Sunday, November 6, 2022

චිම්නි කෝපි 18


 දහ අට වන කෝපි කෝප්පය​


මාව අපාට්මන්ට් එකට ඇරලවන්න සුදු නංගීත් මිහිරත් ආවෝය. එරන්ද හිතාමතාම නතර විණි. අචලද ඔහු හා සිටියේය. දැඩි ලෙස තනිකම දැනෙන්නට පටන් ගත්තේ සියල්ලෝ නික්මී ගියපසු ය. මම දුරකතනය චාජරයට දමා නාන කාමරයට වැදුණෙමි. වතුර උණුවෙන්නට තැබුවෙමි. ලැප්ටොප් එක සෝපාව මත පහසුවට දිගහැර මමද එමත දිග ඇදුණෙමි. එඩිට් කළ වීඩියෝව ලබා දෙන්නට කැමරා කණ්ඩායම දින තුනක් ඉල්ලා ඇත. එයින් එක් දිනක් මා එඩිට සමග අවසාන සංස්කරණය නැරඹිය යුතු ය.

දුරකතනය නාදවෙන්නේ වට්සැප් ඇමතුමකටය. එරන්ද? නැත. නයිල්ස් මේ වනවිට නින්දේ ය. කවුරුන් වුණත් මට එතැනට යන්නට නොහැකි යැයි හිත කියන්නේය. ඉතින් මම මා තුළ වෙසෙන්නා වූ කම්මැලිම කම්මැලි පූස් අවතාරයට මාරු වෙමි. 

යළිත්, යළි යළිත් එය නාද වන බැවින් මම දිගාවී නැවී කෙසේ හෝ නොනැගිට දුරකතනය චාජරයෙන් ගළවා ගත්තෙමි. එරන්ද!!! මේ මාව රියෙන් බස්වා විනාඩි කිහිපයක් ගත වූ තැන ඔහු ආයේ මට කතා කරයි. මේක පෙම් සංවාදයක්ද? නැත්නම්, මා වාහනයේ මොනවා හෝ අමතක කර ඇත්ද? 

“සද්ද නැතුව ඉන්නෙ ඇයි?"

"ඇයි?"

"බයවුණා මං"

"හේතුව? "

"හේතුවක් නෑ"

මම සිනහ වෙමි.

"හේතුවක් තියෙනව නේද?" 

"මොකක් වගෙද?"

"මාව මිස් වෙනව ඔයාට"

එරන්ද කිසිවක් නොකියා සිනාසුණේය. 

"සසඳි එක්ක ප්‍රශ්න ඇතිකරගන්නැතුව ඉන්න"

"ඒක මට ඔයා කියන්නෝන දෙයක් ද?"

"තරහින් කතා කරන්නෙපා ඉතින්"

"තරහක් නෑ ඒත් රිද්දන්නෙපා"

"දැන් කොහෙද ඉන්නෙ?"

"ගෙදර"

"හ්ම්"

"පාලුයි"

"දන්නවා"

"ළඟ ඉන්නෝන"

"ඒකත් දන්නව"

"ඇයි ළඟට ගන්නැත්තෙ එහෙනම්?"

"අනුන්ගෙ නිසා . බොළඳ වෙන්න බෑනෙ"

"මටම මගෙ වචන වලින් ගහන කෙල්ලෙක්.

අපි කවුරුවත් කාටවත් සහමුලින්ම අයිති නෑ බබා. ඔයාට ඒක දවසක තේරුම් ගන්න පුළුවන් වෙයි"

මම දුරකතනය චාජරයෙන් ගළවා ගෙන සදළු තලයට ගියෙමි. එලියේ හුළං කෝඩයකි. මට ඉන් සමනළියක් ලෙසින් පහළට පැන ඒ හුළඟේ පාවී එන්නට හිතෙයි. 

"බැල්කනි එකට ආවද?"

"ඔව්"

"ඇයි..?"

"ඔයා කතා කරනව කියන්නෙ මං පිපිරෙන්න කිට්ටු ගෑස් සිලින්ඩරයක් වගෙ වෙනව.. ෆයර් එලාම් වදින්නත් පුළුවන්"

"මං හින්ද පිපිරෙන්න එපා රත්තරන්"

එරන්ද කීවේ මෘදුව ය. ආදරයෙනි. හුරතලයෙනි. 

