Sunday, October 23, 2022

චිම්නි කෝපි 02

 චිමිනි කෝපි 


දෙවන කෝපි කෝප්පය


මා ලංකාවට පැමිණීම හිතේ ඇති කරන්නේ කාන්සියකැයි නයිල්ස් කියා එවා තිබිණි.

යම් යම් සංඥා දෝෂයන් හේතුවෙන් අපට එතරම් වෙලාවක් කතා කරන්නට ඉඩ

ලැබුණේ නැත. කෙසේ වුවත් ක්‍රමයෙන් මා ලංකාවටත් මා නැතිව ඔහුගේ රටේ

දේවලටත් හුරු වෙමින් සිටි බව පෙනිණි. මම දෙදවසක් සම්පුර්ණයෙන්ම කාමරයට

වී නිදා ගත්තෙමි. වරින් වර නැගිට කෑමට බීමට නෑමටත් රැකියා ආයතනයේ යම්කිසි

වැදගත් වගේම හදිස්සි ඊමේල්ස් ඇවිත් තිබේදැයි බලන්නටත් හැරෙන්නට මා අන්

කිසිවකට කාලය වැය කළේ නැත. මම  ඇතිවෙනතෙක් නිදා ගත්තෙමි.

නින්ද බොහෝ කාංසාවන් සහ කම්මැලිකම් දින තුනකින් තුරන් කර දමයි. ඔබව අවදි

කරයි. මම වෙහෙසකර ජීවිතයකින් පසු නිවාඩුවට ලංකාව තෝරාගත් පළමු

අවස්ථාව මෙය ය. නයිල්ස් කියනවා වගේ ලංකාව වෙනුවෙන් මොනව හරි කරන්න

ඕනේ කියන අරමුණ ඒ වෙද්දී මගේ සිතේ පැළපදියම්ව තිබිණි.


“නර්මදා...”


“ආ මෙන්න අපේ සංචාරක කිරිල්ලි නැගිටල”


නර්මදාගේ උණුසුම් කටහඩ දුරකතනය දිගේ ගලා ආවේය. ඇයත් මාත් කාලයකට

පෙරාතුව එකම කාර්යාලයක සම මට්ට‍මේ පුහුණු නිළධාරිනියන් ලෙස රැකියාව

කළෙමු. දැන් ඕ රාජ්‍ය අමාත්‍යාංශයක ඉහළ ශ්‍රේණියක විධායක නිළධාරිනියකි. අනික්

අතට වයස අවුරුදු පහක හා තුනක දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙකි.

සිඳුමිණි බිම්මාලි පතිරණ එනම් මම තවම නොයෙක් විදේශ රටවල කෙටි කා‍ලින

පැවරුම් වෙනුවෙන් ඇවිදිමි. ඒ පැවරුම් සම්බන්ධයෙන් භාෂා තුනකින් නොයෙක්

විදියේ පත්‍රිකා ලියමි. ඉන් බොහොමයක් අන්තර්ජාලයේ පමණක් පළ කරන ලද ඒවා

බැවින් ඒවා පිලිබඳව ලංකාවේ මගේ හිතවතුන් නොදනිති. මා සතුව පවතින මුදල් ඉපයීමේ ප්‍රධාන මාර්ගය එසේ නොයෙකුත් ආයතන වෙනුවෙන් අවශ්‍ය තැන් නැරඹීම සහ ඒ පිළිබඳව වාර්තා වැඩසටහන් මෙන්ම ආටිකල් ලිවීමය.

ඒ ඇරුණුකොට පණවගේ පරෙස්සම් කර ගන්නා , @bimmassilverspoon ඉන්ස්ටා

පිටුවය. ලෝකයේ food bloggers ලා අතරෙහි සුවිශේෂයයි මා සිතනා තැනක තියෙන

බිම්මාස්සිල්වර්ස්පුන් ,බිම්මාගේ රිදී හැන්ද රේටින්ස් ලබා හිඳියි.


