Thursday, November 17, 2022

Daffodil Terrace 25

 #DT



25


ඩැෆඩිල් ටෙරස්


 


කන්නාඩි මේසය අසල පහළින් වන කබඩ් එකෙහි එකම පොතකි. වින්ටේජ් තීම් එකක පැරණි ජර්නලයකි. මතුපිටිනි. ඇතුළාන්තය මහා ඉතිහාසය ක් දරා හිඳිනු ඇතැයි හිතෙයි. මම එය ඔසවා ගෙන ඇඳට ආවෙමි.


කියවන්නට පෙර ඇඳ මතින් තැබුවෙමි. මට හිතෙන්නේම අර පුංචි මනාල අනුරුව මොනයම්ම හෝ කතාවක් සගවන බවකි.


ජර්නලයෙහි පළමු පිටුව එය මට ඇය තමාවම හඳුන්වා දීමක් වැනිය. පින්තුරයකි.කලුසුදුය. තොප්පියක් දමා ගත් කැරළි කොන්ඩයක් ඇති යුවතියකි. ඒ සිනහව මනස්කාන්තය. එහි ඇැගේ නම ලියා තියේ. ආනීක්‍යාය.එපමණකි. ඇගේ ජීව කාලය. එක්දහස් නමසියයේ මුල් අවුරුදු විසි එකකින් එය අවසන්වී ඇත. ඒ කියන්නේ ආනීක්‍යාගේ තාරුණ්‍යය වත් ඇය ඇත්තෙන්ම ගෙවා නැත.


සුළඟ හැමීය. වින්චයිම සෙලවිණි. එනම් ඇය ආ වගට සලකුණු ය. මම දෙවෙනි පිටුව පෙරළමි. පිටුව පැරණිය.අකුරු නැත. පෙනෙන කිසිවක්ම නැත. ඇය මනාල ජෝඩුව වටා ඇති කුඩා රදවනය සොලවන්නට පටන් ගත්තාය. ඇත්තෙන්ම මට ඇය හා කතා කරන භාශාව නොතේරෙයි. බැල්කනිය එහා පැත්තේ සිට පිපී පිරුණ මල් යායකි. ඒවා ඩැෆඩිල් ටෙරස්හි බිත්ති දිගට වැක්කෙරෙමින් තියේ. ඩැෆඩිල්ස් කාමරයේ සිට පමණක් නොවේ. සියලුම කාමර වල සදළුතල වලින් එසේ මල් වැගිරෙයි.මා මේ කියන වෙලාවේ ඩැෆඩිල් කාමරයේ සදලුතලයේ පිපී තිබු මල් වැල ක්‍රම ක්‍රමයෙන් ජනේලය දිගේ කාමරයට වැවි වැවි ආවේය. කොළ පමණක් නොවේ.මලුත් පුරවාගෙනය.


ආනික්‍යා ඇයව හඳුන්වා දෙන විදිය හොඳටෝම ප්‍රමාණවත්ය. අතත ළගටම ගෙනා ඇගේ මලක් ගලවා හිසේ රදවා ගන්නට තරම් මම නිහතමානී වුණෙමි. ආශ්චර්ය මතුවුණේ ඉන්පසුව ය. දෙවෙනි පිටුව ටයිප් කරනවාට වැඩි වේගයකින් අකුරු ලියැවෙන්නට පටන් ගත්තේය. ඒවා අත් අකුරින් ලියැවෙයි.


ඒ අකුරු ආනික්‍යාගේම විය යුතුය.


"තීනු… " ඇය මගේ නම ලියයි. මේ ඇගේ ඉතිහාසගත ජර්නලයද මට නොතේරෙයි. ඇය මේක ලියන්නට පටන් ගත් එක්දහස් නමසිය ගණන් වල මුල අවුරුදු වල තීනුවෙක් කොහෙන්ද?


" මට ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් .."


ඕ දිගින් දිගට ලියයි. මම හාත්පස බැලුවෙමි.


