දහතුන් වන කෝප්පය !
මට ඉන්නැයි කියා කියන්නට හිතුණේ ද නැත. එරන්ද ඉන්නදැයි ඇසුවේ ද නැත. මැදියම් රැයෙහි ඔහු ඇරලවන්නට වාහන අංගනයට යාම නුසුදුසු ය. ඒ ඇත්තකි. ඉතින් සාහසික ආදරණීය පැය ගණනකින් ඉක්බිති එරන්ද නික්මුණේ සදාතනික මතකයක් හදවතෙහි අතුල්ලාගෙන ය. ඉන් ශේෂ වූ දිලිසෙන කුඩු මා තුළ තැන තැන ඉහිරිණි. දිනක් දෙකක් තිස්නේ තැනින් තැන දලු ලන්නට පැළ වෙන්නට ඒ කුඩා කුඩු කඳුවලට හැකි විය.
ඒ දිලිසෙන කුඩා කඳු මත නත්තල් තාරකා අමුණන්නට එරන්දගේ කෙටි ඒත් ආදරණීය යෙදුම් සහිත උදෑසන සුබපැතුම් වලටත් රාත්‍රී සුබපැතුම් වලටත් හැකි විය. එරන්දගේ මේ හැසිරිම් ඔස්සේ ජාන් සොයා ගැනිමේ මගේ මෙහෙයුම අඩපණ විය. මා චපල කෙල්ලකි. ඒ ගැන කියන්නට දෙයක් නැත. මට නයිල්ස් ටම පෙම් කරන වන් මෑන් වුමන් කෙනෙකු වන්නට නොහැකි වෙන්නේ මන්දැයි ඔබ මගෙන් අසන ප්‍රශ්නයට පිළිතුරක් නැත. එක මිනිහෙකුගෙන් සෑහීමකට පත්වෙන්න බැරි ගෑනු කියා ලේබලයක් ගැසුවද එයටද කරන්නට දෙයක් නැත. පරමාදර්ශී පෙම්වතියක නොවන බිම්මාගේ කතාව මින් ඉදිරියට කොයි අතට යාදැයි ඔබ නොදනියි. බිම්මා ද නොදනියි.
මිනිස් සිත් සියුම් ය. ඒවායේ ප්‍රතිබිම්බ ඒ මිනිස්සුන්ටම කරදර කරන්නට පටන් ගන්නා දවස් තිබේ. සංවේදී ය. බියකරු ය. වේදනා සහිත ය. වගකීම් විරහිත ය. රිදුම් බිදුම් එමට ය. වෙහෙස ඇත. එවැනි හිත් වලට සදාචාරය ගැන වගක් නැත. අනුන්ගේ මිනිස්සු ය අනුන්ගේ ගෑනු ය කියා ජීවින මේ මිහිපිට සිටිනවා ද? කවුරුන් හෝ කාටවත් සහමුලින්ම අයිති ද? කසාදය කියන්නේ ඒ අයිතිය ද? ඒ ඒ අයිතිය නම් මා හෝ එරන්ද හෝ අන්න ඒ අයිතියෙන් බැදී නැත.
"එරන්ද නං ඉතින් හිත හොල්ලන්න පුළුවන් පිරිමියෙක් තමයි"
ඒ නර්මදා ය. එරන්දගේ තවත් පංකාවියකි. තව ඔහොම කී දෙනෙක් ද මම නොදනිමි.
"කොහොමද මිනිහ?" ඇය ඇසුවේ "ඒ" ගැනම තමා ය. ගැහැනු ළමයින් ඒවා කතා කරන්නේ නැතැයි බොහෝ අය හිතා හිටියත් එය සියයට සියයක් ඇත්තමත් නොවේ ය. වෙනසක් නැතුවම නොවේ. පිරිමි තමන් සමග සයනගත වන ගැහැනු ගැන මෙහෙම කතා කරන්නේ ඔවුන් "භාණ්ඩ හා සේවා" ගණයට දමා ය. නමුත් ගැහැනු එහෙම කෙනෙකු ගැන කතා කරනවා නම් ඒ දැනුණු යමක් ඇති හින්දා ය. නැත්නම් "අනේ වැඩක් නෑ බං. මෙලෝ රහක් නෑ" ය කියා අත්හැර දමන්නේය. නර්මදා ද මේ ඇසුවේ එරන්දගේ වග විත්ති ය.
