මම ඉතිරිවී ඇති වැඩ සියල්ල දින දෙකකින් කරගන්නට සැලසුම සකස් කළෙමි. ඇඳ අසල ඇති ලාම්පුව දල්වා අසල බිම තබා ඇති හෑන්ඩ් බෑග් එකෙන් සටහන් පොත ගෙන පැන් පැන්සල් පසුම්බිය ගෙන අදාළ සැලසුම එහි ලිව්වෙමි. ලැප්ටොප් එක ඔන්කරන්නට තරමට පණක් මා තුළට ආවේ ඉන්පසු ය. නාන කාමරයට ගොස් මුහුණ දොවා ගෙන පැමිණ ලැප්ටොප් එකේ ඉදිරියේ හිඳගෙන සියල්ල එහි පිටපත් කළෙමි. පෙරදා ගත් විඩියෝ ක්ලිප් කිහිපයද කැමරා සහායක වරයෙකු විසින් ඊමේලයට එවා තිබිණි. මම ඉන් සාම්පල් කීපයක් කාර්යාලයේ වැඩසටහන් අධ්‍යක්ෂක පෝල් හේඩ්න් වෙත යැවීමි. පෝල් හොද මිනිහෙකි. බිම්ම් ..ම්මා. ඔහු මට කතා කරන්නේ එහෙමය. ලංකාවේ මිනිස්සුන්ට මේ තරම් දිග නම් තියන්නේ මන්දැයි ඔහු මගෙන් අසයි.
හුඟාක් දවසකින් පාන්දර ඇවිදින්න යන්න ඉඩක් ලැබුණේ නැැහැ නේදැයි සිහිවෙයි. ඉතින් මම සැහැල්ලු ඇදුමකුත් හැඳ කාමරයේ දොර විවර කර නිදන කාමර කොරිඩෝවේ ඇවිද යමි. පාන්දර සැහැල්ලු සීතල සුළඟ කම්මුල් වල හැපෙයි. කර්මාන්ත ශාලාවල විස දුමෙන් වාහන පේළිවල දහනය වන ඉන්ධන දුමෙන් අපවිත්‍ර නොවූ වායුව නැහැ පුඩු වලින් ඇතුළුව සියොලඟ කරා පැතිරෙයි. කොරිඩෝව කෙළවරෙහි , මනුෂ්‍යයෙකි. බිම වාඩි වී සිටියි. කොරිඩෝ කුළුණකට හේත්තු වී ගෙන ය. දුරකතනයකින් මුණු මුණු ගෑමකි. එරන්ද ය. මා දන්නා තරමට, එ ආදර සම්බන්ධතාවයේ මෙහා අන්තයේ වෙසෙන පීඩිත පෙම්වතා ය. මගේ පියවර හඬවත් වගක් ඇති බවක් නොපෙනෙයි. ළඟට යනවාද නොයනවාද? ඔහු ඔහුගේ පෙම්වතිය සමග දොඩමළු වෙමින් හිඳීම මට වේදනාවක්ද? මම මගෙන් විමසමි. එහෙත් අවම වශයෙන් එහෙම හිතන්නටවත් මට අයිතියක් තියෙනවාද?
මම එරන්දව පියමන් කළෙමි. ඔහු මා ඔහු පසුකරන තැනදී මගේ සෙවණැල්ලට ගැස්සුණේය. බිම්මා කියා කතා කළේය.
"මං ටිකක් මෝනින් වෝක් එකකට යනවා."
"කැලේ පැත්තට යන්න එපා සත්තු එහෙම ඇති"
ඔහු කීවේ මා සමග එන්නදැයි අහන්නට බැරි තරමටම අසරණ වූ නිසා විය යුතු ය. මම හෝටල් මිදුලට ආවෙමි. දෙපස ඇති විශාල ගහකොළ අතරින් හිරු පායා එන ආශ්චර්යයමත් දර්ශනය මා හමුවේ තිබේ. මම දුරකතන කැමරාව එදෙසට ඉලක්ක කළෙමි.
