චිමිනි කෝපි - The coffee shop
පස්වෙනි කෝපි කෝප්පය
මා මේ යන්නේ අවුරුදු ගණනකට පෙර චැට් කාමරයක හමුවු ඇහැට දැක නැති කටහඩ අසා නැති පුද්ගල නාමයක් පසුපස ය යන්න දැන් පැහැදිලිය. කමුබන් රෙස්ටොරන්ට් එක අයිති විය යුත්තේ ජාන්ට පමණකැයි හිතීම විහිළුවකි.
ඉතින් මම කමුබන් රෙස්‍ටොරන්ට් එකට ඇතුළු වුණෙමි. සාමාන්‍යයෙන් මගේ රස්සාවේ ඇති වෘත්තීමය ඉව අනුව ලංකාවේ රෙස්ටොරන්ට් එකක සාමාන්‍යයෙන් නොදකින විදියේ සෙටප් එකක් මෙහි ඇති බව මුලින්ම ඇසට හමුවිය. මුහුදු බඩට ගැළපෙන ආකාරයෙන් සකස් කර තිබු පරිසරයේ නිශ්ශබ්ද භාවය මගේ සිත ගත්තේය.
මගේ රාත්‍රී ආහාරය කුමක් විය යුතුද කියා මා ඒ වන විටත් කල්පනා කර නැත. කෙසේ වෙතත් මගේ කැමැත්ත වූයේ තරමක් මුහුද දෙස බලා සිටීමය. ප්‍රියමනාප තරුණයෙක්, ඔහු හොඳට ඇගපත වැඩුණු කලු කොල්ලෙක්, මා වෙත ආවේ සිනාමුසු මුහුණකිනි. ඒ කියන්නේ පුහුණු සංයමයකින් යුතු වේටර්ස්ලා ට වඩා ඔවුන් ශ්‍රි ලාංකික සත්කාරයෙන් යුතු සාමාන්‍ය මිනිස්සු සේවයට යොදවා ගෙන ඇති බව පෙනෙයි.
“ගුඩ් ඊවිනින් මිස්.. “
ඔහු මවෙත මෙනු පත පෑවේය. මම එය කියවීමට මඳ වෙලාවක් ගත යුතුයැයි සිතුවෙමි.
“මං ටිකක් ඉඳලා ඕඩර් කරන්නංද?”
“ශුවර් මිස්”
මුහුදු සුළඟ අපූරුය. ඒ අතරින් මම රෙස්ටොරන්ට් එකේ සිට පෙනෙන වෙරළ දර්ශන කිහිපයක් මගේ කැමරා ඇසට හසු කරගතිමි. කෙමෙන් රැ බෝවෙමින් ඇති බැවින් මෙනු එක කියවන්නට පටන් ගත්තෙමි. සාමාන්‍ය කෑම වට්ටොරුවල සිට කිටෝ කෑම වට්ටෝරුවක් දක්වා විවිධාංගීකරණය කරන ලද මේ මෙනු පතම මගේ සිත පැහැර ගෙන තිබේ.
මම වහ වහා එහි පින්තුර කිහිපයක් ලබා ගත්තේ මගේම ජංගම දුරකතනයෙන් එය විවිධ පැති වලින් ආලෝකකරණයද කරගනිමිනි. මේ දෙස රෙස්ටොරන්ට් එකේ අයගේ ඇස් යොමුවි තිබිම ගැන මා සිටියේ අනවධානයෙනි. මට මෙනු පත ගෙනැවිත් දුන් තරුණයා මවෙත එනු දැක මම ඔහුට සිනාසුණෙමි.
“මිස් මෙනු එකේ පින්තුර ගොඩක් ගන්නවා දැකලයි ආවෙ”
“ආ”
“මොකක් හරි ඉෂූ එකක් ද මිස්?”
“අනේ නෑ..”
මම හැකිතාක් “ප්ලෙසන්ට්” මාධ්‍යයෙන් සිනාවක් තවරා ගත්තෙමි. ඔහු ද ඔහුගේ නළුපාට සිනාව පෑවේය. මට ඔහුව මතකයට නැගුණේ එවිටය. ඔහු අර ෆවුන්ඩර්ස් කණ්ඩායමේ සිටි එක්කෙනෙකි. මට දැන් ඔහුව මතකය.