"ආදරේ දරාගන්න අමාරු වුනාම මාත් පිපිරෙන සුළුයි"

"ආදරේ කියන්නෙ නිවන සුළු හැඟීමක් මිසක් පුබුරවන සුළු හැඟීමක් නෙමෙයි"

ඒ හැඟීමට මට එකඟ විය යුතුද නැත්ද කියා නොහැඟෙයි.මේ ආදරයෙන්ද මා නිවුනේ ? නොවේනම් නයිල්ස්ගේ ආදරයෙන්ද?


"යනව යනව කියල සැරින් සැරේට හිත පාරන්නැතුව එකපාරම යන්න සුද්දි හොඳද?"


මම පහළින් පෙනෙන කොළඹ දෙස බලා ඉමි.

"මට මෙතනට කොළඹ පේනව. පුංචි පුංචි එළි ගොඩක්.පුංචි පුංචි ගෙවල් ගොඩක්. ඒ කොහෙ හරි තැනක ඔයා ඉන්න බව මං දන්නව.ජීවිතේ සමහර වෙලාවට අපට ඕනදේම අපට නොලැබුණත් දුරින් ඉඳන් බලං ඉන්න මට පුළුවන්"


"ඔයා ගියාම මං ඔයාගෙ ලොකේශන් එක ගුගල් කරල බලන්නං. ඔෆිස් එක ඔයා ඔෆිස් යන එන පාරවල්.. "


"අනේ එරන්ද…ඔයතරම් නම් ආදරේ කරන්න එපා.."


"ජීවිතේට ආදරේ කියලා මේ දැනෙන හැඟීමට මං හරිම ආදරෙයි.. මං මේ දවස් ටිකෙන් හැමදාම ජීවත් වෙන්න හේතු හොයාගනීවි"


අප අතර කියැවෙන වචන වල හැබෑ අර්ථ අප දෙදෙනාම තේරුම් ගෙන සිටිනවාදැයි නොදනිමි. මේ ආදරය මත්ද්‍රව්‍යයක් වැනි ය. දැන දැන අප ඊට ඇබ්බැහිවෙමින් සිටින්නෙමු.


"මං නිදාගන්නං"


"මං ළඟ නැති අඩුව දැනෙයිද?"


"පාළුයි. මං ඔයාගෙ උණුහුමට කැමතියි"


"මටත් කෙල්ල. හෙට මොකක් හරි හේතුවක් හොයාගන්න අපට අපිව බලන්න පුළුවන් වෙන්න"


එරන්දට පෙර දුරකතනය විසන්ධි කරන්නට මම පෙළඹුණෙමි. සසදී කොයියම්ම වෙලාවක හෝ එරන්දගේ මේ හැසිරීමේ වෙනස තේරුම්ගනු ඇත. ගැහැනු ඉව පුුදුමාකාර ය.


පහුවදා මා ඇහැරුණේ පාන්දර එකොළහත් පසු වූ පසු ය. කිරි කෝපි පැකට් එකක් මත්තට නටන වතුරත් ඊට නැවුම් එලකිරිපැකට්ටුවෙන් ටිකකුත් හලාගෙන එයත් රැගෙන මම කම්මැලිකමින් දුරකතනය අතට ගත්තෙමි. වට්සැප් පණිවුඩයකි. අචලබ්ය. යුටියුබ් ලින්ක් එකකි. මම එය මත ඇඟිල්ල තැබුවෙමි.


ඒ එරන්ද එදා රාත්‍රියේ හෝටලයේ පිටත එළිමහන් බිමේ ගැයූ ගීතයයි. එරන්ද එය ගයන්නේ කටපාඩමිනි. "මනාලිය වී ළඳේ ගියත් ඔබ ඔහු කරා"  ගයද්දී අප දෙදෙනාගේ ඇස් එකිනෙක වැදේ. ඒ හැමදේම ලස්සනට එඩිට් කර යුනලයට මුදාහරින්න ට විඩියෝ කළ කෙනා හොදටම පරිස්සම් වී තිබේ. ඒ මදිවාට මේ කොල්ලා මේ සින්දුව කියන ලස්සන වගේ තම්බ්නේල් එකකුත් යොදා තිබේ. මම ඇතුළතින් කීරි ගැසී ගියෙමි. එවෙලේම අනික් අතට අචලට ඇමතුවෙමි.


