චිමිනි කෝපි
එකොලොස් වන කෝපි කෝප්පය
------------------------
අප වටා කමුබන් එකේ සිටි අය පමණක් නොවේ. වෙරළත් රේල්පාර අවටත් සිටි කිහිප දෙනෙක්මත් පැමිණ සිට ගන්නා බව මට මොහොතකින් වැටහිණි. එරන්ද පියවි සිහියට, සම්මා සතියට පැමිණි සැණින් වහ වහා නැගිට්ටේය.
"මොකක්ද හු….ත්.. කරගන්න හැදුවෙ තෝ.. තොට මොන හාලක් කැවිලද?"
පළමු දෝස්මුරය අචලගෙනි. ඔහු තතවම නැගිට ගන්නට බැරිව යන්තම් වාඩිවි සිටිනා මගේ දෙවුරෙන් අල්ලා මා නැගිට්ටුවේය. එරන්ද වහා මගේ වම් අත දෙස බැලුවේය. මගේ දකුණතේ බාහුව තුවාල වී ඇත. එය මොකක් හෝ ගලකට නැත්නම් මුලකට හිල්වීමකි.ඉන් ලේ ගලයි.
"යං බිම්මා.. මේක අපි හිතනව වගෙ ලේසි නෑ. බෙහෙත් ටිකක් දාගම්මු.."
අචල කියද්දී එරන්ද වහා පැමිණ මගේ අත අල්ලා ගත්තේය. මට එරන්දගේ බුම්මාගත් මුහුණ දැකීමත් කේන්තියකි. අචල මාව රෙස්ටොරන්ට් එක ඇතුලට එක්ක ගියේය. එරන්ද අප පසුපසින් කනගාටුවට පත්වුණු මුහුණින් ආවේය. මිහිර , සුදු නංගීත් තවම ගල්ගැසුණු ගමන්ය.
"කෝච්චිය හෝන් කළා නෙ.."
"ඇහුණ් නෑ බං"
"මේ කෙල්ල හිටියෙ නැත්නම් අම්මප තොගෙ කෑලිවත් නෑ.."
"අඩෝ උඹ ..මං උඹෙ කන්දෙක කුඩු කරනව.. ආයෙ උඹ ඔය රේල්පාර අස්සෙ හැ..මිනේ..න්න ගියොත්.."
"කෑල්ල කෝල් එකේ නෙ බං"
එරන්ද නම් මහ මෝඩ හත්ඉලව්වකැයි එවෙලේ මටත් සිතිණි. එක්කෝ ඔහුුගේ පෙම්වතිය ඔහුගේ මේ ආදරයෙන් ප්‍රයෝජන ගනියි. එහෙම නැත්නම් ඇය ඇගේ ආතතියෙන් පිරුණු ජීවිතයේ ඇරියස් අහිංසක එරන්දගේ ගිණුමට බැර කර ඔහුවද ආතතියට පත් කරයි.මොනදේ වුණත් එය මරණිය අවදානම් තත්වයකට ළගා වීම භයානකය.
අතට බෙහෙත් දමා ප්ලාස්ටර් කළේ සුදු නංගී ය. ඇගේ කරුණාවන්ත භාවයට මම ස්තුතිවන්ත වුයෙමි.
"ඔයා නොහිටියානම් අද මෙතන මොන විදියෙ දෙයක් වෙයිද මන්දා" ඇය ඇගේ උපන් දිනයදා වෙන්නට ගිය දේ ගැන කණස්සලෙනි.
"වෙන්න ගියාට එහෙම දේවල් වෙන් නෑ.. නංගි. සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් නිසා නැත්නම් මොකක් හරි දෙයක් නිසා ඒ දේවල් වැළකෙනව. හැබැයි ඉතින් වෙලාවක් තියනවා ඒ වෙලාව ආවාම නම් අපට කොහොමටවත්ම මග ඇරලා යන්න බෑ. ඒ ඉතින් ජීවිතේ හැටිම නෙ"
එරන්ද පැමිණ අප සිටි මේසයටම සම්බන්ධ වූයේය. එහා පැත්තේ මේසයකට ලං කර තිබුණු පුටුවක් මෙහා පැත්තට ඇදගෙන හිද ගත්තේය. ඒ මුහුණ අමුතු ය. මොකක් හෝ ඇත.
"මහ මෝඩයෙක්" සුදු නංගී එරන්දගේ හිස් මුදුනට ඇගේ දුරකතනයෙන් තට්ටු කරගෙන එතැනින් වෙන කෙනෙකු සිටි තැනකට ගියාය.
"රිදෙනවද?"
