Sunday, November 13, 2022

චිම්නි කෝපි 25


25

එරන්දට මා පොරොන්දු වූයේ වැඩියෙන් වයින් නොබී ඉන්නට ය. හා කීවේ නයිල්ස්ට උවමනාවට වඩා ආදරේ නොපෙන්නා ඉන්නට ය. කාර්යාලීය රාත්‍රී සාදයක් කීවාම ඉතින් හැම කෙනෙකුම සිටින්නේ නියමිත නිශ්චිත ඇදුම් කේතයකට යටත්ව ය. නයිල්ස් කොහොමත් යුරෝපීය ඇඳුම් කට්ටලයට හරි කඩවසම් ය. ඔහුගේ උරහිස තෙක් වැවී ඇති දුඹුරු කොණ්ඩය බලා කියා ගැනීමේ වගකීම මුලින්ම පැවරි තිබුණේම මට ය. ලංකාවෙන් ගෙන ගිය ආයුර්වේද තෙල් ගල්වා සම්බාහනය කර සාත්තු සත්කාර කිරිමෙන් ඉක්බිති එය ඝණට  නිරෝගිවට වැඩෙන්න ගත්තෙන් එක එක විලාසිතාවන් කරන්නට ද ඔහු පෙළඹී සිටියේය. නයිල්ස් නිල් බෝ එකක් පැළඳ සිටියේ මගේ ගවුමට ගැළපෙන්නට ය. අප බොහෝ ඡායාරූවලට ලක්විණි. ඒ අතර හුදකලාවේ සිටින නයිල්ස්ගේ අලුත් සේවා සහායිකාව මගේ තියුණු ඇසට හසුවිණි. ඕ මා පෙර දිනෙක කී පරිද්දෙන්ම කෘතිමව ඔසවන ලද ළමැදකින් සහ පුරවා පුම්බන ලද පසු පෙදෙසකින් යුක්ත ය.


"හායි.."


"හායි.. "


"මම බිම්මාලී"


"මං දන්නවා.. සේරා !"


"මාත් ඔයාව දන්නවා සේරා.. ඉතින් කොහොමද ?"


අප එකිනෙකා ට වැඩි කැමැත්ත ක් නැතිබව හෝ එවැන්නක් ඇති කරගැනීමට කැමැත්තක් නැතිබව දෙදෙනාටම වැටහෙන්නට ඇත.


"එයා ඔයා ගැන ගොඩක් හිතනව"


මම හිස සෙළෙව්වෙමි.


"අපි යුනි එකේ ඉඳලම එකට හිටියෙ. බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා ඊට පස්සේ ලයිෆ් පාට්නර්ස්ලා.. දිග කාලයක්.. "


"දිගම කාලයක් එකම කෙනා එක්ක ඉන්න නම් සොලිඩ්"


"ආදරයක් තියෙන්නෝන"


ඇය පරික්ෂාකාරි බැල්මකින් මදෙස බැලුවාය. මම නොපැරදී බලා උන්නෙමි.


"ඔයා ඇත්තටම ද මේ රිලේශන්ශිප් එකේ ඉන්නෙ?"


මම තිගැස්සී ගියෙමි. 


"ඇයි ඔයා එහෙම අහන්නෙ?"


"මට දැනෙන විදියට ඔයා අවංක නෑ..ඔයා තැන් දෙකක ප්ලේ කරනව වගේ"


මම ඇහිබැම නළලට නංවාගෙන ඇය දෙස බැලුවෙමි. සේරා, ඕ පුදුමාකාර ශක්තිවන්ත කෙල්ලකි. ඇය මුළුමනින්ම මා සිය දෑසේ මාංචු වලින් අල්ලාගන්නට බලා සිටියාය. මම ඒවා මගහළෙමි. 


"මං එහෙම එයාට කියන්න ගියෙ නෑ.. "

සේරා එවර නයිල්ස් පෙන්වා කීවාය. 


"එයාට කිව්වත් එයා ඒක කවදාවත් විශ්වාස කරන්නෙත් නෑ. එයාගෙ ලෝකෙදි එයා දකින ආදරයෙ දේවතාවිය ඔයා.එයා හිතනව බටහිර අපෙ නැති භක්තියක් පෙරදිග ඔයාල ගාව තියෙනව කියල.. "



"හ්ම් එයා එහෙම හිතනව. ඒකට නිකොලාත් ලොකු බලපෑමක් කරල තියෙනව. මං එයාට නිකොලා කියන එක නවත්තල මමී කිව්ව දවසෙ ඉදල එයා සෑහෙන සංවෙදී වුණා මං හිතන්නේ "


"ඔයාලගෙ කල්ට් එකේ එහෙමද? බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ පේරන්ට්ස්ලට මමා ඩැඩා කියනවද?'


"ඔව්.. අපි සාමාන්‍යෙයන් කසාදයක් බඳිද්දී බඳින්නෙ එක පිරිමියෙක් හරි ගෑනියෙක් හරි නෙමෙයි. ඒ කෙනාගෙ මුලු පරම්පරාවමයි.එක අතකට ඒක හරි විනෝදයි.. ඔයාට හම්බ වෙනව දෑවැද්දක් වගෙ මහ සෙනගක්..එයාලගෙ උදව්, අවවාද, වගකීම් හැමදේම.."


"දෑවැද්ද ගැන ඔයා මොකද හිතන්නෙ?'

 ඇය එය විමසුවෙ උවමනාවට වැඩි උනන්දුවකිනි. මම හැකිතාක් සංයමයෙන් එය ඇයට විස්තර කළෙමි. ඕ විස්මයෙන් මදෙස බැලුවාය.


"ඒක හරිම අසාධාරණයි. කෙල්ලෙක් කසාද බදිනව කියන්නෙ ගණුදෙනුවක් නෙමෙයි..ඒක ආදරේ උඩයි සිද්ද වෙන්නෝනෙ.. ඒක හරිමම ම්ලේච්ඡයි.. "


ඇය මුහුණ වෙනස් කරගත්තාය. මම මේ කුඩා ගැහැනු දරුවාට අනුකම්පා කළෙමි. ඇගේ පරිකල්පනය මෝරා වැඩී නොතිබිණි. අසල්වැසි උප මහාද්විපයෙහි ගැහැනු ළමයින් උත්පත්තියේදීම සිය අන්ත දුගී දෙමව්පියන් අතින් මරා දැමෙන බව මා කීවිට සේරා දෙව්ර සැලුවේ සිය සිරුර හිරිවැටෙන බව අඟවමිනි.


සමහර වෙලාවල සේරා නිශ්ශබ්දව නයිල්ස් දෙස බලා උන්නාය. ඇගේ ඇස්වල හිරිමල් ආදරයේ පොහොට්ටු පිපී ඇති බව මට පෙනී ගියත් මම සමහන් සිතින් දරා උන්නෙමි.    


