Monday, November 7, 2022

චිම්නි කෝපි 19

දහ නව වන කෝපි කෝප්පය​


ඉතින් වාහනය හුරු පාර දිග ඇවිද ගොස් අපාට්මන්ට් රිය අංගනයෙහි නතරවිණි. අපි එකිනෙකාගේ ඇඟිලි දවටාගෙන නිවාසයේ දොරටුව තෙක් සංයමයෙන් ඇවිද ගියෙමු. ගෙදර දොර ඇර අප එතුළට පිවිසෙද්දීත් අප යහපත් මිනිස්සුන් ය. දොර වැසෙන තැන, අප සමස්ථ ලෝකයෙන් ආරක්ෂා සහිත බව දැනෙන තැන, මෙතෙක් අප වසා සිටින සංයමයේ බැදීම් ඉරි ගැලවී අප ඒවාට වඩා මහත මිනිසුන් බවට පත් වෙන්නෙමු. 


නිදන කාමරය අතේ දුර තිබුණත්, ඒ දුර පවා මහ දුරකි. එරන්දගේ අඩවන් නෙලුම් පෙති සේ සුදු ඇස් පෙති මගේ නිරාවරණය වන ළමැදේ ගැවසෙයි. ඒවා වැදී මට දැනෙන්නේ කෝඩු හැඟීමකි. ඒ දෙතොල් සිරුරතර ඇවිළෙන්නට යන හැඟීම් පෙරහරට ගිනි හුළු දල්වා පුර්වාලෝකය සලසයි. 


මගේ… 


ඔහු මුමුණයි. වචන නැති මගේ දෙතොලිනුත් වචන ඩැහැ ගනියි. නොවැසෙන උරහිස් දෙතොලින් අවුස්සමින් කන්පෙති පවා සියුම්ව දපනෙ දමා ගනියි. රවුම් හැඩ ඇති තැන් ඇගිලි තුඩු වලින් සම්බාහනය වෙනු දැනෙයි. අපි අපේ රස සයුරේ රිසි සේ කිමිදෙමින් සිටින්නෙමු. හැගීම් එක්ක හැප්පෙන එසැවෙන ළමැද ඒ දෙතොලේ පහස ප්‍රාර්ථනා කරයි. ඔහු මගේ සියොළඟ විඳින්නේ රටාවක් හිතේ තියාගනිමිනි. කුස තුල සිටින සමනල් පියාපත් වේගයෙන් වේගයෙන් වදින්නට පටන් ගෙන තිබේ. මගේ ඉණ තෙක් සිපගන්නා තරුණයාගේ ඇස් වල වෑහෙන්නේ අනුරාගයයි. ඔහු ඉනික්බිති ස්වප්නමය ආනුභාවසම්පන්න හැගීම් මුහුදක මා ගිල්වයි. මම ඒ නිරුවත් දෙවුරෙන් අල්ලා අදිමි. එවිට, ඔහු මවෙතට එසවෙයි. අපේ ඇස් සංවාදයකට එළඹෙනාතර අපේ සිරුරු ආවේණික භාෂාවකින් සංවාදයකට පිිවිසෙයි. එය අප තාරකා අතර වලාකුළු ඔන්චිල්ලාවක ඉඳගැන්වීමකි. සඳ අසලින් අප පාවෙනවාද මට දැනෙයි. තරු එහෙන් මෙහෙන් සිරුරේ වැදෙයි. අපේ දෙතොල් එකිනෙක එකිනෙකට අගුළු වැටී ඇත. 


අප අත⁣රේ සිරවෙන සමනල් අත්තටු අපේ සිරුරු වල උණුසුමට තෙරපි ඉරි දියවෙනු දැනෙයි. ඒවා දහදිය බින්දු වී ඉතිරි වෙයි. ඇගිලි තුඩු වලින් සිරවෙන ළමැද නොරිදෙයි. එරන්දගේ රැවුල් කොට වලින් සීරෙයි. දත් පහරින් මෘදු රිදුමක් ඉතිරි කරගනී. විටෙක තරු තොටිල්ලක හෙමි හෙමින් පැද්දීමකි. විටෙක, දරුණු සාහසික රිදවීමකි. හිසද භ්‍රමණය වන තරමක රිදවීමකි. ආනන්දනීය රෝමාන්තිකමය සිදුවීමකි. අවසානයේ නිදහස් වීමකි. ගෙළමුල හිස ඔබාගත් හුරුබුහුටි තරුණයෙකුගේ රිද්මයානුකූල හතිවැටීමකි. නාන කාමරයකට පැන දුවනවාක් වෙනුවට තව තවත් තදින් බදාගෙන තොල් අතර තොල් වලට හිඩැසක් ඉතිරි නොකිරීමකි. 


