අචල මා හා එරන්ද අතරට සාම නියෝජිතයා වුයේය. සුදු අතින් සුදු කොඩියක් වැනුවේය.
‘ඔයා අරු එක්ක තරහ වුනාද
ම්හ්… නෑ. බ්‍රේකප් වුණා. එහෙම කියන්නත් බෑ. බ්‍රේකප් වෙන්න රිලේශන්ශිප් එකක් තිබිලත් නෑනෙ..
‘කතා නොකර ඉන්න එපා බිම්මා.
‘ඇයි මොකද එයාට..
‘ටිකක් අවුලෙන් ඉන්නෙ.. මොනව උනත් ඔයාව ඕනෙ අරූට
‘මං විිතරක් නෙමෙයි. සසදිත් ඕනනෙ..
‘එතනදි නම් ඔයා චුුට්ටක් අසාධාරණයි කියලා මට හිතෙනවා බිම්මා
මාත් දන්නවා මං අසාධාරණයි කියලා.. ඒත් මට හැමවෙලාවෙම ඔප්ශන් එකක් වෙලා ජීවත් වෙන්න ‘පුලුවන් ද කියන්නකො.. ඔයා කැමති ද එහෙම ඉන්න…
‘එක තත්පරයක් වත් ඉන්නෙ නෑ..
‘ඒකයි ඉතින්
‘ඒ වුනාට බිම්මා ඔය දෙන්න පොරොන්දු වුනාලුනෙ නේද.. ජීවිතේ කා එක්ක හිටියත් කොහෙ හිටියත් දෙන්නට දෙන්න ඉන්නවා කියලා..
‘ඒක ප්‍රැක්ටිකල් ද ? ඔයා කියන්නකො ඒක ප්‍රැක්ටිකල්ද කියලා
‘ඒක එහෙම නෑ තමයි.. ඒත් බිම්මා, ආදරේදී කොහෙද හැමදේම ප්‍රැක්ටිකල් වෙන්නේ
අචල එහෙම නොඇහුවානම් කොතරම් හොඳද? එහෙම වුවා නම් මගේ හිතට සහනයක් දැනෙන්නට ඉඩ තිබිණි. කිණිස්සකින් ඇන්නාක් මෙන්ය.
‘මං කතා කරන්නම්කො එයාට
‘ඉන්න.. මං කතා කරන්න දෙන්නම් එයාට..
අචල මා එහෙමම දුරකතනයේ තියා අනික් අතට එරන්දට කතා කර ඇමතුමක් සම්බන්ධ කළේය.
මම ෆෝන් එක මෙහෙමම තියලා සයිනවුට් වෙනව. උඹල කතා කරල ඇග්‍රිමන්ට් එකකට වරෙල්ලකො
එහෙම කියා නිශ්ශබ්ද වුවේය.
‘අචලය.. ඕයි.. කොහෙද හු..තො යන්නෙ උඹ..
එරන්ද මා අනෙක් පස සිටින බව නොදැන කියවද්දී මට සිනාවක් නැගිනි.ඔන්න එරන්ද නිහඩ විය. ඔහු මගේ සිනහව ඉව කරනවා විය යුතුය.
‘ඒ… මට ඒ ඇත්තටම ඇහුණෙ ඔයාගෙ කටහඩද.. ඈ … බිම්මා.. ඔයා ඉන්නවා ද…
‘හ්ම්… තවත් කැත වචන කියවන්නෙපා.. අචල ෆෝන් එක තියලා ගියා..
‘අපට කතා කරගන්න කියලාද
‘ඕ මං හිතන්නේ
‘ඉතින් අපි මොනවද කතා කරන්නෙ
‘මං දන්නෑ අනේ
‘දන්නෙ නෑ කියලා බෑනෙ බබෝ..ඔයා තමයි මාත් එක්ක කතා නොකර ඉන්නෙ. මට බැනල බැනල දවසක ‘මාව දාලා ගියෙ
‘දාලා යන්න මං ළගට වෙලා හිිටියෙත් නෑනෙ..
‘හිටිය තරම් ළග හිටියත් ඇති..
‘දැන් මොකක්ද ඔයාගෙ රිලේශන්ශිප් එකට වෙන්නෙ ..?
‘සසදි යුකේ විසා එකට දැම්මා. ඒක ඕකේ වෙයි. ඊට පස්සේ එයා එහෙ යනවා
‘ගිහින් ඔයාවත් ගන්නවාද
‘මං ලංකාවෙ ඉන්න කැමති මිනිහෙක්නෙ බිම්මා..
‘ඒ කියන්නේ එයාට ඔයාව ඕන නම් ඔයා ගාවට ඇවිත් ලංකාවෙ ඉන්න එයා කැමති වෙන්නෝන.
‘ඔව් නේ ඉතින්
මම නළල රැළි කරගනිිමි.
‘ඒ කියන්නේ වෙන ඕනම කෙනෙක් වුනත් ඔයාව ඕන නම් ලංකාවෙ ඉන්නෝන එහෙමද
එරන්ද හුරතලයට සිනාසුණේය. ඉතින් ඔය හිනාවට මට ඇත්තටම ලෝබ හිතෙයි. මේ දැන් යානාවක නැගී කටුනායකට ගොස් එරන්ද සොයා දුව යන්නට සිතෙයි. ඒ කොපුල් වල ඇති රැවුල් කොට වලින් ඇද රිද්දන්නට හිතෙයි.
‘. ඔයාව හම්බෙද්දී මං ඒ දුක වේදනාව තේරුම් අරගෙනයි හිටියෙ. ඔයා එක්ක ජීවත් වෙච්ච ටිකේ මං ඒකෙඒ ආදරෛ් උපරිමය වින්දෙ ඒකයි. මට ආයෙ පසුතැවෙන්න දෙයක් නෑ. අපි එකට හිටිය කාලෙ ගැන.
‘මං ආයෙ ලංකාවට එනව.
‘කවදද? මොකටද?
‘ඉස්සෙල්ලා අයියයි අම්මයි බලන්න යනව.චානක්‍ය මට ප්‍රෙජෙක්ට් එකකට කතා කළා.
‘මට නං ඌව සෙට් වෙන්නෙම නෑ බිම්මා ඇත්තටම යි.. මොකක්ද මන්ද අමුතු සතෙක් ඌ ඇතුලෙ ඉන්නවා වගෙ
‘මට එයාව රීඩ් කරගන්න නම් ඕන නෑ .. ඒත් මම කැමති එයාගෙ වැඩ ටික කරලා දෙන්න
‘අකමඩේශන් අනම් මනම් දෙනවනෙ
‘ඕ .. වෙහිකල් මෙඩිකල් ෆුඩ් හැමදේම
‘එහෙම නම් ඒක හොදයි තමයි
ඔහු කල්පනාකාරීව කීවේය. එරන්ද ත් සසදීත් වෙන්විය යුතුයැයි හිතන්නට තරම් නරක කෙල්ලක වීමේ උවමනාවක් ඇත්තටම මට නැත. වෙන්න තියෙන දේවල් කොහොමත් සිදුවන බව මම දැන සිටියෙමි. පෝල් සමග ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කිරීමේදී ඔහු මට කීවේ ජීවිතයේ කිසිම තීරණයක් ගන්නට අප කලබල විය යුතු නැතැයි කියාය. කලබල වුවත් නැතත් වෙන්න තියේ නම් එය සිදුවන්නේ ඒ අදාල වෙලාවට බව ද කීවේය.
මම මාස කිහිපයක් සඳහා කණ්ඩායමෙන් ඉවත් වුණෙමි. පෝල් මදෙස බැලුවේ සානුකම්පිත ඇසකිනි. මගේ බිඳී ගිය ප්‍රේමයෙහි අන්ධකාරයය නතුවු නටබුන් දෙස තව තවත් බල බලා හිඳීම තේරුමක් නැති බව සිතා විය යුතුය. ඊලග සති අන්තයෙන් පසු මම මගේ සහෝදරයා බැලීමට බොට්ස්වානාවට පියාසර කරන්න ට තීරණය කරගෙන සිටියෙමි. එරන්ද සිටියේ වික්ෂිප්ත වී වාගේය.
‘ඊට පස්සේ ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නෙ
‘මං තාම ඒ ගැන හිතුවෙ නෑ
‘ඔයා ඇත්තටම ලොකු අවුලකින් ඉන්නෙ බිම්මා
‘මට ඒක පැහැදිලි නෑ … ඇයි මං අවුල් වෙන්නෝන කියනෙක
‘මං දන්නවා මං හින්ද … කියල
‘අනේ නැ එරන්ද.. ඇත්තටමයි. මට බ්‍රේක් එකක් ඕනෙ වගෙ.. එක දිගට අවුරුදු ගාණක් මං වැඩ කරනවා. ටාගට් හදා ගන්නවා.ඒවා අචීව් කරගන්න ප්ලැන් හදනවා. ඉම්ප්ලිමන්ට් කරනවා. ටාගට් එක දිනනවා. ආයෙත් එකකට දුවනවා.
‘මට තේරෙනවා.. ඔයා අම්මල එක්ක ටිකක් ඉදලා එන්න..
‘මං චානක්‍ය එක්ක ප්‍රොජෙක්ට් එක ගැන කතා කරනවා ඊට පස්සෙ
‘බලන්නකො.. සමහර විට ඔයාට ඊට පස්සේ වෙන මොන විදියෙ දේවල් හිතෙයිද දන්නෙ නෑනෙ..
‘එරන්ද….
‘ම්ම්ම්ම්…
‘ඇත්තටම සතුටින් ද ඉන්නෙ
‘කියන්න තේරෙන් නෑ පැටිය..
‘ප්‍රොමිස් වෙනවද දෙයක්
‘මොකක්ද
‘මොනදේ සිද්ද වුනත් දුක් වෙන්නෙවත් වැටෙන්නෙවත් නැහැයි කියලා ජීවිතේ
‘නෑ.. ඕන දේකට ඔරොත්තු දීලා ඉන්නං..
‘හැමදාම බොන්න එපා..
‘ඔයා එක්ක වයින් එකක් බීපු දවසක් මතක් කරන් පොඩි ශොට් එකක් නම් දැනටත් වදිනවා ඉතින්..
අපි ඒ දවස් ගැන කතා කර සිනාසුණෙමු. පපුව ඇතුලට උලක් සේ කිදා බසින වේදනාව ගැරඩියෙකු අල්ලන්නාක්සේ අපුලෙන් අල්ලා විසිකර දැමුවෙමු. උරගයන්ට වඩා සමනලුන්ට පෙම් කරන්නට ගිවිස ගත්තෙමු.
‘වැඩ ටික ඉවර කරගෙන නිදහස් වෙන්නකො මැනිකේ.. ඊට පස්සේ මට අලුත්ම බිම්මෙක් එක්ක කතා කරන්න පුලුවන් වෙයි මං හිතන්නේ …
ඉතින් යළි එරන්ද සමග බැදීමෙ උවමනාවකට වඩා මට තනිව නිසොල්මන්ව නිස්කලංකව නිදහස් වීමේ අවශ්‍යතාවය තිබිණි. මා බොට්ස්වානාවට පියාසර කළේ ඒ නිදහස් හිතිනි. කලෙකින් නොදුටු අයියාගේ දරුවන් දකින්නට වූ උමතු ආසාව මෙන්ම අම්මා සමග සැලකියයුතු කාලයක් ගත කිරීමටද මම සිතා සිටියෙමි. අවුරුදු කිහිපයකින් නොදුටු ලොකු පුතා,ටෙලන් දැන් කරදඩු උස්මහත්වන යෞවනයෙකි. මගේ කුඩා කාලයම සිහිපත් කරවන දෙවෙනි දූ මෙලනි ලස්සන කෙල්ලක සේ වැඩෙනු පෙනෙයි. තවම දණ ගාන වයසෙහි පසුවන සුරතලිය මෙලිශා අවධානය වැඩියෙන් ම උදුරා ගන්න වෙහෙසෙයි. මම මෙලිශා සමග ඡායාරුප ගනිමි. ඒවා ඉන්ස්ටාවෙි අමුණමි. ඇගේ සුරතලය මට දවස් ගෙවී යන බව අමතක කරවයි. එකක් දෙකක් , එරන්දට යැව්වාම "ඔයා වගෙ බිම්මා" කියා ලියා හදවතක් තොලක පටලවා ගත් ඉමොජියක් එවයි.
‘බිම්මා , දැන් … නයිල්ස් ගෙ කතාවත් ඉවරයි.. අපි වෙන චැප්ට එකකට මූව් වෙන්නෝන. ඔයාට තවත් වයසට යනකම් ඔහොම ඉන්න බෑ..
අයියා සැරසුණේ විවාහයක් ගැන කතා කරන්නටය. අම්මා මා දෙසත් අයියා දෙසත් බැලුවාය. මා වඩාත්ම සැකයෙන් පසුවුයේ ඇගේ ප්‍රතිචාරය ගැනය.
‘බිම්මා කැමති විදියකට ජීවත් වෙන්න අරින්න සුදු පුතා. එයාගෙ ජීවිතේ පිරිමියෙක් නිසා හිර වෙන්නෝන නෑ. නයිල්ස් බිම්මව හිර කරන්න ගියා නම් එයාට අද වෙද්දි මෙච්චර සාර්ථක වෙන්න බැරි වෙනවා. කාලෙකට කලින් මං ගොඩක් දුකෙන් හිටියා බිම්ම කසාද බැදලා දරුවෙක් හදාගෙන පිලිවෙලක් වෙන් නෑ කියලා.. ඒත් මට දැන් තේරෙනවා ඒ නිදහස තමයි එයාව මේ තරම් උසකට ගෙනිච්චෙ කියලා
‘අම්ම හරියට කියන්නේ මේ ලෝකෙ ඉහලට ගිය ගෑනු කසාද බැදලා ළමයි හදලා නෑ වගෙනෙ
‘නෑ නෑ.. එයාලට හරි පාට්න කෙනෙක් හම්බ වෙලා තියෙන නිසා. එහෙම නැතුව වැරදි පාට්න කෙනෙක් හම්බ වුනා නම් එයාලා ඩිවෝස් වෙලා සින්ගල් මම් කෙනෙක් විදියටයි ඒ ගමන ඒ ගෑනු අය ඇවිත් තියෙන්නෙ.. ඔයා නිකමට හිතල බලන්න මල්මි ඔයා එක්ක ඇවිත් මේ දරුවො තුන්දෙනා මත් නැහෙන්නෙ නැත්නම් අද කොතන ඉදීවිද? එයා හැම එක්සැම් එකක්ම හයිස්කො කරපු ළමයෙක්..
අම්මා අයියාට ඔහුගේ බිරිඳ ගැන සිිහිපත් කර දුන්නාය. අම්මාගේ මේ වෙනස ගැන මම විස්මිත වුවෙමි. ඇය වඩාත් පරිණතව කතා කළාය. අම්මා කෙනෙකු විදියට ඒකාධිපතිවාදය ප්‍රිය කරන මගේ අයියා වැනි පිරිමියෙක් ඉදිරියේ ඔහුගේම බිරිඳ වෙනුවෙන් පෙනී සිටියාය. මට සතුටුය. පුදුමය.
‘අම්ම ඔහොම කිව්වට මෙයා ගැන මටත් වගකීමක් තියෙනවනෙ
‘එයා එයාගෙ ජීවිතේ හදාගනිවි.දැනටත් එයාට හොද ජොබ් එකක් අවුරුදු ගානක් කරපු එක්ස්පිරියන්ස් තියෙනව. දැනටම යුරෝප් රටවල් කීයක ගිහින් තියෙද.
අවසානයේ මම මා වෙනුවෙන් කතා කළෙමි.
‘මං ආයෙ මැරි කරනවනම් මැරි කරන්නෙ ලංකාවෙ කෙනෙක්..
අම්මාත් අයියාත් එකවර මදෙස බැලුහ.
‘පිටරටක ඉන්න ලංකාවෙ කෙනෙක් නම් මාත් කැමති …
‘නෑ අයියෙ. ලංකාවෙ ඉන්න ලංකාවෙ කෙනෙක්..
‘උඹට ඇත්තටම පිස්සුද බිම්මා.. එහෙම එකෙක් බැදලා ආය ඒ නරාවලට ගිහින් වැටෙන්නද හදන්නෙ..
අයියා එහෙම කීවාට මට අමනාපයක් නැත. එය පහුගිය කාලයට ගැලපෙන වචනයකි.
‘තමුසෙ ගියපාර ලංකාවට ගියවෙලාවෙ නේද ඔය මොකාහරි දැන් තමුසෙගෙ හිතේ ඉන්න එකා සෙට් වුණෙ. නයිල වුනත් ඔහොම අවුල් යන්න ඇත්තෙ තමුසෙ මිනිහව ඉග්නෝ කරල ඉන්දැද්දි..
‘මං එහෙම කලෙ නෑ..
‘මිනිස්සු නිකම් වෙනස් වෙන් නෑ..
‘ඒකට උත්තරයක් නම් මං දන්නෙ නෑ අයියෙ
‘මෙහෙමයි . මට වුනත් ඔයාට බලපෑම් කරන්න පුලුවන් සීමාවක් තියෙනව. ඔයා දැන් වැඩිහිටියෙක. මොකක් හරි ගොබ්බ ඩිසිශන් එකක් අරන් ජීවිතේ කොතැනක. හරි වැරදුනත් මං තමුසෙව මට පුලුවන් උපරිම විදියට බලා ගන්නව. ඒත් මං ජීවත් වෙනකම ඒවගකීම් දරන්න මං හිටියට මගෙ ගෑනිවත් දරුවො වත එහෙම කරයිද කියලා කියන්න මං දන්නෙ නෑ..
මට තේරුම් ගන්න පුලුනන් ඔයා කියන දේ
ඒ නිසා හොඳ ඩිසිශන් එකක් ගන්නවා. හරිද
අයියා මගේ හිස් මුදුන මත අත තැබුවේය. මට ඒ මොහොතේ කවරදාකටත් වැඩියෙන් තනිකම දියවී යනුත් සහෝදර බැඳීම හිතට කා වැදෙනුත් දැනිණි. ජීවිතය තදින්ම අල්ලා ගන්නට ධාරානිපාත හේතු වර්ෂාවක් මට නැත. මම ඉතින් සුසුමක් හෙළමි.
‘එරන්ද
‘ම්ම්ම්ම්
‘ඔයාට ඇත්තටම ලේසි වෙන එකක් නෑ සසදි යනේක
‘මං දන්නවා … එයා සමහර වෙලාවට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට වඩා කෙනෙක් බිම්මා. මං කියන්නේ ‘පවුලෙ කෙනෙක් වගේ..
‘දරුවෙක් වගේ….
‘ඔව්… හරියටම කිව්වොත් ඒ වගේ තමයි. එයා ආස දෙයක් කන්න බොන්න අරන් දීලා මං හරියට සතුටු වුනා. එයාට ඉතින් ආස අපේ රෙස්ටොරන්ට් එකෙන් කන්න නෙමෙයි හයිටී යන්නයි එ් වගෙ තැන්වලට ගිහින් ෆොටෝස් අරන් ඉන්ස්ටා දාන්නයි. එයාගෙ යාලුවො විදියට ලස්සනට අදින්නයි. ඕවා තමයි බිම්මා එයාගෙ ලෝකෙ ඉතින්..
‘දන්නවද දෙයක්… ඔයා එයා ට ආදරේ කරන්නේ නංගි කෙනෙක්ට වගෙ ..
‘මං දන්නවා
‘මොකක්ද දන්නවා කියන්නේ
‘මං එයාට ආදරෙ කලෙ අයියෙක් වගෙ.එ්ත් මං ඔයාට ආදරේ කළෙ ගෑනිට වගෙ.
‘ඒ වෙනස ඔයාම තේරුම් ගන්නෝන දෙයක්..
‘මට තේරෙනවා. මං සසදිව රිද්දන්න බැරි කමට එයාව අතැරල ඔයා ගාවට නොආවට.
‘ඒ නිසාද ඇත්තටම එහෙම හිටියෙ..
‘මට ඒක හරියටම පැහැදිලි නෑ. මාත් තාම හොයනව මං ඔයාව අතැරව ගත්තෙ මොන විදියෙ පිස්සුවක් කෙළලද කියලා
‘මං ලංකාවට එන්න ළගයි.
‘ආවම හම්බෙනවද මාව?
‘ඇයි මේ පාර හම්බෙද්දි අපි දෙන්නා වෙනස් දෙන්නෙක්ද.. එහෙම අහන්නෙ
‘නෑහ්. මට තාමත් පුලුවන් අගුලු නොදා වහල තියෙන ඔයාගෙ කාමරේට ඇවිත් ඔයාව බදා ගන්න
අප දෙදෙනා දුරකතන වලින් නික්මුණේ අතීරණයක සිටගෙනය. මා නැති වුවා කියා එරන්ද තනි නොවෙතැයි දනිමි. නර්මදා පවා ඔහුට කැමතිවි සිටියේය. ඉතින් අනික් ගැහැනු ගැන කවර කතාද? මා වගෙම සසදි දුරස් වීමත් එරන්ද තනි නොකරයි.
බොට්ස්වානාවේ වියළි සහ සතුන් පිරි වනාන්තර වල දිගු චාරිකාවක ගියෙමි. එය ඇත්තෙන්ම ජීවිතය ට අමුතු ම අත්දැකීම් සම්භාරයක් එකතු කළ බව කිව යුතුය. මාස කිහිපයක් ම ඔවුන් සමග ගෙවා ලංකාවට පියාසර කරන්න ට වෙන්වෙන මොහොතේ සිය කුඩා අත්වලින් මගේ ඇගිලි අල්ලා ගත් මෙලිශා ගේ කදුලු මාව අලුත් බන්ධනයකට අල්ලා තියා ගත් බව කිව යුතුය.ඇත්තටම තමන්ගේ කුසින් නොවැදුවද දරුවන් කියන්නේ අසීමාන්තික බන්ධනයකි. ඒ බන්ධනය ලිහා ගන්නට මව්පියවරුන්ට ආත්ම ගාණක් ගියද නොහැකි මන්දැයි මට හිතාගනු හැකිය. ළය මත සීරුවට පැළ කල අයියාගේ දරුවන් පිලිබඳ උත්තම ආදරය , මා තුල ශක්තියක් වී වැඩෙනවා ඇතැයි මම සිතමි.
මා චානක්‍යට කතා කළේ ලංකාවට එන්නට දෙවන හුවමාරුව සිදුවු නයිජිරියාවේ ගුවන් තොටුපළෙහි සිටය.
‘අනේ බිම්මා මට ඇත්තටම ඔයාව ගන්න එන්න තිබුණා නම් හොඳයි.. ඒත් ඔයාගෙ අරයිවල් එක වෙනකොට මං පාර්ලිමේන්තු ඉන්න ඕන. ඔයා කැමති නම් මට පුලුවන් වාහනයක් එවන්න.
‘අනෙ ඕන නැහැ චානක්‍ය. මම නිවාඩු දවස් වල හොදටම ස්ටඩි කළා මේ ප්‍රපෝසල් එක.. අපි ආවාම මං කතා කරන්නම් ඔයාට..
ලංකාවට එන්නට එතැනින් ඉන්දියාවටද ඉන්දියාවෙන් කොළඹටද පැමිණි පසු එරන්ද ටද නොකියා මා කලින් වෙන්කරගෙන තිබු බොරැල්ලේ අපාට්මන්ට් එකට ගියෙමි. වැඩි නිස්කලංක බවක් නොතිබිණිද මම එහි සැකසුමට ප්‍රිය කළෙමි. මේ වනවිට සෝනක්ෂි කී පරිදි නයිල්ස්ටත් මා ඇත්තටම නම නොදත් සේරාගේ සහෝදරියටත් දරුවා ලැබී ඇති බව දැනගන්නට ලැබිණි.
‘බබා හිරවෙලා හිටියලු ගොඩක් අමාරුවෙන් තමයි අම්මව බේරගෙන තිායන්න..
දෙවියන්ට ස්තුතිවන්ත විය යුතුය. නයිල්ස් තමාට සම්බන්ධ අයගේ ජීවිත අවදානම් ගැන ඕනැවටද වඩා වදවෙන මිනිසෙකි.ඉතින්,ඔහුගේ දරුවා ගැන ඔහු කොතෙක් වද වෙයිද? දැන් නයිල්ස් සතුටින් සම්පුර්ණ ව හිදිනු ඇත. මිනිස්සු තමන්ගේ පරිපුර්ණත්වය නිර්වචනය කළ යුත්තේ තමාට අනුවය. එබැවින් , දැන් නයිල්ස් තමන්ව පරිපුර්ණ මනුශ්‍යයෙකු සේ දකිනවා විය යුතුය.
මා සිතු පරිදිම ලංකාවට පැමිණ දෙදවසක් ගෙවෙන තුරුත් මම එරන්දට කතා නොකළෙමි. හරියටම සසදි විදේශගත වෙන්න නියමිතව තිබුණේ ඒ ආසන්න දිනවල නිසාමය.එහෙත් කමුබන් එක පැත්තේ නොගොස් ඉන්නට නොහැකිය. හරියට පවුලේ අය නොදුටුවා වැනිය. එනිසාම මම නිවසේ බඩුමුට්ටු හය මාසයකට පදිංචියට සුදුසු ආකාරයට අසුරා ගත්තෙමි.
දැන් මම හුදකලාවේ පහල ගෙවල් දෙස බලාහිඳින තව රාත්‍රියක් එළඹීම ගැන සතුටු වෙමි. මා අතේ ඉතිරි කරගත් මහා මුදලක් නැත. එබැවින් ඉක්මනින් චානක්‍ය සමග කතා කර ව්‍යාපෘතියේ නිල වශයෙන් වැඩ භාරගත යුතුව තිබේ.
සිතුවිලි මිනිස්සුන්ට දැනෙන්නට දිගු කාලයක් නොගවියි. එතරම් වේගයෙන් විශ්වයෙහි ශක්තීන් ගමන් කරයි. ද්රකතනය නාද වුයෙ චානක්‍ය ගේ අංකයෙනි.
‘බිම්මා, මං දැනුයි දවසෙ වැඩ ඔක්කෝම ඉවර වෙලා මේ ඉන්ස්ට එක බලන්නෙ.. ඔයා ඔන්ලයින් ඉන්නවා දැක්කා
‘ඔව්.. මාත් ගේ අස් කරගෙන දැන් මේ කෝපි එකක් බොනව
‘ආ.. එහෙමද.. අපට ඉස්සරහ ට වැඩ ගොඩාක් තියෙයි කරන්න
ප්‍රොජෙක්ට් එකේ වැඩ නම් .. මට ඔක්කෝම හැන්ඩ්ල් කරගන්න පුලුවන් .ඔයාට තියෙන්නෙ ඕව වීව් කරන්න විතරයි..
‘මං දන්නවා ඒකෙ නම් කිසිම බරක් මට වැටෙන්නෙ නැහැ කියලා
‘රටේ ප්‍රශ්න තමයි ඉතින් නේද?
‘කොහොම හිටපු කොල්ලෙක්ද බිම්මා, මං.
‘එහෙම තමයි චානක්‍ය. මිනිස්සුන් ට ජීවිතේ වෙන්න තියෙන දේවල් ලගා කරගන්න මිනිස්සුන්ට අවස්ථා හම්බ වෙනවා. ඒ වෙලාවල අපි ඒක පාවිච්චි කරන්නෝන.. එහෙම නැත්නම් ඒ මැක්සිමම් දේ ට රීච් කරන්න අපට බැරිවෙනව.වෙන වෙන අවස්ථා ලැබෙයි. අපි ඒවයින් තැනකුත් හදා ගනී. ඒත් අපට යන්න තිබුණ උපරිමය මේක නෙමෙයි කියනෙක අපට තේරුම් ගන්න කවදාවත් බැරිවෙයි. අපි ගන්නෝන අපේ පහසු කලාපයෙන් පිට තියෙන අවස්ථා..ඒව තමයි අපේ ලිමිට්ස් බැරියර්ස් කඩාගෙන කුඩු කරගෙන අපාව ඉස්සරහට අරන් යන්නෙ…
‘දේශපාලනයට ආවට පස්සෙ මට මං වෙන්න අවස්ථා හරි අඩුයි..
‘ඔයා ඔයාගෙ ඡන්ද දායකයන්ව හැම වෙලාවෙම ඉම්ප්රෙස් කරන්නෝන.
‘ඒක හෙන බරක් ඔලුවට.
‘හැබැයි එක වෙලාවකින් පස්සේ ඔයා ඔයාගෙ සාමාන්‍ය ජීවිතය ට එනව. ඔයාගෙ මිනිස්සුන්ට ඔයාව තේරුම් ගන්න පුලුවන් වෙලාවක් එනව. සමහර විට ඒකට තව කාලයක් යයි.එහෙම නැත්නම් ඔයාගෙ දේශපාලන හැසිරිම් නිසාම ඒක මිනිස්සු තේරුම් ගන්න වෙලාවක් එයි
‘අපි අර ප්‍රොජෙක්ට් එක හරහා අපේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ව ඉන්ටර්නැෂනල් මාකට් එකට අරන් යන්නෝන බිම්මා. හැබැයි මේකෙන් පාර වදින්නෙ තුට්ටු දෙකට අපේ බිම්මට්ටමේ ව්‍යාපාරිකයන්ගෙග වගාකරුවන්ගෙන් බඩු ටික අරන් මහා ලාභයක් ලබපු මහා පරිමාණ වෙලෙන්දන්ට. අන්න එයාලා අපට අපේ වැඩ ටික හරියට කරගන්න ඉඩ දෙන එකක් නෑ කියලම හිතෙනව මං.
‘අපි වැඩේ ස්වොට් එක ඇනලයිස් කරල බලමු. දැන් ඔය දේවල් ගැන හිතන්න එපා චානක්‍ය. හුගක් රෑත් වෙලා. මටත් නිදිමතයි. අපි හෙට ඩිනර් එකකට යමුකො අපේ රෙස්ටුරන්ට් එකටම.
‘ඔව්… හරි මං ඒක ඇඩ් කරගන්නම් බිම්මා.. ගුඩ් නයිට් එහෙනම්..
එරන්දට හායි හෝ කියන්නට ම හිතෙයි. මේ අසීමාන්තික ආදර ගින්න පහසුවෙන් නොනිවෙයි. ලංකාවට ආ ගමන්ම නිසා මිහිරගේත් සුදුනංගීගේත් බිලිඳු පුතු බලන්නට දෙසතියකට පසු යාමට සිතා සිටිමි. කුඩා රන් මාලයක් සමග බිලිදු ඩයපර්ස් මලු කිහිපයක් ද දැනටම මා ගෙනැවිත් තිබේ. සුදු නංගීට කන්නට බොන්නට දේවල් පසුව මිලට ගතයුතු අතර සිගිත්තෙක් බලන්නට යන අමුත්තෙක් බබාටත් වඩා තෑගි අම්මාට ගෙන යා යුතු බව මම විශ්වාස කරමි.