ඒ නයිල්ස් වෙනුවෙනි. මට නයිල්ස් වෙනුවෙන් කරන්නට පුළුවන් දේ කොපමණක්ද? ඒත් ඒ මගේ හිතේ නයිල්ස් ගැන මහා ආදරයක් තියෙන නිසාද? මගේ හිතේ හැම අහුමුල්ලක්ම පීරා අවුස්සා බලන විට ජීවිතේ මායා දොරටු විවර කර ආශ්චර්යාත්මක මැණික් මලු පහළ කරන්නට හැකියාවක් නයිල්ස්ට නොමැති බව මම දැන් දනිමි. එහෙම කරන්නට හැකි පිරිමියෙක් මෙලොව හිඳ හමුවෙතැයි විශ්වාස නොකළ බැවින් මම මට පහසු කලාපයෙහි හමුව සිටි නයිල්ස් හා ජීවිතය බෙදාගැනීමේ පොරොන්දුව දී ඇත්තෙමි.
පාන්දර ඉර එළියේ තෙමි තෙමී හාත්පස නරඹන්නට මට හැකි විය. දවස අරඹන්න සැරසෙන්නට නාන කාමරයට ගියාම පෙරදා රාත්‍රිය සිහිව සිනිහවක් මුවට නැගිනි. එය ආයාසයෙන් වළක්වා ගන්නට හැකි වුවද, එහෙම කිරිම මටම කරගන්නා අසාධාරණයකි. සිහිවටන කිසිවක් නැතත් කිසිදා අමතක නොවෙන ආදරණීය, බදාගෙන තුරුළු කරගන තියාගත හැකි මතකයන් දවසින් දවස අපට හමුවේ.
මම සැහැල්ලු සුදු කමිසයක් ඉරුණු ඩෙනිමකට ඇද පුරුදු වාර්තාමය ස්වරුපයෙන් සැරසුණෙමි. උදෑසන කෑම සඳහා බුෆේ ඒරියා එකට ගියද අනික් අය සිටියද එරන්ද නැත. වෙනම ඔහු ගැන අහන්නට ඉක්මන් නොවී ඉන්නට මම ප්‍රවේශම් සහගත වීමි. හේතුවක් ඇතුවත් නොවේ.
අචල පාන්දරම නෑ නිසාද මන්දා තවත් සුදු කම්මුල් වලින් සිනාවක් ඉහිරවාගෙන ආවේය. “ මේ මනුස්සයට පුදුම පර්සනැලිටි එකක් තියෙන්නෙ අප්පා” මා නර්මදාට අචලගෙ පින්තුරයක් යැව්වේ එසේ කියාය. නර්මදා ඇස් දෙකේ හදවත් පුරවා ගත් ඉමොජියක් එව්වාය.
“ එරන්ද මූට වඩා හොට්”
ඒ ඇගේ ඊළඟ පණිවුඩයයි. එහෙම හොට් එරන්ද, පේන මානයක නැත.
“කෝ එරා.?”
මම අචලගෙන් ඇසුවෙමි. ජීවිතයේ සමහර අවස්ථාවල පෙම්වතා කොහේදැයි ඔහුගේ යහළුවෙකුගෙන් ඇසුවාම, එයා මොකටද අනේ මේ මම ඉන්නේ කියා පිළිතුරු ලැබී ඇතත් අචල එහෙම එකෙකු නොවේ.
“ඊයෙ උගෙ කෑල්ල තද වලියක් ඇද්ද මං හිතන්නෙ.. එළිවෙනකම්ම ෆෝන් එකේ.. දැන් නිදි”
එරන්ද කෙයිතරම් පීඩනයකින් ජීවත් වෙනවාදැයි මට ඇත්තටම සිතාගත නොහැකි ය. මට දැනන්නේ මගේ හදවත කඩා වැටෙන ගතියකි. එනිසාම මම වැඩසටහන රුගත කරන්න යන්නට පෙර නිදා සිටින ඔහු දෙස මදක් බලා හිඳියෙමි. අචලත් මා සමග සිටියේය.
“ ඇත්තටම එරා හෙන පව් බිම්මා”
“ හ්ම්ම්"
“යාළු වෙන්න කලින් දන්නැද්ද ඔහොම බවක්?”
“ කෙල්ලො එහෙම අවංක වෙන්නෑ නෙ..”
“ඇත්තමද?”
“ඔයා සෙට්ල් වෙලා නොහිටියානම් මං කොහොමහරි ඔයාවයි එරන්දවයි සෙට් කරනව..ඔයා ඌට හරියටම සෙට්.. අර නංගි එරාගෙ සංසාරගත වෛරක්කාරියක්”
මම කල්පනාකාරීව අචල දෙස බැලුවෙමි. ඔහු හොද මිනිහෙකි.