"ඔයා කාටහරි ආදරේ කරනවද?"


"ම්ම්ම් "


"මං නිකම් ඇහුවෙ.. අපි දැනටම එකිනෙකාව යම් තරමකට දන්නවා නෙ"


"හ්ම්ම්.."


"සමහර වෙලාවට අපි ආදරේ කරන අයම අපට ආපස්සට ආදරේ කරන්නේ නෑ"


ගෑනු හිතකට ඒ වචන වලින් විහිදෙන සම්ප්‍රේෂණ තරංග නොතේරෙනවානම් එය අමනොඥ කමකි. මට ඊට එහාට ගිය යම් නුවණක් තියේ. එබැවින් මම සේරා කී දේ ගැඹුර වහා වටහා ගත්තෙමි. 


"එයා ඔයාට ආදරේ කරනවද නැත්ද කියනෙක තීරණය වෙන්නෙ ඔයා මතමයි. ඔයා අහල තියෙනවද ලෝ ඔෆ් ඇට්රැක්ෂන් කෝඩ් එකක් තියෙනව.. ඔයාට ආකර්ෂණය වෙන්නෙ ඔයාට ඕන ජීවිතය නෙමෙයි. ඔයා දැන් ජීවත් වෙන. ජීවිතය යි කියලා"


 මම ඇයට කල්පනා කරන්න ඉඩ දී එතැනින් වෙන තැනකට ආවෙමි. නයිල්ස්ගේ බොස්ගේ බිරිඳ මා ගැන බොහෝ දේ අනික් කාර්යාල සගයන්ගේ බිරින්දෑවරුන්ට කීවේ මහත් ආශාවෙනි. 


"මට දුවක් හිටියා නම් එයා ඔයා වගෙ හැදෙනවාටයි මම කැමති බිම්මා. ඔයාට වැඩක් බාර දුන්නොත් ඔයා ඒවා කරන්නෙ ඒවා ඔයාගෙ වැඩ කියලා හිතාගෙන. ඩෙඩිකේශන් කියන්නේ මනුස්සයෙක් ව තමන්ගේ ජීවිතේ ඉහළටම ගෙනියන ගුණාංගයක්"


සේරා මදෙස බලා උන්නාය. සෘජු ශක්තිවන්ත බැල්මකිනි ඒ. රාත්‍රියේ අපි සේරාවද ඇරලවාගෙන අපේ නිවස තෙක් පයින් යාමට තීරණය කරගෙන සිටියෙමු. සේරා ඒ ගැන අමුතුවෙන් කෘතඥශීලි නොවීම මසිත යම තරමකට පසුගාමී කර තිබිණි. ඇය ජීවත් වූ තට්ටු නිවාසයෙ ආරකෂක අංශය තෙක් ඇය සමග ගිය නයිල්ස් ඔවුන්ට කිසිවක් කියා ඇය ඈතට ඇවිදගෙන යන තෙක්ම හැරී බලා සිටියේය.


ඉන්පසුව , මගේ උරවටා අත දාගෙන ගිම්හාන සඳ පහන යට මා සමඟ ඇවිද ආවේය. ආකාසය යට ඇවිදීම සාපේක්ෂව හිතට ඇති කරන්නේ වෙනසක් වුනත් නයිල්ස් සහ මා අප දෙදෙනාම මොකක් හෝ පටලැවීමක් හිතේ උහුළා ඔසවා හිඳිනු දැනිණි.


"මෙ පාර ලංකාවෙ ට්‍රිප් එක වෙනස්ද?"


"හ්ම්ම්ම්.. කිසිම ප්‍රයිවට් ගමනක් ගියෙ නෑ. හැමදේම සිද්ධ වුණේ ඔෆිශල් දේවල් එක්ක.."


"ඔව්.ඔයා ආවෙ සතුටින් නෙමෙයි"


"ලංකාවෙ මිනිස්සු එහෙ ගවන්මන්ට් එක ගැන හුගක් කලකිරිලා ඉන්නෙ. ඔයාගෙ රටේ මිනිස්සු වගේ නෙමෙයි මගෙ රටෙ මිනිස්සු .. ඒ මිනිස්සුන්ට තමන්ගේ ජාතියයි ආගමයි කියන එක මහා ලොකු දෙයක්. මං නම් පොඩි කාලෙ ඉඳලම හිතුවෙ ආගම් කියන්නේ අපේ පාරිසරික සාධකත් එක්ක හැදිච්ච සංකල්ප කියලා. ඒත්, මිනිස්සු ඒක සලකන්නෙ ආභරණයක් හැටියට. ඒකෙන් තමන්ට ලැබෙන හික්මීම හරි සිල්වත්කම හරි යහපත් බව හරි ගැන නෙමෙයි. මං අහවලා ගෙ අහවල් දහම අදහන්නෙ කියනෙකත් එක්ක ගොඩ නංවගත්ත මාන්නයක් නඩත්තු කරනෙක තමයි ආගම කියල මිනිස්සු හිතන්නේ .."


"එතකොට ඒක වරදින හරිම තැන මොකක්ද ?"


"කපටි හිවල්ලු වගෙ ඉන්න දේශපාලනඥයො. උන් මිනිස්සුන්ගෙ සංවේදීම පොයින්ට් එක වෙන ආගමයි ජාතියයි බේස් කරගෙන මිනිස්සුන්ව බෙදා ගන්නව. තමන්ගේ ඡන්ද පදනම හදාගන්න. එහෙම කුට්ටි කරගත්තාම මහ ජාතියයි සුළු ජාතියයි කියලා උන් උන්ට පුලුවන් ඒ ඒ කුට්ටියට අදාල ජාතියෙන් අපේක්ෂකයො දාලා ඡන්ද මංකොල්ල කන්න. එහෙම තමයි උන් පාර්ලිමේන්තුව ඇතුළෙ බහුතරය හදාගන්නෙ.. ඒ අස්සෙ සුලු ජන කොටස් වල ඝනත්වය ප්‍රමාණාත්මකව වැඩි වෙද්දි ඒ. වෙනුවෙන් වෙන් වෙන ආසන ප්‍රමාණය වැඩිවෙනව. එතකොට ඒ පක්ෂ වලින් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ප්‍රමාණය වැඩිවෙලා බහුතරය හදද්දි මේ සුලු ජාති ඡන්ද ටික ප්‍රධානම සාධකයක් වෙනව තුනෙන් දෙකේ බහුතරයක් හදන කොට . අනික් පැත්තෙන් සිංහල බෞද්ධ සංකල්පය එක්ක තුනෙන් දෙක ගන්න ට්රයි කරන පක්ෂ මිනිස්සු කුලල් කා ගන්න තත්වෙට පත් කරනව.. ""


නයිල්ස් දිගු සුසුමක් හෙළුවේය.