රාත්‍රි කීයට වුවත් කම් නැත. මම පිහිනුම් ඇදුමක් ඇදගතිමි. කම්මැලි නිදිබර ආරක්ෂක නිලධාරියා ගෙදර අංකය කොතැනද මන්දා සටහන් කරගත්තේය. පිහිනුම් තටාකය සුරාවෙන් දුමින් මුක්ත විය යුතුයැයි තද නීති තිබුනාට එහි පසෙක නෙලුම් කුලුණ දෙස බලාගෙන සිගරට්ටුවක් පුලුස්සන පිරිමි රුවකි. පසෙක බියර් ක්ැන් කිහිපයක් සමග අඩ නින්දේ මෙන් පසුවෙන තරුණ කොල්ලන් කීප දෙනෙකි. මම තටාකයට බැස තරු දෙස බලා ඉමි.
‘මේ රෑ ඔහොම ස්විම් කරන්න හොදද අප්පා …
එකෙක් අසයි. මම හැරී ඔහු දෙස බැලුවෙමි.
‘මෙහෙට මේ රෑ බව ඇත්ත.ඒත් කොහෙ හරි රටකට මේ වෙලාවෙ උදේ. තව රටකට මේ වෙලාවෙ මහ දවල්..
මා කීවේ එපමණකි. දුරකතනය දෙදරුම් කමින් තිබේ. කතා කරන්නේ චානක්‍යද? මා සැකයෙන් දුරකතන මුහුණතට එබිණි. ඇග පුරා විදුලියක් දුවයයි. සෛල අස්සේ න්‍යෂ්ටි පුපුරවන්නේ ඔහුය. එරන්දය.
‘බිම්මා
‘ම්ම්ම්ම්
‘මං තනියම දැන්!
ඒක මාර වේදනාවෙන් කියන්න ඕනෙ වුනාට ඇයි මට ඔයාගෙන් චියර්ෆුල් කටහඩක් ඇහෙන්නෙ..
ඒක වෙුදනාවක් විදියට රීඩ් කලොත් එහෙමයි. අචීව්මන්ට් එකක් විදියට රීඩ් කලාම මෙහෙමයි.
‘ඔයා බීලද ඉන්නෙ.බීලා තමයි…
‘පිස්සුද පැටියො
‘ඉතින් මටත් බොරු කියනවනෙ
‘හ්ම්ම්ම්ම්.. පොඩි අඩියක් ගැහුව
‘ඔයා මොකද කරන්නෙ
‘පූල් එකේ..
‘බිම්මා…මොනවද ඔතන කරන්නේ දැන් මහ පාන්දර
‘නින්ද යන්නෙ නෑ
‘එහෙමයි කියලා ලෙඩ වෙන්නද හදන්නෙ
‘මට තේරෙන් නෑ අප්ප… නින්ද යන්නෙත් නෑ විකාරයි…
‘බිම්මා… මටත් … එහෙමයි
‘ඒ සසදි ගිය නිසානෙ..
‘නෑ ඒ නිසාම නෙමෙයි.. මේක අමාරු කාලයක්
‘ඔයා ගෙදරද
‘ඇයි ඒ? ඔයා එන්නද?
‘නෑ..නෑ. නෑ එහෙම නෙමයි
‘මං කටුනායක ආවා.. ඊට පස්සේ එහෙම්ම රෙස්ටොරන්ට් එකෙ රුම් එකක නතර වුනා..
‘හා..
සුසුමක් ඉහිරිණි. මට සිතුණේ එරන්ද ගෙදර ඇතැයි කියාය. ළගට ගොස් ඒ උරිස්සෙ හිස ගසාගැනීමේ සිහිනය ඉතින් තව බොහෝ දුරය. සාමාන්‍යයෙන් වෙහෙසකර ගුවන් ගමනකින් පසු මා නිදිබර කෙල්ලකි. එහෙත් දැන් හිත කියන්නේ ඇහැරී හිදින්නටය.
පසුවදා වැඩ අධික දවසක් වනු ඇත. මම තටාකයෙන් පිටතට පැමිණ කාමරයට ගියෙමි. මා මෙතෙක් චානක්‍යගේ ලංකාවේ තුනපහ වර්ග සහ කල්තබාගැනිමේ ක්‍රමයට සාදන කෑම වර්ග පිටරට යැවීමේ මේ ව්‍යාපෘතියට අදාලව එක්රැස් කළ කරුණු කාරණා එකතු කරගන සාදන ලද ලිපිගොනුව නැවත කියවා බැලුවෙමි. ඒ සමග ඒවායෙ පුහුණු මධ්‍යස්ථාන ඒ සමග ගොඩ නැගෙන විදේශ ශ්‍රී ලංකා සබඳතා, මාධ්‍ය ප්‍රචාරණයන්, දුශ්කර පළාත් වල වෙසෙන අන්ත දුගී පිරිස ඉන් යහපත් ජීවන මට්ටමකට නගා සිටුවීමට කළ යුතු ක්‍රියාකාරකම් මේ ආදී පුලුල් මාතෘකාවක් ඔස්සේ විහිදෙන ව්‍යාපෘතිය පිලිබද කුඩා ප්‍රසන්ටේශන් එකක්ද සකස් කළෙමි. මේ සියල්ල කර මා නිදාගනිද්දී පාන්දර පහත් පසුවිය.
දුරකතනය දෙදරුම් කන ශබ්දයට ඇහැරෙද්දී එය නාදුනන නොම්මරයකින් බැවින් මම නොතකා සිටියෙමි. පසුව එය අපාට්මන්ට් එකෙහි ආරක්ෂක අංශයට අයත් එකක් බව සිහියට පැමිණියේය.
‘මිස් මිස්ට පාර්සලයක් ඇවිත් තියනවා කමුබන් රෙස්ටොරන්ට් එකෙන්
මම කම්මැලිකමින් ප්‍රධාන ගේට්ටුව තෙක් ඇවිද ගොස් පාර්සලය භාර ගතිමි. මේවාට මුල් වන්නේ එරන්ද බව දනිමි. ස්තුතිය කියන්නට කෙටි පණිවුඩය ක් යැවිමි. හෙතෙම සිනා මුහුණ ක් එවා නිහඩ විය. අචල ලංකාවෙන් පිටත් වන්නට නියමිත ය. පෝල් හේඩ්න් අචල සමග හොද සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇත. ශෙයිලා අචලට පෙම් කරන්නේම කොන්දේසි විරහිතවය. එය අචලගේ වාසනාවක්ද නොදනිමි. ඒ වාගේ දේවල් දෙස අප බැලිය යුත්තේ අපේ ඇසින් නොවෙන බව මම දනිමි. අත්දැකීමෙන් දනිමි.
සුදු ඉඳිආප්ප, මාලු කරියක්, අල කිරිහොද්දක්, බිත්තරයක්, සීනිසම්බෝල ඒ එරන්ද මා වෙනුවෙන් තෝරනා උදෑසන කෑම වේලකි. ඇහැක් කදුලකින් පෙගෙයි. ගැහැනු ආත්මයක් දියව යයි. ප්‍රේමයක් ඇහැ අරියි.
ආදරෙයි පැටියෝ කියා එරන්ද මුමුණන වචන සවන් අතරින් පිවිසෙයි. හිතැතුලේ කැරකෙයි. සියොළග පුරා දරුණු වාසුලියක්ව දිව යයි. ඔව් ඉතින් ආදරය මට දැනෙන්නට පටන් ගනී.
‘ගුඩ් මෝනින්
‘මෝනින් පැටියා
‘එරන්ද…
‘ම්ම්ම්ම්
‘අද හවස එන්න පුලුවන් ද
‘කොහෙද
‘කමුබන් එකට
‘ඇයි ඒ
‘මං චානක්‍ය එක්ක ඩිනර් එකක් දාගත්ත
‘ඉතින් මං ඕන නෑනෙ..
‘අචලත් නෑ.. මිහිරත් නෑ..
‘ඉතින් ඔයාට තනියම කතා කරන්න බෑ වගෙද
‘එහෙම නෙමෙයි
‘මාව කවුරු කියලා ඉන්ට්‍රඩියුස් කරන්නද හදන්නෙ
‘පාට්න කියලා
‘ලයිෆ්ද?.. සිනහවකි.
‘ම්හ්..බිස්නස්.
‘ආ.. නැත්නම් දවසක මිනිහ මගෙන් පළිගන්න වුනත් ඉඩ තියෙනව
‘අර මොකෝ
‘කවුද බිම්ම දන්නෙ මිනිහ ඔයා ගැන මොනව හිතාගෙන ඉන්නවද කියල
‘අනේ මේ මිනිස්සු ගැන නම් කතා කරන්නෙපා හොදේ..මං කවදාවත් කසාද බදින් නෑ කියල හිතාගෙන ‘ඉන්නෙ.
‘බිම්මා?
‘ඔව්.. ඇයි..මොකෝ.. මොකක්ද ප්‍රශ්නෙ..
‘ඔයා කොච්චර දක්ශ කෙල්ලෙක්ද දරුවො.. ඔයා වගෙ තව එක්කෙනෙක් හරි මේ ලෝකෙට එන්න ඕනනෙ
‘ඉතින්
‘ඉතින් ඒ එන්නෙ ඔයාගෙම ජාන වලින් හැදුනු ඔයාගෙම බබෙක් විතරනෙ
‘එහෙම ඕන නෑ. මං විතරක් ඇති මේ ලෝකෙට..ඔයා බැදලා බබෙක් හැදුවාම මං ඒ බබා මගෙත් බබෙක් කියලා හිතන්නං. කොහොමත් දවසක ඔයාගෙ වයිෆ්ට හම්බ වෙන්නෙ ඔයාටයි මටයි හම්බ වෙන්න හිටිය බබා වෙන්නත් පුලුවන් නෙ
‘ඒක ඉමෝශනල් වැඩියි හරිද
‘අනේ කෝලම් නොකර ඉන්නවා හරිද…
එරන්ද දුරකතනය තියද්දීත් වියැකී නොගිය සිනහවක් අප දෙදෙනාගේම මුහුණු වල තිබිණි. කමුබන් එකෙන් අපි විශේෂ වෙන්කිරිමක් කරගත්තෙමු.කොහොමටත් දැන් එහි විවෘත අවන්හල මෙන්ම සංවෘත වායුසමීකරණය කරන ලද කොටසක්ද ආපනාගාරයක් ලෙස වෙන්කර තිබේ. ඉතින්, චානක්‍ය වෙනුවෙන් අමුතුවෙන් කිසිවක් සකසන්නට අප උනන්දු නොවුවේ තරුණ ඇමතිවරයාගේ රුචි අරුච්කම් කෙරෙහි අප තුල තිබු නොදැනුවත්භාවය නිසාමය.
රාත්‍රී මේසය ට කුඩා උත්සවාකාර ස්වභාවයක් එක්කරන්නට එහි අවන්හල් සේවකයන් උනන්දුවී සිටියේ මිහිරගේ දුරකතන උපදෙස් අනුව බව මම දනිමි. මා වැඩියෙන් ම බලා හිටියේ එරන්ද එන තෙක්ය. එය චානක්‍ය හමුවෙනවාට වඩා විශේෂය. චානක්‍ය පැමිණෙන්නට නියමිත වෙලාවට පෙර ම එරන්ද ආවේය. සුදු අත්දිග ලිනන් කමිසයක අත් වැලමිටට නවා පහසු නිල් ඩෙනිමකට ඇද සිටි ඔහු මට අහම්බෙන් හමුවුන පලමු දවස මතකයටම නැගුණේය. එරන්ද මලක් මෙනි. සුදු නෙලුමක්සේ පිවිතුරු ම පිවිතුරු ගතියක් ඔහු තුල වෙයි.මම මටම සිනාවෙමි.කෙල්ලකට. කියන්නට උවමනා උපහැරණ මා මේ කොල්ලෙකුට කියනා හැටි.
අවන්හල් සේවකයන් එහෙමෙහෙ වු සැණින් ඔහු මවෙත ආවේය. මම ඇහිපිය නොහෙළා බලා ඉමි. කර වටා අත යවාගන මාව ඔහුගේ ළපැත්තට තද කරගෙන තත්පර තිහකට නොවැඩි කාලයක් සිටි තරුණ මිනිසා මගේ මුහුණ බලා ඉන්නේ මහා ආදරයකිනි.
‘චානක්‍ය එක්ක කතාව ඉස්සෙල්ල ඉවර කරගමුකො..
එරන්ද කීවේ අපේ කතාව ඉන්පසු අරඹන්න උවමනා බව නොකියා කියමිනි. චානක්‍ය ආවෙ තව එක් ආරක්ෂකයෙකු සමගිනි. ඩෙනිම් කලිසමකට සැහැල්ලු ටී ශර්ට් එකක් හැද කැප් එකක් දමා සිටි ඔහු එරන්ද තරම්වත් ෆෝමල් නැත. තනිකරම සැහැල්ලු තරුණයෙක් පමණකි ඔහු එරන්දටත් අතට අත දුන්නේය.අප මුහුණ ට මුහුණ ලා හිදගත්තෙමු.
‘
‘ඉතින් බිම්මා..
‘කොහොමද චානක්‍ය? මොකද වෙන්නෙ ඉතින්..
චානක්‍ය දෙඅත දෙපසට සැලුවේ දෙඋරහිස් පවා සොලවමිනි.ඔහු සිනෙමාකාර
‘ලංකාවෙ පොලිටික්ස් ගැන නම් කලකිරිල ඉන්නෙ. අපරාදෙ මේ මගුලට ආවෙ කියලා හිතෙනවා
‘එහෙම හිතන්නෙපා චානක්‍ය. ඔයා වගෙ එක මිනිහෙක් හරි මේකෙ ඉන්නෝන
‘ඉන්න එක නෙමෙයිනෙ බිම්මාලි වැඩේ. කීයටවත් එකඟ වෙන්න බැරි යෝජනා ගෙනල්ල ඒවා සබාගත
කරන්න ඡන්දෙ දෙන්නෝන. ඒවට එකග වෙන්නැත්නම් රටේ නැති ප්‍රශ්න…
චානක්‍ය ගේ තේරීම් වුයෙ අතිශය සරල කෑම වර්ග කිහිපයකි.
‘අපි කන්නෙ මොනවද කියනෙකට වඩා මං මාර ආසයි මේ මෙනුඑකට.. මං කියන්නේ ෆයිව් ස්ටා හොටෙල් එකක වගෙ මෙනු එකක්.. මේ. විදියට මේ තරම් පිරිසිදුව මිනිස්සුන්ට දෙන්න පුලුවන් කියන්නේ ම කොයි තරම් දෙයක්ද ..
ඔහු පුදුම වෙමින් සිටියේ කමුබන් රෙස්ටොරන්ට් එකෙ කෑමවර්ග වල විවිධාංගීකරණය ගැනය. ඉතින් එහි නමුබ්ුව මගෙ ගිණුමට බැර කරගෙන වැඩක් නැත. මම එරන්දට කතා කළෙමි. ඔහු දුරකතනයේය. මට ඉතින් කේන්තිය. චානක්‍ය මේ කමුබන් රෙස්ටුරන්ට් එක ගැන කියන දේවල් ඒ වෙනුවෙන් දහදිය කදුලු සැලු ඔහු ඇසිය යුතුය. විදිය යුතුය.
‘මේ එරන්ද ගෙම මහන්සිය නේද
‘එහෙමම නෙමෙයි ඉතින්.. අනිත් දෙන්නත් සෑහෙන මහන්සි වෙනව
චානක්‍ය මගෙ උරයට මත්තෙන් ඇස් යොමු කළේය. සිනාසුණේය.මම හැරී ඒ සිනහවෙන් මං තතු විමසීමි. සිතුවා නිවැරදි ය. එරන්දය. බොරු කල්පනාවක නියැළෙමින් අප දෙස ඔත්තු බලනා එරන්දය. මටද සිනහවක් නැගිනි.
‘සෑහෙන්න ආදරෙ ඇති ඔයාට
‘අනේ මන්ද..
‘ආදරේ කියනෙක මිනිස්සුන්ට ලේසියෙන් ලැබෙන්නෙ නෑ. ලැබුණත් පරෙස්සම් කරගන්න දන්න ගෑනු මිනිස්සු හරි අඩුයි බිම්මාලි. සමහර විට මං ආදරේ කළ කෙනා මට ලැබුණ නම් මං අද මේ කිසි තැනක නොඉන්න තිබුණ.
‘ඇත්තටම ද?
‘කියුබන් කෙල්ලක්… යකෙක්ටවත් බයත් නෑ. මාර කොන්දක් ඒකිට තිබුණෙ. හොට් චික්. ගින්දරක් වගෙ.
‘මොකද උනෙ
‘එයාව නැති වුණා මට
‘ඔයාට හිතෙන්නැද්ද චානක්‍ය, හොයාගෙන යන්න.මේ ලෝාක නෙමෙයි වෙන ග්‍රහලෝකෙකට හරි.
‘අනන්තවත් හිතෙනව.. ඒත් මේ භාරගෙන තියෙන වගකීම මගෙ රටෙ මිනිස්සු .. මේ හැමදේම යි එයාවයි තරාදියක දාලා මැන්නොත් ඒත් බර වැඩි වෙන්නෙ එයාගෙ පැත්ත.. ආයෙ මං හිතනව ඇයි මං ආත්මාර්ථකාමී වෙන්නෙ කියලා. මේ රටේ මිනිස්සු මට අවුරුදු පහකට ඡන්දෙ දුන්නෙ ඒ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරව ගන්න නේද කියලා හිතෙනව.
‘ඒ මිනිස්සු අතරෙ හොද මිනිස්සු වගෙම නරක මිනිස්සුත් ඉන්නවා …
‘තාත්තිට උදව් කරපු කුඩු බිස්නස් කාරයො මටත් ඉලෙක්ශන් එකට වියදම් කළා. මං නැහැ කියන්නේ නැහැ... හැබැයි හැම දෙ ගැනම හරි අවබෝධයට ආවට පස්සේ මං තීරණය කළා මට තවදුරටත් ඒ කලු සල්ලි ඕනෙ නැහැ කියල. මේ දේශපාලනය කියන්නේ හැබැ හතුරෙක්වත් හැබැ මිතුරෙක්වත් නැති තැනක්.. කවුරුත් ම විශ්වාස කරන්න බෑ … ඔයාට තේරෙනවද මං කියන්නේ .. කවුරුත්ම..
‘මට හිතාගන්න පුලුවන්
‘එහෙනම් මං යන්නම්.. අපි වැඩ පටන් ගම්මුද සදුද දිහාට..
‘ඔව්.. එහෙම කරමු.
‘අපි රාජ්‍ය නොවන සංවිධාන එක්ක වැඩ කරන්න වෙනම ඔෆිස් එකක් තියන් යනව රොස්මීඩ් ප්ලේස් .. මං එඩ්‍රස් එක වට්සැප් කරන්නම්..සෙකට්‍රරි ගාව ඇත්තෙ..
චානක්‍ය සමුගෙන යන්න සැරසෙනු දැක එරන්ද අප වෙත ආවේය.
‘එහෙනම් එරන්ද, මං යනව. බිම්මාලි එක්ක ඔයාත් අපි එක්ක ජොයින් වෙන්න .. අපි හොඳ වැඩ ටිකක් කරමු
එරන්ද එය පිළිගත් වගක් ඇගවුවේය. චානක්‍ය සමග පසුගමන් ගියේය. රිය පිටත් වෙනතුරු බලා සිටියේය. මඳ සිනාවක් මුහූණේ තවරා ගත්තේය. මට ඉඹින්නම සිතුණේය. අන්ධකාරය ඉහිරෙන කුඩා සෙවණැලි කව මොනතරම් ආලෝක කිනිති වෑහුනත් රැයට තවමත් ඉතිරි වේ. අන්න ඒ වගෙ තැනකදී මම හිතාමතාම එරන්දගේ අතකින් අල්ලා ගත්තෙමි.ඔහු වික්ෂිප්ත වී වගේ මගේ මුහුණ බැලුවේය. එහෙත්, මගේ අත තදින් ආපිට අල්ලා ගත්තේය. මසිතේ ඉන්න හිටින්න තැනක් නැතිව හිටි සතුටු හැගීමක් ඇගිලි සොලවා හායි කීවාය.
‘හිතාගන්න බෑ. මෙහෙම තැන්පත් වෙලා ඇයි කියලා.
‘කොහොම තැන්පත් වෙලාද?
‘ඇයි මෙහෙම සද්ද නැතුව ඉන්නෙ කියල
‘සද්ද දැම්ම කියල වැඩක් නෑනෙ..
‘එ. ර. න් ද.. මොකක්ද අනේ
‘මොකුත් නෑ සුද්දී..
මට මේ නිසසල බවට පුදුමත් හිතේ. මං කැමති අවට ගැන හෙවිමක් බැලීමක් වත් නැතිව ක්ශනිකව මා වැලදගන්නා එරන්දටද?
‘ඔයා මාව ඇරලවනවද?
‘හා.
‘ඊට පස්සේ ?
‘මං ගෙදර යනව.සතියකටත් වඩා මං ගෙදර ගිහින් නෑ.
‘ඇයි ඒ?
‘කටුනායක හිටියෙ. එහෙ රෙනවේශන් ටිකක් කළා.අරයව ඇරලවල ඔක්කෝම බැලන්ස් කරල අදනෙ කොළඹ ආවෙ ඉතින්..
මට එරන්ද මෙහෙම ළගින් දුටුවාම ඔහුට මා හා නවතින්නැයි කියන්නට සිතෙයි. එහෙත් එහෙම කියන්නට මට පුලුවන් වෙයිද?
‘බිම්මා.. තාම වැඩිය රෑ වෙලත් නෑනෙ. ඔයාගෙ ඇමති කුමාරයත් ඉක්මනින් යන්න ගියානෙ. අපි අම්මලව චුට්ටක් බලල යන්ද?
‘ඇයි ඒ?
‘මං ඔයාව ඩ්රොප් කරල එහෙම්ම යනව. එහෙ වැඩ ගොඩ ගැහිල
‘මං ආවට කමක් නැද්ද අම්මල බලන්න.
‘මක් වෙනවද අනේ.. යං
එරන්දගේ අම්මා ත් තාත්තාත් දකින්නට ලැබීම මහා සතුටකි. එය එරන්දටම සම්බන්ද ඔහුගේම කොටස් නරඹනවා වැනි හැගීමකි. එය සතුටකි. ඒ දෙන්නා වෙනුවෙන් කවදාවත් තෑගි ගන්නට බැරිවීමේ දුකක් මට දැනුණ නිසා අපි ගෙදර යන අතරතුර නිමි ඇදුම් ගාරයකින් ඔවුන්ට ඇදුම් ගත්තෙමු.
‘ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ අනේ එයාලා
‘ඒ වුනාට කමක් නෑ
ඒ දෙන්නාගේ සතුට තිබුණේ වචන වල නොවේ. සිනාවලය. මම ඒ සතුටෙහි ගිලී උන්නෙමි. එය පවුලක් ඇතුළත ජීවත් වීමට දැනෙන ලෝබකමය.එරන්දගේ අම්මාත් තාත්තාත් මා කෙරෙහි දැක්වු සැලකිල්ල මගේ සිත අල්ලාගෙනය.
‘මෙහෙ එන එන වතාවෙ තෑගි අරන් එන්න ඕනෙ නෑ පුතේ
‘එහෙම කියන්නට ඇත්තේ ඒ අම්මාය කාට හෝ සිතුණාට ඒ වචන ඒ තාත්තාගෙනි.
‘දැන් මේ පාර දුව කවදද යන්නෙ ආයෙ
‘ඔන්න ඉතින් අම්මා ආගමන විගමන එකෙන්වත් අහන්නැති ප්‍රශ්නනෙ අහන්නෙ
එරන්ද මැද්දට ආවේය.
‘බත් ටිකක් කාල යන්න පුතේ
‘ඇය එවර කීවාය.
එරන්ද ඇස් ගැස්සුවේය.
‘රෙස්ටොරන්ට් එකෙන් කෑවෙත් නැතුවනේද ආවෙ.. එහෙනම් කාල යන්න. මං වොශ් එකක් දාන් එනකම්.
පහුගිය වතාවේද අම්මා ඉව් කෑම නොකා ආවායි ඇය දුක් වු බව එරන්ද කියා තිබුණු බැවින් මම කිසිවක් නොකියා කමු යි කීවෙමි. ඕ පෙරැත්ත කරමින් බත් බෙදුවාය. පොලොස් ඇඹුලක් කිරිහොද්දක් එක්ක තෙල් දැමු මාලු ද ඇගේ බත්පතේ තිබිණි. ඉතින් මේ ආදරය ඇතුළේ ජීවත් වෙන්නට බිම්මාට හිතෙයි. කොතෙක් රටවල ඇවිදිමින් මෙතෙක් කාලයක් නොයෙක් රස කෑම විඳිමින් සිටියද එරන්දගේ අම්මාගේ අත්ගුණය ගැන මට කියන්නට කිසිවක් නැත. එය එතරම්ම අනර්ඝ ය.
එරන්ද මා ව ඇරලවාගෙන කටුනායක යන බව අම්මාට කියනු ඇසිණි.
ආයෙමත් එන්න පුතේ තාත්තා කීවේය. මේ හරි සංවේදී සිදුවීම්ය. මේවා එක්ක ජීවිතයේ ඉදිරි කරුණු ගැට ගැසී යන හැටි පුදුම සහගත වෙයි. එරන්ද මා රියට නංවාගෙන අපාට්මන්ට් ගේට්ට්ව තෙක් ආවේය. මම ඇතුල්වීම් කාඩ්පත ඉලෙක්ට්‍රොනික දත්ත කියවීම් යන්ත්‍රයට ඇතුලත් කලෙමි. ගේට්ටුව විවර විය. රථාංගණයේ අදිල ස්ලොට් එකෙහි රිය නතර කර ඔහුද මා සමග ඉන් බැස්සේය. විදුලි සෝපානයේ දි තව කිහිප දෙනෙකු සිටි බැවින් ආත්ම දමනයෙන් සංවරව සිටියේය. රැය උදාවී ඇතත් තරු තවම පැමිණ නැත. මට සිතුණේ මගේ නවාතැනට යන විට අහස හමුවන තැනකදීය.
එරන්ද මත්බර ඇසින් බැලුවේය. දැන් මේ හැගීම් ගඟුල උතුරා යද්දී එය නැවැත්වීමට හැගීම් වලට හෝ බුද්ධියට ඉඩක් නැත. ගෙදරට ඇතුල්වීමොහොතකින් ඔහු ටීවී එක ක්‍රියාත්මක කළේය.රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වුන කාලයේ රාජ්‍ය දේපල වලට හානි කරන ලදැයි සැලකෙන පුද්ගලයන් කිහිප දෙනෙකු එම චෝදනා වලට සමාව දී නිදහස් කරන ලද බව විකාශනය කෙරිණි. ශීතකරණයෙහි වු වයින් බෝතලයක් අතට ගන්නා විට එරන්ද මදෙස බැලුවේය.
‘වයින් එපා. අපි මත්වෙමු.
‘ඒ කොහොමද?
‘ආදරෙන්…
‘මත්වෙන්න තරම් ආදරයක් තාම තියෙද?
‘ආදරේ කියනෙකට නැතිවෙන්න පුලුවන් ද?
‘බැරිද?
‘බෑ.
‘හැම කාලෙම ආදරෙන් හිටිය කියලද කියන්නේ
‘හැම දවසකම හැම පැයකම හැම තත්පරයකම..
එරන්දගේ මුවින් තත්පරයකම කියා පිටවෙනවිට අප සිටියේ ඒ වචන දෙදෙනොටම හැපෙන තරම් ළගින්ය. මගේ කම්මුල් ඒ රැවුල් කොට වලින් සීරිණි. තොල් වලට කොයිතරම් අවිනිශ්චිත සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවුණාද? විටෙක ඒවා ආදරයෙන් තවත් දෙතොලක පැටලිණි. කප්පරක් වතාවක් ඒ සිරුරෙහි තැනින් තැන දැවටිණ. කාල අන්තර වල දිගු බව වෙනස් වෙයි. ඒවා අප හමුනොවුන කාල වකවානු වලට සමාන්තර වෙයි. එරන්ද ටික වෙලාවකින් මා අසල දෑස පියා වැතිර ගත්තේය.මම ඔහේ බලා සිටිමි. ඒ හිසකෙස් අතර ඇගිලි වලට සැරි සරන්නට ඉඩ දෙමි. සිහින් සිනාවක් ඒ මුහුණේ ඇදෙයි. මම ඊට ලෝබවී බලා ඉමි.ඔහු එක් වරක් ඇස් ඇර බලා මගේ පපුවට මුහුණ තද කරගත්තේ ජීවිතයේම ඇති කම්කටොලු නිවා ගන්නට විය යුතුය. මෙලොව අතැර යන්නට නොහැකි කිසිවක් තියෙනවාද? එසේ ඇත්නම් ඉතින් මේ ඒ එකම එක මනුශ්‍ය ජීවියා නොවෙද?
‘ඇයි මට නොකියන්නෙ ඔයා?
‘මොනවද?
‘මාව අමතක කරන්න බැරි බව. ජීවත් වෙන්න මාව ඕන බව. මං නිසා ඔයාගෙ ජීවිතේ සම්පුර්ණ වෙන බව.ඇයි නොකියන්නෙ?
‘මට කියන්න බෑ … ඒ විදියට ඒකයි.
‘මහ නපුරුයි එරන්ද..
‘ඔව්.. ඇත්ත.. මං නපුරුයි.
‘නෑ ඔයා ඔයාගෙ හිතට විරුද්ධ වෙලා ඔය ජීවත් වෙන්නෙ..
‘ඇයි මං එහෙම කරන්නෙ..
‘ඔයාත් මේ ලෝකෙට බයයි. එරන්ද, ඔයා බයයි.. ඔයාට බයයි ලෝකෙ මිනිස්සුන්ගෙ චෝදනා වලට උත්තර දෙන්න වෙයි කියලා.. ඒකයි ඔයා බය මට හරියට වචනයක් කියන්න
‘ඇයි මං බය වෙන්න ඕනෙ.. ඔයා වගෙ කෙල්ලෙක්ට ආදරෙයි කියන්න ඇයි කියන්නකො මං බය වෙන්නෙ
‘මං දන් නෑ … මට. ආදරෙයි කියන්න නෙමෙයි .. ඔයා බය ඔයා මට ආදරේ කරනව කියලා අනික් අයට කියන්න
‘අනේ මංදා බිම්මා.. අපි ඇයි රණ්ඩු කරන්නෙ..
ඉතින් නිහඩ වෙන්නෙමි.රණ්ඩු කර ඉල්ලා ගන්නට දෙයක් මට නැත. ඇත්තටමය. මේ ආදරය අයිති ඔබටය. එරන්ද, කවදාක හෝ ඔබ එය තේරුම් ගත් දිනක..මා ඔබ ළග නැති වුනොතින් ඔබ දුක් වෙනවාමය.. ඔබ එහෙම අල්ප මාත්‍රයකින්වත් දුක් වෙනවාට මා කැමති නැත.
‘මේ රෑ ආපහු යනවද
‘කොල්ලො ටිකක් වැඩ එතන
‘ඇයි එච්චර රෙනවේශන් එකක් කරන්නෙ
‘මගෙ ජීවිතේ තිබ්බ එක හීනයක් බිම්මා ඒක.. මං ඒක ගැන ඔක්කෝම ඔයාට කියන්නේ නෑ. ඔයාට දුක හිතෙන්නත් පුලුවන්
‘ඇයි අනේ මට දුක හිතෙන්නෙ
‘ඔයා මට ගොඩක් ආදරෙයිනෙ පැටියො..