" මං ආසයි ඔයාගෙ කතාව දැනගන්න" මා ඒ කීවේ ඇය මේසය වටා ඔතා ඇති මල් දවටනය මත ඇගිලි තියාය. මේ හැමදෙයක්ම ඇගේ ආත්මය වටා බන්ධනය වී ඇති දේය.


" ඔව්.මමත් ඔයා වගෙ දේවදාර උයනට ආලෝකය ක් වෙන්න එක කාලෙක ආව ප්‍රාර්ථනාවක්. මගෙ තාත්තත් අර්ධ චන්ද්‍ර වංශෙ කුමාරයෙක්.  මගේ අම්මටත් මැජික්කාර පරම්පරාවක් සම්බන්ධ වෙලා තිබුණා. ඉතින් මාත් ඉපදුණෙ ඔයා වගෙ පිවිතුරු අර්ධ සුර්ය වංශෙ කුමාරයෙක් ව කසාද බැදලා සදහිරු වංශෙ පටන් ගන්න නියමිත කුමාරිකාවක් විදියට.


ඒත් , ජීවිතේ දෙන්නෙ හරිම අමුතු අවස්ථා. ඊට කලින් එතකොට උසස් පාසැල් ශිෂ්‍යයෙක් විදියට මේ පැත්තට ඇවිත් හිටිය පීටර්ස් මහත්තයව හම්බ වුනා. අපි හැමදාම මල් නෙළන්න යන කාලයක් ඒ. මල් මිටිත් උස්සගෙන කදු පාර දිගේ එද්දි ඒඩ්න් ගිටාර් එකකුත්


අරන් කන්ද නගින්න එනවා. එතකොට මේ ටෙරස් ගෙදර හදමින් තිබුණෙ.


හ්ම්.. මං හරිම ඉක්මනින් ඒඩ්න්ට කැමති වෙන්න පටන්ගත්තා.එතකොට මගෙ වයස අවුරුදු දහසයක් ඇති. එක්දාස් නමසිය ගණන් වල මං විතරක් නෙමෙයි හැම කෙල්ලෙක්ම එහෙමයි.අපි වටේට කොච්චර පුරාවෘත තිබුණත් අපි කාගෙ ජීවිත වල මුදුන් මල්කඩ වෙන්න නියමිත වෙලා හිටියත් ආදරේ කියන්නේ අපි හැමෝවම දියාරු කරල දාන හරි ආශ්චර්යමත් හැගීමක්. ඒඩ්න්නුයි මායි ඔය ඈත කදු මිටියාවත් වල පැය ගණන් ආදරේ කළා.. කැළැ මල් ඇට ජාති කොළ ජාති පොතු ජාති එකතු කරල තලල පාට වර්ග හදාගෙන රෙදි මතුපිට ලස්සන චිත්‍ර ඇන්දා.. අපට තිබුණෙ කෙටි වුනත් හරිම ලස්සන ආදර කතාවක්"


ආනික්‍යා කෙටි විවේකයක් ලබා ගත්තාය.


" චාරිත්‍ර වල හැටියට මං පිවිතුරු සුර්ය වංශික කුමාරයාව බදින්න කලින් තියෙන අවසාන පරික්ෂාවෙදි ඒ කියන්නේ ⁣ෙඖශද වර්ගයකට මන්ත්‍ර ජප කරල බොන්න දෙන පරික්ෂාවෙදි… එයාලා හැමෝම දැනගත්තා මං තවදුරටත් හිතින් පාරිශුද්ධ නැහැ කියලා. මගෙ ආදරයේ කන්‍යාභාවය බිදී අවසානයි කියලා. ඒ ගොල්ලො බලකලා ඒ කවුද කියලා දැනගන්න..


