Saturday, November 12, 2022

චිම්නි කෝපි 24

 


24


ජීවිතය ගෙවුණේ නරකව නොවේ. ඒකාකාරව ය. එරන්ද වගේම කමුබන් රෙස්ටොරන්ට් එකත් සිදු කළේ අලුත් මංමාවතක් මා වෙනුවෙන් විවර කර දෙන්නට ය. එරන්ද එහි අලුත් ආශාවන් වලින් බුමුතුරුණු ඇතුරුවේය. 

 

දවසක රාජකාරි වෙලාවක කාර්යාලීය වට්සැප් එක විවෘතව තිබියදී එය ඇමතුමකින් සෙලවෙන්නට පටන් ගත්තේය. ඇමතුම ශ්‍රී ලංකාවේ අංකයකිනි. හදිසිම අවස්ථාවකදී පමණක් අමතන්නැයි කියා මේ අංකය මා එරන්දට දී ආවාට මේ ධන අනුහතරෙන් ඇරඹෙන අංකය එරන්දගේ ද නොවේ. 


මා වර්ක්ස්ටේශ්න් එකේ දී වටපිට බලමින් ඇමතුමට හෙලෝ කීවේ එයාපොඩ්ස් ඇති බැවින් හිතේ කරදරයක් නොමැතිව ය. එහෙත්

එයාපොඩ් එකද කනෙන් පිටතට පන්නවන තරමේ තියුණු ශබ්දයකින් කන් හෑරී යනු මට දැනිණි. මම වහා දුරකතනය රැගෙන ආයතනයේ කෝලින් රුම් ලෙස නම් කර ඇති සංවෘත කුටියට ගියෙමි. එහි යනවිට ඇඟිලි සලකුණු යොදා දොර විවර කරගත යුතු ය. ඒ අතරවාරයේ දී මට ඒ තියුණු ශබ්දය දිගින් දිගට ඇසෙන්නට විය.


"ඔයා මාව දන්නවනෙ.. මං සසඳි.. නොදැනගන්න විදියක් නැහැනෙ. අරූගෙ හොර ගෑනි තමුසෙ නෙ.."


"ඔයා කවුරු ගැනද කියන්නේ ?"


"දන්නෙම නැද්ද තමුසෙ?"


"නෑ. මට පැහැදිලි නෑ. මං හිතන්නේ ඔයාට ලොකු වැරදීමක්.."

 

"එරන්ද අයිය මා එක්කයි යාළුවෙලා ඉන්නෙ"


"ඉතින්? "


"ඉතින් කියන්නෙ .. තමුසෙල දෙන්න අතරෙ එෆෙයා එකක් තියෙන බව මං දන්නවා"


"ඉතින්? "


"ඉතින් කියන්නෙ වේසියෙ.. ඔය එෆෙයා එක නවත්තල උඹ වෙන එකෙක් හොයා ගෙන ඔය අමාරුව ඇර ගනින්.."


"හරි.මං එහෙම කරන්නම්.. හැබැයි තව දෙයක් සසඳි.. ඔයාගෙන් මං ඔයිට වඩා සදාචාර සම්පන්න කොලිටි එකක් තියෙන කෙල්ලෙක් බලෙපොරොත්තු වුණා" 


"උඹල කරන්නෙ ඒ විදියට රිඇක්ට් කරන්න පුළුවන් වැඩ නෙමෙයි නෙ.. උඹ ලංකාවෙ නෙමෙයි නිසා බේරුණ කියලා හිතාගනින්"


සසඳි මට තර්ජනය කළේ හුුරුපුරුදු මැරයෙකුගේ ස්වභාවයෙනි. මට එ වග සිහි වී සිනාවක්ද නැඟිනි. 


"ඇයි තෝ හිනාවෙන්නෙ? බැල්ලියෙ, උඹට මේව හිනාවෙන්න දේවල් වුණාට තොපි දෙන්නම සෙල්ලම් කරන්නෙ මගෙ ජීවිතේ එක්කනෙ.."


සසඳි, ඔයා කේන්ති නොගෙන "මේක අහන්නකො. එරන්දයි මමයි ඔය සමහර වෙලාවට කතා කරල මැසේජ් කරල තියෙනවා තමයි. ඒ ගැන එච්චර හිතන්න එපා. ඒක අමතක කරලා දාන්න. මං එරන්දව ඔයාගෙන් උදුර ගන්න ලංකාවට එන්නෙ නෑ.."


