Monday, October 24, 2022

චිම්නි කෝපි 06

 චිම්නි කෝපි


හය


පොඩ්ඩක් පිළිවෙලට මේසය මත තියා ගන්න හිතුණ පින්තුරය… ගැන අදහස වෙනස් වුයේ හුළඟට ඇවිත් තනියට ඉන්නැයි කියන්නට බැල්කනියේ වීදුරු දොර පසෙකට තල්ලු කළ විටය. පහතින් රාජගිරිය පෙනෙන්නට පටන් ගෙන ඇත. කුඩා කුඩා එළි ය. ගෙදරින් ගෙදරට දැල්වෙන තනි තනි පහන් ය. පේලි ගෙවල් පේලි අතරින් පටු මංපෙත් ය. 


මම එය පසුබිම් කර කොත්තුවට අර්ථයක් ඉතිරි කළෙමි. ලාබ කොත්තුවක් අද රැයෙහි කී දෙනෙක්ගේ රාත්‍රි කෑමවේල වෙන්නට ඇත්ද? ලංකාවට ආ පසු බිම්මාගේ කෑම පුරුදු වෙනස් වී ඇතැයි මගේ ඇන්ගෝලා ෆලෝවරයා කියා තිබිණි. කෙසේ වුවත්, පේලි ගෙවල් වල එළි තිත් උඩින් අහසෙහි පෙනෙන මගේ කොත්තු පින්තුරයට කමු බන් රෙස්ටොරන්ට් එක ටැග් කරන්නට මම අමතක නොකළෙමි. 


මම එය රස විදින අතරතුර ඉන්ස්ටාව සෙලවිණි. කමු බන් රෙස්ටොරන්ට් එකෙන් කමෙන්ටුවකි. ස්තුතියකි. රිදී හැන්ද ෆලෝවරයා මිහිරය. ඔහු එබැව් කීවේය. ඉතින් ඔය විවාහක ඉලන්දාරින්ට පණිවුඩ තියන්නට යාම නොතරම්ය. පහුවෙනිදා පාන්දර පිළිතුරු ලිවිය හැකිය. 


ඊළග වතාවේ, දුරකතනය සෙලවුණේ නෝමල් කෙටි පණිවුඩයකටය. සාමාන්‍යයෙන් බැංකුවෙන්, කෑමහල් කීපයකින්, ඇඳුම් කඩ වලින් මිස පුද්ගලයෙකුගෙන් කෙටි පණිවුඩයක් ඒම අසාමාන්‍ය ය. 


"hope you enjoyed the dinner"

මගේ මුහුණ සිනාවකට සැරසෙන්නට ඇත. ඒ එරන්දගේ අංකයයි. මට අහස බැළුනේ නිකමටය. 


" thanks to you.."


එරන්ද මෙහෙම අසාවියැ යි මා ඇත්තටම හිතුවේ නැත. ජාන් ගේ පණිවුඩ රටාව යාන්තම් හෝ එරන්දට තිබේදැයි බලන්නට මේ ලැබුනු අවස්ථාව භාවිතා කළ යුතුය.


"නිකම්ම ඉන්නවා "


මේ වගේ පිළිතුරක් ඇතිද? වැඩිද? එරන්ද මොකද කරන්නේ කියා අසන්නට මා තෝරාගැනීමත් කොයිතරම් වෙනස්ද? කී දෙනෙක් නම් ඔන්ලයින් ඇණවුම් කරනවාද?


"කමුබන් එක හැම කස්ටම කෙනෙක්ගෙන්ම ෆීඩ් බැක් ගන්නවාද? "


"කමුබන් එක හැම වෙලාවෙම කස්ටමර්ස්ලා ගැන හිතනව."


"ඒකද එතකොට මේ රහස?"


රාත්‍රි ය වෙහෙසකරය. මගේ ඇහි තටු අගිස්සට නිදිමත වැහෙයි. ඉතින් එරන්දට කිසිවක් ම කියන්නට පවා අමතකවී මට නින්ද ගොසිණි. යළි පාන්දර එලාම් එක වදිද්දී පුරුදු යෝගා පාඩමට මා ඇහැරුණි. පළමු පණිවුඩය නයිල්ස්ටය. එය ඇබ්බැහි වීමකි. මට වඩා නයිල්ස්ටය. පොසිටිව් වයිබ් එකකැයි ඔහු පිළිගන්නේ මගෙන් ලැබෙනා පළමු සුබපැතුමයි. 


