විසි තුන්වන කෝපි කෝප්පය
ගුවන් තොටුපළ, ආගමන විගමන කටයුතු සියල්ල අවසාන කර පැමිණෙන මා පිළිගන්න රෝසමල් පොකුරක්ද සමඟ නයිල්ස් සිනාසෙමින් සිටියේය. ඔහු මා හුරු ලෙසින් වැළඳ ගත්තේය. කොපුලට දෙතොලට කෙටි හාදු දුන්නේය. දෙවියනේ, මට අහිමිවී ගොස් ඇත්තේ මා පුරවා තිබූ හැඟීම් පමණක් ද නොවේ ; දැනීමුත් ය. මට නොදැනෙයි. අංශභාග රෝගියෙකු මෙන් සියොලඟ හිරිවැටී තියේ. මට එරන්දම මතකයට නැගෙයි.
ඔහු ආපසු සසඳි වෙතට හැරී ඇතැයි සිතා ඉමි. එය පහසු ය. ඇස් වසාගත්තාම සුදු ටීශර්ට් එකක් ඇඳි එරන්දගේ ලස්සන සමීප රුපයක් මගේ හිතැතුළේ කෙටී තියෙනු මට පෙනෙයි. එහෙත්, නෙත්. විවර කළ පසු තඹපාට රැවුල් ගස් සහිත සුදු කොපුල් තැඹිලි පාට තොල් වලින් සමන්විත නිල් ඇස් ඇති ස්විඩියානු පෙම්වතා මට දර්ශනය වෙන්නට පටන් ගනී.
"Landed safely" එපමණක් ලියා අචලටත් එරන්දටත් යැවීමි. අචල පිළිතුරු එව්වද එරන්ද කිසිවක් ආපස්සට නොලීවේය. එකත් එකටම දුක හිතෙන්නට ඇත. ඉනික්බිති , මා අයිති තමන්ටම පමණකැයි සිතා සිටිනා මගේ ස්විඩියානු හිමිකාරයා මා අභ්‍යන්තරයේ සිදු වූ වෙනස හඳුනා ගත් බවක් නොපෙනිණි. ප්‍රමාණාත්මකව ගණන් ගත්විට මෙන්ම එරන්ද සහ මා අතර ඇති වූ සම්බන්ධතාවයේ ඝණත්වය කාලයට සාපේක්ෂව බැලූ විට විශ්වාස නොකළ හැකි ඉහළ යාමකි.
නයිල්ස්ගේත් මගේත් නිවසට ඇතුළු වූ විට මට ආයෙත් හුරු බවක් දැනෙන්නට පටන් ගෙන තිබුණු අතර අවන් එකෙහි තියා රත්කර දුන් සරල ඉංග්‍රීසි කෑම වේලකින් කුසගිනි නිවාගෙන මම සයනයට වැටුණෙමි. නයිල්ස් මගේ දෙපා පිරිමදිමින් සිටියේය. නයිල්ස් සම්බන්ධයෙන් ගත්විට ඔහු පිරිමියෙකු ලෙස කිසිවිටෙකත් මා ඔහුට යටත් වී ජීවත් වියයුතු යැයි විශ්වාස කළේ නැත. ශ්‍රී ලාංකික සමාජයේ ඒ අසීරු අත්දැකීමට හැමවිටම මුහුණ දෙමින් එයින් උවමනාවටත් වඩා පෙළෙමින් සිටි මම නයිල්ස් ඇසුරෙහි ජීවිතය නිදහස් ව ගෙවන්නට පටන් ගත්තේත් ජීවන සහකරු වශයෙන් ඔහු තෝරා ගන්නට පෙළඹෙන්නට ඇත්තේ එබැවිනි. ඊට ප්‍රතිඋපකාරය වශයෙන් මට නයිල්ස්ට දීමට සිදුවුයේ මඳ අවධානයකි. නයිල්ස් සතුටු කිරීමට එතරම් වෙහෙසක් දැරිමට අවශ්‍ය නැත. ඔහු ඉතා සියුම් දේවලින් සෑහීමට පත්වෙන මිනිසෙකි. අප අතර බැඳීම ඉරි නොතැලී තිබියදීත් එරන්දට බැඳෙන්නට තරම් චපල විලාසිනියක වූයේ කෙසේදැයි ඔබට සිතෙනු ඇත.