“මේකයි.. මං ෆුඩ් ඉන්ස්ටග්‍රැම් කරන කෙනෙක්.. මට මේ මෙනු එක දැක්ක ගමන් ආස හිතුණා..කමක් නෑ නෙ නේ ද?”
“ආ... අයියෝ කමක් නෑ.. කමක් නෑ මිස්.. මිස් මොකක්ද ලියන බ්ලොග් එක.?.”
මම දෙතොල තෙරපා සිනාසුණෙමි. ඔහු මදෙස විමසිල්ලෙන් බලා හිඳියි.. මේ ජාන් වෙන්නට පුලුවන්ද? මම තිගැස්සී සිටිමි. කොහොමටත් හදිස්සි විය යුතුම නැත. මම මගේ ෆෝන් එකේ ඉන්ස්ටා ගිණුම ඔහු දෙසට පෑවෙමි. ඔහු තරමක් විපිළිසරව මදෙස බැලුවේය.
“ ඔයා කියන්නෙ මිස්.. ඔයා බිම්මාස් සිල්වර් ස්පූන් ලියනවා කියලද, මං කියන්නෙ මේ එකවුන්ට් එක මිස්ගෙ කියලද?”
මම තරුණයාගේ වික්ෂිප්ත මුහුණ දෙස බැලුවෙමි.කුමක් හෝ අවුලකි.
“දෙයියනේ, මං කවදාවත් හිතුවෙ නෑ.. බිම්මාස් එකෙන් අපේ ශොප් එකට ඒවි කියලා.. මිස්.. මං ඔයාව ෆලෝ කරනව.. ඔයා දාන ඉමේජස් සමහර රෙසිපීස් එහෙම අපි මෙහෙ ට්‍රයි කරන්නත් කතා කරලා තියෙනවා.”
දෙවියනේ... බිම්මාගේ රිදී හැන්ද ලියන්නට පටන් ගෙන කාලයකි. ඇත්ත! ලංකාවේත් කිහිප දෙනෙක් ඔවුන් මා ලියන සමහර ශ්‍රී ලංකන් වට්ටෝරු ගැන ප්‍රශංසා කර තිබේ. ඒත් මේ අහම්බයකින් මුහුණට මුහුණ හමුවුන ෆලෝ වරයා මගේ හිතේ කුල්මත් සෛල ඇහැරවයි. අනිත් කාරණය මේ අර “ජාන්” වෙන්නට බැරිදැයි හිත අහන ප්‍රශ්නයයි. මම හිතට තරවටු කරමි. දැන් ඔහු වැඩිවියට ආ පිරිමියෙකි. කොලුකමට චැට් බොක්ස් එකක බොළඳ දේ කෙඳිරූ අදෘශ්‍යමාන ඉලන්දාරි හදවත නොවේ.
“මට මේක හිතාගන්නත් බෑ”
මම සෙමෙන් කීවෙමි.
“මිස් ඉස්සෙල්ලම ඕඩ කරන්නකො. අපි කන ගමන් කතා කරමුකො. මට මිස් ගෙන් ගොඩක් දේවල් අහන්නත් තියෙනවා”
ඔහු කතා කළේ රිදී හැන්දේ ඇති හැම පින්තුරයකම ඉතිහාසය ගැන කතා කරන්න අදහසක් හිතේ තියාගෙන වාගේය. මම මා ආස ලංකාවේ කෑමක් ඇණවුම් කළෙමි.
“මං මිහිර...”
ඔහු මට තමන්ව හඳුන්වා දුන්නේය. මම හිස සලා , මගේ නම කීවෙමි.
“මං බිම්මා.. සිඳුමිණි බිම්මාලි පතිරණ. බිම්මා කියලයි හැමෝම කිව්වෙ.. ඒ නිසා තමයි බිම්මාස් සිල්වර් ස්පුන් කියනෙකත් හැදුනෙ”
“ඒක මාරයි මිස්”
“අනේ මට මිස් මිස් කියන්න එපා.. මට ඕක මෙහෙ අහලා එපා වෙලා තියෙන්නෙ.. මට ජස්ට් ම බිම්මා කියන්න”
“හරි හරි... “
“ මං මෙහෙ ගැන දැනගත්තෙ මගෙ යාළුවෙක්ගෙන්.. එයාත් ඔයාලා ගවන්මන්ට් ට්‍රේනින් සෙන්ට එකකදි සර්ව් කරපු මීල් එකකට තමයි පැහැදිලා තිබුණෙ”
මිහිර, මොහොතකට කල්පනා කළේය.
