Sunday, May 31, 2026

OLIVE - අවසන්කොටස

 කාලයකට පසු කොළඹ අහස තමන්ව ඉර එළියේ දීප්තිමත් බවින් වර්ණ ගන්වාගෙන සිටියේය. සෞමි සිය සයනයෙන් ඇහැරුණේම සුසුමක් අත් හරිමිනි. දැන් ඇයට මේ මොහොතේ දැනෙන්නේ විඩාවකි. ඒ විඩාව‌ෙ කාතෙක්ද කියා කිව නොහැකි එකකි. කෝපිහලේ වීදුරු ජනේලවලට පිටත රාත්‍රි පිණි බින්දු ඒ වෙද්දීද ලැගුම් ගෙනය. හෙමින් හිරු කිරණ වල තාපය පරිසර උෂ්නත්වය වෙනස් කරද්දී ඒවා  හෙමින් ලිස්සා  වැටෙද්දි, සෞමි තනියම කෝපි මැශිම එක ක්‍රියාත්මක කළාය.

මැෂින් එකේ හුම් හඬත් එක්ක උණු වතුර හුමාලය ක්‍රමයෙන් ඉහළ නැගිණි.  ටිකෙන් ටික මුළු කෝපිහලම නැවුම් කෝපි සුවඳින් පිරෙන්නට පටන් ගත්තේය. කෝපි සමග බැඳීම පටන් ගත් දා සිටම ඒ සුවඳට සෞමි නිරායාසයෙන් සන්සුන් විය. ඇය තුළ සතුට වෑහෙන්නට පටන් ගත්තේය. නමුත් ඒ දවස එහෙම දවසක් නොවේ. ඇගේ සියොළඟම තැවරී තිබුණේ විඩාබර හිස් බවක් පමණකි. 

මුලු රාත්‍රිය පුරාම ඇය නිදිවර්ජිතවම සිට ඇත. එක් දවසක් තුළ ඇගේ සිතේ දරාගැනීමේ සීමාව පරයා යමින් ඇය විසින් දැනගන්නට යෙදුණු,

ග්‍රේස් විජේබණ්ඩාර ගැන ඇත්ත.
දි්ල්ශාරා පෙරේරා  ගැන ඇත්ත.
තමන් කවුද කියන එක.
අවුරුදු විසි ගාණක් තමන් නොදැන ජීවත් වුණ ජීවිතය.

ඒ හැමදේම ඇගේ හිස ඇතුළේ තවමත් එකිනෙක මත ගැටෙමින් තිබුණි. .

දුරකතනය දෙදරුම් කෑවේය. පවන් ගේ පින්තුරය තිරයේ දිස්විණි. ඇය තුල අනික් වේදනා පරයා සියුම් සතුටක් ජනිත වුවත් මොහොකන් නිශ්ශබ්දව සිටින්නට ඇයට සිදුවිය. ඒ තමන් තුලින් ආ අනාරාධිත විධානයක් හේතුවෙනි. පවන් මේ ඇමතුම දෙන්නේ පෙරදිනයේ සිදුවු සිදුවිම් ගැන දැනගනු රිසියනෙි. ඉතින් සෞමි ඒවායින් කුමක් කුමක් ඔහුට පවසන්නේ දැයි කියාවත් තීරණය කරගැනීමට නොහැකිව කැළඹී සිටින්නීය. 

“ මොකද අනේ ආන්ස කරන්න පරක්කු වුණේ?” පවන් එහෙමය. ඔහුට දුරකතනය මද වෙලාවක් නාද වීමත් ඉවසනු නොහැකිය. මේ ඔක්කෝමට හේතුව ඇය ඔහුට පෙනෙන ඉමක නොසිටිමය. 

“ මං ෂොප් එකට ආවා.. චුටි චුටි වැඩනේ ඉතින්..” 

“ මොන වැඩේ තිබුණත් මං නෙමෙයිද ඔයාගෙ ජිවිතේ ලොකුම වැඩේ” 


පවන්ගේ කටහඬ වෙනදාට වඩා බරය. 

“ දැන් ආවේ.”

අනික් පසින් සුසුමක් ඉහිරිණි. 

“අම්මා ලංකාවට ඇවිල්ල තියෙන්නෙ මට අර කියන කෙල්ලව ප්‍රපෝස් කරන්න කියනෙක ගැන මට සැකයක් විතරයි තියෙන්නෙ. ඒත් මොකක් හරි නිසා මගේ හිත හරිම කරදරයි.ඒ මදිවාය ඊයෙ ග්‍රේස් මම්මාගෙ ලෝ ෆර්ම් එකත් එක්ක අම්මා දාගෙන හිටපු ඩිස්කශන් එක කැන්සල් වෙලා. ඒ ගැන තාත්තිට ඉන්ෆෝම් කරද්දී තමය් එහෙම දෙයක් ඇරේන්ජ් වෙලා කියලාත් තාත්ති දන්නෙ” 

සෞමි සුසුමක් හෙලුවාය. ඇයට කෞශල්‍යා පාලනය කරන්නට නොහැකිය. ඇගේ අත කෝපි මැශිම මතම නතර වු අතර තත්පරයක් දෙකක් ඇයට කිසිවක්ම මතකයට නැගුණේ හෝ කිසිවක්ම සිතුණේ හෝ නැත. 

පවන් කෙටි සිනාවක් පානු ඇයට ඇසිණි. ඇත්තෙන්ම එය හිනාවක් නොවේ හිනාවෙන්නට උත්සාහ කිරීමක් පමණකි. 

“මම දන්නවා… අම්මා මේ රිලේශන්ශිප් එකට කැමති වෙන්නෙ නෑ.”

යුවතිය නිහඩ වුවාය. ඇගේ මුහුණෙු වේදනාවක් ඇදිණි. 

“පවන්…”

ඇයට මේ පීඩන තවදුරටත් දරාගන්නට නොහැකි ලෙස දැනිණි. “ අනේ මට තේරෙන් නෑ පවන්. ඔයා ඉක්මණට ලංකාවට එන්න” ඇය කීවාය. 

“ ඔහොම අඩන්න ඔන්න මෙන්න කටහඩකින් ඔහොම කියන්න එපා මැණික. මට මේ දැන් ලංකාවට එන්න ෆ්ලයිට් බුක් කරන්න හිතෙනවා” පවන් මේ වගේ දේවල් කියන්නේ වෙන පිරීමි මෙන් බොරුවට නොවේ. ඔහු ඇත්තෙන්ම මුලු හදවතින්ම මේ දේවල් කියන්නේය 

“මට ඔය කිසි දෙයක් ඕන නෑ… මෙහෙ ඔයා හිටියා නම්” ඇය හෙමින් කිව්වාය.අනිත් පසින් ටික වෙලාවක් ගෙවෙන තුරු මද නිශ්ශබ්දතාවයකි. 

“මොකද වෙලා තියෙන්නෙ? ඔයාඅම්මාලංකාව ට ආවයිකියලාඔහොම හිතරිද්දගෙන කතා කරනකෙනෙක්නෙමෙයිනෙ”
අන්තිමේදි පවන් අහුවේ බොහෝ මෘදු හඬිනි.
“ඊයෙ ඉඳන් ඔයා හරි වෙනස්.”

ඇතුළතින් තමන් කුඩුව ගියාක් මෙන් සෞමිට දැනුණි. ඇය කෝපි කෝප්පයක් කවුන්ටරය මත තබාගෙන නිනව්වක් නැති බැල්මකින් බලා උන්නාය. පවනුත් අනිත් ඉමේ ඉන්නේ මේ ඇගේ හිත වෙනස්වීම ගැන බියෙනි.

“පවන්…”

ඇගේ කටහඬ ඉතාම සෙමින්ඇසිණි .

“මාවහොයාගෙනමගේ අතීතය මතුවුණා පවන්.”

එහා ඉමෙන් කිසිම හඬක් මතු⁣ නොවුවේය.

“මොකක්…?” පවන් සෞමිව දැන සිටියේ අවුරුදු හතරාමාරේ සිටමය. ඇය ගේ අතීතය ක් ඇය සොයා ආවේ කොහොමද ? ඔය කියන අතීතය ට පවන් අයත් නොවුණේ කොහොමද ?

“ග්‍රේස් මම්මාකියන්නේමගේ ඇත්තම අම්මගෙතාත්තාගෙඅනියම්බිරිඳ වගේකෙනෙක්”

පවන් සම්පූර්ණයෙන්ම නිහඬ විණි. ඔහු දැන සිටිග්‍රේස් මම්මාකියන්නේ අපමණ කරුණාවන්ත මව්වත් ගැනියක බවය. ඇය ගැන කුඩා කල සිටම දැන සිටි ආකාරයෙන් ඇගේ කරුණාවන්ත කම‍, වෙන කෙනෙකුගේ දරුවෙක් ට දක්වන ආදරේ ගැන හැමොම කතා කරනු ඔහු අසා සිටියේය.  

සෞමි ඒ වචන කියා වේදනාවෙන් ඇස් වසා ගත්තාය. මේ වගේ වචන ආදරණීය ගේරේස් මම්මා ගැන කියන්නට තරම් වත් තමන් පව්කාර වුයේ කෙසේදැයි ඇයට සිතාගනු නොහැකිය. පවන් මේ සියල්ල සාවධානව අසා හිදින්නේය. සෞමි මේ තරම් හිත් වේදනාව ක් දරා හිදීම ගැන ඔහුට තමන් පිලිබද කේන්තියක් ඇතිව තිබේ. 

“මගේ අම්මාගේ නම දිල්ශාරා.”

ඇයට ඒ නම උච්චාරණය කරද්දී පවා අමුත්තක් දැනේ. කිසිමදා නොදැනුණු කෙනෙකු පිලිබද ව හෘද සාක්ෂියට එකගව කතා කරගන්නට අපහසුතාවකින් ඇය පෙළෙමින් සිටින්නීය. පවන් කිසිම දිනෙක මේ ව්‍යාපාරික පවුල් අතරේ වත් නෑදෑ පරම්පරාවේ කිසිවෙකු අතරෙහි වත් දිල්ශාරා කියා කෙනෙකු ගැන අසා නැත.

“දිල්ශාරා” ඔහු එයම ප්රතිරාව කළේය. මතකයට නගන්න උත්සාහ කලත් පලක් නැත. සෞමි සෙමෙන් යළි සිය කටහඩ අවදි කළාය. 

“එයා… ඩ්‍රග්ස් ප්‍රොබ්ලම්ස් තිබුණ කෙනෙක්. අවුරුදු දහ අට වෙද්දී pregnant වෙලා. පස්සෙ මාව ලැබුණාට පස්සේ ඩිලිවරි කොම්ප්ලිකේශන්ස් වලින් මැරිලා.”

පවන් ගේ සුසුම් හඩ පමණ ක් ඇසිණි. ඔහු මේ මොහොතේ තමන් කිව යුත්තේ කුමක්ද කියා මුලින් කල්පනා කළාය.

“ එක එක පර්පස් වලට ගොඩ නැගිච්ච තොරතුරු දහස් ගාණක් අපි වටේ පිරිලා. අපි විශ්වාස කරන්න ඕන මොකක් ද නැත්තෙ මොකක්ද කියලා හිතාගන්නවත් බැරුව අපිව මංමුලාවෙන කාලයක් මේක.. මං හිතන්නේ අපි මේවයෙ ඇත්ත නැත්ත ආයෙ වතාවක් චෙක් කරලා බලලා පිළිගන්න ඕනෙ..” 

