Tuesday, November 8, 2022

චිම්නි කෝපි 20

 

විසි වෙනි කෝපි කෝප්පය​


මට සංස්කරණ ශිල්පියා විසින් එවන ලද වාර්තා චිත්‍රපටය සහිත දෘඩ තැටිය ඌබර් පණිවුඩකරුවෙකු ගෙනැවිත් දුන්නේ එවෙලේ ය. මම එය ගැන අවධානය යොමු කරමින් දුරකතන ඇමතුමෙන් ඉවත් වූයෙමි. දැන් ගෙවී ගිය වසත් කාලය අවසන්ය යන සත්‍යයට මුහුණ දිය යුතු ය. 


පුංචි කොට්ට පාද තියා ඇවිදින කුඩා පර්සියානු බැළලිය උකුළේ තියාගත් නයිල්ස් දුරකතන තිරයෙහි සිනහා වෙමින් සිටියි. බිම්මාට හායි කියන්නැයි ඔහු ඇයට පවසයි. මම දෙදිනක් ඇතුළත මගේ රැකියා ව්‍යාපෘතිය වෙනස් වූ හැටිත් ඒ අනුව ගමනාන්තය වෙනස් වූ හැටිත් ඔහුට විස්තර කළෙමි. මගේ රැකියාවේ ස්වභාවය තේරුම් ගත් කෙනෙකු වූ නිසාම ඔහු ඊට පුදුම වුයේම නැත. 


රාත්‍රිය කොළඹට අමුතු වෙනසක් එකතු නොකළත් ඉහළම තට්ටුවක බැල්කනියක තනිව හිදිනා හුදකලා ගැහැනියක් ජීවිතය ගැන ආයේමත් කල්පනා කරමින් සිටින්නීය. මොනදේ වුණත් එරන්ද සවස කීදේ මගේ හිතට කාවැදී තියේ. 


"මං කවදාවත් ඔයාගෙ රිලේශන්ශිප් එකට ඔපිනියන් දෙන්න ආවෙ නැහැ නෙ. ඒ ඇයිි මට ඔයෙව වැදගත් නැතුව ද? නෑ. ඒක ඔයාගෙ ප්‍රිවසි එක නිසා. ඒ නිසා ඔයා මගෙ රිලේශන්ශිප් එකට ඇඟිලි නොගහා ඉන්න"


එය හරියටම පැරෂුට් පනින්නෙන්කුගේ පැරෂුටය අහසේදි අකර්මණ්‍ය වූවාම දැනෙනා හැඟීමකි. ඉතින් පිම්ම අසාර්ථක වන බව දන්නවා නම් මා ඊළඟට කළ යුත්තේ ජීවිතය බේරා ගැනීම පමණකි. දැන් ඉතාන් ජීවිතාරක්ෂක උපක්‍රමය භාවිතා කළ යුතු ය. පැරෂුට් පිම්ම විශ්වාස පැරෂුටය ක්‍රියාත්මක වෙන තුරු පමණකි. එහෙම නැත්නම්, ජීවිතාරක්ෂක ක්‍රියාමාර්ගයකට යෑම ඊළඟට කළ යුතු ය. 


දුරකතනය පසෙක තියා බිමින් හිඳගෙන මම අහස දෙස බලා හිඳිමි. තාරකා එමට තිබේ. ඈතම ඈත දුක්පත් බවේ සංකේතය ලෙස රටවැසියන්ගෙන් විරුදාවලි ලද නෙළුම් පොකුණ පෙනෙයි. වයින් වීදුරුවක් කෙමෙන් හිස්වෙයි. ලංකාවෙන් නික්මෙන්නට සිදුවෙයි. ලංකාවට ගොඩ බසිද්දී හිස් කරගෙන ආ හිත, පුරවා ගන්න මා සිතා හිටියේ සංචාරක මතකලන්තයකිනි. එහෙත් දැන් කතාන්දරය වෙනස් ය.එය ආදරයෙන් පිරී තියේ.


දුරකතනය දෙදරයි. එරන්ද…! මේ කමුබන් රෙස්ටොරන්ට් එකෙහි අවසන් ඇණවුම් වේලාවයි. ඔහු මා අමතන්නේ ඉන් පසුවයි. 


"කෙල්ල දොයි ද?"


"ම්ම්ම්.. මොකද මාව කඩ්ල් කරන්න හිතලා?"


"ආදරේ හිතිල නෙ"


"අවුලක් නැත්ද මොකුත් ?"


"නෑ"


"ඇත්තටම ද?"