ජීවිත කාලය පුරාවට එකම පිරිමියෙකුට/ගැහැනියකට පෙම් කරන්නට ඔහු/ඇය සමඟ ජීවිතය බෙදා ගැන්මට තියේනම් එය කොතරම් පින්වන්ත දැයි මට වචනයෙන් විස්තර කරනු නොහැකි ය. මිනිසුන් අසම්පුර්ණ ජීවිත වලින් සෑහීමකට පත්වෙන්නේ කෙසේදැයි විටෙක මම පුදුමයට පත්වෙමි. එහෙත්, පසුව මම ඊට හේතුව වටහා ගත්තෙමි. මිනිසුන් තමන්ව අධ්‍යයනය කිරීමට ස්වභාවයෙන්ම බියවෙති. ඒ තමා තුළ වෙසෙන හෝමෝ සේපියන් වරයාට විකාශනය වීමට පෙර තමන් තුල වූ තිරිසන් විලෝපීය ගතිලක්ෂණ පිලිබඳ ව තමන්ව දැනුවත් වනවාට ඇති බිය හේතුවෙනි. ඔවුන් අනුන්ව අධ්‍යයනය කරති. විනිශ්චය කරති. තමා පිලිබඳ නොසොයති. මේ ගවේෂණය කරන්නට පෙළඹෙන තැනැත්තා එක් අවස්ථාවක තමන්ට තමන් හමුවෙයි. එහිදී, තමන්ගේ අසම්පූර්ණ ජීවිතය සොයා ගනියි. තමන්ගේ හැකියාවනුත් තමන් නැවතී හිඳින පරිසරයේ වෙනස්කමුත් අතර වෙනස සොයා ගනිති. එවිට, ඔවුන් තමන් අතෘප්තිකර සහ අසම්පූර්ණ මනුෂ්‍යයෙකු බව තේරුම් ගනිති.තමන් තෘප්තිමත් වන සහ සම්පූර්ණ වන හේතු තේරුම් ගනිති.
තමන්ගේ අනික් අර්ධය, අනෙකාගේත් අනෙක් අර්ධය බව වටහා ගැනීමෙන් ඉක්බිත්තෙන් ඒ දෙදෙනා සම්පුර්ණ වනු ඇත. එහෙත් එහෙම සම්පුර්ණ වන යුගළ විරලය.
මේ සියළු කරුණු සලකා බැලු විට බිම්මා නයිල්ස් එහෙම සම්පුර්ණ වූ යුගලයක් නොවේ ය. ඔවුන් එකිනෙකා කාලයක් තිස්සේ දැන හැඳින ගැනීමෙන් ඇති වූ එකඟතාවයෙන් සහ එකිනෙකාට ඇබ්බැහිවීමෙන් මෙන්ම එකිනෙකා කෙරෙහි වූ පහසුබව හේතුවෙන් ජීවිතයේ ඉදිරි ගමන ඇවිදින්නට කතා කරගත් දෙදෙනෙකි.
ඉතින්, ජීවිතයට ඒ මදිද? ඔව්. ජීවිතයට ඒ මදි ය. අසම්පූර්ණත්වය හැමවිටම තලාපෙළා යටපත් කර තැබීම අසීරු ය. අසම්පූර්ණ මිනිසුන් සිය අනෙක් අර්ධය දුටු තැන ඊට කාන්දම්ගත වෙති. ඉතින්, එරන්දත් මාත් එසේ එකිනෙකා කෙරෙහි කාන්දම්ගත වීමු. කෙටි කාලයකට ජීවිතය කොතරම් සම්පුර්ණ දැයි අත්විඳ යළි අපගේ අසම්පුර්ණ ජීවිත වලට ඇතුල් වුයෙමු. පාට ඉහිරුණු ජීවිත වල තනිකමෙහි අන්ධකාර සෙවණැලි යළි අප කරා නොඑළඹෙනු ඇතැයි මම විශ්වාස කරමි.
ආදරයේ මතකයන් සමඟ සදාකල් ජීවත් වීමට මම සිතා සිටිමි. නයිල්ස් මදෙස නිරීක්ෂණ බැල්මක් බලා සිටියේය.
"ආ යු ඕකේ බිම්ස්?"