අවසානෙ ඒඩ්න්ටත් නොකියම මං ඩැෆඩිල් ටෙරස් එකට ගියෙ මහ කළුවරක කැළඅ පාරවල් මැද්දෙන්. ඒ ාවනකොට ග⁣ේ අය දැනගෙන හිටියෙ නැහැ මං ආදරේ කරන්නෙ වැම්පයර් කෙනෙක්ට බව. මං ඩැෆඩිල් ටෙරස් එකට ඇවිත් ටික දන


දවසකින් ඒඩ්න් මේ කාමරේ මං වෙනුවෙන් ම මෙහෙම ලස්සන කලා. හැම බැල්කනියක්ම මල් වලින් පිරෙව්වා. මට ඕනම බැල්කනියකින් එලිය බලන්න පුලුවන් කරන්න. දේවදාර උයනෙ කාටවත්ම නොපෙනෙන්න. අපි කසාද බදින දවසක මාව ලස්සන අශ්ව කරත්තෙකින් කැන්දගෙන යන එක සලකුණු කරන්න ඒඩ්න් අර ලස්සන පුංචි ජෝඩුව හැදුවා. එයා මට ලෝකෙ වටිනම දේවල් ගෙනැත් දුන්නා. ඇත්තටම මං අවුරුදු පහකට වඩා කාලයක් මේ ඩැෆඩිල්ස් කාමරයෙ ඒඩ්න් එක්ක ජීවත් වුණා.. "


මට මේ කතාවෙ කෙළවර අහන්නට නොහිතේ. ඇගේ මරණය.. ඒක ඛේදාන්තයකින් කෙළවර වීද?


" ඒඩ්න් ට මම කිව්වා මාව වැම්පයර් කෙනෙක් කරන්න කියලා. ඒත් ඒඩ්න්ට ඕන වුණා මං ලේ පොදියක් වගෙ තියෙන මගෙ හදවත පුරෝගන ඉන්න. මගේ හම හැම වෙලාවෙම උණුහුමට තියෙන්නෙ. මගේ බෙල්ල අයිනට මූණ තියාගත්තම මගේ හාට් රේට් එක ඇහෙද්දි එයාගෙ තර්ස්ට් එක වැඩි වුනෙ නෑ. එයා සම්පුර්ණයෙන් ම නිවුණා.


දේවදාර උයනට මං ගැන හෝඩුවාව දුන්නෙ, අර නුර් කියන බැල් ලි වගෙ මේ ගේ අස්සේම හිටි එකියක්.. තාත්තල හමුදාවක්ම අරගෙන ඇවිත් මාව දේවදාර උයනට උස්සගන ගියා. ඒ ගිහින් මාව පුලුවන් තරම් අඩපණ කලා..


ඒඩ්න් මාව ආයෙමත් අරගෙන ආවෙ දේවදාර උයන විනාස කරල. තාත්තාලට තිබුණ පුරාවෘත බල්ලට දාලා තමන්ගේ දරුවා වෙනුවෙන් පෙනි හිටින්න.පුරාවෘතයට පිටස්තර වෙන්න ගිය ප්‍රාර්ථනාවක් වුනාම විදින්න වෙන දුක් කන්දරාව මහ ගොඩක් මං දන්නෙ නෑ ඔයා ඒකට ලැස්තිද කියලා"


ඇය කියන්නේ මා මේ සුදානම් වන්නේ ඒ දරුණු අවදානම ට යළි මුහුණ දෙන ප්‍රාර්ථනා ව බව කියන්නද?


“ඔයා හිතන්නේ මං මොනව කරන්න ඕනෙ කියලාද”


ආනික්‍යා ආයේ ලියාගෙන ලියාගෙන යයි.