"ඔයා මං වටේට ඉන්නවා කියන්නෙ හැම වෙලාවෙම මං වටේට පොසිටිවිටි එකක් තියෙනව." නයිල්ස් කීවේය. මම පුරුද්දක් හැටියට ධනාත්මක හැසිරිමකට හුරුවී සිටියෙමි. බොහෝ විට මා බලාපොරොත්තු වූ දේ මට ලගා කර ගැනිමට හැකිවිය. කොහොමටත් මා බලාපොරොත්තු වූ දේ මට ගැළපෙන මට සුදුසු දේ යැයි මා හිතු දේය. 


අවසානය ට කතා කළ තැනින් , එරන්දද කතාව නවත්වා තිබිණි. ජීවිතය අපුරුය. මහ රාත්‍රියේ පිහිනුම් තටාකාංගණයක සිට නාන ඇදුම්ම පෙරවා ගෙන ඩිලිවරි එකක් පිළිගන්නට පැමිණි කෙල්ලක හා කතා කරන්නට එරන්දට හිතෙන්නේ ඇයි? 


දවසේ මැදදි කරන්නට නියමිත වැඩ කටයුතු අවසන් කර මම මුහුදුබඩට යන්නට කල්පනා කළෙමි. මිහිරට කෙටි පණිවුඩයක් යැව්වේ ඉන්ස්ටා හරහාය. ඔහු එය නොකියෙව්වේය. ඉතින් මම ඉර බසිනවා බලා හිදිමේ අරමුණින්ම වේලපහින් වෙරළට ගියෙමි.


කමුබන් රෙස්ටොරන්ට් එකට මඳක් එහායින් වෙරළ අයිනෙ කුඩා ඉඩක ව්‍යායාම් කරන තැනකි. ඒ සමගම යෝගා අභ්‍යාස කරනා දෙතුන් දෙනෙකි. වෙරළ දිගේ එතැනට ඇවිද ගියෙමි. මදෙස බැලු ලාංකික උපදේශකවරයා සිනාසුණේය. 


"ගුඩ් ඊවි..නින්.. මිස් මොනාහරි වර්කවුට් ගැන හොයනවද?"


හෙතෙම සැකයෙන් ඇසුවේය. ඔහුට විශ්වාස නැත. මා ඇත්තෙන්ම ව්‍යායාම කරන්නට හොයනවාද? නැත්නම් වෙන මොකක් හරි ඔත්තුවක් බලන්නට ආවාද? 


"ම්ම්ම්ම… නෑ නෑ… මං ඉතින් මේ නිකම් ඇවිදිනව.."


" මිස්. යෝගා වලට ඉන්ටරෙස්ට් නම් අපි එක්ක ටිකක් වැඩ කරලා බලන්න"


"අනිවාර්යෙන්.. අද නෙමෙයි.. මං වෙන දවසක එන්නං.."


මම මුහුද දිගේ ඇවිද ගියෙමි. මුහුදේ රැළි මතට මලානික හිරු එළිය පතිත වන ඡායාරුප කිහිපයක් ගෙන නයිල්ස් ගේ වට්සැප් එකට ඇළවුවෙමි. නයිල්ස් නැතිව දැනෙන මොකක්දෝ මන්දා පාලුවක් හදවතහෙි කොණක් කොනිත්තන බව දැනෙයි. 


"ජාන්"

සොයා යාම මගේ ශ්‍රී ලංකා සංචාරයේ කිසි තැනෙක අල්පෙනෙති අමුණා තිබූ එකක් නොවේ. එය මතුවුයේ උන්හිටි ගමන්ය. ජාන්ගේ සිහින රෙස්ටොරන්ට් එකේ නම රියල් රෙස්ටොරන්ට් එකක දැකීමෙන්ය. 