මම හිස සලා සිනාසෙමි. ඔයාට මාව මිස් වුණේ නැත්දැයි ඔහු විමසයි. මට ඔහු නැතිව පාලු දැනුණ දවස් ඇත්තටම තිබුණේ නැත්ද? එරන්ද, ඔව් .. එරන්දත් මාත් එකිනෙකාට බැඳී සිටියත් මට නයිල්ස් මතකයට නැගි වෙලාවල් තිබිණි. පාරිශුද්ධ හැගීම් කියා ඒවා මෙලොව නැත් ද? ඒ හැම පිරුවටයකම කෙළවර රාගයේ කහට පැල්ලම් තිබේ ද?
එරන්ද ළඟ සිටීයැයි විශ්වාස කරමින් නයිල්ස් වැළඳ ගන්නට මට සිදුව තිබේ. පිරිමියෙකු හෝ ගැහැනියක කෙනෙකුට හිතින් බැඳී තවෙකෙකුට ගතින් බැඳී සිටීමම විනාසකාරී සිදුවීම් සමුදායක මුල බව මම දනිමි. එරන්ද මා මෙන් නොවෙතැයි සිතමි. මා මෙහි පැමිණ තෙවන දවස තෙක් කාලය ගලා ගියද ඔහු නිකමට හෝ මා අමතන්න උත්සාහ කළේ නැත. එය මානසික පහරකි.
මම යළිත් කාර්යාලයට ගියෙමි. හැම දෙනෙක්ටම තෑගි වශයෙන් මිලට ගත් ශ්‍රි ලංකාවේ කොඩිය සහිත කුඩා කී ටැග් අනම් මනම් පිරිනැමුවෙමි. මට මොවුන් ගෙන් පෙනුණු සුවිශේෂ ම කාරණාව නම් ඉතා පහසුවෙන් සතුටට පත් වීමය. පෝල් හේඩ්න් මගේ ව්‍යාපෘතිය ගැන සැබවින්ම සතුටට පත්ව සිටියේය.
ඔහු මා කැටුව කළමනාකරණ මණ්ඩල ගොඩනැගිල්ල තෙක් ගමන් කළේ තොර තෝංච්යක් නැතිව මා නැතිවු දවස් වල සිදු වූ සිද්ධි ගැන කියවමිනි. පෝල් අවංක මිනිහෙකි. මා පෞද්ගලිකව පෝල්ට කැමතිය. කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙකු එහි සිටියහ. පෝල් ලංකාවේ ආහාර සංස්කෘතිය පිලිබඳ සිය ආකර්ශනය කමිටුවට ඉදිරිපත් කළේ උද්යෝගයෙනි. අවසානයේ සිදුවුණේ සිඳුමිනි බිම්මාලි පතිරණ වනාහි,ඕනැම පැවරුමක් භාරදීමට සුදුසු ජවසම්පන්න බුද්ධිමත් හුරුබුහුටි ශ්‍රී ලාංකික කෙල්ලකැයි විශ්වාස කිරිමට කමිටුවට සිදුවීම ය.
"ඒක නං ඔයාගෙ කරියර් එකට ලොකු හෙල්ප් එකක් වෙයි"
නයිල්ස් කියද්දී මම ඔහු දෙස බලා සිටියෙමි. වයින් බෝතලයකුත් වීදුරු දෙකකුත් රැගෙන මා හිඳගෙන සිටි ගෙදර ඉදිරිපස පියගැටපෙළ දෙසට ඔහු පැමිණියේය.
"හ්ම්.ඔව්"
මදෙස හොදින් බලමින් ඔහු මට මඳක් එහායින් හිඳ ගත්තේය. වයින් බෝතලයත් වයින් වීදුරුත් ඉහළ පිය පෙළ මත නැවතී සිටියේය.
"මොකක් හරි ප්‍රශ්නයක්ද බිම්මා?"
මම මිදුල දෙස බලා ඉමි. මේ ගිම්හාන සෘතුවල මල් පිපෙමින් පවතියි.
"ඔයා මාත් එක්ක හැමදාම හිටියෙ සතුටින් ද?"
නයිල්ස් සුසුමක් හෙලුවේය. වයින් වීදුරුවකට වයින් වත්කළේය.
"සතුට කියනෙක ගැන මට පැහැදිලි අර්ථකථනය ක් නෑ "
"ඒක නෙමෙයි මං අහපු ප්‍රශ්නෙ"
නයිල්ස් සිනාසිණි.
