#DT
24
ඩැෆඩිල් ටෙරස්හි පළමු දවස අසාමාන්‍ය විද දෙවෙනි තුන්වෙනි දවස් වන විට උදෑසන නැගිටීම කාර්යාලයට පැමිණිම යළි හවස්වි ලගපිවිසුම් දොරටුව ළගට චාරුදර මා ගෙනැවිත් ඇරලවීම සාමාන්‍ය සිදුවීම් බවට පත්විය. මලියෝනා ගේ කෑම වේල් වෙනස් සහ වඩාත් සෞඛ්‍යාරක්ෂිත ඒවා වු අතර ඒඩ්න් සහ නුර් හිටි හිටි ගමන් අහුමුලු වල මුණු මුණු ගාමින් සිටිනු මගේ විචක්ෂණශීලී ඇසට හසුව තිබිණි.
ඒඩ්න්ගේ පෞරුෂය සමග සසදා බලන විට නුර් සහ ඒඩ්න් අතර ඵලසහිත සම්බන්ධතාව ක් පැවතිය නොහැකි බවට මම අනුමාන කළෙමි. නුර් වැනි අතිශය සරාගි පෙනුමැති ගැහැනියක් හමුවේ දපනේ වැටීම ඉතා සාමාන්‍ය දෙයකි. එහෙත් නුර් හැසිරුණේම ඒඩ්න් පිලිබඳ මායාවකට හසුව සිටින ආකාරයකිනි.
දවසක් සෙනසුරාදා උදෑසනක මා සිටියේ ඔෆිස් යන්නට සුදානමිනි. ඩැෆඩිල්ස් කාමරය යනු ඩැෆඩිල් ටෙරස්හි ආලෝක ධාරා වැඩියෙන්ම පතිත වන කාමරයලු. මා ඒ ඇසුවේ මලියෝනාගෙනි. වෘක තරුණයෙකුගේ ජීවිතය පිලිබඳ වඩාත් විස්තර සහිත ඩොකියුමෙන්ට්රි පික්නික් එකක් මා රැගෙන යාමට චාරුදර පොරොන්දුවි සිටියි.
"හදිසියේ වත් ඔයා තීරණය කළොත් පැක් එකට එකතු වෙන්න.. මේවා ඔයාට බලාගන්නෙක හොදවෙයි"
"හදිසියේවත්" යන වචනය භාවිතා නොකිරිම හොදය. මා ඇල්ෆාවෙකි. රංචුව මෙහෙයවන්නට උපන්නියකි. එහෙත් මා බියගුළු වෙමින් වෘක ජාන ඇක්ටිව් නොකරම සිටින්නට තීරණ ගෙන අවසානය.
“චාරු..”
“ම්ම්”
“ප්‍රශ්නයක් තියෙනවා”
“කියන්න ඉතින්”
මම මොහොතකට කල්පනා කළෙමි.
“ ඔයාගෙ ප්‍රශ්න විසඳන්නම තමයි මම මේ ලෝකෙට පහළ වෙලා ඉන්නෙ..”
චාරුදර මා වෙත ආවේ ලිපිගොනුවක් වෙනත් තැනක සිට තවත් තැනකට ගෙන යන ගමන්ය. ඒ පැමිණ මාගේ මේසය ඉදිරියේ දැත විහිදා තැබුවේය. මට ඇත්තටම සිනාවෙන්නට වත් මොහොතකට අමතක වෙයි. ඉම්ප්‍රින්ට් වීමක් සමග ජීවත් වීම පහසු නැත. එකිනෙකාගේ ඇස් මත්තේ එකිනෙකා සහමුලින්ම මුද්‍රණය වීම ඒක අමුතුය. අපි අපේ ඇස්වලින් හිතින් එකිනෙකා වැළඳගන්නෙමු.
“මං ට්‍රාන්ස්ෆෝම් වුනොත් මට පුලුවන් වෙයිද අම්මා කෙනෙක් වෙන්න”
චාරු සිනාසුණේ මේසය දෙස බලාගෙනය. මම ඔහුගේ මුහුණ බලාගෙනම සිටියෙමි.
“ඇයි බැරි..අපේ කට්ටිය අම්මලා නොවුණා නම් අපි මේ ලෝකෙට එන්නෙ කොහෙමද”
“අම්මලා හැමෝම ට්‍රාන්ස්ෆෝම් වෙන්නෙ නෑනෙ”
“ඒක චොයිස් එකක්නෙ තීනු..”