"හරි ඩීසන්ට්.. කොෆී එකක් බීලා ගියා ඉතින්"
"උඹ කියන්නේ අර මහ රෑත්? ඌ එහෙම ගියාද බං?"
" ඔව් නෙ"
" අඩේ බං මං නම් හිතුවෙ මොකක් හරි එකක් වෙන්න ඇති කියලා.. ඒ යකා දැක්කම එහෙම හිතෙනවා.."
"කොහොම ද?"
"සෙඩක්ටිව් සෙඩක්ටිව් වගෙ එකක්"
"එහෙම පෙනුණට එහෙම නැහැ බං"
"උඹත් නිකම් කෝල්ඩ් හෝන්තුවක් වගෙත් නැහැ නෙ"
"ඒ වුණාට එහෙම නෑ ඉතින්"
එරන්දව පමණක් නොවේ මාවත් බේරාගෙන මම මෘදුව කතාබහ වෙනස් කරගත්තෙමි. මහියංගණයේ යන්නට අප යොදා ගත්තේ පාන්දර දෙක වගේ වෙලාවකි. වෑන් එක අපාට්මන්ට් ගේට්ටුව ඉස්සරහට ආපසුත් කිසිවක් අමතක නොකර අරන් යන්නට මගේ ලිස්ට් එක චෙක් කරගන්නට විනාඩි දහයකට වැඩි වෙලාවක් ගත විණි.
කැමරා කෘ එකේ පිරිමි ළමයින් තිදෙනාත් අචලත් මග තැනකින් නගින්නට නියමිත බැව් එරන්ද කී අතර මිහිර සහ සුදු නංගී නැග්ගේත් අතර මගකිනි. මා අසල සුදු නංගීට හිදගන්නැයි කී මිහිර මදක් අනිත් අයත් වාහනයේ ස්ථානගත වෙනතුරු ඉදිරිපසට වී සිටියේය. මම වාහනයේ අවසාන ආසනයේ කෙළවරට ගියේ ඒ ගමනට මා පෞද්ගලිකව ප්‍රිය කළ නිසාම මිසක වෙනත් ආසනයක තිබූ සුවපහසු බව දැනෙන නිසා නොවේ. ඉතින් මිහිර සුදු නංගී ගාවින් හිදගත් අතර කැමරා කෘ එකේ කොල්ලන්ටද හොදටම නිදා ගැනිමේ උවමනාවක් තිබු බව පෙනිණි
මා සිටියේද අඩ නින්දක ය. ටික වෙලාවකින් මගේ වම් ඇලය දකුණතකින් පිරිණි. මම දෙඇසම ඇර බලන්නට කම්මැලි මුලින් එක් ඇසක් ඇර බලනාකාරයේ එකියක්මි.
එරන්ද!
මේ උසස් පෙළ කාලයේ ආදර කතාවකි. මට දැනෙන්නේ එහෙම ය. බස් එකක ළඟ ළඟ වාඩි වී මුමුණ මුමුණා යාමේ මිහිරකි. එරන්ද ආසනයේ පසුපසට හිස තියා ගත්තේ නින්දකට සැරසෙමින් විය යුතුය. ඒත් මගෛ් වම් අල්ල මත ඔහුගේ ඇගිල්ලක් තැවරෙමින් තිබිණි. දණිහ තෙක් ඇති කෙටි කලිසම් සාක්කුවෙහි තිබු දුරකතනය දෙදරුම් කන්නට පටන් ගත්තේය. මේ වෙලාවට කොල්ලෙකුට කතා කරන්නට හිතෙනවා නම් ඒ පෙම්වතියකට ය. ආසනයෙන් මදක් ඉස්සී ඔහු දුරකතනය අතට ගත්තේය.