"පැටියො"


"හුස්මකි.දෙකකි."


"ඇයි අපි කලින් හම්බ නොවුණෙ?"


"දැන් අපි හම්බ වුණා නෙ"


"මට ආදරේ විතරක් මදි කෙල්ල. මට මේකත් ඕන.."


"එයා දෙයි දවසක"


"ඔයා වගෙ ආදරෙන් නෙමෙයි"



වායු සමීකරණ යන්ත්‍රය ඔන් කරන්නට ඉස්පාසුවක් ලැබුණේ එවෙලේ ය. එරන්ද තුවායක් හැඳගෙන නාන කාමරයට ගොස් ආවේය. ඇඳෙහි දිගාවූවේය. දෑස වසාගත්තේය. මට ඒ නළල ඉඹගෙන ඉඹගෙන යන්න උවමනා ය. 


දුරකතනය මොරගානු ඇසුණා නොවේ. එහි දෙදරුම් කෑමෙන් දැනිණි. එරන්ද ඒත් නිනව්වක් නැතිවම සිටියේය. එහෙත් දිගින් දිගටම එය නාදවෙන තැන ඔහු පසෙක වූ ටවල් එකද රැගෙන නාන කාමරයට පිවිසිණි. මම තව මොහොතක් ද එහෙමම හිඳිමි. කෙළවරක් නැති ඇමතුම එහෙමම ය. එරන්දට වගක් නැත. සුදු තුවායෙන් නොවැසුණු බුහුටි උඩුකය, ගෙලෙහි කළු කුඩා පබලු මාලය දෙඅතේ ඇදි ටැටු මං මේ තරම් මේ මනුස්සයාට ඇලුම් කරන්නෙ ඇයි?


'කියන්න බබා"


මම නාන කාමරයට යන්නට නැගිට්ටෙමි. සයනයේ හිඳගෙන සිටි එරන්ද ඔහු ළඟින් නැගිටින මගේ දකුණු ඇළපතට ක්ෂණික හාදුවක් දුන්නේය. මම ඒ කම්මුලකට තට්ටු කර පිළිතුරු ප්‍රේමයක් පෑවෙමි. නාන කාමරයෙන් මා එද්දී ඔහු සඳළුතලයට ⁣වී කතාවේම ය. මම කෝපි කෝප්පයක් වෙනුවෙන් පැන්ට්‍රි එක වෙත ගියෙමි. ඔහු මා දැක මා ළඟට ආවේත් වම් අත මගේ බඳ වටා වෙළා මගේ සීතල වම් උරිස්සට දෙතොල් තිව්වේත් මා පුදුම කරවමිනි. 


"ඔයාට ඕන දෙයක් කරගන්න. මටත් දැන් මේක ඇතිවෙලා තියෙන්නෙ. තීරණයක් ගන්නවා නම් අරගෙන මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න"


 ඔය සසඳිට එහෙම කතා කරනු මට ඇසුණාම ය. 


ආයෙමත් ඇස් එකිනෙක ගැටෙයි. ඒවා කතා කරන්නට පටන් ගනියි. 


"රණ්ඩු ද?"


"ඒවා ඉතින් නෝමල් නේ"


ආයේ දුරකතනය නාද වෙන්නේය. එරන්ද එය අතට ගත්තේය. ෆ්ලයිට් මෝඩ් දැමුවේය. යළි මගේ ඉණෙන් දෑත තියා ගත්තේය. 


"ඇස් වලට ඇස් අහුවෙනව කියන්නේ ම යුද්ධයක් තමයි "


"මං ඉන්නෙ යුද්ධෙකම තමයි"


"ඇයි?"