ඉතිරි ටික මේ ගැහැනු ළමයා කීවේ ලියන්නට හැකි වචන වලින් නොවේ. එරන්ද මේ කෙල්ල සමඟ ජීවිතයේ ඉදිරි ගමන කොහොම යනු ඇත්දැයි විස්සෝපයක් මට ඇති විය. එහෙත් මේ ගැන කිසිම කිසිවෙකුට නොකියා ඉන්නට මම ප්‍රවේශම් සහගත වූයෙමි.


නමුත්, දෙදිනකට පසු එරන්ද මට කතා කළේ කලබලයෙනි. ඒද මා කාර්යාලයේ සිටියදී ය. 


"බිම්මා, ඇයි ළමයො මෙච්චර දෙයක් වෙලාත් කීවෙ නැත්තෙ?"


"කොච්චර දෙයක් ද?"


"සසඳි ඔයාට කතා කරල දොස් කිව්ව ද?"


"හා..ඒකද? ඔව් දොස් කිව්ව කියන්නේ කැත විදියට කතා කළා ඉතින් .."


"ඇයි මට කිව්වෙ නැත්තෙ?"


"කිව්වනං ඔය දෙන්න අතරෙ ප්‍රශ්න හැදෙනව නෙ"


"පිස්සු දොඩවන්නෙපා "


මම නිහඬව සිටියෙමි.


"අම් සෝ සොරි .. "


"එහෙම එපා අනේ"


"ඒ වුණාට ඔයා මං හින්ද නෙ මේ ඔක්කෝම විඳින්නෙ"

 

එරන්දට දුක් නොවෙන්නැයි කියා ඔහුව සන්සුන් කරන්න මා වෙහෙසුණු බව සැබවි. එහෙත්, ගැහැනු හිත සසඳි හා අමනාපයක ය. මට මැසිවිලි පොකුරක් තියේ. එරන්ද ළඟ බාල බොළඳියක වී මේ කිසිවක් කිව නොහැකි ය.  එබැවින් ඉවසා හිඳිමි. එහෙම නොවේ නම් එරන්ද ගැන මට තියෙන අයිතිය ගැන මම ඇයට අභියෝග කරමි. උවමනා නැත. වෙන්න තියෙනදේ කවදාක හෝ කොතැන හෝ සිදු වේ. 


ඉනික්බිති , ඇත්තෙන්ම එළඹී තිබුණේ අධික ලෙස කලබල කාලයකි. අප එක්ව සැලසුම් කළේ අන්තර්ජාතික ආහාර උත්සවයකි. ඒ වෙනුවෙන් කළ යුතු දේ බොහෝ විය. මුලින්ම, අපේ ව්‍යාපෘතියට අදාල සංකල්පමය සටහන් සකසා අදාල මූල්‍ය ප්‍රදාන උදෙසා අවශ්‍ය තැන් වලට යොමු කළ යුතුව තිබිණි. ලංකාවේ එවැන්නක් පැවැත්වීමට අවශ්‍ය අනුමැති ලබා ගැනිම සඳහා යොමුකළ යුතු ආයතන සොයා බැලිය යුතු විය. අප රාජ්‍ය අංශයේ සහයෝගය ලබා ගැනිමට කටයුතු කළ යුතුව තිබූ අතර මම නර්මදා හරහා අදාල අය සම්බන්ධ කරගැනීමට තීරණය කරගෙන සිටියෙමි. 


"අපි මේකට එරන්දලව ජොයින් කරගම්මුද?"


ඇසුවේ නර්මදා ය. ඕ එසේ ඇසීම ගැන මට පුදුම නැත. ගැටළුව වූයේ මා මෙතෙක් එරන්දට මේ ගැන කියා නොතිබීම ය. 


"ඔයාට පුළුවන්ද එයාලව වොලන්ටියර්ස්ල ටීම් එකක් විදියට ජොයින් කරගන්න. එයාලට අපි වෙනම ගෙවීමක් කොහොමත් බජට් එකෙන් වෙන් කරනවා. ඒ නිසා ගෙවීම් ගැන වද වෙන්න ඕන නෑ"


එරන්ද ඒ ගැන කතාකළේ තවත් දින තුනකිනි. ඒ එහෙම පිටින්ම නෝක්කාඩු මල්ලක් සමඟිනි.


"දැන් මට ඒ ගැන කෙළින්ම කියන්න බැරි තරම් ඔයායි මායි දුරයිද? ආ බිම්ම?"


එරන්දගේ ජානුමය ලක්ෂණ මතුවන්නේ මෙන්න මේ ආකාරයේ අවස්ථාවන්හිදී ය. 


"නෑ අනේ. ඒ ප්‍රොජෙක්ට් එකට වොලන්ටියර්ස් ඕන වෙනවා කිව්වාම නර්මදාමයි කිව්වේ එහෙනම් එරන්දලගෙ ටීම් එකට කතා කරගම්මු. එයාල අමාත්‍යාංශය හරහාම ඔයාලව ජොයින් කරගන්නම් කීවා.."