“ඔයා හිතන්නෙ මං කරන්නෝන හොඳම දේ මොකක් කියලද”
“ඔයාට අයිති තීරණයක් ඒක.. ත්‍යාග ත් එක්ක තිස්අට දෙනෙක් ඔයා ට්‍රාන්ස්ෆෝම් වෙයි කියලා බලාගෙන ඉන්නවා..”
“ත්‍යාග වෙනුවෙන් ට්‍රාන්ස්ෆෝම් වෙන්න මට බෑ”
“ඒත් එයා තමයි ඔයාගෙ උරුමක්කාරයා”
“ඒත් මං එයාගෙ උරුමක්කාරි නෙමෙයි”
“අනාවැකි වැරදෙන්නත් පුලුවන් කියලා මං හිතන්නෙ අන්න ඒ වගේ වෙලාවලයි”
සවස චාරුගේත් මගේත් ගමන අවලංගු වෙන්නට හේතුවුයේ හේමන්ත බොස් චාරුදරත් රැගෙන පැය හයකට ආසන්නතම නගරයේ ඇති කාර්යාලිය ශාඛාවකට යාම නිසාය. මම වේලාසනින් ඩැෆඩිල් ටෙරස් වෙත ගියේ හිමකරත් බලන්නට බංගලාවටත් ගොසිනි. මලියෝනා මල් වගාවක් බලන්නට ගොස් සිටි අතර නුර් එක් විසිත්ත කාමරයක සෝපාවක වාඩිවි පොතක් කියවමින් සිටියාය. මා කාමරයට ගොස් විවේකීව ඇඳට වී ෆේස්බුක් එකේ සැරිසරමින් සිටියදී කාමරයේ දොරට තට්ටු කරන හඩ ඇසිනි. නුර්ව මේ කාමරයට වද්දා ගන්නට නම් මා කොහොමවත් කැමති නැත. එහෙත්, දොරෙන් පිටත සිටියේ ඇයයි.
“ ඔයා සැපට ඉන්නවා නේද”
මම මුව අගින් සිනාවෙමින් ඇය ඇසු ප්‍රශ්නයේ දිග පළල මායිම් ගැන සිතුවෙමි.
“සැපට?”
“හ්ම්... ඔයා දන්නවද මේ කාමරේ මට දෙන්නයි ඒඩ්න් හිතාගෙන හිටියෙ”
“ඉතින් නුදුන්නෙ?”
“ඔයා නිසා”
“මං මේ කිට්ටුවකදි ආපු කෙනෙක්නෙ”
නුර් මදෙස බැලුවේත් ඇගේ ඇස් වල නුරාව වැගිරෙද්දීය. මට නිකම් මොකක්දෝ අමුත්තක් දැනෙයි. ඇය මොන වර්ගයට අයත්දැයි නොතේරෙයි.
“ ඔයා ඇත්තටම දන්නව ද ඒඩ්න් කවුද කියලා..”
“ මං හිතන්නෙ මං දන්නවා”
“එයා අවුරුදු සිය ගණනක් වයස වැම්පයර් කෙනෙක් කියලා ඔයා දන්නවද තිනෙත්මා?”
මම මේ දේවදාර උයනට ආ පසු මේ කතා එකකට එකක් ගළපාගෙන තිබේ. නමුත් බිය කියනෙක මගේ හිසැතුල හිදගෙන හිස එසෙව්වේම නැත. මේ මොහොතේ ඔන්න එය පොළොං පැටියෙකු සේ කොළ පාට වී උඩ පනින්නට පටන් ගත් අතර මා දරුණු ලෙස කුඩා කුඩා හැපීම් වලින් අඩපණ කරන්නත් පටන් ගත්තේය. ඒත් තීනු, ඔයා ඇල්ෆා කෙනෙක් ඔයාට බෑ කිසිම දේකට බය වෙන්න මගේ හිත තුල වෘක ආත්මයක් නළියමින් සිටියි.