"ලංකාව කියන්නේ මොනතරම් ලස්සන රටක්ද? සෘතු විපර්යාස අඩු, ඉර එළියෙන් පිරිච්ච සාරවත් පසක්, වතුර හැමදේම තියෙන ලස්සනපුංචි රටක් දියුණු කරන්න මොනවද නේද ඒ රාජ්‍ය නායකයො කරලා තියෙන්නෙ.. "


"මට දැනෙන විදියට හැත්තැ ගණන් වල හිටිය බණ්ඩාරනායක කියන අගමැතිවරිය ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට ස්ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය රටට ගේන්න ඕන කියලා හැඟීමක් තිබිලා නෑ.. "


"මිනිස්සු ඒක පිළිගත්තෙ නැත්ද?"


"නෑ .. මිනිස්සු ඒ කාලෙන් පස්සේ එන පළවෙනි මැතිවරණෙදිම එයාව පරද්දනව. ඊලගට එන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ලෝකෙ පළවෙනි අගමැතිවරිය වෙන සිරිමාවෝ බණ්ඩාරනායක ගෙ ප්‍රජා අයිතීන් පවා අහෝසි කරනවා. ඊට පස්සේ ජේ. ආර්. ජයවර්ධන කියන විිධායක ජනාධිපතිවරයා බිහිවෙනවා. විවෘත ආර්ථිකය ලංකාවට අඳුන්නලා දෙනව.."


"විවෘත ආර්ථිකය කියන්නෙ නරක දෙයක් නෙමෙයිනෙ බිම්මා. කොහාමෙත් ලෝකෙ ගොඩක් රටවල් මිශ්‍ර ආර්ථිකය එක්ක ගිහින් තමයි සක්සස් වෙන්නෙ"


"ඔව්. ඒත් ලංකාවෙ ෙද්ශපාලන සාක්ෂරතාවය කියන්නෙ අඩු දෙයක්.. දැන් ඉන්න තරුණ පරම්පරාව තමයි කොන්ද කෙලින් තියාගෙන ඒ වෙනුවෙන් ෆයිට් කරන්නෙ"


"රටවල් වලට එහෙම වැටිලා තියෙන්න බෑ … රටවල් නැගිටිනව. දැක්මක් තමයි ඕනෙ.."


අපි ඒ කතාවෙන් වෙහෙසට පත් නොවීම ගෙදර තෙක් ඇවිද ගියෙමු. රාත්‍රින් කීයක්ද මන්දා එහෙම නිශ්චලව ගෙවී ගියේය. ඒ කාලය තුළ එරන්ද ඇත්තෙන්ම සිටියේ බොහෝසේ නිශ්ශබ්දව ය. තමන් සමඟ ජීවිතේ අරුමැසිම කාලයක් ගෙවා වෙන්වී ගිය ගැහැනියක ලෙස ඔහු මට කෞතුක වටිනාකමක් දී ඔහුගේ මනස් කෞතුකාගාරයිහි තැන්පත් කර ඇතැයි යන හැඟීමකින් මම වෙහෙසවී සිටියෙමි.


දවස තිස්සේ අපමණ වැඩ රාජකාරි වල නියැළෙමින් සිටියද, සමහර දිනක අවසාන පැයෙහිදී මට එරන්ද නැති වේදනාව තදින් දැනිණි. වයින් එකකඩ වඩා සැර මත්පැන් වීදුරුවක උදව්වෙන් එවැනි දවසක් අවසන් වුවද පහුවෙනිදාට එය වඩාත් වෙහෙසකර ආරම්භයක් ඉතිරි කළේය. 


පෝල් හේඩ්න්, වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂනක ධුරය මට භාර දෙද්දී මම ඉන් සතුටට වඩා කැළඹීමකට පත්ව සිටියෙමි. 


"පෝල් ඔයා හිතනවාද මට මේක කරන්න පුලුවන් කියලා "


මම වෙනම පෞද්ගලිකව පෝල් ගෙන් විමසීමි.ඔහු මගේ උරහිසට තට්ටු කර කීවේ ආසියාතිකයින් බටහිර රටවල ඉහළම තානාන්දර වලටද ළඟාවෙමින් සිටිනා යුගයක මා මගේ දුඹුරු සමැති භීතිකාව අත්හැර ජීවිතයෙ ඉදිරිය දකින්නට උත්සාහ කළ යුතු බවයි.


"ඔයා හරියට පුංචි අත්තටු තියෙන කිරිල්ලියක් වගෙයි බිම්මා. කලින් වතාවෙ ලංකාවට යද්දී ඔයා හිටියෙ කූඩුවෙන් එලියට නොදැම්ම අලුත් අත්තටු තියෙන කුරුලු පැටියෙක් ගානට. හැබැයි, ඔයා ආපහු ආවෙ පුදුම ජවයක් එක්ක.. අනිත් එක ඒ ප්‍රොජෙක්ට් එකේ අවුට්පුට් එක.. ඒක කොච්චර ඉස්තරම්ද කියලා කියන්න මට වචන නැති තරම් .. මට මගේ ජීවිත කාලෙ දේවල් ලැබුනෙ සැහෙන්න කල් බලං ඉදලා. සමහර අභියෝග වලට මුහුණ දීගන්න මට ශක්තිය හුඟක් මදි.. ඒ්ත් ඒ අපරාදෙ ඔයාට වෙන්න දෙන්න බෑ..ඒ නිසා මේ අවස්ථාව අරගෙන පියාඹලා යන්න "…


පෝල් හේඩ්න් වගේ මිනිසුන් අඩු ය. එවැන්නන් ඇසුරේ වැඩෙන්නට අවකාශ ලැබීමම සතුටකි. 


"ඔයාගෙ බ්ලොග් එකෙත් මේක ගැන ලියන්න. ඒක හරහා අපට හොඳ පබ්ලිසිටි එකක් ගන්න පුලුවන්. අනිත්තෙක බිම්මා, ඒ වෙනුවෙනුත් අපි බජට් එකෙ ඇඩ්වටයිසින් පෝශන් එකෙන් ගණන් වෙන්කරගන්න ඕනෙ"


"නෑ නෑ පෝල්.. මං කොහොමත් ඉතින් ටික ටික මේ ගැන දේවල් ලිව්ව.. ඔෆිශලි නොලිවෙ ඒකට අපෘවල් ගගන්නෝන නිසා"


"දැන් ඔයා මේ ව්‍යාපෘති අධ්‍යක්ෂක.. ඔයාට වෙන කාගෙන් අපෘවල් ගන්නද?"