"මං දුකෙන් නෙමෙයි හිටියෙ. මං කිසිම කරදරයක් නැතුව හිටියා ඔයා එක්ක"
"සමහරවිට ඒකට සතුට කියන්නත් පුළුවන් නේ"
"ඔව්.ඒත් බිම්ස්..ඒක මෙහෙමයි.. ඔයාට සතුට කියන්නේ ඒක නොවෙන්න පුළුවන් .. "
"ඔයා සතුටින් නම් මාත් සතුටින් "
" ඔයා දුකින්නම් මාත් දුකින් කියන එක සතුට ද? "
"එක අතකට ඔව්. ඒක සරලයි. ඒත් අනිත් අතට තමන්ගේ සතුටේ යතුර ඇයි තව කෙනෙක්ට අපි දෙන්නෝන.. "
නයිල්ස් ඇසුවේ කල්පනාකාරීව ය. මට එවෙලේ හමුවූයේ මගේ විශ්ව විද්‍යාල මිතුරා වූ නයිල්ස් මිස මා අයිති කරගන්නට බලා හිඳින ආත්මාර්ථකාමී පිරිමියා නොවේ.
"එතකොට ආදරය කියන්නේ මොකක් ද ?"
එය අප දෙදෙනාම බිරාන්ත කළ ප්‍රශ්නයකි. ඇත්තෙන්ම මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මා සුදානම් ද? එය අන්‍යාවබෝධය , සැලකිල්ල , ගරුත්වය මේ මොකක් වත්ම දැයි මට විශ්වාස නැත. ඒත් එය කාන්දමකි. එකිනෙකා කෙරෙහි පුදුම සහගතව ඇදීයාමකි. උමතුවකි. එක පුංචි අකුරකින් දෙකකින් ඇහැරවා තියන්නට හැකි තරමේ මත්ද්‍රව්‍යයකි.
"ඔයාට මං එහෙම දැනෛනවාද ? "
නයිල්ස් එහෙම ඇහැව්වානම් ඇත්තටම මට දෙන්නට උත්තර නැත. එහෙත් මොකක් හෝ නිසා ඔහු එහෙම ඇහුවේ ද නැත.
සමහරවිට නයිල්ස්ට මාද ඒ ආදරය ලෙස නොදැනෙන්නට ඇත. එරන්ද හිතැතුලට කාවැදී සිටි. හරියට හම පළා කිසිවක් සිරුරට බද්ධ කර ඇතිවාක් මෙනි.
"ජීවිතය කියන්නෙ අමුතු දෙයක්. අපි අපට ලැබුණු ජීවිතය ගැන ස්තුතිවන්ත වෙලා ජීවත් වෙමු බිම්මා"
නයිල්ස් ඉතිරි වු වයින් බෝතලය ද රැගෙන ගෙතුළට ගිෙය්ය. මම ඉහළ පියපෙලෙහි දිග ඇදුනෙමි. මට ඉහළින් අහස දිස්වේ. මේ අහස යටම ලෝකයේ යම් තැනක එරන්දගේ පුංචි හෘදවස්තුව ගැහෙන බැව් සිහිවේ. එය කක්කුට්ටෙකු සිය අඬුපඬු වලින් යමක් අල්ලා ගත් වැනි ය. කලාත්මක ය. දැඩි ය.
"හේ, මොකද කරන්නෙ?'
පණිවුඩය ආයේ අචලගෙනි. නයිල්ස් කා සමඟ හෝ කතාබහක ය. කාර්යාලීය කතාවකැයි ඇසෙන වචන වලින්ම දැනෙයි. මම අචලට විඩියෝ ඇමතුමක් ගත්තෙමි. මඳ වෙලාවකින් එය සම්බන්ධ විය. තට්ට හිසත් ලගන්නා සුළු සිනහවත් සමඟ ඔහු තිරයේ එහා පසින් සිටියේය.
"කොහාමද ගායිස්?"
"අනේ අනේ කෙල්ලට ගියා ගියාමයි අපිව මතකත් නැතිවුණා නෙ"
"අනේ නෑ ඉතින්. මං ලංකාවෙ ඉදල ආ ගමන් වැඩ කරන්න පටන් ගත්තා"
"කොහොම ද පටන් ගත්ත වැඩ ටික?"
"ශේප් කමිටි එක නම් හොඳටම කැමති වුණා"
"එහෙනම් එච්චර යි.. ආ මෙන්න ඔයාගෙ යාළුවෙකුත් ඉන්නවා.. "
අචල දුරකතනය පෑවේ, එරන්දට ය. ඔහු සිය මුහුණ යාන්තම් පෙන්වා වීඩියෝ ඇමතුම ඕඩියෝ එකක් බවට හරවා ගත්තේය.