"මෝ….නී..න් .."


"වෙරි ගුඩ් මෝනින්"


මේ බබා නංගි මේක දැක්කොත් මොනව හරි හිතයි නෙ. අපට බැරිද මේක දාපු කෙනාට කතා කරල මේක අයින් කරන්න? "


"ඒ මොන විකාරයක්  ද? මෙන්න මේ වෙන දෙයක් බලාගෙන පාඩුවෙ ඉන්න බිම්මා"


"අනේ අචල.."


"වෙන්න තියෙන දේවල් වෙනවා බිම්මා.. ඒ තරම් පටු විදියකට හිතලා එහෙම ප්‍රශ්න ඇති කරන ගෑනියෙක් කසාද බැඳගෙන අපේ එකා දුක් විඳිනවට මං නම් කොහොමත් කැමති නෑ"


"අපි මොකුත් දන්නෙ නෑ වගෙ ඉම්මු"


අවසානයේ අපි සම්මුතියකට එළඹුණෙමු. නයිල්ස් ඔහුගේ රාජකාරි කාර්යාලයේ සිට ඇමතුමක් ගත්තේය. ඔහු පසුබිමින් කිහිප වතාවක් එහෙ මෙහෙ ගිය පිරුණු පපුවක් සහ තද කර අදින ලද පසු පෙදෙසක් ඇති කුඩා ගැහැනු ළමයා මගේ අවධානය උවමනාවට වැඩිය සොරා ගත්තාය. එය නයිල්ස්ට නොදැන ඉන්නට මම හැකිතාක් උත්සාහ කළෙමි. මට කවදාවත් නයිල්ස් පිළිබඳ සැකයක් මතුවී නැත. එහෙත්, මේ වතාවේ මා එරන්දට බැඳුණු තාලයට වෙන යුවතියකට නයිල්ස් ගේ හිත වුණත් ඇදී යන්නට පුළුවන් බව මට දැනෙයි. 


ඒ වගේ දේවල් පරිසරයට අනුකුලව සිද්ධ වෙන දේවල්.. මිනිස්සු වෙනස් වෙනවා. සමහර විට අද ඔය දෙන්න එකිනෙකාට කැමති වෙලා හිටියත් කවදහරි ඒක වෙනස් වෙන්න පුළුවන් බව මතක තියං ඉන්නෙක හොඳයි.


මම සෝපාවට වැටී ඔහෙ කල්පනා කරමින්ම නයිල්ස් ගේ දෛනික විස්තර කිරීම් අසා සිටියෙමි.ඔහු රජය විසින් අලුතෙන් හඳුන්වා දුන් තොරතුරු සන්නිවේදනයට අහිතකර නව පනත ගැන විස්තර කියමින් සිටියි.


නිරෝගී පිරිමි සහ ගැහැනු අතරේ සම්බන්ධතාවන් පවතින විට කායික ගනුදෙනු සිදුවීම අතිශය සාමාන්‍ය සිදුවීමකි. නයිල්ස් නිරෝගී තරුණ සිය සිරුරේ හැඩය පවත්වාගැනිම පිළිබඳ සෑහෙන උනන්දු පිරිමියෙකි. ඔහුගේ අනිකුත් හැසිරීම් ද බොහෝ සාමාන්‍ය ය. එහෙත්, අප අතර හුවමාරු වන හැඟීම්, මිදීගිය අයිස් තරමට ශිතල වූ අතර උණුසුම් ආසියානු ගැහැනියක වන මාද උණුසුම් බටහිර පිරිමියෙකුවු නයිල්ස්ද එකසේම ඉන් උදාසීනත්වය අත්විඳි බැව් කිව යුතු ය.


ආදරයකින් පමණක් නීරෝගී සම්බන්ධතාවක් පවත්වා ගැනීම අපහසු බව මම ඒ කාලයේ තේරුම් ගනිමින් සිටියෙමි. කවරදාකටත් වෙනින් සම්බන්ධතාවකට හිත යොමන්නේම නැතැයි හිතා හිටියත් එරන්ද දුටු මතින් ඒ හැගීම වෙනස් වෙන්නට තරම් චපල කෙල්ලක වීමට මට සිදුවිය. එහෙම බලද්දී මා කොයිතරම් නරක කෙල්ලක් ද? 