"ගුඩ් මෝ…නින්"
"මේ යන ගමන්"
"නෑ ඉතින්.. ඔයා පරක්කු වෙලාත් නෙ නිදා ගත්තෙ. ඇහැරන එක පව් නෙ"
"අයියෝ.. මේ උදේම රණ්ඩු අල්ලන්න එපා නංගි"
"හා..හා.. මං තියනව"
දෙබසෙහි එක් පසෙක සංවාදය ඔපමණ ය. මම මෙතෙක් කෙලින් තිබුණු මගේ හිස දකුණු පස වීදුරුවට ඔබා ගත්තෙමි.
"බිම්මා…" ඒ එරන්ද ය. රහසිනි. මගේ කන් පෙත්තකටම දෙතොල ළං කරමිනි. ගැහැනු දෙන්නෙක් එකවර හුරතල් කරන්නට පිරිමියෙකුට හැකිවීම පුදුමයක් ද? නැහැ. එහෙම කීම අසාධාරණයකි. අනික් පස හිදිනා තරුණියත් එහෙමම ය.
" බිම්මෝ.."
මම හිස මදක් ගස්සා ප්‍රතිචාරයක් දක්වමි. සමහර වෙලාවට ආදරයට අයිතිවාසිකම් එකතු වීම අන්තිම කාලකන්ණි කමකි. අවාසනාවකි. මල මුසල හැගිමකි. එය තමන්ගේ නොවෙනවායි සිතීමෙන් දැනීමෙන් ඇතිවෙන අපේක්ෂා භංගත්වය දරාගත හැකි සීමාවක තිබීම හැමවිටම යහපත්ය.
"මොකද පැස්බරා වගේ ඔළුව හංග ගත්තෙ?" මා නිහඩ ය. කොයිතරම් ශක්තිවන්ත වුණත් මේ වගේ වෙලාවල ආසියාතික ගැහැනු මුුල් කලඑලි බසියි.
" ඔයාට දුක හිතුණ ද?"
එරන්ද ඇහැරවා ගත්තේ සර්පයාව ය. එහෙම මගේ ආත්ම අභිමානය පහතට දමන්නට ඔහුට නොහැකි ය. දුක! ඇයි මට දුක හිතෙන්නෙ? මට දුක හිතෙන්නට තරම් දෙයක් මෙතන සිද්ධ වුණා ද?
"ඔයා ගියාම තනිවෙන්න මට බැහැනෙ.." ඔහු කියයි.
"ඇයි?"
"මං තනියෙන් ඉන්න බයයි.මං ඇත්තටම ශක්තිමත් පිරිමියෙක් නෙමෛයි වෙන්න ඇති"
"ඕවගෙ දේවල් හිතන්නෙපා. "
"මට එයාව හම්බ වුණෙ. පාටි එකකදි. අපි කතා කළා. ඩාන්ස් කලා. එතකොට එයා දැනට වඩා පොඩියි. යුනිවසිටි පටන් ගත්තා විතරයි. බලාපොරොත්තු ගොඩක් තියං හිටිය කාලයක්.."
"මාත් හැමදේකින්ම මහන්සි වෙලා හිටියෙ. ලව් සෙක්ස් සල්ලි ඔක්කෝමට වඩා මං ෆ්‍රී මිනිහෙක් වෙන්නෝන කියලා දැනෙන හැඟීම. එයා මලක් වගේ මං දැක්කෙ. එයා මං ලග හිටියෙත් එහෙම. ඒත් ඉතින් කාලයක් යද්දි එයාත් අන්තිමට අනික් අයගෙ ෆෝමැට් එකේමයි."
මම කිසිවක් නොකියා අහගෙන හිදිමි. මේ වගේ කතා කොතෙකුත් ඇත.
"මට ආයෙ වෙන කෙල්ලෙක් හොයන්න .. ඒ කෙල්ලට පුරුදු වෙන්න හරි කම්මැලියි .. මට ඒ හින්දයි එයා එක්ක පීස්ෆුල් රිලේශන්ශිප් එකක් තියාගෙන ඉන්න ඕනෙ.."