"මොකෝ? මාව බලන්න ඕන නැද්ද?"
"බලාගෙන දුක් විඳින්න ද කියන්නේ ?"
"ඇයි එහෙම කියන්නේ අනේ? "
"ඉවසගන්න අමාරුයි සුදුනෝනා…"
එරන්ද මිමිණුවේ මුලු හද පතුළෙන් බව දනිමි. මම හැරී නයිල්ස් සිටින ඉසව්ව විපරම් කළෙමි. ඔහු ලැප්ටොප් එකද දිගහැර ගෙන ය. එනම් කතාව බරපතළ ය.
"කෝල් එක නම් රීකනෙක්ට් කරගන්න පුළුවන් . ඒත් ජීවිතේ කොහොමද රිකනෙක් කරගන්නෙ?"
"හිත් වල කනෙක්ෂන් එක බිදිලා නැත්නම් ආයෙ මොනාවද අලුතින් රිකනෙක් කරන්න තියෙන්නෙ?"
"ඔයා මගෙන් බිදිලා ගිහින් නැද්ද?"
"ඇයි ඔයා ඔහොම අහන්නෙ කියන්නකො"
"මට ඔයාව මිස් වෙලා ඉන්නෙ මට පාළුයි තනියි.. පිස්සු වගේ"
"මං කතා නොකළෙ ප්‍රශ්නයක් වුණොත් කියලා..'
"කෝ සුද්දා?"
"ඇතුළෙ.. "
"මං නැතුව පාළු නැද්ද?"
"පාළුයි"
"ආදරෙ ඕන නැද්ද?.. දුක නැද්ද මාව මෙහෙ තනියම කියලා මතක් වෙන්නැද්ද?"
"මතක් වෙනවා"
"අරූ ගාව තුරුල් වෙද්දි මං පව් කියලා හිතෙන්නැද්ද? "
"දැනෙනව දෙයියනේ.. හැම තත්පරේකම මතක් වෙනවා. මං මාව ඔයා ගාව ලංකාවෙ තියලා ඇවිත් වගේ මට දැනෙන්නෙ.."
"එරන්ද නිශ්ශබ්ද වුවේය. මොහොතක් තදින් හුස්ම ගත්තේය. 'බේබී' කියා නයිල්ස් කතා කරනු ඇසුණේය.
"එයා කතා කරනව නෙ?"
"හ්ම්.. දැනුයි ඔෆිස් වැඩක ඉදලා ඔය කතා කරන්නේ "
"එහෙනම් ඔයා යන්න පැටියො"
"එහෙම අවුලක් නෑ කතා කළා කියලා"
" ඔයාට ප්‍රශ්නය ක් වෙනවට මං කැමති නෑ"
"හාකෝ එහෙනම්"
"මේ… සතුටින් ඉන්නවා කියලා පොරොන්දු වෙන්න "
"කොහොම ද එහෙම ඉන්නෙ මං.. එකපාරම කෙල්ලෙක් මගෙ ජීවිතේ ඇවිත් මාව පිස්සෙක් කරල ගියාම "
"ඒ කෙල්ල ගියෙ ලංකාවෙන් විතරයි.. ඒ කෙල්ල ඉන්නවා. ආයෙ ලංකාවට එනව යනවා.. "
"මං බලං ඉන්නං "
එරන්ද මට කීවාම 'ආදරෙයි පරෙස්සමින් ඉන්නැ' යි කියැවිණ.
"මාත්.. පණ වගේ "
මේ පුංචි වැකි අපේ වයසට නොගැළපෙනවා ය කිසිවෙකුට කිව හැකි ය. සෙල්ෆියක තවරා ආදරේ දේවතා එළිය ගෙනෙන දුතයා මේටාවේ වට්සැප් ය. වරක් බලා මකා දමා, මම ගෙතුළට ගියෙමි. රාත්‍රි කෑමකට පළතුරු පිගානක් සකසන නයිල්ස් ය. ඔහුට උවමනා නෙට්ෆ්ලික්ස් එකේ හින්දි චිත්‍රපටයක් නැරඹීමට ය. මට උවමනා ආමන්ඩ් ඇට ටිකක් හපන්නට ය. බිම්මාගේ රිදී හැන්දට සටහනක් ලියන්නට ය.