"ඒත් ඒ නිසාම මගෙ බ්ලොග් එකේ මේක ඇඩ්වටයිස් කරන්න මං කැමති නෑ පෝල්.. ඒක නිකම් කම්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකට යනවා කියලා"


"ඔය තින්කින් පැටර්න් එකට නම් මම මොනවා හරි කරලා ඔයාට උත්තරයක් හදලා දෙනවා.. "


පෝල් කීවේ සිනාසෙමිනි. 


"තමන්ගෙ පෞද්ගලික ව ගොඩනගාගත් දේවලට හැදෙන සමාජයිය වටිනාකම් වලට මුල්‍යමය වටිනාකම් ලැබෙන්න සුදුසු කාල ආවම අපි ඒවා පාවිච්චි කරන්නෝන. අපට මේ අවස්ථා ලැබෙන්නෙ අපි අපි කාලයක් තිස්සෙ පුරුදු පුහුණු කරපු මැනිෆෙස්ටේශන් වල ප්‍රථිපල විදියට.. අනික් අතට අපිට අපේ මැනිෆෙස්ටේශන් වල අවුට්පුට් එක නිකම්ම පහළ වෙන්නෙ නැහැ.. ඒ වෙනුවෙන් අපට ඇක්ශන් ගන්න වෙන වෙලාවල් එනව.. "


ඉතින්, අධ්‍යක්ෂක මණ්ඩල තීරණයක් හැටියට බිම්මාස් සිල්ව ස්පුන් හි අපේ ඉන්ටනැශනල් ෆුඩ් ෆෙස්ටිවල්ස් හි ප්‍රචාරණ කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාව ඔවුන් අවධාරණය කර තිබිණි. ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක් මේ වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳ ගත්තේ නර්මදාගේ දක්ෂතාවය සහ උවමනාව හේතුවෙන්මය. 


***********************


එරන්ද.. මේ දවස් වල එරන්ද අපේ මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මුල් වී ක්‍රියා කළේය. හැම සවසකම අපට කතා කරන්නට දෛනිකව සිදු වූ දේ ගැන සමාලෝචනයක් කරන්නට කිහිප දෙනෙකු එකතු වී සුම් හමු යොදා ගනිමින් සිටියෙමු. සමහර සුම් හමුවක දී , කෑම මේසය අසල තියා ඇති ශීතකරණයෙන් බියර් කෑන් එකක් රැගෙන යන නයිල්ස්ව ඔවුහු දැක ගනිති. එසැනින්, අනික් අතට මගේ ජංගම දුරකතනය එරන්දගේ කෙටි පණිවුඩයකින් සෙළවෙයි.


"හරියට බිම්මා මගේ කියලා පෙන්නන්න වගේ ඌ ඇවිත් යන්නෙ"


මම සිනා මුහුණක් යවමි. එරන්දට ජානු ගේ අවතාරය වැහීම මගේ ළපටි කෙළි හිත සතුටුවත් කරන්නේය. දහසකුත් දේවල් කතාකරන සුම් හමුවකදී ද මගේ මුහුණට සිනාවක් ගෙනෙන්නේය. ඇත්තටම අපි මේ කාලයේ ආදරය ගැන කතා නොකර සිටියෙමු. එය මා නයිල්ස් එරන්ද මෙන්ම සසදි ගැනද කතා නොකරිමකි. 


බිම්මාස් සිල්වර් ස්පුන් මේ තරම් ජනප්‍රිය තැනක තිබුණේයැයි මමද විශ්වාස නොකළෙමි. ෆලෝවර්ස්ලා ගණනින් හෝ ලයික්ස් ගණනින් ජනප්‍රියත්වය නිර්ණය කළ හැකි වුව ද අපේ ව්‍යාපෘතියට මෙතරම් ප්‍රතිචාර ඒ හරහා ලැබීමෙන් මටද වඩා අමන්දානන්දයට. පත්ව සිටියේ පෝල් හේඩ්න් බව කිව යුතුම ය. 


"දැන් ඔයාට තේරෙනවාද උප මහාද්වීපයක පුංචි දූවක ඉපදිලා හැදිලා වැඩුණත් හිතට ශක්තිය තියෙනවානම් ලෝකය දිනන්න කිසිම සීමාවක් නැහැ කියලා.."


මම පෝල් කී දේට හිස වැනුවෙමි. 


"ඔයාගෙ බ්‍රේන් එක රීශෙඩුල් කරගන්නයි ඕනෙ.. තේරුණාද? ඔයා දැනට යුස් කරන සෙල්‍ස් ටික වෙනස් කරපු ගමන් මෙතෙක් කාලයක් ඔයා හිතන්න පාවිච්චි නොකළ සෙල්ස් වැඩ කරන්න පටන් ගන්නව ඒවයෙ ෆුල් කැැපැසිටි එකෙන්ම.. එතකොට ඔයාට පුළුවන් අලුතින් වැඩ කරන්න.. කොහෙමාත් ඔයාට පවර් එකක් පිහිටලාම තියෙනව"


එය සතුටකි. අප හිතුවාටද වඩා ප්‍රතිචාර ලැබිණි. මට කුඩා කණ්ඩායමක් පැවරිණි. කාර්යාලයේ දෙවසරකට වඩා සේවය කරමින් සිටි ඉන්දියානු තරුණයෙක් වූ මුකේශ්, දේශිය නිලධාරිණියක වු ශෙයිලා, සමග ඉන්ටර්න් හතර දෙනෙකුද කණ්ඩායමට ඇතුළත් විය. මෙය තනිකරම විදේශීය ව්‍යාපෘතියක් වූ බැවින් සියළුම ලිපි කටයුතු විසා ගුවන් ටිකට් පත් වල වියදම් දැරුවේ ආයතනය විසිනි.


මුකේශ් ශ්‍රී ලංකාවට යන්නට ලැබිම ගැන සතුටිනි. ඔහුට මුලු ඉන්දියාවේමවත් සංචාරය කිරීමට හෝ අවස්ථාවක් ඔහුගේ ජීවිත කාලයේදී ලැබී තිබුණේ නැත.


"එහෙ අකමෙඩ්ශන් වෙහිකල් ඇරේන්ජ්මන්ට් ඔක්කෝම බලාගන්න වෙන්නෙ අපේ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටට.."


"මං එහෙන් ප්‍රොජෙක්ට් කෝඩිනේට කෙනෙක් ගත්තා … දැනටම අපේ අකමඩේශන් ට්‍රාන්ස්පෝට් ඇරේන්ජ්මන්ට් හැම දේම ඕකේ…"


ලංකාවට මා යා යුතු බැවින් අපේ ආදරය ආයේ දුරස්ත සම්බන්ධතාවයක් බවට වෙනස් වෙන බව මම දුකින් , මවාපැමකින් තොර ව ඇත්තෙන්ම කියද්දීත් දුකෙන් නයිල්ස්ට කීවෙමි. ඔහු සිනාවෙමින් මා වැළඳ ගත්තේය. 