“සිද්ධ නොවෙන දේවල් කල්පනා කරල වැඩක් නෑනේ අචල..”
“බිම්ම ඇත්තටම ඔයාගෙ කසාදෙ කෙරෙනවනෙ”
ඔහු ඇසුවේ එය කෙරේද නොකෙරේද සැකයෙනි.
“කෙරෙන තැනක තමයි දැන් නං තියෙන්නෙ”
මම සිනාසෙන්නට උත්සාහ කරමින් කීවෙමි. නයිල්ස් සහ මා අතර ඇත්තේ ගිවිසුම්ගත සම්බන්ධයක් නොවුණත් අප අතර රැහැනක් තිබිණි. ඒ රැහැන හේතුවෙන් අප එකිනෙකා අතැර නොයා සිිටියෙමු.
“මාත් ඔය නංගිගෙ වයසෙදි මුරණ්ඩුයි.. ඒත් හොද වෙලාවට මට පර්මනන්ට් එෆෙයා එකක් තිබුණෙම නෑ..එහෙම තිබුණානම් අනේ මන්ද..”
“නෑ නෑ බිම්ම.. එහෙම තිබුණ වුණත් ඔයා නම් එහෙම වෙන්නැ “
“කාලයත් එක්ක තමයි මං වුණත් ටිකක් හරි පරිණත වුණෙ”
“ඒක පරිණත වීම ගැන කතාවත් නෙමෙයි .. එහෙම පිටින්ම කොලිටි එකේ ප්‍රශ්නයක්.. එරන්ද අහිංසකයි.. මං වගෙ වුණා නම් ඔය ගෑනිව මරල හිරේ විලංගුවෙ වැටිල මෙලහකට”
අචල කියද්දී මම නළලටම නෙතු ඔසවා ඒ ප්‍රතික්‍රියාව නම් හොඳටම ඕනැවට වඩා වැඩිබව ඇගවීමි.
“ මට නං ඔහොම වද විඳින්න බෑ බිම්මා ඇත්තටමයි.. බිව්වෙත් නැතුව ජොයින්ට් එකක් වත් නොගහා ඉන්න කොල්ලව බොරු…වට රණ්ඩුවකට අල්ල ගන්නව. වෙන දෙයක් නෙමෙයි ඒකි පට්ට ඉරිසියායි මූ සතුටින් ඉන්නවට. හැබැයි ඒකිගෙ කැම්පස් එකේ සෝශල් නයිට් කියයි අර ක්ලබ් කියයි මේ ක්ලබ් කියයි.. මු හැම මගුලටම ඇඳුම් අරන් දෙනව සලෝන් ගානෙ ගෙනිහින් පාටි වලට ගෙනියනව. අඩු ගානෙ මුව ඇතුලට ගෙනියන් නෑ. ඇහුවාම එයා ඉතින් ලොකුයිනෙ අයියා.. අපේ සේම් ඒජ් අයනෙ එතන ඉන්නෙ.. කියනව. මූ අහනව..”
මට එරන්ද ගැන දුක සිතෙයි. සමහර විට එරන්දත් මාත් මේ තරම් තදින් එකිනෙකාට ආකර්ශණය වෙන්නට හේතුව ඔහු වටා ඇති පීඩනයද විය හැකිය.මොනවා උනත් මට එරන්ද ගැන හද කකියන වේදනාවක් දැනිණි.
අප මහියංගනයේ ඉතිරි රූගත කිරිම් කරගෙන යන අතරේ ඔහු ආයේ එනු මම දුටුවෙමි. කැමරාවත් මදකට නතර කර විවේකයක දී මා වැඩසටහනෙන් බැහැර වුයේ එරන්ද හා කතා කරන්නටම ය. තද නිල් කොලර් එක සහිත ක්‍රොකඩයිල් ටී ශර්ට් එකක් සහ දණහිස තෙක් ඇති කෙටි කලිසමක් හැද තද නිලට හුරු අව් කන්නාඩිද පැළඳ ඇත්තමයි ඔහු හරි ලස්සනට සිටියේය. නර්මදා හිටියා නම් මොනවා කරාවිද දන්නේ නැත.