‘ඉතින් ඔයාගෙ අචීව්මන්ට් එකකදි මං ආදරේ නිසා සතුටු වෙන්නෙපැයි
‘ඒ වුනාට මං වෙන කෙනෙක්ට ආදරේ වෙනවට ඔයා පට්ට ජෙලස්නෙ
ඒ වචන ඇසිඩ් උගුරක් බිව්වාක් මෙන් පපුව දවා ලනු දැනෙයි. ඒත් බිම්මා, කියන්නේ දැන් එයින්ම දැවෙන එයින්ම ඉපදෙන ගිනි කිරිල්ලකි.
‘දැන් ඔය කරන දේ කරන්නෙ සසදි වෙනුවෙන් ද.. එයා වෙනුවෙන් දේවල් කලාට තරහ නොවි ජෙලස් නොවි ඉන්න මං හිත හදාන් ඉන්නෙ
‘එයා වෙනුවෙන් නම් ප්‍රශ්නය ක් නෑ.. ඒත් මේක ඊට වඩා ටිකක් එහාට ගිය එකක්
ඇත්තමයි, මා සසැලිණි. ඒ කියන්නේ එරන්දට වෙන ප්‍රේමයක් තියෙනවාද? මගේ හිතට තවත් නම් කඩා වැටෙන්නට තැනක් නැත. එය තට්ටු විසිගණනකින් බිමට වැටී තවම හුස්ම ලමිනුත් සිටින්නේය.
‘ඉස්කෝලේ කාලෙ මට කෙල්ලෙක් හම්බ වුනා. මං එයාට ආදරේ කළා. අපි වෙන්වුනා. ආයෙ කවදාවත් හමුවුනෙ නෑ. හමුවෙන්නෙත් නෑ. ඒ තමයි බිම්මා මගෙ පළවෙනි ආදරේ. ඒ තරම් ආදරේ කරගන්න බැරිවුණා කාටවත්.ඔයාටවත්.. එයා වෙනුවෙන් දෙයක් තියෙනව කරන්න.. එයින් පස්සේ ඇත්තටම මට පුලුවන් එයාව අමතකම කරල දාන්න
නොතේරෙනවා නම් නොවේ. ආදරය වෙනුවෙන් හිතේ ගැඹුරේ ඇති බලාපොරොත්තුවක් ඉටු කර දුන්නාම එහි බර ලිහිල් වී හිත ඉහිල් වී යයි. තවදුරටත් මහා පීඩනයක් නැත. ඒ ආදරයේ හැම සියුම් කේශනාලිකාවකට නිදහසේ වෙසෙන්න ඉඩ දිය හැකිය. මට හිතාගන්න බැරි එරන්ද වෙනුවෙන් මා එහෙම කරන්නට උවමනා කොහොමද කියාය.
ඔහු නික්ම ගියේ තව දෙපැයකට පසුය. ගමනාන්තයට ලගාවු බව කියා කෙටි පණිවුඩය ක් ලැබුණේය. එතෙක් මා නිදි නොලද පෙම්වතියකි. රාත්‍රිය දෙස හොරැහින් බැලු දුකින් බර හදැත්තියකි. පැටලිණි. ලිහිණි. කදුලු ඇස්වල තැවරිණි. තෙරපිණි. මුහුණ දොවා ගෙන පැමිණ මම රාත්‍රි ආලේපනයක් තැවරුවෙමි. පුරුද්දක් විදියට සමාජ මාධ්‍ය භාවිතය අඩු බැවින් දුරකතනය දිගේ මා එහෙ මෙහෙ නොදුවයි.
‘ආදරෙයි මමත්
‘
ඔහු කියා තිබිණි. එදෙස ආයෙ ආයේ බැලීමෙන් දැනෙන සතුට වින්දෙමි. පහුවදා සිට එරන්දට කරදර නොකොට මා මෙහි පැමිණි අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට සුදානම් වුයෙමි. අරමුණු සිතියම යාවත්කාලීන කළෙමි. එවිට හැම ශක්තියක්ම එකම අරමුණක් වෙනුවෙන් කේන්ද්‍රගත කළ යුතු නැත.
********
ගෙවුණු දෙසතිය වේගවත්ය. අධික ලෙස කාර්යබහුල චානක්‍ය හැම සැන්දෑවකම කතා කර හෝ කාර්යාලය නරංඹා ඔහුට අවශ්‍ය පරිදි කටයුතු වෙනවා නැද්ද කියා හොයා බලන්න ට ආවේය. නමුත් දෙවෙනි සතියේ අවසාන වනවිට පත්තු වු ගිනි අගුරක් මතුවිය. ඒ අපගේ පෞද්ගලික හේතු නිසාවෙන් නොවේ. රටේ දේශපාලන බලපෙරළියකට පාර්ලිමේන්තුව අරඇඳ සිටියේය.
කවදාවත් නැතිව එරන්ද ඒ ගැන අවධානය දක්වමින් සිටියේය.
‘බිම්මා ඇත්තටම චානක්‍ය මොකද කරන්න ඉන්නෙ
‘මිනිහ ඉල්ලා අස්වෙන්න වුනත් පුලුවන්
‘එයාට ඕනෙ නම් හරිම පැත්තෙ හිටගන්න පුලුවන්
‘මං දන්නෙ නෑ එයාට එච්චර හයියක් තියෙද කියලා නම්..
චානක්‍ය ගේ තීරණය කුමක් වුවත්, ඔහු සිටියේ අපේ ව්‍යාපෘතිය කෙරෙහි අවධානයෙනි. දෙසතියෙහි අවසන් දවසේ සවස වෙනදාට කලින් ඔහු අපේ කාර්යාලයට ආවේය.ඒ පැමිණ මගේ කාර්යාලීය මේසය අයිනේ වු අසුනේ හිඳගත්තා නොවේ. කඩා වැටුණේය. මම ඔහු දෙස තියුණුව බැලුවෙමි. එහෙත්, මේ තරුණ නියෝජ්‍ය ඇමතිවරයා ගේ හදවත විනිවිදින්නට පහසු නැත.
‘මොකක්ද වුණේ අද?
චානක්‍ය ඇසක් පියා ගෙන අතකින් එය පිරිමැද්දේය.
‘අනේ මන්දන් නෑ බිම්මාලි. මට දැන් නම් මේ වෙන දේවල් දරාගෙන ඉන්නෙක හරි අමාරුයි.
‘වැඩිය හිතන්නෙපා. හෘද සාක්ෂියට එකගව වැඩ කරන්න බැරිම නම්, ස්වාධීන පාර්ලිමේන්තු
මන්ත්‍රිවරයෙක් විදියට වැඩ කරගෙන යන්න. අපට එතනින්මයි ගොඩ එන්න තියෙන්නෙ..
අනාගත අමාත්‍යවරයෙකුගේ හැඩතල මනාව පෙන්වන චානක්‍ය මෙතැනදී පසුබැස සිටියේය.
‘මං මේ ඔයා එක්ක කතා කරන විදියට මං ගොඩක් වෙලාවට වෙන කෙනෙක් එක්ක කතා කරන්නෙ නැහැ බිම්මා. මං ඇත්තටම ඔයා එක්ක කිසිම ස්ටේටස් එකක් මේන්ටේන් නොකර මේ කතා කරන්නෙ. මොකද
මට ඒක පහසුයි. ඔයා ත් හරිම කම්ෆර්ට් .. ඉක්මනින් තේරුම් ගන්නවා..
‘හ්ම්ම්
‘සමහර වෙලාවට අපට අපේ දෙමව්පියො ඉන්න ඕන වෙලාවල ඒ අය නැති එකේ අඩුව තදට දැනෙනව. තාත්ති හිටිය නම් මේ වගෙ උභතෝකෝටික ප්‍රශ්න වලට හොදට කල්පනා කරල හොද උත්තර දෙනව.
‘ඔයා ට මේකට උත්තරයක් අනිවාර්යයෙන් හම්බවෙනව චානක්‍ය. ඔයා මේක ගැන ඕනවට වඩා හිතන්න එපා.
චානක්‍ය යළිත් මදෙස මනරම් බැල්මක් බැලුවේය. ඔහු ඊලගට කතා කරන්නට යනදේට ප්‍රේමය නම් සම්බන්ධ නොවේවායි මම ප්‍රාර්ථනා කළෙමි.
‘ඔයා එරන්දට ආදරෙයිද?
මම සිනාසුණෙමි. ජීවිතය තුල කවුරු හෝ කෙනෙකු ගැන වැඩියෙන් ම කතා කරන්නැයි කීවොතින් මා මුලු දවසක්ම වුව කතා කරන්නට කැමති එරන්ද ගැනය.ඔහුට මා තුල ඇති ආදරය ගැනය. නමුත් චානක්‍ය ඒ ගැන දැනගත යුතු නැතැයි මගේ හිත මට අනතුරු ඇඟවුයේය.
‘නැහැ. ඇත්තටම එයා හොඳ යාළුවෙක්. එයාත් එහෙම මට ආදරයක් තියෙනව කියලා මං හිතන්නේ නෑ..එහෙම කියන්නත් බෑ ඉතින්.ආදරේ කියනෙක ඇතිවෙන්න එහෙම හරියටම වෙලාවක් කියල එකක් නෑ.මං එරන්දට කැමතියි. ඒත් ඒක මාව හැමදාටම මෙහෙ තියාගන්න පුළුවන් විදියෙ කැමැත්තක්ද කියල හිතන්න මං කැමති නෑ. කොහොම වුනත් මම මේ ප්‍රොජෙක්ට් එක ඉවර වුණාම ආයෙ යනව..
මම සෙමෙන් කීවෙමි. චානක්‍ය සුසුමක් හෙළුවේය.
‘මාත් ඔහොම හිතුවා. ඒත්, තාත්ති නැතිවෙලා ඡන්දෙට එන්න වුණ. පස්සේ හිතුණ මෙහෙට වඩා තැනක් කොහෙද ආයෙ තියෙන්නෙ කියලා..
‘මටත් එහෙම හිතෙයිද
‘හරියටම කියන්න බෑ ..බලමු ඉතින්.
කෙසේ වුවත්, චානක්‍ය ගේ හිතේ. මොකක් හෝ අදෘශ්‍යමාන හැගීමක් ඇති බව මට දැනෙයි. මම අපාට්මන්ට් එකෙහි කුඩා සදලුතලයට නැගී කෝපි කෝප්පයක් බොන අතරේදී කල්පනා කළෙමි. ජීවිතය කොයිඅතට පාව යනවාද නොදනිමි. නමුත් එය වඩාත් ම ධනාත්මක දිශානතිය දෙසටයැයි මම විශ්වාස කළෙමි. සවස මා සිතා සිටින්නේ මිහිරගේත් සුදුනංගීගේත් පුංචි බබා බලන්නට යාමටය. ඒ අතරේ එරන්ද ගේ සැලෙන කටහඬ ඇසිණි. එය භීතියට පත් හඩකි.
‘අනේ බිම්මා, අම්මට චුට්ටක් සනීප නැහැ වගේ .මං මේ එමින් ගමන්
‘මං ගිහින් බලන්නං
‘එපා එපා. ඔයා ඔයාගෙ වැඩක් කරගන්න..
‘නෑ ඉතින්..මට ලොකු දුරක් නෑනෙ.ඔයා එන්නකො හෙමින්.. මං යන්නම්.
ඇත්තටම එරන්දගේ හඩෙහි වු කලබලය නිසා මා සිටියේ ඊටත් වඩා අවුලෙනි. එරන්ද ඔය දැන් ආදරේ කරන කවුරුද මන්දා කෙනෙක් වෙනුවෙන් කටුනායක කමුබන් රෙස්ටොරන්ට් එක ගොඩනගන්නට යොමුවී ඉන්නවායි කීවාට ඔහුගේ ආදර ලෝකයම අම්මාය. අම්මා කියන්නේ අනික් හැමදේටම වඩා ආදරේ ගැහැනියය. ඇඳ සිටි ඇඳුම පිටින්ම මගට බැස .. ක්ලී රියකට අත දමා එරන්දගේ ගෙදර ළගින් බහිද්දීත් කළ යුත්තේ කුමක්දැයි නිශ්චිත අවබෝධයක් මට තිබුණේද නැත.
අම්මා, ඕ සාලයේ පුටු සෙටියෙහි ඉඳගෙන සිටි අතර, තාත්තාත් තව තලතුනා කාන්තාවක් සහ අක්කා කෙනෙකැයි කිවහැකි වයසක කාන්තාවකද සිටියාය.
‘ආනේ පුතේ, ඔයා.. තනියමද ආවෙ
‘ඔව් .. එරන්ද කතා කරල කිව්ව විදියට මං ටිකක් කලබල වුනා. මං ගෙදර උන්නු ගමන්ම ආවා..
ලංකාවේ සභාවක් ඉදිරියට මඳක් නොසුදුසු තරමකට කෙටි යැයි සිතුණ මගේ ඇදුම ගැන යම් හැගීමක් ඇතිවුයෙන් මම කීවෙමි.එරන්දගේ නෑදෑයන් යහලුවන් අතරට එවැනි ඇදුමක් ඇදගෙන ඒම අනුවණකමකි යි මට එවෙලේ සිත් විය. කෙසේවීද, අම්මාගේ තත්වය නරක නොවුණත් ඇයව විධිමත් වෛද්‍ය උපදෙසක් වෙනුවෙන් යොමුකළ යුතුයැයි හැගුන හැගීමට මම ඇයව විශේෂඥ වෛද්‍ය යොමුවකට නොම්මරයක් වෙන් කර ගතිමි. ඔවුන් එය ප්‍රතික්ෂේප නොකළේ මගේ තීරණයට අකමැති වෙන්න නොහැකි නිසාමය.
මට නුහුරු වුනත් මම ඒ ගෙදර මුලුතැන්ගෙයට ගියෙමි. කුඩා බිමක නිවසක කුඩා ඉඩක ඇති එවැනි මුලුතැන්ගෙයක් මහා ඉහලින් සැලසුම් කරන්න නොහැකි වුනත් එරන්දගේ අම්මා එය පිළිවෙලකට සකස් කර තිබුණි. මම හීටරයක්, වීදුරු කෝප්ප තේකොළ සීනි කිරිපිටි බෝතල් මෙන්ම කෝපි බෝතලයක්ද සොයා ගතිමි. හීටරය ගසා වතුර ටික සද්ද දමා බුබුලු නගද්දී එරන්දගේ තාත්තා දොරකඩින් එබුනේය.
‘මොනවද පුතේ ඔය කරන්නේ?
‘කෝපි ටිකක් හදන්නම්…
‘මං කරන්නම්. ඉන්න.ඔයා ගිහින් ඉදගෙන ඉන්නකො
‘නෑ නෑ.. මට පුලුවන්…
ඔවුන් මාව නොදනිති. එරන්ද මා ගැන කුමක් කියා ඇත්දැයි වත් මම නොදනිමි. ඔහු මා දෙස බලා වඩාත් කාරුණික සිනහවක් පා යළි සාලය දෙසට ගියේය..
‘සුදුපුතාගෙ යාලුවෙක්. මේ දුව ටික කාලෙකටයි ලංකාවෙ ඉන්නෙ.
එරන්ද ගෙ අම්මා ඉහත මා කී පිරිසට මාව හදුන්වා දුන්නේ එහෙමය.ඒ මා කෝපි කෝප්ප පිරිනමන
විටදීය.
‘ඒක තමයි .. අපි කලින් දැකල නෑනෙ මේ නංගිව. පහුගිය දවස්වල වාහනේ එහෙමෙහෙ එක්ක ගියෙ ගොඩක් පොඩිපාට ගෑනු ළමයෙක්නෙ
ඕපාදුප වලට රිසි මැදිවියේ කාන්තාව කීවාය.එරන්දගේ අම්මා මදෙස බලා හිනැහුණාය. මට ඇය ගැන සියුම් අනුකම්පාවක් ඇතිවිණි. අපි කිසිවක් නොකියා ඉන්නට පරෙස්සම් වුවෙමු. අම්මා යම් අපහසුතාවකට ලක්වුනු බව පෙනුණත් මා නම් එහෙම බවක් පෙන්වන්නට උත්සාහ කළේම නැත. මොවුන් සමාජයට විස විදින්නන්ය. මෙවැන්නන් ඉදිරියේ අප සිටිය යුත්තේ විස නොවදින ඇදුම වලින් සන්නාහ සන්නද්දවය.
එරන්ද ගේ වාහනය මිදුලට සමීප වත්ම සබාව නිශ්ශබ්ද විය.
එරන්ද පැමිණි පසු ඔහු දැකීමෙන්ම මම අලුත් වන ආශ්චර්ය කින් පිරී ගියෙමි. මා තුල සිය දහසක් මිහිරි කුණාටු ඇති වෙයි . ඉසියුම් සුනාමිද, පහළ වෙයි. මා සිටින්නේ දෙනෝ දාහක් සෙනග මැද්දේ වුනත් අප දෙදෙනා පමණක් සිටිනවා යැයි හිතෙයි. කාටවත් අඩුම ගණනේ එරන්දටවත් කිව නොහැකි තරමේ සොදුරු මනරම් සිහිනමය සිතුවිලි වලින් ළය පිරෙයි.
එරන්ද ගෙ බය ඇකිළුණු මුහුණින් මනාව පෙනිණි. ඔහුගේ මුහුණ හැගීම් පෙන්වන කැඩපතකි. අම්මා එරන්දගේ ආගමනය ගැන ආඩම්බරයෙනි. අම්මලාට පුතුන් ඇතුන් මෙනි. එය ස්විඩනයේ නිකොලාටද, බොට්ස්වානාවෙ අපේ අම්මාටද, කිරුළපන රේල්පාර අයිනක වෙසෙන කාන්තීටද, නාරාහේන්පිට නර්මදාටද පොදු හැගීමකි.
‘මං යන්නද?
මම එරන්දට ළගාවී ඇසුවෙමි.
‘යන්නම ඕනෙද දැන්මම
‘ඔව්.මං කලබලේට හරියට ඇඳුමක් වත් දාගෙන නෙමෙයි මේ ඇවිත් ඉන්නෙ.
‘ඕක අවුලක් නෑ. මේ වත්තෙ කෙල්ලොත් ඔයිට වඩා ඇරගෙන අදින්නෙ
‘එරන්ද …
‘ම්ම්ම්ම්….
‘අම්මව සර්ජන් ලගට එක්ක යනකොට මං එන්නම්
‘හා..ලොකු දෙයක්.. ඔයාට වදයක් වෙයි කියලා මං නොකියා හිටියෙ.
‘ඔයාව මේ වගෙ කොල්ලෙක්ව කළෙ එයාලනෙ.. මං එයාලට ඔයාට තරම්ම ආදරෙයි. එයාල දෙන්නත් ඔයාගෙම ආදරෙන් කොටසක් වගෙ
‘හොද වෙලාවට තව කොල්ලෙක් නැත්තෙ.හිටියනම් ඌත් මගෙ කොටසක් කියල ඌටත් ආදරෙ දෙන්න හදයි.
එරන්ද සිනහවෙයි. ඒ සිනහවට මම බැඳෙමි. ඒ හැම අතැගිල්ලකටම පා ඇගිල්ලකටම මම ආකර්ශනය වෙමි. පපුවෙහි රෝම කුපයක් ගානේ ඇලෙමි. සංසාර ක්ලේශ කන්ද එරන්දගෙන්ම පිරෙනු මට දැනෙයි.
‘ගෙදර වැඩ ටිකත් කළා මේ දුව.
අම්මා එරන්ද ට කීවේය. නළල රැළි කර එවර නම් ඔහු මදෙස බැලුවේම සංකීර්ණ බැල්මකි. අම්මා එහෙමෙහෙ වු සැනින් ඔහු මට ළගා විය.
‘පණ්ඩිත කම් කරන්නැතුව ඉන්නයි තිබුණෙ ඔයාට.මං මේ එන්න කියන්නේ වැඩ කරව ගන්න නෙමෙයි.අනිත් එක ඔයා කවුද කියනෙක ඔයා හැම වෙලාවෙම මතක තියං ඉන්න
‘දැන් ඕකට ඔච්චර බනින්න ඕනද?
‘බනින්නෙත් ආදරේටනෙ
රෝහලේදී එරන්ද මුදල් ගෙවා අදාල කවුන්ටර වලට ගොස් එනතෙක් මම අම්මා සමග පසෙක සිටියෙමි. ඒ අම්මා සතුටු සිතිනි.
‘ඔයා දන්නවා ද දුව, මං එරන්ද ගැන හරි බයෙන් හිටියෙ…
මම ඇය දෙස බලා සිනහ වීමි.
‘එ්ත් ඔයා වගෙ දැනුම් තේරුම් තියෙන කෙනෙක් දැන් එයා එක්ක ඉන්නෙක මට ලොකු සතුටක් .. එයා දැන් කල්පනා කරල ජීවත් වෙයි කියලා මට හිතෙනව. එරන්ද ව හැමදාම බලාගන්න බැරිද පුතා ඔයාට.. මං දන්නවා අම්ම කෙනෙක් විදියට එහෙම අහන එක හොඳ නැහැ කියල. ඒත් හැම අම්මෙක්ම කැමති තමන්ගේ දරුවගෙ යහපතනෙ පුතේ..
‘මට තේරෙනව අම්මෙ. මං කොච්චර කාලයකටද කවද හරි අපි වෙන් වෙයි ද නැත්ද කියලා නම් දන්නෙ නෑ හැබැයි මට හැමදාම එරන්ද ලග ඉදන් එයාට උදව් කරන්න පුලුවන්
‘ඔයා ආදරෙයිනේද මගෙ අහිංසක කොල්ලට
මම තිගැස්සී ඇය දෙස බැලුවෙමි. ඇය මා කියවා ඇත. ආදරය එහෙමය. සගවන්නේ කොහොමද? ගැහැනු හිත් ගැහැනු හිත් හදුනා ගනියි.
‘ආදරේ නම් තමයි අම්මා. ඒත් ඒක එයාට ජීවිත කාලෙම මං ගාව නවතින්න තරම් වටිනවද කියලා මට තාම කියල නෑ.
‘එයා අර ළමය නිසා හොඳටම හිරවෙලා හිටියෙ..මං බයේ හිටියෙ. එරන්ද එහෙම හිරවෙලා කොච්චර කාලයක් ජීවත් වෙන්නද පුතේ.. මට මගෙ දරුවගෙ හිත තේරෙනව.එයා මං ගැන බයෙන් ඉන්නෙ. ඊට වඩා මං එයා ගැන බයෙන්.. ඒත් මං දැන් සැනසිල්ලෙ ඉන්නවා …ඔයා එයාට පාර පෙන්නනව කියලා මං දන්නවා
මම ඇගේ අතින් අල්ලා ගත්තෙමි. එරන්ද ඇයට කොපමණ ආදරය කරනවාදැයි හොදින්ම දන්නා බැවින් ,
‘අනික් මොන ගෑනියෙක්වත් නෙමෙයි අම්මා.ඔයා තමයි එයාගෙ හැමදේම.
මා දැනසිටි ඇත්ත කීවෙමි. ඇගේ මුහුණ පැහැබර සිනහවකින් එළිය විණි. වෛද්‍යවරයා ඇයට යම්කිසි පරීක්ෂණ කිහිපයක් නියම කළ අතර ඇය මෙතෙක් භාවිතා කළ බෙහෙත් වර්ග දෙකක් වෙනස් කළේය. එරන්ද මදෙස බැලුවේ සැනසුම් බැල්මකි.
‘පුතේ මේ දුවව ඇරලවල එන්න..
තාත්තා එරන්ද ට කීවේ නැවත ගෙදර ගොස් තවත් පැයක් ගතවු පසුවය. එරන්ද එය අමතකව සිටියාක් මෙන් අමුතු හැසිරීම ක් පෑවේය.
‘ඇයි මාව ගෙදර එක්ක යන්නැද්ද
‘මං හිතුවෙ අද මෙහෙ ඉදී කියලා
‘ඇත්තටම ද
‘නෑ බං.. එහෙම කොහොමද ? මං දන්නවා ඔයාට නිදියන ටික සැපට නිදියන්න ඕන කියල
මට මඳහසක් නැගිණි.
‘හොඳට නින්ද යන්න නම් තමන් ළඟ නිදියන්න ආසම එක්කෙනා ළඟ ඉන්නෝන
‘යංකො එහෙනම් නිදි කරවන්න
මේ හමුව බොහෝ දුර ඇදෙන බව මම දනිමි. එරන්ද මගේ ගෙදර බැල්කනියට කැමති මොකක් නිසාද නොදනිමි., බාත්ටබ් එකට මද රස්නයට උනු වතුර පුරවා අල්මාරියෙන් අලුත් සුවඳැති සුදු තුවා සෙව්වෙමි.
‘මහන්සිම දවසක් නේද අද
‘ඔව් පැටියා..ගොඩක්. මං බය වුණා ඒත් එක්කම. අම්ම කවදාවත් එහෙම ලෙඩ කටහඩකින් කතා කරල මට අමාරුයි කියන ජාතියෙ ගෑනියෙක් නෙමෙයි.
‘මිනිස්සු වුනාම අසනීප වෙනව. අම්මල හැමදාම තරුණම වෙලා ඉන්නෙ නෑ දන්නවද. එයාලා ලෙඩ වෙනව කියනෙක අපි ඇක්සෙප්ට් කරන්නෝනි.
‘මට තේරෙන්නෑ .. හැබැයි මට මාර සතුටුයි ඔයා මේ වෙලාවෙ මං ගාව හිටිය එකට.. ඇත්තටමයි බිම්මා
‘මං නැත්නම් කව්ද ඉතින් ඉන්නෙ
‘අම්මට ආස හිතිලා ඉතින්
‘ඇයි? දුවෙක්ටද?
‘හ්ම්, ඔයා එයාව මල් වට්ටියක් වගෙ බලා ගත්තනෙ
‘ඔයාගෙ අය මට කොච්චර වටිනවාද කියලා දන්නවා නේ
ඔහු සිනහවුයේය.එය අහිංසක සිනහවකි. එරන්ද මගේම දැයි නොදනිමි. ඒත්, මේ ආදරය මට අයිති වෙනු ඇතැයි ඉතින් මට සිතෙයි.
‘රෑවෙලා වැඩි නෑ නේද නාන්න?
‘රෑ දොලහට එකටත් පුල් එකේ බැහැගෙන ඉන්න.. කෙල්ලෙක් අහන ප්‍රශ්නය ක්ද ඒ?
සුදු තුවායකින් සැරසුණු වී හැඩැති උඩුකයකින් යුක්ත හුරුබුහුටියා නාන කාමරයට සම්ප්‍රාප්ත වන විට මා සිටියේ සියොළග දියෙහි ඔබා ගෙනය. පෝසිලේන් නාන තටාකයෙ බැම්මෙ හිඳගත් එරන්ද මගේ කොපුලක් සිය ඇගිලි තුඩකින් තෙරපා බැලුවේය.
‘ඔයා ඔහොම බලද්දී ජීවිතෙ කියන්නේ මේ සරල දේවල් ටික නේද කියලා හිතෙනවා
‘ම්ම්ම්…මං සරල ගෑනියෙක් කියනෙකට මං එකග නෑ
‘ඔයා සරල නෑ. පට්ටම සංකීර්ණ යි. හැබැයි, ඔයා එක්ක ගෙවෙන ජීවිතේ වෙලාව ගතවෙනව දැනෙන්නෙ නෑ.
‘එරන්ද ,
‘ඇයි පැටියා…
‘මං… නවතින්නද ලංකාවෙ?
ඔහු කිසිවක් නොකීවේය. නාන තටාකයෙහි වැතිරුණේය. විශ්වයේ ශක්තීන්ට සමපාත වෙමින් අපේ ශක්තීන් එක්ව ක්‍රමානුකූලව පරිසරයට එකතුවෙනු දැනෙයි. හැම හැගීමකටම හැම දැනීමකටම හැඩතල දෙකකි.එක්කෝ එහි වේදනාවකි. නැත්නම් එහි සතුටකි. නොවේනම් ඔය දෙකෙහිම මුසුවකි.කොතෙක් සිපගත්තත් මදියි දැනෙනා එ දෙතොල් , නග්න ළමැද, පිරුණ බාහු දිගු ඇගිලි, ඒවාටම ආවේණික ආදරණීය ස්පර්ශ, මා උමතුවෙන් අවදි කරවනු මට දැනෙයි.
මම දිගු සුසුම් කෙළවර ආදරයේ අනන්ත සුවයෙන් නිද්‍රාවකට සබැඳෙමි. ආකාස තොටිල්ලක පාවෙමි. මුහුදුබඩ ඔන්චිල්ලාවක නැළවෙමි.
‘කොච්චර නම් වතාවක් දාලා ගියාද.. ඒ එක වතාවකවත් හිත හදන් ඉන්න බැරි වුණානෙ.. මොකක් හරි හේතුවක් හම්බෙද්දි, මං ඒක ලගට ඇදල අරන් බදාගෙන ඒකෙ ම නැගල ආයෙම ලංකාවට එනව.
‘කමුබන් රෙස්ටොරන්ට් එකක් ස්වීඩන් උස්සං ගියෙ මාව එහෙට අරන් යන්නද?
‘ඒකෙන් කවුරුම හරි ගොඩ ගියානෙ ඉතින්
‘මං මෙහෙට ආසයි බිම්මා. මේ පොළව මේ මිනිස්සු මං මේ මිනිස්සුන්ට ආදරෙයි.මොන මොන ප්‍රශ්න තිබුණත් මුන් හෙන ගොබ්බ විදියට ඡන්දෙ දීලා පිස්සු කෙළියත් මට මේ මිනිස්සු ගැන මහ පුදුම ආදරයක් තියෙනව.
‘මං දන්නවා ඒක
‘අපි ආයෙ පැනල යංද
‘ගිහින්?
‘අපිව නොදන්න මිනිස්සු ඉන්න දුපතක හරි කොදෙව්වක හරි ජීවත් වෙමුද?
‘ඒත් ඇයි අපි පැනල යන්නෙ
මාදෙස මොහොතකට බලා සිටි එරන්ද උන් හිටි ගමන් මගේ දෙතොලට බරවිණි.
සසදි කතා කරනවා කියා ඔහු නොකීවේය. මා ඇසුවේද නැත. ඇය කතා කළත් නොකළත්, ඔහු ඒ වග මට කියන්නේ නැත. ඒත් හැමදාටමත් වැඩිය අපමණ ආදරය කළේය. කොදෙව්වකට පැන යමුයි කියන්නට තරම් මා ගැන ඉතිරිවී ඇති ආදරය ප්‍රමාණවත්් ය. සෞන්දර්යාත්මක ව විඳගත් රෝමාන්තික චාරිකාවෙහි මතකයන් සමග මම සයනයේ ගුලිව හිඳිමි. එරන්ද මගේ කරවටා අත දමාගෙන මාව ඔහු වෙතට ළං කරගනියි. මගේ රන් රන්කඳ අනික් අතින් සිය දුරකතනයේ මොන මොනවාද කියවයි. එහි එළිය මට වදයකි. මම නෙත් වසා හිඳිමි.
‘ මිහිරලගෙ බබාව බලන්න යන්නෝන
‘හා..