“ මටත් මුලින් ම මේ දේවල් ගැන තිබුණෙ එහෙම සැකයක් .. ඒත් මේ හැම⁣දේම හරි ලස්සනට ගැලපෙනවා පවන්. කිසි තැනක විශ්වාස කරන්න බැරි තත්වයක් නෑ. අපි අර මම්මාගෙ නෝට් බුක් එකෙන් හොයා ගත්ත ඔලිව් බෘ රෙසිපි එක.. ඒකෙ ඔරිජිනල් අතින් ලිව්ව කොලේ පවා මං දැක්කා පවන්.. ඒක ඔලිවර් පෙරේරා එක්ක ග්රර්ස් විජේබණ්ඩාර හදපු රෙසිපි එකක්.. ඒ දෙන්නා රෙසිපි 66ක් හදලා.. ඒත් අවසානෙදිසටහනක් වත් තියෙන්නෙ ඔය ගැන විතරයි.. ඒ නිසයි මේ රෙසිපි එක සික්ස්ටි සික්ස්ත් වෙන්නෙ..අපේ කැෆේ එක කැෆේ සික්ස්ටි සික්ස්ත් වෙන්නෙ.. අපි නොදැන හිටියාට මේ ඇත්ත අපි වටේම තිබිලා පවන්..” සෞමි හඩ හඩා තව බොහෝ දේ පවන්ට කීවාය. 


“ ඒ දෙන්නා අතරෙ තිබුණු එෆෙයා එක පහසුවෙන් ⁣හිතලා අතැරලා දාන්න පුලුවන් එකක් නෙමෙයි.. මේ කතාවෙ අපි තාම දන්නෙ නැති කොටසක් තාම තියනවා පවන්..” 

පවන් ඉන්නේ මේ සත්‍යයද නොදන්නා කරුණු කාරණා ගැන හිතාගන්නවත් බැරිව තුශ්නිම්භුතවය. 

“ ඒක ආදරයක් වෙනුවෙන් කල කැප කිරිමක්ද? නැත්නම් මගේ අම්මාගෙ පවුලේ අයගෙන් කල පලිගැනීම් ද කියලා මට ඇත්තටම තාමත් හිතා ගන්න බෑ. මමම අවුරුදු විසි ගාණක් හිතාගෙන ඉදලා තියෙන්නෙ මේ හැම⁣දේම මට කරුණාවන්තකම නිසා ලැබුණු දේවල් කියලා” 

“ අපි මොකද දැන් කරන්නෝන ?” පවන් ඇගේ මනස සන්සුන් කරන්නට සිතාගෙන කීවේය. 

සෞමි කෝපි කවුන්ටරයට හේත්තු වුවාය. 

“එයා මට ආදරේ කළාද නැද්ද කියලා මට තාම තේරෙන්නෙ නෑ.”

“ආදරේ කරන්න ඇති.”

“ඔව්… හැබැයි තවත් හැගීම්  එක්ක.”

ඇය වම් අතින් ඇස් පිහදා ගත්තාය. 

“එයා මාව හදලා තියෙන්නෙ… අම්මා වගේ වෙයි කියන බයෙන්.”

එහා පැත්තෙන් පවන් දිග සුසුමක්හෙළුවේය. .

“ මට මේක කියන්න .. මම ලංකාව ට එන්නද? ඔච්චර දේවල් ගොඩක් ඔයා තනියම දරාගන්නවාට මම කැමති නැහැ..” ඔහු ඇසුවේ ඒ මොහොතේ ඇයව තනිකර තමන් ඈතින් සිටිම වරදක්යැයි සිය හිත ඔහුට දොස් නගන බැවිනි. 

සෞමි වහා සිය කටහඩ සාමාන්‍යකරණය කර ගත්තාය. ඇයට පවන් ව තේරුම් ගන්නට පුලුවන. 

“නෑ. පවන්..මේදේවල් මම මැනේජ් කරගන්නම්.ඒවෙනුවෙන් ඔයා⁣දේවල් අවුල්කරගන්න එපා”

“මට දැනෙන්නෙ… මගේ ජීවිතේ පුරාවටම මම වෙන කෙනෙක්ගෙ කතාවක් ජීවත් වෙලා වගේ.”

තත්පර කිහිපයක් දෙදෙනාම කතා කළේ නැත.කෝපි මැශිමේ හඩ වරින් වර උස්පහත් වනවා පමණකි. 

“තව දෙයක් තියෙනවා,” සෞමි සෙමෙන් කීවාය. 

“මොකක්ද?”

“මට කෙනෙක්ව හොයාගන්න ඕන.”

“කවුද?”

“වීරසිරි.”

“ වීරසිරි කියන්නෙ අපේ පරණ ඩ්රයිව කෙනෙක්..”

“ මේ කතාව ඇතුලෙ වීරසිරි කියන්නෙ රහස් ගබඩාවක්.. අපි එයාට කතා කරන්නෝන ..”

“ මං වීරසිරි ගෙ ගෙදර එඩ්රස් එක හොයලා දෙන්නං. එයාට අපි තාම සල්ලි යවනවා මාසයක් ගානෙ. ඒ සේරම ලැස්ති කරල තියෙන්නෙ ග්රේස් මම්මා. ඒ නිසා ඔයා කියන විදියෙ ලොකු සම්බන්ධකමක් වීරසිරි එක්ක තියෙන්න ඇති..” 


““මට හිතෙනවා… මේ හැමදේම ඇත්තටම දන්න එකම මනුස්සයා එයා වෙන්න ඇති.”

ඇගේ කටහඬ දැන් ටිකක් ස්ථිරයි.

“මට දැනගන්න ඕන… මගේ අම්මා ඇත්තටම කවුද කියලා.ග්රේස් මම්මා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා.”

“ඒ වගේම…”
ඇය සුසුමක් හෙළුවාය.

“මට දැනගන්න ඕන… මාව ඇත්තටම ආදරෙන් හදාගත්තද… නැත්නම් පළිගැනිමකට  එහෙම කලාද කියලා.නැත්නම් ගිල්ට් එක මකාගන්නමේදේවල් කලාද කියලා.”

********

පෙර දිනයේ නීතිසමාගම සමග යොදාගත්. හමුවිම අවලංගු වීම ගැන කෞශල්‍යා සිටියේ කේන්තියෙනි. ඒ පිලිබද මිගාර ට කීමෙන් පසු ඔහු ද එය අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස නොසැලකීම තවදුරටත් ඇගේ කේන්තිය ඉස්මතු වෙන්නට හේතු විය. 

“ අනවශ්‍ය දේවලට මැදිහත් නොවී ඉන්න .” ඔහු කීවේය. එක්තරා විදියකට මිගාර පවා මේ කෞශල්‍යා ගේ හඹායැම් ඇසුරේ විඩාපත්ව හිදින්නට ඇතැයි බැලු බැල්මට කෙනෙකුට සිතෙන්නේය. තමන් ට ආදරයකින් තොර විවාහයකට සිර වන්නට සිදුවුයේම ව්‍යාපාරික පවුලක් වශයෙන් විජේබණ්ඩාර පවුලේ තිබු ධනය බලය පසුපස හඹා යාමේ සිරිත හේතුවෙනි. 

ඔහුට පවන්  ඒ තත්වයට පත් කරන්න ට උවමනා නොවීය. තමන් ගේ ජීවිතය කිසිම තෘප්තියකින් තොරව ගෙවී ගිය නමුත් පවන් ට එහෙම වෙන්න ට ඉඩ නොදෙන්නට තරම් මිගාර ගේ හදවත හැගීම්බරය. එබැවින් ඔහු කෞශල්‍යා ගේ තීරණ හෝ අදහස් කෙරෙහි වැඩි උනන්දුවකින් තොරව කතා කළේය. 

“ එහෙම බැහැ… මිගාර ..මට දැනගන්න ඕනෙ ග්රේස් ආන්ටි මොනවගෙ ප්ලැන් එකක් ද ලැස්ති කරල තියෙන්නෙ මේ ගෑනු ළමයා වෙනුවෙන් කියලා ..”

“ ඇයි ඔයා ඒ ගැන හොයන්නෙ.. ඊට කලින් මට කියන්න ඔයාට මොන වගේ ප්ලැන් එකක්ද තියෙන්නෙ ?” 

කෞශල්‍යා සුසුමක් හෙලුවාය. 

“ එයාව මෙහෙ තියාගෙන අපට පවන්ව හදාගන්න බැරිවෙනවා මිගාර”

“ ඇයි ඔයා එහෙම කියන්නෙ ?”

“ පවන් ගෙ හිත එයාට ගිහින් තියෙන්නෙ කියල මට හිතෙනව” 

කෞශල්‍යා ඇය ට කිසිවෙකු විසින් එවන ලද විඩියො ක්ලිප් එක ගැන නොකීවාය. මිගාර එහා පස හිද වඩාත් සන්සුන් ආකාරයකින් සුසුමක් හෙලුවේය. 

“ ඔයා හිතනවා නම් පවන් සෞමිට කැමති කියලා ඔයාට හිතාගන්නවත් බැරි තරම් ලොකු දෙයක් ඒක..”


කෞශල්‍යා විස්මයෙන් ඇලලී ගියාය. ඇය ⁣ග්රේස් ගැන කොහොමටත් හිතුවේ විකාර වැඩ කරන පිස්සු වයසක ගැහැනියක ගණයට දමාය. මේ මිගාර කී කතාව ඇයට ඇතිකලේ අමුත්තකි.


“ මට ඊයෙ ලෝ ෆර්ම් එකෙන් කතා කළා. ඔයා එයාලාගෙන් අපොයින්මන්ට් එකක් ඉල්ලනව කියලා. මමයි කිව්වෙ කැන්සල් කරන්න කියලා අපොයින්මන්ට් එක.. මොකද ග්රේස් මම්මා එයාගෙ ලීගල් ඩොකියුමන්ට්ස් වීව් කරන්න දීලා තියෙන එකම ෆැමිලි මෙම්බර් මම. එයාගෙ මල්ලිගෙ ළමයා විදියට..”

“ ඉතින් ඔයා ඒව කියවල තියනවද?”

 මිගාර යම් සැලකිය යුතු වෙලාවක් නිශ්ශබ්ද ව සිටියාය. 


“ අපෙ බිස්නස් එකෙ තියෙන  ග්රේස් මම්මගෙ ශෙයා එක 40%ක්… ඔයා ට හිතාගන්න පුලුවන් ඒ ශෙයා එකෙ වටිනාකම .. ඒ සම්පුර්ණ 40%ම අවුරුදු 25 දී සෞමි ට අයිති වෙනව. ඒ වෙනකම්ම සෞමි ජීවත් වුනෙ නැත්නම් ඒ සම්පුර්ණ වටිනාකමක් එයා නම් කරලා තියෙන බාලිකා නිවාසෙකට දෙන්න ඕනෙ. සෞමි ට පුලුවන් එයා කැමති කෙනෙකුට ඒවයෙ බලය පවරන්න.. ඒ හැර මේ පවුලේ කිසිම කෙනෙකුට ඒ ශෙයා එකෙ අයිතිය ලැබෙන්නෙ නැහැ..”


තවම කෞශල්‍යා ට මේ කිසිවක් විශ්වාස කල නොහැකිය. මෙතෙක් වෙලාවක්ම ඇය සිතා සිටියේ සෞමි නිකම්ම නිකම් කෙල්ලක මිස වටිනාකමක් ඇති කෙල්ලක කියා නොවේ. 


“ අනික කෞශල්‍යා ඒ ළම⁣යගෙ හැදියාව වැදගත්කම වගේ දේවල් වලින් දැන් ඉන්න ගොඩාක් ගෑනු ළමයින්ට කිට්ටු කරන්න වත් බැරි කෙල්ලෙක් … ඒ කෙල්ල අපේ පවන් වගෙ ගෑනු ලමයි මාරු කරන කොල්ලෙක්ට කැමති වෙනව කියනෙක මට විශ්වාස කරන්න වුනත් අමාරුයි. එ් ලමයව හැදුවෙ ග්රේස් මම්මා බොහොම කීකරු විදියට .. අදින පලදින විදිය වුනත් පිලිවෙලයි. තෝරගගන්න ඩිසයින් එකක් වුනත් ක්ලාසි… ඒ කෙල්ල තමන් ඇත්තටම පෝසත් බව දන්නෙ නෑ.. හැබැයි මුලු හදවතින් ම එයා හරිම පෝසත්..”