“ හරි ශෝක් කොල්ලෙක් ඇහැරෙන වෙලාව” මා කීවේ අචලත් මිහිරත් හිඳිද්දීම ය.
“ඇහැරවන්න කෙල්ලෙක් ඉන්නවානම් එහෙම වෙන්නෑ ඉතින්”
දඩබ්බරයා එහෙමත් කීවේය. මිහිර සුදු නංගී සමග කිසිවක් කතා කරමින් එතැනින් එහාට ගියේය. අචල කැමරා කණ්ඩායමේ කවුරුන්ට හෝ සම්බන්ධ වුවේය. මට අවි අතට ලැබුණේ එවිටය.
“ඇහැරවන්න කෙල්ලක්ද හොයන්නෙ. නිදි කරවන්න කෙල්ලක්ද?”
“නිදි කරවන්න කෙල්ලක් ඉන්නවා නං වෙලාවට ඇහැරෙනව නෙ..”
“නිදාගන්නවත් නොදෙන කසාදෙකට නං යන්නෙපා එරන්ද”
මා කවදාවත් එරන්දට සසඳි නොගැළපෙතැයි කියා නැත. එහෙත් මේ සිද්ද වෙන දේවල් ඇස් දෙකෙන් දැක දැක ඔහුට ඇය විවාහ කරගන්නයැයි කියන්නට හිත ඉඩ දෙන්නේද නැත.
“මේක ඉවර කරනවද ඔයා අද?”
“හ්ම් ..”
“එතකොට?”
“අපට යන්න වෙනව”
“ඔයා කවදද යන්නෙ?”
“මං කෙලින්ම ස්වීඩන් යන්නෙ නැහැ..මැලේසියා යනව.. පස්සෙ අයියල බලන්නත් ගිහින් ස්වීඩන් යන්නෙ”
“අරූ පව් බිම්මා”
“එයා සමහර විට අයියල ඉන්න දිහාට ඒවි”
“ඇත්තටම ඔයා නයිල්ස් බඳින්න ලැහැස්තිද?”
“අපි ඒ ගැන වෙනමම කතා කරගමුද?”
නයිල්ස් ගැන කතා කර එරන්ද රිදවන්න මට ලෝබ හිතෙයි.එක්ව ගෙවන්න ඉතිරි වී ඇති කුඩා ඉඩ අහුරවා ගන්නේ කුමකටද?
දහවල් ආහාරයෙන් පසු අප සියල්ල අවසන් කරන්න තීරණය කළෙමු.කැමරා කණ්ඩායම වේලාසනින් කොළඹ එන්න පිටත් වූවේ ඔවුන් වෙන් කරගත් වාහනයකිනි. අපට වංහනයකුත් නවාතැනකුත් තිබේ. මහියංගණය අවට තව දවසක් දෙකක් ඇවිදිමුයි කීවේ අචලම ය.
එදා රැය සැහැල්ලු ය. එරන්ද වේලාසනින් දුරකතනය විසන්ධි කළේය. අපි ඒ අවට වැවක නාන්නට තීරණය කරගෙන සිටියෙමු. සවස් වරුව ගෙවුණේ වතුරේ ය. රාත්‍රිය මිහිරත් අචලත් දෙදෙනාගේ උවමනාවට මධුවිතෙන්ම තෙමී ගියේය. බිව්වාට පස්සෙ ලස්සනටම සින්දු කියන්නේ එරන්දය කියා කතාවක් මතුවිණි.
එරන්ද මා ළගින් හිඳ ගත්තේය.
“ මේක මට පිස්සුවක්..”
එරන්දට තිබුණේ එහෙම මිතුරන් අතරේ වත් නොගයා ඉන්නට ය. එය ඒතරම් හැඟීම්බර ය. කොයිතරම්ද කියනවා නම් හෝටලයේ නතරවී සිටි බොහෝ දෙනෙක් අප වටා එකතු විණි. කෙනෙකු සිය ජංගම දුරකතනයෙන් ඒ ගැයුම විඩියෝ කළේය.
“ ඒක පිස්සුවක් තමයි..”
මම තුෂ්නිම්භූතව බලා සිටියෙමි. එරන්ද ගැයුවේ ලංකාවේ පෙම්වතුන් කලෙක මුදුන් මල්කඩක් සේ ආදරය කළ ගීතයකි.
