Thursday, November 17, 2022

Daffodil Terrace 35



 #DT 

35 

හුස්මටද වඩා ආදරයෙන් බැදුනු කෙනෙකුට තමන්ව අමතක කරවන්න සිද්දලවෙනවා කියන්නේ ඇගේ ඇටයෙන් ඇටය ගලවනවා වගේ රිදුමකි. ඉතින් මම සංවේදනයකින් තොරව ජීවත් වෙන්නට සිතුවෙමි. පුජජාව වෙනුවෙන් පානය කළ බෙහෙත් හින්දා ඇතිවේවියි කිවු අධික නිදිමත වෙනුවට මට දැනුණේ අධික හිසරදයකි. 


පසුවදා චාරුදර ඩැෆඩිල් ටෙරස් ආවේ ඒඩ්න් ගේ කැඳවීමටය. මා බලන්නට නිදන කාමරයටම ආවේය. මගේ නළල සිපගත්තේය. මලියෝනා අප දෙදෙනා දෙස බලා උන්නාය. ඇය චාරුදරට හරිම ආදරේය. 


" මහන්සියි නේද ඔයාට.. ටිකක් නිදාගත්තාම ඇරිල යාවි"

ඔහු. එහෙමත් කීවේය. 

"මං ඒඩ්න් හම්බ වෙලා එන්නං.. "

"චාරු.."

"ම්ම්ම්.."

"මට මාලෙ ටිකක් දීලා යන්න"

"කෝ ඔයාගෙ මාලෙ"

"එදා පුජාවෙදී ඒක නැති වුණා.."


චාරුදර මොහොතකට කල්පනා කළේය. 


"ඔයා ට ඕනෙම කිව්වන"

ඔහු මාලය කරෙන් ගලවා මා අතෙ තැබුවේය . කපටි ප්‍රේමවන්තියක් වීමේ පාපය ඔහු මගේ කර මත නොතබනු ඇත. මේ සියල්ල කළේ ආදරේ නාමයෙන්ම බව වටහා ගනු ඇත. 

ආනික්‍යාත් මලියෝනාත් මාත් අපි ඩැෆඩිල් ටෙරස්හි මලින් පිරුණු ටෙරසයක හිඳ කතා කරමින් සිටියෙමු. 


"කසාදයක් කියන්නේ කැපකිරීමක් නෙමෙයි තීනු" මලියෝනා කීවේ මා චාරුදර ගෙන් වෙන්වී වෙන කෙනෙකු හා විවාහ වීම ඇයට තේරුම් ගන්නට නොහැකි හින්දාය. ඇය කවුදෝ ආදරවන්තයෙකු වෙනුවෙන් තනිකඩව ජීවත් වෙන ගැහැනියකි. ආනික්‍යා කිසිවක් නොකීවාය. දේවදාර උයනෙහි වගවිත්ති ඇයට වඩා දන්නා කිසිවෙකු මෙතැන නැත. 


" සමහර වෙලාවට කෙල්ලන්ගෙ ජීවිත වල චොයිසස් නෑ මලියෝනා. එයාලා ට හේතු නැතුවම කැපකිරීම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒවා හේතු විරහිත තීරණ.."

"ඇයි මිනිස්සු හේතු විරහිත ව කැප කිරීම් කරන්නෙ? ඇයි මිනිස්සු එහෙම කරන්න ඕනෙ? ඒ මිනිස්සුන්ට තමන්ගේ ජීවිත වලට වඩා අනුන්ගේ ජීවිත වටින්න ඕනෙ ඇයි?"


ආනික්‍යා දෙනෙත් නළල තෙක් ඔසවා මදෙස බැලුවාය. මලියෝනා අපට තේරුම් ගන්නට බැරි තරමට පරිණතව සිටියා මෙන්ම රැඩිකල්වද සිටියාය.ඇගේ සමහර ප්‍රශ්න බරපතලව දැනිණි. පැයකට ආසන්න කාලයකින් ඒඩ්න් චාරුදර සමග පහල තට්ටුවට බැස්සේය. මම විමසිල්ලෙන් චාරුදර දෙස බලා සිටියෙමි. ඔහුගේ මුහුණේ මාංශ පේශියක හෝ කිසිම වෙනසක් නැත. ඒඩ්න් ගෙ බලපෑම චාරුදරට කොහොමටවත් බලපා නැද්ද? 


