විසි එක්වෙනි කෝපි කෝප්පය
එරන්දත් දවස් වෙනතෙක්ම මට කතා කළේම නැත. ඔහු මෙහෙම නිශ්ශබ්ද වී හිඳින්නේ ඔහුගේ වාහනයේ වම්පස ඉදිරි අසුනේ ඔහුගේ කුඩා පෙම්වතිය හිඳගෙන හිඳින විටදී ය.මේ ඇමතුම පැමිණෙන්නට නම් ඇය අදාල ගමනාන්තයෙන් බැසීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඇගේ චෙකින් ඇමතුමත් එරන්දට ලැබී අවසාන විය යුතු ය.
"මොනාද දවසෙම කළෙ?"
"ගෙදර"
"නිදාගත්ත ද?"
"ටිකට් එක ඇවිත්.."
ඔන්න සල්ලාප පෙට්ටිය වැසිණි. මඳකින් “එයා යන්නම ඕනෙ නෙ” වාගෙ නිගමනයකට ආ පසු ආයෙ මට ඒ කටහඬ ඇසිණි.
"කවද ද?"
"හෙට රැට"
"හ්ම්"
"ඇයි ඉතින්?"
"නැ..ඔයාට මොනවද ගෙනියන්න අරන් ඕන?"
"ම්ම්ම්.. මං හිතුවෙ ස්පයිසස් පැකට් ටිකක් ගෙනියනව ද කියල"
"බලල ලිස්ට් එක ටෙක්ස්ට් කරන්න"
" එරන්දට බෑ හෝ එපා කිව්වොත් ඔහු හිතර් රිද්දා ගනී. එහෙම රිද්දන්න හේතුවක්ද නැත. අඬන්නට ඉන්නා මිනිහෙක්ට ඇහැට ඇගිල්ලෙන් අනින්නේ කොහොමද?
මම ඉතින් තුනපහ කුඩු වර්ග කීපයක් සටහන් කර දුන්නෙමි. කීවා වාගේම කුඩා ස්කුටර වර්ගයෙ යතුරු පැදියක් පදවාගෙන දුඹුරු අත්දිග ටී ශර්ටයක් හැඳි අපුරු මානවකයෙකුට රුපාන්තරණය වු එරන්ද මගේ නිවාස එන්ට්‍රන්ස් එකෙහි පහළ වී සිටියේය.
"එහා පැත්තෙ ඉදල මෙහා පැත්තට මොනවටද කා එකක් කරකවන්නෙ.. "
"කිලුට්ට වගේම ආවා. මෙතන ඉඹින්නවත් බෑ නෙ. අර සිකුරටි කාරයො ඇස් එලියෙ දාන් බලන් ඉන්නවනෙ"
"හග් එකක් දීල යන්නකො"
"බෑ"
"ඇයි?"
"මං උයන තැන ඉඳල නෙ ආවෙ දාඩිය දාගෙන"
"විකාර නැතුව මට හග් එකක් දෙන්න"
එරන්දගේ ඇස් වලට ආදරය මිශ්‍ර අසරණකම කාන්දු වනු මම පියවි ඇසින් දුටුවෙමි.අපි දැඩිව එකිනෙකා වැළඳ ගත්තෙමු.
"රෑට මං එන්නං .. ළඟ ඉන්නෝන"
එහෙම කියා බයිසිකලය හරවාගෙන යන්නට ගියේය. මම ඉතින් හුදකලා මතක අහුරද රැගෙන තට්ටු විසිගණනක් උසින් ඇති ගෙදර ට ගියෙමි.
හවසත් කොහේවත් නොගොස්ම මම එහි රැඳුණෙමි. අචලට මිහිරට සුදු නංගිට පසුවදා එයාපෝට් යන්නට පෙර ඔවුන් හමුවන බව කීවෙමි. කමුබන්හි වැඩ අවසන් වන්නට පැය කිහිපයකට පෙරම අනන්තයක් දුරට ආදරයක් කරපින්නාගත් එරන්ද පුරුදු මං ලකුණු ඔස්සේම පැමිණියේය. දොර ඇරි සැනින් මා වැළඳ ගත්තේය.