"අපි ට අනාගතේ ගැන කියන්න බෑ .. එරන්ද"
මම මෘදුව කීවෙමි.
"කවුද දන්නෙ ඔයාගෙ ජීවිතේ පීස් කියනෙක කොහොම ලැබෙයිද කියලා.. ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් .. මොකද්ද එයාගෙ නම?"
"සසඳි"
"ආ.. සසඳිගෙන් ද නැත්නම් වෙන කෙල්ලෙක්ගෙන් ද.. "
" ඔයා කියන්නේ කසාදෙ ද?"
"ඔව්.. කසාදෙන් හරි ඕපන් රිලේශන්ශිප් එකකින් හරි.. රිලේශන්ශිප් එකක් නැතුවම ජීවත් වෙන්න ඔයා තීරණය කරලා හරි"
"මං වැඩිය හිතන්නෝන නෑ නේද?"
"ඔව්.. හිතුවා කියලා මොනවද ලැබෙන්නෙ ? නිකම් ටෙන්ශන් එකක් විතරයි නෙ"
එරන්ද සුසුමක් හෙළුවේය. අප සමග පසුපස ආසනයේ තව කෙනෙකු හිඳගෙන සිටියේය. ඒ කැමරා කණ්ඩායමේ සහාය කැමරා කරුවෙකි. ඔහු දෙඅත් දෙපසට දමාගෙන තද නින්දකට වැටෙන්නට පටන් ගත්තේය.
" මං ඔයාව සසඳි එක්ක කම්පෙයා කරන්න යන්නෙ නෑ බිම්මා.. මොකද ඔය දෙන්න ඉන්නෙ කම්පෙයා කරන්න තියා හිතන්නනත් බැරි ලෙවල් දෙකක"
"මං ඇයි එයා එක්ක කම්පෙයා වෙන්නෙ කියලා හිතන්නවත් මට බෑ"
"ඔයාට මාව සුද්දා එක්ක කම්පෙයා වෙන්නෙ නැද්ද"
"ඔය දෙන්න ඉන්නෙත් කම්පෙයා කරන්න පුලුවන් ලෙවල් දෙකක නෙමෙයි"
"ඒක නං ඇත්ත ඉතින්. මිනිහ සංවර්ධිත රටක සිටිසන් තියෙන පොරක්. මං මොකෙක්ද එහෙම බැලුවාම"
"එයා ඒ රටේ ඉපදුණු නිසා එයා ඒ රටේ සිටිසන් කෙනෙක්. ඒත් මං කවදාවත් එයාව බැඳලා සිටිසන් ගන්න බලං ඉන්න කෙනෙක් නෙමෙයි. මට මගෙ පී ආර් එක හම්බෙන්නෙ මං අමාරුවෙන් ඉගෙනන් අමාරුවෙන් රස්සා කරල හදා ගත්ත දේවල් නිසා. මං නයිල්ස්ව කසාද බැන්දා නම් මට ඒ කිසිම දෙයක් නැතුව සිටිසන් කෙනෙක් වෙන්න තිබුණා. හැබැයි මං කැමති නෑ එහෙම."
"ඒ ඔයාගෙ පිරිමියෙකුට යටත් වෙන්න තියෙන අකමැත්ත ද?"
" පිරිමියෙකුට නෙමෙයි මං ලේසියෙන් කාටවත් යටත් වෙන්න කැමති නෑ"
"කසාදෙදි ඒක වැදගත් නැද්ද?"
"කසාදෙදි නම්‍යශීලී වෙන එක වැදගත් . හැබැයි යටත් කර ගන්නෙකයි නම්‍යශීලී කරගන්නෙකයි දෙකක්."
එරන්ද මගේ කැමැත්තක් අකමැත්තක් නොවිමසාම සිය දකුණත මගේ බද වටා දවටා ගත්තේය. වාහනය ඇතුළේ වන අඩ අන්ධකාරයට ඝන සීතලට යශෝරාවයක් මෙන් නැගෙන කවර ගී රාශියකට ඒ මොහොත රෝමාන්තික කළ හැකි විය.