"එතකොට ඔහොම වැඩක් ලංකාවෙ වෙනව ඔයා ආයෙත් එනව කියල නොකීවෙ ඇයි ?"


"මේ වැඩ ඉතින් අන්තිම මොහොතෙ උනත් ගැස්සෙන්න පුළුවන් .. මං ඔයාට මේව කියල ඔයා මේක ගැන බලාපොරොත්තු ගොඩක් තියං ඉදල මොකක් හරි වෙලා මට එන්න බැරිවුණොත් ඔයාට දුක හිතෙනව නෙ"


"ඕ…හ්.. ඒ කියන්නේ ගෑනු ළමය මගෙ දුක ගැනත් වදවෙනව නේද දැන්?"


"ඇයි මං කලින් එහෙම වද වුනෙ නැත්ද"


"දුක ගැන?"


"නෑ..හ්.. මං ඉතින් වැඩියෙන් වද වුණෙ සැපට තියන්න නෙ ඔයාව.. "


"ඒක නං ඇත්තම ඇත්ත කෙල්ල"


"ඒ කියන්නේ ?"


"ඔයා තරම් මාව සැපට සනීපෙට තියන්න උවමනා වෙච්ච වෙන එක කෙල්ලෙක් වත් නෑ


"දැනට නැති වෙන්න පුළුවන්. ඉස්සරහට හම්බ නොවෙයි කියලා හිතන්නෙ කොහොමද?"


"මං නම් හිතන්නේ නෑ… ඔයා මට කොච්චර ආදරෙ දුන්නද?"


"මට ඔයා දුන්නු ආදරේ එක්ක බැළුවොත් ඒක හරි චුට්ටක්"


"අපි කවදාවත් ආදරෙ සන්සන්දනය කරන්න නරකයි

තීරණ ගනිද්දි?"


"ආදරෙ කියන්නේ හැගීමක්.. ඒක දෙන්න ගන්න බෙදාගන්න තීරණ ගන්නෙක කිරල මැනල හිතල බලල.. එච්චර සංකීර්ණ කරගන්න නරකයි.. ආදරේ කියන්නේ සරල සුන්දර මනෝභාවයක්.."


නයිල්ස් රැකැම ගන්නට මගට එන්නැයි දන්වා තිබිණි. 


"කොහෙද යන්න හදන්නෙ?"


"එළියට?"


"මේ වෙලාවෙ?"


"ඔව්. අද ඩිනර් එකක්"


"ඔය දෙන්නටද?"


"නැහැ. නයිල්ස්ගෙ ඔෆිස් එකේ කෲ එකම ඩිනරවුට් එකක් යනව.. ඉතින් මාත් ජොයින් වෙනව.. "


"යන්න එපා… "


"ඈ?"


"ඔයා යන්නෙපා..අපි වීඩියො කෝල් එකක් අරන් මූණ බලන් කතා කරමු.."


මට එරන්ද ගැන පුදුම හිතෙන්නේත් නැත. හිටිඅඩියේ, ඔහුට පහළවෙන මේ අධි සාන්ද්‍රණිත රෝමාන්තිකමය හැඟීම් දියකර මෙලෙක කර හරින්නට සසඳිගේ එක ගෙරෙවුමක් රැවුමක් හොඳටෝම ඇතැයි මම දැන් දනිමි. 


"ම්ම්ම්..අද නෙමෙයි..අපි වෙන දවසක කතා කරමු එහෙම.. මං ළzඟදි වෙන සිටි එකක අසයින්මන්ට් එකකට යනව දවස් දෙහෙකට.. එතකොට මං වෙනම හොටෙල් රූම් එකක නවතින්නෙ"


"කෘ එකේ කවුරුත් නැද්ද? මං වගෙ ළග ඉන්න.. "


"නෑ..නෑ.. එහෙම කවුරුත් නෑ මෙහෙ.. "


"මට ඔයාව බලන්නෝන.. "


"දැන්?"


"මේ දැන්"


මම කැඩපතටත් එබී මගේ පෙනුම බැලුවෙමි. රෑ කැමට යන නිසා තද නිල් කර කැපූ කෙටි ගවුමක් ඇදගෙන කොණ්ඩය හිස් මුදුනට කර පෝනිටේල් එකක් දමා රතු වැඩි තොල් ආලේපනයක්ද තවරා සිටින මගේ පෙනුම රෑ කෑමකට අනර්ඝ බව මට විශ්වාස ය. එහෙතත් මේ ආසියාතික පිරිමියාගේ කමෙන්ටුව ඊළඟ සීමාකාරී සාදකය වෙනවාට මා අකැමැති ය. 