"වෙන්වෙන අන්තිම මොහොතෙවත් වෙන්වෙන බවක් නම් දැනෙන්න අරින්නෙපා බිම්මා"
එරන්ද කීවේ දවසටම තහනම් වචනයක් යොදමිනි.
"අහන්න හිටියෙ ඔයා මාව එයාපෝට් එකට ඩ්‍රොප් කරනවද කියලා"
"අචලව එවන්නං"
"අර මහ රැ මාව එයා එක්ක යවනවද?"
"හ්ම්"
"එන්න දුකයි ද?"
"නැ එහෙමත් නෙමෙයි"
එහෙමත් නෙමෙයි කීවාට එහෙමම බව කියන්නට අලුතින් වචන උවමනා නැත. ගිලී ගිය ඇස් සහ මැළවුණු කම්මුල් හොඳටෝම ප්‍රමාණවත් ය. මම පැන්ට්‍රිය දෙසට ගොස් තේ කෝප්පයක් සකසමි. එරන්ද එන්නේ රස කෑමක් රැගෙන බවද දනිමි.
"දැන්ම කන්න බෑනෙ නේ අපට "
ඔහු සෙමෙන් අසයි. තොල් පටක් මුවගක රැදෙයි. හිත අසංවර වෙයි.නොදැනිම ප්‍රතිචාර මතුවෙයි. ළමැදෙහි ගැස්ම වැඩිවෙයි. කෙනෙකුගේ හදගැස්ම ද වැඩිවෙයි.
"තේ එක…"
"පස්සෙ බොමු"
"නිවෙයි"
"දැන් මං ඇවිලෙන්න පටන් අරන්නෙ.."
ඇවිලීමට ඇරඹෙන්න නිශ්චිත තැනක් නැත. කොහොමටත් පියවරෙන් පියවර ඇවිලීම වන්දනාවක් වූ විට ඊළඟ මොහොත ගැන අප පුර්ණව දැනුවත් ය. එසේ දැනුවත්වීමෙන් කුතුහලය නැතිව යයි. සිරුර වාගේම මනසත් පෙර සූදානමකින් පසුවෙයි.මම, ඊට සුදානම්ද? නැත්නම් එරන්දගේ කොතැනින් පටන් ගනීද කොතැනින් අවසන් වේද නොදන්නා රෝමාන්තික ක්‍රියාවලියෙහි ඇති අවිනිශ්චිතබවට කැමතිද?
"ආයෙ එනකම් මාව අමතක නොවෙන්නෝන"
"එතකොට?"
බලන්නට ඉතිරි වෙන්නේ මොනවාද? කිසිවක්ම ඉතිරි නොවෙයි. එරන්ද ඉතින් උමතුවෙනි. සසඳිට දරාගන්නට තියා හිතාගන්නටවත් නොහැකි තරමේ ශක්තියක් එරන්දගේ සියොළගෙහි හැම සෛලයකම හැම කේශනාලිකාවකම ඇති බව ඉතින් මම පිළිගනිමි. දරාගනිමි. ඉවසමි. අනිත් අතට සහමුලින්ම ප්‍රේමය පිරිනමමි.
ඒ ප්‍රේමයෙන්ම ඔහු මට සුදු නෙලුම් මල් පොහොට්ටු උල්පතක් මවන්නේය. ඉතින් ඉන් බොහෝදේ අවසන් වෙයි. වෙන කවදාවත් නැති තරම් වෙලාවක් ඔහු නිහඬව සිටියේය. පහුවදා මේ වෙලාව වෙද්දී මා සිටිය යුත්තේ ගුවන් තොටෙහි ය.
"ඔයා දැන් ආපහු යනව ද? "
එරන්ද යාන්තමට සිහින් තෙතමාත්තුවක් ඉතිරිවු උඩුකය නිරාවරණය කරගෙනම මා අසල හිඳගත්තේය. මා අසද්දී හැරී මදෙස බැලුවේය.
"යන්න ඕන නං යන්නං "
යන්න කියන්නේ කොහොමද? රිදී හැන්දට එකතු කළ සමහර සටහන් වල වෙනදාට වඩා හැඟීම්බර බවක් එක්වී ඇත්දැයි මට සැක සිතී තියේ. එහෙම නම් ඒ සියල්ලට හේතුව මේ මා අසළ හිඳගෙන සිටිනා තරුණයා ය.