 මිගාර සිය අවංක අදහස එකින් එක නිරවුල් කල පසු කෞශල්‍යා ට කියන්නට දෙයක් තිබුණේ නැත. කෞශල්‍යා ඇතුළතින් සම්පුර්ණයෙන් ම බිදී ගියාය. 

“ මං හිත හිත හිටියෙ අපේ පවන්ට මේ වගෙ කෙල්ලෙක් කසාද බැදගන්න අවස්ථාව ක් නැහැනෙ කියනෙක” 

නමුත් කෞශල්‍යා ට එය ප්රමාණවත් නැත. 

“ ඔයා කියන විදියට මිගාර අපේ දරුව අපෙ බිස්නස් එක වෙනුවෙන් බිලි වෙනවා..මං හැමදාම හිතුවෙ අපේ පවන්ගේ ජීවිතය ඒ වගෙ කෙල්ලෙක් ට සීමා වෙන්න අවශ්‍ය නැහැ කියල. මොන ජිවිතයක් පවන් ට ලැබේවිද? මගෙ පුතාට..”

“ පවන් සෞමිට කැමති නම් ඒක පවන් ට වගේම අපේ බිස්නස් එකට වෙන්න තියෙන හොදම දේ..” ග්‍රේස් විසින් මේ කර ඇති අපරාධය තමන්ගේ දරුවාට මේ ආකාරයෙන් බලපාවියි ඇය කිසිසේත් නොසිතු බව ඇය මිගාරට කීවාය. 

“ කෝ මිගාර හොඳ පවුල් පසුබිමක්.. මේ අපි ඉන්න ගෙදරම කාත් කවුරුවත් නැතුව වැටිලා හීටිය කෙල්ලෙක් එක්ක මගේ දරුවට මගුල් ගෙයක් වත් ගන්න අවස්ථාවක් තියනවද?”

“ සෞමිට අවුරුදු විසිපහ වුණාම සෞමි මේ බිස්නස් වල කොටස් කාරයෙක් වෙනවා කියනෙක මොන විදියේ බලපැමක්ද ඇති කරන්නේ කියනෙක ඔයාට ‌තේරෙනවා ඇති. සෞමි කසාද බඳින කෙනා කවුද කියනෙක අපේ බිස්නස් එකටත් සෘජුව බලපානවා” 

මිගාර කියද්දී කෞශල්‍යා මෙතෙක් නොසිතු පැත්තකින් මේ ප්‍රශ්නය දෙස දකින්නට උත්සාහ කළාය. සෞමි ගේ කොටස් වල අයිතිකාරිත්වය ව්‍යාපාරයට ෂෘජුව බලපෑම් ඇති කරයි. කෙල්ලක අරන් හදා ගැනීම වෙනම දෙයකි. ඒත් තමන්ගේ පවුලේ ව්‍යාපාර අධිරාජ්‍යයේ තමන්ට අයිති ප්‍රභල කොටස මේ ආකාරයෙන් ඒ කෙල්ලට පැවරීම මොන අපරාධයක්ද කියා කෞශල්‍යා කල්පනා කළාය. ඒකත් ගෑනු දරුවෙකුට!

එයින් මෙයින් සිදුවුණේ කෞශල්‍යා ගේ හිතේ තිබු සැලසුම් සියල්ලම අනර්ථ වීම ය. ඇය උන්නේ කේන්තියෙනි. මේ පවුලේ මිනිස්සු සියල්ලෝම හිතාමතා සිය දරුවා ට අසාධාරණයක් කරනවාය කියන හැගීම ඇගේ සිතේ තදින්ම කලකිරිමක් ඇති කළේය. අනිත් අතට මේ පැරඩයිස් වහල යට සිය ආධිපත්‍යයට හානියක් ඇතිවීම ඇයට දරාගන්නටම නොහැකි විය. 

ඇයට හිතෙන්නේම කාත් කවුරුවත් නැති කුඩා කෙල්ලක විසින් තමන්ව උඩ මහලේ සිට ඇය ව ඒ කෙල්ල වෙසෙන පහත මාලයට ඇදගෙන ආවා වැනි හැගීමකි. 

පවන් ව මිගාර විසින් තමාත් කෞශල්‍යාත් අතර වු සංවාදය පිලිබඳව දැනුවත් කළේය. ඒ අතර ම එහි අතුරු ප්‍රශ්නයක් හැටියට දැනටම පවන් සහ සෞමි අතර සම්බන්ධතාවක් තිබේදැයි දැන ගැනිමේ උවමනාවක් ද ඔහුට තිබිණි. ඒ කෞශල්‍යා කිසිවිටෙකත් අනර්ථයේ සැක නොකරන ගැහැනියක වන බැවිනි

 

“ තාත්ති දන්නවනෙ.. මායි සෞමියි අතරෙ පුංචි කාලෙ ඉඳලම බැඳීමක් තිබුණා. මට ඇත්තටම මම සෞමිට ආදරෙයි කියනෙක දැනුනෙ නැ. එයා හැම වෙලාවෙම මට පේන්න හිටියා. නැති වෙනවා කියලා හැගීමක් කවදාවත් දැනිලා නෑ. එයා මගේ ජීවිතේ වෙනස් තැනක ඉන්නවා කියෙනෙක දැනෙන්න මට හුගාක් කල් ගත වුණා. තාත්ති… ඒ එයාට වෙන පිරිමි කෙනෙක් ළං වෙන්න උත්සාහ කරන කොට”

 මිගාර හිස සොලවමින් ඔහු කී දේ තේරුම් ගත්තේය. 


“ ජීවිතේ තව ඉස්සරහට යන්න තියෙනවා පවන්. ඔයා දන්නවා ඔයාට ලෝකෙ ඔිනම තැනකදි ඔිනම කෙනෙක් මුණ ගැහෙන්න පුලුවන් කියලා. අවුරුදු 24කුදි මිනිහෙක්ට ආදරේ ගැන ගන්න් පුලුවන් හොදම තීරණ ගන්න තරම් අත්දැකීම් තියනවද කියනෙක ගැන මට එච්චඒ විශ්වාසයක් නැහැ. මං නම් කියන්නේ සෞමිට හුගාක් ආදරේ කරලා කොයි වෙලාවක හරි එයාගේ හිත ඔයාගෙ අතින් බිඳුනොත් ඒක ලොකු ප්‍රශ්නයක්. අපට පේනවා නේ සෞමිට කවදා හරි අපේ බිස්නස් එකේ වැඩිම කොටසක් ලැබෙනවා. ඔයා මේ ඇති කරගන්න සම්බන්ධෙ ඒ හැම දේටම බලපාන්න පුලුවන්” 

පවන් දුරකතනයේ අනික් ඉම සුසුමක් හෙළුවේය 

“ දැන්ම සෞමි මේ ගැන දැනගන්න ඔ්නෙ නැ පවන්. එයාගෙ 25 වෙනි උපන් දිනේ වෙනකම් එයාව පරිස්සම් කරගන්න.. “  මිගාර පවන්ට කීවේ නිකම් නොවේ. ඔහුට සිය බිරිඳ ගැන හෝ විශ්වාසයක් නැත. 

“ තාත්ති… සෞමි දැනගෙන ඉන්නෙ එයා ඇත්තටම කවුද කියනෙක..”

“ මොකක් … ඒ කොහොමද පවන්?” 

මිගාර සිටියේ කලබලයෙනි. පවන් ඔහු දැන සිටි විස්තර මිගාරට කීවේය. ඔලිව පෙරේරා නම් මිනිසා සමග ග්‍රෙස් විජේබණ්ඩාර පැවති අනියම් සම්බන්ධය මේ සියලු කතාවේ මුලික තැන වි තිබිම ගැන මිගාරට වැටහිණි. අනියම් සම්බන්ධයක් හේතුවෙන් පරම්පරා ගණනක් මෙහාටත් දැන් ඇතිවි තිබෙන සංකිර්ණ තත්වය ගැන තමන්ට විශ්වාස කරන්නටත් බැරි දේවල් සිදු වෙමින් තිබේ. 

“ ඔලිවර් එක්ක ග්‍රේස් නැන්දාට සම්බන්ධයක් තිබුණා .. ඒක මම විතරක් නෙමෙයි අපේ පවුලේ හැමෝම දැනගෙන හිටියා. එයා ඇත්තටම ඒ මනුස්සයාට ආදරේ කළා. ඒ මනුස්සයාත් එහෙම කරන්න ඇති. සමහර වෙලාවට ආදරේ කියන්නෙ පේන්න තියෙන දේට වඩා ගොඩක් වැඩි වෙනස් බැදීමක්” 

ඔහු කියා ගත්තේ තමන්ටමය. 

“ සෞමි එයාගෙ පවුල කවුද කියනෙක දැනටමත් දන්්නවා නම් පවන්, අපි ඉන්නේ ටිකක් බරපතල තැනක. මොකද ඒ පවුලේ අය මොන වගේ අයද කියන්න අපි දන්නේ නැ. අපට ග්‍රේස් ආන්ටි මේ ලියලා තියෙන දේවල් වෙනස් කරන්න බැහැ. අපි සෞමි එක්ක පුලුවන් තරම් හොදින් දේවල් බේර ගන්නෝන”

පවන් සිටියේ උභතෝකොිටිකය. ඔහු හිතින් හැමදේම කිරා මැන බැලුවේය. තමන්ගේ හිතේ තියෙන ප්‍රේමය ගැන හිතුවේය. 

“ අපි ආදරේ කියලා සමහර කාලවලදී වෙන වෙන හැගීම් වලට රැවටෙනව. ඔයාගේ හිතේ සෞමි ගැන තියෙන හැගීම මොකක්ද කියනෙක වෙනම ඇනලයිස් කරලා බලන්න. හැබැයි මේ වෙලාවේ සෞමිට අපිව අත් ඇරලා යන්න ස්පේස් එකක් හදන්න එපා. ඒකට ඔයාගෙ ආදරේ යුස් කරන්න කියලා මම කියන්නෙ නෑ හැබැයි අපි ස්ට්‍රැටජික් වුනාට කමක් නෑ. ඔයා ලංකාවට යන්න. මොකද අම්මි දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්නේ නෑ. කේන්ති අරන් දේවල් අවුල් කරාවි කියලා බයක් මට තියෙනවා. .” 

පවන් තාත්තා සමග තවදුරටත් සාකච්ඡා කළේය. සෞමි මේ කිසිවක් ගැන දැන නොසිටි එක හොඳය. නැත්නම් ඇයට තවදුරටත් දැනෙන්නේ තමන් වෙන මිනිස්සුන්ගේ ජීවිත වල එක් කොටසක් වී ඔවුන් ට උවමනා හැටැයට ඒ අතට මේ අතට ගමන් කරනවා කියා විය හැකිය. 