ඔහු මලියෝනා ගේ කරවටා අත දමා ඇගේ කම්මුලකට හාදුවක් දුන්නේය. ආනික්‍යා ගේ හිස් මුදුනට අත තියා හිසකේ අවුස්සා දැමුවේය. මා ළගට ආවේය මාවද වැලඳ ගත්තේය. එය හුදෙක් මිතුරු වැලද ගැන්මක් විනා එහි අල්ප මාත්‍රයක හෝ ආදරය නොතිබිණි. මගේ හිත කොණක් ඇවිලුණි. 


"නිදි මරන්නෙපා .. තීනු. හෙට වෙඩින් එකනෙ. ඔයා කවදාටත් වඩා ලස්සනට ඉන්නෝන" ඒ නම් මා දැන හිටි චාරුදර නොවේ මම හැරී ඒඩ්න් දෙස බැලුවෙමි. ඔහු දෑස වසා සියල්ල අවසාන වග ඇගවුවේය. චාරු සිය මෝටර් සයිකලය වෙත ගියේ අවුරුදු දහයක කුඩා කොලුවෙකු මෙන් සෙල්ලක්කාරවය. 


" ඔයා මොනවාද ඒ ළමයට කළේ?" ආනික්‍යා ඇසුවේ සිය දෙවොර මත තැබුණු ඒඩ්න්ගේ දකුණතේ ඇගිලිි මුහුණ ඇළකර සිපගන්නා අතරතුරය. ඒඩ්න් දීර්ඝ සුසුමක් හෙළුවේය. 


"චාරුගෙ මුලු හිතේම හිටියෙ තීනු. මට හරි දුකයි එහෙම ආදරයක් සහමුලින්ම නැකි කරන්න. ඒත් ඒ ආදරේ බින්දුවක් හරි ඉතිරි වුනොත් ඔය කොල්ලා සදාකාලිකව විඳවනව.එහෙම විඳවනවට වඩා මේ විදිය හොඳයි..ඒත් මං ඔයා ගැන ලොකු භක්තිමත් හැගීමක් ඉතුරු කළා ඌට. නැත්නම් දැනෙන හිස් ගතිය ඒකව විනාස කරල දායි"


" තෑන්ක්ස් ඒඩ්න්.."


මම ඩැෆඩිල් ටෙරස්හි වහළ මත නැගුනෙමි. මෙතැනට බොහෝ දුර කදුපන්ති මිටියාවත් පෙනෙන්නට පටන්ගනී. බොහෝ ඈතින් මේකුළු සාලු පොරවා ගෙන ඒවා නිදිබරව හිදිති. පහුවදාට පායන්නට නියමිත පුර හඳ ඒකාන්ත කාන්තිය තව දවසකට පොළී වෙන්නට අතැර ඇති සෙයකි. මේ හඳ දිහා චාරුදර කොතැන හෝ හිඳ බලා ඉන්නවා ඇත්ද? නැත්නම් ඔහු ගේ පාසල් වියේ සෙල්ලක්කාර හිත ඒඩ්න් අවදි කර ඇති බැවින් මිතුරන් සමග බියර් ජෝගු පිටින් බී විල් ඉවුරේ ගී ගයනවා ඇත්ද? එහෙමත් නැත්නම් ආදරය මුද්‍රණය වී තිබු හැම තැනක්ම දැන් හිස්වී වියළී ඇති බැවින් තෙත සහිත නිම්නයක් සොයා වෘක වෙසට මාරුවී කැළෑවේ ගල් තලාවක නිදාවී ඔහේ බලා ඉන්නවා ඇත්ද? මට තනිව හඩන්නට උවමනා වී තිබිණි. මට උත්‍රා අක්කාට කියන්නට බොහෝ දේ තිබිණි.ඇස් කෙවෙනි කකියා කදුලු උල්පත් ඉපදිණි. 