"සැදී රන් අබරණින්
රිදී සලුපිලි දරා ”
මම වහා හැරී අචල දෙස බැලුවෙමි. අචල සිටියේ එරන්ද දෙස බලාගෙනම ය. මිහිරත් සුදු නංගීත් විස්මයෙන් මෙන් එරන්ද දෙස බලා ඉන්නවා පෙනිණි. එරන්ද ගීය ගැයුවේ ඇස් පියාගෙනම ය. ඇත්තටම එක මොහොතකට දෙකකට ඇස් ඇරි එක ඇත්තකි. ඒ ගීතයේ අකුරු කියවාගන්නට දුරකතනය දෙස බලන්නට ය. මම, මම නම් මුලුමනින්ම සහ සම්පුර්ණයෙන්ම එරන්ද දෙස බලාගත්වනම උන්නෙමි.
ඔය ගීතය මට කිසිම ප්‍රේමයක් ඇත්තේ නැති දවස් වලත් මගේ හදවත කලඹා තිබුණු එකකි. ඒත් දැන් තියෙන්නේ වෙනස්ම තත්වයකි. එරන්ද ඒ ගීය ගයනා අතරතුර මගේ ඇස් වලින් කඳුළු කැටයක් රූරා ඇවිත් වැටුණේය. මට අපව වීඩියෝ කරන කෙනා ගැන එහෙමකට අවධානයක් තිබුණේ නැත. කොහොමටත් බිම්මා හැඟීම් සැඟවීමෙහි පොහොසතෙකු නොවේය.
“අඩෝ මෙච්චර කාලයක් මූ එක්ක හිටියා මූ මෙච්චර සීරියස් වෙලා නං සින්දුවක් කියනවා දැකලා නෑ” අචල කීවේය.
“ඇයි මේ බිම්මා අඬන්නේ ඉතින්”
“ඒක ඇෙඬන සින්දුවක් නෙමෙයිනෙ ඉතින්”
“මට දුකයි..” මම කඳුළු පිසලමින් නැගිට වෙනතකට ගියෙමි. වන වදුලු සිපගෙන එන මදමුදු සුළඟ මා මොහොතකට සුවපත් කළේය.පියවර හඬකින් මම හැරී බැලුවෙමි. මේ විස්සෝපයට හේතුව එතැන විණි.
එරන්දය. බිම්මාය. නිශ්ශබ්දතාවයය. එක බැල්මකින් සීල් තියු දෙදෙනෙක්ය. සිනහවකි.ඒ කෙල්ලගේ මුහුණේ නොවේ. කොල්ලාගේ දඩබ්බර කමය. එහෙනම් ඔයා මං වෙනුවෙන් ඇඬුවා. මං ඔයාව ඇඬෙව්වා වගේ පුරුෂාධිපත්‍යය ඉස්මතු කරගත් ජයග්‍රාහීත්වයය. මට ඒ ඇස් මගාරින්නට ලෝබකමකි.
“ඇයි ඇඬුුවෙ? කොල්ලො බලනව මොකද කියල”
“දුක හිතුණ”
“අනේ ළමයො. සින්දුවක් නෙ”
“මං එහෙමයිනෙ. මට සමහර චුටි දේවලට දුක හිතෙනව ඇඬෙන්නම..”
“සමහර ලොකු දේවල් නං ගාණක් වත් නෑ හැබැයි”
සරදමක්ද? ඇත්තක්මද?
“පිස්සුවක් ඒක නං හොඳද..”
“අර වීඩියෝ කරපු එකා ක්ලිප් එක වට්සැප් කලා.. ඉන්න මං දාන්න ඔයාට”
මොහොතකින් වීඩියෝ එක ආවේය. මම ආයේ එය ප්ලේ කලෙමි. එරන්ද මගේ උරිස්ස මතින් එබී හිඳී.
“ අප්පා ඌ ඔයාවත් වීඩියො කරල නෙ”
මට සිනාවක් නැගිණි. මා ඉතින් කැමරාවලට බය නැත. මෙතෙක් කාලයක් මගේ රැකියාවල වාර්තා වැඩසටහන් කරද්දී මෙන්ම රිදී හැන්දට රීල් ඇඩ් කරද්දීත් මං කැමරා ඉදිරිපිට පෙනි සිට තියේ.