කෙසේ වුවත් මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට පවන් ලංකාවට ආවේය. මුලින්ම ගියේ කැෆේ 66ත් වෙතය. මල් මිටියකුත් රැගෙනය. ඒ නම් රගපෑමක් ලෙස නොවේ ඇත්ත ආදරයෙන්මය. ඒ වෙන විට කෝපි හලේ කෝපි බොමින් සිටි විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු කළේ මල් මිටියක් අරන් ආ ඇගේ පෙම්වතාත් වින්ටේජ් කෙල්ලත් පින්තුරයට ගෙන තුම්මුල්ලේ කෝපි කඩය පේජ් එකට ටැග් කර සමාජ මාධ්‍යට අත හැරීමය. මෙයින් සිදුවුයේ පවන් සහ සෞමි ගැන දැන ගත යුතු නැති මිනිස්සුන් පවා ඒ දෙදෙනා ගැන දැන ගැනීමය. මෙය දැකි සුලලි වහා සිය සහෝදරයාට දුරකතන ඇමතුමක් ගත්තාය. 


“ ඔක්කොටම කලින් ඔික ෆේස්බුක් දාගත්තාම හරිද?” ඇය ඇසුවාය. 

“ ඒක ගැන එච්චර හිතන්න එපා. මේක අපේ ප්‍රමෝශන් එකේ කොටසක් විදියට යද්දෙන්. අපි මේ වගේ ප්‍රමොශන්ස් කීපයක් ඉස්සරහට කරලා දැම්මාම ඔය රස්නෙ නැති වෙලාම යනවා” 

අම්මා ගැන දන්නවා නේදැයි අක්කා අසද්දී පවන් අක්ා කියු දෙයට හිස නමා පිී ගත්තේය. 


ඔහු අම්මාට ඇමතුමක් දී ඇයව තනිව හමුවන්නට කතා කර ගත්තේය. ඔවුන් ට තිබුණේ එවැනි සම්බන්ධතාවන්ය. අම්මාව හමුවන්නට වෙලාවක් යොදා ගන්නට උවමනා විය. තාත්තා නම් බොහෝ විට කතා කලේ දුරකථන භාවිතයෙන්මය. අම්මා සමග මේ ගැන කෙලින්ම කතා කිරීම හොද උත්සාහය ක් වුනත් ඇයව දෙයකට නම්‍යශීලී කර ගැනීම කෙතරම් අසිරුද යන්න මිගාර ඔහුට පැහැදිලි කර දී තිබිණි . 


ඇයව හමුවෙන්න ඔහු යොදාගෙන තිබුණේ ලෝක වෙඳ මධ්‍යස්තාන ග⁣ොඩනැගිල්ල⁣ේ විජේබණ්ඩාර ව්‍යාපාර කාර්යාලයේදී ය. පවන් කාමරය තුලට ඇතුළු වනවිටත් අම්මා සිටියේ වීදුරු කවුලු වලින් පහත ලෝකය දෙස බලාගෙනය. පවන් ද අම්මා අසලට ඇවිත් නිශ්ශබ්ද ව පහත ලෝකය දෙස බැලුවේය. ඇය සෙමෙන් හිස හරවා තම තරුණ ළමයා දෙස බලා සිටියාය. 


“ අම්මි මොකද බලාගෙන ඉන්නෙ” පවන් කෞශල්‍යාගෙන් ඇසුවේය. ඒ මුහුණේ කවදාවත් දැක නැති වෙනස් තරුණ පෙනුමක් ඇති බව ඇයට වැටහිණි. මේ මුහුණ මේ තරම් වෙනස් වී කඩවසම් වි ඇති බව තමන්ට නොදැනෙන්නට තරම් දුරස් බවක් ඇයත් ඇගේ දරුවාත් අතර ඇති වුයේ කෙලෙසදැයි හිතැතුළින් ඇය සිතා බැලුවාය. ජීවිතය පුදුම ලෙස වේගයෙන් ඉදිරියට ගලා යයි. 


“ ඔයා කොච්චර හැන්ඩ්සම් වෙලාද කියල..”

පවන් හිස අතගා ගනිමින් හිනැහුණේ ය. 

“ අම්මි මාව කාලෙකින් දැක්කෙ නැහැනෙ අම්මී… ඒකයි එහෙම පේන්නෙ.”

“ එකඅතකට තාත්ති කියන කතාව ඇත්ත … ඔයාට ඔයාගෙ ජීවිතය ගෙවන්නට ඉඩ දෙන්න ඕනෙ.. තාත්තියි මමයි අක්කියි ඔයායි ලෝක හතරක ජීවත් වෙනවා.. අපි එක මේසෙක කෑම කාලා නැහැ සැහෙන කාලෙකින්. කොන්ෆරන්ස් කෝල් එකකින් හතර දෙනා කතා කරන්නේ .. මෙහෙම පවුලක් ඇතුලෙ අපි හැමදාම ජීවත් වුණෙ.  සුලලි බැන්දට පස්සේ ත් එයාගෙ ජීවිතය මේ විදියට ම සංකීර්ණ වේවි. ඔයා හරි ඒ ට්රැක් එකෙන් පිට පැනලා ඔයාට ජීවිතය ක් හොයා ගන්නවා නම් කැමැත්තක් කරන්න අපි ඉඩ දෙන්නෝන..” 

කෞශල්‍යා තමන්ට ම කතා කරගන්නවාක් මෙන් පවන්ට දැනිණි. අම්මා අනවශ්‍ය පිඩනයකට ඇද දැමුවේ තමන්ය කියන අවුල පවන්ට යවුලකින් අනින්නාක් මෙන් දැනුණත් ඒ මොහොතේ ඒ රිදීම පසෙකට කර තැබුවේය. 


“ සෞමි කියන්නේ කවුද කියලා සෞමිත් දන්නවා .. මාත් දන්නවා තාත්තිත් දන්නවා අම්මි.. මට හිතෙන විදියට එයාට හැමදේම ලැබිලත් කාත් කවුරුවත් නැති වුණේ අපේ ගේ ඇතුළෙ හිර වුණාට පස්සේ .. එයාගෙ පවුලෙ අය එයාව සෑහෙන්නම හෙයෙලා තියෙනවා..ඒත් ග්‍රේස් මම්මා සෞමිව එක්ස්පෝස් වෙන්න ඉඩ දීලම නැහැ.”

පවන් හුස්මක් වත්.නොහෙලා කියාගෙන යනවිට කෞශල්‍යා පවන් මේ වෙහෙසෙන්නේ කුමකටදැයි වටහා ගෙන අවසන්ව තිබිණි. 


“ ඔයාට ඕන සෞමි අපේ පවුලට කොච්චර ගැලපෙනවද කියන එක පෙන්නන්ඩ නං.. ඒක ගැන එච්චර හිතන්න එපා..” කෞශල්‍යා කීවාය. “ එයින් මගේ හිතේ සෞමි ගැන තියෙන ඉමේජ් එකවෙනස් වෙන්නෙ නැහැ. මම ඉපදුණු පවුල ඇතුලෙ මම පොඩි කාලෙ ඉදලා ම පුරුදු පුහුණු වෙච්ච දේවල් තියනවා. තාත්ති එක්ක මේ මැරේජ් ලයිෆ් එක මේ විදියට ගෙවන්නට ඒ හැමදේම හේතුවක් වුණා. අපි හුගාක් ආදරෙන් ඉන්නවා වගෙ නොපෙනුනාට අපි දෙන්න කිසිම අනියම් සම්බන්ධතාව ක් නැතුව එක එක්කෙනාගෙ ඉමේජ් එකට රෙස්පෙක්ට් කරනවා. සමහරවිට අපි අපේ පෞද්ගලික සතුට කැප කරලා ඇති. ඒත් මේක තමයි අපි ලැස්ති වෙලා තෝරා ගත්ත ජීවිතය …” 


කෞශල්‍යා සෙමෙන් කීවාය. 

“ මම දන්නවා එක ම ස්තර දෙකක මිනිහෙකුයි ගැනියෙකුයි එකට ජීවත් වෙන එක කොයිතරම් පහසුද කියලා. හැබැයි ඔයාට ඒ පහසු ගතිය දැනෙයි කියලා මට හිතෙන් නෑ. තාත්ති නම් හිතන්නේ ඔයා යි සෞමියිදෙන්නා පුංචි කාලෙ ඉදලා දන්නවා. ඒවගේම මේ ග්රේස් මම්මාගේ ශෙයා එකේ කතාව මේ හැම⁣දේම නිසා ඔයා සෞමි එක්ක එකතු වෙන එක හොදයි කියලා. මගෙපුතා ඔයා

.. මං කැමති ඔයාට හොදක් වෙනවට. .. මං දැකල තියෙනව කිසිම දෙයක් නැතුව හිටපු ගෑනු පස්සේ හිටිහැටියේ පොහොසත් වුනාම එහෙම නැත්නම් මෙච්චර කාලයක් තමන් ට නැතුව තිබුණු තත්වයක් හම්බ වුනාම වෙනස් වෙන හැටි.. මේ හැම⁣දේම ⁣මම ඔයාට කියන්නෙ පවන්.. ඔයාට තාම මේවා ගැන කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති හින්දා..”


පවන් අම්මාව වැළද ගත්තේය. 


“ ළග ඉදන් බදාගෙන තුරුලු කරගෙන හදා වඩා ගන්න බැරි උනා කියලා අම්ම කෙනෙකුට තමන්ගෙ දරුවා ගැන තියෙන හැගීම වෙනස් වෙන්නෙ නෑ. ඔයා කොමුප්ලිකේශන්ස් අඩු ජීවිතය කටයනවා නම් ඊට වඩා දෙයක් මට ඕන නෑපවන්..” 


තරුණයා අම්මා කවුරු දැයි කියා දැන සිටියේ ය. කිසිවිටෙකත් අම්මා ගෙන් සෞමිට කරුණාවන්තකමක් අත්පත් කර ගැනිමට අසිරු බව දැන සිටියේය.අම්මා උද්දච්ච ඒ වගේම නම්බුකාර ගැහැනියකි. ආදරය ගැන ඇත්තේ තාක්ෂණික අදහසක් පමණය. නමුත් අම්මා මේ දරා හිදින්නේ සාමාන්‍ය උසස් සමාජයේ මති මතාන්දර ය. ඇත්තටම මමොන මොන අතෘප්තිකරදේවල් ජීවිතය තුළ පැවතියත් තාත්තා කිසි අවස්ථාව ක අනියම් සම්බන්ධතාව කට යොමු වුයේ නැත. අම්මා ද එහෙමය. ඔවුන් එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් පසුවුහ. එක අතකට ජීවිතය කියන්නෙ තමන්ගෙ සතුට වෙනුවෙන් ම පමණක් ආත්මාර්තකාමි වීමක්මද නොවේ. 


කෙසේවෙතත් තවමත් තරුණ පවන් ගේ හිතේ අම්මාගේ වචන සමග ඔහු ගත් තීරණය ගැන විචිකිච්චාවක් ඇතිවුයේ නැතැයි කියනවා නම් එය මුසාවකි. මන්ද‍, මේ කියනා හැම තත්වයක්ම විය හැකි මෙන්ම විය නොහැකි තත්වයන් තිබේ. ඒ ගැන හිතන්නට දැන්ම උවමනා නැත. වෙන දෙයක් වෙද්දාවේය. සෞමි වෙනුවෙන් යමක් කරන්නට තියේ නම් එය ඉටු කිරීම තමන් සතු වගකීමක් කියා ඔහු විශ්වාස කළේය. 

******

වීරසිරි ‍, පවන් ට යාන්තම් වත් මතකයේ හිටියේ නැත.නමුත් වීරසිරි සේවයේ නැතත් ඔහුට වැටුපක් වශයෙන් යම් මුදලක් මාසිකව ඔහුගේ බැංකු ගිණුමට සමාගමේ ගිණුමෙන් හුවමාරු වන අතර පවන්  එ් ගැන දැන සිටියේ ය. මානව සම්පත් අංශයෙන් ඔහුගේ විස්තර සොයා ගත් ඔහු මිතුරෙකු සමග කොළඹින් බොහෝ දුරක ඉතා සාමාන්‍ය ජීවිතය ක් ගෙවන විශ්රාමික රියැදුරා සොයා ගෙන ගියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේය. 