නර්මදා මා සැරිසරන කිරිල්ලකැයි පවසන්නේ ඇය වට්සැප් ඇමතුමක්

ගන්නා බොහෝ වෙලාවල එක්කෝ මා මෙට්රොදුම්රියක දෙනුවරක් යා කරනා

මාර්ගයක යමින් සිටිනා නිසා ය. ඉතින් ඒ මගේ රැකියාවට අයිති කාර්යයන් ය.

නර්මදා දැන් දරණ තනතුර අනුව ඇයට වෙනමම රාජකාරි වාහනයක් සහ වෙන්

කරන ලද රියදුරෙකු ලැබී ඇත. මාසයකට පෙට්‍රල් ලීටර 150කට ආසන්න ඉන්ධන

දීමනාවකුත් ලැබෙන බව ඇය පවසයි. ඇය බොහෝවිට කරන්නේ එක්කෝ ඇගේ

කාර්යාලයේ ඇති සම්මන්ත්‍රණ ශාලාවේ රජයේ ආයතන වල හමුවීම් සංවිධානය

කිරීමය. එසේ නැතිනම් වෙනත් සම්මන්ත්‍රණ ශාලාවල පැවැත්වෙන හමුවීම්

සම්මන්ත්‍රණ ආදිය වෙනුවෙන් ඇගේ ආයතනය නියෝජනය කිරීමය.


 "ඉතින් උඹ මොනවද ඕවැයි කතා කරන්නෙ ගිහින්? අලුත් කන්සෙප්ට්ස්, ප්‍රොජෙක්ට්ස් එහෙම ද?"


"අලුත් දේවල් ගැන කතා කරනවා අඩුයි.. කරන වැඩ වල ප්‍රොග්‍රෙස් එක තමයි.."


ඉතින් ඒ මේ රටේ ඊට වඩා බලාපොරොත්තු විය නොහැකි හින්දාම මම තවදුරටත්

නර්මදාව වෙහෙසට පත් නොකරමි. ඇයට වූ පොරොන්දුව හින්දාම ඇගේ කාර්යාලය

වෙත ගියෙමි. මා පිළියන්දල සිටම ත්‍රීලරයක් කතා කරගත්තේ තවම මා බස්රියෙහි

යන්නට තරම් කාලය කළමණාකරනෙයහි දක්ෂ නොවූ හින්දාය.


වොක්ශෝල් වීදියේ නර්මදාගේ කාර්යාලය මහල් දහයක දොලහක

ගොඩනැගිල්ලකි. ඇය කියන විදියට මෙහි මහලෙන් මහලට වෙන වෙනම කාර්යාල

පවත්වා ගෙන යයි. මා ඇගේ අංකයට අමතද්දී ඕ තමා සභාපති තුමාගේ කාර්යාලයේ බවත් සත්වන මහලේ ඇගේ කාමරයට පැමිණ අසුන් ගෙන සිටින ලෙසත් මට කීවාය. පෙර වතාවෙ මා ලංකාවට එද්දී නර්මදාට සිටියේ පුතා පමණකි. දැන් දුවකද සිටී.


“බේබි ටමියක්ද” ඇතිව රෙයොන් සාරියක පට හතරට නමා හැඳගෙන කොයි

වෙලාවක හෝ මතුවෙතැයි සිතමින් , මම ඉල් මාසෙ මාස් කන්නයට ගැඩවිල්ලෙක්

මතු වෙන තෙක් මග බලන කපුටු කාක්කෙකු මෙන් මාන බලමින් ඇගෙ කාමරයට වී වාඩිවී සිටියෙමි.

වායු සමිකරණය කර ඇති නිසා සීල් තියා ඇති කාමරයේ දොර කවුරුන් විසින් හෝ

විවෘත කරනු දැනුණතර මම හැරී බැලුවෙමි. මා සිටියේ දොරට පිටුපා ගෙන නර්මදාගේ

මේසය ඉදිරිපස ඇති පුටුවේ හිඳගෙනය.