“ඔයා ආදරේ කරන්නේ ඔයාගෙ ඉරණම වෙලා තියෙන මනුස්සයට නෙමෙයි. ඒක මං දන්නවා. ඒත් ප්‍රාර්ථනාවක් විදියට මිනිස්සු ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒක. හැබැයි ඔයාට හුගාක් දේවල් වලට මුහුණ දෙන්න වෙයි. ඒත් මං හිතනවා ඔයාට පුලුවන් වෙයි හැමදේම දරාගන්න”


“ඔයාට මොකද වුණේ ඔයා කොහෙද ඉන්නෙ ආනික්‍යා”


මට ආනික්‍යාගේ කටහඩක් නොඇසෙයි. ඇගේ හැඟීම් පමණක් දැනෙයි. සමහර විටක ඇගේ කෙහෙරැළි මා අසළම රැදෙනවා පවා දැනෙයි. ඇය නොපෙනෙයි.


“ මගේ තාත්තලගෙ තරහ කවදාවත් ඉවරයක් වුණේ නෑ. අන්තිමේ එයාලගෙ කීමට මායාකාරියක් මාව මන්ත්‍රයකින් මේ ඩැෆඩිල් ටෙරස් එක ඇතුලෙම හිර කළා..”


“ඒත් කෝ ඔයාගෙ ඇග..අපට ඒ ස්පෙල් එක ආපහු රිවස් කරන්න හරි එහෙම නැත්නම් ඒ ස්පෙල් එක වෙනස් කරන්න හරි බැරිද”


“ඩිකේඩ් කීයක්ද දැන්? ඒඩ්න් දන්න හැම විදියක්ම කළා. මාව ආපහු එයාගෙ පැරණි පෙම්වතිය කරගන්න. අවසානේ අන්න අර දකුණු පැත්තට වෙන්න තියෙන මල් වගාව ඇතුළෙ මට සොහොන් ගෙයක් හදලා එයා මාව ඒකෙ තැන්පත් කළා. මං දන්නවා මගේ ඇග තාම පණ තියෙන ඇගක්.. ඒත් මට බෑ මගෙ  ඇගට රිංගගන්න යවන්න”


“ඒඩ්න් ගෙයි ඔයාගෙයි අතරෙ සම්බන්ධයක් නෑ දැන්. එඩ්න් වෙන වෙන ගෑනු අය එක්ක සම්බන්ධකස් පවත්වගෙන යන එක ගැන ඔයාට දුක හිතෙන්නෙ නැත්ද”


මා මේ විමසන්නේ තමන්ගේම ඇගට ඇතුල් වෙන්නට නොහැකි වී ඉන්නා දුක්බර අත්දැකිමක් අත්විදිමින් සිටින්නාවු ‍ගැහැනු ආත්මයකින් බව ද විටෙක මට අමතකව යයි. හොල්මනක් එක්ක කතා කරද්දී වුනත් අපේ ඕපාදුප වලට පෙරේතකම් කරන ස්වභාවික තොරතුරු දැනගැනිමට ගැහැනු හිත් වල ඇති රුචිකත්වය ගිලිහී නොයයි.


“මං දැන් නිකම් ම නිකම් ආත්මයක් විතරයි තීනු.. ඒඩ්න් කියන්නෙ බාගයක් මැරුණත් බාගයක් ජීවත් වෙන මිනිහෙක්. එයාටත් ආදරේ ඕනෙ. එයාටත් හැගිම් දැනිම් තියෙනවා. මට මේ ඔයා එක්ක කතා කරන විදියටවත් එයා එක්ක කතා කරන්න විදියක් නෑ”


“මට පුලුවන් නේද ඔයා එක්ක කතා කරන්න එයා ඉන්න වෙලාවකත්”


“පුලුවන්”


“ඒත්.. එයා ට බැරි වුනා තාමත් මාව ‍බේරගන්න උවමනාම දේ කරන්න”


“ආනික්‍යා. මං දැන් ඉන්නවා.. මට පුලුවන් ඔයාව ආයෙ ජීවත් කරවන්න පුලුවන් ඕනම දෙයක් කරන්න”