බෙලිඅත්ත පිවිසුමෙන් වාහනය පිටතට දමා බෙලිඅත්ත නගරයෙන් මුල්ගිරිගල පාරෙන් මදක් ඇතුලට වෙන්නට වු නිවසක් අසල රිය නතර කරන්නට පවන් මිතුරාට උපදෙස් දුන්නේය. 


“ මැප් එකෙ විදියට නම් මේක තමයි ගෙදර.. මිදුලේ එක කොලයක් නෑ. හොදට අතුගාපු ඉදල් මාක්ස් තියනවාජ ඒ කියන්නෙ ගෙදර කවුරු හරි ඉන්නවා කියනෙකඩ අපි ගෙදරට ගිහින් කතා කරමු..”

ඔවුන් ගේ සෙලවෙන රුප දැකිමෙන් ගෙදර දොරකඩට ඇවිද ආවේ තමන් සොයන කෙනාය කියා පවන් සිතුවේය. තම විඩාපත් ඇස් සිහින් කර ගෙමිදුලෙහි උන් තරුණයන් දෙස බැලු

තරමකට වයෝවෘද්ධ පිරිමියා දෙදෙනාටම ගෙතුලට ආරාධනා කළේය. එකිනෙකා ගේ මුහුණ බලා අභිනයෙන් එකග වු තරුණයන් ගෙතුලට ඇතුල් වු පැරණි තාලේ තේක්ක පුටු සෙටියේ තනි පුටු වල ඉද ගත්හ. පවන් ගේ ඇස් වහා ගමන් කලේ බිත්තිය මතවු රාමු කළ පින්තුර වලටය. 


ඉන් එකක ග්රේස් මම්මා සහ පැරණි ජර්මානු කාරයක් අසල තරුණ වියේ ගත් ඡායාරුවක් තිබිණි. මේ වීරසිරි බව පවන් ට විශ්වාස ය. තමන් මිගාර විජේබණ්ඩාර ගේ පුතු බව කී පසු වීරසිරි ඔහුට සැලකුවේ බොහෝ ආදරයෙනි. ඒ මිනිසා තුල අවංක භාවයක් වගේම පක්ෂපාතී භාවයකුත් දැකිය හැකිවිය. තමන් ආ කාරණාවක් කෙලින්ම කතා නොකර ග්රේස් මම්මා ගැන කතාව පටන් ගන්නට පවන්ට හැකිවුණේ ඔහුව තමන්ගෙ දුක සැප බලන්නට මිගාර විසින් එවන්නට අතැැයි වීරසිරි විශ්වාස කළ නිසාය. 

“මිස් ග්‍රේස් හොඳ මනුස්සයෙක්ද කියලා ඇහුවොත්… මට තාමත් උත්තරයක් නෑ මහත්තයා.”

ඔහු තමන්ගේ අත් ඇගිලි එකිනෙක දවටාගෙන නිහඩව බලාගෙන සිටියේය.පවන් ඔහුට කතා කරන්න ට ඉඩදී නිශ්ශබ්ද ව සිටියේය. ඔහුට අවශ්‍ය වුයේ  ඇත්ත දැනගන්නටය
අවුරුදු ගාණක් මිනිස්සු අඩක් කියපු, ඉතුරු ටික සගවන ලද සාහසික ඇත්ත.

“මම මැඩම් එක්ක තමයි වැඩ කළේ අවුරුදු තිස්පහක් විතර,” වීරසිරි මද හිනාවක් පැවේ අතීතය සිහිපත් වී වාගේය.. 

“මිනිස්සු හිතනවා සල්ලි තියෙන මිනිස්සුන්ගෙ ජීවිත හරි පහසුයි කියලා. කිසිමප්රශ්නයක්.. නැහැ කියලා. ඒත් ඒ ගෙදර ඇතුළෙ මම දැක්කේ… ග්රේස් මැඩම්ගෙ ආදරෙයි ජීවිතෙයි එක්ක තිබුණු පටලැවිල්ල. ඔලිවර්මහත්තයා මැඩම් කසාදනොබැන්ද දුක.. මැඩම්දරාගන්නඋත්සාහ කරපු විදිය..මැඩම්ටහොදකෙනෙක් කසාද බැදගන්නතිබුණා. ඒත් මැඩම් තනියමම ඉන්නතීරණය කළා..ඒඅතින්විජේබණ්ඩාර පරම් රාවෙ ගෑනු කියන්නෙ ආදරේවෙනුවෙන්තමන්ගෙ ජීවිතේ උනත් කැප කරන විදියෙ ගෑනු…”

ඔහු මොහොතකට නිශ්ශබ්ද වුවේය. පවන් ඔහුගේ කතාවට බාධා කරන්න උත්සාහ කළේ නැත.

“ ග්රේස් නෝනා යි ඔලිවර් මහත්තයායි දෙන්නා රට ඉදලා ආවට පස්සේ ඔලිවර් මහත්තයා අම්බලන්ගොඩ පැත්තෙ එයාගෙ ගමේම කෙනෙක්ද කොහෙදෝ කසාද බැන්දා.. අපේ මැඩම් ලංකාවට ඇවිත් ගියා දෙතුන් පාරක්ම. පස්සෙ මැඩම් මෙහෙ ආවා පදිංචියට .. ඒ ඇවිත් පදිංචි  වුණේ මැඩම් ට අයිති වෙන ගෙයක.. මේ කාලෙ තමයි ඔය දිල්ශාරා නෝනව කොළඹ ඉස්කොලෙ කට දාන්න ⁣මැඩම්ගෙ ගෙදර නතර කළෙ..” 

“දිල්ශාරා නෝනා පොඩි කාලෙ ඉඳන්ම ටිකක් කැරලිකාරයි. තාත්තා සෑහෙන සැරට ඉදලා නීති දාලා හදලාතිබුණේ.නමුත් මැඩම් ඇදුම්පැලදුම් වලටඑහෙම කිසිමනීතිය ක් දැම්මෙ නෑ.. දිල්ශාරානෝනත් හරිඉක්මනින් අලුත්දේවල් වලටපුරුදු වුණා.”

පවන් ගේ ඇස් එසැවිණි. 

“. මම තමයි උදේට school දාන්න ගෙනියන්නෙ. එක්ක එන්නෙ..” 

“එයා දැනගෙන හිටියෙනැද්ද?” පවන්ටත් වීරසිරි ටත් කතා කරගෙන යන්නට ඉඩදී පවන් ගේ මිතුරා දොරකොඩින් එලියට ගියේය. ඒ නිසාම මේ සංවාදය තුළ ඇති පෞද්ගලිකත්වය ට වැඩි වටිනාකමක් ලැබිණි. 

“පස්සෙ දැනගත්තා. පොඩි දරුවෙක්ට දරාගන්න අමාරු විදියට. තාත්තා වෙන ගැහැනියක් එක්ක ඉන්නවා කියන එක… ඒක එයාට වෛරයක් වගේ හිතඇතුළට ගියා.”

ඔහු දිගු හුස්ම ක් හෙලුවේය.

“ ඇත්තටම එතනින් තමයි ඛේදවාචකය පටන් ගත්තේ.. මොකද දිල්ශාරා නෝනා හිතාගෙන හිටියෙ එයාගෙ අම්මා හරිම අහිංසක ගැනියක් කියලා. තාත්තා මෙි විදියට වෙන ගෑනියක් එක්ක තමන්ගෙ අම්මව රවට්ටනවා කියනෙක එයාට දරාගන්න අමාරු වුණා. ඒ දවසින් පස්සෙ දිල්ශාරා නෝනා වෙනස් වුණා. රෑට ගෙදර එන්නෙ නෑ. වැරදි යාළුවො. බීම. drugs… මැඩම් එයා පස්සෙන් ගියා. හැම තැනම හෙව්වා.”

“ආදරේ නිසාද?”

ඒ ප්රශ්නය බැරැරුම් වැඩි වුවාදැයි සිතෙන තරමට වීරසිරි නිශ්ශබ්ද ව සිටියේය. සුසුම් කීපයක් හෙළුවේය. සුළග හමනාකාරය දෙස බලා උන්නේය. ඔහුම ඔහු සිහිපත් කරනා අතීතය තුළ අතරමං වු ගතියක් පෙනිණි. 

“ඒක තමයි මට හරියටම කියන්න බැරි මහත්තයා,”

පවන් හිස සෙලෙව්වේය. 

 “සමහර වෙලාවට මට හිතුණා මැඩම් ඇත්තටම දිල්ශාරා නෝනට ආදරේ කළා කියලා. තමන් කරපු වරද හදාගන්න වගේ. ඒත් සමහර වෙලාවට… එයා දිල්ශාරා නෝනව බය කරලා control කරන්න හැදුවා.ඒවෙලාවලට මැඩම් හරි කෘරවිදියට හැසිරුණෙ. දිල්ශාරානෝනගෙතොල පිපිරෙන්න ගහලා තියෙනවා. හැබැයි එක අතකට එයාව ඩ්රග්ස්වලින් ගලව ගන්නත් ඕන වුන හින්දා.”

පවන් තුල මහා බරපතළ සිතුවිලි කන්දරාවක් ඇතිවෙමින් නැතිවෙමින් තිබිණි. ඔහු මේ වීරසිරි විසින් විස්තර කරන්න ට යෙදුණ ග්රේස් විජේබණ්ඩාර ත් ඔහු දැන සිටි ග්රේස් විජේබණ්ඩාර ත් අතර වෙනස්කම් ගැන කල්පනා කලේය. 

“ මැඩම් දිල්ශාරා නෝනට එක පාරක් කිව්වා… ඔයාගෙ තාත්තාට මේ එක දෙයක් හරි මං කිව්වොත් ඔයාට ආයෙත් ඔයාගෙ යාලුවන්ගෙ මුණක් වත් බලන්න උන් ඉතුරු වෙන්නෙ නැහැ ’ කියලා. ඒක මම අහගෙන හිටියා.”

“ එතතොට කොහොමද දිල්ශාරා ප්රෙග්නන්ට් වෙන්නෙ?”

“ ඒ යාලුවෙලා හිටිය කොල්ලා එක්ක පැනලා ගිය නිසා. ඒ කොල්ලා හැබැයි ඒ තරමටම නරක එකෙක් නෙමෙයි. ඩ්රග්ස් පාවිච්චි කරපු කෙනෙක් නෙමෙයි මං දන්න විදිහට. දෙන්නා හම්බ වෙලා තිබුණ ඔය මොකක් හරි ඉස්කෝලෙ න් පිට ක්රිඩා තරගයකදි වගේ දේකදි. දිල්ශාරා නෝනා හරි දක්ශයි මිටර් හාරසිය දුවන්න. ඩ්රග්සි පාවිච්චි කරන්න කලිනි ඉසිකෝලෙන් හරියට සැලකිලි තිබුණා. “

“ කොහොමද ඒ පැනල ගිය දවසෙ ගෙදර තිබුණු තත්වෙ?”

“ දිල්ශාරා නෝනා පැනල ගිහින් කියලා දැනගෙන මැඩම් හොදට ම ඇඩුවා. ඔලිවර් සර් ඇවිත් මැඩම්ට හොදටම ගැහුවා.  අපි කාටවත් කරගන්න දෙයක් තිබුණෙ නැහැ. මට හරි පුදුමයි .. මැඩම් ලෝකෙ ඉස්සහම සිංහයෙක් වගේ හිටියට ඔලිවර් සර් ගාව හරිම නිශ්ශබ්ද කෙනෙක්. එදා තමයි මැඩම් සර් දෙන්නා හරියටම වෙන් වුනේ.. මං හිතන්නේ දෙන්නා අතරෙ කොහොමටත් ආයෙත් සම්බන්ධ කමක් හැදුනෙ නැහැ.”