"ඇත්තටම නං නෙමෙයි"


"ඒ කියන්නෙ ?"


"දේවල් සෑහෙන්නම අවුල් බිම්මා. ඒ අවුලෙන් ගොඩට එන්නමයි ඔයාට ගත්තෙ මං"


"කියන්න…" 


"නිදියන්නෝන නේද?"


"මං වයින් එකක් බිබී කල්පනා කරං ඉන්නවා"


"ඇයි ඒ ?"


"නිකම් .. "


"මොනවද කල්පනා කරන්නෙ?"


"ජීවිතේ ගැන.අතීතෙ ගැන."


"ටිකක් එළියට එන්න බැරි ද?"


"ඇවිත්?"


" නින්ද යන්නෙත් නැහැ නෙ. කතා කර කර ඉමු අපි "


" කතා කරන්න විතරයි.. මට මහන්සියි එරන්ද"


"ප්‍රොමිස් .. "


එරන්දගේ පොරොන්දුව නිසාමත් නොවේ. මම වෙහෙස වී කෙඩෙත්තු වී සිටියෙමි. ඇඳගෙන සිටි ඩෙනිම් කොට කලිසමට අත්දිග හුඩි ටී ශර්ට් එකක් සහ සෙරෙප්පු යුවළක් පැළඳි මා ආ විදුලි සෝපානයේම ක්ලබ් යනාකාරයේ කෙල්ලන් දෙදෙනෙකු ද වූවෝය. ඔව්…මේ නිශාචරයන්ගේ යාමයයි. මා කැටුව යන්නට ඒ වන විටත් එරන්ද පැමිණ සිටියේය. අර කෙල්ලන් දෙදෙනා මා දෙස බැලුවේත් වෙනස් ඇසකිනි. 


එරන්ද මා වෙනුවෙන් සිනාසුණේය. වාහනය සෙමෙන් ඉදිරියට ඇදෙයි. මම ආසන පටිය බැඳ ගනිමි. 


"අර දෙන්නා හොඳට බැලුවා අපි දිහා"


"ම්ම්.. මං දිහා ඇහැ ගහගෙන හිටියෙ"


"අර මොකද බිම්මා?"


"ඒකෙ ඉන්න රෑට එළියට යන ගොඩක් අය රෙන්ට් එකට නෙ ඉන්නෙ. ඩීල් යන අයත් ඉන්නවා මං හිතන්නෙ"


කොහෙද යන්නෙ කියා අසන්නට උවමනාවක් ඇති නොවේ. කොහෙ ගියත් කමක් නැතැයි හිතෙනවා පමණකි. ජීවිතය කර්කශය. කොයිතරම් දේ තිබුණත් ලැබුණත් ආදරය නැති තැනක ජීවිතයක් තියෙනවාද? ආදරයට කෙනෙකුගේ ජීවිතයේ තියෙන වටිනාකම මොකක් ද? අවුරුදු දහසයේ දී ආදරය ගැන සිතු දේ අදද මට සිතීමට හේතුව මා පරිණත නොවීම ද? 


"බිම්මා "

….

"දුකෙන්ද?"


"නෑ..හ්"


"දුක් වෙන්නෙපා හොඳ ද? "


"හ්ම්"


"ඔයාට මාසයක ආදරයක් තියෙනවා හැමදාම මතක හිටින්න තරම් ආදරේ දැනුණු"


"මං දන්නවා"


"අපි වගේ මිනිස්සු ලේසියෙන් එක එක්කෙනාට මුණ ගැහෙන්නෑ .. එහෙම මුණගැහෙන්නෙත් මොකක් හරි හේතුවක් ඇතුව"


"මොන වගේ හේතුවක් ද?"


"සමහරවිට අපි ඇත්තටම ආදරේ දැනෙන්න තරම් වාසනාවන්ත මිනිස්සු නිසා වෙන්න ඇති"


"ඇත්තටම ආදරේ දැනෙන්නෙ වාසනාවන්ත මිනිස්සුන්ට ද?"


"නැත්නම්..! මිනිස්සු කීදෙනක් ආදරේ කියන්නෙ මොකක් ද කියලා නොදැන මැරිලා යනවද?"


 "එහෙනම් , මටත් ආදරේ බින්දුවක් දෙන්න.."


මම එරන්දගේ වම් අත මගෙ දකුණතින් වෙළා ගනිමි. ඒ උරිස්සට බර වී ඉමි. කරදරකාර ආසන පටිය ලිහා දමමි. එරන්දගෙ උණුසුම් උරහිස මගේ හෘදය වස්තුවට අතිරේක උණුසුමක් කාන්දු කරයි. 