"ඔයා කැමති ද ලංකාවෙ ඉන්න?"


"හැමදාම ?"


"ඔව්.හැමදාම !"


"එතකොට අපේ කරියර්ස්? ඒවට මොකද වෙන්නෙ? "


"ඒවා එහෙමම තියෙයි.නැත්නම් අපට වෙන වෙන දේවල් කරන්න සිද්ධ වෙයි. "


"මට හිතාගන්න බෑ බිම්මා.මං තාම දන් නෑ"


"ඔයා සාමාන්‍යයෙන් කම්ෆර්ට් සෝන් එකෙන් පිට පනින්නෙ නෑ නයිල්.. මං දන්නවා ඒක.."


"ඔයා එහෙම නැත්ද? "


"මට ඒක හරියටම කියන්න බෑ. මං කැමතිම දෙයක් වෙනුවෙන් නම් සමහරවිට මං කම්ෆර්ට් සෝන් එකෙන් එලියට බහීවි" 


"ඔයා කියන එක හරි ඇති. මොකද මං කැමති වෙන්නෙම මගේ කම්ෆර්ට් සෝන් එකෙන් ඇතුළෙ දේවලට විතරයි. එතකොට මට පිට පනින්න ඕන නෑ. මං කැමති හැමදේම ඒක අස්සෙ තියනවා. "


අන්න ඒ හැබෑ නයිල්ස් ය.  බිම්මාලි එහෙම නැත. වෙන්න තියෙන දෙයක් නම් වෙනවා කියා අචල කිව්වාම හිස් මුදුනෙන් එය පිළිගත්තේ එනිසාය. එරන්ද, නයිල්ස් ගේ අනික් පලුවය. කොහොමටවත්ම පහසු කලාපය අත් හරින්නට සූදානම් නැත. සසඳි එහෙම කෙල්ලක නොවේ. ඇය හැමවිටම ජීවිතයේ ඉදිරියට යන්නට කැමති ශක්තිමත් කෙල්ලකි. ඇය ලෝකට ගවේශණය කරන්නට කැමති බව බැලු බැල්මටම පෙනෙයි. 


දුරකතනය කාර්යබහුල වූයේ පෝල් හේඩ්න් හින්දාය. පෝල්ට යැවු මහියංගණයේ ෆුඩ් කල්ට් එකට අදාල කුඩා ක්ලිප් කීපයට ඔහු වශීවී සිටියේය.


"බිම්මා.. අපි මේ පුංචි රටේ පාරම්පරික ආහාර සංස්කෘතිය මීට වඩා එහාට ගෙනියන්නෝන.." පෝල්ට මෙවැනි සිතුවිල්ලක් පහළ වීමම මට පෙන්වන්නේ කොළ පැහැ තරුඑළි ය. 


"අපි මොනව හරි අලුතින් කරන්නෝන කියලා ඔයා හිතනවද පෝල්?"


"මෙහෙමයි මට හිතෙනවා බිම්මා ඔයා ඉක්මනින් ටික දවසකට මෙහෙ එන්නෝන කියලා. ඔයාගෙ වැකේශන් එකට නම් තව කල් තියනවා නේද?"


"ඔව් මං මේ වතාවෙ හිතුවෙ අම්මලාවත් බලල එන්නමයි.."


"එයාලා ඉන්නෙ බොට්ස්වානා නේද?"


පෝල් හේඩ්න් ගේ මතක ශක්තිය එබඳු ය. ඔහුට කෙනෙකුගේ මව්පියන් ගේ සිටම ප්‍රොෆයිල් එක මතක තියාගැනීමේ මහඟු ශක්තියක් තිබේ.ඒ සාකච්ඡාව අවසාන වූයේ සතියක් ඇතුලත කාර්යාලයෙන් මට ගුවන් ටිකට් පත් වෙන්කර සියල්ල සැලසුම් කරනා පොරොන්දුව පිට ය. මට තිබුණේ සුදානම් වී යන්නට ය. 