"අපි හතරවෙනි සතියෙ අන්තිමේදී කලම්බො වල දී අනිවාර්යෙන් මුණගැහෙනවා.."


නයිල්ස් සැලසුම් කරගෙන සිටියේ එහෙම ය. ලංකාව බලා පිටත් වීමට නියමිත ගුවන් ගමනක් අතරමගකදී වෙනත් රටක දිගු කාල අන්තරයක් සහිත ගමනක ය අප යෙදුණේ. ට්‍රාන්සිට් එක අතරතුරදී වයිෆයි කලාපයක් හමුවිය.මම මගේත් අපේ කණ්ඩායමේත් ඡායාරු කිහිපයක් සහ සෙල්ෆි කීපයක් නයිල්ස්ට වට්සැප් ගොණුවක ඇමුණුවෙමි. ඔහු සිටියේ කාර්යාල මිටිමක බව කියා සේරා පිළිතුරක් එව්වාය.


ංදැන් ට්‍රාන්සිට් ද?"


සිනාමුහුණකි. එරන්ද ය. ඔහු ඉතින් මගේ ගුවන් ගමන පවා නරඹන්නේය. ඒ අතරමග ගත් ස්ක්‍රීරින් ශොට් කිහිපයකුත් වට්සැප් එකේ එල්ලා ඇත.


"වලාකුළකුත් අරන් තරුවකුත් ණයට ඉල්ලං එන්න… තරුව ලන්තැරුමක අලවලා අපට පුළුවන් වලාකුලක් දිගේ පාවෙවි ඉන්න.."


"ඇයි ණයට..?"


"ආපහු යද්දි තිබුණු තැනින් තියලා යන්න"


"ඔයාට තියා ගන්න බැරිද? මතකයක් විදියට"


"මේ පාර නං මතක මොනවත් තියා ගන්නෙ නෑ.. ඒවා මාව මරලම දාවි"


"එච්චර දරුණුද මගෙ මතක

ඒවා උල් කරපු දියමන්ති කිණිසි වගේ.. වටිනවා. එළියයි. ලස්සනයි. හැබැයි ඇනෙන කොට රිදෙනවා. හදවත ඉරෙනවා. ඒ සීරුම් සනිප කරගන්න කල් යනවා."


"මං මේ පාර ඒ හැම මතකයකම මල් වලින් ඩෙකරේශන් එකක් අමුණන්නයි යන්නෙ.. "


"එතකොට උල් වල සියුම් ගතිය අඩු වෙනව ද?"


"නැතිවෙයි.. හැබැයි අග්ගිසි වල මල් පැටලිල තියෙන නිසා ඔයාගෙ හදවතෙ ඇනෙන්නෙ මල් මිසක් උල් නෙමෙයි.."


නැවත ගුවන් ගමන ඇරඹිණි. කටුනායකට එනතෙක් මට සුව නින්දකට වැටෙන්නට හැකිවිණි. මගේ කණ්ඩායම නවකයන් හතර දෙනෙක් ගෙන් යුක්ත වූ බැවින් වෙනදා හුදකලා ගමන් යනවාට වැඩියෙන් වෙහෙස වෙන්නට වගකීම් සහිතව වැඩ කරන්නට සිදුව තිබිණි. කටුනායක සිට වෙන් කර ඇති නවාතැනට අපව ගෙන යන්නට රෝසා වර්ගයේ මිනි බස්රියක් සුදානම් කළ බව නර්මදා කියා එවා තිබිණි. ඇය තෝරාගෙන සිටි ස්වේච්ඡා කණ්ඩායම විශ්ව විද්‍යාල සිසුසිසුවියන් හය දෙනෙකුගෙනුත් අචල එරන්ද සහ ඇගේ අමාත්‍යාංශයෙන් යොදවා ගත් දෙතුන් දෙනෙකුගෙනුත් සමන්විත විය. කොහොමටත් නර්මදා පිළිවෙලට වැඩ කරනා බැවින් ඇගේ ප්‍රසම්පාදන ක්‍රියාවලි කිසිම තැනක සැක කටයුතු කිසිවක් සිදු නොවේ. 


කටුනායක දී යානාව නැවැත්වූ සැනින් ආයේ ලංකාවේ සිම්පත ක්‍රියාත්මක වෙන්නට පටන් ගත් අතර පළමුවැනිම ඇමතුම මට ලැබෙන්නට ඇත්තේ කාගෙන් වෙන්නට පුලුවන් ද? එය අප නවාතැන තෙක් ගෙන යන්නට පැමිණි ස්වේච්ඡා කණ්ඩායමට අයත් විශ්ව විද්‍යාල සිසුවා ගෙනි. 


පැමිණීමේ පර්යන්තයේදි ඔහු අපට හමුවිණි. කණ්ඩායම බස් රියට නැගි පසුවත්, මම මොහොතකට එකල මෙකල වූයෙමි. අවසානයේ මා බලාපොරොත්තු වූ කිසිවක් නැති බැවින් බස්රියට නැගී දොර ආසන්නයේ අසුනක හිඳ ගත්තෙමි. දුරකතනය නාද වන්නට පටන් ගත්තේ අචලගේ අංකයෙනි. මම සිනාවක් ඇතිව එය ඇමතුවෙමි.


"අපි එක්ක යන්න එනකම් ඉවසන්න බැරුවද ඔය යන්නෙ? "


"අනේ….. ආවද?"


"ඔව්.. බස් එක පස්සෙන් එනවා. ඉස්සරහින් බැහැලා අපේ එකට නගින්න බැගේජස් ඕන නෑ"


මම ස්වේච්ඡා සරසවි සිසුවා , නෙතුල ලව්වා බස්රිය නවත්වා ඉන් බැස්සෙමි. ඊට පෙර මා අනිවාර්යයෙන්ම නවාතැනට පැමිණෙන බවත් එතෙක් නෙතුල සමඟ සම්බන්ධ වී ඉතිරි කටයුතු කරගන්නා ලෙසත් මුකේශ් ඇතුළු පිරිසට කීවෙමි. 


මා මින්පෙර දැක නැති අලුත් වාහනයක් පැමිණ මා ළඟ නැවතිණි. අචල ඉන් බැස්සේ ය. මා වැළඳ ගත්තේය


"ඉතින්, ඉතින්.. කාගෙද මේ බේබි?"


"මගෙ. ශෝක් නේද?"