‘ඒ බබා මාර කියුට් ඈ..ඔයාට ගිලින්න හිතෙයි..
‘මං බබ්බු ගිලින් නෑ. අවුරුදු තිස් ගාණක කොල්ලෙක්ව ගිලල ඒකව හිර වෙලා ඉන්නෙ මං
‘කවදාවත්ම, මං කියන්නෙ බිම්මා… කවදාවත්ම ඒකව වමාරන්න හිතන්නෙපා
‘ඇයි, එයාව හිරවෙලා මං මැරුනොත් ?
‘එයා නිසා ඔයා කවදාවත් මැරෙන්නෙ නෑ.. ඒත් ඔයාගෙන් අයින් වුනොත් එයාව මැරිලා යයි …
‘සසදිට කොහොමද?
මා ඇත්තටම ඇසුවේ සසදි ගැන වචනයකුත් නොකියා එරන්ද මා හා මේ පෙම්වත් වෙනාකාරය මට දරාගන්න ටද අපහසු බැවිනි. එය අවිනිශ්චිත හැගිමකි.
‘උදව්වක් කළා. අත්ඇරියා. එයාට දැන් මගෙන් වැඩක් නෑ..
‘එහෙම කොහොමද කියන්නේ ?
‘එයා මං ගාව හිරකරන් මට වැඩක් නෑ..
‘ඒ කියන්නේ ?
‘එයා මෙහෙ කැම්පස් එකේ ඉද්දිත් එයාගෙ කල්ට් එකට මාව ගැළපුනෙ නෑ බිම්මා. ඒ ළමයි ඉංග්‍රීසියෙන් කියවන ඒවයින් බාගෙට බාගයක් ඇත්තටම මට තේරෙන්නෑ. මාව උන් අස්සට අරන් ගිහාම මාත් අවුලෙන්.එයාත් අවුලෙන්. මට යකා නගිනව. ඒත් ඉවසගෙන ඉන්නවා. ඒවා දිගටම අරන් යන්න පුලුවන් කාරණා නෙමෙයි. සසදි වුනත් ඉවසල ඉවසල ඉවර වෙන දවසක් එනව. මං කැමති නැ එච්චර අමාරුවෙන් දේවල් අරන් යන්න.
‘එතකොට?
‘ආ.. .බලලම තේරුම් ගන්නකො
ඔහු මවෙත දුරකතනය පෑවේය. මම පැකිළුණෙමි. ඇත්තටම අනුන්ගේ මැසේජ් ත්‍රෙඩ් එකකට එබීම මහා වරදකැයි මටම දැනෙයි. එහෙත්, පණිවුඩ එකින් එක කියවද්දී ඊලග පණිවුඩය ගැන ඇතිවෙන කුතුහලය මාව එය අවසන් වෙනතෙක්ම කියවන්නට පෙළඹවීය.
‘ඔයාට මං ගැළපෙන්නෙ නැත්නම් ඔයාට බිම්මා ගැළපෙන්නෙ කොහොමද කියනෙක මට හිතා ගන්න බෑ. එරන්ද අයියෙ.ඔයාට මගෙන් නොලැබිච්ච එයාගෙන් ලැබිච්ච දේකට තියෙන්නෙ සෙක්ස් විතරයි කියලයි මං හිතාාගන හිටියෙ. ඒත් මට දැන් දැනෙනව ඊටත් එහාට ගියපු මට නොතේරෙන මොකක් හරි දෙයකට ඔයා එයාට බැදිලා කියනෙක.සෙක්ස් කියනෙක තාවකාලික දෙයක්. මං බිම්මා නිසා ඔයාගෙන් ඈත් වෙනව කියලා මං ඔයාට කිව්වෙ නෑ.
මං ඔයාලට වඩා වයසින් අඩු තමයි.එ්ත් මට ඔයාට දෙන්න බැරි දෙයක් නෙමෙයි ඒක.
කමක් නෑ. මං මං කැමති ජීවිතේට දැන් ඇවිත් ඉන්න නිසා මට හිත හදාගන්න පුලුවන් වෙයි.
ඔයා ඔයාගෙ ජීවිතේ දිනන්න ඕන. ‘
මම මගේ උරහිසට මෘදු. හාදුවක් තියා සයනයෙන් නැගිටින මේ අපුර්ව ප්‍රේමවන්තයා දෙස බලා ඉමි. යළි හමුවෙන බව කොතෙක් දැන සිටියද එරන්ද වෙන්වෙන හැමවිටම තිගැස්සෙමි.
මහල් නිවාසයේ සදලු තලාවට පෙරි වැටෙන දිදුලන හිරු තරලය ජීවිතය අලුත් වෙන බව කීවේය. වෙනදා වගේ කම්මැලි නොවී වේලාසනින් නැගිට්ටෙමි. නැගිටිනවිටත් චානක්‍යගේ කෙටි පණිවුඩය කි. මද තිගැස්මකින් එය දිගහැරියෙමි.
‘බිම්මාලි,
ජීවිතේ හරි මහන්සියි. වෙලාවකට හිතෙනව හැමදේම අතැරල යන්න.
ඒත්, එක පුංචි බලාපොරොත්තුවක එල්ලෙන්න හිත දගලනව. මට ඔයා හමුවුන දවසෙ ඉදලම මං මෙ කාලයක් හිතෙන් අල්ලගත්තෙ නැති හැගීමක් අල්ලගෙන ඉන්නව. මිනිස්සුන්ට මාව පේනව ඇත්තෙත් ජඩ කුහක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට තමයි. ඒක ඉතින් පොදු ලේබල් එකක්. ඒත්, මං අස්සෙත් ආදරේ ටිකක් හොයන පිරිමියෙක් ඉන්නව. සමහරවිට ඔයාට පුලුවන් වෙයි කියලා හිතෙනවා මාව අඳුන ගන්න.
චානක්‍ය’
මම දෙඅතින් හිසකේ සකසා ගනිමි.
හිත හැමවිටම කීවේම චානක්‍යගේ මේ හැම ව්‍යාපෘතිය ක් අස්සේම සැගවුන හිතිවිල්ලක් ඇතැයි කියාය. එහෙනම් , මගේ හිත කියන දේවලත් ඇත්තක් තිබේ. හිතේ කිසිම තැනක ආයෙමත් පිරිමියෙක්ට පිරිනමන්නට ප්‍රේමයක් නැත. මුලු හිතම එකම රුවකින් වැසී තිබේ.
ඒ දවස් වල අචල හැමවිටම එරන්දට වඩා කසාදයකට සුදුසුයැයි කී අය අතරේ එරන්දම පවා සිටියේය. එහෙත්, නිතරෝම කොන්ඩයත් රැවුලක් අපිලිවෙලට වවාගත් කටහඩට වඩා ඇස්වලට කතා කරන්නට ඉඩ දෙන ඔහු හිත ඇතුලේ පැමිණ අසුන්ගත් තැන එහෙමමය. ආසන පනවා දුන්නේ බිම්මාමය කියන එක වෙනම කතාවක්ය.
දැන්, චානක්‍ය පැමිණ සිටියි. ඔහුගේ ඉගිබිගි හරිම හෙමින් මා පාරනු දැනෙයි. ජීවිතය තව්තිසාවක් කිරීමේ කාර්යභාරය පිරිමියෙකුට පවරාදී නිදහස් වෙන්නට උවමනා නම් මෙන්න මේක අවස්ථාව කැයි ගැහැනු ඉවක් මුණුමුණුවකුත් අරඹා ඇත.
මම කෝපවී හිඳිමි. හැම තනි රාත්‍රියකම නිදන්නට කලින් සිහිකරන්නේ එරන්දගේ නෙලුම් පෙති ඇස් නම්, ඝන රැවුල් ගස් වලින් වැහුණු කොපුල් නම් මද රෝස පාටැති දෙතොල් නම් දෙඅත්ලේ පහස නම් වෙනින් පිරිමියෙකුට ජීවිතය තව්තිසාවක් කරන්න ට ඉඩ දෙන්නැයි කියන්න ට හිතට චපල වෙන්න පුලුවන් ද?
ගැහැනු හිත් වල එහෙම තැන් නොතියෙනවාම නොවේ.එරන්ද සමග කතා කර සියල්ල විසඳා ගත යුතුයැයි මට හිතෙයි. නාන කාමරයෙහි බොහෝ වෙලාවක් ගෙවා මා දුරකතනය දෙස බලද්දී ඇමතුම් පහකි.. පහම චානක්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ජංගම දුරකතන අංකයෙනි.
"බිම්මාලි, ළමයො මං පහල ඉන්නෙ"
මම සුසුමක් හෙළමි. ඉක්මන් කෝපය පාලනය කරගන්නට මා ඉගෙන ගෙන තියේ. අහස් නිල් ඩෙනිමකට සුදු කමිසයක් හැද මා අපාට්මන්ට් ගේට්ටුවෙන් මතුවෙන තෙක් පාර අයිනේ සාමාන්‍ය වාහනයක් නවත්වාගෙන හිදිනා සාමාන්‍ය තරුණයෙකු මම දුටුුවෙමි. චානක්‍ය මේ මොකාටද එන්න හදන්නේ වගේ තදබල මානසික අවුල ක පැටළුණත් වැඩිදුර නොහිතාම පසුපස ආසනයේ ඔහු අසලින් හිඳ ගතිමි.
"වෙහිකල් එක මාරු කරල මොකෝ?"
සිනහවකි. මනාව පරෙස්සම් කරගන්නා සිරුරකින් පිලිවෙල කොන්ඩයකින් හැබෑ ලස්සන සිනහවකින් මේ මනුශ්‍යයා සමන්විත ය.
"අද අපි යංද අපේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොගෙස් එක බලන්න?"
"චානක්‍ය, මේ ඔයා කියන්නේ අපි දැන් මේ අපේ බයින් සෙන්ටර්ස් වලට යන්නෝන කියලද?"
"ඔව්.. ඇයි?"
මා හිතා හිටියේ මිහිරලාගේ බබා බලන්න යන්නටය. එයින් පසු එරන්ද හමු වෙන්නටය. චානක්‍ය ගේ ව්‍යාපෘති වැඩසටහන් නිරීක්ෂණය තුන් හිතක වත් තිබුණු එකක් නොවීය.
එරන්ද ගේ දුරකතනය විසන්ධි ය. ඊයේ රාත්‍රියේ දුරකතනය චාජ් කරගන්නට අමතක වි ඇතුවාට සැක නැත. කෙටි පණිවුඩය ක් තියනවා. හැරෙන්නට කළ හැකි කිසිවකුද නැත.
මම ආසනයේ මුදුනට හිස තද කර ගතිමි. නොදැනීම නින්ද යද්දී චානක්‍ය කවුරු හෝ සමග දුරකතන ඇමතුමක යෙදී හිදිනා බව මතකය. ඉන්පසුව මා ඇහැරුණේ ඇගිලි වලට දැනෙන උණුසුම් ස්පර්ශයකිනි. තදින් ඇල්ලීමක් නොවු තට්ටුවකිනි.
" ඔයා බ්‍රෙක්ෆස්ට් ගත්තෙ නෑනෙ.. මේ රෙස්ටොරන්ට් එක මගෙ යාළුවෙක්ගෙ.. කාලා යමු"
එය කලබල පාරක් අයිනක වු පිළිවෙල අවන්හලකි. චානක්‍යගේ මිතුරා අප පිළිගෙන එහි වු සංවෘත පෙදෙසකට කැටුව ගියේය. මා තරමක තිගැස්මකින් උන් බව සැබවි. ලංකාවෙන් පිටස්තරව සිටි දීර්ඝ කාලයේ වෙනස් වී ඇති නගර වීදි මංමාවත් ගැන මා තවත් දැනුවත් නැත.
චානක්‍ය සමග මා ආ ගමන ගැන එරන්ද දැනුවත් කරන්නට පෙළඹුණේ එතැනදීය. සාමාන්‍යයෙන් මා දන්නා එරන්ද නම් මේ වගේ දේකට කලබල වෙන්නේ නැත. ඒත් නිකමට හෝ එරන්ද ජාන් නම් ,
"තමුසෙට පිස්සුද මේ වගෙ වෙලාවක ඔය මනුස්සය එක්ක රස්තියාදු ගහන්න යන්න" කියනවා නිසැකය.
"පරෙස්සමින් වැඩ ටික කරන් එන්න..මාව අප්ඩේට් කරන්න බිම්මා.." හෙතෙම ලියා එව්වේය. හිතේ කුඩා බලාපොරොත්තු බුබුලක් බිදී ගියේය. චානක්‍ය මදෙස තියුණු බැල්මක් බැලුවේය.එහි සිනාවක් නැත. සමහර පිරිමි ලස්සන ම සරාගිකම සිනා නොවී සිටින තරමටම තමාය.හෝව්! බිම්මා… මේ ඉතින් ඔයාගෙ ආදරය නොවේය. මම මොහොතකට ඇස් වසා ගනිමි. එරන්දගේ ඇස් මා හමුවේ පිපෙයි.
හීනද දකින්නෙ?
චානක්‍ය! මම මුල් වරට චානක්‍යව සමීපව දකිමින් හිඳිමි. ඇහැට ඇහැ පැටලීම දරුණුම තත්ත්වය ක ආරම්භය වෙන්නට පුලුවන.
‘ම්හ්ම්… අපි ඉක්මනින් යමු නේද චානක්‍ය
‘ඇයි බිම්මා
‘නැහැ හවස පරක්කු වෙන්න බැහැ.. අපි කටුනායක අලුත් රෙස්ටොරන්ට් එක ගැන මිටින් එකක් දාන් ඉන්නවා
‘ආ හරි බිම්මා අපි ඉක්මනින් යමු
චානක්‍ය ගේ මිතුරා කෑම මේසය මතට ගෞරවය ගෙනැවිත් තිබුණේ විවිධාංගීකරණය කළ කෑම බීම වලිනි.
‘උඹ දන්නවද මචං බිම්ම මෙහෙම හිටියට ෆුඩ් ගැන මාර ස්ටඩි එකක් කරලයි තියෙන්නෙ
‘ආ ..
‘දැනටමත් මෙයා ට ෆුඩ් චේන් එකක් තියෙනව. ලංකාවෙයි ස්වීඩන් වලයි..
‘ශා මරුනෙ..
‘ඒකයි මං බිම්මවම අපේ ප්‍රොජෙජක්ට් එකට තෝරගත්තෙ.. අපි අද ෆීල්ඩ් විසිට් එන බව කවුරුත් දන්නෙ නෑ. ඊවන් මචං ඩ්‍රයිව වත් දන්නෙ නෑ. අපි යන්නෙ කොහෙද ඇයි යන්නෙ කියල
‘ඒ වුනාට උඹ ඔහොම ගාඩ් එක නැතුව ඇවිදින එකට මං නම් කැමති නෑ. මේ එච්චර හොඳ කාලයක් නෙමෙයි. වෙලජවකට උඹත් බබෙක් වගෙනෙ වැඩ කරන්නෙ.
මම තිගැස්සී චානක්‍ය දෙස බැලුවෙමි.
‘උඹ දන්නවනෙ ඔය කියන පනත වැඩි ඡන්දෙන් සම්මත කරගන්න උන්ට පුලුවන් වුනොත් රටට වෙනදේ. අනිත්තෙක මචං උන්ට පුලුවන් උන් හිතන ඕනම දෙයක් කරල උන්ගෙ ටාගට් වලට යන්න. මේ වගෙ දේවලදී උන්ට රට මහජනතාව වගෙ ම මිනිහෙක් ගෙ ජීවිතය ක් කියන එකත් එච්චර ලොකු දෙයක් නෙමෙයි..
‘කෙල්ලත් බයවෙනවනෙ බං.. අපි මේ කතාව නවත්තමුකො.. කන්නකො බිම්මා.. අපි ගිහින් ඉක්මනින් එමු
චානක්‍ය මගේ උරහිස මතට අතක් තියා කීවේය.
‘කෙල්ල ඉන්න නිසා තමයි බං මාත් මේ කියන්නේ …
ඇත්තටම මට ඔය කියනා පාර්ලිමේන්තු පනත ගැන කිසිමඅවබෝධයක් හෝ නොතිබිණි. මගේ දේශපාලන සාක්ෂරතාව යම් තත්වයක පැවතියද ලංකාවේ කුපාඩි දේශපාලන උපක්‍රම ග්‍රහණය කර ගැන්මට තරම් එය බලවත් නොවීය. ඊට වඩා මා ඔහුගේ මිතුරාට කෙල්ල කියා හඳුන්වාදීම ගැන මට කල්පනාකාරීව ඉන්නට සිදුවිණි. අප එතැනින් පිටවද්දීත් මා පසුපසින් පැමිණෙන දෙමිතුරන් අතර සංවාදයෙහි යම් කොටසක් මට ඇසිණි.
‘ඉක්මනින් කසාද බැදපං චානා. ඒ කෙල්ල හොඳ පාටයි
චානක්‍ය. මාව ඔහුගේ වර්තමාන පෙම්වතිය හැටියට මිතුරාට හඳුන්වා දී ඇතැයිනිගමනයකට එන්නට සිදුවිය. එබැවින් ම මුලු ගමන පුරාම වරින් වර බුම්මාගන්නටත් චානක්‍යගේ කරදරකාර සහ කම්මැලි දුරකතන සංවාද වලටත් ඇහුම්කන් දීමට සිදුවීමේ අභාග්‍යසම්පන්න කාලාන්තරයක් ගත කළෙමි.
‘ලංකාවට එද්දි තොට ඕක කිව්වා.
මගේම හිත මටම කීය.
ඒත් ලංකාවට එන්න වෙන ක්‍රමයක් තිබුණෙ නෑ
මොකක්ද ලංකාවට එන්න තිබුණු හේතුව. අමාරුවෙන් ගොඩ නගජ ගත්ත ජිවිතේම දාලා
නයිල් යන්න ගිය එක
හිතට බොරු කරන්න එපා බිම්ම. ආත්ම වංචාව තමන්ටවත් දරාගන්න බැරි තරම් වේදනාවක්
මම සුසුමක් අත හරිමි. එරන්ද නැත. කුඩා සිනහ මුහුණ ක් යවමි.එය වට්සැප් මුහුණේ ඇළවෙයි. එරන්ද නැත. තනි හරි ලකුණකි. එපමණකි. ආදරයක් තියෙනවා නම් ඔහොම ඉන්න පුලුවන් ද?
එරන්ද මට ආදරේ නැත්ද?
මම මගෙන් අසමි.
ආදරෙයි. එරන්ද කියන්නේ ආදරේ අනික් පැත්තට දෙන්න ලෝබ මිනිහෙක්. එයාම විදිනව බදාගෙන තතියාගෙන.අනික එරන්දට වැඩ දෙක තුනක් එකට කරන්න බැහැ.
හිත හැමවිටම එරන්දගේ පැත්තෙමය. මගෙම හිතත් සමග ඔට්ටුවී පලක් නැත. අප ආයේ ගමනේය.
චානක්‍ය මදෙස බැලුවේය.
‘ඉස්සරහ ට එන්නෙ හරි කම්ප්ලිකේටඩ් කාලයක් බිම්මා අපි ඉන්නෙ එක ටර්නින් පොටින්ට් එකක..
මම මගේ විමසුම් දෑස පෑවෙමි. චානක්‍ය මොහොතකට මා දෙස බලා ආයේ අහක බලා ගත්තේය. සමහර විට පැටළෙන්නට ඇත. එහෙත් මට ප්‍රශ්නය කි. ජීවිතයේ හැරවුම් ලක්ශ නිකම්ම පහළ නොවේ .
‘මේ ඇක්ට් එක සම්මත. කළොත් ලංකාවෙ ගොඩක් ප්‍රශ්න ඇති වෙනව. ලංකාවෙ ඉඩම් සම්බන්ධ ගොඩක් නීති කෙටුම්පත් වලට ඒක බලපානව. හැබැයි මේක හරහා එක පන්තියකට ලොකු වාසියක් වෙනවා. ලංකාවෙ ඉඩම් ගොඩක් පිටරටට විකිණෙන්න පුලුවන්
‘දැනුත් ඉතින් ලංකාවෙ ගොඩක් සම්පත් වෙන රටවලට විකුණලනෙ තියෙන්නෙ. ආයෙ මොනවද
‘නෑ.දැන් තියෙන්නෙ අනුනම අවුරුද්ද කට බදු දීලනෙ. මේකෙන් ලංකාවෙ ගොඩක් ඉඩම් විකුණන්නම පුලුවන් වෙනව සහ මිනිස්සු පදිංචි වෙලා ඉන්න වවන අනවසර ඉඩම් වලටත් බලපානව.
‘ඉතින් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ?
‘බොස් කියන්නේ අපි ඔක්කෝම මේකට පක්ශව ඡන්දෙ දෙන්නෝන කියලා.
චානක්‍ය සුසුමක් හෙළුවේය. කල්පනාකාරීව මදෙසද බලා යළි රියදුරු දෙසද බැළුවේය. සමහර විට රියදුරු සිටි නිසා කතාවේ ඉතිරි ටික නොකියන්න තීරණය කළා විය යුතුය.
රිය ක්‍රමයෙන් අපේ මිලදී ගැනීම් ශාඛාව වෙත සේන්දු විණි. මාවත් ලකුණු කීවේ චානක්‍යමය. මා දැන සිටි කිසිම කිසිවක් නැතචොනක්‍ය රියෙන් බැස යද්දී සවියල්ලෝ කලබල වනු පෙනිණි. කිසිම විටෙක හිමිකරු මේ වෙලාවේ මෙහි පැමිණෙතැයි නොසිතන සේවකයින් වගේම කළමණාකාර තුමාද රිසි ලෙස තම තමන්ගේ වැඩය. පුදුමය. ව්‍යාපෘතිය ඵල දැරුවොත් එහි ලාබයෙන් කොටසක් තමන්ටද ලැබෙන බව ඔවුහු අමතක කර ඇත.
මුං , කුරක්කන්, තල , කවුපි , කඩල ආදි ධාන්‍ය ඇට වර්ග විකුණා ගැනීමට පැමිණි ගැමියන්ය.ඔවුනු සිය ධාන්‍ය මල්ල පෝලිමේ තියා ගිනි අව්වෙන් බේරෙන්නට තැැන් තැන් වල ගස් සෙවණක බිම හිදගෙනය. සිමෙන්ති ගැට්ටක හිද ගන්නට වාසනාව ලද්දෝ එහෙම තැනකය. මම බර හුස්මක් හෙළමි. අඩු මිලට තොග එකතු කරන්නන්ට තම අස්වැන්න නොදීමට ඔවුන් තීරණය කර ඇත. එහෙත් ඊට වඩා කරදරයක් ඔවුන් විදිමින් සිටිති. මෙතැන මේ කරන රස්තියාදු ව නිසා තමන් අඩු මිලට හෝ තොග වෙලෙන්දාට ධාන්‍ය ටික විකුණා තමන්ගේ කාලය නිදහස් කරගන්න ඔවුන් අකමැති නොවෙනු ඇත. අපේ ව්‍යාපෘතිය සාර්ථක වීමේ වේගය අඩු වෙන්නට මේවා හේතු වෙන්නේ නැද්ද.
චානක්‍ය ඔවුන් අසලට ගොස් ඔවුන් හා කතා කරනු මම බලා සිටියෙමි. මේ චානක්‍ය ගේ ඡන්ද පදනමට අයත් දිස්ත්‍රික්කයක් නොවේ. එහෙත් ජනතාවගේ ප්‍රසාදය විස්මයාන්විතය. අනික් අතට ඔහු වහා මධ්‍යස්ථාන කළමණාකරු කැඳවුවේය.
"සුජීව, මට දැන්ම මේ දැන්ම මෙතනට ටෙන්ට් එකක් ඕනෙ.ප්ලාස්ටික් පුටු සීයක් එක්ක.."
"සර්.. මේ දැන්?"
"ඔව්.. මෙතනට ටෙන්ට් එකක් ගේන්න කන්ටැක් එකක් නැද්ද?"
"නැහ් .. පුලුවන් සර්.. මම සහයෝගිතා සමිතියටමේ දැන් කතා කරන්නං"
"බිම්මා, අපේ කෑශ් ෆ්ලෝ එක කොහොමද?"
මම වහා ලැප්ටොප් එකේ ගණකාධිකාරි විසින් යාවත්කාලීන කරන ලද මුල්‍ය ප්‍රවාහ ප්‍රකාශය ඔහුට පෙන්වුවෙමි.
"සුජීව මෙහෙට නෙස්කැෆේ මැශින්. එකක් ගෙන්නන්න කිරි පැකට් ඔක්කෝම එක්ක.."
"සර් කියන්නේ මේ දැන් ද?"
"ඔව් මනුස්සයො මේ දැන්.. බිම්මා .. අපි පොඩි වැඩක් කරමුද.."
මම ඔහු දෙස බැළුවෙමි. හාෆ්ශීට් කොළයක් ගෙන එකේ සිටඉලක්කම් ලියු ඔහු ඒවා නොම්මර බවට පරිවර්තනය කර ඔහුගේ අතින්ම ගොවියන්ට බෙදා දුන්නේය. අපේ ඇස් ඉදිරිපිටදීම ටෙන්ට් එක ඉදිවිණි. ලොරියකින් ගෙනැවිත් දැමු පුටු පෙළට සංවිධානය වුවෙය.
‘මීට පස්සේ මාමල ආව පිලිවෙලට නොම්මරයක් අරගෙන මේ පුටුවල වාඩිවෙලා ඉන්න.. මේ මහත්තුරු ඒ පිළිවෙලට බර කිරලා සල්ලි දෙයි. මෙතන මොකක් හරි අඩුපාඩුවක් වෙනව නම් මේමිස්තමයි මේව්‍යාපෘතිය භාරව ඉන්නෙ.. මිස්ට කෝල් එකක් දීලා කියන්න.
ඔහු මගේ කාර්යාලීය දුරකතනයද කීවේය. මම හුස්මක් හෙළමි. චානක්‍ය සංවිධානාත්මක නායකයෙකි. පිය උරුමයෙනේ ලද නායකත්වය පිහිටා තියේ. කවදා හෝ දවසක ලංකාවේ අගමැතිවරයා වුවද විය හැකිය. මේ සියල්ල අතරේ චානක්‍ය ඇහැ. අගින් හෙළන මොකක්ද මන්දා බැල්ම අළුතෙන් පත්තු වීමකි.
‘මට ඔතන වෙනවැඩේ හොඳට තේරිල තිබුණෙ ..ඒකයි මම ම ආවෙ..
යළි එන්නට වාහනයට නැගි අතරේ චානක්‍ය එහෙම කීවේය. දුරකතනය දෙදරුම් කෑ අතර ඒ එරන්දය. හිතේ කොහෙදෝ තැනක මෙ හැම පණිවිඩයකදීම පිපෙනා කුඩා මලකි. පාට ගොඩකි. පෙති දහසකි. මට පමණක් දැනෙන පෙනෙන හීනි මලකි.
‘මැනික
ඇස් පියා ගන්නට උවමනාය. ලෝකයෙන් වහංවී ඒ උරහිසට වාරු වෙන්නම මට හිතෙයි. අප එකිනෙකා ගේ දෙතොල් අතරේ හුදකලා වෙනවිට දැනෙන ස්වර්ගමය පාවීම විදින්නට ඇත්තටම උවමනා වෙයි.
‘මොකද වෙන්නෙ
‘මෙහෙන් පිටත් වෙනවා
‘හවස කීයට ආවත් මං එනව. පාලුයි මට.
‘ඇත්තටම ද?
‘ඇයි එහෙම අහන්නෙ?
‘ඔයා සමහර වෙලාවට එහෙම කිව්වට එන්නෙ නෑ එරන්ද
‘අද එනව
‘ඇයි
‘ඇයි කියල ඕන් නෑ
මට සිනාවක් නැගිණි. චානක්‍ය මදෙසත් දුරකතනය දෙසත් මාරුවෙන් මාරුවට බැළුවේය.
‘එරන්ද නේ?
මම ඒ සිනාවෙන්ම හිස වැනුවෙමි.
‘පට්ට ආදරෙයිනේ ඔයා එරන්දට?
එරන්ද ගැන කතා කිරීමම ජීවිතය සුවපහසු කරන්නකැයි මට දැනෙයි. මම සිනාවි හිස සලමි.
‘ඇයි ඔයා එරන්දව බදින්නැත්තෙ. මිනිහත් තනිකඩයනෙ.
‘එයා රිසන්ට්ලි බේරෝකප්.
‘ඔයා හින්දද
‘නෑ මං හිතන්නේ එහෙම නෙමෙයි..
‘බිම්මා….
මම චානක්‍ය දෙස බැලුවෙමි. ඔහුගේ ඇස්වල මා කුමක් කීවද පරාජිත පෙනුමක් නැත.
‘ඇත්තටම එරන්දයි ඔයා යි අතරෙ වෙන්නෙ මොකක්ද කියලා තීරණයක් ගන්න.
‘ඇයි ඒ?
‘මොකද… කියන්නේ … බිම්මා. මං හිතනව මට ඔයා වගෙ කෙල්ලෙක් එක්ක පැහැදිලි ගමනක් තියේ කියලා.
‘චානක්‍ය, ඔයා… ට මාර පැහැදිලි අනාගතය ක් තියෙනව. අද ඔයා සෙන්ට එක ඕගනයිස් කරපු විදියට ඔයාට මිනිස්සු මාර විදියට ආදරේ වුණා. සාමාන්‍යයෙන් දේශපාලනයට එනකොට සමාන පසුබිමකින් කසාදයක් කරගන්න එකේ ගොඩක් වාසි තියෙනව. ඒකෙන් ඔයාට හොද ජන්ද පදනමක් හැදෙන්න පුලුවන්..
‘අනේ බිම්මා.. මට කවදාවත් ඡන්ද මැශිමක් එල්ල ගන්නෝන නැ කසාදයක් කියල. ඡන්ද හදාගන්නෝන හැටි මං දන්නව. හැබැයි මට හිත හදාගන්න හැටි තේරෙන් නෑ.
මට කියන්න ට කිසිවක් නැත. වඩාත් කාර්ණිකව සිනහවී එවෙලේ මම චානක්‍ය මගාරින්නට සිතුවෙමි. හෙමින් මේ ව්‍යාපෘතිය අත්හළ යුතුවේ. "වෙනින් රස්සාවක් හොයාගන්නෝන.නැත්නම් ආපහු යන්නෝන"
එය සංකීර්ණ ය. අපහු යන්නට පුලුවන. මා මෙතෙක් සේවය කළ තැන අදටද මට රැකියාවක් නොදී ඉන්නේ නැත. ඒත් මා ඇත්තටම යන්නට සුදානම්ද? එරන්ද අතැර යන්නේ කොහොමද ?
උභතෝකෝටිකයකි. ඇස්පියාගෙන ටික දුරක් ආවෙ එනිසාමය.ඉදිරිපස වාහන තදබදය කි. ඒ අතරේ චානක්‍ය දුරකතන ඇමතුමකින් කාවදෝ සම්බන්ධ කරගත්තේය.
‘අප්පට සිරි . එහෙමද?
ඔහු මදෙස බැලුවේත් රියදුරුට කතා කළේත් එකවිටමය.