මම නයිල්ස්ට ඒ සතුටුදායක පුවත පණිවුඩයකින් අතහැරියෙමි. අයිමැසේජය ඩිලිවර්ඩ් වූ අතර, සිනහ මුහුණක් එවූ නයිල්ස් ඒ සමඟ සතුට එවුවේය. අනික් අතට කැමරා කණ්ඩායමට සහ සංස්කරණ ශිල්පියාට ද ඇමතුවෙමි. ඒ ව්‍යාපෘතිය අවසාන කිරිමට අවශ්‍ය තොරතුරු බෙදා ගන්නට ය.


අවසනෙයටම, ඇමතුමක් දිය යුතුව තිබුණේ එරන්දට ය. එහෙත්, ඔහු සසඳි සමඟ සිටිනවාදැයි අවිනිශ්චිත බැවින්  කතා නොකළෙමි. පසුව, බලනවිට අචල වාගේම මිහිරත් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලින් එරන්දගේ ගීතය සහිත යූටියුබ් සබැඳිය පතුරා හැර තිබෙනු දැකිය හැකිවිය. 


එරන්දව ටැග් කර තිබුණත් එරන්ද ඒ කිසිවක් විවෘත කර තිබූ බවක් නොපෙණින. දවස තිස්සේම ඔහු කිසියම් කාර්යයකට සිරවි සිටි බවක් පෙනිණි. සාමාන්‍යයෙන් කමුබන් රෙස්ටොරන්ට් එකට වැඩ අධික වන්නේ සවස හයෙන් පසුව බව මම අත්දැකීමෙන් දනිමි. එබැවින්, ඉලන්දාරියා මරදානේ කමුබන් රෙස්ටොරන්ට් එක වෙත වාර්තා කළ යුත්තේ සවසට ය. 


දවල් කෑමට සැන්ඩ්විච් එකකුත් යළි කිරි කෝප්පයකුත් බොන්නට හිතුණේ හවස හතරත් පසු වූ පසුව ය. හැන්දෑ ඉර සිය මුහුණ තැඹිලි පාට සලුවකින් වසා සිටි අතර සයුර කරා ගමන් අරඹා සිටියාය. මට ඇය පසුපස යන්නට සිතිණි. ආයෙමත් එරන්දගේ කටහඬින් සැදී රන් අබරණින් අසන්නට සිතිී, යුටියුබ් එකට ගොඩ වුණෙමි. ඇත්තටම එරන්ද එය ගයන්නේ කොයිතරම් ස්වභාවිකව ද? මට ඒ ගැන හිතාගන්නටවත් නොහැකි ය. 


මරදානට යනවාද? බොරැල්ලේ රවුමක් ඇවිද ආයෙමත් අපාට්මන්ට් එකට ගොස් තව ටිකක් නිදියනවාද? මා මේ නිනව්වක් නැතිව ඇවිදින්නට හේතුව මේ මිහිපිට ඉන්නා එක මනුස්ස පැටියෙකි.  කිටිකිටියේ හිත බදාගෙන ආදරේ පොරවණයකින් බෙල්ල හිරකරගත් අහම්බකාරකයකි. 


හිත දුකක පැටලිණි. එරන්ද මෙහෙම මාව එක තත්පරයක්වත් සිහිනොකර ඉඳින්නේ කොහොමද ? ඒ වගේ උදාසීන මොහොතක මට පිරිමින්ගේ අවස්ථාවාදී කම් මතකයට එයි. පාඩම් උගෙන ගෙනත් යළි උන්ටම බැඳෙන අප වාගේ ගැහැනු ගැන ඇතිවෙන්නේ කලකිරිමකි. ඒ කළකිරිමත් උදාසීනබවත් දෙකම එක වර දියව ගියේ එක් දෙයක් හේතුවෙනි. ඒ දුරකතනය එරන්දගේ නොම්මරයෙන් ආ පණිවුඩයකින් සෙලවුණු හින්දා ය. 


"බේබි"

මම මොහොතක් සිතුවෙමි.


"වැරදිලාද?"


පිළිතුර මගෙනි. එහි රිදුමක්, පළිගැන්මක් , තරහකුත් තිබේ. 


"නෑ. ඔයාටමයි"


මගේ නිහැඩියාව දිගු නිසාදෝ ඔහු ආමතුමක් ගත්තේය. 


"මොකෝ තරහෙන් වගේ සද්දයක් වත් නැතුව "


"එහෙම නැ"


"තරහෙන් තමයි"


"තරහ වෙන්නෙ මොකටද?"