එරන්දත් ජානුත් එකම වාගේ නේදැයි මට හිතෙන්නට සාක්ෂි හමුවුණේ නෙට්ෆ්ලික්ස් බලමින් හිදිද්දී ය. ආමන්ඩ් ඇටයක් දත් පේළි අතර එහෙමෙහෙ වෙද්දී, මගේ මෙක්සිකානු ෆලෝවරයෙක් අලුත්ම කෑම වට්ටෝරුවක් එවා තියෙද්දී ය.
"මිණි, ඔයාට දැන් මාව මතක නෑ"
"ඉතින් අනේ ඔයා දැන් ඉස්කෝලේ එන්නෙ නෑ නෙ"
"එන දවසටවත් ඔයා නෑ නෙ"
"දැන් මට කියලා තියේද ඔයා ඉස්කෝලේ එන දවස්"
"කාට හරි චැට් කර කර හුරතල් වෙනව ඇති. ඒක නෙ මාව මතක් වෙන්නැත්තෙ. තමුසෙලා ගෑනු ඔක්කෝම එකයි"
ජානු එහෙම ය. එරන්ද මෙහෙම ය. මේ දෙදෙනාම තනිකමට ප්‍රතිචාර දක්වන විදියේ සමානකම් තියේ. ඉතින්, මට යළිත් සංකා පහළ වෙයි. එරන්ද ජානුම ද? තව ටික කාලයකින් කෙළින්ම මෙය අහනවායැයි එවෙලෙ මම සිතා සිටියෙමි.
අප අතර අයිස් කන්දකි. සෙන්ටිමිටරයකට ද අඩු දුරකි. හිත් වලින් ගව්වකි. ඇත්තෙන්ම ගව් ගණනකි. නයිල්ස් බොහෝ සියුමැලිවටත් සියුම්වටත් මා වැළඳ ගනී. ඔහුට මා ඔහුගේ උසස් පාසැල් යෙහෙලිය ය. මට රිදවන්න හෝ බලහත්කාරකමක් කරන්න ට උවමනාවක් නැත. මේ ආලිංගනයට මා අකමැති වේ නම් එවෙලේම මගේ හැඟීමට එකඟව වෙන්ව නිදන්නට ඔහු පෙළඹෙයි.
නිල්පැහැති බෙරි වර්ගයක් මුසු බීමක් ජැම් බෝතලයක දමාගෙන දෙහි බෑයකුත් එහි කටරවුමෙහි අමුණාගන නයිල්ස් බීමට සැරසෙයි. එහා පැත්තේ මා වෙනුවෙන් දුම් දමනා කෝපි බඳුනකි. සිය ජීවන ගමන් සගයාගේ රුචි අරුචිකම් වලට ගෞරව කරන්නට නයිල්ස්ට ඇති නම්‍යශීලී බව ගැන මම තෘප්තිමත් වෙමි. ස්තුතිවන්ත වෙමි
ආදරය මන්දර පව්වක් ය. කියවා අසා ඇත්තෙ පැරණි සිංහල ගීයක ය. නොලද කල්හි අරලිය මල් වැටෙන සොහොනක් ය. හිමිවීම් අහිමිවීම් මැදින් ගමන් කරනා මොකක්දෝ කාලපරිච්ඡේදයක් ජීවිතය නම් වන්නේය.
"මට කලින්ට වඩා ලොකු අසයින්මන්ට් එකක් දෙන්න වගෙ කමිටි එක ලැස්ති වෙන්නෙ"
"ඔයා කලින් අසයින්මන්ට් එක හිතුවට වඩා හොඳටම කළානෙ.. ඒකට රිවෝඩ් කරන්නත් එක්ක වෙන්න ඇති"
"මේක ලොකු වැඩක්.. ඉන්ටර්නැෂනල් ෆුඩ් ෆෙස්ටිවල් එකක්.."
"වාව් බිම්ස් ඒක නම් මරු.. මටත් පුළුවන් වුණොත් ඇවිත් යන්න හරි එනවා"
ඒ වචන ටිකට නම් පපුව පසෙකින් ඇවිළිණි. වට්සැප් නොම්මරය ද මකා දා ලංකාවට ආයේ කවදාවත් නොගිහින් නයිල්ස් සමඟ විවාහ වී මෙහි සතුටින් වෙසෙන්නට මට බැරි ද? මම මගෙන්ම අසමි. හිත කොණකින් එබී බලන එරන්දගේ ආකස්මික හසරැල්ල මගේ ගෙළ සිර කරන්නට පටන් ගනී.

No comments:
Post a Comment