“අපි දෙන්න එකට තිව්වාම ලස්සනයි”
එරන්ද කීවේ සිනාවක් නැතිවය. විහිළුවක් වාගේ නොවේ. හරිම සාහසික ඇත්තක් කියන්නාක් මෙන් බැරෑරුම්වය.
“මට වඩා ලස්සන හුරතල් කෙල්ලක් ඔයාට ඉන්නවා නෙ..”
“ඔව්.. ඉන්නවා”
“ඉතින් අපි දෙන්න මැච් වුණා කියලා මක් කරන්නද?”
“ඒක සතුටක්.”
“මොකක්ද.. “
“මෙහෙමහරි දකින්න ලැබෙන එක.. එක ළඟ”
“අනේ එරන්ද.. ඔච්චර හිතන්න එපා. ඒ ගැන”
“මං ඔයාට ආදරෙයි බිම්මා”
එැන්ද නැවතද ඒ හැඟීම් නෞකාව මගේ සිත් සමුදුරෙහි ස්ථානගත කළේය. නැංගුරම මා සිතට විසි කළේය. මගේ සිතද විටෙක සමුදුරකි. අනෙක් හැම වෙලාවකම සමුද්‍රාසන්න නැව් තොටකි. මෙහෙම අපුර්ව රෝමාන්තික ඉලන්දාරියෙක් නැව් ගාස්තු නොගෙවාම නැංගුරමක් විසි කළාම මා පතුළ එය අල්ලා දරා ගන්නේ නැවත නැව නැව් තොටින් යවන්නට හිතාගෙන නොවේ.
“අද රෑට මට ඔයා ගාව ඉන්නෝන”
කාටවත් නෑසේ. ඇසේදැයි බියකි. රාත්‍රිය සිනා වේ. මම මලක්වී ඉමි. දීර්ඝ කාලයක් තිස්සේ ආදරය සෙව් හදවතක් දැන් ඉන් තෙත්බරව අලුත් වැස්සක පෙඟුණු පොළොවක් මෙන්ම සියුම් දුහුවිලි සුවඳක් නිකුත් කරයි.
“ මිනිස්සු ආදරෙයි සෙක්ස් කියනෙකයි දෙකක් විදියට දකිනවා.. එක එක කතා කියනවා. ආදරේ නැතුව සෙක්ස් රහ නැහැයි කියනවා. ආදරේ එක්ක ඒක මාරයි කියනවා”
“ඒක කොහෙමාටවත්ම සමාන නෑ එරන්ද. එක එක්කෙනාගෙ අත්දැකීම් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. කවියො නවකතා කාරයො ප්‍රේමයේ ඉස්මුරුත්තාව හැදුණාම රාගය ආසාව ආදරෙන් අයින් කරනවා.. ඒත් ඔය එකකටවත් එකකට එකකින් වියුක්ත කරගන පවතින්න බෑනේ”
“ඔය මොකක් කොහොම කිව්වත්.. මං වගෙ කොල්ලෙක්ට ඒක එහෙම වෙන් කරල විඳින්න පුළුවන් කමක් නෑ..”
“ඒකෙ තේරුම?”
“ලංකාවෙ ගෑනු එක්ක මං චැට් කරල එහෙම නෑ කියලා බොරු කියන්න මට බෑ. අපට ඕඩර්ස් දාන්න කතා කරලම ක්‍රශ් වෙච්ච කෙල්ලො දෙතුන් දෙනෙක්ම හිටියා.. බොරු කියන්නෝන නෑනෙ.. මාත් කතා කරල තියෙනව.. හැබැයි ඒ ඔක්කෝම අර විදියට හිතනව කියලයි අඟවන්නෙ..”
“ඒ කියන්නෙ”
“මට මේක කියන්නකො.. ඔයා තෘප්තිමත්ද?”
“මොකක් ගැනද?”
“ජීවිතේ ගැන?”
“ඔයා අහන්නෙ සමස්ථයක් විදියට ගත්තාමද?”
“ ඒකට ඔයා කැමති විදියට උත්තරයක් දෙන්න පුළුවන්”
“ “මං හිතන්නෙ නෑ”
“තෘප්තිමත් නැද්ද?”