“ඔයා දන්නවාද මාව සීල් කරපා තියෙන් ස්පෙල් එක රිවර්ස් කරන්න නම් ඔයාට හොයා ගන්න වෙනවා.. ඔය දේවදාාර උයනෙ දැනට ඉතිරි වෙලා තියෙන එකම මායාකාර වං‍ශයෙ අය හංග ගෙන ඉන්න රෝසපාට සඳ මැණික ඒ කියන්නෙ පින්ක් මුන්ස්ටෝන් එක.. ඒකෙන් තමයි පුලුවන් මගේ ස්පෙල් එක රිවර්ස් කරන්න”


මම සතුටින් ඉපිළ ගියෙමි..දැනට ඉතිරිවී ඇති එකම රෝස සඳ මැණික තියෙන්නේ භාග්‍ය මල්ලිලාගේ පරම්පරාවට නම් ඒ ගැන සිතන්නට බොහො කාලයක් ඉතිරිවී නැත. අපට ඉක්මණින් වැඩ කරන්නට පුලුවන.


“ඉතින් මං  භාග්‍යට කතා කරන්නම්”


පොතේ පිටු අතරින් ඇය ඈතට ඇවිද ගියාක් වැනිය. වේගයෙන් මල් වලින් පිරි තිබු කාමරයේ හැම තැනක්ම සුපුරුදු පාළු පාටට හැරිණි. එහෙනම් මේ හැම මලකම අයිතිකාරිය ඇයයි. ආනික්‍යායි. ඒඩ්න් ගේ හිත දිනාගන්නට සමත් වු ප්‍රේමණිය යුවතියයි. වෘක කෙල්ලයි. මම ආනික්‍යා ගැන කිසිවක් කතා නොකර සිටින්නට උත්සාහ කරමි.


ඒඩ්න් ගෙදර ආවේ රැ බෝවිය. එතෙක් රැ කැම මගැරගෙන පොතක් කියවමිනුත් ‍චාරුදර ගේ කෙටි පණිවුඩ වලට පිළිතුරු යවමිනුත් බලා ඉන්නා මදෙස ඔහු හොරෙන් බලනුද පෙනිණි. මට ඔහුගෙන් දැනගන්නට බොහෝ දේ ඇත. නුර් මා දෙසත් ඒඩ්න් දෙසත් බලමින් මලියෝනාගේ පර්සියන් බළලාවද හුරතල් කරමින් සිටියාය. මලියෝනා පොතක් කියවමින් සිටියාය.


ඒඩ්න් මඳ සිනාවක් නගාගෙන අප කරා ආවේ කවදාවත් නැති විදියකට සැහැල්ලු සිනාවකිනි. මෙතෙක් කාලයක් මනුශ්‍යයෙකැයි සිතාගෙන සිටි මට ඔහු කෙරෙන් දැන් වැම්පයර් ගති පෙනෙන්නට පටන් ගෙන තිබේ.


“ මොකද කට්ටියටම මට විරුද්ධව දෝශාභියෝගයක් වත් සභා සම්මත කරන්නද ලෑස්ති වෙලා ඉන්නෙ”


මලියෝනා දෙවුර ගැස්සුවාය. කියවමින් සිටි පොත පසෙක තැබුවාය. මා දෙසද නුර් දෙසද ස්ථිරසාර බැලුමක් බැලුවාය.


“ඔයා නිසා මේ ගෑනු ළමයි දෙන්නා ්ෆයිට් කරනවට නම් මං කොහොමටවත්ම කැමති නෑ”


ඒඩ්න් අප දෙදෙනා දෙසම සමාන්තර බැල්මක් බැලුවේය. ඒඩ්න් ගේ මේ වගේ බැල්මකට ලංකාවේ ගැහැනු චංචල නොවනවා නම් ඒ මන්දැයි මා පර්යේෂණයක් වුව කරන්නට සුදානම්ය.