"එපා "
මම ඒ අතකින් අල්ලා ගත්තෙමි.
"තෑන්ක්ස්" ඔහු කීවේය.
"ඇයි එහෙම" මම ඇසුවෙමි
"මේ තරම් ආදරේ දුන්නට.."
"දුන්නට නෙමෙයි දෙනවට කියන්න"
"හෙටින් පස්සෙ දෙන්න බැහැ නෙ"
"ඇයි එහෙම හිතන්නෙ"
"හෙට ඉඳලා ඔයා එයා එක්ක නෙ"
"එතකොට ඔයා? ඔයා ඊයෙ හිටියෙත් හෙට ඉන්නෙත් එයා එක්ක නෙ"
"මං වැරදි එක ඇත්ත"
"හරි වැරැද්දක් නෙමෙයි.ඔයා එයා එක්ක හිටියා කියලා ඔයාට මාව ඕන නැති වුණෙ නැහැනෙ.ඉතින් මට හෙට ඉඳල ඔයාව අමතක වෙන්නෙ කොහොම ද?"
"හිතුණු හිතුණු වෙලාවට ළඟට එන්න බෑ.කතා කරන්න බෑ. බලන්න බෑ."
"ළඟට එන්න බැරිවුණාට ආදරේ නැති වෙනවද? ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන්. දකින්න වීඩියො කෝල් ගන්න පුළුවන්"
"ලේසි නෑ. දකිද්දි ළඟට නෑවිත් ඉන්නෙක"
"අනේ එච්චර හිතන්නෙපා එරන්ද"
එකිනෙකා වැළඳගෙන ඉකිබිඳ හඬන්නට හිතෙනා හැඟීමක අපි දෙදෙනාම සිරවී සිටියෙමු.
"ගෑනියෙක්ට මෙච්චර ආදරේ කරන්න පුළුවන් කියලා දැනුනෙ ඔයා නිසා"
"මිනිහෙක්ට කියල මාත් මෙච්චර ආදරෙ කරන්න ගත්තෙ ඔයාටමයි. මට මැරෙන්න පුළුවන්.. ඔයා මත්තෙ.."
"වෙලාවකට අපි බොළඳයි කියලා බැහැර කරපු සමහර සිතුවිලි දැන් අපටම හිතෙනව නේද? හිතුවෙ නෑ කවදාවත් මට මෙච්චර ඉක්මනට ඔයාට ආදරේ කරන්න පුළුවන් වෙයි කියලා "
එරන්ද මා ගෙනයන්නට සකසා තිබු බෑග් දෙක නැවත පරික්ෂා කළේය. මට මා ගැන දුක හිතිණි. සමහර වෙලාවට ජීවිතයට වටිනාම දේවල් ලැබෙන්නේ ඒවා ලබා ගන්නට හැකි තැන්වලදී නොවේ.
"මං නයිල්ස් එක්ක යාළුවෙලා නොහිටියානම් ඔයා මාව බඳිනවද?"
ගමන්මල්ලේ මා විසින් ඔහේ ඔබා තිබුණු ඇඳුම් විධිමත් ආකාරයට නවමින් තැන්පත් කරමින් සිටිනාතර එරන්ද මගෙ මුහුණ වික්ෂිප්තව බැලුවේය. එහෙම බලන්නට තරම් බරපතල කිසිවක් මා කීවාදැයි මට සැකත් හිතෙයි.
"ඕක ගැන අපි කතා නොකර ඉම්මු"
පිරිමි වෙලාවකට අමුතු ය. මට දුක හිතෙයි. එරන්දට අඩු ගණනේ නෑ හෝ කියන්නට බැරි ද? මට වුණත් තියෙන්නේ හදවතක් නේ ද? ඇඳුම් සකසා තියා ගමන් මල්ල පසෙක තැබු ඔහු නිශ්ශබ්දව පැන්ට්‍රි එක තෙක් ඇවිද යනු මට ඇසිණි. මා දුටුවේ ඔහු දොරෙන් එපිටට යනු පමණකි. මම ඔහේ සයනයේ දිගාවී හිඳිමි.