“ඔව්.. ජීවිතේට දේවල් ලැබුණට ඒ දේවල් ඔක්කෝම මට ඕනම විදියට ඕනම වෙලාවට ලැබෙනව නෙමෙයි. සමහර වෙලාවට මට මදි කියනෙක දැනෙනව. මීට වඩා දෙයක් ජීවිතෙන් ඕන කියලා හිතෙනව. තනියි වගෙ. නයිල්ස් ළග හිටියත් තනියි කියන හැගීම.. ඒක දරුණුයි.”
“මං ළග ඉද්දි?"
"සන්සන්දනය කරනකෙ හරිද?"
"ඇයි වැරදි?"
"ඒත් ඒක .. අනේ මන්ද"
"මෙහෙමයි.. මට ඔයාව පහසුයි. අපි දෙන්න එකම භාෂාවකින් කොමියුනිකේට් කරද්දි දැනෙන්නෙ වෙනම සතුටක්.. අපි එකම රටක් ගැන කතා කරද්දි ඒක සතුටක්.. පහසුයි කියලා හැගීමක්"
"ආදරේ ගැන කියද්දී, සෙක්ස් ගැනල කියද්දී
“වෙන වෙනම කියන්න නං මං දන්නෑ.. ඒත් මට දැනෙනව පර්ෆෙක්ට් ගතියක්”
මා කී කිසිවක් මුසා නොවේය. එරන්දට ළං වූ හැමවිටම අඩ අන්ධකාරවල කුඩා වීදුරු එළියටදී අපට මතක ඉතිහාසයක් තියේ.
“ඔය යටි පතුල් වල රේඛා පවා මගේ හිත ඇතුලෙ ඇදිලා ඉවරයි ..” මම කීවෙමි. එරන්ද මදෙස බැලුවේ ආදරය වැගිරෙන්නාවු බැල්මකි. මට මා ගැන දැනෙන හැගීම අපුරුය.
“ඔයා මුලින්ම ෆෝන් එකක් පාවිච්චි කරන්න පටන් ගනිද්දි වයස කීයක්ද?”
“ඔයා මොබිටෙල් නම්බර් එකක් යුස් කරන කොට ඔයාගෙ වයස කීයක්ද?
එරන්ද ගෙන් අහන්නම හිතෙයි. ඒ පිළිතුර අනුව මේ ජාන් නෙමෙයි කියා ඔප්පු වුණෝතින් මට මොනවා හිතෙයිද?
“මොකද බිම්මා , එතකොට ආයෙ ඒ ජාන්ව හොයං යන්නද? මේ වැටිලා තියෙන අමාරුව මදිද?” ඒ බිම්මා ; යථාර්වාදි බිම්මා මේ ෆැන්ටසියානු බිම්මා ගෙන් විමසන්නීය. මම තුෂ්නිම්භුත ව ඉමි. ඔය කොයි බිම්මාටවත් අයිති නැති එක පදාසයක තාමත් ජාන් හිඳියි.
“දැන් මට මේ චැට් කිරිල්ල හොදටෝම ඇති.මට ඔයාව දකින්න ඕන.ඔයාගෙ කටහඩ අහන්න ඕන” දවසක ජාන් ළමයාගෙන් වැඩිහිටි කොලුවෙකුට මාරු වුවේය. එය ඉතින් අහම්බයක්මත් නොවේ. ඔයිට කලිනුත් කෙල්ලක් මට ජාන්ව ඇයට දෙන්නේ නැති බවත් මා නෙළා ගන්නෙ නැති බවත් කියා දොස් කීවාය.
“ ඇයි දැන් මං නිසා ඔයාට වෙන කෙල්ලක් මීට් වෙන්න තියෙන චාන්ස් නැති වෙලාද තියෙන්නෙ? “
“මං එහෙමෙකක් කිව්වද?”
“මට ඕන ඔයාව හම්බ වෙන්න”
“මං තාම ලෑස්ති නෑ”
“එහෙනම් ඕන බම්බුවක් කරගන්නවා”
ඔහොම තරවී යන ඔහු නැවත එනතෙක් මා කොහොමටත් චැට් රුම් ඇති ඉසව්වකවත් නොයමි. ඒ වතාවෙ නම් හොදටෝම හිත රිද්දාගෙන සිටි ඔහු පෙර මෙන් චැට් රුම් බිත්තිවල “මිණී” ට කවි ලියා තිබුනේ නැත. ඒ වෙනුවට කෙල්ලන් කී දෙනෙකු සමගද මන්දා කතා බහ කර තිබිණි. ඒ අතරේ ක්වීන් ට්‍රිපලෙයිට් පවා සිටීම පුදුමයකි.