"මං උදේ ඉදල කතා නොකරපු නිසා නෙ"


"මට ඒ ගැන හිතන්නවත් වෙලාවක් නැතිවුණා"


"මාව මතක් වුණේම නැත්ද?"


"මං අද ඔෆිස් කෝල්ස් වලමයි හිටියෙ.."


"මං ටිකක් බිසි වුණා බිම්මා"


"සසඳිව බැලන්ස් කරන්නද? "


"අනේ තරහෙන් වගෙ ඔහොම අහන්නෙපා මැණික"


"නෑ නෑ තරහකින් නෙමෙයි.. මං නිකම් ඇහුවෙ ඉතින්"


"මොනාද කියන්නේ ඔෆිස් එකෙන්?"


මම මොහොතකට නිහඬව සිටියෙමි. එරන්ද ට ඔහුගේ සාමකාමී සාමාන්‍ය ජීවිතය ගෙවන්න ඉඩදී මා ඔවුන්ගේ ඇස් මානයෙන් වෙන්වී ගමන් කිරීම හොඳටෝම යහපත් ය. මේ වෙලාවේ ඉන් එහාට දෙයක් කරන්නට වෙහෙස විය යුතු නැහැම ය.


"දවස් හතරක් ඇතුළෙ මගෙ ටිකට් එක බුක් කරයි එයාලා"


අනිත් ඉම නිහඩතාවයකින් පිරිණි. කෙළින් තිබුණු දුරකතන තරංග සම්බන්ධතාව ඇදවී තැනින් තැනින් බිදී ගියාමෙනි. 


"ඒ කියන්නේ එච්චර ඉක්මනින් යනවා?"


"යන්නම වෙනවා."


මම සුසුමක් හෙළමි. අප ගෙවූ ඉමිහිරිම මතකයන් මහියංගණ ගමනේ සිදුවීම් වල පාර්සල් වී තිබේ. මේතරම් ඉක්මනින් ඒවායින් මිදෙන්නේ කොහොමද ? සියවරක් සිඹින්නට හිතෙනා අපිළිවෙල රැවුල් කොට පිරුණු කම්මුල් සහ එහෙන් මෙහෙන් වැවුණු කොණ්ඩය මට සිහියට නැගෙයි. මම ඇස් පියාගනිමි. එරන්දගේ දෙකන් අයිනෙන් දැනෙන විලවුන් සුවඳ මට ආයෙ ආයේද දැනෙන්නට පටන් ගෙන තිබේ. 

"දැන් කොහෙද?"

"බොරැල්ලෙ"

"මොකද කරන්නෙ?"

"නිකම් ඇවිදිනව"

"මං එනකං ඉන්නවද?"

"ම්ම්ම්.. ඇවිත්?"

'"අපි චුට්ටක් ඇවිදිමු"

"කොහෙද?"

"ළග ළග"

"නෝ ලිමිට් එක ඇතුළෙන් ඉන්නකො.මං කතා කරන්නම්"

එරන්ද එනතෙක් මම නෝලිමිටි එක ඇතුළට වී සිටියෙමි. නයිල්ස් වෙනුවෙන් සහ නිකොලා වෙනුවෙන් මිල අඩු තෑගි කිහිපයක් මිලට ගත්තෙමි. ඒ අතර දුරකතනය කතා කළේය 

"වෝඩ් ප්ලේස් පාරට එන්න"

කවුන්ටරයේ ඉද්දීය ඔහු එහෙම කීවේ. මම ඉහත කී තෑගි පාර්සල්ද රැගෙන ඔහු කී තැනට ගොස් පාර්සල් පසුපස ආසනයට දමා ඔහු ළගින් හිඳ ගත්තෙමි. 

එරන්ද හැරී මදෙස බලා සිටියා මිස වාහනය ඉදිරියට ගෙන ගියේ නැත. 

"ඒ පාර මොකද?"

"නිකම්"

"නිකම් ඔහොම බලන කෙනෙක් නං නමෙයි ඔයා'

"ඔච්චර මාව තේරුම් ගන්නෙ කොහොමද ?"

"දැනෙනව"

එරන්ද මේ මහපාරක අයින කියාවත් නොබලා ආසනයෙන් වමට නැවී මා තුරුල් කරගත්තේය. 

"එහෙ යංද"

"අපෙ දිහා?"

"හ්ම්"

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...