එහෙත් දැන් මේ මෙහෙයුම මග දමා ඇත්තමයි මට ලංකාවෙන් නික්මෙන්න නොසිතෙයි. මා ආවේ ලංකාවේ පාරම්පරික ආහාර රටා පිලිබඳ වාර්තා සටහන් කිහිපයක් සකසන්නටය. මහියංගනයේ ආදී වාසීන් සම්බන්ධ කරගෙන. ඔවුන් ආහාර කල්තබා ගන්නා ආකාර ආදී විශේෂ දේ පිලිබඳ සටහන් ලියන්නටය. ඒ වෙනුවෙන් මා මගේ රැකියා ආයතනයෙන් දැනටම ගුවන් ටිකට් පතක්ද අත්තිකාරම් චෙක් පතක්ද ලබාගෙන අවසන්ය. ඒත්, මම තවමත් අගනුවර අවට කැරකෙමි. කමුබන් එක වටා භ්‍රමණය වෙමි. එසේ භ්‍රමණය වෙද්දී කහපාටට හුරු ඡවි වර්ණයකින් , උස දිග අත් පා සහිත ශරිරයකින් හා හැම වෙලාවෙිම කැප් එකකින් වසා ගත් හිසක් ඇති අචල , වර්ණවත් සිතුවමක්ද ගෙන කමුබන් හි පිටත බිිත්ති අසලින් ඇවිදිමින් සිටිනු මම දැකීමි. 


එහෙම නැත්නම් , සත්තකින් .. මට දැන් මගේ කියා ලංකාවේ ඉතිරිවී ඇති දුර නෑ පිරිසත් ඔය අම්මාගේ නමට ඉතිරි වී ඇති බිම් කැබැල්ලේ බැම්මත් හැර කිසිවක් ඉතිරිව නැත. මේ උඹ හදන්නෙ අලුත් බැම්මක් හදා ගන්නදැයි , නර්මදා මගෙන් අසන්නත් කලින් මම ම මගෙන් ඇසුවෙමි.


පුරුදුකාරියක් මෙන් කමුබන් පිවිසුම් දොරටුවෙන් ඇතුල් වෙන මා දෙස අචල ඇස් සිහින් කර බැලුවේය. මා සිතුවේම අද මිහිර වෙනුවට අචල රාත්‍රි වැඩ මුරය භාරගෙන ඇතැයි කියාය. මිහිර සමග වැඩ කරද්දී හමුවු ඔවුන්ගේ අතවැසි කොලුවා කටපුරා සිනහවී ආවේය. 


"හායි .. මිස්.. කොහොමද"


"හායි හායි… ඉතින් ඉතින්.. මොනාද වෙන්නෙ"


"ඉන්නවා මිස් ඉතින්.. මිස්ගෙ ඉන්ස්ටා එකේ අපේ මීල්ස් වල ෆොටෝස් දැම්මානේ .. මට මිහිරයියා පෙන්නුවා.. අපි බලං ඉද්දි ලයික්ස් වැඩි වුනා මිස්.. "


අපේ කතාබහ අසමින් වුවද, හැරීවත් නොබලා අචල ඔහුගේ පාඩුවේ වැඩය. ඉතින් , ජාන් අචල වෙන්න මොනවාම හරි ඉගියක් තියෙනවාද? මිහිර කියා ඇති විදියට නම් අචල අයිටී දැනුමැත්තෙකි. ජාන් ගේ ඉස්කෝලේ පරිගණක විද්‍යාගාරයත් අචලත් අතර සම්බන්ධතාවක් ඇත්ද? 


තරුණයා, මා සමග සෙල්ෆි එකක් ගන්නට ඕනැ බව කීවේය. මම සිනහවී මා සෙලිබ්‍රිටියෙකු නොවෙන බව කීමි. 


"මිනිස්සු එක එක්කනොගෙ හිත් අනුව තම තමන්ගේ සෙලිබ්‍රිටියො වෙනස් වෙනවා.. සමහර විට මිස්ගෙ ඩ්‍රීම් සෙලිබ්‍රිටියා ක්‍රිකට කෙනෙක් වෙන්න ඇති.. හැබැයි මට නම් මිස් වගේ ෆුඩ් බිලොගර්ස්ලා සෙලිබ්‍රිටියො.."


ඔහු මා සමග ගත් පින්තුරය එවෙලේම ඉන්ස්ටාවට එක් කළේ බිම්මාේ රිදී හැන්දද ටැග් කරමිනි. අචල, අප දෙස බලා සිනාසිණි. ඔහුට අපේ ෆුඩ් පිටු ගැන වැඩි උනන්දුවක් නැත.


"කො අද මිහිර..?"