"මට ඔයාව මිස් වෙයි .."
"ඒ ගැන නොහිතා ඉන්න"
"මොනව ගැනද?"
"මිස් වෙන එක ගැන"
"එතකොට?"
"මිස් වෙන එකෙන් මෙහා කොයිතරම් දේ තියෙද?"
"විඳින්න ද?"
"ජීවත් වෙන්න.."
"විඳින්න තියෙන්නෙ විඳවීමෙන් එහා නම් බිම්මා, මං මේ හැම මොහොතකම මගේ පපුව පිරෙන්න සතුට කියනෙක උරාගෙන තියෙනව. ඔයා හම්බ වුණාට පස්සෙ අපි එකට ඉන්නත් කලින් මං දන්නව මං ඉන්නෙ හිතින් උඩ පැන පැන කියලා. මටම තේරෙනවා මං ඉන්නෙ ඇස් දෙකින් පවා සතුට කියනෙක උතුර උතුර කියලා. ඔයා මාව පොඩ්ඩක් හරි බලාපොරොත්තු වෙනවා කියලා.එහෙම දවසක් පටන් ගනිද්දිම මාර හැගිමක් එක්ක මං නැගිටිනව"
මගේ හදවත තුල කුඩා දිලිසෙන කදු මහා කදු පන්ති බවට පත් වෙන්නේ ඒවා මත සිටගෙන සිටිය නත්තල් තාරකා ආකාසයට යන්නට දගලන්නේ මේ එරන්දගේ වචන හැසිරවීම හින්දා ය.
වාහනය හිටිහැටියේ වේගය වෙනස් කළේය. එය හැම කෙනෙක්ටම දැනෙන කාරණාවක් නිසා එරන්ද වහා ආසනයේ මැද්දට වී නැගිට්ටේය. නැවතී තිබුණේ පොලිස් මාර්ග බාධකයක් හේතුවෙනි. උතුරු නැගෙනහිර යුද්ධය අවසාන වීත් තවම පොලිස් මාර්ග බාධක පාර දිගට තිබේ.
"යුද්ධ නැවතුණායි කියලා ඒ මිනිස්සුන්ගෙ ජන ජීවිත වල ලොකු ලෙකු වෙනස්කම් සිද්ධ වෙලා නැහැ අක්කා. අපි ඩොකියුමෙන්ට්රි වලට ගොඩාක් ගියා නේ යුද්ධ වලින් පස්සේ . ඇත්තටම පව් ඒ මිනිස්සු .. ඒ මිනිස්සු වුණත් ආසයිනෙ තමන්ගේ ඉඩකඩම් වල නිදහසේ ඉන්න"
මගේ අසුනේ හිදගෙන සිටින කැමරා සහායක මල්ලී එහෙම කීවේය. එරන්ද නැවත මා ළගට නො ආ අතර. සුදු නංගී කන්න බොන්නැයි කියා අනම් මනම් වාහනයේ පසුපස අසුන් වලට බෙදා දුන්නාය. ගමනාන්තයක් දක්වා එකිනෙකා හා කතා කරමින්ද මොන මොනවා කියා සිනාසෙමින්ද සියල්ලෝ සතුටින් සිටියැයි මට සිතිණි.
එරන්ද ඉදහිට හැරී බැලුවේය. බලා හිනැහුණේය. සෙනගක් අතරේ කාටත් නොදැනෙන්න ආදරය කරනවා කියන්නේ එක අතකින් බලන විට අමුතු හැගීමකි. මහියංගණය නගරයේ අපට වෙන් කරතිබු හෝටලයට අප ගියේ ආදිවාසි ගම්මානයට අප ළගා විය යුතු වෙලාවට සැලකිය යුතු වෙලාවකටද කලිනි.
"එහෙ වැඩ ටික ගාණට වෙනව නෙ නේද?"
..
අචල මදෙස බලා ඇසුවේ සිය අධිතාක්ෂණික කැමරාව ඒ මේ අතට ඉලක්ක කරමිනි.
