිය නම් නගරයට සම්බන්ධ කුඩා ග්‍රාමයක් වන මොරකණුවැව නම් ලද වැව පෙනෙන මානයේ කුඩා කුරුළු අඩි සටහන් ලියනා ලද ගලකි. මට මතක විදියට මගේ නෑනලා හැමවිටම කළේ මේ ගල පෙන්වා මෙහි නිධානයක් ඇති බවත් එය රකින්නට නිරන්තරයෙන් නාග පවුලක් එහි සැරිසරන බවත් කීමය. ඉතින් නිධන් ගල් සියල්ලම රකින්නට කිසිවෙකු සිටියේය. සිටින්නේය. එබැවින් මේ නිධානය ද පහසුවෙන් කිසිවෙකුට අත්පත් කරගන්නට ඉඩ නොදෙන කිසියම් බහිරව බලවේගයක් ඒ අවටද අනිවාර්යෙන්ම ඇතිය මම සිතමි. 

අවුරුදු ගණනාවකින් එකිනෙකා හමුවීම යෙහෙළියන්ට ලැබෙන වරප්‍රසාදයකි. වාසනාවකි. ත්‍යාගයකි.ආශිර්වාදයකි. හේතුව මා නර්මදාට ආදරේ එකය. ඇය මා වෙනුවෙන් අපරිමිතව සහ අසීමාන්තිකව පෙ‍නී හිටිනා එකය. ඒ කාලයේදීද 

නයිල්ස් සහ මා අතර ඇතිවෙන මහා සංග්‍රාම අවසන් වන්නේ නර්මදා කැඩි කැඩි වුණත් නයිල්ස්ට කතා කරනා ඉංග්‍රීසි හින්දාය. වචන ම නොවේ. ඒවායින් කුළු ගැන්වෙන අර්ථ හින්දාය.


සමහර වෙලාවල නයිල්ස්ට ආපහු මා සමග මිත්‍රවෙන්නට සිදුවෙන්නේ නර්මදා නිරන්තරයෙන් භාවිතා කරන ඉංග්‍රීසි කතා කරන වෙලාව‍ේත් අතරමැද්දෙන් එල්ලන කුමක් හෝ සිංහල වචනයක තේරුම අසාගන්නටය. 


“මොකක්ද බිම්මා..අර නර්මදා කියන ඉතින් කියන වචනෙ මීනින් එක”


ඉතින් නයිල්ස් නර්මදා සමග සිංගිරිසි කතා කරන්නට පටන් ගත් අතර නර්මදා කිසිවිටෙකත් සිට කැඩුණු ඉංග්‍රිසිය පැහැදිලි චතුර ඉංග්‍රිසියක් කරා අ‍ප්ඩේට් කරගන්නට උනන්දු වුයේද නැත . හේතුව ඇගේ හොදම මිතුරියගේ ස්පැනිශ් පෙම්වතාවත් සිංගිරිසි කතා කරන්නට පොළඹවා ගත්තාය කියා ඇය ඇතිකරගත් මාන්නයය.


“ඉතින් ඉතින්.. කොමද මගේ නයිල්ස් කොල්ලට?”


“ඉන්නවා ඉන්නවා ඉතින් එයා දිගටම වැඩනෙ”


“පව් බං එක්ක එන්න තිබුණෙ”


“ටික දවසක් ඉන්න ඒවි.. එයා කියන්නෙ මේ වගේ සදාකාලික සමර් එකක් තියෙන රටක හැමදාම ඉන්න හිතේවි කියලා”


“පව්බං.. උන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ තියෙන සම්පත් වලින් මේ රටේ මිනිස්සු උපරිම ප්‍රයෝජන ගනිමින් ඉන්නවයි කියලද”


“නෑ එයා දැන් ලංකාව ගැන ඇත්තටම ප්‍රැක්ටිකලි හිතන්න පටන් අරන්”


මම වරින් වර කමුබන් රෙස්ටොරන්ට් හි කඩදාසි බෑගය දෙස බලමි. 


“ඇත්තමයි බිම්මා.. මං ආසාවෙන් හිටියෙ උඹත් එක්ක එළියට ගිහිල්ලා කන්න. කෝ ඒත් අද තියෙනව හතරට ජීවන වියදම් කමිටුවට රැස් වෙන්න”


“ඒක රැස් වෙලා මොකද කරන්නෙ”


“ඉහළම ඇමතිලා කට්ටියක් එනවා. මිනිස්ට්‍රි වලින් කරුණු පැහැදිලි කරන්න වෙනම සෙට් එකක් එනව. ඒ ගොල්ලො කතා කරනව. සියල්ලන්ගෙ තොරතුරු සාකච්ඡා කරල බලල විසිර යනව. ඇනුවලි මීට් වෙන්න ඕන මීටින්ස් ගාණක් තියෙනව. මුලිකම දේ ඕක පවත්වන්න ඕන වාර ගාණ පවත්ව ගන්නෙක”


“ එළියට ගිහින් පස්සෙ කන්න බැරිය”


“බිම්මා.. අපි දැන්මම කමුද? මට හරි බඩගිනි”


මම ඇ‍‍ගේ පසුපසින් ඔවුන්ගේ විවේක කාමරයට ඇදුනෙමි. එය පිරිසිදු මේසපුුටු තියා ඇති කුඩ‍ා ඒත් පිළිවෙල තැනකි. මං ඔබට කලිනුත් කීවේ ඒකය. මොනවා උනත් කෑම හදනා තැන විකුණන තැන වගේම ඒ කෑම කන්නට නියමිත තැනත් පිළිවෙලව මෙන්ම පිලිවෙත්ව පවත්වා ගත යුතුය.. 