“අපි ගවන්මන්ට් වැඩ කීපයක්ම කරනව. එයාල එක්ක කරද්දි ඉතින් චෙක්ස් එහෙම ගන්න පරක්කුයි. ඒත් අපි කරනව. මොකද ඔයා මෙහෙට ආව වගේ සයිඩ් වාසියක් පත්තු වෙන්න පුළුවන් නෙ”
“එහෙමනම් මං මෙහෙට ආපු එක සයිඩ් වාසියක්”
“නෑ මං කියන්නෙ , ඔයා වගේ ටොප් ඉන්ස්ටා පේජස් 20 අතරෙ ඉන්න කෙනෙක් කමුබන් එකට එනවා කියන්නෙම නිකම් මිරැකල් එකක් වගේනෙ මිස්.. මං කියන්නේ බිම්මා…”
“මං එහෙම පේජස් කළාට ඇත්තයටම මට එහෙම උයන්න බෑ..”
“ඉතින්.. ඔයා දන්නවද .. අපි මේක කරන තුන්දෙනාම කිසිම දෙයක් ඉගෙන ගෙන නෑ උයනෙක ගැන..”
“එතකොට”
“සෙන්ස් එක විතරයි.. හැබැයි අපි සුපිරි ස්ටාෆ් එකක් තියාගෙන ඉන්නවා”
“ඔයාල ගෙ කවුද එතකොට මේකෙ මැනේජ්මන්ට් එකේ ඉන්නෙ?”
“මමයි , එරන්ද යි අචලයි”
මම හිස ඉහළ පහළ කළෙමි. මම ඒ නම් මතකයේ කොටා ගනිමි. “මමයි එරන්දයි අචලයි” ඉස්සර නම් මා සිතා සිටියේ ජාන් කියන්නේ කිසියම් නමකින් බිදි ආ එකකැයි කියාය. දැනුත් මා නම් කැමති එහෙම හිතන්නටය. ඒත් අර නම් තුන අසාගෙන සිටියදි ඒ අදහසට කුඩුපට්ටම් වෙන්නට සිදුවිය. ඒ කිසි නමකින් ජාන් කියා එකක් බිඳවැටි ගොඩනැගෙනු නොහැකිය.
“ ඔයාලා ඉතින් ශිෆ්ට් එකටද මෙතනට එන්නෙ”
“අචල දවල්ට එනව. මං හවසට එනව. එරන්ද මරදානෙ අනිත් ශොප් එක බලනව"
“ඔයා මොකද දවල්ට කරන්නෙ ඉතින්”
“මං ඉතින් වයිෆ්ගෙ සලොන් එකට සපෝට් කරනව.. මෙතන බලනව.. ඒවා තමයි”
හමුවු පළමු දා ම මිහිර සමග සියල්ල කතා කර ඉවර කරන්නට උවමනාවක් මට නොතිබුණි. කොහොමත් ඒ වන විට බිම්මා, කමුබන් රෙස්ටොරන්ට් එක ගැන පුදුමාකාර උනන්දුවක් ඇතිව සිටින්නියකි. අනිවාර්යයෙන් රිදී හැන්දේ ඊලග පින්තූරය කමුබන් රෙස්ටොරන්ට් එකෙනි.
මිහිර මට ආයේ බොරැල්ලට එන්නට කුලී රියක්ද කතා කර දුන්නේය. ආයේ එහි එන්නැයි කිහිප වරක් කීවේය. මා කමුබන් පින්තුරයක් දැම්මාම එහි ඔහුවත් ටැග් කරන්නැයි සිහිපත් කළේය. මා අපාට්මන්ට් එකට ආවාම මුලින්ම කළේ ලස්සන පින්තුර සෙවීමය. මේ අපුරු රෙස්ටොරන්ට් එකත් එහි පිහිටීමත්, සාමාන්‍ය , මිල අධික වාගේම සෞඛ්‍යාරක්ෂිත කෑම වේලක් දක්වා විකාශනය වු ඔවුන්ගේ කෑම වට්ටෝරුද ගැන විශේෂිත සටහනක් ලිවීමය. මිහිර කිව් විදියට කමුබන් කළමනාකරණ තුන්කට්ටුවෙන් දැනට විවාහක එකම කෙනා ඔහුය. අනික් දෙදෙනාට එ ගැන ලොකු උවමනාවක් පෙනෙන්නට නැත.සතුටද ඒකය. සමහරවිට "ජාන්" ඒ දෙදෙනාගෙන් කෙනෙකු වෙන්නට බැරිද?