“ඔව්. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි”
“ඒත් ඒක එයාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඔයා දන්නවද වෙයාවුල්ෆ් කෙනෙක් ගෙ එක බයිට් එකකට පුලුවන් වැම්පයර් කෙනෙක්ගෙ පැවතිම නැතිම කරලා දාන්න”
“ඉතින්”
“ඉතින් ඔයා මේ ගෙදර ඉන්නෙක ඒඩ්න්ට ලොකු අවදානමක්”
“ඉතින් ඒඩ්න්ට ඒක ප්‍රශ්නයක් නෑනෙ”
“ඔව් ඔයා ඔයාගෙ ජින්ස් ඇක්ටිව් කරගන්නැති තාක් ඔයාට ඒක බලපෑමක් නෑ.ඒත් ඔයා ට්‍රාන්ස්ෆෝම් වෙන්න පටන් ගත්තාම ඒඩ්න්‍ට ඒක මරණිය තර්ජනයක්”
“හරි ඉතින් ඒක අපි දෙන්නට කතා කරගෙන විසදගන්න පුලුවන් වෙයි”
“තිරිසන් වෘකයෙක් එක්ක මොන ඩිස්කශන්ස් ද”
“දැන් නුර් ඔයා මේ ගෙදර මේඩ් නේ.. ඔයා මොකටද ඒඩ්න් ගැන ඒතරම් කලබල වෙන්නෙ”
නුර් මදෙස බැලුවේ සිනාසෙමිනි. වරෙක මේ නුර් ගැන මගේ සිතේ භීතියක් ඇතිවෙයි. මැලේ පාට ඇස් දෙකක් ඇතත් ඇගේ දෙතොල පිරිපුන්ය. ඇගේ කම්මුල් ඉටි වාගේය. සුන්දරය.
“හ්ම්ම්ම්.. මං මේ ගෙදර මේඩ් වෙන්නෙ ඒඩ්න්ගෙ උවමනාවට. මලියොනා කියන්නෙ ඒඩ්න් එක්ක මෙහෙට පැනලා ආපු ඒඩ්න්ගෙ පරම්පරාවෙ අන්තිම මනුස්සයා. මොකක් හින්දා හරි එයා කසාද බැදලා ළමයි හැදුවෙ නෑ.. ඒඩ්න් වැම්පයර් කෙනෙක් කියන්නෙ එයාට කවදාවත් එයාගෙයි කියලා ළමයි හදන්න බෑ. පීටර්ස් පරම්පරාවෙ අන්තිම මනුස්සයා විදියට මලියෝනයි ඉතිහාසගත්වෙන්නෙ”
“ඉතින්”
“ ඒඩ්න් වයසට නොයන එක නෝටිස් වෙන නිසා ඒඩ්න් ට ගොඩාක් කාලයක් එකම තැනක ජීවත් වෙන්න බෑ. එයා ඉමෝටල් මිනිහෙක් කියලා දැනගත්තෝත් ලංකාවෙ දේශපාලනය කරන මිනිස්සුම එකතු වෙලා ඒඩ්න්ව මරලා දාවි.”
“ඉතින් ඔයාගෙ බලාපොරොත්තුව මොකද්ද”
“දවසක මං මේ ඩැෆඩිල් ටෙරස් එක මගේ කරගන්නවා. මං තරුණ කාලෙ පුරාම මං මේකෙ ඒඩ්න් එක්ක ජීවත් වෙනව”
“ඉතින් මාව ඒකට කරදරයක් වෙන්නෙ නෑ”
නුර් හාත්පස බැලුවාය. ඇගේ ඇසට කාමරයේ හැමතැනක්ම හමු වුවැයි මට සිතිණි.
“මේ කාමරේ ඇතුළේ අමුත්තක් දැනෙන්නෙ නැද්ද”
මමත් ඒ ආකාරයෙන්ම කාමරයේ හතර කොණම නිරික්ෂණය කළෙමි.
“නෑ”
“ඒ ඔයාටත් ඒකිගෙ ජානම තියෙන නිසාද කොහෙදෝ”
“ඒකි... ? කවුද ඒකි?”
“හ්ම්... ඒඩ්න්ගේ සදාතනික ආදරේ... ඒඩ්න්ගෙ ඇග හොලවන්න කොයි ගෑනිටත් පුලුවන්.. හැබැයි ඒඩ්න්ගෙ හිත හොලවන්න පුලුවන් වුනෙ මේකෙ තාම ඉන්න ගෑනිට විතරයි.. “
සුළං රැල්ලක් විදියට මුලින් කාමරයට කවුලුවෙන් ගලා ආ හීතල හුලඟ වින්චයිම්ස් ඔක්කෝම හොළවන්නට පටන් ගත්තේ එකම තාලයකටය. නුර් ගැස්සුණාය.
“ඔන්න පටන් ගත්තා” ඕ මදෙසද යාන්තම් බලා කීවාය. කාමරයේ හැම දෙයක්ම ඒ සුළගේ පාවෙන්නට පටන් ගත්තේය. නුර් වටේටත් මා වටේටත් අරුමයක් වෙමින් පැවතිණි.