"වෙලාවකට අපරාදෙ මේ ෆිල්මින් කෘ එකට වෙනම ගෙව්වෙ කියලා හිතෙනව ඔයාගෙ ෆිල්මින් දැක්කාම"
"අපි ඉතින් වැඩ දැනගත්තතට ලොකුවට කෑගහල කියන්න යන්නෙ නෑ.අවස්ථාවක් ආවම කරලම පෙන්නනව මිසක්. "
අචල කීවේ මන්දැයි මම තවදුරටත් සිතුවෙමි. පසුව එය සාමාන්‍ය කතාවකැයි කියා අතැර දැමුවෙමි. කෙසේ වෙතත් අපි ඉක්මනින් දඹාන කරා පිටත් වීමු.
වාර්තා වැඩසටහනට අදාළව කුඩා වාර්තා චිත්‍රපටයට අදාළ සියලු දර්ශන රූගත කරන්නට අපි වෙහෙසුණෙමු. මුලු දවස පුරාම විවේකයක් නැතිව වැඩ කළෙමු. මගේ. ඉන්ටවීවින් හැකියාව මෙතෙක් නොදැක සිටි එරන්ද ඉන් වික්ෂිප්ත වී සිටියේය. ඒ අතරේ මේ පාරම්පරික ආදිවාසි ජීවිතය හා බැඳුණු ආහාර සංස්කෘතිය ඒ හා සමගාමීව ගමන් කරන කෘෂිකාර්මික සංස්කෘතිය සහ වාරි සංස්කෘතිය ගැනද අපි කතා කළෙමු.
ඉරගල වැටෙද්දී අපි එයින් පිටත් වීමු. ඒ නවාතැන් ගෙන සිටි හෝටලයට ය. මෙවැනි රුගත කිරිමක් අවසානයේදී දුරකතනයවත් නොඅල්ලා මං නින්දට වැටෙන බව දන්නා නයිල්ස් වේලාසනින්ම කතා කළේය. ඔහු "නයිට් අවුටින්" එකකට යන බව කීව ද කා සමගදැයි නොකීවේය. අහන්නට ද මට අමතක විණි. එහි නයිල්ස්ගේ පාසල් මිතුරන්ද සිටිති. ඔවුන් සමහර රාත්‍රී න් වල බුරුතු පිටින් රොක්වෙති. නිදන කාමරයට වැදී බොහෝ වෙලාවක් ඇඳෙහිම ඇල වී සිටිය මා නාන කාමරයට ගොස් රැයෙහි බාත්ටබ් එකට බැස හිදිනවායි හිතා එහි දිය පිරෙන්නට ඉඩ හැරියෙමි. අචල කෙටි පණිවුඩය ක් එව්වේ ඒ අතරතුර ය.
" කමු බං"
එය දුටුවිටම හිනා එන එකකි. අචලට කැමති හිතෙන්නේ එනිසා ය. ඔහු සරල ය. එරන්ද වගේ කල්පනාකාරීව බුම්මාගන්නා වෙලාවල් නැත. පාර අයිනේ කාත් කවුරුත් නැති පූස් පැටියෙක් සිටියත් කම්ස සාක්කුවට දමාගෙන ගෙදර ගෙනියන විදියේ ය. ඔහුගේ ප්‍රේම සම්බන්ධතාවන් ගැන මා දන්නේ නැත. එහෙත් අචල කියන්නේ හිතත් ලස්සන කොල්ලෙක්යැයි බැලු බැල්මට හිතෙයි.
මම කුඩා කහමල් සහිත කෙටි ගිම්හාන ගවොමකට මාරු වී එළියට ආවේ අපේ කණ්ඩායමේ අය කොතැන ඇත්දැයි සිතමිනි. අචල කමුබන් කීවාට දැනටම ඔවුන් හිදින්නේ මූඩිය විවර කළ බෝතල් කීපයකි තියාගෙන වට මේසයකය. මිහිර බොනවාට සුදු නංගී කැමති නැහැයි කියා අසා සිටියාට මෙන්න ඇයත් අපුරුවට අයිස් කැට වැඩියෙන් දැමු වීදුරුවක් වම් අතේ තියාගෙන සිනාවෙවි සිටියි.