“ මට ඒඩ්න් එක්ක කතා කරන්න ‍තියෙන දේවල ්ප්‍රසිද්ධියේ කතා කරන්න මං කැමති නෑ”


මට උවමනා ඒඩ්න්ට ආනික්‍යා ගැන කියන්නටය. ඇයත් මාත් අතරවු සංවාදය ගැන කියන්නටය. රෝස පාට සඳ මැණික සොයා ගත්තෝතින් අපට ඇගේ මන්ත්‍රයෙන් ඇව ගළවා ගන්න හැකි වන බව කියන්නටය.


“ ඔයා එක්ක මටත් කතාවක් තියෙනවා තීනු.. දැන් මොකක්ද නුර්ට තීනු එක්ක තියෙන ගැටලුව”


මලියෝනා නැගිට කෑම මේසයට යන්නට සුදානම් වුවේ “දැන් ඔක‍්කෝම කතා ඇති කාලා ඉන්නැයි “ කියමිනි.


“ඒඩ්න් මට හිතාගන්න බෑ.. ඔයා කොහොමද මේ කෑම වර්ග කාලා ජීවත් වෙන්නෙ”


ඒඩ්න් මා දෙසත් නුර් දෙසත් බැලුවේ විශ්මයෙන් පිරි බැල්මකි. 

“මොකක්ද ඒ කතාව?"


"ඇයි ඒඩ්න්, ඔයා ඔයාගෙ මේඩ්ට හරියට බිහේව් වෙන්න උගන්නල නැත්තෙ.. මං ඉතින් ඔයාගෙ විසිටර් නෙ. එය⁣ා මාත් එක්කත් ඔයා එක්ක වගෙ හුරතල් වෙන්න හදනව"


"තීනු… අපි මේ කතාව නිවිහැනහිල්ලෙ කතා කරමු…"


"මං ඔයා ගැන තීනුට කිව්වා.."

"මොනවද ?"


"ඔයා වැම්පයර් කෙනෙක් බව, ඔයා රෑ තිස්සෙ ෆීඩ් වෙන බ්ලඩ් මගෙ බව"


ඒඩ්න් පීටර්ස් තිනෙත්මා වන මා දෙස බැලුවේ කුමනාකාරයේ බැල්මක්දැයි මම මොහොතකට විනිශ්චය කළෙමි. එය තිනෙත්මා නම් දේවදාර උයනෙහි කුමාරිකාව දෙස බැලීමක්ද, නැත්නම් "ඩිනර්" එක දිහා බලන බැල්මක්ද? නැත්නම් අවුරුදු සිය ගණනාවක් බාල සිගිත්තියක දෙස බලන බැල්මක් ද?


" නුර්.. ඔයා යන්න.. මට තීනුට පැහැදිලි කරන්න දේවල් කීපයක් තියෙනව. අනික් එක මේ වෘක කෙල්ලට පෙන්නන්න ඒඩ්න් ඔයා ඇත්තටම කවුද කියලා… ඔයා කොයිතරම් හොට් ඩිසයරබල් මිහිහෙක්ද කියලා පෙන්නන්න.."

සිදුවුයේ නොසිතුවකි. නුර් සිය දකුණු අත සිය මුවටම ළං කළාය. සිහියක් ඇති කෙනෙකුට තමන්ගේ අතක් තමන්ගේ දත් වලින් ලේ එනතුරු හපා සිදුරු කරගන්නට හැකි වූයේ කොහොමද ? ඒ මදිවාට එය ඒඩ්න් පීටර්ස් ගේ මුහුණ ටම ළංකර ඔහුට ලේ සුවඳ ආඝ්‍රාණය ට ඉඩ හැදුවේය. ඒඩ්න් ඒත් සංයමයෙන් සිටියේය. ඒත් ස්වභාවය එහෙමත් ඉවසිලිමත් ව ඉන්න ඉඩ දුන්නේ නැත. ඒඩ්න් නුර් ගේ අත සිදුරු වු තැනට මුව ළං කරගත් අතර , ඔහු විලෝපිකයා සහ ඇය ස්වේච්ඡාවෙන්ම ගොදුරක් බවට පත්වෙනායුරු මම බලා සිටියෙමි.

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...