"වයිෆ් එක්ක හොස්පිටල් ගිහින්…"


කොල්ලා කියද්දී අචල ආයේ අප දෙස බලා හිනැහිණි. "කමුබන්" හි කළමනාකාරීත්වයෙන් හැම කෙනෙක්ම මට වෙන වෙනම හමුවී ඇත. මිහිර , කතාවට කැමතිය. වෙනමම හැඩයක් සහිත රුචිකත්වය ක් ඇති බව පෙනෙයි. ඔහු "කලිනරි ආට්" හදාරන බව දැකිය හැකිය. එරන්ද එහෙම නැත. ඔහු වැඩියෙන් සංවේදී බවක් පෙනෙයි. මොකක්ද මන්දා අහිංසක ගතියකි. පාඩුවේ ඉන්නා විදියකි.


අචල වෙනස්ය. බැලු බැල්මටම මාර පෙනුමකි. සැපට හැදුණු බව පෙනෙයි. ඡවි වර්ණය විශේෂිතය. දිලිසෙනා රත්තරන් පාටකි. සාමාන්‍ය පරිගණක සමග වැඩ කරන මිනිස්සුන්ට අයිති වෙන ඉවසුම් සහගත ගතිය පෙනෙයි. කොහොමටත් මේ පිරිමි ළමයින් තුන්දෙනා අතරේ  මම කෙනෙකු සොයමි. අවුරුදු දහඅටේ ඔවුන් සිටින්නට ඇත්තේ කොහොමද? ජාන් සහ මා අපේ කටහඩවල් කවදාවත් හුවමාරු කරගෙන නැත. 


"ඔයාද අපේ මිහිර කියන ෆුඩ් බ්ලොගර්?" 


අචල ආවේ රෙස්ටොරන්ට් එකේ තැන් තැන් වල වූ පින්තූර තැනින් තැනට වෙනස් කර අවසානයේය. ඒ වෙන විට මගේ මිතුරු අතවැසියා මට මොජිටෝ එකක් පිරිනමා අවසන්ය. 


"මං අචල" 

ඔහු මවෙත කීවාම මම මගේ දකුණත පෑවෙමි. ඔහු සුදු දිගු අත මවෙත පෑවේ පෙරටද වඩා හිතවත්කමිනි. 


"මොනවද ඉතින් මිහිර කියන්නේ බ්ලොග් ලියනෙක ගැන?"


"මිනිහ හැම වෙලේම ඔයාලගෙ බ්ලොග් කියවනව.. අලුත් අලුත් කෑම වර්ග මෙහෙට ඉන්ට්‍රඩියුස් කරන්න ට්‍රයි කරනව.. සමහර ඒවා හරියනව. සමහර ඒවා ෆේල් වෙනව.."


අචල සිනහා වෙමින් කියා සිටින්නේය. කෙමෙන් අදුර ගලා ආවේය. 


"මං මේ සෙටප් එකට ආසයි… දන්නවනෙ ඉතින් හීතල රටවල ගුලි වෙලා ජීවත් වෙලා ඇති වුනාම අපි ආසයි ලංකාවට එන්න.. අපේ රට අපේ මිනිස්සු කියන හැගීම කොයි වෙලාවකවත් හිතින් යන්නෙ නෑනෙ"


"අකමැත්තෙන්ද ගියෙ?"


"ඒ දවස් වල නං ඉතින් යන්ග්නෙ. යුනිවසිටි එකකට ගියෙ මං.. පස්සේ එහෙට හුරුවුනා. ජොබ් සෙට් වුනා. මෙහෙ වගෙ බලෙන් කූඩු කරන රස්සාවක් නෙමෙයි නිසා කැමති විදියෙ ලයිෆ් එකක් නිසා එහෙම නතර වුණා."


"මේ වැකේශන්ද?"


"ඔව්.. මං වෙන ප්‍රොජෙක්ට් එකකටත් එක්ක ආවෙ. ඒකට ටිකක් ඇවිදින්නෝන.. තාම ඒ ටික ප්ලැන් කරගන්න බැරි වුනා"


අචලත් මාත් කතා කරමින් ඉන්නා අතරතුර කමුබන් එකට ඇතුල් වුයේ එරන්දය. ඔහු තද නිල් පාට රවුම් කර ඇගේ හැඩයට ළග ටී ශර්ටයක් ඇද සිටි අතර මටත් අචලටත් මඳහසක් පාමින් කෙළින්ම රෙස්ටොරන්ට් එකේ මුලුතැන්ගේ දෙසට ගියේය. 