" මං බඳින්නෙ ඇත්තටම මට මේ අර්ධ චන්ද්‍ර වංශික මනමාලි වෙන්න නියමිත වෙලා තියෙන නිසයි.ඒක මගෙ යුතුකම නිසයි. ආනික්‍යා ආයෙ උපද්දන්න රෝස සඳ මැණික ත්‍යාග ගෙන් ඉල්ලගන්න දීපු පොරොන්දුව නිසයි. ඒත්, ඔයා දවසක එයාට කියන්න මං කොයිතරම් එයාට ආදරෙයිද කියලා.මං කාගෙ මනමාලි විදියට පෙනී හිටියත් හැමදාම මගෙ හුස්ම ටික යනකම්ම මං එයාගෙයි කියලා"


උත්‍රා අක්කා මගෙ පණිවුඩයට හෘදයක් එව්වාය.වෙනදා වගේ "පව් ඕයි තමුසෙලා" කියා නොකීවාය.දැන් එසේ කීමෙන්අවසාන මොහොතේ මගේ හිත වෙනස් වේයැයි ඇය සිත වාය කියා මම නොසිතමි. 


" චාරුදරගෙ හිත වෙනස් නොකර ඉන්නයි තිබුණෙ.අන්තිමම තත්පරේ හරි මට තිබුණ එයා එක්ක පැනල යන්න. ආයෙ කවම කවදාවත් මිනිස්සු නොවී ඈත කැළේකට වෙලා හරි ජීවත් වෙන්න"


මා එහෙම ටයිප් කළ බැව් සැබවි.එහෙත් සෙන්ඩ් බොත්තම නොඔබා බලා සිටියෙමි. මකා දැමුවෙමි. එහෙම දුරදිග නොබලන හැගීම් මට ඇතිවිය යුතු නැත. තවදුරටත් මම ඒ සෙල්ලක්කාර කුඩා ගැහැනු ළමයා නොවෙමි. දැන් මට මගේ පරම්පරාව වෙනුවෙන් කරන්න ට වැඩ අනන්ත අප්‍රමාණ ප්‍රමාණය  ක් ඉතිරිව තිබේ. මට ඒ වැඩ කටයුතු සමග කාර්යබහුල වන්නට සිදුව තිබේ. 


"වගකීමක් එක්ක එන රාජකීයත්වයක් කියන්නේ කටු ඔටුන්නක්.."

"ජීවිතේ කියන්නේ ම කල්වාරි කන්දක් කියලා ඔයාම කියලා තියෙනවනෙ..

තීනු"

"කැපකරන්න වෙන දේවල් වල වටිනාකම ලබාගන්න දේවල වටිනාකමට වඩා අඩු වෙද්දි අනිවාර්යයෙන් එක දවසක තෝරගත්ත දේවල් ගැන පසුතැවීමක් ඇති වෙයි.. "

"ඕවා ඔක්කෝම හිතේ තියෙන දේවල්.."

" හ්ම්.."


පසුවදා රාත්‍රිය මගේ මංගල දිනයයි. චාරුදර ගැන මතක හදවතේ ඔබාගෙන ත්‍යාග නම් නුහුරු මනුශ්‍යයාගේ මනමාලිය වෙන්නට මම සුදානම් ව සිටිමි. ත්‍යාග වෘකයෙකුව මා බලන්නට සංචාරක බංගලාවට ආ දවස් ගැන මතකයට නගා ගන්නට මම වෙහෙසෙමි. ජීවිතය අපට දෙන අහඹු අවස්ථාවන් පිළිගත යුතුය. ඒවා අපේ පහසු කලාපයෙන් බැහැර වුවද ඉන් අපට අලුත් අලුත් අභියෝගයන්ට මුහුණ දෙන්නට තියෙන අවස්ථාව ගොඩ නැගෙයි. බලාපොරොත්තුවේ සිගිති මොටෙයියකු හො නොමැති වුවත් මම මගේ සිතේ සැගවු ඉසව්වක් චාරුදර වෙනුවෙන් වෙන්කර තබමි. 


කැළෑවේ මංගල උත්සවයකට සහභාගි වෙන්න කෙනෙකුට පහසුවෙන් අවකාශ නොලැබෙන්නේය. මේ එහෙම අවස්ථාව කි. ඒ මදිවාට මංගල යාගය පැවැත්වෙන්නේ අලුයමය. මෙහි දී ප්‍රී ශුට් අනම් මනම් කතාන්දර නැත. මම දීර්ඝම හුස්මක් ගනිමි. මම මා අමතක කරමි. මා කියන්නේ චාරුදරගේ පෙම්වතියයි. ඉතින් මේ කිසි තැනෙක මා නැත. ඉතිරිව තියෙන්නේ ඒ ආත්මය මෙතෙක් රැඳවී සිටි රඳවනය පමණකි. 