පවන් නෙතු අයා බලා උන්නේය. ඔහුගේ හිතට ග්රේස් ගේ අසරණ කම ගැන වේදනාවක් ගලා එමින් තිබේ. 

“ඔලිවර් සර් ගහලා බැනලා ගියාට පස්සේ මිස් ග්‍රේස් හොඳටම බිදිලා හිටියෙ. හැබැයි එයා ඒක පෙන්නුවේ නෑ. අර කොල්ලව පොලිසියට අල්ලලා දීලා දිල්ශාරා නෝනවා හොයලා ගෙනාවා. ගෙදර තියාගත්තා. නමුත් ඒ වෙනකොට පරක්කු වැඩියි.”

“ඒකොල්ලටමොකදඋණේ”

“හිරේදි මැරුණා,” ඔහු නිහඬව කිව්වා. “ඊට පස්සෙ තමයි  දිල්ශාරා නෝනාසම්පුර්ණයෙන් ම ඇතුළෙන් මැරුණෙ.”

පවන් ගේ හදවත සීතල විය. මේ කතාන්දරය සෞමිට මොන වගේ බලපෑමක් ඇති කරාවිද කියා ඔහු මොහොතකට සිතුවේය. 

“දරුවා හම්බවෙලා ටික දවසයි. complications… body එක දරාගත්තේ නෑ.”

මොහොතකට දෙදෙනාම කිසිවක් කතා කළේ නැත. 

“ අමාරු වෙලා හොස්පිට්ල් එක්ක ගියෙත් මම මයි. බබා හම්බ වෙද්දී පුදුම කරදර ගොඩක් තිබුණෙ.. අම්මගෙ දුර්වල කම එයාගෙ අනවශ්‍ය පුරුදු නිසා බබාට ඇතිවෙලා තිබුනු සංකුලතා.. ඒත් බබාව මැඩම් අතට ගත්ත විදිය මට තාම මතකයි,” 

වීරසිරි කම්පාවෙන් සුසුමක් අත හැර පවන්දෙස බලා සිටියේය.

. “එයා ඒ බබාව අල්ලගෙන අඬපු විදිය… මම මැඩම් ගෙ ඉතිහාසෙ පුරාවට දැකපු ඇත්තම හැඟීම ඒක වෙන්න ඇති.”

“එතකොට මැඩම් සෞමිට ආදරේ කළා…එහෙමද”

“ඔව්,” ඔහු ඉක්මනින් කීවේය.

. “ඒක නම් ඇත්ත. ඒත් ඒ ආදරේ සාමාන්‍ය එකක් නෙමෙයි මහත්තයා.”

මේ මොහොතේ පවන් සහ වීරසිරි අතර හුවමාරු වෙමින් පැවතියෙ ඇස් බැල්ම පමණකි. 

““මැඩම් ට ඇත්තටම ඕන වුණේ දිල්ශාරා නෝනව බේරගන්න. ඒත් සමහර වෙලාවට… ආරක්ෂා කරන එකයි පාලනය කරන එකයි අතර වෙනස මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.”

“ඉතින්… මැඩම් නරක කෙනෙක්ද?” පවන් අන්තිමේදි ඇසුවේය.

දුකින් හිනැහුණ වීරසිරි සිය බිත්තියේ එල්ලා ඇති ග්රේස් ගේ පින්තුරය දෙසට ඇවිද ගියේය. 

“නෑ මහත්තයා… 
හැබැයි හොඳ කෙනෙක් කියලාත් මට කියන්න බෑ.”

“මැඩමි ආදරේ කළා.
ඒත් ඒ ආදරය වෙනුවෙන් ම වෙන් කරගත්ත ජීවිතයක් තිබුණා. ඔලිවර්කියන්නෙ යක්සයෙක්වගෙ සැරපරුශ මිනිහෙක්.. කිසි දයාවක් මම නම් දැක්කෙ නෑ. ඒත්අපේ මැඩම් පිස්සුවෙන්වගෙනෙ ආදරේකලෙ ඒ මිනිහට”

“දිල්ශාරා නෝනා නරක අම්මා කෙනෙක් කියලා ගොඩක් අය ට හිතෙන්න ඇති මහත්තයා… ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් අමාරුයි.”

ඔහුගේ හඬ ඇතුළෙ තිබුණේ අවුරුදු ගාණක් නිහඬව තියාගෙන හිටපු මතකවල බර කියා පවන්ට වැටහිණි. කිසිම කිසිවෙකුට අහන්නට උවමනා නොවු රහසිගත දේවල් වලින් පිරීගිය ඇත්ත වීරසිරි අවසානය ක් නැතිව පොළවේ ගසමින් සිටියේය.පවන් වචනයක් වත් නොකීවේය. 

“දිල්ශාරා නෝනා ප්රෙග්නන්ට් වෙලා ඉන්න කාලෙ… එයාට ජීවත් වෙන්න ඕනකමක්වත් හරියට තිබුණේ නෑ වගේ. ඒත් බබා ගැන කතා කරද්දි මුහුණ වෙනස් වෙලා යනවා මම දැක්කා.හරියටම ඉතුවෙලා තියෙන අන්තිම  ම අන්තිම බලාපොරොත්තුව ඒ දරුවා වගේ හැගීමක් ..”

ඒ එලියෙන් ආලෝකමත් වු ගතියක් විරසිරි ගේ මුහුණ මතද ඇතිවිය. 

“රෑට හිටිය ගමන් හොස්පිට්ල් ගෙනියනවා කැමක් බීමක් නැතුව … කාර් එකෙන් hospital එකට ගෙනියනකොටත්… එයා අත තියන් හිටියේ බඩට‘මගේ පැටියා මට වඩා හොඳ කෙනෙක් වෙන්න ඕන’ කියලා කියවනවා..” 

“බබා හම්බවුණාට පස්සෙ… දිල්ශාරා නෝනා ඒ දරුවා දිහා බලපු විදිය මට තාම මතකයි. හරියට බයවෙලා වගේ. ආදරේ වැඩි කමට බයවෙලා වගේ.”

“බය?”

“ඔව් මහත්තයා… තමන් වගේ වෙයි කියලා.”

“එයා ඩොක්ටකෙනෙක් එක්කත් රණ්ඩු වුණා. බබාට කිරි දෙන්න කියලා කිව්වම… එයා අඬ අඬා කිව්වා ‘මගේ ඇඟ ඇතුළෙ තියෙන අපිරිසිදු ලේ මේ දරුවට යන්න බෑ’ කියලා.”

අසරණ ගැහැනියක තමන්ගෙ ආත්මය පිලිබද නැගෙන පිළිකුලෙන් අතරමංව සිටින්නට ඇත. තමන් විසින් ම විනාස කරගන්න ට යෙදුණ ජීවිතය ගැන දුක් වෙන්නට ඇත. 

“ඩ්රග්ස් වලට ඇබ්බැහි වෙලා හිටපු කාලෙ ගැන එයාට තිබුණේ ලොකුම පිළිකුලක්. තමන්ගෙ ඇඟ… තමන්ගෙ ජීවිතේ… තමන්ගෙ ලේ පවා අපිරිසිදුයි කියලා එයා හිතුවා.”

“ඒත් එයා දරුවට ආදරේ කළා…නේද”

“ගොඩක්,” ඔහු වහා  කිව්වේය. සියමොහොතකනිශ්ශබ්ද තාවය පවා වැරදි අර්ථකතනයක් ඇති කරාවියි බායක් ඇතිවුවාවගේපෙනිණි. 

“සමහර අම්මලා දරුවො අල්ලගෙන ආදරේ පෙන්නනවා. දිල්ශාරා නෝනා එහෙම නෙමෙයි. එයා ආදරේ කළේ දුරින් ඉඳන් බලාගෙන වගේ. තමන් ළඟට ගත්තොත් දරුවත් විනාශ වෙයි කියලා බය මනුස්සයෙක් වගේ.”එයාගෙ තාත්තා ගැනත් ලොකු තරහක් තිබුණා,” 

ඔහු සෙමෙන් කීවේය. 

 “පවුල විනාශ කළේ තාත්තගෙ අනියම් සම්බන්ධ කම කියලා දිල්ශාරා නෝනා හිතාගෙන හිටියා. හැබැයි අන්තිමට එයාට තාත්තට සමාව දෙන්න බැරි වුණේ වෙන දෙයක් නිසා.”

“මොකක්ද?”

“එයාගෙ දරුවගේ තාත්තා.හිරේ ඇතුළෙ මැරුණා කියපු රණ්ඩුව බොරු එකක් කියලා දිල්ශාරා නෝනා විශ්වාස කළා. ඒ මරණෙ ඇරේන්ජ් කරලා තියෙන්නෙ සල්ලි සහ බලය තියෙන මිනිස්සු කියලා.”

“එයා සැක කළේ…මැඩම්වද සර්වද”

වීරසිරි කෙළින්ම පිළිතුරු නොදුනේය. කෙටියෙන් ම ඒ ප්රශ්නයට පිළිතුරු දුන්නෙිම නැත. පවන් හාරාවුස්සන්නට නොගියේය. සමහරවිට ග්රේස් ට මිනිමරුවෙකැයි කියා හංවඩුව ක් ගසන්නට හෙතෙම අකැමැති වුවාද විය හැකිය.

“එයා කිව්වෙ… ‘මට ආදරේ කරපු හැම මනුස්සයෙක්ම අන්තිමට නැතිවෙනවා’ කියලා.”

නහඩ බවආයෙමත්ඇතිවිය. 

“ ඒ නිසාමයි ග්රේස් මැඩම් එකවුන්ටන් මහත්තයා ලට දරුව බාර දෙන්න තීරණය කලාම ඒකට කැමති වුණෙ..

“හැබැයි…” ඔහු මද හිනාවක් පෑවේය, 

“දරුවට නම දාන්න ඕන කියලා එයා ගොඩක් පැහැදිලි ව කිව්වා. ‘සෞමි සඳමල’ කියලා.”

වීරසිරි ඒ නම උච්චාරණයකළේ ඉතාමසෙමෙනි. ඔහුට ඒ නමසම්පුර්ණයෙන් ම මතකතිබිණි. .වසර දහස් ගණනක ඉපැරණි මතකයක් අත ගානවා මෙන් හරිම ආදරයෙන් ඔහු වචන ස්පර්ශ කළේය.

“ සදමල අදුර මැද්දෙන් එලිය අරන් පිපෙනවා කිව්වා…”

පවන්ගේ උගුරකෙවෙන. ගතිය ක් දැනිණි. 

“‘සමරසිංහ වාසගම ලැබුණේ පස්සෙ,ප්‍රදීප් මහත්තයාගෙ වාසගම තමයි ඒ දරුවාට” 

ඒත් ප්රදීප සමරසිංහ ට දරුො හදාගන්නට නොලැබුණු හේතුව පවන් විමසුවේ ඒ අතරවාරයේය. 

“මැඩම් බබාව අතට ගත්ත ට පස්සෙ… හරියට දෙවෙනි අවස්ථාවක් ලැබුණ මනුස්සයෙක් වගේ ජීවත්වෙන්න පටන් ගත්ත.”

රියැදුරු තවදුරටත් කල්පනා කළේ සමහර කාරණා පිලිබද මතයක් අතර නේකවිද ගැටලු ැැතිවිය හැකි බැවිනි. පවන් විජේබණ්ඩාර නිකමට මෛ් ගමන නොඑන බව ඔහු ඉදුරාම දැනසිටි අතර නිශ්චිත නිවැරදි කරුණු ඔහුට ලබා දීම තමන්ගෙ යුතුකම් කියා ඔහු සිතුවවා විය යුතුය. 