‘ලාල් අයියෙ, ඉස්සරහ ලොකු ප්‍රොටෙස්ට් එකක්.. අපි එතනින් යන්න ගිහින් අදුනගත්තොත් ලොකු කලබලයක් වෙනව. වාහනේ හරව ගමුද?
නැවත හැරවීමක් කොහෙද? එක දිගටම වාහන පමණි.දැවැන්ත වාහන තදබදය ක් මතුවුයේ බලා හිදිද්දීය. එකින් එක වාහන ඇමිණිමෙන්ම වාහන පෝලිම කිලෝමිටර ගණනක් දක්වා දික් වී යැයි සිතමි. අප ක්‍රමයෙන් ඉදිරියට යන්න පටන් ගත්තේ ඉදිරියේ පොලිසියෙන් පැමිණ කෝලාහාලයක් ඇතිවිම වලක්වන්න උත්සාහ කරමින් සිටින නිසා යැයි සිතමි. එය කෝලාහලය කි. දඩු මුගුරු ගත් නෙක වර්ණ කමිස හැදි පිරිමින්ය. ඔවුහු පාලනය කිරිමට වෙර දරනා කාකි පැහැ ඇදුම් හැදි පොලිසියය.
"මොනම හේතුවක් නිසාවත් අපි වාහනෙන් බහින්නෝන නෑ. ඔක්කෝම ඩෝස් ලොක් කරන්න ලාල් අයියෙ. "
චානක්‍ය කීවේය. මදෙස බැලුවේය. එය බැගෑපත් බැල්මකි. සමාව අයදිනාකාරයේ එකකි. කවුරු හෝ අප එනමග රැක සිටියාක් මෙන්ය. වාහනය දුුටු ගමන් පාර අයිනක සිටි මිනිස් ගුලියක් පාරට පෙරළුණි.
ඔවුන් වාහනය වට කරගත්තේය. මට උදෑසන චානක්‍යගේ මිතුරා කී දේ සිහිවිණි. අප සිටින්නේ කිසිම ආරක්ෂකයෙකු නැතිවය. චානක්‍ය අතරමගදී ඔවුන් ඇමතුවත් මෙතනට එන්නට ඔවුන්ට පහසු නැත.
‘සර් උන් වාහනේ අදුනගත්්ත වගෙ
ලාල් අයියා අහිංසක මනුස්සයෙකි. ඔහු මේ ගමනේදි මලල ක්‍රිඩාවට දක්ශ ඔහුගේ දියණිය ගැන කතා කළේය. ඒ නොමද සෙනෙහසකිනි. වාහනය වට කර ගත් මිනිස්සු ත් දුරකතන ඇමතුමක් ගන්නට උත්සාහ කරනා චානක්‍යත් බිරාන්තව ඉන්නා ලාල් අයියාත් එක පෙලට ඇසට හසුවිනි.
චානක්‍ය මොහොතක් කල්පනා කළේය. ඒ මොහොතේ ඉක්මන් විය යුත්තේ කවුරුද කියා හිතාගන්නට නොහැකි තත්වයක් ඇතිවිය. පොලුවලින් මුගුරු වලින් වාහනයේ ඉදිරිපස වීදුරු කුඩු වෙන්නට පටන් ගත් අතර මම ඉදිරිපස අසුනට හිස ඔබා දෙඅතින් දෙකන් වසා ගත්තෙමි. කිසිම කල්පනාවක් මනසෙහි නොනැගිනි. චානක්‍ය ලාල් අයියා ලාල් අයියා කියද්දී වාහනයේ ඉදිරිපස දොර වෙලාගත් මිනිස්සු රිය දෙපසින් තල්ලු කරනවා පෙරලන්න උත්සාහ කරනවා වගේද මට දැණිනි.
චානක්‍ය තීරණයක් ගත්තා වැනිය.
‘එලායට නං බහින්නෙපා බුදු සර් .. උන් අපිව මරාවි.
ලාල් අයියා කෑගැසුවත් චානක්‍ය වහා රිය දොරෙහි අගුල ඇර දොර අරින්නට තැත් කළේය. එය විහින් මරු කටට ඇතුල් වුවා වැනි දෙයකි. ඔහු රිියෙන් එලියට බසිනු දුටුවත් ඔහු වටා මිනිස්සු එක්රොක් වෙනු අපට පෙණිනි. ගෙවුණෙු නිමේශයකි. චානක්‍ය විවර කරන ලද දොරෙන් ඇතුලට පිවිසුනු දාමරික මිනිහෙක් මගේ වැළමිට ළගින් අල්ලා ගෙන මාව ද බිමට ඇදගන්නට යත්න දරද්දී ලාල් අයියා ස්වේච්ඡාවෙන්ම බිමට බැස "මිස්ට කරදර කරන්නට එපා යැයි කෑගසන්නට පටන් ගත්තේය
‘කරදර ? කවුද යකෝ කරදර කරන්නෙ? තොපිලගෙ මහ ලොකු ඇමතියා ටම ඉදුල් කරන්න හදපු පුජා වට්ටිනෙ මේවා.. අපි මේවට අත ගහන්නෙවත් නෑ
අත පය වැදෙමින් මිනිස්සු පොදි පොදි අතරින් ඉහත කී දාමරික මිනිසා මා පසෙකට ඇදගෙන ගියේය. මම කාගේ හෝ නාදුනන්නෙකුගේ අතක වෙලෙන්නට දැගළුවෙමි. මට කොහොමටවත් මේ මරු කටට යන්නට උවමනා නැත. ඒ ඇසිල්ලෙන් මම කාකි නිල ඇදුමක් පොලිස් නිලධාරියෙකුගේ අංකයක් දුටුවෙමි. අත දිගු කර ඒ අංක තහඩුව අල්ලද්දී පොලිස් නිලධාරියා මා ඇදගෙන යන මිනිසා දුටුවේය. ඔහුද මා පසුපසින් ඇදෙමින් සිටි අතර මේ වෙනවිට චානක්‍ය හෝ ලාල් අයියා ට මොනවා වුවාදැයි මා දැන සිටියේ නැත.
මට ඇඩෙන්නට ලගය. මා මේ මහ සෙනගක් අතරේ නාදුනන්නෙකු ගේ දඩු අතකට සිරවී ඇදීයයි. පොලිස් නිලධාරියා එක වරම සිය තුවක්කු බද දිගුකර මා පැහැර ගෙන යන දාමරිකයාගේ පිට පෙදෙස ඉලක්ක කර පහර දුන්නේය. ඔහු බිම වැටුණේ නොසිතු මොහොතක එල්ල වුණු පහරට සුදානමක් නැති නිසා මිසක ඒ පහර එතරම් බලවත් නිසා නොවේ. පොලිස් නිලධාරියා මගේ අතින් අල්ලාගෙන මා මහ සෙනග මැද්දෙන් ඇදගෙන යන්නට පටන් ගත්තේය. ඒ අතරේ වෝකිටෝකියෙන් පොලිස් නිලධාරිනියක් අවශ්‍ය බව කියා සිටියේය.
නවත්වා ඇති සන්නද්ද රථ අතරින් පොලිස් වාහනයක් ළගට යනවිට මා නම් සිටියේ බිම ඇද වැටෙන්නට තරමට වෙහෙසුණු සිරුරෙනි. අධික සේනාව අතරෙහි තෙරපුන සිරවී සිටි මගේ ඇස් සෙමෙන් පියවී යද්දී මම පොලිස් වාහනයට වාරු උනෙමි.
කටහඩ ඇසේ. දුරකතන නාදවේ. මම ඇස් වසා ගෙනම මා සහ මගේ භෞතික සිරුර අතර සම්බන්ධතාව ගැන සිතමි. එහෙත් ඒ දෙක දෙකක් වුයේ කිනම් මොහොතේ දැයි මට මතක නැත. යළිත් ඒ දෙක සම්බන්ධ වුයේත් මට නොයෙක් කටහඬ ඇහෙන්නට පටන් ගත්තේත් ක්‍රමයෙනි. ඇතිවු චකිතය නිසා තිගැස්මට සිහිසුන් වුවා මිස මා දැනුවත්ව කිසිම භෙතික අරියාදුවක් මගේ සිරුරට සිදුවී නැත. මම මා අවට වන විපරීත දර්ශන දැක ගන්නට හිතාගෙන ඇස් ඇරියෙමි.
මා සිටියේ පෞද්ගලික රෝහල් කාමරයකය. නර්මදා මා අසලය. ඕ මා ඇස් සොලවනු දැක මුලින්ම දෝතින් මුහුණ වසා ගත්තාය. අඩාගෙන මා වැලඳ ගත්තාය. ඉස්සර දවසක එරන්ද ගැන ඇති ඇගේ කැමැත්ත ගැන ඉරිසියා වු ඒ බිම්මා ගැන මේ බිම්මාට දැන් කේන්තිය.
‘ඉදපං, එරාට කියන්න..
ඕ දුරකතනය අතට ගෙන ටික් ටික් ගා අකුරු කෙටුවාය.
‘වැඩ ඇති.. අනේ
‘වැඩ? එරන්දට?
නර්මදා සිනාසුණාය.
‘ඇත්තටම බිම්මා, මට කියාං උඹ එරන්දට මොන වශියක්ද කලෙ බං. ඌ පිස්සෙක් වගෙ උඹ පස්සෙම මෙච්චර වැටිල ඉන්නෙ..
මම නර්මදා දෙස සෙනෙහසින් බලා ඉදිමි.
‘මං උඹට හරියට වද දෙනව නර්මදා
‘ඒක ඉතින් දන්න දවසෙ ඉදලමනෙ..මං ඒ ගැන හිතන් නැහැ
‘අපිට මොකද්ද බං උනෙ.. චානක්‍ය කෝ.. එයාට මොකද දැන්
නර්මදා කවුරුවත් නැති කාමරය තුල පවා තමන්ගේ ස්වරය පහත් කළාය.
‘මිනිහට හොදටම අමාරුයි. අයිසීයු එකේ.
‘අපොයි.. එතකොට පාර්ලිමේන්තු ඡන්ද විමසඞිම
‘ඒක තමයි කියන්නේ චචානක්‍යට පාර්ලිමේන්තු යන්න බැහැ.තාම හරියට සිහියත් නැහැලු.චානක්‍යගෙ ඡන්දෙ නැති කොට බහුතරයක්නෑ කියනෙක ආණ්ඩු පක්ශෙට සෑහෙන අමාරු තත්වයක්…
මගේ සිරුර කිලිපොලායයි. ඒ සිදුවවිමෙහි දරුණුම ඉසවි තවම මට සිහිනයක් වාගේය. මී මැහි ගුලියක් වගෙ සෙනග එකතු විය.
‘එතකොට උඹ කියන්නේ චානක්‍ය ඩ්රාමා එකක් කරනව කියලද
‘අනිවාර්යයෙන් ම
‘ඒ වුනාට ඒක චානක්‍යට විරුද්ධ පක්ශෙ උද්ඝෝෂණයක්නෙ
‘ඔය විරුද්ධ පක්ශෙටම හෙට අනිද්දා චානක්‍ය එකතු වෙයිද කියල කවුදබං දන්නෙ?
මම මොහොතකට නර්මදා දෙස බලා සිටියෙමි.
‘එහෙම දෙයක් වෙයිද නර්මදා
‘
ඔය වෙච්ච සිද්ධියත් එක්ක රටේම ලොකු වෙනසක් වෙනවා..බලන්නකො… චානක්‍ය ඔය කරන්නෙ දස කුපාඩි වැඩක්..
දොරට තට්ටු කරනවා දොර පලුවක් විවර වෙනවා මම බලා සිටියෙමි. එරන්ද .. හදවත.. එකවරම ගැහෙන තාලය වෙනස් කළේය. වැඩියෙන් ලේ පොම්ප කරන්න ට පටන් ගත්තේය. එරන්ද ගේ කලබලය රැළි නළලෙන් මනාව පෙනිණ. ඇද ලග පුටුවෙන් ඉදගන්නෙවත් නැතිව නැමි මගේ මුහුණ සිපගත්තේය. නර්මදා සිනාවුවාය.කාමරයෙන් එලියට ගියාය.
‘සොරි.. මට සමාවෙන්න පැටියා..
එහෙම කියනා ගමන් දෑතත් බදාගෙන සිඹින්නේය. සමාව ඉල්ලන්නේ ඇයිදැයි බිම්මා අහන්නේම නැත. මේ ඇඩුම්බර, අසිහියෙන් මා ඉඹින පිරිමියා ගැන ආත්මාර්ථකාමී ලෝබකමකින් මම පෙළෙමි. මට ඇතියි හිතෙන තැන මම ඒ කම්මුල් දෝත බදා අල්ලා ගතිමි
‘ඔයා වැරැද්දක් කලෙ නෑනෙ
‘කළා.
‘මොකක්ද
‘මට ඔයා එහෙම තනියෙන් යවන් නැතුව ඉන්න තිබුණෙ
මට මොකුත් වුනෙ නෑ
‘හ්ම්ම්හ්…
මෙතෙක් ක්‍රිියාත්මක නොකල රුපවාහිනි තිරය දෙසට දුරස්ත පාලකය මානා එහි බොත්තමක් එබුවේය. සිංහල නාලිකාවකි තොරතුරු ඉන්ටර්නැෂනල් ය.
“තරුණ නියෝජ්‍ය ඇමතිවරයා සහ පෙම්වතිය උද්ඝෝෂකයින් විසින් මේ විදියට වට කරනු ලැබුවා. දෙදෙනාම මේ වන විට රෝහල් ගත කර තියෙනවා..”
එතැනදී ඇති වුනේවත් නැති තරමේ තිගැස්මක් මට එවෙලේ දැනිණි. “පෙම්වතිය” මේ පාත්වෙන්නේ මොන විදියේ හෙණයක්ද? පෙම්වතිය කියා කියන්නේ මහා බරපතල වචනයකි. එහෙත් එරන්ද බලා ඉන්නේ රුපවාහිනිය දෙසය. මම මොහොතක් ඔහු. මත නෙත් තියා බලා ඉමි. එරන්ද හිදින්නේ මගේ සයනය මතම අඩමානෙට හිද ගෙනය.
“මේහ්…”
‘ම්ම්ම්…
‘එහෙමද ඒ නිව්ස් එක යන්නෙ
‘කොහොමද
‘මං චානක්‍යගෙ කෙල්ල කියල
‘හ්ම්ම්..
‘
ඔහු සංයමයෙනි. මේ ජාන් නොවේ. ඒ ජාන් මෙහෙම දෙයකදි මෙහෙම ඉවසන්නේ නැත. ඕනැ නම් ඔය මාධ්‍ය ජාල ගොඩනැගිල්ල සුණු විසුණු කරමුයැයි පවසන්නට ඉඩ තියේ.
‘අනේ එරන්ද ඇත්තටම ඔයා මට ආදරෙයිද
ඔහු මවෙත හැරුණේය. ඒ ලස්සන ඇස් මවෙත පෑවේය. හැම හැගීමක්ම නිවී ආදරය විතරක් ඉතිරි වෙයි.
‘නෑ ආදරේ නෑ.. මොකක්ද වෙන්නෝන
‘මෙච්චර දෙයක් අරුන් කියද්දි ඔයා ඔහොම ඉන්නවා
‘කොච්චර දෙයක් කවුද කියන්නෙ
‘ඇයි ඔයාට ඇහෙන්නෙ නැත්ද
‘හිස දෙපස සොලවා සිනහවී හෙතෙම මගේ කොපුලක් පිරිමැද්දේය.
‘මොකක්ද
‘ඇයි අනේ අර කියන්නේ ..
‘මට මොකුත් ඇහුනෙ නෑ..
‘ඒ ගහන නිව්ස් වැරදියි. මං ඒ මිනිහගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි..
‘ඉතින් මැනික මේක අපි ඒකට දගලන්න ඕන වෙලාව නෙමෙයි
‘මිනිස්සු මාව ඒ විදියට තේරුම් ගනී
එරන්ද මා අසලින් දිගා වුයේය.
‘බයවුන තරම් මම
මම ඒ උරහිසට හිස තියා. සිරුරනේ අඩක්ම ඔහු වෙතට බර කළෙමි. වම් අතින් අත අල්ලාගෙන දකුණතින් මුහුණ පිරිමදින අතරේ එරන්ද සුසුම් හෙළුවේය.
‘ඇයි එච්චර බය වුනෙ
‘දන් න්ැ බිම්මා. ටිවි එකෙන් දැක්කෙ. උන් බ්‍රේකින් නිවිස් එකක් දුන්නෙ.චානක්‍යට ඇටැක් කරල කියල.
මට පිස්සු වගෙ හැදුනා. මං පුලුවන් හැම කෙනෙක්ටම කතා කළා. ඔයා කොහෙද කියල හොයා ගන්න.
‘ඉතින් ?
‘ඔයා මගෙ නම්බ එක සේව් කරල තිබුණු වචනෙ නිසා නර්ස්කෙනෙක් ආන්ස කළා
දෙයියනේ!
‘මම මඳහසක් ඇතිවම එරන්දගෙ ගෙලෙහි හුස්ම තවරමි. ඒ සිහින් සිනහවේ රිද්මය මට දැනෙයි.
‘"ලයිෆ්" කෝලින් කිව්වම ආන්ස නොකර ඉදීද ඉතින්
‘හ්ම්
‘මං නර්මදාවත් ඇදගෙනම ආවා ඉතින්..
‘ආසත් ඇතිනෙ කොහොමත් එයා එක්ක හැන්ගවුට් වෙන්න
‘අනෙ අම්මෝ මේ ගෑනු නං..
කාමරයේ දොර තට්ටුවකින් සෙළවිනි. එරන්ද වහා බිමට බැස්සේය. දොර විවර කරගෙන පැමිණියේ පොලිස් නිලධාරියෙක් සහ වෛද්‍යවරයෙකුත් හෙදියකුත්ය.
පොලිසිය කියන්නේ මහ පුදුම ජාතියකි. ආවේම තියුණු බැල්මකින් මදෙසත් එරන්දත් දෙස බලාගෙනය.
‘කොහොමද දැන් මිස් බිම්මාලි
‘හොදයි ඩොක්ට
‘ඔයාටකිසිම ඩැමේජ් එකක් නෑ. ඕල් ගුඩ්.. මේ ඔෆිස ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කියනවා.
එරන්ද ම පොලිස් නිලධාරියාට ආසනයක් පැනෙව්වේය.
‘මිස්ගෙ සම්පුර්ණ නම මොකක්ද
‘සිඳුමිණි බිම්මාලි පතිරණ
‘මිස් ලංකාවෙ පදිංචි
‘මට ලංකාවේ පදිංචියක් නම් නැහැ. මට තියෙන්නෙ පි ආර්..ස්වීඩන් වලයි මෙහෙයි .
‘එතකොට මෙහෙ ඉන්නෙ. මම ප්‍රොජෙක්ට් එකක වැඩ කරනව. ඒකටයි මං ආවෙ මෙහෙට
‘නතර වෙල ඉන්නෙ
‘අපාට්මන්ට් එකක..
ඔහු යම් යම් දේ සටහන් කර ගත්තේය.
‘එතකොට මේ කවුද..
එරන්ද වහා මදෙස බැලුවේ ය.
‘මං එයාගෙ කසින්. ලංකාවේ මෙයාගෙ ෆැමිලි එකෙ කවුරුත් නැහැනෙ.. මේ හදිස්සියක් කියල දැනගත්ත ගමන් ආව මම
පොලිස් නිලධාරියා අනම් මනම් ප්‍රශ්න ඇසුවේය. අපි පිලිතුරු දුන්නෙමු. විටෙක එක්වත් විටෙක වෙන් වෙන්වත් එකිනෙකා දෙස බලමින් බැල්මකින් එකගො වලට පැමිණෙමිනුත් කතා කළෙමු. ඉනික්බිති හෙතෙම අලසව නික්ම ගියේය.
‘හරියට අපි පේරාටෙස්ට් එක කරල අපිම ගස්සගෙන වගෙ මිනිහ කතා කරන්නෙ
එරන්ද මා ලගින් හිදගත් විට මම ඒ උකුල මත හිස තියා ගනිමි. එු මුහුණ බලා හිඳිමි.
ඇයි? ඔහු සිනහ සෙයි. මම අත දිගැර. ඒ කොපුල මත ගන රැවුල් ගස් පිරිමදිමි. ඔහු ඇස් පියාගත්තේය. මගේ හිත ආදරයෙන් පිරීයයි. ඒ කොපුල් වලින් දැනෙන උණුසුම් ශක්තියක් මගේ අතැගිලි දිගේ විසරණය වී මා තුලට කාන්දු වෙයි. එක කුඩාතම දිලිසුමක් අප දෙදෙනා අතර සංසරණය වෙන අයුරු මට දැනෙයි. නෙත් පියාගත් ඒ මුහුණ සිහින් සිනාවකින් ආලෝකමත් වෙයි.
‘පැටියො
‘ම්ම්ම්
‘මේ ආදරේ කවදාවත් වෙනස් වෙන් නැද්ද?
‘ඒ කියන්නේ ?
‘මේ ආදරේ?
‘ඇයිි එහෙම අහන්නෙ?
‘නිකම්. මං දන්නවා ඒක ටිකක් මෝඩයි වගෙ දැනෙන ප්‍රශ්නය ක් තමයි.
ටී ශර්ට් එක මෑත් කර ඒ අස්සෙන් ඇ්ලපතට මුහුණ තද කරගෙන ටෟ ශර්ටයෙන් මුහුණ වසා ගත් මදෙස ඔහු බලන්නට ඇතැයි උපකල්පනය කරමි. හුරතල් හිනාවක් ඇදෙන්නට ඇත.
‘මං කන්න මොනා හරි ගෙන්නන්නන්..
‘මාව කවදද ඩිස්චාජ් කරන්නෙ
‘ඔයාව හෙට එක්ක යන්න පුලුවන් …
‘දැන් මට හොඳයිනෙ..
‘මේකනෙ.. ඔයාලගෙ ප්‍රශ්න වෙනස් නේ.. හොස්පිට්ල් මැනේජ්මන්ට් එක කියන විදියට ඔයාවව හෙට පාර්ලිමේන්තු ඉවර වෙනකම්වත් අනිවාර්යයෙන් හොස්පිට්ල් එකේ තියාගන්න ඕනෙ.
‘ඒ කියන්නේ ?
‘ඔයා දන්නෙම නැතුව ඔයාව හිට් එකක්. වෙලා ඉන්නෙ
‘චිනක්‍යගෙ කෙල්ල කියලා
‘ඒ විතරක්ම නෙමෙයි ඉතින්
‘එහෙනම්?
‘ආණ්ඩු පක්ෂෙ දැනට ම චානක්‍යට නෙලන්න පටං අරන්. කටු කන බ ල් ලො බුරනව චානක්‍ය ලස්සන කෙල්ලො දාන් ප්‍රොජෙක්ට් කරනවයි ඒවා රටේ සල්ලියි කියලා
‘එහෙනම් ඒ අපේ වැඩේ ගැන නං නෙමෙයි
‘එහෙනම්
‘ලස්සන කෙල්ලො දාන් කරනව කියන්න බෑනෙ
එරන්ද සිනහවී ,
‘කෙල්ලො තමන් ලස්සන යි කියල අහගන්න ඕන වුණාම තමයි ඔහොම කියන්නේ ..
‘ඉතින් කියන්නකො..
‘ඔයාව වැඩියෙන් ම ලස්සන මට බිම්මා.. ලස්සනට වඩා තව ගෑනු කොච්චර හිටියත් මටම කියලා ආදරෙන් පිරිච්ච හිතක් තියෙන කෙල්ලෙක් ඉන්නවා කියලා මට මතක් වෙන්නෙ ඔයා නිසා .. මං ඒකට මාර ආසයි.. මට කවදාවත් දැනිච්ච නැති හැගීමක් ඒක
කීවේය.
‘මං පහලට ගිහින් එන්නද?
‘අනේ එපා එරන්ද..
‘ඇයී… මැනික
‘නිකම් හිතට හරි නෑ වගෙ.. මේක මහ පටලැවිල්ලක් මට.
හෙදියක් සිනහවෙමින් ආවාය. ඕ ලා නිල් නිල ඇදුමක් හැද සිටියාය. රුධිර පීඩනය මැන්නාය. සිනහ වුවාය.
‘කැන්‍යුලා එක තෙමාගන්නැතුව වොශ් දාගන්න මිස්. ඩොක්ට එනවා නමයට මිස්ව බලන්න
මම එරන්ද දෙස බලා සිටියෙමි. ඔහු නාන කාමරයට එබී බැලුවේය. නර්මදා ගෙනැවිත් තිබු ලොකු බෑගයෙන් සම්පුර්ණ ඇදුම් කට්ටලයක් තුවායකත් එලියට ගත්තේය. ලගට ඇවිත් ඇදෙන් බසින්නට අත පෑවේය.
‘මං වොශ් දාන් එන්නං
‘තනියෙන්?
‘ඔව්..ඇයි?
‘මං එන්නං
‘ඇයි අනේ.. මට පුලුවන්
‘කමක් නෑ .. මං එන්නං
කිව් දේ නාහන හිතුවක්කාරයා නාන කාමරයට ආවේය. යාන්තමට මද උණුහුම් වතුර දිගේ දවස් දෙහෙක වෙහෙස නිවෙමින් ගලා යමින් තිබිණි. කවදාවත් නොඇවිලෙන සිල්වත් පිරිමියෙක් වගේ ඔහු මට සත්කාර කරන අයුරු මම බලා හිඳිමි.
‘ඇයි ?
‘ඇයි?
‘ඔහොම බලා ඉන්නෙ ඇයි බිම්මා?
‘දුකයි මට..
‘ඇයි ඒ? මොකටද දුක් වෙන්නෙ..?
‘ඔහොම.. යටිපතුල් පවා හෝදනවානෙ…
‘යං.. ඕල්මෝස්ට් ඩන්.. ඇදුම ඇදන් එන්නකො.. ඕඩික්ලොන් දාල මලක් වගෙ තියන්නෝන ඩොක්ට එද්දි..
කැන්‍යුලා එක තියෙන අත රිදෙයි. මා ඇදෙහි වාඩිකර එරන්ද කොන්ඩයද පීරා වුල් බෑන්ඩි එකක් නුහුරට දැමුවේය. කම්මුලට හාදුවකුත් දුන්නේය.
‘යන්නද?
මම ඔහු දෙස මොහොතක් ගල්වී බලා සිටියෙමි.තනිකමක් දැනෙමින් තිබේ. මම හිස දෙපස වැනුවෙමි.
‘මං කෝල් එකක් අරන් එන්නංද
‘ඉතින් මෙහෙමම ගන්නකො
මා ළගට ආ ඔහු මගේ නළලට නළල තිව්වේය.
‘සසඳිට රත්තරන් .. ඔයාට දුක හිතෙයි කියල බයයි.
මගේ කුස දිගේ ගිනි ගුලියක් පපුව තෙක් එමින් තියේ. වෛද්‍ය විද්‍යාවට අනුව ඔම්ප්රෙසෝල් වලින් එය තාවකාලිකව සුව කළ හැකිවෙයි. එහෙත් ආයෙ සසදි හා එරන්ද කතා කිරීම මට දරාගත හැකි කාරණාවක් නොවේ. මම මුනින් අතට දිගාවී. දුරකතනය ඔබන්නට පටන් ගත්තෙමි. එරන්දගේ වට්සැප් අංකයට ඉමෝජි හැත්තැ ගණනක් එක දිගට යවාගෙන යවාගෙන ගියෙමි. එයද එපාවු තැන , දුරකතනය පසෙකට දැමුවෙමි.
එරන්ද ආවේ නැත. නිකම් දුකසැප බැලීමක් නොවේ. එය දීර්ඝ කතාවකැයි හිතෙයි. අතේ එල්ලා ඇති ටැග් එක නැත්නම් මට ඔහු ඉන්නා තැනකට යා හැකිය. දොර සෙලවිණි. මම වහා දිගාවී ලාවට ඇස් පියා ගත්තෙමි. මට ඉතින් උවමනා දැන් ඇවිත් ගෙළ මුලින් හිස හොවා සොරි කියනවා අහන්නටමය.
‘මිස්..
ගැහැනු හඩකි. එක්කෙනෙක් නොවේ හතර දෙනෙකි. වෛද්‍යවරයා, සහ තලතුනා කාන්තාවකි.තරුණියකි. තරුණයෙකි. හෙදියකි.
‘දැන් නං මැඩම් .. බිම්මාලිට කිසිම ප්‍රශ්නය ක් නෑ. ඒත් අපට දැනුම් දීලා තියෙන විදියට වෛද්‍ය නිර්දේශ‘
දවස් තුනකට හොස්පිටලයිස්ඩ් කරලා තියන්න. මැඩම් කතා කරන්නකො .. මං එන්නං
වෛද්‍යවරියත් , හෙදියත් නික්ම ගිය අතර මේ නොහදුනන්නන් මා අසල නතර විණි. මේ මොන විදියේ උප්පරවැට්ටියක්ද නොද්දනා බැවින් එරන්ද නැති අඩුව මට වඩාත් තදින් දැනිණි.
‘මං චානක්‍ය ගෙ අම්මා. සන්ද්‍යාමලී සඳතැන්න …
මම ඇය ට සිනාවක් පෑවෙමි. එහෙමනම් මේ ආ ගමනේ තියෙන්නේ ලේසිපාසු අරමුණක් නම් නොවේ. අර තරුණ පිරිමි ළමයා ඇයත් මාත් කතා බස් කරනා ඡායාරුප කිහිපයක් ගත්තේ අලුත්ම මාදිලියේ අයිෆෝන් එකක් මානාගෙනය.
සන්ද්‍යාමලී ගඅන වැඩි කතාබහක් කොතැනක වත් සිදුවී තිබුණා මට මතක නැත.
‘දුව ඉන්නෙ කසින් එක්ක නේද.. මං එයාව පහලදි හම්බ වෙලා ආවෙ… මේ කලබල ටික ඉවර වුණාම අපි ඔයාගෙ අම්මලා එක්ක කතා කරල මේක පිලිවෙලක් කරමු. ඇත්තටම මං හිතන්නෙත් චානක්‍ය දැන් මැරි කරන එක හොඳයි කියලා. මොකද ඒක එයාගෙ අනාගත දේශපාලන ජීවිතේටත් හොඳයි.. අනිත්තෙක චානක්‍ය මට ඔයා ගැන කිව්වෙ ංඑයා අර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ලංකාවට ආව දවස් වලමයි..
මම ගොලුවී ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇත්තටම සිතා සිටින්නේ මා චානක්‍ය ගේ පෙම්වතිය බවද? නැත්නම් ඇය එහෙම අගවනවාද? ඒත් ඒ කාටද? මෙතන ඇයත් මාත් ඇගේම දෙදෙනෙකුත් හැරෙන්නට කිසිවෙක් නැත.
චානක්ය මේ නාට්‍යය ගැන දන්නවා ද? තමන්ගේ පවුල විසින් ම ගොඩනගාගත් මුසාවාදයකග තමන් විහින් රැවටීම විකාරය.
‘හරි පුතා තව දවස් දෙකක් මෙහෙම ඉන්නකො..
ඔවුන් නික්මී ගියහ. එරන්ද තව විනාඩි දහයකින් ආවේය. සිගරැට් සැරක් නැහැයට දැනිණි.