"ඔව්.. දැක්ක ගමන් බදා ගන්න හිතෙනවා"


"රෙජිස්ටර්ඩ් .. කලින් ඕනර් හිටිය ගමන් රට ගියා. සේවින්ස් ටිකයි ලීස් එකකුයි දාලා මං ගත්තා"


"ලීස් එකයි මේකෙ මේන්ටේනන්ස්නුයි කරගන්න ඔයාට අර්න් කරන්න පුළුවන් නෙ"


"යංකො.. ඔයා එනකම් ලෝකෙටත් වඩා මග බලාගෙන එකෙක් ඉන්නවා"


"එයාව බලන්නද යන්නෙ?"


මම පසුපස අසුනෙන් හිඳ ගත්තෙමි. අචල යම් යම් දේ කීවේය. ඒ ෆෙස්ටිවල් එක සම්බන්ධ ක්‍රියාකාරකම් ය. කොළඹ ඇති ඉහළම සංචාරක හෝටලයක් වෙන් කරගැනිම, සහ ඒ සඳහා එවැනි හෝටල් කිහිපයකින් කොටේශන් ලබා ගැනීම ඒ වන විටත් සිදුකර තිබිණි. යම්කිසි සීමාකාරි තත්වයන්ට අනුකුලව ඔවුන් සිය මිල ගණන් ලබා දී ඇති බව අචල තවදුරටත් කීවේය. 


අප යන්නේ කොතැනට ද කියා මා විමසුවේ නැත. එහෙත්, මේ තරුණ මහත්මයා සිය අලුත්ම මෝටර් රථය ජා ඇල දෙසට පදවා ගෙන යන බව මා දුටුවේ කඩසාප්පු වල ඇති නාම පුවරු ආධාරයෙනි.රාය තරමක් ලොකු වත්තකට ඇතුල් වූ අතර එය පැරණි නිවසකි. එහි මිදුලේ වාහන කීපයක් නවත්වා තිබිණි. 


"පොඩි රෙස්ට් එකක් අරන් යං"


මම රියෙන් බැස්සෙමි. එහෙත් හිතේ දෙබිඩි හැඟීමකි. ඒ හැඟීම ඇත්තටම ඇතිවිය යුත්තක් නොවේ. මීට වඩා අනතුරු දායක අවස්ථාවන්හිදී ද අචල වැනි හොඳට  නොදන්නා පිරිමි සමඟ ද මා කටයුතු කර තිබේ.


එය රෙස්ටොරන්ට් එකකි. සම්ප්‍රදායික නයිට් කඩයකට එහා ගිය තැනකි. 


"අපි මේක කරන්න පටන් ගත්ත"


අචල කීවේ මා පුදුම කරවන සුළු හඬකිනි. හිත සතුටින් පිරිණි. 


"එන්නකො"


*******************************


සංග්‍රහ කිරීම් සම්බන්ධ පෙදෙස අවසන් වූ පසු පැරණි නිවෙසෙහි කොරිඩෝවක් දිගට අපි ඇවිද ගියෙමු.  එහි වූයේ කාමර පේළියකි. කෙළවර කාමරයෙහි දොරට තට්ටු කරනා ගමන් අචල කීවේ ඔවුන් මෙය වෙනස්ම ආකාරයකට කරගෙන යන්නට බලාපොරොත්තු වෙන බව ය. 


දොර හැරිණි. එරන්ද එහි සිට එබී බැලුවේය. ඔහු නිදාසිට ඇති බවත් මා මෙහි දැක්ම කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ බවත් පෙනිණි. 


"අඩෝ.. උඹ බිම්මව එක්ක එන්නද ගියෙ?"


"ඔන්න එක්ක ආවා.. බිම්මා, වොශ් එකක් දාලා මොනා හරි කාලා බීලා යමු"


අචල ආපසු ගියේය. එරන්ද මා කොයිතරම් තදින් වැළඳ ගත්තා ද කියනවානම් 'ආව් රිදෙනවා' කියා කියන්නට පවා මට සිදුවිණි. අපි මොහොතකට දුරස්ව එකිනෙකා දෙස බලා උන්නෙමු. 


"අරු නං පිස්සෙක්.. මං ඇත්තටම හිතුවෙ නෑ අද මෙහෙම මෙතන දකින්න හම්බවෙයි කියලා"


"ඉතින් සතුටුද? නැත්ද?

"

පිස්සු කතා කරනවද? ජීවිතේ අහම්බෙන් ආසම දේ සිද්ධ වෙනකොට.. ඒක තනිකරම පිස්සුවක් වෙනවා"


මම නාන කාමරයේ කැඩපතින් පෙනෙන මා දෙස බලා සිටිමි. මා මලක් මෙන් සතුටින් පිම්බී හිඳිනු මට පෙනෙයි. මුහුණ පිසදමින් මා ඉන් එළියට ආවාම එරන්ද එය මගේ අත් වලින් ගෙන ඇදුම් රැක් එක මත වැනුවේය. මදෙස බලා සිටියේය. ඒ අවුල් වූ කන් දෙපස කොණ්ඩ රැලි ඇඟිලි තුඩු වලින් එහෙමෙහෙ කර මගේ මුහුණ පැහැදිලි කර ගනිමිනි.  ඉනික්බිති , එළඹෙන හදවතේ ගැස්ම වැඩිවෙන අප එකිනෙකාගේ අවයව වල ගැටෙන ඇලෙන වෙළෙන මොහොත එලඹිණි. අප කවරදාකටත් හිත් වලින් සංයමයෙන් පෙම් කළ උන් නොවේ. ජීවිතයෙ අසම්පුර්ණතා හිතින් දිය කරලමින් සෛල අතර සම්පුර්ණතාවන් පුරවා ගන්නා ජීවිත මොහොත ලැබී ඇත. 


එරන්ද, දෑස අඩවන් කරගෙන මා මත වැතිරිණි. අප කිසිවක් කතා නොකිරීම හොඳය. එවිට සම්පූර්ණ අවධානය සම්පුර්ණත්වය උදෙසා වෙන් කළ හැකි ය. ඔහුගේ නම්‍යශීලී සිරුර නැමෙනු, දිගහැරෙනු මම බලා සිටියෙමි. ඒ හුරුබුහුටි අත් පා මත මා ද නැමෙනු දිග හැරෙනු මට දැනිණි. උඩු බාහු වල වරෙක පිම්බෙන මස්ගොබයක් මත මා දෙතොල තියනා තත්පරයක ඔහු ඔහුගේ චාරිකාව මදකට නවතා හික්මී මගේ මුහුණ ට එබිණි. 


"මං ඔයාට ආදරෙයි මගේ වස්තු"


මාත් කියා කියන්නේ කුමකටද? මගේ ඇස්වල එය ලියා ඇත. එරන්ද අවසාන උත්කර්ෂවත් තත්පර ගණනින් පසු මා අසල දිගාවුණේ සහනදායි සුසුමක් විසුරමිනි. 