බිම්මා, ‍කෑම ගැනම ලියන කෑම පින්තුර ගන්නට තාක්ෂනිකව දන්නා එකියකි. ඉතින් හදිසියේ ලියුමක් අත්සන් කරන්නට ආයේ කාර්යාලයට ගිය නර්මදා එනතෙක් මම කමුබන් රෙස්ටොරන්ට් එකෙන් ගෙනා කැම මේසය මත අඩුක් කළෙමි. ‍ෆෝන් එකේ කැමරාව මානා මංගල උත්සවයකදි මනමාලියට දෙන වදයට සමාන වදයක් බිරියානි එකට රසම් කෝප්පයට සහ සුදු සම්බෝල කප් එකට දුන්නෙමි. අනික් වැසු කෝප්පයෙහි ගුලාබ්ජමුන්ය. නර්මදාගේ තේරිමුත් නරකම නැත. කෑම සම්බන්ධයෙන් ඇගේ සාක්ෂරතාවයට ඔන්න මගෙන් ආචාරයකි මේ.

“ආව්”

“ඇයි”

“උඹ නම් සෑහෙන්නම වෙනස් වෙලා බිම්මා. ඒ දවස් වල බතක් පොල්සම්බෝලයක් උයන්නැති එකෙක් නෙ උඹ”


“ආ... දැනුත් මං නම් උයන් නෑ ඉතින්”


“එහෙනම් කෝමද කෑම ගැන ලියන්නෙ?”


“කෑම ගැන ලියන්න උයන්න ම ඕනෙ නෑ.. උඹ බිම්බෝම්බ ගැන ලියන්න කිව්වොත් ඒකක් පත්තුකරන්න හරි කොහේ හරි ගෙනිහින් සෙට් කරන්න හරි යන්නම ඕන නෑනෙ”


“අම්මේ උඹගෙ තර්ක.. කමු කමු බං”


 කනාතරතුර මම නර්මදාගෙන් කමුබන් රෙස්ටොරන්ට් එක ගැන විස්තර අහන්නට හිතාගෙන සිටියෙමි.ඔය නර්මදාට මට කලින් මා කියැවීමේ මොකක්දෝ පුරුද්දක් තියේ. 


“රහයි නේ? බලපංකො.. අනිත්තෙක නම... කමු බං.. උන් “බන්” එකක් කමු  කියලා හිතන් ඒක දැම්මත් අපිට දැනෙන්නෙ හෙන ෆැමිලියර් විදියට නෙ.. යමං යමං කමු බං වවගේ නේ..” 


නර්මදා සිනාසෙමින් කියයි. ඒ අතරේ කුකුල් අණ්ඩ කඩයි. පමණට රෝස්ට් වී ඇති තැන් බල බල හපයි. මම ඇගේ වින්දනීය කතා බහ අසමින් කනවාට වඩා රස විඳිමින් සිටිමි.


“උඹ දන්නවද මං කොහෙන්ද මේ ගොල්ලන්ව හොයාගත්තෙ කියලා..”


“ම්හ්.. නෑ.. කියහංකො”


“දවසක් අපට තිබුණ මචං මිලෝදා එකේ ට්‍රේනින් එකක්.. ඒකෙ ලන්ච් එක ගෙනැල්ලා තිබුණෙ මෙයාලගෙන්.. ඒකෙන් තමයි ඉතින්. “


නර්මදා කතා කළේ හරියට කමුබන් සමග සදාතනික සම්බන්ධයක් ඇති කරගත්තේ එදා ‍වගේ හරි ආඩම්බරයකිනි. මම සුසුමක් හෙළුවෙමි.


“ඒක කවුද කරන්නෙ කියලා වගෙ අයිඩියා එකක් උඹට නැද්ද?”


“ම්ම්ම්”


නර්මදා මඳක් කල්පනා කළාය. ඇත්තෙන්ම මා ඉදිරියේ මේ වාඩිවි ඉන්නා මේ අමාත්‍යාංශයේ එක් අංශයක අධ්‍යක්ෂවරියක වන බෝල පෙනුමැති හුරතලියගේ හැම ඉරියව්වක්ම තාරුණ්‍යයේදී තරමටම නාට්‍යානුසාරය. 