‘ඇයි ඔයා එයාලව මග ඇරල ගියෙ
‘කෝල් එක නිසා.. එයා මේ විස්තර දන්නවා . දිග කතාවම කියන්න වුණා.
‘එයාල මහ අමුතුයි..
‘එයා ඇත්තටම හිතන්නේ ඔයා චානක්‍යගෙ කෙල්ල කියල
‘පිස්සුවක් ද උන්ට.
‘බිම්මා, සන්ධ්‍යාමලි නෝනා එයාගෙ මහත්තයා ව මරවපු මිනිස්සුන්ගෙන් අනිවාර්යයෙන් පළි ගන්න සීන් එකක ඉන්නෙ. කොහොමත් හෙට චානක්‍ය එක්කම තව සෙට් එකක් විපක්ෂ යට යනව. එතකොට බහුතරය තියෙන්නෙ විපක්ෂ යට. රටම කණපිට ගැහෙයි පාර්ලිමේන්තු ව විසුරවන්න වෙයි කියල කියන්නේ
‘ඒකට මං බිල්ලෙක් නෙමෙයිනෙ
‘රට වෙනුවෙන් කියල ඔන්නොහෙ චානක්‍යව මැරි කරන්න මැණික
‘නුතන විහාරමහාදේවියක් වෙලා ජීවිතේම දෙන්නද කියන්නේ
‘ඕ පස්සේ කාලෙකත් දේවාලයක් හදල මිනිස්සු වැදුම් පිදුම කරාවි. ලංකාාව මිනිස්සු එහෙමනෙ.
‘කෑවද?
‘හ්ම්..
‘දොයියමුද?
එරන්ද මදෙස බලාගෙන සිටියේ ඇද අසල කුඩා ඇද මා අසලට ඇද ගනිමිනි. එහි හිද ගනිමිනි.
‘මට නින්ද ගිහාම පැනල යන්නෑ නේ
‘මා ඇසුවේ සැකයෙන් නොවේ.
‘නෑ.. මං වොශ් එකක් දා ගන්නං..
නාන කාමරයේ දිය හැලෙන හඩ ඇසුනත් නින්ද තදින්ම උවමනා වුනත් මා නිදි නැත. යටිහිත අවදියෙනි. ආලෝක තීරු මැද නින්ද නොයයි. එරන්ද පිටතට ආවේය.දනිහ තෙක් කෙටි කලිසමක් හැද ටී ශර්ටයක් නොඇද ..
මසිතෙහි ඉන්නා හිතුවක්කාර බිම්මා ඇහැරිණි. ඔහු පැමිණ කමිසය නැතිවම ඇදෙහි හිදගත්තේය.
‘දොයියන්න බිම්මා
‘නින්ද යන්නෙ නෑ..
‘ඉන්න මං කකුල් දෙක මසාජ් කරන්න.. එතකොට නින්ද යයි
‘නෑ එපා
‘එහෙනම්
මට නයිල්ස් උන් හිටි ගමන් සිහිවිණි. ඔහුද එහෙම කරනා දවස් තිබිණි. වෙන්ව යාමෙන් පසු නයිල්ස් අඩුම ගණනේ මා සමග කිසිම කිසි සම්බන්ධතාව ක් පවත්වා ගත්තේ නැත. ඔහුගේ ස්වභාවය දන්නා මට ඒ ගැන අලුතින් කණගාටු වෙන්නට කිසිත් තිබේ දැයි මම මතකය අවුස්සන්නට කැමැත්තෙමි. නයිල් අහිංසක පිරිමියෙකි. සාමාන්‍යයෙන් කිසිම භාණ්ඩයකට හෝ මනුශ්‍යයෙකුට ඔහු පමණ ඉක්මවා නොබැඳෙයි. ටෙලි නාට්‍යයක් නරඹන විටෙක හෝ චිත්‍රපටයක් නරඹන විටෙක ඔහු පුංචි ළමයෙකු සේ සිනහ වෙමින් එය නරඹයි. නයිල්ස් කපටි කෛරාටික මිනිසෙකු නොවේ. එහෙත්, ජීවිතය එක වෙලාවකදී ඔහුව ඔහුගේම පාලනයෙන් මුදවා තිබිණි. ඒ පිලිබඳව මා කිසිවිටෙකත් ඔහු සමග අමනාපයකින් පසු නොව්වෙමි. අදටද සිතා සිටින්නේ නයිල්ද් බලාපොරොත්තු වු ජීවිතය ඔහුට ලැබුනා කියාය.
මගේ කල්පනාකාරී මුුහුණ බලා හිදින කොල්ලාගේ මුහුණේ සිනහවකි. අවසානය ට සිනහව නැතිවී හැගිම්බර දෙතොලක් මා මතට පහත් විණි. කෙටි හාදුවක කෙළවර "දොයියන්න, මහන්සි ඔයාට" කී සිහින් ස්වරයකි.
‘ඔයාට මහන්සිද
‘නෑ.
‘ඇහැරන් ඉම්මු
‘එතකොට..
‘හැමදාම වගෙ..
‘එහෙම බෑ.. මේ හොස්පිට්ල් එකෙ..
අසනීප කාරියටත් උපස්ථායකයෙකුටත් එක සයනයක් බෙදාහදාගන්න බැරිකම ක් නැත. කැන්‍යුලා කටුව ඇති අත පසෙකට කළ හෙතෙම මගේ කොපුලකට ආදරයේ පළමු උණුහුම තැවරුවේය. ඔහුගේහුස්ම තදින් වැටෙනු මට දැනෙයි. ලා ආලෝකයේ ඒ රවුම් ඇස් දෙකේ සුදු නෙලුම් පෙති අතුරණය දිදුලයි. ලෝකයේ දිව්‍යමය උත්කර්ශය පිරිනැමිය හැකි එරන්දගේ දෙතොල් මට හමුවෙමින් තියේ. නෙතු වැසීයයි. උම්මත්තක ආකර්ෂණීය මොහොතකින් අපි එකම අහස් තලයක පාව යන්නට පටන් ගත්තෙමු.
අාදරය කියන්නේ මුලු ජීවිතයම එකෙකු විසින් අනෙකා තුලට කාවැද්දීමකි. එහිදී ස්වභාවික පැවැත්මේ උත්කර්ෂය එක් අංශුවක් පමණි. අනෙක් සියල්ල තත්පර වලින් මැනිය හැකිවෙයි. අපේ හදවත් බැදි දිදුලන කුඩා රැහැන් පටන් හැම මොහොතකම පවතිනු මට පෙනෙයි.මෙවැනි සිහිනමය දූපතක සක්වා ලිහිණි හා සැරි සරද්දී එරන්දගේ හයිය අත් දඩු වලට දිගු ඇගිලි වලට හසුව පොඩිවෙන සියුම් සංවේදී තැන් වල සංවේදන සන්නිවේදනය කරනා ස්නායු ඇහැරෙයි. කොන්ඩය ගැට ගැසු බෑන්ඩ් එක ගැලවිනි. එරන්ද. මුහුණ ට වැටුණු කොන්ඩය ඈත් මෑත් කළේය.
ප්‍රේමයේ අද්විතීය මොහොතෙහි සියොලගම සියලුම කේශනාලිකා පවා ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙන බව මට පෙනෙන්නේ රත්පැහැයට හැරෙන ඔහුගේ දෙකොපුල් වලිනි. කම්මුල් දිලිසෙයි. ඒවා පිම්බී තියේ. සිය දහස් වතාවක් සිපගත්තද අවසාන නොවෙන තෘශ්නාවක් ජීවිතය ට ඉතිරි කරයි. එකම එක චචනයකට වත් අපේ දෙතොලට අවකාශයක් ඉතිරි නොවෙයි . ඉනික්බිති , සිරුරෙහි හැම කෝමළ රේඛාවකම ආදරයේ රොන්සුණු අතුරමින් අපි අර කුඩා ඇදෙහි එකිනෙකා මත වැටී සිනාසෙමින් සිටියෙමු.
‘මට ඇත්තටම තේරෙන් නෑ.. ඔයා නැතුව ජීවත් වෙන්න වුනොත් මං කොහොමද ඒක කරගන්නෝන කියල
‘මං නැතිවෙනව කියල එකක් නෑ. ඔයා බය වෙන්නෙපා.. ආදරේ හිතේ තියෙනව.. දන්නවනෙ ඒ ආදරේ තමයි වටින්නෙ..
‘හ්ම්ම්ම්…
‘ඔය මූණ ඔබාගන ඉන්න පපුව තියනව නේද.. ලේසියෙන් කෙනෙක්ව ගන්නෙ නෑ.. ඔයා ඉන්නව. එතන.. ‘ඔයාට ඉඩ තියෙනව. ..
කාන්දුවෙන සතුටු දියවරකින් හෘදය පිරෙයි. මම කපාටයෙන් කපාටයට වාන් දොරටු හැර දමමි.
‘චානක්‍යගෙ අම්ම පුදුම ගෑනියෙක් එරන්ද
‘උන් එහෙම තමයි.. හැබැයි බිම්මා… එකක් තියෙනව.. ඔයාට පට්ට ආදරෙයි..
‘කවුද?
‘සඳතැන්න මැඩම්
‘එයා මාව දන්නෙවත් නෑනෙ
‘අරු කියලා ඇති
‘මං ගැන
‘ඕක එදා පටන් ඇහැ ගහන් හිටියනෙ ඔයාට.
ඔහු කීවේ සුසුමක් සගවමිනි.
‘මංඇහැ ගහන් ඉන්නෙ ඔයාටනෙ..
එරන්ද මදෙස යාම්තමින් බලා සිනහ විණි. මගේ යටිහිත ඇගිලි තුඩු වලින් මගේ ගෙල මිරිකයි.ඇත්තටම අපේ ආදරය මෙහෙම දුරක් ආවාට මං ගියේ ජාන් පස්සෙන්ම නේද? ඒ ගමනෙදි එරන්ද මෙහෙම හමුවුවා විනා, මං එරන්ද හොයා ආවේ නැහැ නේද?
‘සසදි ආයෙ මට කතා කරනව දැන්
එය දරුණුම ප්‍රහාරයකි.
‘ආයෙ එෆෙයා එක තියෙනවද?
‘නෑ නෑ.. එහෙම දෙයක් නෙමෙයි.. ඔයා දන්නවා නෙ.. අපි හරි සීමිත ඉඩක ආදරේ කළෙ.. මං එයාව හොදට බලාගත්තා. එයා මට ටිකක් ග්‍රේට්ෆුල් වගෙ.. එච්චර තමයි ඉතින්
‘හ්ම්ම්ම්
‘දුක් වෙන්න එපා.. මං ඔයාට ඇත්ත කියන්න ඕනනෙ
‘ඒකට කමක් නැ.. මං කවදද ගෙදර යන්නෙ..
‘කවද වුනත් එතකම් මං ඉන්නවා ඔයා ළග
පහුවදා පාන්දර සුපුරුදු ලෙස හෙදිියක් පැමිණ තට්ටු කර දොර අරිද්දීත් එරන්ද මගේ උරහිසක හිස ඔබාගෙන සනීපයට නින්දකය.
පේශන්ගෙ බෙඩ් එකෙ වෙන කෙනෙක් ට ඉන්න බෑ වගෙම තමයි පේශන්ට් ට වෙන බෙඩ් එකක ඉන්නත්බෑ
ඕ සිනහ වී කීවාය. එරන්ද මදෙස බලා මගේ හිස පිරිමැද්දේය. ආදරයෙන් බැලුවේය.
‘එයා පේශන්ට් කෙනෙක් නෙමෙයි.
‘මිස් මොනාද බ්‍රෙක්ෆස්ට් ඕඩ කරන්නෙ…
‘මං එයාට බ්‍රෙක්ෆස්ට් එක බලන්නම්
‘පේශන්ට්ගෙ බ්‍රෙක්ෆස්ට් එක බිල් එකට ඉන්ක්ලුඩඩ් සර්
‘ඒකත් ඇත්තනෙ..
එරන්ද මා ආස දේම ඇ්නවුම් කළේය. හෙදිය ඒවා ලියාගත්තාය. වෙලාව බලා සටහනක් දමා ගත්තාය.
‘හොස්පිට්ල් එකක හිටියත් මේ ගෙවෙන්නෙ ජීවිතේ ලස්සන ම ලස්සන දවස් බිම්මා..
සුදු පාට ඇදරෙදි ඇතිරු ඇදෙහි ලා කොල පොරවනයක් අතුරා ඉන්නා මගේ උකුලෙහි හිස තියාගෙන දකුණත බදවටා ඔතාගත් ඔහු කීවේ ඇසෙන නොඇසෙන හඩිනි. මම ඒ හිස පිරිමදිමි. මේ හිසකෙසකට පවා පෙම්බදින මගේ ආදරය…
‘ආදරෙයි මාත්….
මගේ ඇගිලි වලට ඒ ඉසියුම් සිප ගැනීම් දැනෙයි. දුරකතනය සෙලවෙයි. මම එය අතට ගතිමි. අම්මාය. මෙලොව වැඩියෙන් ම පෙම් කරන පිරිමියා මගේ උකුලෙහි නිදන ආශ්චර්යාත්මක ආහ්ලාදයෙහි ගිලෙමින් මම එය ඇමතුවෙමි.
‘බිම්මා.. ඔයාට කොහොමද පුතේ
‘ඇයි අම්මා..මං හොදින් ඉන්නවා නේ
‘හොදින් ? මොන හොදක්ද ළමයො..මං දැන් දවස් දෙකක් තිස්සෙ ඔයාව හොයනවා. ඔයාගෙ ෆෝන් වැඩ කලෙම නෑ.
‘අර.. මේ.. පොඩි..
‘අර මේ පොඩි…. මං ඇස් දෙකෙන්ම දැක්කා වෙච්ච දේ.. ඔයාලට මිනිස්සු කරන දේවල්.. ඔයා ලංකාවෙ කෙනෙක් ව හොයා ගන්නවා කියල අපට කියලා ගියෙ.මේ චානක්‍ය ඇමතිතුමා ගැනද.. ඈ බිම්මා..
මම නිශ්ශබ්ද වෙමි.
‘ඒක එහෙම දෙයක් නෙමෙයි අම්මා.
‘ඒක කොහොම දෙයක් වුනත් එදා ඇටෑක් එක වුුනෙ ඔයාට .. ඔයා චානක්‍යගෙ ෆියොන්සෙ කියලයි කතා වෙන්නෙ.. ඔයා එක නිව්ස් එකක් වත් හරියට බැලුවද?
‘නෑ.. මට නිව්ස් බලන්න හම්බ වුනෙ නෑ..මං අම්මට කතාකරන්නංකො
මගේ දුරකතනය දෙදවසක් තිස්සෙ ක්‍රියාත්මක නොවුයේ කොහොමදැයි මට පුදුමය. හරියට වෙලාවට බිල් ගෙවු නමුත් එය කාර්යාලීය සිම්පතකි. කවුරු හෝ එය විසන්ධි කළාද? එතකොට වයිෆයි සම්බන්ධ වී තිබුණේ නැත්ද?
උකුලෙහි වු හිසට ළමැද තෙක් උසස් වීමක් දුන් තරුණයා එහි වැඩියෙන් සුව තැනක් සොයා හිස ඔබා ගත්තේය.
‘අම්මද?
‘හ්ම්
මම ෆේස්බුක් වෙත පිවිසුණෙමි. අඩුවෙන්ම මුහු වෙන සමාජ ජාලාවය. එරන්ද දුරකතනය මගෙ අතින් ගෙන පසෙක තැබුවේය.
‘චුට්ටක් බලන්න දෙන්නකො
‘ම්හ්ම්.. ඕන නෑ..
එරන්ද හිතාමතා මාව දුරකතනයෙන් ඈතින් තියමින් සිටියි. නොතේරෙන බබෙකු නොවුණාට එකගතාවය හැමවිටම ගැටුම් සමනය කරයි. ඒ මදිවාට ළැමෙහි ගැවසෙන පිපාසිත මුවෙක් මෙන් එකෙක් දීර්ඝ කාලයක් සා පිපාසා සන්සිදුවා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙමින් සිටියි.
ඒ දවස දිගු එකකි. අවසානයේදී අපි ප්‍රවෘත්ති නරඹමින් සිටියෙමු. ප්‍රභලම දවසේ පුවත චානක්‍ය සමග පහලොවකට අධික මැති ඇමති පිරිසක් විපක්ෂයට.. වීම මගේ ඇස් වල කණිනිකජ ඇසෙන් පිටට පනින තරමට විශාල කිරිමට සමත්විය.
මගේ දේශපාලන සාක්ෂරතාව අඩුය. ව්‍යවස්ථාව ගැන දැනුම නිල් ය. මේ සිදුවීම ගැන කලින් දැනුවත්ව සිටි මගේ වම්අත පැත්තේ ඇදවියල්ලට හේත්තු වී ඉන්නා පිරිමි ළමයා ප්‍රවෘත්තිය කටගැස්ම ලෙස ගෙන සිටි බැව් පෙනිණි.
‘දැන් චානක්‍යට සනීප නෑම කිව්වෙ
‘කවුද
‘ඔය ඉන්නෙ අත පය වෙළාගෙන
‘ඇත්තටම .. බබා එයා ම ප්ලැන් කරල ගුටි කැව වගෙ එකක්ද ඒ
‘එහෙම නෙමෙයි කියල හොදටම දන්න කෙනා ඔයානේ
‘මට එහෙම දෙයක් හිතාගන්න බෑ. ලාල් අයියයි චානක්‍යයි දෙන්නම හැසිරිච්ච විදියත් එක්ක.
‘ඒක නං ප්ලැන් එකේ කොටසක් වෙන්නැතුවැති.එහෙම නැත්නම් ප්ලැන් එක වැරදුනා වෙන්නත් ඇති. ‘කොහොම වුනත් හැමදේම වාසියටයි වෙලා තියෙන්නෙ.
‘දැන් ඉස්සරහ ට මොකද වෙන්නෙ. විරුද්ධ පක්ෂෙ නායකයා අගමැති කරල ආණ්ඩුව පිහිටවන්න පුලුවන්
ඉන්න ජනාධිපති එක්කම.නැත්නම් පාර්ලිමේන්තුව විසුරවලා ඡන්දෙකට යන්න පුලුවන් ..
‘අනේ මං ඕවා දන් නෑ අපි ගෙදර යංකො..
‘හෙට උදේම යං
මම සැහැල්ලු හිතින් ඒ අත් ගොබයකට කම්මුලක් තද කර ගනිමි.නිදන්නට උවමනාවක් තියේ. දවස් ගණනක වෙහෙසකි. රටම ඇවිලි යමිනි. තව වතාවක් පාර්ලිමේන්තු එන්නට අපහසු වංචාකාර මන්ත්‍රීවරුන් කිසිසේත්ම පාර්ලිමේන්තුව විසුරුවා දැමිමට කැමති නැත. හදිසි මහ ඡන්දයකට වියදම් කරගන්නට ඔවුන්ට ධනස්කන්ධය හසුරුවා ගත නොහැකි බව පෙනීයයි. මේ අතර එදා රාත්‍රියේ නම් මම මා පරික්ෂා කරන්න ආ වෛද්‍යවරයාට මට පහුවදා ගෙදර යන්න උවමනා බව කීවෙමි. ඔහු එරන්ද දෙස බලා සිනාසුණේය.
එරන්ද මගේ උරහිසක් සෙමෙන් මිරිකා මා සන්සුන් කරන්න ට උත්සාහ කළේය. ඇත්තටම මා පව් නැද්ද? විදේශයකදීවත් මේ ආකාරයේ කුට උපක්‍රම වලට මුහුණ දී නැති මට මේ සිද්ධ වෙන්නේ මොකක්ද? වෛද්‍යවරයා කාමරයෙන් නික්ම ගිය සැණින් මම ඔහුගේ අත ගසා දැමුවෙමි. එරන්ද මා තදින් වැලඳ ගත්තා මිස මගේ ප්‍රතිචාරයෙන් කේන්ති ගත්තේ නැත.
‘හැමදේම හරියනව පැටියා. ඔයා දන්නවා ද මං ඔයා ගැන කොච්චර හිතනවද කියල.
නොදන්නවා නොවේ.අහේතුවකට රෝහල්ගත වන්නට සිදුවී ඉන්නා මාව ලෙඩෙකුටත් වඩා හොදින් බලාගනිමින් එරන්ද මේ මා ගැන හිතනවාම තමාය.
‘ඔයා සතුටින් ඉන්නවා නං ඇත්තටම මට ඒ ඇති බිම්මා
‘ඉතින් මාව සතුටින් තියන්නකො..
‘සතුටින් තියන්න තව මොනවද මගෙන් වෙන්නෝන
‘තව චුට්ටිත්තක්.. මේන් මෙච්චරක් විතර ආදරේ වැඩියෙන් ඕනෙ
මම දෑතින් යම් ඉඩක් පෙන්වා කීවෙමි.
‘ඒ මේන් මෙච්චර ඉඩේදි මං සසදිට කතා නොකර ඉන්නෝන.ජ එහෙමනෙ…
‘අනේ නෑ නෑ…
‘නෑ?
‘ම්හ්
‘නිකං ඉදහං කෙල්ලෙ..
රිදී ඉන්නා බව ඔහු දනී. මද කල්පනාවකි. දුරකතනයට ආ පණිවුඩය කියවා නළල රැළි කරගත් එරන්දට මගේ මුහුණ ද බැලිණි.
‘චානක්‍ය..ඔයාට කතා කරන්න ඕනෙලු
‘ෆෝන් එක වැඩනෙ . ගනීනෙ..
මට තද නොරිස්සුම් ගතියක් දැනෙයි. චානක්‍ය හිතාමතාම මා අපහසුතාවකට ඇද දැමුවේය. එරන්ද මගේ නිකටෙන් අල්ලා මගේ මුහුණ ට පහත් විය. ඒ ඇස් මගේ මුහුණ පුරා ඇවිද ගියේය. උගුරෙන් පහලට ගිලෙද්දී උගුරු දණ්ඩ සෙලවෙනු පෙනිිණි. තදින් හුස්ම වැටිණි. සන්සුන්ව නොවේ. ළග ළගය.
‘චානක්‍ය පහල ඉන්නෙ..
‘එනවද ඒ කියන්නේ ?
‘හ්ම්.
‘ඔයා මොකක්ද කරන්න හදන්නෙ
‘පොඩ්ඩක් එලියට යනව
‘ඒ ඇයි
‘බිම්ම්…මා. . මේක හිතන්නකො.. ඌට ඔයාට කතා කරන්න ඕන ඇති.තව කොල්ලෙක් ඉස්සරහ කියන්න බැරි දේවලුත් ඇති අනිත් එක එි මනුස්සය විඅයිපී
‘මොන අයිපී හරි..ඒක මට වැඩක් නෑ. එයා එද්දි ඉදල ඔයා කවදාවත් මාව කිසිම තැනකදි දාලා යන්නැ කියල පෙන්නල යන තැනක යන්න
ලිෆ්ට් එක එසවෙනවා ඇති. හිත වෙලාව ගණනය කළේය. ඇත්තටම මට චානක්‍යට කතා කරන්න ඕනද? සුදානම් ද? තට්ටුව කි.දොර විවර වෙයි. පාර්ලිමේන්තු ගිය විදියටම සුදුපාට ජාතික ඇදුම ඇදි චානක්‍ය සදතැන්නය. මුහුණේ ප්ලාස්රයකි. වම් අත වෙලුමක් දමා සැරහුමකින් එල්ලා ගෙනය.
මම ඇද වියල්ලට හේත්තුවී සිටිමි. එරන්ද අසල වු ආසනය චානක්‍යට පෑවේය.
‘මචං…
ඒ වචනය එරන්ද ටය.
‘ඇමති තුමා
‘නෑ නෑ.. දැන් ඇමති නෙමෙයි.. එම්පී විතරයි.
‘පොඩ්ඩක් කෙල්ල එක්ක කතා කරන්නෝන බං.
‘බිම්මා, නංගි. මං එලියෙන් ඉන්නං..
මට එවර නැගුනේ මදහසකි. නංගි! දෙවියනේ, මේ කොලුවා ඤාති සහෝදරකම ඔලුවටම අරගෙන අවසානය. එක් ඇසක් සිහින් කර දග පාටකින් බලා දොරතෙක් ගොස් අතුරුදන් වන එරන්ද දෙස ඇහිපිය නොහෙලා හිද මම රුපවාහිනි ය දෙස බැලුවෙමි. චානක්‍ය මගේ මුහුණ ම බලා සිටියේය. දෙවුර සෙලෙව්වේය.
‘මොනවද කතා කරන්න තියෙන්නෙ
‘ඔහොම අවුල් යන්න එපා බිම්මා.. මං කියනදේ ටිකක් අහන්නකො
‘මොනාද අනේ අහන්නෙ , එළියෙ සෝශල් මිඩියා වල මාව පතුරු ගහනව. සමහරු මං ගැන කතා කරන්නෙ. හරියට මං මේ ඔයාගෙ ඕනඑපාකම් ටික ඉශ්ට කරන්න ඉම්පෝට් කරපු භාන්ඩයක් ගාණට දාල.. ඔයා මට ලංකාවට එන්න කිව්ව එක හරි .. ඒත් මං ආවෙ ඔයාව කසාද බඳින්න නෙමෙයි…
‘හරි බිම්මා.. ඔයා මට මේක උදව්වක් විදියට කරන්න.. හැමෝම හිතන්නේ මං ගාඩ් එකත් හලල මොකක් හරි ප්‍රයිවට් ගමනක් ගියා කියල. ඒක සාමාන්‍ය දෙයක් මං කොල්ලෙක්නෙ. අපිව ඇටෑක් කරපු වෙලාවෙ ඔයාව ඕපන් වුණු නිසායි මේක වැඑදි විදිහට වෛරල් වුනෙ
‘ඔයාගෙ අම්ම ඇවිත් තව ඩ්‍රාමා එකක් කරල ගියා
‘අම්මි නං බිම්මා..ඇත්තටම එහෙම හිතනව
‘ඒක ඔයා ඔලුවට දැම්ම එකක්
‘ඒක ඇත්ත.. ඔයාව මුලින් මීට් වුණාම මං අම්මිට ඔයා ගැන කිව්වා. එරන්ද ගැන දැනගෙන හිටියෙත් නැහැ මම. කොහොමත් ඔයාලගෙ රිලේශන්ශිප් එක කම්ප්ලිකේටඩ් වැඩී..අම්මිත් බලාපොරොත්තු තියාගත්ත. අනික එයා මං ගැන ටිකක් වැඩියෙන් හිතං ඉන්නවා . අම්මල එහෙම තමයි.එයාලට තමන්ගේ දරුවා හැම කෙනාටම වඩා ලොකුයි
‘දැන් මට මොකද වෙන්නෙ
‘මං තනිකඩයෙක් ඔයාට කැමති නං මාව කසාද බදින්න පුලුවන්
ඔහු සිනහ වෙවී කීවේය.
‘අනේ ඔයා මගෙ ඉවසීමෙ සීමාව ටෙස්ට් කරන්න එපා. හෙට ඉදල මං පාරට බහින්නෙ කොහොමද ? මට මෙච්චර කාලෙකට මගෙ කියල අයිඩෙන්ටිටි එකක් තිබුණ. මං මගෙම දේවලින් හදා ගත්ත නමක් මට තිබුණ..ඔයා දැක්කද අර යුටියුබ් විඩියෝ වල ගහන තම්බ්නේල්ස් වල කැත..
" ලංකාවේ දේශපාලන තීරණය කළ ෆුඩ් බ්ලොගර්".
"ඇමතිවරයාගේ පෙම්වතිය ගේ ඉන්ස්ටා පිටුව ලෝකයේ හොදම පිටු දහයෙන් එකක්"
මං දන්නවා මගෙ ෆලෝවර්ස් ගාන බලන් ඉද්දි වැඩිවෙනව කියල. මම නාන ඇදුමක් ඇදගෙන ගත්තු පින්තූරයක් හැම තැනම ශෙයා වෙනව කියල ඔයා දන්නවද.. මිනිස්සු හෑලි ලියනව ඒකට…ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්න මං අදින්නයි පින්තූර ශෙයා කරන්නයි ඕනෙලු
‘මං ඒ පින්තූර රිපෝට් කෙරෙව්ව. ආයෙ ඒව වැටෙන්න දෙන්නෑ
‘පත්තරේ මුල් පිටුවල කෙලවරක වැටුණු මගෙ පින්තූර එතකොට.. ඔයා ප්රෙස් එකක් තියල කිව්වත් මං ඔයාගෙ කෙල්ල නෙමෙයි කියල වැඩක් නෑ.
‘පොඩි දවසක් දෙන්න.. මං ඔයාට කියන්නං මොකද කරන්නෙ කියල
‘මට ටයිම් නැහැ.. ඔයාට මට මෙහෙම කරන්නැතුව ඉන්න තිබුණ
‘බිම්ම්ම්…මා.. හිතාමතා කලා නෙමෙයි. ඒත් මට මගෙ දේශපාලන අනාගතේ ගැන හිතන්න උනා.
එවර මට සිනහ නැගිණි.මේ වගෙ මිනිස්සුන්ට දේශපාලන අනාගතය වෙනුවෙන් අම්මා අප්පා වුවද පාවා දිය හැකි බව මට වැටහෙමින් තිබේ. එහෙව් උන් මේ රට පාවා නොදෙයිද?
‘ඔයා දන්නවා ද ඇයි ලංකාව හැමදාම මෙහෙම කියල. මොකද ඔයාලා මඩේ පිපුනට නෙලුම් වගෙ කියලා මිනිස්සුන්ට පෙන්නුවට මිනිස්සු ඔයාලට රැවටුණාට ඔයාලත් අයිති ඒ ජරා මඩ ගොහොරුවටම තමයි. චානක්‍ය ඔයා ඇතුලෙත් ඒ ජරා යකා ඉන්නවා . ඔයාටත් පුලුවන් … වාසිය ක් වෙනුවෙන් .. යු කැන් ඕල්සො ෆක් යුව මදර්ලන්ඩ්..
චානක්‍ය කිසිවක් නොකීවේය.
‘ඔයා දන්නවද බිම්ම, ඇයි මං සිරාවටම ඔයාට කැමති කියල.. ඔයා ඕනෙ එකෙක්ට ඕනෙ වෙලාවක ඔයාට ඕනදේ කියලා දානව. ඒ අතින් ඔයා පට්ට ස්ට්‍රෝන්ග් ගෑනියෙක්. මිනිහෙක්ට ඕනෙ ඔයා වගෙ ගෑනියෙක්.. මිනිහා වැරදි වැඩක් කරනන යනව නං කකුල් දෙක අල්ලල පොළවෙ හැපෙන ගෑනියෙක් නොවී උඩ පැනල කම්මුලට ගහල පුකට පයින් ගහල එලියටදාන්න පුලුවන් ගෑනියෙක්
‘අනේ.. විහිලු කරන්න එපා. ඔහොම කියන ඔයාගෙ පාර්ලිමේන්තුව ඇතුලෙ කාන්තා නියෝජනය කීයද? සීයට කීයද? ඒ ඉන්න මන්ත්‍රීල කතා කරද්දි ඒ ගොල්ලන්ගෙ ගෑනුකම කොච්චර බාල්දු කරනවද?