නෑ.නෑ .. ඒ ආවේ නර්මදා නොවේය. සුදු අත්කොට කමිසයක් ඇදි මැදිවියේ පිරිමියෙකි. නිල් පැහැ නුලකින් කරවටා එල්ලුනු කාර්යාලීය හැඳුනුම්පතකි. රියැදුරෙකි. දකුණතේ ඝන කඩදාසි උරයකි. වම් අතේ නෝට්ටු කොල තුනක් සහ ඉන්වොයිසියකි. දකුණතේ වු බෑගය දෙස බලද්දී මුලින්ම මගේ ඇස ගියේ එහිවු ලාංඡනය දෙසය.


දෙවියනේ! 


ඔබ මේ වගේ ලාංඡන මෙහෙම කඩදාසි උරවල මුද්‍රණය කරන්නට ඉඩ

දෙන්නේ කොහොමද? හිතක් පපුවක් කියා දෙයක් නැත්ද?


"මිස් , නර්මදා මිස්ගෙ ඕඩර් එකක් මේ. මෙතනින් තියන්නද? " 


රියැදුරු මහතා, අජිත්.. ( මා ඔහුගෙන් නම ඇසුවේ නැතත් ගෙලෙහි එල්ලාගෙන

ඉන්නා කාඩ්පතෙහි එසේ සදහන් වි තිබුණි) ඇසුවේය. මම හිස සැලුවෙමි. ඔහු

කාමරයෙන් නික්ම ගිය සැණින් මම කඩදාසි උරයට එබුනෙමි. එහි වුයේ සුවඳ කෑම

වස්තුවකි. යෝගට් කප් හැඩැති කප් කීපයකි. ඊට යටින් ඝන කඩදාසි පෙට්ටිය. සුවඳින් අනුමාන කළ හැකි පරිදි.. ඉන්දියානු කෑම වට්ටෝරුවකි. මා කෑමට පෙරේතියකැයි අනුමාන නොකිරීම හොඳය. ඒත් මා ෆුඩ් බ්ලොග් එකක අයිතිකාරියකි. ඉතින් කෑමගැන ආසාවක් නැත්නම් බිම්මාගේ රිදී හැන්ද ගැන පුංචි පුංචි කතන්දර ලියන්නේ

කොහොමද?


ආයෙමත්, කඩදාසි බෑගය ට ඇස් යොමුවෙමි. ඒ පින්තුරය සාමාන්‍ය එකකි. ඒත් ඒනම! 

ඒක අසාමාන්‍ය ලෙස මටම සාමාන්‍ය එකකි. මම වහා, දොර විවර කරගෙන එළියට පැන්නෙමි. රියැදුරු අජිත් කාර්යාලයේ අනික් සේවක සේවිකාවන්ගෙ මේස

අතරින් ඉසිරියට ඇවිද යමින් සිටියි.


";අජී…..ත්"


හිටිහැටියේ සිය කාර්යාලයේ අතිරේක ලේකම්වරියකගේ කාමරයට කඩා වැදුනු

අලුපාට කොට්න් කලිසමක් ලා අලු තැඹිලි සහ කහ හීනි මල් චිෆොන් බ්ලවුසයක්

හැඳ අලු පාට ලොකු අත් බෑගයක් අල්ලාගෙන ඉන්නා අමුත්තිය, ජීවිතයේ පළමු වතාවට විනාඩි පහකට පෙර හමු වූ රියැදුරෙකුගේ නම කියා කතා කිරීම අමුතුද?

අමුතු ඇති. හැමෝම මා දිහා බැලුවේ එහෙමය. අමුතුවටය.

"කොහෙද මේ රෙස්ටොරන්ට් එක තියෙන්නෙ? "


"කමු බන් රෙස්ටොරන්ට් එකද මිස්? "




No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...