මේ කම්පාව සහමුලින්ම නම් මගේ අත ගැනද නොදනිමි. එහෙත් එය එතැනටද සම්බන්ධ විය. මම නැති බව කියන්නට හිස දෙපස වනා සිනහ වූයෙමි. එහෙත් මට එරන්ද දෙස මොහොතකට බලා හිදින්නම හිතිණි. එය හොඳ දෙයක් නොවේ. එරන්ද මගේ බැල්ම මඟ හැරියේය. එහෙත් ආයේ බැලුවේය. මම ඒත් නොපැරදී බලා ඉමි. මොන විදියේ හේතුවක් නිසාද මන්දා මේ ආසියානු පිරිමි ළමයා ගැන මගේ හිතේ ඇල්මක් තිබේ. එය එක් රාත්‍රියක ඇති වූ අහම්බයක් නිසා ඇති වූවක්ද නොවේ.
“ඇයි මගෙ පස්සෙන් ආවෙ..?" ඔන්න ඉතින් ප්‍රශ්නය. මා ඇත්තෙන්ම එරන්දගේ පස්සෙන් ගියා නොවේ. එරන්ද ව අහම්බෙන් දැක පොඩි වෙලාවකට ඔහු දෙස බලා හිටියා පමණකි. ඒඅහම්බයට මා දුටු ටික හොඳටොම ඇති ය.
"නොආවා නම්?"
"ලොකු දෙයක් නෑ.. කෝච්චියෙ වැදිලා මැරෙයි ඕන නං"
"ඒ කියන්නේ ජීවිතේ කියන්නේ ලොකු දෙයක් නෙමෙයිද ඔයාට?"
"ඔයා ට කොහොමද ? ජීවිතේ.."
"මට ජීවිතේ කියන්නේ ලොකු දෙයක්. මං මගෙ ජීවිතේට කැමතියි..මං හිතන්නේ ජීවිතේ කියන්නේ ගමනක්. අපි පුංචි කාලෙ අපි මහන්සි වුණේ හුස්ම ගන්න. සවයිව් වෙන්න.. පස්සේ අපි දෙමවුපියන්ගෙ හරි කාගෙ හරි උදව් ඇතුව හැදෙනව වැඩෙනවා ලොකු වෙනවා.ඊට පස්සේ අපිම ජීවත් වෙන්න ට්රයි කරනව ඉතින්.."
"ප්‍රශ්න ආවාම ඒත් ඕකමද ? නැත්නම් වෙනස් වෙනවද?"
"හැමදාම අපට අලුත් ප්‍රශ්නයක් තියෙනව නේද ඉතින්.. "
"ඔව්.."
"ඒ ප්‍රශ්නෙ යට යනවා හෙට අලුත් ප්‍රශ්නය ක් ආවාම.."
"හ්ම්.."
"එහෙම එහෙම අපේ ප්‍රශ්න චුට්ට චුට්ට විසදෙනව. විසඳෙන්නෙ නැත්නම් අපිම ඒවට හුරු වෙනව."
"හුරු වෙන්න හුරු වෙන්න ප්‍රශ්නෙ තමන්ගේ හැඩේ වෙනස් කරගන්නවා නම්?"
"ඔයාගෙ ප්‍රශ්නෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද?"
කෙළින්ම එරන්දගෙන් අහන්නට මට සිතිණි. බිම්මා එහෙම පවුල් කඩනාකාරයේ කෙල්ලක නොවේ. අනික් කාරණය මට මේ ලෝකයේ මා සන්තක ඕනැම දෙයක් ඕනැම කෙනෙක්ට දන්දෙන්නට හැකි විදියේ අසීමාන්තික දානමය මානසිකත්වයකුත් තියේ. ඔව්! කතාවේ මෙතෙන්ට එනතෙක්ම මා සිටින්නේ එවැනි මානසිකත්වයකිනි. එරන්ද මගේ ප්ලාස්ටර් කළ බාහුව දෙස නෙත් පටළා ගෙන සිටියේය.
"ඇත්තටම ඔයා නොආවා නම් බිම්මා..මං මේ වෙනකොට කෑලි කෑලි ගොඩක්ද?"
මම දෙව්ර සෙලවීමි. මා කියන්නේ එහෙම වෙන්නට ඉඩ ඇති අවස්ථාවන් ඕනැ තරම් තියේ. ඒත් ඔය කියනා ගමනාන්ත එහෙම පහසුවෙන් මිනිස්සුන්ට ළඟා වෙන්නේ නැත.