‘අනේ බිම්මා.. අපි පොදු ප්‍රශ්න ගැන කතා නොකරම ඉමු.අපි දෙන්නගෙ ප්‍රශ්නය කතා කරමු…
‘ඒකෙයි කියල කතා කරන්න දෙයක් ඔයා ඉතුරු කරල නෑ මට
‘දෙයක් තියෙනව..විශේෂාංග පත්තරේකින් ෆ්රන්ට් කවර් එකකට එන්න කියනව… යු ටියුබ් චැනල් එකකින් කපල් ටෝක් එකකට එන්න කියනව
‘දැන්, ඔයා කියන්නේ මට ඔයාගෙ ෆියොන්සෙ විදියට ඕ දෙකට පෙනී ඉන්න කියලද
‘
‘පෙනී හිටීමක් විතරයි…
‘අනේ ඔයා මොන බ්රැන්ඩ් එහෙක කාලකන්නියෙක්ද.. චානක්‍ය
‘ඔයා ඒක කැමති විදියට බ්රැන්ඩ් කරන්න . බිම්ම්ම්..මා මට මේ වෙලාවෙ මගෙ බ්රැන්ඩ් එක ගොඩක් වටිනවා. අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරුවනවා. මට එයිට කලින් මේ වැඩ දෙකම කරගන්නෝන. මේක මට වාසනාවට වැදිච්ච මාකටින් පොයින්ට් එකක්..
‘එතකොට මට?
‘ඔයා ඔයාට එන එෆෙක්ට් එක නෙගටිව් මාකටින් එකක් විදියට යුස් කරන්න ..
‘එහෙම කරගන්න තිබුණා ඔයා මට මේ කරන්න කියන දේ නොකර හිටියානං..
‘ඔයා හොදට කල්පනා කරලා බලන්න .. ඔයා ඉලෙක්ශන් එන්න කලින් ලංකාවෙන් යනවා. මට පුලුවන් ඒක්ත් මට වාසි වෙන විදියට පාවිච්චි කරන්න. මනුස්සයෙක් ට තමන්ගේ ස්ටැන්ඩඩ් එක්ක ජීවත් වෙන්න බැරි නිසා මට මගෙ ගෟැනුළමයා මෙහෙ තියාගන්න බෑ.. අඩුගානෙ අපි මේ රට මනුස්සයෙක් ට ජීවත් වෙන්න සුදුසු රටක් තරමට පත් කරන එකය ඕනෙ කියල කියන්න.
‘ඔය වගෙ බොලද පොයින්ට්ස් දාලා ද ඔයා ඉලෙක්ශන් දිනන්නෙ
‘එතකොට මේ රටේ නායකයො පපුවට ගහගෙන ජාතියයි ආගමයි විකුණ විකුණ අවුරුදු ගණනාවක් ඡන්ද මංකොල්ල කෑවෙ.. බිම්ම. ලංකාවෙ මිනිස්සු අධි සංවේදී. තාර්කික් නෑ ඡන්දෙකදි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදල බෙදුවට මිනිස්සු ඒක කියවන්නෙ රුපවාහිිනි වැඩසටහනකට යනව නම් විතරයි. ඊට කලින් මතකත් නෑ ඊට පස්සෙ මතකත් නෑ..ඒ නිසා අපි මේ හැසිරෙන්නෙ බුද්ධ්මත් ඡන්ද දායකයො එක්කය කියන අදහස ඔයා ඔලුවෛන් අයින් කරල දාන්න. මේක එහෙම පිටිම්ම ඩීල් එකක්. අපි අපි විතරක් නෙමෙයි අපි මිනිස්සුන්ගෙ ඔලු එක්කත් කරන ඩීල් එකක්. තමන්ගේ බඩ පොත්තටම ඇලිල , ඉස්පිරිතාල වැහිල පාරෙ මැරිල වැටුණත්, ඉස්කෝල වැහිල ළමයි වැඩකාරකමකට ගිහින් පවුල් නඩත්තු කරන්න පටන් ගත්තතා, ළමා සොල්දාදුවො වගෙ ළමා ගනිකාවො පාරෙ ඉන්න පටන් ගත්තත් මිනිස්සු තමන්ගේ හදවතේ කෙටිච්ච නායකයා ට ඡන්දෙ දෙනව.
‘මං එරන්ද ට කතා කරන්නොන..
මම අපහසුවෙන් හුස්ම ගත්තෙමි.
‘ඔයා මං ඡන්දෙ දිනල මාස හයක් හතක් යද්දී වොයිස් කට් එකක් දෙන්න චානක්‍ය සදතැන්න කියන්නේ කපටියෙක්. මාව ඡන්දෙ දිනන්න යුස් කළා. මට සලකන්නෙ නෑ. මං චානක්‍යගෙන් වෙන් වුණා.අපේ කසාදෙ කෙරෙන්නෙ නෑ කියලා. මං ඔයාටයි එරන්දටයි ලංකාවෙ ඉන්නවා නම් කලම්බො වල හොද තැනකින් ගෙයක් දෙන්නං, නැත්නම් අපාට්මන්ට් එකක් උනත්.. මේක මේ වෙලාවෙ මට සෑහෙන්න වැදගත් බිම්මා.
චානක්‍ය අනවසරයෙන් මගේ අතකින් ඇල්ලුවේය.
‘මේවා කවදාවත් හිතේ තිබිච්ච දේවල් නෙමෙයි. ඒත් මට දේශපාලනය අතාරින්න බැහැ බිම්මා. ගමන පැහැදිලි. වෙලාව හොදයි. ඔයාගෙන් ලැබෙන එක්ස්ට්රා ලයිට් එක මට මාර වැදගත් මේ වෙලාවෙ.
මම කිසිවක් නොකීවෙමි. ඔහු රෝහල් කාමරයෙන් පිටප ගිය අතර එරන්ද ආවේ සෑහෙන වෙලාවකට පසුවය.
‘මොකෝ ලොක්කා කියන්නේ
‘එයාගෙ යෝජනා එකග වෙන්න අමාරු ඒවා
‘පොලිට්ක්කොනෙ කෙල්ල
‘හැම මානුශීය බැදීමක්ම ඩීල් එකක් කරගන්න එයාටත් පුලුවන් වෙයි කියල මං හිතුවෙ නෑ
‘මිනිස්සුන්ට තමන්ගේ අරමුණ වටිනවා.දන්නවද?
එරන්ද මා අසලින් ඇදේ වැතිරිණි. වම් අත මගේ බද වටා වෙලාගෙන ගෙල මුලට නිකට තද කරගෙන "දොයියමුයි" කීවේය. මනසෙහි හැම සෛලයක්ම ක්‍රියාන්විතයකය. නින්දඋවමනා බව හිත කියයි. එරන්දගේ අත ආදරේ නැති නින්දක් කුමටදැයි හිත එක්ක ඔට්ටු වෙයි. එවැනි හැම ගැටුමකදීම අවසානයේ හිතට වඩා කරුණු ඉදිරිපත් කරනා හිත දිනු බව මට මතකයට එයි.
පහුවෙනිදා එරන්ද සමග නර්මදා මා අපාට්මන්ට් එකට කැටිව ගිය අතර, ඇය බබා මොන්ටිසෝරියෙන් ගන්නට උවමනා බව කියා වේලාසනින් නික්ම ගියාය. එරන්ද ඇය යන ඉසව්ව බලා හිද මදෙස බලද්දී හොරයක් කර අහුවුන පොඩි එකෙකුගේ සිනහවක් ඒ මුහුණ මත ඇඳිණි.
"නර්මදා ඉතින් බෝලෙ වගෙ ඉන්නවා නෙ.බැලෙනව නේහ්"
"ඔයානෙ කියන්නේ "
"අනේ යනව යන්න.. "
"පිස්සුද මෙයා.."
මම දින කිහිපයක් මගහැරැණු නිවස දෙස බැලුවෙමි. එරන්ද වරින් වර මෙහි පැමිණ අස්පස් කර ලොන්ඩ්රියෙන් ගෙන ආ මගෙ කිලිටු ඇදුම් පිලිවෙලකට අල්මාරියෙහි අසුරා තිබුණි.
‘ට්කක් ටිවි එක බලාගෙන ඉන්නකො.. රැට මොනාද ගෙන්නන්න ඕනෙ
‘වයින් එකක් බොමු..
‘ම්ම්ම්ම්? බේබද්දී..
‘නෑ … එක දිගට ගෙවුණෙ හැපනින් නැති දවස් ටිකක්නෙ
‘ආ? හැපනින් නැති දවස් ටිකක්? එහෙමද ඔයා කියන්නේ ?
‘අනේ…මං එහෙම එකක් අදහස් කළෙ නෑ!
රාත්‍රිය බොරැල්ලට ළගා විණි. අතරමගකදී කොතැනකද මන්දා නන්නත්තාර වී හිටි හඳ බාගයකුත් මල්ලේ දමාගෙනය ඒ ආවේ. අපි අප ආසම බැල්කනියේ බිම වයින් බෝතලයකුත් වීදුරු දෙකකුත් සමග තනිව එකිනෙකාගේ උරහිස් වලට හේත්තුවී හිදගෙන සිටියෙමු.
‘බිම්මා…
එරන්ද මගෙ නළල දෙපස වැවෙන හිසකෙස් ඔහේ පිරිමදින අතරතුර කතා කළේය. මම ඒ ඇස් වල පැටළෙන්න මාන බලමි. අඩ අදුර ඇස් බැල්ම රිදවයි.
"ම්ම්ම්ම්"
"දෙයක් කියන්නද"
"මොකක්ද?"
"චානක්‍ය ගෙ අර කවර් පේජ් එකේ සීන් එකටයි .. යුටියුබ් වැඩේටයි හා කියන්න"
මගේ හිතට ධාරාණිපාත අකුණු සැරයක සැර දැනිණි.
‘මේ වෙලාවෙ හැටියට ඒක චානක්‍යට හොදයි . අනිත්තෙක ඒකෙන් ඔයාව හිට් වෙනව.
‘මට ඔය විදියට හිට් වෙන්නොාන නෑ..
‘හ්ම්ම්ම්.. බිම්මා.. ජීවිතේ එක එක කාල වල අපිට ලැබෙන දේවල් අපි බාර ගන්නෝන
‘ඒ කියන්නේ
‘ඔයා දන්නවද මං ආදරෙයි කියල ඔයාට
‘ඔව්.. ඇයි
‘ඒක හොඳටම විශ්වාස ද
‘මොකක්ද
‘මගෙ ආදරේ..මං ඔයාට නරකක් කරන්නෙ නැහැ කියනෙක
‘ඔයාගෙ ආදරේ තමයි මං මේ ලෝකෙ විශ්වාස කරන එකම දෙ
‘මං ඔයා තරම් ලෝකෙ ඇවිදල නෑ.. සමහර විට මට ඔයාට තරම් මිනිස්සු මුණගැහිලත් නෑ. ඒත් මං ඔයාට වඩා ඔයාව දන්නව බිම්මා..
‘හ්ම්ම්ම්ම්
එරන්ද බර හුස්මක් හෙළුවේය.
‘ඔයාගෙ ජීවිතේ තව එහාට යන්නෝන..වස්තු.ඔයා මං වෙනුවෙන් මේ හැමදේම අතැරල ඉන්නවට පිරිමියෙක් විදියට මං මාර කැමතියි. ඒත්,මේක ඔයාගෙ ඩෙස්ටිනේශන් එක නෙමෙයි බිම්මා.
මේකද? මං? ද
ඔහු වරක් මදෙස බලා මඳ සිනහවක් ඇතිව අහක බැලුවේය. බිම්මා ජීවිතයේ අවිනිශ්චිත තත්වයන්ට බිය කෙනෙකි. පිටිය මැද රනවුට් වී දැන දැන තුන්වැනි විනිසුරු තීරණය දෙන තෙක් ඉන්නට මට හයිය නැත. මේ තීරණයක් නැවත දර්ශනය වෙන වෙලාවක්ද?
‘හ්ම්ම්ම්ම්… මං . ඇත්තටම මං වෙනුවෙන් නවත්තගන්න ලෝබයි ඔයාව
‘ඔයා මොනවද මේ ඇත්තටම කියන්නේ ?
‘චානක්‍ය වගෙ මිනිහෙක් කියන්නේ ඔයා වගෙ ගෑනියෙක්ට හයියක්.. මං කවුද? නිකම්ම නිකම් ‘රෙස්ටොරන්ට් එකක් හවුලෙ කරන සල්ලිත් නැති කොල්ලෙක්…
එරන්ද ත් චානක්‍යත් සසඳා බලන්නට තියා එහෙම සැසඳීමක් අහන්නටවත් තරම් මානසික ඌණතාවයක් මට නැත. මම එරන්දගෙ උරහිසින් හයියෙන් ඇද මදෙස ට ඒ මුහුණ හරවා ගත්තෙමි.ඇස් වහගත් මනුස්සයාගේ නිකට කොනිත්තා ඔසවා ඇහිපිය උඩින් ඇගිලි ඔබා ඇස් විවර කරන්නට බල කළෙමි.එය බලහත්කාරකමක් බව දනිමි.
‘බලන්න මං දිහා.. බලන්න..
‘බිම්ම්ම්ම්ම්මා.. රිදෙනව
‘හරියට ඇස් ඇරල බලන්න මං දිහා
එරන්ද පපුවෙ මැද හුරුබුහුටි හුස්මක් අතැර ගත්තේය.දෙතොල පටක් හපාගෙන මදෙසට හැරුණේය.දැන් සමසුනේ දෙහදකි. හුවමාරුව ගින්නක් වුනත් සිහිලසක් වුනත් කම් නැත.
‘මාව දන් දෙන්න ඕනෙද
‘නෑ.. මං බෝසත් නෙමෙයි
‘එහෙනම් මාව එපාද? ඒකද මේ? වෙන ගෑනියෙක් හම්බුනාද.. ආ මට වඩා නිදාගන්න හොද ගෑනියෙක් ‘
හම්බ වුනාද …කියපං..
එරන්දගේ කොන්ඩයෙන් අදිමින් මම මගේ ක්ශනික විපර්යාසය පලකර සිටියෙමි. හිතේ ගින්නේ ගිනි පුපුරු විසිරෙයි.
‘රි දෙ න ව කෙල්ල
‘රිදියං රිද්ද ගනිං…මාව වෙන එකෙක්ට දෙන්නද ඕනෙ.. ඒ? වෙන එකෙක්ගෙ ඇගේ ගහල යන්නද උඹට ඕනෙ
බිම්මා හඩා වැටිම ඇරඹි තැන , එරන්ද මගේ අත් අගුලු ලා අල්ලා ගත් තැනය.ඇස් බන්ධනයකින් පුරවා ඇස් මත්තේම නවතා ගත් තැනය. පණ පොදට රිද්දුවා නේදැයි මා තුලවන යක්ෂ මෙනවිය ගෙන් මා ම විමසන්නට පටන් ගත් තැනය.
‘දෙන්න බෑ …කාාටවත්.
තෙත ඇස් කතා කරද්දී උගුර වියලී ගියේය.
‘යන්න කියන්නෙපා.
‘තියාාගන දුක් දෙන්න බැහැ
‘මට දුකක් නෑ.මං සතුටින් ඉන්නෙ. ඔයා ඇර වෙන මොකක්ද මට ජීවිතේ කියන්නේ
‘හරි හරි…ටිකක් ඉම්මු කො
එවර සන්සුන් වෙමින් ාහතෙම මුමුණා ගත්තේම තමන්ටමය. ඒ වෙද්දී වයින් බෝතලය එහෙමමය.
‘බොන්න බෑ මට. මං ඉන්නං ඔයාගෙ තනියට.
‘ඒ කියන්නේ බීලා ඉවර වුණාම යනවද
‘ඉන්න ඉන්න යන්න අමාරු වෙනව..
‘කොහෙවත් යන්නෙපා එරන්ද..
‘යන් නෑ මැණික.. ඉන්නං.
කඳුලු ඇස් සැගවු රාත්‍රීය අර පෙරකී හඳ බාගය රාජගිරියේ මැද පොළවේ ගසනු මට පෙනිණි. එරන්ද සමග අපේ විවාහයක් ගැන අප දෙදෙනාගේ ලෙයට ලෙය මුහුවුණු පුංචි දරු පැටියෙකු ගැන කතා කරන්න බිම්මාට බැරි ඇයි? අපේ කතාවේ මුල එහෙම සාකච්චා සංවාද ගොඩ නගා ගන්නට බැරි බව ඇත්තකි. ඒත් දැන් අප දෙදෙනාම තනිකඩය.
‘අපි බඳිමු.
මම කීවෙමි. ඔහු ගැස්සි බැලුවේය.
‘මං කසාද බඳින්නෑ කියල තීරණයක් අරන් ඉවරයි.
‘තනියම? ඔයා තනියම තීරණයක් ගත්තද ?
‘ඇයි මං කා එක්කද කතා කරන්නෝන?
‘එර…න්ද.. ඔයා කොහොමද එහෙම තීරණය කරන්නෙ..
‘ඔයා කවදම හරි කිව්වද ? එරන්ද, අපි බඳිමු කියලා.
‘කොහොමද කියන්නේ ?
‘ඇයි? ඇයි ඔයාට කියන්න බැරි වුණේ?
‘එරන්ද, ආදරේ කියන්නේ කසාදෙම නෙමෙයි කියලා මං හිතා හිටිය කාලෙකුත් තිබුණා. ඒත් දැන් එහෙම නෑ. මට ඔයාව ඕනෙ. ඇත්තටම මට ඔයාව කසාද බැඳල අපි දෙන්නගෙ පුතෙක් හදාගෙන ඉන්නෝන…
මං කවදාවත් කසාද බඳින් නෑ .
ඔහු කීවේ මෘදුවය. තරහකිින් නොවේ. දුරකතනය නාදවෙයි. අම්මාය. නහුතයකට ප්‍රශ්න අපෙ අම්මාට ඇත. හිටපු නියෝජ්‍ය ඇමති කෙනෙකු තමන්ගේ කල වයස ඉක්මවා යමින් ඉන්නා දියණියගෙ අත ගැනීමට යන එක අමුතු සතුටකැයි අම්මා හිතනවාද කියා මට හරියටම කියන්නට නොහැකිය.
‘අම්මා!
කතා කරන්න.. හිත නිවාගෙන. මං ගිහින් එන්නං කමුබන් එකට
‘එනව නේද ආයෙ?
‘එහෙම දාල යන් නෑ… ආතක් පාතක් නැතුව. ඇස්දෙක වගෙ බලාගන්න පොරොන්දු වෙලානෙ ඉන්නෙ
එරන්ද දොර වසාගෙන යන්නට ගියේය.
‘චානක්‍ය කතා කළා.
‘ඒ මොකටද
‘ඒ මොකටද අහන්නෙ?
‘අම්මා, මේක ට්රැප් එකක්
‘මොකක් වුනත් බිම්මා ඔයාට එයා එක්ක එෆෙයා එකක් තියෙනවනෙ
‘මේක එහෙම දෙයක් නෙමෙයි.ඔය තරම් පටු විදියට හිතන්න එපා අම්ම.
‘මං කලින් පාර නයිල්ස්ගෙ ප්‍රශ්නෙදි මං අයියටත් විරුද්ධ වෙලා ඔයා එක්ක හිටිය. ඔයා හොදටම දන්නවා දැන් මේක රට ඇතුාල විතරක් නෙමෙයි රටෙන් එලියටත් ගියපු ප්‍රශ්නය ක් කියලා. මිනිස්සු හිතන්නේ ඔයායි චානක්‍යයි කොහෙ හරි අවුටින් එකක් ගිහින් එද්දි මේ ප්‍රශ්න වෙලා කියල. ඔයාට මේ වෙලාවෙ නං අපට තවත් කරදර කරන්න බෑ බිම්ම
‘දැන් ඔයා මොකක්ද කරන්න කියන්නේ
‘චානක්‍ය ඔයාව මැරි කරන්න කැමතියි. එයා නිසා ඔයාට කිසිම අසාධාරණයක් වෙන්න දෙන්නෙ නැහැ කියලා එයා කිව්ව. මං චානක්‍යට කොහොමත් කැමතියි. එයාට එයාගෙ දේශපාලනයෙත් කෙලින් ගමනක් තියෙනව.
‘අනේ අම්ම මට වද දෙන්න එපා ප්ලීස්
‘හිතුවක්කාර වෙන්න එපා බිම්ස්
අම්මා හිතට එකතු කළ බර අසාමාන්‍ය තරමෙ එකකි. පවුලක අගය මට වැටහෙන්නට පටන් ගත්තේ ස්වීඩනයේ සීතල විශ්ව විද්‍යාලයක සිසුවියක එහි ගිය මුල් කාලයේය. ඒ කාලයේද අපේ අම්මා කළේ මට ගැළපෙන ලංකාවේ කොල්ලෙකු සෙවීමමය. සොයා මට බන්දා දී ඌවද ස්වීඩන් එවීමට සැලසුමක් තිබිණි. ඊට සහමුලින්ම විරුද්ධ වු හිතුවක්කාර දෝනියැන්දෑ වන මා තෝරා ගත්තේ ඇගේ සිහින වල සිටි පවුලට ගැළපෙන බෑණා නොවේ. නයිල්ස්ය. අවසානයේ නයිල්ස් සහ මා වෙන්වුයේ හිතාගන්නට වත් පුලුවන් වෙලාවක නොවේ. අම්මා සිටින්නට ඇත්තේ වික්ශිප්තවය.
ජාන්! ජාන්ගේ හෙවණැලි සහිත පිරිමින් තුන්දෙනෙකු අහම්බෙන් හමුවීමෙන් පසු මගේ බලාපොරොත්තු අභිලාෂය ත් සියල්ල වෙනස් වී ආ හැටි අම්මා නොදනියි. දැන් සියල්ල තියෙන්නේ ඉනිවැටෙහි අවසානම අන්තයේය. මට ජාන්ගේ භෞතික ශරීරය එරන්දගෙන් හමුවී යැයි සාක්ෂියක් නැත. අපේ බන්ධනය තුල ඔහුව ප්‍රශ්න කරන්න ටද නොහිතෙයි. පලුද්දක් නැති දියමන්තියක් මෙන් අපේ ප්‍රේමය පැවතෙයි. එය එසේම විය යුතුයි. ජාන් සෙවීමද අත්හැර දමන්නට මට පුළුවනි. ඒත්, එරන්ද ඇත්තටම කවදාවත් විවාහ නොවෙනවායැයි තීරණය කළාය කියා මට කියන්නේ කොහොමද ?
මම උණුවතුර බේසමක ගිලුනෙමි. දොර අගුලු නොදැමුවේ එරන්ද වෙනුවෙනි. හද අගුලු විවර කළ පිරිමියෙකුට දොර අගුලු දමන්නේ කොහොමද ? උණු වතුරෙහි සැප පහසුවෙන් හිදියදී අත දුරින් දුරකතනය සෙළවෙයි. චානක්‍ය !
‘මොකද කරන්නෙ
…..
‘ඇයි බිම්මා
….
‘ඇයි තරහෙන් වගෙ
‘දැන් මට ඔයා එක්ක තරහ නොවී ඉන්න ඕන එක හේතුව ක් කියනවද
‘බිම්මා ඔයා හිතන්නේ මං වැරදි කාරයෙක් කියලා. එදා ඔයායි මායි ගිය ගමන මොකක්ද කියල අපි දෙන්නම දන්නව. වැරැද්දක් කරන්න තියා හිතුවෙවත් නැ ඔයාට.
‘ඒක වෙල ඉවරයි. ඔයාටයි මටයි ඒ වෙච්ච ඩැමේජ් එක හරිගස්සන්න පුලුවන් කමක් නැහැ දැන් . ඒත් ඇයි අපේ අම්මට කතා කරන්නෙ චානක්‍ය
‘එයාගෙ දුවට මං නිසා වෙච්ච ඩැමේජ් එක ගැන දුව නොහිතුවට අම්ම හිතන බව දන්න නිසා . බිම්මා මං ඔයාට කැමති කසාද බදින්න. ඔයාට මං කියන එක තේරෙනව කියල මං හිතනව
‘නෑ මට තේරෙන්නෑ
‘කොච්චර ලිවින් ටුගෙදර් හිටියත් කසාදෙක වටිනාකම අපේ සමාජය ඇතුලෙ ඒ කපල් එකට ලැබෙන්නෑ .. ඔයා මොනවද හිතන්නේ කියලා මං දන්නැහැ මං ගැන. ඒත් ඔයා මට ඔයායි එරන්දයි ගැන හරි හෙලිදරව්වක් නොකරන හින්ද මං එරන්දගෙන් ඇහැව්ව ඔයාලගෙ අනාගතෙ ගැන උගෙ ප්ලෑන් එක.
එවිට මගෙ හිත ගැස්සිණි.
‘ඌ කිව්වෙ ඌ කවදාවත් කසාදයක් බදින්නෙ නැහැ කියල තීරණය කරල තියෙන්නෙ කියලා. කන්ෆර්ම් කරලම කිව්ව. ඔයායි එයායි කිසිම එකගතාවයකත් නැහැයි කිව්ව. මට ඔයා ට ප්‍රපෝස් කරන්න ඕනෙ කියලා මං කිව්වම ඌ කිව්වෙ මං බිම්මට ආදරෙයි. ඒත් බිම්ම මං වෙනුවෙන් ජීවිතේ නවත්තගන්න ඕන නැහැයි කියල. අහසක් වගෙ දිලිහෙන්න ඕන ගෑනියෙක් තරුවක් ගිල්ල වගෙ ඌ ඇතුලෙ ගියං ඉන්නෝන නැහැ කිව්ව
මම බිරාන්ත වීමි. මේ පිරිමි මගේ අනාගතය උන් දෙදෙනා අතරේ ගනුදෙනු කරන්නට හදන හැටි. මා එකිනෙකාගේ අත්වල ඇලවෙන කොහොල්ලෑ බබෙකු නොවේය. ආදරය කොයි තරම් ඉස්මතු වුනත් පදනමේ තවම ස්ත්‍රීවාදී ආකල්පය මා සතුය.
‘අනිත්තෙක මං .. බිම්මා .. විශ්වාස කරනවා ඔයා එක්ක මගෙ ජීවිතේට පොසිටිව් වයිබ්ස් කන්දරාවක් කැරකෙන්න පටං ගත්තා කියල. ඔයා ආවත් හරි හැමදේම වෙනස් වෙනව. මට දැනෙනව..
‘මට ටිකක් තනියම ඉන්නෝන
‘මට කියන්න මං වෙනුවෙන් අර වැඩ දෙකට එන්න පුළුවන්ද කියල
‘කල්පනා කරන්න අද රෑ දෙන්න
දුරකතනය දියේ ගිල්වා ගෙළ මිරිකන්නට මට හිතීතියේ. කාලයකට මේ හැමෙකකින්ම මිදී යන්නම මට උවමනාය. එරන්ද ප්‍රමාදය. සමහර විට වැඩ වැඩි ඇති. ඔහු එයිද නොඑයිද මා දන්නේද නැත. ඉදීද නොඉදීද මා දන්නේ නැත.
ඇගිලි තුඩකින් එහා සමාජ මාධ්‍ය වල බිම්මා මිම් එකක් බවටද රුපාන්තරණය වී හිදින බව දනිමි. හැන්දකුත් ගෑරුප්පුවකුත් ලංකාවේ දේශපාලන ව්‍යුහය පිගානක දමා කාගෙන කාගෙන යන බවට අගවන කාටුන් එකක් රජය වෙනුවුන් පෙනි සිටිනා පත්තරය පළවී ඇත. රාත්‍රි දේශපාලන වටමේස වැඩසටහන් වල දී චානක්‍ය ගේ පෙම්වතියට පහර දුන් නිසාද එයා පක්ශය මාරු කලේ කියා කටහැකර නිවේදකයා ප්‍රශ්න කරයි.
ඉතින්, මට දුක හිතී ඇත. මම කෙටි සැහැල්ලු ගවොමක් ඇද සයනයට වැටෙමි. එක්කෝ මා චානක්‍යට ධනාත්මක පිළිතුරක් දිය යුතුය. නැත්නම් මා මා වෙනුවෙන් ධනාත්මක පිළිතුරක් නිර්මාණය කරගත යුතුය.
ශෙයිලාට කතා කරන්නටත් පෝල් අමතන්නටත් පහුවෙනිදාට රිමයින්ඩර්ස් දමා ගෙන මම ඇස් වසාගනිමි. නින්ද කාලය හා ගමන් කරන වේගය අද්විතීයයි. ආයෙම ඇහැරුණේ උරහිස් මත කිති කැවෙන එරන්දගේ රැවුල් කොට වලටමය.
‘වැඩ ටිකක් තිබුණ ඉවර කරල එන්න
‘හ්ම්
‘වොශ් එකක් දාං එන්නං… දොයියන්නෙපා
මම දෑස් වසා හිඳිමි.
‘දුකෙන්ද
දුඹුරු තුවායෙන් නොවැසුන උඩුකයෙහි තෙත හින්දා ගනිමින් මදෙස බලා ඔහු මුමුණයි. අත්බාහු වල කවාකාර මස්පිඩු කැපී උස්වී පෙනෙයි.
‘දවසක ඔයා කිව්වා ඔය පපුව මට විතරයි කියල
‘ෙමෙතනට කෙනෙක් ලේසියට ගන්නෙ නෑ. ඒත් ඔයා මෙතන ඉන්නවා කියල මං කිව්වා
‘ඇයි මාව පිටමං කරන්නෙ
අසනීප හාවෙකු වාගෙ කන් අකුලාගෙන ඇදෙහි දිගාවී කොට්ටයේ කම්මුලක් ඔබාගන මා මුමුණන්ට ඇත. එරන්ද එතැන. හිදගත්තේය. සිනහ වුවේය.
‘ආදරේ වැඩි වුනාම උස්සගෙන ඉන්න බෑ
‘මං ඒතරම් බරයිද
‘බර නෑ .. අධි බරයි..
කොට්ටයෙන් ඇද මගේ හිස උකුලට ගත්තාම බඳ වටා දෙඅත වෙළාගෙන මුහුණ කුස මතට හේත්තු කරගෙන මම නෙතුපියා ගනිමි.
‘එක වෙලාවක් ඒවි කියල හිතුණා ඔයාට මාව එපාවෙන . එකම දේ වුනත් එකදිගට වෙද්දී ඒක සාමාන්‍ය දෙයක් වෙනවනෙ..ඔයා කවදාවත් අපේ කසාදයක් ගැන කතා කරල නැහැ..මං සසදි ගෙන් අයින් වුනෙ ඔයා එයි කියලත් නෙමෙයි.. මං හරි කම්මැලි කොල්ලෙක් කරන වැඩක් පාඩුවෙ කරගෙන හවසට බියර් එකක් ගහල ජොයින්ට් එකක් ඉදල හිටල ඇදල..මං මගෙ පාඩුවෙ ඉන්නව…
‘මං විතරයිද ආදරේ මෙච්චර
‘මුහුදක තියෙන අයිස් කන්දක එලියට පේන ප්‍රමාණය හරිම අඩුයි… නොපෙනෙන ප්‍රමාණය වැඩියි
එරන්ද මගේ නළලට දෙතොල් තියා ඇස් වසා ගත්තේය.