නර්මදා රෑ , චැට් බොක්ස් එකකට ගොඩ වැදුණාය. අපි ඕපාදුප කතා කළෙමු.
"ඉතින් රෑට ආයෙ උයන්න මහන්සි වෙන්නෝන නෑනෙ.. එරන්ද ඉන්නවනෙ.. ඔයා කෝල් කරල කියන්නකො. නර්මදාගෙ යාළුව කිව්වත් එයා දන්නව ඒක ස්පෙෂල් කස්ටම කෙනෙකුට කියලා.."
"ම්ම්ම්"
"එරන්දය හෙනම හැන්ඩිය..හම්මේ බං.. උන්ව දැක්කම හිතෙනව මොන මගුලට කලින් කසාද බැදල ලමයි හදාගත්තද කියල."
"එහෙනම් මං කතා කරල ඔන්ලයින් ඕඩ එකක් දාගත්තට පාඩු වෙනේකක් නෑ.."
"හරී… අහංකාරයි..බලහන්කො කතා කරල. අඩුගානෙ ලංකාවෙ ඉන්න ටිකේ හරි.. ඩිලිවරි ෆ්‍රී මීල්ස් ටිකක් ගෙන්න ගන්න"
පසුවදාද මට මගේ අම්මාගේ ඉඩමක් සම්බන්ධ කාරණාවකට හම්බන්තොට ඉඩම් කාර්යාලය ට යන්නට අවශ්‍ය වී තිබුණි. අම්මාගේ නමට ඉතිරිවී තිබු එකම ඉඩමද විකුණා දැමීමේ උවමනාවක් ඇයට තිබිණි.
"ඉඩම් විකුණන් එපා අම්මෙ. මොකද ක්ශය වෙනව කියලද.. භුමියක් කවදාවත් එහෙම අගය අඩු වෙන් නෑ."
"එහෙම අඩු නොවෙන්නෙ ඔයාගෙ එකවුන්ටන් තියරි වල.. ඕකෙ මොකෙක් හරි ඇවිත් පැලක් අටෝ ගත්තොත්. තේරෙයි මොකද වෙන්නෙ කියලා"
අම්මා කීවාය. ගම්වල මිනිස්සුන් සම්බන්ධ ව අමිමාගේ පළපුරුදු පිළිබඳව මම විවාද නොකරමි. මට එහෙව් දැනුමක් නැත. අදටද මිනිස්සුන් ගේ සටකපට කම් මට කෙලින් තේරුම් ගැනිම තරමකට අසීරුය.
මුලු දවසම හම්බන්තොට කාර්යාලයක ගෙවාදමා මා බොරැල්ලට එන්නේ අධික තෙහෙට්ටුවෙනි. ඊට වැඩි බඩගින්නකිනි. හයවෙනි මහලේ ඇති පිහිනුම් තටාකයට පනින්නට මට හිතෙන්නේ එවිටය. ඒ වගේම නර්මදා කී විදියට , ඇපල් දුරකතනයට තවම බාගත කර ගත නොහැකි කමුබන් ඇප් එකෙන් පිටස්තර ව දුරකතන ඇමතුමක් ගෙන රාත්‍රි කෑමක් ඇණවුම් කරන්නට මට සිත් වුයේ පිහිනුම් තටාකයේ අඩක් ගිලි සිටියදීය. ඒ තරු කඩා හැලෙනා අහසකි. ඈතින් නෙක වර්ණ විදුලි එලි කෙමිය. නෙලුම් කුළුණ අද වර්ණ ගන්වා නැත. එහෙත් එය එම කුලුණ බව හදුනනු හැකිය. දුරකතනයට කටහඩ එකතු වුයේ එවිටය.