ටික වේලාවකින් මට රූපවාහිනිය ක්‍රියාත්මක වෙනු ඇසිණි. මම නාන කාමරයට ගොස් මිහිරි වෙහෙසක අවසාන මතකයන්ද දියෙහි දියකර දැමුවෙමි. කෙටි ගවුමක් ඇග වැහෙන්නට දමාගෙන ශීතකරණය තෙක් ගියෙමි. කලින්දා ගෙනා පළතුරු යුශ පැකට්ටුව අතට ගත්තෙමි. එරන්ද මදෙස තියුණුවට බලා උන්නේය. ඇසින් මා කැඳවුවේය. අතින් ඇද උකුළට ගත්තේය.
"මගෙයි සසඳිගෙයි එෆෙයා එක කොයිම හරි වෙලාවක කුඩු පට්ටම් වෙලා යන්න පුළුවන්. ඒත් ඔයායි සුද්දයි එහෙම නැහැ. ඔය දෙන්නගෙ රිලේශන්ශිප් එක සොලිඩ්. ඒ නිසා අපි අරවගේ එහෙම වුණා නම් මෙහෙම වුණා නම් වගේ දේවල් කතා නෙකාර ඉමු. තේරුමක් නෑ. රිදෙනවා විතරයි අන්තිමේ"
එරන්දගේ උරහිසට වාරු වී මටද එහෙමම නින්ද ගියේය. දුරකතනය දෙදරුම් කනවිටත් මා ඇහැරෙනවිටත් එරන්ද මා එහෙමම දරාගෙන නිදා සිටියේය. අචලගේ පින්තුරය පෙනුනෙන් මම එය ඇමතුවෙමි.
"තෝ කොහෙද හු.. ඉන්නෙ.. බිම්ම එක්ක නිදිවදින්න තියේනම් උඹටත් වෙන මොකුත් මතක නෑ. අන්න අරහෙ අරකි. මැරෙනව කියල මට කතා කර කර කියනව. තෝ ඒකිව බ්ලොක් කරල ලු. ඒකි කියනව බිම්මා හොයා ගෙන එනව ලු.. ගොනෝ බිම්ම ලංකාවෙන් යනකම්වත් අර අම්මණ්ඩිව බැලන්ස් කරගනින්.නැත්නම් ඒකි මොන යකා නටයිද දන්නෑ "
අචල කියාගෙන කියාගෙන ගියේය.මම තිගැස්සී බලා සිටියෙමි. එරන්ද ඇහැරුණේය. මම දුරකතනය ඔහු වෙත පා ඔහුගේ උකුළෙන් මෑත් වුණෙමි. මදෙසද විපරමින් බැලුවේය.
"මොකක්ද වෙලා තියෙන්නෙ?"
"ආ නෑ බං බිම්මයි ආන්ස කළෙ"
"අප්පට සිරි…"
එරන්ද දුරකතනය කනේ තියාගෙනම මෙතෙක් වෙලාවකුත් අඩමානයට ඇඳ සිටි තුවාය යළි සකස් කර ගත්තේය. නැගිට නිදන කාමරයට ගියේය. මම මොහොතක් බලා සිටියෙමි. එරන්දගේ සිගරට් පෙට්ටිය කුඩා කෝපි මේසය අසල තියේ මම ඉන් එකක් ගෙන ලයිටරයද රැගෙන බැල්කනියට ගියෙමි. බිමින් වාඩිවි සිගරැට්ටුව දල්වා ගතිමිි. රාත්‍රිය සීතලය. සුළඟ සමග එක්වී අහසට ගමන් කරනා ජල වාෂ්ප හේතුවෙන් ඇතිවුණු පින්නකි. එය මාවද පොඟවයි.මෙලෙක කරවයි.
එරන්ද අනුන්ගේයැයි හිතට තදින් දැනුණේ එවෙලේය. අචලගේ වචන මිතුරෙකුට සාධාරණ වුනත් මට ඒවාට රිදෙයි. මා නැති නිසාවෙන සිගරට් සුවඳ දිගේ ආ එරන්ද මා ළගම බිම හිඳ ගත්තේය. මම ඔහු දෙස නොබලා සිගරැට්ටුව ඔහු වෙත දිගුකළෙමි.