ආනික්‍යා මාව දේවදාර උයනේ සම්ප්‍රදායික මනමාලියකසේ හැඩ කළාය. ඇගේ සියවසකට එහා විලාසිතාව හින්දාම දේවදාර උයනෙහි වැසියන්ට ඔවුන්ගේ ප්‍රවාද පුස්තක වලින් පුනර්ජනනය වු ඉපැරණි ප්‍රාර්ථනා ව මගෙන් දකින්නට හැකි වුණැයි මම සිතමි. චාරුදර මගුල් ගෙදර වැඩ වලට දුවපැන ඇවිද්දේය. ඔහුට මා මනමාලියක් වෙන එක ගැන කිසිම හැගීමක් නැත. ඇත්තටම මා කළ යුත්තේ ඒ ගැන සන්තෝස වීමය. එහෙත් සිද්ධ වෙන්නේ මගේ යටිහිත ඒගැන දුක් වීමය. 


මනමාලයා පුරහඳ මෝදුවීමෙන් ඉක්බිති වෘක වේශයෙන්. මනුශ්‍ය වේශයට හුවමාරු වෙන්නේය.මෙතැන මංගල යාගය ඇරඹෙන්නේ ඉන්පසුවය. ත්‍යාග , ඇත්තටම කෙල්ලකට ත්‍යාගගේ මනුශ්‍ය ස්වරුපය පෙනෙනආ ඇත්තේ කඩවසම් රාජකීයයෙකු බවට සැකයක් නොවේ.ඔහු මනාල ඇදුමට කඩවසම් බව උතුරවා ලමින් සිටියේය. මා බලාපොරොත්තුවෙන් බොහෝ කාලයක් සිටීම නිසාදෝ ඔහු සතුටින් සිටි බැව් පෙනිණි. 


දේවදාර උයනෙහි සම්ප්‍රදායන් සුරැකි දේව ස්තෝත්‍ර ගැයීමෙහි දක්ශ විනයවත් වැඩිහිටි කාන්තාවක විසින් අපගේ දෙඅත් එකිනෙක අල්වා ගැන්්මට සලස්වා මන්ත්‍ර ජප කිරිමට පටන් ගත්තාය. මෙය සම්ප්‍රදායික විවාහයකට එහා දෙයකි. මෙයින් ත්‍යාගත් මමත් පරම්පරා දෙකක් එකිනෙකට සම්බන්ධ කිරිමක් පමණක් නොව, දරුණු සංචාරක යක්දෙස්සන් ගේ සාපයක් බිඳ දැමීමකි. 


දැඩිව ගැයෙන ස්තෝත්‍ර මන්ත්‍ර හේතුවෙන් දරුණු ලෙස සුළං හමන්නට පටන් ගත්තේය. ඒ සුළං අප වටා කැරකෙන්නට පටන් ගත්තේය.  වීදුරු බදුන් වල බහා ඉටිපන්දම් දල්වා තිබු අතර ඒ සියලු වීදුරු බදුන් ඉරි තැලී ගියේය. අවසජනයේ මගේත් ත්‍යාගගේත් අත්වලට අපේ ශරීර වලින් කුඩා ආලෝක ධාරාවන් ඇතුල් වීම දකිනු හැකිවිය. ඒ ආලෝක ධාරා සමට යටින් නහර වැල් දිගේ ගමන් කරනු විනිවිද දැකිය හැකි විය. අවසානයේඅප දෙදෙනාගේම සිරුරු වලින්. එක්ව විහිදෙන ආලෝකයක් අර්ධ සුර්ය වාංශික සාපයට ලක් වුවන් තුලට ඇතුල් විය.  ඔවුන් තිස් අට දෙනාමත් අප දෙදෙනාත් එකවර බිමට ඇදෙනුත් ම⁣ගේ ශරීරයේ හැම ඉන්ද්‍රියක්ම මොහොතකට අකර්මණ්‍ය වී යනුත් මට හොදින් දැනිණි.

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...