කැමරාව ක්‍රියාත්මක වෙන සැණින් එරන්ද ගොළුව මදෙස බලා උන්නේය. එය අරුමයක් දකිනවා වැනි පෙනුමකි. 


"වාව් ! ලස්සන ඔයාගෙ"


"ඇත්තට හොඳයි ද?"


"ඔව්.. හරි ලස්සනයි.හොට් පාටයි"


"පොඩ්ඩක් එහෙම හයිලයිට් වෙන්නම ඇන්දා"


"කර නම් කැපිල වැඩියි"


"ම්ම්ම්ම්"


"කොල්ලො බලයි"


"මෙහෙ මේවා දැකල දැකල කොල්ලොන්ට මැජික් නෑ මේවා"


"කොච්චර දැකල තිබුණත් කොල්ලො ඕවට ආසයි"


එරන්ද සිනාවෙවි සිටියේය. මම ප්‍රධාන වීදියට එන තෙක්ම අවට නිවෙස් කුඩා කඩ සාප්පු මිනිස්සු රාත්‍රිය ගෙවන ආකාරය එරන්දට පෙන්වමින් ආවෙමි. 


"මෙහෙට වඩා ගොඩක් වෙනස් නිකොලා , නයිල්ස්ගෙ අම්ම ජීවත් වෙන පැත්ත. එහෙ කන්ට්‍රි සයිඩ්.. එහෙ මෙහෙම කලබල නෑ.. හරි සයිලන්ට්"


"හ්ම්… ඔයා ඔහොම දකිද්දි මට දැනෙන දේ දන්නවද?"


"මොනාද?"


"ඔයා අයිති ඔහෙටම තමයි.. ඇත්තටම මට කියන්නම හිතෙනව ඔයාට. මං සසඳිව අත් අරින්නං. ඔයා ඕවා ඔක්කෝම අත් ඇරල ලංකාවට එන්න කියලා. රස්සාවක් ඕනම නම් මෙහෙන් හොයා ගන්න කියලා. ඒත් මට ඔයාට කන්න අඳින්න දෙන්න පුළුවන් කියලා"


"ඇයි ඉතින් හිතෙන දේවල් නොකියන්නෙ?"


"හේතු තියෙනව. මං මොකෙක්ද? ඔයා කවුද? මට එහෙම කියලා ඔයාව මං ගාවට අරන් ඔයා දැන් ගෙවන ජීවිතේ දෙන්න බැරිනම් මොකක්ද ඒකෙන් ඇති වැඩෙ කියන්නකො"


"ඔයා හිතනව වැඩියි"


"නෑ.. ඒ මං ඔයාට ඇත්තටම ආදරේ හින්ද"


"එතකොට සසඳිට ඇත්තටම ආදරේ නැත්ද?"


"නෑ කියන්නත් බෑ.. ඒත් වැඩියෙන් ආදරේ ඔයාට"


"ඒක බොරුවක්. ඔයාට ඒක හරියටම කියන්න බෑ"


ටැක්සියක් නවත්වා මම අදාල රෙස්ටොරන්ට් එකට යනතෙක්ම එරන්ද දුරකතනයේ රැඳී සිටියේය. 


"බිම්මා.."


"දෙයක් කියන්නද?"


"හා"


"මං වෙනුවෙන් දෙයක් කරන්න"


"මොකක්ද ?"


"ඔයා නිරෝගි කෙල්ලෙක්. මං දන්නවා හැඟීම් කුණාටුවක් වගේ ඔයා.. ඒත්..ඒත්.. පුළුවන් නම් මට ආදරේ කළ තරම් එයාට ආදරේ නොකර ඉන්න. මට ඔයාගෙ හිතේ තියෙන ඉඩ එයාට දෙන්නැතුව ඉන්න"


"අනේ.. මොනවද මේ කියන්නෙ?"


"එයා ඔයාගෙ යාළුවා නෙ.. මං එහෙම නෙමෙයි නෙ.. අපි කිට්ටු වුනෙ කාන්දම් වගෙ නෙ.. අපි දෙන්න ගැන හරියට දන්නෙවත් නැතුව නෙ.. ඒක තේරුම් ගන්නකො.. අපි ටික ටික ග්‍රෝඅප් වුණා නෙමෙයි.. අපි හිටිය ගමන් බැඳුණා.. ඒක පුදුමයි නෙ. නේද?"


"මට තේරෙනවා.. මාත් ඔයා ගැන එහෙම හිතනවා. ඒත් ඔයාත් වෙනස් වෙයි.. හැමදේම හැමදාම මෙහෙම තියෙනෙකක් නෑ"

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...