"මං හින්ද ප්‍රශ්න නේ?"
"ඔයා හින්ද නෙමෙයි"
"මං නම් යන කෙනා.ඒත් එයා?"
කිසිවක් නොකියා ඔහු සිගරැට්ටුව දෙවරක් උරා බිම අතුල්ලා නිවා දැමුවා මිසක නැවත මට එය නොදුන්නේය.මම දුම් රොටු පාවෙනු බලා හිටියෙමි.
මේ රෑ තාම තරුණය. එරන්ද දිගු හුස්මක් සද්ද නගා අතහැරියේය. මදෙස බැලුවේය. දෝතින්ම මගේ කම්මුල් අල්ලා ගත්තේය. මුහුණටම එබුණේය. අන්ධකාරය නිසා කිසිවක් නොපෙනෙයි. දැනෙන්නේ ස්පර්ශය අනුව හිතේ මවා ගන්නා හැඩතල පමණයි. ධාරාණිපාත සිපුම් මෝසමක් යළි උදාවී තියෙන නිමේශයක අප ආයෙ එළිමහන් ආකාසය අද්දරක එකිනෙකාගේ ශක්තීන් තුළ කිමිදෙන්නට පටන් ගත්තෙමු.
"මට ඔයාව ඕනෙ"
එරන්ද මුමුණන වචන වල අවසාන තේරුම එයයි.
"මට බයයි.. අද දවසෙන් පස්සෙ අපි අපට කවදාවත් දකින්න නැතිවෙයි කියල.ඔයා මැරි කළාම මේ නිදහස ඔයාට නෑ. ආයෙ ලංකාවට තනියම එන එකකුත් නෑ. එයත් එයි.ඔයා එක්ක"
'මං දන් නෑ"
"මං දන්නවා. මට පිරිමියෙක් හිතන විදිය තේරුම් ගන්න පුළුවන්. ඔයා කාට වුණත් හරි වටින ආදරණීය ගෑනියෙක්.ඔයා වගෙ ගෑනියෙක් නැති කරගන්න කාටවත් හිතක් හදාගන්න බෑ"
"ඔයාට වටිනවද මාව?"
"හැමදේටම වඩා"
හුස්මක් සැලෙයි. එරන්දගේ කම්මුලක තෙත මගේ අත්ලට දැනෙයි. පිරිමියෙකුට මෙහෙම ඇඬුම්බර වෙන්නට පුළුවන්දැයි මම ආයෙ ආයේද සිතමි.
පෙරදා ගාලු මුවදොරින් වැඩ මුරය අවසන් කළ හිරු, නෙලුම් කුළුණ දෙසට හැරී මුව දොවනුද මම බලා සිටියෙමි. ඒ එරන්දගේ උරිස්සට හේත්තුවී බැල්කනියේ බිම හිඳගෙනය.
"මීටත් වැඩිය ළං වෙන්න මට පුලුවන් සුදු මැණිකේ. එහෙම වුනොත් ඔයා නෛායා ඉඳී..ජීවිත කාලයක් කරපු කියපු දේවල් ගොඩනගාගත්ත බැඳීම් හ්‍රින ඔක්කෝම මං වෙනුවෙන් අත්අරීවි.මං එහෙම ඔයාගෙ හැමදේම උදුරගන්න තරම් වටින එකෙක් නෙමෙයි"
"එතකොට මගෙ ආදරේ?"
"ආදරේම නෙමෙයිනෙ ජීවිතේ කියන්නෙ"
"ඇත්තටම පර්ෆෙක්ට් ආාදරයක් එක්ක අපට ජීවිතේ ගොඩනගා ගන්න බැරිද?"
" මගෙ ඔලුව අවුල් කරන්න එපා කෙල්ල.. මට මේ තීරණ අමාරු කරන්න එපා. ඔයාව අද මට නොපෙනෙන දුරකට යනව කියනෙක දැනෙන්න අරින්න එපා"
"හා.අපි ඒක අමතක කරමු"
"මට පිස්සු හැදෙන ගාණට ස්ට්‍රෙස් වුනාම මට ඔයාට කෝල් එකක් ගන්න පුළුවන්ද?"