‘චානක්‍ය මගෙන් අහනව අපි මොනවගෙ ගිවිසුමකද ඉන්නෙ කියල.මං කිව්ව අපි ආදරෙයි කියල. මගෙන් ඇහුවෙ ඔයාව බදිනවද කියල. මං කිව්ව මං කවදාවත් කසාද බදින්නෙ නැහැ කියල. ඌට ඔයාව බදින්නෝන කිව්ව..මං කිව්ව ඔයාගෙන් අහන්න කියලා.. එච්චරයි උනෙ
‘එතකොට මං මොකද කියන්නේ
‘
‘ඒ තීරණය ඔයාගෙයි
සමහරවිට ජීවිතය බොහෝ වේදනාත්මක සහ අරගලකාරී අවස්ථාවන් මගින් මතු කරවන ශක්තීන් වඩාත් උද්වේගකර සහ ප්‍රීතිමත් අවස්ථාවන් කරා පරිවර්තනය කර ගැනීමට හැකි මිනිස්සු අඩු විය හැකිය. එහෙත් අප ඊට අයත් නොවේ. ෆිනික්ස් වරුන් මෙන් ආදරයෙන් පිලිස්සී අලුවෙමින් ආදරයෙන් පණ ලබන්නෙමු. එය ආදරයේ දිව්‍යමය රැයකි.ස්මරණයන් බහුල මානව ප්‍රේමයෙහිද මරණීය රමණීය රමණයන්හිද ගැළුණු ඇලීම් සහිත රැයකි. ක්ලේශයන් බහුලය. ලෝබකම්.අතිමහත්ය.
පහුවෙනිදා මා කාර්යාලය ට කැටුව යන්නට එන්නැයි රියදුරු ට දුරකතන ඇමතුමක් දෙද්දී නින්දේ සිටි එරන්ද නැගිට්ටේය.
‘ඔෆිස් යනවද
‘ම්ම්ම්ම්.. යන්නෝන .වැඩ ගොඩාක් තියනව හිර වෙලා. හෙඩ් ඔෆිස් එකේ කෑශ් ෆ්ලෝ එක එහෙම ‘අප්ඩේට් කරන්නෝන. අපේ මේ රටේ වෙන ඩ්‍රාමා ඒ මිනිස්සුන්ට වැඩක් නෑනෙ. ඉන්වෙස්ට් කරලා තියෙන අයට රිටර්න්ස් දෙන්න ඕන.
‘මාත් රෙස්ටොරන්ට් එක පැත්තට යන්නෝන
‘ඔයා දවස් ගාණක් හොස්පිට්ල් එකෙනෙ
‘හ්ම්ම්ම්ම්
එරන්ද ආයේ ඇදෙහි වකගැසී පොරෝණාව අස්සට රිංගා කෝට්ටයක් යට ඔලුවද සගවා
ත්තේය. ඇත්තටම මේ කම්මැලි කොලුවා දැක මතුවු සිනහවක්ද සමග මම වත්සුණු තවරා ගනිමින් සිටියෙමි. කන්නාඩි මේසය ඇතුලෙන් මතුවු එරන්දයෙක් මගේ පසුපසින් විත් මා බදා ගත්තේත් කොන්ඩයෙහි මුහුණ සගවා ගත්තේත් එවෙලේය.
‘වැඩට යන්නැතුව මෙහෙම්ම ඉන්නකො අදත්
‘ඔය පාලුවට කියන කතානෙ
‘හ්ම්ම්ම්ම් ඒක නං එහෙම තමයි … මං ඔයාට මොනා හරි හදන්නද කාලා යන්න
‘අනේ එපා … බබා
‘නැත්නම් ඉන්න මං මොනා හරි ඕඩ කරන්න ඩ්‍රයිවට කියන්න එන ගමන් අරන් එන්න කියලා
‘අනේ එපා …
‘මං දන්නවා ඔයා ගෙ ඔෆිස් එකට … ජාවා, ටකොබෙල්, බීන්ස් වගෙ පොශ් තැන්ටික ඔක්කෝම ලගයි කියලා..ඒකට කමක් නෑ.. ඔයාගෙ රෙස්ටොරන්ට් එකකුත් තියෙනවනෙ කමුබන් කියලා.. ඒකෙන් මොනා හරි කන්න අරන් යන්න..
මට ඇත්තටම හයියෙන් සිනාසෙන්නට සිදුවිය.
‘ඔයා දන්නවා ද එරන්ද .. ඒ රෙස්ටොරන්ට් එකේ කෑම වලට වඩා මං ආසඒකෙ නමට.. ඊට වඩා ඒකෙ ඉන්න …
‘කාටද ඒකෙ ඉන්න?
‘කාටවත් නෑ
කාර්යාලය ට යනවිට එහිතත්වය නම් වෙනස්කම් රහිත ව පැවතිණි. දවල් වෙද්දී චානක්‍ය එහි ආවේය. ප්‍රතිපාදන සලසන ඒජන්සි ය හදිසි සුම් හමුවක් කැදවා ඇතැයි. කීවේය. මදෙස උවමනාවෙන් බැලුවේය.
‘මෝනින් ගෑනු ළමය
‘මෝනින්.. ඔන්න ඔබතුමාට වැරදිච්ච පළවෙනි තැන.. මං රස්සාවක් හොයා ගෙන එන පොඩි වයසෙ ඡන්ද දායිකාවක් කියලා හිතෙන එක… එහෙම හිතල හිනා යන විදියෙ දේවල් ප්‍රපෝස් කරනෙක..
එහෙම මගුලක් නැතුව අපි මේක යාලුවො වගෙ කතා කරමුකො බිම්මා..
එසේ කියා ඔහු එලියට ගොස් රියදුරුට කිසිවක් කියනවා මම බලා සිටියෙමි.
‘අද කන්නෙවත් නැතුව ආවෙ මං උදේ.. ඔයා මේ ප්‍රොජෙක්ට් එක ඉවර වුණාම ලංකාවෙන් යන්නද ඉන්නෙ
‘හ්ම්ම්ම්.. දැන් මට ලංකාවෙ ඉන්න වෙන හේතුවක් නෑ.
‘ඇයි ඒ
‘හේතුවක් නෑනෙ
‘එහෙමම හිතනවා නම් බිම්මා, ඔයාට මට මේ උදව්ව ලේසියෙන් කරන්න පුලුවන් . අපි යුටියුබ් චැනල් එකේ වැඩ දැම්ම ඉවර කරගෙන හිටිය නම් ඉාලක්ශන් කෝල් කලාම ඒක හොදට මාකට් කරගන්න පුලුවන්. කිසිම ඡන්ද ව්‍යාපාරයක් එතන නෑනෙ. කාලීන සිදුවීම් එක්ක ප්‍රසිද්ධියට පත් වෙච්ච මිනිස්සුන්ගෙ වැඩසටහන් තමයි උන් කරන්නෙ මිනිස්සුන්ට හොදට රීච් වෙනවා.
‘දැන් ඔයා මට කීයක් ගෙවනවද ඔය ටික ගොඩ දාලා දෙන්න.
ඔහු මදක් තිගැස්සී ඝීයේය. මම මගේ ස්වරයේ වෙනසක් හෝ අඩු නොකළෙමි. බිම්මා කියා මගේ. හද අභ්‍යන්තරය මට බැණ අඩගසන්නට වගේ කතා කරනු මට ඇසිණි.
‘ඔයා දන්නවා හිතේ කැමැත්තක් නැතුව බොරුවට කසාද බැන්දා කියලා එහෙම කසාදයක් නොකැඩී ජීවිත කාලයක් පැවතුණත් ඒ මිනිස්සු දෙන්න ඒ කසාදෙ ඇතුලෙ සතුටින් නෙමෙයි ඉන්නෙ කියලා.
‘මං සතුටින් ඉන්නව බිම්මා..
‘ඒත් මං එරන්දට ආදරෙයි කියලා ඔයා හොදටම දන්නවා. වෙන මිනිහෙකුට පපුව දීලා ඉන්න ගෑනියක්ව තමන්ගේ කසාද ගෑනි කරගත්ත කියල තමන්ට ලැබෙන්නෙ උඹ ටඅයිති වෙන්න තිබුණු දෙයක් මං ගත්තා කියලා දැනෙන සතුට විතරයි.ඒකෙන්ද ඔයා සෑහීමකට පත් වෙන්න හදන්නෙ? ඒක හොදයි වෙන කිසිම අරමුණ ක් නැති මනුස්සයෙක් ට. තමන්ට වෙන කිසිම දේකින් ආත්ම තෘප්තියක් ලැබෙන් නැති නිසා. තමන්ගේ පරාජිත කම් වලින් ටිකක් හරි ඈත් වෙලා අඩු ගාණෙ තමන් ආදරේ කරනනව කියල හිතන ගෑනිව තමන්ගේ කරගත්ත කියන එකෙන් සතුටු වෙන්න පුලුවන්
මා කියද්දී චානක්‍ය පරාජිත බැල්මකින් මදෙස බැලුවේය. ඇත්තෙන්ම බලා සිටියේය.
‘මං සල්ලි වලට ජීවිතේ මායිම් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මේ ඔයාගෙ මෝඩ ප්ලෑන් නිසා මං එරන්දගෙ අම්ම තාත්ත ඉස්සරහ මට තියාගෙන හිටියඉමේජ් එක ගැලවිලා යනවා. මං ඒ අම්මටයි තාත්තටයි හරිම ආදරෙයි. එරන්දව ඔච්චර මනුස්සකමක් තියෙන මනුස්සයෙක් කරල හදන්නෙ ඒ දෙන්නයි. මට ඒ මිනිස්සුන්ව නැති වෙනව. මට ඒ මිනිස්සුන්ගෙ ආදරේ කවදාවත් මිල කරන්න බෑ. ඒත් මට ඒමිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕනෙ. මට ඒකයි සල්ලි ඕනෙ
‘සල්ලි නං සල්ලි.වෙන මොකක් හරි නං වෙන මොකක් හරි..
චානක්‍ය සැහැල්ලුවෙන් කීවේය. මට මේ ගණුදෙනුව කතා කරගන්නට උවමනා වුයේම වෙනෙකක් නිසා නොවේ. එකක් චානක්‍ය හා ඇගැලුම්ව නොබැදී සිටින්නට උවමනා වු හින්දාය. අනික් අතට මේ කැප කිරීම ට වටිනාකමක් තිබිය යුතු හින්දාමය.
‘මට ගම්පහ පැත්තෙන් ලෑන්ඩ් එකක් අරන් ඕන
‘ගෙයක්.. මං ගෙයක් ම හදල දෙන්නං..
චානක්‍ය පහසුවෙන් ම එකග වුවේය. සිනාසුණේය. මොන මොන ප්‍රතිපත්තිය තියාගෙන හිටියත් සමහර වෙලාවට නම්‍යශීලී වෙන්න සිදුවනවා කියන්නේ ඕකය.
‘එහෙනම් මං අර යුටියුබ් කරන කොල්ලට ටයිම් එකක් දෙන්නං.. පේපර් එකේ අයියටත් කියන්නං
මම හිස සලා නිහඩ වෙමි. අඩුම ගණනේ මේ තොණ්ඩුව මල් ගවසා ගෙළට දමා ගත යුතුය කියා මම තදින් විශ්වාස කරමි. චානක්‍ය මගෙන් ඔයා ලංකාවෙන් යනවා නම් ඇයි ගෙයක් හදන්නේ කියා ඇසුවේ නැත. ඒ වෙනුවට සැලකිය යුතු මුදලක් මගේ බැංකු ගිණුමට හුවමාරු කළේ ඔහුගේ වෙනමම මිතුරෙකුගේ ගිණුමකිනි.
‘ඒක ගිවිසුමක් .. ඔයාට ඕන නම් අපි ලෝයර් කෙනෙක් ළග ලියලා තියාගමු
‘නෑ.. එහෙම ඕන නෑ.
‘ඔයා මේ ගිවිසුම ගහන්නෙ පොලිටික්ස් කරන කෙනෙක් එක්කනෙ.
‘කමක් නෑ. මං චානක්‍යව විශ්වාස කරන්න කැමතියි මේ වෙලාවෙ
සවස ගෙදර යද්දී , එරන්ද එහි සිටියේ නැත. මිහිර මා අමතා හවස පොඩ්ඩක් සෙට් වෙන්න ඉන්නේ ඔයාත් එනවාදැයි ඇසුවේය. මම නැතැයි කීවෙමි. එරන්ද මට බෙරි කරගත් මුහුණ ක් එවෙලේම වට්සැප් කළ බැවින් දෙදෙනා එක තැනක සිටිනවායි අනුමාන කරන්නට හැකිවිය.
බොහෝ කාලයකට පසුව මම බැල්කනියේ හිදගෙන ඔහේ ඈත බලා සිටියෙමි. දැන් ජීවිතය පැමිණ තියෙන තැන ගැන මා ස්තුතිවන්ත විය යුතුයිද? අවසානයේ,එකිනෙකාට පොරොන්දු වූ පරිදි ගම්පහට ආසන්න ඉසව්වක නිවසක් මිලදී ගැනීමේ අරමුණින් එක් එක් ඉඩම් සහ දේපල විකුණන සමාගම් වල දුරකතන අංකත් සොයමින් සිටියෙමි .
සියල්ල පසෙක දමා තව මොහොතකට කල්පනා කරමි. විටෙක මට මගේ ජීවිතය ගැන දැනෙන්නේ කේන්තියකි. මම හැද සිටින අත් රහිත ඇදුමට උඩින් කමිසයක් දමා ගතිමි.කොන්ඩය ඔහේ තිබුණාවේය. පසුම්බියත් පහසු ඇවිදින සපත්තුත් දමාගෙන මිහිරගෙන් ඉන්නේ කොහෙදැයි විමසීමි. බම්බායි පිළිතුරු ලැබිණි. මා හිතා ඉන්නේ මේ හැමදේම මිහිරටත් එරන්දටත් කියා අහවර කළ යුතුය කියාය. කුලි රිය තුලදී හිතුවේ කතාව පෙළගස්වන්නටය.
මොනවාද මං කියා අවසන් කරන්නේ? හැමදේම ! මුහුදු වෙරළේ රවුම් මේසයක් තියාගෙන ඒ දෙදෙනා බෝතලයකින් අඩක් පමණක් හිස් කර දෙන්නාට දෙන්නා දිහා බලාගෙන සිගරුට් පුලුස්සනු මම ඈත සිට බලා සිටියෙමි. මම කරදිය ගඳ දැනෙන මුහුදු හුලගේ ඔවුන් දෙසට ඇවිද ගියෙමි.
එරන්ද සිටියේ මට පිටුපා හිදගෙනය. මිහිර මා එතැයි අනුමාන නොකළ බව ද දැන සිටියෙමි. හොල්මනක් වාගේ හුලගට යන කෙහෙරැලිත් ඉගිල්ලෙන්න හදන උඩු කමිසයත් ගවුම් වාටිත් එක්ක මේ කෙල්ල මේ කොහෙන් පහත් වීදැයි හිතෙන මිහිරගේ බැල්ම මගැර මම එරන්දගේ ඇස් මගේ දෝතින් වසා ගනිමි.
තිතක් තරමට කලබල නොවී දෝතින්ම දෑත අල්ලාගත් එරන්ද ආපහු හැරුණේ නැත.
‘ටිකක් වෙලා ඉදලා හුරු සුවදක් දැනෙද්දි මං හිතුවා ඒක කොහොමද වෙන්නෙ කියලා.
‘බිම්මගෙ පර්ෆියුම් එක ගණන් නෙ
‘අනේ විහිලු කරන් එපා..
මිහිර කමුබන්හි කොලුවෙකුට අඩගසා තවත් වීදුරුවක් ගෙන්වාත්තේය. මදිපාඩුවට අල තීරුත්! බිව්වත් නැතත් කන්නට දෙයකි.
‘ඉතින්, අද කොහොමද බබා වැඩ?
‘එරන්ද මදෙස බලා ඇසුවේ ආදරබර හඩකිනි.
‘අවුලක් නෑ ඉතින්.
‘චානක්‍ය ආවද?
මට එකවරම පිළිතුරු දෙන්නට නොහැකිව ගියාක් මෙනි. මට බය හිතුණේ චානක්‍ය අපේ කතාව අකුරක් නෑර එරන්දගේ කණේ තියා ඇතැයි සිතාය.නමුත්, පසුව මට එය එසේ නොවිතැයි ප්‍රත්‍යක්ෂ විය
‘ආවා.
‘මොනවද දෙන්න කතා කරගත්තෙ. ප්‍රශ්නෙ විසඳගත්තද?
සැර මත්පැන් බිඳක් යාන්තමට තොලෙහි තවරා ගනිමින් මම එරන්දගේ ඇස් අල්ලා ගන්නට වෙහෙසෙමි.අඩ අන්ධකාරයේද ඔහු මගේ ඇස් මගාරියි.
‘මං එයා එක්ක කවර් පේජ් එකට එන්නං කිව්වා. යුටියුබ් වැඩේටත් හා කිව්ව. ඉලෙක්ශන් ඉවර වෙනකම් ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට ඉන්නං ත් කිව්වා. මැතිවරණ වේදිකාවලට නං එන්න බැහැ. හැබැයි කැන්වසින් යද්දි වාහනේ ළගින් වාඩිවෙලා යන්න එන්නං කියලත් කිව්වා.
මිහිර අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේය. මේ වෙනදේ අගක් මුලක් ඔහුට නොතේරෙයි. කණට ඇහෙන ඇහැට දකින දේකට මිස සිද්ධි විශ්ලේෂණය කර තීරණ වලට ටගඑළඹෙන්නට නම් ඔහු අකමැතිය. සුදු නංගීත් කියන්නේ මට දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා ය කියා මිස මිහිරට දැන් ළමයෙක් ඉන්නවා කියා නොවේය.
ඔහුගේ දුරකතනය නාද වන්නට පටන් ගත් අතර , ගෙදරින් කියා ඔහු එය ඇමතුවේය. හිටිවනම පුටුවෙන් ඉබේ නැගිටුණේය.
‘නෑහ්… මේ.. දැන්ද? ජාන්ට කොහොමද? තුවාලද?
මට මගේ කණ් අදහා ගන්නට නොහැකිය. ජාන්! මට ඇත්තටම ඇහුණේ එහෙමද?
‘ඇයි බං? මොකද්ද ජාන්ට වෙලා තියෙන්නෙ..
ඇසුවේ එරන්දය.
‘ ඇනිබලා …අර සුදු නංගී හදන තඩි පූසා .. ජාන් නිදාගෙන ඉන්න ඇදට පැනල බං
‘අප්පට සිරි…
මම ඇස් නළලේ තියාගෙන හිදිමි. ඇනිබලා වගේම ජාන්ද දැන් මට ප්‍රශ්නය කි. ඇනිබලා අත් හරින්නට පුලුවනි. ඒත් ජාන්! ජාන් සොයා කමුබන් එක දිගේ ආ මගේ සංචාරය මෙතෙකින් අවසන්ද?
ඒ කියන්නේ මිහිරත් එරන්දත් අචලත්ලහැරුණු කොට ජාන් කෙනෙක් වෙනමම ඉඳලාද? යම්තමින් තොල ගෑ මත් පැන් නිසා නොවෙ. මට මොළයේ සෛල තිබුණු තැන් ගැන හිතාගනු නොහැකිය. ඒ තරමට මොළය විකාරය.
‘මොකක්ද. වුණා කිව්වෙ
‘ඇනිබලා…. අර ගිත්මි හදන තඩි පූසා. ඌ ජාන් නිදන් ඉන්න තැනට පැනල..
‘ජාන් කියන්නේ
‘ඇයි අනේ ජාන් අපේ පුතු පැටියානේ….
මිහිර කීවෙ ඔයා ඒක තාමත් දන්නෙ නැත්ද වගෙ නෝක්කාඩු මුහුණ කුත් මවාගෙනය. ඇත්තටම මගේ දෙපා වල ඇගිලි හෙලවෙන්න පටන් අරගෙන තියේ. ජාන්! බිලිඳු ජාන් ගැන කතාවක් නැත. මේ අනම් මනම් ප්‍රශ්න හින්දා මට කොලු පැටියාව දැකීම මග හැරී ගොස් ඇත. වැඩියෙන් ම අවට පරිසරයේ තවමත් පවතින කොවිඩ් අවදානම නිසාම මා බබා බැලීම කල්දමමින් සිටි බවය සත්‍යය.
ආයෙත් මෙය නමක් දැමීම ගැන ප්‍රශ්නය කි. පිරිමි දෙදෙනා සුදු නංගීව පතුරු ගසන්නේ අම්මා කෙනෙක් වුනාම ඔයිට වැඩිය තමන්ගේ දරුවා ගැන සැලකිලිමත් වෙන්නට ඕනා බව කියමිනි. මම සාගරය දෙස විස්මයාන්විත ව බලා හිඳිමි. උදම් රළෙහි ඇති විශ්වීය බල ස්කන්ධය පුදුමාකාරය. මේ අප වටා කැරකෙන්නේ ඒ ශක්ති ප්‍රභවයන්ද?
‘ඇයි පුතාට ජාන් කියන්නේ ?
එරන්ද ත් මිහිරත් බීමත් කතාවත් නවතා මදෙස බැලුවේය.
‘බිම්මා, ඔයා බීලත් නෑ.
එරන්ද වහා මදෙසට හැරුණේ මත් වෙලාත් නැතුව විකාර කියවන්නේ ඔයා හොද සිහියෙන්ද? නැත්නම් මේ ගෑණි හිටිය ගමන් ට්රැක් අවුට් ගියාද වගේ අහන්නට වාගේය. මටද මගේ වික්ෂිප්ත බව වැටහිණි.
‘ජාන් කියන්නේ හින්දියෙන් මුලු ජීවිතේම/ පණ වගෙ තේරුමක් ඇතුවනෙ ඉතින්. ගිත්මිටයි මූටයි පුතා කියන්නේ ජීවිතේමනෙ…
‘මම හිස සැළුවෙමි.
‘ඔයාද ඒ නම දැම්මෙ?
මම මිහිරගෙන් ඇසුවෙමි. මිහිර මදෙසත් එරන්ද දෙසත් අමුතුවට බැළුවේය. හිස වැනුවේය. මම හායි කීවෙමි. මිහිර ජාන් මය කියා කිවහැකි සාධකයක්එවෙලෙ මා අතට හසුවිණි. එය මේ වෙරළේ මා ඇවිදිද්දී පයේ හැප්පෙමින් තියෙන්නට ඇත. මා එරන්දටම වශීවී ඔහු දෙසට කාන්දමක් වගේ ඇදී යද්දී මටම මගෑ රෙන්නට ඇත.
‘තවත් බොන්න බෑ..
මම හෙම්බත් හදවතින් කීවෙමි. එරන්ද වගේම මිහිරද විස්මයෙන් බලද්දී ඇවිද යන්නට පටන් ගත්තේ මුහුද දිසාවටය. වැලි බිම්මක වාඩිවී කළු රළු දල සාගර දිය වෙරළ ට ඇවිත් යන අයුරු දකිමි. ජීවිතය අවුලකද. නැත. අවුලක් නම් කොහොමටත් නැත. හැමදේම ලිහෙමින් තියේ.
මතකයන් වල හිටි හුරුබුහුටි ජාන්, මිහිර වගේ තරුණයෙක් බවට රූපාන්තරණය වීම ය විශ්වාස කිරීම අපහසු. ඒක චැට් කතා වලදී අසාමාන්‍ය නැත. ඇගිලි තුඩු අගින් හිත් කියවන්න බැරි කාටද? එයට අනන්‍යතාව ක් වාසගමක් නමක් උවමනා කාටද? අනික් අතට මිහිර ගැන මා කිසිම කිිසිවක් දන්නේද නැත
එරන්ද කලුවරේම පැමිණ මා ලග වැල්ලේ හිදගත්තේය. සිගරැට්ටුවක් දල්වා උගුරක් බී දුම් වලලු පා කරන්න පටන් ගත්තේය.මා දකුණත දිගු කළද, ඔහු සිගරැට්ටුව මට නුදුන්නේය.
‘ඕන් නෑ…
‘ඕනෙ
‘එපා බිම්මා..
‘ඇයි ..
‘හොඳ නෑ..
‘මොකක්ද හොඳ නැත්තෙ
‘ලමයෙක් හදන්නෝනනේ කවද හරි
‘ස්මෝක් කරන ගෑනුන්ට ළමයි හම්බෙන්නැද්ද
‘අනික් අය මට අදාල නැහැ
මම දෙදණෙ නිකට හොවා බලා ඉමි. එරන්ද බැරිම තැන සිගරැට්ටුව මවෙත පෑවේය.
‘මට එපා දැන්.. පොකුණෙ දාලා වගේ තෙමලා ඒක
‘සිනහවක් ඇසිණි.
‘පොකුණෙ? මට නෙ කියන්නෙ ඉතින් නේහ්.. විල් පොකුණු වැව් මුහුදු ගැන මං හොදට දන්නව
‘දන්නව දන්නව දන්න බව
වැලි අස්සේම ඔබා සිගරැට්ටුව නිමා දැමු පෙම්වතා, මවෙත හැරිණි.
‘අර චානක්‍ය එක්ක කතා කරගත්ත ඒවයින් කැන්වසින් යනකොට එයා එක්ක යන්න ඔයා කැමති වුණෙ ‘මොකටද?
‘මම නිහඩව සිටියෙමි.
‘ඔයානෙ මට එයාව බඳින්න කියන්නෙ
‘බඳිනව කියනෙකයි මේකයා වෙනස්නෙ
‘දැන් ඉතින් මං එයාගෙ ඡන්ද ව්‍යාපාරෙට සපෝට් කරන්න පොරොන්දු වෙලා ඉවරයි
‘ඒක ඒ තරමට දුර දිග ගියා එහෙනං
එරන්ද කියා ගත්තේ තමන්ට ම වුනත් මට ඒ වචන කඩු පහරවල් සේ දැනිණි.
‘මොකක්ද කිව්වෙ ඔයා..
‘නෑහ්…
‘ඔයා මොකක් හිතාගෙනද කිව්වෙ ඒක…
‘නෑ බිම්මා. ඔයා ගැන නෙමෙයි. මං …
‘මං ගැන නෙමෙයි නම් මොකක්ද ..මොකද ඔයා චානක්‍ය ගැන වද වෙනවද
‘මං හොදට දන්නවා ඔයා ගැන. ඔයා ඒක කිව්වෙ. මට..
‘අනේ රත්තරන් කෙල්ලෙ.. තරහ ගන්නෙපා. ඔයා පිපිරෙන්න ගත්තම මගෙ කොන්ඩෙ ගලවල ශර්ට් එක ඉරල පිස්සු කෙලින්න ගත්තම මට මෙතන ඔයාව කන්ට්රෝල් කරගන්නම බෑ.
‘ඒ මිනිහට මාව බන්දේසියෙ තියල පුදල මෙතන දැන් බයිල කතා කරනව
‘ඒවා නෙමෙයි.. තවදුරටත් මට එහෙ ඔයා ගාව ඉන්න බැරිවෙයි…
‘ඇයි.. ඒ මොකද
‘ඒ අපාට්මන්ට් එකේ ත් මිනිස්සු ඉන්නවා .. චානක්‍යගෙ කෙල්ල තව කොල්ලෙක් එක්ක ඉන්නවා කිව්වාම ඒක පට්ට අවුලක් නෙ..
‘එයාට මට ඒතරම් නීති දාන්න බෑනෙ
‘එයාට පුලුවන් බිම්මා.
මගේ හදවත නතර වූවාක් මෙන් මට දැනිණි. එරන්ද නැතිව ඒ ගෙදර හිදීමට සිදුවීම දරුණුතම සාපයකි. එය දෛනිකව ඉහිළිය හැකි තරමේ එකක් නොවේ. පොහොය කාලයකට නියම්ත දින ගණනින් පසු එළඹෙන අන්තිම දරුණු දවස් වලට ද පහුගිය කාලයේ ඔහු මා අසල සිටියේය. නාන කාමරය හැමවිටම පිරිසිදු කර සුවඳ කාරක ගෙනැවිත් බදුන් වල ඒවා බහා තැබුවේය.
‘මේ දවස් වල ඔයාගෙ යස්සනී මොඩ් එක කොයි වෙලාවෙ ඔන් වෙයිද දන්නෙ නෑ. මං චොක්ලට් ගෙනැත් දාලා ඇති ෆ්රිජ් එකට..
‘බේජ් කලර් ට්රවුස එක අදින්නෙපා .. මං කලු එකක් අයන් කරල තියලා ඇවිත් ඇති..
ඒ කෙටි පණිවුඩයකි. එවැනි මතක ගුලියක් බම්ප් වෙන්නට පටන් ගත් හිතේ ඈතින්පහිටිය අපි වෙන්වීමකට බිය වුනෙමු. වහා ළං වුයෙමු.
‘චානක්‍ය ගෙ වැඩ ටිකට අපි හෙල්ප් කරමු…හම්බ වෙන්න ගෙදරම ඉන්න ඕනෙ නැහැනෙ..
‘පිස්සුද ඔයාට.මට ඔයා නැතුව එහෙ ඉන්න බෑ
‘එහෙනං ගේ මාරු කරමු
මට එරන්ද ගේ මේ තීරණ වලට කිසිවක් කියන්නට හිතෙන්නේ නැත. විසි ගණන් වලදී හිතට දැනුණා ය හිතා උන් පිරිමියා යළිත් හමුවී හිතට දැනෙනවාය මම හිතා හිටියෙමි. නැත. ඉතින් මේ අහම්බෙන් එළිවු ජීවිතය පුරා හෙව් රහස් අනන්‍යතාව එළිවි අවසන්ය. මා ආවේ මේ දෙදෙනාට ඇත්ත කියන්නටය. දැන් කිසිසේත්ම මට මිහිර ජාන්ය යන ඇත්ත හෙළිදරව් කළ නොහැකිය.
‘රෑ වෙනව ගෙදර යං
එරන්දම මා නැගිටවු අතර , මිහිර සමග කමුබන් එක වසා දමා ඔහුවද නිවසට ඇරලවා අපාට්මන්ට් එකට ආවෙමු. තරුකැට ටිකක් විහාර මහා දේවි උයන මත්තේ හළා හඳත් අඩ අඩා එනු දිටිමි. ඇවිත් වනාතමුල්ලේ මට කෙලින් අහසේ හිට ගත්තේය.
එරන්ද වෙහෙසිණි.
‘උදේම රෙස්ටොරන්ට් එකට යන්න ඕන .. තුනටවත්. නමය වෙද්දි ඕඩර් එකක් දෙන්නෝන ලොකු සෙමිනා එකකට. ඇඩ්වාන්ස් අරං තියෙන්නෙ
‘එහෙනං බොන්න ගියෙ
‘කොල්ලොනෙ මැනික
ඉණ වටා අතයවා ඇදට වැටි සැණින් නින්දේය. මම ඒ මුහුණ දෙස බලාගෙනම හිඳිමි. මට දැනෙන හැගීම පහදා කියන්නේ කාටද? මේ පුලුල් නළලේ , ඒ රෝස දෙතොලේ දැවටි දැවටි ගෙවු කාලය අවසන්ද නොදනිමි.

No comments:
Post a Comment