ආදරේ බින්දුවක් නෙමෙයි … ආදරේ "අන්ලිමිටඩ් දෙන්නෙ ඔයාට"


"දවල් කිව්ව දේට මට දුක හිතුණා හැබැයි"


"ඇයි?"


"මාව කොච්චරක් එළියෙන් ද ඔයා ඒ තිබ්බෙ කියලා" 


"ඒවා අපි දෙන්න අතරට පටලව ගන්න හොඳ නෑ සුදු .. ඒවා ඒ තැන්වල පිළිවෙලකට ලස්සනට තියෙන තරමට අපි දෙන්නට අපේ මේ ජීවිතේට පහසුයි.."


මම සුසුමක් අතැර දමමි. සයුර අයිනේ තැනක රිය නවත්වා එරන්ද මගේ අතින් අල්ලාගෙන රේල්පාර පියමන් කළේය. රාත්‍රි මුහුදු සුළඟ කම්මුලක් මත තැවරිණි. ඔහු මගෙ අතැඟිලි මැද්දෙන් ඔහුගෙ අතැඟිලි රුවා ගත්තේය. 


"හිතාගන්නත් බෑ මං මේ මහ රෑ බීච් එකක ඉන්නවා කියලා"


"මේ වෙරළ මට හරි හුරුයි"


"ඒ කොහොම ද?"


"සමහර රෑ වල එළිවෙනකම් මෙතන වාඩිවෙලා බලං ඉදල තියෙනව මුහුද දිහා"


"සතුටෙන් ද ? දුකෙන් ද?"


"දෙකම ලොකුවට දැනෙන්නැති නිව්ට්‍රල් දවස් වලට"


එරන්ද සාක්කුවෙන් සිගරට් පැකට්ටුවක් ගෙන එකක් දල්වා ගත්තේය. පුරුද්දක් ලෙස දුම්පානය නොකළත් ඔහු සිගරට්ටුව දල්වද්දී ඉන් උගුරකට දායක වීමේ හදිසි කල්පනාවක් පහළ විය. කිසිම වෙනසක් නැතිව එය මවෙත පෑ ඔහු අහසට දුම් වළලු පා කළේය. 


"අපි ආයෙ අපි ගැන මෙහෙම වාඩි වෙලා කතා කරන දවසක් එයි ද?"


"අපට එහෙම කතා කරන්න බැරි වෙන හේතුව මොකක් ද?"


"ඔයාට එහෙ එන්නත් පුළුවන් නෙ"


"ඔයා ඉන්න දිහා?"


"ඕ. ඇයි?"



එරන්ද ඇස් දල්වාගෙන බැලුවේය. මම නළල රැළි කර දෙවුර ගස්සා බලා හිඳිමි. හදවත හොර රහසේ සුසුමක් හෙළුවේය.


"අයිතිය මොකකින් මොකක් වුණත් පේන තැනක ජීවත් වෙන්න හිතෙනව නේද?"


"ඒ ගැන නම් කියලා වැඩක් නෑ බිම්මා"


මම වැලි වෙරළේ ඇඟිලි තුඩින් රේඛා අඳිමි. හෘද වස්තුවකට සමාන රුපයක් නොදැනුවත්වම ඇඳී ඇත. එරන්ද එදෙස බලා සිට ඇති බව මා දුටුවේ පසුවය.


"පොඩි එකෙක් වගෙ වෙලාවකට ඔයාත්"


"ඉතින් හොඳ නැත්ද"


"හොඳයි.මං එහෙම ආසයි"


"රෑ දෙකට තුනටත් නිදිමරාගෙන බීච් එකේ දඟලන්න වෙන කාටද පුළුවන්.. පොඩි එකෙක්ට ඇරෙන්න"


අපි ඊළග දවස ගැන අමතක කළෙමු. මේ ඈත හෝටල් වල විදුලි එළි බෝල දැල්වෙයි. ඒවායින් වෙරළට ආලෝකය කාන්දු වෙයි. ඒ ආලෝකයෙහි මම එරන්ද දෙස බලා හිඳිමි. ඔහු දුරකතනය අතට ගනී. එහි යු ටියුබ් ලින්ක් එකේ ඔහුගේම හඬ අසා සිටියේය. එදෙස බලා තනිව හිනැහුණේය.


"ඔයා මාව ජාත්‍යන්තරේටත් ගෙනිච්ච නේ එහෙනම්.."