"ඔයා ආයෙ එයි කියලා බලාපොරොත්තුවක් විතරයි මට තිබුණෙ. ඒ ආවත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතලම නෑ මම"


"බලාපොරොත්තු කවදාවත් අතාරින්න නරකයි මිනිස්සු වුණාම

කවුද ඉතින් හිතන්නේ වෙන රටක සැනසිල්ලෙ ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් හැම වෙලාවෙම මෙහෙම මං ගැන හොයල බලයි මං වෙනුවෙන් ලංකාවට එන්න හේතු හොයා ගනියි කියලා"


"සමහර විට රටකට , හොඳයි කියලා හිතෙන සැපපහසු ජීවිතේකට වඩා එක හදවතක් වටිනවා වෙන්න බැරි ද?"


එරන්දත් මාත් එකිනෙකා මත නිමී යයි. එහෙම නිවීමක් හමුවෙනාතුරු මේ ජීවිත කාලයේම සහමුලින්ම අප නොනිවී බලා ඉනු ඇත. මා අපේ කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලය තෙක් ගෙනයන්න අචල ආවේය. 


"බලපන් පැය ගාණක ෆ්ලයිට් එකකින් පස්සෙත් මේ කෙල්ල මාර එනර්ජි එකකින් හිටියා දැන් බලපංකො.. මාර ටයර්ඩ් පාටයි නේ "


අචල කීවේ එරන්ද දෙස බලමිනි. මම ඔවුන්ගේ කතාබහට කිසිවක් නොකියා නිශ්ශබ්ද ව පැමිණ වාහනයට නැගුවෙමි. 


"පරෙස්සමින් එක්කන් පලයන්. ඔය මගෙ පණ.."


එරන්ද අචලට කීවේ වාහනයේ කවුළුවෙන් එබී මගේ නළලද සිඹිමිනි. අචල සිනාසුණේය. එනාතරමග අචල ඇසූ කෙටි ප්‍රශ්න වලට පිළිතුරු දුන්න ද මා සිතින් සිටියේ සිිහින සමෝදානයක ය. උතුරා ගලන ආදර යායක ය. ඇස් වහාගත්තාම නෙතු මත්තේ මැවී පෙනුණේ ඒ මුහුණ ය. හීන ඇස් දිලිසිණි. 


ඉතින්, අපි ඊට පසුදා සිටම ෆුඩ් ෆෙස්ටිවල් එකට අදාල කාර්යයන් ඇරඹුවෙමු. ලෝකය පුරා රටවලින් මේ සඳහා ඉල්ලුම්පත් ලැබිණි. මේ සම්බන්ධයෙන් විද්වත් මඩුල්ලක් ඉල්ලුම්කරුවන්ව තෝරා අවසාන ලේඛනයක් ලබා දුන්හ. 


අපි පැමිණෙන්නන්ට අවශ්‍ය නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් ගැන සැලකිලිමත් වීමු. අප කටයුතු කළේ අනුග්‍රාහක දිවයිනක් හැටියටය. ඉතින් සංචාරක අමාත්‍යාංශය , ආහාර දෙපාර්තමේන්තු ආදි පාර්ශ්ව කිහිපයක් අප හා එක් වු බැවින් මේ සා වැදගත් වගේම අබිමානවත් උළෙලක් සංවිධානය කිරිමේ අධ්‍යක්ෂක වරිය වීමේ භාග්‍යය මට ලැබීමෙන් මම බොහෝ සේ සතුටු වූයෙමි. 


මාරුවෙන් මාරුවට අචල හෝ එරන්ද අප සමග වැඩ කළේය. අපුර්වතම ආරංචිය වූයේ සුදු නංගීත් මිහිරත් බිළින්දෙකු බලාපොරොත්තු වීම ය. එබැවින් මිහිර නිරන්තරයෙන් සිය නිවසේ කටයුතු ගැන අවධානයෙන් සිටියේය. 


"ඒක ඇත්තටම කියාගන්න බැරි හැගීමක් බිම්මා. තාත්තෙක් වෙනවා කියනෙක. අනිත් එක එයා මගෙ පාට වෙයිද එයාගෙ අම්මා වගේ කිරිපාට බෝලයක් වෙයි ද කවුද දන්නෙ"


ඒ මිහිරගේ බලාපොරොත්තු ය. සසඳි! පුපුරන්නට පෙර දිගු කාලයක් නින්දට වැටෙන ගිනිකන්දක ස්වරූපය මම සසඳිගෙන් දකිමින් සිටියෙමි. ඕ එරන්ද සමග රණ්ඩු පටලවා ගැනීම අතැර දමා තිබිණි. අඩුම ගණනේ මේ ව්‍යාපෘතිය සම්බන්ධ යෙන් වුවත් කිසිම විරෝධයක් පළ කර තිබුණේ නැත. 


එක් දිනෙක, අපේ සමාලෝචන වැඩ කටයුතු අහවරව අපි බියර් බොමින් සිටියේ අගනුවරට ආසන්න රෙස්ටොරන්ට් එකකය. අපේ කණ්ඩායම වැඩ අහවර වූ පසු ඇවිදින්නට පටන් ගනිති. ඔවුන් කොළඹ රාත්‍රි දිවියට ඇලුම් කරති. 


"අද ඔයාගෙ කෲ එක එකද්දි හොඳටම පරක්කු වෙයි. හෙටත් නිවාඩු නෙ"


"හ්ම්ම්ම්.."


"බ්ම්මා… "


"ම්ම්ම්"


"අද අපේ දිහා යං"


එරන්ද ඇසුවේ මුමුණමිනි. මම මොහොතකට තිගැස්සී ගියෙමි. 


"අම්මලා ඉන්නවා නෙ"


"ඔව්. කමක් නෑ නෙ ඉතින් නේ"


"අනේ හිස් අතින් එන්න බෑ නෙ"


"ඔයා ගැන ගෙදර අය ටිකක් දන්නවා "


"ටිකක් කිව්වෙ"


"මේ ගොඩක් දේවල් ඔයා නිසා වෙන දේවල් කියලා"


"ඒ කිව්වෙ"


"ඔයා අපිව ගොඩ ගන්න පහළ වෙච්ච කෙල්ලෙක් කියලා"


"ඕගොල්ලන්ගෙ මොනවද අනේ ආයෙමත් ගොඩ ගන්න තියෙන්නෙ?"


මා සිටියේ අතීරණකය. එහෙත් අවසානයේ මගේ නිශ්ශබ්දතාවය ප්‍රයෝජනයට ගත් එරන්ද කිරුළපන ප්‍රදේශයේ ඇතුල් පාරකට රිය හැරෙව්වේය.  එරන්දට තිබුනේ කුඩා නිවසකි. එහි ඉදිරිපස වාහනය නැවැත්විමට ඉඩ තිබුණත් එය හැරවිමට හෝ එහෙ මෙහෙ කිරිමට ඉඩක් නැත. ඇතුල් කළ විදියටම එලියට ගන්න සිදුවෙයි. 