“සමහර වෙලාවට මට හිතුණා… බබාට ආදරේ කළේ දිල්ශාරා නෝනාව බේරගන්න බැරිවුණ වැරදිකාර  හැගිම වද දුන්න හින්ද වෙන්න ඇති කියලා.”

“ඒත් ඒ ආදරේ ඇත්තද?” පවන් ඇසුවේ අවිශ්වාසයෙනි. 

වයසක මිනිසා පවන් දිහා කෙලින් බැලුවේය. එයපවන් වුව තිගස්වන්නට හැකි ආකාරයේ සෘජුබැල්මක් ය.

“මහත්තයා…
මිනිස්සුන්ගෙ ආදරේ කවදාවත් පිරිසිදු නෑ.ආදරේට බය මිශ්‍ර වෙනවා.පසුතැවීම මිශ්‍ර වෙනවා.අයිති කරගන්න ආසාව මිශ්‍ර වෙනවා. මේ ඔක්කෝම මිශ්ර වුනාට පස්සේ මේක මිශ්රනයක්. ඒකෙ තියෙන හැගීම් ගොඩ එක එක වෙන් කරන්න බැහැ.. හරියට ගංගා කීපයක් එකතු වෙලා මුහුදකට ගලං ගියා වගේ. අන්තිම ට ඒ මුහුද… ඒ වගේම තමයි.. අන්තිම ට ඉතිරි වෙන්නෙ ආදරය..” 

“මැඩම් ගෙ ආදරෙත් එහෙමයි.”

ඔහු පසුව යාන්තම් සිනාසුණේය. 

“හැබැයි එක දෙයක් නම් මටවිශ්වාස යි.
දිල්ශාරා නෝනා අන්තිම හුස්ම වෙනකම්ම තමන්ගෙ දුවට ආදරේ කළා.” 

පවන් මොහොතකට නිශ්ශබ්ද ව සිටියේය.  මේ සම්පුර්ණ කතාවම ඔහු සිය ජංගම දුරකතයේ රෙකෝඩ් කරගෙන තිබිණි. දැන් ඔහුත් සෞමිත් මේ සංවාදය අසා සිටින්නේ කැෆේ 66ත් හි එකිනෙකා අසල හිද ගෙනය. යුවතිය ගේ දෙඇසින් සට සට ගා කදුලු බේරෙමින් තිබේ. 

“ මම්මා මාව බලාගත්තෙ බයෙන්. මං පුදුමෙන් හිටියෙ ඇයි මේ තරම් බය කියලා. දැන් මට තේරෙනවා පවන්. අම්මට වෙච්ච දේවල් නිසා.. එයා මාව ඒ තරම් පරිස්සම් කරන්න ඇති..”

පවන් තම උරහිස මත රැදී තිබෙන යුවතිය ගේ හිස් මුදුන පිරිමැද්දාය. 

“ අපි මේ කලබල දවස් ඉව⁣ර වුනාම වීරසිරි අන්කල්ව බලන්න යමු.. මොනව උනත් දැන් ඔයාගෙ හිතෙ තිබුණු ගොඩාක් පටලැවිලි වලට උත්තර තියෙනවා නේද? අපි ට මිනිස්සු ගැන ජජ් කරන්න බැහැ කියනෙක මාත් ඉගෙන ගත්තෙ මේ සිද්ධි නිසා. අපි කොහොමද කෙනෙක් හොදයි හරි නරකයි හරි කියන්නෙ ..ඒ ඒ මිනිස්සු වැඩ කරල තියෙන්නෙ තීරණ අරන් තියෙන්නෙ  තම තමන් ගෙ අත්දැකීම් එක්ක.. අපට මොකක්ද තියෙන අයිතිය එක ප්රශ්න කරන්න හරි.. ඒක ජජ් කරන්න හරි..

සෞමි පවන් ගේ උරහිස මතම හිස හොවා ගෙන සිටියාය. ඇයට කල්පනා කරන්න බොහෝ දේ තිබේ. අම්මා‍, ඒ ලස්සන කෙල්ල ගේ ජීවිතය තමන් ආවායින් පස  කුමනාකාරයේ වෙනස්වීම් ගොඩකට ලක්වෙන්න ඇත්ද? අම්මා තමන් ට වෛර නොකිරීම ම කොයිතරම් ආශ්චර්යක්ද? ඒකම ඇති. ඒක දැනගත් එකම ඇති! 




මේ මොහොතේ කොළඹ නගරයේ තවත් කෙටිජීවිත සැරියක නිමාව සනිටුහන් විය. පැය කාලක් ගතවෙන්නට මත්තෙන් පුවත් නාලිකා උණුසුමකින් වෙළී ගියේය. සුපිරි මහල් නිවාසයේ පිවිසුම් දොරටුව අසල මාධ්‍යවේදීන් රොක්විය. කැමරා අමෝරාගෙන ඔවුන් පුවතක් ඉල්ලා සිටියේ මාංශ ඉව වැටුණු කපුටු රංචුවක් මෙනි. 

“CYBER CRIME SUSPECT SHOT DEAD INSIDE LUXURY APARTMENT.”

“බොරැල්ලේ සුපිරි මහල් නිවාසයක වෙඩි තැබීමකින් කෙනෙකු මරුට- සයිබ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බොරැල්ලේ සුපිරි මහල් නිවාසයක වෙඩි තැබීමකින්  මිය ගොස් ඇත. “


අපරාධයේ සුලමුල සොයනා තෙක් සියලු රුපවාහිනි නාලිකා තිර මත මේ ආකාරයෙන් පින්තුර සටහන් විය. පොලිස් වාහන‍, සෙනග‍, කහ කලු ටේප් පටි‍, මාධ්‍යවේදීන් … ඒ අවට පිරී ගියේය. මේ මොහොතේ අනිත් අතට පවතින ආණ්ඩුව ට විරුද්ධ කණ්ඩායම සිය වැඩ පටන් ගත්තේ පුරවැසියන් ගේ ආරක්ෂාව අනතුරට වැටී ඇති බව‍, පොලිසියට ජකනතාව ආරක්ෂා කරගැනිමට නොහැකි බව ‍, සයිබ අපරාද වලට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නොහැකි තරමට රටේ ආරක්ෂාව ප්රශ්නකාරි තැනක පවතින බව පවසන පෝස්ට් වලින් සමාජ මාධ්‍ය ඇවිළෙන්නට පටන් ගත්තේය. 

කොළඹ නගරය මැද සුපිරි නිවාස සංකීර්ණයක අප දැන සිටි ඔලිව. නම්කේතයෙන් තමන්ව හදුන්වා ගත් ඔසද ලක්ඛිත වික්රමගේ,  රතු ලේ වගුරවමින් බිම වැතිර සිටියේය.  වාර්තා වලට අනුව නම් ඔසද සිය කාමරයේ සිට ඇති අතර ‍, ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් ඔහුගේ නමට පැමිණි පාර්සලයක් ගෙනැවිත් ඔහුගේ කාමරයේ දොර ළග සිටගෙන සිට ඇත. ඒ අවස්ථාවේ කොරිඩෝව පිරිසිදු කරමින් සිටි කම්කරුවා විසින් දොර ඇරි විගසම ඔසද ලක්ඛිත වික්රමගේ ට වෙඩි පහර කිහිපයක් එල්ල කොට ඇත. එතැනට පැමිණි ආරක්ෂක නිලධාරියා ටද වෙඩි පහර කීපයක් වැදී ඇති නමුත් ඔහු⁣ට බරපතල ලෙස හානි සිදුව නැත.

පවිත්‍රතා සමාගම පවසන ආකාරයට එදින සේවයට පැමිණෙන්නට නියමිත සේවකයන් කිහිප දෙනෙකු ම නොපැමිණීම හේතුවෙන් තාවකාලිකව දෛනික පදනමට සේවයට යොදා ගත් සේවකයන් දෙදෙනෙකු සුපිරි නිවාස සංකීර්ණයට ඇතුල් වු බවය. පවිත්‍රතා සමාගමේ නිලධාරින්ගේ අනුදැනුම මත ඔවුන් අදාල මහල් වල සේවයට යොදවා ඇති අතර මෙම මහල පවිත්‍ර කරන සේවකයා වෙනුවට වෙඩික්කරු සුහද මාරුවක් ලෙස එතැනට පැමිණි ඇත. මේ පිලිබද එදින කාර්ය භාර නිලධාරියා දැනුවත් කර තිබී නැත. වෙඩික්කරු අවශ්‍ය වෙලාවට වඩා වැඩි වෙලාවක් අදාල නිවසේ දොර අසල පිරිසිදු කිරිම් වල නියැලී ඇතත් කිසිවෙකු ඒ පිලිබද ව සැලකිලිමත් වු ගතියක් දක්නට නොලැබිණි. 

එතැනින් ඔබ්බට කිසිම කිසිවෙකු කිසිවක් දැන සිටියේ නැත. ඒ හුදකලා තරුණ පිරිමි ළමයා කාලයකට කලින් තුම්මුල්ලේ කෝපි කඩයක සුන්දර වින්ටේජ් කෙල්ලක දකිනු රිසිව පැය ගණනින් කාලය කා දැමු බව කෝපි කෝප්ප ගණන් බිව් බව වැරදීමක් වී එහි වයිෆයි නෙට්වර්ක් එකට ඇතුල් වු බව කිසිවෙක් දැන නොසිටියේය. 

ඔහු කොයිතරම් මෘදුව ඇයට කතා කළාදැයි ඒ මෘදු වදන් ඇගේ වැසුණු හද කවුලු ස්පර්ශ කරන්නට ඒ මෘදු බව හේතු වුවාදැයි දන්නා වෙනත් කිසිවෙකු නොවීය. ඒ සුන්දර කෙල්ලව තමන්ට හැකි අයුරකින්ම නිශ්ශබ්ද ව ආරක්ෂා කරගන්න ඔහු සිතු බව ඔහුම මිස කිසිවෙක් දැන සිටියේ නැත. 

තරුණයාගේ නිවස තුල ඒ වෙනවිටද මෙහෙයුම් සිදුවෙමින් පැවතිණි. ඔහු විසින් යවන්නට හිතාගෙන රෙකෝඩ් කළ වොයිස් රෙකෝඩ් කිහිපයක් ලැප්ටොප් එකෙහි තිබිණි. නමුත් එවා යැවිය යුත්තේ කාටද කියා දැන සිටියේ මරණකරු පමණක්ය. 

“ ඔයා ට මුල ඉදලම ආදරේ පිරිච්ච ජීවිතය ක් ලැබෙන්නයි තිබුණෙ. එත් තාමත් කිසිම දේකට පරක්කු නෑ.  ඔයාට පුලුවන් උනොත් ඔයාගෙ ඇත්තම පවුල හොයා ගන්න.. එයාලට ආදරේ කරන්න..” ඔහුගේ හඩ විඩාබරය. තැනින් තැන මද වේලාවක හිස්තැන්ය. ඔහු කියන්නට දේවල් සොයා නිහඩ වෙන්නට ඇත.

“ මං දැනගෙන හිටියා මට ඔයාට ළං වෙන්න බැරි බව. අපි ආදරේ කියලා කියා ගත්තා නම් සමහරවිට ඔයා දුක් විදින්න තිබුණා. මට ඕන උනේ ඔයා ඔය ඉන්න විදියටම සැනසීමෙන් ජීවත් වෙනව දකින්න..”

“ මං හරි ඉක්මනින් ඔයාට බැදුණා. ඔයාගෙ ඇස් වල හැංගිච්ච තේරුම් ගන්න බැරි දුකට මං ඇළුණා. ඒ දුක තවදුරටත් නැතිවෙලා ගිහින් ඔය ඇස් හිනාවකින් පිරෙන දවසටත් මං ගොඩක් දුර ඉදන් බලන් ඉන්නවා.. මං හරි ආදරෙයි ඔයාට!” 