"අර සින්දුවෙ වීඩියෝ එක"


"මං දැක්ක"


"ඔයා කිව්වෙවත් නෑ නේ "


"මට අචල එවල තිබුණ"


"ඌ ශෙයා කරපු එක තමයි සසඳි දැකල තියෙන්නෙ"


"මොකද කියන්නේ ඉතින්?"


"ගෑනු නෙ"


"ඇයි රණ්ඩු කරන්නෙ?"


එරන්ද මෘදුව හිනැහිණි. ලෝබ හිතෙයි. 


"ඔයාගෙයි මගෙයි කෙමිස්ට්‍රි එක රොමැන්ටික් වැඩියි ලු"


"ඒක ඇත්තක් නේද ?"


"හ්ම්ම්.."


"අපි අපට ආදරේ කරන්නෙ … සමහරවිට පිස්සුවෙන් වගේ"


"සසඳි ඔය විඩියෝ එක අල්ලගෙන ඔයාව නොමැරුවොත් ඇති"


"ජීවිත කාලයක්ම ඒක එහෙම වුණත් මං ඒ වීඩියෝ එකට ආසයි "


"ටිකට්ස් එවයි අද හෙටම.. මට ඉතින් ගෙනියන්න කියලා ලොකු දෙයක් නැහැ.. "


"ලොකුම දේකට තියෙන්නෙ මාව තියලා යනේක"


"ඔයා එයාපෝට් එන්න එපා හොඳ ද?"


මම මෘදුව කීවෙමි. ඒ කියද්දී පපුව ඇතුළත කුහරය අන්ධකාරයෙන් පිරෙනු මට දැනෙයි. 


"මට දැන්ම යන්න බෑ"


එරන්ද මවෙතට නැමෙයි. ඇත්තටම අපේ හිත් එකිනෙකා ගැන තෘෂ්ණාවකින් පෙළෙන්නට පටන් ගෙන තියේ. ඒ වෙනුවෙන් ඕනැම කැපකිරිමක් කරන්නත් ඔහු දැන් පෙළඹෙයි. දුරකතනය විසන්ධි කරදමන්නට කවදාවත් නොපෙළඹෙන ඔහු දැන් එහෙමත් කරයි. 


අවසානයට පියවි සිහියෙන් සිටියදී අප සිටියේ නිදන කාමරයට හැරෙන කුඩා කොරිඩෝවේ ය. මුල් වතාවට වඩා බොහෝ දීර්ඝ වූත් නිශ්චල සහ හැඟීම්බර වූත් අධි සංවේදී විනාඩි ගණනක් පසු කර අවසානයේ නැවතත් සදාහරිත තුරුහිස් සහිත මලින් ගහණ වැසි වනාන්තරය ක නතර වී සිටියෙමු. මගෙ දුරකතනයත් නිශ්ශබ්ද කර තිබුණා නම් කියා මට සිතිණි. එය හඬතලන්නට පටන් ගත් බැවිනි. 


"ඕන් නෑ ආන්ස කරන්න.."


එරන්ද කීවත් දෙවන තුන්වන වතාවේ එය නැවත නැවතත් නාද වෙන බැවින් මම ඇඳෙන් බැස එදෙස බැලුවෙමි. අචල! මා එය කීවේ එරන්දටත්. ඇසෙන්නට ය. පසෙක වූ පොරවනයක් සිරුර මතින් දමාගත් ඔහු පහසුවට ඇළවුණේ 'බලන්න මොකද කියලා' යි කියමිනි. 


"බිම්මා .. ඔයා කොහෙද ඉන්නෙ?"


"මං වැඩක අචල. ඇයි? "


"නෑ..මේහ්.. එරන්දය කොහෙ හරි යන කතාවක් කිව්වද?"


"අනේ නෑ අචල.දවසටම මං එයාට කතා කළෙ නැහැ"


"නෑ..මේ එයාගෙ ගර්ල් .. මරදානටත් ගිහිල්ලා හොයල .. මෙහෙටත් ඇවිත් එරන්දය හොයනව. ෆෝන් එකත් ඕෆ් කරගෙන මේ හුත්තා මොනව කරනවාද මන්ද. මං තියන්නං .. බිම්මා සොරි අනේ ඔයාට කරදර කළාට'


එරන්දට සිනාගියේය. 