"ජීවිතේ ගැන ඔහොම නොසැලකිල්ලෙන් ඉන්නෙ, එයාට ඔයා ගැන වැල්‍යු එකක් නෑ කියලා ඔයා දුක්වෙන හින්ද ද?"
එරන්ද ඇස් යටින් මෙන් මදෙස බැලුවේය. මම එක එල්ලේ බලා හිඳිමි. මට මේ පෙනෙන්නේ ඉස්කෝලේ ළමයෙකුව සිටි කාලයේ චැට් රුම් එකක් අස්සේ "රන් සමනළයා එක්ක චැට් කරන්නට එපායැයි " කියා රණ්ඩු කළ යෞවනයාදැයි මම ආයේ සිතමි.
"ඉතින් ඒක අහන්න ඔහොම මං දිහා බලන් ඉන්නෝනද?"
"කවුද?"
"ඔයානෙ.."
"මං මොකක්ද දැන් කළෙ?"
"ඔහොම බලල හිත පටලවන්න එපා"
එරන්ද ගේ මුහුණ ට සිනාවක් ආවේ බොහෝ වෙලාවකට පසු ය.
"කොල්ලො එක්ක රණ්ඩු වුණාම දවස් ගණන් අඩන කෙල්ලො ඉන්නව. මං දැක්කමයි මෙහෙම මුඩ් අවුට් යන කොල්ලෙක්.."
"ඔයාට පේන්නෙ මං මේ හිනාවෙල කතා කරල ඉන්න විදියනෙ. මං හරි සෙන්සෙටිව් කොල්ලෙක්.."
" ඉතින්.."
" පොඩි පොඩි දේටත් ටිකක් වැඩියෙන් රිදෙනව බිම්මා.."
" පොඩි පොඩි දේ ලොකු ලොකු දේ කියලා දේවල් නෑ ..රිදෙනෙක කොයි දේටත් රිදෙනවා.. එයා එක්ක රණ්ඩු වෙලා මා එක්ක හුුරතල් වෙන්න හදන්නෙපා. කෝ…ලම"
එකෙනෙහිම , එරන්ද ගේ දුරකතනය නැවත නාද වෙමින් තිබිණි.
"කතා කරගන්න දෙයක් මේ අපට පේන තැනක ඉදන් කතා කරගන්න හරි ද.. වැටකේ පදුරු ගානෙයි රේල් පීලි උඩයි රිංගන් නැතිව" මම එරන්දගේ ඉස් මුදුනට අත තියා කොන්ඩය අවුල් කළෙමි.ඔහු ලස්සන ට සිනහ වූවේය. ඇත්තටම ඒ අපුරු මදහසකි. හිත ඇළවුණේය. නයිල්ස් මතකයට නැගිණි. ඇලවුන හිත ගලවා ගන්නට ආපසු අදිමි. හැම වතාවකම හිත ගැළවෙයි. මා දිනයි. ඒත් හිතේ ලාටු පතුරක් ගැලවෙයි. එය ඇලවුන තැන ඡායාමාත්‍රයක්ව තැවරී තියෙයි. දවසක මෙහෙම හිත ගලවා ගනිද්දී ඇලවුන තැන වැඩි පරාසයකිනුත් ගැලවෙන හිත අඩු පරාසයකිනුත් නවතින දවසක් එතැයි මට සිතෙයි.
එරන්ද යළි හැරී මදෙස බැලුවේය. මම වම් ඇහැත් හීනි කර සිනාවී සැහැල්ලුවට අත් දෙකත් දෙපසට දිගු කර වටයක් කරකැවී මුහුදු වෙරළ කරා ඇවිද ගියෙමි. මිහිරත් සුදු නංගීත් එක් පසෙකය. ඒ දෙන්නාගේ ආදරය සොඳුරු ය. හිත එකවර හෑල්ලු වුණේ කොහොමද කියා මම ආයේ කල්පනා කළෙමි. ඊට හේතුවක් නැත. ඒත් මොකක්ද මන්දා අහම්බ කාරණාවකි.
මම මේ සමකාසන්න දිවයිනේ සීමාව දක්වන තඹ පැහැති වෙරළේත් කිරි කවඩි පෙණ සහිත රැල්ලේත් ඒවා හැපෙන බිදෙන වෙරළේත් පින්තුර කීපයක් කැමරා ඇසට හසු කරගනිමි. මුලින්ම ඒ ඔක්කෝම නයිල්ස් ගේ වට්සැප් පින්තුර පෙට්ටියට පුරවමි. ඔහු ක්ෂණිකව එය බලා ඉමෝජියක් එවයි. එය "මමත් හිටියානං" වගේ එකකි.