“ඒකි ඉතින් ඒකිට චැට් කරන ඕන එකෙක්ට කතා කරනව.. ඒ විතරක් නෙමෙයි ඉල්ලුව ගමන් නේකඩ් පික්ස් එහෙමත් දෙනවා.. පළවෙනි සතියටනම් ඒක ඕනවටත් වඩා වැඩි.. දෙවෙනි තුන්වෙනි සතිය වෙනකොට ඉතින් ෆොටෝස් ටික මදි වෙනව. හම්බෙන්නම හිතෙනව. සල්ලි තියෙන සික්ස් පැක් වගෙ හැදෙන ඇඟක් තියෙනව නම් ඔන්න ඒකි එනව.. හැබැයි සත පහක් වියදම් කරන්නෙ නෑ. කොල්ලව හුරගෙනම කනව. රූම් ගියත් රටකට යන්නත් ඕන නැති තරම් මෙඩිකල් ඩිටේල්ස් එයාට දෙන්නෝන.. මං නන් හිතන්නෑ මිණී, ඔය නිකම් කතා කළාට ජානුව ඒකිට නම් අන්දන්න පුළුවන් එකෙක් කියල. ඕකත් පොඩිකමට හිටියට ලෝකෙ කාලා වතුර බීලා ඉන්නෙ. ජානුව මේ ගෲප් වල එක කෙල්ලෙක්ටවත් රිලෝඩ් එකක් වත් දාන්නෙ නැ.. ඒ වෙනුවට ඕකා හොට් ලයින් එකේ කෑල්ලක් සෙට් කරන් කෝල්ස් අරන් ලව් කර කර නම් හිටියා..”
රන් සමනළයා මගේ හිත හදන්නට මෙන් කීවේය. හොට් ලයින් වල කෝල් රෙකෝඩ් වෙන්නේ නැති කාලයකි ඒක. ඉතින් පාලුවට කතා කර කර ඉන්නට ජාන්ට හෝට්ලයින් එකක කෙල්ලක සිටීම අමුතු දෙයකුත් නොවේ.
අප ආයේ මිතුරු වුයේ සෑහෙන කාලයකිනි. ජාන් නැතුව ඉන්නට හිත හදාගත්තට පසුය.
“මං ඒකාලෙ කෙල්ලො කීප දෙනෙක් එක්ක ඒ විදියට චැට් කළා”
“ඉතින්”
“වැඩක් නැහැ”
“ඇයි?”.
“උන් ආදරේ නෑ..”
“උන් මොනාහරි ඔයාට දෙනවනෙ”
“ඒ දෙනදේ වෙනුවෙන් මට එච්චර කාලයක් වෙන් කරන්න හිතෙන්නැ”
“දැන් මොකක්ද තත්වෙ?”
“හොට්ම කෙල්ල ක්වීන් තමයි.. මාර ලස්සන ඇඟක්. ඒක..පිස්සු හැදෙනව. ඒත් එයාගෙ කන්ඩි්‍ශන්ස් එක්ක මං එයා එක්ක කොහෙවත් යන්න කැමති ත් නැහැ”
“හ්ම්ම්ම්”.
“තව දේකුත් තියෙනව.. එයා වගෙ කෙනෙක් නිසා මං මගෙ වර්ජිනිටි නැති කරගන්න කැමති නැහැ”
මට එවෙලේ සිනාවක්ද නැගිණි. අන්තිමේ රන් සමනළයා කීවෙි ක්වීන් ට්‍රිපලෙයිට් මාර ට්‍රයි එකක හිටියා ජානුව අල්ල ගන්න ඒත් බැරිම වුණාම කියාය. ඉතින් එරන්ද, ජාන් නම් ඔහු එහෙම ආවාට ගියාට කාන්තා ඇසුර සොයා යන්නේ නැත. එහෙම පිරිමියෙකුගේ තේරීමක් වෙන්නට ලැබීම සතුටකි.

No comments:
Post a Comment