"ඇයි ඔහොම අහන්නෙ?සමහර විට හැමදේම වෙනස් වෙන්නත් පුළුවන්. මං ආයෙ එන්නත් පුළුවන්. මගේ බ්ලොග් එක තෘ සෑහෙන්න ෆලෝවර්ස් ලා ගොඩාක් ආවා කමුබන් එකට. කවුද දන්නෙ ඉස්සරහට මොනව වෙයිද කියලා.බිස්නස් එක එක්ස්පෑන්ඩ් වෙන්න පුළුවන්. කොළඹින් එළියටත"
"ඔයා හැම වෙලාවකම ජීවිතේට වෙනස් බලාපොරොත්තුවක් දෙනව. මට ඒක හැමදාටම ඕනෙ වෙයි"
"ඉතින් මං ඉන්නව නෙ"
"ඉඳීවි ද ?"
"බලං ඉන්නකො"
මම එරන්ද වෙනුවෙන් උදෑසන කෑමක් සැකසීමි. ඔහු මා අසලටවී සිනාසෙමින් සිටියේය.
"මං බම්බලපිටියට ගිහින් අරගොල්ලන්ට කතා කරන්නෝනි. ඊට පස්සෙ ඇවිත් මෙතන ඔක්කෝම ක්ලින් කරවගෙන ලගේජස් අරන් එළියට බහින්නෝන.. ඔයාට පුලුවන් නම් මාව එයාපෝට් ඩ්‍රොප් කරන්න එන්න. බැරිනම් මං කැබ් එකක් දාන් යන්නං. ඒක වෙයිට් එකක් කරගන්නෝන නෑ"
"ඔයා යද්දි මට ඉන්න පුළුවන්ද කියල හිතල කියන්නං මං"
සැන්ඩ්විච් එකත් ඔම්ලට් එකත් පළතුරු යුශ වීදුරුවත් රැගෙන ඔහු ආයේ රුපවාහිනිය ඉදිරිපසින් හිඳ ගත්තේය.
"ඔයා නොදන්නවට නර්මදාත් ක්‍රශ් ඔයාට"
"මං දන්නව"
මම විස්මිත වීමි.නර්මදා එරන්ද කෙරෙහි උවමනාවට වඩා ඇලුම් කරනා බව මම දනිමි.
"ඒ කොහොමද ඒ දන්නෙ?"
"කෙනෙක් තමන්ට ක්‍රශ් කියනෙක දැනෙනව"
"නර්මදා ක්‍රශ් කියල කොහොමද දන්න"
"එයා දන්නැහැ නෙ අපි දෙන්න අතරෙ මෙහෙම දෙයක් වෙනව කියල. එයා ඉතින් එයාගෙ ෆීලින්ස් මට කියල තියෙනව"
"ඒ කියන්නෙ එයා ඔයාට චැට් කරනවද?"
"මෙහෙම නෙ. එයා මගෙ කස්ටම කෙනෙක් නෙ.කමුබන් කියන්නෙ කස්ටමර්ස්ලට දෙවියන්ට වගෙ සලකන රෙස්ටොරන්ට් එකක්.සට එයාගෙ ටෙක්ස්ට් එකක්, කෝල් එකක් ඉග්නෝ කරන්න බෑනෙ "
"එහෙමයි කියල ෆීලින්ස් අහන් ඉන්නෝනද?"
එරන්ද සිනාසෙයි. ඒ හුරතලයට ආදරේ හිතෙයි.
"ඒකි එක්ක අතන මෙතන ගිහින් එහෙම අහුවෙයන්කො බලන්න"
"වෙන එකියක් එක්ක හා ද එතකොට?"
"මං ළඟ නැති හින්ද ඒකට එත්ස්කියුස් එකක් තියේ.හැබැයි මොන හේතුවක් හින්දවත් මගෙ යාලුවෙක් එක්ක සෙට් වුණොත් නම් සමාවක් දෙන්නෑ "
"එතකොට සසදි එක්ක?"
"ඕන දෙයක්.. එයා ඔයාගෙ ගර්ල් නෙ"
"එතකොට ඔයා ?"
"මං ඔයාගෙ කවුරුත්ම නෙමෙයි"
"හැමදේමම ඔයා මගෙ.. "
******************************

No comments:
Post a Comment