"මං? ඒක මං ආසම සින්දුව"


"ඒක මගෙත් ආසම සින්දුව.. දැන්.. ඒක අහල අහලම කටපාඩම්"


"වැඩියෙන්ම කැමති මොන වර්ස් එකටද?"


"ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විඳින්නම්

සසර මතු භවෙක හො සුරත ඔබෙ පතන්නම්"

 

"මාත්"


"ඒක ඇත්තක්ද එතකොට ?"


එරන්ද මදෙස ගෙළ ඇල කරගෙන බලාගෙන හිඳියි.


" ඔව්.ඒක ඇත්තක්. හැම ආත්මෙකම මගේ වෙන්න කියලා මං කියන්නෙ නැ. ඒක හරි අසාධාරණයක්. මට වඩා හොඳ මිනිහෙක්ට ඔයාව හම්බෙන්නෝන. ඒ වුණාට, එක සැරයක් ඔයා මගේම විතරක්ම වෙන්නෝන"


ඒ ඇස් වේදනාවෙන් පිරී යනු මම බලා හිඳිමි.දිලිහෙන්නට පටන් ගන්නේ කඳුළු බව දනිමි. 


"වෙලාවකට ආදරේ කියන්නේ පට්ට වේදනාවක් නේද කෙල්ල"


ඔහු මගේ දෙදණට නළල තද කරයි .මම ඒ හිස් මුදුන පිරි මදිමි.හිතට නැඟෙන බොහෝ සිතුවිලි කන්දරාවක් තිබේ. එය මේ සිඳු තීරයටද වඩා වැඩිය. පාන්දර හතරට මාව අපාට්මන්ට් එකට ඇරලවා එරන්ද රෙස්ටොරන්ට් එකට ගියේ එහි ඇති කුඩා විවේක කාමරයේ නිදන්නට හැකිය කියමිනි. 


මම ඇත්තෙන්ම වේදනාවට වඩා මුලු රාත්‍රියක් කරදියෙහි හැපි ලවණමය සුළඟෙහි ගැටී ඇලෙන තෙත්වෙන ලාටුමය කම්මුල් ඕනාවට එපාවට තෙමා ගනිමින් ඇඳට වැටුණෙමි. 


ආදරෙයි කියා වට්සැප් පණිවුඩයක් එවා එරන්ද ද නින්දට වැටී ඇති බව මා දුටුවේ යළි නැගිටි පසුව ය. දහවල් දහයත් පසුවු පසු ය. ගුවන් ටිකට්පතද ඊමේලයේ ඇළවී අවුදිනි. වෙනදා එය දැකිවිට දැනෙන සතුට දැන් ඉතින් නැත. එහෙත්, හෙටට නියමිත දිනට පසු දින පාන්දර නික්මිය යුතු බැවින් මම නවාතැන හතර අත එහෙමෙහෙ ඇති මගේ යැයි නිශ්චිතවම හඳුනා ගත හැකි බඩුමුට්ටු ඇඳුම් පැළඳුම් එකතු කරගත්තෙමි. ලංකාවේ තැනින් තැනින් මිලට ගත් ක්‍රොප් ටොප් ලිනන් ඇදුම් කෙට් කලිසම් අනම් මනම් ඇරුණාම මා ගෙනැවිත් තිබුණේ ඇදුම් කොතරම් අල්පයක්ද?


ඒ අතර එරන්ද මටයැයි කියා මිලට ගත් කුඩා කුඩා අයිතමද කීපයකි. ඒවා බබ්ල් කඩදාසියක මා එතුවේ වැඩි පරිස්සමට ය. ඒ බිඳෙනවාටම නොවේ. එරන්දගේ හදවත තරමටම ඒවා පරෙස්සම් කරගන්නට උවමනා වූ නිසා ය. එදා දවසම හැකිතාක් ගමන්මලු සකස් කරගෙන සවස එළියට බසින්නට මම කල්පනා කරගෙන සිටියෙමි.


මට ආයේ එන්නට සිදුවෙන කාලය වෙනවිට එරන්දත් සසඳිත් අතර සම්බන්ධතාවය වඩාත් නීරෝගී ශක්තිමත් එකක්ව වැඩී තිබිය හැකි ය. එහෙම නැත්නම් දැනටත් වඩා නරක අතට හැරී බිඳී යන්නටද පුළුවන. ඒවා ගැන විශ්වාස කිරීම මා අතහැර දමාබොහෝ කාලයකි.

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...