විනාඩි දෙකතුනකින් ඔහු විඩියෝ ඇමතුමකින් පැමිණෙයි. මම කෙටි වෙලාවකට සිනා වී හායි කීවාම ඔහු මට ඔහුගේ අලුත් සහායිකාව පෙන්වූයේය. ඕ ලපටි කෙල්ලකි. තඹ පාට කොන්ඩයක් ඇති රවුම් කන්නාඩි යුගලක් පැලදි එකියකි. මම කැමරාව නොපිට ගසමි. දැන් නයිල්ස් දකින්නේ ඉන්දියන් සාගරයයි. ඔහු ආරුගම්බේ යන්නට සිහින දකියි. මේ ගල්කිස්සට ආසන්න ඉසව්වකැයි මම කියමි. දැන් ඔහු අනිවාර්යයෙන් මෙතැන ගුගල්හි සොයාවි.
විඩියෝ ඇමතුම අවසන් වූ පසු උපන්දින සාදයේ රාත්‍රි සමය එලඹි තිබිනි. වෙනදාට කැලිප්සෝ ගයන කණ්ඩායම අද සම්පුර්ණයෙන් ම වෙනස් ගී ගයති.
"බිම්මාගේ රික්වෙස්ට් එකක් තියෙද?"
මම සිනා වී ගෙනම සින්දුවක් කල්පනා කරමි.
"මං සිලෙක්ට් කරන්නං එකක් බිම්මට ඩෙඩිකේට් කරල" කීවේ එරන්දය. අචල සිටියෙ මා අසලම ය. ඔහු වහා මදෙස බැලුවේය. මම දෙවුර ඔසවා එරන්ද කරන්නට යන්නේ මොකක්දැයි නොදන්නබව අචලට ඇඟවීමි.
"අද ජීවිතේ බේර ගත්තනෙ ඒ වෙනුවෙන් වෙන්නැති.. බු..රු..හු…ත් …තා" අචල තවම සිටින්නේ තරහෙනි. එරන්ද මා වෙනුවෙන් ය කියා යෝජනා කළේ වික්ටර් රත්නායක ගේ "එක කුඩයක් යට ගෑවි නොගෑවි " ගීතයයි.
"කිසිවෙකු සමගින් එකට තුරුලුවී ඉර බැසයන වේලේ
ඔබ යනු දුටු විට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ…"
මටත් මොකක්ද මන්දා සිතුවිල්ලක් ඇඟිල්ලකින් ඇන්නේය. ඒක අඩන්නට හිටි එකාට ඇහැට ඇගිල්ලකින් ඇනීමක්මය. කදුළු පටලයක් ඇහේ තැවරෙයි. නොදන්නා හැඟීමක් ජනිත වෙයි. මම යටි තොල සපමින් ඈත සිටින එරන්ද දෙස බලා ඉමි. එරන්දගේ ඇසුත් හදිසියේ මගේ ඇස් වල ගැටෙයි.
පසුව , වයින් විදුරු කිහිපයක් පානය කිරිමෙනුත් රාත්‍රි ආහාරය ගැනිමෙනුත් පසු මට මගේ නිදන කාමරයට යාමේ උවමනාව තදින් දැනිණි.
"මං ඔයාව ඩ්‍රොප් කරන්නම් බිම්මා"අචල කියද්දී මිහිරත් සුදු නංගීත් කීවේද එයමය.
"අපි යන ගමන් බිම්මව ඩ්‍රොප් කරන්ම යන්නම්" ඔවුන්ට සාධාරණ හේතුවක්ද තිබිණි. දෙදෙනාම මරදාන පැත්තට යා යුතුව තිබිණි. සියල්ල දෙස එරන්ද බලා සිටියේය. කවුරුත් ඉස්සරහාම මා ළගට ආවේය. අචලත් මිිහිරත් පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා සිටියේය. එරන්ද එක මත්පැන් විදුරුවක්වත් නොබී සිටි එකම කෙනා ය.
"අද මට ඩිස්ටර්බ්ඩ් දවසක්.. බොන් නෑ" ඔහු ස්ථිරවම කියා හිටියේය. එහෙත් ළගින් වාඩි වී වීදුරුව පුරවා දුන්නේය. මේ සියල්ල අතරේත් මේසය වටා ඇතිවු සම්මේලන ස්වරුපයේ කතාබහ පැවැත්විණි. අපි මහියංගණයේ යන ගමනත් මහියංගණයේ කණ්ඩායමකට නවාතැන් ගත හැකි තැන් කීපයක් සහ අනිකුත් සියළු දේ පිළිවෙලට පෙළ ගැස්විණි.