"යං"


මම ඔහු දෙස විමසිල්ලෙන් බලා සිටියදී ඔහු කීවේය.


"මං එහෙම එන එක හොඳ ද?"


"අනේ මේ මගුල් කතා කරන්න යනව නෙමෙයි නෙ.. අපෙ අම්මටයි තාත්තටයි කෙල්ලෙක් නැහැ නෙ එයාලා ආසයි ඉතින් දුවෙක්ට"


 මම නිහඩවම ඔවුන්ගේ ගෙදරට ඇතුල් වූයෙමි. රාත්‍රි ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටි එරන්දගේ තාත්තා ලැජ්ජාශීලී සිනාවක් පාමින් වහා ගෙතුළට යත්ම කුඩා කොරිඩෝවෙන් එබුණේ අම්මා විය යුතුයයි මම අනුමාන කළෙමි.


"අම්මා හැමදාම අහනව බිම්මා කවුද ඇයි එයාට බිම්මා කියන්නෙ.. එයා කොහොමද කියලා..ඔන්න එක්කගෙනම ආවා.. 

අනේ …. කිව්වෙවත් නැහැනෙ … එකපාරටම එක්කගෙන ආවනෙ.වාඩිවෙන්න පුතෙ "


මට ඒ අම්මාගෙනුත් කමිසයක් ඇඟලා ගෙන පැමිණ අප අසල හිඳගත් තාත්තාගෙනුත් මට එරන්දගෙ ළමා කාලය හමුවිණි. ඔවුන් අදට ද මේ අවුරුදු තිස් ගණනක තරුණ මහත්මයාට සලකන්නේ සිගිත්තෙකුට ලෙසින්ම ය. අපි සාමාන්‍ය දේ කතා කරමින් සිටියෙමු. 


"මේ දරුවා ඇරලවන්නේ කොහොමද?"


"මෙයා අද මෙහෙ නවතින්නයි ආවෙ"


එරන්ද කීවේ සිනාසෙමිනි. මම විමති ඇසින් බැලුවෙමි. 


"අනේ නෑ ආන්ටි. මං දැන් යනවා… මා එක්ක ආව අය ඇවිදින්න ගියා. ඉතින් මේ එරන්ද මාව එක්කගෙන ආවා ඔයාලාව මුණගස්සන්න කියලා. මට අඩු ගානෙ ඔය දෙන්නට තෑග්ගක් හරි ගන්න බැරිවුණා"


"අනේ මොන තෑගිද පුතේ.. ඔයා හැම වෙලාවෙම මෙයාලා ගැන බලනවානෙ"


ඇය ආදරණීය අම්මා කෙනෙකි. ඇයව එහෙම දමා එන්නට සිදුවීමත් දුකකි. එරන්දගේ අම්මා ය කියන හැඟීම මගේ හදවත මෙළෙක කළේය. එරන්ද කුඩා කළලයක්ව වැඩුණේ ඇය තුළය. එරන්දගේ හදවතේ තුනී බව සිනිදු බව ඇතිවන්නේ මේ අම්මාත් තාත්තාත් ඔහුට පොවා ඇති යහපැවැත්ම නිසා බව මම විශ්වාස කරමි. ඒ දෙදෙනාගෙන් වෙන්වෙන මොහොතේ මගේ ඇසෙහි කඳුළු පටලයක් බැඳුණේ එබැවින් විය යුතු ය. වාහනයට නැග බොහෝ වෙලාවක් ගතවනතෙක් මා කිසිවක් කතා කළේ නැත.


"බිම්මා…"


එරන්ද බැරිම තැන කෝපයෙන්මෙන් මගේ නම කීවේය. මම වෙනත් ලෝකයක සිට මේ ලෝකයට මේ දැන් ඇද වැටුණාක් මෙන් මට දැනිණි. 


"මොකද වෙලා තියෙන්නෙ?"


"මන්දා.. ඒ දෙන්නා අද හම්බුණා නෙමෙයි.. කාලෙක ඉඳලා දැනගෙන හිටියා වගෙ"


"ඉතින් මාත් එහෙම නෙ"


"ඔයා වගෙ නෙමෙයි.. මං එයාලට බැවිලා ඉන්නවා වගෙ. ඔයාට තරමටම.. "


"ඉතින් ඇයි අඩන්නෙ?"


"දන්නෑ … මට මොකද්ද මන්දා මහ දුකක් දැනෙනව. මට ඔයාලා එක්ක මෙහෙ ජීවත් වෙන්නෝන වගෙ හැගීමක්.. "


 එරන්ද රිය පදවන අතරේම වම්අත මගේ ඉස් මුදුනට බර කළේය. පිරිමැද්දේය.


"අපි බලාපොරොත්තු වෙන විදියට හැමදේම සිද්ධ වෙනවනම් ඉතින් ජීවිතේ කිසිම ගතියක් නැති වෙනව නෙ."


මම ඒ උරහිසට හිස ඔබා ගමි. ඒ උණුසුම මට දැනෙන්නට පටන් ගනී. අපි එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වන බැඳීම එකිනෙකාගෙන් විසරණය වෙයි. නවාතැනට මා ඇරලවා එරන්ද ආපසු ගියේය. මා සිටියේ තෝන්තු මනසිනි. හිත අකීකරු වී ඇත. එරන්දම ඉල්ලයි. ඒ අම්මාට තාත්තාට එරන්දට ආදරය දෙමින් මට ඔවුන් හා ජීවත් වෙන්නට බැරිද? මම යටිහිත සමඟ තර්ක නොකරමි. දෛවය මාව නැවත නැවතත් ලංකාවටම එව්වේ ඇැයි? ඒකත් එරන්ද සමඟ සම්බන්ධ වී වැඩ කරන්නට වෙන ව්‍යාපෘතියකටම? 


"හීනයක් වගෙ මේ ඔක්කෝම මට"


"ඇයි ඒ?"


"මං හිතුවෙ නෑ මට අම්මලව මීට් වෙන්න පුළුවන් වෙයි කියලා"


"ඉතින් අපෙ අම්මල වීඅයිපී මිනිස්සු නෙමෙයි .. එයාලව ඕන වෙලාවක හම්බෙන්න පුළුවන්"


"එයාලා දැකලා කතා කරපු වෙලාවෙ ඉඳල මට ඇඬෙන්න එනව"


එරන්ද දුරකතනය එහා ඉමෙහි නිහඬ විය.


"මට ඒක දැනෙනව"


"ඇයි අපට මෙච්චර අපිව ඕනෙ?"


"මං දන්නෙ නෑ .. "








 

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...