“ කොල්ලො සෙට් එකක්.. උන් ටික මාරයි.. ගේනව කියන වෙලාව පරක්කු වෙලා අපි කම්ප්ලේන් කළොත් මාර ෆ්ලෙක්සිබල්. උන් කියනව අපෙන් ඔයාලා කෑම ඉල්ලන්නෙ බඩගිනි නිසා. අපි දැනගන්නෝන ඒක හරිම වෙලාවට ඩිලිව කරන්න කියලා.කන්න ඕන වෙලාවෙ ඒ කෑම එක තියෙන එකෙන් බඩත් පිරෙනව ඒ වගේමයි බඩට වඩා හිත පිරෙනව කියලා”


“මාර තින්කින් එකක්නෙ”


“මාර මාකටින් ටෙක්නික් එකක් ඒක”


නර්මදා බොහෝදේ ගැන බැලුවේ එහෙම තාක්ෂණික ඇසකිනි. මා බැලුවේ ඉන් ලැබෙන මානුෂික දේ ගැනය. මගේ හැගිම්බර දැක්මෙන් අවාසි වෙන්නට‍ හදන බොහොමයක් තැන් වලදී මාව බේරාගත්තේ නර්මදාගේ ඒ තාක්ෂණික දැනුම බව කිව යුතුමය. 

අපි කාබී අහවරව ඊලගට කළයුතු දේ සැලසුම් කළෙමු. 


“මම ඉක්මණට උඹට ඉන්න හරිහමන්  තැනක් බලන්නම්. අපි අපාට්මන්ට් එකක් ලැස්ති කරගම්මුද?”


“ලොකු ගණන් වලට එහෙම ඉන්න අදහසක් මට නෑ..”


“මෙහෙමයි බං. එක්කො රෙන්ට් එකට තැනක් ලෑස්ති කරගන්නෝන. පොඩි ඇනෙක්ස් එකක් එහෙම නැත්නම් අපාට්මන්ට් එකක්. මට හිතෙ‍න්නෙ අපි දවස් ගණන් ඇනෙක්ස් බලනවට වඩා අපාට්මන්ට් එකක් ලැස්ති කරගන්නෙක හොදයි කියලා.. මොකද මං දන්න විදියට අපාට්මන්ට් වල ගාන පොඩ්ඩක් වැඩි වුනා‍ට ලංක‍ාවෙ කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් තැන එතන”


“ආරක්ෂාව ගැන හිතුවොත්ද”


“ඕ.. උඹ දැන් ඉන්න තැන වුණත් මට හිතෙනව කෙල්ලන්ට කොල්ලන්ට කුලියට දෙනව ඇතියි කියලා” 


එහෙම කිව්වාම ඇග කිළිපොලා යන තරම් ශිෂ්ට මානසිකත්වයක් මට නැත. මා මෙතෙක් ජීවත් වූ පරිසරය වූ කලි ස්වභාව ධර්මයට මිනිස්සුන් ලංවිය යුතු බව විශ්වාස කරමින් මිනිස්සුන්ට සිය ඇඳුම් උනා දමා හැසිරිය හැකි මුහුදු වෙරළවල් ගංගා තිරයන් සහ උත්සව වලට යාහැකි විදියේ සංස්කෘතියක් සහිත එකකි. 


“ බලමුකො”


 අවසානයේ දිගින් දිගටම කතා කර කෙළවර නර්මදා කී පරිදි බොරැල්ලේ මධ්‍යම පාන්තික නිලධරයන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කර ඇති මහල් නිවාස සංකීර්ණයකින් මාස කිහිපයක‍ට කුලියට ගන්නට මම කැමති වුවෙමි. මා ලංකාවට ආවේ මගේ මියගිය තාත්තාගේ නෑදෑයින් කිහිප දෙනෙකුට වත්කම් බෙදාගැනිම සම්බන්ධයෙන් තිබු ගැටලුවක් නිරාකරණය කරන්නට මගේ අත්සන වැදගත්වු නිසා මෙන්ම හිතේ විවේකයක් හොයා ගන්නට තදින් උවමනාවි තිබුණ හින්දා ය. 


“ගොඩක් කල් ලංකාවෙ ඉන්න යන්න එපා.. “ 


මගේ අයියා සමග වෙනත් රටක පදිංචි වි සිටිනා අම්මා කීවේ හුගක් දුර සිතා බලාය. 

එහෙත් ඒ හැමදේටම වඩා මගේ අරමුණ වෙනස් වී තිබේ. දැන් මේ කොමෙදෝ සිට පැමිණි රෙස්ටොරන්ට් එකක් හොයා ගන්නට මගේ හිත වෙනස් වී තියේ. මට මෙහෙම හිතෙන්නට හේතුව ඊ ළඟ දවසේ බම්බලපිටිියේ කමුබන් රෙස්ටොරන්ට් එකට ගිහින් ආවාම ලියන්නට හිතාගෙන හිඳිමි. 

ත්‍රිවිලරයේ යද්දි දෙපසින් වැදෙන සුළං රැලි මගේ කම්මුල ්මත දැවටෙයි. විදේශගත වෙද්දී අමාරුවෙන් කරටියෙන් කඩාගෙන ගිය මගේ කියනා හැගිමෙන් මිදී ජීවත් වෙන්නට හැකි වුයේ ටික කලකි. ආයේ මගේ රටේ මුල් මගේ රටේ පොළොවේ පස් යටින් දළු ලා වැඩෙන්නට පටන් ගෙන ඇත.


No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...