"මොනාද බොන්නෙ බිම්මා?" අචල අසද්දී එරන්ද මදෙස බැලුවේය. ඒ බැල්ම මොකක් කියන්නට හදනවාදැයි මට පැහැදිලි නැත. හරියට වැඩියෙන් මත් වෙන්න එපා කියන්නා වගේ යැයි මම හිතින් හිතා ගත්තෙමි.
"මං පස්සෙ ගන්නං මොනාහරි"
මම සෙමෙන් මගහැරියෙමි. සමහර වෙලාවට මගේ ආගන්තුක හැසිරීම ගැන අවබෝධයක් දැනටම ඇති නිසාම දෝ අචල ඉන්පසු කිසිත් කීවේ නැත. මට ඈතට ඇවිදින්නට හිතෙයි.
"මං චුට්ටක් ඇවිදලා එන්නද?"
මම පිරිමි ළමයින්ගෙන් විමසමි. සිගරැට්ටුවක් දල්වා ගමන් සිටි එරන්ද ලයිටරය දල්වා ගත් ගමන්ම මදෙස බැලුවේය. ආදරය සහ සැලකිල්ල කොහොම වෙතත් එරන්දගේ රැකවරණය ඉස්මතු වුයේ එවේලේ ය.
" යං .."
" පාරෙ තනියම ගියත් පරෙස්සම් වෙන්න පුළුවන් බිම්මා..හැබැයි එරන්දගෙන් පරෙස්සම් වෙන එක තමයි අමාරු" මිහිර සිනාසුණේය. අචලත් නළල රැළි කළේය.
"කොහොමත් දැන් මූ බිම්මා පස්සෙන් වැටිල ඉන්නවා නේ යන යන තැන"
"අර බබා නංගි දැනගත්තොත් මුගෙ කලිසම බෙල්ලෙ බැදලා මරල සියදිවි නසාගත්තා කියලා පෝස්ට් එකක් දායි.."
"අඩෝ එහෙමට භාණ්ඩෙ ඒක නං"
මම සිනාසෙමින් නැගිට්ටෙමි. කෙටි ගවුමෙන් නිරාවරණය වන මගේ පා දිහා මොහොතකට ඇස් රැන්දු අචල වහා අහක බලා ගත්තේය. පිරිමි ඇස් හිතුවක්කාර එක හොඳින් දන්නා කෙල්ලෙක් නම් ඔය බැල්මට කේන්ති ගන්නේ නැත.
හෝටලයේ පිවිසුම් දොරටුවෙන් පිටතට අපි ඇවිද ගියෙමු. එය ලස්සන රාත්‍රියකි. හඳ එළියකි. අහසේ වලාකුළු බැම්මකි. ඒ උඩින් වාඩිවුණු තාරකා දෙපා පද්දමින් සල්ලාපයකි. එරන්දත් මාත් එකිනෙකාට කතා නොකර ඇවිද යන ගමනකි. එක තැනකදී ඒ දුරස් බව බිදිනි. ඔහු මගේ අතින් අල්ලා ගත්තේය.
" මේ වගේ මතක අපට ඉතුරු කරන්නෙ මැකෙන්නැති කැළැල්"
"කැළැල් කියනෙක හරිද?"
"ඇයි?"
"කැළැල් කිව්වම ඒවා එක්ක අදුරු මතකයක් එන්නැද්ද?"
"එහෙනම්…"
"ම්ම්ම්ම්"
" කැටයම් කියමු"
මට මදහසක් නැගෙයි. කැළැල් වෙනුවට කැටයම්.. ඔව් ඒකත් නරකම නැත. කැළැල් වලට මිනිස්සු අකමැති ය. කැටයම් එහෙම නැත. ඒවා අධිකව වෙහෙසි සීරුවට කරනා වටිනාකම වැඩි දේකි. ඉතින් අප මේ කරන්නේ අපේ යටිහිත් කවිහිත් කැටයම් කරගන්නා එකම නෙමෙයි ද?

No comments:
Post a Comment