“ඔන්න ඔය කන්නාඩි මේසෙ තියෙන ලාච්චුවෙ ඒකිගෙ කාලකණ්නි ඩයරි එක තියෙනව.. මට ඒක අල්ලන්න දෙන්නෙ නෑ. මගේ අත් පුච්චනව. ඒ මුසලි නිසා තමයි ඒඩ්න් දේවදාර උයනට දුශ්ටයෙක් වුණෙ. මේකිට ආදරේ කරපු නිසා.. මේකිව දේවදාර උයනෙන් උස්සන් ආපු නිසා මෙහෙට.. සදාතනික ආදරේ සදාතනික ආදරේ කිය කිය පරෙස්සම් කරගත්ත තරම තමයි”
නුර් කාමරයෙන් එලියට ගියේ බඩුමුට්ටු ඇගේ ඇග වටා දරුණු ලෙස කැරකෙන්නට පටන් ගත් නිසාය. මට හුස්ම ගන්නවත් නොහැකි පුදුමයකින් මම බලා සිටියෙමි. සෙමෙන් සෙමෙන් වින්චයිම වල චලනය නැවතිනි. දිගු හුස්මක් අත්හැර මම ඊලග පුදුමයට සුදානම් වෙමිනි. මේ හැම දවසකම ගෙවී යන හැන්දැවක අම්මා මට කතා කරමින් විස්තර විමසන අතර අම්මාටත් උත්‍රා අක්කාටත් මම මේ කිසිවක් නොකියා හිඳින්නට ප්‍රවේශම් වුණෙමි.
ඒඩ්න්, ඔහු ඔහුගේ ඊළඟ ව්‍යාපාර කටයුත්තට සුදානම් වෙමින් හිඳියි. එබැවින් මේ දවස් වල ඩැෆඩිල් ටෙරස් ගැන ඔහුගේ අවධානය අවමය. කොහොම වුනත් මේ වැම්පයර් කතාවේ දිග වගේම පළලත් මා ඔහුගෙන් අසාගත යුතුව තියේ. මට ඒ ගැන තියෙන එකම සාක්ෂිය නම් එදා රාත්‍රී සමාජශාලාවේදී මගෙන් ගත් ලේ පිරුණ සිරින්ජරය දැක කලබල වීමය. එහෙම නම් ඒඩ්න් ලේ දකින්නට බැහැයි කියා මගැර ගියේ එබැවිනි.
නුර් කුමන වර්ගයට අයත්දැයි මා දන්නේ නැත. ඇයට උවමනා ඩැෆඩිල් ටෙරස් අයිතිකරගන්න බව මම දනිමි. එපමණකි. මේසය මත තියා ඇති කුඩා ඕනමන්ට් එක ඉබේ සෙළවෙන්නට පටන් ගත්තේය. එය වීදුරු ගෝලයක් බවත් එතුළ කුඩා මගුල් ජෝඩුවක් අශ්ව කරත්තයක් මත නැගි සිටිනා අනුරුවක් ඇති බවත් මා කලිනුත් කියා ඇත.
මම වඩාත් ළංවී බැලුවෙමි. ඒ කුඩා අනුරුවෙහි මගුල් ජෝඩුවගේ මුහුණු වල සමීප ව දර්ශනය කළ හැකි හැඩතල ඇති බව මා දුටුවේ ඇත්තෙන්ම ඒ තත්පරේය. මනමාලයා ගේ මුහුණ ඒඩ්න්ගේම මුහුණට සමානය. මනමාලිය මා දැක නැත. ඇගේ මුහුණේ ඇස් එක වරම ඇහිපිය ගැහුවා වගේ යමක් මගේ ඇහැට අසු විය. එහෙත් මේ සියල්ල මගේ මනෝ විකාර යැයි විශ්වාස කරමින් මම භ්‍රාන්තියට පත් නොවී සිටීමට උත්සාහ කළෙමි.
නුර් කී ඇගේ , එනම් මේ ඩැෆඩිල්ස් කාමරයේ අයිතිකාරියගේ දිනපොත ඇති තැනට මා යවන ලද්දේ කුතුහලය විසින්මය. මට දැනගන්න බොහෝ දේ මෙහි තියේ. සමහරවිට ඒ දැනුම ම මට මේ විශ්ම විල තරණය කරන්නට පහුරක් තනනු නොඅනුමානය.

No comments:
Post a Comment