"මට ඩිනර් වලට මොනාද ඕඩ කරන්න පුලුවන් "
"සොරි මිස් .. මේ වෙද්දි අපි ඕඩර්ස් ක්ලෝස් කරල තියෙන්නෙ.."
"හ්ම්.. එහෙමද.. මොනාවත් පොඩි දෙයක් වත් …ඉතුරු වෙලා නැද්ද?"
"දැන් ගොඩාක් රෑ වෙලානෙ මිස්…"
රෑ අහසක් යට තටාකයක ඉන්නා කෙල්ලකට රැයෙහි දිග පළල ගැන කුමන කතාද? වහා දුරකතනය විසන්ධි කරමින් මම කිරි කෝප්පයකින් සහ "කුකී" කිහිපයකින් සැනසෙමියි සිතමි. හිස් වැසුම සකස් කර නැවතත් දිය යටින් මතුවෙද්දං දුරකතනය යළි නාද වන්නට විය. එය හඳුනන අංකයක් නොවේ. නමුත් ලංකාවේ එකකි.
" මිිස් මම එරන්ද.කමුබන් රෙස්ටොරන්ට් එකෙන්. මොනව හරි ඩිනර් එකට ඕන කියලා කතා කළා නේද? "
"ඔව්.. මොනවත් නෑ කීවනෙ"
"මොනවද ඕනෙ"
"මොනවද තියෙන්නෙ.."
"ක්ලබ් සැන්ඩ්විච්ස්.. නැත්නම් කොත්තුවක්"
"ඉක්මනින්ම ඩිලිව කරන්න පුලුවන් මොනවද"
"කොත්තුවක්.."
"හා"
මම අපාට්මන්ට් එකේ ස්ථානිය විස්තර කීමට පටන් ගනිද්දීම ඔහු එතැන දන්නා වග කීවේය. ඉතින් , ගේට්ටුව ළගට පැමිණ කතා කරන්නැයි කියා මම තව මොහොතක් තටාාක බැම්මේ හිදගෙන සිටියෙමි. හිසත් වැහෙන සුදු පැහැ ඇදුමෙන් ඇග වසා ගත්තේ නැවත නිවාසයට ගොස් ඇදුමක් මාරු කර ගන්නටය. එහෙත් ලිෆ්ට් එකට යද්දීම යළි දුරකතනය නාද වෙන්නට පටන් ගත්තේ ය.
"මිස් මම එරන්ද කමුබන් එකෙන්.. මං මිස්ගෙ මේන් ගේට් එකේ ඉන්නෙ"
දණිහෙන් උඩට තිබුනත් කබායක් මෙන් සිරුර වැසෙන ඇදුම අවුලක් නැත. හිස් වැස්ම ගලවා කොන්ඩය මුදා ගත්තාම තෙතබරිත බව ද නොපෙනෙයි. අනික මේ රාත්‍රියයි. මම ගේට්ටුව අසලට යද්දී සිකියුරිටි වරුන් පුදුමව බැලුහ. එතැනින් එපිට , එදා මා බම්බලපිටිය දි දුටු හයිබරිඩ් රියය. ඒ කියන්නේ කමුබන් හි එරන්දය.
මා දැකි ඔහු රියෙන් බැස්සෙ රියැදුරු අසුනෙනි.වම පස දොර හැර පාර්සලයක් ගෙන සිනාවී මවෙත ආවේය. එදා දුටුවේ සිනා නැතිවය. අද මේ තරු අහසයට සිනාවකින් මුහුණ පුරවා ගෙනය. මේ මව්වත් හිනාව ජාන්ගේ ආදරණීය හදවතට සබැඳියක් වන්නට බැරිද?
" තැන්ක් යු"
" අපේ බිස්නස් එකනෙ මිස්"
"හරි… "
මම මුදල් ගෙවා, ගෙදරට ආවෙමි. නුහුරු නුපුරුදු මිනිස්සුන්ට පුරුදු ලෙස දැනෙන්නට හුරු ලෙසින් කතා කරන්නට පුලුවන් වෙන්නෙ කොහොමද ! ඉතින් රන්කඳ, මං වාගේ සසර සුවඳැති හුරුවක් හොයන බිම්මාලියෙක් එහෙම අසරණ කරන එක පව් නොවෙද?

No comments:
Post a Comment