"මං බිම්මව ඩ්‍රෙිප් කරන් යන්නම්" කිසිවෙක් විරුද්ධ නොවුවෝය. ඒකත් පුදුමයට හේතුවකි. අඩු ගණනේ අචලවත් එරන්දට එරෙහි වුයේ නැත. එනිසාම, මම අචල ගෙන් සමුගන්නා මොහොතේ,
"ඔයාට හොදටම ශුවර් නේ මෙයා මෙන්ටලි ස්ටේබල් කියලා" ඇසුවෙමි.
"අපේ සෙට් එකේ හොදම ඩ්‍රයිව.."
එතැනින් එහා කිසිවක් හිතන්නට උවමනා නැත. මම එරන්දගේ වම් අතේ නොවැදි හිදින්නට උත්සාහ කරමි. රිය ගාලුපාර දිගේ ඉදිරියට ඇදි යන්න පටන් ගත් අතර කොළඹ නගරයට ආවේණික කරදරකාර ට්‍රැෆික් එක මගකදි හමුවිය.
"මේ වෙලාවෙ හැම පාරක්ම ට්‍රැෆික්..හැබැයි එදා තරම් නැති වෙයි" එරන්ද එදා යි කීවිට මට ඔහුගේ මුහුණ විමසිල්ලෙන් බලන්නට සිදුවිය. ඒ කියන්නේ ඒ දවස ඔහුටද හොදටෝම මතක එකකි. මම කවුළුවෙන් එපිටට හිනාවෙමි.
"තරහ වෙලා වගෙ ඇයි බිම්ම?"
"අර මොකටද තරහ වෙන්නෙ?"
"නිකම් ..අමුතුයි.. අත රිදෙනවද?"
"ටිකක් .රිදෙනව නං තමයි.."
මා කීවේ ඇත්තටම ය. බාහුවේ තුවාලය මුලින් නොරිදුණාට දැන් රිාදන්නට පටන් ගෙන තිබේ.
"ඔයා මත් වුණාම වැඩියෙන් කියවනවද?" එරන්ද අසන්නේ සිනහවක් සමගිනි.
"ම්හ්.. නෑ මං නම් හිතන්නේ නෑ.."
"පිරිමි බිව්වාම ඇත්ත කියනව.."
"ඒ කියන්නේ පිරිමි නොබී ඉද්දි කියන්නේ බොරුද?"
"නෑ නෑ.. එහෙම නෙමෙයි.. පිරිමි බිව්වාම ඇත්ත කියන්න ආසයි."
"බොරු නොකිය ඉන්න.. ඔක්කෝම බොරු පම්පෝරි ටික කියවන්නෙත් ඔය කියන පිරිමි බිව්වම තමයි.."
"එහෙමත් තියනව. හැබැයි බිව්වම පපුවෙ ඉන්න ගෑනිව මතක් වෙනව . ආදරේ වැඩියෙන් දැනෙනව. සමහර වෙලාවට ඇඩෙනව."
"ඔයාට එහෙමත් කෙනෙක් ඉන්නව ද?"
"එහෙම කෙනෙක් නැත්තෙ කාටද?"
"පපුව ට බර දරාගන්න බැරි තරම් ආදරයක් ඔයාට තාම දැනිලා නැත්ද බිම්මා ?."
මම හිස දෙපස වැනුවෙමි. ඒ නැති බව කියන්නට ය.
"එතකොට සුද්දා?"
"ඒක අපි මේන්ටේන් කරන් ආපු බැදීමක්. අපි අපේ රිලේශන්ශිප් එකක් මේන්ටේන් කරන් ආවා. පුළුවන් හැමදේම සම්බන්දෙ වෙනුවෙන් කළා. අපි හුගක් වෙලාවලදි කම්ෆර්ට් සෝන් එකේ හිටියෙ.."
"බිම්මා, එහෙම රිලේශන්ශිප් එකක් තියෙද්දී වෙන කෙනෙක් ගැන ඇත්තටම ආදරේ හිතුණොත් අපි මොකක්ද කරන්නෝන?"
"ඇත්ත ආදරේට රිලේශන්ශිප් එකක් කියලා එකක් ඕන නැහැ කියලා හිත හදාගන්නවා"
"ඒත් රිලේශන්ශිප් එකත් එක්ක දැනෙන සතුට ඔයාට තේරෙනව නේද?
"සතුට කියන්නේ ආදරයමය නෙමෙයි. සමහර ආදර කතා සතුටු අවසාන. සමහර ආදර කතා අවසන් වෙන්න කලින්ම ට්‍රැජිඩි"

No comments:
Post a Comment