"මූ සසඳි ඉස්සරහත් ගාණක් නැතුව කුනුහරුප කියන හැටි බලන්නකො"


"ඒක නෙමෙයි.. දැන් සසඳි ඔයාව හොයනවා නෙ"


"හොයපුදෙන් "


"එහෙම රූඩ් වෙන්න එපා "


"මේහ්… බිම්මා.. ඔයා කවදාවත් දැකල තියෙනවද.. මං ඔයාගෙ රිලේශන්ශිප් එකට ඔපිනියන් දෙනවා. මං අඩුගාණෙ ඔයාගෙන් අහලා තියෙනවද ඒ ගැන. නෑ නේ? "


මම නැතැයි කියන්නට හිස වැනුවෙමි.


"ඒ ඇයි? මට ඔයාව වැදගත් නැතුවද? නෑ. ඒක ඔයාගෙ පර්සනල් ලයිෆ් එක. ඒකයි..  මං මොනාද කරන්නෙ කියලා මං තීරණය කරන්නං බිම්මා. සසඳි ගැන වුණත් එච්චරයි.."


මගේ මුහුණ වෙනස් වෙන්නට ඇතැයි මම අනුමාන කළෙමි. පිරිමියෙක් ඒ තරම් ආදරණීය සුයාමයකින් පසුව මෙහෙම ඇමතීම දරා ගන්නට තරමක් අසීරුය. 


"ඒ… ඒක එච්චර සීරියස් ගන්න එපා"


එරන්ද මගේ අතින් අල්ලා ගත් අතර මම එක තත්පරයක විරාමයක් අරගනිමින් සිටියෙමි. 


"අනේ කෙල්ල .. සොරි.. ඔයාට දුක හිතුණනම්.. එන්නකො… "


මා තුල සිටින සංවේදී බිම්මා ඇහැ ඇරෙනවාට මා කැමති නැත. එයා නම් ඇත්තටම මහා වද කන්දරාවකි. ආයේමත් පෙර නැවතුණ තැන සිට සංසාරයට අඩුම කුඩුම එකතු කරගන්නවා හැර අන් කිසිවක් කරන්නට මේ හිතුවක්කාරයා අවසර දෙන්නේද නැත.


අහස කළුවර වී තියේ. ආදරය විතරක් එළිය දෙයි. හෘදයේ කළුවර ගුහාවන් කෙළවරද මේ මහානිසංස ආදරය ශුද්ධ වු ආලෝකයක් පතුරයි. මම ඒ පහන අබියස එකත්පස්ව හිඳගෙන හිඳිමි. 


"දැන් නම් මං යන්නෝන"


"මටත් එන්න හිතෙනව"


"අද එපා.. "


"ම්ම්ම්"


"අද භයානක දවසක්"


"මට ඔයාව පේන තැනකින් ඉන්නෝන වගෙ"


"දැනට පින්තුරයක් තියාගෙන ඉන්න.. හෙට මං එන්නං හැබෑවටම ළඟින් ඉන්න"


"මෙහෙම ඉදල ළඟින් කොහොමද මාව කටුනායකින් අත් අරින්නෙ?"


"කවුද අත්අරින්නෙ ?"


"ඇයි?"


"ඔයා හැමදාටම මගෙ යි .."


එවර මම ගැස්සී ගියෙමි. එය  එහෙම වෙන්නට පුළුවන් බව මම දනිමි. මගේ හදවත මෙතුවක් කාලයක් ආදරය විශ්වාස නොකළේය. එහෙත් දැන් මම ආදරය විශ්වාස කරමි. එය ආනුභාවසම්පන්න බව විශ්වාස කරමි.  එරන්ද නික්ම ගිය පසුු මම අචලට ඇමතුමක් ගෙන බැලුවෙමි. අචල ඇමතුම ගන්නට ප්‍රමාද වීය. මම දුරකතනය අතේ තියා කල්පනා කරමින් සිටියෙමි. 


"බිම්මා"


ඇමතුම ලැබිණි. මිහිර ය. අචල නොවේ. 


"මොනාද වෙන්නෙ?"


"අචල බබා නංගි එක්ක හැන්ගවුට් වෙනවා"


"එරන්ද එතකොට?"


"ඌ මරදානෙ"


"හ්ම්… "


"හැමදේම හොඳින් බිම්මා . අවුලක් නෑ.."

 

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...