සෞමිට ඒ හඩ පටය අහන්නට ලැබු⁣ණේ කෙසෙදැයි දන්නේ කාව්‍යා පමණකි. ඇය මේ කාරණාවේදි වඩාත් බුද්ධිමත් ව කටයුතු කළාය. කිසිම තැනකද්ි ඇගේ නම ඇයට අහිමි වු ආදරණීයයා සමග තිබු සම්බන්ධතාව කාටවත්ම දැනගන්න ලැබුණේ නැත. රහස් ඒ ආකාරයෙන් අනියමින් සැගවිය හැකිය. 

ඇත්තෙන්ම සෞමි ඒ තෙත විඩාබර කටහඩ අසා හොරෙන් තනිව හැඩුවාය. ඒ ඇය ඔසදට රෝමාන්තික ව ප්රේමයෙන් බැදී උන් නිසාවෙන් නොවේ සමහර මිනිස්සු ජීවිතය ට ඇතුලු වී ඔවුන් ගේ පිය සටහන් ආත්මයේ ඉතිරි කොට සදහටම නික්ම යන බැවිනි. 

ඔසද පිලිබද පරිච්ඡේදය සයිබ මෙහෙයුම් කාර්යාලයට පවා මුලුමනින්ම නිරාකරණය කරගැනීමට හැකිවුණේ නැත.  ඔහු භාවිතා කර තිබු සුක්ෂම ක්රමවේද නිසා කිසිවක අගමුල පැහැදිලි ලෙස සොයා ගැනිමට හැකි නොවු බැවින් ඔහුව මරා දැමු මිනිසුන් ට එය ප්රමාණවත් විය. 

කාව්‍යා තනිව හුදකලාව‍‍, හැම රැයකම තනිව මෙනෙහි කළේ ඒ දෙදෙනා ගෙවු අතිශය ප්රේමණීය දින වකවානුය. ඒ ආකාරයෙන් බලද්දී ඔසද ගේ ජීවිතය තුල වු එකම සංහිද ඇය බවට පත්ව සිටියාය. මහා ගිනි අව්වේ කඨෝර කාන්තාරයේ ඇය ඔහුගේ ක්ෂේම භුමිය බවට පත්ව සිටියාය එහෙත් ඇත්තටම ඒ වගක් කිසිම කිසිවෙකු දැන නොසිටි බැවින් කවදාම හෝ දිනෙක කාව්‍යා සමගම ඒ කතන්දරය ද නිමාව යනු ඇත. 

****

කැෆේ 66ත් 

සෞමි කෝපි කෝප්ප දෙකම ට්‍රේ එක මත තබාගෙන මොහොතකට නිහඬව හිටියාය. කැෆේ 66 තුළ හැන්දෑවේ උණුසුම් කහ එළිය හෙමින් පැතිරෙමින් තිබිණි. වීදුරු ජනේලයෙන් එපිටින් කොළඹ නගරය තමන්ගේ කලබල ජීවිතය දිගටම ගෙන යමින් තිබුණත්, මේ කුඩා කෝපිහල ඇතුළත නම් කාලය ගමන් කරන්නේ මන්දගාමීවය. කෝපි සුවඳ, පැරණි දැව පුටු, බිත්ති මත මැකී නොගිය මතක… මේ හැමදේම අතර ඇය අවසානයේ තමන්වම සොයාගෙන තිබුණාය.

ඇය හිස ඔසවා බැලුවේ ජනේලය අසල හිඳගෙන උන් පවන් දෙසය. ඔහු ලැප්ටොප් එකක් දෙස බලා සිටියේය. සාමාන්‍යයෙන් සුදු කමිස අදින ඔහු එදා ඔලිව් පාට කමිසයක් ඇඳ සිටියේය. ඒ පාට ඇගේ හිත ඇතුළට මුලින්ම ඇතුල් වුණ දවස ඇයට සිහිපත් විය. ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට සමහර වෙලාවට එකම එක මිනිසෙකු, එකම එක බැල්මක්, එකම එක වචනයක් පමණක් ප්‍රමාණවත් වෙයි. ඔසද ඇගේ ජීවිතයට පැමිණියේත් එහෙමය. 

ඔහු ඇත්තෙන්ම එන්නට යෙදුණේ ඇයව වෙනස් කරන්න නොවේ. ඔහු ඇයට ඇය කවුද කියා සොයා ගන්නට අවකාශය සාදා දුන්නේය. ඔහු ආවේ ඇය ඇතුළෙ සැඟවී තිබුණු ආදරය ලැබීමට බිය වූ කුඩා ගැහැනු ළමයාව හෙමින් හෙමින් අත අල්ලාගෙන එළියට ගෙන එන්නටය.නමුත් ඒ අත අල්ලාගන්නට ‍, ඇය සමග පියවර නගන්නට ඔහු විසින් ගෙවන්නට යෙදුණු ජීවිතය ඔහුට ඉඩ නුදුන්නේය. 

සමහර විට මිනිස්සුන්ට ජීවිතයේ ලොකුම හිස්තැන දැනෙන්නේ තමන්ට ආදරේ කරන කෙනෙක් නැති නිසා නොවේ. තමන්ට ආදරේ කරන්න හැකි කෙනෙක් නැති බව විශ්වාස කරන නිසාය. සෞමිත් අවුරුදු විසිගණනක ජීවිත කාලයක් එහෙම හිතාගෙන සිටිකෙනෙකි. ඇයව කෙනෙකුට තෝරාගත හැකි බවවත්, කෙනෙකුගේ ජීවිතයේ “නිවහන” වෙන්නට තමන්ට හැකි බවවත් ඇය කවදාවත් විශ්වාස කර තිබුණේ නැත.

නමුත් ආදරය කියන්නේ සමහර විට මිනිසෙකුගේ මුළු ඉරණමම නිහඬව වෙනස් කරන දෙයකි.

ග්‍රේස්ගේ ආදරය දොස් සහිත අසම්මත එකකි.
ඇය ආදරය කළේ රැකගන්නට උත්සාහ කරන අතරම පාලනය කරමිනි.
දිල්ශාරාගේ ආදරය කලබලකාරීය.එය දුර දිගනොබැලුඅවස්ථාවාදී එකක් විය. 
ඇය ආදරය කළේ ලෝකයෙන් පැන යන්නට උත්සාහ කරන ගැහැනියක් ලෙසය.
ඔසඳගේ ආදරය දුරින් බලාගෙන සිටි නිහඬ වේදනාවකි. අහිමි වුවත් සදා වන්දනීය ආදරයකි. 
කිසිම හිමිකමක් නොඉල්ලා කෙනෙකුගේ ජීවිතය යහපත් වෙන්නට ප්‍රාර්ථනා කරන ආදරයකි.
කාව්‍යාගේ ආදරය වැලඳ ගැනීමකි.
“ඔයා තනි නෑ” කියා කෙනෙකුට දැනෙන්නට සලස්වන විදියේ අපමණ සුවදායි එකකි.

ඒත් පවන්ගේ ආදරය…

සෞමි ඇස් පියා ගත්තාය.

පවන්ගේ ආදරය ඇයට මුලින්ම “බය නැතුව ජීවත් වෙන්නට”  ඉගැන්වූ හැගීමයි.

ඇය කඩා වැටෙද්දී ඒ අත්  අල්ලාගත් අතයි.
කඳුළු නොසලන්නැයි නොකියා ඒ කදුලු පිසදැමු මිනිසායි.
තමන්ගේ අතීතය දැනගත් පසුවත් කිසිමවෙනසක් නැතිව ප්රේම කළ මිනිසායි. 
“ඔයා කවුද?” කියන ප්‍රශ්නයට ඇය උත්තර සොයා යමින් සිටියදී , ඒ ගැනවගේ වගක් නැතිවම “ඔයා මගේ” කියා ඇයව නැවත නැවතත් තෝරාගත් මිනිසායි.

ආදරය කියන්නේ හැමදාම හැමවිටම එකසේ සුන්දරව පවතින දෙයක් නොවේ.සමහර විට ආදරය මිනිසුන්ව විනාශ කරයි.
දරාගෙන  හිදින්නට බැරි තරම් රිදවයි.
වෙන් කරයි.
බියට පත් කරවයි.
අහිමි කරවයි.

ඒත් ඒ සියල්ල අතරත් මිනිස්සු නැවත නැවතත් ආදරේ කරන්නේ ඇයි?මන්ද යත්  සමහර වෙලාවට ජීවිතයක් රැකෙන්නේ  එකම එක ආදරයක් නිසා පමණක් වන බැවිනි.

සෞමි හෙමින් ඇවිදගෙන ගොස් පවන් අසලින් හිඳ ගත්තාය. ඔහු කිසිවක් නොකියා ඇගේ ඇඟිලි අතරට තමන්ගේ ඇඟිලි පැටලුවේය. ඒ ස්පර්ශය ඇයට දැන් අලුත් නොවේ. නමුත් තවමත් ඒ අතේ තිබුණේ “මං ඉන්නවා” කියන සැනසීමමය.

ජනේලයෙන් එපිටින් මුහුදු සුළඟක් කොළඹ නගරය හරහා ගලා ගියේය. කොහේ හෝ මුහුද තවමත් රළ ගසයි. කොහේ හෝ තැනක මිනිස්සු තවමත් ආදරය වෙනුවෙන් රණ්ඩු වෙති. තවත් කෙනෙක් කඳුළු සඟවමින් සිනාසෙයි. තවත් කෙනෙක් තමන්ගේ හිතේ අහිමිවීමක් තුරුල් කරගෙන ඉකිබිදුම් සමග නින්දට වැටෙයි.

ජීවිතය එහෙමය.

සම්පූර්ණ නැත.
සාධාරණ නැත.
පවිත්ර නැත.

නමුත් ඒ සියල්ල අතර, මිනිසුන්ට නැවත ජීවත් වෙන්න හේතුවක් දෙන එකම දේ තවමත් ආදරයමය.

පවන් හෙමින් ඇගේ නළල සිප ගත්තේය. සෞමි ඔහුගේ උරහිසට හිස තබා ගත්තාය. ඒ මොහොතේ ඇයට දැනුණේ අවසානයක් නොවේ.

දිගු ගමනක පළමු සැනසුම් හුස්මය.

අවසානයේ ඇය තවදුරටත් තනිවී නොසිටියාය.
ඇයට දැන් නමක් තිබේ.
පවුලක් තිබේ.
ආදරය කරන මිනිසුන් සිටිති.
ඇය ඇගේ අම්මාට එපා වූ දරුවෙක් නොවීය.

කොහේහෝ , මේ විශ්වයේ කිසියම්ම කිසියම් තැනක කවදාවත් සම්පූර්ණයෙන් නිවී නොගිය මතකයක්සේ තවමත් ඔලිව් සුවඳක් ඉතිරිවි තිබේ.තවමත් ඔලිව් පැහැයක් තිබේ. ඔලිව් කියා පැවතෙන කේතයක්.. මකා නොදැමු කේතයක් සයිබර් අවකාශයේද නිහඩව තිබේ…එදා තිබු ආකාරයෙන් ම නොමැකී තිබේ. ඒ සමග කැෆේ 66ත් හි ඒ මතක ආත්ම පෙර සේම සැරි සරති. 


No comments:

Post a Comment

OLIVE - අවසන්කොටස

 කාලයකට පසු කොළඹ අහස තමන්ව ඉර එළියේ දීප්තිමත් බවින් වර්ණ ගන්වාගෙන සිටියේය. සෞමි සිය සයනයෙන් ඇහැරුණේම සුසුමක් අත් හරිමිනි. දැන් ඇයට මේ මොහොතේ...