"කෑල්ලත් ඇව්ත් ඇති" අචල කිිව්වා නොවේ. කියැවිණි. රිදු⁣ණි.ඇයි? කෑල්ල කාගෙවත්ය. කීවේ කවුරුවත්ය. මටට රිදෙන්නේ ඇයි? එරන්ද අප අසලට ආවේ ඇණවුමක් ලියාතියමිනි.


"මොකෝ උඹෙ කුමාරිහාමි කියන්නේ ?"


"වාහනෙන් බහින්න බෑල්ලුනෙ"


"ඇයි එයා වෙන මොකක් හරි ග්‍රහලෝකෙකින් බැහැලලුද?"


"හ්ම්"


පළතුරු බීම දෙක අතට ගෙන ඔහු නික්ම ගියේය. 


" පව් අප්ප.. ඌටත් සෙට් වුනා කෙල්ලෙක්.. කියල එකියක්.කරුමයක්."


අචල කීවේ තමන්ටම වාගේය. 


"ඔයාට නැද්ද කෙල්ලෙක් හරි කෑල්ලක් හරි?"


"මං ලංකාවෙන් යන්න ඉන්නෙ. කෙල්ලෙක් කියන්නේ සෙට්වුනොත් මාර වගකීමක්.."


අචලගේ පසුබිම පැහැදිලි ය. ඔහු මේ කෙල්ලන්ගේ පැටලිලි වලට අකමැතිය.. අපි රෑ කෑම ඇණවුම් කළෙමු. එරන්දත් ආයේ ආවේය..තනිවමය. 


" ඔයා එදා හොඳම වෙලාවටයි කතා කලෙ .. තව පොඩ්ඩෙන් වෙන දේ දන්නවද?"


එහෙම අසමින් මාත් අචලත් වාඩිවි සිටි මේසයේම හිද ගත්තේය. අචල අප දෙදෙනා දෙස බැලුවේ නළල රැළි කරගෙනය. 


"උඹ කොහොමද බිම්මාව දන්නෙ?"


මම දෙදෙනා දෙස බලා සිනාසුනෙමි. 


"බිම්මා?"

එරන්ද මදෙස විස්මයෙන් බැලුවේය. 


"මගුලයි.. උඹ කියන්නේ මේ අර… අර.. ළමයද?"


මට දැන් ගැටළුවකි. 


"මිහිර හැම වෙලාවෙම කියන්නේ එරා.. "


"අපේ මීල්ස් වල ෆොටෝස් දාන ළමයනෙ.."

මට සිනා නැගෙයි. අචල විමතියෙනි. 


"මෙයා මචං, ඊයෙ හරි පෙරෙයිද හරි .. ඕඩ එකක් දැම්ම.. ඕඩස් නවත්තල හිටියෙ. මං අන්තිමට මට තිබ්බ කොත්තු එක මෙයාට දුන්න"


පපුවට දැනිණි.



"ඒකොත්තුවෙ පින්තුරෙකුත් අප්ලෝඩ් කරල තියෙන්නෙ" අචල රිදි හැන්ද අවකාශය ට එරන්ද ව ඇදගෙන ගියේය.ඔහු මුලින් දුරකතනය ඇතුලේ රිදී හැන්ද දැක. ලස්සනට හිනැහිණි. ඉන්පසුව ඉන්. පිටත හරිකෙළින් ඉදිරියෙන් හිඳ ගෙන සිටින මා දැක සතුටින් හිනැහිණි. බිම්මාට තිබුණේ මේ රත්තරන් පැහැයෙන් දිලිසි දිලිසි ඉන්නා තනිකඩ තනි තරුවගේ සිනහවේ ලස්සනට බැදෙන්නටය. එහෙත් ,  ඝන කොන්ඩය අපිලිවෙලට වැවුන රැවුලත් එහෙන් මෙහෙන් මුහුණ පුරා වැවුණු කන් දෙකේ කරාබු දමා ගත් දෙඅතේම ටැටු ඇති කරදරකාරි පෙම්වතියක්ද ඉන්නවාය කියන "සමනළ කන්ද" වාගේ පිං පාට කොලුවෙකු මත්තේ, මේ කුළක් සේ පාවි පාවි අවුදින් අහසින් වැටුණු බිම්මලකට පිපෙන්නට හිතුණේය.

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...